මනෝ විකාර, ගැටුම් හා සංවර්ධනය

192661-004-0B1FC5AC

සමාජ මතවාදයකට රටක ගැටුම් ඇති කිරීමට හෝ නිවා දැමීමට ඇති හැකියාව මහත් ය. වඳ බෙහෙත් මිශ්‍ර කරමින් සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් ජාතිකයන් විසින් කුමන්ත්‍රණය කරන්නේ යන සමාජ මතවාදය, වඩාත් නිවැරදි ලෙස කියතොත් මනෝ විකාරය, අම්පාරේ මෑතක ඇති වූ ජාති වාදී ගැටුම් වලට හේතු වූ බව මෑත ඉතිහාසයෙන් අපට ලබා දෙන උදාහරණයකි.

රටක ගැටුම් ඇති වීම සංවර්ධනය අඩාල වීමට ද රටක සංවර්ධනය අඩාල වීම පෙරලා ගැටුම් වර්ධනය කිරීමට ද හේතු වේ. තිස් අවුරුදු යුද්ධය විසින් අපේ රට කොතරම් ව්‍යාසනයකට ඇද දැමුවේ ද යන්න නැවත නැවතත් කිව යුතු නැත. ඒ ආර්ථික අවපාතය සිංහල මුස්ලිම් ගැටුම් නව වටයකින් ඇති කිරීම කෙරෙහි බලපා ඇති බව මුස්ලිම් ව්‍යාපාරිකයන් මූලික කරගෙන එල්ල කරගෙන යන තර්ජනයන්ගෙන් පෙනේ.

සංවර්ධනය අඩාල වීම නිසා ම නව දැනුම ලඟා වීම අඩාල වෙන අතර පැරණි සමාජ මතවාදයන් ප්‍රශ්න කිරීමකට පවා ලක් නොවීමට ද ඒ නිසා ඉඩ ලැබේ. වත්මන දකින්නට ලැබෙන්නේ පැරණි මතවාදයන් විශේෂයෙන් මනෝ විකාරයන් ප්‍රශ්න කරන මිනිසුන්ට ලේබල් අලවමින් පහර දෙන වටපිටාවක් පවා ඇති ව තිබෙන බව ය.

මේ  සියල්ලෙන් අදහස් වන්නේ කෙළින්මත්, අනෙක් සංරචකයන් හරහාත්, මේ ත්‍රිත්වය – එනම් සමාජ මතවාදය, ගැටුම් සහ සංවර්ධනය – එකිනෙක මත බලපෑම් කරන බව ය.

භූමි පුත්‍රයන් හා නොරටුන්

රට අයිති භූමි පුත්‍රයන් වූ සිංහල බෞද්ධයන්ට යැයි කියන මතවාදය සමාජ ගත වූ විට සෙසු මිනිසුන්ට ජීවත් වීමට සිදු වන්නේ දෙවැනි පුරවැසියන් හැටියට ය. භූමි පුත්‍රයන් කියන පිළිවෙලට ය. ඒ තත්වය පිළිගැනීමට සෙසු අය අකමැති වූ විට එතැන ඇති වන්නේ ගැටුමකි.

රටේ නීතිය අනුව සෑම පුරවැසියෙකුම නීතිය ඉදිරියේ සමාන ය. ඒ තුළ කියවෙන කාරණය නම් නීතිය විසින් සැමට රට පිළිබඳ සම අයිතියක් තිබේ යැයි සළකන බව ය. කිසිවෙකු සතු මානව හිමිකම් තවකෙනෙකුට උල්ලංඝනය කළ නොහේ. එය ජාති ආගම් කුල හෝ වෙනත් බේද වලින් ස්වාධීනව රටේ ඕනෑ ම පුරවැසියෙකුට ඇති අනුලංඝනීය අයිතියකි. එය ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර ඇති අයිතියකි. එය ප්‍රසිද්ධියේ සියලුම නායක කාරකාදීන් පිළිගන්නා අතර ජනයා අතර බොහෝ දෙනෙකු ද ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප නොකරන මතයකි. එවැනි වටපිටාවක සිංහල බෞද්ධ නොවන අය තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කිරීමට යෑම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටිම ස්වභාවික ය. එය ස්වභාවික වුව ද එය සිංහල සමාජය තුළ පවතින ප්‍රධාන ධාරාවේ සමාජ මත වාදයට ගෝචර වන්නේ නැත. ගැටුම ඇති වන්නේ ඒ නිසා ය. ඒ කියන්නේ නීතිය අභිබවන සමාජ මතවාදයක් රට තුළ ක්‍රියාත්මක වන බව ය.

1983 ජූලි කලබල සමයේ බොහෝ තැනක පොලීසිය මුණිවත රකිද්දී ප්‍රදර්ශනය වූයේ ව්‍යවස්ථාවේ කෙසේ සඳහන් ව තිබුණ ද පරාජිකා සමාජ මත වාදයන් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන වලට, නීතියට ද ව්‍යවස්ථාවට ද වඩා වැඩි බලපෑමක් ඇති කරන බව ය. ඊට වසර 30 කට වැඩි කලක් ඉක්ම ගිය තැන ඇති වූ බේරුවල අලුත්ගම සිද්ධිවල දී ද මෑතක දී තෙල්දෙණියේ හා අම්පාර සිදු වූ සිද්ධිවල දී ද ප්‍රකට වූයේ ද එම කරුණ ම ය. එයින් කියවෙන්නේ භූමි පුත්‍රයන් ඉදිරියේ සෙසු අය නිවටුන් විය යුතු ය යන සමාජ මතවාදය එදා මෙන් ම අද ද ප්‍රබලව පවතින්නේය යන්න ය. ගැටුම් ඇති කරමින් නතර නොවී ඒවා ඔඩු දුවා යනතෙක් පැතිර යන්නේ ද ඒ සමාජ මතවාදයට පින්සිදු වන්නට ය.

