ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නොදන්නා ළමා ආරක්ෂණය

See the source image

ළමයින්ගේ ආරක්ෂණයේ දී වැදගත් ම කාර්යයක් වන්නේ ලිංගික අපයෝජනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීම ය. ඒ එවැනි අත්දැකීම් ඉතාමත් දැඩි ව ඔවුන්ගේ අනාගතයට බලපාන නිසා ය. එතැනින් නොනැවතී සමාජයට ද එහි අතිරික්තයන් උතුරා යන නිසා ය.

මේ ගැන කරන ලද පර්යේෂණයන්ගෙන් පෙනී යන වැදගත් ම කාරණය නම් ඔවුන් අපයෝජනයට ලක් වන්නේ ඔවුන්ගේ ම ආරක්ෂකයන් අතින් බව ය. ඒ අතර සොයුරි සොයුරියන් ද මාමලා බාප්පලා ද ගුරුවර ගුරුවරියන් ද පූජකයන් ද ඇත. ඒ බොහෝ අවස්ථාවල එවැනි අයගේ ඉලක්කයන්ට අසු වීමට එක හේතුවක් නම් ඔවුන් ව විශ්වාස කිරීම ය.

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව කියා ගැලවෙන්නට කාට හැකි වුවත් ළමා ආරක්ෂණ අධිකාරියට නම් බැරි ය. මක් නිසා ද යත් ඔවුන් වැටුප් ලබන්නේ ද ආයතයට අදාළ සෙසු පිරිවැය දරන්නේ ද ළමයින්ගේ ආරක්ෂාවේ නාමයෙන් බැවිනි.

මෙයින් ළමුන් ගලවා ගත හැක්කේ ඔවුන්ට දැනුම දීමෙනි. ඔවුන් දැනුවත් කිරීමෙනි. ඒ සඳහා ලිංගික අධ්‍යාපනය අනිවාර්යය වෙයි. එහෙත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය දකින්නේ ම කුණුහරුපයක් හැටියට ය. ඉතා සංයමයකින් ලියා ඇති “හතේ පොත” භික්ෂූන් වහන්සේලා කීප නමක් එකතු වී අධ්‍යාපනයෙන් අයින් කරනු ලබන්නේ එය කුණුහරුපයක් බව කියමිනි. එහෙත් සුදුසු විකල්පය කුමක් දැයි ඒ උන්නාන්සේලා පමණක් නොව වෙන කිසිවෙකු හෝ කියන්නේ නැත.

ළමුන් බලාත්මක නොකර ඔවුන් මේ උගුලෙන් ගලවා ගැනීම අපහසු ය. එහෙත් භික්ෂූන්ගේ විරෝධය මාධ්‍යයේ මෙය අකුලා ගත් පසු කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ බවට ආරංචියක් ද නැත.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් මෑතක දී පවත්වනු ලැබූ online සාකච්ඡාවක දී මේ ප්‍රශ්නය මම මතු කළෙමි. මා ඇසූ එක් ප්‍රශ්නයක් වූයේ හතේ පොත තහනම් කිරීම මගින් ළමුන් බලාත්මක කිරීමේ කටයුත්තට වැටුනු බාධකය සම්බන්ධයෙන් අධිකාරිය කුමක් කරන්නේ ද යන්න ය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති තුමා ඒ ගැන දුන්නේ පුදුම උපදවන ප්‍රතිචාරයකි. ඔහු කියා සිටියේ හතේ පන්තියේ උගන්නා දියණියක් ඒ පොත හඳුන්වා දී ඇත්තේ කුණුහරුප පොතක් ලෙසින් බව තමාට වාර්තා වී ඇති බව ය. එවැන්නක් වෙනුවෙන් පෙනී සිටීමේ අමාරු කම ඔහු එසේ අනියමින් දක්වා සිටියේ ය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය බව ඔහු පිළිගත්තත් අනිත් සියලු ඉලක්කයන් ගැන කාල වකවානු දුන් ඔහු ලිංගික අධ්‍යාපනය ගැන කාල වකවානු හෝ අධිකාරියේ ඉලක්කයන් ඍජුව කියා සිටියේ නැත. ඔහු එය මග හැරියේ ය.

මට ඔහුගේ කතාවෙන් ඇති වූ මූලික ම ප්‍රශ්නය දියණියගේ උත්තරය ඔහු බාර ගත් හැටි ය. ඒ දියණියගේ උත්තරය හරහා අපට කිනම් නිගමනයක් බැස ගත හැකි ද? එය ඇගේ ප්‍රකාශනයක් ද? කවුරු හෝ ඇයට කී දෙයක් ද? රූපවාහිනියේ භික්ෂූන් වහන්සේලා විසින් කියල ලද්දක් ඇය ප්‍රතිරාවය කරනවා වත් ද? ඇය එසේ කියන්නේ කුණුහරුප පිළිබඳව වැටහීමක් ඇති ව ද? එවැනි ප්‍රකාශයක් කිරීමට හේතුව විය හැක්කේ ඇයට කුණුහරුප පිළිබඳ අල්ප මාත්‍රයක දැනුමක් නැති නිසා ද? ලිංගිකත්වය මහා නරක දෙයක් ලෙස ඇය අසා ඇති නිසා ද?

එහෙත් එවැනි විපරමකට නොගිය සභාපති තුමා තීරණය කර ඇත්තේ ඒ දියණියගේ ප්‍රකාශය නිසා ම එය සැබැවින් ම කුණුහරුප පොතක් විය යුතු බව ය.

ඇත්තට ම එක් අතකට එතුමා අසරණ ය. මේ රටේ වැඩ කෙරෙන්නේ භික්ෂූන් වහන්සේලා කියන විදිහට ය. එසේ මැදිහත් වන භික්ෂූන් වහන්සේලා නොදන්නේ ආගම ධර්මය පමණකි. උන් වහන්සේ අන් සියලු දේ සම්බන්ධයෙන් විද්වතුන් ය. දියණියගේ කතාව ඔහු අපට කියන්නට ඇත්තේ අපව හගිස්සවන්නට පමණක් විය හැකි ය. අපට අනුව නම් ආගම හරහට සිට ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාවට ය. ලිංගික දැනුමක් නොමැති  දරුවෙකු පහසුවෙන් තමන්ගේ ම හිතවතෙකුගේ ම ගොදුරක් වීමේ ඉඩ හසරක් තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දරුවන් වෙනුවෙන් සැබැවින් පෙනී සිටින්නේ නම් මෙවැනි අදූරදර්ශී ආගමික මැදිහත් වීම් වලට ද අභියෝග කළ යුතු ය. එහෙත් රජයේ නිලධාරියෙකුගෙන් එවැනි හැසිරීමක් අපට මේ කාල වකවානුවේ අපේක්ෂා කළ නොහැකි ය.

මා තවදුරටත් කීවේ ආගම කුඩා දරුවන්ගේ ආරක්ෂාවට තවත් ආකාරයන්ගෙන් ද නරක ලෙස මැදිහත් වී ඇති බව ත් ළමා ආරක්ෂණ අධිකාරය ඒවා සම්බන්ධයෙන් පියවර ගත යුතු බවත් ය. එකක් කුඩා ළමුන් මහණ කිරීම හරහා ඔවුන්ගේ ළමා දිවිය ඔවුන්ගෙන් උදුරා ගැනීම සම්බන්ධයෙන් ය. දෙවැන්න ඒ ළමා කොල්ලයට ම ළමා විවාහය පිළිබඳ මුස්ලිම් විවාහ නීතිය යටතේ ඉඩ සළසා දීම සම්බන්ධයෙන් ය.

මෙවැනි විශාල කපොලු තිබිය දී කුඩා හිල් වැහීමෙන් වැඩක් නැති බව, නස්රුදින් යතුර නැති වුනු තැන එය නොසොයා එලිය තියෙන තැනක් බලා එය සෙවීම වැනි යැයි කියමින්, ඒත්තු ගන්වන්නට උත්සහ කළ නමුත් එය ළමා මහණ කිරීම් සම්බන්ධයෙන් නම් සාර්ථක වූයේ නැත. ඒ රාහුල කුමරුන් නිසා ය.

බෞද්ධ සාහිත්‍ය පදනම් කරගෙන තීන්දු තීරණ ගන්නා මිනිසුන්ට පදවි තානාන්තර ලැබුනු විට ඔවුන්ගේ මහාචාර්ය පට්ටම් වලින් ද වැඩක් නැති බව පෙන්වන හොඳම උදාහරණය ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ සභාපති තුමා ය.

මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් නම් පනතක් සකස් කර ඇතැයි ඔහු කීවේ ය. එය ද හතේ පොත මෙන් අතර මග දී නතර නොවනු ඇතැයි හිතන්නට අපේ ඉතිහාසය අපට ඉඩ දෙන්නේ නැත. ආරම්භ කරන ලද බොහෝ යහපත් දේ සංස්ථාපිත ආගමේ මැදිහත් වීමෙන් අතුරුදහන් කරන ලද නිසා ය.   

මෙවැනි රටක දරුවන් ආරක්ෂා කරන්නට සමත් අභීත අධිකාරියක් මෑතක දී පහළ වෙන එකක් නැත. එවන් අධිකාරයකට පහසුකම් සලසන ආණ්ඩුවක් ද ඇතිවන එකක් නැත. එතෙක් ළමයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ හැක්කේ අපට පුළුවන් විදිහට ඒ සඳහා පෞද්ගලික ව මැදිහත් වීම පමණ ය.

පරාක්‍රම සමූද්‍රයේ වෝකින් ට්‍රැක් එක

පරාක්‍රම සමූද්‍රයේ බැම්ම මතින් ඇවිදින මං තීරුවක් දැමීමට කටයුතු කොරෝනා සංචරණ සීමා මැද්දේ ම ලහි ලහියේ ආරම්භ කර තිබේ. මේ ගැන පක්ෂව ද විපක්ෂව ද කරුණු ඉදිරිපත් කෙරෙමින් තිබේ. ඉහත සටහනෙන් දැක්වෙන්නේ ඒ පිළිබඳව දක්වන මහජන විරෝධයේ ස්වභාවයයි.

