සංචාරක සටහන් 2

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/09/16/d01_16092019_FRR_CMY.jpg

අමුතු ද්වීපය තුළ බෞද්ධ විහාරස්ථාන බොහෝ ය. ඒවා සංචාරක ආකර්ෂණය දිනන තැන් ය. මනරම් චිත්‍රයෙන් විචිත්‍ර ය. මූර්ති ශිල්පීන්ගේ විශ්ම කර්ම වැඩ වලින් අනූන ය. ඒ නිසා ම මගේ සංචාරයේ දී එවන් ස්ථාන සොයා මම මේ ද්වීපය පීරුවෙමි.

ලංකාවේ පන්සල් අතිශය සන්සුන් පරිසරයකට හිමිකම් කීව ද මේ රටේ නම් එසේ වූයේ නැත. කලාවෙන් පරිපූර්ණ වුව ද සාමයෙන් නම් ඒවායේ ගන්න දෙයක් නැත. එක පන්සලකට අඩිය ගැසූ සැණින් ඇසුණු මරලතෝනියකින් මා පස්සට විසි කෙරුනේ ය.

බුදු අම්මෝ ගහන්න එපා යැයි යන කට හඩ කුඩා පිරිමි දරුවෙකුගේ ය. කටහඩ මිස සිදු වන දේ මා ඉන්නා තැනට පෙනුනේ නැත. කට හඩ ආ දෙසට මගේ පය ඉක්මන් කෙරුනේ වැඩි මනත් හිතා නොවේ.

දුටු දර්ශනයෙන් මම වික්ෂිප්ත වීමි. නැඩ පුරුෂයෙකු සිවුරු පැළඳි කුඩා දරුවෙකුට ගසමින් සිටියේ ය. ටික වෙලාවකින් ලඟ සිටි තවත් එවැනි සිවුරක් පැළඳි ළමයෙකුට ද පහර වැදුනේ ය.

සිවුරක් පැළඳ ගත්තාට මේ මහණ දම් පුරණ සාමනේර වහන්සේලා දෙනමක් නම් නොවිය හැකි ය. මට එසේ සිතුනේ බෞද්ධ රටක ගිහියෙක් ස්වාමීන්වහන්සේලාට පහර දෙන එකක් නැත යන සිතිවිල්ල නිසා ය. ඇතැම් විට ගමේ ළමුන් දෙන්නෙක් සෙල්ලමට සිවුරු දාගත්තා වෙන්නට ද පුළුවන. ඒ ගැන කේන්තියෙන් ගමේ වැඩිහිටියෙකු සිවුර සමග සෙල්ලම් නොකරන ලෙස කියා තරවටු කරනවා වෙන්නට පුළුවන. ගැහීම සාධාරණ නැතත් සිවුරු සමග සෙල්ලම් කිරීමට ළමෝ තීරණය කළේ නම් එය වස වැරැද්දකි. එහෙත් මේ තරම් අමානුෂිකව පහර ගැසීම, එවැනි වැරැද්දකට වුව, යුක්ති යුක්ත ද?

තවත් ලං වූ විට පෙනුනේ ළමුන් දෙන්නාගේ කොණ්ඩය තට්ටය හොඳින් පෑදෙන තුරු බූගා ඇති බව යි. එයින් පෙනී ගියේ මේ සාමනේර හාමුදුරු දෙනමක් ම විය හැකි බව ය.

අපේ රටේ නම් මෙතරම් කුඩා ළමුන් මහණ කරන්නේ නැත. එය වෙන එකක් තබා නීතියෙන් තහනම් කරමින් මෑතක දී පනතක් ද පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණ බවක් මට යන්තමින් මතක ය. ඒ බොහෝ කාලයක් තිස්සේ රට තුළ ළමා මහණ කිරීම් හා ළමා විවාහ ගැන ඇති වූ සංවාදයකින් පසුව ය. මේ රට්ටුන්ට ඒ ගැන කියා දිය යුතු ය. අපව අනුගමනය කරන ලෙස කියා සිටිය යුතු ය.

සසරින් එතෙර වීම

අපේ රටේ කලක් ප්‍රචලිතව පැවති මතයකට අනුව දරුවෙකු මහණ කරන්නේ නම් සතර වරිගයටම සසරින් එතෙර වීමට ම ඒ පින ඇති ය. ඒ හාම මට මතක් වුනේ සනත් නන්දසිරි ශූරින් ගයන ගීයකි.

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා
කොහොම ද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

දරුවෙකුගේ සුරතල් ලෝකය වැඩිහිටි මිනිසුන්ගේ ආගමික භක්තිය විසින් සුණු විසුණු කර දැමීමේ කටුකත්වය මේ ගීය මොනවට පැහැදිලි කරන්නේ ය. ලංකාවේ අප විසින් ඉවත් කර ඇති ඒ කටුකත්වය මේ අමුතු ද්වීපය තුළ මම පළමු මට්ටමෙන්ම අත් විඳිමින් සිටින්නෙමි.

අපේ රටේ දරුවන් යම් පමණකට නිදහස ලබා තිබුන ද මේ ද්වීපයේ දරුවන් තවමත් පන්සල් වල ගෙවන්නේ අපා දුකක් බව තේරුම් ගන්නට මේ සිද්ධියම ප්‍රමාණවත් ය. ගිහියන් අතින් පමණක් නොව ලොකු හාමුදුරුවන් අතින් ද ගුටි කන හා වෙනත් අතවරයන්ට ගොදුරු වන පුංචි සාමනේර වරුන් තවම මේ අමුතු ද්වීපයේ සිටින්නට පුළුවන.

