ඉටු නොවන සිහිනයක්ද? පුරවැසි මූලික, විවෘත සහ වගවන රාජ්‍ය සේවයක්

වරින් වර රාජ්‍ය සේවය ගැන කතා කිරීමට සිදු ව තිබේ. අද මේ සටහන ඉදිරිපත් කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡාවක් නැවත ආරම්භ වී ඇති නිසාත් ප්‍රාග්ධන හා ප්‍රතිපාදන සීමා නිසා බහුතරයක් ආයතනවල වැඩ ප්‍රමාණාත්මක ව අඩු වී තිබීම නිසා ප්‍රතිසංවිධානයන් කිරීමේ ඉඩ හසර ද ඒ සමග ම විවෘත ව ඇති නිසාත් ය. ඊට අමතරව ආර්ථික හා දේශපාලන අර්බුදය විසින් ඇතැම් ප්‍රතිසංවිධානයන් කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි හැඟී යන නිසා ත් ය. ඒ සඳහා අනු මාතෘකා කිහිපයක් යටතේ කරුණු දැක්වීමට අපේක්ෂා කරතත් එයින් අදහස් වන්නේ ඒ ක්ෂේත්‍රවල පමණක් ප්‍රශ්න ඇති බව නොවේ.

විමධ්‍යගත සේවයක්

මේ විමධ්‍යගත කිරීම දේශපාලන බලය සම්බන්ධයෙන් නොවේ. සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ඇති විධායක බලය සම්බන්ධයෙනි.

හැකි තාක් සේවාවන් විමධ්‍යගත කිරීම මගින් කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරයකට ඒමට ඇති අවශ්‍යතාව හා ප්‍රධාන කාර්යාලවල තදබදය අහෝසි කිරීම පළමු යෝජනාව ය. මේ යෝජනාව අලුත් යෝජනාවක් නොවන බව ඇත්ත ය. එහෙත් එය තවමත් හරි හැටි ක්‍රියාත්මක නොවුනු අර්ථයෙන් අලුත් ය.

අප පළමුව විමසිය යුත්තේ විය යුතු මට්ටමට එය නොවුනේ මන්ද යන්න ය. බලය විමධ්‍යගත නොවීමට එක් හේතුවක් නම් අවදානම් ගැනීමට ඇති බිය ය. විමධ්‍යගත කරන ලද බලය අපහරණය කරනු ඇතැයි යන බිය ය. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ අපහරණය කරන තැනැත්තන්ට දඩුවම් පමුණුවන තැනකට යෑම මිස ඉහල බලය රඳවා ගැනීම නොවේ. ඉහළ බලය රඳවා ගත් තැන්වල ද අපහරණයන් සිදු වන බැවින් එහි අමතර වලංගුභාවයක් ද නැත. දෙවැන්න බලය අත් හැරිමට බලය දරන්නන්ගේ ඇති අකමැත්ත ය. ඒ සඳහා කළ යුත්තේ මේ ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ලබා දීමට ය. සිස්ටම් චේන්ජ් සිදු කළ හැක්කේ ඒ හරහා ය. මේ දෙක ම සිදු කිරීම පහසු නැත. ඒ ජන විඥානය තුළ පැලපදියම් වී ඇති වැඩවසම් සංස්කෘතික මනස ය.  

අප දෙවනුව විමසිය යුතු වන්නේ එය කවර මට්ටමකට විමධ්‍යගත විය යුතු ද යන්න ය. ගමට නිලධාරියෙකු සිටියි. ඔහු/ඇය ග්‍රාම නිලධාරියා ය. බොහෝ සේවාවන් ඔහුට සැපයියි නොහැකි ද? දැන් සිදු වන්නේ බහුතරයක් සේවා සම්බන්ධයෙන් ඔහුගේ නිර්දේශය ගෙන තවත් තැනකට (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද එයිනුත් නොනැවතී මධ්‍යම රාජ්‍ය ආයතනයකට) යෑමට සිදු වීම ය. අඩු වශයෙන් ඒ ආයතන වලට කටයුතු යොමු කොට සේවාව සැලසීමේ වගකීමවත් ඔහුට/ඇයට පැවරිය නොහැකි ද?

