රජෙකුට ඇබෑර්තුවක් තිබේ?

ඉන්නා රජා ෆේල්ය යන උපකල්පනය මත පිහිටා සමහරු රජෙකුට ඇඳීමට තැත් කරන බව පෙනේ.  ඇත්තට ම කියන්නේ නම් ඒ අතරින් සමහරු වස්ත්‍රාභරණ ද දැනට ම සූදානම් කර ගෙන අවසන් ය. බහුතරය තෝරාගත් තමන්ගේ කෙනෙකු රජෙකුට ඇන්දවීමට කටයුතු කරන ලකුණු ද බොහෝ තැනක දැකිය හැකි ය. ඔවුන් ද මේ දිනවල ඔ්වර් ටයිම් නැතිව ම වැඩ ය.

ඇත්තට ම මේ දෙවර්ගය ම ගැන මට ඇත්තේ අනුකම්පාවකි.

තවමත් මිනිසුන් අපේක්ෂා කරන්නේ ආශ්චර්යයන් ය. රජෙකු සොයන්නේ ඒ ආශ්චර්යය පහළ කර ගනු පිණිස ය.  

බොහෝ දෙනෙකු සිතන්නේ ප්‍රශ්නය හොරුන් රජ වීම කියා ය. මට හිතෙන හැටියට සැබෑ ප්‍රශ්නය ඇත්තේ රජෙකු සෙවීම තුළ ය.

ඒ දවස් වල නම් රජු සොයා ගියේ මගුල් ඇතා ය. දැන් අපට එහෙම කෙනෙකු නැත. සුද්දා ඒවා අපෙන් උදුරාගත් පසු දැන් රජෙකු සෙවීම සඳහා අපට තියෙන්නේ සුද්දා අපට දමා ගිය උරචක්‍රමාලය විතර ය. ඒ, රට ගැන මෙලෝ වගක් නැති, අරක්කු බෝතලයට, රුපියල් පන්සියයට, වෙනත් සිල්ලර උදව් වලට පමණක් නොව, පිටට තට්ටු කර හලෝ කී පලියටත් විකිණෙන මිනිසුන්ගේ ඡන්දය ය. ඒ නිසා ම හොරුන්ට මැරයන්ට බලයට පත් වන්නට ඉඩක් විවරව තිබුණේ ය. හොරු එපා වන තරමට රට විනාශ වී ඇති නිසා, දැන් හොරෙක් නොවන සුදු චරිතයක් දෙස මිනිසුන්ගේ අවධානය යොමු වී ඇතැයි සමහරු කියති. මට නම් ඒ ගැන තවමත් ඇත්තේ කුකුසකි.

ඒ එහෙම කෙනෙකු සොයා ගැනීම අසීරු විය හැකි නිසා වත් එසේ හොයා ගත් තැනැත්තා වුව බලයට පත් වූ පසු හොරෙකු වන්නට ඉඩ ඇති නිසා වත් නොවේ. ඒවා ද ගැටළු බව ඇත්ත ය. එහෙත් වැඩිම කුකුස ඇත්තේ මිනිසුන්ට තවමත් එහෙම කෙනෙකු අවශ්‍ය ද යන්න ගැන ය.

මම දන්නා මිනිසුන් නම් කැමති තමන්ගේ දේශපාලනඥයා v8 එකකින් තමන්ගේ මලගෙදර එනවා නම් ය. නම්බුව තමන්ට ලැබෙන්නේ එවිට ය. මරුටියකින් ඇවිත් ඔහු පිටට තට්ටු කළේ වුව ද එයින් තමන්ට ආලෝකයක් ලැබෙන්නේ නැත. නම්බුවක් ලැබෙන්නේ නැත. අහල පහල මිනිසුන් වත් එවැනි කෙනෙකු මායිම් කරන්නේ නැත. ආවා ද නැද්ද යන්න කිසිවෙකුට පේන්නේ ද නැත. V8 වාහනයකින් ඇවිත් ඈතින් ඉඳලා ගියත් ඊට වඩා නම්බු ය.

මිනිසුන්ට හොරකු නොවන රජෙකුගේ අවශ්‍යතාවය අවබෝධ වූයේ යැයි ද තනි සුදු කෙනෙකු සොයා ගැනීමට ඔවුන් සමත් වූයේ යැයි ද මොහොතකට සිතමු. එහෙත් රජෙකුගෙන් නම් අද වැඩක් වන්නේ නැත.

