සනරාමර සෙවන යට – අපායේ මෙන් ගිනි දැල්

පසුගිය සෙනසුරාදා (අගෝස්තු 22) සිරස ගුවන්විදුලි නාලිකාවේ සනරාමර සෙවනේ තිබුනේ අපායේ වත් නැති තරම් දැඩි රස්නයකි. අප එසේ කියන්නේ ඒ වැඩ සටහනට වැඩිය භික්ෂූන් වහන්සේගේ අමන දෙසුමක් ඊටත් වඩා දුන් අමන උත්තරයක් නිසා ය.

ප්‍රශ්නය දරුවකු ලැබෙන්නට ඉන්නා අම්මා කෙනෙකු පිළිබඳව ය. ඇයට වෙනදා මෙන් නොව නුරුස්නා ස්වභාවයක් ඇතැයි ද ඇය ඉක්මණින් කෝපයට පත් වෙතැයි ද ප්‍රකාශ විය. ස්වාමීන් වහන්සේගෙන් අපේක්ෂා කළේ ඒ තත්වයට සහනයකි.

ඒ වුනාට උන්වහන්සේ පත්තු කළේ බෝම්බයකි. නිරයට වඩා වැඩි රස්නයක් ආවේ එය පුපුරා යෑමෙනි.

උත්තරයට අනුව කරුණු දෙකක් විය හැකි ය. එකක් එම අම්මා කුඩා කල ද කෝප වන තැනැත්තියකි. එසේ නොවූයේ නම් උත්පත්තිය ලබන්නට ඉන්නේ යක්ෂ පැටියෙකි.

නූපදින දරුවාට යක්ෂ ලේබලය ඇලෙව්වාම වෙන්නේ කුමක් දැයි කියන්නට අමුතු මනෝ විද්‍යා අධ්‍යාපනයක් අවශ්‍ය නැත. ගෙදර සියලු දෝෂ දරුවා මතින් යනු ඇත්තේ ය. ඔහු ඒ නිසාම යක්ෂයෙකු වනු ඇත්තේ ය.

ඒ සඳහා නියත විවරණය ලැබුනේ මේ ස්වාමීන් වහන්සේ ගෙන් ය.

වැඩසටහන් මෙහෙයවූ නිවේදිකාව ද ස්වාමීන්වහන්සේට දණ්ඩ නමස්කාර කර හිස් මුදුනින් මේ අදහස පිළිගත්තා විනා මෙයින් අනාගතයේ සිදුවිය හැකි අතෝරයන් මේ විය නොහැකි දැයි පෙරලා ප්‍රශ්න කළේවත් නැති ය.
අප දන්නා පරිදි කාන්තාවන්ගේ ශරීර තුළ විවිධ වෙනස්කම් ගැබ් ගැනීමෙන් පසු සිදුවෙයි. එහි බලපෑම මනසට ද දැනෙයි. නොරුස්නා ස්වභාවය ඇතිවීම සාමාන්‍ය දෙයක් වන අතර එක් එක් අයට එහි විපාක ඇති වන්නේ වෙනස් ආකාරයෙනි. ඒ එකකටවත් බඩේ ඉන්නා දරුවාගේ සම්බන්ධයක් නැත. එය එක් එක් මවගේ ශරීරය සකස් වී ඇති ආකාරයට සිදුවන අතර ඒ කාලවකවානුවේ පවුලේ සෙසු අයගේ සහය මේ මවට ලැබිය යුතු ය. මේ ඕනෑම වෛද්‍යවරයෙකුගෙන් දැන ගත හැකි දෙයකි.

ධර්මය දෙසනවා වෙනුවට ගර්භණී මාතාවන්ගේ ශාරීරික මානසික සෞඛ්‍ය ගැන ස්වාමීන්වහන්සේලා සායන පවත්වන්නේ කුමකට දැයි මම නොදනිමි. ස්වාමීන්වහන්සේ කෙනෙකු ලෙස දිය යුතුව තිබුණු එකම උපදේශය මෙය ශරීරයේ වෙනස් වෙන තත්වයන් නිසා ඇති විය හැකි බව කියා වඩා නිවුනු සිතුවිලි ඇති කරගන්නට යම් භාවනාවකට යොමුකිරීම ය. ඒ අතර වෛද්‍යවරයෙකු හමුව උපදෙස් ලබා ගන්නට කීම ය.

