කුලකයේ ගෞරවය – මංගල කෙළෙසුවා ද?

See the source image

මංගල සමරවීර උපහාස රසය නොමඳව ඇති ටෙලියක රඟන්නේ ය. මංගලගේ ඇතැම් අනුගාමිකයන්ට පවා ඒ කටයුත්ත ඇලර්ජික් වී තිබෙන්නේ ය. ඔවුන්ට අනුව එය මංගල සමරවීර නම් සීරියස් දේශපාලනඥයා විසින් නොකට යුතුව තිබූ බාල වර්ගයේ වැඩකි.

දේශපාලනඥයින් විසින් කරනු ලබන වංචා දූෂණ අපරාධ වැනි මීට වඩා බාල වර්ගයේ වැඩ කප්පරක් තිබිය දී මේ අහිංසක කටයුත්ත බාල වර්ගයේ වැඩක් වෙන්නේ ඇයි දැයි මට නම් පැහැදිලි නැත. ඒ රඟපෑම හෝ එසේ ඔහු රඟ පෑ ටෙලිය හෝ අති ශ්‍රේෂ්ඨ ඒවා ලෙස මම වර්ග නොකරමි. එහෙත් සීරියස් මංගලට එවැන්නක් කිරීමට ඇති බාධාව මට නම් පෙනෙන්නේ නැත.

මේ ගැන කල්පනා කරන විට මට මගේ ම අත්දැකීමක් මතක් විය.  

මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්ව සිටියෙමි. ඒ ටික කලකට පෙර ය. ඒ කාලයේ මගේ නමින් ඇතැම් ලිපියක් පළ කළ විට, විශේෂයෙන් ඒ ලිපියට සුවිශේෂී ඉහළ ප්‍රතිචාරයක් ලද විටක, මගේ ඉංජිනේරු සගයින් ඇසුවේ, ඉංජිනේරුවන් තමන්ගේ නම ඉදිරියෙන් ලියන, ඉංජි යන පදය ඒ ලිපි පළ කරන විට මා නොයොදන්නේ ඇයි ද යන්න ය. ඔවුන් සිතුවේ මා යම් ගෞරවයක් ලබන්නේ නම් ඉන් කොටසක් ඔවුන්ට ද ඉංජිනේරුවන් වශයෙන් හිමි විය යුතු බව ය.

පසු කලෙක සමාජ සංවාදයන් කිහිපයකට සහභාගී වී මගේ අදහස් විවෘතව පළ කළ විට හා සමහර සංසිද්ධීන් නිර්දය ලෙස විවේචනය කළ විට, ඒවා දෙස උපහාසයෙන් බලා ඒවා ප්‍රශ්න කළ විට, ඔවුන් මගෙන් ප්‍රශ්න කළේ වෘත්තීය ගරුත්වය පසෙකලා තුන්වෙනි පන්තියේ වැඩ කරන්නේ ඇයි ද යන්න ය. ඔවුන් සිතුවේ මා කරන වැඩ නිසා ඔවුන් ද අපකීර්තියට පත් වෙන බවකි.

මේ යස අයස දෙක ම මට තේරුම් ගැනීමට බැරි ය.

ඉංජිනේරු සංහතියට පමණක් උරුම නැති මේ අලකලංචිය, මේ අරුම පුදුම සම්බන්ධය, අපේ රටේ ද ඇතැම් විට තවත් රටවල් වල ද දැකිය හැකි ය.

පාසල ජාතිය රට ආගම මේ හැම දෙයක්ම ඔළුව උඩ තබාගෙන ඉන්නා අය මේ සම්බන්ධයට අතිශය ආසක්ත ය. ඔවුන්ට අනුව ඔවුන්ගේ කෙනෙකු, ඔවුන්ගේ පාසලේ ජාතියේ ආගමේ රටේ හෝ ඔවුන් අයත් කල්ලියේ කෙනෙකු යම් ඉහළ වැඩක් කළොත්, ඒවා ප්‍රසිද්ධියට පත් කොට එයින් ලැබෙන කීර්තියෙන් පංගුවකට ඔවුන්ට ද හිමිකාරිත්වය ලැබිය යුතු බව ය. ඔවුන්ට අනුව ඔවුන්ගේ පාසලේ ජාතියේ ආගමේ රටේ කවුරුන් හරි ඉත්තේරුවෙන් ම ශ්‍රේෂ්ඨ උතුම් හෝ දක්ෂ යැයි කිව හැකි වැඩක් කළොත් එයින් ආඩම්බර වීමට ඔවුන්ට ද අයිතියක් ඇත්තේ ය.