බලය පහල මට්ටමට පවරන රාජ්‍ය සේවයක්

එක ම ආයතනයක් තුළ වුව ද බලය ඒ ආයතනයේ පහල මට්ටමට පවරන්නේ නම්, සේවාලාභීන් සමග කෙළින් ම ගනුදෙනු කරන නිලධාරීන්ට පවරන්නේ නම්, සේවාලාභීන්ට වඩා හොඳ සේවයක් කිරීමට ඒ නිලධාරීන්ට හැකි ය. එපමණක් නොවේ. ඉහළ නිලධාරීන්ට ඔවුන්ට අයත් උපාය මාර්ගික රාජකාරී කිරීමට හා ප්‍රතිපත්ති වල අදාළ වෙනස් කම් කිරීම වැනි ඔවුනට අයත් රාජකාරී කිරීමට ඒ නිසා කාලය ඉතිරි වන්නේ ය.

මෙයට හරස් වන්නේ ද විමධ්‍යගත කිරීම යටතේ සාකච්ඡා වුනු කාරණා ම ය. ලොක්කන්ගේ බලය අහිමි වීම ඔවුන්ට දරා ගත නොහැකි වීමේ “අවනඩුව” ය. ඊට අමතරව ලොක්කන් බොහෝ දෙනෙකු දන්නේ ද පහළ මට්ටමේ රාජකාරී ඉටු කිරිමට පමණක් වීම ය. ඒ නිසා ඔවුන්ට කරන්නට වැඩක් නැතිව ඔවුන් අනවශ්‍ය ගණයට වැටෙතැයි ඔවුන්ට ඇති බිය ය.  

වඩා සකසුරුවම් රාජ්‍ය සේවයක්

රාජ්‍ය සේවය තුළ “යහ” පුරුදු අභිභවන “වහ” පුරුදු ගණනාවක් තිබේ. එකක් නම් තනතුරේ ලොකු කම හැම දෙයකින් ම පෙන්නීමේ උවමනාව ය. එය භාවිතා කරන මේසයේ, කාමරයේ, පරිවාර සෙනඟේ සිට යන වාහනයේ මට්ටම දක්වා ද දිව යයි. ඒ නිසා ඉහළ ම අයගේ ඉහළ තත්වය ප්‍රදර්ශනය සඳහා ලොව ඉහළම මිලක වාහනයක් ලබා දිය යුතු ය. නිලධාරීන්ට ඉහළින් ඇමතිවරයාට ද සෙසු ඇමතිවරුන්ට ඉහළින් අගමැතිට ද ඊටත් ඉහළින් ජනාධිපතිට ද මේ සියල්ල ලබා දිය යුතු ය. මේ අධික වියදම් සහිත කටයුත්ත කාර්යක්ෂමතාවයට හෝ සඵලත්වයට අවශ්‍ය නොවේ. ඇත්තට ම මේ “වහ” පුරුදු හරහා සිදු වන්නේ ඒ දෙකට ම කෙළ වීම ය. ඒවා නිසා සකසුරුවම් රාජ්‍ය සේවයක් ගොඩ නැගීමට අපහසු වීම ය.

අනෙක නම් පැරණි පුරුදු අත්හැරීමට ඇති නොකැමත්ත ය. අලුත් දේට ඇති බිය ය. ඔ්ස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවය සතු වාහන අට දහසක් පමණ තිබිය දී අපේ රාජ්‍ය සේවය සතු වාහන හැට හය දහසක් තිබෙනවා යයි පසුගිය දවසක මුහුණු පොතේ සටහන දකින අපට පුදුමයක් නූපදින්නේ ඒ නිසා ය. පැරණි සම්ප්‍රදායට අනුව තවමත් නිලධාරීන්ට වාහන ලබා දිය යුතු යැයි සිතන්නේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් උරන වනු ඇතැයි සිතීමට අමතරව වෙනසක් කිරීමට ඇති බියෙන් මෙහෙයවනු ලැබීම ද නිසා ය. තනි තනි පුද්ගලයින්ට වාහන වෙන් කර ඇතිවා පමණක් නොව ඔවුන් බොහෝ දෙනෙක් ඒ වාහන වැඩිමනත් ලෙස භාවිතා කරනුයේ කාර්යාලයට පැමිණීමටත් දරුවන් පාසලට ඇරලීමටත් බිරිඳ ගෙදර ඉන්නේ නම් ඇයට සාප්පු යෑමටත් කටයුතු සම්පාදනයටත් ය. වාහනයක් වෙනුවට මේ අයට දීමනාවක් දී කැමති දෙයක් කර ගන්නට ඉඩ දුන්නා නම් රජයට විශාල ධනයක් ඉතිරි වෙනවා නො අනුමාන ය. ඒ දීමනාව පුද්ගලික වැඩ කටයුතු සඳහා ද රාජකාරී කෙටි ගමන් ආවරණය කර ගනු සඳහා ද ප්‍රමාණවත් මට්ටමකට සැපයුව ද ඒ හරහා රජයට ඉතිරි කර ගත හැකි මුදල විශාල ය. එවිට වාහන සංචිතය දුර ගමන් රාජකාරී සඳහා සීමා කෙරෙන කුඩා වාහන ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි ව තිබෙන නිසා ය. එවැනි නව චින්තනයක් මේ කපේ දී පහළ වන්නේ නැත. අලුත්‌ දේ ගැන ඒ තරමට ම බිය ය. අවදානම් ගැනීමට කොහොමටත් සූදානමක් රාජ්‍ය සේවය තුළ නැත. රටේ ද නැත.

තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම

ඉහත මාතෘකා දෙක යටතේ ම කතා කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇති වූ අභියෝග ගණනාවක් තොරතුරු තාක්ෂණය හරහා ඉෂ්ට කර ගත හැකි ය. බලය පවරන ලද නිලධාරීන් එය කෙසේ භාවිතා කරනවා දැයි බැලීමට පමණක් නොව එය හරියාකාරව භාවිතා වන බවට වග බලා ගැනීමට ද තොරතුරු තාක්ෂණය භාවිතා කළ හැකි ය. එහෙත් තොරතුරු තාක්ෂණය යොදා ගන්නා තෙක් ඉහත කාරණා දෙක සම්බන්ධයෙන් ගන්නා පියවර කල් දැමිය යුතු නැත.

තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම මගින් තවත් බොහෝ දේ සාක්ෂාත් කර ගත හැකි ය. කාර්යක්ෂමතාවය, සේවා ලබා දීමේ ඉක්මන් කම, ආදී බොහෝ දේ ඒ අතර ඇත.

නිවසේ සිට ම බොහෝ සේවාවන් ලබා ගැනීමේ ඉඩ හසර ඒ මගින් සේවා ලාභීන්ට ලබා දිය හැකි ය. ලිපිගොනු අස්ථාන ගත වීම්, ඒවා නැවත ආපසු එනතුරු වැඩ කිරීමට නොහැකි වීම්, ආදී බොහෝ කාර්යාල තුළ පවතින අභියෝග ඒ හරහා ඉවත් කර ගත හැකි ය.

එහෙත් මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන පාරදෘෂ්‍ය භාවය රාජ්‍ය සේවයේ වත්මන් හුරුවට තර්ජනයකි. වත්මන් හුරුව වී ඇත්තේ තමන්ගේ අයට සෙසු අයට ඉහළින් සැලකීම ය. තමන්ගේ කියන්නේ තමන්ගේ නෑදෑයින්ට ය. අසල්වාසීන්ට ය. මිතුරන්ට ය. එක පන්තියේ සිටි අයට ය. එකට සරසවියේ සිටි අයට ය. එකට වෙනත් තැනක වැඩ කළ අයට ය. ඒ මදිවාට තමන්ට කීයක් හරි අත මොලවන අයට ය. පාරදෘෂ්‍යභාවය පවතින තැනක වැට බැඳෙන්නේ ඒ සංග්‍රහයන්ට ය. තමන්ගේ මිනිහෙකුට සලකන්නට බැරි රැකියාවකින් කාරි නැතැයි සිතන බොහෝ දෙනෙකු මේ පාරදෘෂ්‍ය භාවය ඉවසන එකක් නැත. “අපේ කම” වැඩවසම් ක්‍රමයෙන් අප දායාද කරගත් තවත් සංස්කෘතික උරුමයක් නිසා ය.

