කලාකරුවන්ගෙන් ගේම ඉල්ලන දේශප්‍රේමීන්ට

කොකා ගැස්සු‍‍වෙ හිතකින් ද?

පුපුරුවා ගීතය
හද බැඳි කවිය
මුව රැඳි සිනහව
සියල්ල එක පැහැර

කොන්ත්‍රාත්තුව කාගෙ ද
අණ දුන්නෙ කවුරුන් ද
දේශ ප්‍රේමය වෙනුවෙන් ද
මාතෘ භූමිය වෙනුවෙන් ද

හැම මිනී මැරුමක්ම
සුජාතකරණය කරන
හද බඳින එඩි වඩන
සටන්පාඨ වෙනුවෙන් ද

කිසිදා එලි නොවන
පසුබිම් කතාවක්
හද මඩින වියෝවක්
පහසුවෙන් අමතක කර දමන ….කථාවක්

ප්‍රේමයේ කිර්තිය
සදා අනුස්මරණීය!

-නිශාන්ත කමලදාස

Advertisements

බලය සමග ගනුදෙනුව

බලය දූෂණයට මග පාදන්නේ ය. අසීමිත බලය සීමා රහිත දූෂණයට මග පාදන්නේ ය. මේ අප අසා ඇති කියමනකි. එහි මුල් කර්තෘ ලෙස සඳහන් වන්නේ ලෝඩ් ඇක්ටන් ය. එහෙත් මේ පාඨය බොහෝ දෙනෙකු විසින් නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙන දෙයකි.

බලය තියෙන ඇතැම් ඇත්තෝ ඒ බලය යොදා ගෙන සොරකම් කරන බව මේ රටේ මිනිසුන්ට කවුරුවත් අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන්ගෙන් සමහරෙක් එයින් නොනැවතී දුරාචාරයේ ද මිනීමැරුම් වල ද හිංසනයේ ද බලහාත්කාරකමේ ද යෙදෙන බව ද අලුතෙන් කිව යුතු නැත. මේවා පිළිබඳ ඕනෑ තරම් උදාහරණ අපට තිබේ. මේ නොපනත් කම් සියල්ල බලය යොදා ගනිමින් කරන අතරතුර ඒවා සැගවීම ද බලය යොදා ගනිමින් ම කෙරෙන්නේ ය. ඒ නිසා බලය දූෂණයට මග පාදන බවට අටුවා ටිකා අවශ්‍ය නැත. 

බලය දූෂණයට පමණක් නොව තව බොහෝ දුර්භාග්‍යන්ට ද බල පාන්නේ ය. එයින් මත් වන කෙනෙකුට හොඳ නරක තව දුරටත් තේරෙන්නේ නැත. වෙන කිසිවෙකුට සවන් දිමට ඇති සංවේදනය ඒ මත් වීමත් සමග අතුරුදහන් වන්නේ ය.

එතෙකුදු බලය නරක දෙයක් නොවේ. පිළිකෙව් කළ යුතු දෙයක් ද නොවේ. මේ ලිපියේ  අරමුණ එහි දිග පළල හා සීමා විමසීමට ය. එහි සාධනීය හා නිශේධනීය පැති කඩ විමසීමට ය. අප බලය යන ප්‍රපංචය සමග කෙසේ ගනුදෙනු කළ යුතු දැයි කියන්නට ය.

නායකයෙකුට බලය අවශ්‍ය ය. ඒ නායකත්වයේ වගකීම ඉටු කරනු පිණිස ය. තමන් නායකත්වය දෙන ආයතනයේ  සංවිධානයේ එහෙමත් නැතිනම් රටේ ප්‍රගමනය ඇති කරනු සඳහා ය.

නායකයා තමන් නායකත්වය දෙන සංවිධානයට දිසාවක් සැපයිය යුතු ය. ගමනාන්තයක් සැපයිය යුතු ය. ඒ ගමන සංවිධානය කර දියත් කිරීම සඳහා වැඩ පිළිවෙලක් යෙදිය යුතු ය. අවශ්‍ය සම්පත් උත්පාදනය කළ යුතු ය. එක් එක් අංශයට තම වගකීම ඉටු කර ගත හැකි ලෙස එම සම්පත් ලබා දිය යුතු ය. බෙදා දිය යුතු ය. එක් එක් අංශ වෙන වෙනම නොව සංගතියක් ඇති වන ලෙස නිශ්චිත දිසාවට නිශ්චිත ගමනාන්තයට ගමන් කරන බවට අධීක්ෂණය කරමින් සහතික කළ යුතු ය. සිය බලය යොදා ගනිමින් නිවැරදි ලෙස ඒ ගමනේ යෙදෙන අයට ප්‍රතිලාභ පිරිනමමින් ඔවුන් දිරිමත් කළ යුතු ය. එසේ නොකරන අයට දඩුවම් දෙමින් ඔවුන් නිසි මගට ගත යුතු ය. ඒ කටයුතු කළ යුත්තේ තනිව නොවේ. අදාළ පිරිවර සමග ය. එහෙත් වගකීම නායකයාට ය. ඒ නිසා ම මේ සියල්ල සඳහා නායකයාට බලය අවශ්‍ය ය.

බලය තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එය භාවිතා ද කළ යුතු ය. එසේ නොකළහොත් පිහියක මෙන් ම එහි මුවහත ද නැතිව යන්නේ ය. ඒ නිසා ම නායකයෙකු සතු වැදගත්ම ගුණාංගය වන්නේ තමන් සතු බලය අවශ්‍ය අවස්ථාවේ දී භාවිතා කිරීම ය. සම්පත් බෙදා හැරීමට භාවිතා කිරීම ය. ප්‍රතිලාභ දීමට දඩුවම් දීමට භාවිතා කිරීම ය. කටයුතු සංවිධානය කිරීමට, සම්බන්ධීකරණය කිරීමට, භාවිතා කිරීම ය.

බොහෝ නායකයින් කරන්නේ බලය භාවිතා කිරීමට වඩා එය ප්‍රදර්ශනය කිරීම ය. බලය ප්‍රදර්ශනය වඩාත් ප්‍රචලිතව පැවතුනේ රජ කාලයේ ය. රජුගේ අසිමීත බලය පෙන්වීමට රත්තරන් මුතු මැණික් විශාල මාලිගා සපිරිවර සියල්ල නොඅඩුව භාවිතා වුනේ ඒ කාලයේ ය. අදටත් බොහෝ නායකයින් කැමති ඒ ශ්‍රී විභුතිය තම වටපිටාවේ තිබෙනු දැකීමට ය. ඔවුන් වැඩි සතුටක් ලබන්නේ බලය භාවිතයෙන් නොවේ. එය ප්‍රදර්ශනයෙන් ලැබෙන ප්‍රහර්ශයෙනි. ගැටළුව ඇත්තේ එතැන ය. ඔවුහු බලය ප්‍රදර්ශනය කරනු ලැබීමේ සතුටේ ගිලෙමින් බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෝ ය. ගෝලයන්ට රිසි සේ කටයුතු කරන්නට ඉඩ දී බලා සිටින්නෝ ය. තමන් වර්ණනා කරන තාක් තමන්ට ලැදියාව පෙන්නන තාක් ගෝලයින් කුමක් කළ ද නායකයෝ වගේ වගක් නැති ව සිටින්නෝ ය.

බලය ප්‍රදර්ශනය කිරීමේ එක් මූලික කොන්දේසියක් වන්නේ සෙසු පිරිස එම ප්‍රදර්ශක බලයට සිය අවනතභාවය ද එලිපිට ප්‍රදර්ශනය කිරීම ය. උදාහරණයක් ලෙස ඔවුන් නායකයාගේ ආගමනයේ දී නැගිට ආචාර දැක්විය යුතු ය. නායකයා යමක් පිරිනමන විට දණ්ඩ නමස්කාරය කොට එය පිළි ගත යුතු ය. නායකයා කියන්නේ කුමක් වුව ද මුවින් නොබැණ ඉවසිය යුතු ය. ඊට අත්පොලසන් දිය යුතු ය. නායකයාගේ උපදෙස් ප්‍රශ්න නොකර අකුරක් නෑර අනුගමනය කළ යුතු ය. නායකයාට ප්‍රශස්ති ගැයීමට ඉදිරිපත් විය යුතු ය. නායකයා වෙනුවෙන් පෞද්ගලිකව ම තම කැපවීම ප්‍රදර්ශනය කළ යුතු ය. නායකයා වඩාත් ම ප්‍රහර්ශයට පත් වන්නේ තමන්ගේ අනුභාව සම්පන්න භෞතික දෙයින් ම නොවේ. සිය අන්තේවාසිකයන් විසින් ප්‍රදර්ශනය කෙරෙන මේ අන්ධ භක්තියෙන් ලැබෙන උත්තේජනයෙනි.

බරපතල ම ප්‍රශ්නය පැන නගින්නේ නායකයාගේ ප්‍රහර්ශයට අදාළ ඒ දෙවැනි කාරණය නිසා ය. මෙසේ බලය ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා නායකයෙකුට බලය පාවිච්චි කළ යුතු අවස්ථාවක වුව ද එසේ කරන්නට බැරි වන්නේ ය. තමන්ට දේවත්වයෙන් සළකන තමන් දණ්ඩ නමස්කාරයෙන් පුදන මිනිසුන්ට එරෙහි වන්නට ඔහුට නොහැකි ය.

එයින් කියවෙන්නේ බලය ප්‍රදර්ශනයෙන් එය ක්ෂය වන බව ය. තවදුරටත් භාවිතා කිරීමට බලයක් එවිට ඉතිරි නොවන බව ය. ඒ බලය ප්‍රදර්ශනය සඳහා දැනට ම යොදා ගෙන ඇති නිසා ඒ තුළ බලය හිර ව ඇති නිසා ය.

මෙතැන ගනුදෙනුවක් තිබේ. එකක් නායකයාට කොන්දේසි විරහිතව පෞද්ගලික පක්ෂපාතිත්වය අනුගාමිකයන් විසින් දීම ය. දෙවැන්න ඊට හිලවුවට තමන්ට රිසි සේ  කටයුතු කර ගෙන යෑමට අවසර නායකයාගෙන් ලැබීම ය.

තමනුත් කටේ “පස්“ දාගෙන අනුගාමිකයන්ගේ කටේත් “පස්“ දාන්නට එයින් මග පෑදෙන්නේ ය. පස් කියා දා ගන්නේ “සීනි“ බව අන්දරේගේ කතාව දන්නා අයට අලුතින් කියන්නට අවශ්‍ය නැතැයි සිතමි. අසීමාන්තික බලය අසීමාන්තික දූෂණයට  මග  හෙලි කරන්නේ එසේ  ය. නායකයාට පමණක් සීමා නොවී ළග ඉන්නා අන්තේවාසිකයන් සියල්ල ද කොල්ල කරුවන් මං පහරන්නන් හා හොරුන්  වන්නේ ඒ අනුව ය.

බලය සම්බන්ධ කතිකාවට අලුතින් එක් වන තව මානයක් තිබේ. ඒ නම් මේ අසීමාන්තික බලය හොබවන අයගේ මොළයට අනතුරු සිදු වන බව ය. එය පිළිකාවක් මෙන් පැතිරී මොළයේ ඇතැම් කොටස් දුර්වල කර දමන බව ය. මේ ගැන කියන්නේ බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩැචර් කෙල්ට්නර් මහතා ය. ඒ වසර ගණනාවක පර්යේෂණාගාර හා ක්ෂේත්‍ර පර්යේෂණයන් වලින් අනතුරුව ය.

අසීමාන්තික බලයට නිරාවරණය වූ අයට මොළයේ යම් අබාධයක් වූ කෙනෙකුට මෙන් ඉක්මණින් හැගීම් වලින් ප්‍රලය වන්නටත්, තමන් ගන්නා අවදානම ගැන වගේ වගක් නැතිවීමටත්, සෙසු මිනිසුන්ගේ කෝණයෙන් යමක් දෙස බැලීමට නොහැකි වීමත් යන ලක්ෂණ පහල විය හැකි බව ඔහු විසින් දශක 2 ට ආසන්න කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

ඔන්ටාරියෝහි මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ සූක්වින්ඩර් ඕබි ද මීට සමාන සොයා ගැනීමක් කර තිබේ. මිනිසුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් පර්යේෂණ කළ කෙල්ට්නර්ට වෙනස් ව මොළය පිළිබඳව පරීක්ෂණයන්හි යෙදුණු ඕබි මොළයේ ක්‍රියාකාරිත්වය ගැන කිව හැකි අදාළ චුම්භක ක්ෂේත්‍ර පදනම් කර ගත් පර්යේෂණ යොදා ගනිමින් බලය හොබවන හා බලය නැති අයගේ මොළයන් හි ක්‍රියාකාරිත්වය සන්සන්දනය කරමින් කියා සිටියේ බලය හොබවන අයගේ මොළයේ “දර්පණය“ කිරීමේ හැකියාව ලැබෙන නිශ්චිත ක්‍රියාවලිය දුර්වල බව ය. දර්පණය කිරීමේ හැකියාව සහකම්පනය හා බැඳුනකි. අපට කෙනෙකු සමග සහකම්පනය ඇති කර ගත හැක්කේ ඔහුගේ හැසිරීම කටහඩ සහ ඉරියවු වලට සමාන ලෙස අපේ ඒවා සකස්කර ගත හැකි නම් ය. බලය හොබවන අයට ඒ හැකියාව අහිමිව ඇතැයි ඔහුගේ පර්යේෂණ වලින් හෙලිදරව් වී තිබේ. ඒ මගින් කෙල්ට්නර්ගේ පර්යේෂණ වල ප්‍රතිඵල සනාථ කරන භෞතික සාක්ෂි ලැබී තිබේ.

නායකයෙකු පමණට වඩා මිනිසුන්ට සංවේදීවීම යහපත් නැත. එයින් සිදු විය හැකි එක් නපුරක් නම් සෙසු සාධක ගිලිහී යෑම  ය. එසේ බැලූ විට මේ දුර්ගුණය නායකත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් මේ තත්වය පමණ ඉක්මවා යෑමෙන් සිදු වන්නේ නපුරකි. ඒ මිනිසුන්ගෙන් ඈත් වෙමින් පවතින නායකයෙකුගේ බිහි වීම ය. බලය මත පමණක් විශ්වාසය තබන සෙසු මිනිසුන් සිතන්නේ මතන්නේ කුමක් දැයි යන්න පිළිබඳ අබමල් රේණුවක් නොසිතන නායකයෙකුගේ බිහි වීම ය.

දෙවැනි ලෝක මහා යුද්ධය අවසාන වකවානුවේ හිට්ලර්ගේ පරාජය පිළිබඳ ආරංචියෙන් පසු වින්සන්ට් චර්චිල්ගේ හැසිරීම හදිසියේ වෙනස් වූ බව ඔහු ළගින් හුන් මිනිසුන්ට – සගයින් ට, නිලධාරීන් ට හා බිරිඳ ට දැනුණු බව වාර්ථා වී ඇත. ඔහු තමන් වටා සිටින අය මායිම් නොකරන අමුතු හැසිරීමක් පෙන්වා තිබේ. මේ සම්බන්ධයෙන් වින්සන්ට් චර්චිල්ට මුලින් ම අනතුරු අඟවා ඇත්තේ ඔහුගේ බිරිඳ ය. “මගේ ආදරණීය වින්සන්ට්, ඔබගේ හැසිරීම පිරිහී ඇතැයි මට පෙනී ගොස් තිබෙන බව කියන්නට මට අවසර දෙන්න. කිසිදු අදහසක්, නරක මෙන් ම හොඳ ද අදහසක්,  ඔය හැසිරීම නිසා මතු නොවනු ඇත. ඔබට තවදුරටත් හොඳ ම ප්‍රතිඵල අයත් කරගන්නට නොහැකි වනු ඇත. මා මෙසේ  ලියන්නේ මට දැනුණාට අමතරව ඔබ රැස්වීම් වල දී හැසිරෙන විදිහ වෙනස් වී ඇතැයි ඔබේ ම සගයින්ගෙන් මට අසන්නට ද ලැබුණු නිසා ය.“ ඇය ඔහුට ලියා යැව්වා ය.

බලය හොබවන නායකයින් මේ අනතුරුදායක රෝගයෙන් ගලවා ගැනීමට එසේ නොබිය ව ඔහුගේ /ඇයගේ  මුහුණට ඒ බව කියන්නට හැකි මිනිසුන් අවශ්‍ය ය. හැම බිරිඳකට ම ඒ හයිය නැත.

රජවාසල කවටයෙකු සිටියේ ඒ සඳහා යැයි සිතිය හැකි ය. කවටයාට රජු පවා විහිළුවට ලක් කිරීමට අවසර තිබුනේ ය. ඒ සඳහා හොඳම දේශීය උදාහරණ අපට දෙන්නේ අන්දරේ ය. හීන් නූලෙන් රජුගේ කටයුතු ඔහු විහිළුවට ලක් කළේ ය. ඒ සමග ම අන්තේවාසිකයන්ගේ කටයුතු ද එයින් උද්දාමයට පත් රජුගේ ප්‍රහර්ශය ද ඔහු විහිළුවට ලක් කළේ ය. එයින් එක කතාවක් ගෙන අපි විමසමු.

