හැත්තෑ පස් වසරක සාපය ද දෙතුන් වසරක ඉතිරිය ද?

හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී යන්නේ ඒ තුළ කොතෙක් පසුබෑම් අනාථ වීම් අතරමං වීම් තිබුන ද ඉදිරියට ගිය වගකි. ඒ සඳහා ආර්ථික සංඛ්‍යා ලේඛන පිරික්සීම ප්‍රමාණවත් ය.

එහෙත් අප ඒ සමග ම මතක තබා ගත යුත්තේ ඒ අතරමං වීම් අනාථ වීම් සියල්ල ද මේ අර්බුදය මෝදු කිරීමට අනූපමේය සහයක් දුන් බව ය.

මේ ලිපියේ අදහස මුලින් ම ඒ අතරමං වීම් අනාථ වීම් කවරේදැයි බැලීමට ය. බොහෝ දෙනෙකු එය ලඝු කරන්නේ දේශපාලනය විසින් කරන ලද හොරකම් වලට ය. දූෂණය හා නාස්තියට ය. අප බොහෝ විට ප්‍රශ්නයක දකින්නේ එක පැත්තකි. ඒ සියල්ල රට මේ තත්වයට වැටීමට හේතු කාරක වූ බව ඇත්ත ය. එහෙත් එය අර්ධ සත්‍යයක් පමණ ය. එතැනින් නැවතුනොත් අපට බොහෝ දේ මග හැරෙන්නේ ය.

සුබසාධන ආර්ථිකය හා දේශපාලනය

පළමුව අප රට කළ පාලකයන් ඔවුන් හොරකම් කළ තරමට හෝ ඇතැම් විට ඊටත් වඩා ජනතාව සතුටින් තබා ගැනීම සඳහා කළ සුබසාධන දේශපාලනය නිසා ද රටට හානි කළෝ ය. ඒවායින් බරපතල ම කාර්යය නම් විශාල ලෙස රැකියා සපයමින් රාජ්‍ය අංශය අවසානයේ රටට ම බරක් වෙන තැනට පත් කිරීම ය. එය ඔවුන්ගේ ම කටින් දැන් කියවෙන්නෙ හරියට ඒවා කළේ අප වගේ හැගීමක් ඇති කරමිනි. ජනතාවට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් ඇති බව ඇත්ත ය. දියව් දියව් රැකියා දියව් කියමින් පාරවල් දෙවනත් කළේ ඔවුන් ය. ඒ රට කිසිදා පාලනය නොකළ දේශපාලන සංවිධාන වල ඍජු දායකත්වය ලබා ගෙන ය. ඔවුන් විසින් මෙහෙයවනු ලැබීම ඉදිරියට යෑමට තල්ලුවක් ලෙස භාවිතා කරමින් ය.

ඊළග බරපතල කාරණය නම් රාජ්‍ය අංශයට සියලු දෙය පවරා ගනිමින් ඒවා පාඩු ලබද්දී ඒවා නොමිලේ හෝ අඩුමිලට කරන මහජන සේවය පිණිස මෙහෙයවීම ය. ඒ එම ආයතන භාවිතා කරමින් තමන්ගේ හොරමැරකම් පමණක් නොව දේශපාලන කටයුතු ද කර ගන්නා අතරතුර ය. ඒ හොර මැරකම් අතර තමන්ගේ හෙංචයියන්ට රස්සාවල් දීම තනතුරු දීම පර්මිට් දීම කොන්ත්‍රාත් දීම වැනි කටයුතු ද තමන්ට අවශ්‍ය කටයුතු සඳහා ඒවා යොදාගැනීම වැනි කටයුතු ද නිල වශයෙන් ලැබෙන වාහනවලට අමතර ආණ්ඩුවේ වියදමින් තෙල් ගසා දුවන වාහන තමන්ට පමණක් නොව අන්තේවාසිකයන්ට ද ඒ හරහා ලබා ගැනීම ද සමග ය. නොමිලේ හා අඩු මිලට සපයන ලද සේවා අතර සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරන සේවා පමණක් නොව උසස් අධ්‍යාපනය, විදුලි බලය හා ගෘහස්ත ජල සැපයීම, පමණක් නොව එළවලු (අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව), මාළු (ධීවර සංස්ථාව), කිරි (කිරි මණ්ඩලය), ඇඳුම් (සළුසල), කුළුබඩු (සතොස හා සමූපකාර අලෙවි සල්), මස් (ජාතික පශු සම්පත් මණ්ඩලය), කුඹුරට වතුර (වාරිමාර්ග දෙපාර්තමේන්තුව), කෘෂි සේවා (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවි ජන සේවා – පසු කලෙක ගොවිජන සංවර්ධන – දෙපාර්තමේන්තුව), යන එකී නොකී භාණ්ඩ හා සේවාවන් ගණනාවක් විය.  