වටිනාකමක් නැති පියවර ඉවත් කරමින් ක්‍රියාවලීන් නැවත ප්‍රතිසංවිධානය කිරිම

ඇතැම් ක්‍රියාවලිවල සමහර පියවර තිබෙන්නේ එය ඉවත් කළ විට කිසියම් තනතුරක අවශ්‍යතාවය නැතිව යන නිසා ය. තවත් පියවර තිබෙන්නේ පරීක්ෂා කරන අය ගණනින් වැඩි වූ විට සිදු විය හැකි වැරදි අවම වේය යන විශ්වාසය නිසා ය. පළමුවැන්න සම්බන්ධයෙන් කිව යුත්තේ ඒ ප්‍රශ්නයට ඇති එකම උත්තරය ඒ තනතුරු අහෝසි කිරීම බව ය. දෙවැන්න සම්බන්ධයෙන් කිව යුත්තේ එසේ පරීක්ෂා කිරීමට නියමිත නිලධාරියා කරන එක ම දෙය එය පහළින් අනුමත වී පැමිණියේ දැයි බැලීම පමණක් බව ය. ඒ නිසා ම එයින් අමතර පරීක්ෂාවක් සිදු නොවන බව ය. ඒ නිසා එම පියවර පහසුවෙන් අහෝසි කළ හැකි එකක් බව ය.

තවත් අවස්ථාවල එවැනි පියවරින් සිදු කරන්නේ අවදානම සහමුලින් අහෝසි කිරීම ය. අවම මට්ටමකට ගෙන ඒම නොව මුළුමණින් අහෝසි කිරීම ය. ඒවා ඇතුළත් කර ඇත්තේ සියයට 99.9 කින් නොසෑහී 100% ක් සුරක්ෂිත වීමට ය. නවීන ම මෝටර් රථ සඳහා ද කලෙක දුම් සහතිකය අනිවාර්යය කර තිබුණේ ය. විමසන විට දැනගන්නට ලැබුණේ දහසකට එකක් නවීන රථ ද දුම් සහතිකය අසමත් වන බව ය. ඒ කියන්නේ ඒ පියවර ඇතුළත් කළ අයට 99.9% ක් දුම් විමෝචනය නොකිරීම ප්‍රමාණවත් නොවන බව ය.

තවත් අවස්ථාවල පියවරක් අතුළත් කර ඇත්තේ කුමකට දැයි සොයා ගන්නට ද බැරි ය. පුද්ගල හැඳුනුම් පත් ලබා ගැනීම වැනි ඇතැම් කටයුතු සඳහා මාස 6 කට වඩා පැරණි නොවන උප්පැන්න සහතිකයක් සැපයිය යුතු ය යන තීරණයට එළැඹ තිබුනේ ඒ සඳහා පැහැදිලි හේතුවක් දක්වන්නට ද නොහැකි ව ය.

මේ හැම එකකින් ම කරන්නේ මිනිසුන් රස්තියාදුවේ යැවීම ය. ඔවුන්ගේ තුට්ටු දෙකට තට්ටු කිරීම ය. මාර්ග තදබදය, සේවා තදබදය, විදේශ විනිමය අර්බුදය උග්‍ර කිරීම වැනි අතෝරක් ප්‍රශ්න නිර්මාණය කිරීම ය.

තමන්ගේ බල පරාක්‍රමය පැතිරිය හැකි නම් ඊට වඩා දෙයක් සමහර නිලධාරීන්ට නැත. බලය ලැබුණු විට කරන්නේ ඒ බලය භාවිතා කර අනෙකාට පොලු දැමිය හැකි විදි කල්පනා කිරීම ය. බලය පෙන්නීමට හුරු වී ඇති නිලධාරීන් තමන් සතු බලය මිනිසුන්ට සහන සැලසීම සඳහා යොදවන්නට යොමු කිරීම පහසු කටයුත්තක් නොවේ. ග්‍රාම සේවක යන නම ප්‍රතික්ෂේප කර ග්‍රාම නිලධාරී යන නාමය ද දිස්ත්‍රික් ලේකම් වෙනුවට මහ දිසාපති යන නාමය ද භාවිතා කිරීමට ඉදිරිපත් වන පාලක පැලැන්තියක එය කොහොමටත් අමාරු ය. ලොක්කන්ගෙන් පටන් ගෙන කොණ්ඩයේ දිග පළල හොයන ගුරුවරු හරහා මිනිසුන්ට පුස් පාට් දාන සිකුරුටි අයියලා දක්වා ම දිවෙන මේ අනෙකා පාගා දැමීමෙන් තමන් මතු වන්නට දරන මානසිකත්වය අපට ලැබෙන්නේ අපට පරපුරෙන් උරුම වූ වැඩවසම් සංස්කෘතිය නිසා ය. සංස්කෘතියක් වෙනස් කිරීම දින මාස අවුරුදු වලින් කළ හැකි වැඩක් නොවේ.