ඇවිද ගෙන යන කල දුටු වම්බටු පාත්තියක් ළග නැවතුණු රජු අන්දරේගෙන් මෙසේ ඇසුවේ ය. අන්දරේ, වම්බටු ගුණයි නේද? එසේය, දේවයන් වහන්ස වම්බටු අතිශයින් ගුණදායක ආහාරයකි. සිරුරට ඖෂධයකි. අන්දරේ ද නොපැකිලව උත්තර දුන්නේය. නැවත ආපසු එන ගමනේ දී ද වම්බටු පාත්තිය ළඟ නැවතුණු රජතුමා නැවතත් අන්දරේ ඇමතුවේ ය. අන්දරේ වම්බටු ඇඟට අගුණයි කියනව නේ ද? එසේ ය, රජතුමනි වම්බටු කෑම මේසයක අහලටවත් ගත යුතු නැතැයි කියා සිටියේ ය. මොනව අන්දරේ උඹ දැන් ටිකකට ඉස්සෙල්ල  කිව්ව නේ ද වම්බටු ගුණයි කියල. ඒ කටින් ම දැන් කොහොම ද කෑම මෙසේටවත් ගන්න හොඳ නෑ කියන්නේ. අන්දරේ ද මොහොතක් හෝ පමා නොවී මෙසේ සැහැල්ලුවෙන් උත්තර දුන්නේ ය. රජතුමනි, මං සේවය කරන්නෙ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙවෙයි.

මෙවැනි ඇසුරක් නායකයන් සීරුවෙන් තබන්නට අවශ්‍ය ය. බොරුවට පුම්බාගත් පෞර්ෂය පිටුපස ඉන්නේ සාමාන්‍ය මිනිසෙකු පමණක් බව පෙන්වා දෙන්නට මේ ඇසුර අවශ්‍ය  ය. ප්‍රශස්ති ගයන මිනිසුන් විතරක් වට කර ගෙන සෙසු මිනිසුන් එලවා දමන නායකයෙකුට නැතිවන්නේ ඒ ඇසුර ය. ඒ නිසා ම එවැනි නායකයින්ගේ මොළයට ඉහත කී ආකාරයේ අනතුරු සිදු වන්නට ඉඩ තිබේ.

ඊට අමතරව තමන් නැග සිටින, නැතිනම් නග්ගවා සිටින, අට්ටාල වලින් බැස සෙසු මිනිසුන් සමග – සිය අන්තේවාසිකයන් සමග නොව – තමන් හා සමයින්  ලෙස හැසිරෙන්නට සූදානම් මිනිසුන් සමග කටයුතු කිරීම නායකයෙකුට වැදගත් ය. ඒ හරහා ද ඉහත සඳහන් ලෙස මොළය ආබාධයට ලක් වීමෙන් නායකයාට ගැලවිය හැකි ය. අවාසනාවකට මේ අට්ටාල භෞතික ඒවා පමණක් නොවේ. ඒ අතර මානසික අට්ටාල ද තිබෙන්නේ ය. බැස ගැනීමට අමාරු ඒ මානසික අට්ටාල වලිනි. ඒවායින් ස්වයං ව බැස යෑම අමාරු ය. අවසානයේ සිදු වන්නේ ජනයාට හෝ කිට්ටු සගයන්ට එකතුව නායකයා බැස්ස වීමට ය. 

කෙල්ට්නර්ට අනුව නායකයෙකුට පමණක් නොව ජයග්‍රහණ වලින්  ප්‍රමුදිත ඕනෑ ම කෙනෙකුට මේ දේ විය හැකි  ය. ඒ නිසා ම ඕනෑම කෙනෙකු වරින් වර පරාජය වීම ඒ තැනැත්තාගේ මානසික සෞඛ්‍යයට හොඳ විය හැකි ය. ඒ නිසා ම බලයෙන් පහ කරනු ලැබීම පවා ප්‍රකෘති තත්වයට පත් වීමට නායකයෙකුට නැවත අවස්ථාවක් සපයන බව පෙනේ. ඒ එම පරාජය තීරණාත්මක එකක් වුවහොත් ය.

බොහෝ දෙනෙකු අනුයන නායකත්ව මොඩලය තුළ  තිබෙන්නේ එක් වීරයෙක් හා ඔහු / ඇය අනුයන හෙංචයියයන් රාශියකි. එම ඒකනායක මොඩලය අපගේ කතිකාව අනුව යහපත් නොවේ. බලය එක් පුද්ගලයෙක් තුළ ඒකරාශි වීමට වඩා එය බෙදා හැර තිබීම හොඳ ය. අපට අවශ්‍ය එක් තනි වීරයෙකු නොව වීරයන් දස දහස් ගණනින් තිබෙන රටවල් ය. වීරයන්  සිය ගණනින් සිටින ආයතනයන් ය. දුසිම් ගණනින් ඉන්නා සංවිධානයන් ය.

බලය බෙදා හැරීම හොඳ වන්නේ ඒ බලය සාධාරණ හේතුවක් නැතිව නැවත තමන් වෙතට ගැනීමට නායකයා කටයුතු නොකරන තාක් පමණකි. ඒ සඳහා හිතුමතය භාවිතා කිරීමට නායකයාට ඉඩ නැති තාක් පමණකි. ඒ නිසා ම සීමාරහිත බලයකින් නායකයා පුදනු නොලැබිය යුතු ය.

තමන් මාර්ගයෙන් පිලී පනින විට ඒ ගැන පෙන්වා දෙන්නට පුළුවන් සමාන්තර බල මූලාශ්‍රයක් තිබෙන එක ද නායකයාට හොඳ ය. ඒ, එය ආයතනයට, සංවිධානයට හා රටට ද යහපත් වන අතරතුර ය.

මේ සියලු කරුණු පෙන්වන්නේ බලය පිළිබඳ අපේ ආකල්පයන් මේ අලුත් දැනුම ඉදිරියේ විමසුමට ලක් කළ යුතු බව ය. බලය නායකයෙකුට නැතිවත් බැරි ඇතිවත් බැරි දෙයක් බව ය. එය නායකයාට පිරිනමන අනුගාමිකයන් ද ජනයා ද තරමට ම එය ලබන නායකයා ද එහි ඇති සාධනීය හා නිශේධනීය අංග දෙස පරීක්ෂාවෙන් බැලීමට වග බලා ගත යුතු බව ය.

මඟක්තිබෙද්දී – ඇයි බැදිවල යන්නේ

“මචං, අද ඉඳල රෑ නිදි නැතිව දිගටම පාඩම් කරත් විභාගෙ ගොඩ දාගන්න බෑ. ඒකෙ ආයි දෙකක් නෑ. දවස් හතෙන් මෙහෙම විභාගයක් පාස් වෙන්න කාට ද පුළුවන්. මං කියන දේ අහපං. දැන් අපිට කරන්න තියෙන්නෙ පේපර් එක උස්සන්න පුළුවන් ද කියල බලන එක“.

“ඒක කරන්න පුළුවන්ද බං?“

“ට්‍රයි එකක් දීල බලමු. හිත ඇත්නම්  පත කුඩා ද කියල කිව්වලු. උඹ රෙඩි ද කියල විතරක් කියපං. මට තනියම වියදම් කරන්න බෑ“.

“ම්..ම්..“ තරමක නිහඩතාවයකි.

“මේ බලහං කෙක්කෙන් බැරි නම් කොක්කොන් කියල කතාවක් අහල තියෙනව ද? විභාගෙ පාස් වුනාම කවුරුවත් ඕක කොහොම ද පාස් කළේ කියල හොයන්නෙ නෑ බං. උඹ අහල නැද්ද අවසානය හොඳ නම් එතැනට ළගා වෙන මාර්ගය අදාළ නෑ කියල බහුශ්‍රැත කියමනක් තියෙනව“.

“මට බෑ. ඕව කරන්න ගිහිල්ල අහුවුනොත්?“

“මචං, පේපර් එක උස්සන්නෙ උඹවත් මමවත් නෙවෙයි. ඇතුළෙ ඉන්න එකෙක් දාල. අහු නොවී කරන එක උගේ වැඩක්. ඒකට නෙ ගාන දෙන්නෙ“.

“බෑ බං, මගේ හිත කියනව ඒක වැරදි වැඩක් කියල. මට බෑ. විභාගෙ ෆේල් උනත් මම ඕක කරන්නෙ නෑ“.

මේ සංවාදය මට ඇසුනේ ඊයේ පෙරේදා දවසක වුව ද මෙය අපේ ශිෂ්ඨචාරය ආරම්භයේ සිට මේ දක්වා බොහෝ අයවළුන් වෙනස් ප්‍රස්තූතයන් අරබයා මේ සංවාදයේ ම යෙදෙන්නට ඇතැයි මම සිතමි.

අවසානය තමන්ට හා තමන්ගේ අයට හොඳ නම් යන මාර්ගය අදාළ ද? ගන්නා උපාය මාර්ගය අදාළ ද? සංවාදය ඒ අරබයා ය.

නිදහස් අරගලය

මේ සංවාදය මෑත ඉතිහාසයේ අපේ කලාපයේ දී ඇති වුනේ නිදහස් අරගලය සම්බන්ධ කර ගෙන ය. ඒ ලංකාවේ නොව ඉන්දියාවේ ය. ගාන්ධි නිදහස් සටනේ නියැලුනේ අවිහිංසාවාදය ද අවියක් ලෙස ගෙන ය. ගාන්ධී විවේචනය කළ නිදහස් සටනේ නියැලුනු  බොහෝ බලවේග ප්‍රකාශ කළේ අපේක්ෂාව අපේ නිදහස නම් ඒ සඳහා යන මග සම්බන්ධයෙන් අවිහිංසාව කොන්දේසියක් කර ගත යුතු නැතැයි යන්න ය. ඒ කියන්නේ හිංසනය වුව භාවිතා කිරීම වරදක් නොවන බව ය. ගාන්ධි ඊට එකඟ නොවීය.

මේ සංවාදය ලංකාව තුළ සමාජගත වුනේ ගාන්ධිගේ ප්‍රතිපක්ෂය යැයි කිව හැකි, හිංසනය අවියක් කොට ගෙන, එය ම එක ම උපායමාර්ගය කරගෙන, ලංකාව තුළ මතු වූ එල්ටිටීය හරහා ය. ඒ ඔවුන්ගේ “නිදහස්“ සටනේ දී ය. ගාන්ධි අවිහිංසාවාදය අත් නොහැරීමට ගෙන තිබූ අධිෂ්ඨානයට සමාන අධිෂ්ඨානයකින් ප්‍රභාකරන් හිංසනය අත් නොහැරීමට බැඳී සිටියේ ය. ඒ මත දැඩිව විශ්වාසය තැබුවේ ය.

අවසානයට කෙසේ හෝ ළගා විය යුතු යැයි කියන මතය ප්‍රතික්ෂේප කොට යන මාර්ගය සුපිරිසිදු විය යුතු යැයි ගාන්ධි කියන විට ප්‍රභාකරන් කීවේ අවසානයට යා යුතු මාර්ගය කොතරම් අපිරිසිදු වුව ද ඒ හරහා අවසානය ළගා කර ගත හැකි නම් එහි කිසිදු අවුලක් නැති බව ය

මේ සිද්ධි දෙක පමණක් ගෙන විමසුවහොත් ඉතිහාසයේ තීන්දුව ගාන්ධිට පක්ෂවත් ප්‍රභාකරන්ට එරෙහිවත් ලියැ වී තිබෙන්නේ ය. එහෙත් එය එසේ ම සෑම තැනකම සිදු වූයේ නැත. ඇතැම් තැනක අපිරිසිදු මාර්ගයේ ගිය අය ද ජය ලබා තිබේ. ඕස්ට්‍රේලියාවට ගිය සුදු ජනයා එහි සිටි භූමි පුත්‍රයන් පලවා හැර රට සියතට ගෙන අද ද එහි ඉහළින් වැජඹෙන්නෝ ය. ඒ නිසා ම සාර්ථකත්වය යන තනි සාධකය ගෙන මේ සංවාදයේ හරි පැත්ත ගැන තීන්දුවක් ගත හැකි ද? ඒ නිසා ම මෙය විමසිය යුතු ය.

ඕස්ට්‍රේලියාවේ සුද්දන් ලද ජයග්‍රහණය පැරණි එකකි. එය ඉන්දියාවේ නිදහස් සටනට ද වඩා වසර 250 ක් පැරණි ය. එයින් කියවෙන්නේ ඒ පැරණි උපාය මාර්ගය වර්ථමානයට නොගැලපෙන බව ද? තවදුරටත් නග්න බලය භාවිතයෙන් එක් රටක් තව රටක් යටත් කර ගන්නා බවක් නොපෙනීම නිසා ම මෙය යුග දෙකක දෙවිදිහක ප්‍රතිඵල ඇති කරන කාරණයක්  බව ඇඟ වෙන්නේ ද?

අතීතයේ උපාය මාර්ගයේ පිරිසිදු කම තීරණාත්මක ප්‍රශ්නයක් නොවූයේ මුත් එය තවදුරටත් එසේ දැයි මේ නිසා ගැඹුරින් විමසිය යුතු ව තිබේ.

ලෝකය තනි යායකි

එක් කලෙක ලෝකය අද මෙන් තනි යායක් නොවී ය. ලෝකය තනි එකක් හැටියට හැඳින්විය නොහැකි තරමට එය කුඩා ජනපද වලට බෙදී තිබුනේ ය. එක ගමක පදිංචිව සිටි කෙනෙක් ඇතැම් විට දැන සිටියේ අහල ගම් හතක වපසරියක සිදු වන දේ පමණක් වෙන්නට බොහෝ ඉඩ තිබුනේ ය. දැන් එසේ නොවේ.

අද  ලෝකය එකිනෙකා මත යැපෙන ලෝකයකි. තනි මිනිසෙකුට පමණක් නොව තනි රටකට ද පැවතිය නොහැකි ලෝකයකි. ලංකාව ගෙන අපි මෙය විමසන්නට බලමු.

පහත අප මූණු පොතෙන් උපුටා දක්වන සටහන අපේ මේ රඳා පැවැත්ම හකුලා දක්වන්නේ ය. අපේ වෙඩිම එකම කවලමකි – ප්‍රී ෂූට් මැලේසියාවෙ, කොල්ලගෙ ඇඳුම යුරෝපියන්, කෙල්ලගෙ ඇඳුම ඉන්දියන්, වේල් එක පෘතුගීසි, ගොයින් එවේ එක ගුජරාටි, කේක් ක්‍රිස්තියානි, ජයමංගල ගාථා සිංහල, අෂ්ඨක සංස්කෘත, පෝරුව හින්දි, බෑන්ඩ් එක බටහිර, කෑම චයිනීස්, බීම ඉතාලි, ලියාපදිංචිය රෝම ලන්දේසි, ස්තුති කතාව ඉංග්‍රීසි, මධුසමය සිංගප්පූරුව, බීල කියවන එකා විතරක් පට්ට සුද්ද සිංහල ය. ඒ සේවාවක රඟ ය. භාණ්ඩයක සැකසුම ඊටත් එහා ය.

අප කන හාල් නිපදවන ගොයමට දමන පොහොර එන්නේ එක රටකිනි. කෘමින් විනාශ කරන්නට ඉහින මැහි තෙල් එන්නේ තවත් රටකිනි. කුඹුරු මඩින යන්ත්‍ර ද ගොයම් කපන යන්ත්‍ර ද එන්නේ තව රටකිනි. ඒවා වෙළඳපොලට ගෙන එන වාහන එන්නේ එහැම පිටින් ම වෙනත් රටකිනි. ඒ යන්ත්‍ර සූත්‍ර හා වාහන වලට ගහන තෙල් එන්නේ තවත් රටකිනි. තවමත් අප රටෙන් හාල් නිපදවීම සඳහා යෙදෙන එක ම දෙය ශ්‍රමය පමණක් ම විය හැකි ය. දැන් කන්නේ අපේ රටේ, අප වවන වියෙන් එන, හාල් යැයි කීවා ම ඒක තුළ ඇත්තේ බොරු පුරාජේරුවක් පමණ ය. අප ඒ පමණට ම ෆොරින් ය.

මේ අන්තර් පැවැත්ම නිසා අපි අපේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වැරදි කරන්නේ නම් අපට ඉතා විශාල සංඛ්‍යාවක් වන අනෙකා සමග ගැටුමකට යෑමට සිදු වේ.

එදා ගමේ දී මෙන් මමත් මගේ මැර පිරිවරත් සමග ගොස් කළ වික්‍රමයන් අද කරන්නට මට බැරි ය. ඊට මැදිහත් වන්නට එදා හිටියේ පන්සලේ හාමුදුරුවන් පමණක් වන්නට ඇත. උන්නාන්සේ ට ද කළ හැකි ව තිබුනේ මගේ වැඩ අනුමත නොකර සිටීම ය. අද එසේ නොවේ.

අද එවන්නක් කළේ නම් මට එරෙහිව ගමෙන් පිට ස්ථානගතව ඇති පොලීසිය ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. එසේ නොවුනහොත් ගුටි කෑ මිනිසුන්ට අල්ලපු ගමේ ඉන්නා නැතිනම් කොළඹ ඉන්නා දේශපාලනඥයාට කරුණු ඉදිරිපත් කළ හැකි ය. නගරයේ අධිකරණයට යා හැකි ය. නිල මාධ්‍ය පමණක් නොව සමාජ ජලා ද භාවිතා කරමින් තමනට වූ අකටයුත්ත ලෝකයට වුව කිව හැකි ය. ඒ තොරතුර අහුලා ගන්නා සිවිල් සංවිධානයක් වින්දිතයාගේ පිහිට ට එනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු ඇතොත් එය ලංකාව පිළිබඳ ලෝක දර්ශකයන්ට බලපෑමක් කළ හැකි නිසා රටේ පාලකයන්ට ද ඊට පිටුපස හරවා සිටිය හැක්කේ ඒවායේ විපාක ද විඳ ගැනීමට ලෑස්ති වෙමින් ය. ඔවුන් ද යමක් කරන ලෙස පොලීසියට බලපෑම් කරනු ඇත. එදාට වඩා මා හිරවීමට ඇති ඉඩ මේ නිසා වැඩි ය.