ඊට අමතරව නොමිලේ හාල් දීම නොමිලේ පාසල් පොත් ලබා දීම නොමිලේ යුනිෆෝම් ලබා දීම නොමිලේ සිල් රෙදි ලබා දීම වැනි ව්‍යාපෘති ද කරමින් මිනිසුන්ගේ සිත් දිනා ගෙන ඊළග චන්දය දිනා ගැනීමේ උපාය මාර්ගයන් ද අනුගමනය කරන්නට යෙදුනේ ය.

මේ සියල්ල කරද්දී අපට ‌අඟවන ලද්දේ ඒවාට අවශ්‍ය මුදල් තමන්ගේ පෞද්ගලික බූදලයෙන් යොදා ඇති බවක් ය.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය

ඊළඟට අප දකින්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ආපස්සට ගෙන ගිය අකාරය ය. කාර්මික කරණයට අඩු බරක් තබමින් කෘෂිකර්මය සඳහා විශාල ආයෝජනයන් කළ ඩීඇස්ගේ කාලයේ සිට අප ප්‍රමුඛතා අඳුනා ගෙන තිබුණේ නැත. ඒ කාලයේ පටන් ම අපේ කල්පනාව වූයේ අතීත ශ්‍රී විභුතිය ඇති කිරීම මිස අනාගත ලෝකයක් ගොඩ නැගීම නොවේ. ඒ නිසා ම විදුලි බලය දියුණු කිරීමට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි ය. මේ ගැන විමලසුරේන්ද්‍ර නම් ඉංජිනේරුවාට මුහුණ දීමට සිදු වූ ගැටළු අධ්‍යායන කිරීම ප්‍රමාණවත් ය.

දෙවැනි ලෝක යුද්ධයේ අළු ගසා ජපනුන් නැගිටින විට ඔවුන් කළේ ලෝක වෙළඳපොල ඉලක්ක කරගනිමින් නිෂ්පාදනයේ යෙදීම ය. ජපන් බෝනික්කන්ගෙන් ඇරඹුනු ඒ ගමන ඔවුන් දැන් ලොවට රොබෝ යන්ත්‍ර විකුණන තත්වයට දියුණු කර ගෙන තිබේ. අපට ඔ්නෑ වුනේ අපට අවශ්‍ය දේ ලංකාවේ හදා ගැනීමට විනා ලෝකය ජය ගැනීමට නොවේ. ඒ බාහිරට යොමුවුනු ආර්ථික දැක්මක් අපට උරුම නොවීමේ කරුමය අද අර්බුදයට ද හේතුවකි. අද ද අප ආඩම්බර වන්නේ අපට අවශ්‍ය කහ අපේ රටේ නිෂ්පාදනය කර ගැනීමට ලැබීම ගැන ය.

ඒ නිසා අප විසින් කරන ලද්දේ රටට ලාබෙට පිටරටින් ගෙන්විය හැකි දේට තහංචි හෝ අධික බදු දමමින් ඒවා ඈත් කොට තැබීම ය. එයින් සිදු වුනේ පිටරට හා තරඟ කළ හැකි මට්ටමට දියුණු වීමට තරම් අභිප්‍රේරණයක් ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට නොලැබීම ය. ඔවුන් ද ඉල්ලා හිටියේ ආණ්ඩුවේ ආරක්ෂාව ය.

ඒ සඳහා පැහැදිලි උදාහරණ රාශියක් ඇත්තේ අදටත් ඇතැමුන් ස්ත්‍රොත ගී ගයන සිරිමාවෝ ගේ පාලන කාලයේ දී ය. ඇය උත්සහ කළේ රට තුළ නිෂ්පාදනය ඉහළ නැංවීමට පමණක් නොවේ. එක් එක් පළාත ද තමන්ගේ දේ නිෂ්පාදනය කර ගත යුතු බව කියන්නට ය. ඒ නිසා තහංචි වැටුනේ පිටරටින් එන දේ ට පමණක් නොවේ. ඒවාට බදු ගැසීම වෙනුවට සම්පූර්ණ තහංචි වැටුනු බව ඇත්ත ය. ඒ දේශීය නිෂ්පාදකයා අත හිත දෙන බැනරය යටතේ ය. එහෙත් මිරිස් පොලු හාල් පොලු වැටුනේ එක් පළාතක දේ අනෙත් පළාතට ද විකුණනු වැළැක්වීමට ය. ඒ එක් ඒක් පළාතේ නිෂ්පාදකයා සෙසු පළාත් වල තරඟයෙන් ආරක්ෂා කර ගැනීමට ය. එහි උත්ප්‍රාසය තේරුම් ගැනීමට නම් අපේ වී නිෂ්පාදනයේ භූගෝලය දැන සිටිය යුතු ය. වියලි කලාපයේ ලබන අස්වැන්නෙන් තුනෙන් එකක් වත් ලබන්නට තෙත් කලාපයේ ගොවියෙකුට නොහැකි ය. වී නිෂ්පාදනය ඒ වනවිට ත් වියලි කලාපය තුළ දියුණුවක් ලැබ තිබුණේ ය. ඒ මිනිසුන්ට තමන්ගේ අතිරික්තය විකිණිය හැකි ව තිබුනේ කොළඹට ය. හාල් පොල්ලෙන් එය ද අධෛර්යමත් කරනු ලැබුවේ ය.

