මිනිසුන් එහෙම පිටින් ම සුදුත් නැත. කළුත් නැත. හැම කෙනෙකුම වාගේ අළු පාට ය. ඇත්තේ අළුපාටේ විවිධ හැඩයන් ය. සමහරු කළු පාට පැත්තට බර ය. සමහර සුදු පාට පැත්තට බර ය. එපමණ ය.
වෙනත් ලෙසකින් කියන්නේ නම් අතිශයින් යහපත් යැයි මිනිසුන් විසින් සළකන සුදු චරිත පවා ළගින් ඇසුරු කරන විට සීමාකම් වලින් යුක්ත බව පෙනී යනු ඇත. අප පුදුමයට පත් කරන දුර්වලකම් වලින් යුක්ත බව පෙනී යනු ඇත.
ඒ නිසා ම කවරෙකුට වුව අති මහත් බලයක් නොපැවරිය යුතු ය. බලය ලබන කෙනෙකු බලය වැරදි ලෙස භාවිතා කරනවා ද යන්න පිළිවිසීමට ක්‍රම වේදයන් සැකසිය යුතු ය.
ලැබෙන බලයත් සමග මිනිස්සු වෙනස් වෙති. ඇතැම් විට බලය නිසා ම මිනිසා අතුරුදහන් ව යකෙකු උත්පත්තිය ලබන්නට පුළුවන. ඇතැම් විටක බලය නිසා මිනිස්සු මත් වෙති. මත් වූ මිනිසා තමන් කරන්නේ කුමක් දැයි දන්නේ නැත. බලය වංචාවට මග පාදයි, අධික බලය අධික වංචාවන්ට මග පාදයි, යනුවෙන් සුප්‍රසිද්ධ කියමනක් තිබෙන්නේ ඒ නිසා ය.
ලබා ගත් බලය ස්වකීය කැමැත්තෙන් අත් හැරීමට බොහෝ අයට බැරි ය. එවැනි අයට බලය සීමා රහිත ව ඕනෑ ය. සීමා රහිත කාලයකට ද ඕනෑ ය. ඇතැම් විට සදහට (ජීවත් වන තුරා) ඕනෑ ය. නෙල්සන් මැන්ඩෙලා වැනි කලාතුරකින් කෙනෙක් බලය තමන් වෙත තබා ගැනීමට අවශ්‍ය සියළු ඉඩකඩ තිබිය දී, සිය කැමැත්තෙන් බලය අත්හැරිය ද බලය ගත් බොහෝ දෙනෙකුට එසේ කරනු බැරි විය. බොහෝ රටවල ව්‍යවස්ථාවන් මගින් බලය හෙබවිය හැකි වාර ගණන දෙකකට සීමා කරන්නේ මේ හේතුව නිසා ය. එහෙත් රුසියාවේ වත්මන් ජනාධිපති පුටින්, චීනයේ වත්මන් නායක ෂී ජින්පින්ග් මෙන්ම, අපේ රටේ ජනාධිපතිවරයෙකු ව සිටි මහින්ද රාජපක්ෂ ද වාර දෙකක් මදි වී අවශ්‍ය ඕනෑ ම වාර ගණනක ජනපතිවරණයට ඉල්ලිය හැකි ඉඩ පාදා ගනිමින් තම රටවල ව්‍යවස්ථා වෙනස් කර ගත්හ.
අත්හැරීම කොහොමටත් අමාරු ව තිබිය දී බලය වැනි අතිශය දරුණු ලෙස ඇබ්බැහි වන මත් ද්‍රව්‍යයක් අත් හැරීම මිනිසුන්ට නොහැකි වීම ස්වභාවික ය. අප බලය ලබා දෙන විට සීමා පැනවීමට කටයුතු කළ යුත්තේ ඒ නිසා ය.
හිස් චෙක්පතක් දෙන්නේ බලාගෙන ය
බලය ලබන අය එය භාවිතා කළ යුත්තේ යුක්ති යුක්තව ය. හේතුව බලය ලබද්දී ඔහු/ඇය බලය දෙන අය සමග යම් සම්මුතියකට පැමිණෙන බැවිනි. ඒ බලය තමන්ට බලය ලබා දෙන්නන්ගේ යහපත සඳහා යොදවන්නේය යන සම්මුතිය ය. එහෙත් බලය ලැබීමත් සමග වෙනස් වන මිනිසුන්ට යුක්තිය පේන්නේ නැත.