ඒ අයිතිය ලැබුනේ කොයින් දැයි මම නොදනිමි.

පාසලෙන් එක ම‌ හොරෙකුවත් මදාවියෙකුවත් වංචනිකයෙකුවත් අදක්ෂ මැට්ටෙකුවත් නිපදවා නැත්නම් එවන් පාසලක උගත් කෙනෙකුට තමන්ගේ පාසල සම්බන්ධයෙන් යම් ආඩම්බරයක් ඇති වීම සාධාරණ ය. අවාසනාවකට හෝ වාසනාවකට මේ ශ්‍රී ලංකා ද්වීපයේ නම් එවැනි පාසල් නැත. එහෙත් දහසකුත් එකක් හොරුන් බිහි කළ පාසලක හෝ ජාතියක එක පුඟුලෙකු යමක් ඉහළින් කළ පමණින් එයින් කොටසක් තමන්ගේ කර ගැනීමට, ඒ හරහා ආඩම්බර වීමට, ඒ පාසලේ ජාතියේ අයට අයිතියක් තිබේ ද? මට තේරුම් ගත නොහැක්කේ එය ය.

අනිත් අතට තමන්ගේ කුලකයේ කෙනෙකු හැටියට මා පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් මගෙන් ඉල්ලන්නේ මා විසින් ඔවුන් අනුමත නොකරන කිසිවක් නොකළ යුතු බව ය. මගේ ඇඳුම මගේ වචන මගේ හැසිරීම මගේ ආකල්ප ඔවුන්ට අගෞරවයක් නොවන සේ මා විසින් පවත්වා ගෙන යා යුතු බව ය. එය ද මට තේරුම් ගත නොහැක්කකි. ඒ හැම එකකින් ම පළුදු වෙනවා නම් පළුදු වන්නේ මගේ ගෞරවය මිස ඔවුන්ගේ ගෞරවය නොවන බැවිනි. මා එයින් අදහස් කරන්නේ මට කිසිදු බැඳීමක් මා අයත් කුලකය සම්බන්ධයෙන් නැති බව නොවේ. මා යම් වෘත්තියක නියැලෙන්නෙක් නම් ඒ වෘත්තියට අයත් ආචාර ධර්ම පද්ධතියට මා ගරු කළ යුතු ය. වෘත්තීය ආචාර ධර්මයන් පිලිපැදිය යුතු ය. එයින් බාහිර ඒවා මගේ රුචිය අනුව මට සිදු කළ හැකි විය යුතු ය. එය කුලකය විසින් ප්‍රශ්න නොකරනු ලැබිය යුතු ය.  

මංගලගේ රඟපෑම සම්බන්ධයෙන් ද ඇති වන ඇතැම් සංවාදයන් පිටුපස ඇත්තේ ද මේ නොකටයුතු දේ කළ නිසා ඇති වන ගෝත්‍රික තිගැස්ම ය.

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඔ්නෑ ය

See the source image

වෛද්‍ය සේවයට බැඳීම සඳහා අවශ්‍ය ERPM ලිඛිත විභාගය සමත් විදේශ වෛද්‍ය සිසුන් ගණනාවක් මේ දිනවල එම විභාගයේ දෙවැනි අදියර වන සායනික පරීක්ෂණ සඳහා වසර එක හමාරකට පසුව කැඳවා තිබුණි. පවතින කොරෝනා තත්වය යටතේ ඒ විභාග මේ වන විට කල් දමා ඇත. කළ යුතු ව තිබුනේ විකල්ප පරීක්ෂාවකින් පසු ඔවුන් ඉක්මණින් බඳවා ගැනීම ය.

ඒ දැනටමත් විභාගය පැවැත්වීම ප්‍රමාද කර ඇති මේ සිසුන් ගැන, ඔවුන්ගේ අනාගතය ගැන, සැළකීමෙන් පමණක් නොවේ. මේ මොහොතේ වෛද්‍යවරුන්ගේ සේවය ද අත්‍යවශ්‍ය වී ඇති නිසා ය. එහෙම හදිස්සියක්වත් සෞඛ්‍ය ආමාත්‍යංශයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට තිබෙන බවක් තවම පෙනෙන්නට නැත.

වෛද්‍ය කවුන්සිලය මෙතෙක් අනුගමනය කර තිබුනේ ඔ්නෑ ම කුඩා හේතුවක් විභාග කල් දැමීම සඳහා යොදා ගැනීමට ය.