කලින් දින මා දැක්කේ බුදුරුවට සමාන රුවක් සහිත සාරියක් ඇඳ සිටි ගැහැණියට දඩුවම් කරන්නට ඉදිරිපත් වුනු භික්ෂූන් වහන්සේ කෙනෙකි. මා අද දකින්නේ සාමනේර හාමුදුරුවන්ට කම්මුල් පහර දෙන ගිහියෙකි. දායක පින්වතෙකි. ගුටි ඇනීම හා කෑම දෙපැත්තට ම සිදු වෙන බවක් ඉන් පෙන්නුම් කෙරෙන්නේ ය.

අපේ යුගයේ මැදිහත් වීම

කුඩා සමනේර වරු බේරා ගන්නට මැදිහත් නොවී එහි සිටි එක් අයෙකු මේ සිද්ධිය වීඩියෝ කරනු දක්නට ලැබුනේ ය. ඒ නම් අප ජීවත් වන මේ කාලයේ හැටි ය. අපරාධ වළක්වන එක ගුටි කන වැඩකි. ඒවා රහසේ වීඩියෝ කිරීම ඒ පමණට අවදානම් නැත. අනෙත් අතට එසේ වීඩියෝ කිරීම ආතල් ය. පසුව මුහුණු පොතේ ආඩම්බරයෙන් බෙදා ගත හැකි ය. අන්තර්ජාලයට මුදා හැරිය හැකි ය.

මට මැදිහත් වීමට අවශ්‍ය වුව ද මගේ දෙපා පණ නැතිව තිබුනේ ය. අත් ගල්ව තිබුනේ ය. මට ශරීරය සෙලවිය නොහැකි විය.

මේ හිංසනය තවදුරටත් ඉවසා දරා ගත නුහුණු කෙනෙකු ඉදිරිපත් වී අපරාධ කරුවා ඉවත් කරගනු ලැබිණි.

“මුන් දෙන්න මගෙ කඩෙන් ටොෆි චොකලට් හොරකම් කරනව මං ඇස් දෙකට දැක්කා. මහ ලොකුවට මහණ වෙලා ඉන්නෙ. දැම්ම ම සිල්පද කඩනව නම් ලොකු වෙන කොට මොනව නොකරාවි ද? මුන්ව හදා ගන්න ලොකු හාමුදුරුවන්ට බැරි නම් අපිවත් හදන්න එපා යැ”. අමානුෂික ප්‍රහාරය කළ පුද්ගලයා සමාවට කාරණා ද කීවේ ය.

අපේ රටේ නම් හොරකමක් සිදු කළ විට මිනිසුන් හොරාට දඩුවම් කරන්නේ නැත. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලීසියක් සිටින නිසා අප කරන්නේ හොරා අල්ලා පොලීසියට බාර දීම ය. නීති ප්‍රකාරව නඩු අසා සාක්කි විමසා දඩුවම් කරන්නේ උසාවිය ය. අප වැනි ශිෂ්ඨ රටවල වැඩ සිද්ධ වෙන විදිහට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට මේ දූපත් වල වැඩ සිද්ධ වන බව පෙනෙන්නේ ය. හාමුදුරුවන් කලින් දවසේ බුදු රුවට සමාන රුවක් සහිත සාරියක් ඇඳ සිටි ගැහැණුන් දෙන්නා අල්ලා පොලීසියට දුන්නේ උන් ගැහැණුන් නිසා ය. පිරිමියෙකු නම් කීවේ එතැනම අල්ලා පොළොවේ ගසන බව ය. ඇතැම් විට මේ රටේ පොලීසිය හා නීතිය ඉන්නේ ගැහැණුන්ට දඩුවම් කිරීමට පමණක් වෙන්නට පුළුවන. රටවල් විවිධ ය. පිරිමින්ට දඩුවම් කරන්නට මිනිසුන් පෙළඹෙන්නේ පොලීසිය පිරිමින්ට දඩුවම් නොකරන නිසා විය හැකි ය.

කඩ කර ඇත්තේ දෙවැනි සිල්පදය ය. මේ සාමනේර හිමිවරු ද ලොකු හාමුදුරුවන් නැති ඇතැම් දවසක ගිහියන්ට  පන්සිල් දෙනවා වෙන්නට පුළුවන. මේ සිද්ධියෙන් පෙනෙන්නේ ඒ පන්සිල් වල තේරුම දැන ගෙන නම් නොවිය හැකි බව ය.

පන්සිල් ගන්න අය ඒ සිල්පද ආරක්ෂා කරන්නේ නැත. පන්සිල් දෙන ඇතැම් අය ද එසේ නොකරන බව දන්නේ පන්සලේ ම ඉන්නා පන්සිල් දෙන අය ම වන්නට පුළුවන. අවවාදයට වඩා ආදර්ශය ළමා මනසට ප්‍රබල සන්නිවේදනයක් ඇති කරන්නේ ය. සියල්ල ඒ අනුව සිදු වුනා වන්නට ද පුළුවන.

සේසතම දෙන්නට සූදානම් උවැසියන්ගෙන් ටොෆියක් ගත්තාට එහෙමට වැරැද්දක් නොවේ යැයි මේ සාමනේර හාමුදුරුවන් සිතුවා වන්නට ද පුළුවන. උපාසික උපාසිකාවන් දන් දෙන්නේ ලවක් දෙවක් නැතිව ය. එහෙම වටපිටාවක ටොෆියක් අනුන්ගේ දේපලක් ලෙස නොසළකන්නට ඉඩකුත් සාමනේරයන් වහන්සේලාට තිබෙන්නේ ය.

උවැසියන්ගේ අදහස්

“යමක් කමක් නොතේරෙන පුංචි දරුවන් මහණ කරහම උන්ට දුක් විඳින්න වෙනවා විතරක් නෙවෙයි. ශාසනේටත් නව නිග්‍රහ විඳින්න වෙනව. හාමුදුරු නමක් හොරකම් කළා කියන්නෙ නව නිග්ගරහයක් නොවෙයි ද?” ඒ එක උවැසියක‌ගේ මතය ය. එම උපාසිකාවට වඩාත් දැඩිව දැනී ඇත්තේ මෙයින් ආගමට වන හානිය ය.