ඒ ගැන විමසුමක් කරන කෙනෙකුට සළකා බැලීමට පැති කීපයක් ඇත. එකක් මේ මංතීරුව ඉදිකිරීමේ දී පරාක්‍රම සමූද්‍රයේ බැම්මට හානියක් සිදු වේ ද යන්න ය. දෙවැන්න මේ ඉදිකිරීම මගින් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති වැවක ඒ වටිනාකමට බලපෑමක් වන්නේ ද යන්න ය. තෙවැන්න ඒ මගින් visual pollution ද්‍රෘෂ්‍ය දූෂණයක් සිදු වන්නේ ද යන්න ය. සිව් වැන්න එවැන්නක් ඉදිකිරිමට මෙය වෙලාව ද යන්න ය.

පළමු පැත්ත – බැම්මට ඉන් හානියක් සිදු වේ ද යන්න තීරණය වන කාරණා කීපයක් තිබේ. එකක් මේ ඉදිකිරීම සිදු කිරිම සඳහා රලපනාව ඉවත් කර අතරවාරයේ ජල මට්ටම වැඩි වී සුළං සහිත කාල ගුණයක් ඇති වුවහොත් වැව් බැම්ම සේදී යෑමේ ඉඩක් තිබීම ය. දෙවැන්න මේ සඳහා කරන කටයුතු නිසි ගුණාත්මක භාවයෙන් සිදු නොකරතොත් රළපනාව නැවත දැමීමේ කාර්යය හරිහැටි සිදු නොවී කලින් කී ආකාරයේ හානියක් වීමේ ඉඩ කඩක් තිබීම ය. එවැනි ආකාරයේ සියුම් කාර්යයක් නිසි ලෙස කිරීමට වෙනත් තැනක මං තීරුවක් සැදීමට යන වියදමට වඩා විශාල මුදලක් වැය වීම ය. මං තීරුවක් ‌සෑදීමේ අදහස නරක නැත. එහෙත් ඒ සඳහා ජාතික සංකේතයක් පරදුවට තබා විශාල මුදලක් වැය කොට ඉදිකිරීමෙන් ලැබෙන ප්‍රතිලා්‍භය සාධාරණීකරණය වන්නේ දැයි ද අප විසින් විමසිය යුතු ව තිබේ.  

දෙවැනි පැත්ත – පරාක්‍රම සමූද්‍රය තවත් එක වැවක් නොව්. එය ශත වර්ෂ ගණනාවක් පැරණි කෞතුක වටිනාකමක් ඇති වැවකි. ජාතික සංකේතයකි. පැරණි රජවරුන් කළ වැව් අතර රජු ලෙස සැළකිය හැකි වන්නේ මේ වැව ය. සාමාන්‍ය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වල පවා සිදු කරන වෙනස් කම් ඒ වටිනාකමට හානියක් නොවන සේ සිදු කළ යුතු ය. නාගරික වටපිටාවක ඔබ්බන ඉන්ටර්ලොකින් ගඩොල් මගින් එවැනි හානියක් සිදු නොවන්නේ ද යන්න මේ පැත්ත විමසන කෙනෙකුට මතු වන ගැටළුව ය. ගාලු කොටුවේ ‌නවීන පන්නයේ ගොඩනැගිලි ඉදිකිරීමට අවසර නොදෙන්නේ ද සමාන හේතුවක් නිසා ය.

තුන්වෙනි පැත්ත – පරාක්‍රම සමූද්‍රය පැරණි ශිෂ්ඨාචාරයක් ද සිහි කරන සේ පවත්වා ගෙන යෑමට මෙයින් බාධාවක් වනවාට අමතරව වෙල් යාය ජල ධාරාව කඳු නිම්න මතින් දිස් වන රූපයට මේ ඉන්ටර්ලොකින් ගල් අවහිරයක් නොවන්නේ ද ඒ මගින් ද්‍රෘෂ්‍ය දුෂණයක් ඇති නොවන්නේ ද යන්න තුන්වෙනි පැත්ත යටතේ විමසිය යුතු ය.

සිව් වෙනි පැත්ත – ඒ සියල්ල පැත්තකින් තිබිය දී රටට මුදල් නැතැයි හඩමින් රෝහල්වල අඩුපාඩුකම් සපුරන ලෙස මිනිසුන්ගෙන් යදින අතරේ මෙවැන්නක් ලහි ලහියේ කිරීම ද අප විසින් විමසිය යුතු ව තිබේ.

කුඩා වැවක හෝ කෞතුක වටිනාකමක් නැති වැවක මං තීරු දැමීමත් පරාක්‍රම සමූද්‍රයේ මංතීරු දැමීමත් ‌එකක් නොව දෙකක් බව අවබෝධ කර ගෙන මේ ප්‍රශ්නය නැවත සළකා බැලීම වඩා ඥානාන්විත වනු ඇත.

මේ සම්බන්ධයෙන් EIA සමීක්ෂණයක් කළේ දැයි සැක ය. එසේ කළා නම් මේ කාරණා මේ ආකාරයට මග හැරෙන්නට විදිහක් නැත.

හදිසියේ ම සමුගත් මංගල

See the source image

දේශපාලනඥයෙකු මිය ගිය අවස්ථාවල මා සැලුණේ නම් ඒ දේශපාලනඥයන් දෙදෙනෙකු ගැන පමණ ය. පළමුවැන්නා විජය කුමාරතුංග ය.

දෙවැන්නා මංගල සමරවීර ය.

මංගල සමරවීර ගැන අපේ බ්ලොග් අඩවියේ සටහන් දෙකක් ම ඇත. තව සටහන් ගණනාවක ඔහු ගැන සඳහන් කර ඇති තැන් ද බොහෝ ය. ඒත් අද ලියන්නට සිදු වන්නේ අපෙන් සමු ගත් මංගල ගැන ය. ඔහු අපට ඉතිරි කළ උරුමය ගැන ය.

ඔහු ගමට වැඩ කළේ ය. රටට වැඩ කළේ ය. නිලධාරීන්ට එරෙහිව නොව ඔවුන් සමග වැඩ කළේ ය. බොහෝ දේශපාලනඥයන් මෙන් නීතියට පිටින් යන්නට ඔහු ඔවුනට බල කළේ නැත.

ඔහු කෙළින් කතා කළේ ය. ඡන්ද ගොඩ ගැන නොබලා කියන්නට අවශ්‍ය දේ කියුවේ ය. තමන් විශ්වාස කළ දේ වෙනුවෙන් ආනිශංස නොබලා පෙනී සිටියේ ය.

වරක් ඔහුගේ ඇමති පදවිය කිසිදු පැකිලීමකින් තොරව ඉවත දැම්මේ ය. ඉවත දමා එවකට ජනප්‍රියව සිටි ආණ්ඩුවෙන් ද ඉවත් විය.

වැරදි පිළිවෙත් පුරන්නට නොහැකි වූ තැන මැතිවරණයට නාමයෝජනා දී තිබිය දී ත් ඉන් ඉවත් වූයේ ය. ඒ අවසානයට පැවැත්වූ මහ මැතිවරණයේ දී ය.

ඔහු හැම ජනවාර්ගික කණ්ඩායමක් ම ද ජාතිකව පමණක් නොව ජාත්‍යන්තරව ද එකසේ පිළිගත් දුර්ලභ දේශපාලනඥයෙක් විය. එවැනි පිලිගැනීමක් ඇති හෝ තිබූ ‌දේශපාලනඥයෙකු පෙන්වන ලෙස ඔබට කීවොත් ඔබ පැහැදිලිව ම අමාරුවේ වැටෙනවා ඇත. ඒ තරමට ම එවැන්නෝ දුර්ලභ ය. එවැන්නෙකු අහිමි වීම ඒ නිසා ම එසේ මෙසේ පාඩුවක් නොවේ. හිස් මිනිසුන්ගෙන් පමණක් නොව කබල් දේශපාලනඥයින්ගෙන් ද අඩුවක් නැති ‌රටේ නොසිටියේ මංගල වැනි දේශපාලනඥයන් ය.

ඔහුට අවශ්‍ය වූයේ දිනන්නට පමණක් නොවේ. දිනවන්නට ය. මැතිවරණ දේශපාලනයට ආයුබෝවන් කීමෙන් ඔහු එය නැවතත් නොකියා කීවේ ය.

ඔහු මිනිසුන්ට ආදරය කළේ ය. ඒ නිසා ම අතුරුදහන් වූවන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේ ය. අපේ රටේ දකුනේ අතුරුදහන් වූවන් වෙනුවෙන් බොහෝ අය පෙනී සිටි බව ඇත්ත ය. බොහෝ දෙනෙක් එසේ පෙනී සිටියේ ඒ සමඟ ගැටගැසී තිබූ දේශපාලන වාසි නිසාය. එසේ වුව ද උතුරේ අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වශයෙන් සිය දිවි නසා ගැනීමක් විිය හැකිව තිබිය දී ද නින්දා අපහාස මිස ඒ වෙනුවෙන් ලැබෙන කිසිදු දේශපාලන වාසියක් ලැබෙන්නේ නැති බව දැන දැනම මංගල අපේ රටේ දකුණේ අතුරුදහන්වූවන් වෙනුවෙන් මෙන්ම උතුරේ අතුරුදහන්වූවන් වෙනුවෙන් ද සමානව මැදිහත් විය.

ඔහු මිනිසුන්ට ආදරය කළ තරමට ම ඇතැම් විට ඊටත් වඩා මිනිසුන් ද ඔහුට ආදරය කර ඇති බව වටහා ගැනීමට අපට ඔහු මිය යන තුරු සිටීමට සිදු විය.