මේ අවස්ථාවේ ද විභාග කල් දැමීමට හේතුවක් තිබුන ද ඊට වඩා වැඩි හේතු ගණනාවක් මේ විභාගය යම් නිර්මාණාත්මක ආකාරයකට වෙනස් කොට හෝ පවත්වා ගැනීමට යෙදී ඇත. ඒ අප කලින් ද කී පරිදි කෝවිඩ් අර්බුදය හමුවේ වෛද්‍ය ශාස්ත්‍රය උගත් අය වැඩි වැඩියෙන් අවශ්‍ය ව ඇති නිසා ය.

මෙයින් කිසිසේත් යෝජනා කරන්නේ තොග පිටින් බඳවා ගන්නට නොවේ. විකල්ප පරීක්ෂණයකින් හෝ පසුව බඳවා ගන්නා ලෙස ය. ඒ ඇරත් මේ කියන සිසුන් විෂයයන් හයක් සඳහා වෙන වෙන ම පවත්වන ලද ලිඛිත විභාගයකින් සමත් ව ඇත. සමහරු සායනික පරීක්ෂණ කිහිපයකින් ද දැනටමත් වැඩිදුරටත් සමත් ව ඇත. ඒ නිසා ඉතිරි පරීක්ෂණ වෙනත් ආකාරයකින් හෝ පවත්වා මේ අය බඳවා ගැනීම විශාල ප්‍රශ්නයක් කර ගත යුතු නැත.

සාමාන්‍ය තත්වයක් යටතේ සම්ප්‍රදායික පිළිවෙල අනුගමනය කරමින් කටයුතු කළ ද විශේෂ තත්වයක් යටතේත් එසේ කටයුතු කිරීම වෘත්තීමය ආයතනයකට තරම් නොවන්නේ ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිර්මාණශීලී ලෙස සිතීම ය. Out of the box සිතීම ය.

කෝවිඩ් නිසා active cases සොයා ගත නොහැකි නම් simulated cases නිර්මාණය කර ගත හැකි ය. ඒත් නැතිනම් simulated case studies ක්‍රමය අත්හදා බැලිය හැකි ය. එසේත් නැතිනම් ඔවුන් අනේවාසික පුහුණුව සඳහා පුහුණුව අවසානයට පෙර විභාගය සමත් වෙන කොන්දේසිය යටතේ බඳවා ගත හැකි ය.

එසේ නොකරන්නේ නම් ඒ හේතු දෙකක් ඇතිව ය. පළමුව එසේ සිතන්නට වෛද්‍ය කවුන්සිලයේ පරිපාලනයට ඇති නොහැකියාව ය. දෙවැන්න ඊට වුවමනාවක් අවශ්‍යතාවයක් නොතිබීම ය.

නිර්මාණශීලිත්වය ගැන කියන්නේ එය පැන නඟින්නේ ම අවශ්‍යතාවය විසින් මෙහෙයවනු ලැබීමෙන් බව ය. ඒ ගැන සඳහන් ඉංග්‍රීසි පිරුළ necessity is the mother of invention ය. එය පිළිගන්නේ නම් අපට බැස ගත හැකි එකම නිගමනය කවුන්සිලයට අවශ්‍යතාවයක් නොමැති බව ය.

අපට කියන්නට ඇත්තේ සිසුන් ගැන සංවේදී වීමට වෛද්‍ය කවුන්සිලයට අවශ්‍යතාවයක් නැතත් අඩු වශයෙන් වත්මන් කෝවිඩ් තත්වය යටතේ රට ද රෝගීන් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු අය ද වෙනුවෙන් වත් මේ කටයුත්තට මැදිහත් වන ලෙස ය. ඒ සඳහාත් වුවමනාවක් ඇති කර ගන්නා ලෙස ය.

ලොකුගේ සමග එකට සිට ගත යුතු සෙසු වගඋත්තර කරුවන් මෙන්න

See the source image

යුක්රේනයෙන් සංචාරකයන් ගෙනාවේ ද ඉන්දියාවෙන් නිරෝධායනය ව්‍යාපෘතියක් ගෙනාවේ ද කාගෙන් අහලා දැයි අප දන්නේ නැත. කරල පැහේ නම් ඔ්නෑම අවදානමකට රටක් යටත් කිරීමට සූදානම් දේශපාලනඥයන්ගෙන් අපට අඩුවක් නැති නිසා ම පිලියන්දල ලොක්ඩවුන් ප්‍රශ්නය විචාරශීලී මිනිසුන්ගේ අවධානයට ලක් වුනේ ය.

