මා සිට ගත යුත්තේ කොතැනක ද?

මා සිට ගත යුත්තේ කොතැනක ද?

ඔබ එක්කෝ අප සමග ය. නැත්නම් ත්‍රස්තවාදීන් සමග ය. මෙසේ කීවේ ඇමරිකාවේ 9-11 සිද්ධිය කාලේ ජනාධිපති ව සිටි ජෝර්ජ් බුෂ් ය. ත්‍රස්තවාදයට විරුද්ධව මැදපෙරදිග හා ඇෆ්ඝනිස්ථානයේ  ඊනියා යුද්ධය ආරම්භ කරමින් හා පැවති සටන් තීව්‍ර කරමින් ය.

අප මේ තත්වයට ඇද දැමූ මුල් ම හා අවසාන පුද්ගලයා ඔහු නොවේ. ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ ද එහි දෙපාර්ශවය ම සෙසු ජනතාව කෙරේ අනුගමනය කළේ ඒ ක්‍රියාමාර්ගය ය. දකුණේ නම් යුද්ධය ගැන සැක පහළ කළ, වෙනත් විකල්ප දේශපාලන ක්‍රියාමාර්ගයන් යෝජනා කළ, අය ව සැලකුණේ ත්‍රස්තවාදීන් ම හැටියට ය. කොටි හිතවාදීන් හැටියට ය. ඒ නිසා මෙය අපට ද ඉතා හුරු පුරුදු කතාවකි.

මෙවැනි මහා දේශපාලන කාරණා සම්බන්ධයෙන් පමණක් නොව ජීවිතයේ සිල්ලර කරුණු සම්බන්ධයෙන් ද අපෙන් ඉල්ලා සිටින්නේ දෙකෙන් එකක් තෝරා ගැනීමට ය. ඒ ඉල්ලීම දෙපැත්තේම අන්තවාදීන් විසින් කිරීම ද සුවිශේෂ ය.

ඊට අමතරව මැද ඉන්නා අය දෙස බලන තවත් ආකාරයක් තිබේ. ඒ අවස්ථාවාදීන් හැටියට ය. මඩේ සිට වූ ඉණි හැටියට ය. වැට උඩ ඉන්නා මෙලෝ රහක් නැති මිනිසුන් හැටියට ය. කිසිම දෙයක් සම්බන්ධයෙන් අස්ථානයක් ගත නොහැකි වැනෙන චරිත හැටියට ය. දෙපැත්තේම  අන්තවාදීන් කියන්නේ මැද ඉඳිමින් ඔවුන් සහය දක්වන්නේ ප්‍රතිවාදී පිලට ය කියා ය.

මට ද මේ අත්දැකීමට ජීවිතයේ අවස්ථා ගණනාවක සිදු ව තිබේ. අද මා මුහුණ දී තිබෙන්නේ ද ඒ අභාග්‍යයට ය. ඉතිහාසයෙන් පටන් ගනිමින් මගේ මේ අත්දැකීම අද දක්වා පැමිණි මග පළමුව ඔබ හා බෙදා ගන්නෙමි.

LTTE සංවිධානයේ දේශපාලන අරමුණ වූ දෙමල ජනතාවට ස්වයං පාලනයක් පිළිබඳ අදහසට මා එකඟ නමුත් ඒ සඳහා ඔවුන් අනුගමනය කළ අමානුෂික ත්‍රස්ත උපායමාර්ගයන් සමග එකග වීමට මට නොහැකි විය. එම අමානුෂික උපායමාර්ගයන් වලට තිත තැබීම සඳහා ආණ්ඩුව යුද වැදීම සම්බන්ධයෙන් මට විරුද්ධ විය නොහැකි වූ නමුත් ඒ සඳහා ආණ්ඩුව අනුගමනය කළ දෙමළ ජනතාව සතු සියල්ල පරදුවට තබන – ඔවුන් නොසළකා හැර – ක්‍රියාත්මක කළ යුද්ධයේ ස්වරූපය සමග එකඟ වීමට මට නොහැකි විය. ඒ නිසා ම ඒ ගැන මගේ හඩ අවදි කිරීමට මට සිදු විය.

