අපේ සිහින ව්‍යවස්ථාව

Court-NEW

මහා බ්‍රිතාන්‍ය සතුව ලිඛිත ව්‍යවස්ථාවක් නැතැයි කිය වේ. ඒත් ඒ රට එතරම් අලකලංචියක් නැතිව පාලනය කෙරේ. එහෙව් කඩදාසියකට යට නොවී සිටි ඔවුන් මෙහෙන් යන විට නම් කඩදාසියක ලියා ව්‍යවස්ථාවක් අපට දී ගොස් තිබිණි. ඒ සමහර විට අපේ හැටි දන්නා නිසා විය හැකි ය. එහි සුළු ජාතිකයන් වෙනුවෙන් 29 වගන්තිය නමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට වගන්තියක් ද ඇතුළු කිරීමට ඔවුන් වග බලා ගත්තේ ටිකක් නොව ගොඩක් අප ගැන දන්නා නිසා විය හැකි ය.

ඒ වගන්තියෙන් පමණක් දෙමළ ජාතික අපේක්ෂාවන් ඉටු වූයේ නැත. තමන්ගේ පළාත්වල පාලනය තමන්ට කර ගෙන යා හැකි ක්‍රමයක් ඔවුහු බලාපොරොත්තු වූහ.

සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් තමන් කළ පාපයට වන්දියට අමතරව බණ්ඩාරනායක මහතා පෙඩරල් ක්‍රමයක් යෝජනා කළේ ඒ අභිලාෂය ද මුදුන්පත් කරණු සඳහා ය. සංඝයා වහන්සේලාගේ විරෝධය හමුවේ ඔහු එය අකුලා ගත්තේ ය.

ඊට පසු ඩඩ්ලි සේනානායක මහතාට ද සමාන මැදිහත් කිරීමක් කිරීමට වුවමනා ව තිබුනේ ය. විරුද්ධ පක්ෂ එකතු වී ඩඩ්ලිගේ බඩේ වඩේ කියමින් ඒකට ද තිතක් තිබ්බෝ ය.

කෙසේ හෝ අවසානයේ අපි සුද්දාගේ ව්‍යවස්ථාව විසිකර අපේ ම ව්‍යවස්ථාවක් හදා ගත්තෙමු. එසේ කරද්දී දෙමළ ජාතික අපේක්ෂා පිළිබඳව තුට්ටුවක වත් සැළකීමක් නොදක්වන ලදී.

එසේ කොට තව වසර 5 ක් යන්නට මත්තෙන් ඒකත් විසිකර තවත් එකක් හැදුවෙමු. ඊට පසු වකවානුවේ අප දිගින් දිගට කළේ එයට සංශෝධන ගෙන ඒම ය.

මේ ව්‍යවස්ථාව තරම් මෙතරම් කෙටි කලක් තුළ දී සංශෝධනයට ලක් වූ තවත් ව්‍යවස්ථාවක් ලෝකයේ කිසියම් රටක තිබේ දැයි යන්න සැක සහිත ය. ඒ තුනෙන් දෙක නැත්නම්, ඒක හදා ගන්නට ක්‍රම සහ විධි ව්‍යාවස්ථාවෙන් සම්පාදනය කර ඇති නිසා ය. ඒ ව්‍යවස්ථාවේම කප්පරක් ඇමති පට්ටම් නිර්මාණය කර ගත හැකි නිසා ය. 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ සම්බන්ධයෙන් පනවන ලද සීමා එහි ම සඳහන් ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ව්‍යාතිරේඛය යටතේ නිශ්ප්‍රභා වන නිසා තවමත් අප ඉන්නේ ඒ සම්බන්ධයෙන් 19 ට පෙර තත්වයේ ය.

දෙමළ ජනතාව අවිගත්තේ මේ ව්‍යවස්ථාව තුළ ඔවුන් දෙවැනි පන්තියේ පුරවැසියන් ව තිබීම නිසා යැයි කියනු ලැබේ. සෑම දෙයක් ම කොළඹින් තීරණය කෙරෙන තත්වයක් යටතේ ඔවුන්ගේ වුවමනා එපා කම් හා පළාතේ සංවර්ධනය සඳහා මධ්‍යම ආණ්ඩුවේ අනුකම්පාව ලැබෙන තෙක් ඉන්නට වීම ඔවුන් රිස්සුවේ නැත. ඔවුන් වෙත දුන් පොරොන්දු දකුණේ විරෝධයන් හමුවේ රටේ නායකයින් විසින් අකුළා ගනු ලැබූ නිසා බන්දේසියක දමා කිසිවක් තමන්ට නොලැබෙන බව ඔවුන් විසින් වටහා ගෙන තිබුණේ ය.

ඉතින් යුද්ධය දිගට ඇදී ගෙන යන විට මේ ඉල්ලිම් සම්බන්ධයෙන් යමක් කළ යුතු බවක් පෙනෙන්නට විය. යමක් කරන ලෙස ජාත්‍යන්තර බලපෑම් ද ඇති විය.

ඒ අවබෝධය දැනුණු දකුණ නිකම් සිටියේ නැත. ඒ ඉල්ලීම පිළිගනිමින් ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ කෙසේ දැයි විමසීමට සර්වපාක්ෂික සමුළු ගණනාවක් ආණ්ඩු ගණනාවක් විසින් ම පත් කරන්නේ ඒ නිසා ය.

ඒ එකක්වත් ඉවර වුනේ නැත. ඒවා ඇදී ඇදී ගියේ ය. අතරින් පතර ඉවරයක් දුටු ඒවා පවා ක්‍රියාත්මක කෙරුණේ ද නැත. උතුරට දුන්නොත් දකුණ තරහා වෙනවා ය. ඒ නිසා කළේ දෙනවා වගේ පෙන්වමින් කල් ගන්නා අතර මුකුත් නොදීමට වග බලා ගැනීම ය.

අන්තිමේ ඉන්දියාවෙන් අපට පරිප්පු සමග නව ව්‍යවස්ථාවක් ලැබුනේ ය. ඒ ව්‍යවස්ථාව යටතේ පළාත් පාලන සභා පිහිටුවන ලදී. අන්තිමට උතුරට හැරෙන්නට අනිත් හැම තැනකම පළාත් සභා ලැබුණු නමුත් ඉල්ලා අරගල කළ උතුරට තව බොහෝ කලක් යන තුරු ලැබුණේ ආණ්ඩු කාරයෙකි.

රට කුඩා වුව ද මට්ටම් තුනක දේශපාලන ව්‍යුහයක් දැන් අප සතු ය. ඒක එහෙම වුනාට බොහෝමයක් තීන්දු ගන්නේ මධ්‍යම ආණ්ඩුවෙනි. ඉතිරි ආයතන තිබෙන්නේ බදු මුදලින් නඩත්තු කරනු සඳහා ය. නැතිනම් මේ ගහන කප්පරක් බදු වලට කරන්නට දෙයක් නැති නිසා ය. දේශපාලනඥයින්ගේ ඊලග පරම්පරාවට ඒ කියන්නේ දරු මුණුබුරුන්ට දේශපාලනය ඉගෙන ගැනීමට ප්‍රාථමික පාසලක් හැටියට පාවිච්චි කිරීම සඳහා ය.

