ඔය පන්හිඳ දෙන්න තිබුනේ ළමයෙකුට ය.

බෞද්ධ සාහිත්‍ය නිර්මාණය කළ ලේඛක තුමනි,

ඔබගේ සාහිත්‍ය චාරිකාව තුළ වටිනා බොහෝ දේ මුණ ගැහෙන බව හැබෑ ය. එහෙත් සමහර දේ අතිශෝක්තියට නංවන්නට ගොස් ඔබට වැරදී තිබෙන බව ද නොකියා බැරි ය. විශේෂයෙන් අසාමාන්‍ය පෞර්ෂයක් හා බුද්ධියක් තිබූ මිනිසෙකු හාස්කම් වලින් හෙබි දෙවියෙකු කරන්නට ගත් වෑයමෙන් ඔබ ඇති වෙන්නට අනා ගෙන තිබේ. ඉන් නොනැවතී නා ගෙන ද තිබේ.

අංගුලිමාල 999 ක් ජීවිත විනාශ වන තෙක් බලා සිටි බුදුන් ඔහු තම මව මරණ බව දැන ගත් විට සසල වී ඔහු හමුවට වැඩිය බව ඔබ කියන්නේ ය. ඔබ එයින් කියන්නේ 999 ක් සෙසු ජිවිත ජිවිත නොවන බව ද? බුදුන් වහන්සේ එසේ කල්පනා කළ බව ද?

ඔබ විසින් ඇති කළ මේ ප්‍රශ්නය ලිහන්නට ගොස් බෞද්ධ උවැසියන් තව තවත් පඹ ගාලකම පැටලෙන බව ඔබ නොදන්නවා විය හැකි ය. එක් අයෙකුගේ උත්සහයක් වූයේ 999 තමන් පෙර කළ කර්ම විපාක හේතුවෙන් මිය යන්නට සිටි බවත් අංගුලිමාලට පැවරී තිබුනේ ඔවුන්ගේ අලුගොසුවා වීමේ කටයුත්ත බවත් ය. ඒ සමගම ඔවුන් කියා සිටියේ සිදු විය යුතුව තිබූ කෙනෙකුගේ කර්ම විපාකයක් මැඩලීමට බුදුන්ට පවා නොහැකි බව ය. ඒ නිසා මැදිහත් වන්නට බුදුන් උත්සහ නොකළ බව ය.

එහෙම උත්තර දෙන විට තවත් අතුරු ප්‍රශ්න ගණනාවක් මතු වෙයි. එක් ප්‍රශ්නයක් නම් 999ක් මිනිසුන්ගේ කර්ම විපාකය ක්‍රියාත්මක කිරීමේ අලුගෝසුවා හැටියට මේ ආත්මයේ රහත් වන්නට සිටි කෙනෙක් තෝරා ගත්තේ ඇයි ද යන්න ය.

එක එළු දෙනකගේ හිස සිඳ අත් කර ගත් කර්මය නිසා ආත්ම ගණනක් විපාක වින්ද මිනිසුන් සිටි ලෝකයක 999 ක් මිනිසුන් මැරූ අංගුලිමාල එම ආත්මයේම සසරින් එගොඩ වීම විස්තර කරගන්නට අමාරු වීම ද ඊළගට මතුවන ගැටළුව ය. ඒකට තිබෙන උත්තරය අහෝසි කර්ම ය. 999 ක් මරා දැමීම අහෝසි කළ යුතු තරමේ සුළු එකක් ද? ඊළගට එන්නේ අතුරු ප්‍රශ්න ය. අහෝසි වන්නේ පව් විතර ද? 999ක් මැරූ පව අහෝසි වන විට අප කළ දහසකුත් එකකුත් පිනුත් අහෝසි වන්නේ ද?