තොරතුරු හැකිතාක් ජනගත කිරීම හා විවෘත කිරීම

අපේ ආයතන වල තොරතුරු රකින්නේ කිකිළියක් සිය බිජු රකින්නාක් සේ ය. ඒ තරම් පරිස්සමට ය. හේතුව තොරතුරු සතු ව ඇති බලය ය. තොරතුරු අයිතිකාරයා විසින් තම භුක්තියට සවි කර ගෙන ඇත්තේ ඒ බලය ය. ඒවා නිකම් නම් කොහොමටත් ලැබෙන්නේ නැත. සමහර අවස්ථාවල මුදල් ගෙවා වත් ලබා ගන්නට බැරි ය. එහෙම ඉඩකඩ පවා සකස් කර නැත. ඒ අත යට ලබා ගත හැකි මුදල ඊට වඩා විශාල කර ගත හැකි නිසා ය. කොහොමටත් යමක් දුර්ලභ වූ විට ඒ සඳහා ගෙවන්නට වෙන මිල ඉහළ ය. මේ නිසා සිදු වී ඇත්තේ එක් තැනක තොරතුරු තිබිය දී තව තැනක එම තොරතුරු වලට ප්‍රවේශයක් නොමැති වීම හේතුවෙන් තීරණ ගැනීමේ අඩුපාඩු සිදු වීම ය.

තොරතුරු රකින දෙවැනි හේතුවක් තිබේ. ඒවා අසම්පූර්ණ නිසා ය. විශ්වාසනීය නොවන නිසා ය. ඒ බව එලිදරව් වීම තමන්ට ද තම ආයතනයට ද හොඳ නැති නිසා ය.

තොරතුරු රකින තෙවැනි හේතුවක් ද තිබේ. ඒ තොරතුරු නිරාවරණය වූ විට තමන් ද හෙලිදරව් වන නිසා ය. තමන් විසින් අත යට කරනු ලබන වැඩ තවදුරටත් කර ගෙන යෑමට එයින් බාධා එල්ල වන නිසා ය. ඒ තොරතුරු ම භාවිතා කර පෙරලා මිනිසුන් ප්‍රශ්න කරන නිසා ය. ඒ හරහා දූෂණය වංචාව පමණක් නොව අකාර්යක්ෂමතාවය හා නාස්තිය ද හෙලිදරව් වන නිසා ය. නොකළ යුතු වැඩ කරන බව ද කළ යුතු වැඩ මග හරින බව ද නිරාවරණය වන නිසා ය.

අප කියන්නේ තොරතුරු විවෘත කිරීම පමණක් නොව ජනගත කිරීම ද අවශ්‍ය බව ය. දැනුවත් ජනතාවක් සෑම විටම වඩා නිවැරදි තීරණයන්ට එළැඹීමට ඉඩ තිබෙන නිසා ය.  

නැවත වතාවක් කියන්නට සිදු ව තිබෙන්නේ වැඩවසම් සංස්කෘතික මනසක් එවැනි වීවෘත කිරීමකට නම් පහසුවෙන් නම්මා ගත නොහැකි බව ය.   

දුක්ගැනවිලි හා සන්නිවේදනය සඳහා සමාජ ජාලා / වෙබ් අඩවි භාවිතා කිරීම

අප කාටත් රජයේ කාර්යාල සමග වැඩ කරන්නට ගොස් විඳින්නට වූ ගැහැට පිළිබඳ කතන්දර බොහෝමයක් තිබේ. ඒත් ඒවා යහළු මිත්‍රයන් අතර බෙදා ගන්නවා විනා අදාළ තැන් වලට යොමු කිරීමට අපට ඉස්පාසුවක් හෝ අවස්ථාවක් නැත. ඇතැම් ලිඛිත ඉදිරිපත් කිරීම් වලට පවා උත්තර බඳින්නට යොමු කරන්නේ ද හොරාගේ අම්මාට ම නිසා ලිඛිත ඉදිරිපත් කිරීම් වලින් ද වැඩක් වන්නේ නැත. ඒ බව දන්නා මිනිසුන් නම් එවැනි දේට සිය වටිනා කාලය යොදවා අපතේ යවන්නේ නැත. රජයේ ආයතන නිවැරදි නොවීමට මේ හේතුව ද බලපාන්නේ ය.