ඒ වෙනුවට එතුමන් කළේ තමන් දන්න ධර්මය නොදන්න මාතෘත්වය සමග ගැට ගැසීමට තැත් කිරීම ය.

වඩාත් හාස්‍ය ජනක කාරණය නම් වැඩ සටහන් අවසානයේ නිවේදිකාවගේ ප්‍රකාශය ය. යොමු කරන ප්‍රශ්න බෞද්ධ මනෝ විද්‍යාවට අනුව ද බටහිර මනෝ විද්‍යාවට අනුව ද විසඳන බවට ඇය සහතිකයක් ද දුන්නා ය.

බෞද්ධ දර්ශනයක් මිසක බෞද්ධ මනෝ විද්‍යාවක් නැත. බටහිර මනෝ විද්‍යාව අබැටක් හෝ දන්නේ නම් මේ දුර්දාන්ත ප්‍රකාශය කරන්නේ ද නැත.

මෙසේ සියල්ල එකට පටලවා ගත් කල සසරින් එතෙරවීමටවත් මේ ආත්මය තුළ සුවයෙන් ජීවත්වීමටවත් යන දෙකෙන් එකක් වත් කිරීමට බැරි වන්නේ ය.

සරණාමර සෙවන එදා ගිනි දැල්වලින් පිළිස්සී ගියේ ය. එහි සෙවනක් තිබුනේම නැත. තිබුනේ අන්ධකාරයත් රස්නයත් පමණ ය.

අප මෙයින් ඉගෙන ගත යුතු වටිනා පාඩමක් ඇත. ඒ නම් සසරින් එතෙරවීම වැනි මහා කාරණා ස්වාමීන් වහන්සේලාට බාර දුන්නාට කමක් නැති බවත් ගර්භණී අම්මලාගේ සෞඛ්‍ය වැනි සිල්ලර කාරණා පෘතග්ජන වෛද්‍යවරුන්ට බාර කළ යුතු බවත් ය.

Advertisements

මහින්ද පැරදුවාට මදි ය!

මහින්ද පැරදුවාට පමණක් වැඩක් නැත. ඔහු නියෝජනය කරන්නාවූ පසුගාමී චින්තනය ද ඒ සමගම පැරදවිය යුතු ය. නැතිනම් සිදුවන්නේ එජාපයෙන් හෝ ජවිපෙන් එසේත් නැතිනම් සන්ධානයෙන්ම මේ පිළිල වෙනත් නම් වලින් නැවත මතුවීම ය. පැරදවිය යුතු පසුගාමී චින්තනයේ ප්‍රධාන අංග කීපයක් පහත දක්වන්නට කැමැත්තෙමි. අපේ සහෘදයන් මේ ලයිස්තුවට තවත් එකතු කරනු ඇතැයි ද මේ ලයිස්තුවේ අංගයන් අපේ විරුද්ධවාදීන් මෙන්ම සහෘදයන් විසින්ම ද විචාරයට ලක් කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු. ඒ අප සියල්ල දන්නේ යැයි මිත්‍යාවක නැති නිසා ය. මුලින්ම පරාජය කළ යුත්තේ තමන් සියල්ල දන්නේය යනුවෙන් බොහෝ දෙනා තුළ පවතින ඒ සිතුවිල්ල ය. ඉතිරිය පහත දක්වා තිබේ.