එක ගැටළුවක් ලිහන්නට ගොස් දිගින් දිගට ගැටළු වල පැටලීමේ ශෝචනීය ඉරණමට මේ සැදැහැවතුන් මුහුණ දී තිබේ. ඔබ ලියද්දී විසඳිය යුතු ව තිබුණු ගැටළු ඔබ කම්මැලි වී මග හැර ගිය නිසා අද ඒවාට උත්තර සොයන්නට වෙන්නේ ඔබේ සැදැහැති පාඨකයන්ට ය.

එක බොරුවක් නිසා මිනිසුන්ට බොරු ගණනාවක් කියන්නට සිදු වෙනවාට අමතරව මුල් බොරුවෙන් ගැලවීමක් ද ලැබීම අපහසු බව බොහෝ දෙනා අත්දැකීමෙන් ම දනිති. ඒ බව බෞද්ධ සාහිත්‍ය ලියන්නට බාර වූ ඔබ දැන සිටියේ නැත.

ඔබ පටන්ගත්තේ බුදුන්ට තම නුවණින් වෙන්නට යන්නේ කුමක් දැයි දැන ගන්නට හැකි වූ බව යන බොරුව කියා ය. ඒ බොරුව නිසා ඔබත් බෞද්ධ සැදැහැතියෝත් යන දෙගොල්ලෝම දැන් අමාරුවේ වැටී සිටිති.

එසේ දැන ගන්නට පුළුවන් වුයේ නම් බුදුන් අංගුලිමාල හමුවට යන්නේ බොහෝ කලින් ය. එහෙත් බුදුන්ට පණිවුඩය ලැබෙන විට 999 ක්ම සමුගෙන තිබුණේ ය. ඒ කාලයේ ඊමේල් නොතිබුණු නිසා පණිවුඩය ලැබෙන්නට ඇත්තේ ස්නේල් (snail) මේල් වලිනි. ඒ නිසාම 999 ක්ම බිලිගන්නකම් බුදුන් අංගුලිමාල ගැන නොදැන සිටියා වන්නට පුළුවන. එහෙම වුනානම් බුදුහාමුදුරුවන් බේරන්නට බොරු කියන්නට ඔබට සිදු වන්නේ නැත.

දැන් ඉතින් බොරු වැලක් කියා වත් මෙයින් ගොඩ එනු බැරි ය. මුසාවාදා වේරමණී කියා සිල් පදයක් පංච ශීලයට එක් කරන්නට ඇත්තේ මේ නිසා ය. ඒත් සම්‍යයක් බොරු යන තව බොරුවකට මුවා වී වැඩ අනාගන්නා බෞද්ධ උපාසික උපාසිකාවන් මෙන්ම ඔබ ද දැන් අනා ගෙන ඇත.

අසාමාන්‍ය පෞර්ෂයක් ද අසම සම බුද්ධියක් ද තිබූ බුදුන් වහන්සේට ඔය එක එක ඥානයන් නොඑල්ලුවාට බැබලෙන්නට ඕනෑ තරම් ගුණාංග තිබුනේ ය. උන්වහන්සේ අතිශෝක්තියට නංවන්නට ගිහින් ඔබ ඇන ගත්තා විතර නම් කමක් නැත. උන්වහන්සේ ද ඒ හරහා හෑල්ලු කර දැමුනේ ය. මට වඩාත් ඔබ සමග අමනාපය ඇත්තේ ඒ නිසා ය.

 

 

Advertisements

අපේ හාමුදුරුවනේ, මුන් ධර්ම චක්‍රයෙන් කොකිස් හදලා

ධර්ම චක්‍රයක් විදිහට පෙ15442164_1834305606853825_6241016168056098986_nනෙන සේ සකස් කරන ලද පිටි ඇනුම ගැඹුරු නටන තෙල් තාච්චියක දමා බදින්නේ මොන හිතකින් ද යනු මට හිතා ගන්නටත් බැරි ය.

