2014 දී ආනන්දයට වැටුණු පිණිපොද වැස්සෙන් තෙමී ගත මෙන්ම සිත ද සනහා ගත් අපි 2015 එය වඩාත් ආනන්ද ජනකව බිෂොප් විද්‍යාලයට වැටෙන බව අසා එයින් තෙමී සැනසෙන්නට එය විඳින්නට සැරසී උනිමු.
ඒ වැස්ස කියූ වෙලාවටම මඳකුදු පමා නොවී ආරම්භව පුරා පැය 4 ක් ඉක්මවන කාලයක් පුරා වින්දනය ගෙන එමින් බිෂොප් ශ්‍රවණාගාරයට වැටුනේ ය.
ඒ වයිට්ලීෆ් කලා ප්‍රසංග පාසලේ දරු දැරියන්ගේ දස්කම් වලට, ඔවුනට කලාව හුරු කළ එහි ගුරුවර ගුරුවරියනට, එම පාසලේ අදියුරු නාලක ස්වර්ණතිලකට පින්සිදු වන්නට ය. දස්කම් අතරේ දරු දැරියන්ගේ පුංචි හුරතලයන් ද දැක ගැනීමට අපට ඉඩකඩ ලැබුනේ ය. ඒවා නිර්මාණ තුළට නිර්මාණාත්මකව එකතු වී කදිමට පෑහී තිබුනේ ය.
ගීත ගායනයෙන් වාදනයෙන් නැටුමෙන් ඔවුන් දැක්වූ දස්කම් අතිශයින් රමණීය විය. දැකුම් කළු විය. කණී රසායන විය.
වඩාත්ම සිත් ඇදගත්තේ ඒ අංගයන් තුළ පැවති විවිධත්වය ය.
පෙරදිග නැටුම් මෙන්ම අපරදිග රංගනයන් ද තිබුනේ ය. සිත නිවන ගීත මෙන්ම ගතට ජවය දෙන ගීත ද තිබුනේ ය. ලයාන්විත ගායනයන් මෙන්ම ගිගුම් දුන් ශබ්ද රටා ද තිබුනේ ය. ලාංකීය ලකුණු මෙන්ම ජාත්‍යන්තර සංකේතයන් ද මනා ලෙස එකතුව කදිම පෙළහරක් බිෂොප් වේදිකාව මත පෑවේ යයි කීවොත් එය වඩාත් නිවැරදි ය.
ලාංකීය අනන්‍යතාවය ද ජාත්‍යන්තර සංවේදීත්වය ද ඇති දරු පරපුරක අභිමානය අපි එදා දැක ගත්තෙමු.
පාසලේ හැම සිසු දරුවෙකුටම දැරිවියකටම ඉදිරිපත් කරන්නට යමක් ඒ ප්‍රසංගය තුළ තිබුනේ ය. සමහර පොඩ්ඩෝ සිය රැගුම් අවසන් කර මොහොතකට වේදිකාව මත්තේ සිට ප්‍රේක්ෂකාගාරය දෙස බැලුවේ සිය දෙමාපියන් දැක ගන්නට ය. උන් වයසින් ඒ තරම් කුඩා ය. එහෙත් වැඩ වලින් සිය වැඩිහිටි සගයින් පවා පැරදුවේ යයි කිව හැකි ය. වේදිකාවට කැඳවුම් ලැබූ ගුරුවරුන් කීවේ වඩාත් පහසු වූයේ කුඩා දරුවන් පුහුණු කිරීම බව ය.
සමහරු නැවත නැවතත් වේදිකාවේ පෙනී සිටියේ ඉක්මණින් ඇඳුම් මාරු කරමිනි. ඔවුන්ගේ දක්ෂතාවය එක් ශිල්පයකට සීමා නොවිනි. විටෙක නැටුමෙන් ද විටෙක වාදනයෙන් ද විටෙක ගායනයෙන් ද ඔවුහු සමත්කම් දැක්වූහ.
වේදිකාවට පැමිණි බොහෝ දරු දැරියනගේ මුහුණේ පවැතියේ නිදහසින් පිරි විනෝදමත් හා ප්‍රබෝධමත් හස රැල්ලකි. නැරඹූ අප පමණක් නොව රංගනයේ යෙදුනු දරු දැරියෝ ද තමන් කළ කී දෑ වින්දෝ ය.
බිෂොප් වේදිකාවට පැමිණියේ අපේ අනාගතය ය. උන් පෑ පෙළහර කදිම ය. එය අපට අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරන්නේ ය. උගතුන් සභා මැද ශිල්ප දක්වන්නට වයිට්ලීෆ් දරුවන් නොපැකිලෙනු ඇති බව ඒ පෙළහර අපට කියා පෑවේ ය.
මේ පාසල කලාකරුවන් පුහුණුකරන එකක් නොවේ. සමාජයට මුහුණ දිය හැකි මනා පෞරෂයකින් යුතු ලමා කැළක් බිහිකිරීම ඉන් අපේක්ෂිත ය.
ඒ ඉලක්කය සපුරාගන්නට වයිට්ලීෆ් ප්‍රසංග කලා ඇකඩමිය සමත් ව ඇති බවට සාක්කි වේදිකාවේ දිග හැරුණේ අප වෙත නොමඳ වින්දනයක් ද ඇති කරලමිනි.
ලංකාවේ හැම ලමයෙකුටම මේ අත්දැකීම ලැබේ නම් ලංකාවට රටක් ලෙස ජයගත හැකි බාධකයක් ඉතිරි නොවනු ඇත්තේ ය. ඒ නිසා ම වයිට්ලීෆ් ඇකඩමිය සාර්ථක වේවා යයි ද එවැනි ප්‍රසංග කලා පාසල් තව තවත් ලංකාවේ බිහිවෙනු ඇතැයි ද අපේ පැතුම ය. ඒ සඳහා මගපෙන්වන නාලක ස්වර්ණතිලක ප්‍රමුඛ වයිට්ලීෆ් කණ්ඩායමට අපේ ආචාරය පුද කරමින් මේ කෙටි සටහන මෙසේ අවසන් කරමු.
ඔව් අපි තෙමුණෙමු පිනි පොද වැස්සසකින්… ඉතාම ආහ්ලාදජනක.