සියලු කුණු බේරුවල් බොක්කට වගේ රටේ සියලු ප්‍රශ්නවලට හේතුව ව්‍යවස්ථාව යයි සැලකූ කාලයක් ද විය. ඒ අතරිනුත් ප්‍රධාන තැනට පැමිණයේ විධායක ජනපති ක්‍රමය ය. එය අහෝසි කිරීම සඳහා බලය ඉල්ලා පැමිණ බලය ලබා ගත් අය තුන්දෙනෙකි. පළමුවැන්නා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකළේ ය. දෙවැන්නා අහෝසි කරනු වෙනුවට තවත් බලතල එකතු කර ගත්තේ ය. තුන්වැන්නා පමණක් එහි බලතල අඩු කිරීමට යම් පමණකට  ක්‍රියාත්මක කළේ ය. ඉතිරිය කරන හැටි මේ වන විට ජනතාව බලාගෙන සිටිති.

යුද්ධය ඇති වූයේ බලය නොබෙදී තිබීම නිසා බව අපට කීවේ ව්‍යවස්ථා විශේෂඥයෙකු වූ ජී ඇල් පීරීස් මහාචාර්ය තුමා ය. එතුමා එක් කලක් ඒ වෙනුවෙන් වෙහෙසවනු ද අපි දුටුවෙමු. චන්ද්‍රිකාගේ පාලන සමයේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට ද එතුමා කටයුතු කළ බව අපට මතක ය. දැන් නම් එතුමා මේ ගැන කියන්නේ කුමක් දැයි දැන ගන්නට නැත. එතුමා නැතිවම තවත් වටයකින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ කතා බහ කෙරෙමින් තිබෙන්නේ ය.

ජනතා අදහස් විමසමින් දිග මාවතක ගමන් කරන මේ ගමන ද කොහින් කෙළවර වේ දැයි කිව නොහැකි ය. ඒකට එක් හේතුවක් ආණ්ඩුවක් ගෙන එන ඕනෑම හොඳ දෙයකට පවා විරුද්ධ වන විරුද්ධ පක්ෂයක් අප රටේ සැමදාමත් තිබූ නිසා ය.

අප සිහින දකින ව්‍යවස්ථාව තුළ බලතල බොහෝමයක් පළාත්වලට බෙදා තිබේ. පළාතේ බහුතරය භාවිතා වන භාෂාවෙන් ඒ පළාත් සභාව තුළ කටයුතු කෙරෙන අතර ඉතිරි භාෂා ද යොදාගෙන ගනුදෙනු කිරීමට ප්‍රතිපාදන ඇති කර තිබේ.

ව්‍යවස්ථාව ගැන මෑතක සිදු වන සංවාදයන් වල ඉදිරියට එන එක් ප්‍රධාන කාරණයක් වන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් දිය යුතු ද යන්න ය.

බුදුහිමියන් සිය පිය රජු වූ ශුද්ධොදන රජු ගෙන් වත් තම ආගම වෙනුවෙන් නොඉල්ලූ ප්‍රමුඛස්ථානයක් අපේ හිමිවරු ව්‍යවස්ථා සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනු පසුගිය දිනවල දකින්නට ලැබුනේ ය.

ලෝකයේ ඇතැම් රටවල් රජය ආගමෙන් වෙන් කර ඇත්තේ ය. එයට හේතු ගණනාවකි. ඉන් පළමුවැන්න ආගමික නීතිය ඇතැම් අවස්ථාවල රටේ නීතියට පටහැනි විය හැකි නිසා ය. බුද්ධාගමේ සතුන් මරන්නට අනුබල දෙන්නේ නැත. එහෙත් රජයේ ධීවර දෙපාර්තමේන්තුව නියැලෙන්නේ ඒ කටයුත්තේ ය. ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් පන්සිල් ගෙන මසුන් මරන්නන්ට පහසුකම් සපයන විට අවුලට යන්නේ බුද්ධාගම ද රජය ද ඒ නිලධාරීන් ද මේ විගඩම බලා සිටිනා හය හතර නොතේරෙන දරුවන් ද යන්න ගැටළුවකි. සතුන් මැරිම වැරදි වුව ද මසුන් මැරීමට එරෙහි නීති පනවන්නට ද රජයට බැරි ය. දෙවැන්න ආගම ලෝකෝත්තර දෙයක් ද රජය ලෞකික දෙයක් ද ලෙස සැළකෙන නිසා ය. තෙවැන්න යම් ආගමකට විශේෂයක් කිරීමෙන් ඒ අනුගාමිකයින් ට සතුටක් ලැබුණ ද ඒ ආගම නොඅදහන සෙසු ජනයාට එයින් සංවේගයක් දැන වෙන නිසා ය. සිව්වැන්න සැමට සමාන ලෙස සැළකිය යුතු ය යන ව්‍යවස්ථාවේ මූලික ම අයිතිවාසිකමක් ඒ මගින් අහෝසි වන නිසා ය.

අප දකින සිහින ව්‍යවස්ථාව තුළ කිසිම ආගමකට සුවිශේෂී සැළකිල්ලක් නැත. ආගම රජයේ කටයුතු වලින් වෙන් කර තිබේ. රජයේ උත්සවවල කිසිදු ආගමික කටයුත්තක් සිදු නොකළ යුතු බවට ප්‍රතිපාදන පනවා තිබේ.

තමන් කැමති ආගමක් ඇදහීමට ද එය අත් හැරීමට ද කැමති ආගමක් වැළඳ ගැනීමට ද නිර්ආගමිකව ජීවත්වීමට ද නීතියෙන් ඉඩ කඩ සළසා තිබේ. ආගමික කටයුතු සංවිධානය කිරීමේ දී ජන ජීවිතයට හිරිහැරයක් නොවන පරිදි කටයුතු කළ යුතු බවට ද අප කියන සිහින ව්‍යවස්ථාව තුළ ප්‍රතිපාදන සකසා තිබේ. ආගමේ නාමයෙන් මිනිසුන් පීඩනයට පත් කිරීමට එරෙහි ප්‍රතිපාදන ද ඒ තුළ තිබේ.

ව්‍යවස්ථාව මගින් ජනයා අපේක්ෂා කරන තවත් එක් ප්‍රධාන කාරණයක් වෙයි. ඒ අමාත්‍යංශ ගණන හා ඇමතිවරුන් ගණන සීමා කිරීම ය. ඔවුන්ට ලබා ගත හැකි වරප්‍රසාද සම්බන්ධයෙන් සීමාවන් පැනවීම ය. හැන්ද ඇති කල බෙදා ගැනීමට නොපෙළඹෙන්නේ කවුද? එවැන්නකට ඉඩ ව්‍යාවස්ථාවෙන් අවුරා දැමීම ඒ නිසා ම කළ යුතු ය. නැත්නම් සිදු වන්නේ අතිවිශාල ඇමතිවරුන් සංඛ්‍යාවක් ද ඔවුන්ට දිනෙන් දින එක්වන වරප්‍රසාද සමූහයක ද බර කරට ගැනීමට ජනතාවට සිදු වීම ය. ඒ නිසා අප සිහින දකින ව්‍යවස්ථාව මගින් මේවාට සීමා පනවා තිබේ.

දැනට පනතක් හැටියට ඇති තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් ලෙස අතුළු කිරීම මගින් තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කර තිබේ.

ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන් අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශයට පත් කිරීමක් ද සිදු කළ යුතු බව ජනතා අපේක්ෂාව ය. ඒ යම් අධ්‍යාපනයක් නොලැබූ කෙනෙකුට රටේ ප්‍රතිපත්ති හෝ නීතිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩ දීම භයානක නිසා ය. උගත් අය ඊට වෙනස් ලෙස හැසිරෙතැයි සහතිකයක් ඇති නිසා නම් නොවේ. ඉතිහාසය නම් කියන්නේ උගත් නූගත් බේදයක් නැතිවම මේ ජනතා නියෝජිතයන් අතිශයින් අවස්ථාවාදී කියා ය. කෙසේ වුව ද යම් සහනයක් පතා අවම සුදුසුකම ලෙස අපොස උපෙ විභාගයවත් සමත් ව සිටීම සුදුසු කමක් හැටියට අපේ ව්‍යවස්ථා සිහිනය තුළ තිබෙන්නේ ය.