අපි හිතුවාට කොකිස් දේශීය කෑමක් නොවේ. එය ලන්දේසි කෑමකි. ඒ අරුතෙන් ධර්ම චක්‍රය තෙලේ බදින්නට සලස්වා ඇත්තේ ලන්දේසීන් ය. බුදු රුවක් වෙනුවට ධර්ම චක්‍රය යොදා ගෙන ඇත්තේ අපහාසය කෙළින් නැතුව වක්‍රව කරන්නට ය.

තෙලේ බැද්දාට අමතරව අප ලවා ම එය හපා කෑමට සැලැස්වීමට ද මේ උන්දැලා සමත් විය. හිතට වඩාත් අමාරු එය සිංහල අවුරුදු මේසයට ද රිංගවා දේශීය කිරීම ය. වසරක් පාසා අපට ම කැවීමට සැලැස්වීම ය. මේ සියල්ල විමසන විට මේ කුමන්ත්‍රණය කොතරම් සූක්ෂම විදිහට සැලසුම් කර ඇත් දැයි සිතා ගත හැකි ය.

සපත්තුවක ගසා ඇති නාවික සුක්කානමක් ධර්ම චක්‍රය ලෙස හඳුනාගැනීමට උත්සහ කරන භික්ෂූන් සිටින රටක  මේ කොකිස් කුමන්ත්‍රණය ඒ උන්නාසේලාට පවා තේරුම් නොයෑමෙන් පෙනෙන්නේ එය කොතරම් සූක්ෂම ලෙස සැලසුම් කර ඇති බව නොවේ ද?

download

දැන් වත් සිවුරු හමුදාව හෝ බොදු බලය හෝ රාවණා අවතාරය හෝ මේ පිළිබඳව මැදිහත් වුනොත් හොඳ ය. ඊළග සිංහල අවුරුද්දට පෙර ඒ අය රැස්වී මේ ගැන තීරණයක් ගෙන අපට දන්වනවා නම් හොඳ ය. නැතිනම් 2017 අපට ද ගුටි කන්නට හදිසියේ සිදු වුනොත් කියලා දැනට ම බියක් දැනේ.

මම නම් අපේ හාමිනේට කිව්වේ ඩෙංගු හැදෙන තැන් බලන එකේ ධර්ම චක්‍රය වගේ පේන ඒවා හරි හමන් තැන් වල තබා තියෙනවා ද කියලා බලන්නට කියා ය. ඩෙංගු හැදෙන මොකක් හරි තිබුනොත් දඩයක් ගෙවා බේරෙන්නට පුලුවන. එහෙත් ධර්ම චක්‍රයට අපහාසයක් වී තිබුනොත් ගමේ ඉඳලාත් හමාර ය.

සමහරු නම් කියන්නේ හාමුදුරුවන් ගමෙන් එලියට අඩිය තබා නැති නිසා නැවක සුක්කානමක් දැක නැති වීම පසුගිය දොහක සාප්පුවක ඇති වූ කලබැගෑනියට හේතුව බව ය. මට නම් හිතෙන්නේ පරක්කු වෙලා හරි ධර්ම චක්‍රය සුක්කානමකට යෙදීමේ කුමන්ත්‍රණය සොයා ගැනීමට අපේ හාමුදුරුවන්ට පුලුවන් වුනේ ම ඒ නිසා බව ය. පළමුවෙන් එය සුක්කානමකට ගන්නට ඇත්තේ පස්සේ කාලෙක සපත්තුවට යෙදීමේ අරමුණ ඇතිව වෙන්නට බැරි ද? අප නිතර කන අපේ දේශීය කෑමක් යයි අපි හිතන කොකිස් වගේම ඕකත් අහු නොවී යන්නට ඉඩ තිබුනේ ය. එහෙම බැලුවහම හාමුදුරුවන් ලෝකය ගැන නොදැන සිටීම හොඳ ය. ගමෙන් එහා දෙයක් නොදැක තිබීම වඩාත් හොඳ ය. බුද්ධාගම බේරා ගැනීමේ මාවත වැටී තිබෙන්නේ නොදැනුම හරහාය යන රුවන් වැකිය ඒ අනුව අප නිතර නිතර සිහිපත් කළ යුතු ය. අප ඉන්නා හතර මායිමෙන් එහාට අප ජිවත් වන කොදෙව්වෙන් එහාට හිත හෝ ඇස යොමු නොකළ යුතු ය.

