නැගෙනහිර මහඇමතිගේ “නොමනා“ හැසිරීම

නැගෙනහිර මහ ඇමති විසින් නිල ඇඳුම ඇඳ සිටි නාවික නිලධාරියෙකුට බැණ ඔහු එලවා දමන සිද්ධියක් උණු කැවුම් මෙන් මූණු පොතේ විකිණුනේ ය. ඒ හැසිරීම බොහෝ අය හෙලා දුටුවේ සිදු වූ සිදු වීම ගැන පවා හරි හැටි නොදැන ය. ඔවුන් ඒ බව නොදැන සිටි බවට මා උපකල්පනය කළ හේතුව වූයේ ඒ බැණ වැදීමට හේතුව හෝ ප්‍රස්තූතය දන්නේ දැයි ඇසූ විට එය නොදන්නා බවත් එය මෙහි දී අදාළ නොවන බවත් එම මිතුරන්  බොහෝමයක් පවසා තිබුණු නිසා ය.

මට නම් ඔහුගේ හැසිරීම විවරණය කිරීමට කරුණු කිහිපයක් දැන ගත යුතු ව තිබිණි. ඔහුගේ හැසිරීමට හේතුව කුමක් ද? ඔහු එසේ හැසිරෙන්නේ කොහේ ද? ඒ අවට සිටි අය කව් ද? යනා දී ප්‍රශ්න රැසක් ඒ අතර විය. එහෙත් ඒ කිසිවක් අප මේ කී හිතවතුන්ට අවශ්‍ය නොවී ය.

පසුව අපට දැන ගන්නට ලැබුණු ආකාරයට මේ සිද්ධිය වී තිබුනේ විද්‍යාගාරයක් විවෘත කරන උත්සවයක දී උත්සව සභාව තුළ දී ය. එය එසේ නම් මේ හැසිරීම පමණ ඉක්මවා කරන ලද අශෝභන හැසිරීමකි.

ඔහුට කිපීමට සාධාරණ හේතු තිබුනේ වුව ද මහත්මා ගති ඇත්තෙකු විසින් ප්‍රසිද්ධියේ එතරම් කාල ගෝට්ටියක් කිරීමට තරම් එය ප්‍රබල හේතුවක් නොවේ. දැන් අප විමසන්නට යන්නේ ඒ අහේතුක හේතුව ය.

මැදිහත්ව බැලුවොත් පෙනෙන්නේ, හේතුව එතරම් තරහක් ප්‍රදර්ශනය කිරීම සාධාරණීකරණය නොකරන්නේ වුව යම් පමණකට තරහ යාම නම් සාධාරණ බව ය. මහ ඇමති යනු ඒ පළාතේ ජනතා නියෝජිතයා ය. ඔහු උත්සවයට පැමිණ තිබිය දී ආණ්ඩුකාරවරයාට පසු ඇරයුම් කළ යුතු ව තිබුනේ ඔහුට ය. එසේ නොකළේ නම් එය ඔහු ම කියන පරිදි බරපතල ප්‍රටෝකෝල් ප්‍රශ්නයකි. එය ඔහුට කරන අගෞරවයකට වඩා සැළකෙන්නේ ඔහු නියෝජනය කෙරෙන නැගෙනහිර පළාතේ ජනතාවට කළ අගෞරවයක් ලෙස ය. ඔහු අපට නාල්ලන දේශපාලනඥයෙක්ගේ ලේබලයක් සහිත කෙනෙක් විය හැකි ය. එහෙත් ඔහු ඒ පළාතේ ජනතාව නියෝජනය කරන්නා ය.

අනිත් පැත්තෙන් තර්ජනය එල්ල වන්නේ නාවික හමුදා නිලධාරියෙකුට ය. එවැනි සාමාන්‍ය උත්සවයක දී නිල ඇඳුමක් පැළඳ ගෙන ඔහු නියෝජනය කළේ නාවික හමුදාව ද? ඒ කුමන පදනමක සිට ද?

උතුරු නැගෙනහිර ජනතාව කාලයක සිට නගන ප්‍රශ්නය නම් තමන්ගේ පුද්ගලික ජීවිතවලට හමුදාවේ බැල්මෙන් නිදහස් වෙන්නට ඇති නොහැකියාව ය. නාවික හමුදා නිල ඇඳුමක් කෙනෙකුට ඇති සමාජ බලය අපමණ ය. ඒ ඉදිරියේ සාමාන්‍ය මිනිසා අසරණ ය. ඔවුන් මේ සංකේතාත්මක පෙනී සිටීම නොඉවසන්නේ ඒ නිසා ය.