තනි රජෙකුට කළ හැකි බක්කක් වත්මන් ලෝකයේ නැත. අප ඉන්නේ ස්වයං පෝෂිත ගමක් හෝ රටක් තුළ නොවේ. එකිනෙකා මත රඳන, එකිනෙකා මත යැපෙන, බොහෝ මායිම් දියවෙමින් යන ගෝලීය සන්දර්භයක ය. ඊට අමතරව සම්පත් සීමා වෙමින් යන ලෝකයක ය. රටක ය. ඒවා කාර්යක්ෂමව භාවිතා නොකරන්නේ නම් ඒ සන්දර්භය තුළ අපට පැවැත්මක් නැති යුගයක ය. අතීතය තවදුරටත් තීරණාත්මක නොවන පසුබිමක ය. සම්ප්‍රදාය තවදුරටත් වලංගු නොවන පරිසරයක ය. ග්‍රහචාරයට හස්ත රේඛාවලට හූනන්ට බස්සන්ට උලමන්ට කළු පූසන්ට තවදුරටත් අනාවැකි කියන්නට බැරි ලෝකයක ය. වාලම්පූරි වලට සුරවලට නූල් වලට නවරත්න මුදු වලට යන්ත්‍ර-මන්ත්‍ර වලට තවදුරටත් වෙනසක් කරන්නට බැරි ලෝකයක ය. දීර්ඝ පර්යේෂණ වලින් පසු තනන එන්නතකින් මිස කාලි අම්මාගේ ආවේශයෙන් නිපදවන පැණියකට හෝ එකසිය අටවාරයක් ජප කළ පිරිත් දේශනාවකට වසංගත වැළැක්විය නොහැකි ලෝකයක ය.

ඒ තත්වයට මුහුණ දීම සඳහා ආගම හෝ සංස්කෘතියට වඩා වැදගත් වන්නේ නවීන විද්‍යාව හා තාක්ෂණය ය. අද පවතින හෝ හෙට මතුවන ප්‍රශ්න වලට පැරණි අතීතය අනුසාරයෙන් උත්තර සොයන්නට බැරි ය. ඒ සඳහා නව ක්‍රමෝපායන් සොයා ගත යුතු ය. ඊට පිටිවහල ලබා ගත හැක්කේ විද්‍යාව හා තාක්ෂණයේ නව ජයග්‍රහණයන් සොයා යෑමෙන් පමණ ය.

එය තනි රජෙකුට කළ හැකි කාර්යයක් නොවේ. සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව විද්වතුන්ට ද සවන් දීමට කැමති, ඊටත් වඩා තමන්ගේ කඳවුරේ නොවන විද්වත් මතයන්ට ද සවන් දීමට කැමති, ලෝකයට, විද්‍යාවට, තාක්ෂණයට, සවන් දීමට කැමති, ලෝකයේ අත්දෑකීම් වලින්, ලෝකය සතු දැනුමෙන්, ඉගෙන ගැනීමට කැමති, අනුන්ගෙන් ඉගෙන ගැනීමට කැමති, සමූහයකට පමණක් කළ හැකි වැඩකි. එපමණක් නොවේ, පැරණි දේ අත් හැරීමට සූදානම්, ඊට බය නැති, සමූහයකට පමණක් කළ හැකි වැඩකි. පැරණි දැනුම ප්‍රශ්න කිරීමට ඊට අභියෝග කිරීමට සූදානම් සමූහයකට පමණක් කළ හැකි වැඩකි.

එවන් සමූහයකට තිබිය යුතු මූලික කොන්දේසියක් වන්නේ කිසියම් දර්ශනයකට පක්ෂපාත වීමෙන් නිදහස ය. එයින් අදහස් කරන්නේ ඇඳීම සඳහා භාවිතා කළ යුත්තේ හිස් කොළයක් බවට තේරුම් ගත් මනසක් ඔවුන් සතුව තිබිය යුතු ය. නවෝත්පාදනයට ඉඩ ඇත්තේ එවැනි නිදහස් මනසක ය.

රට මුහුණ පා තිබෙන අර්බුදය නිසි ලෙස තේරුම් ගෙන ඒ අර්බුදය විසින් මතු කර ඇති අභියෝග ද ලෝකය විසින් ඉදිරිපත් කරන අවස්ථා හා ඒ තුළ ඇති අවකාශ ද නිසි ලෙස වටහා ගෙන රටේ ශක්තීන් මෙන් ම දුර්වලතා ද වටහා ගෙන උපාය මාර්ග සළකුණු කළ හැකි පිරිසක් ඒ සඳහා අවශ්‍ය ය. ඒ අවබෝධය ඇතිව සකස් කළ මහ පොළොව තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට සමත් පිරිසකට මිස මේ රට ගොඩ නැගීමට තනි පුද්ගලයන්ට නොහැකි ය. එවැනි සංවිධානය වීම් කුඩා කණ්ඩායම් මට්ටමේ සිදු වන නමුත් ඒ සංවාදයන් ජන ගත කිරීම තවමත් සිදු වී නැත.

