සමන්ත භද්‍ර හිමියන් වැඩ වසන වීඩියෝව

අපේ මිනිස්සු රැස් වළලු වලට කැමති ය. වරෙක පන්සල්වල බුදු රැස් විහිදෙනවා බලන්නට වැල නොකැඩී ආ සෙනගින් පෙන්නුම් කළේ ඒ අහිංසක ආසාව ය. ඉරාජ්ගේ වීඩියෝව තුළ ඒ ආසාව මුදුන් පමුණුවා ගැනීමේ අවස්ථාව නැවතත් අපට ලබා දී තිබේ. එය ම සතුටු වීමට කාරණයකි.

ඒ එසේ මෙසේසමන්ත භද්‍ර චරිතයක් හරහා නොවේ. දැනට රහතන් වහන්සේ කෙනෙකු ලෙස අභිෂේක කර ඇති වඩාත්ම ආන්දෝලානාත්මක හිමි නමක් වන සමන්ත භද්‍ර හිමියන් හරහා ය. නිකම් පිළිමයකට නොව ලේ මස් ඇති හිමි නමකගේ රැස් වළල්ලක් වීම ම වාසනාවකැයි සැළකිය හැකි ය. එය රහත් ලේබලය අලවා ඇති කෙනෙකු වීම ම මුවගට සාදු නාදයක් මතු කිරීමේ ලා සමත් ය.

ඔය අතරේ තව අපූරු දෙයක් ඇත. අපේ මිනිසුන් ලිංගික රූප බැලීමට ආසා ය. ගුගල් සෙවුම් යන්ත්‍රය තුළ සෙක්ස් වචනය භාවිතා කරමින් වඩාත්ම සෙවීම් වාර්ථාවන්නේ ලංකාවෙනි. ඒ වුනත් ඒවා බැලීමට හැම කෙනෙකුටම හිත හදා ගැනීමට බැරි ය. ඒ තමන් ද සංකර මිනිසුන් ගණනට පහතට වැටෙතැයි යන වරදකාරී හැගීම ඊට හරස් වන නිසා ය. සසර කළකිරවන වීඩීයෝ පටයක් තුළින් වැඩි ආටෝපයක් නැතිව ලිංගික දර්ශනයක් බලා ගන්නට ලැබෙන්නේ නම් එය කලාතුරකින් පමණක් පහල වන වාසනාවකි. මේ වීඩියෝ පටය තුළින් බෞද්ධ ආලෝකයක් යට තම ආසාවන් සන්තර්පනය කර ගැනීමේ ඉඩ ලැබේ. ඒ නිසා ඉරාජ්ට බැණ බැණ කීපවරක් මේ වීඩියෝ පටය බැලිය හැකි ය.

අප විශ්වාස කිරීමට කැමති තව එකක් තිබේ. ඒ මුස්ලිම් මිනිසුන් සිංහල ස්ත්‍රීන් වඳ කිරීමට බලා සිටිනවා යන්න ය. ඒ සම්බන්ධයෙන් විවිධ තොරතුරු පතුරුවා හරින අපට දැන් මේ වීඩියෝව හරහා ඊට රූපරාමුවක් ද ලැබී ඇත. ඒ දොස්තර අබ්දුල් රෂීක් හරහා ය. ඔහු ගබ්සාවක් විනාශ කරන අයුරු අමු අමුවේ දැක්වෙන දර්ශන ද ඊට ඇතුළත් ය. ඔබ නම හඳුනනවා නම් ඒ බුදුන් මිනී මස් වැළඳුවා යයි ප්‍රකාශ කරන අන්තවාදී මුස්ලිම් මිනිසෙකුගේ නම බව පෙනෙනවා ඇත.

තවත් කාරණයක් තිබේ. සල්ලි ඇති මිනිසුන් සමග විසඳා ගන්නට අපූරු ගනුදෙනුවක් අපට ඇත. උන් සල්ලි බලයෙන් ඉගෙන ගනිති. ඒ සියලු මාන්නක්කාරයින්ගේ පව් එකතු වු තැන සයිටම් ය.  ඉතින් අබ්දුල් රෂීක්ගේ සයිටන් සුදුසුකම පෙන්වන නාම පුවරුව හරහා උන්ට ද  ටොක්කක් ඇනීමට අපට හැකි ය.

මේ නැගල යන සියල්ල සමග මේ වීඩියෝව නම් නැගලාම යනු ඇත.

කුණු බැණුම් කියමින් නරඹන අය විසින් මෙය ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙකු නරඹන වීඩියෝව බවට පත් කරනු ඇතැයි නිශ්චය ලෙස ම කිව හැකි ය (කේන්දර කාරයින්ට කල්ල මරේ කර ගැනීමට මේ අනාවැකිය බය නැතිව භාවිතා කළ හැකි ය.)

ඉරාජ් වැඩ කාරයෙකි. සමන්ත භද්‍ර ද ඔහුට දෙවැනි නැත.

තමන්ට වැඩ සලසන හාමුදුරුවනුත් ගොඩ දා තමන්ටත් ගොඩ විය හැකි මාර්ගයක් ඉරාජ් විසින් සොයා ගෙන තිබේ. දඹුලුත් වැඳගෙන තලගොයිත් මරාගෙන පුරුදු අපේ මිනිසුන්ට මේවාත් වැඩ දැයි සිතුනේ වීඩියෝව බලා අවසානයේ ය.