අපට සිදුව ඇත්තේ කුමක් ද?

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/06/17/444_17062019_FUN_CMY.jpg

මේ මොකක් ද වෙලා තියෙන්නෙ? දැන් මොකද අපි කරන්නෙ? අපට කරන්න ඉතිරි වෙල තියෙන්නෙ මොකද්ද? මේ සාධාරණ ප්‍රශ්න, අද සිද්ධ වෙන දේ ගැන-ත්‍රස්තවාදය, ආගමික අන්තවාදය හා ජාතිවාදය ගැන- කම්පාවෙන් පෙළෙන මිනිස්සු තමන්ගෙන් ද, උත්තර දන්නේ යැයි සිතන මිනිසුන්ගෙන් ද, සෙසු හිතේෂීන්ගෙන් ද, අසන්නෝ ය. මේ ලිපියෙන් අප උත්සහ කරන්නේ මේ ප්‍රශ්නයන්ට පිළිතුරු සොයා ගත හැකි මගක් පාදා ගැනීමට ය.

අපේ ජීවිතයට එහෙමට අරමුණක් නැත. ජීවත්වීමට නම් අප විසින් ඊට අරමුණක් දිය යුතු ය. එක්කෝ ඒ අරමුණ අප විසින් සොයා ගත යුතු ය.. නැත්නම් දන්නා කෙනෙකුගෙන් අසා දැන ගත යුතු ය. මේ දන්නා කියන අය අතර අප බොහෝ දෙනෙකුට ඉහළින්ම ඉන්නේ දෙමාපියන් ය. අපව බිහි කොට හදා වඩා ගත් දෙමාපියන් ය. ඒ අය අපට අරමුණක් දීමේ වගකිම ගෙන ක්‍රියාකරන්නේ නම් ප්‍රශ්නයෙන් භාගයක් අවසන් ය.

ඔවුන් බොහෝ විට අරමුණ ලෙස දෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ඔවුන්ට ලැබුණ අරමුණ ය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඕනෑ වී ඇත්තේ තමන්ගෙන් පසු රටේ නායකත්වයට සිය දෙටු පුතා පත් කිරීම ය. ඒ සඳහා හරහට ඇත්තේ තම පුතාගේ වයස මදි වීම යැයි ඔහු විදෙස් ජනමාධ්‍යවලට ද කියා තිබුණේ ය. ඒ ඩීඒ රාජපක්ෂ මහතා විසින් මහින්දට දී තිබුණු අරමුණ ය. ඒ නිසා මහින්දටත් ඒ නිසා ම නාමල්ටත් අරමුණක් තිබේ.

සුදෝවුන් රජුට ඕනෑ වුනේ සිය පුතා සක්විති රජ කෙනෙකු කරන්නට ය. ඒ ඔහුට ද ඔහුගේ දෙමාපියන්ගෙන් ලැබුණ අරමුණ ය. පුතා වෙනත් අරමුණක් තම ජිවිතය වෙනුවෙන් සාදා ගනිතැයි යන දෛවඥයින්ගේ අනාවැකිය නිසා, එයින් වළක්වා ගැනීමට, පියා දන්නා දහම් ගැට සියල්ලම දැම්මේ වී නමුදු, ඒ එකකින් වත් වැඩක් වූයේ නැත.

එයින් පෙනෙන්නේ දෙමාපියන් දෙන අරමුණ ම හැම දරුවෙකුම නොගන්නා බව ය. ඒ නිසා තරුණ විය තීරණාත්මක ය. ඒ දෙමාපියන් දුන් අරමුණ ඔස්සේ යන්නේ ද නැතිනම් වෙනත් අරමුණක් ඔහු /ඇය විසින් සොයා ගනු ලබන්නේ ද යන්න, ඒ වයසේ දී බොහෝ විට තීරණය කෙරෙන නිසා ය.

යොවුන් වියේ අර්බුදය

අතීතයේ දී මෙන් නොව වත්මන විවිධ වර්ගයේ අරමුණු හඹා යන මිනිසුන් දකින තරුණයා / තරුණිය හට තෝරා ගැනීමට විකල්ප ද තිබීම නිසා තත්වය තරමක් සංකිර්ණ ය. එවැනි විකල්ප තිබිය දී වුව ද බොහෝ දරුවෝ තම දෙමාපියන් දුන් අරමුණ ගැන ඇල්මක් ඇති ව කටයුතු කරති. ඇතැම් විට සිදු වන්නේ දෙමාපියන්ට ද වඩා ඉහළින් ඒ අරමුණට තම කැප වීම ප්‍රදර්ශනය කිරීම මගින් මා පියන් පුදන්නට ය.

උදාහරණයක් ලෙස කුඩා කල සිට බුදුදහමට යොමු කරනු ලබන දරුවෙකු මහණ වීමට අවසර පැතීම සැළකිය හැකි ය. මුස්ලිම් ආගමට යොමු කරනු ලබන තරුණයෙකු වහාබ් අන්තවාදියෙකු වීම ද ඊට සමාන ය. දෙමළ ඊළාම් දේශපාලනයට යොමු කළ තරුණයෙකු එල්ටීටීඊ කාරයෙකු වීම ද එවැන්නකි. සමාන කම ඇත්තේ ඇති කරන ප්‍රතිඵලය සම්බන්ධයෙන් නොවේ. අරමුණ කෙරෙහි යොමු වන ආකාරය සම්බන්ධයෙනි. ඒ සඳහා දෙමාපිය දායක්වය බල පෑ ආකාරය සම්බන්ධයෙනි.

එවන් විටෙක තරුණයාගේ මනස තුළ හොල්මන් කරන කාරණා දෙකක් තිබිය හැකි ය. එකක් දෙමාපියන්ට ඇති ආදරය ය. අනෙක දෙමාපියන් සමග ඇති වූ අමනාපකම් ය. මේ දෙක අතර ඝට්ඨනයේ ප්‍රතිඵලය වන්නේ එක් අතකින් අරමුණ වැළඳ ගැනීමත් අනිත් අතින් අරමුණ වෙනුවෙන් දෙමාපියන්ට ද වඩා කැප වීම හරහා ඔවුන් සමග වූ අමනාපය ප්‍රකාශයට පත් කිරීමත් ය.

දෙමාපියන් සමග ඇති විරසකය දැඩි වී හැදුනොත්, දෙමාපිය ආදරය අහිමිව හෝ තුනීව ගියොත්, සිදු වන්නේ දෙමාපිය අරමුණ විසිකර ඊට ප්‍රතිපක්ෂ අරමුණක් වැළඳ ගැනීම ය. එවැන්නෙකු වෙන අරමුණක ගොදුරක් වීමේ ඉඩ කඩ වැඩි ය.

මේ මොන අකාරයකින් හෝ ජීවිත අරමුණක් හදා ගන්නා තැනැත්තා ඒ අරමුණ ඔස්සේ ඉදිරියට ගමන් කරන විට තම කාලය ද ධනය ද වෙනත් බොහෝ දේ ද ඒ සඳහා කැප කරන්නේ ය. ආයෝජනය කරන්නේ ය. එම කැපකිරීම ප්‍රමාණයෙන් වැඩි වූ තරමට අරමුණ කෙරෙහි ඇති ඇල්ම වැඩි වන්නේ ය. ආදරය වැඩි වන්නේ ය.

එය සමාන කළ හැක්කේ දරුවන් සම්බන්ධයෙන් වඩාත් කැප වීම් කළ දෙමාපියන් තුළ ඔවුන් සම්බන්ධයෙන් (දරුවන් දෙමාපියන් කෙරෙහි දක්වන ආදරයට වඩා) වැඩි ආදරයක් පැවතීමට ය. ඇල්ම වැඩි වූ තරමට අත්හැරිම ද අමාරු ය. දරුවන් සම්බන්ධයෙන් පමණක් නොව අරමුණක් සම්බන්ධයෙන් ද එය සත්‍යය ය. ඒ නිසා ම අරමුණ ගැන සැක සංකා ඇති කර ගැනීම අමාරු ය. ඒ තත්වයට පත් වූ පසුව අරමුණ ප්‍රශ්න කරන මිනිසුන් දකින්නේ පරම සතුරන් ලෙස ය.

දෙමාපියන් පූජකයන් වැනි අපව අරමුණ කරා යොමු කරවන අය ද එවැනි සැක සංකා ඇති කර ගැනීමට එරෙහි තහංචි ද පනවති. සැකයක් ඇති කර ගැනීම අපායට යන්නට හේතුවක් වෙයි. කට වරද්දා ගැනීම පවා පවක් ලෙස දැක්වේ. හැම ආගමක ම මිථ්‍ය දෘෂ්ඨිකයන් යන්නේ අපායට ය. ඒ අය අපායට යනවා පමණක් නොවේ. ඇතැම් ආගම් වල අන්තාවදී නිකායන් වල එසේ යවන බවට වග බලා ගනු ද ලැබේ. දේශද්‍රෝහීන්ට හා ජනතා ද්‍රෝහීන්ට දඩුවම් ලබා දෙන්නේ ද ඒ පදනමේ ම පිහිටා ය. ඒ නිසා ද අරමුණ කෙරෙන් වෙනස් වීම අමාරු ය.

මඟ දිගේ ඉදිරියට යෑම හා අවසානය

එපමණක් නොවේ. අරමුණ කරා යන ගමනේ සැතපුම් කණු තිබේ. මං සන්දි හා මග සළකුණු තිබේ. ඒවා අරමුණට අප වඩ වඩා ලංවෙන බවට සංඥා ය. අරමුණට ලං වන්නට, ලං වන්නට, ඒ කරා යෑමට ඇති ආශාව ද වැඩි වෙයි.

පළමුව සිදුවන්නේ පන්සල් යෑම ය. දෙවනුව බණ ඇසීම ය. ඊළගට භාවනා පන්ති ය. ඊළගට භාවනා කඳවුරු ය. ඊළගට මහණ වීම ය. ඊළගට ධාන්‍ය වැඩීම ය. ඊළගට සෝවාන් සකුදාගාමී අනාගාමී අරහත් වශයෙන් ස්ථර ගණනාවක් තිබේ.

පළමුව පල්ලි යෑම ය. ඊළගට මද්‍රාසා පාසලට යෑම ය. ඊළගට වහාබ් ඉගෙනුම ය. ජිහාඩ් කෙනෙකු වී සටන් කිරීම ය. අවසානයේ සියදිවිනසා ගන්නා බෝම්බකරුවෙකු වීම ය.

පළමුව පන්ති පහ ය. ඊළගට පෝස්ටර් ගැසීම වැනි කුඩා වගකීම් ය. ඊටත් පසු කොකු දමා සෙසු අය බිලිබා ගැනීමේ ලොකු වගකිම් ය. ඊළගට පෙළපාලි හා වීදී සටන් ය. ඊළගට ආයුධ සහිත සටන් පුහුණුව ය. පසුව මධ්‍යම කාරක සභාවට හා දේශපාලන මණ්ඩලයට ය.

මේ හැම අදියරක දීම ඊට අවශ්‍ය කුසලතා රැස්කර ගත යුතු ය. ඒවා ද ආයෝජනයන් ය. ඒවා වඩ වඩාත් අරමුණේ ඇලීමට හේතු වන්නේ ය.

මේ මඟේ ඉදිරියට ගිය කෙනෙකුට වුවමනා වුව ද ගැලවීම අරහං ය. මහණ වී සිවුරු ඇරියාම ආත්මය ම ඉවර ය. හීරළුවෙකැයි කියන්නේ අපහාසයට ය. නැතිනම් සිදු වන්නේ ආගමට, ජාතියට, පක්ෂයට, ද්‍රෝහියෙකු වීමට ය. ද්‍රෝහියාට උරුම මරණය ය. පිට මං කිරීම ය.

ජිවිතය පවත්වා ගෙන යෑමට බදා ගත් අරමුණ ම මෙසේ මිනිසුන් සිර කරන්නේ ය. බොහෝ විට ඒ ජීවිතාන්තය දක්වා ය.

දෙමාපියන් අපට දෙන්නේ එක් අරමුණක් පමණක් නොවේ. ඇතැම් විට ඒවා බහු විධ ය. බහු විධ වුනාට ඒ දෙන අරමුණුවලට ධුරාවලියක් තිබේ. ඒවාට දෙන ප්‍රමුඛතාවය වෙනස් ය. ඇතැම් අරමුණු දැඩිව ද සමහරක් මෘදුව ද අවධාරණය කෙරේ. යම්තම් තුරුණු වියට එළඹුන විට ම එලියට පැන ගන්නා බටහිර දරුවන් මෙන් නොව, කසාද බඳින තුරු ද, ඇතැම් විට ඊටත් පසු ද, දෙමාපියන් විසින් තමන්ගේ තුරුලේ තබා ගන්නා පෙරදිග දරුවන්, මෙහි දී දෙමාපියන්ගේ අරමුණු තුළ ම රැඳීමට හා ඔවුන්ගේ ප්‍රමුඛතා ධුරාවලිය අනුගමනය කරන්නට ඇති ඉඩ කඩ වැඩි ය.

ඉතින් පළමු ප්‍රමුඛතාවය හිමිවන්නේ අධ්‍යාපනයට ය. ඒ සමාජයේ සැළකිය යුතු රැකියාවක් සොයා ගැනීමේ දෙවැනි එල්ලය ද ඇති ව ය. තෙවනුව සහකාරියක් හෝ සහකරුවෙකු සොයා ගෙන අරඹන යුග දිවිය ය. ඒ සමගම දරු මල්ලන් ය. ආගම ද දේශපාලනය ද මේ මූලික අරමුණු වලට ආනුපාන ය. දෙවැනි ය. දැන් තියෙන්නේ ආගමත් දේශපාලනයත් ටික ටික වළඳමින් යුග දිවිය නිම කරන්නට ය.

මැදිවියේ අර්බුදය හා අරමුණු

නැවත ප්‍රශ්නය එන්නේ දරුවන් තමන්ගේ ම කූඩු හදා ගෙන වෙන පළාතකට ගියා ම ය. අතීතයේ දී මෙන් නොව වර්ථමානයේ මෙසේ වෙන් වීම වැඩි ය. තුරුළේම තියා ගැනීම අමාරු ය.

අරමුණක් සම්බන්ධයෙන් නිසි එල්ලයක් නැතිව අතරමං වන භද්‍ර යෞවනයට අමතරව මේ මැදිවිය ද ජිවිතයට අර්බුදයක් ගෙනෙන්නේ ය. මෙය බටහිර රටවල මනෝ වෛද්‍යවරුන් හඳුන්වන්නේ මැදි වියේ අර්බුදය (mid-life crisis) ලෙස ය. එය දරුවන් හැර යෑම සමග ඍජු ලෙස සම්බන්ධ ය. අපට ඒ අර්බුදය එන්නේ බටහිරට පමා වෙලා ය. ඒ දරුවන් ඉවත් වීම සිදු වන්නේ පමා වී නිසා ය. දැන් ජීවිතය හිස් ය. තවමත් රැකියාවක නිරත වේ නම්, මේ හිඩැස රැකියාවෙන් පුරවා ගත හැකි ය. එහෙත් නොපමාව විශ්‍රාම දිවිය එළඹෙන්නේ ය. ඒ නිසා හිඩැස ඇති විම වළක්වා ගත හැක්කේ තවත් කුඩා කලකට ය. මුණුබුර මිණිබිරියන් ලැබුනොත් තරමක් දුරට ගොඩ ය. ඒ දරුවන් ළග පාත හිටියොත් ය.