සවුදියේ කිෂොගී

තුර්කියේ සවුදි තානාපති කාර්යාලයේ දී උත්පත්තියෙන් සවුදි ජාතිකයෙකු වූ කිෂෝගි නම් මාධ්‍යකරුවා ඝාතනය කරනු ලැබිණ. මුලින් සවුදි රාජ්‍ය කළේ එවැනි ඝාතනයක් සිදු ව නැතැයි කියා ඇඟ බේරා ගැනීම ය. එහෙත් කිෂෝගී ඇතුළට ගිය ඡයාරූප සීසීටීවී කැමරා වල සටහන් ව තිබුනේ වුව ද එලියට ආ බවක් සටහන් ව නොතිබුණු නිසා අවසානයේ එවැන්නක් සිදු වූ බව පිළිගන්නට සවුදි රාජ්‍යයට සිදු විය. එය කොතරම් ජාත්‍යන්තර මාතෘකාවක් වූයේ ද යත් සිය ආයුධ ව්‍යාපාරයට විශාල වශයෙන් ලාභ ගෙනෙන ගනුදෙනු කරුවෙකු වූ සවුදි රාජ්‍යයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීමට ඇමරිකාවට පවා සිදු වුනේ ය. ඝාතකයන් නීතිය හමුවට පමුණුවන ලෙස කරන බලපෑම් වැඩි වීම නිසා අවසානයේ සවුදි කුමාරයාට අතිශයින් සමීප සගයින් ගණනාවකට මරණ දඩුවම පමුණුවන්නට යන බව සැළ ය. එහෙත් පීඩනය තවම අවසන් නැත. මේ සම්බන්ධයෙන් සවුදි කුමාරයා වගකිව යුතු බව හෙලිවන හඩ පටයක් නිකුත් ව තිබේ. මේ හඩපටයට සවන් දීමටවත් ඇමරිකන් ජනාධිපති කැමති නැත. එහෙත් ඇමරිකාවේ ජනාධිපතිට අවසානයේ එහි ආයතනික ව්‍යුහයයේ අධිකාරයට යටත් වන්නට සිදු වනු ඇතැයි බොහෝ විචාරකයින්ගේ අදහස ය. මෙයින් කියන්නේ අති ප්‍රබල කුමාරයන් පවා මේ තනි යායක් වන ලෝකය තුළ එක්තරා දුරකට අසරණ විය හැකි  බව ය.

මේ සියල්ලෙන්  කියන්නේ අවසානය ළඟා කර ගත හැකි නම් එක් කලෙක ඒ සඳහා ගන්නා උපාය මාර්ගය අදාළ නොවූව ද තවදුරටත් එසේ නොවිය හැකි බව ය. ඒ අපේක්ෂිත අවසානය වෙනුවට වෙනස් අවසානයක් කරා එම උපාය මාර්ගය අපව ගෙන යා හැකි බව ය.

අප ආරම්භක කතාවේ කී විභාග අපේක්ෂකයා ද අවසානයේ කූඩුවේ ලගින්නට ඉඩ ඇති බව ය. එසේ වීමට ඇති ඉඩකඩ වඩ වඩාත් වැඩි වෙමින් තිබෙන බව ය.

සාර්ථකත්වය ප්‍රශ්නකාරී ය

එසේ කූඩුවේ ලගින්නට ද සිදු නොවී හීන් සීරුවේ ඔහු විභාග කඩඉම පසු කර ගත්තා යැයි අපි මොහොතකට සිතමු. එතැන ඇත්තේ සාර්ථකත්වයක් නොවේ ද?

ප්‍රශ්නය එතැනින් ජිවිතය කෙළවර නොවීම ය. මේ පළමු පියවරේ ලද සාර්ථකත්වය ඔහුව මෙහෙයවන්නේ ජිවිතයේ ඉතිරි කඩඉම් ද මේ විදිහට ම ජය ගැනීමට ය. ඔහු තවත් ඒවා ද මෙසේ ම ජය ගනු ඇත. එහෙත් කොට්ටෝරුවා හැම ගසකට ම කොට කෙට යන නමුත් කෙසෙල් ගසට කෙටූ දවසට හොට අමුණා ගන්නේ යම් සේ ද මේ උපාය මාර්ගීය සාර්ථකත්වය ඔහු අවසානයේ ගෙන යනු ඇත්තේ අගාධයට ය. ඒ නිසා ම වැරදි උපාය මාර්ගයකින් ලබන සාර්ථකත්වය අවසාන විශ්ලේෂණයේ දී  කෙනෙකු ගෙන යනු ඇත්තේ අසාර්ථකත්වයට ය.

ප්‍රභාකරන්ට වුනේ ද විජේවිරට වුනේ ද හිට්ලර් වුනු මේ දේ ම ය.

ඊට අමතරව තව දෙයක් තිබේ. සාර ධර්ම පිළිගන්නා මිනිස්සු මේ උපාය මාර්ගය පිළිකෙව් කරන්නෝ ය. එයින් ලබන සාර්ථකත්වයට අත්පුඩි ගැසීමෙන් වැළකීමට වග බලා ගන්නෝ ය. මේ සාර්ථකත්වය පිළිකුල්  කරන්නෝ ය. ඊට අනුබල දීම සහ සහය දිම ප්‍රතික්ෂේප කරන්නෝ ය. මේ කරන ව්‍යායාමයෙන් සෙසු මිනිසුන්ට සිදු වන අකටයුත්ත ගැන කම්පා වන්නෝ ය. ඒ වෙනුවෙන් එකතු වීමට තීරණය කරන්නෝ ය.

ප්‍රභාකරන්ට මුලින් ම නැතිවුනේ සිය තිරශ්චීන උපාය මාර්ගය පිළිකෙව් කළ තමන්ගේ ම මිනිසුන් ය. ඔහු ඒ මිනිසුන්ට ද ත්‍රස්තවාදයෙන් සංග්‍රහ කළේ ය. ඊළගට ඔහුට නැති වුනේ තමන්ට සහය දුන් ඉන්දියාව ය. ඉන්දියාවට ඔහු උත්තර දුන්නේ ද ඒ තමන් දත් එකම උපාය මාර්ගය වූ ත්‍රස්තවාදය භාවිතා කිරීමෙනි. ඉන්දියාවේ නායකයෙකු වූ රජීව් ගාන්ධිට ද එකම උපායමාර්ගයෙන් සංග්‍රහ කරමිනි. ඊළගට තමන් දෙස එතෙක් සානුකම්පිතව බැලූ බටහිර ලෝකය ය. ඔවුන්ට ඔහු දුන් පිළිතුර වූයේ කවුරු ඔලුවෙන් හිට ගෙන කීව ද තමන් ත්‍රස්තවාදය උපාය මාර්ගයක් ලෙස අත් නොහරින බව ය. ඉන්දියාව එල්ටීටීයට එරෙහිව තම හමුදාව යෙදවූයේ ඒ නිසා  ය. බටහිර රටවල් එල්ටීටීය තහනම්  කරන්නට යොමු වුනේ ඒ නිසා ය. අවසානයේ සිදු වුනේ ප්‍රභාකරන්ට එරෙහිව පවුරු වළලලක් නිර්මාණය වීම ය. ආයුධ ගෙනෙන මාර්ග නැවැත්වීමට ශ්‍රී ලංකා රජයට හැකි වුනේ ඒ පවුර නිසා  ය. මේ සියල්ලෝ එක් කලෙක ප්‍රභාකරන්ගේ සටන සිය ජාතිය වෙනුවෙන් නිදහස ලබා ගැනීමට කළ අරගලයක් ලෙස දුටු මිනිස්සු ය. ඒ සියල්ල අහිමි වූ කල ද ඔහු සිතුවේ තමන්ගේ ම මිනිසුන් පවුරක් ලෙස තබමින් ප්‍රහාරයෙන් වැළකීමට ය. තමන් ත්‍රස්තවාදය අනුගමනය කළ ද ආණ්ඩුව හා හමුදාවට එසේ නොකරනු ඇතැයි, එසේ කිරීමට ඔවුන්ට බැරි වනු ඇතැයි, ඔහු කල්පනා කළේ ය. විජේවීරට සිදු වූ වැරදීම එතැන දී ප්‍රභාකරන්ට ද සිදු විය. ඒ සියල්ල දැන් ඉතිහාසය ය.

ඉතිහාසයේ පාඩම

දුටු ගැමුණු රජතුමා එලාර හා යුද්ධය ජය ගත්ත ද එයින් වූ මිනිස් ජීවිත විනාශය සම්බන්ධයෙන් පසුතැවිලි වූයේ ය. තමන්ගේ හෘද සාක්ෂිය අවසානයේ ඔහුට වද දුන්නේ ය. එයින් ඔහු ගලවා ගැනීමට සංඝරත්නයට බොරු කියන්නට පවා සිදු විය. ඒ මියගියේ තෙරුවන් සරණ ගිය අය නොවන බැවින් ඒ හැටි පවක් නොවන බව කියමින් ය. එයින් ඔහුව සැනසීමට හැකි වූවා දැයි අපි නොදනිමු. එහෙත් එලාරට සොහොනක් තනවා එයට ගරු කරන ලෙස එතැනින් යන විට අසුපිටින් බැස යන ලෙස ශබ්ද නවත්වන ලෙස නීති පැනවූයේ තව දුරටත් ඉතිරි වූ හෘද සාක්ෂිය ඔහුට වද දුන් නිසා ය. ඒ නිසා දරුණු උපායමාර්ගයෙන් ලබන ජය සම්බන්ධයෙන් තමන් වෙත ඉතිරිවන පසු තැවිල්ල ද කෙනෙකුගේ සැළකිල්ලට ලක් විය යුතු ය.

ඇතැම් අයට එවැනි හෘද සාක්ෂියක් නැති බව ඇත්ත ය. තමන් පසු තැවිලි නොවුන ද ජනතා විරෝධයෙන් ගැලවීමට ඔවුන්ට බැරි ය. බලය තිබෙන විටෙක යටපත් ව තිබුන ද බලය නැතිවුනු කල එය ඉස්මත්තට ඒම වැළැක්විය නොහැකි ය.

ඒ නිසා ද කෙසේ හෝ ළගා කරනා සාර්ථකත්වය නොව නිසි ලෙස ලබාගන්නාවූ  සාර්ථකත්වය ගැන පමණක්  අප විශ්වාසය තැබිය යුතු ය. අවසාන ප්‍රතිඵලය පමණක් නොව ඒ කරා ළගාවීමට අනුගමනය උපාය මාර්ගය ද යහපත් කර ගැනීමට අප ඉටා ගත යුතු ය. එසේ නොකරන අය අතීතයේ දී සාර්ථක වුව ද වත්මන දී  තාවකාලිකව සාර්ථක වුව ද වැඩි දුර නොගොසින් අසාර්ථක වීමට නියමිත ය.

පෝලිමේ ඉස්සර වෙන “අපේ කම“

පෝලිම අපට නුපුරුදු යැයි කිව නොහැකි ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ඉක්මණින් සැපයිය නොහැකි තැනක එවැන්නක් ඇති වීම ස්වභාවික ය. ඉදින් දුප්පත් රටක පෝලිම් යනු ස්වභාවික සංසිද්ධියකි. එවැනි පෝලිමක ඉඳීමේ භාග්‍යය පසු ගිය දිනක මට ලැබිණි.

ඒ බල්ලෙකු විසින් සපා කනු ලැබ ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහරෝහලට ගෙන ගිය මගේ පුතා වෙනුවෙනි. ජල භීතිකා ප්‍රතිකාර ඒකකය තියෙන්නේ 20 කාමරයේ ය. ලොකු අපහසුවක් නැතිව වෛද්‍යවරයා මුණ ගැසීමට අපට ඉඩ ලැබුණු අතර ඔහුගේ උපදෙස් අනුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්නට වූ බැවින් අංක 6 කවුන්ටරය වෙත ගොස් ලියාපදිංචිය කර ගත යුතු විය. එතැන තරමක දිගු පෝලිමක් විය. ඒ පෝලිම නිසි ලෙස කළමනාකරණය කිරීමට කැප වුනු සේවක මහතෙකු නිසා කිසිවෙකුට පහසුවෙන් පෝලිම කඩා ගෙන යෑමට ද ඉඩක් නොවිණි. පෝලිම දික් වෙන බොහෝ තැනක පෝලිම කඩා ගෙන යෑමට කැස කවන මිනිසුන්ගේ අඩුවක් නැති රටක එය ද ඉමහත් ඉස්පාසුවක් වූ බව කිව යුතු ය.

අපට පෝලිම් තිබුන ද පෝලිම් සංස්කෘතියක් නැත. ඒ කියන්නේ අපේ වාරය එනතුරු රැඳී සිටීමට තරම් ඉවසීමක්, ශික්ෂණයක්, අපට නැති බව ය. ඒ නිසා ම පෝලීම් පවත්වාගෙන යෑමට බාහිර කෙනෙකුගේ උපකාරය අපට අවශ්‍ය ව තිබේ. අඟලක් ගානේ රථවාහන පොලිසියේ නිලධාරීන් රැඳවන්නේ ද ඒ නිසා ය. එසේ කළේ නැත්නම් කිසිවෙකුටත් වාහනය ධාවනය කළ නොහැකි තත්වයක් උදාවන්නේ ය. ඉදිරියෙන් එන වාහන හරස්කරමින් පෝලිම් කඩා ගෙන ඉදිරියට යන්නට දඟලන අය දකින්නට ලැබෙන්නේ ය.

වෙනත් ආකාරයකින් කිවහොත් ඒ කියන්නේ අප අනෙකා ගැන සංවේදි නැති බව ය. අනෙකාගේ අයිතීන් සම්බන්ධයෙන් අප අප විසින් ම නිර්වින්දනය කර ගෙනඇති බව ය. එ්වා අපට දැනෙන්නේ නැති බව ය. ඒ ගැන අපේ තැකීමක් නැති බව ය. අපේ වාරය එනතෙක් බලා සිටින්නට අප සූදානම් නැති බව ය. අනෙකාගේ වාරය උදුරාගැනීමට ඉඩක් ඇත්නම් අප ඊට පසුබට නොවන බව ය.

දැන් නැවතත් ඔබව කැඳවා ගෙන යන්නේ මා සිටි පෝලිමටය. ඒ පෝලිම ඉදිරියට ගියේ හෙමිනි. පරීක්ෂා කර බැලූවිට පෙනුනේ සෞඛ්‍ය සේවකයින් පෝලිමෙන් පිට සිට තමන්ගේ නෑදෑ හිතවතුන් වෙනුවෙන් ලියා පදිංචිය කර ගන්නා බව ය. කකුල් කෙඩෙත්තුව හැදෙන තුරු පෝලිමේ සිටිනා මිනිසුන්ගේ වාරය උදුරාගන්නා බව ය. එතැනක්‍රියාත්මක වුනේ “අපේ කම“ ය.

අපේ කම

ඒ කියන්නේ අප, පිට අය අසංවේදී මුත්, අපේ අයට අතිශයින් සංවේදී බව ය. ඒ සංවේදී බව විසින් සෙසු මිනිසුන්ට ඇති සංවේදී බව අප විසින් නිර්වින්දනයකට ලක් කර ගෙන ඇති බව ය. පෝලිමෙන් පිටින් අවුත් ලියාපදිංචිය කර ගන්නා අය තමන්ගේ රාජකාරියෙන් ඒ මොහොතේ ඉවත් ව පැමිණ ඇත. ඒ රෝගීන්ට අසංවේදී වෙමින් තමන්ගේ හිතවතාට පිහිට වනු පිණිස ය. එසේ ඇවිත් සිදු කරන්නේ පෝලිමේ සිටිනා අයට අසංවේදී වෙමින් තමන්ගේ හිතවතාට පිහිට විම ය. පිට අයට අසංවේදී වීම මෙසේ තමන්ගේ අයට සුවිශේෂී ලෙස සංවේදී වීම සමග එකට බැඳී තිබේ.

සෞඛ්‍ය සේවකයන් විසින් කළ යුතු ව ඇත්තේ හැමට ඉක්මණින් ලියාපදිංචිය කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම ය. එය සිදු කළ හැකි එක් ආකාරයක් නම් ලියාපදිංචිය අදාළ ඒකකයට බාර දීම ය. එකිනෙකට සම්බන්ධ පරිගණක ජාලයක් මගින් එම දත්ත මධ්‍යගතව ලබා දිය හැකි යටිතල පහසුකම් නිර්මාණය කර දීම ය. එසේ කළේ නම් අංක 20 කාමරයේ ම ඒ කටයුත්ත කර ගත හැකි ව තිබුණි. අනෙක් ආකාරය කාර්යය බහුල වේලාවන් සඳහා කවුළු කීපයක් අමතරව එකතු කොට පෝලිමේ සිටින කාලය අඩු කිරිම ය.

එහෙත් මේ පෝලිම සෞඛ්‍ය සේවකයන්ට වරප්‍රසාදයක් ව තිබෙන්නේ ය. සෙසු අයට නැති දෙයක් – පෝලිමේ නොසිට ලියාපදිංචිය කරගැනීමේ හැකියාව-තමන් වෙනුවෙන් පමණක්  නොව තම හිතවතුන් වෙනුවෙන් ලබා ගැනීමට ද එයින් හැකි වන නිසා ය. තම හිතවතුන් වෙනුවෙන් එවැන්නක් කිරිමට හැකි වීමේ සතුට පෝලිම නැති කිරීමෙන් අහිමි වන්නේ ය. එයින් ඔවුන්ට ලැබෙන්නාවූ බල පරාක්‍රමය නැතිව යන්නේ ය. ඒ නිසා ඔවුන්ගේ පැත්තෙන් පෝලිම ඉවත් කිරීමට හෝ අවම කිරීමට උත්තේජනයක් ඉල්ලුමක් ඇති වන්නේ නැත.

