අපේ සිහින පන්සල

images බැනරය

(මෙම ලිපිය මුල් වරට පළවූයේ 2017 අප්‍රියෙල් 25 දින දිනමිණ පුවත්පතේ මා ලියන දීපන කොළමේ ය.)

පාසලටත් වඩා වැඩවසම් තැනක් ලංකාව තුළ තිබේ නම් ඒ පන්සල ය. පල්ලිය ය. ආරාමය ය. පොදුවේ කියන්නේ නම් ආගමික මධ්‍යස්ථාන ය.

ඒ අතරිනුත් වඩාත් වැඩි වැඩවසම් ලක්ෂණ පෙන්වන්නේ පන්සල ය. ඒවායේ වැඩ වසන සංඝයා වහන්සේ කෙරෙහි අප පල කළ යුතු ව ඇති බය පක්ෂපාතිත්වය පෙර කල රජුන් කෙරේ දැක්වූ බය පක්ෂපාතිත්වයට සමාන ය. නැතිනම් ඊටත් වැඩි ය.

අප කුඩා අසුනක වාඩි විය යුතු ය. නැතිනම් බිම ඉඳ ගත යුතු ය. ස්වාමීන් වහන්සේට වාඩි වීම සඳහා වෙනම අසුන් පැන විය යුතු ය. අප ආසන පනවන්නේ නම් එයට සුදු රෙද්දක් ද එලා තැබිය යුතු ය.

අප එසේ කරන විට අප අමතක කරන එක් කරුණක් නම් මේ කඩන්නේ බුදුන් වහන්සේ පැනවූ ශික්ෂා පදයක් බව ය.  ඒ අටසිල් ගන්නා විට කියන උච්ඡාසයන මහාසයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන්න ය. එයින් කියවෙන්නේ සිල් ඇත්තන් උස නැති, මහා නොවන, ආසන වල පමණක් ඉඳ ගත යුතු බව ය. උස හා මහා යන්න යෙදෙන්නේ සන්සන්දනය සඳහා ය. එකක් අනෙකට සාපේක්ෂව මිසක උස යනුවෙන් නිරපේක්ෂ දෙයක් නැත. මහා යන පදයට ද ඇත්තේ එවැනිම සාපේක්ෂක අර්ථයකි.

ඉතින් මේ සිල් පදය අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

හොඳින් විමසන විට පෙනෙන්නේ කෙනෙක් සිල් ගත්ත විට තමන් සෙසු අයට වඩා ඉහළය යන අදහස පහළ විය හැකි බවත් එසේ පෙන්වීමට ආසාවක් ඇතිවිය හැකි බවත් බුදුන් වහන්සේ විසින් කල්පනාවට ගෙන ඇති බව ය. ඒ නිසා ම වඩා උස හා මහා දේවල් මිසක කුඩා දේ පරිහරණය නොකළ  යුතුය යනුවෙන් යම් මාන්නයක් ඇති විය හැකි බවත් එයින් වැළකීමට මේ සිල් පදය පනවන්නට ඇති බව ය.

මේ තහංචිය අනවශ්‍ය පරතරයක් නිර්මාණය කිරීම වැළැක්වීම සඳහා පැනවූ චාරිත්‍රයක් ලෙස ඒ අනුව අපට සැළකිය හැකි ය.

එවැනි දහමක් අනුගමනය කරන බෞද්ධයින්හට මේ පරතරය පෙන්වන ආසන පනවන්නට අවසර නැත. එවැනි ආසනයක් ඉල්ලා සිටින්නට සංඝයා වහන්සේ ට ද අවසර නැත.

ඒ අටසිල් පද සිල් ඇත්තන්ට පමණක් නොව ශ්‍රමණ ශීලයට ද අදාළ නිසා ය. ඒ නිසා සැබෑ ලෙස බුදුන් අනුයනවා නම් සංඝයා වහන්සේලා කළ යුත්තේ තමන් සෙසු අය ඉඳගන්නා අසුනකම ඉඳ ගැනීම ය. ශ්‍රාවකයන් කළ යුත්තේ ද ඊට අවශ්‍ය පසුබිම සකස් කර භික්ෂුන්ට ඒ සඳහා ඉඩ ලබා දීම ය.