ජනතාව වල පල්ලට තල්ලු කළ ආණ්ඩුවට එරෙහිව ජනතාව ආරම්භ කළ අරගලයට මගේ පක්ෂපාතිත්වය පළ කළේ වුව ද ඒ තුළ මතුවුනු ත්‍රස්තවාදය හා ආරාජිකත්වය සමග එකඟ වීමට මට නොහැකි විය. ගෝඨා එලවන තුරු අරගලයට දැක් වූ පක්ෂපාතිත්වය පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයෙකු පත් කළ පසුත් නොකඩවා පවත්වගෙන යෑම නිසා දිගින් දිගට පළ කළ නොහැකි තැනකට මම පත් වී ඇත්තෙමි. ඒ පත් කළ ජනපතිට ඇති සුවිශේෂ කැමැත්තක් නිසා නොවේ. රටට විරාමයක් අවශ්‍ය යැයි හැගෙන නිසා ය. ඒ නිසා ම පත් කළ ජනපති රටට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට කරන උත්සහය සමග එකඟ වීමට කැමති මට ඔහු ඒ සඳහා අනුගමනය කළ භට පිරිස් යොදවා කැරලිකරුවන්ට පසු පස එලවමින් කළ පහර දීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි විය ය. අත්අඩංගුවට පත් වන කැරලි නායකයින්ගේ ඇතැම් හැසිරීම ගැන මගේ එකඟත්වයක් නැති නමුත් ඔවුන් අත්අඩංගුවට ගනිමින් මේ රගන වත්මන් නාඩගම ගැන ද මට එකඟ විය නොහැකි ය.

අන්ත දෙකින් එකක් තෝරාගන්නට බල කරන මිනිසුන්ගෙන් අපට අඩුවක් නැත. ඒ අය තම ප්‍රතිවාදීන් දෙස බලනවාට ද වඩා වෛරයෙන් බලන්නේ කඳවුරක් තෝරා ගැනීමට අකමැති මිනිසුන් දෙස ය. අදාළ අර්බුදයන් උත්සන්න වන අවස්ථා වල ප්‍රතිවාදී කඳවුරු දෙකේ ම නිර්දය විවේචනයන්ට පමණක් නොව පහර දීම් වලට ද ඔවුන් ලක් වෙයි. මේ බව යුද්ධය උත්සන්න වූ අවස්ථාවල ද සාම සාකච්ඡා ඉදිරියට ඇදෙන අවස්ථාවල ද 88-89 කැරල්ල සිදු වුනු කාලය තුළ ද අසීමාන්තික විදිහට උත්සන්න වූ බව අපට මතක ය. සමහර අවස්ථාවල එසේ පහර එල්ල කරන්නේ කවුරුන් දැයි සිතා ගැනීමට පවා නොහැකි වෙයි. විජය කුමාරණතුංග ප්‍රේමකීර්ති ද අල්විස් ඇතුළු කිසිදු අපරාධයක් නොකළ මිනිසුන් පවා මරා දැම්මේ කවර කණ්ඩායමක් විසින් ද යන්න අදට ද අභිරහසකි. වෛරය එසේ එල්ල වන්නේ ඔවුන් වඩාත් අසරණ කරනු ලබන්නේ ප්‍රතිවාදීන්ගේ තර්කයන් විසින් නොව මෙවැනි කඳවුරකට ගාල් කළ නොහැකි නිදහස් මිනිසුන්ගේ තර්කයන් නිසා ය.

දරුවා නෑවීමෙන් පසු ඉතිරි වූ කුණු වතුර එලෙස ම තබා ගැනීමට මට කිසිදු වුවමනාවක් නැති නමුත් බාල්දිය සමග දරුවා විසි කිරීමට ද මට වුවමනාවක් නැත. ප්‍රශ්නය ඇත්තේ අන්ත දෙකින් එකක් තෝරාගන්නා ලෙස බලකරමින් හඩ නගන මිනිසුන් ඉදිරියේ මට පය ගසා ගැනීමට තැනක් අහිමි කරනු ලැබ තිබීම ය. මා සිට ගත යුත්තේ කොතැන දැයි සම්බන්ධයෙන් ඔබට වත් උපදෙසක් දිය හැකි වෙනු ඇතැයි මම සිතමි.

