අතීතකාමිත්වයේ රහස සහ ආදීනව

අපි අතීතයට කැමැත්තෙමු. වසර 2500 ක උරුමය ගැන කියන විට සිරුර කෙළින් වී සිත උත්තේජනය වී අපව අමුතුම ලොවකට ගෙන යන්නේ ඒ නිසා ය.

අවිනිශ්චිත අනාගතය මෙන් නොව අතීතය අපට ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නැත. ගොඩ දාන්නට අකමැති මළ මිනී තිබුනොත් මිසක අතීතය හාරා ඇවිස්සීමම විනෝද ජනක ය.

අතීතයේ අප්‍රසන්න දේ නැතුවාම නොවේ. එහෙත් ඒවා අපට මග හැර යා හැකි ය. සිහිපත් කිරීම සඳහා හොඳ දේ තෝරාගත හැකි ය.

අනාගතය එසේ නොවේ. එහි දී හොඳ මෙන්ම නපුර ද මුණ ගැසිය හැකි ය. එය අතීතයේ දී මෙන් මග හැර යා නොහැකි ය. මූණටම මුලිච්චි වන හෙයිනි.

උපත ඇත්තේ අතීතයේ ය. දැනටමත් ඔබ වැඩිහිටියෙකු නම් වර්ධනය සිදුව ඇත්තේ ද එහි ය. ඒ වෙනුවට අනාගතය මගහැරිය නොහැකි විපත පිළිබඳව අපට ඉගි කරයි. වියපත් වීම ද ජරාව ද පිළිබඳව ද ඉගි කරයි. ඒ අතින් ද අතීතය අනාගතයට වඩා හොඳ ය.

අතීතය අප දන්නා එකකි. අනාගතය නොදන්නා එකකි. දන්නා යකා නොදන්නා දෙවියාට වඩා අපට හොඳ වන විට අතීතය හොඳ වීමත් අරුමයක් ද?

ඉතින් අපි අතීතයට කැමැත්තෙමු. විශේෂයෙන් අතීතය ශ්‍රී විභුතියෙන් පිරී තිබුනු රටක ජීවත්වන විට ඊට කැමති නොවී සිටීමට නොහැකි ය.

එතෙකුදු වුවත් අතීතයට ඇති ආසාව අපට ව්‍යාධි රැසක් අත්පත් කර දෙයි.

වඩාත්ම බරපතල වන්නේ මේ අතීතකාමිත්වය විසින් අප බැඳ දමනු ලබන විට ය. එයින් ඔද වැඩී වෙනස් වීමට අකමැත්තෙන් දෑත් දෙපාවලට විලංගු දමා ගන්නා විට ය. අතීතයෙන් බැහැර නොවී අනාගතය දෙස බැලීමට නොහැකි වූ විට ය. අතීතය හොල්මනක් සේ සිය බියකරු සිරුරෙන් අනාගතය වසා සිටින විට ය.

අපව අත් හැර යන අතීතයට සුහද සිතින් සමු දෙන්නට අප අපොහොසත් වන්නේ නම් අපට අනාගතයක් නැත.

අනාගතයට අතීතයෙන් ස්වාධීනව උත්පත්තිය ලැබිය හැකි යයි සිතන අය ඉදිරියට යන විට සෙසු අය යන්නේ පස්සට ය. ප්‍රගතියට එරෙහි පසුගාමීත්වයට ය.

උනට අත වනා අනාගතයට පිය මං තබන්නට සිතා ගත්තොත් මිසක ඔබට ද අනාගතයක් උරුම වන එකක් නැත.

 

 

Advertisements

පුද්ගලික විශ්ව විද්‍යාල – නිදහස් අධ්‍යාපනයේ මළගම ද? ස්වර්ගයේ දොරටුව ද?

පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට අවසර දීමෙන් පාර කපන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමට යැයි සමහරුන් කියන විට අනෙත් පිරිස කියන්නේ එයින් අධ්‍යාපන ස්වර්ගයේ දොරටු විවර වෙන බව ය. එය සැබෑවටම රටට හා ජනතාවට විනය කටී ද? නැතිනම් රටට හා ජනතාවට යහපතක් ඇති කරයි ද? මේ උභතෝකෝටිකය අද විවිධ ස්ථාන වල කැළඹිලි ඇති කරමින් තිබේ. ඒ කළබල මේ වනවිට වීදියට ද බැස ඇත.

මේ ගැන නිදහස් සංවාදයක් කිරීම අතිශයින් අපහසු වී ඇත්තේ මෙය ඇති කිරීමෙන් තර්ජනයට ලක් වන පිරිසක් මෙන්ම එය ඇති කිරීමෙන් නව අවස්ථාවන් හිමි වන පිරිසක් ද සිටීම නිසා ය. මුල් කණ්ඩායමට එයට එරෙහි ව ද අනිත් කණ්ඩායම එයට පක්ෂව ද අවි අමොරා ගෙන සටන් වදින්නට සූදානම් නිසා ය. ඒ නිසාම අවි බිම තබා සංවාදයකට මේ පාර්ශව දෙකම සූදානම් නැත.

එහෙත් වගකීම් සහිත පුරවැසියන් සිටින රටක අපක්ෂපාත සංවාදයකට සාධාරණ නිගමනයකට බැසීමේ ඉඩ විවෘත කළ හැකි ය.
මේ ලිපියේ අරමුණ මේ මාතෘකාව ගැන සංවාදයකට මුල පිරීම ය. පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි ඇති චෝදනා හා එයට ඇති බිය පිටුපස ඇති සැක සංකා ගෙන හැර දක්වමින් ඒවා කොතෙක් දුරට යුක්ති යුක්ත ද යන්න සළකා බැලීම ය.

මුදල් ඇති අයට පමණක් විවෘත වීම

පුද්ගලික විශ්වවිද්‍යාල යනු මුදල් ගෙවා ඇතුළත් විය යුතු ස්ථානයන් නිසාම මුදල් නැති අය ඒ අධ්‍යාපනයෙන් ඉවත් කෙරේ. අධ්‍යාපනය සෞඛ්‍ය වැනි මූලික මිනිස් අවශ්‍යතා රජය විසින් සපුරාලිය යුතු නොවේ ද? මෙසේ ගෙවීමට ඇති හැකියාව පදනම් කරගෙන ජනතාවගෙන් කොටසක් ඉවත් කිරීමෙන් ඇති විය හැකි සමාජ අසමනතා හා අසහනය රටට සමාජයට කෙසේ බලපානු ඇත් ද?

මේ ක්‍රමය විසින් බොහෝ දෙනෙකු ඉවත් කෙරෙනු ඇතැයි යන්න වැඩිදෙනාගේ මතය වුවත් එය එසේම වනු ඇත් ද? එසේ විය යුතු ද?
සමහර රටවල පුද්ගලික විශ්ව විද්‍යාල විසින් මුදල් නැති දක්ෂ ශීෂ්‍යයන්ට තම ආයතනයේ දොර අය කිරීමකින් තොරව විවෘත කිරීමට කටයුතු කර තිබේ. එයින් සමාජ මෙහෙවරකට අමතරව දක්ෂ සිසුන් ඇද ගැනීම මගින් සිය ආයතනයේ කීර්ති නාමය නංවාලීමට ද ඔවුන් කටයුතු සකසා ගෙන තිබේ. ලංකාවේ එය එසේම වනු ඇත් දැයි විශ්වාසයක් නැත. විරුද්ධත්වය ඇති වීමට එක් හේතුවක් එය විය හැකි ය.
නීති පැනවීම මගින් ආණ්ඩුවට මේ සඳහා මැදිහත් විය හැකි ය.