තව බොහෝ දේ ඔහු ගැන ලියවෙනු ඇත. ඒ අයට ඉඩ තබා අපි නතර වෙමු. එසේ වුව ද තව එක් දෙයක් නම් නොලියා ම බැරි ය.

ඔහු ජීවිතයෙන් සමුගන්නට පෙර ජීවත් ව සිටින දේශපාලනඥයන්ට පහසුවෙන් ළඟා විය නොහැකි අභියෝග ගණනාවක් ඉදි කළේ ය. පුළුවන් නම් ජය ගනිල්ලා යි නොකියා කීවේ ය. ඉදිරියට එන කවර දේශපාලනඥයෙකුට වුව ඒවා පහසුවෙන් මග හැර යා නොහැකි ය. ඔහු දැයට හිමි කළ ‌ඒ දායාදය පමණක් වුව ඔහුට අපේ ගෞරවය පුදන්නට සෑහෙන්නේ ය.

මූණු පොතේ ලියවුනු මේ කවිය සමන්ති වැලිවිට මිතුරියගේ. මංගල ගැන මා දුටු සංවේදී සටහනක් නිසා ම එය මෙහි ඇලෙව්වා.

මංගල….මැරුණු එක හොඳයි.

මොකෙක්ද මේ..වාචාලම කටක්..

මිනිස්සුන්ගේ දුක තේරෙනවද මෙහෙම අයට..

දරුවෙක් මල්ලෙක් නෑ…

ඉතිං එයාට නම් මොකද….

ඕනි තරම් එහෙම කියලා ඇති…

කියන අයට හූමිටි තියලා ඇති…

ඒත් මංගල..නුඹ තිරයෙන් විසි උනාම,

ඊගාවට ඇවිත් රඟන අය දැක්කම හිතුනා අපරාදේ මංගල ගියේ..

බුදු දහමට බනිනකොට..අලුත් දර්ශනයක් දොඩනකොට..

ඕකට යන්න අපායක් නැති වෙයි..හැමෝම කිව්වා..

ඒත්.සැබෑ බුදු දහම හොයනකොට…

සිවුරට, දහමට මුවා වෙලා අකටයුතුකම් දකිනකොට..

සැබෑවටම අපිනේ අපායේ සිතුනා…

ඔව් මංගල…නුඹ හරියි හිතුනා…

දේශපාලනේ අත හරින කොට..දැන් ඇතියි මට කියලා කියන කොට….

ආන් ඌ ඇති තරම් හම්බ කරන් කැපුනා…

අපි එහෙම කිව්වා…

රට පෙරට කියාගෙන සුර සැපට ලොල්ව එන …මහා නාකි වැඩ නොකර

පවුල් පන්සල් රකින..නීතියත් වල් වැදුනු මහා කාලකන්නි යුගයක…

නුඹේ අත් හැර යාම මහ තදින් දැනුනා….

පිරිමියෙක් නොවේ නුඹ

අසම්මතයේ හැදුනු….සිත් පුරා අවලාද කිව්වා..

පිරිමි කම පෙන්වමින් පඩත්තර වැඩ කරන..

බලයට මුවා වී ඒ සියල්ලම වසන

බොහෝ දුදනන් අතර

උන්ට නැති, උඹට ඇති හයිය කොන්දක් තිබුනා…

ඉතිං මංගල….නික්ම යන තෙක් කියන්නට මේ වග

අනේ මග හැරුනා…

රැල්ලට ඔහේ ලිව්වා නෙවෙයි…

මගේ හිත මට කිව්වා…

අනේ මංගල උඹ මැරුණු එකමයි හොඳ….

අපේ “සිහින” ජනාධිපතිගේ ජාතිය ඇමතීම

See the source image

අප මේ ගත කරන්නේ ඉතාම අමාරු කාලයක් හරහා. ඔබ මේ කාල වකවානුව තුළ අත් විඳින දුෂ්කරතා සියල්ල මා දන්නවා. ආදායම් අහිමි වීම මෙන් ම ඥාති මිත්‍රාදීන් අහිමි වීම හා ඔවුන්ට අවශ්‍ය ම අවස්ථාවේ පිහිටක් වීමට බැරි වීම ඒ අතර ප්‍රධාන බවත් මා දන්නවා. රෝගය සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් රොහල් පද්ධතියට දරන්නට අපහසු තරමට එය වර්ධනය වෙමින් ඇති බවත් මා දන්නවා. මේ තත්වයෙන් පීඩා විඳින ජනතාව වෙත මගේ සංවේගය පල කරන අතරතුර ඒ ගැන අප සංවේදී බවත් මා ප්‍රකාශ කර සිටිනවා.

කෝවිඩ් පාලනය සඳහා පියවර ගණනාවක් රජය විසින් ගෙන ඇති නමුත් අප සමස්තයක් ලෙස අසාර්ථක වී තිබෙනව. ඒ බව මා පිළිගන්නවා. ඒ පිළිබඳව ඔබගෙන් මා සමාව අයදිනවා.

අප එන්නත් ක්‍රියාවලිය ආරම්භ කිරීමට හා පවත්වාගෙන යෑමට පමා වීම ඒ අතර ප්‍රධාන වූ බව මා පිළි ගන්නවා. ස්වදේශීය ප්‍රතිකර්ම ගැන විශ්වාසය තබා කටයුතු කිරීමත් මුල් රැලි කීපය එක්තරා දුරටක සංචරණ සීමා හරහා පාලනය කිරීමට හැකි වීම නිසා ඇති වූ විශ්වාසයත් ආර්ථිකය එතරම් හොඳ මට්ටමක නොතිබීමත් යන කාරණා එයට හේතු සාධක වුනා. ඒත් ඒ එක සමාවට කාරණයක් වත් නිසා කළ වරද නිවැරදි වන්නේ නැහැ.

පමා වී ආරම්භ කළ එන්නත්කරණ වැඩපිළිවෙල තුළ ද අවුල් තිබුනා. දේශපාලනඥයන්ගේ මැදිහත් වීම් මත ඒවා අත්‍යවශ්‍යයෙන් ලැබිය යුතු අයට ලැබුණේ නෑ. අපේ ප්‍රමුඛතාවල පවා අවුල් තිබුනා.

ඒත් අප ඒ අඩුපාඩු කම් වලින් ඉගෙන තිබෙනවා. මේ වන විට එන්නත්කරණ වැඩ පිළිවෙලට ඉහළ ප්‍රමුඛත්වයක් දී ක්‍රියාත්මක කෙරෙනවා. මිත්‍ර රටවලින් ආධාර වශයෙන් අප ලැබූ එන්නත් ලක්ෂ ……. ට අමතරව රජයේ මුදල් ගෙවා එන්නත් ලක්ෂ…. ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අපි කටයුතු කළා.

අප ඒ සඳහා ප්‍රායෝගික ඉලක්ක ගණනාවක් මේ වන විට හදා ගෙන තිබෙනව (ඒවා විස්තර කරයි).

ඒ එන්නත් වැඩ පිළිවෙල සාර්ථක කරන්නට කැප වී වැඩ කරන සෞඛ්‍ය අංශ වලටත් හමුදාවටත් මගේ ගෞරවාදරය පුද කර සිටිනවා.

අප රට වැහීම හා විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී පොකුර නිර්මාණය වීමේ ඉඩකඩ ගැන දැක් වූ සංවේදීතාවය අවම බව මා පිළිගන්නවා. මින් ඉදිරියට මිනිසුන් කලබල වී එක්රැස් වන ආකාරයෙන් රට වැසීම හෝ විවෘත කිරීම් නොකරන බවට මා ඔබට පොරොන්දු වෙනවා.

සම්පූර්ණයෙන් රට වැසීමේ තීරණය අමාරු එකක්. එය කළ නොහැකි වූ තත්වයන් යටතේත් එන්නත පමා වීම යටතේත් රෝගය පැතිර තිබෙනව. ඔබේ හිතේෂීයයන් එහි ගොදුරු බවට පත් ව තිබෙනව. ඒ ගැන නැවතත් අ‌පේ සංවේගය පල කරනවා. ඒ අයට අවශ්‍ය ප්‍රතිකාර සපයා දිය හැකි ආකාරයට අප රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට මේ වන විට අප පියවර ගෙන තිබෙනවා (පියවර විස්තර කරයි). තව පියවර ගැනීමට අපේක්ෂා කරනවා (පියවර විස්තර කරයි).

පවතින තත්වය යටතේ ඔබට උපරිම සේවයක් සළසන සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත ද ඒ සඳහා සම්බන්ධ වන පරිවාර ආයතන වලට ද මගේ ‌ගෞරවාදරය හිමි වෙනවා. ඔවුන්ට උදව් කිරීමට මේ මොහොතේ අප බැඳී සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔබට ද වගකීමක් පැවරෙනවා. හැකිතාක් දුරට සෞඛ්‍ය උපදෙස් පිලිපැදීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කිරීමට දායක වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රෝගය පාලනය කළ හැක්කේ විද්‍යාවේ පිළිසරණ පැතීම හරහා පමණයි. රෝගය පැතිරෙන ආකාරය ගැනත් ඊට මුහුණ දීම සඳහා ශරීරය සූදානම් කර ගත යුතු ආකාරය ගැනත් පර්යේෂණ හරහා ලබා ගත් දැනුම අද ලෝකය සතුයි. අප කළ යුත්තේ ඒ දැනුම මත පදනම් ව ජීවිතයට මුහුණ දීම යි.

