බය වෙන එක අපේ උරුමයක් – ඒ වගේම අපේ අයිතියක්

මම බයයි. අහසට. ඒකෙ තියෙන ග්‍රහලෝකවලට. රාහුට. කේතුට. කොටින්ම නව ග්‍රහයන්ට. නරක ග්‍රහයො ගේන ඒ රාෂ්ටකවලට. හොඳ ග්‍රහයො නීච වෙනවට. මගේ අතේ නවරත්න මුද්දක් තියෙනව. නව ග්‍රහ අපල දුරු කරන්න. කරේ සුරයක් තියෙනව. ආරක්ෂාවට. අතේ තියෙනව රත්තරන් බෝලයක් කරකව කරකව ඉන්න. සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වෙන්න. ගෙදර ඉස්තෝප්පුවෙ තියෙනව ලොකු වාලම්පූරියක් දොර ඇරිය ගමන් පේන්න.

වැදගත් වැඩකට නම් මොකා කිව්වත් රාහු කාලයේ නම් මම යන්නෙ නෑ. ඕනෑම හොඳ වැඩකට පිටත් වෙන්න එහෙම වැඩක් ආරම්භ කරන්න නැකතක් බලන එක බලනවාමයි.

පොඩ්ඩ වැරදුනු ගමන් කේන්දරෙත් අරගෙන කේන්දරකාරයෙක් හොයා ගෙන මං දුවනව. මට වැරදෙන්නෙ නැති නිසා බොහෝ විට ග්‍රහයෙකුට වැරදෙන්න ඇතියි කියලයි මට එහෙම වෙලාවට හිතෙන්නෙ. ඉතින් ඒ ගොල්ලො නිර්දේශ කරන අට අනූවක් ශාන්තිකර්ම නව අනූවක් යෝජනා ක්‍රියාත්මක කරනව. වාස්තු විද්‍යාවට අනුව වැරදියි කියල මගේ ගෙදරම දැන් මං නව වතාවක් කඩල හදල තියෙනව.

මම බයයි රෑට. හොල්මන් වලට. ඒ නිසාම මම උදේ හවස පිරිත් අහනව. අතේ පිරිත් නූල් සෙට් එකක්ම තියෙනව. කොයි වෙලේත් තුන්සරණය කටේ අග තියෙනව.

මම බයයි දෙයියන්ට. දෙයියන් කෝප කරගන්න. මම නොයන දේවාලයක් නෑ. ඔප්පු කරන පඩුරු පාක්කුඩම්වල ඉවරයකුත් නෑ.

දේවාල විතර ද පල්ලියක් කෝවිලක් හාස්කම් තියෙන ඕන තැනකට පැණි බෝතලයට යන ඇඹලය වගේ මාත් යනව. දෙසැම්බර් 31 දා කතරගම යනව. අතුරු ආන්තරාවක් වුනොත් කන්දෙ දේවාලෙට යනව. සමන් විෂ්ණු විභීෂණ ඔය කොයි දෙයියන්ගෙත් පිහිට මම යදිනව.

මම බයයි ඇස්වහ කටවහවලට. මිනිස්සු හූල්ලම තියෙන සබ්බ සකලෙ මට අහිමි වෙයි ද කියල. ඒ නිසා මාසයකට සැරයක්වත් වතුර කලයක් මතුරනව. දෙහි ගෙඩියක් කප්පවනවා. සෙත් කවියක් කියවනව.

මම බයයි පව් කරන්න. වැරදිලා හරි බෝ කොළයක් පෑගුනොත් ඒක පැත්තකින් තියල බෝ කොළ වහන්සේට නමස්කාර කරල මම පව් සමා කර ගන්නව. හරියට නමදින්නේ කොහොම ද කියල මම ගුවන්විදුලියෙ රූපවාහිනියෙ ධර්ම සාකච්ඡා කරන්න එන හාමුදුරුගොල්ලන්ගෙ අහල දැන ගන්නව.

මම බයයි සතුරන්ට. උන්ට කෙළවෙන්න කියල වස්කවියක් කියන්න ගම්මිරිස් අඹරන්න පොල් ගහන්න කාලි අම්මාගේ දේවාලෙටත් සීනිගමටත් මම යනව. එහෙම මෙල්ල කරගත්තෙ නැත්නම් උන් නගින්නෙ අපේ කරේ.

මම බයයි මරණය ට. වැඩියත්ම ලබන ආත්මෙ කවුරුවෙල ඉපදීද කියල. කොයි වෙලේ වල කජ්ජ ගහයි ද කියල හිතුන ගමන් බණ පොතක් අරගෙන කියවගෙන කියවගෙන යනව. බණ පොත් බණ කැසට් ගෙදර වැහිවැහැල. මේ ආත්මෙ සුරක්ෂිතව ඉඳල ඇතෑ. ඊළග ආත්මෙත් හොඳ තැනක උපදින්න වෙහෙස ගන්නට එපා යැ.

මට බයයි දැන් මම විඳින මේ සැප ලබන ආත්මයෙ දී නැතිවෙල යයි කියල. හාමුදුරුවන්ට වැඳල දායක සභාවෙත් කැමැත්ත අරන් මේ ගමන කඨිනෙ කරන්න තනියෝම බාර ගත්තෙ ඒ නිසා.

මම බයයි. සමහර වෙලාවට මොකටද කියල මම වත් දන්නෙ නෑ. ඒ වෙලාවට බලියක් ඇරල සෙත් සාන්තියක් කර ගන්නව. තොවිලයක් කාලෙකින් නටන්න බැරි වුන එක ගැන හිතේ පුංචි කහටකුත් තියෙනව.

ඔය ගොල්ලත් බය වෙන්න. බයවෙල නිකම් ඉන්න එපා. බය නැති කරගන්න මං වගේ මොනව හරි කරන්න. ඒක තමයි අපේ උරුමය. පරම්පරාවෙන් පරම්පරාවට බාර දීල අපට අයිති කරල දීල තියෙන අපේ උරුම ය. සටන් කොට රැක ගත යුතු අපේ උරුමය. මේ උරුමය විනාශ කරන්න බාහිර බලවේගවලට ඉඩ තියන්න එපා. විජාතික කුමන්ත්‍රණ කාරයින්ට අවස්ථාවක් දෙන්නත් එපා.

බයවෙන්න හා ඒ වෙනුවෙන් යමක් කරන්න අපට තියෙන අයිතිය මොන වෙලාවකවත් නැති කරගන්න එපා.

 

Advertisements