බුදු හාමුදුරුවන්ට ලියුම් කරදාසියක්

somawathie
ඔබ වහන්සේට මෙසේ ලියන්නට හිතුනේ ඔබ වහන්සේ සෝමාවතී චෛත්‍ය අහසට වී කොකම් පානා බවට කණ වැටුනු ආරංචියක් නිසා ය. ආරංචියක් කිව්වට එය ආරංචියකට වඩා එකක් බව මුලින්ම කිව යුතු ය. ඒ ඔබ වහන්සේටවත් එසේ නොවේ යැයි කියන්නට බැරි ලෙස එය කැමරා කාචයක සටහන් වී තිබුණු නිසා ය. මට ඒ පින්තූරය දැක ගන්නට හැකි වුනේ මූණු පොතේ මේ දිනවල හරි හරියට එය සැරිසරණ නිසා ය.

සමහරු නම් කියන්නේ ඕක ෆොටෝ ෂොප් කියා ය. මම නම් ඒ කීම විශ්වාස කරන්නේ නැත. බෞද්ධයෙකු කිසි දා බොරු කරන්නේ නැත. තමන්ගේ ආගමේ අභිවෘද්ධිය පතා වත් එසේ කරන්නේ නැත. තෙරුවන් සරණ ගිය පන්සිල් ගත් කෙනෙකු බොරුවක් කරනවායැයි කීමම පාපයකි. අන්‍ය ආගමිකයෙක් කළා වන්නට බැරිදැයි අහන අය ද සිටිති. එහෙත් මූණු පොතේ මේ රූපය උඩ පැන පැන ප්‍රචාරය කරන්නේ අමු බෞද්ධයින් බැවින් එහෙම යැයි හිත හදා ගන්නට ද බැරි ය.

තරහ අවසර, ඔබ වහන්සේ පිරිනිවන් පෑවා යැයි කීවත් මට දැන් ඒ ගැන ඇත්තේ විචිකච්ඡාවකි. පිරිනිවන් පෑ කෙනෙක් මෙසේ පෙළහර දක්වන්නේ කෙසේ ද?

එක අතකට මේ පෙළහර පෑම අද ඊයේ සිදු වූවක් ම නොවේ. ධාතු එළි පතුරවමින් ඔබේ සිරුරේ පිරිනිවන් පෑ කොටස් කොකුම් පාන්නේ අද ඊයේ නොවේ. වැඩිපුරමත් මිනිසුන් ඒ දැක ඇත්තේ කෙම්මුර දිනවල ය. ඔබේ දන්ත ධාතුව එළියට ගත් පමණින් වැසි වසින්නේ ද මේ බව ලොවටම කියමිනි. වැසි වැස්සවීමට යම් බලයක් ඇත්නම් ලෝකයේ නියං සායෙන් පෙළෙන පෙදෙසක දී ඔබේ ප්‍රතිහාර්යය පාන්නේ නම් මම අගය කරමි. ඒ නුවරට වතුරෙන් ඒ හැටි අහේනියක් නැති නිසා ය.

මට ඇති ඊළග ප්‍රශ්නය තරමක් ගැඹුරු ය. ඔබ වහන්සේ ජීවත්ව සිටියදීත් පෙළහර පෑම ගැන දැරුවේ උදාසීන අදහසකි. එසේ නොකරන ලෙස භික්ෂූන්ට උපදෙස් දුන් බවට ද කතා එමට ය. එහෙව් ඔබ පිරිනිවන් පෑ පසු මේ දක්වන පෙළහරේ අරුත කුමක් ද?