ජපානයට පමණක් දෙවැනි වූ ආසියාවේ දැවැන්තයා

ඒක පුද්ගල දළ ජාතික ආදායම අතින් 1948 දී ආසියාවේ ජපානයට පමණක් දෙවැනිව සිටි ශ්‍රී ලංකාව පසු කලෙක තමන්ට පසුපසින් සිටි රටවල් බොහෝමයකට පැරද පසු බැස ගිය එක් හේතුවක් ලෙස දැක්වෙන්නේ රට තුළ තිබූ මේ සමාජ මත වාදය ය. ඒ හරහා ඇතිවූ පසු කලෙක යුද්ධයක් දක්වා පරිවර්තනය වූ වාර්ගික ගැටුම් ය. කුලබේදය පදනමක් සැපයූයේ යැයි සළකන දකුණේ තරුණ කැරලි ය. සංචාරක ව්‍යාපාරයට විදෙස් ආයෝජනයන්ට වැට බැන්දා වූ යුද්ධය ය. සම්පත් ගිලගත්තා වූ යුද්ධය ය. බුද්ධි ගලනය ඇති කළ යුද්ධය ය. කාලය කා දැමූ යුද්ධය ය. මිනිසුන් මරා දැමුණු අතුරුදහන් කෙරුණු සහ උන් අංග විකල කළ, ජනයා අවතැන් කළ, උන් රටින් පළවා හැරි යුද්ධය ය. ඉන් පරිබාහිර ව ද තිබූ යුද්ධයෙන් පසු ද නිමක් දැකිය නොහැකි ගැටුම් ය.

සංවර්ධනයට වැට බැඳෙන විට සිදු වන්නේ ඇති තරම් සම්පත්, රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා සහ අධ්‍යාපන අවස්ථා නිර්මාණය නොවීම ය. ඒ නිසා ඒවා තමන් වෙත නතු කර ගැනීම සඳහා පුද්ගලයන් කණ්ඩායම් ගැසීම ය. එහි දී ආගම සහ ජාතිය උපයෝගී කර ගැනීම ය. මුස්ලිම් භීතිකාවක් ඇති කරමින් මුස්ලිම් කඩ වර්ජනය කරන ලෙස සිදු කරන ව්‍යාපාරය පිටුපස තිබෙන්නේ මේ අභිලාෂයන් ය. ඇතැම් නගරවලින් ද ඇතැම් කර්මාන්තයන්ගෙන් ද අන්‍ය ජාතිකයන් පන්නා දැමීම අරමුණු කර ගෙන දියත් කර ඇති විවිධ උද්ඝෝෂණයන් පිටුපස තිබෙන්නේ ද මේ කතාව ය. හලාල්, වඳ බෙහෙත් හා ඇඳුම් සාප්පුවල සවි කර ඇතැයි කියන සැඟවුනු දර්පණ මෙන්ම සෙරෙප්පු වල දකින ධර්මචක්‍ර යන විවිධ ආකාරයන්ගෙන් මතු වන්නේ මේ උපාය මාර්ගයේ විවිධ හැඩ තල ය.

ඌන සංවර්ධනය මෙසේ ගැටුම් ඇති කරවන අතර ඊට අවශ්‍ය උල්පන්දම් සපයනු ලබන්නේ සමාජ මතවාදයන් විසිනි. ඒ ගැටුම් ආර්ථිකයට පෙරලා බලපෑම් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය අඩාල වේ. එය නැවතත් ගැටුම් වලට අවශ්‍ය තත්වයන් අප කී ලෙස ම නිර්මාණය කරන්නේ ය. මේ ඇතිව තිබෙන්නේ විෂම චක්‍රයකි. එය අපව ගෙනයන්නේ අගාධයකට ය. සර්පිලාකාර ගමනකින් කෙළවර වන අගාධයකට ය.

 

පරාජිකාවූ සමාජ මතවාදයන්

 

 

 

ඌන සංවර්ධනය                                                ගැටුම්

 

මේ ත්‍රිත්වයේ සම්බන්ධය හඳුනා ගැනීමට බොහෝ දෙනෙකු අසමත් ය. එය එකිනෙක සමග මුසු වෙමින් අපව අගාධයකට ගෙන යන බව තේරුම් ගැනීමට බොහෝ දෙනෙකු අසමත් ය. විශේෂයෙන් ජාත්‍යාලයෙන් හා ආගමික අන්තවාදයෙන් පෝෂණය කරනු ලැබ තියෙන මනසකට මෙවැනි සම්බන්ධයන් දැකීම හා ඒ සම්බන්ධයේ ගතිකත්වය විසින් අපව ගෙන යනු ලබන අභාග්‍ය සම්පන්න අනාගතය කුමක් දැයි තේරුම් ගැනීම විශේෂයෙන් අමාරු ය. ඒ නිසා ම මෙම සමාජ මත වාදයන් මේ රට අද වැටී ඇති නාරා වලෙන් ගොඩ ගැනීම වඩ වඩාත් අපහසු වන තත්වයකට පත් කොට තිබේ.

හේතුව මග හැරෙන්නේ මන් ද?

හේතුව හොයන අයට අහුවෙන්නේ තමන් කැමති මතවාදය ශක්තිමත් කරන එකකි. එය සමාජ ගතව ඇති පරාජිකා වූ මතවාදයක් වූ විට තත්වය කණගාටුදායක ය. එසේ සිතන ඇතැම් අයට අනුව සිදුව ඇත්තේ අපේ සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් සූරා කෑම නිසා ද පසු කලෙක නව යටත් විජීත වාදීන් විසින් අප රටට එරෙහිව කරන ලද කුමන්ත්‍රණකාරී ක්‍රියා නිසා ද සංවර්ධනය අඩාල වීම ය. ගැටුම් ඇති කිරිමේ  වගකීම ද මේ අය විසින් පවරනු ලබන්නේ අධිරාජ්‍ය වාදීන්ට ය. ඒ නිසා මේ ත්‍රිත්වයෙන් ඔවුන් අවධානය යොමු කරන්නේ කරුණු දෙකකට ය. වැදගත්ම තුන්වෙනි කාරණය ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වන්නේ නැත. ඊට අමතරව ඒ කරුණු දෙකම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වන්නේ බාහිරට ය.

අප සතු ව ඇති සමාජ මතවාදයන් ඒ තත්වයට කවර ආකාරයකින් හෝ බල පෑ බව ඔවුන් පිළිගන්නේ ම නැත. එහි වගකීම පවා හැකි නම් ඔවුන් පවරන්නේ බාහිර බලවේගයකට ය. ඒ ඇතැම් විට වංචාව ද අලස කම ද සුද්දන්ගේ උපක්‍රම ලෙස අර්ථ ගන්වමින් ය.

බ්‍රිතාන්‍යයන් අප රටින් යන විට අප ආසියාවේ දෙවැනි දැවැන්තයා ලෙස කිරුළු පැළඳ සිටි බව ඔවුන් දන්නේ නැත. නැත්නම් එය නොදන්නවා සේ මග හරිනු ලබන්නේ ය. සුද්දා හැදූ රේල්පාර අඟලකින් හෝ දික් කිරීමට අපට නිදහස ලැබී වසර 70 ක් ගත වූ බව ඔවුන් කියන්නේ නැත. සුද්දන් හැදූ මහපාරවල පළල පවා වැඩි කිරීමට අප සමත්ව ඇත්තේ යන්තමින් බව ඔවුන් කියන්නේ නැත. රට උගස් කර චීනාගෙන් ගත් ණය නොවන්නට අධිවේගී මාර්ගයක් වත් අපට හදන්නට ලැබෙන්නේ නැත.