පටු ව්‍යාපාරික අරමුණු උදෙසා විකුණන්නට තනන ඊනියා විකල්ප විසඳුම් ගැන විශ්වාසය තැබීමෙන් වළකින ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

එන්නත් ලබා ගැනීමට අමතරව ඔබ විසින් කළ යුතු ව ඇත්තේ සෙනඟ ගැවසෙන ස්ථාන මග හැරීමත් ඒ අවස්ථාවල මීටරයකට වඩා වැඩි පරතරයක් තබා ගැනීමත් මුඛ ආවරණ නිසි අයුරින් පැළඳීමත් මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටීමටත් නිතර සබන් යොදා අත සේදීම මගින් වෛරසය ශ්වසන පද්ධතියට ඇතුළු වීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමත් බව ඔබ දැනටමත් දන්නවා.

පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මේ තත්වය දැනට සිදු නොවන බව මම දන්නවා. එය නිසි අයුරින් සකස් කිරීම සඳහා පොලීසියට අමතරව යුද හමුදාවේ සේවය යොදවා ගැනීම කෙරෙහි මගේ සැළකිල්ල යොමු කර තියෙනව. 

ඒ කෙසේ වුවත් අද වන විට තත්වය බරපතල වී ඇති නිසා තවදුරටත් ඔබේ අතේ වගකීම තැබීමට මා බලාපෙරොත්තු වෙන්නේ නෑ. අද සිට සති දෙකක කාලයකට ඒ නිසා මා රට වසා තබනවා.

මේ තීරණය ගැනීමට මෙතෙක් ප්‍රමාද වීමට හේතු ගණනාවක් තිබුනා. එයින් ප්‍රධාන අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදයයි. කරුණු එසේ වුව ත් වැසීමේ තීරණය පමා කිරීම ද අප අතින් වූ වරදක් ලෙස මා දකිනවා. අද අප ඒ වරද නිවැරදි කරනවා.

එදිනෙදා වැඩ කරන මිනිසුන්ගේ ආදායම අහිමි නොවන පරිදි ඔවුන්ට සංචාරය කිරීමට නිදහස ලබා දෙන ලෙස පොලීසියට දැනුම් දී තිබෙනවා. හමුදා අධීක්ෂණය යටතේ පමණක් බස් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැපයීම් ජාලය අඩාල නොවන පරිදිත් ගොවියන්ගේ නිශ්පාදන නරක් නොවීමට පෙර වෙළඳ පොලට එවිය හැකි පරිදිත් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරෙනවා. කඩ හිමියන්ට ජංගම සේවා මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපයීමේ හැකියාව දිගට ම ලබා දෙන ලෙස ආරක්ෂක අංශයන්ට උපදෙස් දී තිබෙනව. ඒවාට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන හල් විවෘත ව තබනවා. මේ සම්බන්ධ ගැටළු යොමු කිරීමට විශේෂ දුරකථන අංකයක් අප ස්ථාපිත කොට තිබෙනව (අංකය කියයි).

අත්‍යවශ්‍ය සේවා වල නියුකත් අයට ද සැපයුම් ජාලය කඩා නොවැටී පවත්වාගෙන අයට ද වෙළඳ සැල් ‌ෆාමසි වල සේවකයන්ට ද ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙහෙසන අංශවල නියැලෙන අයට ද ප්‍රවාහන සේවාවල අයට ද වයස් සීමාවක් නොතකා එන්නත් කිරීමේ ජංගම වැඩ පිළිවෙලක් රට වසා ඇති මේ දින දහ හතර තුළ ක්‍රියාත්මක කිරීමට ‌අපේක්ෂා කරනවා.

ආදායම් අහිමි වන ජනතාව වෙනුවෙන් සහන වැඩ පිළිවෙලක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා (විස්තර කරයි). ඒ සඳහා මේ තත්වය යටතේත් දිගටම ආදායම් ලබන ව්‍යාපාරික ආයතන වල අනුග්‍රහය මා අපේක්ෂා කරනවා.

මේ සතුරා ජය ගන්නට ඔබ සැමගේ සහයෝගය අවශ්‍ය වෙනව. අප හැමට ඒ වෙනුවෙන් කැප කිරීමට සිදු වී තිබෙනව.

ආණ්ඩුව පැත්තෙන් කැපකිරීම් ගණනාවක් කිරීමට අප අපේක්ෂා කරනව. මැති ඇමතිවරුන්ගේ පරිවාර රථ භාවිතය මුළුමණින් නතර කරනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇතැයි සාධාරණ සැකයක් ඇති තෝරාගත් කීප දෙනෙකුට පමණක් ආරක්ෂක රථයක් භාවිතා කළ හැකි බවට නීති සකස් කරනවා. ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් භාවිතය මුළුමණින් ම නතර කෙරෙනවා. (තව බොහෝ පියවර විස්තර කරයි)

ඔබේ පැත්තෙන් ද කැප කිරීමට ඇති සූදානම පල වේ යැයි මා විශ්වාස කරනවා

අපි එක් වී මේ අභියෝගය ජය ගනිමු. රෝගය වැළඳී ඇති අයට ඉක්මන් සුවයත් ‌සියළු දෙනාට නිරෝගී සුවයත් පතමි.

සහනයක් දැනේ නම් සුද්දාට පලු යන්න බණින්න

See the source image

සුද්දා යනු හොඳින් තැලිය හැකි මුව හමකි. කොටින් ම සුද්දා විවෘත ආර්ථිකය වගේ කොයි‌ දේ ට ත් වග කිව යුතු යැයි අපට හිතෙන අපූරු සංකල්පනාවකි. කළ දේ ට මෙන් ම නොකළ බොහෝ දේ ට ද බැණුම් අහන ගෝතයෙකි. සුද්දා කියා කෙනෙකු නැතිවාට අමතර ව, බණින්නේ සිංහලෙන් නිසා, හිටියා වුනත් ඌට මේ කපේ දී මේවාට උත්තර දෙන්නට ලැබෙන්නේ නැත.

ඒ නිසා  ඌ ට බණිමු. අපේ සිතට සහනයක් ලැබෙන තුරු ඌට බණිමු. අපේ සියලු පව් ඌට කර ගහන්නට සලස්වමු.

එසේ බණින්නට සූදානම් වන විට අපට පෑදෙන එකක් නම් සුද්දා එන්නට පෙර අප මස් මාළු නොකා එළවලු පළතුරු අනුභවයෙන් පමණක් ජීවත් වූ අහිංසක ජාතියක් බව ය. මේ බවට දැනටමත් සමහරු සපථ කර ඇති නිසා එය කර ගසා ගැනීමේ අමාරුවක් ද නැත. ඔවුන් තවදුරටත් කියන්නේ සුද්දා මස් මාළු කන්නට අප ව හුරු කරන්නට පෙර ඒ නිසා ම අපට ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැති බව ය. සුද්දාගේ බේරුමට එදා මෙන් ම අදත් කප්පරක් උදවිය සිටිති. උන් නිස්සද්ද කරන්නට හොඳම විදිහ උන් කළු සුද්දන් බව කියා පෑම ය. එහෙම කියා කට වැසිය නොහැකි කීප දෙනෙක් සිටිති. උන් අපෙන් අසන්නේ මිහිඳු හිමියන් වඩින කල දේවානම් පියතිස්ස මුවෙකු ලුහු බැඳ ගියේ ඌ ට තණකොල කවන්නට දැයි කියා ය.

ඒ කාලෙ අප මස් කෑවත් ඊට පසු, විශේෂයෙන් බුදු දහම වැළඳ ගත් පසු නම් නිර්මාංශිකව සිටි අහිංසක ජාතියක් යැයි කියා අපට ෂේප් වෙන්නට පුළුවන් කම තිබුනේ ය. කරුමෙකට වගේ දේවානම් පියතිස්ස යුගයෙන් පසු බිහි වූ වැව් ආශ්‍රිත ව දකින්නට ඇති සමහර පැරණි සෙල්ලිපි කියන්නේ වැවේ මත්සයින්ගෙන් යම් පංගුවක් පන්සලට හිමි විය යුතු බව ය. දෙමල රජකෙනෙකු අප මාංශ භක්ෂිකයන් බව ඔප්පු කරන්නට හිතාමතා ම බොරුවට ගලේ එහෙම යමක් කෙටුවා වෙන්නට බැරි ද? දෙමල රජවරුන් ද රාජ්‍ය විචාරා ඇති නිසා ඒක ටිකක් ඒත්තු යන කතාවක් ය. තව බොහෝ දේ වෙන්නට පුළුවන. එහෙත් සුද්දා අපට පුරුදු කරන තුරු අප මස් මාළු කා නැත. ඒ කතාව ලස්සණ නම් එය පිලිගත්තහම මක් වෙනවා ද?

මස් මාළු කතාව මොහොතකට අමතක කරමු. මත්පැන් බිඳක් කටේ නොතිබ්බ අපට අරක්කු බොන්නට පුරුදු කරන ලද්දේ සුද්දා නොවේ ද?

අරක්කු ගැන සඳහනක් අපේ සාහිත්‍යයේ කොතැනකවත් නැති නිසා ඒ බව පිළි ගැනීමට සුද්දාව ආරක්ෂා කර ගැනීමට දත් මිටි කන අයට සිදු වේ.

කරුමෙකට මෙන් ගුත්තිල කාව්‍යය ඉදිරිපත් වන්නේ මේ කතාව බොරු යැයි කීමට ය. එහි එක තැනක මෙවැනි කවියක් තිබේ.

සරා සලෙලු දන සතො     සේ

සුරාපාන කරන ලෙ          සේ

පුරා අවුලු නොයෙක ර     සේ

සරා අවන් හල් සහ           සේ

ගුත්තිල කාව්‍යය ජාතක කතාවක් බව නොදන්නේ දැයි ඔලොක්කු කොට අපට එයින් ද ගැලවිය හැකි ය. එහෙත් එය ජාතක කතාවක් ඇසුරෙන් ලියන ලද්දේ වුව ද එදා රට තොට සිදු නොවූවක් කවියෙකු අතින් කවියට නැගෙන්නේ නැතැයි කියා මේ කියන්නේ සිරිලක එදා දකින්නට තිබුණු තත්වයක් විය හැකි යයි යන අනුමානයක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකි ය. උන් ට ඒ වගේ පුංචි තොරතුරක්, ඔත්තුවක්, ගමකට කතා කරන්නට ඇති ය.