එහෙත් නොකෙරෙන්නේත් එය ම ය.

ආසනයෙන් අවසන් නොවන තව සංකේත ගණනාවක් මීට එකතුවේ. හාමුදුරුවන් ආමන්ත්‍රණය සඳහා වෙනම භාෂාවක් ඇත. අප හාමුදුරුවන්ට “එන්න“ යැයි කියන්නේ නැත. ඒ වෙනුවට කියන්නේ “වඩින්නැයි“ කියා ය. “කන්න“ යැයි කියන්නේ නැත. කියන්නේ “වළඳන්න“ කියා ය. උත්තර දෙන විට ද අපට පරිස්සම් වන්නට සිදු වේ. අප “ඔව්“ යැයි නොකියා “එහෙයි“ කියන්නේ අප නොවැදගත් පුංචි උන් බව අපට ම ඒත්තු ගන්වා ගන්නට ය. පරතරය වඩා ඉහළින් මතු කරන්නට ය.

මේ එකක් වත් මහා අපරාධයක් නොවේ. එහෙත් එය අපරාධයකට පාර කපන ඊට අවශ්‍ය තෝතැන්න බිහිකරන නරක චාරිත්‍රයකි. අප ලොකු දෙයක් ලෙස මේ කරුණ ගන්නේ ඒ නිසා පමණ ය. මේ බිහි කරන වටපිටාවේ හැටි ස්වභාවය විමසන්නට කලින් තවත් එවැනි ම කාරණායකට අපේ අවධානය යොමු කර බලමු.

අඩු කුලයේ ඇත්තන් ඇතැම් නිකාය වලට මහණ කම උදෙසා වැද්ද නොගන්නේ ද අප කලින් ද කී වැඩවසම් මාන්නය නිසා ය. ලොකු කුලයක කෙනෙකු අඩු කුලයේ කෙනෙකුට වැඳීමේ මහා පාප කර්මයෙන් මුදවා ගත හැක්කේ එවැනි කුලහීනයන්ට තම නිකායට ඇතුළු වන්නට අවසර නොදීමෙනි.

එතකොට දනකට වඩිතත් අඩු කුලයේ කෙනෙකු කුලීනයෙකුගේ නිවසකට පා නොතබන බවට වග බලා ගත හැකි ය. ඒ අදාළ නිකායේ හාමුදුරුවන්ට පමණක් දනට ආරාධනා කිරීමෙනි.

මෙහෙම කුලය මුල් කර ගෙන නිකාය හැදීම බුදුන් අනුදැන වදාළේ නැත.

තමන් අයිති ශාක්‍ය වංශයට නොව බුද්ධ වංශයට යැයි කියමින් සුදෝවුන් රජතුමන් පිඩු සිගා නොවඩින ලෙස දුන් උවදෙස බුදුන් බැහැර කළ  බව අප අසා ඇත.

“මහ සයුරට විවිධ ගංගාවෝ එක් වෙති. ඒත් ඒවා එක් වීමෙන් හැදෙන මහ සයුර තුළ තමන් ආ පසුබිමේ ලක්ෂණ නොපවතින අතර එකම මහ සයුරක් බවට ඒවා පත් වෙති. මගේ සසුන ද එවැනි ය. විවිධ පසුබිම් වලින් පැමිණ සසුනේ මහණ වූ පසු ඔවුන් අයත් වන්නේ එකම සග පරපුරකට ය.“ බුදුන් එසේ කී බව ද අප අසා ඇත. එවන් පසුබිමක සංඝයා වහන්සේට කුලය මත පදනම්ව නිකාය ගොඩ නගන්නට අවසර ලැබුනේ කෙසේ ද?

