මහේල නම් බැස්සේ ය – නැගීම සහ බැසීම

නැගීම අමාරු ය. බැසීම ලේසි ය. බොහෝ දෙනෙක් අමාරු ඒවා වලට කැමති නැත. ඒ නිසා ද නගින්නට ඔවුහු පැකිළෙති.

නැග්ගොත් බහින්න වෙනවා ය. ඒ නිසා ද තවත් සමහරු නගින්නට කැමති නැත. නැග්ගහම වැවෙන්නටත් ඉඩ තිබෙන්නේ ය. ඉහළට නැග්ග ප්‍රමාණය වැඩි වුනහම වැටුනොත් රිදෙන ප්‍රමාණය ද වැඩි වෙනවා ය. ඒ නිසා නැග්ගත් වැඩි දෙනෙක් ඉහළට යන්නට බයේ අතරමග නතර වෙනවා ය.

බය නැති අය ඉහළ යනවා ය.

ඉහළ යන්නට ඔවුන් නොකරන දෙයක් නැත. කාගේ හෝ කකුළකින් ඇද බිම දමා හෝ ඉහළටම යනවා ය. ඉහළට ගියහම පහළ ඉන්න අය පේන්නේ නැත. වටපිටාව මනරම් ය. සිසිල් ය. සියල්ල තමන්ට යටත් ලෙස දැනෙනවා ය.

ඉහළට ගිය අය වැටෙන්නේ නැතිව ඉන්නට හැකි හැම දෙයක්ම කරනවා ය. බහින්නේ නැතිව ඉන්නට ද ඔවුන් නොකරන දෙයක් නැත.

ඉහළ ඒ තරමට ආකර්ෂණී ය.

ඉහළ යන අය බහින්නට හිත හදා ගෙන යෑම හොඳ ය. මක්නිසා ද යත් මොනවා කළත් කවදා හෝ බහින්නට වෙන නිසා ය. මහේල ජයවර්ධන නම් ක්‍රිකට් ක්‍රීඩකයාට මේ අවබෝධය තිබුනේ ය. ඒ නිසා ඔහු ළඟදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් බැස්සේ ය. ගෞරවාන්විතව බැස්සේ ය. ක්‍රිකට් ලෝලීන්ගේ නොමද ආදරය මැද ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ ය.

සමහරු බහින්නට හිතුවේ පහළින් බහින්නේ නැත්තේ මොකදැයි අසන විට ය. ඒ ද ඒ හඩ ඇසුනේ නෑ වගේ කාලයක් සිටීමෙන් ද පසු ය.

සමහරු නොබැස ඉන්නට කරන දැගලිල්ල දුටුවිට නගින්නේ මොන එකට දැයි සිතෙන්නේ ය.

නැග්ගොත් බහින්න වෙනවා ය. එසේ නොකර සදාකාලිකව රැඳෙන්නට කාටවත් බැරි ය. ඒ වුනාට බහින්නට වෙන වෙලාවක් එන බව ඒ වෙලාව එන කම් බොහෝ අයට තේරෙන්නේ නැත.

ඒ බව දැන නැග්ග තරමට ජීවිතය සුන්දර වනු ඇත්තේ ය.

මගේ හෙවනැල්ලට මම බයයි මල්ලියේ!

අප අතැර නොයන එකම තැනැත්තා හෙවනැල්ල ය. එහෙම කිව්වාට ඒක නිකම් කියමනක් පමණකි. අඳුරේදී හෙවනැල්ල ද අප අතහැර දමයි. එහෙම බැලුවහම හෙවනැල්ල ද ඔය කියන තරමට අපේ තනිකම රකින කෙනෙක් නොවේ. බොහෝ මිනිසුන් වගේ ලග ඉන්නේ ඕනෑ නැති වෙලාවට ය. අත හැර යන්නේ ඕනෑම වෙලාවට ය.

අප කළ කරුමයන් හෙවනැල්ල මෙන් අප පසු පස හඹා එන බවට ද කතාවක් තිබේ. තමන්ගේම අතීතයට හෙවනැල්ල උපමා කරමින් පද පෙරළු විට අපට ලැබෙන්නේ මිනිසුන් තමන්ගේම හෙවනැල්ලට බයයි කියා ය. කරුමයට කෙසේ වෙතත් අතීතයට බය වීම සාධාරණ ය. මක්නිසා ද අපට අප දුන් එහෙත් ඉටු නොකළ පොරොන්දු එය මතක් කර දෙන නිසා ය.

හෙවනැලිවලින් බියකරු රූප මැවේ. ඒවා එහා මෙහා වෙන විට අමතර බියක් ද ඇති වේ.

තැන්පත් සිතින් විමසුවොත් පෙනෙන්නේ ඒ හුඹස් බියක් බව ය. ඇත්තටම බය විය යුත්තේ හෙවනැලිවලට නොව මිනිසුන්ට බව ය. ඒ වුනාට මිනිසුන්ගේ හැටි එහෙම ය. බය වෙන්නේ බය විය යුතු නැති දේට ය. ඇත්තටම බය විය යුතු දෙයට ඔවුන් බිය නැත.

ලොක්කෙකුගේ හෙවනැල්ල වැටෙන මානයේ හිටියොත් අප ගොඩ ය. එයින් රැකවරණය ලැබිය හැකි ය. බොහෝ අය ලොක්කන්ට කඩේ යන්නේ මේ හෙවන පතා ගෙන ය.

ඒ වුනාට අනුන්ගේ හෙවන හොයන අයට අන්තිමේ ඇතිවන්නේ පශ්චාත්තාපයකි. මක්නිසා ද යත් එසේ ලබන හෙවන අතිශයින් තාවකාලික විය හැකි නිසා ය.

