අරගලයට මොකද වුනේ?

ජනතාව පමණක් නොව අරගලකරුවන් ද මේ වන විට උත්තර සොයන ප්‍රශ්නය “අරගලයට මොකද වුනේ” යන්න ය. තමන්ගේ වැරැද්දක් නැතැයි සිතන බොහෝ අය තම පරාජයන්ට හේතු හොයන්නේ බාහිරින් ය. අරගලකරුවන්ට ද සිදු ව ඇත්තේ එය ම ය. එක් පැත්තකින් අරගලකරුවන් අරගලය පාවා දුන්නේ යැයි රනිල්ට චෝදනා කරන අතර අනිත් පැත්තෙන් තමන් සමග එකට සිට ගන්නේ නැතැයි මේ වන විට ජනතාවට ද චෝදනා කරන්නට පටන් ගෙන තිබේ.

අරගලයේ සටන් පාඨ හා දිශානතිය තත්වානුරූපව වෙනස් වන්නේ නැත්නම් අරගලයට මේ ඉරණම අත් වෙන බවට සටහන් කීපයක් ම වරින් වර තබන්නට අපට සිදු විය. එහෙත් අරගලකරුවන්ට ඒවා කියවීමට වෙලාවක් තිබෙන්නට නැත.

අප මුලින් ම කීවේ කෙතරම් විරෝධයක් දැක්වූව ද ගෝඨාභය ස්වේච්ඡාවෙන් නම් අයින් වන එකක් නැති බව ය. එසේ අයින් වීමෙන් අනාරක්ෂිත වීමට මොළය කළඳක් හෝ ඇත්නම් කෙනෙකු අකමැති වන නිසා ය. අප ඒ නිසා කීවේ ඔහු අයින් වන්නේ නැත්නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හරහා ගෝඨාභය බලතල රහිත ජනාධිපති කෙනෙකු, පාර්ලිමේන්තුවේ හිරකාරයෙකු, බවට පත් කිරීමට හැකි දැයි සොයා බැලිය යුතු බව ය. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට බල කළ යුතු බව ය. එසේ කළ හැකි තත්වයක් ඒ වකවානුවේ තරමක් දුරකට තිබුණු බව අපේ විශ්වාසය විය.

එහෙත් අරගලකරුවන් අනුගමනය කළේ ගෝඨා ගෝ හෝම් යන පරණ සටන් පාඨ දිගින් දිගට කියමින් සිටීම ය. පාර්ලිමේන්තුව වෙනස් වී නැතැයි යන නිගමනයේ දිගින් දිගට සිටීම ය. පාර්ලිමේන්තුව මත අරගලයේ බලපෑම අඩුවෙන් තක්සේරු කිරීම ය. ගෝඨා සිටින ආණ්ඩුවකට එක් වන්නේ නැතැයි කන්‍යා භාවය සොයන බලවේග වල කතාවට වශී වී ඒවාට උඩ ගෙඩි දෙමින් සිටීම ය.

එවැනි බලපෑමක් නැති තත්වයක් යටතේ සහ මැයි 9 දා සිදු වූ සිද්ධි දාමයේ අතුරුඵලයක් ලෙස මහින්ද රාජපක්ෂට අස් වීමට බල කෙරුණු තත්වයක් යටතේ රට තුළ රික්තකයක් බිහි වෙමින් තිබුනේ ය. ඒ රික්තය පුර වන ලද්දේ  කොහේවත් සිටි රනිල් කෙනෙකු විසිනි.

රනිල් නව තත්වයක් නිර්මාණය කළේ ය. සජිත්ට හා අනුරට කලබල වී තමන් ද සූදානම් බවට ප්‍රකාශ නිකුත් කිරීමට සිදු වූයේ ඒ තත්වයට උත්තර හැටියට ය. ඒ වන විට අස්වයා පැන ගොස් ඉවර ය. ඉස්තාලය වහලා වැඩක් නැති තැනකට පත් ව තිබුණේ ය. තිබූ රික්තය රනිල් විසින් හයිජැක් කර තිබුනේ ය.

රනිල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදීමට කළ ආරාධනා කිසිදු පක්ෂයක් විසින් පිලිගත්තේ නැත. ඒ සඳහා ඉදිරිපත් වී අවම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට තිබු ඉඩකඩ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු බලවේග භාවිතා කළේ නැත. අඩු වශයෙන් රනිල්ට විකල්පයක් ලෙස වෙනස් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටවත් කටයුතු කරන්නට තරම් දේශපාලන පරිණතභාවයක් ඒ එක ද බලවේගයකට වත් තිබුනේ නැත. ඒ නිසා රනිල් තහවුරු වුනේ ය. පොදු පෙරමුණ තුළ සිරකරුවෙක් හැටියට ම තහවුරු වුනේ ය.

රනිල් සම්බන්ධයෙන් අරගලකරුවන්ට කරන්නට තිබුණේ බාර ගත්තා නම් මේ මේ දේ කරන්නට යැයි ඔහුට බල කිරීම ය. ඒ සම්බන්ධයෙන් රනිල්ට බලපෑම් කරන ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ වලින් ඉල්ලා සිටීම ය. ඒ අතර 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම ප්‍රධාන වන්නට තිබුණි. ඔවුන් විසින් කළ තිබුණේ ඒ හරහා එක්කෝ අවශ්‍ය සංශෝධන කරවා ගැනීම ය. එසේ නොකරන්නේ නම් රනිල් හා පාර්ලිමේන්තුව පිළිබඳ මහජන විරෝධයක් ඇති කිරීමට කටයුතු කිරීම ය.