මෙසේ ඇතිවන හිඩැස බොහෝ විට පුරවනු ලබන්නේ ආගම හෝ දේශපාලනය විසිනි. නැතිනම් ඒ දෙකම අනාගත් අමුතුම ප්‍රපංචයක් විසිනි.

එසේ වීමට එක් හේතුවක් වන්නේ මිනිසුන් වෘත්තීය කුසලතා මිසක වින්දන කුසලතා හිමි කර ගෙන නොතිබීම ය. බොහෝ දෙනෙකුට සංගීතය, චිත්‍ර, සාහිත්‍ය, සිනමාව වැනි කලාවන් නිර්මාණයේ පමණක් නොව රස විඳීමේ ද කුසලතා නැත. ඔවුන්ට දැනටමත් පවරා ඇති අරමුණකට එහා ගිය අරමුණක් සාදා ගැනීම අපහසු ය. එවන් අයට අරමුණක් හදා ගැනීමට ඉතිරි වන්නේ ආගමේ හෝ දේශපාලනයේ සරණ පමණ ය.

සමහර ආගම් පවා මේ විඳීම සම්බන්ධයෙන් දාන්නේ ම පොලු ය. එවන් විටක තත්වය වඩාත් දරුණු වන්නේ ය.

මෙසේ තරුණ සමයේ ද මැදි වියේ ද එළඹෙන මේ අරමුණු පිළිබඳ අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසීරු වුවහොත් එය පුද්ගලයාට පමණක් නොව සමාජයට ද අහිතකර තත්වයක් නිර්මාණය කරන්නේ ය.

මට පාරම්පරික උරුමයෙන් ලැබී ඇති අරමුණ, ලෞකික ජීවිතය අවසානයේ හෝ ඒ අතර වාරයේ ලැබෙන ආගමික විමුක්තිය නම් ද, ඒ සඳහා මිථ්‍යා දෘෂ්ඨිකයන් විනාශ කර දැමීම මට ලැබෙන උපදෙස් නම්, ද ඒ වෙනුවෙන් දිවි පිදීම මට කළ හැකි උතුම් ම පරිත්‍යාග ලෙස දැක්වෙන්නේ නම් ද, අරමුණ උත්කර්ෂවයට නැංවීමේ තාර්කික අවසානය විය හැක්කේ මා මිනිස් බෝම්බයක් බවට පත් වීම ය.

මා සමාජයෙන් පවරා ගෙන ඇති අරමුණ දෙමළ ජනයාගේ අභිලාශයන් සපුරා ලනු වස් ඊලමය පිහිටුවීම හෝ සමස්ථ ජනයාගේ අභිලාෂයන් සම්පූර්ණ කරනු වස් උත්තර සමාජවාදී රාජ්‍යය පිහිටුවීමට නම් ද, ඒ සඳහා ද්‍රෝහීන් විනාශ කර දැමීම මට ලැබෙන උපදෙස් නම් ද, ඒ වෙනුවෙන් දිවි පිදීම මට කළ හැකි උතුම් ම පරිත්‍යාග ලෙස දැක්වෙන්නේ නම් ද, එම අරමුණ උත්කර්ෂවයට නැංවීමේ තාර්කික අවසානය විය හැක්කේ මා මිනිස් බෝම්බයක් බවට පත් වීම හෝ මා විසින් පර පණ නසනු පිණිස ආයුධයක් අතට ගැනීම ය.

අහිංසක හා අංගුලිමාල

අප තේරුම් ගත යුත්තේ මේ “සමාජ අපරාධ කරුවන්“ හැම දෙනාම “අංගුලිමාල“ කතාවේ එන අහිංසක මෙන් ම ගුරුවරයන්ගේ ඉගෙනුම් බහ අකුරට ක්‍රියාත්මක කිරිමට පසුකලෙක සිය දිවි පරදුවට තබා කටයුතු කළ “වීරයන්“ බව ය. “ජාතික රණ දෙරණ මතේ- ගැටී වැටී මළ මොහොතේ- සුන්දර සුරඹුනන් අතේ – නැලවෙන බව සිතනු පුතේ“ යන ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් කවි පෙළින් දිරි ගැන් වූ වීරයන්ට නෑකම් කියන වීරයන් ම බව ය. ඒ කියන්නේ අපේ ම නිර්මාණයන් බව ය. අප විසින් කවා පොවා ඇති දැඩි කළ නිර්මාණයන් බව ය. උන් කර ඇති වැරැද්ද විය හැක්කේ අප මෙන් අත් බැඳ නොසිට ඒ වෙනුවෙන් උපරිම ලෙස කැපවීම ය.

ඒ කැපවීම තමන්ට පෙන්වූ මග ඔස්සේ ඉදිරියට ම ගොස් සියල්ල හැර දා මහණ වූ කෙනෙකුට වෙනස් වන්නේ ඇති කරන ප්‍රතිඵලයේ ස්වරූපය විසින් පමණකි. සමාජයට දායකත්වය දිය හැකි මොළයක් ද අත් දෙකක් ද ඒ සමග නැති වීම ද, සමාජය විසින් නඩත්තු කටයුතු තව බඩක් ඇති වීම ද, හැරුණු කොට වෙනත් බරපතල සමාජ හානියක් මහණ වීමෙන් වෙන්නේ නැති බව ඇත්ත ය. එහෙත් මග එක ය. ප්‍රවේශය එක ය. දිවි පූජාව එලෙස ම ය. ඇතැම් තැනක දෙමාපියන්ට දැනෙන අහිමිවිමේ වේදනාව ද විශේෂයෙන් මහණ වූයේ මහමෙව්නා වැනි අසපුවක නම්, බොහෝ දුරට සමාන ය.

දෙමාපියන් ලෙස ද සමාජයක් ලෙස ද අප තරුණයන්ට අරමුණු සකස් කර දීමේ දී ප්‍රවේසම් විය යුතු වන්නේ මේ නිසා ය. නැත්නම් අපට සිදු වන්නේ උන් වෙනුවෙන් අඩන්න ය. උන් නිසා දුකට පත් වන මිනිසුන් වෙනුවෙන් අඩන්නට ය. කම්පා වන්නට ය.

රැකියාවක් කරන්නට අවශ්‍ය තරමට අධ්‍යාපනයක් ලබා දීමත්, මුදල් සරි කර ගැනීමට ව්‍යාපාරික කටයුත්තකට හෝ රැකියාවකට යොමු කිරීමත්, තමන්ට පැවරුණු ආගම දර්ශනය රැක ගැනීමට සූදානම් කිරීමත්, තවදුරටත් ප්‍රමාණවත් නොවන බව අප දත යුතු ය.

ඊට වඩා පළල් අරමුණු, සමස්ථ මානවයාගේ ම හිත සුව පිණිස වැඩ කිරීමට හැඩ ගැසුණු අරමුණු, අප විසින් දරුවන්ට දයාද කළ යුතු ය. ලෝකය මෙන්න මේ විදිහට මිස වෙනත් විදිහකට නොදැකිය යුතු ය යන සීමාවන් වෙනුවට ලෝකය විවෘත මනසකින් ගවේෂණය කර ගැනීමේ ඉඩ හසර ඔවුන්ට ලබා දිය යුතු ය. කලාව, සංගීතය, සාහිත්‍ය විඳීමට හැකි මනසක් ඔවුන්ට ලබා දිය යුතු ය. ඒ ඒ ක්ෂේත්‍රවල නිර්මාණයන් කළ හැකි කුසලතා ඔවුන්ට ලබා දිය යුතු ය. විනාශ කිරීම වෙනුවට නිර්මාණය කිරිමට මනස යොමු කිරීමට අවශ්‍ය පරිචය එයින් ඔවුන්ට අමතරව ලැබෙනු ඇත. ක්‍රීඩාවක් විඳීමට, ඒ තුළ ආශ්වාදයක් ලැබීමට, එවැන්නක නිරත වීමට, අවශ්‍ය තරමට ප්‍රාගුණ්‍යයක් ලබා දිය යුතු ය. ලෝකය තුළ දුක වේදනාව තරමට ම සොම්නස ද සුන්දරත්වය ද ඇතැයි යන්න ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු ය. තමා ද තමාගේ ජාතිය ද මේ මහත් වූ විශ්වය තුළ කුඩා නොවැදගත් ප්‍රපංචයන් පමණක් බව ඔවුන්ට දැනෙන්නට සැලැස්විය යුතු ය. තමන්ගේ ආගම ලෝකය දකින එක කණ්ණාඩියක් පමණක් බව ද තව බොහෝ කණ්ණාඩි වලින් ද ලෝකය දැකිය හැකි බව ද ඔවුන්ට කියා දිය යුතු ය.

තවදුරටත් අන්තවාදින්ට බැණ අඩ ගසා පලක් නැත. උන් හා සමාන වගකීමක් අප ද මේ සම්බන්ධයෙන් බාර ගත යුතු ය.

මේ අප වත්මන දකින්නේ අප විසින් නිර්මාණය කිරීමට කැපවුනු ඒ නිසා බිහිවුනු ලෝකයකි. අන්තවාදීන් හා හරි හරියට එක් ව අප ද ගොඩ නැගූ ලෝකයකි. ඒ දෙස බලා කම්පා වෙනු වෙනුවට කළ යුත්තේ අපට වැරදුනේ කෙසේ දැයි සෙවීම ය. ඒ වැරදි නිවැරදි කිරීම ය.

අපේ නිර්මාණය දැන් අපට ම පෙනෙන විදිහට අඩුපාඩු වලින් ගහණ ය. දැන්වත් අප නිවැරදි වන්නට හිතන්නේ නම් මෙය නැවත ප්‍රතිනිර්මාණය කර ගත හැකි ය. ඒ සඳහා අනෙකා පමණක් නොව අප ද වෙනස් වීම අවශ්‍ය ය.

සියල්ලන් ෆේල් ය

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/05/06/rr7_06052019_FRR.jpg

කිසිදු වරදක් නොකළ මිනිසුන් හා දරුවන් තොග ගණනින් මරා දමන ලබන විට ප්‍රදර්ශනය වන්නේ අපේ අසමත් භාවය ය. අසමත් වී ඇත්තේ කුමක් ද? කවුරුන් ද?

පළමුව ආගම් ය. මේ සිද්ධිය තුළ පැහැදිලිව ඇත්තේ වඳින්න ගිය දෙවාලය ඉහේ කඩා වැටීමකි. එය සිදුව ඇත්තේ ක්‍රිස්තු භක්තියකයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. මුස්ලිම් භක්තිකයන්ගේ දේවාලය ද ඔවුන් හිස මත කඩා වැටී තිබෙන්නේ ය. එය කොතෙක් දරුණු ද යත් තවත් කාලයකට එක ද පුද බිමකට වත් ගොඩ වැදීමට කිසිදු භක්තිකයෙකු ධෛර්යවත් වන එකක් නැත. ඒ සඳහා බැතිමතුන්ට අවසර දීමට පෙර ඒ පූජ්‍ය ස්ථාන භාර ආගමික නායකයන් ද දෙවරක් සිතනු ඇත. මේ සිද්ධි දාමය තුළ එක ද දෙවියකුවත් තම බැතිමතුන් බේරා ගැනීමට සමත් ව නැත. මේ අය මිය යන්නේ ඔවුන් කිසියම් ආගමකට අයත් වීම හේතුවෙනි. මිනිසුන් ජීවත් කරවන්නට තිබෙන ආගම් මිනිසුන් මරණයට පත් කරන්නට පොළඹවන විට අපට කියන්නට සිදු වන්නේ ඒ ආගම් සියල්ල ෆේල් බව ය.

හැම ආගමක් ම තරඟයෙන් ජය ගනු පිණිස තම බැතිමතුන්ගේ ඔලුගෙඩි වලට දමන්නේ තම ආගම ලොව පවතින ශ්‍රේෂ්ඨතම ආගම බව ය. ඉදින් ඉතිරි ඒවා මිත්‍ය දෘෂ්ඨික වන්නේ ය. ඒවා මිනිසුන් මුලා කරන ඔවුන් අඳුරේ ලන ආගම් වන්නේ ය. ඒවා දුරු කළ යුතු පැරදවිය යුතු සාතන්ගේ ආගම් වන්නේ ය. ඒ නිසා ගැටුම් කෝලාහල යුද්ධ ඇති වන්නේ ය. ලොව සාමය ඇති කිරීමට තිබෙන ආගම් ඒ වෙනුවට මේ තර්කනය ඔස්සේ යුද්ධය ගෙනෙන විට අපට කියන්නට තිබෙන්නේ ඒ ආගම් සියල්ල ෆේල් බව ය.

දෙවනුව, අසමත් වී ඇත්තේ රජය ය. රටේ ද ජනතාවගේ ද ආරක්ෂාව බාරව ඉන්නා රජය ය. නීතිය හා සාමය පවත්වා ගෙන යාමට ඉන්නා රජය ය. ඒ තොරතුරු ලැබීමෙන් පසු ද කිසිවක් කරන්නට අසමත් වීම තුළ ය. අඩුම තරමින් තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසා ගන්නැයි ජනතාවට දැනුම් දීමට පවා අසමත් වීම තුළ ය.

ඒ ජනතාවගේ බදු මුදලින් යැපෙන ආයතන ගණනාවක් නිලධාරීන් ගණනාවක් සේවකයින් ගණනාවක් භටයින් ගණනාවක් සිටිද්දී ය. උන් කිසි දෙයක් කිරිමට නොමෙහෙයවීමේ හේතුවෙන් ය. ඒ සියල්ල අසමත් ය. නැතිනම් එසේ අසමත් වන තැනට ඉහළින් කටයුතු කර ඇත්තේ ය.

අසමත් කණ්ඩායම් අතර

තෙවනුව, බහුතර දේශපාලනඥයන් ය. එකිනෙකා සමග කුළල් කා ගන්නවා විනා වෙනත් දෙයකට සමත් බවක් නොපෙන්වන දේශපාලනඥයන් ය. ඊළග මැතිවරණය ගැන මිසක ජනතාව ගැන රටේ අනාගතය ගැන අබමල් රේණුවක හැගීමක් ඔවුන්ට නැත. පාර්ලිමේන්තුව තුළ යකා නැටීමට, චණ්ඩි පාට් දැමීමට, හූ කීමට හෝ කෑකෝ ගැසීමට, මිසක ඔවුන්ට කිසිදු විවාදයකට තර්කානුකූල දායකත්වයක් ලබා දිය නොහැකි ය. චණ්ඩි කම් නොපාන බොහෝ විට ඔවුන් දක්ෂතාවයන් දක්වා ඇත්තේ නිදා ගැනීමේ දී ය. කලාතුරකින් අවස්ථාවක විනෝදය සැපයීමේ ය.

ඒ තමන් සියල්ල කරන්නේ ජනතාව වෙනුවෙන් බව කියන අතරතුරේ ය. ජනතාව වෙනුවෙන් පෝරකයට වුව නගින්නට පිළිවදන් දෙන අතරතුරේ ය. එහෙත් තියෙන බලය රැක ගැනීමටත් එයින් උපරිම වරප්‍රසාද පමණක් නොව නොනිල වාසි ද ලබමින් ය. තවත් වතාවක් ඒ වරය ගන්නට මග බලමින් ය. නැතිනම් ඒ සියල්ල සඳහා අහිමි වූ බලය නැවත ගැනීමට පිට පොට ගසමින් ය.

ඔවුන්ගේ බහුතරය බලාගන්නේ තමන්ගේ ආරක්ෂාව ය. ඊට එහාට යනවා නම් ඒ සිය පවුලේ ආරක්ෂාව ය. දරු මුණුබුරන්ගේ ආරක්ෂාව ය. නෑදෑ හිතවතුන්ගේ ආරක්ෂාව ය.