ඇතැම් තැනක පෝලිම් පවත්වා ගෙන යන්නේ ඊටත් එහා ගියාවූ ආර්ථික අරමුණු ඇතිව ය. ඒ මුදල් ගෙන පෝලිමේ ඉදිරියට යෑමට, එසේත් නැතිනම් පෝලිමේ නොසිට යමක් කර ගැනීමට, ගෙවන්නාට අවස්ථාවක් ලබා දීමට, ඒ මගින් ආයතනයේ සේවකයන්ට හැකි වන නිසා ය. ඒ හරහා ධන ඉල්ලමක් ඔවුන්ට පෑදෙන නිසා ය.

ආයතනයේ අය මේ පෝලිම් වලට විසඳුමක් දිමට ඉදිරිපත් නොවන කල සේවා ලාභින්ට ඒ වෙනුවෙන් කළ හැක්කේ හීන් කෙඳිරියක් නැගීම පමණකි.

ආයතන තියෙන්නේ ආයතනවල ඉන්නා අයට ය

මෙසේ සිතමින් පෝලිමේ ඉන්නා විට මා ඉදිරියෙන් සිටි තැනැත්තා සමග කතාවකට පැටලිමට මට අවස්ථාවක් ලැබිණි. ඔහු ද පැමිණ සිටියේ වාට්ටුවකට ඇතුළු වනු පිණිස ලියාපදිංචි වන්නට ය. ඒ හදවත් රෝගයකට ස්ටෙන්ට් එකක් දමා ගැනීමට ය. වෙනදා ලක්ෂ පහක ආසන්න මුදලට ගත යුතු ස්ටෙන්ට් ඒ වන විට රෝගින් ට නොමිලේ ලබාදෙමින් තිබුනේ ය. ජනතාව පැත්තෙන් එය සැලකිය යුතු සහනයක් වේ දැයි මම විමසිමි. එය  එසේ ම යැයි කී ඔහු එකම ගැටළුව ඒ සඳහා සති මාස ගණනක් පෝලිමේ සිටීමට සිදු වීම යැයි කීවේ ය. තමා ද එසේ සිටියේ යැයි කී ඔහු දැන් පැමිණියේ ස්ටෙන්ට් ඇතැයි යන රෝහලෙන් ලැබුණු පණිවුඩයකට අනුව යැයි කියා සිටියේ ය. රෝහල් පද්ධතිය එසේ ජනතාවට සංවේදි වීමසම්බන්ධයෙන් මා සතුටට පත්වෙමින් එම සතුට බෙදා ගත් විට ඔහු කීවේ ඒ තොරතුරු ලැබුණේරෝහලෙන් නොව තමා දන්නා හඳුනන සෞඛ්‍ය අමාත්‍යංශයේ හිතවතෙකුගෙන් බව ය. දැන්නැවතත් අපට මුල් පෝලිම් ගැටළුව නැවත වෙනත් අයුරකින් මුණ ගැසේ. ඒ පෝලිම පැත්තකතිබිය දී මේ පද්ධතිය තුළ හිතවතුන්ගේ වුවමනාවන් මුලින් ඉටු කර ගැනීමට ඉඩ පවතින බවය. ඒ කියන්නේ “අපේ කම“ භෞතික පෝලිම්වල පමණක් නොව සෑම තැනකම, සෑම පෝලිමක ම, රජයන බවය.

මෙය රෝහල්වලට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. අපේ ආයතන සියල්ලක් ම අරක් ගෙන ඇති ප්‍රශ්නයකි. මෙය අපේ හර පද්ධතිය හා බැඳුනකි. ඒ “අපේකම“ ට සැලකිමේ ආචාර ධර්මය නිසා ය. ඒ සාර ධර්මය නිසා ය.

අපේ මිනිසුන් සම්බන්ධයෙන් සංවේදී විම හොඳ ය. එහෙත් ඒ වෙනුවෙන් සෙසු මිනිසුන්ට අසංවේදී වීම හොඳ නැත. සාර ධර්මය අසාර වන්නේ එතැන දී ය.

කරවල කල් තබා ගැනීමට මැලතීන් දමන කරවල මුදලාලි තමන්ටත් තම හිතවතුන්ටත් එසේ මැලතීන් නොදමන ලද කරවල ප්‍රමාණයක් වෙන් කර තබන්නේ ය. එළවලු මුදලාලි ද පොලොස් වලට හාපික් දැමීමට පෙර, එළවලුවලට කෘමි නාශක ගැසීමට පෙර, තමන්ට හා තම හිතවතුන්ට අයිති කොටස වෙන් කර තබන්නේ ය. මාළු මුදලාලි මාළු වලට ෆෝමලීන් දැමීමට පෙර ද පලතුරු මුදලාලි පළතුරුවලට කාබයිඩ් ගැසීමට ද පෙර එසේ තමන්ගේ කොටස හිතවතුන්ට දීමට ඇති කොටස වෙන් කර තබා ගන්නේ ය. ඊට පස්සේ කරවල මුදලාලි පිරිසිදු කරවල සමග කෘමිනාශක ගැසූ එළවලු ද කාබයිඩ් ගැසූ පලතුරු ද අනුභවයෙන් එහි ආනුභාවයෙන් ලෙඩ වෙන්නේ ය. ඉතිරි මුදලාලිලාට ද සිදු වන්නේ ඒ සංගෙඩියම ය. හිතුවේ තමනුත් තම හිතේෂීනුත් බේරා සෙසු අය බිල්ලට දෙන්නට ය. වුනේ සියල්ලන්ට ම වහ කෑමට ය.

අපේ කම විවිධ ස්වරූපයන් ගන්නේ ය. අපේ ගමේ කෙනෙක්, මාත් එක්ක ඉගෙන ගත් කෙනෙක්, අපේ බැච් එකේ එකෙක් එකියක්, අපේ ආගමේ, අපේ ජාතියේ, අපේ කුලයේ, අපේ ආයතනයේ, අපේ ඉස්කොලේ කෙනෙක්, අපේ නෑදෑයෙක්, අපේ යාළුවෙක්, අපේ පක්ෂයේ කෙනෙක් වශයෙන් ඉන්නා මේ හැමෝම “අපේ“ මිනිසුන් ය.

විපාක දරුණු ය

අවසාන විශ්ලේෂණයේ දී සිදු වන්නේ හැන්ද ඇති අය තමනුත් බෙදා ගෙන, තමන්ගේ මිනිසුන්ටත්, බෙදා ගැනීම ය. මේ බෙදිල්ලෙන් වැඩියෙන් ම කොන් වන්නේ සුළු තරයේ මිනිසුන් ය. බලය නැති මිනිසුන් ය. කිසිවක් කර ගැනීමට බැරි මිනිසුන් ය. සැබෑ ලෙස ම අත දිය යුතු ව තිබෙන මිනිසුන් ය.

රටක කැරලි මතු වන්නේ මෙසේ කොන් කරනු ලබන මිනිසුන් නිසා ය. අපේ රටේ කැරලි වලට සම්බන්ධ වූ අය අර අප ඉහත කී “අපේ කම“ විසින් ප්‍රධාන ධාරාවෙන් අයින් කරනු ලැබ තිබූ මිනිසුන් ය. එය එසේ වුව ද කැරලිවල ප්‍රතිවිපාක විඳින්නට වන්නේ කාටත් පොදුවේ ය.

මේ බෙදිල්ලෙන් ඊළගට පීඩා විඳින්නේ සුදුස්සන් ය. අපේ නොවන සුදුස්සන් ය. දිගුකාලීනව එයින් සිදු වන්නේ  වඩා හොඳින් අපට සේවය සැලසිය හැකිව තිබූ මිනිසුන්ට අප විසින් පස්ස හැර වීම ය. ඒ උන් අපේ නොවන නිසා ය.

අවසානයේ අපට සිදු වන්නේ බාග උගතුන් ගෙන් ලැබෙන ග්‍රාම්‍ය උත්තරවලින් හා විසඳුම්වලින් සෑහීමකට පත් විමට ය. අපේ නොවන සෙසු මිනිසුන් සම්බන්ධයෙන් අප දක්වන අසංවේදිත්වයේ පාපයට කර ගැසීමට ය. එයින් කියන්නේ අවසාන වශයෙන් පීඩාවට පත් වන්නේ අප ම බව ය.

මේ පීඩාවට අමතර ව තව පීඩනයකට ද මේ නිසා අප ලක් වේ. ඒ අප මෙන්ම අනෙකා ද අපේ කම හිතේ දරා ගෙන අපට කොයි වෙලේ හෝ කෙළවාවි දැයි බියෙන් සැකෙන් ජීවත් වීමට ය.

මක් නිසා ද යත් අප කරන දෙය උන්ට ද කළ හැකි බව අපට දැනෙන නිසා ය. කරවල මුදලාලි කරන දේ එළවලු මුදලාලි ද කරනු ඇතැයි කරවල මුදලාලිට දැනෙන නිසා ය. ඒ හැගීමත් සමග ජිවත් වන්නට සිදු වන්නේ ම සැකයෙනි. කොයි වෙලේ අනෙකා විසින් අපේ දේ අහිමි කරනු ඇත්දැයි යන සැකයෙනි. කරවල මාළු එළවලු පළතුරු මුදලාලිලා ගැන සැකයෙනි. අපේ නොවන අනෙකා ගැන සැකයෙනි.

ඒ කියන්නේ මේ නපුර භූමරංගයක් ව අප හඹා පැමිණිය හැකි බව ය.

රෝහලේ හිතවතා නැති වූ දවසට පෝලිමේ වේලෙමින් සෙසු රෝහල් සේවකයන්ගේ හිතවතුන් වරප්‍රසාද ලබන හැටි බලා හූල්ලන්නට වෙන්නේ ද අපට ම ය.

අපේ කමේ නිස්සාරත්වය

මේ සියල්ලෙන් පෙනෙන්නේ මේ “අපේ කම“ අප ව අගාධයකට රැගෙන යන බව ය. “අපේකම“ විසින් ඇති කර ඇති  මේ සීමා මායිම් කඩා බිඳ දමමින් අප ලෝකයාට සංවේදී විය යුතු බව ය. එකිනෙකා මත යැපීමට සිදු ව ඇති ලෝකයක “අපේ කම“ අතිශයින් නොවැදගත් වනවා පමණක් නොව භයානක ද විය හැකි බව ය. එය සාර ධර්මයක් ලෙස පෙනෙන අසාර ධර්මයක් බව ය.

බුදුන් වහන්සේ සියළු සත්ත්වයා වෙත මෛත්‍රීය කරන්නට කිවේ මේ “අපේ කමේ“ නිස්සාරත්වය දැන ගෙන ය. පිඩු සිඟා වඩින්නේ නැතිව මාලිගයට පැමිණ දන් වළඳන්නැයි කියමින් තමන් ශාක්‍ය වංශයට බැඳ තබන්නට සිය පියාණන් වූ ශුද්ධෝදන රජතුමන්ගේ උත්සහය පිළිකෙව් කළේ ඒ බව දැන ගෙන ය. තමන්ගේ ශාසනය සියළු ජාති ආගම් කුලවලින් පැමිණෙන අයට විවෘත කළේ ද ඒ අය කොහින් පැමිණය ද සියළු දෙනා සම බවත් එකම මූදට වෙනස් ගංගාවලින් ගලා එන ජලය මූදේ එකක් වනවා සේ ශාසනය තුළ සෑම දෙනා සමතැන් ලබන බවත් කියමින් සියළු භේද දුරලෑවේ ඒ බව දැන ය. රජකුමරුන් මෙන් ම චණ්ඩාලයන් ද එකම සසුනේ මහන කරමින් එකම වරප්‍රසාද ලබා දුන්නේ ඒ බව දැන ය.

සෙසු ශාස්තෘන්වරුන්ට ද ගරු කරන ලෙස බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නේ විවිධත්වයට සංවේදී විමට දිරි දීමට ය. මිනිස් සන්තානයේ අපේ කම විසින් බඳින්නාවූ වැට කඩොළු හරහා එන අනවශ්‍ය කළකෝලාහල වලට වැට බැඳීමට ය. උන් හා අප ලෙස ඇති වෙන් කිරීම විසින් මතු කරන සතුරුභාවය ඉවත් කර දැමීමට ය.

අපේ කම, අපේ පැවැත්ම වෙනුවෙන් ඇති සහජ බැම්මකි. එය අමතරෙන් වගා කළ යුත්තක් නොවේ. ඉගැන්විය යුත්තක් නොවේ. අප වගා කළ යුතුව ඇත්තේ එහි ප්‍රතිපක්ෂය ය. ඒ අනෙකාට, අපේ නොවන අනෙකාට, සංවේදි වීමේ ගුණය ය. ඒ සාර ධර්මය ය. පෝලිමකට ගරු කිරීම ද ඊට ඇතුළත් ය. තමන්ගේ කෙනෙකුට පෝලිමේ සක්කයක් ගැසීමට ඉඩ නොදීම පවා ඊට ඇතුළත් ය. තමන්ගේ වාරය එළඹෙන තුරු ඉවසිලි සහගතව බලා සිටීම ඊට ඇතුළත් ය. එසේ ඉන්නා අතර තුරු තමන්ට වඩා දුර්වල කෙනෙකු දුටුවහොත්, තමන්ගේ වාරය ඔහුට ඇයට පරිත්‍යාග කොට, පසු පසට පියවරක් ගැනීම ඊට ඇතුළත් ය. අනුන්ගේ ධාවන පථයට බලහත්කාරයෙන් ඇතුළු නොවීමට තරම් ශික්ෂනයක් ඇතිව වාහන පැදවීම ඊට ඇතුළත් ය. එසේ වාහන පදවන අතරේ ගිලන් රථයකට ඉඩ දීමට වාහනය ඉවතට ගැනීම ඊට ඇතුළත් ය. තමන්ගේ කුණු අනුන්ගේ පරිශ්‍රයකට නිදහස් නොකිරීමට වග බලා ගැනීම ඊට ඇතුළත් ය. ඒ කුණු පරිසරයට ද හානියක් නොවන සේ ඉවත් කර දැමීම ද ඊට ඇතුළත් ය.

අවාසනාවකට පාසල ද පන්සල ද පල්ලිය ද යන මිනිසුන්ගේ ශික්ෂණය ඇති කිරීමට වග කිව ආයතන නියැලී ඉන්නේ “අපේ කම“ ඉස්මතු කිරිමට ය. අනෙකාට අසංවේදී වීමට ය. ඔහුට ඇයට රැවීමට ය. ඔහු ඇය පිළිබඳ සැකයෙන් බලන්නට ය. අනෙකා ආණ්ඩු මට්ටු කරන්නට ය. උන් පෝලිමෙන් එලවා දමන්නට ය. උන්ට හිමි තැන උදුරා ගැනීමට ය. අපේ අවාසනාව ඇත්තේ ද එතැන ය.

මැජික් හා ගුප්ත-විද්‍යා

මැජික් හා ගුප්ත විද්‍යා.jpgමැජික් කියන්නේ ඇස්බැන්දුමකි. ඒ කියන්නේ අප එකකට අවධානය යොමු කර ගෙන සිටින විට අපේ ඇස් වසා අපට හොරා තව එකක් කොට මැජික් කරුවන් අප පුදුම කරන නිසා ය. මිනිසුන් අහසේ පා කිරීමටත් කපා වෙන් කර නැවත එක් කිරීමටත් ඔවුන්ට පුළුවන. අප හිතන දේ කීමට ඔවුන්ට පුළුවන. අප නොහිතන දේ කිරීමට ඔවුන්ට පුළුවන. ඔවුන් කර පෙන්වන්නේ අපට කරන්නට බැරි දේ ය. අපට අදහා ගන්නට අමාරු දේ ය. අප දන්නා යමකින් විස්තර කළ නොහැකි දේ ය. එසේ වුව ද මේ එක් මැජික් කරුවෙකුවත් තමන්ට ගුප්ත බලයක් ඇතැයි කියන්නේ නැත. ඔවුන් කියන්නේ තමන් කරන්නේ මැජික් බව ය. ඇස්බැන්දුම් බව ය.

ගුප්ත විද්‍යාධරයන් ද පෙන්නන්නේ මැජික් ය. මේ විද්‍යාධරයන් කවරහු ද? ජෝතිෂ්‍ය කාරයොත් පේන කියන්නෝත් දේවාල වල කපු මහත්තයෝත් කනප්පු පදවන්නෝත් අත බලා අනාගතය කියන්නෝත් වීදුරු ලවා කතා කරවන්නෝත් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන්නෝත් විශ්ව ශක්තියෙන් රෝග නිවාරණය කරන්නෝත් වැනි විවිධ වෘත්තිකයෝ මීට අයත් වෙති. මේ හැමෝම කරන්නේ මැජික් කරුවෙක්ට සමාන රැකියාවකි. ඔවුන් කරන්නේ ද ඇස් බැන්දුමකි. නැති දෙයක් ඇතැයි පෙන්වීමකි.

වෙනසකට ඇත්තේ මැජික් කරුවෙකු මැජික් පෙන්නා ඔබ අමන්දානයට පත් කොට ජීවිකාව සපයා ගන්නා අතරේ ගුප්ත විද්‍යාධරයන් මැජික් පෙන්නා ඔබ ග්‍රහණයට ගෙන ඒ හරහා ඔබට වෙනත් දේ පොරොන්දු වී ජිවිකාව සපයා ගැනීම ය.