මහෞෂධ පඩිතුමනි – ඔබටයි මේ ආරාධනා..

මහෞෂධ පඩිතුමනි

ඔබ කුමක්දෝ දණ්ඩක් සමග උපන් බව කියන උම්මග්ග ජාතකය මම කියවූවෙමි. ඒ දණ්ඩේ කතාවෙන්ම කියවුනේ ඔබේ ජාතකය පවා ඉහළ බව ය. ඔබ උත්පත්තියේ සිට ම නුවණින් ආඪ්‍ය බව ය. සේනක නම් ඊනියා පඩිවරයා ඉදිරියේ ඔහු හිරු දුටු කදෝ පැණියක් කිරීමට ඔබ සමත් වූ බව ය. ඔබව නිර්මාණය කළ ඒ කතා කාරයා දක්ෂයෙකි.

ගුරුවරුන්ට ද අකුරු වරදිතැයි කියන කියමන සැබෑ කරමින් ඔහු ඇණ ගන්නේ ඔබට අමරා දේවිය මුණ ගස් වන තැනේ දී ය. සස්වාමික ද අස්වාමික දැයි අසා දැනගැනීමෙන් පසු ඔබ කළ කී දෑ මිනිහෙකුට තරම් නොවන බව විපරමින් බලන මට නම් පෙනේ.

හාල් පතක්‌ (හුණ්‌ඩුවක්‌) ගෙනැවිත්දි එයින් කිරිබතක්‌ හා අග්ගලා හදා තබන්නැයි ඔබ ඇයට නියෝග කළේය. අමරා දේවිය ඒ දෙකම ඉටුකර තැබීය. අහර මුවගට ගත් සැනින් රස නහර පිනා ගියත් ඒවා නීරසයෑයි චෝදනා කොට ඉවත ලෑවේය. මා අසා ඇති කතාවේ හැටියට ඒ නිකම් නොවේ. ඒ ආහාර අඹරා සදාගත් තලපයක් හිස සිට දෙපතුළ දක්වා ගා අව්වේ ඉන්නැයි නියෝග ද කරමිනි. අමරාදේවිය ඒ සියල්ල ඉවසුවාය.

ඒ කතාවට අනුව ඔබ සොයා ඇත්තේ ඔබ හා දිවි මග යෑමට ඔබට ද උදව් කළ හැකි ගමන් සගයෙක් නොවේ. අතිශය දීන වහලියකි.

ඔබේ අධිමානය සහිත ඒ චර හැසිරීම ඉදිරියේ මුණිවත රැකීම ගැහැණියක සතු උදාර ගුණයක් ලෙස කවුරු කල්පනා කළ ද මට නම් හිතෙන්නේ එය දීන කමක් බව ය. නිවට කමක් බව ය.

තමන්ගේ අයිතිය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් නැගී සිටීමට අසමත් කෙනෙක් පසුබානා කෙනෙක් සහකාරිය හැටියට තෝරාගැනීම තුළ මේ කතා කාරයා ඔබ පිළිබඳව අඳින චිත්‍රය නුවණක්කාරයාගේ චිත්‍රයක් ලෙස මට නම් ගත නොහැකි ය.

