සහෘද ශ්‍රී ලාංකිකය,

d3_18022019_FRR

ඔබ වෙසෙන්නේ මේ මහ පොළොව මත ඇති ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක ය. ලෝන්ලි ප්ලැනට් අඩවිය, 2019 වසර සඳහා, හොඳම සංචාරක ගමනාන්තය ලෙස හැඳින්වූයේ මේ සොඳුරු දිවයිනට ය. එක කලෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිවේ ද මිහිතලය මත ඇති පරාදීසය යැයි කීවේ ද මේ ඔබ උපත ලැබ ජීවත් වන භූමියට ය. කාලයකට ඉහත දි නම් ඔබ බොහෝ දෙනෙකු පැතුවේ ද නැවත නැවතත්, උපදින ආත්මයක් පාසාත්, මෙහි ම උපදින්නට ය. ඒ උපදින්නට  පැතූ බිම සැළකුනේ පුණ්‍ය භූමියක් ලෙස ය. බුදුන් වහන්සේගේ පාද ස්පර්ෂය ද ලද පින් බිමක් ලෙස ය. දෙවියන්ගේ ආශිර්වාද ලැබූ දේශයක් ලෙස ය.

මේ බිමේ මිනිසුන්ට වසර දෙදහස් හයසියයකට ආසන්න වෙමින් පවතින ආඩම්බර ඉතිහාසයක් ද ඇත. වෙන බොහෝ ජාතීන්ට නැතැයි පැවසෙන ඒ ඉතිහාසය ලිඛිත ය. ඒ ඉතිහාසයට අනුව අප අහසින් පමණක් නොව අභ්‍යවකාෂයේ ද සැරි සරා ඇත. ඒ සියල්ල සාහිත්‍ය යැයි බැහැර කරන අය සිටියේ වුව ද අදටත් අනුරාධපුරයේ පොලොන්නරුවේ සහ වෙනත් ස්ථාන වල නටබුන්වලින් කියවෙන්නේ අප ප්‍රෞඪ අතීතයක සැබෑ උරුම කරුවන් බව ය.

මේ පින් බිම ගැන ලියවුණු ගී වල ද නිමක් නැත. ඒවා හද පුරා ආඩම්බරයෙන් කරන ගායනා වල ද නිමක් නැත. ඒ සියල්ල ඇතුව ද අපට අද සිදු ව ඇත්තේ අපට වඩා නොදියුණු ජාතීන් අප පසු කර යද්දී එක තැන ලැගීමට ය.

අපට කලකට ඉහත කොරියාව තිබුනේ පැල්පත් සමූහයක් හඳුන්වන්නට ය. දැන් අපට කොරියාව තිබෙන්නේ කීයක් හරි හොයා ගන්නට නැව් නගින්නට ය.

මේ සියල්ල සම්බන්ධයෙන් අප කැමති ජාත්‍යන්තරයට ඇගිල්ල දික් කරන්න ය. මේ අපේ වැරැද්දක් නිසා නොව උන්ගේ කුමන්ත්‍රණයන් නිසා අපට සිදු ව ඇති අභාග්‍යයක් ලෙස දැකීමට ය. ඇත්ත ඊට වෙනස් ය. ඒ තිත්ත ඇත්ත රට දෙස බැලීමෙන්, අප දෙස බැලීමෙන්, අපට දැන ගත හැකි ය.

අපේ හැටි

අප තවමත් කසල කුණුකූඩයකට දැමීමට දන්නේ නැත. වැසිකිලියක්, ඊළගට එය භාවිතා කරන්නට එන තැනැත්තාට, ඉතිරි කරන්නට දන්නේ නැත.

අසල්වාසියා සමග සහයෝගයෙන් ඉන්නට පවා අප දන්නේ නැත. දිග්ගැස්සුණු යුද්ධයකින් ද වරින් වර ඇති වන  ජාති වාදී කෝලාහල වලින් ද අප පෙන්වා සිටියේ අපේ ඒ චරිතාංගය ය. අපේ වර්තමාන උරුමය මිය ගිය මිනිසුන් පිළිබඳ ස්මරණයන්ගෙන් ද අතුරුදහන් කරවනු ලැබූ මිනිසුන් පිළිබඳ තවමත් නොසිඳුනු අපේක්ෂාවෙන් ද තුවාල ලැබූ හා අතපය අහිමි කරනු ලැබූවන්ගේ අංගවිකල කරනු ලැබූවන්ගේ වේදනාවලින් ද පිරී ඉතිරී තිබෙන්නේ ය.

අපට අනුව පාර තියෙන්නේ උද්ඝෝෂණයේ යෙදීමට ය. කුණු දැමීමට ය. කෙල ගැසීමට ය. තනිව බදුගෙන ඇතැයි හිතාගෙන වාහන එලවීමට ය. තැනක් නොතැනක් බලා මාරු වීමට ය. මාරු වෙන කෙනෙකුට ඉඩ නොදී අපට ම වේගයෙන් මාරු වී යෑමට ය. හැම තැන ම ඇත්තේ පුදුම හදිස්සියකි. ඒ මොනවා කරන්න ද කුමක් සඳහා ද යන්න කිසිවෙක් නොදනිති.

පෝලිම් තියෙන්නේ කඩන්න ය. රජයේ දේපල තියෙන්නේ තම තමන්ගේ පාවිච්චියට ගලවා ගෙන යෑමට ය. නැතිනම් ආතල් ගැනීම උදෙසා විනාශ කර දැමීමට ය. අපට අල්ලා ගැනීමට ය. වැට කොටු ගසා පෞද්ගලික භුක්තියට වෙන් කර ගැනීමට ය.

අපට රස්සාවල් දෙන්නේ පිටරටිනි. ණය දෙන්නේ පිටරටිනි. බොහෝ දෑ කන්න ලැබෙන්නේ ද පිටරටිනි. ආදායම් මාර්ගයක් එන්නේ නම් ඒ ද බොහෝ විට පිටරටිනි. ප්‍රශ්නය එය ම නොවේ. සිංගප්පූරුව පවා වතුර ගෙනෙන්නේ ද පිටරටිනි. ජපානය තමන්ගේ නිශ්පාදන වලට අවශ්‍ය බොහෝ දේ ගෙනෙන්නේ ද පිටරටිනි. එසේ වුව ද, ඒ හැම රටකටම පිටරටින් ගෙන එන දේට හිලව්වට දෙන්නට බොහෝ දේ තිබේ. අපේ ප්‍රශ්නය අප ලබා ගන්නා දේ තරමට දෙන්නට දෙයක් අපට නැති වීම ය. ප්‍රතිඵලය ඩොලරය හැම දා ඉහළ යෑම ය. 1970 දී රුපියල් පහලොවක් තරම් වූ එය මේ වනවිට රු එකසිය අසූවකටත් වඩා ඉහළ ගොස් තිබීම ය. පහළ යෑමට මිසක ඉහළ යෑමට නොදන්නා රුපියලක අප උරුම කරුවන් වීම ය.

ඇවිදින්නට හරි හමන් පාරක් නැතත් මහපාර දිගේ වාහන නම් යන්නේ ඇවිදින ගමනකි. ඒ කියන්නේ ඒවා අත්කරගන්නේ පැයට කිමී 8 ක වේගයක් පමණක් බව ය. වාහන ටික ගෙදර තබා කවුරු කවුරුත් බයිසිකල් පැද්දා නම් කාලයත් ඉතිරි කර ගෙන, සෞඛ්‍ය ප්‍රශ්න බොහෝමයක් විසඳී, විදේශ විනිමයත් ඉතිරි කරගන්නට ඉඩ ඇත්තේ ය. ඒ ඉඩ විතර ය. එහෙම වෙන එකක් නැත. අප අවුල් කර ගැනීමට දක්ෂ ජාතියක් විනා ඒවා නිරවුල් කරගන්නට දන්නේ නැති නිසා ය. වාහන තදබදයක් උද්ගත වී ඇත්තේ රටේ මාර්ග පද්ධතියටත්, ප්‍රවාහන ප්‍රතිපත්තිවලටත්, ප්‍රයිවෙට් බස් කළමනාකරණයටත්, පොදුවේ රටේ වැඩ වෙන හැටියටත්, පින්සිදු වන්නට ය. ඒ සියල්ල පෙන්වන්නේ අපේ නිර්මාණයේ හා සිතීමේ සීමාවන් ය. අහසින් යනවා ඇර මේ පාරවල යන්නට වෙන ක්‍රමයක් නැත. රාවණා කෙනෙකු අතීතයෙන් ගෙන්වා ගත යුත්තේ ඒ නිසා ය. රාවණාගේ පම්පෝරිය මිසක ඒ වැඩ නැති නිසා එහෙම එකක් ගැන ද බලාපොරොත්තු තැබිය නොහැකි ය.

රජෙක් ලැබුනොත්

අප කැමති රජ කෙනෙක් ලැබෙනවා නම් ය. එහෙම වුනොත් පෙරහැර කරන්නටත්, කිරිබත් උයන්නටත්, අප ලෑස්ති ය. ඒ රජාට ප්‍රශස්ති ගයන්නටත් ඔහුගේ නොපනත්කම් ඉවසන්නටත් අප ලෑස්ති ය. සුද්දා දුන් මේ මල ඉලව් ආයතන ව්‍යුහයෙන් අපට වැඩක් නැත. යුක්තිය අපේ පැත්තට පක්ෂපාත ලෙස විසඳන අපේ කෙනෙකු රජ වුනා නම් අපට ඒ ඇති ය. ඒ හේතුව නිසා ම, සෙසු උන්ට විරුද්ධව යුද්ධ කරන්නට ඕනෑ වුනොත්, අප ඉදිරිපත් වීම කෙසේ වෙතත්, අල්ලපු ගෙදර මිනිහා චූන් කොට එවන්නට අපට කැප විය හැකි ය.

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියා තුනක් තියෙන්නට ඕනෑ නැත. අපේ ඉතිහාසයේ ඔය ඔක්කොම කළේ රජා ය. වර්ථමානයේ මේ තුනම රජාට කරන්නට බැරි නම්, රජා කැමති ගෝලයන් පත් කර ගෙන, රජුට ඕනැ හැටියට කර ගෙන යෑමට පරිසරයක් ඇති කළ යුතු ය. එහෙම නැත්නම් අපේ වුවමනා එපා කම් අපට ඕනෑ හැටියට ඉටු කර ගැනීම බොරු ය.

අපට නීතිය ඕනෑ ය. ඒ අනිත් මිනිසුන් ආණ්ඩු මට්ටු කරන්නට ය. අපට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එකට නම් අපේ කිසිම කැමැත්තක් නැත. නීතිය විය යුත්තේ අපේ මනාපය ය. ඒ නිසා අප නීතිය කැඩුව අවස්ථාවක වුව ද අපේ නියෝජිතයන් මැදිහත් වී අපව නීතියේ රැහැනින් මුදවාගත යුතු ය. නැත්නම් ඊළග මැතිවරණයේ දී උන් ජය ගන්නවා බොරු ය.

අපට නිදහස ඕනෑ ය. ඒ නිදහස අනිත් මිනිසුන්ට දෙනවාට නම් අපේ වැඩි මනාපයක් නැත. උන් අප මෙන් නොව එය වල්බූරු විදිහට භාවිතා කරන නිසා ය. අන් අයට නිදහස දෙන්න හදන අය, වෑයම් කරන්නේ රට උන්ට බාර දෙන්නට ය. ඒකට නම් ඉඩක් අපෙන් ලැබෙන්නේ නැත.

රස්සාව මට හෝ මගේ පුතාට ලැබෙනවා නම් මට හෝ මගේ පුතාට සුදුසුකම් නොතිබ්බාට කමක් නැත. එයින් රටට වැඩක් වනවා ද නැද්ද යන්න ද ඒ නිසා අදාළ නැත. අපේ වැඩේ කෙ‍ෙරනවා නම් රටට කුමක් වුවත් අපට කමක් නැත. අපේ පක්ෂයකට බලය ලැබෙනවා නම් ඒ සඳහා අප භාවිතා කරන අවර ගණයේ උපක්‍රම නිසා ජාතියට ඉන් අවමානයක් ඇති වුව ද කමක් නැත.

කොඩියට ඇති ආදරේ රටට නැති

රටට ලොකු ආදරයක් නැත්තේ වුව ද රටේ කොඩියට අප ආදරේ ය. ජාතියට එහෙමට ආදරයක් නැති මුත් ජාතික ගීයට අප ආදරේ ය. අප රට හා ජාතිය කියන්නේ කොඩිය හා ගීතයට ය. එහෙම බැලුවහම අපත් හොඳ ජාති හිතේෂීන් ය. දේශප්‍රේමීන් ය.