“ලොකු වෙල මහණ වෙන අය අඩු යි. පුංචි කාලෙ මහණ කරහම හීරළුවෙකු වෙලා සමාජයට මුහුණ දෙන්න බැරි නිසා බොහෝ දෙනෙක් කොහොම හරි කාගෙන ඉන්නව. ශාසනේ නැතිවුනොත් කවුද බුද්ධාගම ගෙනියන්නෙ? මං කියන්නෙ අපට පාංශකූලෙකටවත් ගෙන්න ගන්නා හාමුදුරු කෙනෙකු වුවමනා නැද්ද? මෙහෙම ගියොත් ඒවත් ආනයනය කරන්නයි වෙන්නෙ, උපසම්පදාව වගේ”. ඒ තව උවැසියකගේ මතය ය. ඒ උපාසිකාව ප්‍රකාශ කර සිටින්නේ පන්සලේ හාමුදුරුවන්ගෙන් තමන්ට ලැබෙමින් තිබෙන සේවාව හා ලාභය නැති වේය යන බිය ය.

“පව්, ගෙදර හිටිය නම් අඩල දොඩල හරි පැණි රසක් ඉල්ල ගෙන කන වයසනෙ. මාත් අම්මට හොරා සීනි කාල තියෙනව. මොකෝ මහණ වුනා කියල ඒ වුවමනා නැති වෙනව ද? මොකද ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලන්න ද?” ඒ තවත් මතයකි. ඒ කතාව දරුවන් ඉන්නා උන්ට ආදරේ අම්මා කෙනෙකු ගෙනි. එහෙත් ඇයට කළ හැකි දෙයක් නැත. කළ හැකි දෙයක් පෙනෙන්නේ ද නැත. හැක්කේ වේදනාව ප්‍රකාශ කිරීමට පමණ ය.

“මම හිතා ගත්තා ඊළග දානෙට ටොෆි චොකලට් ටිකකුත් එකතු කරන්න”. ඒත් අම්මා කෙනෙකුගෙනි. තමන්ට කළ හැකි, කළ යුතු, දෙයක් ඇතැයි සිතනා අම්මා කෙනෙකුගෙනි. මහණ කම රැක ගන්නා අතරම මව් සෙනෙහස දෙන්නට ද වැඩ පිළිවෙලක් හදන්නට පුළුවන් යැයි සාධනීය ව සිතන අම්මා කෙනෙකුගෙනි.

ඒ අම්මාට ලමා මහණවීම් නවත්වන්නට අවශ්‍ය යැයි හැඟෙන්නේ නැත. එහෙත් ඇය කුඩා දරුවාගේ වුවමනාව ගැන සංවේදී ය. රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමට නම් ටොෆි චොකලට් ද දානයට එකතු කළ යුතු ය. ඇය සිතන්නේ එසේ ය.

එක උපාසක මහතෙකු කියා සිටියේ දානයක් සඳහා අවශ්‍ය කුමක්දැයි ඇසූ විට සාමනේර හාමුදුරුනමක් ඉල්ලා සිටියේ වතුර විදින සෙල්ලම් පිස්තෝලයක් බව ය. ඒත් එවැන්නක් දානයට දුන්නා ද නැද්ද යැයි ඔහු කීවේ නැත. කිසිවෙකු ඔහුගෙන් විමසන්නට ගියේ ද නැත.

සුරඟනන් පෙන්නා රවටාගෙන නන්ද කුමරු මහණ කර ගත්තා නම්, සෙල්ලම් පිස්තෝලයක් දී, දරුවා ශාසනය තුළ රඳවා නොගත යුත්තේ ඇයි ද යන සාධාරණ ප්‍රශ්නය මගේ සිතට ද පැමිණියේ ය.

ගිය වතාවේ බුදු රුව සහිත සාරිය ගැන පොලීසියට කියන්නට භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් වූ නමුදු මේ සිද්ධිය පොලීසියට වාර්ථා කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. දරුවෙකුට වැඩිහිටියෙකු විසින් තැලීම මේ රටේ මිනිසුන්ට එහෙමට කාරණයක් නොවනවා විය හැකි ය. අපේ රටේ නම් ළමා හිංසනයට තිත වැටී හමාර ය. ළමයින්ට ශාරීරික අඩම්තේට්ටම් කිරීම නීතියෙන් තහනම් ය. වැඩිහිටියෙකු උස්සා පොළොවේ ගැසීමට අවසර තියෙන රටක ළමයෙකුට කම්මුල් පහර කීපයක් දීම එක් අතකට අරුමයක් විය නොහැකි ය. එහෙම බැලුවහම මේ අමුතු ද්වීපයේ මිනිසුන්ට අපේ රටින් ඉගෙන ගන්නට බොහෝ දේ තිබේ.

මට බුදුන් වැඳීම ද මේ සිද්ධිය නිසා එපා වී තිබුනේ ය. මම හැකි ඉක්මණින් එතැනින් නික්මුණෙමි.

පසුදා ඒ රටේ පත්තර වල මේ සිද්ධිය ගැන පලවී තිබුනේ ය. ඒ සමාජ ජාලා හරහා මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා ද සංසරණය වූ පහර දීම සටහන් වූ වීඩියෝව නිසා ය. පොලීසියට තොරතුරු ලැබී තිබුනේ ද ඒවා ඇසුරෙන් බව ප්‍රවෘත්තියේ  සඳහන් ව තිබිණි. ඒ තොරතුරු ඔස්සේ ගොස් ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකි ව තිබේ. ඒ ප්‍රවෘත්තිය වුව ද යම් අස්වැසිල්ලකට කරුණක් වූ බව සැබෑ ය.