කොරියාවට චීනයට සිංගප්පූරුවට මැලේසියාවට සුද්දාගේ කුමන්ත්‍රණ ඉක්මවන්නට හැකි වූයේ කෙසේ දැයි ඔවුන් කියන්නේ නැත. අපේ රටේ ඇති වූ වැනි ගැටුම් විවිධ ජනවර්ග ගණනාවක් ඇති සිංගප්පූරුවේ ඇති නොවුනේ කෙසේ දැයි ඔවුන් කියන්නේ නැත.

වගකීම අනුන්ට පවරන ජාතියක් කිසි කලෙක දියුණු වන්නේ නැත. බාහිර තර්ජනයකින් හෝ කුමන්ත්‍රණයකින් අප වැට්ටවිය හැකි නම් ඒ ද අපේ දුර්වලකමක් නිසා බව මෙසේ වගකීම අනුන්ට පවරන අය සිතන්නේ ද නැත. ඔවුන්ට කළ හැකි එක ම දෙය පහර දීමට මුව හමක් සොයා ගැනීම පමණකි. එයින් මුවාට වත් තමන්ට වත් අත් වන සෙතක් නැතැයි ඔවුන් දන්නේ නැත. ඒත් තමන් යමක් කරනවාය යන හැඟීමෙන් ඔවුන්ට තෘප්තිමත් විය හැකි ය. අවසාන ප්‍රතිඵලය හේතුව මග හැරීම ය.

හේතුව සොයා ගැනීමට අපහසු වන්නේ එක හේතුවක් වෙනුවට එකක් අනෙකෙන් පෝෂණය වන හේතු ත්‍රිත්වයක පැවැත්ම ය. ඒ තුළ මුල්වන එක් හේතුවක් නොතිබීම ය. ඒ වෙනුවට විෂම චක්‍රයක් පැවතීම ය.

ගොඩ ආ හැක්කේ කෙසේ ද?

එකවර ත්‍රිත්වයට ම ආමන්ත්‍රණය කිරීම ගොඩ ඒමේ මග ය. එකකට ආමන්ත්‍රණය කිරීමෙන් විෂම චක්‍රයක් හැර විය නොහැකි ය. කළ යුත්තේ සංවර්ධනය කළ හැකි හැම තැනකම ඒ සඳහා අවස්ථාව විවෘත කර ගැනීම ය. ගැටුම් වැළැක්විය හැකි හැම උපාය මාර්ගයක් ම ඊට අවස්ථාව ලද විට අනුගමනය කිරීම ය. සමාජ ගත වී ඇති වැරදි මතවාද හැකි හැම විටකම ප්‍රශ්න කිරීම ය. නව සාධනීය මතවාදයක් නිර්මාණය කර ගැනීමට උත්සුක වීම ය.

දැනට අගාධයක් දක්වා කැරකැවෙන ඍණ චක්‍රය එයින් මතු වී උඩට පැමිණිය හැකි ලෙස අනෙත් පැත්තට කැරකැවිය හැක්කේ මේ ත්‍රිත්වය තුළ කළ හැකි හැම ධන බලපෑමක් ම කිරීමෙන් ය. ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමකට දැයි කල්පනා කරමින් ලත වෙන්නේ නැතිව ධනාත්මක ලෙස වෙනස් කළ හැකි හැම සංරචකයක්ම වෙනස් කිරීමට බලපෑම් කිරීම ය. එකක සිදු වන හැම සාධනීය වෙනසක් ම ඊළග සංරචකය ඉදිරියට යොමු කරන්නේ ය. එය ඊළග සංරචකය තල්ලු කරන්නේ ය. දැන් චක්‍රය කැරකැවෙන්නේ ය.

පරාජීකා මතවාද ඉදිරිපත් කරන්නන්ගේ හැසිරීම

මේ නිසා බොහෝ විට සිදු වන්නේ පැරණි පරාජිකා සමාජ මතයන් දරණ කණ්ඩායම් සංවර්ධනයට විරුද්ධ වීම ය. එයට අකුල් හෙලීමට කළ හැකි හැම දෙයක් ම කිරීම ය. ආර්ථිකය කඩා කප්පල් කිරීමට හැකි හැම දෙයක් ම කිරීම ය. සංචාරකයන්ට හිරි හැර කිරීම ය. පාරවල් වලට පැන උද්ඝෝෂණය කිරිම ය. රථවාහන අවහිර වන සේ හැසිරීම ය. ආයෝජකයන්ට මෙය කාන්තාරයක් ලෙස පෙන්නීම ය. දේශපාලන වශයෙන් රට අස්ථාවර කිරීම ය. වෙනත් රටක් සමග ඇති කරගන්නා වෙළඳ ගිවිසුමක් පවා රට හා ජනයා පාවා දීමක් ලෙස පෙන්වීම ය.

එපමණක් නොවේ. ඔවුහු හැකි සෑම තැනකම ගැටුම් ඇවිලවීමට ද වග බලා ගන්නෝ ය. ඒ සඳහා ඔවුහු බොරු වපුරවන්නෝ ය. පුවත් මවන්නෝ ය. ඒවා වෙනුවෙන්ම වෙබ් අඩවි පවත්වාගෙන යන්නෝ ය. පැරණි ඡයාරූපවලට අලුත් අර්ථ කථන සපයන්නෝ ය. බොරු සාක්කි කරුවන් නිර්මාණය කරන්නෝ ය. වෙන රටවල සිදු වුනු දෑ, වෙන යුගයක සිදු වුනු දෑ, මේ අද, අප රටේ, සිදු වුන දේ ලෙස දක්වන්නෝ ය.