පුද්ගලික අංශයේ බොහෝ දේ රජයට පවරා ගනු ලැබුවේ ජනතාවට ඒවායින් යහපත් සේවයක් සිදු නොවන බව කියමිනි. එසේ පවරා ගත් ආයතන අතර එවකට තරගකාරී ලෙස ක්‍රියාත්මක වුනු ඉන්ධන බෙදා හැරීම ද ගෑස් බෙදා හැරීම ද බස් ගමනාගමනය ද තව එකී නොකී දේ ද තිබුණේ ය. එයින් සිදු වුනේ පුද්ගලික අංශයක් බිහි වීම අධෛර්ය කිරීම ය. තමන්ගේ ව්‍යාපාරයන් රජයට පවරා ගැනීමට ඉඩ තිබෙන වතාවරණයක ව්‍යවාසයන් ගොඩ නැගීමට ඉදිරිපත් වන්නේ මොන මෝඩයා ද?

පුද්ගලික ව්‍යවාස ලබන ලාභය සූරා කෑමක් ලෙස වර නැගුණු රටක් පුද්ගලික ව්‍යවාසයන්ට පහර ගැසීම මිනිසුන්ගේ ආශ්වාදයට ද හේතු විය. ඒ නිසා ම මේ කටයුතු දේශපාලන වාසි පිණිස ම විය.

ඩොලරය ආණ්ඩුව නියම කරන ගණනකට සීමා කිරීම මගින් අපනයන කරුවන් ද අධෛර්මත් කරන ලද්දේ ය. ඩොලර් ලබා ගත හැකි වූයේ අපනයන කරන අයට පමණක් නිසා ම අපනයනකරුවන්ගෙන් ස්වායත්ත ව්‍යාපාරික ප්‍රජාවක් බිහි වීමේ ඉඩ ද අහුරා තිබුණේ ය.

උසස් අධ්‍යාපනය ආණ්ඩුවේ රාජකාරියක් කර ගෙන සිටි නිසාත් පුද්ගලික අංශයට ඒ සඳහා මග අහුරන ලද නිසාත් ඒ ප්‍රතිපත්තිය දිගින් දිගට පවත්වාගෙන යෑමට විරුද්ධ පක්ෂයේ හැම බලවේගයක ම සහය ලැබුණු නිසාත් ඒ හරහා මුදලට අධ්‍යාපනය විකිණීමේ “අපරාධය” වළක්වා ගත හැකි යැයි නිදහස් අධ්‍යාපනය ලැබූවන් විසින් ම අවධාරණය කළ නිසාත් නව අධ්‍යාපනික අවස්ථා ලංකාවේ සිසුන්ට නිරාවරණය වූයේ නැත. ඉන්දියාව අපට කලින් මෘදුකාංග කර්මාන්තය ඩැහැ ගැනීමට එක් හේතුවක් වූයේ මේ “පිරිසිදු” නිදහස් උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ය.   

මතක තබා ගත යුත්තේ මේ සියල්ල කරන ලද්දේ ජනතාවගේ නාමයෙන් බව ය. මා මේ දක්වන ලද්දේ සම්පූර්ණ කතාව ම නොවේ. ආර්ථික විද්‍යාව දන්නා අයට මෙයට තව දේ එක් කළ හැකි ය. එහෙත් මේ ගැන සොයන්නට විමසන්නට මේ කරුණු ප්‍රමාණවත් යැයි හඟිමි.

මීට අමතරව කිසිදු වග විභාගයකින් තොරව ඉතාම අවම ප්‍රතිලාභයක් ලැබෙන ව්‍යපෘති රැසකට වාණීජ විදේශ ණය ගනිමින් 2007 න් පසු පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ද (යහපාාල කාලයේ ණය ගත්තේ කලින් ගත් ණය ගෙවීමට බව කියවෙන කතාව ද යුක්ති යුක්තභාවය පතා සිහිපත් කළ යුතු ය) මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති අතර ඉහළින් ම තැබිය යුතු එකකි.