වසංගතයක් යනු අභාග්‍යයකි. දේශපාලනඥයන් සිය ඉල්ලම් පාදා ගැනීමට රාජ්‍ය පාලනයට අත පෙවීම ද අභාග්‍යයකි. ඒ අනුව වසංගතයක් පවතින අවස්ථාවක ද දේශපාලනඥයින් තමන්ට ඉල්ලම් පදා ගැනීම උදෙසා එය පාලනය කිරීමට බාධා කරමින් පොලු දමන තත්වයක් ඇති වීම ඩබල් අභාග්‍යයක් ලෙස සැලකිය යුතු ය.

පිළියන්දල ලොක් ඩවුන් එක ලොකුගේ අමාත්‍යවරයාගේ මැදිහත් වීම නිසා අකුලා ගන්නට යෙදුනේ ය. එය මේ වසංගතය සම්බන්ධයෙන් දේශපාලනයේ අනිටු මැදිහත් වීම පිළිබඳ එක ම උදාහරණය නොවෙතත් මෑත ම උදාහරණය ය. එහි ප්‍රතිඵල පිලියන්දල ජනතාව විඳිමින් සිටි අතර පසුව ඒ නිසා ම ඒ දෙවැනි තීරණය හරවා ගත් බවක් ද අසන්නට ලැබිණි. ඉස්තාලය වසන විට අස්වයා පැන ගොස් අවසාන ය.

එතෙකුදු අප ඒ ගැන කතා කළ යුතු ය. ය හෙට දිනයේ වෙනත් තැනක වෙනත් ආකාරයෙකින් සිදු නොවේ යැයි දෙන්නට සහතිකයක් අපට නැති නිසා ය. වසංගතය ඉල්ලමක් ලෙස සලකන දේශපාලනඥයන් විසින් ඉදිරියේ දී ද රට අවදානමකට හෙලන තීරණ ගන්නට ඉඩ ඇති නිසා ය.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපනය එල්ල වන්නේ ලොකුගේට ය. ඔහු ප්‍රධාන වගඋත්තරකරු බව ඇත්ත ය. එහෙත් ඔහු එකම වගඋත්තර කරු ද? එසේ කිරීමෙන් අපට සැබෑ ප්‍රශ්නය මග හැරෙන්නේ ය.

ඔහුගේ බලපෑමට නතු වූ සෙසු බලධාරීන් මීට වගකිව යුතු නැද්ද? එතැන දී ඇඟිල්ල එල්ල වන්නේ හමුදාපතිට ය. ඒ ඔහු වසංගතය මඩින කාර්ය සාධක බලකායේ ප්‍රධානියා නිසා ය. කණ්ඩායමක තීරණයක් තනි පුද්ගලයෙකුට ලඝු කළ හැකි ද?

කෙනෙකු කියනු ඇත්තේ ප්‍රධානියා හැටියට ඔහුට විශේෂ වගකීමක් තිබෙන බව ය. නායකයෙකුට විශේෂ වගකීමක් තිබෙන බව ඇත්ත ය. ඒ නිසා ඔහු ද වග උත්තරකරුවෙකු කළ යුතු ය.

ඔහු ඉහලින් ලද නියෝගයක් නිසා එසේ කළේ නම් ඒ නියෝග දුන් ඉහළ ද වගකිව යුතු ය. එපමණක් නොවේ. ඔහු එසේ කටයුතු කළේ ඉහලින් ලද ‌නියෝගයක් නිසා නොවේ නම් එවැනි තීරණයක් ගැනීම ගැන ඔහුගෙන් නිදහසට කරුණු නොවිමසූ ඒ තීරණය වෙනස් කරන්නට මැදිහත් නොවූ ඉහළ දේශපාලන අධිකාරිය ද මීට වගකිවයුතු ය.

එයින් ද සියල්ලන් අසු වන්නේ නැත. බලකායේ සෙසු සාමාජිකයන් තීරණයට විරුද්ධ වූයේ ද? ඒ ගැන අප දන්නේ නැත. ඔවුන්ගෙන් විමසීමක් පවා කරන්නට ඇද්දැයි අප දන්නේ නැත. එහෙත් ඒ සියල්ලෙන් පසු ද ඔවුන්ට වුව ඇඟ බේරා ගත හැකි ද?

ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් අගමැති පිට මං කළ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඔහු ව අප නිදොස් කරනවා ද? එසේ තමන් ඉවත් කිරීම ගැන ඔහු විරුද්ධ වූයේ ද? ඒ බවට සාක්ෂි අපට නැත. එහෙත් ඔහු ජනතාවට ඒ බව කීවේ නැති බව නම් අපි හොඳාකාරව ම දනිමු. ඒ නිසා අපි ඔහු වැරදිකරුවෙකු කළෙමු. එය එසේ ම කළ යුතු විය. ඒ නීතියට ම අනුව මේ බලකායේ සෙසු සාමාජිකයන් මේ තීරණයෙන් ඉවත් කොට තැබුවා නම් ඒ බව ජනතාවට කීමට ඒ සම්බන්ධයෙන් විරෝධය පල කරන්නට ඔවුන්ට යුතුකමක් නොතිබුනේ ද? එවැනි බලකායක තවදුරටත් රැඳී සිටින්නට තමන් සූදානම් නැති බව කියන්නට තිබිණි.

ඔවුන් ද අපරාධයේ හවුල්කරුවන් කරවා අපට මේ රටේ වෙසෙන පුරවැසියන් ලෙස මේ වගකීමෙන් නිදහස් විය හැකි ද?

තමන්ගේ තීරණයන් නොපිලිගත් රජයේ සේවකයන්ට පොදුවේ දේශපාලනඥයින් ද විශේෂයෙන් පවතින ආණ්ඩුවේ බලධාරීන් ද කටයුතු කර ඇති ආකාරය අපි දනිමු. සමහර අයට අස්වෙන්නට සිදු වූ බව ද එසේ අස් නොවූ කල ඔවුන් බලයෙන් පහ කළ බව ද අපි දනිමු. එකල අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායකට සිදු වූ සියල්ල ද අපි දනිමු. ඒ දන්නා අප ඒ අය ම බලයට පත් කළ විට ඒ සම්බන්ධයෙන් අපට ද වගකීමක් නැද්ද? කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්නට හැකි නිලධාරීන්ගේ පැවැත්මට අප තිත තිබ්බේ නැද්ද?

ඉතින් කෙලින් නොසිට බලපෑමට යටත් වීම ගැන නිලධාරීන්ට දොස් පවරා ඒ තත්වයට මග පෑදුවන්ට චන්දය දුන්,  උන්ට හුරේ දැමූ, ජනතාව ලෙසට අපට නිදොස් විය හැකි ද?

පුද්ගලයන්ට චෝදනා කිරීමෙන් අප කරන්නේ ක්‍රමය නිදහස් කිරීම ය. ඒ ක්‍රමය පවත්වා ගෙන අයට හා ඊට අනුග්‍රහ දක්වන අපට අපේ වගකීමෙන් පැන යෑමට අවස්ථාවක් ලබා ගැනීම ය. පුද්ගලයන් චෝදනා ලැබිය යුතු ය. ඒ තරමට ම හෝ ඊටත් වඩා මේ ක්‍රමයට ද එය නඩත්තු කරන අපට ද අප දොස් පැවරිය යුතු ය. දොස් පවරා ගත යුතු ය. ඒ නිර්භීතභාවය ලබා ගන්නා තෙක් රට ගොඩ ගත නොහැකි ය.

පිරිතේ බලය

මගේ මිතුරෙකු මූණු පොතේ දමා තිබූ වීඩියෝ පටයකින් පෙන්නුම් කළේ පිරිත් සජ්ජායනයක් අතර තුර දී ඒ ඉදිරිපිට ඇති පාත්‍රයක බහා ලූ වතුර ඒ මේ අත නටන ආකාරය යි. කැප්ෂන් එක පිරිතේ බලය ය. මේ සටහන දුටු මට ඇති වූ ප්‍රශ්න ගණනාවකි.

පළමු ප්‍රශ්නය, මෙය ෆොටෝ ෂොප් වැඩක් විය නොහැකි ද යන්න ය. දෙවැන්න, මෙය ඇස්බැන්දුමක් විය නොහැකි ද යන්න ය. තෙවැන්න, කෙනෙකුට අතින් පහසුවෙන් සෙලවිය හැකි ජල බඳුනක් සෙලවීමට පිරිතක් අවශ්‍ය කරන්නේ ඇයි ද යන්න ය. එය සුවිශේෂී බලයක් වන්නේ කෙසේ ද යන්න ය. අපට කළ නොහැකි යමක් කරන්නට සමත් වේ නම් විශේෂ බලයක් සේ සැලකිය හැකි මුත් අපට පහසුවෙන් කරන්නට හැකි දෙයක් කිරීම මට විශේෂයක් හැටියට නොදැනෙන බැවිනි. පිරිතකින් කෝවිඩ් රටින් තුරන් කළ හැකි නම් අන්න එවිට එය සුවිශේෂි බලයක් හැටියට ගත හැකි ය. භාජනයක ජලය හෙලෙව්වාට එහෙම හිතෙන්නේ නැත.