රජෙකුට අඳින බොහෝ දෙනාත් ඔවුනට අන්දන බොහෝ දෙනාත් හිතන්නේ මිනිසුන්ට හිතට හරියන ඇඳුම් ඇඳගත් රජ කෙනෙක් ලැබුනොත් හොර රජුන් එලවා නිසි පුද්ගලයා සිහසුනේ තැබිය හැකි බව ය. එවිට සියල්ල හරි යන බව ය. රට බත බුලතින් සරු වන බව ය. ඔවුන් සියල්ල සකස් කරන්නේ සාමාන්‍ය මිනිසාට ආකර්ෂණීය වන ලෙස ය. හැසිරීම තුළ පමනක් නොව ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවල ද දක්නට ඇත්තේ ඒ සීමා ව ය. ඔවුන්ගේ කල්පනාව එසේ ඇඳගත් විට රට ම ඔහු සමග සිටින බව ය.

ප්‍රශ්නය ඇත්තේ දැන්‌ නොදකින දේ රජ වූ පසු කෙනෙකුට නොදැකිය හැකි වීම තුළ ය. ඊට පසු පිරිස විසින් රජු වටකරගත් විට ඒ පිරිසට එහා කිසිවක් රජුට පෙනෙන්නේ නැත. සිදු වන්නේ මධු සමය ඉක්මණින් අවසන් වීම ය. පූජාසනය මත වඩා හිඳ වූ පිරිස ම දෙස් දෙවොල් තබමින් රජු ගරහන්නට වීම ය.

මෙය දැනටමත් කීප වතාවක් රඟ දැක්වූ නාඩගමකි.

අප දැන් සූදානම් ඒ නාඩගමේ නැවත විකාශනයක් නව සංස්කරණයක් ලෙස නරඹන්නට ය. කඩල ගොට්ටක් අර ගෙන පුටුවකට නැග ගෙන බලා ඉන්නවා හැරෙන්නට කරන්නට දෙයක් නැත. නළුවන් අලුත් නිසා නාටකය කෙටි කලකට රසවත් වීමේ කුඩා ඉඩක් තිබෙන්නේ ය.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා කොකාගේ සුද

See the source image

ජාතික ජන බලවේගය සිතන විදිහට ඔවුන් ඊළඟ මැතිවරණයේ දී ජය ගැනීම කිසිවකුට වැළැක්විය නොහැකි ය. එහි ඉන්නා ඇතැමුන්ගේ අදහස් වලට අනුව සියයට අසූවක ජන බලයක් ඔවුන් ලබා ගනු ඇත්තේ ය. ඒ ගැන පේන කියන්නට අපට නම් බැරි ය. එයට හේතුව ජනතාව ඔය කියන තරම් බුද්ධිමත් නැති අතර ජාජබ සිතන තරම් අන්ධ ද නැති නිසා ය. බුද්ධිය කෙසේ වෙතත් ඔවුන්ට බොහෝ බුද්ධිමතුන් නොදන්නා (ඔවුන්ට මග හැරෙන) කෙටි කාලීනව ප්‍රයෝජනවත්  ඉවක් තිබෙන නිසා ය.

එහෙත් ජාතික ජන බලවේගයට වෙනදා නොදුන් අවධානයක් දෙන්නට යමක් කමක් සිතන්නට හැකි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් කටයුතු කරමින් සිටින බව නම් පෙනෙන්නේ ය. ඒ රට වැටී ඇති තත්වය හේතුවෙන් ඇතිවුනු කම්පනයේ බලපෑම නිසා ය. ජාජබ ය විස්තීර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහි ඇත්තේ ඇති කරන්නට හදන ප්‍රතිඵලයන් ගැන විස්තරයකි.

ප්‍රතිපත්ති ප්‍රකාශය අතිශය ආකර්ෂණීය ය. එහෙත් එහි සඳහන් ප්‍රතිඵල සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් නම් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් එහි නැත. හාල් ලැබෙන්නේ නම් එය ගෙනත් දෙන්නේ හඳෙන් දැයි ඉස්සර නම් ඇසුවේ නැත. දැනුත් එහෙම නම් ප්‍රශ්නයක් නැත. බැට කා සිටින නිසා ඇතැම් විට එය ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබෙන්නේ ය. මේ සටහන ජාජබය විසින් ඇති කරන්නට හදන, ලේඛකයා වැඩිපුර සංවේදී, ප්‍රතිඵලයන් කීපයක් ගැන ය. ඒවායේ ශක්‍යතාව (feasibility) ගැන ය.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 81 ක් පමණ ය. ධීවර පශු සම්පත් ද ඇතුළත්ව සමස්ත කෘෂිකර්මය ඊට දායක වන්නේ 7.2% කි. ඒ අනුව අප මෑත කාලයේ කෘෂිකර්මයෙන් නිපදවූ ආදායම සමස්ත ආදායම ඩොලර් බිලියන 5.83 ක් පමණ වේ යැයි ගණන් හැදිය හැකි ය. ලංකාව ආහාර ආනයනය වෙනුවෙන් වැය කරන මුදල ඩොලර් බිලියන 1.6 කි. ඒ අනුව ආහාර සඳහා වියදම් කරන මුළු මුදල දළ වශයෙන් ඩොලර් බිලියන 7.43 ක් සේ ගත හැකි ය. ඒ වියදමෙන් ආහාර ආනයනය සඳහා වැය කරන ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට ගතහොත් සියයට 20 ක් නැත්නම් පහෙන් එකක් පමණ වේ. එයින් පෙන්නුම් කරන්නේ රටේ ආහාර අවශ්‍යතාවයන්ගෙන් 80% කට ආසන්න ප්‍රමාණයක් අප නිපදවා ගන්නා බව ය. එය සෑහීමකට පත් විය නොහැකි අගයක් ද?