එයට යස උත්තරයක් තිබේ. ඒ එකෝමත් එක කාලයක රජු සැපත් වෙද්දී අඩු කුලයෙන් පැමිණ ශාසනයට එකතු වූ භික්ෂූන්වහන්සේ කෙනෙකු නැගිට්ට බවත් එය ශාසනයට සිදු වූ “මදි පුංචිකමක්“ බවත් එයින් ගැලවීමට මින් මතු එවැන්නන් ශාසනයට ඇතුළු කර නොගන්නට තීරණය කළ බවත් ය.

එක වැරැද්දක් වහන්නට තව වැරදි කරන්නට බුදු දහමේ අවසරයක් ඇතැයි ඒ අනුව කෙනෙකුට සිතෙන්නට පුළුවන. බුද්ධාගම එවැනි ආගමක් ලෙස පෙන්වීමම බුද්ධාගමට කරන හතුරු කමකි. එය ඇරත් අඩු කුලයේ ඇත්තන් මහණ නොකරන්නට තීරණය කිරීමෙන් සංඝයා වහන්සේ කර ඇත්තේ ද බුදුන්ගේ දර්ශනය ම අවලංගු කර දමන බරපතල වැරැද්දකි.

ඉතිහාස කතාවට අනුව එවැනි තහංචියක් පනවන්නට සිද්ධ වූයේ යැයි සිතා අමාරුවෙන් සමාව දුන්න ද එය අද වනවිටත් පවත්වා ගැනීම යුක්ති යුක්ත කළ හැක්කේ කෙසේ ද?

එසේ කළ හැක්කේ වචනයෙන් පමණක් නොව සුනීත සෝපාක වැනි අඩු කුලයේ ඇත්තන් මහණ කරමින් ක්‍රියාවෙන් ද කුල බේදය පිළිකෙව් කළ බුදුන්ට පිටුපාමින් බව අප අමතක නොකළ යුතු ය. උන්වහන්සේ කී දෙයෙහි ප්‍රතිපක්ෂය ම කිරීමෙන් පෙන්නුම් කරන්නේ අර බල පරාක්‍රමය සහිත වැඩවසම් උජාරුව ම යැයි කීවොත් එය අසාධාරණ වන්නේ ද?

අවශ්‍ය වන්නේ ශ්‍රාවකයන්ගේ යටත් වීම ය. යටහත් පහත් වීම ය. පහළ කුලයන්ගේ යටත් වීම ය. වැඩවසම් සමාජය තුළ තිබූ දීන භාවය නැවත ප්‍රකාශ කරවීම ය.

මේ සියල්ලේ අවසන් ඵලය කුමක් ද? හාමුදුරුවන්ගෙන් අප කිසිවක් විමසීමට ඉදිරිපත් නොවීම ය. බණ අවසානයේ සාදු කියනවා විනා ප්‍රශ්නයක් වත් නොනැගීම ය. නැගුවත් අපේ රටේ මාධ්‍ය සගයින් දේශපාලනයින් අමනාප කර නොගෙන නගන ප්‍රශ්න වගේ අවම විමසිමක් ඇති ලපටි ප්‍රශ්න වලට සීමා වීම ය.

එහි විපාකය වන්නේ බුද්ධිමත් මිනිසුන් පන්සලෙන් ශාරීරිකව කෙසේ වෙතත් මානසිකව ඈත් වීම ය. පන්සලේ දී ඔවුන් කරන වැඩ චාරිත්‍රයකට සීමා වීම ය. බණ තේරුම්ගැනීමට හෝ පිලිපැදීමට නොව, ඇහීමට සීමා වීම ය. හාමුදුරුවන් පිළිමයකට ලඝු වීම ය. කැසට් රෙකෝඩරයකට මාරු වීම ය. චාරිත්‍ර ඉටුකරන පූසාරියෙකු බවට පත් වීම ය.