ඒ වෙනුවට මැයි 9 දා ම ඔවුන් කළේ අරගලය භූමියට ආ සජිත්ව ද පන්නා දමමින් ප්‍රධාන විපක්ෂය වූ සජබය ගැන පවා තමන්ට විශ්වාසයක් නැති බව පල කිරිම හරහා තවදුරටත් තනි වීම ය.

රනිල්ව පාවිච්චි කරනු වෙනුවට ඔවුන්ට අවශ්‍ය වූයේ රාජපක්ෂලා සමග රනිල් ද පළමු වටයේ ම තොලොංචි කර දැමීම ය. හැකි නම් ඒ ගොඩට තල්ලු කර සජිත්ව ද චකබ්ලාස් කර දැමීමට ය.

රාජපක්ෂට විරුද්ධ බලවේග (පොදු ජන පෙරමුණ තුළ පවා ඒ වන විට හැඩ ගැසෙමින් තිබුණු බලවේග ද) එකතු කර ගනු වෙනුවට ඔවුන් කටයුතු කළේ අති පාරිශුද්ධ සුජාත බලයක් සැදීමට ය. ඔවුන් ගණනය නොකළ සාධකය නම් එවන් කෙසඟ බලවේගයක් ගැන මිනිසුන් විශ්වාසය නොතබන බව ය. අරගලයට අවශ්‍ය තත්වයන් පෙරට ද වඩා මෝරා තිබිය දී මිනිසුන් ඊට එකතු නොවන්නේ ඒ නිසා ය. මේ කෙසඟ බලවේගයට ගෝඨා නම් එලවන්නට බැරි බව මේ වන විට බහුතර ජනතාවකට පැහැදිලි වී තිබේ.

මේ තත්වය විසින් බිහි කරමින් ඇත්තේ අතිශය අරාජික තත්වයකි. පාලකයන්ට එරෙහි ව ගොඩ නැගෙන්නට නියමිත ව තිබූ කෝපාග්නිය තමන් අතර ම ඉන්නා මිනිසුන්ට එල්ල කරන තත්වයකට මිනිසුන් පත් වෙමින් තිබේ.

රනිල්ට හා ජනතාවට චෝදනා කිරීම පසෙක තබා අරගලකරුවන් තමන්ට සිදු වූයේ කුමක් දැයි තමන් ඇතුළතට හැරී බැලිය යුතු ය. සුජාත කෙසඟ ව්‍යාපාරයක් තනනු වෙනුවට පළල් ශක්තිමත් රාජපක්ෂ විරෝධී සටන් පෙරමුණක් සැදීම කෙරෙහි ද අවම වැඩ පිළිවෙළක් සහිත බහුතර පක්ෂ නියෝජනයක් සහිත ආණ්ඩුවක් ගොඩ නැගීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු විය යුතු ය.

අරගලයේ නායකත්වයට අවශ්‍ය පුද්ගලයන් හෝ සංවිධාන නොවේ. වැඩ පිළිවෙළකි. වැඩි දෙනෙකුට එකඟ විය හැකි වැඩි දෙනෙකුට සහභාගී විය හැකි වැඩ පිළිවෙළකි. තමන්ට බලය දෙන්නැයි ඉල්ලනවා මිසක එවන් අවම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරමින් තිබෙන දේශපාලන බලවේග ඒ වටා ගොනු කර ගන්නට කිසිදු සංවිධානයකට තවමත් හැකියාවක් ලැබී නැත. ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද අරගලය ද ජනතාව ද අවසානයේ සමස්ත රට ද ෆේල් ය.

රාජ්‍ය ව්‍යවසා වල ඇති අවුල කුමක් ද?

රාජ්‍ය විසින් ව්‍යාපාරික කටයුතු නොකළ යුතු ය යන්න ධනවාදී ආර්ථික විද්‍යාර්ථීයන් දරන මතයකි. ධනවාදය ගැනත් පොදුවේ ව්‍යාපාරිකයන් ලබන ලාභ ගැනත් අපට ඇත්තේ සොඳුරු හැඟීමක් නොවේ. අප උගෙන ඇත්තේ ලාභය අපුල දෙයක් හැටියට ය. බිස්නස් පවක් හැටියට ය. ඒවා අප ගැට ගසා ඇත්තේ නිහීන කෑදර කමත් සමග ය. ඒ නිසා ඉහත මතය ද අපට දිරවා ගන්නට අමාරු එකකි.

අනෙක් අතට අපට ආණ්ඩුව දැනෙන්නේ අපේ දෙයක් හැටියට ය. මිතුරු දෙයක් හැටියට ය. ලාබෙට යමක් ලැබෙන්නේ, නොමිලේ ලැබෙන්නේ, ආණ්ඩුවේ ආයතනයකින් පමණක් යන්න අපේ අත්දැකීම් අතර එක් ප්‍රධාන අත්දැකීමකි. ඒ නිසා ම සමහරු පෙනී සිටින්නේ ධනවාදී විද්‍යාර්ථීයන් දරන මතයට ප්‍රතිපක්ෂ මතයේ ය. ඒ අයට අනුව අප ඉතිරි ඒවා ද රාජ්‍යයට පවරා ගත යුතු ය.