ප්‍රශ්නය ඇත්තේ ඒ ප්‍රමාණය නිපදවීමට අප රටේ වැඩ කරන ජනතාවගෙන් 30% ක් ම කටයුතු කිරීම තුළ ය.  ජාතික ධනයෙන් 7.2% ක් නිපදවීමට 30% ක් කටයුතු කිරීම තුළ ය. ඒ බව ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද පිළිගනියි. ඵලදායීතාවය වැඩි කර ගත යුතු බව ද පිළිගනියි. එහෙත් ඒ සඳහා කළ යුත්තේ කෘෂිකර්මය තුළ තවදුරටත් ඵලදායී ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් ඒ පිරිස වෙනත් කටයුතු සඳහා මුදා හැරීම බව ඔවුන්ගේ ප්‍රතිපත්ති තුළ අන්තර් ගත නොවේ.

ඉතිරි 20% ක් වූ ආහාර අවශ්‍යතාව ද ලංකාව තුළ ම නිෂ්පාදනය කරන්නට අප කටයුතු කරනවා නම් කටයුතු කළ යුත්තේ තවත් පිරිසක් ඒ තුළට ගොනු කිරීමෙන් නම් නොවේ. (එසේ 100%ක ඉලක්කයක් හඹා යා යුතු ද යන්න වෙනම ප්‍රශ්නයකි. ඒ ඇතැම් ඒවා අප රටේ වවනවාට වඩා පිටින් ගෙන්වීම අතිශයින් ලාභදායක විය හැකි නිසා ය). ආහාර නිශ්පාදනනය සියයට විස්සකින් වැඩි කළ ද ජාතික ආර්ථිකයට ඇති දායකත්වය ඉහළ යනු ඇත්තේ සියයට 1.4 කිනි. ඒ නිසා මිනිසුන් කෘෂි ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම කුමන තත්වයක් යටතේ වුව ද අනිවාර්ය වන්නේ ය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ. “දේශීය හා විදේශීය ගොවි වෙළඳ පොල ඉලක්ක කර ගනිමින් කෘෂි වෘත්තිකයින් 100000 ක් පුහුණු කිරීම සඳහා සිව් අවුරුදු සැලැස්මක්” යනුවෙන් ප්‍රකාශයක් සඳහන් ව ඇත. ඒ කියන්නේ රට රැකියා වලට යැවිය හැකි සේ ඔවුන් පුහුණු කිරීම නම් එහි කිසියම් අර්ථයක් ඇත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ දේශීය කතාවක් ද කියවෙන නිසා ය. කෘෂිකර්මයෙන් මිනිසුන් ඉවත් කළ යුතු ව තිබෙන තැනක තවත් ඊට එක් කිරීමේ තේරුමක් නැති නිසා ය. ඊට අමතරව කෘෂිකර්මයේ දැනට කෘෂිකර්මයේ නියැලෙන පිරිස ඊට වඩා ඵලදායී ක්ෂේත්‍ර වලට යොමු කරන්නට ද වැඩ පිළිවෙළක් ඒ තුළ නැති නිසා ඒ කතාව අනතුරක සේයාවක් මතු කරන නිසා ය.

වෘත්තිකයන් ලක්ෂයක් පුහුණු කිරීම සුළුපටු කාරණයක් නොවේ. එහෙම එකක් ලියන්නට කලින් එහි දිග පළල කල්පනා කළා දැයි මම නොදනිමි. මට මේ ප්‍රකාශය ගැන පමණක් ඇති ප්‍රශ්න මෙසේ ගොනු කරමි.

  • මේ අයට දෙන පුහුණුවේ ඉලක්කය නැතිනම් අරමුණ කුමක් ද?
  • පුහුණුව දෙන්නේ කෙතරම් කාලයකට ද?
  • මේ ලක්ෂයක පිරිස තෝරාගන්නේ කවුරු අතරින් ද?
  • පුහුණුව දෙන්නේ කවුරුන් විසින් ද?
  • ඒ නිසා රටට අත්විය හැකි යැයි අපේක්ෂා කරන ප්‍රතිලාභ මොනවාද?
  • ඒ සඳහා යන වියදම කවරේ ද?
  • ඒ වියදම සඳහා යන අරමුදල් සම්පාදනය කරන්නේ කෙසේ ද?
  • එවන් පුහුණුවක් වෙනුවට වෙනත් සාඵල්‍ය පුහුණු කිරීම් තිබේ දැයි පරීක්ෂා කර බලා තිබේ ද?
  • කෘෂිකර්මය ආර්ථිකයේ දැනට දරන දායකත්වය 4-7% අතර ප්‍රමාණයක ද ඒ සඳහා යොදවා ඇති මිනිස් ශ්‍රම දායකත්වය 30% ඉක්මවන තත්වයක ද තිබිය දී තවදුරටත් මේ ක්ෂේත්‍රයේ පුහුණු කිරීම පිළිබඳ මෙවැනි බරක් තබන්නේ කුමන හේතූන් මත ද?