මෙහි එක තැනක සුරාපාන කරන ලෙසේ කියා ලියා තිබීමෙන් එයින් මත්පැන් ඇඟවේ ද? ඇතැම් විට ඒ එකල තිබූ වෙනත් කිසියම් පානයක් වෙන්නට බැරි ද? අපටත් ආ පිටට තර්ක කළ හැකි ය.

කවි පන්තිය දිගට කියවන විට එය ද මත්පැන් ම විය යුතු ය යන කියවෙන පදයක් ද දකින්නට ලැබුනේ ය. ඒ මෙසේ ය.

රැගත් සුරා පිරූ වි             ති න්

සුරත් තඹුරු පෙති සෙනෙති න්

පුවත් නොදැන බමන ග   ති න්

නටත් අයෙක් සුරා ම       ති න්

දැන් නම් ගැලවුමක් නැත. ඇතැම් විට ගුත්තිල කාව්‍ය ලියන්නට ඇත්තේ සුද්දාගමනයෙන් පසු ව විය නොහැකි ද? ටී ඇස් ධර්මබන්ධු මහතා විසින් පැරණි කවි එකතු කර සම්පාදනය කර ඇති කාව්‍ය මාලිනී ග්‍රන්ථයට අනුව ගුත්තිල කාව්‍යය ලිය වී ඇත්තේ ක්‍රිව 1440 ත් 1475 ත් අතර ය. ඒ නම් සුද්දා අප රටට අඩිය තබන්නට පෙර ය. පරංගින් පවා එන්නට පරම්පරා දෙක තුනකටවත් පෙර ය.

ටී ඇස් ධර්මබන්දු කියන නමේ ම තියෙන මුලකුරු විමසීමේ දී පෙනී යන්නේ ඒවා ඉංග්‍රීසි අකුරු බව ය. ගුත්තිල කාව්‍යයට මේ කවි මේ ඉංග්‍රීසි මුලකුරු නමට ඈඳා ගත් ඊනියා කවියා විසින් එකතු කරන්නට ඇතැයි සැක කරන්නට නොහැකි ද? අපේ ඉතිහාසය විකෘති කරන්නට මාන බලන කළු සුද්දන්ගෙන් අපට අඩුවක් නැත.

මුණ සෝදන බේසමේ පවා කිඹුලන් සිටිය හැකි යැයි කල්පනාවෙන් ඉන්නා අපට එහෙම දෙයක් සිදු නොවිනි යැයි කිව නොහැකි ය.

මස් මාළු කෑවත් සුරාව පානය කර නැටුවත් තුන්වෙනි සිල්පදය නම් අප රැක ඇති බවත් ඒක කැඩීමේ වගකීම නම් සුද්දා විසින් බාර ගත යුතු බවත් කෙනෙකුට කියන්නට පුළුවන. වස්ත්‍රාභරණයෙන් සැරසුනු කාන්තාවකට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කළ හැකි වූයේ ය යන කියන ඉතිහාස කතාව ඊට සාක්ෂි දරණ හෙයින් ය.

ඒ මහා වංශය මුළුමණින් කියවන තුරු පමණ ය. අපේ කාව්‍ය ශාස්ත්‍රය පරිහරණය කරන තුරු පමණ ය.

මහා වංශයේ සඳහන් වන ආකාරයට රාග ගින්නෙන් දැවී ඇත්තේ පිරිමි පමණක් නොවේ. අනුලා බිසවගේ කැරැට්ටුව පොලා පනින්නේ ඒ බව අපට පෙන්වමිනි. ඒ ඉතිහාසයට අනුව ඇය රාගයෙන් දැවී හිමියන් ගණනාවක් මරමින් අලුත් අලුත් පෙම්වතුන් ස්වාමිපුරුෂයන් කරගත් බවක් කියවෙන්නේ ය.

අනුලා රැජිණ(ක්‍රි.පූ.47-42) අර්ථවත් පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම රැජිණයි. එසේම ඇය ආසියාවේ ප්‍රථම රාජ්‍ය පාලිකාව ද වේ. අනුලා රැජිණ බලයට පත් වූයේ චෝරනාග රජුගේ බිසව ලෙසිණි. චෝරනාග රජු අනුරාධපුරයේ වළගම්බා රජුගේ පුත්‍රයාය. කෙසේ හෝ ඇය තමාගේ පාලන කාලය තුළ අඩු ගණනේ තවත් ස්වාමි පුරුෂයන් හතර දෙනෙකුට වස දුන්නාය. අනතුරුව තම අභිමතය පරිදි රාජ්‍ය විචාලාය.”

ඒ කියන්නේ පිරිමින් අනාරක්ෂිතව සිටි බව මිස ගැහැණුන් අනාරක්ෂිත වූ බව නොවේ යැයි කියා ගැලවෙන්නට අපට බැරි ය. ඒ ව්‍යාතිරේඛයක් පමණක් බව කියා අපට මග හරින්නට බැරි ද? එක් අයෙකුගෙන් ජාතියක් මැණිය නොහැකි බව කවුරු වුනත් පිලිගන්නවා ඇත.

මේ තිසර සංදේශයේ එන කවියකි.

නිලුපුල් දිගැසී තන රන් කල      සී

සිඳුලිය සදිසි සියුමැලි දිගැ          සී

රඟ බැස නොලසී රඟ දෙන විල සී

දුටු ඒම විගසී මඳ තෙමෙ ඇවි     සී

ගැහැණු පමණක් නොව තවුසන්ගේ තවුස් දම් පවා බිඳුනු කතා පවා කවියට නගා අපේ අවසාන ව්‍යාපෘතියට ද හෙණ ගහන්නට අපේ ම කවියන් කටයුතු කර ඇති බව පෙනේ. පරෙවි සංදේශයේ එන මේ කවිය ද ඊට දෙස් දෙයි.

පියයුරු කිණිහිරි කැකුලෙක අන්    දම්

දස’ නග රැස් වැනි ගෙල දෑසමන්    දම්

ලෙළ වන කොමලත් පැහැසර රන් දම්

අඟනන් දුට නොතිබේ තවුසන්       දම්

ගැලවීමේ එක මඟක් තිබේ. කවි යනු ඇත්ත යැයි නොගත යුතු බව කීම ය.

ඉතිරි ව ඇති අනෙක් මඟ නම් ඉතිහාසය ද සාහිත්‍යය ද නැවත ලිවීම ය. එය වඩාත් ආරක්ෂිත ය. සමහරු එය පටන් ගෙන තිබේ. අපට තියෙන්නේ කළු ලප ඉවත් කරමින් ලස්සණ ඉතිහාස කතාවක් ගොඩ නගා ගැනීමට ය. එසේ කරමින් වත්මන ඇති සියළු කුණු කන්දල් සුද්දා පිට පටවා අපේ ගැලවීම හදා ගැනීම ය.

දැන්වත් ඔබට සනීප ද?

රටවැසියෙකු ඔ්නෑ කර තිබේ.

රාජ්‍ය සේවය ඡයාරූප

අපි දේශපාලනඥයන්ට බණිමු. අපට වංචා කරන ‌තව එවැනි බොහෝ බලවේගයන්ට බණිමු. ජඩ මාධ්‍ය කියා මාධ්‍ය වලට ද බණිමු. ජඩ මාධ්‍යයන් විසින් පෙර කී සියල්ලන් උලුප්පන නිසා උන්ට වැඩි පුර බණිමු. ඇත්ත කතාව නම් අප ගැන වඩාත් හොඳින් දන්නේ දේශපාලනඥයින් ඇරුණහම අපට වංචා කරන්නන් ඇරුණහම ජඩ මාධ්‍යයන් බව ය. ඒ ජඩ මාධ්‍ය තුළ පිළිබිඹු වන්නේ අපේ නිවැරදි ප්‍රතිබිම්බයක් ය. ඒ ගැන අප උරණ විය යුත්තේ ජඩ මාධ්‍ය හා නොවේ. අප සමග ය.

මත් වෙන්නට කැමති අපි

බත් පැකට් එකක් හා අරක්කු බෝතලයක් ලැබුනොත් ඉහේ මල් පිපෙන මිනිසුන් විශාල සංඛ්‍යාවක් අප රටේ සිටිති. ඉදින් ඒ වරප්‍රසාදය ලබා ගනු සඳහා කෑ ගහන්නට පෙළපාලි යන්නට රැස්වීම් වලට එක් රොක් වෙන්නට ඔවුන් ලෑස්ති ය. විරෝධතා පවත්වන්නට ලෑස්ති ය. අවශ්‍ය වුනොත් ගුස්තියක් අල්ලන්නටත් ලෑස්ති ය. (මේ සඳහන සැබෑ ප්‍රශ්න නිසා විරෝධතා දක්වන ජනතාව සම්බන්ධයෙන් නම් නොවේ. දේශපාලනඥයින්ගේ උසි ගැන්වීමෙන් පාරට බහින්නට බලා ඉන්නා අයට ය).

ඒ නැතත් අප කැමති බීලා ඉන්න ය. ශ්‍රී ලංකාව ඒක පුද්ගල මධ්‍යසාර පරිභෝජනය අතින් ඉහළටම ඉන්නා රටක් බවට පත් ව සිටින්නේ ය.