ඔබ වහන්සේ සතු යම් ප්‍රතිහාර්යයක් තිබේ නම් අසරණ ලෙස මිය ගිය සේයා දැරිය වෙනුවෙන් එය ක්‍රියාත්මක නොවුනේ මන්ද? සෝමාවතී චෛත්‍යයට ඔබ වහන්සේගේ විශේෂ ලැදියාවක් නිසා එය ඇසුරේ ඉන්නවාවත් ද? මා මෙසේ අසන්නේ මීට පෙරද සෝමාවතී චෛත්‍ය ළග ඔබ සැරි සරන බවට කට කතා පැතිර ගොස් තිබුනු නිසා ය. එය එසේ නම් ජීවත්ව සිටි කල නොතිබූ තෘෂ්ණාවක් පිරිනිවන් පෑමෙන් පසු මතු වී යැයි කෙනෙකු හිත්නනට පුළුවන.
නිකම් වත් ඔබ වහන්සේට කොටකෙතන පැත්තට වඩින්නට නොහිතුනේ ඇයි ද? බැරිවෙලාවත් සෝමාවතී අහසේ පෙනී සිටි ලෙස ඔබ කහවත්තේ හෝ කොටකෙතන පෙනී සිටියා නම් අංගුලිමාලයා තම ගොදුර අතැර ඔබවහන්සේගේ ඒ රුවට වැඳ නමස්කාර කරනවා සහතික ය.

ඔබ වහන්සේ ජීවත්ව සිටියදී අංගුලිමාල දමනය කළ ලෙසට මේ කහවත්ත කොටකෙතන අංගුලිමාලයාව දමනය කරන්නට පිරිනිවන් පෑමෙන් පසු ඉතිරිව ඇති ඔබේ මේ ශක්තිය නොයොදන්නේ මන්ද?

අඩු වශයෙන් එකල සිදූ වූවාක් මෙන් මේ අපරාධකරුවන් පොළොව පැලී නිරයට නොගෙන යන්නේ මන්ද? ලෝක පාලක දෙවියන් ඉදිරියේ පෙනී සිට ඒ ගැන ඇහැව්වොත් මොකද?

ඔබ වහන්සේ පිරිනිවන් පෑවේ නැත්නම් මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දෙන බව මම දනිමි. එහෙත් පිරිනිවන් පෑමෙන් පසු ඉතිරි වී ඇති යම් බලයක් තිබේ නම් ඒ බලය පාවිච්චි කොට මේ අසරණ ගැත්තාට අනුකම්පාවෙන් මේ ලියුම් කරදහියට මොකක් හෝ ලියා එව්වොත් ඔබ වහන්සේට පින් ය.

ඒ මක්නිසා ද යත් ඔබ වහන්සේගේ ගෝලයින්ට මේ වගේ ප්‍රශ්න යොමු කළොත් අහගන්න වෙන්නේ කුණුහරුප විතරක් බැවිනි.

ආදරණීය “කලං“ නැවතත් මුණ ගැසීම

රිදී තිරය බැබලු බොහෝ නළුවන් සිටිය හ. ගාමිණි ෆොන්සේකා විජය කුමරණතුංග රවීන්ද්‍ර රන්දෙනිය වැනි ඒ නළුවන් අතර නළුවන් දෙදෙනෙකු මට වඩාත් ළගින් දැනුනේ ය. එක් අයෙක් ජෝ අබේවික්‍රම ය. අනෙකා අමරසිරි කලංසූරිය ය.

ඒ ගාමිණි හෝ විජය හෝ වෙනත් එවැනි දැවැන්ත චරිත අඩුවෙන් තක්සේරු කළ නිසා නොවේ. ඔවුන් අපට වීරයන් වුවාට ඔවුන් අපේ නොවී ය. එහෙත් ජෝ හෝ කලං එසේ නොවේ. කුමක්දෝ කිව නොහෙන කිට්ටු බවක් ඒ චරිත ද්වයේ තිබුනේ ය.

නැවත හිතා බැලූ විට ඒ ඥාතිත්වයේ පදනම අනුමාන කළ හැකි ය. ජෝ අප දුටු ගැමියා ය. කලං අපේ නාගරිකයා ය. ජෝ අපේ සාඩම්බර එහෙත් නිවුනු අතීතය ය. කලං අපට නැති ශක්තිය ද උකහා ගෙන අපට මුහුණ දීමට සිදුව තිබූ අපේ අවිනිශ්චිත අනාගතය ය. තරුණ වියේ අප ඒ දෙදෙනා වෙන් කරගෙන අප වෙත කිට්ටු කර ගත්තේ ඒ ලෙස ය. අඩු වශයෙන් තුංමං හංදිය හා අහස්ගව්ව තිරගත වූ ඒ සමයේ තරුණ වියේ පසු වූ අපට දැනුනේ එ ලෙස ය.