අප මෛත්‍රිය වඩන්නේ පංසලේ දී ය. අසල්වාසියාට ප්‍රේම කරන්නේ පල්ලියේ දී ය. ඉන් පිටත ඇත්තේ වෛරයත් ක්‍රෝධයත් ය. ජාති වාදී කෝලාහල වල දී ආගමික ගැටුම් වල දී ඒවා අමු අමුවේ එලිපහලියට එන්නේ ය. වැඩි ම විනාශය ගෙනෙන්නේ, දේපල විනාශ කරමින් ඒවායේ ඇවිල යන, සාමාන්‍ය ගිනි දැල් වලින් නොවේ. මිනිස් බැඳීම් දවාලමින් ඇවිලෙන වෛරයේත් ක්‍රෝධයේත් අසාමාන්‍ය ගිනි දැල් වලිනි.

ධර්මය තියෙන්නේ සාකච්ඡා කර සැක හැර දැන ගන්නට නොවේ ය. අසා අවසානයේ සාදු කාර දීමට ය. ඒ පිනෙන් දෙව් මිනිස් සැප කෙළවර නිවන් දැකීමට ය. ඇත්තෙන්ම අප බණ අසනවාට වඩා කැමති අස්සවන්නට ය.

ආදර්ශයක් දෙනවාට වඩා කැමති අවවාදයක් දීමට ය. ඇහුම්කන් දෙනවාට වඩා කැමති කියවන්නට ය. කරුණාවෙන් කියනවාට වඩා කැමති පොඩි පාට් එකක් දමා ඇට්ටි හැලෙන්නට දෙන්නට ය. විශේෂයෙන් ම අනෙකා තමන්ට වඩා කුඩා නම් ඊට වඩා වෙන විකල්පයක් අපට පේන්නේ ම නැත.

අප සිල් ගන්නවාට වඩා කැමති සිල් රෙද්දක් ඇඳ ඒ බව ලෝකයට පෙන්නන්නට ය. බුදු දහම පිළිපදිනවාට වඩා කැමති කොඩියක් එල්ලා බෞද්ධයෙකු බව අඟවන්නට ය. ඒ සඳහ‍ා අවශ්‍ය වුනොත් කූඩු හදන්නට ය. සරසන්නට ය. පුද පූජා කරන්නට ය. පෙරහැර කරන්නට ය. ඒ සියල්ල ඊයේට වඩා හොඳින් කරන්නට ය.

අප කැමති අනුන්ගේ වැරදි හොයන්නට ය. අපේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ ඇති රොඩ්ඩ දැකිමට ය. අපේ අඩව්ව වැරදුනේ පොළොව ඇද නිසා ය. උන්ගේ අඩව්ව වැරදි උන්ගේ අදක්ෂකම නිසා ය. කිසිවක් නොසොයාම ඒ නිගමනයට එළඹීමට අපට ඇත්තේ පුදුම දක්ෂතාවයකි.

අහනවා වෙනුවට ඇස්සවීමට ඇති කැමැත්ත

අප විශ්වාස කරන්නේ, අප පිරිත් අහන්නට කැමති හා සූදානම් වෙලාවලට, අහළ පහළ නොදරුවන් ද, ලෙඩුන් ද, නින්ද අවශ්‍ය සෙසු අය ද, පසු දින විභාගයන්ට පෙනී සිටින අය ද, වෙනත් ආගමිකයන් ද, නිදි නැතිව පිරිත් අහන්නට සූදානම් විය යුතු බව ය. කැමති විය යුතු බව ය. ඒ මෙය බෞද්ධ රටක් නිසා ය. එහෙම බැරි කෙනෙකුට තියෙන්නේ වෙන රටකට තොලොංචි වෙලා යන එක ය.

අප යදින්නට දක්ෂ ය. පන්සල් පල්ලි කෝවිල් ඉස්සරහ සිට යාචකයන් යදිද්දී සෙසු අය ඇතුළේ යදිති. වෙනස එක් කණ්ඩායමක් මිනිසුන්ගෙන් යදිද්දී සෙස්සෝ දෙවියන්ගෙන් යැදීම ය. ගස් ගල් වලින් යැදීම ය. වඩා නුවණක්කාර කුමන පාර්ශවය දැයි තර්ක කරන්නට අපේක්ෂා නොකළ ද ඔබට එය හිතා ගන්නට බැරි වන එකක් නැත.

මොවුන් මෙසේ යදින්නේ මොනවා ද? එලියේ ඉන්න අය නම් යදින්නේ සල්ලි ය. නැතහොත් දෙවියන්ගේ මල්ලී ය. සමහරු නම් කියන්නේ මල්ලි වුනේ ඉස්සර බව ය. දැන් නම් සල්ලි අයියා ය. ප්‍රශ්නය ගැටළුවක් වන්නේ ඇතුළේ ඉන්නා අය දෙවියන්ගෙන් යදින දේවල් ගැන ය. ඒ සම්බන්ධයෙන් නම් වඩා ගැලපෙන උත්තරය තවත් ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය නම් ඔවුන් නොයදින්නේ මොනවා ද යන්න ය.

ළගම දේවාලයක් තියෙද්දී යාචකයන් දෙවියන්ගෙන් නොයැද මිනිසුන්ගෙන් ම යදින්නේ ඇයි ද යන්න ඔබට ඇතිවිය හැකි සාධාරණ ප්‍රශ්නයකි. එහෙත් එවන් ප්‍රශ්න බොහෝ දෙනෙකුට ඇති වන්නේ නැත. කුඩා කල සිටම ප්‍රශ්න කරන ළමුන්ට තරවටු කිරීම නිසා ම, ගහලා හදන නිසා ම, ලංකාවේ මිනිසුන් කියන ඕනෑම දෙයක් බාර ගන්නවා මිසක කිසිවක් ප්‍රශ්න කරන්නේ නැත.

සුවච කීකරු අල ගෝනි

අප කැමති අල ගෝනි වගේ දරුවන්ට ය. නොසෙල්වෙන දරුවන්ට ය. ඒ අනවශ්‍ය ප්‍රශ්න උන් නොඅසන නිසා පමණක් නොවේ. උන් ආම්බාන් කිරීම ද ලෙහෙසි නිසා ය. උන් වැටෙන්නේ නැත. තුවාල කර ගන්නේ නැත. වෙන කිසිවෙකුට හානියක් කරන්නේ ද නැත. කාටූන් එකක් දමා පැත්තකට වුනහම උන් ගැන ආයෙ බලන්නට දෙයක් නැත. ඒ විනයට යටත් කර අප උන්ගෙන් නිර්මාණශීලිත්වය අපේක්ෂා කරන්නෙමු. විචාරශීලී විය යුතු යැයි හිතන්නෙමු. අප ළග ඇති ඒවාවත් ඇති කර ගත හැකි පරිසරයක් හදා දෙන්නේ නැතිව, අප ළග නැති සෙසු චරිතාංග ද උන් වෙතින් අපේක්ෂා කරන්නෙමු. අපි ඇදේට යන ගමන් අපේ පැටවුන්ට කෙළින් යන ලෙස අණ කරන්නෙමු. උන් එසේ යන්නේ නැත. ඒත් අපි දිගටම අපේ අවවාද අනුශාසනා වලින් උන් හෙම්බත් කර දමන්නෙමු. ඊට පසු උන් නෑසු කන් ඇතිව සිටින විට මුන් වගේ අසංවේදී පිරිසක් තවත් නැතැයි චෝදනා ද කරන්නෙමු.

මේ වද හිංසාවලින් හා අප්‍රමාණ තහංචිවලින් බේරෙන්නට බැරි වූ විට උන් කරන්නේ රට පැනීම ය. එහෙම පැන්නත් තමන්ගේ ඔළු වල තිබෙන කුණු කන්දල් වලින් ගැලවීමට ඔවුන්ට බැරි ය. ඒවා ඉබි යතුරු දමා, ඉවත් කළ නොහැකි ලෙස, උන්ගේ ඔළුවල තැන්පත් කිරිමට අප විසින් වග බලා ගෙන ඇති නිසා ය. ඒවා අතර හූනන් කියන සාස්තර ද හඳේ හෙවනැල්ල වන රාහු විසින් සනිටුහන් කරන කැප හා අකැප වෙලාවන් ද ඇතුළු නොඑක දේ තිබෙන්නේ ය. ඒවා හිස් මුදුනින් පිළිගන්නට ධම්මික පෙරේරා නම් ව්‍යාපාරිකයාගේ පෞද්ගලික චර්යාවක් හොඳටම ඇති ය. ඒ ඔක්කොටම අනුව වැඩක් කරන්නට බැරි නිසා බොහෝ දෙනා කැමති වැඩ නොකර සිටීමට  ය.

වාසනාවකට වගේ ලංකාවේ පරිසරය තුළ ද ඊට වැඩි ඉඩක් ද තිබේ. මේ බිමේ කෝටුවක් පසට යට කරත් අල බහින්නේ ය. අවුරුද්ද පුරා අව්ව තිබෙන්නේ ය. වතුර ප්‍රශ්නයක් වන තැනක, වැවක් ද තනා ඇති නිසා, ඉඩමක් ඇතොත් කන බොන දේ වගා කර ගත හැකි ය. නැතිනම් ආණ්ඩුවේ ඉඩමක් හෝ රක්ෂිතයක් අල්ලා ගෙන හෝ ඒ දේ කළ හැකි ය. වෙනත් ජාතිකයන්ට මෙන් ශීත ඍතුවක් නොමැති වීම නිසා එහෙමකට ඇඳුමක් නැතිවම කුරක්කන් රොටියක් නැත්නම් ගඩා ගෙඩියක් කා දවස ගත කළ හැකි ය. ගෙයක් අවශ්‍ය වන්නේ වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වීමට පමණ ය. ඒ කියන්නේ මුවා වන්නට ගසක් තිබුනත් ඇතැයි කියන එක ය. ඉතින් වැඩිමනත් දෙයක් නොකර දවස ගෙවා දැමිය හැකි ය. මුකුත් නොකර අත්පා අකුලා ගෙන සිටිමට ඊට වඩා පෙළඹවිමක් තිබිය හැකි ද?

දෙන්නම් බැටේ

එහෙම පුළුවන් කම තියෙද්දීත් සමහරු දඟලන්නෝ ය. ඉහළට නගින්නට නොයෙක් දේ කරන්නෝ ය. උන් අපට පේන්න ම බැරි ය. වැඩි ආශාව දුකට මුල යයි හාමුදුරුවන් ලවා කියවන්නේ වුව ද ඇතැමුන්ට ඒ බණ තේරෙන්නේ නැත. ඇස්වහ කටවහ වලින් අපි උන්ව නාවන්නෙමු. ආධාර ඉල්ලා උන්ට කරදර කරන්නෙමු. ඒ නිසා ම දෝ වැඩි දෙනෙක් කැමති තියාගෙනත් අඩුවෙන් පෙන්නන්නට ය. එහෙම කරලා හරි බොහෝ දෙනෙකු මතුපිටටවත් අප වගේ පෙනෙන්නට තියා ගැනීමට අපි සමත් වී සිටිමු. ඒ තමන් සම්බන්ධයෙන් ස්වයං වාරණයක් දා ගන්නට උන්ට සැලැස්වීම හරහා ය.

බොහෝ දෙනෙක් දන් දෙන්නට කැමති ය. බලු කපුටන්ගෙන් පටන් ගෙන් යාචකයන් හරහා ලයිස්තුව අවසන් වන්නේ හාමුදුරුවන්ගෙනි. බල්ලන්ට කපුටන්ට දන් දෙන්නේ වටා පිටාවත් කුණු වලක් කරමින් ය. හාමුදුරුවන්ට දන් දෙන්නේ, කෙළෙස් නිවන්නට මහණ වූ අයට කෙළෙස් වඩන්නට සිදු වන පරිද්දෙන්, රස නහර පිනා යන සියල්ල අඩුවක් නැතිව දීමෙන් ය. ඒ හරහා උන්නාන්සේලාට දියවැඩියාව ඇතුළු අතෝරක් රෝග හදන්නට අමතර වශයෙන් අත හිත දීමෙන් ය. අපේක්ෂාව පොදුවේ කාට කුමක් සිදු වුව ද තමන් ගොඩ යෑම ය. පින් සිද්ධ කර ගැනීම ය. මේ ආත්මයට නැතත් ලබන ආත්මයට එකතු කර ගැනීමට ය. ඒ නිසා ම අපේ මේ දානය නිසා, පරිසරය බල්ලාට ගිය ද, හාමුදුරුවන් නියමිත කාලයට කලින් නිවන් සුව ලැබුව ද, අපට ගැටළුවක් නැත.

සහෘද ශ්‍රී ලාංකිකය, අප කවුරු කවුරුත් මෙසේ සිටිය දී රටෙන් පමණක් ඔබ ආශ්චර්යයක් අපේක්ෂා කරන්නේ කෙසේ ද? පළමුව අප වෙනස් විය යුතු ය. ඔබ වෙනස් විය යුතු ය. එවිට ඉතිරිය ඉබේම වෙනස් වෙනු ඇත්තේ ය. ඊට කැප නොවෙනතාක් ආඩපාලි කීමට ඔබට, මට, අයිතියක් නැත.