ජනවරම කරේ තබා ගෙන යා හැකි තරමට සුජාත ද?

අද වඩාත් වර නැගෙන වචනය ජනවරම යන්න ය. එය වඩාත් දැඩි ලෙස භාවිතා වූයේ රනිල්ගේ අගමැති හා වැඩබලන ජනාධිපති ප්‍රාප්තිය හෑල්ලු කරනු සඳහා ය. අද එය ඔහුගේ ජනාධිපති ප්‍රාප්තිය සාධාරණීකරණය කරනු සඳහා ප්‍රතිපක්ෂය විසින් ද භාවිතා කරන්නට පටන් ගෙන තිබේ. එක ම කාරණය ප්‍රතිවිරුද්ධ ලෙස භාවිතා කිරීමේ පුදුම හැකියාවක් තර්කයට තිබේ.

හෑල්ලු කරනු සඳහා ගෙනෙන තර්ක අතර තිබෙන්නේ ඔහුට සිය ආසනය පවා ජය ගන්නට බැරි වූ බවත් එසේ වූ ඔහු පක්ෂයට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යොදා ගනිමින් “හොර” පාරෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් ය. සාධාරණීකරණය කරනු සඳහා ඉදිරිපත් වන තර්කය නම් ඔහු පත් වන්නේ ජනවරමක් ඇතුව පැමිණි මන්ත්‍රිවරුන්ගේ නීත්‍යානුකූල ඡන්දයෙන් බවත් ඒ නිසා එය ව්‍යවස්ථානුකූල වනවාට අමතර ව නව ජනවරමක් සහිත බවත් ය.

සමහරු කරේ තියාගෙන වටේ යන, තවත් අය ප්‍රතිවාදියාට පහර දීම පිණිස භාවිතා කරන, තවත් අය නැතිව ම බැරි යයි සිතන මේ ජනවරම ඇත්තට ම කුමක් ද?

මේ ජනවරම වනාහි ඊනියා බැංකු “හොරෙකු” ගෙදර යැවූ නිසා අතිශය ප්‍රබල ලෙස පෙන්වා ඉහළ ලංසුවක් තැබිය හැකි වූ ද ඒ බැංකු හොරා ඇල්ලූ කෝප් කමිටුවේ සභාපති පැරදවීම හරහා දෙකේ කොළයට පහළ ගියා වූ ද අටමගලයකි.

ඊට දිය හැකි ආසන්න ම ලාංකික අර්ථ කථනය නම් අපරාධ නඩු ගණනාවක් තියෙන අපේක්ෂකයින් (හොරකම්, මැරකම්, වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා රාශියක් තිබෙන, ඇතැම් තැනක ඒ නිසා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින, අපේක්ෂකයින් පවා) ඉතා ඉහළ මනාපයෙන් තෝරා පත් කර ගැනීමට ලැජ්ජාවක් හෝ බියක් නැති මිනිසුන් රැලක් විසින් කරන අපූරු පරිත්‍යාගයක් යන්න ය.

ජනතාවට අභිප්‍රායයන් තිබේ. ඒවා බොහෝමයක් සාධාරණ විය හැකි ය. ඒ අතුරින් සමහර ඒවා එක කණ්ඩායමකට වාසියක් සලසන අතරේ තව කණ්ඩායමකට අවාසියක් සලසන ඒවා විය හැකි ය. ජනවරම ලැබෙන්නේ බහුතරයකට වාසිදායක තැන හිට ගැනීමෙන් පමණකි. ඇතැම් තැනක ඒ නිසා සුළුතරය අතිමහත් පීඩාවන්ට ලක් වෙන බව ජනවරම වෙනුවෙන් නොසලකා හැර තිබේ. ඒ නිසා ජනවරමක් තිබේ ද යන්න පමණක් නොව ඒ ජනවරමේ සුජාත භාවය ද ප්‍රශ්න කළ යුතු ය.