බලය ලබන්නේ කොන්දේසි සහිතව ය. පවතින නීතින්ට යටත්ව ය. එහෙත් බලය ලැබුණු පසු බොහෝ අය නීතිය මායිම් කරන්නේ නැත. නීතිය තමන්ට නැමිය හැකි බව කීවේ මේ රටේ හිටපු පොලිස්පති කෙනෙකි. නීතිය අවශ්‍ය නම් තමන්ට හදන්නටත් කඩන්නටත් හැකි බව කීවේ ද අප රටේ හිටපු අල්ලස් කොමසාරිස් කෙනෙකි. නිලධාරීන් බලය භාවිතා කරන්නේ එසේ නම් දේශපාලනඥයන් ගැන කුමන කතා ද? ගැහැණියෙක් පිරිමියෙකු කරන එක ද ඇතුළත් සියළු බලතල ඔවුන්ට ඕනෑ වන්නේ ඒ අනුව ය.
නීතිය කුණු කූඩයට ම දමන්නට ඔවුන්ට ඕනෑ වන්නේ ය. සිස්ටම්ස් කඩන්නට වුවමනා වන්නේ ය. ඒවා වටේ යන්නට වුවමනා වන්නේ ය. තමනට රිසි කුමක් ද එය කරන්නට වුවමනා වන්නේ ය.
නීතිය විය යුත්තේ තමා ය. අධිකරණය විය යුත්තේ තමා ය. හරි වැරැද්ද තීරණය කළ යුත්තේ තමා ය. ඒ ඉල්ලන්නේ රජකම ය.
ඒ නිසා ම බලය යුක්ති යුක්තව භාවිතා නොවන අවස්ථාවක එය පාලනය කිරීමේ සමත් යාන්ත්‍රණයන් ද තිබිය යුතු ය යන්න බොහෝ රටවල විද්වත් මතය ය. ශිෂ්ඨ සම්පන්න රටවල විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකාගේ කටයුතු ගැන විපරමෙන් ඉන්නා ස්වාධීන ආයතන ලෙස පැවතිය යුත්තේ යැයි ඒ රටවල් විශ්වාස කරන්නේ ඒ නිසා ය.
එහෙත් පරම බලය පතන කෙනෙකු එවැන්නකට යටත් වීමට සූදානම් නැත. හොඳින් හෝ නරකින් පරම බලය ලබා ගැනීම එවැන්නෙකුගේ අධිෂ්ඨානය ය. තනතුරු වරදාන හා මුදල් දී ව්‍යවස්ථාදායකයෙන් මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට ද දෝෂාභියෝගයන් ගෙනෙමින් අගවිනිසුරුවන් අස් කරන්නට ද තැත් කරන්නේ එසේ පරම බලයක් ඕනෑ වූ විට ය. එකඟ නොවන මිනිසුන් අතුරුදහන් කරන්නේ එවැනි බලයක් ඕනෑ වූ විට ය.
බලය ලබන අය බලය දුන් ජනතාවට ද වග කිව යුතු ය. බලයට සුජාත භාවයක් ලැබෙන්නේ එසේ කළ විට ය. ඒ නිසා ම බලය පාවිච්චි කළ යුත්තේ විනිවිද භාවයෙන් ය.
එහෙත් හැම විටම පාහේ සිදු වන්නේ එහි අනෙත් පැත්ත ය. බලය ම යොදා අකටයුතුකම් සැගවීම ය. හොරකම් යට ගැසීම ය. සාක්කි විනාශ කිරීම ය. සාක්කි කරුවන් අතුරුදහන් කිරීම ය. පැමිණිලි කරුවන්ට පරලොවට නොමිලේ ටිකට් ලැබීම ය. නොමිලේ තෙල් සාත්තුවක් ලැබීම ය. මාධ්‍ය පාලනය කරමින් තමන්ට අවශ්‍ය මතය පමණක් ජන ගත කිරීම ය. සෙසු මතයන් මතු නොවන තැනට වග බලා ගැනීම ය.