අපේ සිහින පන්සල තුළ මෙවැනි වැඩවසම් වෙනස් කම් නැත. හාමුදුරුවන්ට ඇති ගෞරවයේ අඩුවක් නැතත් එය යටහත් පහත් භාවය අගවන එකකට වඩා හාමුදුරුවන්ගේ බුද්ධියට හා ගුණයහපත් කමට කරන සැබෑ භක්තියක් පමණක් ප්‍රකට කරන්නක් වෙයි. ගරුත්වය දෙපැත්තටම ගමන් කරන අතර සැවොම එක මට්ටමක හිඳ නිදහසේ ධර්ම සාකච්ඡා පවත්වන වටපිටාවක් බිහිවෙයි. කට වරද්දා ගැනීමකින් තොරව ඕනෑ ම ප්‍රශ්නයක් අභියෝගාත්මක ප්‍රශ්න ද ඇතුළුව යොමු කිරීමට අවසර තිබේ. භික්ෂූන් වහන්සේට පමණක් නොව ගිහියන්ට ද ධර්මය ගැන අර්ථකථනයන් දිය හැකි පරිසරයක් සැදී තිබේ. චාරිත්‍ර අභිබවා යන ධර්මානුකූල හැසිරීමක් දෙපාර්ශවයෙන් ම දැකිය හැකි වෙයි.

බුද්ධාගම දෙව් මිනිස් සැප කෙළවර කිසියම් අනාදිමත් කාලයක එළඹෙන භවයක නිවන් දැකීමට නොව මේ භවයේ ම නිවන් දැකීමට යොදා ගත හැකි වෙයි. අපේ ජීවිත නිවී සැනහීමෙන් ගෙවන්නට එයින් අපට ඉඩ හසර ලැබේ.

අපේ සිහින පාසල

රටේ වැඩවසම් නෂ්ටාවශේෂ පිරිලා ය. ඒවා පවත්වාගෙන යෑමේ ලා පාසල කරන්නේ සුවිශේෂ කාර්යභාරයකි. අවාසනාවට පාසලටත් අපටත් ඒ වගක් පෙනෙන්නේ නැත. මේ නොපෙනෙන, වහංගු වී ගෙන ක්‍රියාත්මක වන, දෑ මතු පිටට ගැනීම මේ ලිපියේ අරමුණ ය.

පාසල අධිකාරී බලය ඉදිරියේ වැඳ වැටෙන සිසු පරපුරක් බිහිකරන්නේ ය. ඒ සඳහා සිසුන් ආණ්ඩු මට්ටු කිරීමේ වැඩ පිළිවෙළ බොහෝ විට සිහි ගන්වන්නේ අපේ පසුගාමී සරසවිවල රඟ දැක්වෙන නවකවද නාඩගම ය.

ජ්‍යෙෂ්ඨ උත්තමයන් වෙනුවට ශිෂ්‍ය නායකයෝ විනය භාර ගුරුවරුන්ගේ දැඩි ආශීර්වාදය යටතේ ඊට සමාන භූමිකාවක් රඟමින් ක්‍රියාත්මක වන්නෝ ය. කොණ්ඩය කොට වෙන්නටත් බැරි ය. දිග වෙන්නට ත් බැරි ය. සපත්තුව ඉදිරියෙන් හතරැස් වෙන්නට බැරි ය. සපත්තුවේ පුංචි හෝ යමක් ඇතුළත්ව තිබෙන්නට බැරි ය. ලයිස්තුව දිග ය. ඒත් මේ ඕනෑම දෙයක් මඟ හැරීමට දඬුවම දැඩි ය. උදාහරණයක් ලෙස කොණ්ඩය කොට නම් කළු සපත්තු පොලිෂ් කොණ්ඩයේ උලා ගෙන දණ ගසාගෙන පිට්ටනියේ කට්ට අව්වේ කල් මැරිය යුතු ය.