ඊළග ප්‍රශ්නය ඇත්තේ කෘෂිකර්මයේ ප්‍රතිපත්ති පරිසරයට බලපෑම් කිරීම ය. පරිසර ප්‍රතිපත්ති ඒ ඉදිරියේ අකුලා ගැනීමට සිදු වීම ය. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය උදාහරණයක් හැටියට ගෙන බලමු. කොම්පෝස්ට් පොහොර හදන්නට නම් ගිනිසීරියා වැනි කොළ සහිත ශාක වැවිය යුතු ය. කාබනික ගොවිතැන ලංකාව පුරා ප්‍රචලිත කිරීමට කොතරම් ගිනිසීරියා වැනි පත්‍ර සහිත වගාව කුමන ප්‍රමාණයකින් අවශ්‍ය වේ දැයි අපේ විද්වතුන් ගණන් බලා තිබේ ද? ඒ සඳහා කැලෑ කොපමණ ප්‍රමාණයක් කැපිය යුතු ව තිබේ ද?

මේ කරුණු සලකා බලන විට පෙනී යන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් ද ඒ ප්‍රතිපත්ති විවරණය කරන්නන් ද කෘෂිකර්ම ප්‍රතිපත්තිය හා පරිසරය ප්‍රතිපත්තිය වෙන වෙනම නොව එකට ගෙන සලකා බැලිය යුතු බව ය. මේ ප්‍රතිපත්ති සංශෝධනය විය යුතු බව ය. ඒ කැලෑ ප්‍රමාණය වැඩි කිරීමත් ගොවි බිම් වැඩි කිරීමත් එකට කළ නොහැකි නිසා ය.

මේ කුඩා සටහන මේ ප්‍රතිපත්ති දෙකෙන් එකක් වත් අරබයා කරන පූර්ණ විශ්ලේෂණයක් නොවේ. එසේ කිරීම කෘෂිකර්මය ගැන හා පරිසරය පිළිබඳ මනා දැනුමක් ඇති අය විසින් කළ යුතු ය. අපට කළ හැක්කේ සාමාන්‍ය මිනිසුන් හැටියට මේ ප්‍රතිපත්ති දෙස නැවත බලන්නට විද්වතුන් යොමු කිරීම ය. ඒ සඳහා (අන්වීක්ෂයක් වැනි) මෙවලමක් යෝජනා කිරීම ය.

ප්‍රතිඵල මේ යැයි පෙන්වීම මදි බව ද ඒ සඳහා ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේදැයි පෙන්වා දිය යුතු බව ද අමතර වශයෙන් සඳහන් කරමින් සටහන නතර කරමි. ලස්සන මැතිවරණ ප්‍රකාශ වලට හැමදාමත් රැවටී ඇති ජනතාව මෙයත් ආකර්ෂණීය එකක් ලෙස බාර ගැනීමේ ඉඩකඩ තිබේ. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට ය. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිග පළල ජනතාවට පෙනෙනු ඇත්තේ ද ඇතැම් විට ක්‍රියාත්මක කිරීමේ දී ය. දේශපාලන පක්ෂපාතිත්වය පැත්තකට දමා ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙස විමසිල්ලෙන් බලා අදහස් පල කිරීම ඒ නිසා විද්වතුන්ගේ යුතුකම බව ද අවසාන වශයෙන් මතක් කරමි. එය සුරංගනා කතා කියන්නට අපේක්ෂා කරන සෙසු දේශපාලන බලවේග වලට ද පාඩමක් අභියෝගයක් වනු ඇත.

සංස්කෘතිය කර තබා ගැනීම

See the source image

ලාල්කාන්ත සහෝදරයා දෙරණ 360 ට සහභාගී වෙමින් කීවේ රටේ සංස්කෘතියට තමන් හා තමන් නියෝජනය කරන දේශපාලනය බලවේග ගරු කරන බවත් ඒ සංස්කෘතිය පවත්වා ගෙන යමින් ඒ ඇතුළත කළ හැකි දේ කරන බවත් ය. ඔහු නොකියා කීවේ පවතින සංස්කෘතියට අභියෝග කිරීමට ඔවුන්ට වුවමනාවක් නැති බව ය. භාවිතා කළ වචන ඒවා ම නොවෙතත් ඉදිරිපත් කළ පණිවුඩයේ මුඛ්‍ය අදහස එය ය.