 

නව ආරක දානයක්

එහෙත් මේ තොරතුරු නිසා සිදු විය හැකි උපරිම දෙය ලෙස මට පෙනුනේ සාමනේරවරුන්ට දානය පිරිනැමීමේදී ටොෆි චොකලට් දීමට අධිෂ්ඨාන කොටගත් උපාසිකාවන් ටිකක් බිහිවීම පමණ ය. ළමුන් මහණ කිරීම නිසා උන් විඳින වේදනා එලෙසම පවතිනු ඇත්තේ ය. ඒවා ටොෆි චොකලට් වලින් පමණක් සමනය කළ හැකි යැයි සිතීම ම මගේ දුකට හේතුවකි.

ඒත් මා මේ රටට පැමිණියේ රට හදන්නට නොවේ. හදන්නට අවශ්‍ය නම් ඒ සඳහා රටක් ම මට ලංකාවේ තිබේ. එසේ වුව ද මගේ මට්ටමෙන් කළ හැකි තවත් යමක් ඇද්දැයි මම කල්පනා කළෙමි.

මගේ මතකයට එකවර ආවේ ජපානයයි. එහි එක් පන්සලක ධර්මදේශනා කිරීමේ කාර්යය පවරා තිබුනේ රොබෝ හාමුදුරු නමකට ය. හාමුදුරුවන් හොයා ගැනීම අපහසු නම්, අමුතු ද්වීපයේ වැසියන්ට, කුඩා ළමුන්ට දුක් නොදී, හොරකම් නොකරන රොබෝ හාමුදුරුවරුන් බිහි කළ හැකි ය. හොරකම් කිරීමෙන් පමණක් නොව, පස් පවින්ම වැළකෙන, එයිනුත් නොනැවතී, කෝටියක් සංවර ශීලයන්ම රැක ගත හැකි, තවත් සවිස්තරාත්මකව කියන්නේ නම්  කැත නැතිව වැඳිය හැකි, රොබෝ හාමුදුරුවන් පවා බිහි කළ හැකි ය.

එහෙත් දරුවන්ගේ කර මතින් සසරින් එගොඩ වන්නට සිතා සිටින, සතර වරිගයට මෙය ඒත්තු ගැන්විය හැකි විසඳුමක් වනු ඇද්ද? සසරින් එතෙර වීම සඳහා දරුවෙකු වෙනුවට රොබෝ කෙනෙකු ශාසනයට පූජා කිරීම වුව ප්‍රමාණවත්ය යන පණිවුඩය ගෙන යා හැකි නම් සියල්ලම ගොඩ ය. අවශ්‍ය වන්නේ එය එසේ ම බව කියන්නට දිව නමා ගත හැකි සංඝයා වහන්සේ නමකි. ඒත් ඒ සියල්ලට කාලය වැය වනු ඇත. හෙට මහණ කරන දරුවන් විෂයයෙහි ලා එයින් ලද හැක්කේ මද ප්‍රයෝජනයකි.

දරුවන් සම්බන්ධයෙන් අපේ වැඩිහිටි පරපුර කර ඇති අමානුෂික මැදිහත් වීම් සම්බන්ධයෙන් උන්ගෙන් සමාව අයදිනු හැර කළ හැකි වෙනත් යමක් මේ මොහොතේ මට සිහි නොවේ.

යුද්ධයේ වැඩි ම ආදිනව විඳින්නේ ඔවුන් ය. ගෘහස්ථ හිංසනයේ වැඩිම පීඩාව විඳීන්නේ උන් ය. කුඩා කල මහණ කිරීමට පමණක් නොව කසාද බන්දා දීම නිසා සිදුවන සියළු අකරතැබ්බයන්ට ලක් වන්නේ ද ඔවුන් ය. පාසල, පන්සල, පල්ලිය, කෝවිල හා සමාජය තුළ වඩාත් ම දැඩි ලෙස අපයෝජනයට ලක් වන්නේ ඔවුන් ය. අද අප කරන්නාවූ පරිසර විනාශයේ දරුණු විපාක ද අවසානයේ විඳින්නට සිදු වන්නේ ද ඔවුන්ට ය.

ගෙවා නිම කළ නොහැකි වන්දියක්

ගෙවිය යුතුව ඇත්තේ ය

දෙපා නැමද අයදිමි සමාව

නිම කරන්නට නොහැකි වූ මෙහෙයට

සිහිනෙන් මා නැගිටින විට මා වැඳ ගෙන සිටියේ ගුටි කෑ දරු දෙදෙනාට ය. නැත. ටොෆි චොකලට් හොරකම් කළ සාමනේර හිමි දෙනමට ය. මා වැන්දේ ඒ දෙවර්ගයෙන් කුමන අයට දැයි තේරුම් බේරුම් කර ගැනීමට මට අවශ්‍ය නැත. වැඳීමත් සමාව ගැනීමත් නිසා මගේ හිත මඳක් සැනසිනි. තාවකාලික වුව ද එය අස්වැසිල්ලකි. එය මට දැනට ප්‍රමාණවත් ය.

අපරාධය හා දඩුවම

අට දෙනෙකු සුදු වෑන් වලින් උස්සාගෙන ගියේ නම් දෙසිය පනහක් බේරා ගන්නට තිබුණු බව මූණු පොතේ සටහනක දැක්කෙමි. පසුව පෙනී ගියේ එය මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ම කියමනකින් උත්තේජනය ලද සටහනක් බව ය. එය එක අතකට පුදුම වෙන්නට දෙයක් නැත. මිටියක් අතැති මිනිසෙකු බලන්නේ සියල්ල මිටියෙන් විසඳන්නට ය. මිනිස් ජීවිත උදුරා ගන්නට බලය ඇතිව සිටි මිනිසුන් ඒ නිසා ම එසේ මැරීමෙන් ප්‍රශ්න විසඳන්නට කල්පනා කිරීම පුදුමයට කරුණක් නොවේ.