ජනතාවට ඇත්තේ අභිප්‍රායයන් පමණක් නොවේ. ඔවුන්ට ඒ අභිප්‍රායයන් ජය ගත හැක්කේ කෙසේ ද යන්න ගැන මතයක් ද තිබේ. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද යන්න ගැන පමණක් නොව ඒ සඳහා වුව නොකළ යුත්තේ කුමක් ද යන්න ගැන ද ඔවුන්ගේ අදහසක් තිබේ. ඔවුන්ගේ කී පමණින් ඒවා ඔවුන්ගේ නොවන බවත් ඒ ඔවුන් තුළ ඇති කර තිබෙන එකක් මිස ඔවුන් තනිව ම හදා ගත් දෙයක් නොවන බව ඇත්ත ය. එහෙත් ඔවුන් විසින් එය ඔවුන්ගේ කර ගෙන තිබෙන නිසා ඔවුන්ගේ ම බව ද අප විසින් පිළිගත යුතු ව තිබේ. ජනවරම ලබා ගැනීම සඳහා අභිප්‍රායයන් පමණක් නොව එම වැඩ පිළිවෙළ ද වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. ඒවා පරස්පර වුව ද ඒවා වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. වැඩ පිළිවෙළ හරහා ගොස් අභිප්‍රායන් ඉටු කර ගැනීමට බැරි වුව ද ඒ ගැන කිසිවක් නොකියා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වැනි මිනිසුන් අකමැති වැඩ රාශියක් කළ යුතු වුව ද ඒවා නොකරන බව කිව යුතු ය. ඒවැනි සංවේදී ඒවා හංගා, ආර්ථික අර්බුදය වෙනුවෙන් තඩි බෑමට වෙනත් සුදුසු මුව හමක් තෝරා ගත යුතු ය. එහෙම කරන්නට ඉදිරිපත් වන එකා ට ජනවරම ලැබෙන්නේ ය. ඒ නිසා ද ජනවරමේ සුජාත භාවය ප්‍රශ්න කළ හැකි ය.

ජනතාවට පෞද්ගලික සිල්ලර වුවමනාවන් තිබේ. වහලෙට ටකරමක්, පාරට බෝක්කුවක්, පොඩි එකාට ජාතික පාසලක්, බිරිඳට මාරුවක්, ලොකු එකාට රස්සාවක්, තමන්ට වැලි පර්මිට් එකක්, බලපත්‍රයක්, ව්‍යාපාරික අවස්ථාවක්, කොන්ත්‍රාත් එකක් ලෙස මේ ලයිස්තු දිග හැරෙන්නේ ය. ඒ ඔ්නෑම එකක් (සුදුසුකම් පැත්තකට දමා) කර දෙන්නේ නම් ජනතාව ජනවරමක් ලබා දෙන්නේ ය. ඒවා ගැනෙන්නේ අල්ලස් හැටියට ය. ඒ නිසා ද ජනවරමේ සුජාත භාවය ප්‍රශ්න කළ යුත්තේ ය. සිස්ටම් චේන්ජ් කරන්නට උත්සහ කරන්නේ නම් විශේෂයෙන් ප්‍රශ්න කළ යුත්තේ ය.

ජනතාව තමන්ගේ එකෙකු ද පරයෙකු ද යැයි කිසිවෙකු හඳුනා ගන්නා ක්‍රමයක් තිබේ. ජනවරම සඳහා එය ද බලපාන්නේ ය. තමන්ගේ ජාතියට, කුලයට, ආගමට අයත් නම් ද ඒ අනන්‍යතා වෙනුවෙන් නිර්ලජ්ජීව පෙනී සිටින්නේ නම් ද ඒ ලක්ෂණ ඇඳුම තුළ, හැසිරීම තුළ, වචන තුළ, පරම්පරාව තුළ, පෙනෙන්නේ නම් ද ඔවුන් එවැනි අයට මනාප ය. ඩලස් සිය දශක ගණනාවක දේශපාලන ඉතිහාසයේ ශේෂ පත්‍රයේ බැලන්ස් එක ලෙස පෙන්වා දෙන්නේ තමන් බුලත් විට කන විදුහල්පති වරයෙකුගේ පුතෙකු බව ය. වෙන කිසිවක් ගිණුමේ නැති වුව ද ඒ වචන හද කම්පනය කරනු තරම් ප්‍රබල ය. ජනතාව එයින් තේරුම් ගත යුත්තේ තමන්ගේ නියෝජිතයන් විසින් පරාජය කරනු ලැබ තිබෙන්නේ “අපේ” මිනිහෙකු බව ය.