අමරසිරි කලංසූරිය මුලින්ම තිරයේ දුටු දා සිට දැනුනු මේ කිට්ටුවන්ත භාවය ඔහුගේ ඇඳුමේ හැසිරීමේ කටහඩේ යන සියල්ලේ තිබුනේ ය.

කලං රිදී තිරයේ මෑතක දී දක්නට නොලැබිණි. ඔහු කුමක් නිසා එසේ ඉවත් කරනු ලැබ තිබේ දැයි හිතුනු වාර ද අපමණ ය.

කලං ඉන්පසුව හමුවන්නේ සුජිත් ලක්මාල් වීරසේකර විසින් රචිත “කලං“ කියවූ විට ය.

පොත අතට ගෙන වාඩි වූ මා නැවත හුනස්නෙන් නැගිට්ටේ පොත කියවා හමාර කළ පසු ය. ඒ කලං ගේ චරිතය නිසා ද සුජිත්ගේ ලේඛන කලාව ද යන්න තේරුම් ගත නොහැකිව තවත් මිනිත්තු කීපයක් ඒ අසුනේම රැඳ සිටීමෙන් ද පසු ය.

පොත කියවන විට දැනුනේ අප හද දිනූ කලං ගැන අප දත් දෙයක් නැති බව ය. ඔහුගේ රංගනය මුවහත් කල රංග පීඨය ගැන අප කිසිවක්ම දැන නොසිටි බව ය.

නිරායාසයෙන් මතු වූ රංගනය පිටුපස තිබු අතීත කතාව අප වරෙක විමතියට ද වරෙක කම්පාවට ද පත් කළේ ය. තවත් වරෙක එය අප තුළ සියුම් සංවේගයක් ද තවත් විටෙක බුර බුරා නැගෙන කෝපය ද ඇති කළේ ය.

ඔහු ආ මග කටුක යැයි කීම ඒ මග හෑල්ලුවට ලක් කිරීමකි. ඔහුට මගක් නොවී ය. ඔහු මග තමන් විසින්ම එළිපෙහෙලි කර හදා වඩා ගත්තේ ය. එය අවුරන්නට කටයුතු කළ සමහර දෙනා මැඩ ඉදිරියට යාමටත් සමහර දෙනා මග හැර මග වෙනස් කර ගැනීමටත් කලංට හැකි නොවන්නට කලං අද ජීවතුන් අතර නැතැයි හිතෙන ජවනිකා රැසකින් ද එය සමන්විත ය.

කෘතියේ කිසි තැනක පල් හෑලි හෝ දීර්ඝ විස්තර නැත. හැම දෙයක් ම සංක්ෂිප්ත ය. එහෙත් කෙටි විස්තරය ප්‍රබල ය. බොහෝ දේ එක වචනයක එක වාක්‍යයක ගොනු කිරීමට කර්තෘ සමත්ව තිබේ.

කර්තෘගේ මේ ශෛලිය ඔහුටම ආවේණික වුවක් විය හැකි ය. මෙතරම් ප්‍රබල කම්පනයක් කෙටි මැදිහත්වීමකින් කරන්නට සමත් ලේඛකයන් විරල ය. සුජිත් ද එවැන්නෙකි. කලං තරමටම සුජිත්ගේ “කලං“ පොත ද අපට සමීප වන්නේ එහෙයිනි.

කලං අප දැක ඇත්තේ මතුපිටින් පමණකි. අයිස් කන්දක පිට පෙනෙන කොටස මෙනි. එදා දුටු මතු පිට පවා මහා විශ්ව කර්මයෙකුගේ නිර්මාණයක් ලෙසින් අපි දුටුවෙමු. සුජිත් ඒ මහා අයිස් කන්දේ සාගරයෙන් වැසී තිබු කොටස ද අප ඉදිරියේ දිග හරියි.

දැන් අපට කලං නම් අපේ රිදී තිරයේ හිතවතා දෙස තවත් හිතේෂීව බැලිය හැකි ය. ඒ අවස්ථාව උදාකර දීම ගැන සුජිත්ට නොවක් තුති.