එක්කෝ ඒ ඔවුන්ගේ සැබෑ හැඟීම ය. නැතිනම් මිනිසුන් ඉදිරියේ ගැලවීම උදෙසා කරන අවැදගත් ප්‍රකාශයක් ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන්නේ එය දෙවැන්න නම් ය. ඒ එය බොරුවට කීවා නම් ය. එහෙත් මට ප්‍රශ්නයක් වන්නේ ඒ කතාව ඇත්තට කීවා නම් ය. බොරුවට කීවා නම් වැරැද්ද බොරු කීම පමණ ය. ඇත්තට කිව්වා නම් වැරැද්ද වනුයේ රටේ වත්මන් ගැට‍ළු තව තවත් වර්ධනය වීම විනා රටට පිටිවහලක් එතුමා නියෝජනය කරන දේශපාලනයෙන් රටට නොලැබී යෑම ය.

මගේ අදහසේ හැටියට ලංකාව අද මුහුණ දී ඇති අර්බුදයට මූලික හේතුව මිනිසුන්ගේ සංස්කෘතික මනස ය. අපේ මිනිසුන්ට ඔවුන් රැක බලා ගැනීමට රජ කෙනෙකු වුවමනා ය. කාගෙන් රැක බලා ගැනීමට ද? තමන්ගේ නොවන අයගෙන් (පරයන්ගෙන්) රැක බලා ගැනීමට ය. තමන් නොවන අනෙකාගෙන් රැක බලා ගැනීමට ය. ඒ අනෙකා විවිධ ජනවර්ග, විවිධ ආගම්, විවිධ කුල ආදී ලෙස විවිධ ස්වරූප ගන්නට පුළුවන. ඊට අමතරව ඒ තැනැත්තා තමන්ගේ කටයුතු අවුරුවන, නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන නිලධාරියෙකු හෝ ආයතනයක් වන්නට ද පුළුවන. අවශ්‍ය වන්නේ ඒ අයගෙන් නිදහස ලබා දීම ය. ආරක්ෂාව ලබා දීම ය. ඒ සඳහා ඉහළ මිලක් වුව ගෙවන්නට ඔවුන් සූදානම් ය. රජ්ජුරුවන් හොරකම් කළත් අහක බලා ගන්නට ඔවුන් සූදානම් ය.

ඒ සංස්කෘතික මනසට අනුව තනතුරු තියෙන්නේ ඒ තනතුරට අයිති භූමිකාව කිරීමට පමණක් නොවේ. එය භාවිතා කරමින් තමන්ට තමන්ගේ පවුලේ අයට හිතවතුන්ට ගම් පළාතට, ඉගෙන ගත්ත පාසලට, උදව් පදව් කිරීමට ය. ආණ්ඩුවේ කාර්යාලයකට යන්නට මත්තෙන් බොහෝ දෙනාට අඳුනන අය සොයන්නට සිදු වන්නේ ඒ නිසා ය. තනතුරුවලට පමණක් නොව සියලු පොදු චංචල නිශ්චල දේපළ සම්බන්ධයෙන් ද එය අදාළ ය. රජයේ ඉඩම් තියෙන්නේ භුක්තියට ගැනීමට ය. හන්දි තිබෙන්නේ බුදු පිළිම සිට වීමට ය. පාර තියෙන්නේ කෙළ ගැසීමට ය. තමන්ගේ කුණු අතහැර දැමීමට ය.

ඒ සංස්කෘතික මනසට අනුව බහුතරයට අයත් නොවන අය සිටිය යුත්තේ බහුතරයේ කැමැත්ත ලැබෙන සීමාව තුළ ය. ඔවුන් බහුතරයට යටත් විය යුතු ය. බහුතරය කැමති නම් මහ රාත්‍රිය නිදි වරා ගෙන සෙස්සන් ද පිරිත් ඇසිය යුතු ය. කණ පැලෙන්න තරමට බණ ඇසිය යුතු ය. ඒවා ගැන වෙනම නීති ඇතත් ක්‍රියාත්මක කරන්නට ගියොත් ලෙඩේ ය. නීතියේ පිළිසරණ පතන්නට ගියොත් ඊටත් වඩා ලෙඩේ ය.

ඒ සංස්කෘතික මනසට අනුව මේ සිංහල බෞද්ධ රටකි. රටක් බෞද්ධ වන්නේ කෙසේ දැයි අතුරු ප්‍රශ්න නොඅසා ඒ බව අප විසින් පිළි ගත යුතු ය. සෙසු ජනවර්ගයන්ට ආගම්වලට දෙවැනි තැන හිමි වන බව දැන ඒ අය වැඩ කළ යුතු ය.

ඒ සංස්කෘතික මනසට අනුව එලි පහලියේ මුත්‍රා කිරීම අශෝභන නොවන මුත් ආදරයෙන් බැඳුනු යුවලක් ආලිංගන නොපෑ යුතු ය. එකිනෙකාට හාදු නොදිය යූතු ය. ඒවා කැත වැඩ ය. අශෝභන වැඩ ය.