සල්ලි ලැබෙනවා නම් වරප්‍රසාද ලැබෙනවා මේ දේශපාලනඥයන් පනින්නට ද ලෑස්ති ය. රිලව් වගේ ය. ඒ පැනීම සඳහා මුදල් ද තව බොහෝ දේ ද අත යට මාරුවෙන බව සමහරු කියති. ඒ නැතත් පැන්නාම වරප්‍රසාද වත් දිය යුතු ය. ව්‍යවස්ථාවකින් මේ පැනිලි නවත්වන්නට හැකි වෙතැයි ජනතාව අපේක්ෂා රඳවා ගෙන සිටිති. ඒ කියන්නේ පනින්නේ නම් ආසනය අහිමි වෙන බවට ප්‍රතිපාදන සැකසිය යුතු බව ය. අපේ සිහින ව්‍යවස්ථාව තුළ එවැනි ප්‍රතිපාදන ඇත.

හිඟා කෑම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබේ. තමන්ගේ ජිවිතය ගෙන යෑමට සුදුසු ආදායම් මාර්ගයක් නොමැති අය රජයෙන් රැක බලා ගැනේ. ඒ ආදායම් මාර්ගයක් රජය ද මැදිහත් වී ඇති කර දෙන තෙක් ය. ඒ සඳහා ද ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත.

අධ්‍යාපනය හා සෞඛය පිළිබඳ මූලික වගකීම රජය විසින් දැරිය යුතු බවටත් දළ දේශීය නිශ්පාදනයෙන් නිශ්චිත අගයක් මේ සඳහා වෙන් කිරීමටත් ව්‍යවස්ථාව තුළම ප්‍රතිපාදන සැකසිය යුතු බව ද අපේක්ෂා කෙරේ.

උසස් අධ්‍යාපනය සඳහා රජය වැය කරන මුදල රජයේ ආයතනයක උසස් අධ්‍යාපනය හදාරන්නේ නම් එසේ ලබන පුද්ගලයා නමින් යම් ගිණුමක සටහන් වෙන අතර යම් හෙයකින් එසේ බදු මුදලින් අධ්‍යාපනය ලද කෙනෙකු රට හැර යනවා නම් ඒ මුදල ගෙවීමට කටයුතු කළ යුතු බවට ද මේ කියන සිහින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සකසා තිබේ. රට තුළ සේවය කරන කාලය අනුව ද විශේෂයෙන් දුෂ්කර පළාත්වල සේවය කරන කාලය අනුව ද මුදල් නැවත ගෙවීමකින් තොරව ඒ ගිණුමේ ණය පියවිය හැකි ය (මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ සංකල්පයට අනුව ගොඩ නගන ලදී). මේ ක්‍රමවේදය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම මගින් ජනතාවගේ බදු මුදල්වල ආයෝජනයන් ජනතාවටම ලබා ගත හැකි ලෙස සහතිකයක් ජනතාවට ලබා දී ඇත.

අපේ සිහින ව්‍යවස්ථාව තුළ විෂම ලිංගිකයන්ට මෙන් ම සමලිංගිකයන්ට ද සංක්‍රාන්ති ලිංගිකයන්ට ද සිය අනන්‍යතාවය ඇතිව ජීවත් වීමේ ප්‍රතිපාදන සළසා ඇත. ඔවුන් අතර විවාහ ඇති කර ගැනීමට ද ඉඩක් ඒ ප්‍රතිපාදන තුළ ඇත. ඒ මේ සෑම ප්‍රවණතාවයක් ම ස්වභාවික බවට වෛද්‍ය පර්යේෂකයන් විසින් සනාථ කර ඇති නියමයන්ට අනුව යමිනි.

ළමා විය ඉක්මවූ කෙනෙකුට ආදරය කිරීමට ද එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ සිප වැළඳගැනීමට ද අයිතිය ලබා දී තිබේ. එවැන්නන්ට බාධා හිරිහැර කරන අය දණ්ඩනයට යටත් කළ යුතු බවට ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කර තිබේ. ආදරය කිරීම සඳහා කප්පම් ගෙවීමට සිදු වීමෙන් මිනිසුන් මින් පසු නිදහස් වෙනු ඇතැයි අපේක්ෂිත ය.

පනින්නට ඉඩ ව්‍යවස්ථාවෙන් ම අහුරා ඇති නිසා මේ සිහින ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු සංශෝධනයන්ට ලක් නොවී දිගු කලක් පවතිනු ඇතැයි යන අමතර සිහිනයක් ද අපි අවසාන වශයෙන් දකිමු.

Advertisements

අපේ සිහින ආගම

Christian Woman Sitting Down in Prayer Silhouette

ආගම සැමට එක ලෙස දැනෙන්නේ නැත. සමහර අයට එය ජීවන මාර්ගයක් වන විට එය ඇතැමුන්ට ජිවිතය ආලෝක කර ගැනීමට පිළිසරණක් වේ. ආගම භාවිතයෙන් කළ හැකි වැඩ බොහෝ ය. සරි කර ගත හැකි දෑ බොහෝ ය. පාලනය කළ හැකි දෑ බොහෝ ය. හොඳට නරකට දෙකම කට ම ය කීවේ ඉස්සර ය. දැන් කියන්න වෙන්නේ හොඳට නරකට දෙකම ආගම කියා ය.

යුද්ධය සඳහා සේනාංකයක් ලෙස

ආගම් බිහි වූයේ සාමයේ පණිවුඩය සමග ය. මෛත්‍රියේ පණිවුඩය රැගෙන ය. එහෙත් එය නිසා ඇති වූ යුද ගැටුම් හා ඒවා නිසා මියගිය ගණන අති විශාල ය.

එය ආක්‍රමණික යුද්ධය සඳහා භාවිතා කළ හැකි සේනාංකයක් ලෙස භාවිතයට ගත් අවස්ථා බොහෝ ය. බොහෝ ගැටුම් ආගම මුල් කරගෙන ඇතිව තිබීම එක් අතකින් විහිළුවක් වන අතර අනිත් ඛේදවාචකයක් වෙයි. ඉතිහාසයේ හැමදාමත් රජවරු තම දේශපාලන ව්‍යාපෘති සඳහා ලෝභ නැතිව භාවිතා කළේ ආගමයි. අද රජවරු පමණක් නොව අවශේෂ බල ව්‍යාපෘතින් සහිත සමාජ කණ්ඩායම් ද මෙය මොනවට භාවිතා කරනු දක්නට පුලුවන. ආගමේ නාමයෙන් සතුරා වැනසීමට පුළුවන්වීම නිසා මුළුමනින්ම යහපත් යයි කිව නොහැකි අවර ගණයේ ක්‍රියාවකට සුජාතභාවයක් එයින් ලබා දිය හැකිය. ඒ නිසා ක්‍රියාවේ ඇති කිලුට සේදෙන බව මේ බල ව්‍යාපෘතින් මෙහෙයවන නායකයෝ හා ඔවුන්ගේ (ආගමික) අනුගාමිකයෝ විශ්වාස කරති. මේ දිනවල රැව් දෙන සිල් රෙද්දේ දේශපාලනය තුළ තිබෙන්නේ ද මේ දර්ශනය ය.