මෙසේ විනය හැදෙන්නේ නම් අප විනය ගරුක රටක් වෙලා දැන් බොහෝ කල් විය යුතු ය. ඒත් අප දකින්නේ හැම තැනම විනය පිරිහුණු රටකි. පුණ්‍ය ස්ථානයක පවත්වන උත්සවයක් අවසාන වන්නේ ඒ ස්ථානය හා අවට කසල ගොඩක් කරමින් ය. පාසල මේ තරම් දැඩි විනයක් යටතේ දරුවන් හදන කල උන් පුරවැසියන් වූ විට ඒ විනය අත් හරින්නේ මන්ද?

පාසලක අපූරු කතාවක්

මේ සිද්ධිය සිදු වූයේ කොළඹ ඉහළ පෙළේ ජාතික පාසලක ය. අ.පො.ස උ.පෙ පන්තියේ දරුවන් දිග කලිසම් හා අත්දිග කමිසවලින් සැරසී පාසලට පැමිණියේ එය නිල ඇඳුම වූ නිසා ය. ඉවසිය නොහැකි ග්‍රීස්මයට සහනයක් වූයේ අත් දිග කමිසය වැලමිට තෙක් නමාගෙන ඒමට ඔවුන් අවසර ලද නිසා ය. එක් දිනක මේ නවා ගත් කමිස කොටසේ සඟවා ගෙන පාසල තුළට මත් කුඩු ගෙන ආ ළමයෙක් ශිෂ්‍ය නායකයකු විසින් අල්ලා ගන්නා ලදී.

මේ සිද්ධියත් සමඟ පාසල අපූරු තීන්දුවක් ගත්තේ ය. ඒ අත්දිග කමිසය තහනම් කිරීම ය. එළැඹෙන සතියේ සිට තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත විය. ඒ සතිය තුළ වැඩිහිටි ශිෂ්‍යයින් අත් කොට කමිස මිලට ගත යුතුව තිබිණි.

උසස් පෙළ ඉගෙන ගත් දරුවකු මේ තීන්දුවේ අමනෝඥභාවය දක්වමින් පුවත් පතකට ලිපියක් ලියා යැවූ අතර තමන් එසේ යැවූ බව ඔහු පාසලේ ගුරුවරයකුට ද දැනුම් දුන්නේ ය. ලිපියේ තමන් පාසලේ නම සඳහන් නොකළ බව ද එසේ කළේ පාසලට අගෞරවයක් වීමෙන් වැළැක්වීමට බව ද ඔහු ගුරුවරයාට දැනුම් දුන්නේ ය. ලිපිය ලියා යැව්වේ මතු කළ විරෝධතා ගණනකට නොගත් නිසා බව ද ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ගුරුවරයා මේ බව විදුහල්පති තුමාට දන්වන ලදුව ඔහුගේ පියාට දුරකථනයෙන් කතා කළ විදුහල්පති තුමා වහාම මේ ලිපිය පළ කිරීම වළක්වන ලෙස ඉල්ලා සිටියේ ය. පියා ක්‍රියාත්මක වී ලිපිය පළකිරීම වළක්වා ගත්තද පියාට පාසලින් දැනුම් දුන්නේ පුතාට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් විනය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ය.

දුප්පත් මිතුරන් වෙනුවෙන්

පියා, පුතාගෙන් ඇසුවේ මෙසේ පාසලට විරුද්ධව කැරලි ගැසුවේ ඇයි දැයි යනුවෙනි. පුතා, පියාට කීවේ මේ ක්‍රියාව අමනෝඥ බවත් හෙට කිසිවකු හෝ යට ඇඳුමේ මත් කුඩු සගවා ගෙන ආවොත් එය ද තහනම් කිරීමට කටයුතු කරන්නේ ද යන ප්‍රශ්නය තමන් මතු කළේ වුව ද පාසල ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව ය.

පාසල ගත් පියවර අමනෝඥ බව පිළිගත්ත ද මෙසේ කැරලි ගසන්නේ නැතිව අත්දිග කමිස වෙනුවට අත් කොට කමිස කීපයක් මිලට ගැනීමට තිබුණු බවත් මුදල් ඉල්ලුවේ නම් එය නොපැකිලව ලබා දෙන්නට තිබූ බවත් පියා තම පුතාට කියා සිටියේ ය.

