ලංකාව තුළ වෘත්තිකයෙකු වීම තරමක අපහසු කාර්යයක් වී තිබේ. ඒ පසු කළ යුතු වැට කඩොලු නිසා ය. විශේෂයෙන් ඉතාම සුළු පිරිසකට පමණක් උරුමව ඇති සරසවි වරම ලබා ගැනීමේ තරගය දරුණු නිසා ය. ඒ තුළ සිදු වන මානසික පීඩනය මිනිසෙකු නරුමයෙකු කිරීමට තරම් ය.
අප ඒ නිසා ම වෘත්තිකයන් දෙස තරමක අනුකම්පාවෙන් බැලිය යුතු ය.
එසේ වුව ද මේ ප්‍රශ්නය මග හැර යෑමට නොහැකි ය. කුහක වෘත්තිකයන් සිටින රටකට යා හැකි දුර කෙටි නිසා ය.
මේ ප්‍රශ්නයට උත්තර සොයා ගැනීම සඳහා අප විසින් කුහක කම යැයි යම් හැසිරීමකට කිව හැක්කේ කෙසේදැයි සැක හැර දැන ගැනීමට සමත් නිර්ණායක මුලින් නිර්ණය කර ගත යුතු ය.
තමන් දිනා ගෙන ඇති තැනට වෙන කෙනෙකු යුක්ති සහගත මගකින් පැමිණිම හෝ කෙනෙකු නුරුස්සන්නේ නම් එතැන ඇත්තේ කුහක කම ය. ඒ නුරුස්නා බව හේතු කොට ගෙන එතැනට පැමිණෙතැයි සැක සිතන මිනිසුන් සොයමින් ඔවුන් විනාශ කරන්නට උගුල් අටවන්නේ නම් එතැන ද ඇත්තේ කුහක කම ය. එවැනි අයට එසේ කිරීමට ඇති අවස්ථාවන් අවුරන්නේ නම් එතැන ද ඇත්තේ කුහක කම ය. තමන් නැග ඇති තැන රැක ගැනීම සඳහා කෙනෙකු අතිශයින් නින්දනීය ලෙස හැසිරෙයි නම් එතැන තිබෙන්නේ කුහක කම ය. තමන්ගේ පහසුව හා සුරක්ෂිතතාවය පතා කෙනෙකු බොරු කියන්නේ නම් එතැන ඇත්තේ ද කුහක කම ය.
සැඟවී පහර දීම
මේ සියල්ල යමෙක් එලිපිට කරන්නේ නම් එතැන ඇත්තේ තක්කඩි කම ය. මැර කම ය. එහෙත් ඒවා කෙරෙන්නේ වෙනත් උත්කෘෂ්ඨ අරමුණකට යැයි දක්වමින් කරන්නේ නම් එතැන ඇත්තේ කුහක කම ය.
වෘත්තිකයන් මැරයන් ලෙස හැසිරෙන අවස්ථා ද විරල නැත. එහෙත් වඩාත් දක්නට තිබෙන්නේ උන් කුහක හැසිරීමක යෙදෙන බව ය.
තමන්ගේ එකා රැක ගැනීම අපේ කම ලෙස අර්ථ දැක්වූ ලෝකයක ඇතැම් විට කුහක වන්නේ අනුන්ට ය. පිට එකාට ය. ඒ අප කලින් කී උත්කෘෂ්ඨ අරමුණ පෙරට දමා ය. දේශප්‍රේමය ආගම, තමන් ශිල්ප හැදෑරූ පාසල හෝ වෙනයම් පටු ලේබලයක් පෙරට දමා ය. ඒ පිට එකා සතු සැබෑ ගුණ සැඟවීමේ යෙදෙන ගමන් ඔවුගේ නැති අගුණ දැක්වීමෙන් ය. නැතිනම් තමන්ගේ එකාගේ සැබෑ තිරිසන් ගති වසන් කරන ගමන් ඔහු සතුව නැති ගුණ දක්වා ලීමෙන් ය.