මේ හේතු නිසා ම අපට විශ්වාස යැයි කියා කොන්දේසි විරහිත බලයක් කිසි කෙනෙකුට නොදිය යුතු ය. විශ්වාස යැයි සිතා කිසිවෙකුට හිස් චෙක් පතක් නොදිය යුතු ය. කොන්දේසි විරහිත බලයත් හිස් චෙක්පතත් තැබූ විශ්වාසය කඩා බිඳ දමන්නට අප විසින් ම සපයන ආයුධ සේ සැළකිය යුතු ය.
බලය සතු පුදුම බලය
බලය සතුව පුදුමාකාර බලයක් තිබේ. ඒ සියල්ල ඒ වෙතට ඇද ගැනීමට ය. ධනය ද සැප සම්පත් ද සාමාන්‍ය මිනිසුන් ද පමණක් නොව මාධ්‍ය ආයතන ද මාධ්‍ය කරුවන් ද ආගමික ආයතන ද ගිහි ගෙය අත් හළ පූජකයන් ද කලාකරුවන් විද්වතුන් ඇතුළු අටෝරාශියක් කශේරුකා නැති උගත් කුසලතා පූර්ණ මිනිසුන් ද තමන් වෙතට ඇද ගැනීමට ඊට පුළුවන. මේ ගැන කම්පා වූ හිට්ලර්ගේ සිර අඩස්සියෙන් දිවි ගලවා ගත් දරුවෙකු මෙසේ කියා තිබිණි.
“ආදරණීය ගුරුතුමනි, මම නාසි සිරකඳවුරකින් මිදී පලා ආවෙක්මි. බොහෝ මිනිසුන් විසින් නොදිටිය යුතු නොදැකිය යුතු බොහෝ දෑ මම දුටුවෙමි. උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනන අයුරු, දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුන්ට විෂ එන්නත් කරන අයුරු, පුහුණුව ලත් හෙදියන් විසින් ලදරුවන් මරා දමන අයුරු, උපාධිධාරීන් විසින් ගැහැණුන් හා දරුවන් මරා පුළුස්සන අයුරු මම දුටුවෙමි. මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි. මගේ ඉල්ලීම ගුරුවරුන් කියා දිය යුත්තේ මානව දයාවෙන් යුතු මිනිසුන් වන අයුරු ය. ඔබේ උත්සහය අවසානයේ ලොවට බිහිවන්නේ උගත් අමනුෂ්‍යයින් නම් දක්ෂ යක්ෂයින් නම් එයින් පලක් නැත.”
ඇයගේ කම්පාව සාධාරණ ය. එහෙත් වැරැද්ද ඇත්තේ ගුරුවරයාගේ නොව ගුරුවරයෙකුට පවා ඉක්මවිය නොහැකි පරම බලයේ ය. උගතෙකු පවා සේවයට ගෙන තමන්ට රිසි පරිදි හැඩ ගස්වන්නට හැකි පරම බලයේ ය. ගුරුවරයා වැරැද්දක් කර ඇත්නම් ඒ පරම බලයේ ආනිශංස නොකියා මග හැරීම ය. ඒ ගැන ප්‍රමාණවත් ලෙස දැනුවත් නොකිරීම ය. එවැන්නක් මතුවෙන ලකුණු පෙනෙන විට ඒ ගැන කුමක් කළ යුතු දැයි නොකියා මග හැරීම ය.
සමහර ලෙඩ රෝග හැදුනාට පසු සුව කිරීම අමාරු ය. අප කළ යුත්තේ එවන් ලෙඩ රෝග හැදීම වළක්වා ගැනීම ය. පරම බලය ද එවැනි රෝගයකි.
පරම බලය දළු ලා වැඩිමට සරු පොළොවක් ද අවශ්‍ය ය. ජනතාව අතර ආරක්ෂාව පිළිබඳ ඇති අනියත බිය හා විශේෂයෙන් සතුරන් විසින් තමන් බිලිගනු ඇතැයි යන අනාරක්ෂිත භාවය පරම බලය වැඩීමට අවශ්‍ය සරු පස ය. ඒ නිසා ම තමන්ගේ ගැලවීමට පරම බලය ඇති නායකයෙකු අවශ්‍ය යැයි යන හැගීම ජනතාව තුළින් මතු වීම සාධාරණ ය. එහෙත් ඊට පසු සිදු වන සියල්ල අසාධාරණ ය.
