අප මුහුණ දී සිටින්නේ අතිශය තීරණාත්මක මැතිවරණයකට ය. ඒ තව වසර 8 ට රටේ අනාගතය මේ මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වන නිසා ය. ඒ නිසාම හැගීම් වලට වහල් නොවී තීරණයක් ගැනීම අපේ වගකීම ය.
ප්‍රශ්නය සරල ය. මේ යන විදිහට යනවා ද නැතිනම් වෙනසක් ඉල්ලනවා ද යන්න තරමට එය සරල ය.
බොහෝ දෙනෙකු වෙනසකට කැමති අතර එසේ කැමති අය පවා වෙනසකට බිය ය. ජය ගන්නේ කැමැත්ත ද බිය ද යන්න අනුව සියල්ල තීරණය වෙනවා ඇත.
මුලින්ම අපි බිය යන සාධකය දෙස බලමු.
බය කුමකට ද? රට දෙකඩ වෙනවාට ය. පැරදුනු එල්ටීටීඊ ඩයස්පෝරාව ජයගන්නවාට ය. යුද විරුවන් අපරාධ අධිකරණයට ගෙන යනවාට ය. නැවතත් එල්ටීටීය හිස ඔසවනවාට ය. අමාරුවෙන් ජයගත් සාමය පැරදෙනවාට ය.
මේ සියල්ල සාධාරණ භීතිකාවන් ය.
යුද්ධය ජයගත් සාධක හොයන්නට දක්ෂ අපට මුණ නොගැසෙන්නේ – මග හැරෙන්නේ – යුද්ධය ඇති කළ සාධක ය. නැවත යුද්ධයක් හෝ අර්බුදයක් ඇති වීම වැළැක්විය හැක්කේ ඒ දෙවැනි කී සාධක මග හැර යාමෙන් නොවේ. ඒවාට මුහුණ දීමෙනි.
තිස් අවුරුදු යුද්ධය ඇති නොවුනානම් අද ලංකාව මීට වඩා බොහෝ ප්‍රසන්න තැනක් වන්නට ඉඩ තිබුනේ ය. තවත් එවැනි යුද්ධයකට ඇති ඉඩකඩ අහුරා දැමීම ඒ නිසා අවශ්‍ය ය. දැන් මොහොතකට නැවතී ඒ යුද්ධය ඇති කළ සාධක දෙස විමසිල්ලෙන් බලමු.
වර්ග දෙකටම අයත් දේශපාලන නායකයින්ගේ බලයට තිබූ කෑදර කම ඒ සාධක අතර කැපී පෙනෙන සාධකයක් වූයේ ය. තම ජන කොටස වඩාත් හොඳින් නියෝජනය කරන්නේ තම පාර්ශවය බව කියා පෑමේ තරගය එහි ප්‍රතිඵලය විය. ඒ නිසා එක් පාර්ශවයක් වැඩිමනත් දේ ඉල්ලා සිටි අතර අනෙත් පාර්ශවය අබැටක් දීමට සූදානම් නැතැයි කියා සිටියේ ය. දෙමළ මෙන්ම සිංහල ජාතිවාදය ද ඒ පසුබිම තුළ දළු ලා වැඩුනේ ය.
යුද්ධය ඇති වන විට අප සිටියේ දුර්වල ආර්ථික සංවර්ධන මාවතක ය. ඒ නිසාම රැකියා අවස්ථා අල්ප විය. ඉගෙනීමට ඇති අවස්ථා අවම විය. ව්‍යාපාරික අවස්ථා ද අල්ප විය. රැකියා දෙන ලද්දේ රජයෙනි. අධ්‍යාපනය දෙන ලද්දේ රජයෙනි. එපමණක් නොවේ. ව්‍යාපාර කරන ලද්දේ ද රජයෙනි. ඒ නිසා ජීවනෝපාය සකසා ගැනීමට නම් ආණ්ඩුවේ දේශපාලන බලය තිබීම එයට සම්බන්ධකම් තිබීම තීරණාත්මක සාධකයක් විය.
ඉතිරිව තිබුනේ භූමියයි. එහි යමක් වගා කොට දිවි සරිකර ගැනීම බොහෝ දෙනාට ඉතිරිව තිබූ මාර්ගය වූයේ ය.