වෙඩරුවේ උපාලි හිමියන්ගේ හිට්ලර් ඉල්ලා සිටීම හා විජයකලා මහත්මියගේ ප්‍රභාකරන් ඉල්ලා සිටීම අතර වෙනසක් නැත. දෙදෙනාම කියන්නේ අපරාධකරුවන් නිදැල්ලේ හැසිරීමට තිත තැබිය යුතු බව ය (ඒ සඳහා දෙදෙනාම ඉදිරිපත් කරන ක්‍රමවේදය ගැන ලියුම්කරුගේ ප්‍රසාදයක් නැත). එහෙත් අප අතර ඉන්නා බොහෝ දෙනෙකු ඒ දෙදෙනාගේම අපේක්ෂාවන් එකක් බව පිලිගන්නට මැලි වෙති. එකම දේ කළ අපේ එකා හරි ය. අනෙකා වැරදි ය. එසේ හිතන්නේ අපේ කුහක කම නිසා ය.
එතැනින් පටන් ගන්නා මේ කුහකත්වය අනුක්‍රමණයෙන් ඇතුළට ද කාන්දු වෙයි. තමා ළග සිටින එකාට ද අවසානයේ විපාක ලැබේ. එතෙක් උඩ දම දමා ඔජ වැඩූ මිනිසාට ම දෙකක් කතා කරන්නට මිනිසුන් ඉදිරිපත් වන විට පමා වෙලා වැඩි ය.
හේතු හොයන අපට දැන් ලිපියේ මුලට නැවතත් යෑමට සිදු වේ. වෘත්තිකයෙකු වී ඇත්තේ අසාමාන්‍ය තරගයකට මුහුණ දී කට්ට කා ගෙන ඉන් ජය ගැනීම හරහා ය. එසේ ආ කෙනෙකුට තමන්ට විශේෂ දෙයක් ලැබිය යුතු යැයි ඇති වන සිතිවිල්ල ස්වභාවික ය. ඒ විතරක් නොවේ. එසේ මහන්සි වී ලබා ගත් තැන රැක ගත යුතු ය යන සිතිවිල්ල පහල වීම ද පුදුමයට කරුණක් නොවේ. ඒ සඳහා තමන් වැනිම කට්ට කා ගෙන පැමිණි උන් සමග එකතුව බාහිර බලවේගයන්ට මුහුණ දිය යුතු බව සිතන එක ද පුදුමයට කරුණක් නොවේ.
ක්‍රමයේ වැරැද්ද
එසේ බලා ගෙන යන විට ප්‍රශ්නය තියෙන්නේ ක්‍රමයේ ය. වෘත්තිකයන් තුළ නොවේ. උත්තරය තියෙන්නේ ක්‍රමය වෙනස් කිරීම තුළ ය.
සරසවි වරම වැඩි පිරිසකට හිමි කර දීමේ ය. ඒ තුළ වෘත්තිකයෙකු වීමේ පීඩනය අවම කිරීම තුළ ය. වඩා ඉල්ලුමක් ඇති විවිධ වෘත්තීන් වලට පිවිසීම සඳහා සරසවිය තුළ නව අධ්‍යාපන ධාරා නිර්මාණය කිරීමේ ය. ආණ්ඩුවට බැරි නම් එසේ කරන්නට පුද්ගලික අංශයට ඉඩ ලබා දීමෙන් ය. එසේ කොට ඒවා නියාමනයනයේ වගකීම ආණ්ඩුව බාර ගැනීමෙන් ය. එවැනි ආයතන හරහා ඉගෙනීමට වත් කමක් නැති ළමුන් වෙනුවෙන් ණය හෝ වෙනත් සහනාධාර දීමට ඉදිරිපත් වීමෙන් ය.
ඒත් ක්‍රමය වෙනස් කිරීමට එරෙහි වන්නෝ ද වෘත්තිකයන් වීම කණගාටු දායක ය. තමන් එගොඩ වීම නිසා සතුටු වන ඔවුහු අන් අය ඉන් පිට කර තැබීමෙන් ද තුටු වන්නෝ ය. තමන් ආ මග වැට කඩොලු දැක ඒවා ඉදිරි පරම්පරාව වෙනුවෙන් ඉවත් කරනවා වෙනුවට තවත් තද තර බැඳීමට ඒ නිසා ම වැඩිමනත් ඉදිරිපත් වන්නේ ඔවුහු ය.