එතැනින් නොනැවතී ඔවුහු මිත්‍යාව ද වපුරන්නෝ ය. ඉතිහාස කතා අලුත් ආරකින් ඉදිරියට ගන්නෝ ය. රාවණාගේ චන්ද්‍රිකාවක් සොයා ගත්තේ ය යන්න මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද නවතම මැදිහත් වීම ය. ඒ පට්ට ගසා ඉවත දැමූ දඩු මොණරයට අමතර වශයෙනි. ගුවන් යානයකට වඩා කොහොමටත් චන්ද්‍රිකාවක් ඇඩ්වාන්ස් ය. මේ හැම එකකින් ම ඔවුන් කියන්නට යන්නේ එක් පණිවුඩයකි. අප සුද්දාට වඩා දියුණුව සිටි බවත් සුද්දා අපව නැත්තට නැති කළ බවත් ය. අදත් ඔවුන් දත කන්නේ අපව අගාධයක හිර කර තබන්නට බව ය. පරාජිකා මතවාද සමාජ ගත කිරීමට අවශ්‍ය හැම අනුබලයක් ම ඔවුහු මෙසේ ලබා දෙන්නෝ ය. ඒ අතර විද්‍යාවට හැම දෙයක්ම විස්තර කළ නොහැකි යයි කියමින් තමන්ට හා මිත්‍යාවට මැදිහත් වීමට අවශ්‍ය ඉඩකඩ ද ඒ සමගම පාදා ගන්නෝ ය. විද්‍යාව බොරුවකැයි කියමින් එය හෑල්ලු කරන්නේ ය. තමන් පරිහරණය කරන බොහෝ දේ විද්‍යාවේ ජයග්‍රහණ බව අමතක කරන්නෝ ය.

ආගම පවා යොදා ගනු ලබන්නේ සංවර්ධනය හානිකර බව කියන්නට ය. උන්නතිකාමිත්වය වැරදි බව කියන්නට ය. ඉන්න විදිහට ඉන්නා එක, දියුණුව පතනවාට වඩා යහපත් යැයි කියන්නට ය.

ඇස් පනා පිට ලබා ඇති දියුණුව අවතක්සේරු කරමින් ඔවුන් කිචේට අසන්නේ මේක ද දියුණුව කියා ය.

චක්‍රය ඉදිරියට කැරකැවීම අමාරු ය

මේ නිසා ම චක්‍රය ඉදිරියට කැරකැවීම අමාරු ය. එය ජවයකින් කැරකැවෙන්නේ විරුද්ධ අතට ය. ඒ අගාධය කරා වේගයෙන් අප ගෙනයමින් ය.

ගණිතය පිළිබඳ මහාචාර්ය නලින් ද සිල්වා නාථ දෙවියන් ඉදිරියට දමමින් පහුගිය දිනක මැදිහත් වූයේ ඒ සඳහා ය. ඒ තනිව නොවේ. කැළණිය විශ්ව විද්‍යාලයේ  සමාන විද්වතුන් ගණනාවක් ද සමග ය. මෑතක දී මේ පෝලිමට එක් වූයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය දයා අමරසේකර මහතා ය. ඒ මියගිය රණසිංහ ප්‍රේමදාස මහතා දේවාත්මයක ලබා ඇති බව තමන් දැනගත්තේ යැයි කියමිනි. චක්‍රය කරකවන්නේ ඊනියා විද්වතුන් වූ විට ද එය අනෙත් අතට කැරකැවීම වඩාත් අමාරු ය.

මේ චක්‍රය විරුද්ධ අතට කරකවන්නට යන අයට මේ චක්‍රයට අසු වී ඇතැම් විට අතක් පයක් කඩා ගන්නට පවා සිදු වන්නේ ය. නැතිනම් මෙයින් විසිකරණු ලබන කුණු වලින් නාගන්නට සිදු වන්නේ ය. ඩොලර් කාක්කා වැනි නම් ඇඟේ පච්ච කොටා ගැනීමට සිදු වන්නේ ය.

එවැනි ආපදා වලින් බේරී සිටීමට ශක්තිය ඇත්තේ ටික දෙනෙකුට ය. ඒ නිසා චක්‍රය අපව අගාධයකට ගෙන යන බව දන්නේ වුව ද වැඩිදෙනෙක් කිසිවක් නොකරති. ඕනැ අතකට කැරකෙද්දෙන් අපි මේ කොදෙව්ව ඇර යනවා යැයි සිතා සිටින්නේ එවැනි අය ය. උන් ලැබුණු මුල් ඉඩේ දී නැව් නගිනු ඇත (වයස 18-25 අතර තරුණයන්ගෙන් 60% කගේ එකම සිහිනය හොඳින් හෝ නරකින් පිටරටක පැන ගැනීම බව විශ්ව විද්‍යාල සමීක්ෂණයකින් හෙලි වී තිබේ).

තවත් අය මේ චක්‍රය කැරකෙනවා බලන්නට කැමති ය. එ් දෙස බලා පොඩි ආතල් එකක් ගත හැකි නම් ඔවුන්ට ඒ ඇති ය. චක්‍රය අපව අගාධයකට ගෙන යනවා යැයි හැගීමක් ඔවුන්ට නැති නිසා යන මග වටපිට බලා සතුටු වීමෙන් ඔවුහු සැනසෙති. රාවණාගේ දඩු මොනරය චන්ද්‍රිකාවක් කර ආතල් ගන්නේ ඔවුන් ය.

මේ හේතු සියල්ල නිසා චක්‍රය තව තවත් මේ ආකාරයට කැරකෙනු ඇත. යම් හේතුවක් නිසා අනෙත් පැත්තට කැරකුණු විටක වුව ද එය නැවතත් පුරුදු අතට කැරකැවීමට ඉදිරිපත් වන පිරිස විසින් එහි දිසාව නැවත සකස් කරනු ඇත.

ඒ නිසා ම මේ ගැන දැනුවත් වීම ද සෙස්සන් දැනුවත් කිරීම ද වැදගත් ය. ඒ දැනුවත් භාවය ද ඇති ව මේ විෂම චක්‍රය නවත්වා සුගම චක්‍රයක් කර ගැනීම අවශ්‍ය ය. ඒ සඳහා සංවර්ධනයට ඉඩ සැලසීම ද, ගැටුම් සමථයකට පත් කිරීමට ඉදිරිපත් වීම හා සහජීවනයට අවශ්‍ය තත්වයන් නිර්මාණය කර ගැනීම මෙන්ම සමාජගත පරාජිකා මතවාදයන් පරාජය කිරීම ද අවශ්‍ය ය. එයින් එකක් නොව මේ තුන ම සමාන්තරව සාක්ෂාත් කර ගැනීමට වෙර දැරීම අවශ්‍ය ය. එය සංවර්ධිත හා සාමකාමී රටක් පතන මිනිසුන්ගේ වත්මන් පැහැර හැරිය නොහැකි වගකිමකි.