දෙවි පිහිට නැතිවම බැරි කාලයක් තිබුන. ඒත් දැන් …

දෙවියෝ අපේ නිර්මාණයක්. ඒක හොඳටම පේන්නේ දේව රූප දිහා බැලුවහම. ඊජිප්තුවේ දෙවියොයි ග්‍රීසියේ දෙවියොයි ඉන්දියාවෙ දෙයියොයි නෑකම් කියන්නෙ ඒ රටවල මිනිසුන්ගෙ රූප වලට.

දෙවියන්ට වැයික්කියක් තියෙනව, එයාගෙ බල ප්‍රදේශය තමයි ඒක. එතැනින් එහාට එයාට බලයක් නැහැ. කවුරුවත් ගණන් ගන්නෙ නැහැ. බල ප්‍රදේශයෙන් එලියෙ ඉන්න මිනිස්සු එයාට හිනා වෙනව. ඔර වනවා. රවනවා. එයාගෙ පිළිමයක් ආවත් කඩල පුච්චල දානව.

වැයික්කිය ඇතුළෙ එහෙම තියා කට වරද්ද ගන්නත් බෑ. කට වරද්ද ගත්තොත් මිනිහ ඉවරයි. දෙයියො කොහොම වෙතත් දෙයියන්ගේ අනුගාමිකයො අතින් සල්ලම් වෙලා යනවා.

ඒත් වැයික්කියෙන් එලියෙදි දෙවියන් ව උඩ දාල මිනිස්සු පුට්බොලුත් ගහනව. ඒත් මුකුත් කර ගන්න එයා ට බෑ. එයාගෙ අනුගාමිකයන්ටවත් බෑ.

ඇත්තටම බලය තියෙන්නේ දෙවියන්ට නෙවෙයි එයා ගෙ අනුගාමිකයන්ට. දෙවියන්ගෙ බලය පෙන්නන්නෙ ඒ ගොල්ලො. ඒ ගොල්ලො නැති තැන දෙයියොත් නෑ.

සමහර රටවලට ඉන්නෙ එක ම එක දෙවි කෙනෙකු විතරයි. හැබැයි එයා සර්වබලධාරී. ඒත් මිනිස්සු ටික හරියකට හදා ගන්න එයාට බැහැ. තමන් මවපු මිනිහ ඇපල් කෑල්ල කන එකවත් මිනිහට වළක්වගන්න බැරි වුන එකේ තව මොන කතා ද?

තිස්තුන් කෝටියක් දෙවියො ඉන්න එකම රට නම් අපේ රට වෙන්න ඕන. ඒ ගොල්ලො ඉන්නෙ රට රකින්න. හැබැයි ඒ ගොල්ලො මිනිස්සු රකින්නෙ නෑ. ඒ නිසා කැරලි කෝලාහල යුද්ධ වලින් මිනිස්සු මැරෙනව. බීලත් මැරෙනව. ඒවා ඉතින් කරුම නෙ. දෙවියන්ට කරුමෙ වෙනස් කරන්න බෑ. එහෙම හිතන මිනිස්සුම කරුමෙ වෙනස් කරල දෙන්න කියාගෙන පඩුරු පාක්කුඩම් එක්ක දෙවියන්ට කන්නලව් කරනව. හිනාවෙන්න ද අඩන්න ද කියල දෙවියන්ට ඒ වෙලාවට නම් හිතෙනව ඇති.

සමහරු කියන්නේ ඒ ගොල්ලො රට විතරක් නෙවෙයි ශාසනේ එහෙමත් රකිනව කියල. ඒ කොහොම වෙතත් වෙන දේවල්වල හැටියට මං හිතුවේ ඒ වගකීම ඒ ගොල්ලො අත් හැරල ගොඩක් කල් කියලයි. ශාසනේ විනාශ කරන්න ඒතරම් පිරිසක් ශාසනේ ඇතුලෙන්ම පිට පොට ගහන බව පේනව.

සමහරු නම් කියන්නෙ මේ දවස්වල ඔය තිස්තුන් කෝටියෙන් කීප දෙනෙක් බිමට බැහැල ශාසනේ රකිනව කියලයි. කොටි දත් මැද්දෙ තියෙන පන්සල් එහෙමත් ඒ ගොල්ලො රකිනවලු. සිංහලෙන් කියල බැරි වුනහම කුණුහරුපත් කියල බලනවලු. දෙවියො එක එක විදිහට පෙනී ඉන්න නිසා ඒකත් ඇත්ත වෙන්නැති. එතකොට ඔය එක්කෙනා දෙන්නා ඇරුණහම අනිත් කට්ටිය මොනව ද කරනව ඇත්තෙ. දෙවියන්ට කරන්න වැඩ ද නැත්තෙ? සුර සැප විඳින එකම ගතත්තත් ලේසි පහසු වැඩක් ද? සුරසැප පැත්තක තියෙල හදිසියේ වත් අපි දිහා බලන එකවත් මදි ද? අපේ චන්දෙන් සුරසැප ගන්න දේශපාලනඥයො වත් නොකරන වැඩක් නෙව.

මේ සුරසැප විඳින දෙවියන්ට ඒකවත් හරියට කර ගන්න වෙලා තිබුනෙ නෑ අපේ මිනිස්සුන්ගෙ කරදර නිසා. පොඩි බඩුවක් නැති වුනත් දුව ගෙන යනව. අල්ලපු වත්තෙ මිනිහට කෙළවන්න ඕන වුනහමත් යනව. ලෙඩ ගොඩ දාගන්නත් නිදන් ගොඩ දාගන්නත් දෙකටම යනව. විභාගෙ පාස් කරන්නත් දුව ව මදාවියෙකුගෙන් බේර ගන්නත් ඔය කොයි කොයි සිල්ලර වැඩේටත් දෙවියො ලගට දුවනව. අන්තිමේ මේ වදෙන් බේරෙන්න දෙවියො මග හැරියා කියලයි සමහරු නම් කියන්නෙ. තව කොටසක් කියන්නෙ කපු මහත්තුරු කරන වැඩ දැකල ලජ්ජා හිතල දෙයියො දැන් පල්ලම් බැහැල ඉන්නෙ කියලයි.

කොහොම වුනත් දැන් තත්වය වෙනස් වෙල. ඔය කොයිව කරගන්නත් දැන් මිනිස්සු යන්නේ මන්ත්‍රී තුමා ලගට. දෙවියො මුකුත් ම කරන්නේ නැති නිසා තමන්ගෙම නියෝජිතයෝ පත් කරල සුර සැප දීල අලුත් දේව සභාවත් මන්ත්‍රණ සභාව කියන නමින් දැන් ඒ ගොල්ලො පත් කර ගෙන ඉන්නවා. ඒ ගොල්ලො වුනත් ලේසියකට මුණ ගැහෙන්න බෑ. කපුවො හරහා තමයි තාම ගනුදෙනු. හැබැයි ඒ කපුවට කියන්නෙ පෞද්ගලික ලේකම් කියල.

ඇත්තටම අලුත් තත්වය යටතේ රට රකින්නේ ශාසනය රකින්නේ ඒ ගොල්ලො. තිස් තුන් කෝටියකට කරන්න බැරිවුනා කියන වැඩ කරල දෙන්න ඒ ගොල්ලො පොරොන්දු වෙනව. දැන් දේවාලවලට පඩුරු ඔප්පු කරන අය ඒ නිසා අඩුයි. දැන් මේ අලුත් මන්ත්‍රණ සභාවට ඒකෙ ඉන්න අයට තමයි ඔප්පු කරන තරමක්.

මෝඩයො ටික දෙනෙක් තාමත් පරණ දෙවියො ළග වැඳ වැටුනට වැඩි සෙනගක් දැන් පතන්නේ මන්ත්‍රී සරණ.

හෙට උපදින ඔබට මන්ත්‍රී සරණයි ඇමති ආරක්ෂාව යි.

හේතු සාධක නැති අපේ නිගමන

444_11022019_FRR

මත්ද්‍රව්‍ය වැනි අනතුරුවලින් සමාජය මුදවා ගැනීම සිල්ලර කටයුත්තක් නොවේ. පහසු කටයුත්තක් ද නොවේ. බොහෝ දෙනෙකුගේ මතය නම් එවැනි කටයුතු වලට දැඩි දඩුවම් පැමිණවීම අවශ්‍ය බව ය. එසේ නොකර ඒවා මුළුනුපුටා දැමිම කළ නොහැකි බව ය. බැලූ බැල්මට කතාව ඇත්ත ය. දඩුවම කෙනෙකු කිසියම් අභිචාරයකින් ඈත් කරවීමට සමත් යැයි කියනු ලබන හෙයිනි.

එහෙත් බොහෝ දෙනෙකු ඒ නිගමනයට එන්නේ කරුණු සළකා බලා විමසා ද යන්න ගැටළුවකි.

මෑතක දී මේ සම්බන්ධයෙන් ඉතාම තදින් බලය යොදා ක්‍රියාත්මක කළ රට වූයේ පිලිපිනයයි. මත්ද්‍රව්‍ය මාෆියාව පාලනය සඳහා පිලිපීන ජනාධිපතිගේ උපායමාර්ගය වූයේ නඩු නැතිවම මරා දැමීමට අවසර දීම ය. එම උපාය මාර්ගය ක්‍රියාවට නැංවීම ආරම්භ කළේ 2016 වසරේ ජූලි පලමුවෙනිදා ය. දකුණු කොරියානු ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් මරා දැමීමෙන් කැළඹීමට පත් ව ජනාධිපති විසින් ඒ උපාය මාර්ගයට කෙටි විරාමයක් ලබා දුන්නේ 2017 ජනවාරි 31 දා ය. ඒ කාල වකවානුව තුළ පමණක් 53,025 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර නිවාස 7,069,095 ක් ගණනක් සෝදිසි කර ඇත. ඒ වකවානුව තුළ පමණක් 1,179,462 තමන් මරා දමනු ඇතැයි සැකය නිසා පොලීසියට බාර වී ඇති අතර හත් දාහකට අධික සංඛ්‍යාවක් මරා දමා ඇතැයි විශ්වාස කෙරේ. එයින් පෙනී යන්නේ එය එක්තරා දුරකට වැඩ කර ඇති සැටියකි.

දකුණු කොරියානු ව්‍යාපාරිකයා මරා දැමීම හේතුවෙන් තම සටනට තාවකාලික විරාමය දෙමින් ජනාධිපති කියා සිටියේ පළමුව පොලීසිය නිවැරදි වී සිටිය යුතු බව ය.

විරාමය සති කීපයකින් අවසන් වූ අතර පෙබරවාරි 27 දින නැවත සංග්‍රාමය ඇරඹිනි. දින 27 ක් තුළ පොලීසිය නිසි මගට පැමිණියේ යැයි සිතුවහොත් එය ලෝකයේ සිදුවූ අතිශය පුදුම සහගත පෙරලිය යැයි කිව හැකි ය. ඒ ගැන තොරතුරු අප සතුව නැත. එහෙත් පොලිසිය හැදුනා හෝ නැතා හෝ මේ ගමන ඉදිරියට යා යුතු යැයි පිලිපීන ජනාධිපති හිතුවා විය යුතු ය.

මර්දනයෙන් නිවාරණය පහසු නැත

මෙයින් එකක් පැහැදිලි ය. මෙවැනි මර්ධනයක් අභියස ද මත්ද්‍රව්‍ය පාලනය ලෙහෙසි වී නැති බව ය. තවමත්  මත්ද්‍රව්‍ය පිලිපීනයේ සංසරණය වන බව ය. මාෆියාව ක්‍රියාත්මක වන බව ය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දැඩි නීති රීති පැනවූයේ ද දඩුවම් ක්‍රියාත්මක වූයේ ද ඉතිහාසයේ පළමු වතාවට පිලිපීනයේ නොවේ. මත්ද්‍රව්‍ය මර්ධනයට දැනට වසර පෙර වැට කඩුළු බැන්දේ අප කවුරුවත් නොහිතන ඇමරිකාව ය.

ඇමරිකාවේ ලාස් වෙගාස් නගරය ප්‍රසිද්ධ සූදුවට ය. එහෙත් එහි බලන්නට වටිනා කෞතුකාගාරයක් ද තිබේ. එය නමින් මොබ් මියුසියම් ය. එහි තිබෙන්නේ ඇමරිකාවේ මාෆියාවේ ආරම්භය විකාශනය හා අවසානය පිළිබඳ කතාව ය. සාක්කි සංඛ්‍යාලේඛන වීඩියෝ පට පමණක් නොව මාෆියාව භාවිතා කළ අවි සහ වෙනත් උපකරණ වල එකතුවක් ද සහිතව ය.