සිව්වෙනුව, බහුතර නිලධාරි පැලැන්තිය ය. දේශපාලනඥයන් කියන්නක් ඇරෙන්නට වෙනත් කිසිවක් කරන්නට අසමත් බව පෙන්වන ඊනියා නිලධාරීන්ගෙන් එය සමන්විත ය. දේශපාලනඥයන්ට මග පෙන්වනු වෙනුවට ඔවුන්ගේ ආඥාවන් ක්‍රියාත්මක කිරීමට පමණක් ඔවුහු පේවී සිටිිති. තමන්ගේ තනතුර හෝ උසස්වීම මිස ජනතාව ගැන හෝ රට ගැන වගේ වගක් උන්ට නැත. ඔවුන්ගේ බහුතරය ද බලාගත්තොත් ඒ තමන්ගේ ආරක්ෂාව විතර ය. ඊට එහාට යනවා නම් ඒ සිය පවුලේ ආරක්ෂාව ය. දරු මුණුබුරන්ගේ ආරක්ෂාව ය. නෑදෑ හිතවතුන්ගේ ආරක්ෂාව ය. පරපුරේ වුවමනා එපාකම් ය.

ජනතාව අසන ප්‍රශ්න වලට උන්ට පිළිතුරු නැත. ඔවුන් සංවේදී ඔවුන්ගේ අනාගතය බාර දේශපාලනඥයන්ට පමණ ය. උත්තර බඳින්නේ උන්ට පමණ ය.

පස්වෙනුව, මේ රටේ බහුතරයක් මාධ්‍යය ය. තමන්ගේ ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් ඇත්ත සඟවන, බොරුව ඇත්ත කරවන, ජුගුප්සාව අවුස්සා විකුණන මාධ්‍යය ය. කුණු කතා කියන දේශපාලනඥයන්ට පමණක් සිය රසිකයන් පිනවීම උදෙසාම ඉඩ විවර කර දෙන, අවස්ථාව ලබා දෙන, මාධ්‍යය ය. ලේ කකියවන පුවත් රසකර බෙදා හරින මාධ්‍යය ය. රටේ වෙන බොහෝ සිද්ධි තමන්ගේ හාම්පුතුන්ට හා අනුග්‍රාහකයන්ට අවශ්‍ය ලෙස ආරළු බූරළු ඇතිව නැවත නිර්මාණය කර බෙදා හරින මාධ්‍ය ය.

ජන මාධ්‍ය වලින් සමාජය අපේක්ෂා කරන්නේ ජනතාව දැනුවත් කරවීම ය. සැඟවී තිබෙන ගැටළු මතු කර පෙන්වීම ය. ඒවා සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීම ය. එක පැත්තක් නොව සෑම පැත්තක්ම දැක ගැනීමට සැලැස්වීම ය. ඒ හරහා ජනතාවට මග පෙන්වීම ය. ඒ වෙනුවට සිදු වන්නේ ඔවුන් විසින් පැත්තක් තෝරා ගැනීම ය. ඒ අනුග්‍රාහකයාගේ පැත්ත ය. හාම්පුතාගේ පැත්ත ය. විකුණා ගැනීමට පහසු ඒවාගේ පැත්ත ය. ඉන්පසු සිදුවන්නේ ඒ පැත්ත පමණක් ශක්තිමත් කරන තොරතුරු ගෙන හැර දැක්වීම ය. ඉතිරි තොරතුරු ද ඒ පැත්තට වාසිදායක වන ලෙස වාර්ථා කිරීම ය.

දේශපාලනඥයන්ගේ සම්මුඛ සාකච්ඡා වලදී මේ මාධ්‍ය වේදීන් බොහෝමයක් අහන්නේ මොන්ටිසෝරි ප්‍රශ්න ය. දේශපාලනඥයන්ට පහසුවෙන් ගැලවී යා හැකි ප්‍රශ්න ය. හතරේ හයේ පහරවල් එල්ල කළ හැකි ප්‍රශ්න ය. ඩෑෂ් පහර වල් ගැසිය හැකි ප්‍රශ්න ය. මිනිසුන් අසන ප්‍රශ්න ඔවුන් දේශපාලනඥයන්ගෙන් අසන්නේ නැත. එසේ කොට දේශපාලනඥයන් අමාරුවේ දාන්නට ඔවුන්ට වුවමනා නැත.

සය වෙනුව, ඊනියා විද්වතුන් ය. දේශපාලනඥයනට කඩේ යන්නට පමණක් තම උගත් කම විකුණන, භාවිතා කරන, ඊනියා බුද්ධිමතුන් ය. තමන් උගත් විද්‍යාවන්ට ද අගෞරවයක් වෙමින් හැසිරෙන මේ උගතුන් අපේ රට කෙළෙසන්නේ නැතිව රට යනවා නම් එය එක් අතකට රටට කරන යහපතකි. කිසිදු සාක්ෂියක් පරීක්ෂණයක් සමීක්ෂණයක් ගවේෂණයක් නැතිව ම හිතට එන ඕනෑම අදහසක් හිරිකිතයක් නැතිව කීමට උන් සමත් ය. උගත් ශාස්ත්‍රය පැත්තකින් තබා දෙවියන්ගෙන් වරම් ගැනීමට උන් සූදානම් ය.

සත්වෙනුව, මේ රටේ ප්‍රබුද්ධ ජනතාව ය. බත් පැකට් එකට අරක්කු භාගයට තම ආත්මය දේශපාලනඥයන්ට විකුණන මිනිසුන් ය. කවරෙකු හෝ උසි ගැන්වූ පමණින් ඇවිලෙන්නට බලා ඉන්නා මිනිසුන් ය. ආවේගශීලිත්වය ඉහටත් උඩින් තිබෙන, විමසන්නට කිසිදු වුවමනාවක් නැති, මිනිසුන් ය.

මේ කියූ හැම දෙනෙක්ම ඉන්නේ බුදුන් බැහැර කළ යුතු යැයි දේශනා කළ මනෝ විද්‍යාවෙන් ද නිවැරදි තීරණ සඳහා මග හැරිය යුතු යැයි කියන සතර අගතියෙන් දූෂ්‍ය වෙලා ය.

බලාපොරොත්තු අත්හැරිය යුතු නැත

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පෙනෙන්නේ ඒ සියල්ලේ මස්කප්‍රාප්තිය ය. සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ය. සියල්ලන්ගේ අසමත්කම ය.

මේ සියල්ල බැලූ විට ඇති වන්නේ කළකිරිමකි. එහෙත් අප කිසි විට බලාපොරොත්තු අත්හැරිය යුතු නොවේ.

මේ අවසාන විභාගය නොවේ.. එය අතිශයින් තීරණාත්මක එකක් වුව ද එය තවත් එක විභාගයක් පමණකි. අසමත් වීම පිළිබඳ කණගාටු වනවා වෙනුවට කළ යුත්තේ ඉදිරියට එන විභාගවත් අසමත් වීමෙන් වැළැකීම ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අප වෙත තිබෙන බව ඛේදවාචකය තුළ ද පෙනෙන්නට තිබුනේ ය.

වෙනදා මෙන් සෙසු සියළු මුස්ලිම් මිනිසුන් අන්තවාදීන්ගේ ගොඩට තල්ලු නොකර ඔවුන් සම්බන්දයෙන් සහනශීලිත්වයක් අනුගමනය කරනු අපට දක්නට ලැබුනේ ය. එය ගරු කටයුතු එකකි. එපමණක් නොවේ, එය වත්මන් අභියෝගය හමුවේ අනිවාර්යය අවශ්‍යතාවයකි. මුස්ලිම් අන්තවාදය පැරදවිය හැක්කේ ද අභ්‍යන්තරයෙනි. අඩු වශයෙන් අභ්‍යන්තර සහයෙනි. ඒ නිසා ම මැදිහත් මුස්ලිම් මිනිසුන් දිනා ගැනීමට රජය පමණක් නොව සමස්ථ සමාජයම කටයුතු කළ යුතු ය. ඊට ඇති සූදානම මේ ඛේදවාචකයෙන් පසු දක්නට ලැබීම සමත් විමට අපට ඇති ශාක්‍යතාවය පෙන්නුම් කරයි.

එහෙත් බොර දියේ මාළු බාන්නට තතනන මිනිස්සු තවමත් අප අතර සිටිති. ඔවුන් කැමති ලේ වලට ය. සිංහ-ලේ නැත්නම් මරක්ක-ලේ වලට ය. අප ඔවුන්ගෙන් පරිස්සම් විය යුතු ය. දැනට කරබා ගෙන සිටිය ද ඔවුන් නැවත හිස එසවීමට ඉඩ තිබෙන නිසා ය. තැනින් තැන උන්ගේ මැදිහත් වීම් දැනටමත් වාර්ථා වන නිසා ය. ඒ මේ කිසිවකට සම්බන්ධයක් නැති අහිංසක මිනිසුන්ට එරෙහිව නිසා ය.

රජයේ අසමත්භාවය පිළිබඳ කළකිරීම පමණක් නොව ඉදිරියේ දී එය එසේ නොවන බවට වග බලා ගැනීමේ  වැදගත් කම ද ආගමික නායකයන් විසින් පළ කෙරුනු අයුරු අපි දුටුවෙමු.. එසේ නොකළ හොත් තමන් ජනතාව සමග පාරට බහින බව කීමෙන් අග රද ගුරුතුමන් පළමු වෙඩිල්ල තබා තිබෙනු ද අපි දුටුවෙමු. බොහෝ ආගමික මූලස්ථාන එක් හෝ තව පක්ෂයක හොරණෑ වනු වෙනුවට මෙසේ රජයේ අකාර්යක්ෂමතාවය ප්‍රශ්න කිරීමට ද පොදුවේ දේශපාලනඥයින් ප්‍රශ්න කිරීමට ද අභීතව ඉදිරිපත් කිරීමම අපේ ඉදිරිය සාර්ථක විය හැකි බවට තව සළකුණකි. දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා යාඥාකර මිනිසුන් රවටන්නේ නැතිව කෙළින්ම ප්‍රශ්නය නිසි තැනට එල්ල කිරීමට නිර්භිත වීම ද වැදගත් ප්‍රවණතාවයක් ලෙස සැළකිය හැකි ය.

තමන්ගේ දෙවියන් නැතිනම්, තමන්ගේ ඇදහිල්ල, අන් සියල්ලට වඩා ඉහළින් පිහිට වීමට කටයුතු කිරීමේ නිශ්ඵලත්වය ගැන සිතා කටයුතු කිරීමට සියලු ආගම් මීට වඩා සැළකිලිමත් විය යුතු ය. සංකේත වන්දනාවට වඩා මිනිස්කම ඉස්මතු කිරීමට මිනිසුන්ට සංවේදී වීමට කරුණාවන්ත වීමට සිය අනුගාමිකයන් මෙහෙයවිය යුතු ය. මේ ගැන වඩාත්ම නිවැරදි මතය මා දුටුවේ සමනලී ෆොන්සේකා කලාකාරිනිය කළ ප්‍රකාශයක් තුළ ය. “මට රැකගැනීමට හා පිළිපැදීමට අවශ්‍ය වන්නේ සියලුම ශාස්තෘවරුන්ගේ අභිමතාර්ථයන්ගේ අවසාන හරය වූ මේ වනවිට ලෝකයෙන් ගිලිහෙමින් පවතින මනුෂ්‍යත්වය නැමති ආගමයි. ඒ වෙනුවෙන් පෙනීසිටිමට, අනෙකාට ඇහුම්කන් දීමට, මාවම ප්‍රශ්න කරගැනීමට, වැරදි වැරදී හෝ ඒ මග ඔස්සේ ගමන් කිරීමට මම මේ පරිණාමයෙන් මට ලැබී ඇති ජීවිතය පුරා උත්සාහා කරමි… අවසානයේ සිදුවිය යුත්තේ දෙවියන් ප්‍රශ්න කිරීමවත්, බුදුන් රැක ගැනීමවත්, බුදුන් ප්‍රශ්න කිරීමවත්, දෙවියන් රැක ගැනීමවත් නොවේ. අවසානයේ සිදුවිය යුත්තේ අප සියල්ලන්ම විසින් ‘මනුෂ්‍යත්වය’ රැකගැනීමයි…!”

මාධ්‍ය වගකීම

මාධ්‍ය පවා මේ නිශ්චිත සිද්ධියේදී තරමක වගකීම් සහිත හා විචාරශීලී ප්‍රවේශයක් අනුගමනය කරනු දක්නට ලැබුනේ ය. මේ ආගමික ත්‍රස්තවාදය සම්බන්ධයෙන් බුද්ධිමත් සංවාදයක් ඇති කිරීමට මාධ්‍ය දැනට වඩා මැදිහත් විය යුතු ය.

මුස්ලිම් ආගමේ ඇතැයි කියන එක් ඉගැන්වීමක් නම් ආගම වෙනුවෙන් දිවි පිදීම හේතුවෙන් ස්වර්ගයේ දි කන්‍යාවන් අහවල් ගණනකට හිමිකම් කිමට හැකි බව ය. අහවල් ගණනකැයි කීවේ එක් එක් තැන් වල මේ ගැන විවිධ සංඛාලේඛන ඉදිරිපත් වන නිසා ය. ඇතැමුන් කියන්නේ මුස්ලිම් අන්තවාදී-සිය දිවි නසා ගන්නන් මෙහෙයවන්නේ මෙවැනි පටු ඉගැන්වීම් වලින් බව ය. අවාසනාවකට අපට සමාන ඉගැන්වීමක් සිංහල බෞද්ධයන් අතරින් ද සොයා ගත හැකි ව තිබේ. ඒ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවි පේලි අතරිනි. ඒ කවිය මෙසේ ය. ජාතික රණ දෙරණ මතේ – ගැටි වැටී මළ මොහොතේ – සුන්දර සුරඹුවන් අතේ – නැළවෙන බව සිතනු පුතේ. මේ ආගමාභිමානය හා ජාතිකාභිමානය එක් වන තැනකි. අමරදේවගේ මුවින් ගැයෙන මුණි සිරිපා සිඹිමින්නේ ගීයේ පද වැලේ එක කොටසක් ද මේ කවිය ය. එය ගැයෙන රිද්මය මිනිසුන් පොළඹවන සුළු රිද්මයකි. ඉදින් කෙනෙකුගේ මොළ සේදීම සඳහා මෙවැනි ඉගැන්විම් කවි ගායනා යොදා ගත හැකි බව දැන එවන් මතවාදයන්ගේ පුහු බව ජනතාවට එලි කිරිමේ වගකීම ද ඇත්තේ මාධ්‍යය වලට ය. ඒ ගැන ප්‍රමාණවත් සංවාදයක් මාධය තුළ නොකෙරෙන්නේ වඩා හොඳින් විකිණිය හැක්කේ ආවේගශීලි බඩු මිසක විචාරශීලි බඩු නොවන නිසා ය. මාධ්‍ය ජය ගත යුත්තේ ඒ අභියෝගය ය.

නිලධාරීන් පවා නිදි ගැට හැර නැගිට යමක් කරනු දක්නට ලැබුනේ ය. ආරක්ෂක අංශ වල සමාජිකයන් ඒ අතරින් ඉදිරියෙන් සිටිනු පෙනුනේ ය. ඔවුන්ට ද වගකිමක් තිබේ. සැබෑ වගකිවයුත්තන් අල්ලා ගැනීමට මෙහෙයුම් හැකි පමණ වගකීමෙන් කිරිමට ය. ප්‍රහාරයේ බැරෑරුම් කම හමුවේ වුව ද සංයමය පවත්වාගෙන යෑමට ය. අහිංසකයන් නොපෙලිමට වග බලා ගැනිම ය.