අපගේ දුක් ගැනවිලි හා යෝජනා ඉදිරිපත් කිරීමට විශ්වාසනීය සමාජ ජාලා පිටුවක් හෝ වෙබ් අඩවියක් වේ නම් එයින් විපුල ප්‍රයෝජන රටට ලබා ගත හැකි ය. මුහුණු පොතේ රා.සේ.පි. යනුවෙන් පිටුවක් ඇතත් එහි පලවෙන්නේ එවැනි දුක්ගැනවිලි පමණක් ම නොවේ. බොහෝ විට ඉල්ලන්නේ ආයතනය වැඩ කරන කවුරු හරි සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් මිසක ආයතනයේ වැඩ කටයුතු ප්‍රතිසංවිධානයකට යෝජනා නොවේ. අනෙක් අතට බොහෝ දෙනෙකුට අවශ්‍ය තමන්ගේ වැඩය කර ගැනීමට මගක් මිස කාටත් තම වැඩ කර ගත හැකි මාර්ග සකස් කර ගැනීමට නොවේ. අනෙක් අතට සමස්ත රාජ්‍ය සේවය ගැන ම සටහන් පල වෙන නිසා එල්ලයක් ඇතිව යම් ආයතනයක වෙනස් කම් ඇති කිරීමේ ලා එය සමත් නැත.

එක් එක් ආයතනයට වෙන් වූ වාරණයට යටත් නොකරන සමාජ ජාලා පිටුවක් පවත්වා ගෙන යා හැකි නම් දුක් ගැනවිලි සම්බන්ධයෙන් අමතර උනන්දුවක් ආයතනයට ඇති වන්නට පුළුවන. එහෙත් ඒ සම්බන්ධ අධිකාරී බලය ආයතනයට නොතිබිය යුතු ය. එය කිසියම් ස්වාධීන ආයතනයක වගකීමක් විය යුතු ය.

ආයතන ප්‍රධානීන් පත් කිරීම හා ඔවුන්ගේ වගවීම

ආයතනයක ප්‍රධානියා මාරු වීමත් සමග බොහෝ ආයතන වල ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ ක්‍රියාකාරකම් වෙනස් වේ. ආයතන පවතින්නේ නායකයින්ගේ පුද්ගල අභිමතය ක්‍රියාත්මක කිරීමට නොවන බවත් ආයතනයක් හැටියට එය සියලු පාර්ශවයන්ට වගකීමෙන් බැඳෙන බවත් ඒ නිසා මෙසේ වෙනස් කම් කිරීම ආයතනයක පැවැත්මට හා එහි ප්‍රතිරූපයට හානිකර බවත් බොහෝ ආයතන ප්‍රධානීන්ට වැටහෙන්නේ නැත.

ආයතන ප්‍රධානීන් බොහෝ විට ආයතන සලකන්නේ තමන්ගේ ආගම පැතිරවිය හැකි පැතිරවිය යුතු තමන් අයිති දේශපාලන ව්‍යාපාරය නඩත්තු කළ හැකි එසේ කළ යුතු එකක් ලෙස ය. ආයතන ප්‍රධානීන් හැටියට පත් වන්නේ ම පාක්ෂිකයන් නිසා (වෙනත් සුදුසුකම් අවශ්‍ය නොවන නිසා) දෙවැන්න අමතර යුතුකමක් හැටියට ද සැලකේ. බොහෝ විට ප්‍රධානියා මාරුවීම සමග ප්‍රතිපත්ති වෙනස් වීමට ද මේ හැඟීම බල පාන්නේ ය.

වැඩවසම් ක්‍රමය තුළ නින්ද ගමක් ලැබුණු විට ඒ වපසරියේ තමන්ට ඔ්නෑ ම‌ දෙයක් කිරීමේ නිදහස ඒ රදළයාට ලැබේ. අපේ ආයතනවලට පත් වන අය ද සලකන්නේ තමන්ට ලැබුණු ආයතනය තමන්ගේ නින්ද ගමක් ලෙස ය.