ඇමරිකාවේ මාෆියාව ආරම්භ වන්නේ 1920 දී එහි මද්‍යසාර මුළුමණින් තහනම් කිරීමත් සමග ය. එයින් අදහස් කරන්නේ ඇමරිකාව මද්‍යසාර නිශ්පාදනයත් ආනයනය කිරීමත් බෙදා හැරීමත් විකිණීමත් මුළුමණින් ම තහනම් කළ පසු එම කර්මාන්තය යටිබිම් ගත වූ බව ත් එහි නිශ්පාදනය හා බෙදා හැරීම සඳහා ආරක්ෂාව සැපයීමේ අවශ්‍යතාවය සපුරනු සඳහා අවිගත් කණ්ඩායමක් අවශ්‍ය වූ බවත් ය. එය පසු කලෙක මධ්‍යගත නායකත්වයක් විසින් පාලනය කරන, රට පුරා පැතිර ගිය, වෙනම සංවිධිත මාෆියාවක් බවට ක්‍රමයෙන් වර්ධනය වූ බව ය.

අවශ්‍ය තැන් වලදී මාෆියාව මිනිසුන් අල්ලස් දී මිල දී ගත් අතර එසේ නොකළ හැකි තැන් වල දී මරා දැමීමෙන් ඒ මිනිසුන්ගෙන් නිදහස් වීමට එය වග බලා ගත්තේ ය.

එසේ මේ මාෆියාව පොලීසියේ ද රාජ්‍ය යන්ත්‍රණයේ ද පළල් සමාජයේ ද මිනිසුන් රැසක් බිල්ලට ගත්තේ ය. මිනිසුන් බය නිසා මාෆියාවට විරුද්ධව කිසිවක් කිරීමට කැමති වූයේ නැත. ඒ නිසා ම මාෆියාව මැඩලීම අතිශය දුෂ්කර කරුණක් විය.

උගත් පාඩම්

අවසානයේ ඇමරිකාව මත්පැන් සඳහා තිබුණු තහනම ඉවත් කළේ ය. තහනම ඉවත් කිරීමෙන් පසු සිය පැවැත්ම සඳහා මාෆියාවට අලුත් දෙයක් සොයා ගැනීමට සිදු විය. ඔවුන් ඊළගට එල්ලුනේ එවකට තහනම් කර තිබූ සූදුවේ ය. පසු කලෙක ආණ්ඩුව සූදුව සම්බන්ධ නීති ලිහිල් කළ අතර ලාස් වෙගාස් නගරය ම එක ම සූදු පුරයක් බවට නොබෝ කලකින් පත් විය. මාෆියාවට තව වතාවක් යන එන මං නැති විය.

ඔවුන් කළේ ඒ වනවිට තහනම් කර තිබූ මත්කුඩු ව්‍යාපාරිකයන්ට සරණ වීම හරහා සිය පැවැත්ම නැවත වතාවක් තහවුරු කර ගැනීමට ය. ඇමරිකන් ප්‍රාන්ත ගණනාවක ම මත්කුඩු තහනම ඉවත් වූ කල මාෆියාව බොහෝ දුරට අසරණ විය. ඒ තත්වය යටතේ එය පාලනය කිරීම රජයට පහසු විය.

ඉතින් මේ දිග කතාව කීවේ තහංචි හරහා බොහෝ දේ කළ හැකි යැයි තවමත් විශ්වාස කරන අපේ පාඨකයන්ගේ ඇස් අරවනු පිණිස ය. එහෙත් ඒ සඳහා තව උත්තර දිය යුතු පැනයක් තිබේ. ඒ පැනය නැගුවේ  මේ කතාව අසා සිටි මගේ එක් උගත් මිත්‍රයෙකි. ඔහු ඇසුවේ ඇමරිකාව මාෆියාව මර්ධනය කළේ වුව ද දැන් ගිනි රාමෙට මත් පැන් ද මත් ද්‍රව්‍යය ද සූදුව ද පැතිරී ඇති නිසා එයින් ලබා ගත් ඇත්ත ජය කුමක් ද යන්න ය.

පෙරලා අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ඒ වෙඩි තබා මිනිසුන් මරා දමා මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමට පිලිපීනයට හැකි වී ඇත්තේ ද කියා ය.

ඒ පිළිබඳව සැක හැර දැනගත හැකි එක නිර්ණායකයක් නම් “ෂාබු“ නම් වඩාත් ජනප්‍රිය වැඩියෙන්ම ඇබ්බැහිවන සුළු මත්ද්‍රව්‍ය වල විදීයේ මිල ඉහළ ගොස් ඇත්දැයි බැලීම ය. පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක මධ්‍යස්ථානයේ ම සංඛ්‍යාලේඛන වලට අනුව සංග්‍රාමය දියත් කර මාස 10ට පසුව ද වඩාත් අඩු මිලකට මැනිලා නගරයේ දී මිලට ගත හැකි වී ඇත. 2016 ජූලි මාසයේ සංග්‍රාමය ආරම්භ කිරීමට පෙර ෂාබු ග්රූමයක් පෙසෝ 1,200 සිට 11,000 ක් පමණ පරාසයක පැවති අතර එය 2017 මැයි මාසය වන විට පෙසෝ 1000 සිට 15,000 දක්වා වී තිබේ (ඇතැම් තැනක මිල ඉහළ ගොස් තිබිය ද තවත් තැනක එය ලාභ වී ඇත).

මර්දනය නාමයෙන් තරඟකරුවන් මෙල්ල කිරීම

මෙසේ නොහැකි වීම පිළිබඳ තව කතාවක් තිබේ. පොලීසියේ නිලධාරීන්ගේ අනුග්‍රහ ලබන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දැන් වෙනදාට වඩා සරු වී ඇති අතර උන්ගේ තරඟ කරුවන්ට පමණක් කණකොකා හඩා තිබේ. පළමු කණ්ඩායම නිල පොලීසියේ ආධාර ඇතුව ද දෙවැනි කණ්ඩායම නොනිල මැර කණ්ඩායම වල ආධාරය ද ඇතිව යුද්ධයට අවතීර්ණ වී තිබේ. ජයග්‍රහණය විය යුතු පරිද්දෙන් පොලීසියේ අනුග්‍රාහක කණ්ඩායම් වලට ලැබී ඇති අතර ඔවුන්ගේ මත්ද්‍රව්‍ය දැන් වෙනදාටත් වඩා නිදහසේ අලෙවි වේ. මේ සියල්ලෙන් කියන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක කළේ වුව ද ඇති වන ප්‍රතිඵල අප නොහිතන පරිදි විය හැකි බව ය.

ආගම තියෙන්නේ නීතියට බැරි වූ දෙය කරන්නට යැයි විශ්වාසයක් ද අප අතර තිබේ. සමහරුන්ට අනුව කළ යුත්තේ බණ කීම ය. ඒ සඳහා දරුවන් දහම් පාසල් දැක්ක වීම ය. මේ දිනවල ඒ සඳහා ද පිඹුරුපත් සකස් කරමින් තිබේ. ඒ ද සංඛ්‍යාලේඛන හෝ තොරතුරු මත පදනම් ව නොවේ.

දැනට ද වඩාත් දැඩිව ආගම අදහන රටවල් 5 අතර ලංකාව ද තිබේ. කුඩා ටවුමක් වූ තලවතුගොඩ හංදියේ පමණක් සිවුරු ආදී පූජා භාණ්ඩ සපයන කඩ සාප්පු පහක් තිබේ. ෆාමසි ගාවට ටවුමේ වැඩියෙන්ම තියෙන්නේ එවැනි කඩ ය. පිරිත් හා බණ හැම තැන ම ලංකාවේ සෑ අස්සක් මුල්ලක් නෑර ම අසන්නට තිබේ. මාධ්‍ය  සියල්ල ද ඒ සඳහා පේවී සිටිති. උදේ ද හවස ද රෑ ද වශයෙන් තෙවතාවක් ආගමික වැඩ සටහන් පැවැත්වේ. බණ කීම සඳහා ම වෙන්වූ නාලිකා ද බර ගණනකි. ඒ සියල්ලෙන් බැරි වූ දේ අප දැන් කරන්නට හදන්නේ දරුවන් දහම් පාසල් යැවීමෙනි. ඒ දැනටමත් දරුවන් දහම් පාසල් යමින් තිබෙන බව පිළිබඳ නොසළකා හරිමින් ද එයින් ඇති ව තිබෙන ප්‍රතිඵල පිළිබඳ නිසි අධ්‍යයනකින් ද තොරව ය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් දුරාචාරයන් හා අභිචාරයන් සම්බන්ධයෙන් ද එය විසඳුමක් යැයි හිතන අය බොහෝ ය.

දහම් පාසල් බෙහෙත

හිර ගෙදර ඉන්නා හිරකරුවන් දහම් පාසල් නොගිය අය දැයි කිසිදු සමීක්ෂණයකින් අනාවරණය වී නැත. එවන් වටපිටාවක අප දහම් පාසල සොයා යන්නේ නිසි තොරතුරු ඇතිව නොවේ. අපට හිතෙන හැටියට ය. අපට දැනෙන හැටියට ය.

එසේ නම් උත්තරය කුමක් ද? ඔබ නොඉවසිල්ලෙන් නගන ඒ ප්‍රශ්නය සාධාරණ ය. එයට දිය හැකි මුල්වටයේ උත්තරය කරන දෙයක් නිසි තොරතුරු අගැයීමකින් පමණක් කරන ලෙස ය. දෙවැනි වටයේ උත්තරය සඳහා අප බැලිය යුත්තේ මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම ඉහළ යන්නේ කවර සාධක මත ද යන්න ය. ඒ ගැන සමීක්ෂණ විසින් හෙලිකර ගන ඇති සමහර තොරතුරු අනුව එක් පැත්තකින් ඊට පෙළඹීමට මිනිස් ස්වභාවයට අමතරව සමාජීය කාරණා ද බලපාන්නේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම තුළ අප කරන්නේ අපේ ජිවිතයේ හිස් තැනක් පුරවා ගැනීම ය. බොහෝ දෙනෙකුගේ ජිවිතය තුළ ආදරය සෙනෙහස නැත. ඒවා ආගම විසින් ද සදාචාරය විසින් ද අරහං කර තිබෙන්නේ ය. බොහෝ දෙනෙකුට ජිවිතය විඳින්නට බැරි ය. ඒ කප්පරක් තහංචි නිසා ය. ඒ ඇරෙන්නට සංස්කෘතික ජීවිතයක් මිනිසුන්ට නැත. සිංදුවක් කියන්නට, චිත්‍රයක් අඳින්නට, කවියක් ලියන්නට, රැඟුමක් නරඹන්නට, ක්‍රීඩාවක යෙදෙන්නට හෝ පොතක් කියවන්නට හුරුවක් පුරුද්දක් නැත. එහෙමකට වෙලාවක් නැත. වත් කමක් නැත. කලාතුරකින් කෙනෙකු එවැන්නක් කළ ද තමන් විසින් කරන එවැන්නක් බෙදා හදා ගන්නට එවැන්නක් ගැන කතා කරන්නට ද ඒ බොහෝ දෙනෙකුට සංවේදී සගයෙක් නැත. එහෙමට සමාජයක් ද රටේ නැත. ඉතින් ඒ අඩුපාඩු සියල්ල පුරවනුයේ මත්ද්‍රව්‍ය වලින් වීම පුදුමයක් ද?

ඊට අමතරව බොහෝ මිනිසුන් ජීවත්වන්නේ බොරුවෙනි. වංචාවෙනි. රැවටිල්ලෙනි. ඒ නිසා ඇතුළතින් ඔවුන් ඉන්නේ ආතතියෙනි. ඇතුළතින් වද දෙන හෘද සාක්ෂියක පීඩනයෙනි. ඒ සියල්ලට බේත මත්ද්‍රව්‍ය ය.

පසුබිම් කාරණා

මේ සියල්ල පිටුපස තිබෙන්නේ අපේ අධ්‍යාපනය ක්‍රමයේ වැරදි ය. දේශපාලනයේ දිළිඳු කම ය. ආගමේ කළු හෙවනැල්ල ය. සංස්කෘතියේ යල් පැන ගිය සදාචාරවාදී කුණු කන්දල් ය. ඒවා මත ගොඩනැගුණු අසමත් රාජ්‍ය හා දූෂිත නිලධාරී පැලැන්තිය ය. උඩින් පුම්බාගෙන සිටින්නේ වුව ද ඇතුළතින් දුබල අකාර්යක්ෂම ආයතන පද්ධතිය ය. කුණු උඩ දමමින් වැජඹෙන ජඩ මාධ්‍ය ජාලය ය.