පරම බලය ගොඩ නැගීම උදෙසා නායකයා සියලු දෙයින් පරිපූර්ණ වීරයෙකු කළ යුතු ය. ඔහු වටා වීර පුරාවෘත්තීන් ගොඩ නැගිය යුතු ය. ඔහුගේ ප්‍රතිරූපය පිම්බිය යුතු ය. ඔහු සුදු පාටින් පිරියම් කළ යුතු ය. ඔහු කළ හැම දෙයක් ම, කරන සෑම දෙයක් ම, සාධාරණී කරණය කළ යුතු ය. ඔහු වෙනුවෙන් ස්තෝත්‍ර ගැයිය යුතු ය. ප්‍රශස්ති කිව යුතු ය. මේ කාරණා නිසා ඔහු වටා ගොඩ නැගෙන රැස් වළල්ල කොතරම් ආකර්ෂණීය ද ප්‍රභා සම්පන්න ද යත් ඔහුට කිට්ටු වීම අවශේෂ මිනිසුන්ට අපහසු දෙයක් වෙයි. කාලය මෙසේ ගත වෙද්දි දිගින් දිගට ගෙනි යන මේ බොරුව, බොරුව නිර්මාණය කරන අය පවා විශ්වාස කරන දෙයක් බවට පත්වේ.
උඩින් ඔසවා තබන වීරයා
ඉන්පසු සිදු වන්නේ බොහෝ දෙනෙකු ඔහු ප්‍රශ්න කිරීමට නිර්භය නොවීම ය. වැඩි දෙනා ඔහු වන්දනා කරන නිකමුන් පිරිසක් බවට පත් වීම ය. ඔහුට විරුද්ධ වන්නට නිර්භය වන ස්වල්පයක් මිනිසුන් සෙසු මිනිසුන් විසින් යටපත් කරනු ලැබීම ය. ඔවුන්ට විරුද්ධව වීරයා ගනු ලබන පියවරයන් ප්‍රීති ඝෝෂා නගමින් වැඩි දෙනා විසින් අනුමත කරනු ලැබීම ය. අවසානයේ සියල්ල වීරයාට යටත් වීම ය. ඉංජිනේරුවන්ට ගෑස් කුටි නිර්මාණය කිරීමට සිදු වීම ය.
මේ තත්වය පවත්වා ගැනීමට වීරයාට සමාන්තරව භයානක සතුරෙකු ද නිර්මාණය කර ගත යුතු ය. එක් සතුරෙකු නැති වූ විට තව එකෙකු හදා ගත යුතු ය. නැති කළ සතුරා නැවත මතුවිය හැකි බවක් කියමින් දිගින් දිගට මිනිසුන් බියෙන් සංත්‍රාසයට පත් කළ යුතු ය. පැත්තක සිටින පිරිසක් වුව සතුරකු ලෙස වර්ධනය කර සකස් කර ගත යුතු ය. ඒ සඳහා කතා ගෙතිය යුතු ය. උන් නිදා සිටින්නේ නම් උසි ගන්වා අවදි කර ගත යුතු ය. සතුරා ජාත්‍යන්තර සබඳකම් ඇති ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කරුවෙක් ලෙස ගොඩ නගා ගත හැකි නම් මරු ය. සතුරා වඩාත් බරපතල වූ විට අනාරක්ෂිත භාවය වැඩි ය. ඒ සියල්ල පරම බලයට අත්‍යවශ්‍ය ය.