ගස තමන් කපන්නට එන මිනිහාට ද හෙවන දෙන්නේ ය. එහෙම බැලුවහම වඩාත් පරිත්‍යාගශීලී  හෙවනැල්ලක් ඇත්තේ ගස් වලට ය.

අල්ලන්නට බැරි එහෙත් තමන් ලගම ගැවසෙන හෙවනැල්ල කුඩා ළමුන්ට ගෙනෙන්නේ ආශ්වාදයකි. ඔවුන් හෙවනැල්ලට දක්වන ප්‍රතිචාරයන් අතිශය සුන්දර ය. හුරතල් ය. තමන්ගේ හෙවනැල්ලටත් බය වැඩිහිටියන් සිටින ලොවක කුඩා දරුවන් සුන්දර වන්නට තවත් හේතුවක් ඒක ය.

කුමක් මග ඇර ගියත් හෙවනැල්ල මග හැර යාම අමාරු ය. ඒ සඳහා කළ හැකි එකම දෙය අඳුරට රිංගීම ය. හෙවනැල්ල මග හරින්නට ගොස් ඒ නිසා අත්තිමේ දී මග වරදින්නේ අපට ය.

නිවැරදිව ජීවත්වන්නට ඉටා ගැනීම හැර අපට විකල්පයක් නැත. එසේ නොකරන අයට සිදුවන්නේ හෙවනැල්ලට බියෙන් ජීවත් වීමට ය.

මම…. ගෝනිබිල්ලාට බයයි මල්ලියේ…

දග කරන්නට වුනහම පුංචි උන් ඉවරයක් නැතිව හිරිහැරයක් වෙන තරමට දග කරන්නෝ ය. ඉතින් ඒ වෙලාවට මෙතෙක් නොසිටි ගෝනිබිල්ලෙකු පිළිබඳ අම්මා අපට මතක් කර දෙන්නේ ය. ඌ නපුරු ය. අනේ ඒ වුනාට අම්මලාට අනුව ඌ හොඳ ය. ඒ අල්ලාගෙන යන්නේ නරක ළමුන් විතරක් නිසා ය.

දගය තාවකාලිකව නතර කර අම්මා ගෝනිබිල්ලා පිළිබඳ කියන ඒ රසවත් විස්තරය අසන්නට අපට විරාමයක් ගන්නට සිදු වේ. අප ගෝනිබිල්ලාගේ කතාව විශ්වාස කරන්නේ දැයි අම්මා කවදාවත් විපරම් කරන්නට ගියේ නැත. අපි දු එය ඇත්තක් දැයි විපරම් කරන්නට ගියේ නැත. එහෙත් දගය පමා වී මොහොතක ඉස්පාසුවක් ඉන් අම්මාට ලැබුන බව මට මතක ය.

රටේ ජනතාව දග කරන්නට සූදානම් වූ විට ඒ ගෝනිබිල්ලා අපේ නායකයන්ගේ පිහිටට ද එන්නේ ය. නම ගෝනි බිල්ලා නම් නෙමේ ය. අන්තර්ජාතික ප්‍රජාව, ඇමරිකන් අධිරාජ්‍යවාදය, බටහිර බලවේග, විජාතික බලවේග, ඩයස්පෝරාව, එන්ජීඕ, ජිහාඩ්, කොටි, බටහිර යුදෙව් ක්‍රිස්තියානි කඳවුර ආදී අනේක නම් අද ගෝනි බිල්ලාට තිබේ.

අම්මලාට වඩා රටේ නායකයන් අපට ආදරේ ය.

අම්මලා නම් කීවේ දග කරනවා නම් අල්ලාගෙන යන එකම හොඳ බව ය. අපේ නායකයන් නම් කියන්නේ තමන්ගේ දිවි ගියත් මේ ගෝනිබිල්ලාගෙන් අබ මල් රේණුවක කරදරයක් අපටවත් රටටවත් වෙන්නට ඉඩ නොතියන බව ය. ඒ සඳහා අවශ්‍ය වුනොත් සමහරු නොකා නොබී මැරෙන්නටත් සමහරු ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට යන්නටත් තවත් අය විදුලි පුටුවට නගින්නටත් ලෑස්ති ය.

ඒ නිසාම අම්මලා යටතේ අප ගෙවූ ළමා කලට වඩා සුරක්ෂිත ළමා කාලයක් අපට දැන් ලැබී තිබේ.

ගෝනිබිල්ලා ඇත්තටම ඉන්නවාදැයි සොයා බලන්නට වුවමනාවක් අපට කුඩා කළ නොතිබුනේ ය. ඒ අම්මලා අපේ ආරක්ෂාව අපටම බාර දී ගෝනිබිල්ලාට කැමැත්තක් කරන්නට ඉඩ දී පසු බැස ගිය තත්වයක් යටතේ ය. එහෙව් එකේ සුරක්ෂිතතාවය තහවුරු වී ඇති අද වැනි වටපිටාවක ගෝනිබිල්ලා ඇත්තටම ඉන්නවාදැයි බැලීමට කාරණාවක් නැත.

මේ නායකයින් සෙට් එක ඉන්නතාක් අපි ගොඩ ය. ඔවුන් එක එකා හා විරසක වී කුළල් කාගන්නේ නැතිව කෙසේ හෝ එකට සිටීම පමණක් අපේ සිහිනය වී තිබෙන්නේ එහෙයිනි. අපේ ආයුෂත් අරගෙන ඔවුන් ජීවත් විය යුත්තේ එහෙයිනි. වෙන මොනවා කරතත් අප දග නොකර සිටිය යුත්තේ ද එහෙයිනි.

මම … ගෝනි බිල්ලාට බයයි මල්ලියේ..