පුතා පෙරලා පියාගෙන් ඇසුවේ, ‘ඔබට මගේ දුප්පත් මිතුරන්ටත් එක්කම කමිස මිල දී ගත හැකි දැ’යි යනුවෙනි. ‘තාත්තෙ, මම මා වෙනුවෙන් නෙවෙයි මේ තීරණය ප්‍රශ්න කළේ. හෙට අනිද්ද පාසලින් සමුගන්න මගේම දිළිඳු යහළුවන්ට මේ මුග්ධ තීරණය නිසා අමතර බරක් පැටවෙන නිසයි එයට මා විරුද්ධ වුණේ’ යනුවෙන් තම තීරණය පිළිබඳව සිසුවා, තම පියාට එසේ කියා සිටියේ ය.

විනය නැත්තේ කාගේද?

පියාගේ දෙනෙත් පුතාගේ මේ වදන්වලින් තෙත් විය. තමා ඉදිරියේ ඉන්නේ සෙසු මිතුරන්ගේ දුක ගැන සංවේදී දරුවෙකි. පියාට ද එසේ සංවේදී වන්නට අණ දෙන දරුවෙකි. පියා, පුතාට එකඟ විය. පුතා වෙනුවෙන් විනය කමිටුව ඉදිරියේ පෙනී සිටින්නට, ආඩම්බරයෙන් පෙනී සිටින්නට ඉදිරිපත් විය.

පුතා, පියා අමතා තව කතාවක් කීවේ ය. ‘තාත්තෙ ඔය විනය කමිටුවට එන ගුරුවරියක් ඉන්නවා. මගේ යාළුවකුගේ මූණේ කපන්න බැරිවුණු රැවුල් කොට කීපයක් තියෙනව දැකලා, ඒ ගුරුතුමිය අහනවා, ප්‍රසිද්ධියේ කියන්න බැරි කාරණයක්. තාත්තා හිතන විදිහට විනය නැත්තේ අපේ ද ගුරුවරුන්ගේ ද?’

ඒ අභියෝගය නම් දරුණු ය.

එතැන වැරදි ගණනාවකි. පළමුව දරුවකුට බණින්නට හැකි ඉහළම විදිහට මේ ගුරුවරිය දරුවාට බැණ තිබේ. මුහුණේ රැවුල් කොට කීපයක් තිබීම එවැනි අපවාදයක් විඳීමට තරම් බරපතළ වැරැද්දක් ද?

දෙවනුව දරුවකුගේ රැවුල් ගසකට අසරණ අම්මා කෙනෙක් පලි වන්නේ කෙසේ ද? එය අතිශය අමානුෂික දෝෂාරෝපනයකි. දරුවාගේ අම්මාට මේ ගැන ආරංචි වූ විට ඇය පත්වන අතිශය පීඩනයට කවුරු වගකියත් ද?

තෙවැනුව වාර්ගික අනන්‍යාතාවයක් මතු කර ඒ ජනවර්ගයට ද යම් අපහාසයක් කරන්නට ගත් උත්සහයක් ද ඒ තුළ දැකිය හැකි ය.

මේ සියල්ල විනය ඇති කිරීම උදෙසා වීම අභාග්‍ය සම්පන්න ය. අතිශයින් ඛේදජනක ය.

දරුවකුට පෙනෙන මේ වැරදි ගුරුවරියකට පෙනී නොයෑම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද? ඇත්තටම අප අපටම අනුකම්පා කර ගැනීමට සිදු ව තිබෙන්නේ ඒ නිසා ය.

තරුණ කැරලි ඇතිවූයේ ඇයි?