සිව්වෙනුව, මේ ආරංචිය බෙදා ගැනීමෙන් එසේ කරන අය අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න ය. මිනිසුන්ට පිරිත් පැන් විකිණීමට ව්‍යාපාරයක් පටන් ගැනීමට ද? පිරිත් පැන් බෝතල් කරන ව්‍යාපාරයක් ඇරඹුනේ දෙවැනි කෝවිඩ් රැල්ලත් සමග ය.

ඒසේත් නැතිනම් පිරිතේ ඇති බලය පෙන්වා බුදු දහමට මිනිසුන් දිනා ගැනීම ද? අපේක්ෂාව දෙවැන්න නම් එතැන ඇත්තේ බරපතල ගැටළුවකි. බුදුන් කීවේ තමන්ට තමන් මිස පිහිට විය හැකි අමතර බලවේගයක් ලොව නැති බව ය. මා දන්නා තරමින් අත්තාහි අත්තනෝ නාථෝ ගාථාවේ මුඛ්‍ය අර්ථය එය ය. එසේ තිබිය දී වෙනත් අමතර බලවේගයක් පිළිබඳ බලාපොරොත්තු රැඳවීම කොතෙක් දුරට ධර්මයට එකඟ ද?

පස්වෙනුව, මෙවැනි අමුතු ප්‍රාතිහාර්යයන් ගැන ආරංචි අපට ගෙන එන්නේ බෞද්ධයින් පමණක් නොවේ. වෙනත් ආගම්වල ප්‍රචාරක මධ්‍යස්ථාන ද මේ වැනි ම දේ කරති.

ඒ සියලු වැඩ නන්ද කුමාරයාව දෙව්ලොව ගෙන යන අතරමග දී දා ගිය හේනක වැඳිරියක දකින්නට සලස්වනවා වැනි බාල වැඩ ය. ධර්මයට සාහිත්‍ය සමග ආනුපාන එක් කරන අය ප්‍රවේසම් විය යුත්තේ එයින් සැබෑ ධර්මයට අවැඩක් විය හැකි නිසා ය. රැවටීම කිසිදු ආගමකට ආභරණයක් නොවන නිසා ය.

පැණිය වගේ ද කරල?

May be an image of 3 people and text

ධම්මික බාස් උන්නැහේ නොහොත් කාලි අම්මා දේවාලේ කපුරාල සොයා ගත්තේ පැණියකි. ඔහු තමන් ම වෙදැදුරු කෙනෙක් ලෙස හඳුන්වා ගන්නේ ය. පැණියක් හදන්නට පුළුවන් නිසා ඒ ස්වයං වරය ඔහු ලබා ගත්තා විය හැකි ය. ඒත් කිසි ම වෛද්‍ය සම්ප්‍රදායක් ඔහු වෙද මහත්තයෙක් හැටියට පිලි ගන්නේ නැත. ඒ නිසා ඒ ගෞරවය අප ඔහුට දෙන්නේ නැත.

එසේ වුව ද සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු සෞඛ්‍ය අධිකාරිය ද අඩු වැඩි වශයෙන් මෙයට නතු වුනු බවක් පෙනී ගියේ ය. මාධ්‍ය ඉදිරියේ ම පැණි බොමින් සෞඛ්‍ය ඇමතිනිය එය අනියමින් රටට නිර්දේශ කර සිටියේ ය. කර්මාන්ත ඇමති තුමා ඔහුට පැණි පෙරන්නට යන්ත්‍රයක් ලබා දීමට කාරුණික වන විට වතුපිටිවල රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් පැණියට නිර්දේශ දීමට ඉදිරිපත් විය. කතානායක තුමා ඇතුළු රජයේ මන්ත්‍රීවරු රූපවාහිනී කැමරා ඉදිරියේ එය පානය කරමින් ආණ්ඩුව ම පැණිය පිටුපස සිටින බවක් පළ කළේ ය. මිනිස්සු එකිනෙකා පොර කමින් පෝලිමේ ගොස් පැණි ගත් හ. කාර්යාල වල පැණි ගෙන්වීමේ ව්‍යාපෘති ආරම්භ වූ අතර බොහෝ දෙනෙකු පැණි බෝතල ලබා ගැනීමේ අදහසින් ඒවාට අමාරුවෙන් උපයා ගත් මුදල් ද ප්‍රදානය කරමින් සම්මාදම් වූහ. ඔ්නෑම කුණු ගොඩක් බදා ගෙන විකණන ජන මාධ්‍ය තරඟයට පැණිය උඩ දමමින් පුවත් විකුණා ගත් හ.