ලංකාවට බොහෝ අභියෝග මැද නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් කන්නංගර මහතා ආසනයෙන් පරදවා, ආසනය තුළ කුඩා පාසලක් ඉදි කළ කෙනෙකුට ජනවරම ලබා දීමට මිනිසුන් ක්‍රියා කළ දුරාතීතයක් ද අපට තිබේ. ජනවරම ගැන නැවත සිතා බැලීමට මේ සියල්ල ප්‍රමාණවත් මදි ද?

මේ කියන්නේ ජනවරම වැදගත් නැතැයි කියා ද? එය තුට්ටුවකට නොසැළකිය යුතු යැයි කියා ද? ඒ වෙනුවට වෙනත් විකල්පයක් ඇතැයි කියා ද?

නැත. කිසිසේත් නැත. ඒත් මේ සටහන පැහැදිලිව ම කියන්නේ ජනවරම ඉතා සුජාත එකෙකැයි කියා මොහොතකටවත් නොසිතිය යුතු බව ය. එය ඉතා ඉහළින් සැළකීම සහ එය කර තබා ගෙන වටේ යෑම අශෝභන බව ය.

ජනවරමේ සැබෑ ස්වභාවය ඒ අටමගලය කර තබා ගෙන අයට වැටහීමට නම් තවත් මැතිවරණයක් තැබිය යුතු ය. එයට තවත් කාලයක් ගත වෙතැයි සිතන නිසා මා යෝජනා කරන්නේ ඔය කරේ තබා ගෙන යන එක අවබෝධයෙන් යුතු ව බිමින් තබන ලෙස ය.

ඒ අතර ජනවරම බුද්ධිමත් එකක් කිරීම සඳහා අප විසින් විශාල වැඩ කොටසක් කළ යුතු ව තිබෙන්නේ ය. අවලාද හා ඒක පාක්ෂික නියෝග පනවනු වෙනුවට සංවාද ගොඩ නැගිය යුතු ව තිබෙන්නේ ය. ආවේගවලට ආමන්ත්‍රණය අවම කොට බුද්ධියට ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළ යුතු ව තිබෙන්නේ ය.

ජනතාවට ඉවක් තිබෙන බව ඇත්ත ය. ඒ ඉව ඇත්තේ යමක් වූ පසු එයින් තමන්ට කෙළ වූයේ ද නැද්ද යන්න නිශ්චය කිරීමට ය. ගෝඨාගේ පාලනය ඉදිරියට යන විට ඔවුන් තුළ අවදි වූයේ ඒ ඉව ය. අරගලය ගොඩ නැගුණේ ඒ ඉව විසින් මෙහෙයවනු ලැබීමෙනි. එහෙත් ඔවුන්ට තවමත් තමන්ට දිගු කාලීන ව ඉදිරියට යා හැක්කේ කුමන මාවතේ ද යන්න ගැන පැහැදිලි අදහසක් නැත. ඒ නිසා තවත් කාලයක් ඔවුන් රවටමින් ජන වරම දිනා ගැනීමේ හැකියාව “කළු බලවේග” සතු ය.

අප සටන් කළ යුත්තේ එය වෙනස් කිරීමට ය. ජනතාව හැදෑරීමට පෙළඹවීමට ය. ඔවුන් දැනුමෙන් බලාත්මක කිරීමට ය. ඒ සඳහා ජනවරම වැනි අතිශය දුර්වල අටමගලයක් ඉස්සරහට දමා ගෙන සටන් පාඨ වැමෑරීමේ තේරුමක් නැත.

එලවීමේ අරගලය පහසු වුව ද ගොඩ නැගීමේ අරගලය අපහසු ය. අප අද ඉන්නේ ඒ අභියෝගය ඉදිරියේ ය.

අරගලය ගැන කව් ගී ලියවුනා මදි ය

සුවිශාල ජනවරමක් සහිත බලයට පත් වූ, වරෙක රටේ විශාල පිරිසකගේ ගෞරවාදරයටත් තවත් වරෙක සැළකිය යුතු පිරිසකගේ භීතියටත් හේතූ වූ, පාලක පරපුරක් ම එලවා දැමීමට අරගලයට හැකි විය.