මහජනයා ද ඔත්තු සපයමින් ආරක්ෂක අංශවලට නොමඳ සහයක් ලබා දෙනු දක්නට ලැබුනේ ය. ඒ අතර මුස්ලිම් ජනයා ද විශාල ලෙස සිටිනු පෙනේ. එහෙත් ඒ අතර නොමග යවන ඔත්තු ද තිබෙන්නේ ය. සමහරු තම විරුද්ධ වාදීන් අමාරුවේ දැමීමට මේ අවස්ථාව සමාවක් කර ගන්නේ ය. එවැන්නන්ට නිසි දඩුවම් දිය යුතු ය. ඒ සැබෑ ඔත්තුකරුවන් අධෛර්යය නොවන බවට වග බලා ගන්නා අතරේ ය.

මේ අප දැක්වූ සාධනීය සියල්ල ඉදිරි විභාග සමත් විය හැකි බවට ඉඟි ය. සියල්ල අවසන් නැති බව සර්ව-අශුභවාදී නොවිය යුතු බවට ඉඟි ය. ඒ අතර විභාගය සමත් විමට තවත් දේ අවශ්‍ය බව ද අප අමතක නොකළ යුතු ය.

නව අභියෝගය වෙනස් ය

ඊට අමතරව මේ පිබිදීම හා සෝදිසිය දිගින් දිගට පවත්වා ගත යුතු ය. අභියෝගය ඇත්තේ එතැන ය. පුංචි වැරදිීමක් නැවත වතාවක් අප බිංදුවට ගෙන යනු ඇති නිසා ම අප අපේ විමසුම, සෝදිසිය, අත් නොහළ යුතු ය. වගකීම් සහිත හැසිරීමක් ප්‍රදර්ශනය කරන ලෙස නායකත්වයට කරන බලපෑම අප තීව්‍ර කළ යුතු ය. රජයේ තීරණාත්මක තනතුරු සඳහා නිස්සන් පත් කිරීමේ වැදගත් කම අවධාරණය කළ යුතු ය. කලට වේලාවට මිනිසුන් දැනුවත් කිරීමේ වැදගත් කම අවධාරණය කළ යුතු ය. අප්‍රමාදව ක්‍රියාත්මක විමේ වැදගත් කම අවධාරණය කළ යුතු ය.

රජය කරවන අය පමණක් නොව රජය කරවන්නට බලාපොරොත්තුවන අය ද තමන් වගකිමෙන් කටයුතු කළ යුතු බව අප විසින් කියා සිටිය යුතු ය. ඔවුන් විසින් බොරදියේ මාළු බෑමට ගන්නා උත්සහයන් රටේ යහපත පිණිස හේතු නොවන බව ඔවුන්ට කිව යුතු ය. අප හිටියා නම් මෙවැන්නක් නොවන්නේ යැයි කියන කතන්දර වෙනුවට කළ යුත්තේ මේ යැයි කියා සිටින්නට යැයි ඔවුන්ට කිව යුතු ය. ඔවුන් රජය කරවන්නට සුදුස්සන් දැයි අපට දැන ගත හැක්කේ එවිට යැයි ද අප කියා සිටිය යුතු ය.

අපට ඊළග විභාගය සමත් විය හැක්කේ මෙසේ සමස්ථ සමාජයක් ලෙස ඊට සූදානම් වීමට ඉදිරිපත් වේ නම් පමණ ය. අප ඉදිරියේ ඇත්තේ තනි මිනිහෙකුගේ කර උඩ නැග ගොඩ විය හැකි අගලක් නොවේ. සැවොම එක්ව පාලමක් ඉදි කර ගොඩ විය යුතුව තිබෙන මහ ගඟකි. බොහෝ දෙනෙකුට අවශ්‍ය එසේ සූදානම් වීම නොවේ. කාට හෝ විෂ්ම කරුමයෙකුට වගකීම පවරා අත සෝදා ගැනීමට ය. තමන් වෙනුවෙන් හොරට විභාගයට ලිවීමට කෙනෙකු සොයා වැඩේ ඔහුට බාර දීමට ය.

එසේ පහසු මාර්ග හොයන අය දැන ගත යුත්තේ වත්මන් අභියෝගය වෙනම රටක් සඳහා වූ එල්ටීටීඊ අරගලයට වඩා වෙනස් බව ය. අයිසිස් ජාත්‍යන්තර සංවිධානයකි. ඔවුන් අපෙන් ඉල්ලන යමක් නැත. පෙරලා දැමීමට ඔවුන්ගේ පාලනයක් කොහේවත් නැත. මිනීමස් කෑමට පුරුදුව සිටින කැලෑ වැදී සිටින කොටියෙකු අල්ලා මරා දැමීම පහසු ය. එහෙත් අප අතර ජීවත්වෙමින්, අපේ ලේ උරා බොන අතරේ, අපව ලෙඩ කරවන, මදුරුවන් මර්දනය අමාරු ය. තුවක්කුවෙන් කොටි දඩයම් කිරීමේ පළපුරුද්ද මෙහිදී එහෙමට වැදගත් වන එකක් නැත. මදුරුවන් මර්දනයට සමාජයක් ම එක් විය යුතු ය.

එක විෂයක දැක් වූ සමර්තකම තව විෂයක දී ද දැක්විය හැකි යැයි සිතුවොත් වන්නේ නැවත වරක් අසමත් වීමට ය. එය මරණීය ය. ඒ නිසා තමන් වෙනුවෙන් විභාගයට ලිවිමට පරණ විභාගයක් සමත් වූ අයෙකු සොයනු වෙනුවට කළ යුත්තේ සැවොම මේ විභාගය සඳහා උපරිමයෙන් සූදානම් වීම ය.

මේ නව අභියෝගය ජය ගැනීම අමාරු ය. එහෙත් බැරි නැත. ඒ සඳහා අවශ්‍ය ආවේගශීලි මැදිහත් වීම් නොවේ. බුද්ධිමය මැදිහත් වීම් ය. ඊට අවශ්‍ය සංයමය ජනයාට ද රට කරවන්නන්ට ද ලැබේවා.

රැවුල කොට කර කැඳ බීම

තීරණ ගැනීම ඇතැම් විට දුෂ්කර වන්නේ බොහෝ තීරණ තුළ බොහෝ විට යහපත ද අයහපත ද එකවර අඩංගු නිසා ය. එක පැත්තකින් යහපතක් සිදු වන විට ඒ තීරණය නිසා අනෙත් පැත්තෙන් අයහපතක් සිදු විය හැකි නිසා ය. බොහෝ විට සිදු වන නිසා ය.

සංවර්ධනය යහපත් ය. එහෙත් ඒ නිසා ඇතිවන පරිසර ව්‍යසනය අයහපත් ය. ආර්ථික සංවර්ධනය යහපත් ය. ඒ සඳහා ඇතිකරන ප්‍රතිපත්ති තුළ බිහි වන අසමානතාවය, ඇති නැති පරතරය, අයහපත් ය. දක්ෂයාට තැන දීම යහපත් ය. හැම විටම එකම අයට තැන දීම නිසා කණ්ඩායම තුළ සෙසු අය සංවර්ධනය නොවීම අයහපත් ය. විශාල රුක්ෂයක් පැවතීම යහපත් ය. එය සෙවන සලසන අතර වායුගෝලය පිරිසිදු කිරිමට ද ජලය ආරක්ෂා කොට තබා ගැනීමට ද දායක වන නිසා ය. එසේ වුව ද ඒ සෙවන යට වෙන කිසිම පැලයකට වැඩෙන්නට ඉඩ නැති වීම නම් අයහපත් ය.

කණ්ඩායම් හැගීම වැදගත් ය. එහෙත් ඒ වෙනුවෙන් පුද්ගල අනන්‍යතාවය හා නිදහස කැප කිරීමට බල කිරීම නපුරකි. සමාජ ප්‍රගමනය වැදගත් ය. එහෙත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ නිදහස හා මානව හිමිකම් අහෝසි කර දැමීම වැරදි ය.

සෑම ලාභයක් උදෙසාම අත් හැරිය යුතු දෙයක් තිබේ. පරිත්‍යාග කළ යුතු දෙයක් තිබේ. පිරිවැයක් තිබේ. ලාභය දකින අය ඒ වෙනුවෙන් දැරිය යුතු පිරිවැය නොදකිති. පිරිවැය පමණට වඩා උලුප්පන අය ලැබෙන ලාභය නොතකා හරිති.

මේ දෙපැත්තම දකින අයට ඇති ප්‍රශ්නය තීරණයක් නොගෙන අතරමං විම ය. මේ අන්ත දෙක අතරින් වඩාත් සුදුසු තෝරාගැනීම කුමක් දැයි සොයා ගැනීමට බැරි ව ලත වීම ය. පිරිවැය අවම කර ලාභය උපරිම කර ගැනීමේ ලා නිශ්චිත පියවර දැකීමේ දී අදක්ෂ වීම ය. ඒ නිසා අකර්ණම්‍ය වීම ය.

මේ ලිපියෙන් අප උත්සහ දරන්නේ මේ අන්ත අතර සාම්‍යයක් ඇති කරලමින් තීන්දුවක් ගත හැකි බව කියන්නට ය. කළ යුත්තේ ද එය බව කියන්නට ය.

පරිසරයට උත්තර

සංවර්ධනය සඳහා පරිසර සම්පත් එක්තරා දුරකට හුවමාරු කර ගැනීමට අපට සිදු වන බව අපි කීවෙමු. මහාමාර්ගයක් තැනීමට අපට වනයෙන් කොටසක් අත් හැර දමන්නට සිදු වෙතැයි අපි සිතමු. අපට කළ හැක්කේ කුමක් ද? ඒ වෙනුවට වෙනත් පෙදෙසක් වනයක් ලෙස සංවර්ධනය කිරීම ය. මහාමාර්ගය දෙපස ගස් සිටුවීම ය. අප කපන ගස් ප්‍රමාණයට සරිලන ගස් ප්‍රමාණයක්වත් ඉන්දීම ය. හැකිනම් අමතරව ද ගස් පැල කර ලොකු වන තුරු හදා වඩා ගැනීම ය. ඒ ඉස්සරහට කරන්නට තිබෙන වැඩ ය.

අප දැනටමත් සංවර්ධනය වෙනුවෙන් කැලෑ එලි කර ඇත්තෙමු. අපට එය ආපසු හැරවිය නොහැකි ද?

දකුණු කොරියාව තුළ සිදු වූයේ එය ය. ඔවුන් කළේ ඵලදායකත්වයක් නොමැති වගාබිම් කැළෑ වලට පෙරලා ඒවායේ උන් ජනයා නගරයේ පදිංචි කරවීම ය. ඔවුන්ට නගරය තුළ වඩා ඵලදායී ජීවන මාර්ග සොයා දීම ය. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම ය. ඒ සඳහා නගරය තුළ තට්ටු නිවාස තැනීම ය. දකුණු කොරියාවේ සීවුල් නගරය අදට ද ලොව හරිත නගර අතර ඉදිරියෙන් තිබෙන නගරයකි. පසුගිය දශක කීපය තුළ එහි ජන ඝනත්වය සීඝ්‍රයෙන් වැඩි වුව ද ඔවුන් අනුගමනය කළ සිරස් සංවර්ධනය ප්‍රතිපත්තිය (අහස සූරන ගොඩනැගිලි තුළ මිනිස් ජනාවාස පිහිටුවීම) නිසා අදට ද නගරයේ බොහෝ තැන් කොළ පාටින් බබලවන්නට ඔවුන් සමත් ව තිබේ.

අවශ්‍ය වන්නේ සංවර්ධනයේ නාමයෙන් කැළෑ එලිපෙහෙලි කිරීම නොවේ. කැලෑ එලි කිරීම ඒ උදෙසා සාධාරණීකරණය කර නැවතීම නොවේ. සංවර්ධනය තුළ නව කැලෑ බිහි කිරීම උදෙසා ද ආයෝජනයන් කිරීම ය. ඒ සඳහා සංවර්ධන ප්‍රතිපත්ති නැවත සකස් කිරිම ය. සංවර්ධනය විසින් හඳුන්වා දී ඇති නව තාක්ෂණික ක්‍රම සංවර්ධනය සඳහා තරමට ම පරිසරය සුරැකීම වෙනුවෙන් ද යොදවා ගැනීම ය. සංවර්ධනය හා පරිසරය යන දෙකින් එකක් තෝරා ගැනීම වෙනුවට දෙකම එක්ව ගැනීම ය.

ඇති නැති පරතරයට

ආර්ථික සංවර්ධනය වැදගත් ය. ඒ සඳහා වඩා කාර්යක්ෂම නිශ්පාදනයට ඉඩ දිය යුතු ය. අකාර්යක්ෂම නිශ්පාදනයන්ට මැරෙන්නට ඉඩ හැරිය යුතු ය. පැල බිහිවීම සඳහා පැරණි ගස් ඉවත් විය යුතු ය. නව රැකියා බිහිවීමට පැරණි රැකියා අවසන් කර දැමිය යුතු ය. පාලම ඉදිකරන විට තොටියාගේ රැකියා අහිමි වීම ගැන කම්පා වී පාලමට විරුද්ධව නැගී නොසිටිය යුතු ය. දුම්රිය හඳුන්වා දෙන විට කරත්ත කරුවන්ගේ නැතිවන ජීවන මාර්ගය ගැන උරණ වී දුම්රියට වැට නොබැඳිය යුතු ය.

එපමණක් මදි ය. තරගයට ඉඩ හල යුතු ය. දක්ෂයාට දුර්වලයා අභිබවා යෑමට ඉඩ හල යුතු ය. වඩා කාර්යක්ෂම ආයතන වලට අඩු කාර්යක්ෂම ආයතන පැරදවීමට ඉඩ හල යුතු ය. එය ද ප්‍රමාණවත් වන්නේ නැත. සම්පත් වඩාත් කාර්යක්ෂම ඵලදායී නිශ්පාදනයන්ට ලබා ගත හැකි තත්වයක් ඇති කළ යුතු ය.

වී වැවීමෙන් වියලි කලාපයේ මෙන් අස්වැන්නක් ගත නොහැකි තෙත් කලාපයේ බිම් වල ආර්ථික බෝග වගා කළ යුතු ය. ඒ සඳහා වී වලට වෙන් කොට තිබෙන වගුරු බිම් ජලය දරා ගැනීමට ප්‍රමාණවත් ඉඩක් තබා වෙනත් ආර්ථික කටයුතු සඳහා නිදහස් කළ යුතු ය.

කුඹුරකින් වී නිශ්පාදනය කර එයින් ලැබෙන ලාභයට වඩා විශාල ලාභයක් කුරුඳු වවා ගත හැකි නම් කුරුඳු වැවිය යුතු ය. කුරුඳු විකුණා සහල් මිල දී ගෙන ඉතිරි වන කොටසින් වෙනත් දේ මිල දී ගැනීමට මග පාදා ගත හැක්කේ ඒ හරහා ය. ජලය වඩා ලාභ දායක විදිහට යොදා ගත හැක්කේ විදුලි බල නිශ්පාදනයට යෙදවීමෙන් නම් ඊට වඩා අඩු ලාභයක් ලබන කුඹුරකට එය යෙදීමෙන් ඵලක් නැත.

