දැන්නම් දැන ගියත් අපි අතරමග ය

උදේ 6.30 ට තලවතුගොඩින් පිටවී පැය 1.5 කින් පසුව කිමී 11 ක් එහා ඇති කාර්යාලයට උදේ 8.00 ට පැමිණියෙමි. දැන් සතියක කාලයක පටන් තත්වය මෙබඳු ය. එය දිනෙන් දින උග්‍රවනවා මිසක විසඳෙන පාටක් නැත.

පහුගිය දිනෙක පුද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තත්වයේ වෙනසක් ඇති නොවුනහොත් කොළඹ හා අවට ධාවනයෙන් තමන් ඉවත් වන බව ය.

වාහන වැඩි යයි කියන පොදු නිගමනයට පැමිණෙන්නට මා කැමති නැත. වාහන වැඩි මුත් සතියක් දෙකක් ඇතුළත එවැනි වැඩි වීමක් වුනා යැයි මම නොසිතමි. එසේ සිතන්නට සාධාරණ හේතුවක් නැත.

මට හිතෙන හැටියට කවුරු හෝ බක පණ්ඩිතයෙකුගේ අලුත් සැළැස්මක් ක්‍රියාත්මක වෙනවා විය යුතු ය.

මේ සම්බන්ධයෙන් වගකියන ආයතන නිහඩ ය. කිසිවෙක් හේතුවක් කීමට දන්නේ නැත. පුද්ගලික බස් හිමියන්ගේ තර්ජනයට හෝ පිළිතුරු සැපයූ බවක් දැනගන්නට නැත.

ලංකාවේ සිදුවන බොහෝ දේ සම්බන්ධයෙන් මෙන්ම මේ සම්බන්ධයෙන් ද වගකිවයුත්තන් නැත.

මේ පිළිබඳව අදහස් පළකිරීමට තරම් වෘත්තීය ඥානයක් අපට නැත. එහෙත් කවුරු හරි මේවාට සංවේදී නම් ඔවුන්ගේ දැන ගැනීම පිණිස අපේ එක් අත්දැකීමක් කියන්නට කැමති ය. කනත්ත වටරවුමට බෞද්ධාලෝක මාවතින් පිවිසීමට වරක් බලා සිටියෙමි. රතු බල්බය මිනිත්තු නමයක් පැවතුන අතර මාවත් ගණනාවකම වාහන තදබදය ලිහිල් වෙනු දුටුවෙමි. එහෙත් බෞද්ධාලෝක මාවතේ නම් වාහන හෙල්ලුනේ නැත. බලාපොරොත්තු දල්වමින් කොළ එලිය දැල් වුනේ ඉන් අනතුරුව ය. එය තත්පර 10 ක් වත් පැවතුනේ නැත. ඒ අවසරයෙන් යා හැකි වූයේ වාහන එක් පේලියකට එනම් වාහන තුනකට පමණි (ඒ එක් එක් ලේන් එකෙන් එක බැගිනි). නැවතත් රතු වැටුනේ ය.

කොහේ හෝ වැරැද්දක් තිබේ. එහෙත් අප කියන්නේ කාට ද? මේ ගැන හොයන්නේ කවුද? මේ වෙන්නේ මොකද්ද?

උත්තර නැති ප්‍රශ්න රාශියක් ඇත.

ඒවාට උත්තර පතා අහසට මෙසේ යොමු කරමි.

විද්‍යාව අභිබවන අවිද්‍යාව – පුලුවන් නම් පරාද කරන්න!

DarkAges

විද්‍යාව පරාජය කිරීම පහසු ය. අවිද්‍යාව පැරදවීමට නොහැකි ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගන්නා බව සපථ කොට කී ජෝතිර්වේදියා එසේ නොවුනහොත් වෙඩි තබා ගන්නා බව කීවේ ය. මහින්ද පැරදුනේ ය. ඔහු වෙඩි තබා ගත්තේ නැත. ජෝතීර් ශාස්ත්‍රය විශ්වාස කරන අය කීවේ ඒ ජෝතිර්වේදියා බොරු කාරයෙක් බව ය. ජෝතීර් ශාස්ත්‍රය පැරදුනේ නැත. පැරදුනේ ජෝතිර්වේදියා පමණ ය. ජෝතිර් ශාස්ත්‍රය මේ අනුව කිසිදා පැරදවිය නොහැකි ය. අනාවැකියක් වැරදුනොත් එහි වගකීම ශාස්ත්‍රඥයාගේ ය. හරි ගියොත් ශාස්ත්‍රයේ ය. එවැනි ශාස්ත්‍රයක් පැරදවිය හැකි ජගතෙක් මේ ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.

හැම මිනිහෙක්ම මිය යන්නේ ය. එය වැළැක්විය හැකි ජගතෙක් නැත. බරපතල රෝගයකින් පෙළෙන මිනිසෙක් වෙනුවෙන් දෙවියන්ට යාඥාකරන අය ද මේ බව දන්නේ ය. එහෙත් යාඥා කිරීමෙන් වැළැක්වීමට ඒ සත්‍යය දැන ගෙන තිබීම ප්‍රමාණවත් නැත. බැරිවෙලාවත් බේරුනොත් ඒ ක්‍රෙඩිට් එක දෙයියන්ට ය. පැරදුනොත් ඉතින් ඒ ගෙනා ආවිස ඉවර නිසා ය. නැතිනම් කර්මය ගෙවී යාම නිසා ය. උපදින ඕනෑම කෙනෙක් මැරෙන නිසා ය. මේ තර්කනය අනුව දෙවියන්ට යාඥා කිරීමෙන් වැඩක් වේය යන උපකල්පනය මේ කපේදී වැරදි යයි ඔප්පු කළ නොහැකි ය.