දේශපාලන බලය තීරණාත්මක සාධකයක් වූයේත් භූමිය තීරණාත්මක සාධකයක් වූයේත් ඒ අනුව ය. බහුතරයේ චන්දය සොයා ගිය පාලකයන්ට දමිළ ප්‍රජාව පෙනුනේ කරදරකාරයන් පිරිසක් ලෙස ය. තමන්ගේ දේශපාලන බලත තම චන්ද කොට්ඨාෂවල ජනයා වෙනුවෙන් යෙදවීම ඔවුහු මුල් තැන ලා සැළකුහ. වැඩි ව්‍යාපාර අවස්ථා වැඩි රැකියා අවස්ථා වැඩි ඉගෙනීමට ඇති අවස්ථා පමණක් නොව වගා කළ හැකි භූමි ප්‍රදේශයෙන් වැඩි පංගුව ඔවුන් වෙත වෙන් කර ගැනීමට ඔවුහු කටයුතු කළහ. වෙනම දේශපාලන අධිකාරියක් සහිත දමිල මාතෘ භූමියේ ඉල්ලීම සකස් වන්නේ ඒ අනුව ය.
මෙහි දී අප තේරුම් ගත යුතු අනෙත් පැත්ත නම් රට දියුණු වී ජීවනෝපායන් (රැකියා හා ව්‍යාපාරික අවස්ථා) ඇති වෙන්නට ඉඩ ලැබුනේ නම් දේශපාලනඥයන්ට සිය බල ව්‍යාපෘතිය සඳහා ජාතිවාදය යොදාගන්නට පහසු නොවන බව ය. එසේ වී නම් රැකියා ඉගෙනුම් අවස්ථා හා ව්‍යාපාරික අවස්ථා වෙන්දේසියේ දැමීමට ඔවුන්ට කළ නොහැකි වන බව ය. ඒ තුළ තවදුරටත් භූමිය හෝ දේශපාලන බලය ජීවනෝපාය තීරණය කරන සාධකයන් බවට පත් නොවන හෙයිනි.
රට තුළින් ජාතිවාදය මත පදනම් ඉල්ලීම් මතුවන්නේත් විදේශ බලපෑම්, ඉන්දියානු පීඩනය, එල්ටීටීඊ ඩයස්පෝරා බලපෑම ඈ එකී නොකී දේවල් ඉස්මත්තට එන්නේත් ඒවාට අවශ්‍ය සරු පසක් රට තුළ තිබුනෝතින් ය.
යුද්ධය ඇතිවන වකවානුවේ ඒවා යහමින් තිබුනේ ය. යුද්ධය අවසන් වූවාට ඒවා අවසන් වී නැත. තවමත් පස සරු ය. මේ සියල්ලට තවම ඉඩ තිබෙන්නේ ය. ඒ නිසාම බිය සාධාරණ ය.
එහෙත් බිය නැති කරගන්නට යන්නේ බලය යොදා වෙනත් ජාතීන් යටපත් කිරීමෙන් නම් සරු පස වෙනස් නොකිරීමෙන් නම් ඇති කරන සාමය තාවකාලික ය. එමෙන්ම වියදම් සහිත ය. එය කළ හැකි වන්නේ විශාල යුද හමුදාවක් නඩත්තු කිරීමෙන් ය. ඒවාට අවි ආයුධ ආම්පන්න සැපයීමෙන් ය. බලහත්කාරය යොදා ඇති කරන ඒ සාමයට යොදන අරමුදල් රටේ සැබෑ ජීවනෝපායන් ගොඩ නගන්නට භාවිත කරන්නේ නම් යුද්ධය සදාකාලිකව පැරදවිය හැකි ය.
ඒ නිසා ප්‍රශ්නයට ඇති දිගු කාලීන විසදුම රටේ දියුණුවට ලඝු කළ හැකි ය. අලුත් ව්‍යාපාරික අවස්ථාවන් ජීවනෝපායන් රැකියා ඉගෙනීමට ප්‍රස්ථා ඇති කරන දියුණුවට ලඝු කළ හැකි ය. භූමිය අවැදගත් වන තරමට ශක්තිමත් වන ආර්ථිකයකට ලඝු කළ හැකි ය.
රටේ දියුණුව මේ අප අපේක්ෂා කරන මට්ටමකට තවමත් සිදු නොවේ. තම දිවි පරදුවට තබා රට යන්නට නැව් නගින අය කියන්නේ ඒ කාරණය යි. රටේ වැඩ කරන ජනයාගෙන් 22% ක් පිටරට වල රැකියා කරමින් කියන්නේ ද ඒ කාරණය යි.