ජීවනෝපායක් ලෙස

බොහෝ දෙනෙකුට ආගම බඩ වඩා ගැනීමේ මාර්ගයකි. මිනිසුන්ගේ අවාසනාව තරම් ඔවුන්ගේ දුක්ඛ දෝමනස්ස තරම් ව්‍යාපාරිකයෙකුට සිය ධනය ආයෝජනය කළ හැකි වෙනත් ලාභ දායී මාර්ගයක් තවත් නැත. ආගම මේ අවාසනාවට, මේ ආත්මයේ නොවේ නම්, ලබන ආත්මයේ උත්තර ලබා දෙන්නට පොරොන්දු වෙයි. බොහෝ ව්‍යාපාරිකයින්ට සිදුව ඇත්තේ කිසියම් දෙයක් විකුණා මුදල් සෙවීමට ය. හුදු බලාපොරොත්තු පමණක් විකුණා මුදල් සෙවිය හැක්කේ ආගම තම බඩගෝස්තරය කරගත් ව්‍යාපාරිකයින්ට පමණකි.

මේ ව්‍යාපාරික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් ආගම සංශෝධනය කිරීමට ද ඊට ආනුපාන එක් කිරීමට ද කටයුතු කරනු ලැබේ. පන්සල්වලට සතර මහා දේවාල ඇතුළු වන්නේ ද හාමුදුරුවරු සෙත් කවි වස් කවි කියන්නට පේවෙන්නේ ද ඒ අනුව ය. බෝගස් වල විභාග අංක ලියා කොඩි එල්ලෙන්නේ ද බෝධි පූජා පැවැත්වෙන්නේ ද ඒ අනුව ය.

ගැලවිජ්ජාවක් ලෙස

ආගම ආරක්ෂක පලිහක් කර ගන්නා අයගෙන් ද අපට අඩුවක් නැත. සොරකම් කර අසූවු මිනිහා කියන්නේ තමන් ආගම හොදින් අදහන නිසා, ආගමට ලැදි නිසා, ආගමට උදව් පදව් කරන නිසා, ඒ සියල්ල හෑල්ලු කිරීම සඳහා හොරකම් චෝදනා එල්ල කර ඇති බව ය. තමන් වැනි ආගමික වතාවත් යෙදෙන පුද්ගලයෙක් අතින් එවැන්නක් සිදුවිය හැකි දැයි අසමින් අසන්නන් වල්මත් කිරිමට ඒ නිසා ඔවුන්ට හැකි ය. ඒ නිසාම ඔවුන් කියන්නේ තමන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පරීක්ෂණයක් පවා නොකර බැහැර කළ යුතු බව ය. දී කිරට බළලුත් සාක්කි ය. මේ හොරුන්ට ඔවුන්ගේ පන්සල් පල්ලි වල ආගමික නායකයන් ද සාක්කි ය.

ආවරණයක්, ලේබලයක් හෝ ආභරණයක් ලෙස

තමන්ගේ නිරුවත වසා ගත හැකි වස්ත්‍රයක් ලෙස ද මිනිස්සු ආගම භාවිතා කරති. තමන් සතු කුසලතාවයක් නැති විට, තිබෙන ටික පවා පාරම්බෑ හැකි මට්ටමේ නොවන විට, එම සෙළුව වසා ගැනීම සඳහා ආගම සළුවක් ලෙස භාවිතා කරනු ඇතැම් විට දැකිය හැකි ය. එයින් හැම විටම පාහේ සිදුවනු ඇත්තේ ඒ තැනැත්තා පිම්බී ආගම කිලුටු වීම ය.

ආගම අනන්‍යතාවය සහතික කරනු සඳහා ගැසිය හැකි හංවඩුවක් ලෙස ද සමහරු සළකති. හරකුන්ට හංවඩු ගහන්නේ උන්ව පහසුවෙන් හඳුනාගනු පිණිස ය. එක් හ‍රකෙක් බොහෝවිට අනෙත් හරකාගෙන් වෙන්කර හඳුනාගැනීම සමහර විට අපහසු විය හැකි බැවිනි. ආගම ද තමන්ට නැති අනන්‍යතාවයක් ලබා ගනු පිණිස භාවිතා කරන්නන්ගෙන් අපට අඩුවක් නැත. තමන් බෞද්ධයෙකු ලෙස හඳුන්වා ගැනීම ආඩම්බරයට කරුණක් ලෙස සළකනු ලබන මිනිසුන් ඒ ගැන පාරම්බාන මිනිසුන් දැකිය හැක්කේ ඒ නිසා ය.

සිංහ වෙස් ගැනීම සඳහා බූරුවන්ට පැළදිය හැකි සිංහ හමක් ලෙස ද එය භාවිතා වේ. ආගම කට ගා ගත්තවුන් බොහෝ දෙනෙක් එහි ඌෂ්ණයෙන් රත්ව සිංහ වෙස් ගෙන කටයුතු කරනු දැක ගත හැකි ය. එවන් විටක එතැන ඊට වඩා උත්තමයෙක් හෝ බලපුලුවන්කාරයෙක් නැතැයි අන් අයට ඒත්තු ගැන්වීමට කටයුතු කරනු දැකිය හැකි ය. ඔවුන් කෑගසන විට මතකයට නැගෙන්නේ ම සිංහ වෙස් ගත් බූරුවාගේ කතාව ය. සිවුර පෙන්නා පොලීසියට පාට් දාන්නේ ද සිවුරේ බලය දක්වමින් උසාවි තුළ පිස්සු නටන්නේ ද මේ කී අය ය.

කෙවිටක් ලෙස

අනෙකා පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි හොදම කෙවිට වන්නේ ද ආගම ය. ආගමේ නාමයෙන් බොහෝ දෙනා විත්ති කූඩුවට නැංවිය හැකි ය. අන්ධ පිලිපැදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රද්ධාව නැතැයි කියමින් ප්‍රශ්න කරන්නන් කූඩුවට නැංවිය හැකි ය. සිසුන් නොමග යවන ගුරුවරුන්ට, තමන්ට අපහාස කිරීම සම්බන්ධයෙන්, යහපත් සිසුවෙකුට ආගමේ නාමයෙන් අච්චු කළ හැකි ය. ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් පෙන්වීමට ඉදිරිපත් වූවෙකු ශාසනය අපකීර්තියට පත් කළේය යන චෝදනාව යටතේ වැරදි කරුවෙකු කළ හැකි ය. බීගත් තිරිසන් සැමියෙකුට විරුද්ධව අත එසවූ වරදට බිරිඳ ආගමේ නාමයෙන් පාපතරයෙකු කළ හැකි ය. වනචර පියෙකුගේ හැසිරීම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පුතෙකුට ද මේ ලෙසම කෙවිට දිගු කළ හැකි ය. සපත්තු හා ඇඳුම් වල නැති ආගමික සංකේත ද තිබෙන බව දක්වමින් ඒවා පලඳින අයට ද විකුණට ද අයට ද පාට් දාන්නේ මේ අය ය. රෝගීන්ට ද කුඩා දරුවන්ට ද හිරිහැරයක් වෙමින් කණ පැලෙන්න බණ විකාශය කරන්නේ ද යාඥා කරන්නේ ද මේ උදවිය ය.

සීමා මායිම් ලකුණු කර ගැනීම සඳහා සළකුණක් ලෙස

වැයික්කිය සටහන් කරනු සඳහා ද මිනිස්සු ආගම යොදා ගනිති. ඒ සඳහා ඔවුන් කරන්නේ තමන්ගේ වැයික්කියේ ආගමික සංකේතයක් (කුරුසියක් හෝ බුද්ධ ප්‍රතිමාවක්)  තනා වැයික්කිය ලකුණු කරගැනීම ය. තම හදවතට බුදුන් හෝ ක්‍රිස්තුත් වැඩම කර ගැනීමට අසමත් මේ මිනිස්සු ආගමික සංකේත යොදාගනිමින් මෙසේ තම ගම, නිවස හා කාර්යාලය තුළ මෙසේ තම වැයික්කිය ලකුණු කරගැනීමට කටයුතු කරති. බල්ලන් තම වැයික්කිය ලකුණු කරන්නේ සුළු දිය හෙලීමෙනි. මේ අය ආගම භාවිතා කරන්නේ ඒ වෙනුවට ය.