පරම බලයට විරුද්ධ වන අය සතුරාගේ පැත්තට තල්ලු කර තොලොංචි කර දැමීමට මේ හරහා ඉඩක් ඇති වන නිසා පරම බලයට විරුද්ධ වන අයට ද දෙවරක් නොව කීප වරක් සිතන්නට සිදු වන්නේ ය. ඔවුන්ව තොලොංචි කර දැමෙන්නේ ජනතා අනුමැතිය ඇතිව බව පසක් වෙන විට නැවත නැවතත් විරුද්ධ වීම ගැන කල්පනා කර බලන්නට ඔවුන්ට සිදු වන්නේ ය. ඔවුන්ට ඉවත්වන්නට සිදු වන්නේ රටට ජාතියට ආගමට ජනතාවට ද්‍රෝහී වූ, ඒ සියල්ල පවා දුන්, මිනිසුන් හැටියට ය. එය කෙසේ වත් ගෞරවනීය තත්වයක් නොවේ. ඒ නිසා ද විරුද්ධ වීමට සිතන මිනිසුන්ට නැවත නැවතත් සිතන්නට සිදු වේ.
පරම බලය සිය සුජාත භාවය ගොඩ නගන්නේ ආගමික නායකයන්ගේ නොමඳ සහයෝගය ද ඇතිව ය. මිනිසුන්ට ජීවිතයට අර්ථයක් ගෙනෙන්නේ ආගම ය. ආගම සතුරාගේ ඉලක්කයක් බවට ජනගත කළ විට ඒ සඳහා මිනිසුන් ඉදිරිපත් වන්නේ නිතැතින් ය. සතුරාගෙන් ජනතාව පමණක් නොව ආගම ද බේරා ගැනීමට පරම බලය අවශ්‍ය නම් එය නොදී කොහොම ද? සියල්ල පරම බලය වටා ගොනු වන්නේ එසේ ය.
පරම බලය කෙනෙකුට හිමි වෙතත් ඇත්ත තත්වය ඊට ඉඳුරාම වෙනස් ය. එය වැඩිමනත් ලෙස එම පරම බලයේ අන්තේවාසිකයන් විසින් විඳිනු ඇත. ඔවුන් තමන්ගේ අතිශය පෞද්ගලික වුවමනාවන් ඒ පරම බලයේ සෙවන යටතේ ඉටු කර ගනු ඇත. තමන්ගේ පෞද්ගලික විරුද්ධවාදීන්ගෙන් පලි ගැනීමට ද තරගකාරී ව්‍යාපාරිකයන් ඉවත් කර ඒ අවස්ථා තමන් වෙත දිනා ගැනීමට ද එම බලය යොදා ගනු ඇත. කැමති තරුණියන් ඇඳට ගැනීමට ද උන්ගේ පෙම්වතුන්ට යන එන මං නැති කිරීමට ද එම බලය යොදා ගනු ඇත. උන් කරන තුච්ඡ වැඩ උත්සව තබා සමරන්නට තරම් ඔවුන් නිර්භය වනු ඇත.
අවබෝධ වන විට පමා වෙලා ය
සෙසු මිනිසුන්ට තරු විසිවන්නේ සියල්ල පමණ ඉක්මවා යන බව පසක් වූ විට ය. එය ද තමන්ට හෝ තම හිතේෂියෙකුට විරුද්ධව එම බලය ක්‍රියාත්මක වූ කලට ය. එතෙක් තමන් සුරක්ෂිතය යන හැගීමෙන් ඔවුන් ජීවත් වනු ඇත. ඔවුන්ට එහෙම වුනාට අපට එහෙම වෙන එකක් නැතැයි හිත හදා ගනිමින් ඔවුන් ජීවත් වනු ඇත. ඒ ඇරෙන්නට මේ වන විට කිරීමට වෙනත් කිසිවක් ද ඔවුන්ට ඉතිරි වී නැත.
පරම බලය හිමි පුද්ගලයාට වුව සිය අන්තේවාසිකයන් කරන මේ අඩම්තේට්ට්ම් සම්බන්ධයෙන් කළ හැකි කිසි දෙයක් නැත. ඔහු බලය පවත්වාගෙන යන්නේ සිය අන්තේවාසිකයන් හරහා ය. ප්‍රශස්ති ගයන උන් හරහා ය. ප්‍රතිරූපය පුම්බන උන් හරහා ය. ඒ නිසා උන්ට රිසි සේ කටයුතු කිරීමට ඉඩ හල යුත්තේ ය. නැත්නම් සිදු වන්නේ ගොඩ නගාගත් අට්ටාලය කැඩෙන්නට ඉඩ දී තමන් ද වැටීමට ය. එසේ වැටී තමන්ගේ කොන්ද ද කඩා ගැනීමට ය. ඒ නිසා ම පරම බලය දුන් විට නැවත ගැනීම අමාරු ය.