ඒ කියන්නේ ඔවුන් මැජික් පෙන්විමෙන් නතර නොවන බව ය. එයින් ආකර්ෂණය කර ගත් ඔබ වෙත ඉර ද හඳ ද පොරොන්දු වන බව ය. එසේ පොරොන්දු වී ඔබගෙන් දිගින් දිගට මුදල් හරි හම්බ කර ගන්නා බව ය. ඉන්පසු ඔබේ ජීවිතයේ හැම වැදගත් දෙයකට ම අත පොවන බව ය. ඒ ඒ අවස්ථාවල යමක් කර යම් උපදෙසක් දී ගාන කඩා ගන්නා බව ය.

මැජික් කරුවෙකු තමන්ට ගුප්ත බලයක් ඇතැයි කියන්නේ නැත. ඔවුන් අප පුදුමයකට පත් කර ඒ සඳහා මුදල් ලබා ගැනීමෙන් නතර වේ. අප ව ඉන් පස්සේත් අන්දන්නට ඔවුන් ඉදිරිපත් වන්නේ නැත. ඒ අතින් ඔවුන් අවංක ය. ගුප්ත විද්‍යාධරයන් අපට පෙන්වන සිල්ලර මැජික් වලට වඩා අප පුදුමයට පත් කරන සංකිර්ණ ඇස් බැන්දුම් මැජික් කරුවන් විසින් කරතත් ඔවුන් ඒ මගින් අපව මුලා කර බැඳ තබා ගෙන ඉදිරි වැඩ සාදා ගන්නට තරම් දුෂ්ඨ නැත.

මැජික් ද ගුප්ත ය. එය ගුප්ත විද්‍යාවක් නොවී සෙසු ඒවා ගුප්ත විද්‍යා වන්නේ ගුප්ත විද්‍යා කටයුතු මිනිසා ඉක්මවන සුවිශේෂී බලයකින් කරන්නේය යන පදනම මත පිහිටා ය. මැජික් කරුවන් තමන් කිසිදු විශේෂ බලවේගයක පිහිටෙන් නොව සිය මිනිස් කුසලතා භාවිතා කොට ගෙන පමණක් සියල්ල කරන්නේ යැයි කියන විට ගුප්ත විද්‍යාධරයෝ තමන්ට ඉහළින් ඇති සුපිරි බලයක පිහිටෙන් තමන් මේ සියල්ල කරන බව කියා සිටින්නෝ ය.

එවැනි සුපිරි බලයක පැවැත්මට දාර්ශනික පදනම සැපයෙන්නේ වෙන එකකින් නොව විද්‍යාවෙනි. ඒ අපගේ පංචේන්ද්‍රියන්ට අසු නොවන යමක් පැවතිය හැකිය, විද්‍යාව විසින් මේ වනවිටත් සොයා ගෙන නැති යමක් පැවතිය හැකිය, යන නිවැරදි උපකල්පනයන් මත විද්‍යාව පදනම් විමෙනි.

ගුප්ත විද්‍යා

ග්‍රහයන්ගේ බලය, දේව බලය, භූත බලය, විශ්ව ශක්තිය, යන්ත්‍ර මන්ත්‍රවල බලය එවැනි අපට දැකිය නොහැකි ඒ නිසා ම නොපවතින බවට ඔප්පු කළ නොහැකි විශ්වාසයන් ය. බලවේගයන් ය. කුඩා මොළයක් ඇති හූනෙකුට අප ගැන පේන කියන්නට පුළුවන් බවට ඇති මතය ද වැරදි යැයි ඔප්පු කළ නොහැකි විශ්වාසයකි. අපේ අතේ රැඳි රේඛා වල අපේ සමස්ථ අනාගතය ලිය වී ඇති බවට මතය ද එසේ වැරදි යැයි ඔප්පු කළ නොහැකි විශ්වාසයකි. බෝධි රුක්ෂයකට විභාගය සමත් කර දිය හැකි යැයි ද හාස්කම් ඇති යැයි කියන තැන්වලට අපට සිතූ පැතූ සම්පත් ලබා දිය හැකි යැයි ද කතරගම දෙවිඳුන්ට අපේ වාහන පරිස්සම් කර දිය හැකි යැයි ද එවැනි අනෙකුත් විශ්වාසයන් ය.

මේ එකක්වත් පහසුවෙන් බොරු කළ නොහැකි ය. හේතුව මේ සියල්ල සතු බලය තවත් එවැනිම ඒවා වලින් ඇතැම් විට වඩා බලසම්පන්න ඒවා වලින් අහෝසි විය හැකි බවට ද මේ විශ්වාසයන් තුළ ම සඳහන් වන නිසා ය. ඒ නිසා එකක් වෙනම ගෙන විමසන්නට අපට නොහැකි ය.

උදාහරණයක් ලෙස අප විසින් කරන ලද කර්මයක් බලවන්ත නම් මේවා වලින් කළ හැක්කේ විපාක අඩු කර ගැනීම පමණ ය. එහෙම අවස්ථාවක එහෙම පිටින් ම මේ එකකින් වත් වැළකිය නොහැකි ය.

උදාහරණයක් ගෙන මෙය විමසා බලමු. අපේ නව මෝටර් රථයට, එය කතරගමට ම ගෙන ගොස් කතරගම දෙවිඳුන්ට පඩුරු පාක්කුඩම් ඔප්පු කොට, ආරක්ෂාව ලබා ගත් බව ඇත්ත ය. එහි දෙහි ගෙඩි ද මිරිස් කරල් ද එල්ලා අමතර ආරක්ෂාවක් ද දුන් බව ඇත්ත ය. එහෙත් එය හදිසි අනතුරකට භාජනය විය හැකි ය. පෙර භවයක කළ කර්මයක් කාගේ හෝ වස්කවියක් වැනි වෙනත් බලවේගයක් මතුව එය අනතුරකට ලක් විය හැකි ය. එසේ අනතුරක්  මුළුමණින් වැළැක්විය නොහැකි වුවත් කතරගම දෙවිඳුන්ගෙන් ලබාගෙන ඇති මේ ආරක්ෂාව නිසා සිදු වන අනතුරේ ස්වභාවයවත් අඩු ම වශයෙන් අඩු වන බව අප විසින් දත යුතු ය.

එය අපේ සැනසිල්ලට කාරණයක් වුව ද ඒ නිසා අපට සංඛ්‍යාලේඛන විමසා මෙහි ඇත්ත නැත්ත බලා ගැනීමේ ඉඩක් නැති වේ. ඒ නිසා ම මේ කිසිවක් බොරු කළ නොහැකි ය.

ගුප්ත විද්‍යාවටත් විද්‍යාවේ පිළිසරණ

විද්‍යාව එසේ නොවේ. සංඛ්‍යාලේඛන මගින් විද්‍යාවේ නියමයක් ප්‍රශ්න කරනු ලබන්නේ නම්, ඒ නියමය නැවත විමසිය යුතු යැයි විද්‍යාව අපේක්ෂා කරයි. විද්‍යාව ප්‍රශ්න කිරීමට ඉඩ හසර සලසයි. එහි පදනම ම ප්‍රශ්න කිරීම මත පදනම් වේ.

විද්‍යාව තමන්ගේ සොයා ගැනීම් පිළිබඳ සැක පහළ කරන විට, ඒවායේ අඩුපාඩු ඇතැයි පිළිගන්නා විට, එසේ සැක පහළ කරන්නට අනුබල දෙන විට, ගුප්ත විද්‍යාව තමන් පිළිබඳ අන්ධ විශ්වාසය ඉල්ලා සිටින්නේ ය. සැක පහළ කිරීම දණ්ඩනයට ලක් විය හැකි වරදක් බව කියා සිටින්නේ ය. කට වරද්දා ගැනීමෙන් වළකින ලෙස කියා සිටින්නේ ය. එපමණක් නොවේ. ගුප්ත විද්‍යාවේ පිහිට ලැබිය හැක්කේ ද එය විශ්වාස කරන, නිකම් නොව සැකයකින් තොරව විශ්වාස කරන, අයට පමණක් බව ද එය අමතර වශයෙන් කියන්නේ ය.

ඒ නිසා අප ඒවායේ පිහිට අපේක්ෂා කරන්නේ නම් සිතින් වත් ඒ ගැන නොවිමසා මහත් බැතියෙන් යුතු ව ඒවා පිළිගැනීම අවශ්‍ය වන්නේ ය.

ජාතික රූපවාහිනිය මෑතක් වන තුරු මේ ගුප්ත විද්‍යාව තුළ ඇති ඇස්බැන්දුම් අනාවරණය කරන “යථාරූප“ නම් වැඩසටහනක් ප්‍රචාරය කරමින් සිටියේ ය. ගුප්ත විද්‍යා වල නිරත වෙමින් සිටි අයට එම වැඩසටහනට සහභාගි වී තමන්නේ බලය ප්‍රදර්ශනය කිරිමේ ඉඩකඩ ද ඉන් සළසා දී තිබිණි. එහෙත් ඒ ප්‍රශ්න කිරීම්වලට යටත් ව ය. එහි පැමිණි හැම දෙනෙකුටම සිදු වූයේ රටේ ජනතාව ඉදිරියේ තමන් බොරු කාරයන් බවට පත් වීමට ය.

ගුප්ත විද්‍යාවෙන් දිවි රැකෙන අය බොහෝ සිටින රටක මෙය උඩු ගං බලා පිහිණීමක් විය. මේ වැඩ සටහනින් කලබලයට පත් වූයේ ගුප්තවිද්‍යාව ජීවිකාව කර ගෙන සිටි අය පමණක් නොවේ. එයින් පිළිසරණ ලබමින් තමන්ව ම රවටා ගනිමින් ජීවත් වූ අය ද ඊට අයත් වූහ. ආණ්ඩුවට ඡන්ද අහිමිවන තැනට මෙයින් කටයුතු යෙදෙමින් තිබුණේ ය. මේ වැඩ සටහන නවත්වා තිබෙන්නේ ඒ නිසා ද වෙන යම් හේතුවක් නිසා දැයි අප දන්නේ නැත. එකක් නම් පැහැදිලි ය. ගුප්ත විද්‍යාව තමන් ප්‍රශ්න කරනවාට කැමති නැත. පිටින් මහේශාක්‍ය පෙනුමක් තිබුනේ වුව ද එය ඇතුළතින් බොල් ය. නැත්නම් කළ යුතු ව තිබුනේ වැඩ සටහනට සහභාගී වී තමන් සතුව ඇතැයි කියන බලය පෙන්වීම ය.

ගුප්ත විද්‍යාව තුළ ගත යුතු යමක් නැද්ද?

මේ ගුප්ත විද්‍යා බොහෝමයකට දීර්ඝ ඉතිහාසයක් තිබෙන්නේ ය. ඒවා බොරු නම් මේතාක් පැවතු‍නේ කෙසේ ද? ඒවායේ කිසියම් හෝ ඇත්තක් තිබිය නොහැකි ද? බොහෝ දෙනෙකු නගන මේ ප්‍රශ්න පහසුවෙන් බැහැර කළ නොහැකි ය.

පොළොව පැතලි බවටත් ඉර පොළොව වටා යන බවටත් මිනිසුන් තුළ පැවති විශ්වාසයන්ටත් දීර්ඝ ඉතිහාසයක් තිබුනේ ය. අපට පසු කලෙක ලැබුණු දත්ත හා තොරතුරු ඉදිරියේ අපි ඒ විශ්වාසය ඉවත දැම්මෙමු.

දීර්ඝ ඉතිහාසයත් තිබීම යමක ඉදිරි පැවැත්ම සුජාතකරණය කරන්නේ නැත. ඒ තුළ ඇති බොරුව ඇත්ත බවට පත් කරන්නේ ද නැත.

ඇතැම් විශ්වාස රටින් රටට වෙනස් ය. උදාහරණයකට නමයේ ඉලක්කම නපුරු යැයි ද දහතුන අවාසනාවන්ත යැයි ද පිළිගැනීමක් ඇතැම් රට වල තිබේ. ඒ වෙනුවට නමය සුවිශේෂ නැතැයි ද දහතුන වාසනාවන්ත යැයි ද විශ්වාස කරන රටවල් ද තිබේ. සත්‍යය විය හැක්කේ මේ දෙකින් එකකි.

රටින් රටට වෙනස් ය

එක එක රටවල ගුප්ත විද්‍යා හැදෑරිමේ දි පෙනී යන්නේ ඒවා එකිනෙකට පරස්පර විශ්වාසවලින් ගහණ බව ය. එවැනි විශ්වාස හැම එකක් ම හරි නැතැයි යන නිගමනයට බැසීමට අපට ඒ නිසා සිදු වේ.

ගුප්ත විද්‍යා අන්ධව අදහන තාක් අපට ඒ ගැන විමසන්නට නොහැකි නිසා අපට කුමක් හරි දැයි නිගමනයකට බැසීම අමාරු ය. ඒ නිසා අප කරන්නේ අපේ දෙමාපියන්ගේ ඇදහීම් හා විශ්වාස ඒ හැටියට ම බාර ගැනීම ය. අප ජීවත්වන සමාජයේ වැඩි දෙනෙකු අනුයන විශ්වාස ඒ ලෙස ම බාර ගැනීම ය. සෙසු විශ්වාස මිත්‍යාවන් ලෙස බැහැර කිරීම ය.

එක් එක් රටේ මිනිස්සු තමන්ට උරුමයෙන් ලැබුණු මේ එකිනෙකට පරස්පර විශ්වාසයන් පරම සත්‍යය ලෙස ගෙන අදහති. විශ්වාස කරති. තමන්ට නොපෙනෙන තමන්ට ග්‍රහණය කර ගත නොහැකි සුවිශේෂී බලයක්, එය විශ්ව ශක්තිය හෝ දේව බලය හෝ කුමක් හෝ විය හැකි මුත් එවන් බලයක්, ඇතැයි සිතා කටයුතු කරති. එය විමසන්නට නම් නොයති.

මේ සෑම විශ්වාසයක් පිටුපස ම මිනිසාගේ අසරණ කම ප්‍රදර්ශනය වන්නේ ය. මේ මවාගත් බලවේගයන්ගේ යෝධ ප්‍රතිරූපයන් පිටුපස ඇති මිනිසාගේ කුදු බව ඔහුට පසක් කර දෙන්නේ ය.

අතීතය තුළ එසේ සිදු වීම යුක්ති යුක්ත ය. තාර්කික ය. බොහෝ දේ ඇති වීමට හේතු වන්නේ කුමන සාධක දැයි එකල මිනිසුන් දැන සිටියේ නැත. විස්තර කර ගත නොහැකි ක්‍රියාදාමයන් මගින් ජීවිතය ව්‍යාසනයට පත් වෙන හැටි ඔවුන් අසරණ ලෙස බලා සිටින්නට ඇත. ඒ නිසා ම කිසියම් තමන්ට වඩා විශාල බලවේගයක පිහිට ලැබේ නම් යහපත් යයි සිතන්නට ඇත. ඒ පිළිබඳව සිහින ද දකින්නට ඇත. එවන් බලයක පිහිට ඇතැයි ස්වයං ප්‍රකාශනයන් කළ අය පසුපස වැටී යන්නට ඇත. ඔවුන්ගේ උගුල්වලට අසුවන්නට ඇත. ඊට පසු පරපුරෙන් පරපුරට ද ඒවා බාර දෙන්නට ඇත.

එහෙත් වත්මන එසේ නොවේ. විද්‍යාව විසින් බොහෝ දේ පහදා දී ඇති නිසාත් ව්‍යාසනයන්ට එදිරි ව ගත හැකි පියවර හඳුන්වා දී ඇති නිසාත් මිනිසා ඈත අතීතයේ මෙන් අද අසරණ නැත. එසේ තිබිය දීත් මිනිසා මේ මවාගත් බලවේග පිටුපස යන්නේ මන්ද යන ප්‍රශ්නය මනෝ විද්‍යාඥයින්ගේ විමසුමට ලක් විය යුතු ය.

කුඩා කල සිට මොළයට කා වද්දා ඇති නිසාත් ඒවා යටි හිත තුළ ඇටුවන් බැස ඇති නිසාත් තර්කයට ඒවා ඉවත් කළ නොහැකිය යන්න මනෝ විද්‍යාඥයින් ඉදිරිපත් කරන එක් මතයකි. මුල් ඇද පැලපදියම් වී ඇති දෙයක් බාහිරින් උගුල්ලා දැමීම අමාරු බව ඇත්ත ය. ඒ අතරම පෙනෙන අනිත් දෙය නම් බොහෝ තැනක මේ මුල් දිරමින් පවතින බව ය. බොහෝ රටවල මිනිසුන් මේ ගුප්ත විද්‍යා තවදුරටත් විශ්වාස කරන්නේ නැති බව ය. ඒවා විද්‍යාව විසින් උදුරා ඉවත් කරමින් ඇති බව ය. ලෝකය ගැන දැනුම ලබන නව පරම්පරාව විශේෂයෙන් මේ මනස්ගාත වලින් නිදහස් වෙමින් සිටින බව ය. ඔවුන් අතීතයේ මෙන් දෙමාපියන්ට ද සම්ප්‍රදායන්ට ද වලංගු නැති බව ය. ඔවුන්ට තොරතුරු ලබා ගැනීමට පෙරට වඩා මූලාශ්‍ර බොහෝමයක් තිබෙන බව ය. වැඩිහිටියන්ට වඩා විශ්වාසනීය මූලයන් තිබෙන බව ය.

ඒ, කතන්දරවලට වඩා ප්‍රබල, සංඛ්‍යා ලේඛන ඔවුන් පරිහරණය කරන නිසා ය. ඒවාට ඔවුන්ට ප්‍රවේශයන් තිබෙන නිසා ය. ආලෝකය හොල්මන් හා භූතයන් පළවා හැරි වේගයෙන් නව දැනුම හා තොරතුරු වෙනත් ගුප්ත බලවේගයන් ද අභියෝගයන්ට ලක් කරමින් සිටින නිසා ය.