බොහෝ දෙනා මීට විරුද්ධ වන්නේ බත අපේ ප්‍රධාන ආහාරය නිසා ය. ඒ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවය සඳහා වී වැවිය යුතු යැයි සිතා ය. ඔවුන් නොදන්නා කාරණය නම් අප වැඩියෙන් බත් කෑම නිසා ලෙඩ වි ඇති ජාතියක් බව ය. බත් කෑම සෞඛ්‍ය සම්පන්න මට්ටමකට අඩු කරන්නේ නම් අපට වී වගාව අර්බුදයකින් තොරව බොහෝ සෙයින් අඩු කළ හැකි ය. ඊටත් අමතරව වත්මන් සන්දර්භය යටතේ ආහාර සුරක්ෂිතතාවය මිරිඟුවක් බව මේ කියන අය අමතක කරති. විදේශ සමග ඇති අපේ සබඳතා බිඳ වැටුනොත් කොළඹ ඉන්නා මිනිසුන්ට බඩ ගින්නේ මැරෙන්නට සිදු වන්නේ අම්පාරේ හා පොළොන්නරුවේ හාල් තියා ගෙන ය. ප්‍රවාහනය කරගන්නට බැරිව ය. ඒ හාල් පමණක් මදි නිසා ය. ඒවා ප්‍රවාහනය කිරීමට තෙල් වුවමනා නිසා ය.

ආර්ථික අසමානතාවයට විකල්පය

සංවර්ධනය සඳහා ඒ තුළ ඇතිවන්නාවූ ආර්ථික ප්‍රතිලාභ අසමානව බෙදී යෑම ද ඉවසිය යුතු ය. වැඩියෙන් දක්ෂ වැඩියෙන් වැඩ කරන වැඩියෙන් ආයෝජනය කරන වැඩියෙන් අවදානම් ගෙන නව නිපැයුම් කරන අයට වැඩි ප්‍රතිලාභ හිමිවන්නේ නැත්නම් සංවර්ධනය ඉදිරියට යන්නේ නැත. මේ නිසා ඇති නැති පරතරය විශාල වන බව ඇත්ත ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නය ඇත්තේ එතැන ය. මේ ආර්ථික සංවර්ධනය තුළ ඇති නැති පරතරය ඉහවහා යන තත්වයක් ඇති වීම ය. එසේ කියන අය අමතක කරන කාරණය නම් ඇති නැති පරතරය ඉහළ ගිය ද නැති මිනිසාගේ ජිවන තත්වය ද ඉහළ ගොස් ඇති බව ය. වෙනදා නොතිබූ බොහෝ සම්පත් දුගී මිනිසුන් ද අයත් කර ගෙන ඇති බව ය. ඔවුන්ගේ ජීවන තත්වය ද ඉහළ ගොස් ඇති බව ය.

විකල්පය කුමක්  ද? ලාභ උපදවන ආයතන දිගින් දිගට බදු බර පටවා පෙරලා දැමීම ය. සිදු විය හැක්කේ කුමක් ද? මිනිසුන් ආයොජනයට උකටලී වීම ය. සංවර්ධනය ඇණ හිටීම ය.

මුල දී වුනේ කේක් එක ලොකු වීම ය. එහෙත් එය අසමානව බෙදීම නිසා කුඩා මිනිසුන්ට සාපේක්ෂව කුඩා කෑල්ලක් ලැබීම ය. දැන් සිදු ව ඇත්තේ කේක් එක පුංචි වීම ය. ලොකු මිනිසාගේ කෑල්ල ද වෙනදාට අඩු වූයේ නමුදු පොඩි මිනිසාගේ කෑල්ල ඔහුට කලින් ලබා ගත් කෑල්ලට ද වඩා බොහෝ සෙයින් අඩුව තිබීම ය.

ආයෝජන කරන මිනිසුන් ගන්නේ විශාල අවදානමකි. ඇතැම් විටක මුළු ආයෝජනයම වතුරේ යා හැකි ය. එසේත් කොට ලබන දෙයින් වැඩිමනත් කොටස බෙදා දීම සඳහා පැහැර ගනු ලැබෙන්නේ නම් ඔහු ද කැමති වනු ඇත්තේ නිකම් සිට කොටසක් ලබා ගැනීමට ය.

මෙයින් අදහස් කරනු ලබන්නේ ආර්ථික සංවර්ධනයෙන් බැහැර කරනු ලැබ ඇති මිනිසුන් නොසළකා හරින්නට නොවේ. ඔවුන් ද ඒ තුළට කැඳවා ගැනීමට සමාජය විසින් කටයුතු කළ යුතු ය. ඒ සඳහා රජය ද මැදිහත් විය යුතු ය. ඒ වෙනුවෙන් අවශ්‍ය වියදම් පියවා ගැනීමට රජය විසින් බදු ලබා ගත යුතු ය. එහෙත් ඒ ආයෝජකයන් අධෙර්යය කිරීම හරහා නොවේ. ඔවුන්ව ද මේ සමාජ සත්කාර්යයන්ට සහභාගී කර ගැනීම හරහා ය.

ආර්ථික සංවර්ධනයට දිරි දෙන බොහෝ රටවල් ඊට සමගාමීව එම සංවර්ධනයෙන් බැහැර කරනු ලබන ජනයා ද ඊට සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. එකක් රැකියාවක් සොයා ගන්නා තෙක් ඩෝල් එකක් ප්‍රදානය කිරීම ය. තවෙකක් වන්නේ නව රැකියාවකට අවශ්‍ය කුසලතා සම්පූර්ණ කර දීම ය. ප්‍රශ්නය ඇති නැති පරතරය ලෙස ඔවුන් දකින්නේ නැත. ඔවුන්ට අනුව ප්‍රශ්නය ජීවන මාර්ගයක් සඳහා සෑම කෙනෙකුට ම ඇති අයිතිය අහිමි විම ය. ඒ අයිතිය අවලංගු වූ තැනක ප්‍රමාණවත් වන්දියක් හිමි විය යුතුය යන කාරණය ය. නැවත එවැන්නක් ඇති කර ගැනීමට උපකාර විය යුතුය යන පැති කඩ ය.

සම අවස්ථා අහිමිවීම

ආයතනයක් තුළ දක්ෂයාට තැන දිය යුතු ය. ඔහුට උපරිම දායකත්වය ලබා දිය හැකි වටපිටාවක් සාදා දිය යුතු ය. එවැනි අය දුසිම් ගණනින් පහළ වන්නේ නැත. ඔවුන් ඇත්තේ ඇඟිලි ගණනිනි. එහෙම තැනක සැමට අවස්ථාව දිය යුතු යැයි කියමින් ඔවුන් පැත්තකට තල්ලු කර තැබීමේ තේරුමක් නැත.

එහෙත් ඒ තුළ සෙසු අයට වර්ධනය වීමට ඉඩක් නැත. මහා රූස්ස ගසක් වටින්නේ නමුදු ඒ යට කිසිදු පැලයකට ඉඩක් නැතිවාක් මෙන් ය.

රූස්ස ගස තිබෙන කම් හොඳ ය. ගැටළුව එය ඉදිරුණු දාට ය. ඒ තැන ගන්නට පැලයක් අවට පළාතකවත් නැත. අලුතින් පැල සිටුවා පටන් ගත්ත ද කලින් තිබුණු තත්වයට එන්නට තව සියවසක් වත් ගත වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ එවැනි රූස්ස ගස් යැයි හැඳින්විය හැකි දක්ෂයෝ සිටියෝ ය. විය යුතු පරිද්දෙන් ඔවුන්ට නිසි තැන ද ලබා දී තිබුනේ ය. ඔවුන් දක්ෂකම් දක්වා සෙසු ලොව ඉදිරියේ ශ්‍රී ලංකා නාමය දිගින් දිගට සටහන් කළෝ ය. එහෙත් ඒ සාමාජිකයන් කීප දෙනා ඉවත් ව ගිය පසු එ් තැන ගන්නට කිසිවෙකු පුහුණු වී, සූදානම් වී, සිටියේ  නැත.

එයින් කියන්නේ සම අවස්ථා නැතත් සෙසු අයට ද අවස්ථාව හිමි කර දිය යුතු බව ය. ඔවුන් ඉදිරියෙන් නැතත් පැත්තකින් වැඩීමට සැලැස්විය යුතු බව ය. උපාය මාර්ගික සළකා බැලීමක් තුළ ඔවුන් ද වරින් වර ඉදිරියට ගත යුතු බව ය.

ඔවුන්ට ලැබිය යුත්තේ සම අවස්ථා නොවේ. නිසි අවස්ථාවන් ය. එසේ නිසි අවස්ථාවන් නොලද නව සමාජිකයන්ට පළපුරුදු දක්ෂ සීමිත ටික දෙනා අයින් වූ පසු සිදු වන්නේ බාහිර අභියෝග ඉදිරියේ අසරණ වන්නට ය.

දැන් සිදු ව ඇත්තේ එහි අනෙත් පැත්ත ය. කිසිවෙකුට කණ්ඩායම තුළ සුරක්ෂිතතාවයක් නැත. කුඩා පසුබැසීමකින් ඔවුන් අයින් කරනු ලැබේ. ඒ නිසා ම ඔවුන්ට වැඩෙන්නට ඉඩක් නැත. සම අවස්ථා දීම සඳහා විවිධ අය විටින් විට හඳුන්වා දෙමින් තිබේ.

දෙකින් එකක් නොව දෙකම

මේ උදාහරණ හැම එකකින් ම පාහේ කියන්නේ දෙකින් එකක් වෙනුවට දෙකම තෝරාගැනීමේ වැදගත් කම ය. සංවර්ධනය හා පරිසරය එකට ගැනීමේ වැදගත් කම ය. ආර්ථික සංවර්ධනය හා නැති බැරි අය බලාගැනීමේ වගකීම යන දෙකම එකට ගැනීමේ වැදගත් කම ය. දක්ෂයාට තැන දීම සහ සැමට නිසි අවස්ථාව දීම යන දෙකෙහිම ඇති සමාන වැදගත් කම ය.

කළ යුත්තේ අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීමට එරෙහිව කැරලි ගැසීම නොවේ. ඊට සමගාමීව දුප්පත් දරුවන්ට ඉගෙනීම සඳහා ශිෂ්‍යත්වය හා ණය ආධාර ලබා දිය යුතු බවට උද්ඝෝෂණය කිරීම ය. ඒ තුළ ඇති වන තරඟය හමුවේ රාජ්‍ය අධ්‍යාපනික ආයතන ද ප්‍රතිසංස්කරණයන්ට භාජනය කිරීමට බල කිරීමය ය. රාජ්‍ය ආයතන ද ස්වාධීනව පවත්වා ගෙන යෑමට දිරි දිම ය. ඔවුන්ට ද නව අත්හදා බැලීම් කිරිමට ඉඩ හසර දීම ය.

කළ යුත්තේ සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමට එරෙහිව කැරලි ගැසීම නොවේ. ඊට සමගාමීව සුදුසු රක්ෂණ ක්‍රමයන් හඳුන්වා දීම ය. ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන ජන කොටස් සඳහා රජය රක්ෂණය වෙනුවෙන් දායකත්වයක් දැරීම ය. ඒ දායකත්වය ලබා දිමට කොන්දේසි පැනවීම ය. එසේ පනවන කොන්දේසි ඔස්සේ වඩා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට තැත් කිරීම ය. ඒ කොන්දේසි වලට අධික මත්පැන් පානය වැනි අයහපත් පුරුදුවලින් වියෝව ජීවත්වීම ද ඇතුළත් කිරීම ය. එවැනි අයට පමණක් රාජ්‍ය දායකත්වය ලබා දෙන බව වග බලා ගැනීම ය.

කළ යුත්තේ දුප්පත් මිනිසුන්ට සමෘද්ධිය දීම මගින් දුප්පත් කම දිගින් දිගට නඩත්තු කිරීම නොවේ. ඔවුන්ට ජීවනෝපායන් සපයා දීම මගින් ආර්ථිකව ශක්තිමත් කිරීම ය. ඒ සඳහා ගම තුළ නොව වඩා ඵලදායී රැකියා අවස්ථා සම්පාදනය කළ හැකි නගරය තුළ ප්‍රමාණවත් ආයෝජනයන් කිරීම ය. ඈත දුෂ්කර ගම්වලට පාලම් පාරවල් තනා ඉතා දිග කම්බිවැල් ඇද ඒ ඔස්සේ විදුලිය ඇතුළු නාගරික පහසුකම් සපයා දීම නොවේ. දැනටමත් සංවර්ධනය කර ඇති නගර තුළට මේ ගම් වැසියන් ගෙන්වා ගැනීම ය. ඒ සඳහා නගර තුළ සිරස් සංවර්ධනයන් ඇති කිරීම ය. එතරම් ඈත නොවන ගම් සමග වඩා ඵලදායී ආර්ථික සම්බන්ධකම් ගොඩ නගා ගැනීමට නගරයේ ව්‍යවාසකයින්ට දිරි දීම ය. එසේ කරන අයට බදු සහන දීම ය.

කළ යුත්තේ සියළු අකාර්යක්ෂම ක්‍රම වේදයන්ට හිලව්වට සහතික මිලක් දීම නොවේ. වෙළඳපොලේ මිලට අනුරූපව ලාභයක් ගත හැකි ලෙස කෘෂිකර්මය තුළ වඩා කාර්යක්ෂම ක්‍රම හා විධි හඳුන්වා දීම ය.

අප විසින් කළ යුත්තේ ක්‍රියාත්මක කළ නොහැකි සිහින දේශයක් ගොඩ නැගීම ගැන ලොකු කතා කියමින් කල් මැරීම නොවේ. ඒ සඳහා අපේ අතීතය තුළට මායාමය ලෙස එක් වීම ද නොවේ. මහ පොළොව මත ඇති යථාර්ථයන්ට අනුරූපව ගොඩ නැගිය හැකි දේශයක් ගැන සිහින මැවීම ය. ඒ සිහිනය යථාර්ථයක් කර ගැනීමට වැඩ කිරීම ය. ඒ සඳහා නව තාක්ෂණය කෙසේ යොදා ගත යුතු දැයි ලෝකය පීරමින් සෙවීම ය. ගැලපෙන තාක්ෂණ ක්‍රමවේදයන්, හැම නව දේ සම්බන්ධයෙන් ඇති හුඹස් බියෙන් තොරව, යොදා ගැනීම ය.

 

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න

කෙනෙකුගේ දුක තව කෙනෙකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබලෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයෙකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්‍යවරයෙකුට ,ද වශයෙන් වන මේ ලයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත් වන්නේ බලධාරී ඝනයට ය. මේ බලධාරීන් දෙපොලටම කරල පැහෙන්නේ මිනිසුන්ට ප්‍රශ්න තිබෙන්නේ නම් ය. මේ අයගේ කරල පැහෙන්නට ප්‍රශ්න තිබුනාට ම මදි ය. ඒවාට පහසුවෙන් පිළිතුරු ලබා ගත නොහැකි තත්වයක් ද ඒ සමගම තිබිය යුතු ය.

මිනිසුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට ආයතන කප්පරක් පිහිටා තිබේ. එහෙත් ඒවායේ හරි හමන් ක්‍රම වේද නැත. තිබුනත් ඒවා හරියට ක්‍රියාත්මක වන්නේ ද නැත. ක්‍රියාත්මක වෙතත් ඒවා නමා, එවා පසුකර, ඒවා වටේ යමින් වැඩ සිද්ධ වෙන වෙලාවල් ද එමට ය. ඒ නිසා මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට තිබෙන ආයතන නිසි විදිහට වැඩ කරන්නේ නැත. කාර්යක්ෂමව වැඩ කරන්නේ නැත. එක දවසක කරන විදිහට ඊළග දවසේ වැඩ කරන්නේ නැත. ඒ නිසා මිනිසුන් ළග පිළිතුරු නැති ප්‍රශ්න ගොඩ ගැහෙන්නේ ය.