ලෙඩෙකු වෙනුවෙන් දෙවියන්ට යාඥා කරන අය වෙනත් බලවේගවල පිහිට පතන අය වෛද්‍ය පිහිට නොපතා ඉන්නේ නැත. ලෙඩ සුව වුනොත් එහි වාසිය දෙවියන්ගේ බැල්මට දෙන හෝ අනුයන බලවේගයේ ශක්තියට බැරකරන ඔවුන් ලෙඩේ ආසාධ්‍ය වුනොත් බණින්නේ වෛද්‍යවරයාට ය. දෙවියන්ගේ හෝ වෙන අටමගලයක බැල්ම ඇත්නම් බෙහෙත් දෙන්නේ අහවල් මගුලට දැයි ඔවුන්ගෙන් අසන්නට බැරි ය. ඔවුන් ළග ඊට අගනා රෙඩි මේඩ් උත්තරයක් තිබේ. බෙහෙත් අල්ලන්නේ බැල්ම තිබුනෝතින් ය. ඒ නිසා බෙහෙත් විතරක් බීලා මදි ය. දෙවියන්ට කන්නලව් කිරීම ද කළ යුතු ය. බෝගහට කිරි කලයක් වත් කළ යුතු ය. එළුවෙකු කුකුලෙකු නිදහස් කරන බවට පොරොන්දුවක් දිය යුතු ය.

ගුප්ත විද්‍යාවල පදනම අප තුළ ඇති බිය ය. එය තර්කයෙන් ඉවත් කළ නොහේ. බිය තුරන් කිරීමට කළ හැක්කේ කුමක් ද ඒ ගැන සමාජය අපට දෙන උපදෙස් මොනවා ද අපි බිය පළවා හැරීම සඳහා ඒ සියල්ල තර්ක නොකර  කරන්නෙමු. ඒ නිසා බිය ඉදිරියේ තර්කය පුස්සකි. ඒ නිසාම කවදාවකවත් අවිද්‍යාව තර්කයෙන් සංවාදයෙන් පැරදවිය නොහැකි ය. මිනිසුන් තුළ බිය පවතින තුරු අවිද්‍යාව පවතිනු ඇත්තේ ය.

ආචාර්ය මහාචාර්ය පදවි හොබවන විද්‍යා ඔස්තාර්ලා ද ගමටම නාකිවුනු උපාසක අම්මලා තරමටම අවිද්‍යාවට උඩ ගෙඩි දෙන්නේ මේ නිසා ය. ඒ චාරිත්‍ර වාරිත්‍රවල නියැලෙන්නේ ඒ නිසා ය.

ඔවුන් තර්ක කරන්නට නොදන්නවා නොවේ. ඒත් තර්කයට වඩා ප්‍රබල බයක් ඒ තර්කය අභිබවා ඔවුන්ගේ මනසේ වැඩ කරයි. එවන් විටෙක ඒ මනස් චිත්‍රය තර්කයෙන් හෝ විවාදයෙන් පැරදවිය නොහැකි ය.

විද්‍යාත්මක සොයාගැනීම් හැගීම් වලින් විනිර්මුක්ත ය. ඒ නිසාම ඒවායේ වැරදි තිබේ නම් ඔප්පු කළ පෙන්විය හැකි ය. සමහර සොයාගැනීම් පසු කලෙක නිශ්ප්‍රභා වෙන්නේ ඒ නිසා ය.

ඒත් අවිද්‍යාව නම් කිසි කලෙක නිශ්ප්‍රභා කළ නොහැකි ය. විද්‍යාව අභිබවන්නට අවිද්‍යාවට හැකි ව තිබෙන්නේත් ඊනියා විද්‍යාර්ථින්ගේ මනසේ ආධිපත්‍ය ගන්නට අවිද්‍යාවට හැකිව තිබෙන්නේත් ඒ නිසා ය.

ඊට අමතරව විද්‍යාව පැරදෙනු දකින්නට බොහෝ දෙනෙක් කැමති ය. ඒ ඔවුන් තුළ අරුමයට පුදුමයට ඇති ආසාව නිසා ය. හොල්මන්වලට බය මිනිස්සු පවා හොල්මන් කතා අහන්නට කැමති ඒ නිසා ය.

අවිද්‍යාවත් එක්ක හැප්පෙන්නට විද්‍යාවට තව බොහෝ කල් යනු ඇත්තේ ය. එතෙක් මෝඩයින්ට අවිද්‍යාෙවන් මත් වී සොමියේ සිටිය හැකි ය.

සැනසීමට කරුණ නම් අවිද්‍යාව විසින් විද්‍යාව පරාජය කරනු ලැබීම තාවකාලික වීම ය. අවිද්‍යාව පරදවා විද්‍යාව අවසානෙය් ජයගනු ඇත්තේ ය.