  1. ඉර හඳ තරු අපේ අනාගතය තීරණය කරන බව හා ඒ නිසාම ඒවාට යටත්ව අප ජීවත් විය යුතු බව
  2. ලංකාවට සෙසු ලෝකයෙන් වෙන්ව ජිවත් විය හැකි බව හා එය අපේ ස්වාධීනත්වය රැක ගැනීමේ මග බව
  3. ජාත්‍යන්තර නීති රීති සම්මුතීන් පිළිගැනීම තුළින් රට ජාත්‍යන්තරයට යටත් වන බව
  4. බටහිර ඇති සියල්ල කුණු බව
  5. ලංකාව ලෝකයේ උතුම්ම රට බව
  6. වත්මන් ලෝකයේ රටක් ආහාර ඇතුළු බොහෝ දෙයින් ස්වයං පෝෂිත විය යුතු බව (අල්පෙනෙති වගේ දේවල් පවා රට තුළ නිපදවිය යුතු බව)
  7. ආගම්වල තිබෙන සියළු කරුණු ඒවායේ ශාස්තෘන්වහන්සේලා විසින් දේශනා කර ඇති දේ බව හා ඒ නිසා විමසීමෙන් තොරව සියල්ල පිළිගත යුතු බව
  8. වැඩිහිටියන් හා පූජකයන් කොතරම් නොපනත් කම් කළ ද උනට ගරු කළ යුතු බව
  9. තමන්ගේ එකෙක් වැරැද්දක් කළ ද දඩුවම් නොකළ යුතු බව හා උන් ආරක්ෂා කළ යුතු බව
  10. වැරදිකරුවන්ට නීතියෙන් වැරදිකරුවන් කරන තෙක් නොසිට වෙනත් යාන්ත්‍රණයන් මාර්ගයෙන් හෝ දඩුවම් කළ යුතු බව හා ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකුවත් පෙනී නොසිටිය යුතු බව
  11. හොරකම වැළැක්වුවහොත් සංවර්ධනය ඇණ හිටින බව
  12. ආණ්ඩුව අපට යම් යම් දේ දෙන්නේ ආණ්ඩුව කරන අයගේ බූදලයෙන් ගෙනා මුදලින් බව
  13. ආණ්ඩුවක් තියෙන්නේ රටක ප්‍රතිපත්ති හැදීමට නොව පුතාට රස්සාවක් දීම බිරිඳට මාරුවක් හදා දීම වැනි අපේ සිල්ලර වැඩ ටික කර දීමට බව
  14. අපට ලැබෙනවා නම් රට උගස් කර ණය ගත්තත් අවුලක් නැති බව
  15. රාජ්‍ය සේවය යනු රැකියා සපයන කප් රුකක් බව
  16. පුද්ගලික අංශයෙන් ගලවා රජය බාර ගත් විට සියල්ල හරි යන බව
  17. දේශප්‍රේමය යනු සිංහ කොඩියක් වැනීම, ජාතික ගීය ගැයීම, අතීතය කබල් ගාමින් පාරම් බෑම හා පපුවට තදින් ගසා ගැනීම බව
  18. යුද්ධය අවසන් කළ විට ජාතික ප්‍රශ්නය අවසන් වෙන බව
  19. කොටින් පැරදවිය හැක්කේ එක අලුක්කාලක හෝ බලයක් දෙමළ ජාතියට නොදී සිටීමෙන් බව
  20. සෙසු ජාතීන් තුළ ඇති ජාතිවාදය ජය ගත හැක්කේ තම ජාතිය තුළ ඊටත් වඩා උග්‍ර ලෙස ජාතිවාදය පැතිරවීමෙන් බව හා වෛරය ජයගත හැක්කේ වෛරයෙන් පමණක් බව
  21. දුප්පත් කම ජය ගත හැක්කේ දුප්පතුන්ට කෑමවේලක් ඇඳුමක් පැළඳුමක් හා සිල්ලර කාසි ටිකක් දීමෙන් බව

ලයිස්තුව තව දිග ය. එහෙත් ඒ අමතර කාරණා ඔබ විසින් ඉදිරිපත් කරනු ඇතැයි උපකල්පනය කර මේ සටහන මෙසේ අවසන් කරමි.

මේ සියල්ල ද සංවාදයට විවෘත ය.

මේවා නිසා ලංකාවට සිදු විය හැකි හානි අපමණ ය. කිසිවෙකුට ඒ එකදු කරුණක් හෝ එසේ නොවන්නේය යන සැකයක් ඇත්නම් ඒ ගැන පිළිවිසීමට ද අප කැමති ය.

ඔන්න බබෝ බිල්ලෝ එනවා. …… නැතිනම් අල්ලන් යනවා.

මේ දවස්වල බිල්ලෝ එන්නේ පෝලිමේ ය. බිල්ලන්ගෙන් අපත් රටත් රැක ගන්නට ඒ සමාන පිරිසක් පෝලිමේ එන්නෝ ය. ඒ අය ගැලවුම් කාරයෝ ය. නිකම් ගැලවුම් කාරයින් නොවේ. ජාතියේ ගැලවුම් කාරයෝ ය.