ඉඩ ප්‍රස්ථාවලින් ප්‍රතිශතයක් මුදල් අපහසුකම් ඇති දක්ෂ සිසුන් සඳහා ද විවෘත කරන ලෙස නීති පැනවිය හැකි ය. එහිදී සිදුවනු ඇත්තේ මුදල් ඇති දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් පමණක් නොව දක්ෂ දුප්පත් දරුවන් වෙනුවෙන් ද ගෙවීමක් කිරීමට සිදු වීම ය.
මීට අමතරව මේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවන දරුවන් සඳහා ණය වැඩ පිළිවෙලක් සැකසීමට ද රජයට මැදිහත් විය හැකි ය.

එවැනි උපක්‍රම මගින් බැහැර කරනු ලැබූවන්ට ද ඊට ඇතුළු වීමේ ඉඩකඩ සම්පාදනය කළ හැකි ය. එය සම්පූර්ණ විසඳුමක් නොවන බව ඇත්ත ය. රජයේ විශ්ව විද්‍යාලවල පවා ඉගෙනුමට නොහැකිව රැකියා සොයන පිරිසක් දැනටමත් සිටින නිසා වර්තමාන ක්‍රමවේදය තුළ ද කිසියම් පිරිසක් මග හැරෙන බව අප බොහෝ දෙනා මග හරින කරුණකි.

පුද්ගලික විශ්ව විද්‍යාල උපාධියට වැඩි වරප්‍රසාද

විරුද්ධත්වය ඇති වීමට තවත් හේතුවක් නම් එයින් බිහිවෙන උපාධිධාරීන්ට වැඩි වරප්‍රසාද හිමිවෙනු ඇතැයි සිතීම ය. රජයේ නිදහස් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයට වඩා ඉහළ අධ්‍යාපනයක් එයින් ලබා දෙයි නම් එසේ වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

(අදටත් සමහර ආයතන විශ්වවිද්‍යාල උපාධීධාරීන් පසෙක තබා රගර් ක්‍රීඩකයින් තමන්ගේ ආයතනවලට බඳවා ගන්නා බව අප අමතක කරන එක් කාරණයකි. සමහර විට තිබෙන සැකය විය හැක්කේ එය වඩාත් රැකියා පරාසයකටම විහිදෙනු ඇතැයි යන්න විය හැකි ය.)

ධනාත්මක තැනක සිට බැලුවොත් එයින් රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට තරගයක් දීම නිසා එම විශ්ව විද්‍යාල පද්ධතිය වැඩි දියුණු වීමේ ඉඩක් එයින් ඇති වෙතැයි ද සිතිය හැකි ය.

පුද්ගලික බැංකු ඇතිවීමෙන් පසු රාජ්‍ය බැංකු පවා කාර්යක්ෂමතාවයෙන් ඉහළ ගිය බව අපේ අත්දැකීම ය. එසේ වුව ද රාජ්‍ය බැංකු වසන්නට වූ බවක් තවම ආරංචි වී නැත.

ඊට සමාන තත්වයක් උසස් අධ්‍යාපනයේ උදාවනු දැක්මට කවුරුවත් අකමැති වනු ඇත් ද?

බාල උපාධි

විරුද්ධත්වය ඇති වීමට අනෙක් හේතුව නම් නිසි ප්‍රමිතියකින් තොරව උපාධි දීම හරහා උපාධියේ වටිනාකම පහළ වැටීමට ඇති ඉඩ ය.
අප දන්නා පරිදි රජයේ විශ්වවිද්‍යාලවල උපාධිවලට පවා විවිධ අගැයීම් පවතී. සමහර රජයේ විශ්වවිද්‍යාලවල උපාධි රජයේම වෙනත් විශ්වවිද්‍යාල වල උපාධිවලට වඩා වැඩි අගැයීමක් ලබයි. රජයේ ඇතැම් විශ්වවිද්‍යාල ඇතැම් උපාධි ගුණාත්මක මට්ට‍මක පවතී යැයි නොපිළි ගැනේ.