පිළිතුරු නැති මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්නට, මේ ක්‍රමවේද කාර්යක්ෂම කරන්නට සමත්, ඇතැම් තැනක ඒවා නමන්නට සමත්, ඒවා හරහා හෝ වටේ යන්නට සමත්,  අතරමැදියන් අවශ්‍ය ය. මිනිසුන්ගේ පිහිටට බලධාරින්, ඒ කියන්නේ දේශපාලනඥයින් හා නිලධාරීන්, මැදිහත් වන්නේ ඒ අතරමැදියන් වශයෙන් ය. දැන් කල්ල මරේ ය. පද පෙරලිය අයින් කළොත් මල්ල කරේ ය. දැන් තියෙන්නේ මල්ලට එකතු කර ගන්නට ය.

ඇතැමෙකු එයින් චන්ද ද තවත් අය මුදල් ද තවත් අය බලය ද තවත් අය කම් සැප ඇතුළු වෙනත් නොයෙකුත් දේ ද වෙනත් වරප්‍රසාද ද ඒ හරහා එකතු කර ගන්නෝ ය. උපයන්නෝ ය.

අතරමැදියන් විවිධ ය

මේ අතරමැදියන් ගණන ප්‍රමාණයෙන් විශාල ය. මැති ඇමතිවරු පමණක්  නොව විරුද්ධ පක්ෂයේ නායක කාරකාදීහු ද මේ අතර වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නොව පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද ඔවුන් අතර සිටිති. ආණ්ඩුකාරවරු ද, අමාත්‍යංශ ලේකම් වරුද, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ද, ආයතන ප්‍රධානිහු ද අමතර වශයෙන් සිටිති. පොලීසිය ද හමුදාවේ ඉහළ නිලධාරීහු ද විගණන නිලධාරීහු ද කඩා පනින නිල හමුදා ද මේ අතර සිටිති. දේශපාලන අනුග්‍රහය ලැබෙන මැරයන් ද චණ්ඩින් ද වශයෙන් තව බොහෝ දෙනා ද මීට අයත් ය.

මේ අයගේ වුවමනා එපාකම් ඉටු කර දීම සඳහා තමනුත් බේරී ක්‍රමවේද හා නීතිය කෙසේ නැමිය යුතු දැයි සිතන්නට අප කී ආයතන වල වැඩ කරන මිනිසුන්ට සිදු ව තිබේ. එසේ නීතිය නමන අතරේ එසේ නැමූ නීතිය යටින් තමන්ගේම කෙනෙකු ද පාස් කර ගැනීමට ඔවුන්ට ඉඩක් ලැබේ. කල දුටු කල වල ඉහ ගන්නවා විනා කළුගලක ඔළුව ගසා ගැනීම තේරුමක් නැතැයි සිතන ඔවුන් ඒ අවස්ථාව භාවිතා නොකර අරින්නේ නැත. එය කෙසේ කළ යුතු දැයි කල්පනා කිරීමට දැන් ඔවුන්ට අමතරව සිදු ව තිබේ. ඒ නිසා ම ආයතනවල සාමාන්‍ය රාජකාරී ආයතනයේ න්‍යාය පත්‍රයේ අගට ම ගොස් තිබේ.

ක්‍රමවේදයන්ට පිටින් කරන වැඩ, ක්‍රමවේදයන් තුළ කෙරෙන වැඩ අභිබවන විට, ක්‍රමවේදයන් හරහා පිහිට ඉල්ලන සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න තව තවත් නොවිසඳී තිබෙයි. එහි වාසිය ද අවසානයේ අතරමැදියන්ට ය. ඒ අතරමැදියන්ගේ පිළිසරණ හැර වෙනත් මගක් නැතැයි මිනිසුන්ට පෙනී යන නිසා සෙසු මිනිසුන් ට ද අතරමැදියන්ගේ පිහිට පතන්නට වෙන නිසා ය.

ටික කලක් යන විට ක්‍රමවේද නැත්තට ම නැතිවෙයි. යමක් කරගන්නට නම් යා යුත්තේ අතරමැදියෙකු වෙත යන්න දැන් මිනිසුන් අතර තහවුරු වෙයි. කිසිවෙකු දැන් ක්‍රමවේද හදන්නැයි ඉල්ලන්නේ නැත. එසේ ඉල්ලුව ද ඒවා හදන්නට වුවමනා අය දැන් නැත. පුළුවන් අය ද නැත. වුවමනා පුළුවන් අය ද දැන් අලුත් රටාව තුළ හිරවී සිටින නිසා ඔවුන්ට කාලවේලාව ද නැත. ඉහළින් ලැබෙන අනුග්‍රහයක් ද නැත.

අතරමැදියාගේ නිල ආගමනය

ඒ නිසා ම දැන් ක්‍රියාත්මක වන නිල නොලත් ක්‍රමවේදයට අතරමැදියා ද ඇතුළත් ය. ටික කලකින් එය ලේඛන ගත වී නිල ක්‍රමවේදය බවට පත් වූ අවස්ථා ද ඇත.

රැකියාවල් දීමේ චිට් ක්‍රමය ආරම්භ වූයේ ඒ අනුව ය. ප්‍රාදේශීය ලේකම් තනතුරකට කෙනෙකු පත්වීමට පෙර අදාළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ නිර්දේශය අවශ්‍ය වූයේ ඒ අනුව ය. එසේ රැකියා සහ තනතුරු ලබා ගත් අයට ක්‍රමවේද හෝ නීතිය නැමිම සඳහා වෙනත් බාහිර පෙළඹවීම් ද අවශ්‍ය නොවී ය. ඔවුන් සිය වෘත්තීය ජිවිතය ආරම්භ කර තිබුනේ ද තිබුනු ක්‍රමයට පිටින් යාමෙන් නිසා ය. ලිඛීත නීතීන් පිටුපසට කළ අලිඛිත නීතීන්ට අනුව නිසා ය.

කලකට ඉහත අතරමැදියා සොයා ගැනීමට යාළු මිත්‍රකම් ඥාති හිතවත් කම් භාවිතා වූ බව ඇත්ත ය. ගමේ කෙනෙකු වීම, පාසැලේ ඉගෙන ගත් කෙනෙකු වීම, සරසවියේ මිත්‍රයෙකු වී,ම රාජකාරියේ සගයෙකු වීම, ඒ සඳහා එකල සෑහුනේ ය. එහෙත් දැන් දැන් වඩ වඩාත් මේ සඳහා අත පිරිමැදීමට සිදු ව තිබේ. කෙලින් කියනවා නම් අල්ලස් දීමට සිදු ව තිබේ.

අල්ලසත් මහ පුදුමාකාර දෙයකි. කීයක් දුන්නත් ලබන්නා සෑහීමකට පත් කිරිම ඉන් දුෂ්කර වන නිසා ය. ආරම්භය සියයට දහය ය. එය ක්‍රමයෙන් ඉහළ යන්නේ ජීවන වියදම ඉහළ යන්නා සේ ය. නැතිනම් සරුංගලයක් උඩු හුළගට අහුවුනා සේ ය. එය පසුගිය කාලයේ සියයට හතලිහක් තරමට ඉහළ ගිය බව කියැවිණි. අතරමැදියන් පුස් ඌරන්සේ ඉදිමෙන අතර උන්ගෙන් සේවය ලබන්නන් ඇට සැකිලි බවට පත් වන්නේ ඒ නිසා ය.

මෙසේ අල්ලස් දීමට සල්ලියක් ඉතිරි කර ගැනීමට ලෙව කා ඉතිරිවන පඩි පතෙන් නම් බැරි ය. කරන්නට තිබෙන්නේ අශ්වයෙකුගෙන් වාසනාව හොයන එක ය. ලොතරැයියක් සූරා වාසනාව සොයන එක ය. නැතිනම් ගෙයක් කඩන එක ය. මාලයක් උදුරා ගන්නා එක ය. ඒ මුකුත් නැතත් තමනුත් අල්ලස් ගැනීමට ඉදිරිපත් වීම ය.

තැලෙන්නේ පොඩි එකා ය

ඇතැම් තැනක තැලෙන්නේ සේවා සැලසීමට නියමිත ආයතනයේ කුඩා නිලධාරීන් ය. නැතිනම් සේවකයන් ය. ඒ කුමක් කරන්න දැයි නොදැන ය. පොලිස් පති තුමා චක්‍රලේඛන වලින් උපදෙස් දී ඇත්තේ වේග සීමාව ඉක්මවන අයත් ඉර කපන අයත් අල්ලන ලෙස ය. ඒ පොලීසියේ ලිඛිත ක්‍රමවේදයට අනුව ය. එම ක්‍රමවේදයට අනුව තරු පළඳින්නට නම් වැරදි කරුවන් ඇල්ලිය යුතු ය. එය එසේ වුව ද වැරදි තැනක් ඇල්ලූ විට පොලිස් නිලධාරියාට තරු පෙනෙන්නේ ය. තරු විසිවෙන්නට ගුටි කෑමට ලක් වන්නේ ය. ස්ථාන මාරු ලැබෙන්නේ ය.  වාහනයක් ගෙයක් ඇත්නම් ඒවා කුඩු වන්නේ ය. ක්‍රමවේදයම වුවමනා යැයි කියන විදුහල්පති වරුන්ට සිදුවන්නේ ගාල්ල අත්හැර තංගල්ලට යෑමට ය.

ඉහළ අණට කීකරු නොවී ක්‍රමවේදයටම ගරු කළොත් වෙන්නේ ඇබැද්දියකි. එසේ ගරු කොට ක්‍රමවේදය ඉක්මවුවහොත් වෙන්නේ ද ඇබැද්දියකි. ඒ විගණනයට අසුවෙලා ය. නැතිනම් ආණ්ඩු මාරුවකින් පසු මුල්‍ය අපරාධ කොට්ඨාෂයට අහුවෙලා ය. ඒ ගෙදර ගියොත් අඹු නසින මග හිටියොත් තෝ නසින තත්වයකි. කොහොමටත් මේ තත්වය යටතේ පොඩි එකා ඉන්නේ අමාරුවේ වැටෙන්නට ය. සේවය ලබා ගන්නා උන් ගානටම මේ සේවකයන් හා පහළ නිලධාරීන් ද කෙට්ටු වෙන්නේ ඒ නිසා ය.

සේවය ලබා ගන්නාගේ තත්වය ද අවිනිශ්චිත ය. ඇල්ලූ අතරමැදියා වැඩේ කරන තෙක් ඔහු ඉන්නේ නොඉවසිල්ලෙන් ය. ඇතැම් තැනක පඩුරු පාක්කුඩම් පිරි නැමීමෙන් පසුව ද ලැබෙන්නේ හුළං ය. ඔහු අල්ලන අතරමැදියාට වඩා තරගකරුවා අල්ලන අතරමැදියා ප්‍රබල නම් අතරමැදියා උත්සහ ගත්ත ද පළක් වෙන්නේ නැත. ඒ ප්‍රාදේශීය ලේකම්ට උඩින් ආණ්ඩුකාරයා ඉන්නා නිසා  ය.

ඒ දෙගොල්ලන්නට ම, ඒ කියන්නේ මේ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන පහළ සේවකයන්ට හා සේවා ලාභී ජනතාවට, එහෙම වෙලාවක කරන්නට තිබෙන්නේ කේන්දරේ බලා ගන්නා එක ය. නැතිනම් පන්සලක, පල්ලියක, කෝවිලක, දේවාලයක පිහිට පතන එක ය. ඒවායින් ද වැඩක් වේද යන්න වෙනම කාරණයකි. ඉතිරි ව ඇත්තේ පිදුරු ගහක් නම් මැරෙන්නට යන මිනිහා එහි වුව ද එල්ලීම සාධාරණ ය. ඒ නිසාම මේ මිත්‍යා ව්‍යාපාරිකයන්ට ද මේ තත්වය යටතේ හොද්ද බොර ය.

රටට සිදු වන අලාභය

මෙයින් ලොකුම අලාභය සිදුවන්නේ රටට ය. ඒ කියන්නේ අඩුවැඩි වශයෙන් සමස්ථ හුදී ජනයාට ය. ඒ ක්‍රමවේදයන්ට පිටුපාන විට ප්‍රමුඛත්වය බොහෝ විට හිමිවන්නේ අනවශ්‍ය දේට වීම නිසා ය. ආයෝජන කරන්නේ මිනිසුන් යන්නේ එන්නේ නැති පාරවල්වලට නිසා ය. සංවර්ධනය කරන්නේ අහස්යානා එන්නේ නැති ගුවන් තොටුපලවල් හා නැව් එන්නේ නැති වරායවල් නිසා ය. තනතුරු හිමි වන්නේ නුසුදුස්සාට නිසා ය. පවුලේ උදවියට නිසා ය. නීති කැඩුවේ වුව ද ඉන් නිදහස් වන දේශපාලනඥයින් ද උන්ගේ දරුවන් ද දිගින් දිගට ම ඉර කඩමින් වේග සීමා ඉක්මවමින් ජනතාව යට කරමින් තම රථ ධාවනය කරන නිසා ය. සරණ සොයා යන දූ දරුවන් කාන්තාවන් අපයෝජනය වන නිසා ය. වෙන දහසකුත් එකක් නොපනත් කම් බියෙන් සැකෙන් තොරව කෙ‍ෙරන නිසා ය.

මේ තත්වය යටතේ වැඩ කරන්නට ඉන්නා නිලධාරීන් හා සේවකයන් ද අවිනිශ්චිතව, අසරණව, අනාථව ඉන්නා නිසා වැඩ වෙන කවදාටත් වඩා පමා වී තිබේ. ඔවුන්ට තිබෙන බරපතළ ම ප්‍රශ්නය වන්නේ කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් දැයි අඳුනා ගැනීමට මේ තත්වය යටතේ නොහැකි වීම ය. ක්‍රමවේදය තුළ තිබෙන්නේ එකකි. ඉහළින් එන අණ තවත් එකකි. මේ උකටලී බව මග හැරිම සඳහා විසඳුම ලෙස බොහෝ තැනක යොදා ගෙන තිබෙන්නේ රැස්විම් ය. ප්‍රගති සමාලෝචන රැස්විම්  ය.

මේ රැස්වීම් වල බොහෝ විට කෙරෙන්නේ සමාවට කාරණා විමසිම හා ඉදිරිපත් කිරීම ය. තීරණයක් ගැනීමට බොහෝ දෙනෙකු පසුබාන නිසා රැස්වීම් බොහෝ විට අවසන් වන්නේ ප්‍රතිඵලයකින් තොරව ය. කළ හැකි වැඩක් කිරීමට පවා තිබෙන කාලය කා දමමින් ය. මේ අවිනිශ්චිතතාවය මග හැරිය හැකි නීති ප්‍රතිපත්ති ක්‍රමවේද කෙසේ සකස් කළ යුතු ද යන්න පිළිබඳ කතාකිරීම නම් හිතා මතාම බොහෝ දෙනෙකු මග හරින්නේ ය. එවැනි සාකච්ඡාවක් කවරෙකු හෝ ආරම්භ කළත් බොහෝ අය ඒ දෙස උපහාසයෙන් බලනු දැකිය හැකි ය. ඒ නොකෙරෙන දේ ගැන කතා කිරිම ද කාලය කා දැමිමක් යන සාධාරණ හැගීමෙන් ද විය හැකි ය. එවැනි සාකච්ඡාවක් තුළ බොහෝ විට ඒවා මෙහෙ බෑ මචං කියා සගයෙකුට රහසේ කියන කතාවක් ද හොඳින් කණ් යොමු කළොත් ඇසිය හැකි ය.