හැම විට ම ආණ්ඩුවේ වැඩ හා ආයතන හොඳ නොවෙන බව දැන දැනත් අප ආණ්ඩුවට ආණ්ඩුවේ ආයතනය වලට ආදරේ ය. ගෑස් ආණ්ඩුවේ තිබුණු මුල් යුගයේ සිලින්ඩරයක හිමි කරුවෙකු වීමට පවා අවුරුදු ගණන් පෝලිමේ දුක් වින්ද ආකාරය හෝ රාජ්‍ය බැංකු පමණක් තිබුනු කාලයේ ඒවායේ සේවය ලබා ගැනීමට කෑ කට්ට කෙතරම් අප්‍රසන්න ද යන්න හෝ අපට ඒ හැටි මතක නැත. ආණ්ඩුව හා ආණ්ඩුවේ ආයතන සම්බන්ධයෙන් ඇති අපේ බැඳීම සංසාර ගත බැඳීමක් තරමට ප්‍රබල ය. එහෙත් ඒ තත්වය අද වන විට තදින් අභියෝගයට ලක් වෙමින් තිබේ.

ලංකාවේ මෑතක අත්දැකීම රජය විසින් ව්‍යාපාරික කටයුතු නොකළ යුතු ය යන්න සනාථ කරන්නකි. ඒ රාජ්‍ය ව්‍යවසා බහුතරයක් පාඩු ලබන නිසා ය. අකාර්යක්ෂම නිසා ය. ඒවා තුළ ඇති නිලධාරිවාදයෙන් බහුතරයක් සේවා ලාභීන් බැට කන නිසා ය. ලංකාව පමණක් නොව තවත් බොහෝ රටවල් සම්බන්ධයෙන් ද එය සත්‍යය බවට තොරතුරු තිබෙන නිසා ය.

පාඩු ලබන්නේ රාජ්‍ය ව්‍යවසා පමණක් නොවෙතත් දිගින් දිගට පාඩු ලබමින් පවත්වා ගෙන යන්නේ රාජ්‍ය ව්‍යවසා පමණකි. එයට හේතුව රජයට බදු ගැසීමට පමණක් නොව මුදල් අච්චු ගැසීමට ද නීත්‍යනුකූල බලයක් තිබෙන නිසා ය. එසේ එකතු කර ගන්නා මුදල් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසා නඩත්තු කිරීම සඳහා පොම්ප කළ හැකි ව තිබෙන නිසා ය.

රාජ්‍ය ව්‍යවසා පවත්වා ගෙන යනු ලබන්නේ මහජන යහපත උදෙසා යැයි කීව ද බදු බර හා මුදල් අච්චු ගැසීමෙන් අවසාන විශ්ලේෂණයේ දී විඳවන්නේ සාමාන්‍ය ජනතාව ය. ඒ නිසා ම මහජනතාව වෙනුවෙන් මේ ගැන විමසීමට අපට අයිතියක් ද වුවමනාවක් ද තිබේ.

රාජ්‍ය ව්‍යවසා වල අවුල කුමක් ද? ඒවා පාඩු ලබන්නේ මන්ද? ඒවායින් නිසි සේවයක් ලබා ගැනීම අපහසුව ඇත්තේ මන්ද?

පුදුමයකට මෙන් අවුලට හේතුව එය පාලනය කරන්නන්ට පුද්ගලික අයිතිකරුවන්ට මෙන් “ආයතනික” ලාභ අපේක්ෂාවක් නොමැති වීම ය. අප අකමැති “ලාභය” පිළිබඳ වුවමනාව නැති නිසා එය අසාර්ථක යැයි කීම අපට දිරවා ගත නොහැකි බව ඇත්ත ය. එහෙත් ඇත්තත් එය ම ය.

පුද්ගලික ව්‍යවසා වල අයිතිකරුවන්ට ප්‍රතිපක්ෂ ව, රාජ්‍ය ව්‍යවසා පාලනය කරන්නන්ට, ඇත්තේ “ආයතනික ලාභ” අපේක්ෂාව නොව “පෞද්ගලික” ලාභ අපේක්ෂාව ය. එය අප හිතනවාට වඩා දරුණු ය.

රාජ්‍ය ආයතන බොහෝමයක් තිබෙන්නේ ඒවායේ පාලනය බාර ව සිටින අයට හොද්ද බොර කර ගැනීමට ය. කොමිස් හා ‌ටෙන්ඩර් මගඩි ගැන වාර්තා වෙන්නේ ඒ නිසා ය. අති විශාල සේවක සංඛ්‍යාවක් පිළිබඳ වාර්තා වන්නේ ඒ නිසා ය. ඒ සේවකයන් ආයතනයේ කටයුතුවල යොදවනවාට වඩා පාලකයන්ගේ පෞද්ගලික කටයුතු ඉටු කර ගැනීමට යොදවන බවට ආරංචි වන්නේ ඒ නිසා ය. බදු ගැසීමටත් මුදල් අච්චු ගැසීමටත් ආණ්ඩුවක් තිබෙන තුරු මේ කටයුතු බාධාවකින් තොරව කර ගෙන යා හැකි නිසා ලබන අලාභය ගැන ඒ හැටි හිතන්නට වුවමනා නැත. කළ යුත්තේ ලැබෙන පුද්ගලිික “ලාභයෙන්”, යටි මඩි ගැසීමෙන් ලැබෙන අග්‍ර කොටස පිදිය යුත්තන්ට පිදීම පමණ ය.