ජනවාර්ගික යුද්ධය

අප ඊළගට වරද්දා ගත්තේ ජනවාර්ගික ගැටළුවක් නිර්මාණය කර ගැනීම හරහා යුද්ධයක් කැඳවා ගැනීමෙන් ය. ඒ සඳහා බොහෝ ආණ්ඩු කටයුතු කළේ වරමක් ගත් යකැදුරන් පරිද්දෙනි. ඩීඇස් යටතේ උතුරු නැගෙනහිර පළාත් වල සිදු වූ ජනපදකරණය හා සිංහල බලවේගයන්ගේ බලපෑම් මත තීරණාත්මක ස්ථානවල සේවයක් කළ දෙමල ජාතිකයන් ඉවත් කිරීමට කටයුතු කිරීම, බණ්ඩාරනායකගේ සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය, ඒ නිසා විශාල ලෙස සිංහල නොවන අයට රාජ්‍ය සේවයේ රැඳී සිටීමට නොහැකි වීම, පංච මහා බලවේගයේ එක් පෙරමුණක් වූ භික්ෂුන් මැදිහත් වීමෙන් බලතල විමධ්‍යගත කිරීමට බණ්ඩාරනායක ඉදිරිපත් කළ පනත ඔහු විසින් ම අකුලා ගැනීම, ශ්‍රී අකුරක් මෝටර් රථ සඳහා යොදා ගෙන සිංහල නොවන ජාතීන් ප්‍රධාන ධාරාවෙන් බැහැර කිරීමට උත්සහ කිරීම ප්‍රමිති කරණය හරහා දෙමළ සිසුන්ට සරසවියට පිවිසීම සීමා කිරීම, ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියමින් ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම ඩඩ්ලි ගෙනා දෙමල භාෂා විශේෂ විධි විධාන පනත අකුලා දැමීමට වමේ පක්ෂ වල සහය ද ඇතිව විපක්ෂය විසින් වග බලා ගැනීම, බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය යොදා ගැනීම නිසා සිදු වූ ජාතිවාදී කෝලාහල යන එකී නොකී කාරණා මීට අදාළ ය. ඒවා දකුණේ පාලකයන් විසින් කරන ලද්දේ දෙමල ජනතාවගේ පැත්තෙන් ද ජාතිවාදය ම ප්‍රකට කෙරෙන කටයුතු නිසා ලැබු අනුග්‍රහය ද ලබා ගෙන ය.

දකුණේ අන්තවාදය උතුරේ අන්තවාදය ද උතුරේ අන්තවාදය දකුණේ අන්තවාදය ද මොනවට පෝෂණය කළෝ ය. යුද වැදීමෙන් මිසක සංවාදයෙන් ප්‍රශ්න විසඳා ගන්නට බැරි තැනකට එය අප ව තල්ලු කර දැම්මේ ය.

සිංගප්පූරුව බිහි කළ එහි ප්‍රථම අග්‍රාමාත්‍ය පදවියට පත් ලී ක්වාන් යූ කියන්නේ තමන් රට ස්ථාපිත කරන විට කටයුතු නොකළ යුත්තේ කෙසේදැයි දක්වන ආදර්ශයන් ලෝකයේ තිබුණු බවත් ඒ නිසා ම ඒවා මග හැර කටයුතු කිරීමට ඔහුට හැකි වූ බවත් ය. ඔහු උදාහරණයට ගත්තේ ලංකාව ය. ඒ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් අප අනාගත් බව කියමිනි. ඒ 1965 තරම් ඈත දී ය. ඔහු විසින් ම ලියන ලද ඔහුගේ ජීවිත කතාවේ මේ බව සඳහන් ව ඇත.

ඉහත සාධක තුනේ එකතුව

සුබසාධන දේශපාලනය, වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා ජනවාර්ගික ප්‍රශ්නය ඇතැම් විට එක ම මුලකින් ඇරඹෙන බවක් ද එකිනෙක වෙලී ඉදිරියට යන බවත් ද පෙනේ. සුබසාධනය බොහෝ විට පොදුවේ රටේ ජනතාවට ඇරුණේ වුව ද එහි වැඩි ඵල ලැබුවේ දකුණේ අය ය. අධ්‍යාපනයට ඇති අවස්ථා සම්බන්ධයෙන් පමණක් නොව රැකියා හා ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් ද එය එසේ ම විය. වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ප්‍රමාණවත් තරමට අධ්‍යාපන ව්‍යාපාරික සහ රැකියා අවස්ථා බිහි වුනේ නැත. එයින් ද ඇතැම් තැනක වැඩිපුර පීඩාවට ලක් වූයේ උතුරු නැගෙනහිර ජනයා ය. යුද්ධය නිසා හමුදාවේ රැකියා ද ඉහළ ගිය අතර ඒ තුළ පවා ඉඩ ලැබුනේ දකුණට ය. රජයේ ව්‍යවසා වැඩි ප්‍රමාණයක් ගොඩ නැගුණේ දකුණේ ය. සේවා සැලසීම සම්බන්ධයෙන් ද වැඩි ප්‍රතිලාභ ඔවුන්ට හිමි වූයේ ය. අනෙත් අතට ආර්ථිකය එක තැන පල් වීමට හා කඩා වැටීමට යුද්ධය ද බලපෑවේ ය. විදේශ ණය ඉහළ ගියේ ද යුද්ධයට අවශ්‍ය ආම්පන්න මිලට ගැනීමට ය. රජයේ වියදම් ඉහළ ගියේ ද විශාල හමුදාවක් නඩත්තු කරනු පිණිස ය. හමුදාවට දිරී දීම සඳහා ඔවුන්ට සෑහීමකට පත් විය හැකි තත්වයන් නිර්මාණය කිරීමට ය. ඒ සියල්ලෙන් කියන්නේ මේ සාධක එකක් අනෙකෙන් පෝෂණය කරමින් වැඩුනු බව ය.