සමහරු බුදු පිළිම සුරුවම් යොදා ගන්නේ මිනිසුන් විසින් කුණු දැමීමට පුරුදු වූ තැන් එයින් නිදහස් කර ගැනීමට ය. එසේ නැතිනම් ත්‍රී වීලර් නැවතුම් පොලක් ලෙස යොදා ගෙන ඇති ඉඩම ඉන් නිදහස් කර ගැනීමට ය. බුදු පිළිමයක් ඉදි කළ පසු කවුරුවත් එතැන කුණු දාන්නේ නැත. ත්‍රී වීලරයක් පාර්ක් කරන්නේ නැත.

අපෙන් උන් වෙන් කර දැක්වීමට හැකි පවුරක් ලෙස

සීමා ගසා වෙන් කර ගැනීමට තැනිය හැකි තාප්පයක් හෝ පවුරක් ලෙස ද එය භාවිතා වේ. තමන් අන් අයගෙන් වෙනස් බව, ශ්‍රේෂ්ඨ බව, වැඩි වියදමක් නොකර, වැඩි ආයාසයකින් තොරව, පෙන්විය හැකි වන නිසා ද ඒ හේතුවෙන්ම වෙනත් අයට නැති වරප්‍රසාද තමන්ට ලැබිය යුතු යයි පෙන්විය හැකි වන නිසා ද ආගම මේ වෙන් විමට භාවිතා කෙරේ. මෙසේ ඉදිකර ගත් තාප්පයෙන් මෙපිට ඉන්නේ තමන්ගේ අය ය.  එපිට ඉන්නේ අනුන් ය.  උන් ට නැති සමහර වරප්‍රසාද තමන්ට ලැබිය හැක්කේ මේ තාප්පය ඉදි කර සීමාව සටහන් කිරීමෙන් පමණි.  පන්සිල් දන්නේ තමන්ගේ අය බැවින් පන්සිල් නොදන්නා එකා වෙන්කර පහර දීමේ සම්ප්‍රදායික ක්‍රමය වාර්ගික ගැටුම් තුළ ක්‍රියාත්මක වූයේ මේ අනුව ය.

අනුගාමිකයන් ඇති කර ගැනීමට උපායමාර්ගයක් ලෙස

අනුගාමිකයින් තමා වටා රැස් කර ගනු පිණිස එසවිය හැකි ධජයක් ලෙස ද එය භාවිතා වේ. අපේ රටේ අඩුවක් නැතිව ලෙල දෙන එක් දෙයක් නම් ෂඩ්වර්ණ ධජ පතාක ය.  මේ වටා මිනිසුන් සංවිධානය කර ගැනීම, අනුගාමිකයින් රැස් කර ගැනීම, පහසු ය. මේ නිසා ගූණ ධර්ම වලින් පිරිහුණු භික්ෂුන්ට දේවගැතිවරුන්ට තම පන්සල් වලට හෝ පල්ලිවලට අනුගාමිකයින් ඇද ගත හැකි ය. මාසයේ දින 30 පුරාම තක්කඩිකමි කරණ නායකයින්ට, එක් දිනක කෙටි පූජාවකට සහභාගීවී, මේ ධජ සේවනේ සිට හිරි ඔතප් දෙකම නැති මේ ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබාගත හැකි ය. එවැනි ආශිර්වාදයක් ප්‍රශ්න කිරීම මේ ධජය යට සිදු නොවේ. එය යට විමසන්නට මනසක් ඉතිරි නොවේ. පළතුරු වලින් විහාර මළු පුරවා බුදුන්ට ද අපහාස කරමින් උත්සව පවත්වන්නේ මෙවැනි අය ය.

අනෙකාට පහර දිය හැකි ආයුධයක් ලෙස

ආගම යොදාගෙන අන්‍ය ආගමිකයන්ට පහර දෙනු අප රටේ මෑත අතීතය තූළ අපට දැක ගත හැකි විය. ඒ ආගම ආරක්ෂා කිරීමේ නාමයෙනි. ආගම යොදා ගෙන තම සැමියාට වචනයෙනුත් හෝ බිරිඳට අතින් පයිනුත් පහර දෙන බිරියන් හා සැමියන් අපට අපේම ගෙවල්වලදී ද දැක ගත හැකි ය. ඉදිරිපත් කරන සුලබ තර්කය නම් අනෙකා ආගම දහම නොදන්නා තිරිසන් ගති ඇත්තෙකු බව ය. ආගමෙන් පලිහක් සේ ආරක්ෂාව ලබමින් එම ආගම ම අවියක් සේ යොදා ගෙන තම දූ දරුවනට පහර දෙනු දැකිය හැකි ය. මෙහිදී ඉතා උවමනාවෙන් ඒත්තු ගන්වනු ලබන්නේ අකීකරු කමේ ආනිසංස ය. ආගම යොදා ගෙන තම ප්‍රතිමල්ලවයන්ට (ෂාරුක් කාන්ගේ සංදර්ශන නරඹන්නන්ට එන අයට, යුද්ධයට විරුද්ධ වන්නන්ට, වැනි නොයෙකුත් දෙනාට) පහර දෙනු අපට දැක ගත හැකි වූයේ ද ඒ අනුව ය. බොහෝ ආගම් අපට උගන්වන්නේ ඒවා තමන් නිවැරදි කර ගැනීමට භාවිතා කරන ලෙස ය. එහෙත් සිදු වෙමින් තිඛෙන්නේ එහි ප්‍රතිවිරුද්ධය ය. අනුන් වැරදි කරුවන් කිරීමට පමණක් එය යොදා ගැනීම ය.

පසුබැසිය හැකි ආරක්ෂිත ස්ථානයක් ලෙස

ගෙදර කරදර වලින් මිදිම සඳහා සති අන්තවලදී බණ මඩු වල ගත කරන පිරිමින් ද ගෙදර අනේක විද පීඩාවලින් මිදීම සඳහා සතර පෝයට සිල් ගන්නා උපාසිකාවන්ගෙන් ද අපට අඩුවක් නැත. මේ බණ අහන බොහෝදෙනා තූළ අප දකින්නේ සියළු පව් ඒකරාශි කරගත් ආත්මයන් වීම අහම්බයක් නොවේ. ඔවුන්ට බණ යනු ජීවිතයේ දුක් කරදර වලින් තාවකාලිකව වෙන් වීමට ලැඛෙන ප්‍රශ්න කළ නොහැකි අවස්ථාවක් පමණකි. බණ ඇසීමට විරුද්ධ වන්නට මේ රටේ කාටවත් නොහැකි වීම ඔවුන් ලබන කදිම නිදහස කි. ඒ බණ නිසා සිය ජීවිත එලිය කරගත් බවක් මේ වැඩි දෙනෙකුගේ ජීවිත දිහා බලන කෙනෙකුට නම් නොපෙනේ.