දෙදහස් පන්සියයක සභ්‍යත්වය සංස්කෘතිය ජාතියේ අභිමානය රටේ අනාගතය දරු පරපුර හා ආගම රැක ගත යුතු දේ අතර තිබේ. ඒ බිල්ලන්ගෙන් ය.

බිල්ලන්ගෙන් රටත් ජාතියත් ආගමත් රැක ගැනීම ඔය කියන තරම් අමාරු නැත. මේ ඊනියා ගැලවුම් කාරයින්ගෙන් රට රැක ගැනීම නම් ලේසි නැත. රැක ගත්තා යැයි කියන රට එසේ කිරීමෙන් පසු ගැලවුම් කාරයින්ට උගසට තැබිය යුතු නිසා ය. එහෙම නොකළොත් උන් ගැලවුමට එන්නේ නැත.

පොලී කාරයින් වගේම ය. පොලිය සැර ය. පරම්පරා ගණනාවකට ණය වීමෙන් මිසක ගෙවිය නොහැකි ය.

ඒත් ඉතින් රට ගැලවේ නම් ජාතිය ගැලවේ නම් ටිකක් ගෙව්වාම මක් වෙනවා ද?

එතැනින් ගැලවුම් කාරයින් ඉල්ලන දොල පිදේනි ඉවරයක් වෙන්නේ නැත. උන්ට ඕනෑ විදිහට ජවුසම් නටන්නට ද ඉඩ දිය යුතු ය. ගැලවුම් කාරයින් රජකර රට වැසියා උන්ගේ කීකරු යටත් වැසියන් බවට පත් විය යුතු ය. ගැලවුම් කාරයින්ගේ සියලු නොපනත්කම් මුවින් නොබැණ ඉවසිය යුතු ය.

ගැලවුම් කාරයින්ට විරුද්ධ වුවහොත් බිල්ලාට රට යන නිසා බිල්ලාට ද වඩා ගැලවුම් කාරයාට බියෙන් ජීවත් විය යුතු ය.

මෙය අප කුඩා කල දෙමාපියන් අප හා කළ සෙල්ලමක ස්වරූපය ගන්නේ ය.

ආපු බිල්ලෙක් නැත. එහෙත් බිල්ලා අපව කීකරු කර ගන්නට දෙමාපියන්ට පිටුවහලක් වුනේ ය. බිල්ලා නිසා දෙමාපියන් අපේ ගැලවුම්කරුවන් වූවා පමණක් නොවේ. ඔවුන්ට සුවච කීකරු ලෙස සිටින දරුවන් රැසක් ද ඒ සමගම බිල්ලා ඇති කළේ ය.

දැන් වැඩිහිටි වියට පත්ව සිටියදීත් අප තවමත් බිල්ලාට බය ය. ඒ නිසා දැන් අපේ අලුත් ගැලවුම් කරුවෝ එයින් ඵල ප්‍රයෝජන ලබති.

දෙමාපියන් නම් බිල්ලා භාවිතා කළේ අපේ පරිස්සමට ය. එහෙත් මේ ගැලවුම් කාරයෝ ඒක භාවිතා කරන්නේ උන්ගේ උන්නතියට ය.

පුංචි කාලයේ රැවටිල්ලට වඩා මේ රැවටිල්ල භයානක ඒ නිසා ය.

 

“මහින්ද රාජපක්ෂ“ නොහොත් අපේ උප විඥානය

මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙක් පමණක් නොවේ. එය අපේ රටේ ජනතාවගේ උප විඥානය ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ මහින්ද නම් පුද්ගලයාගේ හැසිරීමෙන් මූර්තිමත් වන්නේ ජනයාගේ උපවිඥානයේ ප්‍රකාශනය ය.

අපේ මිනිසුන් ස්වාමියාට බිය ය. ඔහු ඉදිරියේ නිවට නියාලු ය. ඔහු නැති තැන ඔහුට පරිභව කරන්නේ ය. ඔහුට පාඩමක් උගන්වන බව කියන්නේ ය.

ස්වාමියා තමන් සමග පින්තූරයක් ගන්නට එන්නැයි ආරාධනා කළ විට අපේ මුහුණේ මල් දහසක් පිපෙන්නේ ය. ඒ පින්තූරය හැමෝටම පෙන්නන්නේ ය. කටවුට් එකක් හැටියට මහපාරේ ගහන්නට බැරිනම් ගෙදර සාලයේ හෝ එල්ලා ගන්නේ ය.