හැත්තෑ පස් වසරක සාපයට වග කිව යුත්තෝ

ඒ සාපය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විත්ති කූඩුවට නංවන්නේ රටේ පාලකයන් ය. ඔවුන් වගකිව යුතු බව ඇත්ත ය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඔවුන් ඒ සියල්ල කළේ විපක්ෂයේ බලපෑම ද ජනතාවගේ වැඩි කොටසකගේ බලපෑම ද ඇති ව ය. වරද්දා ගත් හැම තැන ම විපක්ෂය ද ජනතාව ද සිටියෝ ය. එහි දී විශේෂ කණ්ඩායම් දෙකක් ගැන සඳහන් නොකර බැරි ය. පළමුවැන්න භික්ෂූන් වහන්සේ ලා ය. ඔවුන් ඉතාම පහසුවෙන් සිවුරු කරට ගෙන පාරට බැස්සේ විමසීමකින් පවා තොරව ය. අදට ද මේ හැසිරීම අපට නිරීක්ෂණය කළ හැකි ය. දෙවැන්න වමේ ව්‍යාපාරය ය. කුලවාදයට එරෙහිව අරගල කරමින් ප්‍රගතිශීලි තැනක සිටි වමේ ව්‍යාපාරය ඉක්මණින් රටේ තත්වයට ම පිරිහුණේ ය. ඒ සම්ප්‍රදායික වාමාංශයට පමණක් නොව අද වමට ද ඍජුව ම එල්ල කළ හැකි චෝදනාවකි. සුබසාධනය ක්‍රියාත්මක වූයේ ද වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ ද යුද්ධයට අත වැනුයේ ද ඔවුන්ගේ අනියම් මෙන් ම ඍජු සහය ද ඇති ව ය.

වත්මන් අර්බුදය

අප කලින් ද සඳහන් කළ පරිදි වත්මන් අර්බුදය සම්බන්ධ සම්පූර්ණ වගකීම 75 වසරට පොදුවේ දමා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අවසාන පාලක පැලැන්තියට පැන යන්නට ඉඩ දීම වැරදි ය. බදු අඩු කර රටේ ආදායම අඩු කිරීමෙන් පටන් ගෙන ඩොලරය රු 200 ට තබා ගැනීම වෙනුවෙන් සියලුම සංචිත වියදම් කිරීම, කාබනික පොහොර නාඩගම ක්‍රියාත්මක කළ රටේ කෘෂිකර්මය වල පල්ලට යැවීම දක්වා සියල්ල කරන අතරතුර කළ යුතු ව තිබූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයෙන් ගැලවීම සඳහා කලට වේලාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොයෑම ඇතුළු දෑ මග හැර දැමූ ඒ පාලනය මේ තීව්‍ර වූ අර්බුදයට වග කිව යුතු ය. ඒ කෝවිඩ් නිසා ද යුක්රේන් යුද්ධය නිසා ද පොදුවේ ලෝකයට මුහුණ දීමට සිදු වූ අභාග්‍යය ද ලංකාවට බලපෑ බව සිහියේ තබා ගනිමින් ය.

කවුරු හෝ කී පමණින් සැත්තෑ පස් වසරක සොරාකෑමේ සාපය යයි කියා පුනරුච්චාරණය නොකොට සිදු වූයේ කුමක් දැයි බැලීම, විමසුම් මනසක් ඇති අයගේ යුතුකම ය. මේ සටහන ඔවුන්ට තවත් එකතු කරන්නට ඇතොත් එකතු කොට සම්පූර්ණ කරන්නට ය.