රාජ්‍ය බැංකු තියෙන්නේ තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට නැවත නොගෙවන ණය ලබා ගැනීමට ය. ගුවන් සේවා තියෙන්නේ තමන් කියන වෙලාවට තමන්ගේ පරපුර සමග ගුවන් ගත වීමට ය. හමුදාව තියෙන්නේ තමන්ගේ හිතෛෂීන්ගේ ඉදිකිරීම් වල වැඩ කරන කම්කරුවන් හැටියට යොදා ගැනීමට ය. තමන්ගේ පරිවාර සේවකයන් හැටියට පාවිච්චි කරන්නට ය.

ආයතනික ලාභ අපේක්ෂා නැති නිසා සේවකයන් අභිප්‍රේරණය කිරීමට ලොකු උනන්දුවක් ඒවායේ පාලනයේ යෙදී ඉන්නා අයට නැත. වැඩට ඇති කැප වීම වෙනුවට පාලකයන්ට ඇති ලැදියාව වරප්‍රසාද ලැබිය හැකි මාර්ගයක් වීම නිසා අභිප්‍රේරණයක් කර ඇත්තේ ආයතනයේ වර්ධනයට සේවා ලාභීන්ගේ වාසියට නොවන බව හොඳින් බලන කෙනෙකුට පෙනී යනු ඇත. අභිප්‍රේරණය කර ඇත්තේ පාලකයන්ට කඩේ යෑම උදෙසා ය. ඔවුන්ගේ වුවමනා එපා කම් ඉටු කර දීම උදෙසා ය.

විගණන නිලධාරීන් ඇතත් ඒ බොහෝ අය ද විගණනය කරන්නේ “ගාණක්” සොයා ගැනීමේ අපේක්ෂාවෙන් මිසක අකටයුතු කම් නැවැත්වීමේ අපේක්ෂාවෙන් නොවේ. ඔවුන්ට ද විගණනයේ යෙදිය හැක්කේ ඉහළ පාලකයන්ගේ ආදායම් මාර්ග නැවැත්වීමට කටයුතු නොකරන තාක් පමණකි. ඒ ඔවුන් ද මාරු කිරීම් වලට යටත් නිසා ය. ඒ නිසා අවංකව රාජකාරි කරන විගණන නිලධාරියෙකුගේ අනාගතය පහසු නැත.

වෙළඳ පොලේ තරගකාරිත්වයකට මුහුණ දෙන පුද්ගලික ආයතනයකට මෙන් නොව ඔවුන්ට සේවා ලාභීන් ගැන ලොකුවට තකන්නට ඔ්නෑ නැත. බොහෝ විට ඔවුන් සේවය සලසන්නේ නැති බැරි අයට ය. ඒ සල්ලි අච්චු ගැසීමට හෝ බදු පැනවීමට බැරි පුද්ගලික අංශයට කරන්නට නොහැකි නොමිලේ සේවා හෝ අඩු මිලට සේවා සැපයීම හරහා ය. නොමිලේ සේවා සපයන රජයේ රෝහල් මීට එක් උදාහරණයකි. ඒවායේ සේවය ලබා ගැනීමේ දුෂ්කරතා කෙතෙකුත් තිබුනත් සල්ලිය බාගෙ නැති අයට වෙනත් විකල්පයක් නැති නිසා ම ඒවා ඒ ආකාරයෙන් පවත්වා ගෙන යා හැකි ය.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් මේ අවුල අපට විසඳා ගත නොහැකි ද? රාජ්‍ය ව්‍යවසා වල අවුල පිළිගන්නා බොහෝ දෙනෙකුගේ ඊළඟ ප්‍රශ්නය එය ය.  

ආයතනික ලාභය ඇති කිරීම යන මූලික කොන්දේසිය රාජ්‍ය ව්‍යවසායක ඇති කළ නොහැකි ය. ඒ නිසා මෙය රාජ්‍යයට ආවේණික වූ ප්‍රශ්නයකි. කිසිදු ප්‍රතිසංස්කරණයකින් ජය ගත නොහැකි ප්‍රශ්නයකි.

පාඩු ලබමින් දිගට ම පවත්වා ගෙන යා හැකි නිසා පුද්ගලික ආයතනයකට සම සේවා සපයන රාජ්‍ය ආයතනයක් සමග තරගයට යෑමට ද බැරි ය. ඒ නිසා ඇතැම් ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයේ පැවැත්ම පුද්ගලික අංශයක් වර්ධනය වීම ඇණ හිටවා තිබේ. උදාහරණයක් ලෙස පාඩුවට දුවන ඒ සඳහා දිගින් දිගට රජයේ මුදල් පොම්ප කරන දුම්රිය සේවයක් තිබිය දී ඒ මාර්ගයන්ගේ පෞද්ගලික දුම්රිය සේවයකට ඉඩක් ඇති වන්නේ නැත. ඒ නිසා සිදු වන නස්පැත්තිය නම් කාලයත් සමග ඒවා අභාවයට යෑම ය. ඒවා රාජ්‍ය ධනය මකර කටට ඇදගන්නා ජනතාවට පවා එහෙමකට වැඩක් නැති ඒවා බවට පත් වීම ය. අද පුද්ගලික වාහන විශාල වශයෙන් වැඩි වී තිබෙන්නට ද ඒ තත්වය යම් පමණට හේතු වී තිබේ.