අප ඉහත සඳහන් කළ පොදු බාහිර කරුණු වලට අමතරව ඇතැම් මානසික රෝග ද ජාන දුබලතා ද වැනි අභ්‍යන්තරික කාරණා ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට පෙළඹවිම් ඇති කළ හැකි බව සැබෑ ය. ඒවාට උත්තර සෙවිය යුත්තේ මරණ දණ්ඩනය හරහා නොවේ. වෛද්‍ය විද්‍යාව හරහා ය.

ඇතැම් අය කුතුහලය නිසා ද තවත් අය ක්‍රම විරෝධයේ සංකේතයක් ලෙස ද එයට අනුගත වෙති. එයට උත්තර ඇත්තේ වඩා විවෘතව අදහස් පළ කළ හැකි වටපිටාවක් තැනීමේ ය.

ඊට අමතරව මත්ද්‍රව්‍ය බහුලව භාවිතා කරන්නේ තරුණ පරපුර ය. ඔවුන්ට අධ්‍යාපන අවස්ථා සීමිත ය. රැකියා අවස්ථා සීමිත ය. ව්‍යාපාරික අවස්ථා සීමිත ය. ඒවාට තිබෙන වැට කඩොලු අසීමිත ය. මේ නිසා ඇති ව තිබෙන අසහනය අති විශාල ය. ඒවා වඩා පළල් කිරීමට රජය ගන්නා උත්සහයන් පවා කඩා දැමීමට පේවී ඇති බලවේග වල ගොදුරු බවට මේ සීමිත කඩ ඉඩ පැන ගත් තරුණ තරුණියන් ම එකතු වී කරන නාඩගම් බලන්නට සෙසු තරුණ තරුණියන්ට සිදු වී තිබීමේ කරුමය ද අති මහත් ය.

උන්ට ආතතිය පීඩනය ඇති කිරීමට තරම් අනවශ්‍ය තරගයකට උන් යොමු කරවා තිබේ. උන්ව බැඳ තැබීමට ක්‍රියාත්මක වන දහසක් බලවේග මේ සමාජය තුළ ක්‍රියාත්මක වේ. පාසල, ආගම, රජය, පොලීසිය, සමාජය යන මේ හැම එකකින්ම පනවන්නේ තහංචි ය. පිරිමි ලමයෙකු ගැහැණු ළමයෙකුගේ අතින් අල්ලාගෙන ඇවිදීමටවත්, කුඩයක් යටට වී දොඩමළු වීමටවත්, බැරි ආකාරයේ තහංචි ය. තමන්ට රිසි ඇඳුමක් ඇඳ සිටීමටවත් නොහැකි ලෙස පනවා ඇති සමාජ තහංචි ය. මේ වැට කඩොලු, බැඳීම්, ආතතිය හා තහංචි සිහියෙන් කඩන්නට බැරි තරමට දරුණු ය. ඒවා කැඩිමට ශක්තිය සපයා ගන්නේ විවිධ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙනි.

සමාජය විසින් මත්ද්‍රව්‍ය වැපිරීමට අපූරු තෝතැන්නක් මේ ලෙස බිහිකර තිබේ. වැඩි අමාරුවක් නැතිව ම මත්ද්‍රව්‍ය විකිණිය හැකි වාතාවරණයක් එමගින් ඇති කර තිබේ. ඊට සාමාන්තරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉහළින් සහයෝගය ද රැකවරණය ද නොඅඩුව ලැබේ.

ඒ එක රෝගයක්වත් සම්බන්ධයෙන් බෙහෙත් කරන්නට අපට නොහැකි නිසා, නැතිනම් ඒ බවක් අප නොදන්නා නිසා, අපට කළ හැක්කේ දන්නා දෙයක් කිරීම ය. දැනට සිදු වන්නේ එය ය. ඊට ප්‍රතිපක්ෂව අපේ මේ යෝජනාව මෙතෙක් අනුගමනය කළ සැපයුම පාලනය කරන්නට යෑම වෙනුවට ඉල්ලුම පාලනය කිරිමට කටයුතු කිරිමට ය. ඒ සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමට ය.

සැපයුම් කරන මිනිසුන් රකුසන් සේ දක්වමින් උන් පාලනය කිරීම හෝ තොලොංචි කිරීම හරහා මහජන ප්‍රසාදය දිනා ගැනීමට තැත් කිරීම එකකි. ඉල්ලුම නැති කර සැපයුම් කරුවන්ට සැබෑ ලෙස කොකා පෙන්වීම වෙනත් එකකි. දෙවැන්න පළමුවැන්න මෙන් පහසු නැතිවාට අමතරව ඒ හරහා ලකුණු දා ගැනීම ද අමාරු ය. පහසුවෙන් කර ඉක්මණින් හා වැඩි මනත් ලකුණු දා ගත හැකි මගක් තිබිය දී අමාරුවෙන් කර සොච්චම් ලකුණකින් සැනසෙන්නේ කුමකට ද? අප කලින් කී නොදැනුමට අමතරව මේ අවබෝධය ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපේ රටේ වත්මන් අස්ථානයට හේතුවක් විය හැකි  ය.

මගේ හැගීම රජයට පමණක් නොව මේ තත්වයේ වෙනසක් ඇති කිරීමට අපට ද වගකීමක් ඇති බව ය. ඒ සැපයුම පාලනයේ දී නොවේ. ඉල්ලුම පාලනයේ දී ය. ඒ අප කලින් සඳහන් කළ සමාජ කාරණා තුනී කරන්නට කැප වීමෙනි.

නිදහස් විය නොහැකි නිදහසේ වගකීම

deepana-pix_04022019_FUN_CMY

නිදහස ද අප හුස්ම ගන්නා වාතය වැනි ය. වාතයේ අගය මෙන්ම නිදහසේ අගය ද දැනෙන්නේ එය නැති වූ විට ය. එතෙක් අප ඊට දෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලකි.

දේශපාලනයේ යෙදෙන කෙනෙකුට නිදහස කී විට මතක් වන්නේ පෙබරවාරි 4 දා ය. ඒ ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුණු දිනය ය. එහි අදහස අපේ රටේ කටයුතු අපට ඕනෑ විදිහකට කර ගෙන යෑමේ නිදහස ඉන් පසු ලැබුණු බව ය. සමහරු නම් කියන්නේ ඒ නිදහස නොලැබුණා නම් මීට වඩා හොඳ බව ය. රට අප විසින් බාර ගත් පසු අප සියල්ල අනාගෙන ඇති බව ය. කොලය ඉරා ගෙන ඇඟේ හලා ගෙන ඇති බව ය. ඒත් තවමත් ලොව නන් දෙසින් ඇසෙන්නේ ස්වයං පාලනයන් ඉල්ලා නගන හඩ ය.

තමන්ගේ ම වුව ඒකාධිපති පාලනයක් අවසානයේ රටේ ජනතාව ලබන්නේ ද නිදහසකි. ඒ ලබන්නේ කතා කිරීමේ නිදහස ය. පාලකයින්ගේ අමන ක්‍රියාවලට, අඩු වශයෙන් තමන් විසින් එසේ අමන යැයි විශ්වාස කරන ක්‍රියාවන්ට, එරෙහිව විරුද්ධත්වය පල කිරීමේ නිදහස ය. සමහරු නම් කියන්නේ අප රටට අවශ්‍ය එසේ විරුද්ධත්වය පල කළ නොහැකි ක්‍රමයක් බව ය. ඒ කෙළවරක් නැති විරෝධතාවයන්ගෙන් නිදහස් වන්නට ඇති වුවමනාව ය. ඒත් ඒකාධිපතිත්වය රජයන රටවලින් නම් ඇසෙන්නේ එවන් පාලනයන් අවසන් කිරීමේ ජනතා වුවමනාවන් ය. මෑතක උදාහරණය මියන්මාරය ය. ඔවුන් තවමත් උත්සහ දරමින් ඉන්නේ මිලිටරියේ පාලනයේ ඉතිරි දම්වැල් වලින් ද නිදහස ය.

ඇතැම් රටවල තමන්ට කැමති ආගමක් අදහන්නට නිදහස නැත. වෙනත් ආගමක සංකේතයක් හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් හෝ පරිශීලනය කිරීමේ පමණක් නොව ලඟ තබා ගැනීමේ හෝ නිදහසක් නැත. සම්මත ආගමේ කිසි දෙයක් ප්‍රශ්න කිරීමේ නිදහසක් ද නැත. වෙනත් ආගමක් ප්‍රචාරය කිරීමේ නිදහස නම් කොහෙත්ම නැත. අපේ රටේ ද එවන් දේ සඳහා ඇති ඉඩකඩ අවුරාලන්න යැයි කියන උද්ඝෝෂණ විටින් විට මතුවේ. එහෙත් ආගමික නිදහසක් නැති රටවල ජනයා ඉන්නේ ආගමික පූජකයන්ගේ යකඩ සපත්තුවලට යටවෙලා ය. ඒ රටවල වැඩි දෙනෙක් ඉල්ලා සිටින්නේ දැඩි ආගමික පාලනයන්ගෙන් නිදහස ය. මෑතක උදාහරණය සවුදි අරාබියාව ය.

ඇතැම් රටවල තමන් කැමති කෙනෙක් විවාහ කර ගැනීමේ නිදහස නැත. මෑතක් වෙනතෙක් ලංකාවේ ද ඒ තත්වය තිබුණේ ය. ඒ නීතියෙන් නොව සමාජ තහංචි හරහා ය. එසේ විවාහ කර ගත් දරුවන් පවුලෙන් පන්නා දමනු ලැබුවේ “උඹ මගේ මරණයට වත් නාවට කමක් නෑ“ කියමිනි. එයින් කියවෙන්නේ නිදහස නැතිවීම නීතිය සම්බන්ධ ප්‍රශ්නයකට එහා ගිය සමාජ ප්‍රශ්නයක් බව ය. නීතියට ද උඩින් ක්‍රියාත්මක වෙමින් ඇතැම් රටවල හා සමාජ කණ්ඩායම් වල සමාජ තහංචි හරහා ද නිදහස සීමා කෙරෙන බව ය.

දරුවන්ගේ නිදහස

තමන් කැමති රැකියාවක් කිරීමට තමන් කැමති විනෝදාංශයක යෙදීමට ද දරුවන්ට නිදහස අයත් කර ගැනීමට සිදු ව ඇත්තේ ඇතැම් විට දෙමාපියන් හා වැඩිහිටියන් සමග විරසක වෙමිනි. ඒ කියන්නේ එවැනි අතිශය පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් ද නිදහස දීමට එරෙහිව ඇතැම් සමාජ කණ්ඩායම් තුළ තවමත් කටයුතු සිදු වන බව ය.

හොඳම දේ දරුවන්ට වුව ද නිදහස නම් දරුවන්ට අකැප යැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ නිදහස ඒ තරම්ම හොඳ නැති යැයි අප යටි හිතෙන් අදහන නිසා විය හැකි ය. උන් හය හතර නොදන්නා නොදරුවෝ ය. දෙන නිදහසෙන් ප්‍රයෝජන ගෙන උන් තමන්ට හානියක් කරගනු ඇතැයි අප බිය ය. ඒ බිය ඇත්තේ කුඩා දරුවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. කර දණ්ඩ උස්වී ලොකු මහත් වූ ද දරුවන් සම්බන්ධයෙන් ද අප කල්පනා කරන්නේ එසේ ය. උන්ට නිදහස දීමෙන් අප කරන්නේ උන්ට හතුරු කමක් යැයි අපි හගිමු.

කුඩා ම දරුවන්ට නම් නිදහසක් අවශ්‍යම නැතැයි බොහෝ දෙමාපියන්ගේ හැගීම ය. පාන්දර පාසල් රථයට යන්නට උදෑසනින් අවදි කරවූ තැන සිට මුළු දවසම දරුවා යටත් වන්නේ පාලනයට ය. පාසැලෙන් ටියුෂන් පන්තියටත් එතැනින් හෝම්වර්ක් කිරිමටත් දක්කන ලමුන්ට ඇත්තේ කෙබඳු නිදහසක් ද? දරුවාගේ අද නිදහස බිලිගන්නේ හෙට ලැබීමට නියමිත වඩා ප්‍රබල නිදහසක් වෙනුවෙන් යැයි නිදහසට කාරණා කීමට දෙමාපියන්ට පුළුවන. එහෙත් මේ හිරකර හදන ළමයෙකු තුළ නිර්මාණශීලිත්වයක් හෝ විචාරශීලිත්වයක් ඇති වේ ද? ගහක වර්ධනයට මෙන් ම ළමයෙකුගේ වර්ධනයට ද නිදහස අවශ්‍ය ය. ඉඩ හසර අවශ්‍ය ය. කොටුකර හැදිය යුත්තේ මසට ගන්නා බ්‍රොයිලර් කුකුළන් පමණ ය. ඒ තුළ සිදු විය හැක්කේ එක් අංශයක වර්ධනයක් පමණ ය.