පට කුඩ දෙක දෙක

 

main-qimg-a490f0fdbe242bc87b41dc469effde4a-c

ගස්ස ගස්සා නිතඹ

පද්ද පද්දා උකුළ

ලැසි ගමණින් යනෙන

කෝල බැලුමුත් හෙලන

මැණිකකි වෙසෙන උඩරට

 

කඳු හෙල් දුර්ඝ ද මඩින

මීදුම් වලා බැසගෙන

කොළඹට නිතර යන එන

පෙම්බරයා සොයා ලතවෙන

මැණිකේ උඹයි උඩරට

 

පට කුඩක් දෙකක් අතැතිව

උඩට පහතට දුවන

ගමනෙන් සදිසි නාලිය

කිසි දින නොගත් සෝලිය

නුඹයි උඩරට හැඩම දෝණිය

දං ගෙඩිය – චින්ගීස් ආයිත්මාතව්

පොත පත කියවන බොහෝ දෙනා චින්ගීස් ආයිත්මාතව් නම් රුසියානු ලේඛකයා ගැන දන්නෝ ය. ඒ ඔහුගේ වඩාත්ම ජනප්‍රිය කෘතිය වූ ගුරු ගීතය නිසා ය.

ගුරු ගීතය මා ද ආසාවෙන් කියවූ පොතකි. ආදරය යන වචනයට මහා අරුතක් එක් කළ ඒ කෘතියට මා අදටත් ආදරේ ය.

ඒ මහා පණිවුඩය දෙන ලේඛකයා එහි සගවා කිවූ තව පණිවුඩයක් තිබුනේ ය. ඒ විප්ලවය වෙනුවෙන් කැප වීම් කළ මිනිසුන් පසු කලෙක අමතක ව ගොස් ටික කලකින් වෙනත් “වීරයින්“ කිරුළු පළඳින බව ය.

එය වඩාත් එලිපිට චින්ගීස් ආයිත්මාතව් කියන්නේ ඔහුගේ The place of the Skull යන කෘතිය හරහා ය. චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කරන ලද එහි සිංහල පරිවර්තනය කියවීමේ භාග්‍යය මම මෑතකදී ලදිමි.

ලේඛකයා එම කතාවෙන් කියන්නේ පළල් ජනතාවකට ආශ්වාදය ගෙනා, ඔවුන්ට ශක්තිය ගෙනා, හැගීම් පරයා ඊනියා පොතේ ගුරු මතවාදයන් අවසානයේ ජය ගන්නා බව ය. ආගම පිළිකෙව් කළ පක්ෂය සිය මතවාදය ආගමකට හරවා ඊළග යුගයේ එය පුදන්නට ගන්නා බව ය. කර තබා ගන්නා බව ය. මිනිස් සබඳතා සියල්ල අතිශය කුරිරු ලෙස මතවාදය විසින් බැඳ තබන බව ය. මතවාදය නම් අල්තාරය අභියස ජනතා විප්ලවය අලුත් පරපුර විසින් නායකයින්ගේ ආශිර්වාදය මැද පාවා දෙන බව ය.

විචාරයට ඉඩ නැති තැනක ඉතිරි විය හැක්කේ දැඩි ආගමක් පමණ ය. ඒ ආගම සැක නොකර විශ්වාස කරන අන්ධ බැතිමතුන් පමණ ය.

අසාර්ථක වූ සෝවියට් මොඩලය පිටුපස ඇති කතාව එය ය. චින්ගීස් අයිත්මාතව් එය ලස්සණට කියන්නේ ය. එය හදවතට වදින්නට සළස්වන්නේ ය. ඒ නිසා ම ගුරු ගීතය තරමටම එය වටින්නේ ය.

ඒකාධිපතියෙකු ඕනෑ කර තිබේ

deepana-2_30042018_FRR

රට හදන්න නම් ඒකාධිපතියෙකු ඕනෑ බව මිනිසුන් අතින් නිතර කියවේ. එයින් අදහස් කරනුයේ, කිසිවෙකු කියන දෙයක් නාහන, හරි යැයි තමන් හිතන දේ කරන, කෙනෙකු නායකයා විය යුතු බව ය. එහෙත් එසේ කියන අය එයට අතුරු කොන්දේසියක් ද ඉදිරිපත් කිරීමට අමතක නොකරති. ඒ එම ඒකාධිපතියා රටට ආදරය ඇති කෙනෙකු විය යුතු බව ය.

එවැනි ඒකාධිපතියෙකු ලැබේ නම් අතිශය විශාල නිරපේක්ෂ බලයක් ඔහු වෙත පිරිනැමීමට සැදී පැහැදී සිටින ජනතාවක් අප රටේ වෙසෙති. එය බහුතරය දැයි කියන්නට මම ඉක්මන් නොවෙමි. එය සැළකිය යුතු ප්‍රතිශතයක් බව නම් දනිමි. මේ ලිපියේ අරමුණ මේ ගැන කතා කිරීමට ය.

ඒකාධිපතියෙකු අවශ්‍ය යැයි කියන අය ඉදිරිපත් කරන්නේ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් ය. එසේ කියන ඔවුන්ට අමතර වශයෙන් මතක් වන්නේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය නොදෙන එසේ තිබියදීත් දියුණුවේ ඉදිරියට ම යන චීනය ය.

එහෙත් එය එක් පැත්තක් පමණ ය. මිනිසුන් දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් ඝාතනය කළ පොල්පොට් ද ඉඩි අමීන් ද ස්ටාලින් ද හිට්ලර් ද ඒකාධිපතියන් වූ බව ඔවුහු අමතක කරති. අප්‍රිකා මහා ද්වීපය අදට ද පිරී ඇත්තේ එවැනි ඒකාධිපතියන්ගෙනි. ඒකාධිපතියන් යටතේ රටවල් දියුණු වූයේ නම් වඩාත් ඉදිරියෙන් ම ඉන්නට තිබුනේ අප්‍රිකා මහාද්වීපය ය. එහෙත් එය එසේ නොවන බව අපි දනිමු.

අඳුරේ අතපත නොගා අපේ හිතළු වලට ඉඩ නොදී අප විසින් ඒ නිසා ම සංඛ්‍යාලේඛන විමසිය යුතු ය.

අද වනවිට ලෝකයේ ඒකාධිපතීන් 49 ක් සිටිති. එයින් 21 ක් ඉන්නේ අප්‍රිකාවේ ය. 18 ක් ආසියාවේ ය. 7 ක් මැදපෙරදිග ය. එකක් යුරෝපයේ ය. දෙකක් ඇමරිකා මහාද්වීපයේ ය. මේ අතරින් දියුණුම මහාද්වීපය ලෙස සැළකෙන්නේ යුරෝපය ය. එහි ඒකාධිපතියන් එකක් වන විට වැඩි ම ඒකාධිපතියන් පිරිසක් ඉන්නේ නොදියුණු අප්‍රිකාවේ ය.