විෂම චක්‍රය ඇරඹෙන්නේ ඒ නිසා ය. මෙය සංවාදයට ලක් කළ යුත්තේ ද ඒ නිසා ය.
යමක ඇතුළත සිටින විට එහි සැබෑ තතු පේන්නේ නැත. හරියට පෙරහැරක ගමන් කරන අයට පේන්නේ ඉදිරියත්, කලාතුරකින් පිටුපසත්, පමණක් බැවිනි. පෙරහැර මුළුමණින් පෙනෙන්නේ බාහිරින් සිටින අයට ය. ඒ නිසා ද අප වෘත්තිකයන් දෙස වෛරයෙන් නොව අනුකම්පාවෙන් බැලිය යුතු ය. ඔවුන් විවේචනයෙන් ඉවත් කරනු වෙනුවට ඔවුන් ව මේ සංවාදයට සහභාගී කර ගත යුතු ය. බාහිර සිටින්නෙකුට පෙනෙන දේ ඔවුන්ට ද පෙනීමට සැලැස්විය යුුතු ය.
අප මෙතෙක් කතා කළේ සාමූහික කුහක කම ගැන ය. අප කලින් ද සඳහන් කළ පරිදි එතැනින් කෙළවර නොවි මේ කුහක කම සගයන් වෙත ද පැතිරෙන එකට ද හේතු සොයා ගත යුතු ය.
ජේෂ්ඨත්වය අගැයීම
එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අපේ රට තුළ පවතින ජේෂ්ඨත්වය ලබන අගැයීම ය. මේ සංස්කෘතික වටිනාකම නිසා මිනිසුන්ට කිසිවක් නොකර නිකම් සිටීමෙන් ලබා ගත හැකි ජේෂ්ඨත්වය මත යැපෙන්නට පුළුවන. ඒ නිසා ම දිගින් දිගට ඉගෙනීමට වුවමනාවක් ඔවුන්ට නැත. අගැයීම ජේෂ්ඨත්වය හරහා ද ඒ තුළින් ලබන තනතුරු හරහා ද ලැබිය හැකි නිසා එහෙමට යමක් කිරීමට අවශ්‍ය නැත. ඒ නිසා ම අප දකින්නේ හිස් ඔලු සහිත නායක කාරකාදීන් ය.
පළමුව ඒ අය බිය ය. කුමකට ද? ඔවුන්ගේ හිස් බව අනාවරණය වේ ය යන්නට බිය ය. ඒ නිසා ම දක්ෂ කැප වී යම් නමක් උපයා ගෙන ඇති මිනිසුන්ට ඔවුන් බිය ය. ඒ උදවිය මතු වී තමන්ගේ හිස් බව වැඩියෙන් අනාවරණය වෙතැයි ඔවුන් බිය ය. ඒ නිසා ම තම ආනුභාවය නැති වෙතැයි බිය ය.
ඒ නිසා කරන්නේ තමන් යටතේ ඉන්නා උන් විශේෂයෙන් ම යම් දක්ෂතාවයක් දක්වන උන් සඟවා තැබීමට කටයුතු කිරීම ය. ඔවුන් අධෛර්යය කිරීම ය. ඔවුන් දක්ෂ ක්ෂේත්‍ර වලින් අයින් කොට උන්ට යමක් කර ගන්නට බැරිව ඇන ගන්නා ක්ෂේත්‍ර තෝරා බාර දීම ය. අවැදගත් තැනක සිර කිරීම ය. සම්පත් නොසපයා සිටීම ය. සහය වන්නන් ලෙස කඩා කප්පල් කාරීන් පත් කිරීම ය. පරස්පර උපදෙස් දීම ය. අනුමැතිය දීම පමා කිරීම ය. මේ ලයිස්තුව දිග ය. ඇතැම් තැනක එය නිර්දය උපහාසය දක්වා දික්වෙන තරමට දරුණු ය. එලව එලවා පහර ගහන තරමට දරුණු ය. ලේඛකයා මේ සියල්ල ද තවත් බොහෝ දේ විඳ තිබේ. බොහෝ දෙනෙකුගේ කතාව ද මීට වෙනස් නොවන බව ඔහුගේ අත් දැකීම ය.