මත් පැන් නැතත් මොනවායින් හෝ මත් වෙන්නට අපට ඕනෑ ය. සමහර විටෙක දේශප්‍රේමය ඒ සඳහා පිහිටට ගැනේ. ජාත්‍යාලය ද එහි නිවුන් සහෝදරයෙකි. ආගම බාල සහෝදරයා ය. ඇතැමෙකුට එය වැඩිමහලු සහෝදරයා ය. මේ ඕනෑම එකකින් මත් වීමට අප ලෑස්ති ය. ශ්‍රී ලංකාව ආගම භක්තියෙන් ලෝකයේ ඉහළ ම රටවල් පහට අයත් වන්නේ ඒ අනුව ය. ඒ අප්‍රිකාවේ රටවල් සමග එක පෙලට සිට ගනිමිනි. දිග්ගැස්සුණු යුද්ධ ඇති වන්නේ ද ජාති හා ආගම් මත පදනම් වූ කැරලි කෝලාහල ඇති වන්නේ ද ඒ අනුව ය.

(ඒක පුද්ගල මත් පැන් පරිභෝජනය වැඩි රටවල් අතරටත් ආගමික භක්තිය ඉහළින්ම ඇති රටක් බවටත් එක වර පත් විය හැක්කේ කෙසේ දැයි යන ප්‍රශ්නය නැගීමටවත් අප කැමති නැත්තේ එහි ආරවුලක් අප දකින්නේ නැති නිසා ය.)

රටේ වැඩිදෙනෙක් යටත් වෙන්නට කැමති ය. පරංගියාට ද ලන්දේසියාට ද සුද්දාට ද යටත් වෙලා සිටීමේ ආභාසය නිසා එහෙම වූවා වෙන්නට පුළුවන. ඒ නිසා රටවැසියන් වීමට වඩා අපේ ජනතාව සැදී පැහැදී ඉන්නේ යටත් වැසියන් වන්නට ය. ජනතාව රජවරු ම සොයන්නේ ඒ නිසා ය. රජකතා අසන්නට බලන්නට කැමැත්තේ ඒ නිසා ය. නවක වදය ඉල්ලා සරසවිවල ජේෂ්ඨ උත්තමයන්ට කරදර කරන්නේ ඒ නිසා ය. නවක වදය වදයක් නොව ආශ්වාදයක් ලෙස සළකන්නේ ඒ නිසා ය. ගුටි බැට දුන් ගුරුවරු සොයා ගොස් නැවත නැවතත් දණ්ඩ නමස්කාර කරන්නේ ඒ නිසා ය.

ෂෝට් කට් සොයන අපි

අප අතර වැඩි දෙනෙකු හොයන්නේ කෙටි මාවත් ය. ෂෝට් කට් ය. දියුණුවට වාලම්පූරි ය. ලාෆින් බුද්ධ ය. ෂෙන් ෂුං ය. දේව බැල්ම ය. නව ග්‍රහයන්ගේ අනුකම්පාව ය. විභාගය පාස් වීමට බෝධී පූජා ය. යන්ත්‍ර මන්ත්‍ර ය. නැකැත් ය. ප්‍රේමවන්තයාගේ හෝ ප්‍රේමවන්තියගේ හිත දිනා ගැනීමට වශී ගුරුකම් ය. වශී යන්ත්‍ර ය. වශී මන්ත්‍ර ය. සතුරා මෙල්ල කිරීමට වස් කවි ය. හූනියම් ය. ගම්මිරිස් ඇඹරීම ය.

මහන්සි නොවී මෙ‍සේ බොහෝ දේ පාදා ගත හැකි ෂෝට් කට් ඇතැයි යන විශ්වාසය නිසා ම අප අතර වැඩි දෙනෙකු මහන්සි වීමට කැමති නැත. බොහෝ දෙනෙකු කියන්නට කැමති වාක්‍ය ඛණ්ඩයක් වන ත්‍රී වීලර් එලවන්නට තරුණයින් යොමු වීමෙන් නොනැවතී වැඩි දෙනෙක් එලිපිට නොකියන රාජ්‍ය සේවයට ඇති කැමැත්ත පිටුපස ද  ඇත්තේ ඒ අභිලාෂය ම ය. රාජ්‍ය රහස් මෙසේ අමු අමුවේ කියා සිටීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් උරණ නොවෙතැයි සිතමි (රාජ්‍ය සේවයේ කලක් සිටි නිසා මා ද මේ සියල්ල අතැඹුලක් සේ දනිමි. පාරිභෝගික වස්තුවක් සේ භාවිතා කොට ද ඇත්තෙමි.)

අනුන්ගේ පානින් එලිය බැලීමට වැඩි දෙනෙකු කැමති ය. දුක කියා ගෙන ඇති හැකි අය සොයා ගොස් වද දෙන්නේ ඒ නිසා ය. හිගන කම රස්සාවක් වී ඇත්තේ ඒ නිසා ය. රැකියා ඉල්ලා හිගන්නේ ඒ නිසා ය. තමන් ගැන රජය වග බලා ගත යුතු යයි ගතු කියන්නේ ඒ නිසා ය.

දියුණුව ආරක්ෂාව ඇතුළු තව බොහෝ දේ දෙවියන්ට පවරා ඇති නිසා තමන්ගේ ඉරණම ගැන වැඩි දෙනෙකුට වගකීමක් නැත. එය කාගේ හෝ වගකීමක් විනා තමන්ගේ වගකීමක් හැටියට වැඩි දෙනෙකු සළකන්නේ නැත. වැරදුනොත් එහි වගකීම දෙන්නට අපට කේන්දර ද ඉරණම ද කරුමය ද තිබේ. එකකින් බැරි නම් තව එකකින් එසේ වන්නට ඇතැයි හිත හදාගන්නට මාර්ග ගණනාවක් ම තිබීමේ වාසියෙන් අපි ඇති තරම් ප්‍රයෝජන ගනිමු. ඒ එකක්වත් නැතිනම් අඩු ගණනේ ඒ අල්ලපු ගෙදර එකාගේ හූනියමක්, උගුලක් හෝ කුමන්ත්‍රණයක් යැයි කියන්නට තරම් අපට දැනුම් තේරුම් තිබේ. උට්ඨාන වීර්යය තිබේ. අල්ලපු ගෙදර කිව්වාට සමහර විට එය අල්ලපු රට හෝ මහාද්වීපය දක්වා අවශ්‍ය වුවහොත් දික් කරගන්නට ද අප සූදානම් ය.

දෙවියන්ගේ පඩුපුල් අසුන් වෙනදා මෙන් උණු නොවන නිසා අපේ දුක් ගැනවිලි කියන්නට අලුත් දේව මණ්ඩලයක් අප විසින් පත් කර ගෙන තිබේ. දියවන්නා ඔය කිට්ටුව අට මගලෙක වැඩ වාසය කරන ඒ නව දෙවි දේවතාවුන් ද පැරණි දෙවියන් ගණනට ම සවුත්තු වේගන එන වගක් පෙනෙතත් බලාපොරොත්තු අත්නෑරම අපි ඒ උත්තමයන්ගෙන් බොහෝ දේ පතමු. උන්ට ද පෙර මෙන් පඩුරු පාක්කුඩම් පුද කරමු. පාවඩ එලමු. බෙර තම්මැට්ටම් සමග පෙරහැර ද කරමු. උන් වෙනුවෙන් ගහමරා ගමු.

උළු සෙවිලි කළ ගෙවල් වල ඉන්නා ගමන් පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමය ගැන ගී ගායනා කරන්නට අප කැමති ය. හද්ද නගරයේ ජීවත් වෙතත් පාරිශුද්ධ ගම ගැන ස්තෝත්‍ර කියන්නට අප කැමති ය. දීපංකරයේ ජීවත් වෙමින් සසර වසන තුරුත් මෙහි ජීවත් වෙන්නට වරම් ඉල්ලා සිටින්නට අපට වුවමනා ය. එහෙම බැලුවහම කියන්නේ කුමක් ද කරන්නේ කුමක් ද යන්න ගැන අපට ඒ හැටි වැටහීමක් නැතැයි හැගේ.

වැඩිපුර නොහිතන ඉක්මණින් අමතක කරන අපි

මේවා ගැන හිතන එකම මහ එපා කරපු වැඩ කි. සියළු දුක් කරදර එන්නේ හිතන නිසා ය. ඒ නිසා කළ යුත්තේ නොහිතා ජීවත් වීම ය. ඒ ගැන නම් අපට අවවාද අවශ්‍ය නැත. ආගමක් අදහන භක්තියෙන් අපි එය පිළිපදිමු.

අපට මතක නැත. වැඩිම වුනොත් මතක හිටින්නේ සුමාන දෙකකට ය. ඊට පසු මතකය අහෝසි වේ. එක අතකට එහෙම වෙන එක හොඳ ය. නැතිනම් සිදුවන්නේ අපේ බොහෝ විශ්වාස අත්හැර දමන්නට ය. කේන්දර පුච්චා නළලේ අළු ගා ගන්නට ය. හරි යන ඒවා මතක් කර දී වැරදුන ඒවා අමතක වී යන්නට ඉඩ හැරීමෙන් ඉපැරණි විශ්වාස එහෙම පිටින් ම රැක ගන්නට හැකි ය. එහෙම බැලුවහම සෑම කළු වළාවකම රිදී රේඛාවක් ද ඇත.

අපේ හොඳම ගුණාංගය සමානාත්මතාවය ය. එයින් අදහස් කරන්නේ පහළ ඉන්නා කෙනෙකුට නැගිටින්නට අපේ අත පිරිනමන්නට අප නොපැකිළෙන බව ය. එයින් තව දෙයක් ද අදහස් කෙරේ. ඒ ඉහළ නගින කෙනෙකු කකුළෙන් ඇද බිම දමන්නට ද ඒ අතම යොදා ගැනීමට අප පසු නොබසින බව ය. සමානාත්මතාවය රැකිය හැක්කේ එවැනි ප්‍රතිපත්තියකින් පමණ ය. ඒක ඉරිසියාව ලෙස අර්ථ ගන්වන්නේ අප ගැන ඉරිසියා කරන කුඩු කේඩු මිනිසුන් පමණ ය. සමානාත්මතාවය ගැන නොදන්නා, එහි අගය නොදන්නා, මිනිසුන් පමණ ය.