සුදු වෑන් වල අරන් ගිය අය කවුරුන් ද? ඒත් එවැනි අපරාධ කරුවන් ද? යන අමතර ප්‍රශ්න ද අපට මතු කළ හැකි ය. අපේ අරමුණ සුදු වෑන් ගැන නිගමනයකට බැසීම ම නොවේ. ඒ හරහා කියන්නට යන වඩාත් වැදගත් ප්‍රශ්නය තෝරා බේරා ගන්නට ය. අපරාධය හා දඩුවම අතර සම්බන්ධය බේරා ගැනීමට ය.

ඒ සටහන පාස්කු ඉරිදා සිද්ධිය ද සම්බන්ධ කරගෙන අපරාධ කරුවන්ට නීතියෙන් පිටින් ගොස් හෝ දඩුවම් දීමේ වැදගත් කම මතු කරන්නට කළ වෑයමකි. ඒ නිසා ම සුදු වෑන් මතු කරන අමතර ප්‍රශ්න මග හැර අපරාධයට සුදු වෑන් දඩුවම් පිළිබඳ, වඩාත් නිශ්චිතව කියන්නේ නම්, නීතියෙන් පිට ගොසින් කරන දඩුවම් පිළිබඳ, කතාවට සීමා වෙමින් මේ සටහන ලියන්නට අදහස් කළෙමි.

අපරාධ නැති කළ යුතු ය. අපරාධ කරන්නන්ට දඩුවම් ලැබිය යුතු ය. ඒ දෙකටම විවාදයක් නැතිව ම අප එකඟ ය. එහෙත් දඩුවම් දීමෙන් අපරාධ නැති කළ හැකිය යන ප්‍රකාශය නම් තවදුරටත් විමසිය යුතු ය. අපරාධ නීතියෙන් පිටින් ගොස් දඩුවම් කිරීමෙන් වැළැක්වීමට තැත් කිරීමේ ආදීනව ද වෙනම විමසිය යුතු ය. මේ සටහන ඒ විමසීම් දෙකම වෙනුවෙනි.

ඒ විමසීම් සඳහා අප කැමති බිංදුවෙන් පටන් ගන්නට ය. හිස් කොලයක ලියා දක්වන්න ය. බුදුන් දුක නැති කිරීම සඳහා යොදා ගන්නා ලද ක්‍රම වේදයෙන් මෙහිදී අපට ගුරුහරුකම් ලද හැකි ය.

බුදුන් වහන්සේ කල්පනා කළේ ලෝ වැසියන් දුකින් මුදවා ගැනීමට ය. උන්වහන්සේ ඒ සඳහා යොදා ගත්තේ සිව් වැදෑරුම් ක්‍රම වේදයකි. පළමුව දුක කවරක් දැයි හඳුනා ගැනීම ය. දෙවනුව දුකට හේතුව හඳුනා ගැනීම ය. තෙවනුව එම හේතුව නැති කිරීම හරහා දුක නැති කළ යුතු යැයි හඳුනා ගැනීම ය. සිව්වෙනුව දුක නැති කිරීමේ මාර්ගය හඳුනා ගැනීම ය.

අපරාධ සම්බන්ධයෙන් ඒ සිව් වැදැරුම් ක්‍රම වේදය භාවිතා කළ හොත් මුලට එන්නේ අපරාධ හඳුනා ගැනීම ය. කෙනෙකු පීඩාවට පත් කරන, කෙනෙකුට හිරිහැරයක් වන, කෙනෙකුට අකටයුත්තක් වන, කෙනෙකුගේ දේ කඩා වඩා ගන්නා, කෙනෙකුගේ ජීවිතය උදුරා ගන්නා, නිදහස උදුරා ගන්නා, සියලු ක්‍රියා වැටෙන්නේ අපරාධ ගණයට ය.

දෙවනුව එන්නේ ඒ අපරාධයන්ට හේතු සොයා ගැනීම ය. ඒ සඳහා කරන ප්‍රයත්නය අවසානයේ නවතිනුයේ මිනිසුන්ගේ අඟ හිඟ කම් තුළ ය. අපරාධ කරන්නේ අඟ හිඟ කම් වලින් පෙලෙන මිනිසුන් ය. අපරාධ සඳහා යොදා ගනු ලබන්නේ ද අඟ හිඟ කම් වලින් පෙලෙන මිනිසුන් ය. දෙවැනි අදහසට එකඟ වන මිනිසුන් පවා පළමු අදහසට එකතු නොවන්නට ඉඩ තිබේ.

හේතුව ඍජු ය. ඇතැම් විට අපරාධ කරන්නේ සල්ලි බාගේ ඇති අය ය. ඔවුන් ඒ සඳහා අතකොලුවක් ලෙස අග හිඟ කම් ඇති මිනිසුන් යොදා ගත්තේ වුව ද අණ එන්නේ අතමිට සරු කෙනෙකුගෙන් ය. හොඳින් සොයා බැලුවොත් පෙනෙන්නේ අත මිට සරු වුනාට ඔවුන්ට ද අඟ හිඟ කම් තිබෙන බව ය. ඒ මුදල් හෝ සැප සම්පත් වලින් නොවේ. චින්තනයෙන් ය. ඔවුන් චින්තනයෙන් දුගී ය. මුදල්  ගැවසුන ද ඔවුන්ගේ ජීවිතය කොහේ හෝ තැනක වැරදී ඇත. එක්කෝ කුඩා කල ලැබිය යුතු ව තිබූ ආදරය අහිමි වී ඇත. නැතිනම් කුඩා කල ඇති වූ මානසික ආතතිය හෝ සමාන කරුණක් නිසා හිත ඔද්දල් වී ඇත. එවැනි යම් හේතුවක් නිසා ඔවුහු ද කිසියම් අඟ හිඟයකින් පෙළෙති. ඒ නැතත් සමහරු මොළයේ රසායනික ද්‍රව්‍ය වල අඟහිඟයකින් ද පෙළෙති. ඒ නිසා ද අපරාධ කරති.