දැන් අපි හේතුව ද ඵලය ද දෙකම දකිමු. ප්‍රශ්නය තියෙන්නේ හේතුව දැන ගත්ත ද එය ඉවත් කිරීම අපහසු වීමේ ය. එය ඒ තරමට “සංස්කෘතික“ කාරණාවක් වී තිබීමේ ය. යල් පැන ගිය එහෙත් ඉවත්වන්නට අකමැති “සංස්කෘතික“ කාරණයක් වී තිබීමේ ය.
ජේෂ්ඨත්වය විස්ථාපනය වන්නේ හෙංචයියන් ගෙන් ය
එයට තවත් එක් ප්‍රධාන හේතුවක් තිබේ. ජේෂ්ඨත්වය ඉවත දැමූ බොහෝ අවස්ථාවල මතු වූයේ එහෙමටවත් සුදුසු කම් නැති හෙංචයියන් ය. අන්තේවාසිකයන් ය. දේශපාලනික හිතවතුන් ය. ලොක්කන්ගේ ලොක්කාගේත් ගෝලයෝ ය. ඇතැම් තැනක ඒ නිසා කැපී ගියේ සුළු ජාතිකයින් ය. කලාතුරකින් වන පරිදි ලොක්කා සුළු ජාතිකයෙක් නම් මහා ජාතිකයෙක් ය. එක කාලයක තැන ගියේ රාහුලේ හිටපු කොල්ලන්ට ය. තවත් කාලයක එය රෝයල් කොලීජියට වෙන් විය. මේ කාරණා හේතුවෙන් ඉදිරිපත් වන තර්කයක් නම් වෙනත් නිර්ණායකයක් නැති තැන ජේෂ්ඨත්වය මේ අටල් පහුරු ලං කර ගන්නවාට වඩා හොඳ බව ය.
මෙවැනි දේ කළ හැක්කේ ජනයා නිහඩව සිටීම නිසා ය. පොදු කාරණා වලදී ඉදිරිපත් නොවීම නිසා ය. පුද්ගලික මට්ටමෙන් තමන්ට යමක් කර ගැනීමට දෙන වෑයමෙන් සියයට එකක් වත් පොදු කටයුතු සඳහා යෙදීමට ඉදිරිපත් නොවන නිසා ය. ඒ නිසා ඕනෑම දහජරා වැඩක් කොට, එසේ නැත්නම් වැඩක් නොකර, මේ සියලු දෙනාට පැවතිය හැකි ව තිබේ.
අප නිහඩ ව මුණිවත රකින්නේ නැතිව මහජන සේවා සම්බන්ධයෙන් සම්මතයන් ඇති කරන ලෙස රජයට බල කළ යුතු ය. එම සම්මතයන්ට අනුව සේවා සපයන ලෙස රජයට බල කළ යුතු ය. ඒවායේ මග හැරීම් දක්වා සිටිය යුතු ය. ඒවා මග හරින නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙස රජයට බල කළ යුතු ය.
ජනයාගේ මැදිහත් වීම
අපට ලැබෙන්නේ අපට ගැලපෙන පාලකයන් පමණක් නොවේ. අපට ගැලපෙන නිලධාරී පැලැන්තියකි. අප ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුතු ය. ඔවුන් මග හරින තැන ඊට විරුද්ධ විය යුතු ය.
එවිට තමන්ගේ හෙංචයියයන් පුරවා ගෙන, උන් නිලධාරීන් ලෙස පත් කර ගෙන, ආයතන ගෙන යෑ නොහැකි බව දේශපාලකයන්ට පෙනෙනු ඇත. එවිට ජේෂ්ඨත්වය හා හිතවත් කම් වෙනුවට දක්ෂයින් පත් කිරීමට බල කෙරෙනු ඇත.
