එකේ (1) වටිනාකම තේරුම් ගන්නට නම් ක්‍රිකට් තරගයක 99 ක් ලකුණු රැස් කර තිබිය යුතු ය. ඒ 99 ක් රැස් කරත් ඉතිරි එක අඩු නම් වාර්ථා පොතට එක් වන්නේ නැති නිසා ය. 99 වැදගත් වන්නේ මෙසේ එකේ වටිනාකම එයින් අපට උගන්වන බැවිනි. ඒ ඇරෙන්නට එහි වටිනාකමක් නැත.
99 න් වඩාත් වැඩ ගත්තේ වෙළෙන්දන් ය. එයිනුත් මගේ මතකයට එන්නේ සපත්තු වර්ගයකි. රු 500 සපත්තු කුට්ටම රු 499.90 ට අඩුකරමින් අපට කරන්නට යන වියදම ගැන සැහැල්ලුවක් ලබා දුන්නේ ඒ සපත්තු කොම්පැනිය ය. ඒ නිසා එවැනි වෙළඳ මිලක් දුටුවිට ..ටා ප්‍රයිස් යයි කියන්නට එකල මිනිස්සු පුරුදු වී සිටියහ. ඒ අනුව අපට කිව හැක්කේ අගට බින්දු තියෙන ඉලක්කමකට වඩා අගට 9 තියෙන ඉලක්කමකින් වාසි ලබන අය ද සිටින බව ය. එහෙම බැලුවහම නම් හිතෙන්නේ හැමවිටම අනූ නමය නරක නැත කියා ය.
සෙන්ටිග්‍රේඩ් අංශක 99 ට රත් කළාට සාමාන්‍ය වායුගෝල පීඩනය යටතේ වතුර නටන්නේ නැත. වතුර නටන්නේ එය අංශක 100 ට පැමිණියාට පසු ය. එසේ නටමින් පිටකරන වාෂ්පවලට කෝච්චියක් ඇදගෙන යා හැකි ය. ඒත් 99 ට රත්වූ වතුරවලට ඒ හපන් කම කළ නොහැකි ය. එහෙම බැලුවහම 99 දෙකේ කොළයට දා 100 උඩ දාන එක හරි ය. කඩ ඉම පසු කළ පසු සියල්ල වෙනස් වන හෙයිනි. 99 එවැනි කඩ ඉමකි.
විභාගයේ දී ලකුණු 99 ගත්තහම අහන්නේ ද ඉතිරි එකට මොකද වුනේ කියා ය. 99ක් ම ගත්තේ කොහොමදැයි අහන අය විරල ය. ඒ අතින් බැලුවහම 99 මිනිසුන් වූ අප සිතන්නේ කෙසේදැයි තේරුම් ගැනීමට ද අපටම උදව් කරන්නේ ය.
99 පිළිවෙළක් ඇති සංඛ්‍යාවකි. එය සෑදී ඇත්තේ අපූරු සම්බන්ධයකිනි.
99 = 23 + 33 + 43
අනූ නමය චිත්‍රපටිවලට බෑන්ඩ් කණ්ඩායම්වලට රෙස්ටුරන්ට්වලට සිංදුවලට නමක් ලෙස ද භාවිතා කර ඇත. ඒ අතින් නම් 99, ඊට එකක් වැඩි 100ට වඩා ජනප්‍රිය ය.
අසම්පූර්ණ බව සමග සමගිවීම මිනිසෙකු සම්පූර්ණ කරන්නේ යැයි ඔබ හිතන්නේ නම් ඇත්තටම 99 හි ඇති අඩු 1 ඔබ අමතක කරනු ඇත. 100 ක් ඇති එකාට වඩා එසේ සතුටු වන 99 ක් ඇති එකා සම්පූර්ණ ය. සැබෑ ලෙස අඩුව ඇත්තේ 1ක පමණෙකැයි වටහා ගෙන ඇත්තේ ඔහු /ඇය නිසා ය.
අසම්පූර්ණ බවම මිනිසෙකු සම්පූර්ණ කරන්නේ ය. සම්පූර්ණ නම් එතැන ඇත්තේ මිනිසෙකු නොවේ.
ඉලක්කය 100 කර ගමු. ලැබුනේ 99 නම් එය 100ක්ම තරම් බව හඟිමු. 99 ත් 100 ත් තුළ ඒවාට ආවේණික යහපත් භාවයන් තිබේ. අප ඒ දෙකම අගැයීමට පුරුදු විය යුත්තෙමු.