ඇතැම් තැනක අඟහිඟ කම ඇත්තේ සමාජ ක්‍රමය තුළ ය. ආයතන පද්ධතිය තුළ ය. ඇතැම් තැනක එය ඇත්තේ අපරාධ මඩින්නට ඉන්නා යුක්තිය පසිඳලන ආයතන තුළ ය. ඔවුන් විසින් යුක්තිය නිසි ලෙස නොපසිඳලීම තුළ ය. අපරාධ නඩුවක් නිරාකරණය සඳහා සාමාන්‍යයෙන් වසර 17 ක් ගන්නා වූ ද එසේ කිරීමෙන් පසු ද සියයට අනූ පහක අපරාධකරුවන් නිදහස් කර හරින්නා වූ ද ආයතන පද්ධතිය තුළ ය. ඒ නිසා ම යුක්තිය අපේක්ෂාවෙන් ඉවසා බැරිම තැන යුක්තිය තම අතට ගන්නා මිනිස්සු ද අපරාධ කරුවන් වෙති. ඔවුන් ඒ තත්වයට පත් කිරීම ගැන ඒ ආයතන ද හරි හරියට වග කිව යුතු ය. ඒ ආයතන වල ඇති අඟ හිඟ කම් ද වගකිව යුතු ය.

තවත් තැනක අපරාධ සිදු වන්නේ සමාජය තුළ ඇති යුක්තියේ අඟ හිඟ කම් නිසා ය. අකටයුතුකම් අසාධාරණ කම් ඉවසා බැරි ම තැනක ය. තවදුරටත් තමන් වෙනුවෙන් යුක්තියට ඉටු කර ගැනීමට හැකියාවක් තිබෙන ක්‍රමවේදයන්ට නොහැකි යයි තේරුම් ගැනීමෙන් පසු මිනිසුන් පරල වීම නිසා ය. නොමිනිසුන් වීම නිසා ය.

ඇතැම් තැනක අඟ හිඟ කම ඇත්තේ චින්තනයේ බව අපි කීවෙමු. ඒ ඇතැම් තැනක එයට වගකිව යුත්තේ ආගම ය. ආගමික අන්තවාදය ය. තව තැනක දේශපාලනය ය, දේශපාලන අවස්ථාවාදය ය. තව තැනක ගුරුවරු ය, අධ්‍යාපනය ය, යල් පැන ගිය සංස්කෘතිය ය.

අපරාධ ඇති වීමට හේතුව දන්නා අපට දැන් තෙවැනි පියවරට යා හැකි ය. ඒ අපරාධ නැති කිරීමට ය. අවම කිරීමට ය.

අපරාධ අවම කිරීම සඳහා කළ යුත්තේ ඒ අඟහිඟ කම් ඉවත් කිරීම ය. ඒ සියල්ල ඉවත් කරන්නට එකවර බැරි නිසා අපට තාවකාලිකව අපරාධකරුවන්ට දඩුවම් දීමට සිදු විය හැකි ය. එහෙත් දඩුවම් දීමේ දී අප විසින් මතක තබා ගත යුත්තේ අප ඒ කරන්නේ රෝග ලක්ෂණවලට පිලියම් කිරීම විනා රෝග නිධානයට බේත් හේත් කිරීම නොවන බව ය. එයින් අදහස් කරන්නේ රෝගයේ ලක්ෂණ පාලනය කළේ වුව ද රෝගය නැවත නැවතත් මතු වන බව ය. එය දිනෙන් දින වඩ වඩා උග්‍රවන බව ය. රෝග ලක්ෂණ පාලනය කරන්නට නම් මාත්‍රාව නිරන්තරයෙන් වැඩි කළ යුතු බව ය. ඒ නිසා ම වඩාත් දැඩි දඩුවම් යෝජනා වන බව ය.

වෛද්‍යවරයා අනුමත කරන ප්‍රමාණය ඉක්මවා ඖෂධ ගැනීම මාරාන්තික විය හැකි බව ඖෂධ වේදීහු දනිති. එහෙත් සමහර රෝගීන්ට ඉවසුම් නැත. ඔවුන් නිර්දේශ නොකරන ලද බේත්, නොහොත් “සුදු වෑන්“, ඉල්ලන්නේ ඒ නිසා ය. එල්ලුම් ගස ඉල්ලන්නේ ඒ නිසා ය.

වෛද්‍ය විද්‍යාවේ නියමයන්ට පිටු පාමින් එසේ බෙහෙත් නියම කරන වෛද්‍ය වරු ද සිටිති. ඔවුන්ගේ අපේක්ෂාව ඉල්ලුමට සපයන ව්‍යාපාරිකයෙකු වී තම හොද්ද බොර කර ගැනීම ය. ඔවුන් ව්‍යාපාරිකයන් මිසක වෛද්‍යවරුන් හැටියට සළකන්නට බැරි ය.

මත්කුඩු ව්‍යාපාරිකයන් මර්දනය කිරීමට කටයුතු කරන්නට නිල නොවන විධි භාවිතා කරන්නට යෙදුනු ඇතැම් රටවල්වල පාලකයින් ඒ හරහා කළේ මත්ද්‍රව්‍ය වෙළඳ පොලේ ඒකාධිකාරිය ඒ හරහා තමන් වෙත හෝ තමන්ගේ හෙංචයියන් වෙත පවරා ගැනීම හෝ දීම ය. දඩුවම් ලද්දේ තරඟ කාරී ව්‍යාපාරිකයන් ය. සුදු වෑන් වලින් ගෙනියන ලද්දේ ඔවුන්ව ය. ඒවා එලිපිට කරන ලද්දේ ඒ හරහා මහජන මතය ද තමන් වෙත දිනා ගනිමිනි. එහෙත් ඒ අතරේ තමන්ගේ කඳවුරේ මත්කුඩු ජවාරම නීතියේ ආශිර්වාදය යටතේ ම කිරීමට ඔවුහු මං පාදා ගත්හ. ඒ නිසා ම රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒවා වෙනදාටත් වඩා හොඳින් බැබලුනේ ය.