මත් ද්‍රව්‍යයක් ලෙස

මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ තැනැත්තාට එය පානය කිරීම සඳහා නිශ්චිත වෙලාවක් නැත. ආගමට මත්ද්‍රව්‍යයක් ලෙස ඇබ්බැහි වූවෙකු ද එබඳු ය. ඇබ්බැහි වූ තැනැත්තාට මේ කාර්යාල වේලාව යයි හැඟීමක් නැත. මේ උදෑසන යැයි හැඟීමක් නැත. මේ මොහොතේ මා විසින් කළ යුතු රාජකාරි රැසක් තිබේ යැයි අදහසක් නැත. ඒ නිසා කාර්යාලයේ දී බණ ඇසිම හෝ බණ දෙසීම නිසි නොවේ යැයි ඔහු දන්නේ නැත. කාර්යාල වේලාවේ දී ආගමික කටයුතු කිරීම නිසා තමන්ගේ හාම්පුතුට වංචා කරන බව ඔහුගේ සම්පත් හොරා ගන්නා බව ඔහුට වැටහෙන්නේ නැත. ඇබ්බැහි වීම ඒ තරමට ප්‍රබල බැවිනි.

ආගම අබිං වැනි යයි කීවේ කාල් මාක්ස් ය. ඒ මේ මත් වීම ගැන තේරුම් ගිය විටක විය යුතු ය. අබිං හොඳ බෙහෙතකි. එහෙත් මාත්‍රාව ඉක්ම වූ විට එය ම මත් ද්‍රව්‍යයක් බවට පත් වන්නේ ය. ආගම සම්බන්ධයෙන් ද අපට කිව හැක්කේ ඒ ටික ය.

මෙසේ ආගම සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා යොදාගන්නා අය නිතර මතුරන්නේ ආගම තමන්ගේ ජීවිතය බව ය. කිසිදු ආගමික ඉගැන්වීමක එසේ සඳහන් නොවේ. ආගම ජීවිතය එලිය කර ගත හැකි තවත් එක් මිණි පහනක් පමණි. එය ද විචාරයෙන් ‍ආගම ඇදහුවොත් ය. ආගම තම ජීවිතය බව කිව හැක්කේ එය සැබෑ ජීවිතය වසා ගැනීමට කඩතුරාවක් කර ගන්නා අයට පමණි. එලිපිට පෙනෙන්නේ පුද්ගලයා ආගමික ජීවිතයක් ගත කරන බවකි. එහෙත් සමීපව විමසන විට පෙනෙන්නේ තම ජීවිතය නිසි පරිදි හැඩ ගස්වා ගැනීම සඳහා ආගම පිටුවහලක් කරගනු හැරෙන්නට අනිත් සියල්ල සඳහා ඔහු ආගම භාවිතා කරන බවකි.

අපේ සිහිනය

අපේ සිහින ආගම මීට වෙනස් ය. එය සාමයට සහජීවනයට මිනිසුන් පොළඹවනු ඇත්තේ ය. එකිනෙකාට ගරු කිරීමට එය ඔවුන්ට උදව් දෙනු ඇත්තේ ය. කරුණාව දයාව ඔවුන්ට දායාද කර දෙනු ඇත්තේ ය. සීමා මායිම් ඉක්මවා මිනිසුන්ට මෛත්‍රිය කිරීමට මිනිසුන් යොමු කරනු ඇත්තේ ය. නිහතමානී වීමට උගන්වනු ඇත්තේ ය.

ආගම වෙත පවා නොඇලිය යුතු බවට ආගම පවා මනසින් විමසිය යුතු බවට එය උවදෙස් දෙනු ඇත්තේ ය. ආගම ලේබලයක් හැටියට ධජයක් හැටියට භාවිතා කිරීම ඉඩ ලබා නොදෙනු ඇත්තේ ය. ආගම ජීවිතය එලිය කර ගැනීමට මිසක ආභරණයක් ලෙස භාවිතයට අවසර නොදෙනු ඇත්තේ ය. ආගම ජීවනෝපායක් කර ගැනීමට ඉඩ නොදෙනු ඇත්තේ ය. ආගමට මුවා වී කරන ජඩකම් ආගමට එරෙහිව කරන සතුරුකම් ලෙස සළකනු ඇත්තේ ය. ආගම සිය පෞද්ගලික න්‍යාය පත්‍රයන් සහ දේශපාලන න්‍යාය පත්‍රයන් සඳහා භාවිතා කිරිමට වාරණයන් දමනු ඇත්තේ ය.

ආගම ලෝකෙට පරකාසෙට නොව අතිශය පෞද්ගලික විශ්වාසයක් හැටියට පැවතිය යුතු බවට වග බලා ගනු ඇත්තේ ය. ආගම වෙනුවෙන් විශේෂ වරදාන නොඉල්ලනු ඇත්තේ ය. ආගමික පිළීවෙත් රටේ නීතියට ඇතුළත් කරන ලෙස ඉල්ලා ආගමික නායකයන් පෙලපාලි නොයනු ඇත්තේ ය. සිරුරට ගිනි තබා ගෙන මිය නොයනු ඇත්තේ ය. මේ හේතු නිසා ආගම මිනිසුන්ට තවදුරටත් පීඩාවක් ලෙස නොපවතිනු ඇත්තේ ය. ඒ වෙනුවට සැනසුම හා නිවීම මිනිසුන්ගේ සිත් තුළ ඇති කරනු ඇත්තේ ය.

ආගමික ලේබල් අලවා ගෙන උඩ පනිනු වෙනුවට ජනතාව ආගමික ඉගැන්වීම් අනුව ජීවිතය සකස් කර ගෙන රටට ද සෙසු මිනිසුන්ට ද සැනසුමක් ම ගෙන එනු ඇත්තේ ය.

අපේ සිහින දේශපාලනඥයා

deepana-3_21082017_FUG

අපි විවිධ සිහින පසුගිය කාලයේ දැක්කෙමු. සිහින පාසලකට පන්සලකට සරසවියකට ආදී ලෙස විවිධ තැන් වලට ගොඩ වුනෙමු. අද අප දකින්නට කැමති සිහින දේශපාලනඥයා ගැන කතා කරන්නට අදහස් කරමු.

පාසල පන්සල සරසවිය යන ස්ථාන මෙන්ම රටවැසියා යන භූමිකා අරබයා ලියවුනු ලිපි ඒවායේ පවතින පසුගාමී තත්වයන් විවේචනයෙන් ආරම්භ විය. දේශපාලනඥයන් විවේචනය කරමින් බොහෝ දේ කියවෙන නිසා නැවතත් ඒ අපුල රාජකාරිය පවරාගන්නේ නැතිව ම අප දකින සිහින දේශපාලනඥයා පිළිබඳව කෙළින් ම කතා කිරීමට සිතුවෙමු.

ඒ සිහින දේශපාලනඥයා පළමුව කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වෙයි. බොරුව පිළිකෙවි කරයි. මුලාව කිසි දිනෙක කුමන කටයුත්තකට වත් යොදා නොගනියි.

ඹහු මළ ගෙවල් මගුල් ගෙවල් වල යෑමට දත කන්නේ නැත. මූණිච්ඡාවට උපන් දින සුභ පැතුම් එවන්නේ නැත. ලෙඩ වුනහම බොරුවට කතා කර සුවදුක් විමසන්නේ නැත. මළ ගෙයකට මල්වඩම් වත් මගුලකට කේක්වත් සපයන්නේ නැත. මගුල් ගෙවල් මළ ගෙවල් වල නාඳුනනා මිනිසුන් වර්ණනා කරමින් කතා කරන්නේ නැත.

මෙය නම් සිහිනයක් පමණකැයි ඔබ කියන්නට පුලුවන. ලියන්නා කෙරේ කෝපයෙන් ලිපිය විසි කර නැගිට යන්නට පුලුවන. එහෙත් තරමක් ඉවසන්නට යැයි ඉල්ලමින් නැවතත් මම ලියවිල්ලට බසිමි.