ජේෂ්ඨත්වයට ලැබී ඇති තැනට අමතරව මේ පෞද්ගලික තලයේ කුහකත්වය සඳහා තව හේතුවක් තිබේ. ඒ අප ජාතියක් හැටියට ඉගෙන ගැනීමට දී ඇති අඩු ලංසුව ය. වටිනාකම ය. ඒ නිසා ම වෙනත් කිසියම් උණක් නිසා ඉගෙන ගත් අයට නිතැතින් ලැබෙන වටිනාකමක් තිබේ. ඒ වටිනාකම දැන ගන්නා විට බොහෝ දෙනෙකුගේ කොච්චිය ගිහින් ය. දැන් ඉතින් තියෙන්නේ ඉගෙන ගත් එකාට, යම් දැනුමක් ඇති එකාට, වෙනස් ලෙස හිතන්නට පුළුවන් එකාට, පල නොකියා පලා බෙදීමට ය.
තමන්ගේ ක්ෂේත්‍රයෙන් එහා ලෝකය දැක නැති වීම හා උගෙන නැති වීම, වෘත්තීය උජාරත්වයක් ඇති කර ගැනීමට ද හේතු වේ. තමන් උගත් ක්ෂේත්‍රය වඩාත් ම වටිනා ක්ෂේත්‍රය ලෙස මේ නිසා ඔවුන් සිතා ඉන්නා බව පෙනෙන්නේ ය. ඊට අමතර ව ඒ උජාරුව ද ඇති ව නොදන්නා ක්ෂේත්‍රයන් ගැන කතා කරන්නට ගොස්, මැදිහත් වන්නට ගොස්, ඒ අංශයන්හි තමන් මොන්ටිසෝරි බව ඔවුන් විසින් පෙන්වනු ලබන්නේ ය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ප්‍රමුඛ වෘත්තිකයන්ගේ සංගම් බොහෝමයක් ම ආර්ථිකය ගැන කතා කරන්නට යමින් පෙන්වා සිටියේ මේ සිල්ලර බව ය. වෘත්තිකයන් විසින් තමන්ගේ ක්ෂේත්‍රයන් තුළ හැදෑරීම් අතපසු කරනවා පමණක් නොව එම ක්ෂේත්‍රය තුළට කොටුව සිටිමින් පොදුවේ ඉගෙනීම ප්‍රතික්ෂේප කරමින් සිටිනු පෙනේ. වඩාත් දරුණු වන්නේ තමන්ට නැති පාණ්ඩිත්‍යවයක් එම ක්ෂේත්‍ර අරබයා පෙන්වන්නට ගොස් ඇණ ගැනීමෙන් සහ මුළු රටක් අමාරුවේ දැමීමෙන් ය. එහි දී ඔවුන් විසින් උපයෝගී කර ගනු ලබන්නේ දැනුම නොවේ. ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ය. ඒවා දැනුම ලෙස ප්‍රකාශයට පත් කරමින් ඔවුන් පෙන්වන්නේ නොදැනුම පමණක් නොවේ. ඒ පමණට ම හෝ ඊට වැඩියෙන් ඇති වෘත්තීය කුහකත්වය ය.
ඉගෙනීමට නිසි වටිනාකමක් නොදීමට ද හේතුවක් තිබේ. ඒ වෙනස් කම් සිදු නොකිරීම ය. ඒ සඳහා බලකිරීමක් නොතිබීම ය. හැම දෙයක් ම ඒ හැටියෙන් කර ගෙන යන්නට නම් අලුතින් ඉගෙන ගත යුතු නැත. තියෙන දැනුම සෑහෙන බැවිනි. අලුතෙන් ඉගෙනීමට බල කෙරෙන්නේ වෙනස් වීමට බල කෙරේ නම් පමණ ය. ඒ බල කිරීම ද පැමිණිය යුත්තේ සමාජයෙනි. එවැන්නක් නැති තැන මිනිසුන්ට ඉගෙනීමට උත්තේජනයක් නොලැබේ.