ඒ පැණිය අවමනට ලක් නොකොට එය පරීක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවට වෛද්‍යවරයෙකු වූ ද දේශපාලනඥයෙකු එයට කිසියම් ගෞරවයක් ද ප්‍රදානය කළේ ය. ඒ අනුව රජරට “විශ්ව විද්‍යාලය” පරීක්ෂණයක් සිදු කළ අතර එහි ප්‍රතිඵලය වූයේ පැණියේ කියන ගුණයක් නැති බව ය. ඒ වනවිට පැණියේ අයිතිකරුවන් පොහොසත් වී සෙස්සන් තමන්ගේ මුදල් අහිමි කර ගෙන අවසන් ය. පැණි ගන්නට පෝලිමේ සිටි මිනිසුන් ගුටි කා ඉවර ය.

එම පැණිය බිහි වූ ආකාරය සොයා බලන, එහි නිර්මාතෘගේ පැටිකිරිය විමසන, ඔ්නෑම මොළයක් ඇති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කිරීමට පරීක්ෂණයක් අවශ්‍ය නොවූව ද බහුජනයා වූ අපට එසේ නොවී ය. අප එහි තුළ බොරුව සොයා ගත්තේ පරීක්ෂණයකින් ද පසු ය.

ධම්මික බාස් උන්නැහේ වැනි කෙනෙකු මෙවැන්නක් කිරීම අපට ප්‍රශ්න කිරීමට තරම් නොවන බව පෙන්වමින් සමාන කරනමක් ගැසුවේ කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකි. එම් බී බී එස් වෛද්‍යවරයෙකි. බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකි.

දැන් ඉතින් මොළයක් ඇති මිනිසෙකුට දෙපාරක් සිතන්නට සිදු වේ. ඒ දෙවැන්නාගේ පැටිකිරිය නිසා ය. වෛද්‍යවරයෙකු නිසා ය. විද්‍යාව මත පදනම් ව කටයුතු කරන බටහිර වෛද්‍යවරයෙකු වෙන නිසා ය.

එවන් වෛද්‍ය වරයෙකු නව ඖෂධයක් රෝගීන්ට දීමට පෙර කළ යුතු ක්‍රියාවලිය අප මෙන් නොව අකුරක් පාසා දැන ගෙන සිටිය යුතු ය. තමන් හැදූ, තමන් පරීක්ෂණ කර සනාථ කළා යැයි කියන, ඖෂධයක් රෝගීන්ට නිර්දේශ කිරීම ඒ අනුව බරපතල වැරැද්දක් බව ඔහු දැන සිටිය යුතු ය.

පැණියට නිර්දේශ දුන් වෛද්‍යවරුන් ද සිටි නිසා සැකයක් ඇති වීම වැළැක්විය නොහැකි බව ඇත්ත ය. එහෙත් වෛද්‍ය ආචාර ධර්ම ගැන වුවමනාවෙන් සොයා බලන්න්නට වරම් ගෙන සිටින ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයක් තිබිය දී මෙහෙම පන්දු කෙලින්නට අවසර නැතැයි හිතෙන නිසා මේ බෙහෙත ගැන නම් තවදුරටත් සොයා බැලිය යුතු යැයි සිතුනොත් ඒ ගැන මොළයක් ඇති කෙනෙකු සමග අපට කෝප විය නොහැකි ය.

එහෙත් මේ ලංකාව ය. වෛද්‍ය කවුන්සිලයක් තියෙනවා යැයි අපට පැණි ප්‍රශ්නයේ දී පෙනුනේ නැත. පැණි වලට නිර්දේශ දුන් වතුපිටිවල වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගත්තා දැයි ආරංචියක් නැත.

ඒ නිසා තවත් වෛද්‍යවරුන්ට පන්දු කෙලින්නට සිතුනොත් ඒ ගැන පුදුම වෙන්නට ඔ්නෑ නැත. මේ ඒ අවසරයෙන් තම වාසනාව උරගා බලන්නට තැත් කළ එවැන්නෙක් ද?