මෙවැනි විමසීමකින් තොරව උදාහරණ කීපයක් තෝරා ගෙන නිගමනයන්ට බැසීම මනෝ විද්‍යාවේ හඳුන්වන්නේ අතිවිතා අගතිය ලෙස ය. එය ඉංග්‍රීසියෙන් නම් survivorship bias ය. ඒ කියන්නේ සංඛ්‍යා ලේඛන විමසීමකින් තොරව කිසියම් විදිහකට නොනැසී පවතින කිහිපයක් පමණක් ඉදිරිපත් කරමින් තමන්ගේ මතය අගතිගාමී ලෙස සනාථ කිරීමට අපට ඇති නැඹුරුව ය. රටවල් අගාධයට ගෙන ගිය ඒකාධිපතියන්ට පිටුපස හරවා, ඔවුන් නොසළකා හැර, ඒකාධිපතියන් සිය ගණනක් අතරින් රටවල් ගොඩ ගත් කීප දෙනෙකු පමණක් තෝරා ගෙන ඒ අය සිය රටවලට ආශීර්වාදයක් වූ බව කියමින් තම මතය සනාථ කරන්නට මිනිසුන්ට ඇති පෙළඹවීම ය.

දුර්වල නායකත්වයක් රට තුළ ඇති විට මේ පෙළඹවීමට තටු ලැබෙන්නේ ය. එය යුක්ති යුක්ත කෙරෙන්නේ ය.

එක අතකින් ගත් තීරණය කිසිවෙකුගේ කුඩා විරුද්ධත්වයක් නිසා අනිත් අතින් අකුලා ගන්නා නායකයන් සිටින විට මිනිසුන්ට ස්ථිර තීරණයක වටිනාකම දැනෙන්නේ ය. එහෙත් ඔවුන් නොසිතන දේ නම් බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය නොසළකා හැර හිතුමතේට වැඩ කිරීමේ බලයක් ඒකාධිපතියෙකු හිමි කර ගන්නා බව ය. ඒකාධිපති පාලනයක ජීවත් වන මිනිසුන්ට, ඒ නිසා හෙම්බත් වී ඇති මිනිසුන්ට, වඩාත් වටිනා ලෙස දැනෙන්නේ නම්‍යශීලි වීමේ අගය ය.

නායකයෙකුට නිරපේක්ෂ බලයක් දීම කෙනෙකුට හිස් චෙක්පතක් අත්සන් කර දෙනවා හා සමාන ය. ඉන්පසු සිදු වන දේ කුමක් වුව ද බාර ගැනීමට අප සූදානම් විය යුතු ය.

එසේ තිබිය දී උදාහරණ කීපයක් පමණක් දැක මෙවැන්නකට එකග වීමට මිනිසුන්ට සිතෙන්නේ කිසි දෙයක් හරියට නොවෙතැයි හැගීම හද අරක් ගත් විට ය.

බොහෝ මිනිසුන් හිතන්නේ ඒකාධිපතිත්වය යටතේ තමන් ඇර අන් සියලු දෙනා දඩුවමට යටත් කොට තමන්ට අවශ්‍ය රට එම ඒකාධීපතියා විසින් බිහිකර දෙනු ලබන බව ය. ඒ හැගීම එන්නේ වැරදි කරන්නේ අනුන් බවත් තමන් සුදෝ සුදු බවත් හිතන නිසා ය. ඒකාධිපතියෙකු යටතේ වැරදි කරුවෙකු වන්නේ ඔහුගේ අණ නොතකන අය ය. ඒ කියන්නේ සුදනන් වීම සඳහා ඒකාධීපතියා කියන ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටිය යුතු බව ය. බොහෝ දෙනෙකු හිත හදා ගන්නේ එහෙම දෙයක් ඒකාධිපතියා නොකියනු ඇත කියා ය. නිරපේක්ෂ බලය ඇති මිනිසෙකු සිතන්නේ කෙසේ දැයි කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකි ය.

එසේ වුව ද බොහෝ දෙනා සිතන්නේ සෙසු අයට මුදාහරින දඩුවම් හා පාලනයෙන් තමන් කිසියම් වාසනාවක් නිසා නිදහස් විය හැකි බව ය. මේ විශ්වාසය කෙතරම් දුබල ද යන්න ගැන ලෝකයට කීවේ නිලමෝර් ය. ඒ හිට්ලර්ගේ දරුණු හිංසනයට ලක් වූ ජර්මනියේ හිඳිමින් ය.

නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි

ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදීන් සිරගත කළෝ ය
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා ප්‍රජාතන්ත්‍රවාදීයකු නො වන බැවිනි

ඔවුහූ කම්කරු නායකයන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කම්කරු නායකයකු නො වන බැවිනි

ඔවුහූ යුදෙව්වන් සිරගත කළහ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා යුදෙව්වකු නො වන බැවිනි

අවසානයේ ඒ මෘගයෝ මා සොයා පැමිණියහ
එයට එරෙහි වන්නට කිසිවකුත් නො සිටියේ ය

මන්ද ඒ වන විටත් බොහෝ දෙනා ම සිරගතවත්
තවත් පිරිස් මරා දමාත් තිබූ බැවිනි

– දේවගැති මාර්ටින් නිලමොර්

බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ ද මේ ලෙස ය. සිංහල බෞද්ධ ඒකාධිපතියෙකු පැමිණ සිංහල බෞද්ධ දේශයට අරක් ගෙන ඇති වෙනත් වාර්ගිකයන්ගේ කුමන්ත්‍රණ සිඳ බිඳ දමනු ඇති බව ය. උන්ට නිසි පාඩම් උගන්වනු ඇති බව ය. තමන්ට එරෙහිව කිසිවක් සිදු නොවනු ඇති බව ය.

ඉතිහාසය කියන්නේ ඉතා පාරිශුද්ධ අරමුණු ඉදිරියට දමා බලයට පත් බොහෝ ඒකාධිපතියන්ගේ කැරැට්ටුව බලය ලැබීම සමග වෙනස් වුනු බව ය. ඒ බව අවබෝධ වන විට සියල්ල නැවති වෙනස් කළ නොහැකි ලෙස දුර ගමනක් ගොස් ඇති බව ය.

ස්ටාලින්, මාඕසේතුං, පොල්පොට් පමණක් නොව හිට්ලර් ද ඒ සඳහා දිය හැකි උදාහරණ ය. අප්‍රිකාවේ බොහෝ නායකයින් සම්බන්ධයෙන් අත්දැකීම ද ඊට නොදෙවෙනි ය. ඉඩි අමින් හා මුගාබේ ඒ අතර ඉන්නේ පෙරමුණේ ය.