අප තරුණ කැරලි දෙකකට ද දිග්ගැස්සුණු යුද්ධයකට ද මුහුණ දුන් රටකි. ඒ අපේ දරුවන් අතිශය සුවච කීකරු විදිහට හදා වඩා ගැනීමේ අපේක්ෂාවෙන් පාසල් විනය මේ තරමට තදින් ක්‍රියාත්මක කළ පසුබිමක ය. එයින් පෙනෙන්නේ කුමක් ද? කුමක් හෝ බලයක් යොදා යටපත් කර ගෙන සිටින ඕනෑ ම දෙයක් ඒ බලය ලිහිල් වූ වහා නිදහස් වන බව ය. එවිට ඒ නිදහස් වන බලය අතිශය බලසම්පන්නව විකාශනය විය හැකි බව ය. එය ඇතැම් විට විනාශකාරී විය හැකි බව ය.

විනය දරුවන්ට පමණ ය. තරුණයන්ට පමණ ය. වැඩිහිටියෝ හිටු කියමින් විනය කඩ කරති. නීතිය කෙළෙසති. එහෙව් රටක දරුවන්ගෙන් පමණක්, අතිශය අසාධාරණ බලයක් යෙදවීම හරහා, අතිශය නොවැදගත් කාරණා සම්බන්ධයෙන් දැඩි නීති පමුණුවමින් විනය අපේක්ෂා කරමු. එහි ප්‍රතිවිපාකයක් ලෙස සිදු විය හැකි නරක ම දේ සිදු වුණ කල අපි කසාය බීපු ගොළුවන් මෙන් නිශ්ශබ්දව ද සිටිමු.

අපට අවශ්‍ය මේ කතාවේ කතා නායකයා වූ පුතා මෙන් තම සගයන් ගැන සංවේදී මිනිසුන් ද නැතිනම් කිසිදු වැදගත් කමක් නැති විනය නීතියක් තනාගෙන එවැනි දෑට අනුගත වෙන මිනිසුන් ද යන්න අප විසින් ඉක්මණින් පැහැදිලි කර ගත යුතු ය.

විනය තියෙන්නේ කොණ්ඩේවත් සපත්තුවේ වත් අඳින ඇඳුමේවත් නොවේ. මේ කතාව වරදවා තේරුම් නොගනී යැයි සිතමි. මේ ඒවා පිළිවෙළකට ඇඳ පැමිණීමට දිරි දීම වැරදි යැයි පවසනවා නොවේ. අපේ අරමුණ, ඒවා මත පදනම්ව විනය හදන ක්‍රියාවලියේ ඊට වඩා බරපතළ විනය කැඩීම් ඇතිවේ නම් එසේ ඇති කරන විනයෙන් වැඩක් නොවන බව පමණක් කීමට ය.

මා පතන, මා සිහින දකින, පාසල සිසුන්ට විනය නීති පිටුපස තිබෙන වැදගත් කම කියා දෙන ඒ සඳහා කැප විය යුත්තේ ඇයි දැයි කියා දෙන පාසලකි. අනෙකාට ගෞරව කිරීමට උගන්වන පාසලකි. උස්මිටි කම් නැතිව සිසුන්ට තම අදහස් පළ කළ හැකි පාසලකි. පාසලේ ගුරුවරුන්ව පවා සිසුන්ට ප්‍රශ්න කළ හැකි පාසලකි. පාසලේ කළමනාකරණ තීන්දුවලට මැදිහත් විය හැකි පාසලකි. සිසුන් ස්වයං පාලනය සඳහා දිරිමත් කළ පාසලකි. සිසුන්ට තමන්ගේ යැයි කිව හැකි පාසලකි.