එසේ වන්නේ ඇයි?
අපේ රටේ ජීවන වියදම වැඩි ය. ඩීසල් තෙල් මිල වැඩි ය. විදුලි බිල වැඩි ය. ඒ පිටුපස ඇත්තේ අතිවිශාල බදු ප්‍රතිශතයයි. මේ නිසා අප රටේ නිශ්පාදකයන්ට තරගකාරී මිලකට ලෝක වෙළඳ පොළේ අලෙවි කළ හැකි දෑ නිශ්පාදනය කළ නොහැකි ය.
ඊට අමතරව ව්‍යාපාරයක් කර ගෙන යෑම සඳහා අති විශාල කප්පම් මුදලක් විවිධ පාර්ශවයන්ට – දේශපාලනඥයන්ට හා ඔවුන් පත් කරන නිලධාරීන්ට -ගෙවිය යුතුව තිබේ.
විදේශ ආයෝජකයන් පවා ලංකාවට නොඑන්නේ එබැවිනි. වෙනත් රටවල කර්මාන්තශාලා විවෘත කරන චීනය පවා ලංකාව තුළ එවැනි ආයෝජනයන් නොකරන්නේ එහෙයිනි.
අති විශාල බදු ප්‍රතිශතයකින් හා අති විශාල ණය ගැනීම් මගින් එකතු කරන මුදල් වලින් අප ඉදිකරන්නේ නැව් බලෙන් ගෙන්වන තොටුපලවල් හා අපේම පාඩු පිට දුවන ගුවන් යානා තව තවත් පාඩු පිට බාන ගුවන් තොටුපලවල් නම් අප මේ උගුල තුළ දිගින් දිගට හිර වෙනවා ඇත.
රටේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම සාධනීය ලක්ෂණයක් වන නමුදු ඒ සදහා කරන පිරිවැය අතිශයින් ප්‍රශ්න කාරී වීම තුළ එයින් පවා ආයෝජනයට සරිලන ලාභයක් ලැබෙතැයි අපේක්ෂා කළ නොහැක.
අප මේ වනවිට උපයනවාට වඩා වැඩි ප්‍රමාණයක් ණය හා පොලී ලෙස ගෙවන තත්වයක් තුළ හැම ආයෝජනයක්ම නිසි ප්‍රතිලාභ ගණනයකින් තොරව නොකළ යුතුව තිබේ. එහෙත් සිදුවන්නේ ද එයම ය.
ඒ නිසාම අප ඉන්නේ නව අර්බුදයක මුව විට ය.
යුද්ධය නැවත ඇති වීම වැළැක්විය හැක්කේ මේ තත්වය වෙනස් කළ හැකි නායකයෙකුට ය. විශාල හමුදාවක් නඩත්තු කොට ගෙන මිනිසුන්ගේ ඉල්ලීම් යටපත් කිරීම අතිශයින් තාවකාලික ය.
ඒ නිසාම බිය යුතු වන්නේ මේ තත්වය පවත්වා ගන යෑම සම්බන්ධයෙන් මිසක මෙහි වෙනසක් කිරීම සම්බන්ධයෙන් නොවේ.
අප වැඩ කළ යුත්තේ එල්ටීටීයට පක්ෂපාත ඩයස්පෝරාවට තමන්ගේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සරු පසක් නිර්මාණය නොකරන පාලනයක් ස්ථාප්තිත කිරීමට ය. යුද්ධයක් නැවත ඇති වීමට ඉඩ නොසළසන රටක් නිර්මාණය කිරීමට ය. රට දෙකඩ කිරිමේ ඉල්ලීම අදාළ නොවන රටක් බිහි කිරීමට ය. විදේශ බලපෑම්වලට බලපෑමක් කළ නොහැකි වන රටක් සැදීමට ය. සෑම ප්‍රජාවක්ම එකිනෙකා සමග සහයෝගයෙන් ජීවත්වන රටක් නිර්මාණය කිරීමට ය. එය කළ හැක්කේ පවතින තත්වයේ වෙනසක් කිරීමෙනි. අප බිය යුත්තේ මේ තත්වය වෙනස් වනවාට නොව දිගින් දිගට මෙය මේ ලෙසින් පවතිනවාට ය. බොදු බල සේනාවේ ආශිර්වාදය යටතේ අන් සියළු ජාතීන් හා ආගම්වලට එරෙහිව භීෂණයක් ක්‍රියාත්මක වනවාට ය.