එසේ වුව ද ප්‍රශ්නයක් ඉතිරි වේ. ඒ උපාධිය සුදුසුකමක් වූ රැකියාවකට මේ සියළු දෙනා සළකා බැලිය හැකි වීම ය. අවශ්‍ය නාමික උපාධියක් පමණක් වන හෙයිනි.

මේ තත්වය පිටු දැකීමට නීති කෙටුම් පත් ඇති කිරීමට රජයට පුළුවන. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගනිමු. රජයේ විශ්වවිද්‍යාලවලට පරිබාහිර උපාධි ලබාගත් අයට වෛද්‍යවරයෙකු ලෙස මේ රට තුළ යෙදිය හැක්කේ වෛද්‍ය කවුන්සිලය පවත්වන තවත් විභාගයකින් සමත් වීමෙනි. පරිපාලන සේවයට හා තවත් එවැනි සේවා සඳහා ද වෙනම බඳවා ගැනීමේ විභාග පැවැත්වේ. මෙවැනි ක්‍රියාමාර්ගයන් හරහා හොර උපාධිවලට වැට බැඳිය හැකි ය.

බොහෝ රටවල විශ්වවිද්‍යාලවලට යම් අගැයීමක් ලබා දෙන වෙනම ආයතන තිබේ. එවැනි ආයතන බිහිවීමට ඉඩ කඩ සැපයීමෙන් මේ තත්වය එක්තරා දුරකට වෙනත් අයුරකින් ද කළමනාකරණය කළ හැකි ය.

රජයේ විශ්ව විද්‍යාල දුර්වලවීම

පුද්ගලික විශ්ව විද්‍යාල විසින් වැඩි මුදලක් ගෙවා රජයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ කාලය මිලදී ගැනීමේ ඉඩක් තිබේ. එයින් රජයේ විශ්වවිද්‍යාල පිරිහීමට ලක් වෙතැයි යන්න ද තවත් ඇති බියකි.

මේ සඳහා ආසන්න උදාහරණය ලෙස ගනු ලබන්නේ රජයේ වෛද්‍යවරුන් පුද්ගලික රෝහල්වල කරන චැනල් සේවාව ය. තර්කය නම් ඔවුන් රජයේ රොහල්වලට එන සාමාන්‍ය ජනතාවට සේවය නොසළසා තමන්ට වැඩි මුදලක් ගෙවන පෞද්ගලික රෝහල්වලට එන ජනයාට සේවය සළසන බව ය.

එවැන්නක් වෙයි නම් එය ද වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු ය. නිදහස් අධ්‍යාපනය තරමටම නිදහස් සෞඛ්‍යය ද රැක ගත යුතු නිසා ය. ඒ වුනත් කිසිවෙකු චැනල් සේවය නතර කරන ලෙස ඉල්ලා පෙළපාලි යන්නේ නැත.
රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට තහංචි පැනවිය හැකි නම් විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්ය වරුන් සඳහා ද එවිට සමාන නීති පැනවිය හැකි ය.

එවිට ඇති විය හැකි අමතර විපාකයක් විය හැක්කේ ආචාර්යවරුන්ගේ කාලය වෙනුවට ආචාර්යවරුන්ම මිලට ගැනීමට පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිරිපත් වීම ය. එයින් සිදුවිය හැකි අවාසි තිබිය හැකි මුත් එයින් සිදුවිය හැකි වාසි ද තිබේ.

රටම අත්හැර පිටරට යෑමේ වුවමනාව සරසවි ආචාර්යවරුන්ට නැතී වීම ය. පඩි අඩුනම් ආචාර්යවරයෙකුට පිටරට විශ්වවිද්‍යාලයකට ගිය හැකි ය. ඉතින් ලංකාවේ ඒවාට පමණක් යෑමට නොහැකිවන සේ වැට බැදීමෙන් වැඩක් වෙයි ද? එසේ නම් කළ යුත්තේ විශ්වවිද්‍යාලයෙන් කුමන තත්වයක් යටතේ වත් ඉවත්විය නොහැකි ලෙස නීති සම්පාදනය කිරීම ය. එවිට සිදුවිය හැකි අන්තරාය නම් විශ්වවිද්‍යාල ආචාර්ය පට්ටම ගන්නට කවුරුවත් ඉදිරිපත් නොවීම ය.