විවෘත මිනිසුන් තනන පාසලක්

ඒ තුළ සිසුන් රටේ සිදු වන ප්‍රශ්න සම්බන්ධයෙන් තම මතයන් පළ කරමින් ඒවා පිළිබඳ සංවාදයන්හි නිරත වනු දැකිය හැකි වනු ඇත. ගුරුවරුන් ඒ සංවාදයන් නිසි මඟට යොමුකරමින් සංවාද කරන අයුරු උගන්වමින් මෙහෙයවනු දැකිය හැකි වනු ඇත. කරුණු මත පදනම් ව සංවාදයේ යෙදෙන්නට සිසුන් යොමුකරන ගුරුවරුන් ද බංකොළොත් තර්ක යුක්ති යුක්ත තර්කවලින් වෙන්කර හඳුනාගන්නට හැකි සිසු දරුවන් ද එහි දී දැකිය හැකි වනු ඇත. ඒ මුළු ක්‍රියාවලිය තුළ විනයානුකූල ව හැසිරීමට සිසු ප්‍රජාව ඉගෙන ගනු ඇත. කුණුහරුප කියා ගැනීමෙන් තොරව සංවාදයක් කිරීමේ විනය ඔවුන් ඉගෙන ගනු ඇත.

ලෝකයට පෙනෙන්නට එකක් කරමින් සැඟවී තවෙකක් කරන මිනිසුන් වෙනුවට, පුංචි එවුන්ට එක් අවවාදයක් දී තමන් ඊට සපුරා වෙනස් දෙයක් කරන මිනිසුන් වෙනුවට, කියන දේ කරන, කරන දේ කියන, විවෘත මිනිසුන් තනන පාසලක් බිහිවනු ඇත.

ඒ අපේ පැතුමයි. ඒ අපේ සිහිනයයි. රට තුළ ඇති වැඩවසම් නෂ්ඨාවශේෂ බිඳ දැමීමේ මාවතයි. මවුපියන් ගුරුවරුන් හා සිසුන් ගත යුත්තේ ඒ මාවතයි.

පසු සටහන (2023 අප්‍රියෙල් 23 දා)

මෙය ලියන්නේ මුහුණු පොතේ දුටු පහත  image එක නිසා ය. 

No photo description available.

මෙයින් කියන්නෙ අද උසස් පෙළ පන්ති වලට සිසුන් නොමැති බව ය. එය මේ වනවිට සාපෙ පන්ති වලට පවා බෝ වෙමින් තිබෙන බව ය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කරනු ඇත්තේ කුමක් ද? මා හිතන විදිහට නම් ඔවුන් විභාගයට පෙනී සිටීම සඳහා අවම පැමිණීමක් ඉල්ලා සිටිනු ඇති බව ය.

කළ යුත්තේ අනෙකකි. ඒ විෂය කරුණු ළමුන්ට ලබා දීමේ වඩා දියුණු ක්‍රම හඳුන්වා දීම ය. විශාල ටියුෂන් පන්තියක කළ නොහැකි එහෙත් වඩාත් හොඳින් විෂය කරුණු ඉගෙන ගත හැකි ශිෂ්‍ය ක්‍රියාකාරකම් (නිරස දේශන වෙනුවට) හඳුන්වා දීම ය. ඇතැම් විටක ඩිජිටල් උපකාරක පන්ති හඳුන්වා දීම ය. දුරස්ථ ඉගෙනුම් මාදිලිය සමග පන්ති ක්‍රියාකාරකම් එක් කිරීම ය.

මේ එකක් වත් රාජ්‍ය පාසල් තුළ ක්‍රියාත්මක වන එකක් නැත. එවැනි නම්‍යශීලත්වයක් අපේක්ෂා කිරීම නිශ්ඵල ය. ඇතැම් විට රජයේ නොවන පාසල් මේ සඳහා කරන මැදිහත් වීම් රජයේ පාසල් වලට කාන්දු වීමේ ඉඩක් ඇත. ඒ කිසියම් ස්වාධීනත්වයක් පාසල්වලට හා ගුරුවරුන්ට ලබා දුනහොත් ය.

එය අවදානම් සහගත වැඩක් බැවින් එවැන්නකට මේ ක්‍රමය තුළ ඉඩක් නැත. ඒ නිසා දැනට අපට කළ හැක්කේ සිහින මැවීම ය. කවදා හෝ ඒ සිහින සැබෑ වනු ඇත. එයට අවශ්‍ය මානසික පසුබිම සකස් කිරීම අද අද ම කළ යුතු ය. ඒ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ අපේ සංස්කෘතික කුරුසය බිමින් තැබීම ය.