නීතියෙන් බාහිරව අච්චු කරන්නට මැර කණ්ඩායම් වලට බලය පැවරූ විට ඊට අමතරව සිදු වන්නේ අපරාධ කරුවන්ට අච්චු කරන අතරේ, එයට ම මුවා වී, අහිංසක මිනිසුන්ගෙන් ද කප්පම් ගැනීමට වැඩ පිළිවෙලක් ඔවුන් විසින් අටවා ගැනීම ය. එසේ කප්පම් ගෙවීමට මැලි කරන මිනිසුන්ට ද වැඩක් දීමට වග බලා ගැනීම ය. අප රටේ ද යුද්ධය පැවති සමයේ ක්‍රියාක්මත වූ මෙවැනි මාෆියා කණ්ඩායම් විසින් දෙමළ මුස්ලිම් හා සිංහල තරුණයන් මෙසේ පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලා මරා දැමූ කතා තිබේ. එහෙත් අවසානයේ ඒවාට වගකිවයුුතු අයෙක් සිටියේ නැත. ඒ තරමට නීතිය අකුළවා තිබුන නිසා ය. “අපි හොඳ නම් අපට ප්‍රශ්නයක් වෙන එකක් නැතැයි“ කියන අය මේ කතා එක කණකින් අසා අනෙත් කණින් පිට කරන අය ය. ඔවුන් දැන් නිදා සිටින නින්දෙන් ඇහැරෙන්නේ තමන්ගේ හිතේෂීයෙකු මේ සුදුවෑන් කප්පම් කල්ලියකින් පැහැර ගෙන ගිය දාක ය.

පුංචි ආණ්ඩුව කාලයේ දී ද කසිප්පු කාරයින්ට හොරකම් කරනවුන්ට වැඩ වැරදුනේ ය. නීතියට පිටින් ගොස් දඩුවම් ලැබුනේ ය. එහෙත් දඩුවම් ලැබුවේ ඔවුන් පමණක් නොවේ. බොහෝ දෙනෙකුට මග හැරෙන කාරණය නම් නීතියෙන් පිටින් දඩුවම් දෙන වාතාවරණයක කිසිවෙකු සුරක්ෂිත නොවේ ය යන්න ය.

සිදු වූයේ පුංචි ආණ්ඩුවට සම්බන්ධ මිනිසුන් ද සොයා නීතියට පිටින් දඩුවම් කිරීමේ සංස්කෘතියක් ඇති වීම ය. එක එකා මරා දැමීම ය.

පුංචි ආණ්ඩුව බිහි වූයේ ම මර්දනය නිසා ය. අවසානයේ මර්දනය මර්දනය කැඳවූයේ ය. රටම අනතුරට හෙලුනේ ය.

ඒ කාරණා සියල්ලෙන් පෙනෙන්නේ අඟ හිඟ කම් ඉවත් කර අපරාධ අවම කරන තුරු දඩුවම් දීම තිබිය යුතු නමුදු එය නීතියෙන් පරිබාහිරව නොකළ යුතු බව ය. දෙසිය පනහක් බේරා ගැනීමට අට දෙනා කූඩු කිරීම සෑහෙන්නේ ය. ඔවුන්ගේ නඩුව විමසීම හරහා තව බොහෝ දේ සොයා ගැනීමට ද එයින් මග පෑදෙන්නේ ය. මැරුවහම සියල්ල අවසන් වන්නේ, කම්මුතු වන්නේ, නැත. අවසන් වන්නේ තොරතුරු සොයා ගැනීමට ඇති මූලාශ්‍රයන් පමණය ය. ඔලුව කැක්කුම පැනඩොල් පෙත්තෙන් අඩු වූවා යැයි සිතා සිටිය ද මොළයේ ටියුමර් එක බැහැලා වැඩ ය. ජරාජීර්ණ වීම එවිට සිදුවන්නේ ඇතුළතින් ය.

මට මේ මැරීම ගැන කියන විට මතක් වෙන්නේ අපේ තාප්පයේ තිබෙන බෝ පැලය ය. එය කොතරම් කඩා දැම්ම ද නැවත නැවතත් පණ ගසා නැගිටින්නේ ය. කඩා දමන්නේ මුලින් නොවන තාක් එයින් ගැලවෙන්නට මට බැරි ය. එහෙත් මුල සොයා එය කඩා දැමීම අමාරු ය. ඒ නිසා කම්මැලි මා කරන්නේ උඩින් කඩා දැමීම ය. මට මගේ තාප්පය සම්බන්ධයෙන් කම්මැලි විය හැකි මුත් රටේ ත්‍රස්තවාදය හෝ අපරාධ මුළුනුපුටා දැමීම සම්බන්ධයෙන් පාලකයන්ට එසේ කම්මැලි වීමට බැරි ය.

හැත්තෑ එකේ කැරැල්ල මැඩ පවත්වන ලද්දේ ය. එහෙත් එය 87-88 සමයේ නව ආරකින් වඩාත් විනාශකාරී මුහුණුවරකින් මතුව ආවේ ය. ඒ නිසා හේතුව නසන්නට අප ඉටා ගත යුතු ය. හේතුව අඟ හිඟකම් ය. ආර්ථික අඟහිඟ කම පමණක් නොව ආයතනික, මානසික හා සමාජීය අඟ හිඟ කම් ද ඊට ඇතුළත් ය.

නැති කළ යුත්තේ කුමක් දැයි අප දන්නේ නම් අපට සිව්වෙනි පියවරට යා හැකි ය.

සිව්වෙනුව සළකා බැලිය යුත්තේ ත්‍රස්තවාදය හා අපරාධ මැඩලීමේ මාර්ගය ය. එය මේ කියූ විවිධාකාර අඟ හිඟ කම් නැති කර දැමීම හරහා වැටී ඇත්තේ ය. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙන්ම මාවත් අටකින් සමන්විත විය යුතු ය.