රජයට සුළු සේවකයෙකු බඳවා ගන්නා විට ද ඔහු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී ඇද්දැයි සලකා බලන නමුත් ආයතන ප්‍රධානීන් හැටියට අපරාධ කරුවන් පත් කරන ලද අවස්ථා ද අප ර‌ටේ තිබේ. ඒ ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා නිර්ණායක නැති නිසා ය. රටේ නායකයාගේ කැමැත්ත පමණක් ඊට සෑහෙන්නේ ය. ඒ ද වැඩවසම් ක්‍රමයෙන් අප ලද උරුමයකි. රටේ නායකයාට එවැනි බලතල ලැබිය යුතු යැයි සිතන ජනතාවගේ මානසිකත්වය ද ඒ වැඩවසම් ක්‍රමයෙන් ඔබ්බට යන්නේ නැත.

පත් කළ ප්‍රධානියා ආයතනයට දක්වන දායකත්වය මැනෙන්නේ නැත. ඔහු / ඇය තමන් පත් කළ නායකයාට කෙතරම් පක්ෂපාතිව සේවය කරන්නේ යන්න පමණක් මැනෙන නිසා මේ අය ආයතනයේ ප්‍රධානීන් හැටියට සලකන්නට බැරි ය.

එසේ වුව ද ආයතන ප්‍රධානීන් පත් කිරීමේ නිර්ණායක ඇති කරන්නට හෝ ඒ සඳහා ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් සකසන්නට හෝ රටේ නායකයන් කල්පනා කරන්නට තිබෙන ඉඩ අඩු ය. නින්ද ගම් බාර දුන්නේ ද එවැනි පටිපාටි අනුගමනයෙන් නොවේ. නායකයාගේ අභිමතයට ය. ඒ ගැන මිනිසුන් ප්‍රශ්න නොකරන තාක් මේ වැඩවසම් ක්‍රමය වෙනස් වන්නේ නැත. ඒ සඳහා ජන මනස ද වෙනස් විය යුතු ය.

ආයතනවල වගවීම සමග ආයතනවල ස්වාධීනත්වය හා ආයතන බලාත්මක කිරීම සම්බන්ධ කිරීම

ආයතන වල ප්‍රධානීන්ට වගකීම් පැවරෙන අවස්ථා වල (නායකයන් විසින් නැතත් තනතුර විසින් එවැනි වගකීම් පැවරෙන විට) පවා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධිකාරී බලය ඔවුන්ට ලැබෙන්නේ නැත. ඒවා ඉහළින් දමන පොලුවලට යටත් ය. ඒ නිසා ඔවුන්ගෙන් වගවීමක් අපේක්ෂා කළ නොහැකි ය. අපේක්ෂා කළ ද වැඩක් වන්නේ නැත. ඔවුන්ගෙන් ඒ ගැන කරුණු විමසන විට ඔවුන්ට දෙන්නට සමාවට කාරණා අටෝරාසියක් තිබේ. ඒ සඳහා ඉඩ හසර ලැබෙන්නේ ඔවුන්ට අවශ්‍ය අධිකාරී බලය පවරා නැති නිසා ය. ඒවා ඇතැම් තැනක ඇත්තේ අමාත්‍යංශ ලේකම් ට ය. නැත්නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ය. එහෙමත් නැතිනම් මහ භාණ්ඩාගාරයට ය. ඔවුන් කියනු ඇත්තේ අවශ්‍ය සම්පත් ලබා නොදුන් නිසා ඒවා කළ නොහැකි වූ බව ය. ඒ නිසා අප ආයතන ප්‍රධානීන්ගෙන් වගවීමක් අපේක්ෂා කරනවා නම් මුලින් ම කළ යුත්තේ ආයතන පළමුවෙන් ස්වාධීන කිරිම ය. ආයතන ප්‍රධානීන්ට ආයතනය සම්බන්ධයෙන් තීරණය ගැනීමට පළල් නිදහසක් දීම ය. අප කලින් ද කතා කළ පරිදි ඉහල ඉන්නා අය බලය පවරන්නට අකමැති නිසා ආයතන ප්‍රධානීන්ට පවා නිසි බලයක් ලැබෙන්නේ නැත. නැවතත් අපට ආරම්භ කළ තැනට යන්නට මේ නිසා සිදු වේ.

ඒ නිසා අපට මේ සටහන අවසන් කිරීමට සිදු වන්නේ වැඩ වසම් ජන මනසට අභියෝග නොකර කළ හැකි කිසිදු රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් නැතැයි නැවත වරක් කියමින් ය.