රාජ්‍ය ව්‍යවසා වල මේ සියලු අඩු ලුහුඬු කම් තිබිය දී සමහර ආයතන රාජ්‍ය ව්‍යවසා ලෙස පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය බව ඇත්ත ය. ඒ පුද්ගලික අංශයට තරගකාරී ව තම කටයුතු කර ගෙන යා නොහැකි ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙනි. පොලිසිය එවැනි එක් උදාහරණයකි. පොදු මාර්ග සංවර්ධනය තවත් එවැනි ක්ෂේත්‍රයකි.

පුද්ගලික අංශයට එසේ සැපයිය හැකි ඇතැම් සීමිත සේවා කිහිපයක් ද ලාභයක් නැතිව ම ද දරිද්‍ර ජනතාවගෙන් මුදල් අය කිරීමක් නොමැතිව රාජ්‍ය අංශය විසින් පවත්වා ගෙන යා යුතු ය. ඒ රටේ පොදු අභිවෘද්ධිය මෙන් ම පීඩිත ජනතාවට ද යම් සහනයක් වනු පිණිස ය. රෝහල් හා පාසල් අයිති වන්නේ ඒ ක්ෂේත්‍රයට ය.

ඒ හැරෙන්නට ජනතාවගේ පැත්තෙන් සෙසු ව්‍යාපාරික ආයතන රජය විසින් පවත්වා ගෙන යෑමේ කිසිදු තේරුමක් නැත. කිසියම් හෝ තේරුමක් ඇත්නම් ඒ ඒවායේ වරප්‍රසාද භුක්ති විඳින පාලකයන්ට පමණ ය.

රජය විසින් කළ යුත්තේ අවම නියාමනයක් යටතේ පුළුල් තරගකාරිත්වයට ඉඩකඩ සලසන පරිසරයක් නිර්මාණය කිරීම ය. ඉතිරිය කරන්නට පුද්ගලික අංශයට ඉඩ හසර සලසා ව්‍යවසා පවත්වා ගෙන යෑමෙන් තමන් නිදහස් වීම ය. ඒ හරහා දැනට කර ගෙන යනු ලබන බදු බර පැනවීම ද අතෝරක් නැතිව සල්ලි අච්චු ගැසීම ද නතර කිරීම ය.

ලාභය නරක දෙයක් නොවන බවත් ඒ ලාභය කියන හේතුව නිසා ම පුද්ගලික ව්‍යවසායකයින් මනා සේවයක් සැලසීමට – තරගකාරී තත්වයක් යටතේ – යොමු වන බවත් අප තේරුම් ගත යුතු ය. එවිට ඔය කියන අදහස වෙනුවෙන් පෙනී සිටීමට හිත හදා ගැනීමට අපට පුළුවන් වනු ඇත. ඒ තත්වය ඉක්මණින් ඇති කර ගත් තරමට පවතින අර්බුදයෙන් ගොඩ ඒම පහසු ය.

දූෂණය හා වංචාව නැති කිරීම රට ගොඩ ගැනීම සඳහා කෙතරම් දායකත්වයක් දෙනු ඇද්ද?

ආයෝජකයන්ට වැඳ නමස්කාර කර ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් දූෂණය හා වංචාව නැති කිරීමෙන් හා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් රට ගොඩ දා ගත හැකි බවත් මගේ මිතුරෙක් ෆේස්බුක් සටහනකට ප්‍රතිචාරයක් ලෙස ලියා තිබුණේ ය.

දූෂණය හා වංචාව නැති කිරීම ද මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම ද අමාරු වැඩ ය. ඒ අමාරු වැඩ දෙක ම කළේ යැයි සිතමු. එසේ කළ පමණින් රටට ගොඩ යා හැකි ද?

අද රට මුහුණ දී ඇත්තේ විදේශ විනිමය අර්බුදයකට ය. ඒ කියන්නේ අප විදේශ වලට යවන දේ (අපනයනය) ට වඩා විදේශ වලින් ගෙන්වා ගන්නා දේ (ආනයනය) වැඩි බව ය. ඒ නිසා අර්බුදයෙන් ගොඩ යෑමට නම් අප කළ යුත්තේ එක්කෝ ආනයනය අඩු කිරීම ය. නැතිනම් අපනයනය වැඩි කිරීම ය. නැතිනම් ඒ දෙක ම ය.

විදේශ වලින් අප ගෙන්වා ගන්නේ අපට මෙහි හදන්නට බැරි දේ ය. එසේත් නැතිනම් අපට ලාබෙට හදන්නට බැරි දේ ය. පළමු වර්ගයට අයත් වන්නේ ඉන්ධන ය. කෘෂි රසායනික ය. යකඩ වැනි ලෝහ වර්ග ය. රෙදි වැනි අමුද්‍රව්‍ය ය. දෙවැන්නට අයත්වන්නේ යන්ත්‍ර සූත්‍ර ය. වාහන ය. ඉලෙක්ට්‍රොනික උපකරණ ය.