කතාකරුවා මේ සිද්ධියේ දී ඔබ පින්තාරු කර ඇත්තේ එක් පැත්තකින් බොරු කාරයෙකු ලෙස ය. අහර රස නහර පිනා යෑමට සමත් වූයේ වුව ද එසේ නැතැයි කියමින් ඔබ ලවා ඔහු බොරු කියවන්නේ ය. ඊලගට ඔහු ඔබ සිත්තම් කරන්නේ අමානුෂික හිංසකයෙකු ලෙස ය. ඔබේ උපදෙස් අනුව ඇයට හැකි ඉහළින් අයුරින් නිපදවන ලද ආහාර ප්‍රතික්ෂේප කරමින් නොනැවතී ඒවා ඇගේ ගල්වා අව්ව තපින්නට අමරාට ඔබ කියන විට මට දැනෙන්නේ 21 සියවසේ සරසවියක සිදු වන නවක වදය ඒ කාලයේ ද සිදු ව ඇති බව කි. නුවණක්කාරයෙකු බොරු කාරයෙකු වී අවසානයේ හිංසකයෙකු බවට පත්වන විට ඒ නුවණ ගැන මට ඇතිවන්නේ සැකයකි. සරසවික නවක වදය දෙන ජේෂ්ඨ උත්තමයන්ගේ නුවණ ගැන ඇතිවන සැකයට සමාන සැකයකි.

මේ කතාවේ අමරා දේවියට, ඔබට හා කතුවරයාට බරපතල ලෙස වැරදී තිබේ. ඒ ඓතිහාසික වැරැද්ද දැන්වත් නිවැරදි කළ යුතු ය. මේ මියගිය අතීතය හාරා ඇවිස්සුවේ ඒ සඳහා ය.

එසේ නොකළොත් වන්නේ බෞද්ධ සාහිත්‍ය බුදුන්ගේ දර්ශනය හෝ බුදුන්ගේම වචනය ලෙස ගන්නා අපේ උපාසක උපාසිකාවන් විසින් දීනත්වය ශ්‍රේෂ්ඨත්වයට නැංවිය හැකි නිසා ය. හිංසනය අමන කමක් නොව උද්දාමයට කරුණක් ලෙස ගත හැකි නිසා ය. බොරු කියන්නේ ගැහැණියක් පරීක්ෂා කිරීමට නම් එය මුසාවාදයක් නොවේ යැයි සිතිය හැකි නිසා ය.

මහෞෂධ පණ්ඩිතයෙනි, ඒ නිසා ඔබ දැන්වත් කතා කළ යුතු ය. ඔබ ඇත්තටම අර කී අපරාධය කළේ නම් පාපෝච්චාරණයක් කොට සමාව ගත යුතු ය. අමරා දේවියගෙන් පමණක් නොව ගැහැණු සංහතියෙන්ම සමාව ගත යුතු ය. කතුවරයා ඔහුගේ මනස්ගාත තහවුරු කර ගැනීමට ඔබව පාවිච්චි කළේ නම් ඒ බව ලෝකයට කියා දැන්වත් ඔබ නිදහස් විය යුතු ය.

ප්‍රශ්නය ඇත්තේ යුක්තිය පමා වීම ගැන නොවේ. මෙය තවම ඉටු නොවීම ගැන ය. දැන් ඊට කාලය යි.

 

දෙව්දත්ට ලියුමක්

පළමුවෙන්ම ඔබට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේ දැයි නොදැන මා අතරමං ව සිිටි බව කිව යුතු ය. ඒ ගැටළුව ඇති වූයේ දේවදත්ත කුමාරයා ලෙස ද දෙව්දත් හිමියන් ලෙස ද දේවදත්තයා ලෙස ද ඔබව දක්වා ඇති නිසා ය. සසර පුරා ඇදී ගිය ඔබගේ පාපතර දිවිය නිසා ගරු නම්බු දීමට බැරි ය. ආනන්තරීය පාපකර්මයක් කර ආපායේ ගිය නමුදු ඔබ ද මතු බුදුවන බවට අසා ඇති නිසා දෙකේ කොළයට දමා කතා කරන්නට ද බැරි ය. මා ගැටළුවකට මැදි කළේ ඒ මහා පරස්පරය ය.