ඒ සංස්කෘතික මනසට අනුව සිවුරේ ඉන්නා පුද්ගලයා කවරෙකු වුව ද සිවුරට ගරු කළ යුතු ය. බුදු දහමේ කියන බොහෝ දේ ප්‍රසිද්ධියේ කඩ කළ ද ඒවා අමතක කොට සිවුරට ගරු කළ යුතු ය. භික්ෂූත්වයට ගරු කළ යුතු ය. එයින් නොනැවතී වැඩිහිටියන්ට ද ගරු කළ යුතු ය. ඔවුන්ගේ චරිතය ගැන හොඳ නරක ගැන නොසළකා වැඩිහිටියන්ට ගරු කළ යුතු ය. වන්දනා මාන කළ යුතු ය. ඒ අනුව උස් තැන් දුටු විට හැකිලීමට අප විසින් වග බලා ගත යුතු ය.

ඒ සංස්කෘතික මනසට අනුව අඩු කුලයේ අය සියම් නිකායේ මහණ කර නොගැනීම බෞද්ධ ඉගැන්වීම් වලට විරුද්ධව යෑමක් නොවේ ය. එය රජ කාලයේ එක් කුලහීන භික්ෂූ නමක් රජුන් නැමදීමට ඉදිරිපත් වීමෙන් ඇති වූ ආරවුල විසඳීම සඳහා ගත්තා වූ ද ඒ නිසා අදට ද අදාළ වන්නාවූ ද ප්‍රායෝගික පියවරකි. ඒවා ගැන ප්‍රශ්න කිරීම ශාසනය දුර්වල කිරීමට හේතු ය. ඒ නිසා මල්වතු අස්ගිරි පාර්ශවයට සෙසු භික්ෂූන්ට ඉහළින් ආසන පැනවීම අහක බලා ගෙන ඉවසා වැදෑරිය යුතු කාරණයකි. මේ මල්වතු අස්ගිරි නාහිමියන් පිළිගත යුත්තේ මහ නාහිමියන් වශයෙනි. ඒ නිසා ඔවුන්ට දණ්ඩ නමස්කාර කිරීම කිසිවෙකු ප්‍රශ්නයක් කර ගත යුතු නැත.

ඒ සංස්කෘතික මනසට අනුව කාන්තාවන්ට දළදා මාලිගයේ ද ශ්‍රී මහා බෝධියේ ද සමහර තැන් අකැප ය. දළදාව ගෙනාවේ හේමමාලී කුමරියගේ කෙස් කළඹා සඟවා ගෙන වුව ද ශ්‍රී මහා බෝධිය අංකුරය මෙරටට ගෙනාවේ සංඝමිත්තා තෙරණිය වුව ද කාන්තාවන්ට ඒ තැන් අකැප ය. කාන්තාවන් දෙකේ කොළේට එසේ දැමීමේ සංස්කෘතිය ගෙදරට ඒ අනුව කැඳවා ගත හැකි ය.

ඒ සංස්කෘතික මනසට අනුව කෘෂිකර්මය රටේ ජාතික නිෂ්පාදනයට දායකත්වය සපයන්නේ 4% ක් වුව ද එය රටේ ප්‍රමුඛ ආර්ථික උපායමාර්ගය කර ගත යුතු ය. වැවයි දාගැබයි ගමයි පන්සලයි රැකෙන්නේ එසේ කළොත් ය. ලොව කිසිදු රටක් තමන්ට අවශ්‍ය සියල්ල නිපදවන්නේ නැති වුනාට ඒ සඳහා අප ඉදිරිපත් විය යුතු ය. අපේ මුතුන් මිත්තන් කළ අයුරින් අප විසින් අපේ බව භෝග ගෙවත්තේ වගා කර ගත යුතු ය. ගමේ අප අත්දුටු ස්වයං පෝෂණය වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ය.

ඒ සංස්කෘතික මනසට අනුව අප කඳු විය යුතු නැත. සුනිල් දිය දහර ගලන තැනිතලාවන් ලෙස ම පැවතිය යුතු ය. එයට අනුව සාමය ඇත්තේ පිදුරු සෙවිලි කළ පැල්පතේ වන අතර පැදුරේ ඉන්නා විට බිමට වැටෙන්නේ නැත.

ඒ සංස්කෘතික මනසට අනුව දරුවන්ට දුවන්න හොඳ නැත. ගස් නගින්නට හොඳ නැත. වැටෙන්නට, එසේ වැටී තුවාල කර ගන්නට, ඉඩ තිබෙන නිසා ය. පරයින් විශ්වාස කරන්නට හොඳ නැත. උන් ඉනා බෙහෙත් දෙන්නට පුළුවන් නිසා ය. කෙම්මුර දවසට පරිස්සම් විය යුතු ය. යකුන් කලබල වෙන දවස් නිසා ය. ගොම්මන් වැටෙන වෙලාවට තනි පංගලේ යන්නට හොඳ නැත. කළු කුමාරයා ඉන්නා නිසා ය. සැප සම්පත් පෙන්නන්නට හොඳ නැත. ඇති හැකි දේ සඟවා ගත යුතු ය. ඇස් වහ කට වහ වදින නිසා ය. හූනෙක් චික් චික් ගෑවත් පටන් ගත් වැඩේ අත්හළ යුතු ය. කොටින් ම අවදානම් ගන්නා වැඩ කරන්නට හොඳ නැත. ඒ කෙළ වන්නට ඉඩ ඇති නිසා ය.

