පිරිත් නූල නොඇල්ලූ මැතිව්ස්ගේ ගැහිල්ල

Image may contain: one or more people and people playing sports

අන්තිමේ මැච් එකක් දිනා ගන්නට ලැබුනේ ය. ඒ මැතිව්ස්ට පින්සිදු වෙන්නට ය.

මැතිව්ස් උත්තර දී තිබුනේ ය. ඒ බැටි එකෙන් ය. අතිශය විශිෂ්ඨ ලෙස ය.

මැතිව්ස්ට එරෙහිව නැගුනු එක් චෝදනාවක් වූයේ පිරිත් නූල අල්ලන්නට අකමැති වීම ය. මැතිව්ස් ක්‍රිස්තියානි ය. ඉතින් ඔහු පිරිත් නූල ඇල්ලිය යුත්තේ ඇයි? තමන් නොඅදහන ආගමක චාරිත්‍ර වෙනත් ආගමක කෙනෙකු විසින් පිලිපැදිය යුත්තේ ඇයි?

ඒ ප්‍රශ්නවලට උත්තරයක් තිබේ. මේ බුදුන්ගේ රට ය. අනිත් අය ඉන්නේ සිංහල බොදුනුවන්ට පින්සිදු වෙන්නට ය. එහෙව් රටේ ඉන්න කොට පිරිත් කියන්නේ නම් මොකා වුනත් යටත් වී නූල ඇ්ල්ලිය යුතු ය.

ඉතින් දිගින් දිගට සිදු වූ පරාජයන් හමුවේ මේ කළ යුතු යුතුකම් ඉටු නොකළ අබෞද්ධයා ඉවත් කිරීමට මූණු පොතේ කට්ටිය සේනා සංවිධානය කළෝ ය.

අවසානයේ පිරිත් නූල ඇල්ලූ අයත් බැඳගත් අයත් පැත්තකින් සිටිය දී එසේ නොකළ එකා මැදිහත් වී මැච් එක දිනාගත්තේ ය. මේ වැඩේ එහෙම පිටින් ම අප්සෙට් ය. මා කල්පනා කළේ මේ නාරාවලෙන් ගොඩ ආ හැකි විදිහක් ගැන ය. අන්තිමේ පොටක් පෑදුනේ ය.

පිරිතේ බලය ඇත්තේ සිවු වරම් දෙවිවරුන්ගේ සීමාවේ ය. ඉන් එපිට එහි බලයක් නැත. සිදු වුනේ ඒ අඩුපාඩුව විය හැකි ය.

තව පොඩි අපසෙට් එකක් තිබේ. මැතිව්ස් ක්‍රිස්තියානි ය. දකුණු අප්‍රිකාව ද ක්‍රිස්තියානි ය. අන්තිම මොහොතේ හෝ මැතිව්ස් ජයග්‍රහණයේ වීරයා කළේ ඒ රටේ දෙවියෝ වෙන්නට පුළුවන. මීට පස්සේ ක්‍රිස්තියානි රටකට යනවා නම් පල්ලියේ ආශිර්වාදය ලබා ගෙන යන එක හොඳ ය.

ඒකත් ඉතින් ටිකක් විතර අප්සෙට් ය. දිනිය යුත්තේ ක්‍රිකට් ද ආගම ද යන්න ගැන දෙගිඩියාවක් මේ තුළ ඇති වීම නිසා ය.

සිංහල බෞද්ධයෙකුට එහෙම දෙගිඩියාවක් ඇති වෙන්නට බැරි ය. දැන්නම් වැඩේ හොඳට ම හබක් ය.