නිදහස සම්බන්ධයෙන් අප බිය වන්නේ ඇයි? ඒ නිදහස අනෙකා කෙසේ භාවිතා කරන්නේ දැයි යන කුකුස අප තුළ ඇති නිසා ය. ඒ නිසා අප ලබන නිදහස, අප ඉල්ලා සිටින නිදහස, අප සටන් වදින නිදහස අනෙකා ඉල්ලා සිටින විට, උන් ඒ වෙනුවෙන් සටන් වදින විට, අප බිය ය. ඒ ගැන තේරුම් ගන්නට වැඩි ඈතකට යන්නට ඕනෑ නැත. අප තරුණ කාලයේ ඒ නිදහස වෙනුවෙන් අපේ ම දෙමාපියන් සමග ගැටුනේ වුව ද අපේ ම දරුවන්ට ඒ නිදහස දෙන්නට බොහෝ දෙනෙකු අදටත් මැලි ය. සුද්දාගෙන් අප නිදහස ලබා ගැනීමට අප සටන් කළේ වුව ද දෙමළ ජනතාවට ස්වයං පාලනයක් දෙනවාට අප කැමති නැත. මිහිඳු හිමියන්ට දහම් දෙසන්නට නිදහස දුන් අපි අද වෙනත් ධර්ම ප්‍රචාරකයෙකු ඇවිත් අල්ලපු ගෙදර වෙනත් දහමක් දෙසනවාට කැමති නැත. කෙනෙකුට එහෙම නිදහසක් දෙන්නට අප බිය ය. ඒ අප තුළ තිබෙන අනාරක්ෂිත භාවය නිසා ය. අප දුර්වල නිසා ය. අපට යම් කුඩා හෝ සසල වීමක් විඳ දරා ගැනීමට බැරි නිසා ය.

නිදහසේ ඉම

මට මගේ බස්තම වැනීමට ඇති නිදහස අනෙකාගේ නහය කෙළවරින් අවසන් වන්නේ යැයි කියමනක් තිබේ. එහි අර්ථය අපේ නිදහස අන් අයගේ නිදහසට හරස් නොවිය යුතු බව ය. එය පිළි නොගන්නා අය ඉල්ලන්නේ වල් බූරු නිදහසකි. නිදහස පිළිබඳ කතිකාවේ මෙය වැදගත් ඡේදයකි.

මට ආගම අදහන්නට නිදහස තිබේ. එහෙත් එසේ නිදහස තිබූ පලියට මට අනෙකාගේ කණ ලඟ දෙදරන්නට ලවුඩ්ස්පීකරයක් දමා බණ ඇසීමට අයිතියක් නැත. එහෙත් අනෙකාගේ නිදහසට වැට බැඳීමට ඉක්මන් වන බොහෝ දෙනෙකු තමන්ට ඉල්ලන්නේ මේ කියන වල් බූරු නිදහස ය. තමන්ගේ ආගම අනෙකාට රිදෙන සේ හයියෙන් ඇදහීමේ නිදහස ය.

මට මද්‍යපානයට නිදහස තිබේ. එහෙත් වෙරිවී මහමග පිස්සු නටන්නට මට අයිතියක් නැත. එසේ බී ගෙන වාහන එලවමින් අන් අය අනතුරේ හෙලන්නට මට අයිතියක් නැත.

මට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබේ. එහෙත් ඒ නිදහස භාවිතා කරමින් මිනිසුන්ට බොරු අවලාද නගන්නට මට අයිතියක් නැත. වෛරය පතුරුවන්නට මට අයිතියක් නැත. එහෙත් බොහෝ මිනිසුන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කරන්නේ මේ දෙවැනි වර්ගයේ වැඩ සඳහා ය.

ආයතන ප්‍රධානියෙකුට තමන්ගේ ආයතනයේ මිනිසුන්ට ප්‍රතිලාභ පිරිනැමීමටත් දඩුවම් කිරීමටත් හැකියාව හා නිදහස තිබේ. එහෙත් ඔහු එම නිදහස භාවිතා කළ යුත්තේ ආයතනයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව ය. එහි අභිවෘද්ධියට හේතුවන පරිදි ය. ආයතනය අනුගමනය කරන ආචාර ධර්ම හා නිතී රීතින් වල සීමාව තුළ රැඳෙමින් ය.

පොලිස් නිලධාරියෙකුට අපරාධ කරුවෙකු නීතියේ රැහැනට අසු කර දඩුවම් කිරීමේ නිදහස ලබා දී තිබේ. එහෙත් ඔහු විසින් එය කළ යුත්තේ රටේ සම්මත නීතියට අනුකූලව ය. තමන් නීතිය යැයි හිතා ගෙන නොවේ. තමන්ගේ නීතියකට අනුව නොවේ.

එහෙත් අප රට දෙස බලන විට පෙනී යන්නේ මේ බොහෝ දෙනෙකු කිසි දු හිරිකිතයක් නැතිව තමන්ගේ නිදහසේ සීමාව ඉක්මවන බව ය. ඒ නිසා ම සෙසු අයගේ නිදහස වෙනුවෙන් මෙසේ වල්බූරු නිදහස භාවිතා කරන්නන් ආණ්ඩු මට්ටු කළ යුතු බව ය. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ය. සක්‍රීය ජනතා විරෝධය පල විය යුතු බව ය.

අප විරෝධය පළ කළ යුත්තේ අපට එරෙහිව මේ වල්බූරු නිදහස කිසිවෙකු භාවිතා කරන විට පමණක් නොවේ. ඕනෑම කෙනෙකුට එරෙහිව මිනිසුන් වල් බූරු නිදහස භාවිතා කරන හැම විට දී ය. දියුණු රටවල ජනයා කටයුතු කරන්නේ ඒ ලෙස ය. දියුණු රටවල මෙවැනි මිනිසුන් අඩුව ඇත්තේ ඒ රටවල ජනයා කවරෙකුට එරෙහිව මේ වල් බූරු නිදහස කවරෙකු භාවිතා කළේ වුව ද විරුද්ධ වන නිසා ය.

අප රටේ එසේ නොවන නිසා මේ හැම එකකට ම නීති පැනවීමටත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල පිහිට පැතීමටත් අපට සිදු ව තිබේ. වැඩි වැඩියෙන් නීති කියන්නේ ම නිදහස නැති කර ගැනීමකි. ඒ නිසා ම අප වැඩි බර තැබිය යුත්තේ නීති මත නොවේ. අන් අයට ගරු කරන සැමගේ අයිතීන් වෙනුවෙන් නොබියව පෙනී සිටින ජනතා ක්‍රියාකාරිත්වය මත ය.

නිදහසේ ස්වරූප

නිදහස තනි සංකල්පයක් නොවේ. එය සංකීර්ණ සංකල්පයකි. අප මෙතෙක් කතා කළ එහි ස්වරූපයන් අතර දේශපාලන නිදහස ආගමික නිදහස වැනි පැති කඩ කීපයක් විය. වඩාත් වැදගත් පැති කඩක් වන්නේ ආර්ථික නිදහස ය.

අප ආර්ථික අතින් ස්වාධීන නැත්නම් ටික කලකින් අපට සිදු වන්නේ ඉතිරි නිදහසේ සංරචකයන් ද අහෝසි කරගන්නට ය. අවසානයේ සියල්ල බඩ විසින් තීරණය කරන තත්වයට පත් වූ විට නිදහසින් ප්‍රයෝජනයක් නැති බැවිනි. නිදහස කන්නට බැරි බැවිනි.

ණය ගන්නා පුද්ගලයෙකු හෝ රටක් ඒ ණය නිසි ලෙස භාවිතා නොකරන්නේ නම් මුලින් ම නැති කර ගන්නේ ආර්ථික නිදහස ය. ඒ තවදුරටත් ණය ගැනීමට බැරි ලෙස වඩ වඩා ඉහළ පොලියට මිසක ණය ගැනීමට බැරි ලෙස හිර වීම තුළ ය. ඊට පසු සිදු වන්නේ අකමැත්තෙන් වුව ද වත්කම් විකුණා දැමීමට ය. නැතිනම් උගස් කිරීමට ය. ඒ තුළ නැති කරගන්නේ ඒවායින් ඵලදායී ආදායම් මාර්ගයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ය. ණය ගෙවා දැමීමට තිබූ ක්‍රමවේදයන් ය. ඒ කියන්නේ අප විෂම චක්‍රයකට පිවිස ඇති බව ය. මේ මාර්ගය අවසන් වන්නේ ආර්ථික වහල්භාවයෙන් ය. චීනයෙන් ගත් ණය අපව රැගෙන ගියේ මේ පාරේ ය. දැන් ඉතින් ගොඩ ඒම දුෂ්කර ය. දුෂ්කර යැයි කියන්නේ කළ නොහැකි බව නොවේ. ඒ සඳහා අති විශාල වෑයමක් කළ යුතු බව ය. කැප කිරීම් කළ යුතු බව ය. ඒ සියල්ලෙන් කියන්නේ අප විසින් සුද්දාගෙන් ලබා ගත් නිදහස හරි හැටි භාවිතා කර නොමැති බව ය. ඒ නිදහස ලබා ගෙන වසර 70 ක් ගෙවා අවසන් වන විට සුද්දාගෙන් නිදහස් කර ගත් රට චීනාට සින්න කරන්නට සිදු ව ඇති නිසා ය.

නායකයන් වන්දනා කරනවා වෙනුවට නායකයන්ට හරි වැරැද්ද කියා දෙන තැනකට පත් වෙන ජනතාවකට මිස මේ රට යන අගාධයෙන් ගොඩ ගත නොහැකි ය.

නිදහස නිකම් ලැබෙන්නේ නැත. නිදහස නිකම් ම පවත්වා ගෙන යා නොහැකි ය. ඒ සඳහා අපේ පැත්තෙන් කැපවීමක් අවශ්‍ය ය. ඒ කැප වීම සක්‍රීය ජන සහභාගිත්වයක් සඳහා යොමු විය යුතු ය. නිදහස තහවුරු කර ගැනීමට හා රැක ගැනීමට යොමු විය යුුතු ය.

ඒ ගමනේ දී අත් කර ගත යුතු තව වැදගත් නිදහසක් අපට තිබේ. ඒ අතීතයෙන් නිදහස ය. අතීත බැඳීම් වලින් නිදහස ය. අතීත බරින් නිදහස ය. අපට ඒ වැදගැම්මකට නැති අතීත බර මලු ඔසවා ගෙන මේ ගමන යෑ නොහැකි ය. තවදුරටත් ප්‍රයෝජනවත් නොවන ඒ මලු විසිකර දැමිය යුතු ය. ඒ අතර අප අතර පවතින කප්පරක් මිත්‍යා විශ්වාස ද තවදුරටත් වැදගැම්මක් නැති අතීත පුරාජේරු ද වෙයි.

අපට යම් වැඩක් ආරම්භ කිරීමට ඇති නිදහස පැහැර ගන්නට බිත්තියේ ඉන්නා හූනෙකුට හෝ හඳේ හෙවනැල්ල නොහොත් රාහුට හෝ ඉඩදිය යුතු නොවේ.

වගකීමෙන් නිදහස

බොහෝ අය කැමති තමන් හැම දෙයින් ම නිදහස් වීමට ය. ඒ අතරිනුත් ඔවුන් වඩාත් ම කැමති වගකීමෙන් නිදහස් වීමට ය.

බඩදරු අම්මා කෙනෙකුට නිදහස කියන්නේ කුසයේ ඉන්නා දරුවාගේ බරෙන් නිදහස ය. තරුණ වියේ දියණියන් ඉන්නා දෙමාපියන් නිදහස් වන්නේ උන් දීග ගිය දිනයක ය. ඒ අවස්ථා දෙකේම අපේ අදහස වගකීමෙන් නිදහස් වීම ය. මේ අවස්ථා දෙක සම්බන්ධයෙන් එය නරක නැත. එහෙත් බොහෝ දෙනෙකු නිදහස ලෙස දකින්නේ තමන් විසින් දැරිය යුතුව ඇති වගකීමෙන් නිදහස් විම ය.

වගකීමෙන් නිදහස් වන එක් ක්‍රමයක් වන්නේ වගකීම එල්ලීමට කෙනෙකු සොයා ගැනීම ය. අප කලින් ලිපියක සඳහන් කළ පසු අපේ රටේ මිනිසුන් රජෙකු හොයන්නේ මෙසේ වගකීම එල්ලීමට ය. ඉන්පසු ඔහු විසින් අපව බලා ගනු ඇත යන්න එහි අදහස ය. ලඟට කැන්දා දුක් සැප සොයන නිරිඳුන් හිටියේ ඉස්සර ය. ඉස්සර කිව්වාට ඒ ද මහ පොළොවේ නොවේ. කවි පොත්වල ය. එහෙම අය නැති නිසා අප හුරු විය යුත්තේ වගකීම දැරීමට ය. එයින් නිදහස් වීමට නොවේ.