මේ සියල්ල මහින්ද නම් චරිතය තුළ ද තිබේ.

ඔහු ඇමරිකාවට බිය ය. බටහිරට බිය ය. ඒ නිසාම දෝ ඇමරිකාව සමග සබඳතා යහපත් අතට පවත්වාගෙන යෑම සඳහා ලංකාවේ රජයේ මුදල් යොදවා පෞද්ගලික මහජන සම්බන්ධතා සේවාවක් පවා අධික මිලකට ගත්තේ ය. ඒ සඳහා කොහේවත් නැති ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් යොදා ගත්තේ ය. රටේ මුදල් යොදවා චෝගම් සංවිධානය කොට බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමරු ද ගෙන්වා ගෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ කමකට නැති නායකයෙක් බවට ද පත් විය.

මහින්ද ලංකාව තුළ සිංහලෙන් බටහිරට විරුද්ධව වහසි බස් දොඩන්නේ ය. තමන් ඔවුන්ට යටත් නැතැයි කියන්නේ ය. එහෙත් ඔවුන්ට දහසක් පොරොන්දු දී එන්නේ ය. අපේ අය මෙන් නොව උන් ඒවා මතක තියාගෙන නැවත විමසන බවක් මහින්දගේ මතකට, අපේ මතකයට මෙන්ම, එන්නේ නැත. අපේ උන් එසේ මතක තබා ගෙන නැවත නොවිමසන නිසා ය. උන් විමසන කල මහින්ද ද අප මෙන්ම කල් ඉල්ලන්නේ ය. එතකොට සියල්ල හරි යයි මහින්ද අප මෙන්ම හිතන්නේ ය. පොරොන්දු ඉටුකරන්නේ අද නොව හෙට ය. අපේ ජනතාව වගේම ය.

නැති තැන ඇමරිකාවට බටහිරට පලු යන්නට බනින්නේ ය. විමල් වීරවංශ නම් සියඅන්තේවාසිකයා ලවා බොරු උපවාස කරවන්නේ ය. අහිකුණ්ඨකයෙකු වඳුරා ලවා කරන නැටුමක් සිහිපත් කරන එය හුරතල් විරෝධයක් පමණක්ම ය. ලෙමන් පෆ් කා ඉක්මණින් අවසන් වන්නේ ඒක හුරතල් එකක් නිසා ය.

බරක් ඔබාමා සමග පින්තූර ගන්නේ ය. ඒවා කටවුට් බවට පත්ව පාරේ එල්ලෙන්නේ ය.

ලෙඩක් වුවත් දුවන්නේ ඇමරිකාවට ය. පවුලේ වැඩි දෙනෙක් පදිංචි ද එහිය. වහසිබස් වලින් පෙනෙන විරෝධය ඇතුළතින් නැත්තේ ය.

රටේ මිනිසුන් අල්ලපු වත්තේ මිනිසා සමග මායිමට නඩු කියන්නේ ය. නඩුවට දාස් ගණන් වියදම් කරන්නේ ය. ප්‍රශ්නයකට තුඩු දුන් ඉඩමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක් පුද පඩුරු ලෙස පෙරකදෝරුවාට දෙන්නේ ය. මහින්ද ද එසේ ය.

සුළු ජාතිකයින් සමග ආරෝවල් ඇති කරගන්නේ ය. ඇතිකරගත් ආරවුල් විසදන්නට තමන්ගේ නොව රටේ මුදල් අසිමීතව වියදම් කරගන්නේ ය. එක්සත් ජාතීන්ට උත්තර බඳින්නට කප්පරක් මහන්සි වන්නේ ය. වියදම් කරන්නේ ය. කොමිසම් එකක් දෙකක් නොව දුසිමක් ම පත් කරන්නේ ය. බලය විමධ්‍යගත කිරීමට එකක් නොව කීපයක් ද අතුරුදහන් වූවන් වෙනුවෙන් තව එකක් ද සංහිදියාව ඇති කිරීමට තව එකක් ද වශයෙනි.