ඇත්තටම එවැන්නක් වළක්වා ගත හැක්කේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සාධාරණ වැටුපක් ගෙවීමෙන් ය. අප පර්යේෂණ කොට දියුණුවන්නට ඇත්තටම හිතනවා නම් එයින් පාඩුවක් අත් නොවනු ඇත.

අප විරුද්ධ විය යුත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පමණ ද?

මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය යුතු රජයේ අධ්‍යාපන ආයතන රාශියක් දැනටමත් අප රටේ තිබේ. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය එවැන්නකි. අයිතිය රජයේ වුව ද ඉහත සදහන් සියළු කරුණු දැක්වීම් ඊටත් අදාළ ය.

පුද්ගලික අංශයේ නොවන රජයේ ද නොවන වෘත්තිකයින්ගේ සමිති සමාගම්වලින් පවත්වාගෙන යනු ලබන උපාධි සහ එම මට්ටමේ තව බොහෝ පාඨමාලා තිබේ. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය පවත්වාගෙන යනු ලබන ඉංජිනේරු පාඨමාලාව ඊට එක් උදාහරණයකි. ඒවාට ද සම්බන්ධවිය හැක්කේ මුදල් ගෙවා ය. විශ්වවිද්‍යාල ආචාර්යය වරු ඒවායේ ද උගන්වති. අප ඒවාට ද විරුද්ධ විය යුතු ද?

මේ රටේ සිසුහු පිටරට විශ්වවිද්‍යාලවල ද උගනිති. ඒ ද මුදල් ගෙවා ය. මුදල් පමණක් නොව විදේශ විනිමය ද වැය කරමින් ය. ඒ රටවල ආයතනවලට ලාභයක් ද අත් කර දෙමින් ය. අප රටේ ආයතනවලට ඒවා අහිමිකරමින් ය. අප ඒවාට ද විරුද්ධ විය යුතු ද?

මීට අමතරව CIMA, CIM, SLIM ඈ එකී නොකී වෘත්තීය පාඨමාලාවන් ද හැදෑරිය යුත්තේ මුදල් ගෙවා ය. අප ඒවාට ද විරුද්ධ විය යුතු ද?

දැන් සෑහෙන කාලයක සිට විදෙස් විශ්වවිද්‍යාල පාඨමාලා මේ රටේ ආයතන විසින් දියත් කරනු ලැබ තිබේ. ඒවා ද හැදෑරිය යුත්තේ මුදල් ගෙවා ය. ඒවාට ද අප විරුද්ධ විය යුතු ද?

අප විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පියවර තබන්නේ ම අතිවිශාල ටියුෂන් පුද්ගලික පාසල් ජාලයකට පින්සිදු වන්නට ය. ඒ අප මෙන් ගෙවන්නට බැරි සිසුන් පරයා යමින් ය. අප මේ ටියුෂන් කඩ වලටත් විරුද්ධ විය යුතු ද?

පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විකල්පය කුමක් ද? නිදහස් අධ්‍යාපනය සහතික කිරීමට කළ යුත්තේ කුමක් ද?

විකල්පය කුමක් ද? රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය විසාරණය කිරීම ය. රජයේ පාසල ගුණාත්මක ව ඉහළ දැමීම ය. එය දිය හැකි හොඳම විසඳුම විය හැකි ය. එසේ වුව ද ඊට අවශ්‍ය මුදල් අප සොයා ගන්නේ කෙසේ ද?

ඒ සඳහා මුදල් තේ දළු කඩන කම්කරුවාගේ පාන් ගෙඩියට ද නගරයේ කම්කරුවා බොන අරක්කු බෝතලයෙන් ද බදු ගසා එකතු කළ යුතු ද?