කළ යුත්තේ එක ම දෙයකි. දිනුවත් පැරදුනත් පිරිත් නූල ඇල්ලීම අනිවාර්ය කිරීම ය. එහෙම කරන්නට බැරි අය කණ්ඩායමෙන් නෙරපීම ය. ඕන නම් ජනාධිපති තුමාගෙන් අහලා බලා මේ වැඩේ කරන්නට ආශිර්වාද ලබා ගත හැකි ය. මේ දිනවල එතුමා සිංහල බෞද්ධ සංගිස්කුරුතිය රැක ගන්නට කළ යුතු ඕනෑම දෙයක් කරන්නට පේවී සිටින නිසා ය. අපට ඇත්තේ මේ ගැන එතුමාට පොඩ්ඩක් මතක් කිරීම පමණ ය (එහෙම නොකරන්නේ නම් මහින්ද සමග නැගිටින බව රහසෙන් වගේ කීවා නම් වැඩේ තවත් ෂුවර් ය).

මහාවංශයේ කුමන්ත්‍රණය

vijaya

මහාවංශයට අනුව බුදුන් වහන්සේ තුන් වරක්ම මේ ධර්මද්වීපයට වැඩියෝ ය. වෙනකක් තබා තම ශ්‍රී පාද ලාංචනය ද රත්නපුරේ පැත්තේ කන්දක තබා ගියෝ ය. එහෙත් ඒ එක ද වතාවකවත් බුදු සසුන පිහිටුවීමට උන්වහන්සේට බැරි විය.

බුදුන් වහන්සේට කළ නොහැකි වූ ඒ කටයුත්ත කිරීමට සිදු වූයේ අනුබුදු හිමි ලෙස කීර්තියට පත් මහින්ද තෙරුන් වහන්සේට ය. එහෙම බැලුවහම අනුබුදු හිමියන් බුදු හිමියන්ට ද වඩා දක්ෂ ය. ඒ වාක්‍යය සම්පූර්ණ කරගෙන යන විට මට දැනුනේ කොහේ හරි තැනක වැරැද්දක් සිදු වී ඇති බව ය. කාට හෝ වැරදී ඇති බව ය. කුමක් හෝ වැරදුන බව ය. මගේ මුළු ලියවිල්ලම අප්සෙට් ගොසින් ය.

ගැත්තහු හට සමා වන සේක්වා. බුදුන්ට බැරි වුන දේ මහින්ද හිමියන් කළ බව කීවේ මා නොවේ. ඒ බව නොකියා කීවේ මහාවංශයේ කර්තෘ තුමා ය. මේ රට බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ පින් බිමක් කරන්නට ගොස් අවසානයේ බුදුන් හෑල්ලුවට ලක් කළේ මහාවංශ කර්තෘ මහානාම හිමියන් ය.

වත්මන් පරපුරේ සංඝයා ඉනුත් නොනැවතී බුදුන් ඉපදුනේ ද මේ පින් බිමේ බව කියමින් දැන් ඩෙගා නටන්නේ ය. එයින් සිදුවන්නේ මහාවංශය ද හෑල්ලුවට ලක් වීම ය. එහෙම වුනොත් අපට සිදුවන්නේ මහාවංශය සාහිත්‍ය කෘතියක් බවට පිළිගෙන පල්ලම් බසින්නට ය.

එක් පැත්තකින් නරකක් වන විට තව පැත්තකින් හොඳක් වෙයි. ඒ සිංහයෙකුට දාව බිහි වූ දරුවෙකුගෙන් පැවතෙනවාය කියන සොහොයුරියක් සමග නිදි වැද අභිචාරයකින් ම ආරම්භ වූවා යැයි කියන පුරා වෘත්තය කාගේ හෝ නිර්මාණයක් මිස සැබෑවක් නොවන බව කියා ඉවත දමන්නට හැකි වීම ය.

මේ කුමක් කියන්නේ ද? මහාවංශය ඉවත දැමීම! එය නම් කීයටවත් කළ නොහැකි ය. අපට ඇති එක ම ලිඛිත ඉතිහාසය ඒක ය. වෙන ජාතීන්ට නැති අපට ඇතැයි කියන එක වන්නේ වසර 2600 කට එහා ආරම්භ වෙන මේ ලිඛිත ඉතිහාසය ය (පසු සටහන බලන්න). ඉවත දමන්න යැයි කියන්නේ එවැනි උරුමයක් ය. එය කෙසේ වත් කළ නොහැකි ය. එහෙම වෙන එකක් ද නැත. එක් පැත්තකින් මහාවංශය ද අනිත් පැත්තෙන් වත්මන් සඟ පරපුරේ “නව“ කතාව ද දරා ගෙන ජීවත් වීමට අපේ උපාසක උපාසිකාවන් හිත හදා ගන්නවා ඇත.