අපකීර්තිමත් යුද ජයග්‍රහණයේ කිර්තිය හොඳින් හා නරකින් තමන්ගේ තනි භුක්තියට සවි කර ගෙන එහි ප්‍රතිඵලයක් ලෙස රටේ බහුතරය සෑහෙන කාලයක් තිස්සේ මුලා කිරීමට සමත් ව සිටි පාලක පරපුර බිංදුවට ම බැස්සේ ය. මහ රජාණන් ද අප්පච්චී ද බලු නොවටිනා තැනකට වැටුනේ ය. ඔවුන්ට ලියූ කවි ගී ඔවුන්ට ම පාරා වළල්ලක් වී වීදියේ තෙල් පෝලිම් වල උපහාසයට ගැයුනේ ය.

ගැලවුම් කාරයා ලෙස පෙනී සිටිමින් බලය ලබා ගත් නමුත් නොබෝ දිනකින් ම රටට ඔවුන්ගෙන් ගැලවීමට සිදු වන තැනට වැඩ සිද්ධ වුනේ ය.

එලවා දැමීමේ කටයුත්තේ නායකත්වය ගන්නට විකල්පයක් තිබුණේ නැත. නිර්පාක්ෂික ධජයක් යටතේ මිනිසුන් එක් රැස් වූයේ ඒ නිසා ය. එය දුර්වලකමක් ලෙස බොහෝ අය දුටුව ද වඩාත් දැඩි ශක්තියක් අරගලයට ගෙනාවේ ඒ නිර්පාක්ෂිකත්වය ය. ඒ නිසා ම ඒ ධජය යටතේ ලජ්ජාවකින් තොරව සිට ගැනීමට බොහෝ අයට හැකි විය.

රටේ තෙල් අඩුවන වේගයට අරගලයට තෙල් සැපයුනේ ය. පාලකයන් අසමත් වන තරමට අරගලය ශක්තිමත් වුනේ ය.

තිස් අවුරුදු ශාපලත් යුද්ධය නිර්මාණය කළේ පාලකයන් ය. අරගලය ද ඒ අර්ථයෙන් ඔවුන්ගේ නිර්මාණයක් විය.  ඒ අර්ථයෙන් අරගලය හා යුද්ධය සමාන විය. එසේ වුව ද පාලකයන්ට එරෙහි අවිගත් උතුරේ තරුණයන්ගේ යුද්ධය අසාර්ථක වෙද්දී පාලකයන්ට එරෙහි ව අවිහිංසාවේ මාවත තෝරාගත් අරගලකරුවන් සාර්ථකත්වය ලබා ගත්තේ ය. ආදරය මුල් කරගෙන ද අරගල කළ හැකි බව ඔවුහු ලොවට කීහ. ඇතැම් තැනක වෛරය ඉරිසියාව හා සොර සිත අරගලයේ කීර්තිය උදුරාගන්නට තැත් කළ ද ඒවා ව්‍යාතිරේඛයන් පමණක් විය. ප්‍රධාන ධාරාව තුළ විනය ඉහළින් ක්‍රියාත්මක වූයේ ය.

යුද්ධය තුළ එල්ටීටිය හැරුණු කොට ඉතිරි සියලු බලවේග විනාශ කර තනි බලයක් ගොඩ නගන්නට පාලකයන්ට එරෙහි වූ පිරිස තැත් කළ ද සුළු සිද්ධි කිහිපයක දී ඇරෙන්නට අරගලය සියලු අයට ඊට එකතු වන්නට අවස්ථාව සැලසීය. වඩාත් පළල් සන්ධානයන් බිහි වූයේ ඒ හරහා ය.