(සමහරු කියන්නේ ඒ බදු ගැසීමට තමන් විරුද්ධ බවත් එසේ නොකර ධනපතියන්ගෙන් බදු ගසා රජයේ විශ්ව විද්‍යාල ප්‍රසාරණය කළ යුතු බව ය. එහෙත් අප දන්නා හැටියට පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධව පාරට බසින්න කප්පරක් බලවේග සිටිය ද දුප්පතාගෙන් ගසන බද්දට විරුද්ධව පාරට බැසීමට එකෙක්වත් නැති ය. එවැනි වටපිටාවක ඉහත තර්කය පවා බල රහිත නොවන්නේ ද?)

ගෙවන්නට හැකි දෙමාපියන්ට ගෙවීමක් කර ඉඩ ප්‍රස්ථා විවර කර ගැනීමට ඉඩ දීම ඊට වඩා ප්‍රා යෝගික නොවන්නේ ද?

වඩා උගත් ජනතාවක් බිහි කිරීමෙන් ලාභ ශ්‍රමය පිටරට යවනවා වෙනුවට පුහුණ ශ්‍රමිකයන් පිටරට යැවීමට ඉඩක් සාදා ගැනීම රටටත් එම ජනයාටත් යහපතක් උදා නොකරනු ඇත් ද? ගෘහ සේවිකාවන් වෙනුවට උපාධී ලත් හෙද හෙදියන් පිටරට යැවීමට ඉඩක් හදා ගැනීම යහපත් නෙවේ ද? ඒ සඳහා පුද්ගලික අධ්‍යාපන ආයතන යොදා ගැනීම පාපයක් ද?

තිබිය යුත්තේ එක් මාර්ගයක් පමණ ද?

තරගකාරී මාර්ග තිබීමම හැම මාර්ගයකම දියුණුව පිණිස හේතු නොවන්නේ ද?

අප කලින් සඳහන් කළ සැක සංකා දුරු කිරීමට සමත් නියාමන යන්ත්‍රණයක පාලනය යටතේ පුද්ගලික විශ්ව විද්‍යාලයන්ට අවසර දීමෙන් නිදහස් අධ්‍යාපනයත් රැක ගෙන අධ්‍යාපන අවස්ථා පුළුල් කළ නොහැක්කේ ද?

මේ සියල්ලට ද විකල්පයක් තිබේ.

එය නම් මේ යන විදිහට ආණ්ඩුවට පුළුවන් විදිහට විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑම ය. පුළුවන් ටික දෙනා ඊට ගොඩ වී ගොඩ යෑම ය.
අතිබහුතරය දැන් කරනවාක් මෙන් කන්ටේනරයකට හෝ දිරාගිය බෝට්ටුවකට ගොඩ වී වෙන රටකට ගොඩ බැසීමේ වාසනාව උරගා බැලීම ය. නැතිනම් ගෘහ සේවිකාවන් හැටියට එසේත් නැතිනම් නුපුහුණු කම්කරුවන් හැටියට කැඹීරීමට ගුවන් ගත වීම ය. අප කැමත්තේ ඊට ද?

මගේ මැදිහත්වීම සර්ව සාධාරණ යයි මම නොකියමි. එහෙත් සාධාරණත්වය කරා යන ගමනේ බොහෝ දෙනා අමතක කරන ප්‍රශ්න කිහිපයක් ඔබ හමුවේ තැබුවේ එය වඩාත් උචිත අස්ථානයකට පැමිණීමට අප හැමට උදව් සපයන නිසා ය.

පොලු අමෝරා පාරට බැසිය යුත්තේ අපට සාධාරණීකරණය කළ හැකි අරමුණක් වෙනුවෙන් පමණකි. ඒ සාධාරණ අරමුණට ඉඩක් පාලකයන් නොසළසන්නේ නම් පමණකි.