ඔන්න පැන්නා. මෙන්න පැන්නා. දැන් මේන් බල්ටියකුත් ගැහුවා.

ඔන්න පැන්නා. කවුද? කාගේ පැත්තට ද?

පත්තරයක් දැක්කත් ප්‍රවෘත්ති බැලුවත් මිනිසුන් සොයන්නේ එකම දෙයකි. පැන්න ද? කවුද? කාගේ පැත්තට ද?

පැනීම ඒ තරමටම ආතල් ය. දෙපැත්තේම අය ඉන්නේ අනෙත් පැත්තෙන් පනිනකම් බලාගෙන ය. තමන්ගේ පැත්තට පැන්නාම සතුටු ය. අනිත් පැත්තට පැන්නාම දුක ය.

ඉස්සර මෙහෙම පැනිලි තිබුනේ නැත. දැන් පැනිලි වැහි වැහැලා ය. කාලයේ හැටිය.

පනින්න සල්ලි ලැබෙනවා ය. නොපනින්නත් සල්ලි ලැබෙනවා ය. දෙවැන්න සදහා පනින්න වාගේ සිටිය යුතු ය. එතකොට බඩු ෂුවර් ය.

සමහරු පැනලා ඒ ගැම්මට ආයෙත් අනෙත් පැත්තටත් පනිනවා ය.සමහරු කියන්නේ ඒ අය දෙපැත්තෙන්ම සල්ලි හොයනවා කියලා ය.

ගම්මන් පිල මෙසේ පිල දෙවරක් මාරු කිරීමෙන් අලුත් වාර්තාවක් තිබ්බේ ය. ඒක පැනීමක් නොවේ ය. බල්ටියක් ය. මිනිසුන් ඔහුගේ නම ද දැන් වෙනස් කර තිබේ. ඒ ගෙම්බන්පිල හැටියට ය.

මිනිසුන්ගේ වැරදිවලට සතුන් පලි නැත. උන් පනින්නේ උන්ගේ ජීවිතය නිසා ය. මේ පනින බල්ටි ගහන අය බොහෝ දෙනෙක් එසේ නොවේ.

දැන් ඒ අනුව යමින් මාතරින් විපක්ෂයට පැන්න තවත් එකෙක් නැවතත් ආපසු පැන්නේ ය.

ඒ අනුව අලුතෙන් තියෙන්නේ පැන්නේ කවුදැයි බැලීම නොවේ. පැන්න එවුන් තාම පැන්න පැත්තේ ඉන්නවාද නැතිනම් ආයෙත් පැන්නා ද කියා බලන එක ය.

පනින්න ඉස්සරින් දා මේ පනින අය කියන්නේ ජිවිතය තියෙන කම් වෙන කවුරු පැන්නත් තමන් නම් පනින්නේ නැතැයි කියා ය. එහෙම කිව්වාම දැන් මිනිසුන් හිතන්නේ පොර නම් හදන්නේ පනින්න කියලා ය.

පැන්න අය කියන ඒවා අහගෙන ඉන්න ආසා හිතෙනවා ය. ඊයේ පනින්නේ නැතැයි කිවූ අය අද පැනලා කියන ඒවා අහන්නට අපි ද සැදී පැහැදී ඉන්නවා ය. ඇත්තට වඩා බොරුව ලස්සණ විය හැකි නිසා ය.

මේ ගෙම්බන් ටික ආම්බාන් කර ගැනීම ලෙහෙසි කාරණයක් නොවේ ය. ජනතාව අමතන එක පැත්තකින් තියා ගොඩ බේරා ගැනීමට පනින එවුන් අමතන්නට සිදුව තිබීම පක්ෂ නායකයන්ට අද තියෙන ගැටළුව ය. එහෙම කරන අතරේ තමන් ද පනිනවා ද නැද්ද යන්න තීරණය කිරීමට ද සිදුව තිබේ. ඒ නිසා මේ දවස්වල පනින අය හොයන අපටත් වඩා අපේ නායකයන්ට වැඩ ය.

ආශ්චර්ය බිහිවේගන එනකොට මෙහෙම දේවල් වෙනවා ය. පැනීම සම්බන්ධයෙන් ගිනස් වාර්තාව ලංකාවෙන් බිහිවෙන බව දැන් පෙනෙන කරුණු අනුව පෙනෙන්නේ ය.

සමහරු කියන්නේ ජනවාරි 8 දා වෙනකම්ම මේ පැනිල්ල සිදුවිය හැකි බව ය. මට නම් හිතෙන්නේ හොඳ පැනිලි බලාපොරොත්තු විය හැක්කේ ඊට පසුව බව ය.

ගිනස් වාර්තා පොතට ද ගිය සිියයකට වැඩි කැබිනට් එකක් දමා ගෙන වත් පනින එක නවත්වගන්න අමාරුවුනේ ඇයි ද යන්න බොහෝ දෙනා නගන ප්‍රශ්නයයි. සමහර ප්‍රශ්නවලට මිනිසුන් ලග උත්තර නැත. දෙවියන් සිහිවන්නේ එහෙම වුනාම ය.

සමහරු නම් කියන්නේ පනින්නට හේතු වුනේත් ගිනස් වාර්ථා පොතට ගිය කැබිනට් මණ්ඩලය බව ය.

Advertisements