වෙනසක බලාපොරොත්තු
සමාජයක් හැටියට ම වෙනස් කම් වලට බිය වී සිටින තත්වයක් යටතේ සමාජය විසින් වෙනසක් ඉල්ලා සිටිනු ඇතැයි අපෙක්ෂා කළ නොහැකි ය. කුමන හෝ ක්‍රමයකින් ගැට ගසා ගෙන දවස ගෙවා දැමීමේ අභිලාෂයෙන් ඉන්නා මිනිසුන් වෙනස් කම් සොයන්නේ නැත. අතීතයට පසු බසින්නට පේවි සිටින මිනිසුන්ගෙන් නව අනාගතයක් පැතිය නොහැකි ය. මේ උකටලීත්වය ගැනත් අප ලිපි කීපයකම කතා කළා මතක ය. පැදුර ඉන්නා මිනිහා බිමට වැටෙන්නේ නැති නිසා, පැදුරට ම වී ඉඳින්නට තීරණ කර තිබෙන, ජාතියකින් වෙනස් කම් අපේක්ෂා කිරීම අසීරු බව ද අප කියා ඇත. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් සමාජයේ සංවාදයක් ඇති විය යුතු බව ද ඒ අවස්ථා වල ද සඳහන් කළා මතක ය.
ඉදිරියට යන ජාතින්ගේ අඩුපාඩු දක්වමින්, තමන්ගේ අතීත ශ්‍රේෂ්ඨත්වය ගැන පුරාජේරු කියමින්, පසු පසට ම යන ජාතියකට වෙනසක් අවශ්‍ය නැත. ඔවුන් හදන්නේ තමන් වෙනස් වන්නට නොව ලෝකයා වෙනස් කරන්නට ය. තමන්ට ඉගෙන ගන්නට දෙයක් නැතැයි සිතන්නේ ද මේ පුහු ආඩම්බරය නිසා ය. පුරාජේරුව නිසා ය. අලුතෙන් චන්ද්‍රිකාවක් ගොඩ නගනු වෙනුවට, කක්ෂය වටා කැරකෙනවා යැයි යම් කයිවාරුකාරයෙක් විසින් පතුරුවන, රාවණාගේ චන්ද්‍රිකාවක් ගැන තොරතුරු හොයන්නේ ඒ නිසා ය.
වෘත්තිකයන් තුළ ද මේ ජාතිය තුළ පැතිර පවතින පුහු අභිමානය දෙගුණ තෙගුණව පවතින්නේ ය. දැනුමෙන් ඉහළ යන්නට යන්නට උරුම කර ගත යුතු නිහතමානිත්වය ඔවුන් තුළ දක්නට නැත. ඒ තමන් අමාරු කඩුලු ජය ගෙන වෘත්තිකයන් බවට පත් ව ඇති හේතුවෙන් තවදුරටත් උජාරු වීම නිසා ය.
එයින් කියන්නේ අපේ සිතුවිලි පරම්පරාවල වෙනසක් නොකර, පරම්පරා ගත සිතුවිලි වල වෙනසක් නොකර, මේ කිසිවක් වෙනස් කරන්නට බැරි බව ය. එතෙක් කළ හැක්කේ වෘත්තිකයන්ගේ කුහක කම් දෙස බලමින් “අනේ අපොයි“ කීම ය. ඔවුන්ට බැණ වැදීමෙන් වැඩක් වන්නේ නැත. මේ ක්‍රමය ඉදිරියේ මේ “සංස්කෘතිය“ ඉදිරියේ ඔවුන් ද අසරණ නිසා ය. ඔවුන් බොහෝ විට එහි ගොදුරු පමණක් නිසා ය.
එහෙත් මේ ගැන සංවාදය අපට ඉදිරියට ගෙන යා හැකි ය. ඔබට ද ඒ සඳහා මේ ලිපිය බෙදා ගැනීමෙන් දායක විය හැකි ය.