පුවත් පත් වල වාර්තා වන්නේ කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මේ බෙහෙත සොයා ගෙන ඇති බව ය. එක් කෙනෙකුට වඩා කණ්ඩායමකින් සොයා ගත් විට ඒ සම්බන්ධයෙන් ඇති වන විශ්වාසය උසස් ය. කණ්ඩායම කවුදැයි සොයා බැලුවොත් ඔබට බෙහෙත ගැන යම් වැටහීමක් ලබා ගත හැකි ය. වෛද්‍යවරයාට අමතරව රසායන විද්‍යාඥයෙක් ද ඒ කණ්ඩායමේ ඉන්නා බව කියැවිණි. තවදුරටත් සොයා ගෙන යන විට පෙනෙන්නේ ඔහු මේ කියන වෛද්‍යවරයාගේ සහෝදරයෙකු බව ය. කණ්ඩායමේ සෙසු සමාජිකයන් අතර ඔහුගේ භාර්යාව ද වෘත්තීය පසුබිම ගැන කරුණු හෙලිදරව් නොකරන තවත් නම් සඳහන් කරන කෙනෙකු ද වෙත්. එහෙත් මේ නිරාවරණයෙන් නොසැලෙන වෛද්‍යවරයා කියන්නේ විවෘත ව පිළිගැනීමට ඉදිරිපත් නොවන විශේෂඥ වෛද්‍යවරු පවා ඔහුට අනුග්‍රහ දක්වන බව ය.

මේ කරල ලියා පදිංචි කොට තිබෙන්නේ අතිරේක ආහාරයක් වශයෙනි. ඒත් විකුණන්නේ බෙහෙතක් හැටියට ය.

මේ කරුණු ඇතුළු තවත් ලෝකය හිනස්සන කරුණු රාශියක් අනාවරණය වන්නේ චමුදිත සමග මේ වෛද්‍යවරයා කරන සාකච්ඡාවකිනි.

ඒ සාකච්ඡාවේ දී බෙහෙතේ මිල නොකියා ඔහු මග හරියි. ඔහු කියන්නේ එහි මිල නම් අධික බව ය. වෙනත් තැනක සඳහන් වූ පරිදි කරල් 12 ක් සඳහා අය කරන මිල රු තුන්දහසකි. එසේ වුව ද ඔහු ම කියන පරිදි එහි තිබෙන්නේ සුදුළුණු ඉඟුරු ඇතුළු අප අවට ඇති දේ ය.

දේශීය වෙදකමට යොදා ගන්නා, ආහාර පිසීමට අප එකතු කර ගන්නා, අඩුවැඩිය යොදා ගෙන අතිශය විශ්වාසයෙන් යුතුව මේ බෙහෙත ඉදිරිපත් කරන්නේ බටහිර වෛද්‍යවරයෙකු වීම එක් අතකින් අපේ දේශීය වෛද්‍යවරුන්ට තමන්ගේ වපසරිය අහිමි කරන වැඩකි.

තමන්ගේ වෘත්තීය සුදුසුකම් මෙසේ යොදා ගනිමින් මුදල් ගරා ගැනීමට වෛද්‍යවරයෙකුට තරම් නොවේ. එවැන්නක් ගැන මුණිවත රකිමින් සිටීම සෙසු වෛද්‍යවරුන්ට ද ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට ද වෛද්‍ය වෘත්තීය සංගම් වලට ද තරම් නොවේ.

එහෙත් අපේ රටේ කාටවත් කිසිවක් තරම් නොවන නිසා මෙය ද අමතක කර දමනු ඇත්තේ ය. ඇතැම් විට තවත් ඊනියා සරසවියක් මෙය ද පරීක්ෂා කිරීමට ඉදිරිපත් වනු ඇත. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ද මෙයින් ලැබිය හැකි සරණක් නැති බව ය. ඒ වන විට අසරණ මිනිසුන්ගේ තුට්ටු දෙකට තට්ටු වී දෙතුන් දෙනෙකු පොහොසත් වී තවත් සිය ගණනක් මේ පිළිබඳ විශ්වාසය තබා අවසන් ගමන් ගොස් අවසන් ය.

ලංකාව විදේශවලින් ලැබෙන එන්නත් වල පිහිටෙන් කෝවිඩ් වලින් ගොඩ ආව ද මේ අමනකම් වලින් නම් ගොඩ එන පාටක් නැත.