නැගෙනහිර මහ ඇමති විසින් සංකේතාත්මක ව එලවා දමනු ලබන්නේ ජනයාට ඇලජික් වී තිබෙන ඒ හමුදා සංකේතය ය. ඒ ඔහුගේ ප්‍රජාව විසින් ඔහුගේ අවිඥානයට ඇති කර තිබෙන බලපෑම ය.

දකුණේ බොහෝ දෙනෙකුගේ කෝපය තියෙන්නේ හමුදා නිලධාරීයෙකුට නිල ඇඳුම ඇඳගත් හමුදා නිලධාරියෙකුට පරිභව කිරීම ගැන ය. මගේ විරුද්ධත්වය එතරම්ම පටු නැත. මගේ විරුද්ධතාවය මිනිහෙකුට පරිභව කිරීම ගැන ය. කිසිම මිනිහෙකු එවැනි තත්වයකට පත් කළ යුතු නැත.

දකුණේ බහුතරය වැඩි පුර ම ඩෝං ගොස් තිබෙන්නේ මිනිසෙකුට නිහීන ලෙස බැණිම ගැන නොවේ. හමුදා නිලධාරියෙකුට බැනීම ගැන ය. හමුදාව යනු දකුණේ සිංහලයාගේ ආඩම්බරයේ සංකේත ය. පහර වැදී ඇත්තේ එතැනට ය.

එහෙම බැලුවහම මේ සිද්ධිය තරම් අපි අතර ඇති පරතරය පෙන්වන තවත් සිද්ධියක් නැති තරම් ය. එය මෙතරම් විවෘතව ප්‍රදර්ශනය වීම තුළ පෙනෙන්නේ සංහිඳියාව කරා යන ගමනේ තව බොහෝ දුර යා යුතු ව තිබෙන බව ය.

 

 

Advertisements

කාට කාටත් දැන් අබ සරණ ය.

මෛත්‍රීගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි නොතකා පාරට බට ලක්ෂ්මන් විජේසේකර ඇතුළු අලුත් පරපුර කලාකරුවන්ට පහර දුන් කමල් ඉන්දිකට ආසන සංවිධායක තනතුරක් පිරි නැමුනේ ය. එයට එරෙහිව මතු වූ උද්ඝෝෂණ තඹ පයිසයකට වත් මායිම් නොකළ මෛත්‍රී ද මෛත්‍රීෙග් ගෝලයෝ ද එය සාධාරණය කිරීමට අපූරු තර්කයක් ද ගෙන එන්නේ ය. පත් කළ යුත්තේ චන්දයක් දිනිය හැකි අය ය. තේර්මී කමිටුව ඔහු තෝරාගන්නට ඇත්තේ ඒ අනුව ය. මැර කම් කළ අය අයින් කරන්නේ නම් කිසිවෙක් ඉතිරි නොවනු ඇත. ඒ සන්ධාන ලේකම් මහින්ද අමරවීරගේ වචන ය.

හිතන්නේ එහෙම නම් මෛත්‍රීට හා ඔහුගේ කණ්ඩායමට ද අප පැතිය යුත්තේ ගලගොඩ අත්තේ දෙසා බාන අබ සරණ ය. ගලගොඩ අත්තේටත් චන්දය දිනන්නට පුලුවන. ඇයි මර්වින් ට. ඇයි සාරුවා සුනි්ල් ට.

ඒ නිසා ඉන්දික හා සජින් වාස් කැත නැතුව ලංකර ගත්තා සේ ඔවුන් ව ද ලංකර ගත හැකි ය.

චන්දය දිනන්න නම් හොඳම ජොකියා මහින්ද ය. තනතුරක් පට්ටමක් දී ඔහුවත් දෙවැනි නායකයා බවට පත් කර ගත හැකි ය. ඔහුගේ පවුලේ අයටත් මොනවා නැතත් චන්දය දිනිය හැකි ය. ඒ අයව ද ලං කර ගත හැකි ය.

මේ විහිළු කතා නවතා දැන්වත් සිහි එලවා ගත යුතු ය.

අප පැතුවේ මහින්ද නැති මහින්ද පාලනයක් නොවේ.

දූෂණය මැරකම වංචාව රැවටීම නැති පාලනයකි. එහෙම එකක් දෙන්නට බැරි නම් මහින්ද ආවා වුවත් කමක් නැතැයි මේ යන විදිහට මිනිසුන්ට සිතෙන්නට ඉඩ තිබේ.

එදාට නම් කාට කාටත් අබ සරණ ය