මේ කතාවට කෙනෙකු උදහස් වන්නට පුළුවන. අප ඇපල් ගෙන්වන්නේ නැද්ද? විදේශ ආහාර වර්ග ගෙන්වන්නේ නැද්ද? විදේශ මත්පැන් ගෙන්වන්නේ නැද්ද? ඒවාත් අවශ්‍ය ද? බැලූ බැල්මට නම් ඇපල් චීස් හෝ ඔය කියූ වෙනත් දේ රටට අවශ්‍ය නැත. ඒවා ගෙන්වා ගන්නවා ඇත්තේ වංචාවෙන් මුදල් හම්බු කරන අයගේ පරිභෝජනයට ය. ඒවා නැවැත්විය හැකි ය. එහෙත් අපේ අපේක්ෂාව විදේශ විනිමය නිපදවා ගැනීම නම් ඒ සඳහා අපට ඇති එක් වැදගත් ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තයට, සංචාරකයන්ට, අවශ්‍ය දෑ සැපයිය යුතු ය. ඉතින් ඒවා නොගෙන්වා පුළුවන් ද?

අනෙත් අතට අප අප රටට අවශ්‍ය දෑ නිපදවා ගන්නවා යන උපාය මාර්ගය දෙස බලමු. අප අපේ රටට අවශ්‍ය සහල් නිපදවා ගන්නවා නම් ඒ සඳහා අපට වැඩි අස්වැන්නක් ගත හැකි බීජ වර්ග අවශ්‍ය ය. රසායනික පොහොර අවශ්‍ය ය. කෘෂිරසායනික වර්ග අවශ්‍ය ය. ගොවිතැන් කරන උපකරණ හා යන්‍ත්‍රසූත්‍ර අවශ්‍ය ය. අස්වැන්න නෙලා ගන්නා උපකරණ හා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය ය. වී සහල් කර ගන්නා යන්ත්‍රසූත්‍ර අවශ්‍ය ය. ඒවා ප්‍රවාහනය කරන වාහන අවශ්‍ය ය. ඒ සියල්ල ගෙන්වා ගන්නේ පිටරටිනි. ඒවා බොහෝමයක් ලංකාවෙන් ලබා ගත නොහැකි නිසා ය. ඉතින් ඒවා නොගෙන්වා පුළුවන් ද?

නැවතත් නව තර්කයකට මුහුණ දීමට අපට සිදු වේ. පරණ මුතුන් මිත්තන් වගා කළේ ඔ්වා පිටරටින් ගෙනල්ලා ද? පැරණි ක්‍රමයට වගා කිරීමට අපට නොහැකි මන් ද? කම්මැලි කම මිස? ආකල්ප වෙනස් කිරීමෙන් එය කළ නොහැකි ද?

මෙය පැරණි දිවි පෙවෙතට ගොස් ගොඩ යා හැකි අර්බුදයක් නොවේ. හේතුව එදා ට වඩා වැඩි ජනගහණයක් සිටීම ය. ඒ අයට අවශ්‍ය ආහාර පැරණි ක්‍රම භාවිතයෙන් නිපදවීමට අවශ්‍ය තරම් ඉඩම් අප සතුව නොතිබීම ය. එදාට වඩා වුවමනාවන්ගෙන් අපේ ජීවිත පිරී තිබීම ය. එදා අප භාවිතා නොකළ ඖෂධ විශාල සංඛාවක් ද තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ ද හරහා අද අප විසින් භාවිතා කර අපේ ජීවිත පහසු කර ගෙන තිබීම ය. අප තවදුරටත් ගමක ජීවත් නොවීම ය. ඒ වෙනුවට මහල් නිවාස වලට ගොනු වී සිටීම ය. නැවතත් ගමට යෑමට ගමේ ඉඩක් නැත.

ඒ නිසා උත්තරය ඇත්තේ විදේශවලින් ගෙනෙන දෑ අඩු කිරීමෙන් නොවේ. විදේශවලට යවන දෑ වැඩි කිරීමෙන් ය.

ඒ කියන්නේ විදේශවලට අප විසින් නිපදවන දේ වැඩිපුර යැවීමෙන් තොරව අපට තවදුරටත් පැවැත්මක් නැති බව ය.

අප විදේශවලට යවන බොහෝමයක් විදේශ ආයෝජනය සමග බැඳී තිබේ. අපට ගෝලීය වෙළඳ පොල ජය ගන්නට, ඊට පිවිසෙන්නට, ඒ සහය අවශ්‍ය ය. යන්ත්‍රසූත්‍ර මිල දී ගැනීමට ඒ සහය අවශ්‍ය ය. තාක්ෂණය ලබා ගැනීමට ඒ සහය අවශ්‍ය ය. කළමනාකරණ ක්‍රමවේදයන් සකසා ගැනීමට ඒ සහය අවශ්‍ය ය. අමුද්‍රව්‍ය ලබා ගැනීමට පවා ඒ සහය අවශ්‍ය ය. වෙනදාටත් වඩා විදේශ විනිමය අර්බුදයක් ඇති අද අවශ්‍ය ය.

