තනි ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය විය හැක්කේ තම ලාභ රේට්ටුව ඉහළ දමා ගැනීමට ය. තරඟයෙන් ප්‍රතිවාදීන් පරයා ජය ලබා ගැනීමට ය. ඒ සඳහා ඔහු නිල හා නිල නොවන ක්‍රම පවා ඇතැම් විට අනුගමනය කරනු ඇත. නීතියට පිටින් ගොස් කටයුතු කිරීමට පවා පසුබට නොවනු ඇත. ඒ සඳහා පරිසරය දූෂණය කිරීම ලොකු ප්‍රශ්නයක් කර නොගන්නවා ඇත. කිසිවෙකුට හසු නොවන තාක් සෙසු ජනයාගේ වුවමනාවන් යටපත් කර දැමීමට වුව නොසළකා හැරීමට වුව ඔහු/ඇය ඉදිරිපත් වනු ඇත.
එවන් තැනක ඔහු ඉදිරිපත් කරන තර්කය වනු ඇත්තේ සෙසු ව්‍යාපාරිකයන් ද එය ම කරන නිසා තමන් එසේ නොකළහොත් තරඟයෙන් පැරද ඉවත් වීමට සිදු වන බව ය.
ඔහු ඇත්තටමත් විශ්වාස කරනු ඇත්තේ එය ම ය. පරිසරය විනාශ වීම ඔහුට ද බලපාන නිසා ය. සෙසු තරඟකරුවන් පරිසරය විනාශ කරන ක්‍රියා නොකරන තාක් ඔහු ද එසේ නොකරන්නට ප්‍රතිඥා දීමට පවා ඉදිරිපත් වීමට පුළුවන.
ඔහුගේ චෝදනාව එල්ල වනු ඇත්තේ රජයට ය. පරිසරයට සිදු වන හානියා වැළැක්වීම උදෙසා ව්‍යාපාර නියාමනය නොකරන රජයට ය.
සෙසු තරඟකරුවන් අල්ලස් දෙන තාක් තමන් එසේ නොකර සිටියොත් තරඟයෙන් පැරදීමට සිදු වන නිසා අල්ලසට එරෙහිව කටයුතු නොකිරීම ගැන ඔහු රජයට දොස් පවරමින් ම ඔහු තවදුරටත් අල්ලස් දෙනු ඇත්තේ ය.
ඔහුගේ හදවතට තට්ටු කර බලන්නේ නම් ඔහු අල්ලස් දීමට විරුද්ධ ය. එය නිකරුණේ කරන වියදමක් නිසා ය. අනවශ්‍ය වියදමක් නිසා ය. අල්ලස එන්න එන්නම වැඩි විය හැකි නිසා ය. තරඟය තුළ එය අසීමිත අගයක් ගත හැකි නිසා ය. ඒ නිසා ඔහු කැමති අල්ලස් නොදී සිටීමට වුව ද එසේ නොකොට ඔහුට පැවැත්මක් නැත. ඒ සෙසු අය අල්ලස් දෙන තාක් ය.
බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ මේ සංසිද්ධිය ය. ඒ තනි ව්‍යාපාරිකයෙකුගේ වුවමනාව පවා ඇතැම් විට නීති ගරුක රටකට බව ය. පරිසර දූෂණයෙන් තොර ලොවකට බව ය.
ඇතැම් තනි ව්‍යාපාරිකයෙකු ඒ කිසිවක් තකන්නේ නැතිව කටයුතු කළේ වුව ද ව්‍යාපාරික ප්‍රජාවගේ වුවමනාව නම් නීති ගරුක රටකට හා පරිසර දූෂණයෙන් තොරව ලොවකට බව ය.
ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධයන් සමනය වන්නේ මේ හේතු නිසා නොවන්නේ ද? සංවාදයට ආරාධනාවකි.