මිනිසුන් අසරණ බවින් මිදීම

මිනිසුන් සිය අසරණ බවින් මිදීම තුළ වඩාත් අසරණ භාවයට පත් ව ඇත්තේ මේ ගුප්ත බලවේග සමග සම්බන්ධකම් පවත්වනවා යැයි කියමින් ඒවායින් වැඩ ගන්නට දන්නේ යැයි කියමින් පාරම්බාන, ඒවායින් නඩත්තු වන, ගුප්ත විද්‍යාධරයන් ය. සමාජ ජාලාවලට ද තොරතුරු තාක්ෂණයේ ව්‍යාප්තියට එරෙහිව ද පොදුවේ නවීකරණයට එරෙහිව ද ඔවුහු කඳවුරු බඳිමින් සිටිති. කිසිදු පැරණි දෙයක්, සම්ප්‍රදායක්, විශ්වාසයක් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඔවුහු උරණ වෙති. මක් නිසා ද යත් ඔවුන්ගේ ජීවිකාව ද කිසියම් දිනක සමාන ප්‍රශ්න කිරීමකට, අද නැතත් ඉදිරියේ දී, බඳුන් විය හැකි නිසා ය.

නිරාගමිකයන්ට එරෙහි ව සියළු ආගම් තම පරස්පර විශ්වාසයන් ඉවත දමා කඳවුරු බැඳගන්නේ ද තමන්ට සරණ තමන් තුළ මිස වෙන තැනක නැතැයි කී බුදුන්ගේ දහමට එරෙහි ව කෝවිල් බුද්ධාගම ජෝතිශ්‍යය හා දේව විශ්වාස ඇතුළු බුදුන් ප්‍රතික්ෂේප කළ මිත්‍යා විශ්වාස ද සමග එක් ව කඳවුරු බඳින්නේ ද ඒ නිසා ය.

සම්ප්‍රදායට එරෙහිව කැරලි ගැසූ බුදුන්ගේ ආගම අදහනවා යැයි කියන මිනිසුන් සම්ප්‍රදාය කරපින්නා ගෙන ඉන්නේ ඒ නිසා ය. පරම්පරාවෙන් ආ පලියට යමක් පිළිගන්නට එපා යැයි ද ශාස්තෘන්වහන්සේ පවා කියූ පමණින් යමක් පිළිගන්නට එපා යැයි ද කී බුදුන්ගේ ආගම අදහනවා යැයි කියන මිනිසුන් පරම්පරාවෙන් ආ දෙයම පිළිගන්නටත් ත්‍රිපිටක දේව ඇදහිල්ලක් සේ භාවිතා කළ යුතු බවටත් ඉන් පිට වෙන කිසිවකට සවන් නොදිය යුතු බවටත් කියන්නේ ද ඒ අනුව ය.

බුදුන් දෙසූ කර්ම ඵල වෙනුවට හිරුගෙ අඵල බලපානවා යැයි ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මිනිසුන්ට හිරිකිතයක් නැතිව දෙසන්නේ ද බෞද්ධ වත් පිළිවෙත් මිත්‍යාව සමග කළවම් කර එකට පුදන්නට ය.

එහෙම බැලුවහම පෙනෙන්නේ මිනිසුන් අසරණ බවින් මුදන්නට කැප වූ ආගමක් පවා මේ මිත්‍යා විශ්වාසයන්ගේ ගුප්ත විද්‍යාවන්ගේ ගොදුරක් බවට මේ වන විට පත් කර ගෙන ඇති බව ය.

අප රට තුළ ගුප්ත විද්‍යාවලට තවමත් පැවැත්මක් ඇත්තේ මේ අශුද්ධ සන්ධානයන් නිසා ය. ඊට හරි හරියට රටේ දේශපාලන නායක කාරකාදීහු ද එක් ව සිටිති.. මේ තුළ ඇති බොරුව තේරුම් ගැනීමට ජනතාවගේ වැඩි දෙනෙකුට පමණක් නොව කප්පරක් දේශපාලනඥයන්ට ද තව තවත් සාක්කි අවශ්‍ය බව එයින් පසක් වේ. ඒ වැඩි දෙනෙකු අත්දැකීම් වලින් පාඩම් උගන්නට අසමත් බව දිගින් දිගට ප්‍රදර්ශනය කරමින් ඉන්නා නිසා එය ද පුදුමයට කරුණක් නොවේ.

මේ සියල්ලෙන් එකක් නම් පැහැදිලි ය. මේ ගුප්ත විද්‍යා බොහෝමයක් නුදුරේ දී ම අතු ගෑවි යනු ඇති බව ය. එසේ වනු ඇත්තේ කවදා ද යන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණ ය. කාගේ පිළිසරණ ලැබූව ද එ්වා දිගු කාලීනව රැක ගත නොහැකි බව නම් පෙනෙන්නට තිබේ. ඒ ඒවායේ පදනම බොරුව නිසා ය.

කොටින්ට වන්දි ද? විපතට පත් ජනතාවට හානි පූර්ණය ද?

depana1111_29102018_FAMපසුගිය කාලයේ යුද්ධයෙන් හා කැරලි කෝලාහල වලින් විපතට පත් ජනතාවට හානි පූර්ණය කිරීම සඳහා පනතක් ගෙනා බව ඇතැම් මාධ්‍යවල පල වී තිබුණු අතර ඒ වකවානුවේ ම තවත් මාධ්‍ය ගණනාවක දක්නට ලැබුණේ කොටින්ට වන්දි ගෙවීමට පනතක් ගෙනා බව ය. මේ පනත් “දෙක ම“ එක ම වකවානුවේ ගෙනා බවක් ඒ මාධ්‍ය වාර්ථා බැලූ විට පෙනෙන්නේ ය.

“කොටින්ට වන්දි ගෙවීමට“ ගෙනා පනත ගැන දැඩි විරෝධයක් පල වී තිබුනේ ය. වැඩියත්ම ඒ විරෝධය දකින්නට ලැබුණේ මූණු පොතේ සැරිසරද්දී ය. පහුගිය දිනවල සුසන්තිකා හැරුණු විට වැඩිපුරම බැණුම් ඇසුවේ මේ පනතට පක්ෂව චන්දය දුන් අය ය.

ඒ චන්දය දුන් අය වෙන වෙනම තනි තනිවම නම් කරමින් විරෝධය එල්ල කර තිබුනේ ය. ඉන් එකක තිබුනේ තමන්ට බෝම්බ ගැසූ කොටින්ට වන්දි දෙන්නට නිමල් සිරිපාල ඇමති තුමා කටයුතු කර ඇතැයි යන්න ය. එතුමාගේ තුවාල ලැබ සිටි ඡයාරූපයක් ද ඒ සමග පල වී තිබුනේ ය. සජිත් ප්‍රේමදාස හා නවීන් දිසානායක ඇමතිවරුන්ට එල්ල වී තිබුණු චෝදනාව ඊටත් වඩා බරපතල ය. ඒ තමන්ගේ පියාණන් මැරූ කොටින් ට වන්දි ගෙවීමට ලජ්ජා නැතිව අත ඉස්සූ බව ය. ඒ සඳහා ද ඒ ඇමතිවරු දෙදෙනාගේ පියවරු දෙපළ තුවාල ලැබූ ත්‍රස්ත ප්‍රහාරවල ඡයාරූප පවා යොදා ගෙන තිබුණේ ය.

එසේ පෞද්ගලික සම්බන්ධයක් සොයා ගැනීමට නොහැකි වූ අයට පහර ගසා තිබුනේ අරන්තලාවේ අනුරාධපුරයේ සහ වෙනත් තැන්වල ත්‍රස්ත ප්‍රහාරවල බියකරු ඡයාරූප සමග ය. ජනතාවට මෙසේ ප්‍රහාර එල්ල කළ අයට වන්දි ගෙවීමට මේ අය ලජ්ජා නැති ව අත ඉස්සූ බව සඳහන් විය. ඒ හැම එකක ම මේ අය තනි තනිව හඳුනා ගන්නා ලෙසත් ඒ අය ගැන වග බලා ගන්නා ලෙසත් ඉල්ලා තිබුනේ ය. ඒ කෙසේ දැයි කියා ඇතැම් තැනක පැහැදිලිව නොතිබුනත් නිශ්චය අනතුරු ඇගවීමක් පැහැදිලිව ම දක්නට ලැබුනේ ය.

පසුව දැන ගන්නට ලැබුණු පරිදි මේ කියන පනත ජයග්‍රහණය කර තිබුණේ ඊට පක්ෂව චන්ද 59 ක් ද විපක්ෂව චන්ද 43 ක් ද ලැබීමෙන් ය. පක්ෂව එජාපය, ශ්‍රීලනිපය සහ දෙමළ ජාතික සන්ධානයත්, විපක්ෂව ඒකාබද්ධ විපක්ෂයත් චන්දය දී තිබුණේ ය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම චන්දය මග හැරියේ ය. ඒකාබද්ධ විපක්ෂයේ 70 දෙනා බැරිවෙලාවත් පැමිණ සිටියේ නම් පනත පරාජය කරන්නට වුව පුළුවන් කම තිබුණේ ය. එහෙත් එහෙම වුනේ නැත. එසේ නොපැමිණීමෙන් අනියමින් සහයෝගය දැක්වූ අයට එරෙහිව මූණු පොතේ වෛරයක් ගොඩ නගා තිබුනේ ද නැත. එය එසේ නොවූයේ ඇයි දැයි හරි හැටි පැහැදිලි ද නැත. ඒවා මේ සිද්ධිය විවරණය කරන්නට යන අය විසින් සැළකිය යුතු කාරණා ය.

හානි පූර්ණ පනත

ඒ අතරේ යුද්ධයෙන් හා කැරලි කෝලාහල වලින් විපතට පත් වූ හා පත් වන ජනතාවට හානි පූර්ණය කිරීම සඳහා පනතක් ගෙනා බවට පල වූ වාර්ථා වලට අනුව උතුරු නැගෙනහිර ගැටුම හේතුවෙන් එහි පසුවිපාකයන්ගෙන්, දේශපාලන නොසන්සුන්තා සහ සිවිල් අරගලයන්ගෙන්, පුද්ගල කණ්ඩායම් හා ජනකොට්ඨාෂවල අයිතිවාසිකම් බරපතලව උල්ලංඝනය වීම් හේතුවෙන්, බලාහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබීම් හේතුවෙන් පීඩාවට පත්වූවන්  එම හානි පූර්ණය ලැබීමට සුදුසුකම් ලබනු ඇත.

මේ කියවෙන්නේ පනත් දෙකක් ගැන නොව එකක් ගැන බව දැන ගන්නට ලැබුණේ මේ තොරතුරු කියවීමෙන් පසුව ය. ඉහත ලයිස්තුව බැලීමෙන් මේ විපතට පත් ජනතාවට හානි පූර්ණය කිරීමේ පනත කොටින්ට වන්දි ගෙවීමේ පනතක් හැටියට අර්ථ දැක්වීමට එසේ අර්ථ දැක් වූ අය විසින් යොදා ගෙන ඇති තර්කය පැහැදිලි කර ගත හැකි ය.

උතුරු නැගෙනහිර ගැටුම් හේතුවෙන් අගතියට පත් කියන විට ම යුද්ධයේ දී අතපය අහිමි වූ අය ද මීට ඇතුළත් ය. ඒ තුළ එල්ටීටීඊ සමාජිකයින් ද සිටිය හැකි ය. එවැන්නන් බැහැර කිරීමක් කර නැති නිසා එසේ නිගමනය කිරීම සාධාරණ ය. කොටින්ට වන්දි ගෙවනවා යැයි කියන්නේ මේ පැරණි එල්ටීටීඊ සමාජිකයන්ට ද වන්දි ගෙවනවා යයි කියන කාරණයට ය.

මේ එල්ටීටීඊ සමාජිකයන් යයි කියන අය අතර ළමා සොල්දාදුවෝ ද සිටිති. ඔවුන්ගේ පවුල්වල අය ද සිටිති. ඔවුන් ළමා සොල්දාදුවන් ලෙස බන්දා ගනු ලැබුවේ බලාහාත්කාරයෙනි. ඔවුන් අද විඳවන්නේ තමන්ව මුලා කරන ලද මිනිසුන්ගේ පාප කර්මයන් බව අපට නොදැනෙන තරමට අප මේ සම්බන්ධයෙන් අසංවේදී ය.

මේ ඡයාරූප දමමින් ඝෝෂා කරන මිනිසුන් අමතක කරන කාරණය නම් එල්ටීටීඊ සමාජිකයන් හැටියට සිටි බොහෝ දෙනෙකු පසු කලෙක තමන් කළ වැරදි පිළිගෙන ඉන් ඉවත් වූ බව ය. ඒ ගැන ඇති තරම් පාපෝච්චාරණයන් කර ඇති බව ය.

කොටින් පරදවා යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා විසින් ම එවැනි එල්ටිටීඊ නායකයන් ගණනාවකට සුදු රෙදි අන්දවා සිය පක්ෂය තුළත් ආණ්ඩුව තුළත් තනතුරු පිරිනැමූ බව ය. ඔවුන් බදා වැළඳ ගෙන ඇති බව ය. ඒ අතර යටත් වූ පොලිස් නිලධාරීන් ගණනාවකට ජීවිතය අහිමි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකව චෝදනා ලැබූ අය ද සිටින බව ය.

මේ මෑතක දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමන් දෙමළ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් නැති බවත් උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් ජාතිවාදියෙකැයි තමන් විශ්වාස නොකරන බවත් ය. එවන් වාතාවරණයක් යටතේ තවදුරටත් ගේම ම ඉල්ලන මිනිසුන් රටේ සිටීම තේරුම් ගැනීම මඳක් අමාරු ය.

යුද්ධයට පරිබාහිර ව අහිංසක නිරායුධ මිනිසුන්ට එරෙහි ව ත්‍රස්ත ක්‍රියාවන්හි යෙදීම නිසා දැනටමත් චෝදනා ලැබ අධිකරණ ක්‍රියාවන්ට භාජනය වී සිටින අය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීම නතර කිරීමට මේ හානි පූර්ණ පනතින් අවසර ලැබෙන්නේ නැත. හානි පූර්ණ පනතින් අවසර ලැබෙන්නේ දැනට පුනරුත්ථාපනය වී සිටින එල්ටීටීඊ සමාජිකයන් ද ඇතුළුව යුද්ධයෙන් විපතට පත් සියලු දෙනාට ජාති ආගම් භේදයකින් තොරව යම් සහනයක් ලබා දීමට පමණ ය. ඒ අයට යුද්ධයෙන් ශාරීරික ආබාධ ලබා ඇති අය පමණක් නොව මානසික කම්පනයන්ට ලක් වී ඇති අය ද දේපල අහිමිවීම් සිදු වී ඇති අය ද නොසළකා හැරීම් සිදු වී ඇති අය ද අයත් ය.

එපමණක් නොවේ. මේ සියලු දෙනා සම්බන්ධයෙන් මැදිහත් වීමට ආණ්ඩුවට පමණක් නොව රටක් හැටියට සමාජයක් හැටියට අපට ද යුතුකමක් තිබේ. ඒ පීඩාවට පත් වී ඇති අයට ඔවුන්ගේ ජීවිත යලි ගොඩනගා ගැනීමට අත්වැලක් අවශ්‍ය ව ඇති නිසා ය. සිදු ව ඇති හානි වලට වෙන මොනවා නැතත් අඩු ම වශයෙන් මුල්‍යයමය වන්දියක් ගෙවිය යුතු ව තිබෙන නිසා ය. වෛද්‍ය පහසුකම් හා මානසික ආරක්ෂාව ලබා දිය යුතු ව තිබෙන නිසා ය. මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට සමාජයක් හැටියට සහතිකයක් දිය යුතු ව ඇති නිසා ය. වගබලා ගත යුතුව තිබෙන නිසා ය.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නැතැයි කියූ මහින්ද රාජපක්ෂ මහතාගේ ම ගෝලයින් මේ පනත සම්බන්ධයෙන් විරෝධයක් දැක් වීම තේරුම් ගැනීම අමාරු ය. එහෙත් හීන් විරෝධයක් දැක්වීමෙන් පමණක් නතර වි එය නැවැත්වීමට තීරණාත්මකව මැදිහත් නොවීම හරහා කියවෙන පණිවුඩය තුළ තිබෙන්නේ යුද්ධය කළ නායකයා පවා, එයින් සෑහෙන කාලයක් දේශපාලන වාසි ලබා ගත් නායකයා පවා, තවදුරටත් මේ තුවාල නොපෑරිය නොයුතු බවට සිතන බව නොවේ ද?

සුව නොවුනු තුවාල

යුද්ධයෙන් දෙපැත්තේම මිය ගියේ ද අබාධිත වූයේ ද අපේ රටේ මිනිසුන් ය. අපේ බුද්ධියේ පටු සීමාවන් නිසා අපට කල් ඇතුව නතර කර ගැනීමට බැරි වූ ඒ අවාසනාවන්ත යුද්ධය දැන් අවසන් වී දශකයකට ආසන්න ය. යුද්ධය අවසන් වි දිගු කාලයක් ගත වුව ද එහි තුවාල තවම අප සතු ය. එහෙත් ඒ තුවාල වල වේදනාවන් අමතක කොට මෛත්‍රී සහගතව සිදු වූ මේ අවාසනාවන්ත සිද්ධිය දෙස බලන්නට අපට තවමත් නොහැකි ව තිබේ. යුද්ධයෙන් විපතට පත් වූවන් දෙපාර්ශවයේම මිනිසුන් ගැහැණුන් දරුවන් සම්බන්ධයෙන් එක හා සමාන සහකම්පනයක් ඇති කර ගැනීමට අපට නොහැකි ව තිබේ. ඒ අප උදේ හවස මෛත්‍රීය වඩවවන්නට කැපවුනු ආගමක් අදහමින් සිටින් ගමන් ය. අපේ අසමර්ථකමේ බරපතලකම තිබෙන්නේ එතැන ය.