අපේ අතීතය ගාම්භීර ය. ප්‍රෞඪ ය. රාවණා රජ්ජුරුවන්ට තිබුනේ යැයි කියන දඩු මොනරයේ සිට විවිධ අංශයන්ගෙන් ඉදිරියට ගිය ඒ නිසා ම අපට පාරම්බෑ හැකි ඉතිහාසයක් අපට උරුම ය. ඒ ගැන කියවන්නට අපේ ඇති කැමැත්ත දෙවැනි වන්නේ නිදා ගැනීමට පමණ ය. ඒ කියන්නේ ඇහැරලා ඉන්න විට අප වඩාත් කැමති කියවන්නට බව ය. අතීතය ගැන පුරාජේරුව කියවන්නට බව ය.

අවදානමක් ගන්නේ ම නැත. දරුවෙකු ඉදිරියට පයක් තිබ්බත් අපොයි පුතේ වැටෙයි කියන්නට සැදී පැහැදීගත් කටක් අපට තිබේ.

බෙදීම කලාවක් නම් එහි පිකාසෝ අප ය. අප අතර ඇති බෙදිලි ඒ තරම් ය. පාසල් වශයෙන් ගම් වශයෙන් ජාති වශයෙන් කුල වශයෙන් ආගම් වශයෙන් පක්ෂ වශයෙන් වෘත්තීන් වශයෙන් ගම නගරය වශයෙන් නෙක බෙදීම් තිබේ. පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවන කුඩා ආරවුලක් මේ නිසා අවසන් වන්නේ රට ම ගිනි අවුළුවා ලීමෙන් අනතුරුව ය. ඒවායින් සුරුට්ටු පත්තු කරන්නට බලා ඉන්නා අයට ඇර වෙන අයට සුගතියක් නැති නමුත් ගින්නට අප කැමති ය. ගිනි තියන්නට මෙන්ම අනුන්ට ගිනි දෙන්නට ද අපි කැමති ය.

මෙහෙම රටකට පිරිහෙන්නට බාහිර සතුරන් අවශ්‍ය නැත. මේ තත්වයේ ඉක්මන් වෙනසක් නොකළොත් අපට අවසානයේ සිදු වන්නේ බංගලාදේශයට ද පසුපසින් ඉන්නට ය. දැනටමත් ආර්ථික වේගය අතින් උන් ඉදිරියෙන් ය. අපි කොහොමටත් ලෝක දර්ශක වලින් දැන් දැන් සිට ගන්නේ අප්‍රිකාවේ නොදියුණු රටවල් සමග ය.

බොහෝ දෙනෙකු දේශපාලනඥයින්ට ඇගිල්ල දිගු කර කාරණය මග හරිති. පිටට දික්කරන ඇගිල්ලක් වෙනුවෙන් ඇගිලි හතරක් තමන් දෙසට දිගු ව තිබේ ය යන්න උන් අමතක කරති.

අප‌ේ සිහින රටවැසියා

අප සිහින දකින රටවැසියන් යටත් වැසියන් නොව සැබෑ රටවැසියන් ය. තමන්ගේ ඉරණමේ වගකීම තමන් වෙත පවරා ගත් රට වැසියන් ය. ලොකු පුතාට රස්සාවක් ගැනීම, පොඩි එකා ජාතික පාසලට දා ගැනීම, බිරියට මාරුවක් හදා ගැනීම හෝ පාරේ බොක්කුව හදාගැනීම සඳහා දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටෙන යටත් වැසියන් නොව රටක ප්‍රතිපත්ති ක්‍රම වේද ගොඩ නැගීම උදෙසා දේශපාලනඥයින්ට බලැපෑම් කිරීමට සූදානම් රට වැසියන් ය.

බලය ඉදිරියේ දණින් නොවැටෙන රටවැසියන් ය. තමන්ගේ පටු වුවමනාවන් වෙනුවෙන් නොව රටේ පොදු සුභ සුද්ධිය වෙනුවෙන් පෙනී සිටින රටවැසියන් ය.

බත් පැකට් එකකට බෝතලයකට මිලට ගත නොහැකි රටවැසියන් ය.

අප සිහින දකින්නේ අද්භූත බලවේග පසුපස ෂෝට් කට් සොයමින් දුවන අලස බෙලහීනයන්ගෙන් නොව තමන්ගේ ශක්තිය මත විශ්වාසය තබමින් වෙහෙසී වැඩ කිරීමට සූදනම් ජනයාගෙන් සමන්විත රටක් ගැන ය.

කරන දේ කියන, කියන දේ කරන මිනිසුන් ඉන්නා රටක් ගැන ය.

බෙදෙන්නට හේතු හොයන බියගුල්ලන් වෙනුවට එකතු වීමට මං සොයන ආත්ම විශ්වාසයෙන් හෙබි මිනිසුන් ඉන්නා රටක් ගැන ය.

අවාදනම් බාර ගන්නා, අතීතය පියමං කරමින් අනාගතයට පා තබන, කට කියවනු වෙනුවට මොළය හා අත ඉක්මන් කර වැඩ පෙන්වන රටක් ගැත ය.

මූණ හෝදන බේසමේත් කිඹුලන් දකින මිනිසුන් නොව එන ඕනෑම දෙයකට අභීතව මුහුණ දිය හැකි රටවැසියන් ඇති රටක් ගැන ය.

අතීත ශ්‍රී විභූතිය ගැන කියවනවා වෙනුවට අනාගතය ගොඩ නැගීමට වෙහෙසෙන ඒ සඳහා ඕනෑ ම දේශයකින් දර්ශනයකින් ඉගෙනීමට සූදානම් මිනිසුන් ඇති රටක් ගැන ය. සම්ප්‍රදාය ඔලුව උඩ තියාගෙන ඉන්නා මිනිසුන් වෙනුවට අලුතින් හිතන්නට පුලුවන් මිනිසුන් ඉන්නා රටක් ගැන ය.

වත්මන් ප්‍රශ්න වලට – අතීත විසඳුම්

See the source image

ප්‍රශ්න වලට මුහුණ දෙන බොහෝ දෙනෙකුට හිතෙන්නේ වර්තමානය ඊට හේතුව බව ය. ඒ නිසා කළ යුත්තේ ඒ ප්‍රශ්න නොතිබූ අතීතයට යෑම ය.

ගෝලීයකරණය නිසා බොහෝ රටවල දියුණුවක් ඇති වූ බව ද හැම රටක ම පාහේ බහුතර ජනතාවකට ඉන් වාසි සැලසුන බව ද ඇත්ත ය. එහෙත් එහි ප්‍රතිඵල හැමට ම වාසි දායක වූයේ නැත. ගෝලීයකරණයට අන්තර්ග්‍රහණය වූ අය ට වඩා හොඳ ජීවිතයක් ලැබෙද්දී එයින් බැහැර කරනු ලැබූ පිරිසක් ද ඉතිරි විය. ඒ අයගේ ජීවිත හොඳ අතට නොහැරුණා පමණක් නොව වඩාත් නරක අතට හැරුණු තැන් ද තිබුනේ ය. එසේ බැට කෑ අයට අවශ්‍ය වූයේ ගලන ගඟ ආපසු හැරවීමට ය. ගෝලීයකරණයට පිටුපා ජාතික වාදය වැළඳ ගැනීම ය.

ලෝකයේ සිදු වන හැම නව දියුණුවක් ම කලින් යහපත් ජීවිත ගත කළ ඇතැම් අයට නුහුරට හිට ඇත. ලංකාවේ දුම්රිය පාර ඉදි කරන විට එයින් පහර වැදුනේ යහපත් ආදායමක් තිබූ ගැල් කරුවන්ට ය. පාලමක් ඉදි කරන විට පහර වැදුනේ පාලම් පාරුවෙන් නැත්නම් ඔරුවෙන් මිනිසුන් මෙන්ම බඩු භාණ්ඩ ද එගොඩ කරමින් සිය ජීවිතය පවත්වාගෙන ගිය තොටියාට ය.

වෙනත් බොහෝ මිනිසුන්ට දුම්රිය ද පාලම ද ආශිර්වාදයක් වන විට එය අභාග්‍යයක් වූ සුළුතරයක් ද ඇති වීම නොවැළැක්විය හැකි විය. ඒ වෙනත් ජීවන මාර්ගයක් ඔවුන් සොයා ගන්නා තුරු ය. ඒ තත්වය තුනී කරනු සඳහා ප්‍රමාණවත් මැදිහත් වීමක් රජය විසින් කරන්නේ නැතිනම් එසේ පහර කෑමට සිදු වන අය ඇතැම් තැනක කඩාකප්පල් කාරී ක්‍රියාවල පවා නිරත වීම වැළැක්විය නොහැකි ය.