වැව් තෙර ආරෝව – විග්‍රහයක් සමග

අප ජිවත් වන්නේ ලේබල් අලවන ලද ලෝකයක ය. සෙසු කුරුල්ලන්ගේ හඩ විහඟ ගීයක් වන විට කාක්කෙකුගේ හඩ අපට කංකරච්චලයක් වන්නේ ය. කාක්කාට අවමන් කරනු සඳහා අප ඌ කොළඹ කාක්කෙක් ලෙසට ද හඳුන්වන්නෙමු. මේය සුදු කළු බේදයකි. කාක්කා කළු වීමෙන් එය වඩාත් තීව්‍ර කෙරේ. සුදු යහපත් ය කළු අයහපත් ය යනුවෙන් වර්ගීකරණය කරන අපේ ලෝකයට ඒ වෙනස වඩාත් අදාළ ය. සුදු කළු ඇත්තේ දෙතැනක යැයි සිතුව ද එය බොහෝ විට ඇත්තේ එකම තැනක ය. එහෙම බැලුවහම මේ වර්ගීකරණය සාධාරණ වන්නේ ද? යහපත අයහපත වශයෙන් දෙකක් තිබෙන බව ඇත්ත ය. එහෙත් එහි බෙදුම් රේඛාව අප හිතන තරමට පැහැදිලි ද? කළු වෙසින් සුදු ද සුදු වෙසින් කළු ද පැමිණිය හැකි නොවේ ද? ඒ නිසා ම ඒවා පවතින්නේ එක පොදියට පොරකමින් ය. අරගලයෙන් කළු ජය ලබන වාර වැඩි ය. මේ වාදයෙන් ඉවත්ව ස්වභාව ධර්මයා දෙස බලන්න. එය කොතරම් අපූරු ද? එය නිරන්තරව වෙනස් වෙමින් මවන චමත්කාරය අපව මොහොතකට සියළු වාද අමතක කරන්නේ ය. එය ගෙනෙන රැය අඳුරු යැයි සැළකුව ද අපට කළු සුදු වර්ගීකරණය අමතක කර මොහොතකට සුවය සදන්නේ ය. ලේබල් නොඅලවා ලොව දකින්නට කියන බුදු බණ ද මෙය ම නොවන්නේ ද? අප අලවන ලේබල් දිහා නැවත බලන්නට අවශ්‍ය නොවන්නේ ද? ඒවා විනිවිද නොදැකිය යුතු ද?

හෙල්මට් වලින් ගසා මැරීමට දෙන දඩුවම කුමක් ද? දඩුවම් කළ යුත්තේ කාට ද?

11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනෙකු විසින් පහර දෙනු ලැබ වැඩිහිටි පියෙකු මරණයට පත් වූ නිවසක් නිසා පසුගිය දින වල මුහුණු පොතේ විශාල සංවාදයක් ඇති විය. බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කොට තිබුනේ මේ සිසුන්ට මරණය ය. තවත් අය ආයුධ පෙන්නන සූත්‍රය භාවිතා කරන ලෙස ද තවත් සමහරු සවුදි අරාබියේ දඩුවම් ලබා දෙන ලෙස ද කියා තිබුණේ ය.

සිසුන්ට මරණය ප්‍රාර්ථනා කර අත පිහදා ගන්නට අදහස් කළ අයට අමතරව මේ සිද්ධියට හේතු විය හැක්කේ කුමන සාධක ද යන්න පිළිබඳව තම තම නැණ පමණින් කරුණු ඉදිරිපත් කරන්නට ද බොහෝ දෙනා ඉදිරිපත් වී තිබුණේ ය. එවැනි එක් හේතු දැක්වීමක තිබුණේ වැඩිහිටියන්ට ගරු නොකළ යුතු බවට මතවාදයක් සමාජගත කළ උදවිය මෙයට වගකිව යුතු බව ය. ඔවුන් අනියමින් කියන්නේ වැරැද්ද ඇත්තේ වැඩිහිටියෙකු ඝාතනය වීම හේතු කොට ගෙන බව ය. සම වයසේ කෙනෙකු මෙවැනි ඉරණමකට අත් වීම යුක්ති යුක්ත ද? ජීවිතය ජීවිතයක් වන්නේ වැඩිහිටියෙකු වීම නිසා ද?

පොදුවේ අනෙකාගේ ජීවිත වලට ගරු නොකරන ඒවාට වටිනාකමක් නොදෙන සමාජයක් ඇති ව තිබෙන බව ඇත්ත ය. එයට හේතු මොනවා ද? ඒ තත්වය ඇති කරන ලද්දේ කවුරුන් විසින් ද? අප ඒ ප්‍රශ්න වලට උත්තර සොයා ගත යුතු ය.