යුද්ධය ඇති කළ මූලයන් එසේ තිබිය දී යුද්ධයට මිලිටරි විසඳුම් සෙව්වා සේ ම අරගලයට හේතු බීජ එලෙස ම තබා ගෙන අරගලයට ද බලය යොදවන්නට පාලකයන්ට වුවමනා වූයේ ය. එහෙත් අරගලයේ අවිහිංසා ක්‍රමවේදයත් පළල් බලවේගයන්ට ඒ තුළ ඉඩ තිබීමත් හේතුවෙන් පාලකයන්ට ඒ කටයුත්ත පහසු වූයේ නැත. නීතිඥ සංගමය ද මානව හිමිකම් කොමිසම ද තවත් එවැනි සංවිධාන හා පුද්ගලයන් ද ඒ සමග සිටීම ඒ අපහසුතාවයට හේතු විය.

කුඩා ව්‍යාතිරේඛයන් (සජිත් අරගල භූමියෙන් එලවා දැමීම, රාජිතට පහර දීම, ඇතැම් නිවාස හා දේපලවලට මැයි 9 හා ජූලි 9 දා කරන ලද අලාභහානි) කිහිපයක් හැරුණු විට බරපතල මානව හිමිකම් කඩ වීම් සම්බන්දයෙන් අරගලයට චෝදනා කිරීමට ආණ්ඩුවට නොහැකි විය.

ඒ නිසා ම සමස්තයක් ලෙස අරගලයට මල් මිටක් පුද කළ යුතු ය. කවි ගී ලිවිය යුතු ය. මේ සටහන ඒ උදෙසා ය.

කඩා දමා ජයකොඩි නැංවූයෙමු. දැන් තියෙන්නේ ඉදිකිරීම ය.

ඔ්නෑම බූරුවෙකුට වී බිස්සක් කඩා බිඳ දැමිය හැකි ය. එහෙත් එවැන්නක් නැවත ඉදිකිරීමට දක්ෂ වඩුවෙකු වුවමනා ය. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය මට මතක් වූයේ අරගලයේ ජයග්‍රහණයේ සතුට තුනී වී ගෙන යන මොහොතේ ය. එයින් අදහස් කරන්නේ අරගල, විශේෂයෙන් ම මේ අරගලය, ඔ්නෑම බූරුවෙකුට කළ හැකි බව නොවේ. සංකේන්ද්‍රණය වූ බලයකට එරෙහි කරන ඔ්නෑ ම අරගලයක් අමාරු ය. මේ අරගලය, සුවිශාල ජනවරමක් සහිත බලයට පත් වූ, වරෙක රටේ විශාල පිරිසකගේ ගෞරවාදරයටත් තවත් සැළකිය යුතු පිරිසකගේ භීතියටත් හේතූ වූ, පාලක පරපුරක් ම එලවා දැමීම නිමිති කොට ගෙන පැවති නිසා ද ඒ තුළ සැළකිය යුතු අවදානමක් තිබුණු නිසා ද එය වී බිස්සක් කඩා දැමීමකට කෙසේ වත් සමාන කළ නොහැකි ය.

එහෙත් දැන් අපට දක්ෂ වඩුවෙකු (ඇතැම් විට වඩුවන් ගණනාවක් ම) ඔ්නෑ බව නම් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. සැබෑ අරගලය, වඩා අභියෝගාත්මක අරගලය, ඒ නිසා ම තියෙන්නේ ඉදිරියට ය. ඒ කඩා බිඳ දමන ලද දේ අයින් කොට නව සමාජය බිහි කිරීමේ ය.

මගේ මුල් තක්සේරුව වූයේ අරගලයේ අප විසින් ඊයේ පසු කළ පියවර සඳහා මිනිස් ජීවිත ගණනාවක් බිල්ලට දීමට සිදු විය හැකි බව ය. අප අරගලයේ දිසානතිය වෙනස් කිරීමට යෝජනා කළේ ඒ සන්දර්භය හමුවේ ය. එහෙත් එය එසේ නොවි අවසන් වීම ගැන අපට ඇත්තේ සතුටකි. අරගලය මා සිතුවාට වඩා ශක්තිමත් ව වැඩී ගියේ පසු විපාක නැතිව ම ආණ්ඩුවට අකුලා ගන්නට බල කරමින් ය. ඒ සම්බන්ධයෙන් අරගලයට සම්බන්ධ වූ ඒ වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කළ හැමට ගෞරවය හිමි විය යුතු ය.