අප දකින සිහිනය තුළ දේශපාලනඥයා සිය වත්කම් හෙලි කරමින් දේශපාලනයට බසින අතර හැම වසරකම වත්කම් ප්‍රකාශය අලුත් කරයි. තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් අරමුදල් සැපයූ සියල්ලන් ද ඒ අරමුදල් ප්‍රමාණයන් ද හෙලි කරයි.

හේ විශාල කට්අවුට් ගසමින් සල්ලි විසි නොකරයි. සිය පෙළපාලි වලට මිනිසුන් කැන්දාගෙන යෑමට අරක්කු ලොරි පිටින් නොසපයයි. බත් පාර්සල් කඳු නොගසයි. දන් සැල් නොදෙයි. සිල් රෙදි නොබෙදයි.

දැන්නම් ඔබට තරහ පාලනය කර ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබේ. කිසි දා සිදු විය නොහැකි සුරංගනා කතාවක් අසන්නාක් මෙන් මේ සියල්ල දෙස සෝපාහසයෙන් බලන්නට ඉඩ තිබේ.

ඇතැම් විට මේවා ඔබ පෞද්ගලිකව විඳ තිබේ නම් මෙහි ඇත්තේ අහවල් වැරැද්දක් දැයි කියමින් මගේ ඇඟට ගොඩවෙන්නට ද ඉඩ තිබේ. ඒවා අද වන විට ඒ තරමට ම සාමාන්‍ය දේවල් වී ඇති නිසා ය.

එහෙත් මේ සැප විඳි සමහරු ඒවා විඳින අතරේම මේවා ප්‍රශ්න කරන බව උඩු සිතෙන් නොවූවත් යටි සිතෙන් ප්‍රශ්න කරන බව මේ රැවටීම් වලින් තොර හෙට දවසක් පතන බව අපේ අදහස ය. ඒ නිසා ම අපේ සිහිනය බෙදා ගන්නට ද ඔවුන් ඉදිරිපත් වන්නට පුළුවන. එහෙත් ඒ හැම කෙනෙකු තුළම මේ සැබෑ වන සිහිනයක් ද යන විචිකිච්ඡාව ඇති වන්නට පුළුවන.

අප අමතක නොකළ යුතු කාරණය නම් සැබෑ වන්නේ අප දකින සිහිනයන් බව ය. මහ පොළොව තුළ යමක් පැළ කරන්නට පළමු අපේ මනස තුළ එහි බීජය සුරක්ෂිතව වැඩිය යුතු බව ය. පොළොවේ යමක් ඉදිකරන්නට මත්තෙන් කඩදාසියක එය ඇඳ එකලාසයක් කර ගත යුතු බව ය. නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට පොරොතුව එහි පිටපත ලියා මනසින් රංග භූමිය දැකිය යුතු බව ය. ඒ නිසා මේ සිහිනය දිගටම දකින්න ඉඩ දෙන්න.

එම දේශපාලනඥයා කුඩා දරුවා ජාතික පාසලකට දා ගැනීමටවත් ලොකු එකාට රැකියාවක් ලබා ගැනීමටවත් බිරිඳට මාරුවක් ලබා  ගැනීමටවත් වැරැද්දක් කළ කෙනෙකුහට ඉන් ගැලවීමටවත් උදව් නොකරයි. ඒ සියල්ල රටේ නීතියට අනුව සිදු වෙන බවට සැමට සාධාරණ ලෙස අවස්ථා සළසන බවට හේ වග බලා ගනියි.

දැන් නම් ඔබ මට තඩි බාන්නට සැරසෙනු ඇත. මෙහෙම කරන්නේ නැති හැලපයකුගෙන් ඇති වැඩේ කුමක් දැයි ඔබ අවි අමෝරා ගෙන එනු ඇත. මගේ සිල්ලර වැඩ ටික වත් කර දෙන්නේ නැති හාල් පාරුවෙකුට මා මනාපය දෙන්නේ මන් ද? එවැන්නෙකු වෙනුවෙන් මා පෙනී සිටිය යුතු වන්නේ මන් ද? යනුවෙන් ඔබ මා ප්‍රශ්න කරනු නියත ය.

මේ ඡන්දදායකයාට තමන්ගේ මන්ත්‍රී තුමා හරියට ම මුලිච්චි වන වෙලාව ය. තමන් ඉල්ලන එකා ම ලැබෙන වෙලාව ය. සාධාරණය වෙනුවට තමන්ගේ සිල්ලර වැඩ කර ගැනීමට උදව් ඕනෑ වෙලාව ය. සිහින දේශපාලනඥයෙකු පතන අපි ඒ සඳහා අප සිහින රටවැසියන් විය යුතු යැයි සිතන්නේ නැත.

අපේ ඇදය හදා නොගෙන හෙවනැල්ලේ ඇදය හදන්නට යන අපිට මේ අපේ ඇදය පෙනෙන වෙලාව ය. එයත් තාවකාලිකව පැත්තකට දමා නැවතත් අපේ සිහිනය දකින්න අපට අවසර දෙන්න.

එතුමා හෙට එළඹෙන මැතිවරණය නොව අනිද්දා රටට සිදු වන යහපත ම පතයි. රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස දැනටමත් පුරවා ඇති නිසා එය තවදුරටත් රැකියා දෙන ස්ථානයක් නොකළ යුතු යැයි සිතයි. ගංගාවල් විනාශ වී ළිං සිඳෙන නිසා වැලි පර්මිට් දීම නවතන්නට සිතයි. තරුණයින් මත් ද්‍රව්‍ය වලින් විනාශ වන නිසා මත් කුඩු හා මත් ද්‍රව්‍ය වළකාලන්නට සිතයි. කසිප්පු නිශ්පාදනයට එරෙහිව පොලීසිය මෙහෙයවයි. කංසා හේන් වටලයි. බස් මාෆියාවේ තර්ජන මායිම් නොකර මගීන්ගේ සෙත සළසන ක්‍රියාමාර්ගයන් ගනියි.

මෙහෙම සිහින දකින්නට තමුසෙට ඔල්මාද දැයි රජයේ රැකියා බලාපොරොත්තුවන තරුණයින් මගෙන් දැන් අසන්නට අවි අමෝරා ගෙන එනු ඇත. වැලි පර්මිට් වලින් ජීවනෝපාය ගෙනියන අය ද මත්කුඩු විකුණා ජීවත්වෙන අය ද කසිප්පු නිපදවන හා විකුණන අය ද කංසා හේන් අයිති කාරයෝ ද බස් තියාගෙන මගීන්ට තග දාන ව්‍යාපාරිකයන් ද ඒ ගංගාවට එකතු වෙනු ඇත.

දැන් සිහිනය බලලා ඉවර ය. ඉක්මණින් මාරු වෙන එක ඇඟට ගුණ ය.

ඒත් රාජ්‍ය සේවය නඩත්තු කරන්නට අධික බදු ලෙස බදු ගෙවන්නට සිදු ඇති ජනතාවත් ළිං වියලී ගං ඉවුරු කැඩී යාමෙන් විපතට පත් ජනතාවත් මත් කුඩු නිසා ජීවිත විනාශ වෙන තරුණ තරුණියන්ගේ දෙමාපියනුත් බස් මගීනුත් තවමත් මා සමග සිහිනය සමග සිටිනු පෙනෙන නිසා තවත් ඉදිරියට සිහිනය දකින්නෙමු. තරහ අවසර. අපේ සිහිනය තව දකින්න, ඉඩ තියන්න.

එතුමාට රථ ගාය නැත. එතුමා සිහින රථ පැත්තක දමා සාමාන්‍ය රථයක ගමන් කරන්නේ ය. එතුමාට පරිවාර රථ නැත. එතුමා නලා හඩවා ගෙන අපි ව දෙතුන් පැත්තකට විසිකර පාර බදු ගැනීමට කල්පනා කරන්නේ නැත. මිනිසුන්ගේ දරුවන්ගේ ශරීර උඩින් යන්නට මෙන් ඉගිලෙන්නේ නැත.