අප රට කැරලි දෙකක් හා දිග්ගැස්සුණු යුද්ධයක් තිබූ රටකි. ඒ කැරලි වල දී ද යුද්ධ වල දී ද දෙපාර්ශවය ම ප්‍රදර්ශනය කළේ කුමක් ද? තමන්ගේ අරමුණ ඉටුවන්නේ නම් අහිංසක ජීවිත බිලි වීම ගණන් ගත යුතු නැති බව ය. ඒවා ඔ්නෑ ම කැරැල්ලක යුද්ධයක සිදු වන සාමාන්‍ය දේවල් බව ය. වෙන එකක් තබා යුද්ධයෙන් බාහිර ව සිදු කරන ලද ඇතැම් හමුදා භටයෙකුගේ නොපනත් කමකට ද සමාව දෙන්නට තරම් මතයක් රට තුළ ඇති කර තිබුණේ ය. අධිකරණයෙන් වැරදි කාරයෙකු කරන ලද එවැනි හමුදා භටයෙකු ජනාධිපති සමාව ලැබීමට තරම් පොළඹවන ප්‍රබල මතයක් රට තුළ ඇති කර තිබුණේ ය.

මිනිමැරුම් වලට වැරදි කරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට ද ජනාධිපති සමාව ලැබීම ජනාධිපවරුන් දෙදෙනෙකු යටතේ ම සිදු වීම ද එයින් එක් අයෙකු සමාව ලැබීමෙන් පසු නිවාස අධිකාරියේ සභාපති තනතුරෙන් පිදීම ද නිසා අන් මිනිසුන්ගේ ජීවිත වලට එහෙමට සංවේදී වීමක් අවශ්‍ය නොවන බව රටේ ඉහළම තැන් වලින් ම කියමින් තිබුණේ ය.

මරණීය දණ්ඩනය සඳහා තීන්දු වුනු අය එල්ලා මැරීමට නීති සම්පාදනය වී තිබුණ ද ඒ එක ද දඩුවමක් සඳහාවත් කාලයක සිට ජනාධිපතිගේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එල්ලුම් ගස ක්‍රියාත්මක වුනේ නැත. ශිෂ්ඨ රටවල් බොහෝමයක ද එය ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති තත්වයක පවා නැවතත් එය ගෙන ඒම ට උත්සහ කළ ජනාධිපති කෙනෙකු අපට නැවත වතාවක් ලැබී තිබුණේ ය. ඒ ගැන කළ මත විමසුම් වල දී පෙනී ගියේ බහුතර ජනතාව එල්ලුම් ගහේ නැවත ආගමනය පිළිබඳව අපේක්ෂාවෙන් සිටි හා සිටින බව කි. ඔවුන් ද මරණයට මරණයෙන් සංග්‍රහ කිරීමට ඉටා ගෙන සිටි බවකි. ඒ සතෙකු පවා මරණයට පත් කිරීම පවක් ලෙස සලකන අංගුලිමාල වැනි මිනීමරුවෙකු පවා රහත් වූ පසු රහතන් වහන්සේ කෙනෙකු හැටියට පිළිගන්නා මිනිසුන් ඉන්නා රටක වීම බාහිර කෙනෙකු පුදුමයට පත් කරන හේතුවකි. ඒත් අපේ රටේ වැඩි දෙනෙකුට එය පුදුමයක් වුනේ නැත. ඒ බහුතරය ඒ මරණය අනුමත කළ නිසා ය.

මේ රට තුළ මරපිය කියන සටන් පාඨයට අමතර ව ඇසෙන අනෙත් සටන් පාඨය ගහපිය යන්න ය.

ගහන්න කියන්නේ ගුරුවරුන්ට හා දෙමාපියන්ට ය. ඒ සිසුන්ට හා තම දරුවන්ට ය. ඒ හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන ළමයාත් වටිනාකමක් නැතැයි කියන පැරණි මතවාදයට අනුව ය.

මේ සිද්ධියේ දීත් වරද නොගැසූ ගුරුදෙගුරුන්ට පැවරීමට සමහරු ඉක්මන් වූයේ ඒ නිසා ය. ශාරීරික හිංසා නැවැත්වීමට නීතිය කළ මැදිහත් වීම පවා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු අපි ඇසුවෙමු. දුටුවෙමු.

ගුටි කෑ වැඩිහිටියන් ද ගුටි කෑමේ ආනිශංස දක්වමින් තමන් හැදුනේ එහි ප්‍රතිඵලයක් ලෙස කියමින් නැවතත් සමාජ ගත වෙනු ද දක්නට ලැබිණි.

