මා සාකල්‍යයෙන්ම ශ්‍රී ලාංකික ය

Sathya Sai Baba - Wikipedia

(මෙහි සඳහන් මම මා නොවේ. ඇතැම් විට ඔබ විය හැකි ය. එහෙත් අප අතර මෙවැනි මම ලා නම් බොහෝ ය.)

මම කන්දෙ විහාරයට යමි. ඒ වසරකට සැරයක් කතරගම දේවාලය වඳින්නට යන අතරමග ය. මම කොච්චි කඩේ පල්ලියට ද යමි. කෝනේෂ්වරම් දේවාලයට ද යමි. සල්ලි බාගය තියෙන කලක තිරුපති වඳින්නට ද හිතාගෙන සිටිමි.

සායිබාබාගේ පින්තූරයක් මගේ නිදන කාමරයේ ඇත. සීවලී හිමියන්ගේ පින්තූරයක් මගේ ප්‍රධාන දොර උඩින් බැබලි බැබලි තිබේ. ගණ දෙවියන් සරස්වතිය හා ලක්ෂ්මී සමග වැඩ ඉන්නේ සාලයේ ය. ඊට තරමක් නුදුරින් තියෙන්නේ කතරගම, විෂ්ණු හා සමන් දෙවියන්ගේ රූප ය. බුදු හිමියන් ඉන්නේ එලියේ තිබෙන බුදු මැදුරේ ය.

මගේ අතේ පිරිත් නූල් ය. ඇඟිල්ලක නවරත්න මුද්දකි. බෙල්ලේ සුරයකි.

හොඳ වැඩකට යන්නේ නම් රාහු කාලය මම කෙසේ හෝ මග හරිමි. ඇතැම් දිනෙක ඒ වෙනුවෙන් කලින් පිටත් වන නිසා අතරමග රස්තියාදු ගැසූ දවස් එමට ය. යහපත් ගමනක් යන අවස්ථාවක හාමුදුරු නමක් හෝ හිඟන්නෙකු මුලිච්චි වුනේ නම් මම ගමන පමා කරමි. ඒ දෙන්නා එකම කුලකයකට දැම්මේ ඇයිදැයි යන ප්‍රශ්නය බක පණ්ඩිතයෙකු විසින් නොනගන්නට මගේ හිතට කවදාවත් ඇතුළු වන එකක් නැත. ඒ පණ්ඩිතයෝ පොළොවේ පයගහලා ඉන්නා අය නොවෙති.

යන ගමනක් අතරමග තිබෙන කිසිදු දේවාලයක් ළග නොනවත්වා යන සිරිතක් මගේ නැත. පඩුරු දැමීම අත්හැරීමට මගකි. හැබැයි මා කැමති වැඩිපුර කාසි දැමීමට ය. ඒ සලාං යන සද්දයෙන් ඒවා වැටෙන නිසා ය. කුඩා කල මා ආසාවෙන් කළේ ඒ සද්දය ඇසීමට සලස්වා උඩ පැනීම ය.

කුල්ල කනප්පුව කරකවන තැනකට මා යන්නේ ඇතැම් අභිරහස් සොයා ගැනීමට ය. නැති වූ දෙයක් ලබා ගැනීමට ය. මා හෝ පවුලේ කෙනෙකු අසනීප වූ විට පඩුරක් බඳින්නට මෙන්ම බෝධිය කිරි කලකින් නාවන්නට ද යොමු වන්නේ නිතැතිනි.

කේන්දරය බලවා ගැනීමට මතුවන පුංචි ප්‍රශ්නයක් සෑහෙන්නේ ය. කේන්දර කාරයා කියන්නේ නම් බලු කපුටු දානයක් දෙන්නට, ග්‍රහ පූජාවක් කරන්නට, සෙත්කවියක් කියන්නට, මා පසුබට වෙන්නේ නැත. අනාගතය ගැන කියන අහිකුණ්ඨික ගෑණියකට අත පිරිනමන්නට මගේ කුලමල වෙන තැන්වල දී මෙන් මට හරස් වන්නේ නැත.

වාස්තු විද්‍යා ශාස්තෘ කෙනෙකු කියන්නේ නම් ගෙය දහ පහලොස් වතාවක් කඩා හදන්නට මා පසුබට වෙන්නේ නැත. සමහර ප්‍රශ්න ඇත්තේ ග්‍රහ පිහිටීමේ වන අතර තවත් සමහර ප්‍රශ්න ඇත්තේ ගෙදර ජනෙල් දොවල් පිහිටීමේ යැයි මම උදක්ම විශ්වාස කරමි.

මගේ මෝටර් රථය නවීන ජපන් තාක්ෂණයෙන් යුක්ත වුව ද එය විවිධ පරීක්ෂාවලට යටත් කොට ආරක්ෂාව තහවුරු කර තිබෙන්නේ යැයි කියන්නේ වුව ද එහි මුල්ම ගමන සඳහා කතරගමට යෑමටත් එහි පසුපස හා ඉදිරියෙන් දෙහිමිරිස් ආරක්ෂාවක් පැලඳීමටත් මා දෙවරක් සිතන්නේ නැත.

කුඩා කල මා මැර වැඩ කළේ වුව ද දහම් පාසල් ද ගියෙමි. මා මත්පැන් ටිකක් තොල ගාන්නේ වුව ද අල්ලපු ගෙදර ගෑණු ළමයා සමග බිරිඳට හොරෙන් පයුරු පාසානම් පවත්වන්නේ වුව ද පන්සිල් පද පහ දිනපතාම ගන්නෙමි. ධර්මයේ  හැටියට ජීවත්වන්නට මට තරමක් අපහසු වුව ද මම නිතිපතා බණ අහන්නෙමි. මාස කීපයකට වරක් ධර්ම දේශනාවක් සංවිධානයක කිරීමට ද දානයක් දීමට ද මම නොමසුරු වෙමි.

කවුරුවත් මගේ ජීවිතය ගැන, විශ්වාස ගැන, ප්‍රශ්න කරන්නට වුවමනා නැත. ඒවායේ තුන්හුලස් හොයන්නට ඕනෑ නැත. ඒ මගේ හැටි ය. මා සාකල්‍යයෙන්ම ශ්‍රී ලාංකික ය. ඔබට බුදු සරණ ය.

English translation is given as a comment below.