දිනෙක බස් රථයක ද තවත් දිනයක දුම්රියක ද තව දවසක ත්‍රීවීලර් එකක ද යන්නට තරම් එතුමා සරල ය. බසයේ ආසනයක්  නැත්නම් එතුමා හිට ගෙන යන්නේ ය. බසයක් එනතුරු අප සමග පෝලිමේ ඉන්නේ ය. එතුමෝ මහ මග දී කඩ සාප්පුව ක දී අපට මුණ ගැසෙති. සමහර විට ඒ මුදල් ගෙවීමට නියමිත කවුන්ටරයට යන පෝලිමේ දී බඩු මල්ලකුත් සමග ය.

මූට නම් ඔල්මාද යැයි කියමින් දැන් නැගිටින්නට හදන්නේ මෙතෙක් කල් ඉවසා ගෙන හිටි බුද්ධිමත් ම ජනතාව ය. ඒ කියන්නේ සිහිනය තවදුරටත් නොදැකිය යුතු බව ය. දැක්කත් පිස්සෙකු වගේ ඒ ගැන කියවන්නේ නැතුව එය තමන්ට ම සීමා කර ගත යුතු බව ය.

රටතොට ගිය ඇත්තෝ තවමත් සාවධානව මගේ සිහිනය අසා සිටිති. සමහරු වෙන රටවල නායකයින් සයිකල් වලින් දුම්රියෙන් යන එන උදාහරණ සපයමින් කෝප වී සිටින බුද්ධිමතුන් අමතන්නට වෙර දරති. ඒත් මේ අදහා ගන්නට බැරි දේ කියන මිනිසාට තවදුරටත් සවන් දීමට අපේ බුද්ධිමතුන් සූදානම් බවක් පෙන්වන්නේ නැත.

සිහින පෙනෙන්න ගත්තහ ම ඉවරයක් නැත. ඒ නිසා ම කලබල මැද්දේ ම හීනය තවත් ඇදී ආවේ ය.

එතුමා මුදලට ගත නොහැකි ය. කවදාවත් අනෙත් පැත්තට අඩිය තියන්නේ නැති බවට සපථ කොට පසු දා එලිවෙන කොට අනිත් පැත්තට පැන ගෙන ජනතාවගේ ඉල්ලීම මත එසේ පනින්නට හේතු වුන බවට කෙබර ඇද බාන්නේ නැත.

එතුමා ප්‍රතිපත්ති ගරුක ය. අද එක ප්‍රතිපත්තියක් ගැන කතා කර හෙට තව ප්‍රතිපත්තියකට චන්දය දෙන්නට ඔහු ඉදිරිපත් නොවේ.

එතුමා නීති ගරුක ය. වැරදි නීති තිබෙන්නේ නම් ඒවා කඩනවා වෙනුවට ඒ නීති වෙනස් කිරීමට ඔහු ඉදිරිපත් වේ.

ඔහුට අවශ්‍ය රටේ සියළු තීරණ, දත්ත හා තොරතුරු මත පදනම්ව ගන්නට ය. බහුතර යහපතට අනුව ගන්නට ය. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් හා ආයතනික යාන්ත්‍රණ ගොඩ නගන්නට ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සම්මුති ගොඩ නගන්නට ඔහු කැමති ය. ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කොට තමන් එයින් ඉවත්වන්නට ඔහුට වුවමනා ය.

කිසිදු නායකයෙකු ඉදිරියේ වැඳී නොවැටෙන ඔහු, වැරැද්ද කවුරු කළ ද වැරැද්දක් බව කීමට නොබිය ව ඉදිරිපත් වේ. හරි දේ වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද ඒ පුද්ගලයාගේ පක්ෂ පාට බලන්නේ නැතිව ඔහු සමග ඒ කාරණය සම්බන්ධයෙන් එක් වේ.

ඔහු හෙංචයියන් අගය නොකරයි. සත්‍යය වෙනුවෙන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින නිර්භීත මිනිසුන් අගය කරයි. ඔහු ගන්නේ ද යුක්තියේ සාධාරණත්වයේ පැත්ත ය.

ඒ කියන්නේ සමහර විට ඔහු අපේ පැත්ත නොගැනීමට වුව ඉඩ ඇතැයි කියා ය. මොකක්? අපේ පැත්ත නොගන්නා එකෙකු සමග මොන පයුරු පාසානයක් ද? අඳෝමැයි. පරණ දේශපාලනඥයා හොඳටම හොඳ ය. දැන් මට ද හිතෙන්නේ හීනය දුර ගියා වැඩිය කියා ය.

මේ කපේ දී රට ගොඩ ගන්නට වන්නේ නැත. රට ගොඩ ගන්නේ කුමට? මා ගොඩ ගියා නම් හරි ය. එයට ගැම්මක් දේශපාලනඥයාගෙන් ලැබේ නම් තවත් සිහින දකින්නේ මන් ද?

මායි මගේ ගෑණියි පොල් මුදලාලියි හිටියොත් ඇති ය. වත්තේ පොල් කඩා අප විකුණන්නේ මුදලාලිට ය. ගෙදරට ඕනෑ කරන දේ ගන්නේ පොල් මුදාලිලාගේ කඩෙන් ය. එහෙම බැලුවහම ලොකු අපේක්ෂා අවශ්‍ය ම නැත. පොල් මුදලාලිට හොඳ දේශපාලනඥයා ඒ නිසා මට ද හොඳ ය. ඒ මගේ සිහින දේශපාලනඥයා ය.

අන්න මේ දවස්වල පොල් ගන්න බෑ කියල මුදලාලි කියන්නෙ. මගේ සිහිනය බිඳි ගියේ එකවර ම ය. ඒ බිරිඳගේ කට හඩෙනි. මොකද? ඒක පුදුම කතාවක් නෙ. ඒ මගේ ප්‍රශ්නය ය. නැතිනම් ප්‍රතිචාරය ය.

විස්වාස නැත්නම් ගිහිල්ල අහන්න. වරාය ස්ට්‍රයික් ලු. ඒ නිසා කොප්පරා රට පටවන්නෙ නැහැල්ලු.

මදෑ කොළා.

ඒ නම් මදෑ. ඉස්සරහට ණයට බඩු දෙන්නත් බැරි වේය කිව්වෙ.

ඒ මොකද?

කඩේ බඩු වැඩි හරිය වරායෙන් ලු එන්නෙ. සල්ලි දෙන අයට දීලලු ණයට දෙන්න වෙන්නෙ.

පොල් මුදලාලි විතරක් ඉඳලා බැරි ය. රටම ලෝකයම තියෙන්න ඕනෑ ය. අද තිබිලා මදි ය. හෙටත් තියෙන්න ඕනෑ ය. මට කරලා මදි ය. ලෝකෙට ම කරන්න ඕනෑ ය. එහෙම කරන්න ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙකු ඕනෑ ය.

නැවතත් මගේ සිහින දේශපාලනඥයාගේ සිහිනය නැතිව බැරි බව මට පසක් වෙන්නේ ය. හෙට අනිද්දා ම ඔහු මේ පොළෝතළය මත ගොඩ නගන්නට බැරි වුනොත් කාලා හමාර ය.

මගේ සිහිනය, සිහින දේශපාලනඥයා පිළිබඳ සිහිනය, මට දකින්න ඉඩ හරින්න. අප හැමදාමත් කියන පරිදි සැබෑ වන්නේ දකින හීන නිසා ය.