අප දැන් ලෝකයේ වෙනත් රටවල අත්දැකීම් දෙස බලමු. ඒ අය ගොඩ ගියේ කෙසේ ද? චීනය එක් කලෙක සාගත වලින් මිනිසුන් ලක්ෂ ගණන් මිය ගිය රටක් ව තිබුණේ ය. ඒ මාඔ් සේතුංගේ කාලයේ ය. දැන් එය ඇමරිකාවට ද අභියෝග කරමින් දියුණු වෙමින් පවතින්නේ ය. ඒ වෙනස ඇති කළේ කෙසේ ද?

විදේශ ආයෝජනයන්ට රට විවෘත කිරීමෙන් ය. සංකේතාත්මක කෝකා කෝලා කොම්පැණියේ සිට වෙනත් බොහෝ කොම්පැණි දක්වා චීනයට ආරාධනා කිරීමෙන් ය. විදේශ ප්‍රාග්ධනයට පාවඩ එලීමෙන් ය.

චීනය මූලිකත්වය දුන්නේ දූෂණ වංචා මැඩලීමට නම් නොවේ. චීනය තුළ දූෂණ වංචා වෙනත් බොහෝ රටවලට වඩා වැඩි ය. ඔවුන් පිටරට දේශපාලන නායකයන්ට පවා අල්ලස් දීමේ ප්‍රසිද්ධ ය. ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් පල කරන දූෂණ දර්ශකයට අදාළ ව චීනය අද ඉන්නේ කෙසේ ද යන්න විමසා බැලීමෙන් ඒ තත්වය ගැන වැටහීමක් ඇති කර ගත හැකි ය.

දූෂණය හා වංචාව නැති කිරීම නරක නැත. එය ආයෝජකයන්ට පවා අමතර දිරිගැන්වීමක් සපයනු ඇත. එහෙත් එය රටක් ගොඩ නැගීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. මූලික කොන්දේසියක් වන්නේ ද නැත. චීනය ඒ සඳහා ද සාක්කි දරන්නේ ය.

අප රටේ පසුගිය සමයේ සිදු වූයේ මහ දවල් කොල්ලකන ආකාරයේ වංචා දූෂණ බව සැබෑ ය. ඒවාට තිත තැබිය යුතු බව ද සැබෑ ය. ඒ සඳහා ඒ කොල්ල කෑ කල්ලිය එලවීම වැදගත් ය. එන කවරෙකුට හෝ එවන් දේ කිරීමට නොහැකි තත්වයක් ඇති කිරීම වැදගත් ය. ඒ සඳහා අවශ්‍ය සිස්ටම් චේන්ජ් කිරීම වැදගත් ය. ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම වැදගත් ය. ඒවාට එරෙහි ව අරගල කිරීම වැදගත් ය.

එහෙත් සුදෝ සුදු නායකයෙකු මතු ව අවුත් එක් පැහැර ඒ සියල්ල නැති කර දමතැයි ද එයින් පසු ව රට බලා සිටිය දී ගොඩ එතැයි ද සිතීම නුවණක්කාර නැත. ගැලවුම් කාරයෙකු පැමිණ අප ගලවා ගන්නේ නැත. අප අප විසින් ම ගලවා ගත යුතු ය. එය කළ හැක්කේ එක් ව වැඩ කිරීමෙන් පමණ ය. එක් ව අරගල කිරීමෙන් පමණ ය.

නුදුරේ පවත්වන මැතිවරණයකින් ජය ලැබිය හැක්කේ කාට ද?

මැතිවරණයකින් ජයග්‍රහණය කළ හැකි යැයි සිතන කණ්ඩායම් දෙකක් ගැන අපි දනිමු. එකක් සජබ ය. අනෙක ජාජබ ය. අද කුමක් සිදු වුව ද අප්පච්චී අත නාරින කොටසක් ද ඉන්නා බව ද අපේ සැළකිල්ලට යොමු වේ. පරණ ශ්‍රී ලංකා කාරයින් ද චන්ද යම් ප්‍රමාණයක් ලබා ගනු ඇත. ආසනයක් ලැබේ දැයි විශ්වාස නැතත් රනිල්ගේ එජාපය ද අලුත් තත්වය යටතේ චන්දය පතනු ඇත. රාජපක්ෂලාගෙන් වෙන් වූ පොදු ජන පෙරමුණු කණ්ඩායමක් බිහි වීමේ ඉඩක් ගැන ද මේ දිනවල කසුකුසුවක් පැතිරෙන්නේ ය. මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂ වලට ආවේණික වූ චන්ද පදනමක් ද ඇත. ඒ තත්වය යටතේ තනි ජන වරමක් නැති පාර්ලිමේන්තුවක් පත්වීමේ විශාල ඉඩක් තිබේ.

ලංකාවේ මැතිවරණ වල චන්දය පාවිච්චි කරන ආකාරය පරීක්ෂාවෙන් බලන කෙනෙකුට පෙනෙන දෙයක් නම් පක්ෂය හා පුද්ගල සාධක එකට එතී ගමන් කරන බව ය. පක්ෂ සාධකය අවැදගත් නැතත් පුද්ගල සාධකය බොහෝ තැනක පක්ෂ සාධකය අභිබවා වුව යා හැකි බව ය. පක්ෂ මාරු කරන අය ද නිතර බලයට පත් වීම සම්බන්ධ දත්ත ඔ්නෑ තරම් ඇති නිසා ය. පවතින අර්බුදය හමුවේ ඒ තත්වය කොතෙක් වෙනස් වී ඇද්දැයි කියන්නට අප දන්නේ නැත. ඒ නිසා පුරුදු ජොකියන් වෙනත් පාටකින් වෙනත් ‌ලේබලයකින් නැවත පත්වීමේ ඉඩක් ද ඇත.