කොටින්ට විරුද්ධව ඉදිරි පෙරමුණ ගෙන ඉන්නා බොහෝ දෙනෙකුට සිය පවුලේ ආදර වන්තයෙකු හිතේෂියෙකු අහිමි වන්නට ඇත. ඒ නිසා ම ඔවුන්ට එල්ටීටීඊය සමග බේරාගන්නට පෞද්ගලික ගනුදෙනුවක් තිබෙන්නට පුළුවන. හමුදාවට විරුද්ධව කඳවුරු බැඳගෙන ඉන්නා උතුරේ ඇතැම් අයට ද රජය හා හමුදාව සමග බේරා ගැනීමට එවැනි පෞද්ගලික ගනුදෙනු තිබිය හැකි ය.

එවැනි පෞද්ගලික තුවාල තිබිය දීත් සාමය වෙනුවෙන් මුරගාන මිනිසුන් ද ගැහැණුන් ද අප අතර සිටින බව මෙහි සටහන් නොකළොත් අප අපගේ යුතුකම ඉටු නොකළා වෙයි. ඒ අතර ප්‍රමුඛයෙකු වන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ය. එහිමියන්ගේ සහෝදරයා යුද භුමියේ දි මිය ගිය යුද භටයෙක්ව තිබිය දීත් එහිමියන් සාමය වෙනුවෙන් කරනා මෙහෙය පෞද්ගලික ගනුදෙනු බේරාගැනීමට වෛරය ම ඉල්ලා සිටින මිනිසුන්ට කරන සැබෑ අභියෝගයකි. යුද සමයේ ද එහිමියන් ඉල්ලා හිටියේ මිනිස් ජිවිත අහිමි කරන යුද්ධයට තිතක් තබන ලෙස ය. ඉන්පසුව ද එහිමියෝ සාමය සඳහා බොහෝ වැඩසටහන් මෙහෙය වූහ. යූ ටියුබ් ජාලයට පිවිසිමෙන් කවරෙකුට වුව ද ගල්කන්දේ නා හිමියන් සබුද්ධිකව මුළු ක්‍රියාදාමය දෙසම බැලූ ආකාරය බලා බොහෝ පාඩම් ඉගෙන ගත හැකි ය. ළඟ බලා නතර නොවි දුර බලන්නට අප පොළඹවන ඒ හිමියන්ගේ හඩට අප කවුරුත් සවන් දිය යුතු ය. එවිට මේ විපතට පත් ජනතාව වෙනුවෙන් හානිපූර්ණය කරන ක්‍රියාදාමය දෙස මෙත් සිතින් බලන්නට අපට හැකි වනු ඇත.

අප කම්පා විය යුත්තේ හානිපූර්ණය කිරිමට පනතක් ගෙන ඒම ගැන නොවේ. එය ගෙන ඒමට මෙතෙක් පමා වීම ගැන ය. ඊළග ඡන්දයේ දී අප වග බලා ගත යුත්තේ මේ පනතට පක්ෂව චන්දය දුන් අය පැරදවීමට නොවේ. විරුද්ධව චන්දය දුන් අය පැරදවීමට ය.

ඒ ඔවුන්ගේ දෙබිඩි චරිතය තුළින් ප්‍රදර්ශනය වන අවස්ථාවාදය නිසා ය. දේශප්‍රේමය මුවාවෙන් ඔවුන් මිනිසුන්ගේ හැගීම් විකුණා ගෙන කන නිසා ය. යුද්ධය අවසන් කළ ද සාමය ගෙන ඒම වැළැක්වීමට ඔවුන්ගේ මේ ක්‍රියාවලියෙන් උල්පන්දම් ලැබෙන බව දැන දැන ම මේ තිරශ්චීන කටයුත්තේ නියැලෙන නිසා ය.

මේ කණ්ඩායමට අයත් සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී කියා සිටියේ මේ පනත් කෙටුම් පත ගෙන එන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ද සම අනුග්‍රහය සහිතව ගෙනා 30/1 යෝජනාවට අනුකූලව එල්ටීටීඊ ඩයස්පෝරාවේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවා ට දර දිය අදින ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ කමට බව ය. එතුමා නොකියන කාරණය නම් මෙය උතුරු නැගෙනහිර ජනතාවට පමණක් සීමා වෙන්නේ නැති බව ය. පොදුවේ අකටයුතුකම් වලට ලක් වූ හැමට ඉන් සහනයක් ලැබෙන බව ය. දැනටම අකටයුතුකම් වලට යටත් වූ අයට පමණක් නොව ඉදිරියේ දී යටත් වන අයට ද සහනයක් ඉන් ලැබිය හැකි බව ය. මෙසේ හිතා මතා වැරදි අර්ථ කථන දෙන්නේ සහ පනතේ සැබෑ ස්වභාවය සඟවමින් බිල්ලෙකු මවන්නේ ජාති වාදයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ය.

සාමය දිනා ගැනීම

යුද්ධය දිනූ අයට බැරි වුනේ සාමය දිනා ගැනීමට ය. යුද්ධයක දී දිනා ගන්නේ භූමිය ය. එහි පාලනය ය. එහෙත් සාමයේ දිනිය යුත්තේ මිනිසුන්ගේ සිත් ය. එය භූමිය දිනනවාට අමාරු ය. විශේෂයෙන් දෙපැත්තේම කුරිරු කම් වලින් පීඩා විඳි මිනිසුන්ගේ පෑරුනු සිත් දිනා ගැනීම වඩාත් අමාරු ය. ජයග්‍රාහකයා විසින් සියල්ල උරුම කර ගැනීමට සපථ කර ඇත්තා වූ ද පරාජිතයා දීන ලෙස සිටිය යුතු යැයි විශ්වාස කරන්නාවූ ද සිතකින් සාමයක් දිනීම ඊටත් අමාරු ය.

කොටින් ම රට අභ්‍යන්තරයේ ඇති වන්නා වූ සිවිල් යුද්ධයක ජයක් තිබිය නොහැකි ය. ව්‍යාසනයට පත් වූයේ අප රටේ ජනතාවගේ ජීවිත ය. ඔවුන්ගේ දේපල ය. මිය ගියේ තුවාල වූයේ හිංසනයට ලක් වූයේ අපේ මිනිසුන් ය, දෙපැත්තකට වී ඇන කොටා ගත් අපේ මිනිසුන් ය.

එසේ සිතන්නට බැරි වන තාක් සාමය උදා කර ගත නොහැකි ය. ඒ තුළ සිදු විය හැකි එක ම දේ නම් උන්ට වෙන් ව යෑමට බල කිරීම ය. අපේ උන් ලෙස අප උන් නොසළසන තාක් උන් වෙන ම කඳවුරු බඳිනු ඇත්තේ ය.

සාමයට ඇත්තේ එක ම යහපත් විකල්පයකි. එය යුද්ධය නම් නොවේ. ඒ වෙන්විම ය. එය රටක ජන කණ්ඩායම් දෙකක් අතර පමණක් නොව පවුලක සමාජිකයන් අතර ඇති වන විරසකයක් සම්න්ධයෙන් ද සත්‍ය ය. එක්කෝ අප එක ම පවුලක සමාජිකයන් ලෙස සළකා එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් සිටීම හරහා සාමය පවත්වා ගත යුතු ය. නැත්නම් වෙන් විය යුතු ය. දිගින් දිගට රණ්ඩු වෙමින් ජීවත් වීමේ තේරුමක් නැත. දිගින් දිගට යුද්ධ කරමින් ජීවත් වීම ද ඒ තරමට ම තේරුම් විරහිත ය.

මේ පනතට විරුද්ධව කඳවුරු බඳින වුන් ඇත්තට ම කරන්නේ වෙන් වීමට පාර කැපීම ය. නැතිනම් දිගු කාලීන යුද්ධයක් තුළ, ආරවුලක් තුළ, රට හිර කිරීම ය. ඒ දෙකම එක වගේ නරක ය.

බලය ලබා ගත හැක්කේ මව විකිණීමෙන් නම් එයත් කරන්නට සූදානම් මිනිසුන්ගෙන් සාමය පැතීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීම හා සමාන ය. එහෙත් අපට එකක් කළ හැකි ය. මේ හරකා හැරෙන්නේ පොල් පැලේ කන්නට බව දැන හරකා පන්නා දැමීම ය. ඒ කියන්නේ කොටි බිල්ලෙකු දක්වමින් සාමයට ඇති අවස්ථාව මග හරිමින් මේ කොක්කෙන් නැත්නම් කෙක්කෙන් බලය ගන්නට කරන උත්සහය නිරාවරණය කර දැක්වීම ය. මේ පනතට එරෙහිව චන්දය දුන් අයට සිය කතිරය නොගසන ලෙස මිනිසුන්ට කියා සිටීමට ය. මේ විකාර කාරයින් පිටු දැක සාමය වෙනුවෙන් කැප වීමට ය. මේ පනත සම්මත කර ගෙන ඉන්පසු අත පය හකුලාගෙන ඉන්නේ නැතිව මෙය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන බවට ආණ්ඩුව ලවා සහතික කරවා ගැනීම ය. ඒ සඳහා මැදිහත් විම ය.

විරුද්ධ වුනේත් නැති පක්ෂ වුනේත් නැති ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් අපට කළ හැක්කේ කම්පා වීම පමණකි. ඒ දෙකට ම නැති බව කියා සිටීමෙන් ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවාදය ජනතා විමුක්තිය පතන සංවිධානයකට නොතරම් ය. ජාතිවාදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් නිශ්චය ස්ථාවරයක් නොවුණු බව ඉතිහාසය සාක්කි දෙන්නේ ය. මේ සිද්ධියේ දී වැට උඩ සිටීමෙන් මේ අස්ථාවරත්වය ලාංකීය ජනතාව ඉදිරියේ කවදාවත් නොවුනු තරමට එය පෙන්වා සිටියේ ය.

අප රට මුහුණ දී සිටින්නේ ප්‍රතිගාමී බලවේග පිණුම් ගසනු බලා සිටීමට අපට සිදු ව ඇති වටපිටාවක පමණක් නොවේ. ඊනියා ප්‍රගතිශීලි බලවේග ද ඒ රංගනය ඉදිරියේ මුළු ගැන්වෙනු සැඟවෙනු බලා සිටීමට සිදු ව ඇති ශෝචනීය වටපිටාවක ය. දේශපාලකයන් ජනතාවට නොව ජනතාව දේශපාලකයන්ට හරි දෙය කරන්නට නායකත්වය සැපයිය යුතු තත්වයක ය. ඒ සඳහා සූදානම් වීම හැර ගැලවුමක් ජනතාවට නැත.

නීතියේ උභතෝකෝටිකය

නීතියේ උභතෝකෝටිකය

නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ යහපත් මිනිසුන් ඉන්නා රටක ය. ඒ කොතරම් යහපත් නීතියක් තිබුන ද එය ක්‍රියාත්මක නොකරන්නේ නම් එයින් ලද හැකි දෙයක් නැති බැවිනි. එහෙත් යහපත් මිනිසුන් ඉන්නා රටකට එහෙමකට නීතියක් අවශ්‍ය වන්නේ ද නැත. මේ උභතෝකෝටිකය සහිත අදහස මා ගත්තේ මිත්‍රයෙකු ගේ මූණු පොතෙනි. ඔහු විසින් විමසනු ලැබුවේ වෙනත් වචන වලින් මේ ප්‍රශ්නය ම ය.

වැඩිය නොවිමසන කෙනෙකු ඉන් බැස ගන්නා නිගමනය නම් නීතියක් කොහෙත්ම අවශ්‍ය නැති බව ය. යහපත් මිනිසුන් නැතිව ක්‍රියාත්මක කරන්නට බැරි නීතියක් යහපත් මිනිසුන් ඉන්නා තැනක වැඩක් නොමැති වන බව නැවත නැවතත් කියන්නට තරම් කාරණයක් නොවන බැවිනි.

නීතී දැමීමෙන් කිසිදු වෙනසක් සිදු නොවන්නේ නම් හොඳම විදිහ නීති දමා යහපත් මිනිසුන් අපහසුතාවයට පත් නොකර සෙසු මිනිසුන් ද යහපත් මිනිසුන් කිරිමට වෙර දැරීම ය.

සෙසු මිනිසුන් යහපත් මිනිසුන් බවට පත් කරන්නේ කෙසේ ද? නීතිය අවශ්‍ය වන්නේ ආගමට හෝ වෙනයම් පරමාදර්ශයකට නොහැකි ව තිබෙන ඒ කටයුත්ත සඳහා ය. ගැටළුව ඇත්තේ එතැන ය.

ආගමික ආයතන හා පූජකයන් බොහෝ දේ සම්බන්ධයෙන් රජයට මැදිහත්ව මිනිසුන්ට අච්චු කරන ලෙස කියන්නේ ඔවුන් ඇතැම් මිනිසුන් සම්බන්ධයෙන් අසමත් ව ඇති නිසා ය. එයින් පෙනෙන්නේ ආගමට ද පුළුවන් යහපත් මිනිසුන් යහපත් කරන්නට මිස අයහපත් මිනිසුන් යහපත් කරන්නට නොවන බව ය. අයහපත් මිනිසුන් සම්බන්ධයෙන් මෙසේ අවසාන පිළිසරණ ලෙස නීතිය භෞතීස්ම කර ඇති තත්වය යටතේ මේ දෙස නැවත බැලිය යුතු ව තිබෙන්නේ ය.

එහෙත් නීතිය ක්‍රියාත්මක කරන්නන් යහපත් නොවන විට අයහපත් මිනිස්සු නීතියෙන් රිංගා යන්නෝ ය. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නන්ට අල්ලස් දීමෙනි. එසේ නම් කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරිමේ කටයුත්ත යහපත් මිනිසුන්ට පමණක් පැවරීම ය.

එය අසීරු ය. නීතිය ක්‍රියාත්මක කරන්නන් බොහෝ ය. පොලීසිය, බන්ධනාගාරය, උසාවිය, කළමනාකරුවන්, ගුරුවරුන්, විදුහල්පති වරුන්, දේශපාලනඥයන් යන කොයි කවුරුත් නීතිය සම්බන්ධ කටයුත්තට විවිධ ආාකාරයෙන් අත ගසති. වෙන එකක් තියා මාධ්‍යය ද එහි කොනක සිට නීතිය ක්‍රියාත්මක කිරීමට නොවූව ද එය ක්‍රියාත්මක කරවීමට මැදිහත් වෙති.

යහපත් මිනිසුන්ගේ අඩුව

ඒ සා විශාල තනතුරු සංඛ්‍යාවක් හොබවන්නට තරම් හොඳ මිනිසුන් සිටී නම් ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ තරම් හොඳ මිනිසුන් සිටී නම් නැවතත් මතුවන ප්‍රශ්නය එවැනි රටකට නීතිය කුමකට ද යන්න ය. එයින් ගැලවිය හැක්කේ තවත් උපකල්පනයක් කිරීමෙනි. ඒ නරක මිනිසුන් ඉන්නේ අතලොස්සක් බව උපකල්පනය කිරීමෙනි.

වඩා බරපතල දෙවැනි ප්‍රශ්නය නම්, මොහොතකට ඒ සා විශාල සංඛ්‍යාවක් හොඳ මිනිසුන් සිටිතැයි සිතුව ද, ඔවුන් තෝරාගත හැක්කේ කෙසේ ද යන්න ය. කාලා බලලා කෑමක් මෙන් තෝරා ගැනීමට බැරි නිසා ම එය බොහෝ දුරට කළ නොහැකි කාරණයක් බව අවසානයේ නිගමනය කිරීමට සිදු වේ.

අප කලබල වනවා වැඩි ය. සම්පූර්ණයෙන් පිරිසිදු මිනිසුන්ගෙන් යුත් නීතිය ක්‍රියාත්මක කරන පද්ධතියක්, රටක් හෝ ආයතනයක්, ගොඩ නැගීම අමාරු ය.  එහෙත් එවන් පද්ධතියක් තුල අයහපත් මිනිසුන්ට පහසුවෙන් පවතින්නට නොහැකි තත්වයක් ගොඩ නැගිය හැකි ය. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල පාරදෘෂ්‍යභාවය තිබීම වැදගත් ය. ඒවා ප්‍රශ්න කිරීමට ජනතාවට හැකියාවක් තිබීම වැදගත් ය.

යහපාලන ආණ්ඩුව මොනවා නොකළ ද මේ සඳහා වැදගත් වූ පියවරක් එය විසින් ගෙන තිබේ. ඒ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර වීම හරහා ය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපට පුද්ගලිකව යමක් ගැන දැන ගත හැකි ය. එසේ වුව ද ඉන් එහාට එම තොරතුර සම්බන්ධයෙන් යමක් නොකළොත් ඒ අයිතියෙන් වැඩක් නැත. යම් අකටයුත්තක් සම්බන්ධයෙන් ඒ හරහා කරුණු කාරණා හගිස්සවා ගත් කෙනෙකුට ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අල්ලස් හා දූෂණ කොමිසම පොලීසිය වැනි ආයතනවලට පැමිණිලි ඉදිරිපත් කොට ඒවායේ මැදිහත් වීම ඉල්ලා සිටිය හැකි ය. ඒ තැන් වල අපක්ෂපාතව කටයුතු කරන මිනිසුන් ඉන්නේ නම් එවිට කටයුතු යහපත් තත්වයකට ගෙන ආ හැකි ය.