සිය දිවි නසා ගැනීමකි

බොහෝ ආයතනවල ක්‍රමවේද නැවත සකස් කරන්නේ නම් ද තියෙන ක්‍රමවේද ද අළු ගසා නැවත අලුත් කර ගන්නේ නම් ද ප්‍රශ්න මෙසේ ඔඩු දිවීම නතර කළ හැකි ය. එහෙත් දේශපාලනඥයින් ඇතුළු බලධාරීන්ට එය සිය දිවි නසා ගැනීමකි. එසේ කළ විට මුලින්ම සිදු වන්නේ තමන්ගේ සරණ පතා එන මිනිසුන්ගේ ගණන අඩු වීම ය. ඒ තුළ තම බල පරාක්‍රමය අහෝසි වී යෑම ය. පොදුවේ රටට හෝ සමස්ථ ජනතාවට විනා තනි තනි පුද්ගලයන්ට තවදුරටත් දිය හැකි එහෙමකට සේවයක් නොමැති වීම ය. ඒ නිසා ම කීයක් හරි හොයා ගන්නට තියෙන අවස්ථාව අහිමි වී යෑම ය.

අවශ්‍ය ගංවතුර නැති කිරීම නොවේ. ගංවතුර ඇති වූ විට බෝට්ටු සපයා කෑම බීම සපයා ලකුණු දමා ගැනීම ය. චන්ද ලැබෙන්නේ ගංවතුරේ අනුහසිනි. එය නැති කිරීම ඒ නිසා සිය දිවි නසා ගැනීමකි.

කොළඹ නගරයේ අප ජල පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වනවා නම් එහෙම එකක් තියෙනවා දැයි මිනිසුන්ට දැන ගන්නට විදිහක් නැත. අවශ්‍ය එය වරින් වර උතුරා ගොස් ඒ සඳහා යම් මැදිහත් වීමක් කිරීමට ඉඩක් ඇති වීම ය. එවිට එවැන්නක් තියෙනවා පමණක් නොව නාගරික මන්ත්‍රීවරු කියා පිරිසක් ඉන්නා බව ද මිනිස්සු දැන ගන්නෝ ය.

අවශ්‍ය වන්නේ රැකියා සඳහා ක්‍රම වේදයක් ඇති කිරීම නොවේ. ඒ රැකියා දීම ක්‍රමවේදයකින් තොරව කිරීම ය. උස නම් මේ රැකියාවය මිටි නම් අහවල් එක යැයි කියා පෝලිමේ එන චන්ද දායකයන්ට විශේෂයෙන් ගෝල බාලයින්ට සිම්පල් ක්‍රමයකට රැකියා බෙදිය හැක්කේ එවිට ය. රහසින් අල්ලස් ගෙන රැකියා පිදිය හැක්කේ එවිට ය. දණ ගසා වැඳ පත් වීම් ලිපි ගන්නට රැකියා ලාභීන් පවා ඉදිරිපත් වන්නේ එවිට ය.

චන්ද අහිමි කරන වැඩකි

මීට අමතරව නිසි ක්‍රමවේද සකස්  කිරීම චන්ද අහිමි කරවන වැඩකි.

පොදු ප්‍රවාහනය සේවය වැඩි දියුණු කළොත් දැනට ත්‍රී වීලර් එලවන මල්ලිලාගේ චන්දය අහිමි වන්නේ ය. පොදු ප්‍රවාහනයේ හිර වී යන අය ඒ තුළ තම තමන්ගේ වෙනත් ඕනෑ කම් පිරිමසා ගන්නා තාක් ලොකුවට බණින එකක් නැත. බැන්නත් චන්දය නොදී අරින එකක් නැත. එහෙම යන්න බැරි කෙනෙකුට තියෙන්නේ ත්‍රීවීලර් එකකින් යෑමට ය. එහෙත් ත්‍රී වීලර් රස්සාව නැති කළොත් ඒ මල්ලිලාට කන්න වෙන්නේ වහ ය. එතකොට අහිමි වන්නේ චන්දය ය.

රිය අනතුරු බහුල තැනක කැමරා සවි කොට රථවාහන නීති කඩකරන්නන්ට දඩ කොළ ස්වයංක්‍රීයව නිකුත් කරන ක්‍රමවේදයක් සකස් කළ හැකි ය. එවිට නැතිවන්නේ කීයක් හරි හරිහම්බ කරගන්නට අවස්ථාව නැති වීමෙන් උරන විය හැකි පොලිස් නිලධාරීන්ගේ චන්ද ය.

කුඩා දරුවන්ට හිරිහැර වන පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ හැකි ය. එවිට අහිමිවන්නේ මේ වන විට අතිශයින් ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති ශිෂ්‍යත්ව බිස්නස් එකෙහි නිරත වන අයගේ චන්ද ය. ලොකු පාසලකට තම දරුවා ඒ නිසා දා ගන්නට නොහැකි වූයේ යැයි තැවෙන දෙමාපියන්ගේ චන්ද ය.

විසඳුම කුමක් ද?

විසඳුම වන්නේ ක්‍රමවේද නමා ඒවා වටා ගොස් අපේ ප්‍රශ්නය පමණක් විසඳා ගැනීමට ඉදිරිපත් නොවී ක්‍රමවේද ස්ථාපනය කරන ලෙස බලධාරීන්ට බල කිරීම ය. ක්‍රමවේද විනාශ කොට ඒ මත බාල් නටන දේශපාලනඥයින් පිළිකෙව් කිරීම ය. ක්‍රමවේද නැවත ස්ථාපනය කරන ලෙස නිලධාරීන්ට බල කිරීම ය.

ඒ සඳහා ප්‍රශ්නය තේරුම් ගැනීම අවශ්‍ය ය. එහි නියම ස්වරූපයෙන් එය තේරුම් ගැනීම අවශ්‍ය ය. පුද්ගලික හදිසි උත්තරයක් නොව පොදු දිගුකාලීන විසඳුමක් ඊට විසඳුම් වශයෙන් පැතිය යුතු ය.

අල්ලසක් දී තමන්ගේ ප්‍රශ්නයෙන් ගොඩ එන තරම්, බස් නැතිනම් කාර් එකක්, මෝටර් සයිකලයක්, ත්‍රීවීලරයක් ගන්නා තරම් ඒ වැඩය පහසු නැත. එහෙත් කළ යුතු දේ නොකර මේ අලවන පැලැස්තර වලින් වෙන සෙතක් නැත. හෙට අනිද්දා වනවිට අපට පාරේ යන්නට සිදු වන්නේ කුමන වාහනයක ගියත් පයින් යන වේගයෙනි. සෙසු ප්‍රශ්නවලට ද අප මේ ගන්නා පුද්ගලික විසඳුම් අවසානයේ නවතින්නේ එබඳු තැනක ය.

අපේ සහ රටේ අවාසනාවට බොහෝ දෙනෙකුට මේ ඇති වී තිබෙන තත්වය වත් එය අප සියල්ලන් අර ගෙන යන තත්වය පිළිබඳවත් වගේ වගක් නැත. ඔවුහු එදිනෙදා ජීවනය අරගලය තුළ තම ප්‍රශ්න වලට පැලැස්තර ඇලවීමේ තරගයක යෙදී සිටිති.

රටට නායකයෙක් අවශ්‍ය මේ බව නොබියව කීමට ය. තිත්ත ඇත්ත එලියට දැමීමට ය. ප්‍රශ්නය එවැන්නෙක් ඉදිරිපත් වුව ද ඔහු / ඇය කියන දේ අසන්නට එම පණිවුඩය තේරුම් ගන්නට සමත් මිනිසුන් රට තුළ ඉතිරිව ඇද්ද යන්න ය. ඒ මේ බව තේරුම් ගත් බොහෝ දෙනෙකු පැදුරටත් නොකියා රට හැර ගොස් ඇති නිසා ය. පුළුපුළුවන් අය ඔවුන් අනුගමනය කිරීමට නියමිත නිසා ය. නොයන්නට තීරණය කර ඇති බුද්ධිමතුන්ගේ කාර්යය මේ පණිවුඩය සෙසු අය සමග බෙදා ගැනීම ය.

සතර අගතිය හරහා අගාධයට

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/06/03/Untitled-1.jpg2145.jpg

ලෝභය, ද්වේශය, බිය හා මෝහය නිසා අප අගතියට පත් වන්නේ යැයි කීවේ බුදුන් වහන්සේ ය. අද රට දෙස බැලූ විට පෙනෙන්නේ මේ කරුණු හතර නිසා අගතියට ගොසින් නොනැවතී අගාධයකට ම අප තල්ලු වී ඇති බව ය.

අපට අවශ්‍ය ලොකු කුට්ටියකි. එය කවරෙකු විසින් හෝ උදුරා ගෙන ඇතැයි හැගීමක් අප බොහෝ දෙනෙකුට තිබේ. එය නැවත දිනා ගැනීම, මේ දිනවල කෙරෙන සංග්‍රාමයේ එක් අරමුණකි. ඒවා අතර වැඩිපුර ඇත්තේ ව්‍යාපාරික අරමුණු ය. කැපී පෙනෙන්නේ පාරිභෝගිකයන් දිනා ගැනීමේ සටන ය. මේ සටනට ව්‍යාපාරිකයන්ට අමතරව ඇතැම් වෛද්‍යවරුන් ද එක්ව සිටින්නේ තමන්ගේ පාරිභෝගිකයන් ද ඒ හරහා දිනා ගැනීමේ අභිප්‍රායෙනි.

මේ ගැන මූණූ පොතේ පළ වී තිබුණු පහත සටහන සියල්ල හකුලා දක්වන්නේ ය. “වෛද්‍යවරයකුට එරෙහිව පැමිණිලි 4000 ක් ලැබිය යුතු නැත. එක් පැමිණිල්ලක් ඔප්පු වීම ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. එහෙත් අප සැම අවබෝධ කරගත යුතු සත්‍යය නම් සමහරුන් විසින් මේ වෛද්‍යවරයාගේ හිස ඉල්ලා සිටිනු ලැබුවත් තවමත් එකම එක පැමිණිල්ලක් වත් ඔප්පු වී නැති බවය. අප දන්නා නීතියේ හැටියට කෙනෙකු වැරදිකාරයකු හැටියට ඔප්පුවන තුරු ඔහු නිවැරදි කරුවකු ලෙස සැලකිය යුතුය. එහෙත් මේ වන විටත් සමහරුන් විසින් චෝදනා ඉදිරිපත් කර, නඩු අසා, දඬුවම් ද නියම කර හමාරය. නැවත පිළියම් කළ නොහැකි ලෙස එක් පුද්ගලයකුගේ වෘත්තීය ජීවිතය විනාශ කොට හමාරය.” එහි වාසිය ඇත්තේ ඔහු හා තරඟ කරන සෙසු වෛද්‍යවරුන්ට ය.

මේ ගෙනියන සටන හලාල් සටනේ ම තව අදියරකි. ඒ සඳහා වැඩිමනත් ලෙස යොදා ගැනෙන්නේ සිංහලයන් තුළ වඳ භාවය ඇති කරන්නේය යන බිය ය. තිසර පට වල ජෙල් පිළිබඳ කතා ගොතන්නේ ඒ සඳහා ය. විකුණන ආහාර වල වඳ පෙති අසුවුනේය කියන්නේ ඒ සඳහා ය. වඳ පුලුන් යොදා සැදූ සනීපාරක්ශක තුවා, වඳ බෙහෙත් දැමූ කෑම, වඳ ගුලි දැමූ මොටර් සයිකල් සහ කාර් සීට්, වඳ තුනපහ වර්ග ඇතුළු කප්පරක් උප්පරවැට්ටි ඒ සඳහා ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙනදා මේවා විශ්වාස නොකළ අය ද විශ්වාස කරන නිසා දැන් හොද්ද බොර ය.

මේ කිසිවක් ඔප්පු වී නැති වා පමණක් කරන ලද පරික්ෂණ වල ප්‍රතිඵලවලින් ද එවැන්නක සළකුණක් වත් හමු වී නැත. ජෙල් යොදා තැනූ තිසර පට ගැන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් තිබුනේ ඒවායේ ශරීරයට අහිතකර කිසිවක් නැති බව ය. ප්‍රශ්නය, පරික්ෂණ කර නිගමනයකට එනතුරු කල් බැලීමටවත් අපට උපේක්ෂාවක් නැති වීම ය. පරික්ෂණ ප්‍රතිඵල නිකුත් වුව ද ඒ පිළිබඳ වගේ වගක් නැතිව මුල් ප්‍රවෘත්තියම රස කර කර කීම ය.

බයෙන් නතර කළ නොහැකි වූ පාරිභෝගිකයන් නවත්වන්නට ඒ දවස්වල එල්ල වූ කුණු බිත්තර ප්‍රහාරයන් ද අමතරව නැවතත් කරලියට පැමිණ තිබේ. ඊට අමතරව කලින් මෙන්ම සටනේ පතාක යෝධයන් ලෙස චීවරධාරීන් පෙනී සිටිනු ද පෙනේ. පදියතලාවේ කඩයකට පැන ජවුසම් නටා මිනිසුන් එලවා දැමූවේත් කඩ අයිතිකාරයාට තර්ජනය කළේත් එවැනි චීවරධාරියෙකි.

පාරිභෝගිකයන් ඉවත් කිරීමට අමතරව ප්‍රතිවාදීන් හොඳින් හෝ නරකින් ගිනි තියා හෝ අඩම්තේට්ටම් කර හෝ එලවා ගැනීමේ සටනක් ද ඇත්තේ ය. එතැන ඇත්තේ ද පට්ට ලෝභය ය. එය දවටා ඇත්තේ ජාති ප්‍රේමයෙන් නිසා තේරුම් ගැනීම ඇතැමෙකුට අමාරු ය. අනෙත් අතට මේ අතිශය නින්දිත ව්‍යාපාරික වුවමනාව පිළිබඳ කතාව ඇත්ත වුව ද එය තිත්ත නිසා මග හැර යෑම හොඳ ය. වැඩි දෙනෙකු ඉන්නේ එතැන නිසා එය ඇඟටත් හොඳ ය. නැත්නම් සිදු වනු ඇත්තේ අපේ ජාතකය ගැන තොරතුරු, අප ගැන නොදන්නා කෙනෙකුගෙන් ලුණු ඇඹුල් ඇතිව, අහගන්නට ය. ඒ ලෝභයේ කතාව ය. ඊළගට ඇත්තේ ද්වේශයේ කතාව ය.

ලෝභය හා බිය සමග අත්වැල් බැඳගත් ද්වේශය

වට පිටාවේම ඇත්තේ ද්වේශය ය. එය සුපේක්ෂශීලී භික්ෂුන්ගෙන් ද ප්‍රකාශයට පත් වන විට එහි ජුගුප්සාජනක බව විශාල ය. ගිනි ගෙන ඇත්තේ මුස්ලිම් කඩ සාප්පු පමණක් නොවේ. ඊට මිනිසුන්ගේ හදවත් ද ඇතුළත් ය. ඒ හදවත් දැවෙන්නේ වෛරයේ ගිනි දැල් වලිනි. විහිදෙන වදන් වලින් ද ඒ තුළ කැකෑරෙන භයානක හඩින් ද නින්නාද වෙන්නේ ද්වේශය ය.