කොච්චර පාරම්බෑවත් අපේ මිනිහා බය ය. ඝෝසාවේ තරම ට වැඩ නැත. හරියට බුරන බල්ලන් වැනි ය. හපා කන්නේ නැත. එහෙත් බුරන්නේ ය. මා කිව්වේ බටහිර සම්බන්ධයෙනි. ස්වාමියා සම්බන්ධයෙනි. තමන්ගේ ගෝලයන් ගැන නොවේ. අපේ මිනිහා ද එහෙම ය. හපා කන්නේ ගෝලයින්ව ය. බලවන්තයා ඉදිරියේ පුස් බිරිල්ලක් පමණක් දාන්නේ ය. ඒ ද අපට පෙනෙන්නට ය.

යුද්ධය සම්බන්ධ කාරණය හැරුණු කොට ඉතිරි සියල්ල සම්බන්ධයෙන් මහින්දත් එහෙම ය. යුද්ධය ඇත්තටම කළේ මහින්දම දැයි සිතෙන තරමට ය. ඒ ගැන චම්පික කියන කතාව ද අහන්නට වටින්නේ ඒ නිසාම ය.

විදුලි පුටුවට යන්නට බය නැතැයි කී මහින්ද අල්ලස් කොමිසමට කැඳවීමක් ලැබ නැටූ තොයිලයෙන් පෙන්නුවේත් ඒක ය.

අපේ රටේ කුසල්හාමිලා මාළු බාන්නෝ ය. ඒ වුනාට පසලොස්වකට සිලුත් ගන්නෝ ය. මත්පැනුත් බොන්නෝ ය. පස් වෙනි සිල් පදයත් ඒ සමගම කියන්නෝ ය. ඒ සමගම නොකියන්නේ නම් කියන්නේ අඩු වශයෙන් පදමට දාගන්නටවත් හිතේ තියා ගෙන ය. සිල් ගන්නා තාක් ඔහු උපාසක මහත්තයෙක් ලෙස සළකනු ලබන්නේ ය. එලිපිට නොබොන තාක් හේ බේබද්දෙකු නොවන්නේ ය. මහින්දත් එහෙම ය.

මතට තිත තියෙන ගමන් බාර් ලයිසන් දෙන්නේ ඒ නිසා ය. කප්පරකට බොන්නේ ඒ නිසා ය. පුරා විද්‍යා චක්‍රවර්තීට මහින්දගේ බීම වෙනුවෙන් කතා කරන්නට සිදු වූයේ ඒ නිසා ය.

මහින්ද පැරදුනහම අපට ඇඩෙන්නේ මහින්ද පැරදුනු නිසා නොවේ. අපේ උපවිඥානය පැරදුන නිසා ය.

මහින්ද කියා එහෙමට කෙනෙක් නැත. එහෙත් මහින්ද තුළින් ප්‍රතිමූර්තිමත් වන අපේ උප විඥානය අතිශයින්ම අප වෙත ඇත්තේ ය. මහින්ද රාජපක්ෂ කියන 70 හැවිරිදි මිනිසා අප මෙන්ම සාමාන්‍ය මිනිසෙකි. එහෙමට ගත යුතු දෙයක් ඔහු තුළ නැත. එහෙත් ඔහු තුළ අඩු නැතිව අපේ උප විඥානය මූර්තිමත්ව තිබෙන්නේ ය. ඒ සංකේත මහින්ද ශක්තිමත් ය. ජාතියක සැගවුනු ශක්තිය, එයට ශක්තිය යැයි කිව හැකි නම්, ඔහුගේ සමස්ථ හැසිරීම තුළ තිබේ.

මහින්ද කළා යැයි කියන සියළු හොරකම් අපරාධ වංචා නාස්තිය දූෂණය අපට ප්‍රශ්නයක්ව නැත්තේ ඒ නිසා ය. ඒ සමහර විට අප ද අඩුවැඩි වශයෙන් ඒවා කරන නිසා ය. ඒ තරමටම අපේ උප විඥානය මහින්ද හා සමපාත ය.

මහින්ද සමග නැගිට ගත්තොත් මිසක අපට අත් හැර දමන්නට වන්නේ ඒ අපේම උපවිඥානය ය. මහින්දට කරුණු සහිතව වුව වාග් ප්‍රහාරයන් එල්ලවන විට අපට මල පනින්නේ මේ නිසා ය.