ඒ සංස්කෘතික මනසට අනුව වෙළෙන්දා ඉන්නේ, ව්‍යාපාරිකයා ඉන්නේ, සෙසු අය සූරා කන්නට ය. ඒ නිසා වෙළෙන්දෙක් ව්‍යාපාරිකයෙක් වෙන එක පව්කාර ය. කරන්නට තිබෙන්නේ රස්සාවක් කර ගෙන පොඩියට ජීවත් වීමට ය. රස්සා දෙන්නට ද ව්‍යාපාරිකයන් සිටිය යුතු නොවේදැයි සිතන්නට ඔ්නෑ නැත. ඒ සඳහා ආණ්ඩුව හිටියහම ඇති ය. ආණ්ඩුවේ රස්සාවල් ම ඉල්ලන්නේ ඒ නිසා විය හැකි ය. කොහොමටත් ඒ මනස ඔ්නෑවට වඩා සිතීම අනුමත කරන්නේ නැත. කළ යුත්තේ සම්ප්‍රදායට අනුව මුතුන් මිත්තන් කළ කී දේ අනුව ජීවත් වීම ය. ඒ පිළිවෙත් දිගටම ප්‍රශ්න නොකර අනුගමනය කිරීම ය.

ඒ සංස්කෘතික මනසට අනුව ගුරුවරයා ඉන්නේ දරුවන් ගහලා හෝ හදන්න ය. හැඳි නොගා හදන හොද්දත් පහරක් නොගසා හදන ළමයාත් වැඩක් නැත. තියෙන්නේ හොඳින් බැරි නම් නරකින් හෝ හදන්නට ය. ඒ නිසා ඊට අවශ්‍ය බලය වුව හොඳින් නැතිනම් නරකින් හෝ ගත්තාට කමක් නැතැයි නීලා වික්‍රමසිංහට පවා කියා සිටින්නට සිදු වුනේ ය. සංස්කෘතික මනසට තමන් කී දේ නරක යැයි කලා කාරියකට වුව දැනෙන්නට විදිහක් නැත. සමහරු දොස් කීවාට වරද ඇයගේ නොව අප සතු ව ඇති සංස්කෘතික මනසේ ය.

ඒ සංස්කෘතික මනසට අනුව අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ආයුධ පෙන්නන්නට එක්ක යන මුවාවෙන් රැගෙන ගොස් මැරුවා වුව ද පව් නැත. අංගුලිමාල එල්ලුම් ගසේ එල්ලා මිස පස්ස නොබැලිය යුතු ය. ඒ නිසා එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කළ යුතු ය. සතුන් මැරීම පව් කාර වැඩක් වුව ද අපරාධ කාරයින් මැරීම හා පරයින් මැරීම නිසා පව් ලැබෙන්නේ නැත. පන්සිල් සමාදන් නොවූ තුන් සරණය නොගිය අය මිනිසුන් නොවේ ය. මහා වංශය බණ පොතක් සේ අදහන අයට ඒවා මාර සොයා ගැනීම් ය.

අවාසනාවට මේ සංස්කෘතික මනසට අභියෝග නොකර, මේ සංස්කෘතිය ප්‍රශ්න නොකර, කළ හැකි මගුලක් නැත. ටිකක් තනුක කර කියන්නේ නම් කළ හැකි වැඩ අතිශයින් අල්ප ය. අඩු වශයෙන් ලෝකය ඉදිරියේ විගඩමක් නොවී වත් ඉන්නටවත් බැරි ය.

නායකයින් ඉන්නේ ම පවතින සංස්කෘතියට අවශ්‍ය තැන් හි අභියෝග කරන්නට ය. නව සංස්කෘතියක් ගොඩ නගන්නට ය. එසේ නොකර සැබෑ වෙනසක් කළ නොහැකි ය. එසේ නොකොට කළ හැකි එක ම දෙය දැනටමත් ආයාලේ යන මිනිසුන් පසු පස යන තවත් අයාලේ යන මිනිසෙකු වීම ය. සංවිධානයක් වීම ය. අද යුගයේ අවශ්‍යතාව නම්  ඊට වඩා බොහෝ සෙයින් විශාල ය. රට ගොඩ නගන්නට යන දේශපාලන බලවේගයකට ඒ අවබෝධය හෝ දැක්ම නැති වීම රටේ අභාග්‍යයකි.