ස්වාධීන කොමිසම් සභා

යහපාලන ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ද තමන්ට හැකි ආකාරයෙන් මැදිහත් වී තිබේ. ඒ 19 සංශෝධනය හරහා ස්වාධීන් කොමිසම් සභා පත් කිරිම හා ව්‍යාවස්ථා මණ්ඩලය හරහා තීරණාත්මක පත් වීම් ලබා දීම මගින් ය. ඒ හරහා වඩාත් අපක්ෂපාත පාරදෘෂ්‍ය ලෙස තීරණාත්මක තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට ඉඩ සලසා දීම මගින් ය.

මෙවැනි යහපත් පත් වීමකට දිය හැකි හොඳම උදාහරණය අපට ලැබෙන්නේ මෑතක දී අගවිනිසුරු පදවියට පත් කළ නලීන් පෙරේරා මහතාගේ පත් වීමෙනි. අධිකරණ පද්ධතිය තුළ පමණක් රැඳුනු කෙනෙකු අගවිනිසුරු හැටියට අප රට තුළ මෙසේ පත්වන්නේ වසර 30 කාලයකට පසු වීම එහි වැදගත් කම වඩාත් තහවුරු කරන්නේ ය.

මේ ප්‍රතිපාදන ද ප්‍රමාණවත් යැයි පැවසිය නොහැකි ය. එසේ කරන ලද ඇතැම් පත්වීම් සම්බන්ධයෙන් ජනතාවට සෑහීමකට පත් වීමට පුළුවන් වී නැත. ඇතැම් පත් වීම් ලාභීන්ගේ හැසිරීම, පත් වීමෙන් ලැබීමෙන් පසු ඔවුන් ක්‍රියා කළ ආකාරයන්ගෙන් ප්‍රකාශයට පත් වූ පරිදි, යහපත් වූයේ නැත. ඇතැමෙක් පරණ පුරුද්දට ම දෝ සිය නව ස්වාමිවරුන්ගේ ගෝලයන් බවට පසු බැස්සේ ජනතාව තුළ තිබූ බලාපොරොත්තු සුන් කරමින් ය.

ඒ නිසා එවැනි හැසිරීමක් පාලනය කිරීමට වෙනත් ස්වාධින පාර්ශවයන්ට බලය පැවරීමක් ද අමතරව අවශ්‍ය කෙරෙන්නේ ය. විශේෂයෙන් විපක්ෂයට, වෘත්තීය සමිතිවලට, බහුජන සංවිධානවලට, නිදහසේ සිය අදහස් පල කිරීමට ඉඩත් ඔවුන්ට උද්ඝෝෂණයන් කිරිමේ ඉඩත් මාධ්‍යවලට බියෙන් තොරව හැසිරීමේ ඉඩත් ලබා දීම ඒ සඳහා අත්‍යවශ්‍ය ය. ඒ සම්බන්ධයෙන් ද යහපාලන ආණ්ඩුවේ කැරැට්ටුව අඩු වශයෙන් කියන්නේ නම් නරක නැත. අවම වශයෙන් එය පැහැදිලිව පසුගිය පාලන සමයට වඩා මුළුමණින්ම නොවෙතත් බොහෝ දුරට වෙනස් බව පෙන්නුම් කර ඇත.

මේ ආයතන පද්ධතිය හා විවිධ බලවේග අයත් සමස්ථ සමාජය ද මේ තත්වය තහවුරු කිරීමට සිය දායකත්වය ලබා දිය යුතු ය. ඒ වැරදි ක්‍රියා අනුමත නොකිරීම හරහා ය. ඒවා ට විරුද්ධ වීම හරහා ය. හරි වැරැද්ද ගන කතිකා කිරීම හරහා ය. මේ ලිපි පෙල හරහා අප ද ආයාසයක් ගත්තේ ඒ සඳහා ය.

හරි වැරදි මනින නිර්ණායක

සමාජය දෙස බලන විට පෙනී යන්නේ යමක් හරි ද වැරදි ද යන නිර්ණායක සම්බන්ධයෙන් සමාජය තුළ ද ඒකමතියක් නැති බව ය. නීතියේ කුමක් සඳහන් ව තිබුණ ද ඇතැම් අය සම්ප්‍රදායික මති මතාන්තර මත හිඳ හරි වැරැද්ද තීරණය කරන බව ය. ඇතැම් තැනක නීතිය ක්‍රියාත්මක කිරීමට වග කියන නිලධාරීන් පවා ඒ සම්ප්‍රාදායික මතිමතාන්තර වෙනුවෙන් නීතිය නමන බව ය.

ඒ නිසා යහපත හා අයහපත අතර ඇති වෙනස තහවුරු කිරීම සම්බන්ධයෙන් නීතියේ ප්‍රතිපාදන යොදා ගැනීමේ දී ඇතැම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන පසුබසින බව ය. ඇතැම් නිලධාරීන් පසුබසින බව ය. ඒ සඳහා නීතියෙන් පරිබාහිර අර්ථකථන සපයන බව ය.

උදාහරණයක් ලෙස එක්තරා ගමක මහ හඩින් ලවුඩ්ස්පීකර් දමා රාත්‍රිය පුරා පවත්වන්නට යෙදුණු පිරිත් වැඩසටහනකට විරුද්ධව පොලීසියට පැමිණිලි කළ කෙනෙකුට සිදු වුනේ ගමේ මිනිසුන්ගෙන් අතවර විඳීමට ය. ඒ ගැන පැමිණිලි කිරීමට පොලීසියට ගියවිට එහි සිටි නිලධාරියෙකුගේ උත්තරය වූයේ පිරිත් කරදරයක් නම් ඒ ස්ථානයෙන් ඉවත් වන ලෙස ය. ඒ රාත්‍රී කාලයේ එවැනි ශබ්ධ ඝෝෂාවන් පැවැත්වීම නීතියෙන් වැරැද්දක් ව තිබිය දී ය. මේවාට ගම්වල උදවිය කීවේ වඳින්න ගිය දෙවාලය හිසේ කඩා වැටුනේ යැයි කියා ය.

පිරිත යහපත් යැයි ද එය ඒ නිසා රෑ පුරා මහහඩින් විකාශනය වුව ද ඉවසිය යුතු යැයි ද නීතියේ කුමක් සඳහන් ව තිබුන ද ඉවසිය යුතු යැයි ද කියන විට, විශේෂයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනයක නිලධාරියෙකු විසින් එවැන්නක් කියන විට, එය තේරුම් ගත යුත්තේ කෙසේ ද? යහපත් කාර්යයක් ලෙස ද අයහපත් කාර්යයක් ලෙස ද?

සමාජය මැදිහත් විය යුත්තේ මෙවැනි කාරණා විමසන්නට ය.

අපක්ෂපාතිත්වය

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම අරබයා නඩුවක් උසාවියේ ඇසුනේ ය. ඒ ඔහුගේ බිරින්දෑගේ බැන්දේ ය. පළමුව උසාවි භූමිය තුළම ඒ හිමියෝ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළෝ ය. ඉන් අනතුරුව උසාවියේ කටයුතු වලට බාධා වන අයුරින් හැසිරුනෝ ය. ඒ හැසිරීම් දෙකම සාධාරණීකරණය කරන ලද්දේ ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊ සංවිධානයට උදව් කළ කෙනෙකු බව කියමිනි. එල්ටීටීඊ සංවිධානය ත්‍රස්ත ක්‍රියාවන්හි නිරත වූ සංවිධානයකි. ඒ සංවිධානයට උදව් කිරීම ඒ නිසා අයහපත් යැයි ගැනීම වැරදි නැත. තවමත් ඒ බවක් ඔප්පු වී නැති නමුත් ඒ පිළිබඳ ඇති සැකයේ වාසිය ඥානසාර හිමිට පැවරුවේ වුව ද එසේ වූ පලියට කෙනෙකු අතුරුදහන් කිරීමට තවත් කෙනෙකුට අයිතියක් ඇතැයි නීතිය විශ්වාස නොකරයි. නීතිය විශ්වාස නොකරන දෙයක් හරි යැයි සිතා ඒ හිමියන් කටයුතු කර තිබේ.

පිරිත් සම්බන්ධයෙන් සංසිද්ධිය මෙන් එය සමාජ කැළඹිමක් ඇති කර යට ගියේ නැත. ඒ, සිද්ධිය උසාවි පරිශ්‍රයක් තුළ සිදු වූ නිසා ය. අවසානයේ නීතිය ක්‍රියාත්මක වූ අතර ඥානසාර හිමියන් දඩුවම් ලැබුවේ ය. එහිමියන් ඉදිරිපත් කළ අභියාචනය ද නිශ්ප්‍රභා කෙරුණේ ය. මේ ගැන එලිපිට නොවෙතත් ඇතැම් පිරිස් තවමත් තැනින් තැන මේ ගැන පවසන්නේ වැරදි වැඩක් ලෙස ය. එසේ එලිපිට කතා නොකරන්නේ උසාවියට අපහාස කළේ ය යන චෝදනාවට ඇති බිය නිසා ය.

ඔවුන් කියන පරිදි දුන් දඩුවම වැඩි ය. ස්වාමීන් වහන්සේ ක්‍රියාකර තිබුනේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ය. ඔවුන් සිතන පරිදි එල්ටීටිඊ සංවිධානයට උදව් කළේ ය නැතිනම් සම්බන්ධය යන බරපතල කාරණයක දී රණවිරුවෙකුට සාමාන්‍ය පුරවැසියෙකු අතුරුදහන් කළ හැකි ය. එවැනි රණවිරුවෙකු උසාවියට ගෙැනවිත් දඩුවම් කිරීම වැරදි ය. එවැනි වැරද්දක් පෙන්වා දීමට දෑ හිත කාමී භික්ෂූන් වහන්සේ නමකට අයිතියක් ඇත්තේ ය. කළ යුතුව තිබුනේ දඟ ගෙයි ලෑම නොව විරාභිවන්ධනයක් ලබා දීම ය. ඉංග්‍රීසි කොඩිය බිම දැමූ වාරියපොල හිමියන් සමග එක පෙලට සිටුවා ප්‍රණාමය පුද කිරීම ය. එම සිතුවිල්ල විනිශ්චය කරුවන් තුළ ක්‍රියාත්මක වූවා නම් උසාවියට සිය අභිමානය රැක ගන්නට බැරි වන්නේ ය. තවත් අය මේ හිමියන් අනුගමනය කරමින් උසාවිය අභියෝගයට ලක් කරන්නට ඉදිරිපත් විය හැකි ය. ඒ නිසා ම එ හිමියන් ට සමාවක් ලැබුනේ නැත. සිවුරට සැළකීමක් ලැබුනේ නැත. නීතිය සියල්ලට ඉහළින් ඇති බව එයින් තහවුරු වුනේ ය.

මේ අවස්ථාවේ නීතිය සිය ආධිපත්‍ය තහවුරු කළේ වුව ද අතීතයේ දී බොහෝ අවස්ථාවල අප දුටුවේ නීතිය සිවුර ඉදිරියේ බයේ හැංගුන බව ය. පොලීසිය බොහෝ අවස්ථාවල පසු බැස ගිය බව ය. අහක බලා ගත් බව ය.

සංවාදයක අවශ්‍යතාවය

මෙවැනි යහපත හා අයහපත පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු හා නැමිය යුතු තැන් පිළිබඳව ද තීරණය කිරීමට අප විසින් භාවිතා කළ යුතු නිර්ණායකයන් කවරේද යන්න ගැන ප්‍රමාණවත් සංවාදයක් සමාජය තුළ ඇති විය යුතු ය. නැතිනම් වන්නේ හරි වැරැද්ද ගැන ද නීතිය ක්‍රියාත්මක විය යුතු හා නොකළ යුතු තැන් පිළිබඳව ද ව්‍යාකූලත්වයක් ඇති වීම ය. බොහෝ යහපත් පුද්ගලයන් ද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී වැරදි කළ හැකි වීම ය. අසරණ වීම ය. අනාථ වීම ය.

මේ සම්බන්ධයෙන් නම් යහපාලන ආණ්ඩුවේ කැරැට්ටුව මුළුමණින් යහපත් වී නැත. ඇතැම් තැනක එය මිනිසුන්ට ඉදිරියෙන් සිට ගෙන පීඩනයට නොනැමී සිටි අතර ඇතැම් තැනක එය පීඩනය ඉදිරියේ දිය වී ගියේ ය. ප්‍රමාණවත් කතිකාවක් පවා ඇති නොකර අකුළා ගත් අවස්ථා ද තිබුනේ ය.

එකක් කාන්තාවන් මත්පැන් වෙළඳම් කිරීම හා මිල දී ගැනීම සම්බන්ධයෙන් ය. මේ සම්බන්ධයෙන් ඇති නීතිය වෙනස් කිරීමට පියවර තැබුවේ ද ආණ්ඩුව ය. ඒ කාන්තාවන්ට ද සමාන අවස්ථා ලබා දීම හරහා ය. කාන්තාවන් මත්පැන් බී කුස්සියට යන පාර පවා හොයා ගැනීමට බැරි තත්වයක් ඇති වෙතැයි කියමින් ජනයා බිය වැද්දූ සමාජ මතයට එරෙහිව යනු වෙනුවට එය අනුමත කරමින් ජනාධිපතිතුමා එය අකුලා ගත්තේ ය. ඒ පියවර අභියෝගයට ලක් කරමින් දැනට නඩු පවරා ඇති නිසා අධිකරණය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇත්තේ ය. එහෙත් ආණ්ඩුව අකුලා ගැනීමට ගත් තීන්දුව, හරි වැරැද්ද සම්බන්ධ කතිකාවට පිටුපා අත්තනෝමතික ව ගත් තීරණයක් වූයේ ය. සැනසිල්ලට කාරණයත් ව තිබුනේ ආණ්ඩුව තුලින් ම ආණ්ඩුවේ ඒ අකුලා ගැනීමේ පියවර විවේචනය වීම ය.

තවත් එවැනි ම නීතිය නමන ලද අවස්ථාවක් වූයේ අපරාධ කළ සෙබළුන් රණවිරුවන්ගේ ගොඩට දමමින් එම අපරාධකරුවන්ට ද ඔවුන්ට නියෝග දුන් අයට ද නිදහස් ව යෑමට අවකාශ සලසන ප්‍රකාශනයන් නිකුත් කිරීම ය. එහෙත් ඒ ප්‍රකාශන කෙතරම් දුරට පරික්ෂණ අඩාල කළේ දැයි කියන්නට බැරි තවමත් කොර ගහමින් වුව පරීක්ෂන ඉදිරියට යන නිසා ය.

එවැනි පසුබැසීම් තිබුන ද සමස්ථයක් ලෙස අපට මේ සම්බන්ධයෙන් තවමත් සතුටු විය හැකි ය.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවට අප විසින් වග බලා ගන්නේ නැතිනම් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන ලිස්සා යා හැකි බව අප මෙයින් තේරුම් ගත යුතු ය. එය වැළැක්වීමට යහපාලන ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන් නොවුනත් එක්තරා දුරකට කටයුතු කර ඇති බව සැළකිල්ලට ගෙන එය තවදුරටත් ඉදිරියට තල්ලු කිරිමට අප වග බලා ගත යුතු ය.

නිකම් කිසිවක් ලැබෙන්නේ නැත

යහපාලනය බන්දේසියක තබා ලැබුනේ නැත. ලැබෙන්නේ ද නැත. දුන් දේ නැවත ගන්නට ක්‍රියාත්මක වන බලවේග නිසා ම මේ ජයග්‍රහණයන් තහවුරු කර ගෙන ඉදිරියට යන්නට අප කැප විය යුතු ය.

නීතිය අවශ්‍ය ය. යහපත අයහපත වෙන් කර ගත නොහැකි මිනිසුන් සිටින තාක් එය අවශ්‍ය ය.

නීතිය තිබුනාට මදි ය. එය ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම ද අවශ්‍ය ය. ඒ සඳහා වුවමනා කරන තොරතුරු දැනගැනීමේ පනත වැනි මෙවලම් සපයා තිබෙන වටපිටාවක ඒවා නිසි ලෙස භාවිතා කිරීම ද අවශ්‍ය ය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි පරීක්ෂාවෙන් සිටීම ද අවශ්‍ය ය. ඒ ආයතන තුළ ඉන්නා පුද්ගලයන් හරි වැරැද්ද කුමක් ද යන්න නිශ්චය කරවීමේ නිර්ණායකයන්ගෙන් සන්නද්ධ කිරිම ද අවශ්‍ය ය. ඔවුන් වැරැද්ද හරි ලෙස ගන්නා විට එයට එරෙහිව මැදිහත් වීම ද අවශ්‍ය ය. සක්‍රීය ජනතාවකට මිස නීතියට පමණක් නීතිය ක්‍රියාත්මක කරන්නන්ට පමණක් බාර දී ඉන්පසු අත් පිසදා ගන්නා ජනතාවකට නීතියෙන් ලැබිය හැකි බක්කක් නැත.

නීතිය අවශ්‍ය ය. ඒ නරක මිනිසුන් පාලනය කිරීමට පමණක් නොවේ. හොඳ මිනිසුන් නරක මිිනිසුන් වෙන එක ද පාලනය කිරීමට ය. සෙසු අයට නීතිය ක්‍රියාත්මක කිරිම පවරා ගෙදරට වී තමන්ගේ වැඩක් බලාගෙන බැඩැරී ගාන්නේ නැතිව සක්‍රීය පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට ඔබ සූදානම් නම් නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට රත්තරන් මිනිසුන් ම අවශ්‍ය නොවන බව ඔබට පෙනෙනු ඇත.