අරගලයේ දිසානතිය වෙනස් කිරීමට යෝජනා කරමින් අප ඒ දින වල කීවේ සර්ව පාක්ෂික විකල්ප ආණ්ඩුවක් සෑදීමට (ගෝඨා ඉවත් විය යුතු බව ට කොන්දේසි ඉදිරිපත් කරමින් නොසිට) කැප විය යුතු බව ය. ජූලි 9 දා ඉලක්ක කර ගෙන අරගලය මෝදු වන විට අප කීවේ විකල්ප සර්ව පාක්ෂික සන්ධානයක් සාදා ඊට බලය ලබා දෙන ලෙස බල කරන සාධනීය සටන් පාඨ ඉදිරිපත් කරමින් අරගලය දියත් කළ යුතු බව ය. එය ද සිදු වූයේ නැත. අරගලය දිගින් දිගට ම පාලකයන් ඉවත් වීම වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ගිය අතර ඉන් පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නය නොසළකා හරින ලද්දේ ය. එය ඒ වෙලාවට බලා ගත හැකි යයි නිරන්තරයෙන් කල් දමනු ලැබුවේ ය.

ගෝඨා ඉවත් වීමට දින වකවානු දී ඇති සන්දර්භයක එය තවදුරටත් කල් දැමිය නොහැකි ය. දැන් විකල්ප සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතු ය. වඩුවන් අවශ්‍ය ඒ සඳහා ය. මේ රටේ අපට නැත්තේ ද ඒ පිරිස ය.

අපට තිබුණේ නායකත්ව අර්බුදයකි. අපේ රටේ කිසි දාක ජාතික නායකයන් සිටියේ නැත. නායකයින් සිටියා නම් ඔවුන් නායක කම් කළේ කුඩා පිරිසකට ය. එක ගෝත්‍රයකට ය. එක වාර්ගික කණ්ඩායමකට ය. එක පන්තියකට ය. එක පැලැන්තියකට ය. එක සමාජ කණ්ඩායමකට ය.

රාජපක්ෂලා පිරවූයේ ඒ මහා රික්තය ය. ඒ රටට නායකත්වය දීමෙන් නොවේ. බහුතරයක් වූ ඊනියා සිංහල බෞද්ධයින්ගේ ගැලවුම් කාරයා ලෙස පෙනී සිටීමෙන් ය. උන්ගේ හැගීම් අවුලුවා ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමෙන් ය. ඔවුන්ගේ කපටි ආරක්ෂකයා විමෙන් ය. අප්පච්චී වීමෙන් ය.

අප්පච්චීලා කළේ නොකළ යුතු දේ පමණ ය. අවසානයේ ප්‍රතිඵල එන විට පෙරහැර ගොස් තිබුණේ ය. තමන් විසින් පූජාසනයේ සිටුවන ලද අප්පච්චීලා සියල්ල බිමට ඇද දමන්නට ජනතාව ඉදිරිපත් වන විට විය යුතු හරිය සිදු ව තිබුනේ ය. රට නැවත ගොඩ ගැනීමට නොහැකි ලෙස පල්ලමකට තල්ලු වෙමින් පැවතියේ ය. මිනිසුන්ට තෙල් හිඟවන තරමට අරගලයට තෙල් ලැබුනේ ය. නැවත නොහැරෙන තැනකට තල්ලු කරනු ලැබූ අරගලය විසින් අවසානයේ ඊනියා ගැලවුම් කරුවන් ඉවත් කරනු ලැබ තිබේ.

දැන් නැවතත් මහා රික්තය මතු ව තිබේ. අරගලයේ දෙවැනි පියවර පළමු පියවර තරම් භයානක නැති බව ඇත්ත ය. එහෙත් එය පළමු පියවර තරමට සරල නැත. ජාතියක් හැටියට අපේ හැකියාව උරගා බලනු ඇත්තේ මේ පියවරේ දී ය. අප දිගින් දිගට කීවේ මේ පියවර කල් ඇතුව ගන්නා ලෙස ය. එහෙත් එය පමා කරනු ලැබීම ය. ජූලි 13 දාට පසු එය තවදුරටත් පමා කළ නොහැකි ලෙස අප ඉදිරියේ මතුවන්නේ ය. රටක් හැටියට අප ඊට සූදානම් ද?