පළමු මාවත විවෘත කර ගැනීමට ආර්ථිකය වර්ධනය විය යුතු ය. අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා සහ ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණවත් ලෙස ඇති විය යුතු ය.

දෙවන මාවත විවෘත කර ගැනීමට ආයතන පද්ධතිය ශක්තිමත් කළ යුතු ය. ඒවා ජනතාවට පොලු දමන්නට නොව සේවය කරන්නට සැදී පැහැදී තිබෙන ආයතන බවට වෙනස් විය යුතු ය. ඒ සඳහා ජනතාවට ඒවා විවේචනය කළ හැකි වටපිටාවක් තිබිය යුතු ය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධය පෑමේ අයිතිය හා ඒවායේ සිදු වන අකටයුතුකම් වලට එරෙහිව නීතියේ පිළිසරණ පැතීමේ හැකියාව ඇති කළ යුතු ය.

තෙවන මාවත විවෘත කර ගැනීමට නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතු ය. කිසිවෙකු නීතියට උඩින් නොසිටිය යුතු ය. සැම එක ලෙස නීතියට යටත් විය යුතු ය.

සිව්වන මාවත විවෘත කර ගැනීමට බන්ධනාගාර වල වත්මන පවතින වාතාවරණය මානුෂික වාතාවරණයක් බවට පත් කළ යුතු ය. අපරාධ කරුවන් පුනරුත්ථාපනයට වැඩි බරක් යොමු වන සේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කළ යුතු ය. පොලීසිය ප්‍රතිසංවිධානය විය යුතු ය. මේ ආයතන දෙකේ ම නිලධාරීන්ගේ වැටුප් වැඩිකොට ඔවුන්ගේ  වත්කම් දැඩි පරික්ෂාවට ලක් කළ යුතු ය.

පස්වන මාවත විවෘත කර ගැනීමට අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයන් සිදු විය යුතු ය. සිසුන්ට වන පොත් කරන්නට නොව සිතන්නට ඉඩ හසර සැලසිය යුතු ය. පන්තිය සංවාද සිදු වන ස්ථානයක් විය යුතු ය. පාසල බුද්ධි ගවේෂණයේ මධ්‍යස්ථානයක් විය යුතු ය.

සය වන මාවත විවෘත කර ගැනීමට ආගම වෙනස් විය යුතු ය. ආගම කෙවිටක් නොවී මිනිසුන්ට මග එලි කරන පහන් ටැඹක් බවට පරිවර්ථනය විය යුතු ය. ආගම පවා විචාරයට විවෘත විය යුතු ය. ආගම එකම ජීවිත දර්ශනය නොව තවත් එක් එලිය ලැබිය හැකි මාවතක් බවට පිළිගැනීමක් සමාජය තුළ ඇති විය යුතු ය. ආගමට මුවා වී කරන අකටයුතුකම් මැඩිය යුතු ය. සිවුරට මුවා වී කරන ජඩ වැඩ නතර කළ යුතු ය.

හත් වන මාවත විවෘත කර ගැනීමට මාධ්‍ය භාවිතයේ අති විශාල වෙනසක් සිදු විය යුතු ය. වගකීමකින් ක්‍රියාකරන මාධ්‍යවේදීන් මාධ්‍ය අයිතිකරුවන් ද සිටිය යුතු ය. වගකීම පැහැර හරින මාධ්‍ය වේදීන් ඒ සඳහා ම වෙන්වුනු ජනතා උසාවියකට යොමු කොට ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කරන නීති රීති සම්මත කර ගත යුතු ය. ඒ උසාවියේ සියලු කටයුතු අකුරක් නෑර එම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කළ යුතු බවට ද නීති ගෙන ආ යුතු ය.

අට වන මාවත විවෘත කර ගැනීම සඳහා ව්‍යවස්ථාවේ වෙනසක් සිදු විය යුතු ය. ජනාධිපතිට තිබෙන මුක්තිය අහෝසි කළ යුතු ය. ජනාධිපති ද නීතියට යටත් කළ යුතු ය. මිලියන් ගණන් වලට විකිණෙන්නට මන්ත්‍රීවරුන්ට ඇති ඉඩ අහෝසි කළ යුතු ය. ඒ හරහා නීතිය තමන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට ඔවුන්ට ඇති ඉඩ අහෝසි කළ යුතු ය.

අපරාධ සම්බන්ධ චතුරාර්ය සත්‍යයත් එය මැඩලීමට අවශ්‍ය ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් අනුගමනය කරන්නට මේ රටේ පාලකයින් සූදානම් නම් ඒ සඳහා ඉත සිතින් සහය දෙන්නට ජනතාව සැදී පැහැදී ඉන්නේ නම් අපරාධ අඩු කිරීම කජ්ජක් නොවේ.

අපරාධ නැති කිරීම සඳහා බොහෝ දෙනෙකු යෝජනා කරන මරුවැල අවසානයේ ඔවුන්ගේ ගෙල වටා ද එතීමට ඉඩ ඇතැයි බොහෝ දෙනෙකු දන්නේ නැත. ඒ ෂෝට් කට් සොයන්නට යෑමේ විපාක ය. ප්‍රශ්නයක් දෙස විමසුම් ඇසකින් බැලීමට කම්මැලි වීමේ විපාකය ය.

නෙදර්ලන්තයේ සිර ගෙවල් වසා දමමින් පවතී. එහි අපරාධ පිළිබඳ ආරංචි ලැබෙන්නේ අහම්බයෙනි. ඒ සුදු වෑන් නිසා හෝ පුංචි ආණ්ඩුවේ වැඩ කිඩ නිසා නම් නොවේ. මේ අප කී මාර්ගයන් අනුගමනය කළ නිසා ය.