අර්බුදය පමණක් නොව ඊට එරෙහි ව මතු වූ අරගලය ද යම් යම් දේ වෙනස් කර ඇති බව ඇත්ත ය. එහෙත් සිදු නොවූ වැදගත් එක් දෙයක් තිබේ. ඒ නිශ්චිත විකල්ප නායකත්වයක් මතු නොවී ම ය. බොහෝ දේ ගැන විශ්වාසය බිඳී ඇති බව සැබෑ ය. එහෙත් විකල්පයක් ගැන නම් ඒ හැටි විශ්වාසයක් තවමත් ගොඩ නැගී නැත. ඒ නිසා මේ හිඩැස කෙසේ පිරවේ දැයි කියන්නට අප තවමත් ඉක්මන් වැඩි ය. මේ නිගමනය සම්බන්ධයෙන් සමහරු උරණ විය හැකි ය. ඒ තමන් පිළිබඳ අධිතක්සේරුවක් සහිත අය ය. ශුභවාදී වීමේ අවුලක් නැත. එහෙත් ඇතැම් තැනක දී යථාර්ථය ද සැළකිල්ලට ගත යුතු ය.

ගමේ මිනිස්සු චන්දය දෙන්නේ පක්ෂයට අමතරව ඒ පක්ෂය තමන් ජීවත්වන මහපොළොවේ නියෝජනය කරන්නේ කවුරුන් විසින් යන්න ද බලා ගෙන ය. ඒ නිසා පක්ෂ හා බලවේග විසින් විශ්වාසය ගොඩ නැගිය යුතු වන්නේ ජාතික නායකත්වය පිළිබඳව පමණක් නොවේ. ගමේ තමන් නියෝජනය කරන්නා ද සම්බන්ධයෙනි. අමාරු කාරණය එය ය. ඒ සාධකය ද මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් තීරණාත්මක ව බල පානු ඇත. මහපොළොවේ යථාර්තය සැළකිල්ලට ගත යුතු යැයි අප කියන්නේ ඒ නිසා ය.

මේ විමසුම වැදගත් වන්නේ වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය නිසා අරගලය හා ජනතාව අපේක්ෂා කරන වෙනස් කම් කිරීමට නොහැකි යැයි යන පූර්ව නිගමනයේ පිහිටා මැතිවරණයක් පවත්වනු යන සටන් පාඨය ඉදිරිපත් කරන විපක්ෂ කණ්ඩායම් වලට ය.

අපට සිතෙන ආකාරයට අර්බුදය විසින් ද අරගලය විසින් ද පාර්ලිමේන්තුවේ බලතුලනය එක්තරා දුරකට වෙනස් කර ඇත. තවදුරටත් වෙනස් කර ගත හැකි ය. ඒ සඳහා කේවල් කිරීමට නව අගමැති තුමාට ද හැකියාවක් ඇත. 21 සංශෝධනයක් ගැන කතාබහ කරලියට පැමිණ ඇත්තේ ද ඒ සන්දර්භය යටතේ ය. ඒ හරහා වෙනස් කම් කර ගන්නට උත්සහ කර බැරි වන්නේ නම් මැතිවරණය සටන් පාඨය ඉදිරියට ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව ඇත්ත ය. එහෙත් එතෙක් ඒ විකල්පය බැහැර කිරීම ඥානාන්විත නොවේ. එය අරගලයේ ශක්තිය පවා බැහැර කරන අස්ථානයකි.

ඡන්ද විමසීම් තිබුණ ද එහි දී පවා මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අජ පල් වුව ද පාර්ලිමේන්තුවේ හැසිරීම නිශ්චය ලෙස දත හැකි තීරණාත්මක ඡන්ද විමසීමක් තව ම පැමිණියේ නැත. ඒ තත්වය යටතේ තිබෙන පාර්ලිමේන්තුව බැහැර කිරීමට පෙර තව අවස්ථාවක් දිය යුතු යැයි අපට හැඟේ. ඒ එය බැහැර කිරීමට සුජාත භාවයක් ලබා දීම ද සඳහා ය. 21 වෙනි සංශෝධනය ඒ සඳහා අවස්ථාවක් ලබා දෙනු ඇත. ඒ නිසා ම අද සටන් පාඨය විය යුත්තේ මැතිවරණයක් නොව 21 සංශෝධනය ඉක්මණින් ගෙන එනු යන්න ය. මැතිවරණය දෙවැනි වටයට ගත හැකි ය.

දේශපාලන පක්ෂ හා බලවේග වල දේශපාලන පරිණතභාවය පරීක්ෂා වන්නේ ඔවුන් ඉදිරිපත් කරන සටන් පාඨ කෙතරම් දුරට අවස්ථාවෝචිත ද යන්න අනුව ය. මේ සටහන ඔවුන්ගේ ඇස් අරවනු පිණිස ය.