පොල්පොට්ගේ කෙරුවාව විස්තර කරන වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා ඒ මහතාගේ ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ මෙවැනි සටහනක් තබයි.

“පොල්පොට්ගේ ෆැන්ටසිය හඳුන්වනු ලැබුයේ Collectivist Utopia වශයෙනි. 1978 දී ඔහු කෙමරුජ් දේශපාලනය ගැන මෙසේ කීවේය. “අප අපටම ආවේනිකවූ සමාජවාදයක් ගොඩනංවන්නෙමු. එය කිසිඳු රටකින් ගත් කාබන් කොපියක් නොවේ. අපි කිසිම රටක් ගුරුකොට නොගනිමු. අපි විමුක්ති අරගලයේදී ලද අත්දැකීම් මේ සඳහා භාවිතා කරමු. ගතානුගතික පාසැල්, විශ්වවිද්‍යාල අපගේ නව ක්‍රමය තුල නැත. එවැනි ප්‍රතිගාමි ආයතන කම්පුචියානු විප්ලවයට පෙර බොහෝ තිබුණි. අප මෙවැනි සුන්බුන් ඉවත් කළ යුතුය. අපට මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නැත. නගරවල ඉරණම ජනතාව තීරණය කරනු ඇත. නගරය යනු ධනවාදයේ දුගඳ හමන අසූචි වල බව කෙමරූජ්වරු පැවසූහ. එම නිසා නගරය කෙරෙන් ජනයා දුරුවිය යුතුය.”

Phnom Penh නගරයට පොල්පොට් තුළ තිබුණේ සැඟවුණු වෛරයකි. කෙමරුජ්වරු බලයට පත්වූ වහාම Phnom Penh හි ජනතාව පිටමං කරන ලදී. ග්‍රාමීය ගොවීන් නූගත් අහිංසක කිසිවෙකු සූරානොකන කොට්ඨාශයක් බව පොල්පොට් ඇදහීය. එම නිසා ඔවුන් වඩාත් ශුද්ධ වූ කොටසකි. මේ නයින් බලන කල නගරය දූෂිතය. ඔහුගේ ෆැන්ටසිය අනුව නගරයට හා නාගරිකයන්ට පැවත්මක් නොතිබිනි. Phnom Penh හි ජනයා “අප්‍රේල් 17 දින ජනයා“ හෙවත් නව මිනිසුන්ය. මේ කොට්ඨාශය ධනවාදයේ විෂමචක්‍රය කරකවන්නන්ය. ඔව්හු නව කම්පුචියාවේ සතුරෝ වෙති.“

පොල්පොට් ද රටට ආදරේ ඇති ඒකාධිපතියෙකි. එහෙත් රටට ආදරය කළේ ඔහුටම උරුම ක්‍රමයකට ය. හිස් චෙක්පතකින් ඒකාධිපතියෙකුට නිරපේක්ෂ බලය පවරන්නට කටයුතු කරන අය විසින් පොල්පොට් චරිතය වෙසෙසින් හැදෑරිය යුතු ය.

මේ ඇතැම් ඒකාධිපතිහු තමන් විශ්වාස කළ දර්ශනයන් තුළ සිර වූයේ එයින් එලියට ඒමට නොහැකි ව තව තවත් ඒ තුළ ගිලා බැස්සෝ ය. උන් සමග රට ද ඒ අගාධයන් තුළ සිර වූයේ ය. පොල්පොට්ට ද ඒ ඇබැද්දියම වූ බව වෛද්‍ය රුවන් එම් ජයතුංග මෙසේ විස්තර කරයි.

“කෙමරූජ්වරු අදහන ලද්දේ “අන්කා” දේශපාලන දර්ශනයයි. කෘෂිකාර්මික, ආර්ථීක ස්ථරයකින් වටවූ “අන්කා දහම” මගින් පෞද්ගලික දේපල, පුද්ගල නිදහස, නිදහස් අදහස් ප්‍රකාශනය, දැඩිලෙස සීමා කරන ලදී. බටහිර තාක්ෂණය ප්‍රතික්ෂේප කරන ලද ඔවුන් ප්‍රජාව ග්‍රාමීය ඉඩම්වලට කොටුකරන ලද්දේ ඔවුන් පාරිශුද්ධත්වයට පත් කරනු සඳහාය. පරාජීර්ණව තිබූ නාගරික ලෝකය වෙනුවට නව ගැමි ජීවිතයක් මගින් සියළු දෑ මුල සිට ආරම්භ කළ යුතු බව අන්කා දහම මගින් ඔව්හු පැවසූහ. මුල සිටම ආරම්භ කරන පොදු ග්‍රාමීය සමාජය මගින් ක්‍රම ක්‍රමයෙන් තාක්ෂණය අත්පත් කරගෙන කොමියුනිස්ට්වාදයට පිය නැගීම ඔවුන්ගේ අරමුණ විය.

අන්කා දහම මගින් පොල්පොට් අපේක්ෂා කළේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු කිරීමය. එවිට පුද්ගලයා ස්වයංපෝෂිත වෙයි. ඔහු තම ආහාර වේල සඳහා එවිට අන්‍යයන් මත යැපෙන්නේ නැත. මේ මගින් ජනතාවට සමෘධිය ලඟාකරදීම පොල්පොට්ගේ දර්ශනය විය. එහෙත් පොල්පොට්ගේ අත්හදාබැලීම කෙළවර වූයේ මහා ව්‍යසනයකින්ය.

අන්කා දහම අනුව ගොවිබිම අප්‍රිය කළ ඕනෑම පුද්ගලයෙක් ජනතා හතුරෙකු ලෙස ගණන් ගැනිනි. ඔවුන්ට අත්වූයේ මරණයයි. සමානාත්මාවය රජයන සමෘධිමත් ලොවක් බිහි කිරීම පොල්පොට්ගේ මූලික අදහස වුවද, එය ක්‍රියාවට නැංවූයේ ජනතාවගේ ලේ සහ කඳුළු මතින්ය. කාලයත් සමඟ කෙමරූජ් නායකයන් අන්කා දහමේ සිරකරුවන් බවට පත්වූහ. ඔවුනට යළි ආපසු යාමක් ගැන සිතීමට පවා නොහැකි වූහ. න්‍යාය ගුරුකොට සෑම තීරණයක්ම ගත් ඔවුන් ප්‍රායෝගික ගැටලුවලදී ළදරුවන් මෙන් අසරණ වූහ.“

ඉතිහාසය හරි හැටි කියවන්නේ නැතිව තමන් දන්න උදාහරණ කිපයක් පමණක් ගෙන ඒකාධිපතිත්වයට පාර කපන අය ගැන අපට ඇත්තේ කෝපයකට වඩා ශෝකයකි. ඒ යම් දිනක උන් ද ඒ උගුලට වැටී රටත් සමගම විනාශ වන්නට නියමිත නිසා ය.