ඊළග ප්‍රශ්නය මතුවන්නේ අපේක්ෂිත වෙනස සිදු කිරීමට ප්‍රතිඥා දී ඇති බලවේගවලට හැකි ද යන්න ය. එය සැබෑ ප්‍රශ්නයකි.
ඒ ප්‍රශ්නයට උත්තර තිබෙන්නේ ඔවුන් ළග නොවේ. අප ළග ය. මෛත්‍රී පාර්ශවයේ බලවේග එකක් තුළවත් මහින්ද සතුව තිබෙන ඒකරාශී වුනු බලයක් නැත. ඒ නිසාම ඔවුන් කෙරෙහි පීඩනයක් ඇති කිරීමට ජනතාවට අපට දැනට හැකි ය. ඒ මුල සිටම පුරවැසි බලයක් නිර්මාණය කිරීම මගිනි. ඔවුන් වැරදි කිරීමට කටයුතු කරන්නේ නම් මේ තත්වය වෙනසක් නොකරන්නේ නම් ඒ කරන හැම වැරදි වැඩකටම ජනවාරි 9 දා සිට විරුද්ධත්වය පළ කිරීම මගිනි. නොකරන හැම වෙනසකටම ඔවුන් තල්ලු කිරීම මගිනි.
මහින්ද මෙන් බලය ඒක රාශි කර ගත්තාට පසු අපට මැදිහත් වීමට ඇති ඉඩ අඩු වනු ඇත. එහෙත් මුල්ම පියවරේ සිට අප ඉදිරිපත් වන්නේ නම් අපට ඔවුන් යහ මාර්ගය තුළ රැඳවිය හැකි ය.
දින සියයක් ඇතුළත ව්‍යවස්ථා වෙනසක් ඇති කරන බව ඔවුන්ගේ මූලික ජනපතිවරණ පොරොන්දුවයි. එය ඉටු කරන බවට අප වග බලා ගත යුතු ය. අපරිමිත බලය අහිමි වී ගිය කල ක්‍රමවේදවලට තැනක් ලැබෙන රාජ්‍ය යන්ත්‍රණයක් ඉතිරි වේ. ශක්තිමත් නායකයෙකු වෙනුවට අපට අවශ්‍යව ඇති ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයකට එය තුළ වැඩිමට අවකාශය තිබේ.
වෙනසක් ඇති කිරීමට ඡන්දය දීමෙන් පමණක් නොහැකි ය. ඊට පසු එළඹෙන සමයේ ද ඒ වෙනුවෙන් කටයුතු කිරීමට අප සූදානම් වෙතොත් ඉතිරිව ඇති ප්‍රශ්නවලට උත්තර එතැන ඇත්තේ ය.
මෛත්‍රී තම පුතා පොලිසියේ උසස් නිලධාරියෙකුගේ පුතෙකු හා ගැටුනු අවස්ථාවේ කටයුතු කළ ආකාරය අතිශයින් ප්‍රශංසනීය ය. ඒ නිසා ඔහු ගැන විශ්වාසය තැබිය හැකි යයි කියා උත්තර දෙන්නේ නැතිව ඉහත උත්තරය ලීවේ අපේ ද වගකීමක් ඇති බව මතක් කරන්නට ය. පරමාදර්ශ අපව අතරමං කර ඇත්තේ එක් වතාවක් නොවේ. ඒ නිසාම කාටවත් චරිත සහතික දෙන්නට අපට බැරි ය.
එහෙත් වෙනසක් ඇති කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරිව නැති අපට, වෙනස කොන්ත්‍රාත් පදනමෙන් ශක්තිමත් නායකයෙකුට පවරා අත පිසදාගන්නේ නැතිව, යම් වගකීමක් ගැනීමට සිදු ව තිබේ.
ඒ වගකීම දරන්නට අකමැති අයට කියන්නට තිබෙන්නේ සුභ අනාගතයක් ඉබේ උදා නොවන බව ය. සුභ අනාගතයක් ලැබෙන්නේ එවැන්නක් වෙනුවෙන් කැප වෙන්නට කැමති අයට පමණක් බව ය.