දඹදිව මොකද මෙහේ මොකද? මොන විදිහකට හෝ බුදුන් අපට සම්බන්ධ නම් එච්චර ය. නෑයෝත් වෙනවා නම් තවත් හොඳ ය. ජැක්සන් ඇන්තනීට අනුව බුදුන්ගේ නෑයෝ ද ලංකාවේ සිටින්නෝ ය. පසුගිය කාලයේ රජ වූයේ එයින් එක් අයෙකු ය. බුදුන්ගේ නෑයෙකු රජ බවට පත් වූයේ මේ බුදුන්ගේ දේශය වූ නිසා නොවේද? කුමක් හෝ උප්පරවැටියකින් මෙය බුදුන්ගේ දේශය වෙනවා නම් අපට ඇති ය. ඒ සඳහා බොරු කියන්නට සිදු වුවහොත් අපි එය අපුලකින් තොරව කරන්නෙමු.

දෙවනුව මෙය සදහම් දිවයින ය. සදහම් පිරිසිදුව රැකෙන ශුද්ධ වූ දේශය ය. ඒ සහතිකය බුදුන්ගෙන් ලැබෙන්නේ ද මහාවංශ කතුවරයා හරහා ය. ඒ ශුද්ධ භූමියට තිස්තුන් කෝටියක් දේව රැකවරණය ලැබෙන්නේ ද ඒ මහාවංශය හරහා ය.

රැකවරණය ලැබුණා නොලැබුණා වෙනම දෙයකි. ලැබෙන බවට තියෙන විශ්වාසය ම ඇති ය. මහාවංශය ඉවත දැමුවහොත් නැතිවෙන වැදගත්ම දෙය මේ තිස්තුන් කෝටියක් දෙවිතාවුන්ගෙන් ලැබෙනවාය කියන රැකවරණය පිළිබඳ විශ්වාසය ය. ඒක නැතිවුනහම අනාථ වන්නේ රට ය.

ඒ නිසාම බුදුන් දෙවැනි තැනට ඇද දැමුවේ වුව ද මහාවංශය වෙනුවෙන් පෙනී සිටින්නට අපට සිදු වෙයි. එසේ කළා යැයි කියා අමනාප වෙන බුදු කෙනෙකු ද දැන් නැත. ඉතිරිව ඇත්තේ එක කටයුත්තකි. මෙවැනි අමන ප්‍රශ්න මතු කරන මිනිසුන් අල්ලා දඩු කඳේ ගැසීම ය.

(පසු සටහන – මහාවංසය ලිව්වෙ 5 සියවසේ විතර අනුරාධපුර මහාවිහාරයෙ ජීවත් වුනු මහානාම නම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඈතම අතීතේ ඉඳල මහසෙන් රජුගේ අවසානය (303 AD) දක්වා කාලය තම කෘතියෙන් ආවරණය කරනවා. ඉන්පස්සෙ කොටස් ලියැවුනු කාල ගැන මතභේද තියෙනවා. සමහර දෙනෙක්ගෙ අදහස 12 සියවසෙ ජීවත් වුනු ධර්මකීර්ති කියන හාමුදුරුවො දෙවෙනි කොටස ලිව්වා කියල. ඔහොම නුවර කාලය වෙනකම්ම කොටස් වසයෙන් මෙය ලියැවෙනව. සමහර දෙනෙක් ගෙ අදහස මහානාම හිමි ලියූ මුල් කොටස මහාවංසය ලෙස හැදින්වුනු බවත් ඉතිරි කොටස් චූලවංසය ලෙස හැදින්වුනු බවත්. – පිටස්තරයා -2)

දේශපේ‍්‍රමය – තක්කඩියෙකුගේ අවසාන රැකවරණය

1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ කථාව

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද! ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත.  මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ.  අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ.  ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.

එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන  හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි.  ඔහු ඒවා සමඟ වෙන් කළ නෙැහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි.  ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ.  ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි.

කිසියම් කෙනෙකු සභාවක නැගිට ” මා ශ්‍රේෂ්ඨ යයි විශිෂ්ඨ යයි උතුම් යයි” කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත.  එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි (එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝ දේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත.  මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.

18 වැනි සියවසට අයිති ශෙ‍්‍ර්ෂ්ඨ  ඉංග‍්‍රීසි ලේඛකයෙකු වූ ආචාර්ය ජොන්සන් ට එවැනි පුද්ගලයින් වහ කදුරු මෙන් තිත්ත විය.  ඔහු නිතර  මේ කුහක භාවය මනසින් ඉවත් කර ගැනීමේ අවශ්‍යතතාවය ගැන කථා කළේය.  වරෙක බොස්වේල් ඇමතූ ඔහු ඔබේ මනස කුහක බවින් මුදා ගන්නැයි කීවේය.  ඔහුගේ සමකාලීනකයෙකු වූ ජෝන් විල්ක්ස්, කාන්තාවන්ට ගර්හා කරන ලියවිල්ලක් ලිවීම ගැන සිරගෙට නියම විය.  ඉතාම උද්යෝගයෙන් ජාතික හා දේශපේ‍්‍රමී හැඟීම් අවුලවමින් පස් වතාවක් ඡන්දය දිනා ගත් නමුත් සිපිරිගෙට නියම වීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බැරි වූ විට ආචාර්ය ජොන්සන් කියා සිටියේ දේශපේ‍්‍රමය තක්කඩියෙකුගේ අවසාන රැකවරණය බවයි.

ජොන්සන්ගේ කාලයේ සිටම එන දේශපාලනඥයින් සම්බන්ධයෙන් මෙය සත්‍ය වේ.  කිසිවෙකු තක්කඩියෙකු වේ නම් ඔහුගේ මුල්ම යොමුව වන්නේ තම ක‍්‍රියාවන් සාධාරණකරණය කරනු සඳහා ජාතිපේ‍්‍රමයේ සහය පැතීමය.

ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.

“සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි”  රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත්  බව පෙන්වන්නට. සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.

කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත.  දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.

දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය.  ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය.  එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත.  ඒ දෙකම යහපත්ය.  එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි.  තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය.  ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය.  අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේද නැත.

බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන.  ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි.  තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ.  තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි.  එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ.  අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු.  ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය.  තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි.  සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ටද මෛත‍්‍රිය පැතිරවීමය.  මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි.  මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන්  අතරද වෙනස තුනීව යයි.  නැතිව යයි.  මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ.  මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්ව තත්වයකි.

දේශපේ‍්‍රමයට  හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද?  සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු  ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.

මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය.  මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිෂ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය.  එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය.  ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ.  වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකසේ අදාළය.

සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශෙ‍්‍ර්ෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි.  එභෙත්  බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැදී සිටිමු.  මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද?  මීටත් වඩා පටු වූද බාලවූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද?  මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද?  මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද?  තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි.  එය යහපත් එකක් වන්නටද පුළුවන.  එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත.  අවිචාර බුද්ධියෙන් යුතුව  ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය  මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.

එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.

මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙලද, විනයද –  සහජීවනය හා සාමයද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු.  අප කැමත, යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.

ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය  හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය.  ඔබේ දැනුම සියල්ල  එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය.  මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත.  එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත.  යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.

ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටමද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන සියල්ලන් පතන බවට මට උදක්ම  විශ්වාසය.