වඩාත් අදාළ ප්‍රශ්නය රටකට අවශ්‍ය කවර ගනයේ නායකයෙකු ද යන්න ය. විශේෂයෙන් අරාජිකත්වයෙන් ඔද්දල් වී ඇති රටකට, අප වගේ රටකට, අවශ්‍ය කවර වර්ගයේ නායකයෙකු ද යන්න ය.

අපට අවශ්‍ය නීතිය අකුරට ක්‍රියාත්මක කරන නායකයෙකි. සතර අගතියෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන නායකයෙකි. ඡන්දය බලා නොසිටින නිසා ම නීතිය ක්‍රියාත්මක කිරීමට බිය සැක නැති නායකයෙකි. බලය ඉදිරියේ තර්ජන ඉදිරියේ බලපෑම් ඉදිරියේ නොනැමෙන නායකයෙකි. දණ නොනමන නායකයෙකි. ජනප්‍රිය නොවන තීන්දු තීරණ ද ගත හැකි නායකයෙකි. තමන්ගේ හිතේෂීන්ට එක නීතියක් ද සෙසු අයට තව නීතියක් ද ක්‍රියාත්මක කරන නායකයෙකු නොවේ. රටේ නීතිය හැම කෙනෙකුටම, තමන්ට ද ඇතුළු හැම කෙනෙකුටම, එක සේ බලපාන ලෙස ක්‍රියාත්මක කරමින් රට පාලනය කරන නායකයෙකි. නීතිය සුරකින ආයතන බලාත්මක කර ඇති නායකයෙකි. ඒවාට අනවශ්‍ය ලෙස ඇගිලි නොගසන නායකයෙකි. ඒවා හරිහැටි ක්‍රියාත්මක වනවා දැයි විපරම් කරන නායකයෙකි.

ඒකාධිපතියෙකු රටේ නීතියට ගරු කරන්නේ නැත. තමන් වෙනුවෙන් නීතිය නමන්නට ඔහු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බලපෑම් කරනු ඇත. එ් අණ නොපිලිපදින අය හොඳින් නැත්නම් නරකින් ඉවත් කරනු ඇත. බොහෝ දෙනෙකු නොදන්නා කාරණය නම් අවසානයේ දි රටේ නීතිය ඔහුගේ අණ බවට ඔහු විසින් හෑල්ලු කරනු ලබන බව ය.

අප මුල් වර්ගයේ කෙනෙකු වෙනුවට දෙවැනි වර්ගයේ කෙනෙකු පැතිය යුත්තේ ඇයි?

නීතියක් පවතින රටක කුමක් සිදුවන්නේ ද යන්න නිෂ්චිත ය. තමන් විසින් කරන ක්‍රියාවක කර්මයක ප්‍රතිඵල තමන්ට ලැබීම නිශ්චය ය.

පාලකයාගේ අණ රටේ නීතිය වූ රටක හැම දෙයක් ම අවිනිශ්චිත ය. එවිට පාලකයා දෙවියෙකු වන්නේ ය. දේව අණ නීතිය මායිම් කරන්නේ නැත. දේව කරුණාව ලැබෙන තෙක් හොඳ ය. දෙවියන් කෝප වුනොත් වැඩේ දෙල් ය.

මිනිසෙකු ජීවත් කළ යුතු ද නැද්ද යන්නත් මිනිසෙකු සිරේ දැමිය යුතු ද නැද්ද යන්නත් කෙනෙකුට දඩුවම් කළ යුතු ද නැද්ද යන්නත් ඒ දඩුවම කුමක් විය යුතු ද යන්නත් නීතියට අනුව නොව තම හිතුමතයට අනුව තීරණය කරන නායකයෙකු යටතේ සිටීමට මිනිසුන් කැමැත්තක් දැක්වීම තේරුම් ගැනීමට අමාරු කරුණකි.

බොහෝ දෙනෙකුට සිදු වන්නේ නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, නීතිය නායකයා අතට ගැනීම සමග පටලවා ගැනීම ය. එය එකක් නොව දෙකක් ලෙස දැකීමට බොහෝ මිනිසුන් අසමත් ය.

ඒකාධිපතිත්වයට පාර හැම විටම හමුදා කුමන්ත්‍රණයක් හරහා වැටී නැත. එය බොහෝ රටවල ඇති වූයේ මැතිවරණ ජයග්‍රහණවලින් විවෘත වූ දොරටු ඔස්සේ ය. ජනතා කැමැත්ත ඇතිව ය. බලයට පත් වූ පසු ජනතා කැමැත්ත බලෙන් පවත්වාගෙන යන ලද්දේ සිය බලය හා ජනතාවගෙන් මංකොල්ල කා ගත් ධනය භාවිතා කර ගෙන ය. අප පරිස්සම් විය යුත්තේ ඒ නිසා ය. ඒකාධීපතියන්ගේ පාලන සමයන් බොහෝ විට කෙටි නොවී ය. බලය යොදා බලය පවත්වාගෙන යෑම නිසා උන් එලවීම අපහසු ය. එපා වුව ද දරාගෙන සිටිය යුතු ය. උන් බදා වැළඳ ගැනීමට පොරොතුව අප නැවත නැවතත් සිතිය යුත්තේ ඒ නිසා ය.

ඒකාධිපතිත්වයට අත වනන බොහෝ දෙනෙකු එහි නියම රස දන්නේ නැත. එය නැවත ආපසු හැරවීම අමාරු යැයි දන්නේ ද නැත. ඔවුන්ගේ සිහින ලෝකය කඩා වැටෙන්නේ ඒකාධිපතිත්වය තමන්ගේ ගෙදර දොරකඩට පැමිණි දාට ය. එතෙක් ප්‍රශ්නය අනුන්ගේ ය. ඔවුන් ගින්දර පනින්නට සූදානම් වන්නේ එය තුළ නිවීම ඇතැයි සිතා ගෙන ය. එයින් පිච්චෙනවානම් ඒ අනුන් පමණකැයි සිතා ගෙන ය. ඒ නිසා ම ඔවුන් ඉන් වළක්වා ගැනිම අමාරු ය. ප්‍රශ්නය මේ පනින්න යන්නේ තනියම නොවීම ය. රටත් සමග වීම ය. අප නොපමාව අනතුර මේ යැයි දැක්විය යුත්තේ ඒ නිසා ය.