තනතුරු වලට මිනිසුන් පත් කරන්නේ වගකීම් දැරීමට ය. එහෙත් එහෙම පත් කරන අය කැමති තනතුරේ වරප්‍රසාද විතරක් භුක්ති විඳ වගකීම මග හැරීමට ය. වගකීමෙන් නිදහස් වීමට ය.

අපට වගකීමෙන් නිදහස් වීමට නොහැකි ව තිබෙන්නේ මේ තනතුරු දරන්නන් තම වගකීමෙන් නිදහස්ව ඇති නිසා ය. නිදහස අවශ්‍ය නම් අප ඒ නිදහස පවත්වාගෙන යෑමේ වගකීම දැරිය යුතු ය. වෙන කුමකින් නිදහස් වූවත් එයින් නිදහස් වීමට අපට බැරි ය.

එසේ නොවුනහොත් අපේ ආර්ථික නිදහස පමණක් නොව සෙස්ස ද මේ තනතුරු ලාභීන් විසින් උගස් කරනු ඇත. පැහැර ගනු ඇත. නැතිනම් අන් අය විසින් පැහැර ගෙන යනු බලා උන් නිකම්ම සිටිනු ඇත. ඒ සියල්ලෙන් අපට අහිමි වනු ඇත්තේ අපේ නිදහස ය. අපේ නිදහස වෙන කෙනෙකුට පවරා අපට නිදහස් විය නොහැකි තරම් වටිනා එකකි. ඒ නිසා ම ඒ නිදහස රැක ගැනීමේ වගකීමෙන් අපට නිදහස් විය නොහැකි ය.

මේ අවනඩුව අසනු

de5_28012019_FRR

දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවානෝ ය. උන් වහන්සේ සර්ව බලධාරී ය. යහපත් මිනිසුන්ට ස්වර්ගයේ දොර විවෘත කර දෙන්නේ ය. තමන් ගැන විශ්වාස තබන අය රකින්නේ ය. මේ ඔබ වහන්සේ සම්බන්ධයෙන් ඇති සමාජ මතය ය.

එහෙත් ඔබ මේ වගකීම් හරි හැටි ඉටු කරන බවක් පෙනෙන්නට නැත. කොටින්ම නොමිනිසුන් ලෙස මිනිසුන් මැවීම සම්බන්ධයෙන් වත් ඔබ වගකීමක් දැරිය යුතු ය. කියන්නේ නම් සර්වබලධාරී කියා ය. එහෙත් වැඩ වලින් නම් එහෙම පෙනෙන්නේ නැත.

මරණයෙන් පසු ඔබ විසින් අපට අත් කර දෙනවා යැයි කියන අපභ්‍රංසයන්ගෙන් අපට වැඩක් නැත. එලොවක් ඇද්දැයි අප හරිහැටි නොදන්නා නිසා ය. මෙලොව කිසි දෙයක් හරි හැටි කරගන්නට අසමත් ඔබ එලොව දී ලබා දෙනවා යැයි කියන දේ විශ්වාස කරන ලෙස කීමට ඔබට අයිතියක් ඇතැයි ද අපි නොසිතමු. ඒ නිසා එලොවක් තිබුන ද එතැනදී ඔබෙන් අමතර යමක් වෙතැයි විශ්වාස කිරිම අමාරු ය.

ඇතැම් තැනක ඔබ පෙනි සිටින්නේ එකම දෙවියා ලෙස ය. තවත් තැනක තිස් තුන් කෝටියක් සගයින් සමග ය. තව තැනක දිව්‍යාංගනාවන් ද පිරිවරා ඉන්නා සමූහයක් ලෙස ය. තව තැනක ශිව විෂ්ණු ස්කන්ධ කුමාර යන එක් එක් නිශ්චිත නම් වලින් ය. ඇතැම් තැන් වල එක මූණක් ඇතිව ය. තව තැනක මූණු සයක් ඇතිව ය. තව තැනක කිසිදු මූණක් නැතිව ය. ඇතැම් විට රූපයක් පවා නැතිව ය.

රූපයකින් පෙනී සිටින තැන්වල දී ද ඔබේ රූප කාය ගමෙන් ගමට රටින් රටට වෙනස් වන්නේ ය. ලංකාවේ දී ඔබේ පෙනුම ලංකා වැසියෙකු නොවේ නම් ඉන්දියානුවෙකුට සම ය. යුරෝපයේ එය වඩාත් කිට්ටු සුද්දන්ට ය. අප්‍රිකාවේ ඔබ සැබෑ ම සැබෑ කල්ලෙකි. මේ වෙනසට හේතුව ඒ ඒ රටවල දේශගුණය ද ඒ ඒ ජනතාව සමග ඔබේ ඇසුර ද යන්න පැහැදිලි නැත. ඇතැම් තැනක අලි හොඩයක් දරා සිටින්නේ අලින් සමග ගනුදෙනුවක වූ පටලැවිල්ලක් ද යන්න ගැන තවමත් කල්පනා කරමින් ඉන්නෙමි.

ඔබ බාර ගන්නා පුද පඩුරු ද තැනින් තැනට වෙනස් වන්නේ අප පුදුමයට පත් කරමිනි. ඇතැම් තැනක වයින් බොන ඔබ ඇතැම් තැනක පොල් ද පලතුරු ද අනුභව කරන්නේ ය. තව තැනක අබ ගම්මිරිස් වලට ද ඔබ කෑදර බව දැනගන්නට ඇත. ඒ සියල්ල අභිබවා මුදල්වලට ඇති ඔබේ ඇල්ම තේරුම්ගැනීම අමාරු ය. ඇතිතරම් සම්පත් ඇති හිතූ පැතූ දේ ලැබෙන කප්රුකක් ද ඇතැයි කියන දෙව්ලොවක වසන ඔබට මුදල් මේ තරමට වැදගත් වන්නේ ඇයි ද යන්න විසඳා ගැනීමට අමාරු ප්‍රශ්නයකි. ඊටත් වඩා තේරුම් ගැනීමට අමාරු කාරණය නම් පෙර කලෙක කාසි වලින් සැනසුණු ඔබ දැන් දැන් “මොනර කොළ“ ම ඉල්ලා සිටින්නේ ඇයි කියා ය.

ඔබ බාර ගන්නවා යැයි කියන වගකීම්වල ද නිමක් නැත. තරහ වූවන් සමගි කිරිමට ද නිවාස වාහන හීන සැබෑ කර ගැනීමට ද සිත ගිය පුද්ගලයා වශී කර ගැනීමට ද වෛරයක්කාරයින් තොලොංචි කර දැමීමට ද වාහනය ආරක්ෂා කර දිමට ද රට ආරක්ෂා කර දීමට ද ලෙඩ රෝග සුව කර දීමට ද කරන ව්‍යාපාර රැකීරක්ෂා වල දියුණුව සළසා දීමට ද විභාග ජය ගැනීමට ද වශයෙන් වන මේ ලයිස්තුව දිග ය. විවිධ ය. සීමාවන්ගෙන් තොර ය.

මේ එකක්වත් ඔබ නිකම් කරන්නේ නැත. ඒ සඳහා පඩුරු පාක්කුඩම් පිලිගැන්විය යුතු ය. ඔබේ අත පිරිමැදිය යුතු ය. කපු මහත්තයාට මුදල් ද දිය යුතු ය. අල්ලස් කොමිසමට වත් මේ අල්ලස් ගැනීම පේන්නේ නැති නිසා ඔබ තවම යහතින් ඉන්නෙහි ය. අලුතෙන් එනවා යැයි කියන අල්ලස් පනතේවත් මේ අල්ලස් අල්ලා ගැනීමට ප්‍රතිපාදනයන් ඇතැයි සිතිය නොහැකි නිසා මේ අලුගේත්තුරු වැඩේ දිගටම ඔබට කර ගෙන යා හැකි ය.

මගේ ව්‍යපාරය දියුණු වේ යැයි මා ඔබෙන් ඉල්ලන විට අල්ලපු ගෙදර මිනිහා ඔබෙන් ඉල්ලන්නේ මා තොලොංචි කර දමන ලෙස ය. මේ දෙන්නාගෙන් ම පඩුරු පාක්කුඩම් කිසි හිරිකිතයක් නැතිව පිලිගන්නා ඔබ මේ දෙන්නාගෙන් කවරෙකුගේ ඉල්ලීමට සංවේදී වන්නේ දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන්, ඒ කියන්නේ අවසාන වශයෙන් නැවතත් ඔබ ම, පමණ ය.

අප නැති වූ දේ සොයා ඔබ වෙත පැමිණිය ද ඔබේ ම දේවාලයේ කපු මහත්තයා දේවාලයේ යමක් නැති වුනොත් යන්නේ පොලිසියට ය. ඒ කුමන හේතුවක් නිසා දැයි දන්නේ ද උඩ ඉන්න දෙවියන් නැතහොත් ඔබතුමා පමණ ය. කපුවාට නම් විලිලජ්ජාවක් නැති කම නිසා හෝ නැති වූ බඩුව ගැන තියෙන කෑදර කම නිසා හෝ එසේ කිරීමට හිත් දෙනවා විය හැකි ය. මේ වැඩේ කැත ඔබතුමාට ය. ඔබතුමා මෙසේ නෝන්ඩි කරන කපුවාට දෙවාලයේ ඉඩ දීම නිසා බහින්නේ ඔබේ වටිනාකම ය. එය ඔබට නොතේරීම ද පුදුමයකි.

කට වරද්දා ගැනීම

ඔබට විරුද්ධව කටක් හොල්ලන්නට මිනිසුන් බිය ය. ඒ කට වරද්දා ගත්තොත් ඔබ ඔවුනට ඇණයක් වන නිසා ය. එලව එලවා පහර දෙන නිසා ය. හොම්බෙන් යවන නිසා ය. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් එය දැන් සමාජගතව තිබෙන්නේ ය. ඒ ඔබගේ නියෝජිතයන්ට පින් සිදු වෙන්නට ය.

ඇතැම් තැනක ඔබේ පිළිසරණ පතන අයට සිදු ව ඇත්තේ අපා දුක් විඳීමට ය. කොකුවලින් එල්ලනු ලැබ සිටිමට ය. පිච්චෙන ගිනි ගොඩ උඩින් පන එපා කියා පැන දුවන්න ය. ඒ සියල්ල කරන ලෙස ඔබ විසින් ඔබේ අනුගාමිකයන්ට  බල කරන්නට ඇත්තේ ඒ හරහා සෙසු මිනිසුන්ගේ භක්තිය ඔබ වෙත දිනාගන්නට විය යුතු ය. එසේ වුව ද ඒවා නම් පව් වැඩය.

ඒත් කාලෝ ෆොන්සේකා නම් දොස්තර කෙනෙක් මේ වැඩේට අකුලක් හෙලූ බව අපට ආරංචි වුනේ ය. ඒ මනුස්සයා දැන් කියව කියව යන්නේ තමන් වසර 80 ක් ජිවත්වුනු නමුත් තමුන්ට කුමන හෝ අගතියක් කරන්නට ඔබ සමත් නොවූ බව ය. ඒ උපහාසය නම් දරා ගන්නට අමාරු ය. ඇත්තටම පොඩි කට වැරැද්දිමකටත් දඩුවම් දෙන ඔබ, ඔබේ පිළිවෙත් සියල්ල ඉවත දමා මස් අනුභව කර අරක්කු බී ගිනි පෑගූ මිනිසාටවත් ඒ සඳහා උන් මෙහෙයවූ කාලෝ ෆොන්සේකා දොස්තරටවත් මුකුත් නොකළේ මන්දැයි මිනිස්සු ඊයේ පෙරේදා කතා කරනු මට ද අසන්නට ලැබිණ.

ඔබ සතුව පඩුපුල් අසුන කියා එකක් තිබුණා යැයි මා අසා ඇත. එහි වාඩි වී සිටින විට පිහිට විය යුතු කිසියම් කෙනෙකු දුකට අනතුරකට පත් ව ඇත්නම් එය උණුවන බව ද ඒ අනුව ඔබ මෙලොවට බැස ඒ තැනැත්තාට පිහිට වෙන බව ද මා විසින් වැඩිදුරටත් අසා ඇත. සමහර විට ඒ ඉස්සර වෙන්නට පුළුවන. දැන් නම් එහෙම සිදු වන බවක් පෙනෙන්නට නැති නිසා ය. ඇතැම් විට දිගින් දිගට උණුවීම නිසා එය දියව ගොස් වෙනත් අසුනකට මාරු වීමට ඔබට සිදු වුනා වන්නට පුළුවන.