ගෝලීයකරණයෙන් බැට කෑමට සිදු වූයේ තුන්වෙනි ලෝකයේ රටවල මිනිසුන්ට පමණක් නොවේ. ඇමරිකාවේ ඇතැම් මිනිසුන්ට ද ඒ ඉරණමට මුහුණ දීමට සිදු විය. වැඩි හරියක් ම එසේ වූයේ කර්මාන්තශාලා වල වැඩ කළ කම්කරුවන්ට ය. ගෝලීයකරණය නිසා ලාභ ශ්‍රමය සොයා ගෙන වෙන රටවලට ආයෝජන සේන්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස එසේ ආයෝජන ගලා ගෙන ගිය රටවල මිනිසුන්ට යම් යහපතක් උදා වෙද්දී ඇමරිකාවේ කම්කරුවන්ට සිය රැකියා අහිමි වුනේ ය. එසේ ආයෝජන විස්ථාපනය නොවුනු තැනක වුව ද චීනයෙන් සහ තුන්වෙනි ලෝකයේ ඇතැම් රටවලින් ඇමරිකාවට ආ ලාභ බඩු සමග තරඟ කරන්නට නොහැකි වීමෙන් ද කර්මාන්ත ශාලා වැසී ගියේ ය. ඇතැම් විට සිදු වූ බලපෑම, සෙසු රටක ගෝලීයකරණය නිසා ජීවනමාර්ග අහිමි වූ මිනිසුන්ට ද වඩා වඩාත් දැඩි ව ඔවුන්ට දැනෙන්නට ඇත. ඒ තුන්වෙනි ලෝකයේ මෙන් පහසුවෙන් විකල්ප නිර්මාණය නොවීම නිසා විය යුතු ය.

මේ තත්වය කොතෙක් උග්‍ර වූයේ දැයි කීවොත් ගෝලීයකරණය කෝකටත් තෛලයක් ලෙස ලෝකයට හඳුන්වා දුන් ඇමරිකාව ම, 2016 දී, ට්‍රම්ප් අප්පච්චි බලයට පත් කරමින් ලෝකයට ප්‍රකාශ කළේ තමන් පවා තවදුරටත් තමන් විසින් ඉදිරිපත් කළ ඒ ගුලිය ඖෂධයක් ලෙස පිළිනොගන්නා බව ය.

වඩාත් ඉදිරියට යන්නට සිදු ව තිබිය දී ආපස්සට ගිය විට වන්නේ පස්ස බිම ඇන ගැනීමට ය. ඇමරිකාව ඒ පාඩම ඉගෙන ගත්තේ වසර 4 ක් තිස්සේ පස්සට යෑමෙන් පසු පස්ස බිම ඇන ගෙන තුවාල වීමෙන් ද පසු ය (සමහරු නම් කියන්නේ ඇමරිකාව තවමත් සම්පූර්ණයෙන් ඉගෙන ගෙන නැති බව ය). ඒ තුන්වෙනි ලෝකයේ රටක දකින්නට ලැබෙන පසුගාමී හැසිරීමක් ලෝකයට ම ප්‍රදර්ශනය කිරීමෙන් පසු ය.

ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ගොවිතැන ද ගෝලීයකරණය වුනේ ය. අප ට දැන් බීජ ලැබෙන්නේ පිටරටිනි. පොහොර පිටරටිනි. වල් නාශක කෘමි නාශක පිටරටිනි. ඒවා අපේ බීජ වලට වඩා අපට නිපදවා ගත හැකි පොහොර වලට රසායනික වලට වඩා හොඳ ය. කාර්යක්ෂම ය.

ඒවා කොතෙක් සාර්ථක වී ද යත් 60 දශකයේ එවකට සිටි ජනගහණයට පවා ආහාර සපයා දෙන්නට නොහැකි ව පිටරටින් ආනයනය කළ රට එදා ජනගහණය මෙන් 140% ක් වූ ජනගහණයකට මුළුමණින් ම පාහේ ආහාර සැපයීමට තරමට හැකියාවක් ලබා ගත්තේ ය.

එහෙත් ඒවා සමග වස විස අපට මිශ්‍ර වේ යැයි අපි සැක කරමු. එයට අමතර හේතුවක් ලෙස අපේ ගොවීන් ඒවා ප්‍රමිතියකට භාවිතා නොකරතැයි යන සැකය ද තිබේ.

ආහාර වල වස විස ඇතැයි සිතන නිසා අප කැමති හැකි නම් රසායනික පොහොර හෝ රසායනික වල් නාශක හා කෘමි නාශක භාවිතා නොකළ කෑම කෑමට ය. ඒවා සුපිරි වෙළඳ සැල් වල ඇතත් ගිනි ගණන් ය. ඒ නිසා අප කැමති කාබනික ගොවිතැන පමණක් තිබූ අතීතයට යෑම ට ය. රසායනික පොහොර වෙනුවට ගොම පොහොර දැමීමට ය. ට්‍රැක්ටර් වෙනුවට මී හරක් නැවතත් වෙලට කැඳවීමට ය. ගොවීන් ස්වේච්ඡාවෙන් නොකරන්නේ නම් ආණ්ඩුව විසින් දැන් කර ගෙන යන ආකාරයට බලහත්කාරයෙන් කරවීමට ය.

විදේශ විනිමය අර්බුදය නිසා හදිසියේ කරලියට පැමිණි, මෑතක ඉදිරිපත් කළ, මුළුමණින් ම කාබනික වගාවට යමු කියනා ගුලිය ගොවීන්ට කෙසේ වෙතත් සෙසු ජනතාවට බොහෝ පහසුවෙන් ගිල්විය හැකි වූයේ ද ඒ මතය ඒ වන විටත්  රට තුළ පැවති නිසා ය. වෙන එකක් තබා එය සෞභාග්‍යයේ දැක්මට ද ඇතුළත් කර තිබුනේ ද ඒ නිසා ම විය හැකි ය.

දර පෝරණුවේ උයන පාන් කෑමට, නෙළුම් කොළේ කෙහෙල් කොළේ බෙදා ගෙන බත් වැළඳීමට, ගමේ කඩේ කියා බෝඩ් ගසා ඇති තැනකින් කෑම කෑමට, යන එකී නොකී දේ පිළිබඳ ආලය ද මීට සමාන ය.

ප්‍රශ්නය ඇත්තේ අප මේ පැරණි දේ අත්හැරියේ ම ඒවා අපට ප්‍රමාණවත් නොවූ හෙයින් ය යන්න අද අපට අමතක වීම තුළ ය. ඒ පැරණි ඒවා සැමරීම සඳහා මිසක් ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්නට අපහසු බව බොහෝ දෙනා කටින් නොකිව්වත් හිතින් පිලිගන්නා බවට සැකයක් නැත. එහෙත් කවුරුන් හෝ අවුස්සන්නේ නම් අපට ඒ අතීතය නැවතත් වැළඳ ගන්නට සිතේ.

සම්ප්‍රාදායික බීජ වලින් අප ලැබූ අස්වැන්න අපේ ජනතාවට කන්න දෙන්නට ප්‍රමාණවත් වූයේ නැත. ඒ නිසා වැඩි අස්වැන්නක් ලැබෙන බීජ අපට අවශ්‍ය විය. ඒවාට රසායනික පොහොර යෙදිය යුතුවාට අමතරව ඒවා වල් පැල වලින් හා කෘමින්ගෙන් ආරක්ෂා කිරීමට අමතරව රසායනික යෙදීමට ද අවශ්‍ය විය.

දර පෝරණු සඳහා දර සොයා ගැනීම අද ප්‍රශ්නයක් ව ඇත්තේ ය. ඒ අප දැනටමත් කැලෑ කපා විනාශ කර ඇති නිසා තවදුරටත් එසේ කළ නොහැකි නිසා ය. රටේ හැමෝටම බත් බෙදා ගන්නට තරම් නෙළුම් කොළ හෝ කෙහෙල් කොළ අද නැත. ඒ ජනගහණය වැඩි වී ඇති නිසා ය. නෙළුම් වසා සැල්වීනියා සැදී ඇති නිසා ය. නගර ආශ්‍රිතව කෙසෙල් වවන්නට තරම් ලොකු ඉඩම් මිනිසුන්ට නැති නිසා ය.

අද පවතින තත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි නම් අප කළ යුත්තේ නවීන විද්‍යාවේ පිහිට පැතීම ය. ඒ ආශ්‍රයෙන් වත්මන් ප්‍රශ්න වලට අලුත් විසඳුම් සෙවීම ය.

රසායනික අඩුවෙන් භාවිතා කළ හැකි ක්‍රම නවීන විද්‍යාව විසින් හඳුන්වා දී තිබේ. හරිතාගාර එක් උදාහරණයකි. හයිඩ්‍රොෆොනික් තාක්ෂණය ද එවැන්නකි. හරිතාගාර හරහා කෘමි උවදුර අවම කර ඇති අතර හයිඩ්‍රොෆොනික් තාක්ෂණය යොදා ගෙන වල් පැල අවම කර ගෙන ඇත. ඊට අමතර ව ඒ තාක්ෂණය නිසා අවම පොහොර ප්‍රමාණයක් පමණක් යෙදීමේ ඉඩ කඩ ද විවෘත ව ඇත්තේ ය.

අප කරනුයේ එසේ නවීන විද්‍යාව විසින් විවර කරමින් ඇති ක්‍රම වලට අපේ අවධානය යොමු කරනු වෙනුවට, ඒවා යොදා ගත හැකි ආකාර සොයනු වෙනුවට, යල්පැන ගිය නිසා අප ම අත්හැරිය දේ නැවත වැළඳ ගැනීමේ මොන්ටිසෝරි උත්සහයක යෙදීම ය. අතීතයට තකහනියේ දිවීම ය.

ඇමරිකාව පස්ස බිම ඇන ගත්තේ ය. ඒ එරට බුද්ධිමතුන්ගේ අවවාද නොතකා හරිමින් ජනතාව කටයුතු කළ නිසා ය. අපත් අද ගමන් කරන්නේ ඒ මාවතේ ය. ඉදිරිය දකින බුද්ධිමතුන්ට, පොහොර හා රසායනික ආනයනය කරන සමාගම් වල ඒජන්තවරුන් යැයි කියා ගරහමින් අත් හැර දැමූ අතීතයට සීඝ්‍රයෙන් පසු බැසීමේ මාවතේ ය.

ඇමරිකාව පස්ස බිම ඇන ගත්තේ වුව ද පසුව ඉගෙන ගත්තේ ය. අප එසේ වූ පසු ද ඉගෙන ගනිතැයි සැක සහිත ය.