ඒ ගිනි දැල් නිවන්නට අද බුදු කෙනෙකු නැත. ඒ සඳහා බුදු දහම මදි ය. සංඝයාට නම් කොහොමටත් බැරි ය. අද දවසේ බොහෝ සංඝයාට කළ හැක්කේ එය වැඩි දියුණු කිරීමට තෙල් සැපයීම පමණ ය. බුදුන් වහන්සේ පැමිණිය ද පැත්තකට වී වැඩක් බලා ගන්නා ලෙස කියන්නට ඉදිරිපත් වන පිරිස විශාල ය.

මේ පිටුපස ඇති අනෙත් කාරණය නම් බය ය. තමන් නැති වෙතැයි යන බය ය. තමන්ට කෙළ වෙතැයි යන බය ය. තමන් සුළුතරය වෙතැයි යන බය ය. එදාට මේ අද කරන දේ පොලියත් සමග ලැබේ යැයි යන බය ය.

ජාතියක් හැටියටම අප බොහෝ දෙයට බය ය. හොල්මන්වලට බය ය. කළු පූසන්ට බය ය. හූනෙක් අඩනවාට බය ය. ග්‍රහ තාරකා වලට බය ය. ලබන ආත්මයේ කවරෙකු වී ඉපදේදැයි බය ය. ළමුන් අයාලේ යතැයි බය ය. ගෑණුන් පිට යතැයි බය ය. සංස්කෘතිය විනාශ වෙතැයි බය ය. ආගම නැති වෙතැයි බය ය. සදාචාරය සෝදා පාළු වෙතැයි බය ය. කුමන්ත්‍රණයක් කර රට කවුරුන් හෝ අල්ලා ගනිතැයි බය ය. ඒ බයට තවත් බයක් එකතු කර ගැනීමට ඒ නිසා අපට දෙවරක් හිතන්නට අවශ්‍ය නැත.

එහෙම බැලුවහම කඩු දැක්කහම බය වෙන එක සාධාරණ ය. ඒවා තණකොළ කපන්නට ගෙනා බවට මෝඩ උත්තර බඳින විට බය දෙගුණ තෙගුණ වීම ද සාධාරණ ය. එහෙත් බියෙන් අගතියට යෑමෙන් වැඩක් වන්නේ නැත. එයින් සිහිය විකල්වී සියල්ල අනා ගැනීම සම්බන්ධයෙන්, ඒ කිසිදු කතාවකින්, සමාව ලැබෙන්නේ නැත.

මේ ලිපියෙන් කියන්නේ සැකය අත් හල යුතු බව නොවේ. සැකය පරීක්ෂාවකට මග සැලසිය යුතු බව මිසක නිගමනයකට පැන පිස්සු කෙලීමකට හේතු නොවිය යුතු බව ය. රෑ කෙසෙල් අත්තක් සෙල වුනු විට හොල්මනක් යැයි සිතා හූ තියමින් දුවන්නේ නැතිව එලියක් අල්ලා බැලිය යුුතු බව ය. මිනිසුන්ට දඩුවම් නියම කිරීමට පෙර සාක්කි විමසා විනිශ්චයකට පැමිණිය යුතු බව ය.

මෝහය ද ඒ සමග ය

බියේ නිවුන් සොහොයුරා මෝහය ය. ඒ මෝහය තමන් කරන වැඩය නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල ගැන සිතන්නේ නැත. තීන්දුවක් ගැනීමට පෙර තවදුරටත් කල්පනා කළ යුතු යැයි එයට දැනෙන්නේ නැත. එය මුහුණ සමග තරහ වී නහය කපා ගන්නේ ය. එය බලන්නේ ළඟ ය. එයට දුර පෙනෙන්නේ නැත. එය රස කර කර බොන්නේ වස ය.

අප අතර ඇති මේ මෝහය කොතරම් ද යන්න මේ දිනවල මහ ඉහළින් ප්‍රදර්ශනය වන්නේ ය. අන්තවාදය තනි කරනු වෙනුවට අද බොහෝ දේශප්‍රේමීන් කරන්නේ එය තව තවත් පෝෂණය කිරීම ය. අහිංසක මිනිසුන්ට ද වද දී ඔවුන් ද අන්තවාදීන්ගේ ගොඩටම තල්ලු කර දැමීම ය. ඒ තුළ ද්වේශය ද ලෝභය ද බිය ද සමග, හරි හරියට, මරිමුස් මෝඩකම ද අඩුවක් නැතිව ප්‍රදර්ශනය කිරීම ය.

මෝහය අනුන්ගේ අන්තවාදය දකින්නට ද තමන්ගේ අන්තවාදය නොදකින්නට ද හේතුවක් වන්නේ ය. ඒ මෝහය අපව එක දිසාවකට අන්ධ කරනු ලබන නිසා ය. බෝම්බයෙන් මැරුණ මිනිසුන් ගැන කම්පා වෙන සිත වයඹ පළාතේ කඩුවෙන් කපා කොට මරා දමන ලද මුස්ලිම් මිනිසුන් ඉදිරියේ ගල් වෙන්නේ ඒ නිසා ය. මුස්ලිම් පල්ලියේ ඝෝසාව දරා ගන්නට බැරි බොහෝ දෙනා පන්සලේ “සද්ද පූජා“ ඉදිරියේ ගොළු වන්නේ ඒ නිසා ය.

අන්තවාදය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පමණක් නොව හරි වැරැද්ද ඇතුළු තව බොහෝ දේ සම්බන්ධයෙන් ද එය සත්‍යය ය. සිය දිවි නසාගත් බෝම්බ කරුවන් ද අපේ දරුවන් යැයි දීපානි සිල්වා කලාකාරිනිය කියන විට පරල වන බොහෝ අය එය ම ඥානසාර ස්වාමීන් වහන්සේ වැඩ වදාරණ කල නෑසූ කණ් ඇතිව ඉන්නේ ඒ නිසා ය. තමන්ගේ පාර්ශවයේ කෙනෙකු වැරදි කරුවෙකු ලෙස හංවඩු ගසන විට ප්‍රමාණවත් සාක්කි ඉල්ලා සිටින අය වෙනත් පාර්ශවයක චුදිතයකු සාක්කි නොවිමසා ම දංගෙඩියට යවන්නේ ඒ නිසා ය.

මෝඩ මිනිසුන්ට ළග මිස දුර පෙනෙන්නේ නැත. මුස්ලිම් කඩ වර්ජනය කරන්නට යෝජනා කරන මිනිසාට අප තෙල් ගේන්නේ මුස්ලිම් රටවලින් බව පේන්නේ නැත. අන්තවාදීන්ට අවශ්‍ය මුදල් එන්නේ හන්දියේ නානාගේ කඩෙන් නොව සවුදි අරාබියෙන් හෝ වෙනත් එවැනි රටක අන්තවාදීන්ගෙන් බව ද ඔවුහු ඒ සමගම අමතක කර දමන්නෝ ය. තෙල් නැති වුන දවසකට අපට යන්න වෙන්නේ හොම්බෙන් ය. බඩ ගින්න නිවාගන්නට නොහැකි ව අපට ලත වන්නට සිදු වන්නේ අම්පාරේත් පොළොන්නරුවේත් හාල් තියා ගෙන ය. අද දවසේ අප උපයන විදෙස් මුදල් වැඩිපුරම එන්නේ මැද පෙරදිග රැකියා කරන මිනිසුන්ගෙන් බවවත් ඔවුන්ගේ සැළකිල්ලට හසු වන්නේ නැත. අප කිසිවෙකුට, කිසිම ජාතියකට හෝ රටකට, වත්මන් ලෝකයේ, තනිවම ජීවත් විය නොහැකිය යන්න මේ මෝහයෙන් පෙළෙන මිනිසාට වැටහෙන්නේ නැත.

මුස්ලිම් කඩ ගිනි තැබීම නිසා ද වර්ජනය කරනු ලබන නිසා ද ජීවන මාර්ගයක් අහිමි වන මිනිසාට පිහිටට එනු ඇත්තේ අන්තවාදීන් විසින් සැපයීමට නියමිත මුදල් බවත් අවසානයේ අප අහිංසක මුස්ලිම් ජනතාව තල්ලු කර දමන්නේ අංගුලිමාලලාගේ ගොඩට බවත් තේරෙන්නේ නැත. අන්තවාදීන් ආණ්ඩු මට්ටුකිරීම ඔවුන් විසින් පටලාගනු ලැබ තිබෙන්නේ මුස්ලිම් මිනිසුන් ආණ්ඩු මට්ටු කිරීම සමග ය. මේ දෙක එකක් නොව දෙකක් බව ඔවුන්ගේ කුඩා මොළයට වැටහෙන්නේ නැත.

කපටි කම නොහොත් බොරුවට නිදා ගැනීම

මෝඩකම නැති තැන ඇත්තේ කපටි කම ය. බොර දියේ මාළු බෑමට ඇති වුවමනාව ය. ඌරන් කැකුණ තලන විට රජමගුල් වෙන්නේ හබන් කුකුළන්ට ය. ඒ නිසා අන්තවාදීන්ගේ ගිණුමට බැර කොට, ඔවුන් මර්දනය කිරීමේ ගිණුමට බැර කොට, ස්වාර්ථ සාධනයේ යෙදෙන්නන්ගේ ද අඩුවක් අපට නැත. එතැන මෝහය වෙනුවට ඇත්තේ ලෝභය ය. ව්‍යාපාරිකයන්ට අමතරව මේ සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්නේ දේශපාලනඥයන් ය. කපටි ආරක්ෂකයියන් ය.

බොහෝ විට අප අතරමං කරන්නේ, හැසිරීමට හේතුව මෝඩකම ද නැතිනම් කපටිකම ද යන්න, තේරුම් ගැනීමට ඇති දුෂ්කරතාවය ය. එයට හේතුව, උත්පත්ති සාධකය කුමක් වුව ද පෙන්නුම් කරන්නේ එකම හැසිරීම වීම ය. හැසිරීමට බලපෑවේ මෝඩකම නම් එය ඉවත් කිරීමට යම් උත්සහයක් කළ හැකි ය. එහෙත් එය කපටිකම නම් අපට සිදුවන්නේ කාලය නාස්ති කර ගැනීමට ය. ඇත්තට නිදා ගෙන ඉන්නා තැනැත්තා නැගිට්ටවිය හැකි වුව ද බොරුවට නිදා ගෙන ඉන්නා තැනැත්තා නැගිට්ටවීම අමාරු ය. කපටි ආරක්ෂකයන් වැඩි දෙනෙක් නිදා සිටින්නේ බොරුවට ය.

අපේ ඇතැම් සතුරන් පරාජය කිරීම පහසු ය. විශේෂයෙන් අප මේ මොහොතේ බිය වී දඟලන සතුරන් පරාජය කිරීම පහසු ය. එයට අවශ්‍ය වන්නේ ඔවුන් කල් තියා හඳුනා ගැනීම ය. ඒ සඳහා අපට අවශ්‍ය ශක්තිමත් ආයතන පද්ධතියක් හා තාක්ෂණය ය. දැනටමත් ඒවායේ අනුබලය ලැබ අපි උන් හඳුනා ගනිමින් සිටිමු. එහෙත් සැබෑ ලෙස භයානක සතුරන් නම්, පරාජය කිරීමට අපහසු, අප ඉහත සඳහන් කළ සතර අගතීන් ය. ඒවා හඳුනාගැනීමට අපහසු ය. ඒවා පවතින්නේ අප අභ්‍යන්තරයෙහි නිසා ය. ඒවා ඇති කරන හානිය තීරණාත්මක වුව ද සියුම් නිසා ය. එයට දිය හැකි ළගම උපමාව පිළිකාව ය.

පිළිකාව ඔඩු දුවන්නේ අපට හොරා ය. මුල් වකවානුවේ අපට වේදනාවක් හෝ දැනෙන්නේ නැත. අතරින් පතර ශරීරය ඇගවීමක් කළ ද අප ඒ ඇගවීම් ගණන් ගන්නේ ද නැත. බොහෝ අවස්ථාවල දැන ගන්නා විට ඔඩු දුවා අවසන් ය. අපව කුලප්පු කරන මේ සතර අගතිය ද එවැන්නකි. එය භයානක රෝගයක් බව අපට දැනෙන්නේ නැත. ඒ, මේ අලකලංචි අස්සේ ම, අපේ ජීවිතය සාමාන්‍ය ලෙස තවමත් ගෙවී යන නිසා ය. එහෙත් අපේ පදනම පොළොව යටින් හෑරෙමින් ඇත්තේ ය. හිටි හැටියේ අප ඇදගෙන වැටෙන තුරු අපට සිහිය එළඹෙන පාටක් නැත.

පළමු කෝච්චිය වැරදුනේ දෙමළ ජනයා සමග අරෝවක් ඇති කර ගෙන යුද්ධයක පැටලී සිටි නිසා ය. දැන් දෙවැනි කෝච්චිය වැරදෙන්නට යන්නේ මුස්ලිම් ජනයා සමග ආරෝවක් පටලවා ගැනීම නිසා ය. මේ දෙකට ම අප ව උසි ගන්වනු ලැබුවේ පිළිවෙලින් දෙමල හා මුස්ලිම් අන්තවාදය යයි කියා අපට ගැලවිය හැකි ද? එසේ කළ හැක්කේ මෝඩ කමින් ද උද්දච්ඡ කමින් ද පෙළෙන මිනිසෙකුට පමණකි. උන් උසි ගැන්වූ පමණින් පරල වන්නට අප බල්ලන් නොවන බව සතර අගතියෙන් පරල වූ මිනිසුන්ට තේරෙන්නේ නැත. බුදු දහමින් සැබෑ ලෙස සංයමයට පත් කරනු ලැබ ඇති මිනිසෙකුට නම් එසේ වගකීම තව කෙනෙකුට පවරා නිදහස් විය නොහැකි ය. අපව පාලනය කර ගැනීමට අපට නොහැකි නම්, අප මිනිසුන් සේ නැතිව, බල්ලන් සේ උසි ගැන්වීමකට ප්‍රතිචාර දක්වන්නේ නම්, එහි වැරැද්ද අපගේ ය. සතර අගතියෙන් පෙළෙන අප ගේ ය.

බුදු දහම තිබෙන්නේ අවි දරා ආරක්ෂා කර ගැනීමට නොවේ. බුදු දහම තිබෙන්නේ ආරක්ෂා කාරී මගකට අපට පිවිසීමට අවශ්‍ය සංවරය හදා ගැනීමට ය. අපේ ඇතුළාන්තය සකස් කර ගැනීම මගින් සෙසු අය මෙල්ල කර ගැනීමට ය. ඔවුන්ට බලපෑමක් කිරීමට ය. එහෙම නොකර සතර අගතියෙන් පරල වන අයට කිව යුත්තේ උන්ට බුදු දහමෙන් නම් පලක් නොවන බව ය. ඒ නිසා එය රැක ගැනීමට උන් කරන්නා වූ උත්සහයන් සියල්ල නිශ්ඵල බව ය. ගඟට කපන ඉණි බව ය. ඒ වෙනුවට සතර අගතිය පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීම් නැවත පරිහරණය කර බලන ලෙස ය. ඊනියා සංඝයාගේ සරණ වෙනුවට, අබ සරණ වෙනුවට, බුදු දහමේ සරණ සොයන ලෙස ය.

සතර අගතිය බුදු දහමේ ඉගැන්වීමක් වුව ඊට සමාන ඉගැන්වීම් අනිත් ආගම් වල ද ඇතුවාට සැක නැත. ඒ නැතිවා වුව ද මේ දැනුම සාමාන්‍ය දැනුමක් සේ සළකා අපට අනුගමනය කළ හැකි ය. සතර අගතියෙන් ඈත් වුවහොත් මිසක, මේ නාරාවලෙන් ගොඩ යා හැකි මගක් මට නම් පෙනෙන්නේ නැත.