මට එකක් සම්බන්ධයෙන් නම් ඔබ ගැන දුක ය. ඒ අපි නවීන වාහන වලින් ගමන් බිමන් යද්දී, ඔබේම කපු මහත්තැන්ලා ඊටත් වඩා සුපිරි රථවල යද්දී, ඔබ තවමත් මීයෙකුගේ, ගොනෙකුගේ, ඒත් නැත්නම් මොනරෙකුගේ පිටේ යෑම ගැන ය. ඒ පෙර ආත්මයක ඔබ කරන ලද කර්මයක් විය හැකි ය. අපට උදව් පදව් කළා ට තමන්ට එහෙමට දෙයක් කර ගන්නට ඔබට වුවමනා නැති නිසා පෙර පරිදිම මීයාගේ පිටේ යනවා වන්නටත් පුළුවන. ඒත් ඔබට වඳින වාරයක් පාසා මේ ගැන මතක් වී මගේ පපුව හෝස් ගා පත්තු වෙන්නේ ය.

ඔය පරණ බර කරත්ත ඉවත දමා අලුත් කාරෙකක් ගන්න ඉක්මණට හිතුවොත් හොඳ ය. අපේ නම්බුවට වුනත් ඔබ යන වාහනය හොඳ මදි ය. තවමත් මීයෙකුගේ පිටේ යන කෙනෙකුට අපිත් වඳිනවා යැයි කීම අපට ද අවනම්බුවකි. ඒ ගැනවත් සළකා ඔය වාහනේ මාරු කර දමන්නට කල්පනා කරන එක හොඳ ය.

අතරමැදියාගේ වැඩ

උසාවියේ නඩු කතා කළ යුත්තේ නීතිඥයෙකු හරහා ය. දේවාලයේ දී ඔබ ඇමතීමට කපුමහත්තයෙක් පත් කර ගත්තේ ඒ අනුව ද? අපට ඔබ හා කෙළින් කතා කිරීමට නොහැකිවන සේ කපුවෙකු මැදට ගත්තේ වෙන අහවල් කෙංගෙඩියකට ද? ඕවා සිල්ලර වැඩ ය. ආණ්ඩුවේ කන්තෝරුවල ලොකු මහත්තුරු, පියන්ලා, ලේකම්ලා ඉස්සරහට දමා ගෙන කරන්නා වැනි අලුගේත්තුරු වැඩ ය. ඔය ආඩම්බර කම් ඉවත දමා කෙළින් අප සමග කතාවට එන ලෙස අපි ඔබෙන් ඉල්ලමු. ඒ තරමටම කපුමහත්තුරු දැන් අපට එපා වෙලා ය. ඒ හරහා ඔබ ද එපා වීමට කලින් එහෙම වැඩ පිළිවෙලකට ආවා නම් හොඳ ය.

ඇතැම් වෙලාවට අපට හිතෙන්නේ කපුවා ඔබට ද වඩා බලවත් බව ය. අපට කට වැරදුනත් කේන්ති ගන්නා ඔබ කපුවා දේවාලයේ කැත කළ ද අහක බලන බවට කතාවක් ජනතාව අතර ඇත්තේ කපුවාට රිස්සක් කර ගන්නට ඉඩ දී ඔබ ඉවත බලා ගන්නා නිසා ය. ඒ වැඩේ හරි නැත. ඔබට මෙන් ම මිනිසුන්ට ද හොඳ නැත. හොඳක් ඇත්නම් ඒ කපුවාට විතර ම ය. ඒ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්නා  ඇතැම් කපුවෝ මිනිසුන් අමාරුවේ දානවා මදිවාට ගෑණුන්වද අමාරුවේ දාන්නෝ ය.

කපුවා විතරක් නොව අතරමැදියන් ලෙස කටයුතු කරන පූජකයන්ගේ ද ලොකු වෙනසක් නැත. ළමා අපයෝජනයෙන් පටන් ගෙන බොහෝ අපරාධ වල නිරත වෙන ඔබේ ඇතැම් පූජක නියෝජිතයන් කපුවන්ට කොහෙත්ම දෙවැනි වන්නට සූදානම් නැත. මේ අතරමැදියන්ට හිතුමතේ ජනතාව ගසා කෑමට ඉඩ දීම, ඔවුන් හිංසාවට පත් කරන්නට ඉඩ දීම, ඔබ වැනි දෙවියෙකුට කොහොමටත් තරම් නොවෙතැයි මගේ වැටහීම ය.

“එය දේව වාක්‍යයක් ලෙස ඇදහිය යුතු නොවේ“ යැයි ඇතැමුන් කියනු මා අසා ඇත. එසේ කියන්නේ අවශේෂ මිනිසුන් කියන දේ ගැන ය. එයින් අදහස් කරන්නේ යමක් කියා ඇත්තේ දෙවියන් විසින් නම් එය වෙනස් නොවිය යුතු බව ය. එය එලෙසම ඇදහිය යුතු බව ය. දෙවියන් කියන දෑ අවශේෂ මිනිසුන් විසින් වෙනස් නොකළ යුතු බව ය. ඔබට ඒසා විශාල බලයක් ඔවුන් දෙන්නේ මොන හේතුවකට දැයි මට සිතා ගන්නට බැරි ය. එයට එක් හේතුවක් නම් ඔබගේ වැදගැම්මකට නැති දෙබිඩි පැවැත්ම ය.

ඔබගේ ඇතැම් වැඩ බලන විට සහ ඔබ ගැන ඇතැම් පූජකයන් කියන දේ අසා සිටින විට, පෙනී යන්නේ ඔබ සාධාරණත්වය ඇති කිරීම වෙනුවෙන් පෙනි සිටින බව ය. ඒ මරණින් මතු ඔබ හා එක්වන්නට හොඳ මිනිසුන්ට අවස්ථාව සළසා දීම හරහා ය. ස්වර්ගයේ දොරටු අධම පව් කාරයින්ට වැහීම හරහා ය. එහෙත් තවත් ඇතැම් වැඩ බලන විට පෙනෙන්නේ ඔබ වාචික හා ද්‍රව්‍යමය අල්ලස් ගන්නා බව ය. ඒ ඔබව නොඅදහන්නන් නිරයට යැවීමෙන් හා ඔබව වර්ණනා කරන්නන්ට ස්වර්ගය විවෘත කිරීමෙනි. පුදපූජා පවත්වන අයට වැඩිපුර සැලකිමෙනි. පඩුරු පාක්කුඩම් පිරිනමන අයට, යාඥා කරන අයට, අන් අය අභිබවා උදව් කිරිමෙනි. මේ කරුණු විමසන විට අපට පෙනෙන්නේ ඔබ පුහුදුන් මිනිහෙකුට වෙනස් නැති බව ය. හොඳ තරමට නරක ද ඔබ ළඟ අඩු නැතුව තිබෙන බව ය. එහෙමට ගන්න විශේෂ අටමගලයක් ඔබ ළග නැති බව ය.

හැංගි මුත්තම්

ඔබ තරම් හැංගි මුත්තමේ දක්ෂයෙක් මේ සක්වලම නැත. හැම දෙනාම ඔබ ගැන කතා කරන මුත් ඔබ මුණ ගැසුණු කෙනෙක් සොයා ගන්නට නැත්තේ ඒ නිසා විය යුතු ය. ඇත්තටම අප මුණ ගැසෙන්නට නෑවිත් ඔබ ඔය කරන වැඩේ තේරුම කුමක් ද?

දෙවියන් වහන්ස, දරුණු වසංගතයන්ගෙන්, දුර්භික්ෂයෙන්, සාගතයෙන්, ගංවතුරෙන්, සුනාමියෙන්, මිනිසුන් දස දහස් ගණනින් මිය යද්දී ඔවුන්ගේ ගැලවුම් කාරයා වූ ඔබ සැගව සිටියේ කොහි ද?

උනුන් පැරදවීම සඳහා යුද්ධ කළ පාර්ශවයන්ට මැදිව කිසිදු සම්බන්ධයක් නැති සිවිල් වැසියන් සිය දහස් ගණනින් මිය යද්දි තුවාල ලබද්දී අබ්බගාතයන් බවට පත් වෙද්දී, සාමයේ දූතයා වූ ඔබ හැංගී සුර සැප වින්දේ කොහේ ද?

ත්‍රස්තවාදීන් විසින් උන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කිරි දරුවන් පවා මරා දමද්දී, අහිංසකයන් ආගමේ නාමයෙන්, ඒ කියන්නේ ඔබේ නාමයෙන්, පරලොව යවද්දී ලොව ම වනසද්දි, දෙවියනි, මිනිසා මැවීමට උනන්දු වූ ඔබ අහක බැලුවේ මොන හිතකින් ද?

මැරයන් විසින් කාන්තාවන් දූෂණය කරද්දී, ඔවුන්ට අවජාතක දරුවන් දයාද කරද්දී, ඒ හරහා ඔවුන්ගේ මුළු ජීවිතම අඳුරට හෙලද්දී, අහිංසක සුකුමාලියක් ලෙස ගැහැණිය මැවූ ඔබ රහසින් රති සුව වින්දේ කුමන දිව්‍යංගනාවක තුරුලේ ද? මිනිසුන් විසින් මහන්සියෙන් ඉපැයූ දේ සොර සතුරන් විසින් පැහැර ගනිද්දී අපේ ආරක්ෂකයා වූ ඔබ නොදුටු ඇස් ඇති ව නෑසූ කන් ඇතිව සිටියේ කුමන මනසකින් ද?

දරුවන්ට දෙමාපියන් ද දෙමාපියන්ට දරුවන් ද ඇතැම් විට අකාලයේ අහිමි කරමින් ඔබ අපෙන් ඇතැමෙක් පමණක් තෝරාගෙන පරීක්ෂණයට ලක්කරන්නේ මන් ද? හැමට සර්ව සාධාරණ එක පරික්ෂණයක් වෙනුවට අහම්බෙන් තෝරාගත් ඇතැම් අයට සරල පරීක්ෂණත් සෙසු අයට පහසුවෙන් ජයගත නොහැකි අභියෝගතා පරීක්ෂණත් දෙන්නේ කුමන පදනමක් මත හිඳ ගෙන ද?

ඇත්ත යුක්තිය මුළු වදිද්දී, බොරුව හා අසාධාරණය පිනුම් ගසද්දී, මුලාව හා වංචාව එලිපිට රඟද්දී, දෙවියනි, සාධාරණත්වයේ ප්‍රතිමූර්තිය වූ ඔබ මුණිවත රැක්කේ කෙසේ ද?

ඔබේ නමින් කපුවන් හා පූජකයන් මිනිසුන් මුලා කරද්දී, කප්පම් ගද්දී, ගසා කද්දී ඔබ අහක බැලුවේ කෙසේ ද? වෙන මොකක් නැතත් ඔබේ නමින් කරන ඒ නින්දිත වැඩ ගැන වත් මැදිහත් විමට ඔබ විසින් කටයුතු කළ යුතු ව තිබුණි.

මිනිසා ද ඔබගේ නිර්මාණයක් බව කියන්නේ වුව ද මේ හැංගි මුත්තන් සෙල්ලමෙන් පෙනෙන්නේ ඔබ මිනිසාගේ හිතළුවක් පමණක් බව ය. ඔබ මිනිසා නිර්මාණය කළා නොව මිනිසා විසින් ඔබ නිර්මාණය කරන ලද බව ය.

තවත් ටික කාලයකට නූගත් මිනිසුන්ගේ සිත් තුළ ජිවත් වීමේ භාග්‍යය ඔබට තිබිය හැකි ය. එහෙත් නුදුරු අනාගතයේ දිනක ඔබ ඉතිහාසයට එකතු වීමට නියමිත ය. ඇතැමෙක් කැමති ඔබ ඉතිහාසයේ කුණු බක්කියට තල්ලු කරන්න ය. ඒ ඔබේ ඊනියා නියෝජිතයන්ගේ වැඩ කටයුතු නිසා ය. මම නම් කැමති ඔබ කටුගෙට පිටත් කරවීමට ය. ඒ, අද කුමක් වුව ද, ඔබ මිනිස් ඉතිහාසයේ විශාල කාලවකවානුවක අපේ ජීවිතය සමග බද්ධව සිටි නිසා ය. බොහෝ දේ ගැන අප නොදැනුවත්ව සිටීම හේතුවෙන් අප තුළ  වූ බිය යම් පමණකට සමහන් කර ගැනීමට ඔබ ද පිහිට වූ නිසා ය. අද වන විට යල් පැන ගිය, ප්‍රයෝජ්‍ය වටිනාකමක් නැති, එකක් වුව ද කෞතුක වස්තුවක් ලෙස ඔබ සිහිපත් කිරීමට මා කැමති ඒ නිසා ය. ඒ කුමන ක්‍රමයකින් හෝ ඔබ ඉතිහාසයට එක්වන එදවස වැඩි ඈතක් නොවනු දැකීම නම් අපේ එකම පැතුම ය. ඒ ඔබගේ බරින් මිනිසුන් ඉක්මණින් නිදහස් වනු දැකීම අපේ අපේක්ෂාව නිසා ය.