ඒ නිසා ම පරම බලය ගොඩ නැගෙන්නට අප විසින් අවසර නොදිය යුතු ය. ඉඩ නොහල යුතු ය. එය නිල්පාටින් කොළ පාටින් දම් පාටින් කුරහන් පාටින් හෝ රතු පාටින් වුව එහි වෙනසක් නැත. එය කුමන පාටකින් හෝ ගොඩ නැගීමට අප ඉඩ නොදිය යුතු ය.
අපට අවශ්‍ය වන්නේ තමන් වෙතට බලය ඒකරාශි කරගන්නා නායකයින් නොව සෙසු මිනිසුන් බලාත්මක කරන්නට ඉදිරිපත් වන නායකයින් ය. මිනිසුන් නිහඩ කරන නායකයන් නොව ඔවුන්ගේ හඩ අවදිකරන්නට ඉඩ සලසන නායකයින් ය. ඔබ තෝරාගන්නා නායකයා කවරෙකු වුව ද ඔහු එසේ කරන බවට වග බලා ගැනීමේ වගකීම ඒ නිසා ම ඔබට තිබෙන්නේ ය.
රට තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කරමින් පාස්කු ඉරිදා මතු වූ ත්‍රස්තවාදය පැරදිය හැක්කේ ත්‍රස්තවාදයට එරෙහි මුස්ලිම් ජනයාගේ විශ්වාසය දිනා ගැනීමෙන් මිසක ඔවුන් ද ත්‍රස්තවාදී ගොඩට තල්ලු කර දමා පරම බලය යොදා ගෙන උනට පාඩම් ඉගැන්වීමෙන් නොවේ. මිනිසුන් බලාත්මක කරනවා යැයි කියන්නේ ත්‍රස්තවාදය හිස ඔසවන විටෙක ඒ බව රටට දන්වන්නට වුවමනාවක් ඇති වන පරිද්දෙන් ඔවුන් සූදානම් කිරීමට ය. ඒ සඳහා රටේ සියලු දෙනාට සමානව සළකන වටපිටාවක් අවශ්‍ය ය. මිනිසුන් රැක ගැනීමට ඉදිරිපත් වන්නේ තමන්ගේ රට ය. එසේ මෙය තමන්ගේ රට ලෙස සෑම මිනිසෙකුට හැඟෙන ආකාරයට කටයුතු කිරීමට සෙසු මිනිසුන් මෙහෙයවීමට නායකයෙකුට හැකි නම් ඔය කියන සතුරන් පරාජය කිරීමට තනි කෙනෙකුට අසීමිත බලයක්, පරම බලයක්, දීම අවශ්‍ය නැත. අවශ්‍ය සියලු මිනිසුන් බලාත්මක කිරීම ය. අප හැමදාමත් කළේ වලිගයෙන් අල්ලා ගැනීම ය. අප මේ සතුරාගේ ප්‍රශ්නය ඔලුවෙන් අල්ලා නොගත හොත් අවසානයේ අහිමි වන්නේ අපේ ඔලුව පමණක් නොවේ. රටේ ද ඔලුව ය.
ජාතික ගීය දිනපතා ගායනා කරන්නට අසන්නට සලස්වන නායයෙකු නොව එහි අදහස මහ පොළොව තුළ ස්ථාපිත කළ හැකි නායකයෙකු අපට අවශ්‍ය ය. එක මවකගෙ දරුවන් ලෙස හැමට හැඟෙන රටක් බිහි කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය ය. එය කළ හැක්කේ බලය වඩ වඩා මධ්‍යගත කිරීමෙන් නොව විමධ්‍යගත කිරීමෙනි. පරම බලය එක් අයෙකුට හිමිවන රටක් සැදීමෙන් නොවේ. සැවොම, ඔවුන්ගේ වර්ගය, ආගම, කුලය හෝ තානාන්තර නොතකා හැකිතාක් බලාත්මක කිරීමෙනි.