දැන් අපි මහින්දව වෙනදාට වඩා හොඳින් අඳුනන්නෙමු. සැකයක් නැතිවම ඒ අපේ උපවිඥානය ය.

ෆේස්බුක් පරපුර මේ උප විඥානය ඒ තරමටම බෙදා ගන්නේ නැත. ලෝකය ඇත්තේ ලංකාව තුළ යයි අප සිතන විට මේ නව පරපුර ලෝකය තුළ ලංකාව තියෙන බව කියන තරමට අපෙන් දුරස්ථ වී තිබේ. මහින්ද පැරදුනේ එවැනි අක් මුල් නැති නව ෆේස්බුක් පරපුර නිසා ය.

අගෝස්තු 17 දා සටන මේ අක් මුල් නැති පරයින් හා ජාතියේ භූමි පුත්‍රයින් අතර වී ඇත්තේ මේ නිසා ය. මහින්ද ඉන් පැරදුනොත් පරදින්නේ මහින්ද පමණක් නොවේ. අපේ බහුතරයකගේ උප විඥානය ද ඒ සමගම පරදිනු ඇත.

අලුත් රටකට මාවත ඇත්තේ ඒ හරහා ය. ලෝකය තුළ ලංකාව ඇතැයි යන සැබෑව ජය ගැනීම ලංකාව තුළ ලෝකය ඇතැයි සිතමින් සිහින ලෝකයක ජීවත්වනවාට වඩා හොඳ ය. නැතිනම් වන්නේ අප සිහිනයෙන් අවදිවන විට ලෝකයේ ඉතිරි රටවල් ද අප පසු කර ගොස් තිබීම ය.

ඒ නිසාම මහින්ද ද ඒ සමග බහුතර අපේ උප විඥානය ද පරදිනවා දකින්නට මා නම් කැමති ය.

අවසාන වශයෙන් කිව යුත්තේ අපේ උප විඥානයේ එක් කොටසක් 17 දා අපේ සෙසු උප විඥානයට එරෙහිව යෑමට ද ඉඩ තිබෙන බව ය. ඒ අපේ අවස්ථාවාදීත්වය යි. අපිට ප්‍රතිපත්තියක් නැත. අපේ එකම ප්‍රතිපත්තිය වාසිය සොයා යෑම ය. වඩාත් වාසිදායක වන්නේ කොහිද අපි එතැන ය. මේ වාසිය පෞද්ගලික වාසියක් මිස රට හෝ එවැනි පළල් අරමුණක් සම්බන්ධ වාසියක් නම් නොවන්නේ ය. ඒ නිසා අපේ පොඩි එකා ජාතික පාසලකට දාගත හැකි ලොකු එකා රස්සාවකට දාගත හැකි බිරිඳගේ මාරුව හදා දිය හැකි මට වැලි පර්මිට් එකක් ගත හැකි පොඩි පොඩි සිල්ලර වැඩ කර ගත හැකි කෙනෙකු වෙනුවෙන් චන්දය දීමට මා සූදානම් ය. ඌවෙන් ආරම්භ වූ එජාපයේ ගමන දැන් ස්ථිර වන බවක් පෙනෙන්නට ඇත. ඒ තත්වය යටතේ චන්දය දිය යුත්තේ වැඩ කළ යුත්තේ එජාපයට ය.

ඒ නිසා ද එජාපය දිනන්නේ ය. රට චම්පිකලා ද අනුරකුමාරලා ද එකතුව බලා ගනු ඇත්තේ ය. අපට ඇත්තේ අපේ වැඩක් බලා ගැනීම ය.

ඒ නිසා ෆේස්බුක් සගයින් නැතුව ද දැන් එජාපයට දිනිය හැකි ය. මහින්ද පරදිනු ඇත්තේ ය. මොන හේතුව නිසා පැරදුනත් එය නම් රටට හොඳ ය. මක්නිසා ද යත් මහින්ද සමග අපේ පසුගාමී උප විඥානය ද පරදින නිසා ය. එවිට ඉතිරි වනු ඇත්තේ අවස්ථාවාදය විතර ය. ඊළග වටයේදීවත් එය ජය ගන්නට අපි බලමු. සමස්ථයවක් ලෙස පරදිනවාට වඩා එකක් ඉතිරි කොට සෙසු ඒවා ජය ගැනීම හොඳ නිසා ය.