තමන් විඳපු ඒ ගුටිකෑමේ අත්දැකීම ප්‍රශ්න කරන්න විමසුම් බුද්ධියක් බොහෝ දෙනෙකුට නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඒ අත්දැකීම මග හැර යා නොහැකි දෙයක් බවට යටි හිතෙන් පත් කර ගැනීම ය. ඒක විය යුතු දෙයක්. ඒක එහෙම තමයි වෙන්නෙ. එසේ කියමින් හිත හදා ගැනීම ය. ගහපු ගුරුවරුන්ට හොඳ කියමින් ඒ මිනිසුන්ට ඒ මග යන්නත් වෙන්නෙ ඒ සිතුවිලි පරම්පරාවත් සමග ය. විමසුම් බුද්ධියෙන් බැලිය හැකි කෙනෙකු ඒක නොවිය යුතු ව තිබුණු දෙයක් හැටියට සලකන නිසා ම ඒක ඉදිරියට නොවෙන්න කුමක් හෝ කළ යුතු යැයි සිතයි. එහෙත් බහුතරයකට සිදු වන්නේ එය ආත්ම ගත කර ගනිමින් ජීවත් වන්නට ය.

අප තේරුම් ගත යුත්තේ ගුටි ගහන්න වුවමනා වෙන්නෙ ගුටි කාපු අයට බව ය. නවක වදය දෙන්නෙ නවක වදය ලබපු අය බව ය. සෙසු අයට බණින්නෙ බැණුම් අහන්න හුරු වුනු අය බව ය. නැවත දෙන්න පුළුවන් වන්නේ කෙනෙකුට ලැබුණු දෙයක් පමණක් බව ය. ඒ අර්ථයෙන් මිනිසුන්ට සැබැවින් ම ආදරය කරන්නට හැකි වන්නේ ආදරය ලද දරුවන්ට පමණක් බව ය.

මේ සිද්ධියේ දී ළමුන් හැසිරී ඇති ආකාරය විමසන විට තවත් කාරණයක් අපට පැහැදිලි වෙයි. ඔවුන් ගහන්නේ හෙල්මට් පවා නොදා පදිකයන් ගැන ද නොතකා තනි රෝදයෙන් වේගයෙන් මෝටර් සයිකල් පැදීම ප්‍රශ්න කරන කෙනෙකුට ය. ගැහීමට පොරොතුව පවා ඔවුන්ගේ මානසිකත්වය පිරික්සන කෙනෙකුට පෙනෙන්නේ “මං පොර” යන හැගීමෙන් ඔවුන් කටයුතු කරමින් තිබූ බව ය.

චණ්ඩි කම හා මැර කම, වීරකම හා පිරිමිකම සමග සමපාත කරමින් මත වාද ගොඩ නැගූ සමාජය මේ “මං පොර” මානසිකත්වය මේ දරුවන්ට හිමි වීම සම්බන්ධයෙන් වග කිව යුතු නැද්ද? උසාවිය පවා නොතකා ඒ තුළ ජවුසං නැටීම හේතුවෙන් භික්ෂූන් වහන්සේ නමක් හිර බත් කන විට මේ දරුවන්ට ලැබෙන ආදර්ශය කුමක් ද? එසේ දඩුවම් ලැබූ භික්ෂූන් වහන්සේ ඉතා කෙටි කලකින් ජනාධිපති සමාවක් ලැබ නිදහස් වන විට එයින් සමාජයට දෙන පණිවුඩය කුමක් ද? 

අප ඉන්නේ ඉතා මෑත කාලයක දළදා මාලිගාව අභියස පවා පාරවල් වසමින් රජ දරුවන්ට රේස් පදින්නට ඉඩ සලසා දුන් රටක ය. රජ දරුවන් එසේ කරන විට අපේ දරුවන්ට තමන්ට තියෙන සයිකලයකින් වසා නැති පාරක වුව ද රේස් පදින්නට වුවමනාවක් ඇති වීම ගැන පමණක් අපට උරණ විය හැකි ද? එකෙක් වැරැද්දක් කළ පමණින් සෙසු අයට වැරදි කිරීමට අවසර නොලැබෙන බව ඇත්ත ය. එහෙත් නායක කාරකාදීන් දෙන ආදර්ශ පිළිපැදීම සම්බන්ධයෙන් අපට උත්තර තිබේ ද?

පිරිහී ඇති සමාජයක ඒ පිරිහීමට ම බඳුන් වී වරදේ පෙළඹෙන දරුවන්ට මරණ දඩුවම දීමට ඉක්මන් වන අය මේ සමාජය මේ මට්ටමට වැටීම ගැන මුවින් නොබැණ සිටීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

මේ පහර දීම විසින් අපට දමා ගසන්නේ උත්තර නොවේ. තව තවත් ප්‍රශ්න ය. ඒ ප්‍රශ්න මග හැර හිතට එන ආවේගයකින් කොල්ලන්ට දඩුවම් කරන්නට යන අය ගැන මට නම් ඇති වන්නේ ජුගුප්සාවකි. ඔවුන් දඩුවම් ලැබිය යුතු ය. එහෙත් ඔවුන් මරණයට දක්වා අත් පිහදා ගෙන සිත නිදහස් කර ගැනීමට නම් මේ වැඩිහිටියනට ඉඩ නොදිය යුතු ය.