සාහිත්‍යයේ සඳහන් වන ලෙස ඔබට තිබිය හැක්කේ අප ඉරිසියාවෙන් පුරවන අපූරු වාසනාවන්ත ගුණයකි. මතු බුදුවන බෝධිසත්ත්වයන්ට එකක් හැර එකක් මුදා හල නපුරුකම් තිබිය දීම ඔහු සමග නැවත නැවතත් ඔය දුර්ලබ යයි අපේ හාමුදුරුවන් කියන මිනිස් ආත්මයක් ද ඇති ව උපදින්නටත් බෝධිසත්තවයන් තිරිසන් ආත්මයකට පහළ බැස ගත් විට ඔබට ද ඔහු අනුව යමින් තිරිසන් ආත්මයක් ලබා ගැනීමට හැකි වීමත් නිසා ඔබ අපූරු වාසනාවන්තයෙකු ලෙස ම හිතන්නට අපට සිදු ව තිබේ. එහි උත්කර්ෂය සනිටුහන් වන්නේ අප මහා බෝධිසත්වයන් බුදුවන ආත්මයේ ම එතුමාගේ ඇඹේනිය බවට පත් වන යසෝදරා කුමරුන්ගේ සොහොයුරා වන්නට ද ඔබ පින් ලබා තිබීම ය.

එවැනි පිනක් ලැබීමට ඔබ කළේ කුමක් දැයි අපට හිතාගන්නටවත් බැරි ය. එහෙත් එවැනි පිනක් දහමක් නොකර එවැනි වාසනාවන්ත තත්වයක් ඇති කර ගැනීමට අපහසු බව මොකක් හෝ හේතුවක් නිසා අපට හැගෙන්නේ ය. කවරෙකු විසින් හෝ අපට දැනගන්නට බැරි වන ලෙස සගවා තිබෙන ඔබේ පින් දහම් කවරේ දැයි දැන ගැනීමේ පිපාසාවක් මට තිබේ. එහෙත් එයට ඉගියක් වත් මා ඇසුරු කළ පොත පතේ වත් මා ඇසූ අනේක ධර්ම දේශණා වල වත් තිබුනේ නැත. මා මේ ලිපිය ලියූ එක් හේතුවක් වන්නේ ඒවා කවරේදැයි ඔබගෙන්ම අසා දැනගන්නට ය.

සසුන රැක ගැනීමට දැඩි විනය නීති පනවා භික්ෂූන් හික්මවිය යුතු යැයි කියමින් බුදුන්ටත් වඩා බුදු කෙනෙකු වීමට ඔබ දැරූ උත්සහය අපට සිහි ගන්වන්නේ වත්මන දකින්නට ලැබෙන බහුතරයක් භික්ෂූන් වහන්සේලා ය. ගිරිය කඩා ගෙන කෑ ගසන දෙමළුන් කොටීන් කර උස්සා පොළොවේ ගසන බුදුන්ටත් වඩා ඉදිරියට යමින් බුදු දහම රැක ගන්නට කැස කවන නූතන සග පරපුර ය. එහෙම බලන විට අපට පෙනෙන්නේ බුදුන්ගේ අනුගාමිකයන්ට වඩා ඔබේ අනුගාමිකයන් අපේ සසුන තුළ ඉන්නා බව ය.

නිර්මාංශව සිටිය යුතු බව ට ඔබ ගෙනා සිල්පදය බුදුන් බැහැර කළ බව සඳහන් වෙතත් එය නැවතත් ඉහළට ඔසවා තබන, විශේෂයෙන් ගව මස් සම්බන්ධයෙන් සුවිශේෂ සිල්පදයක් සමග නැවත දොරට වඩින, එය ස්වාමීන්වහන්සේලා විසින් පමණක් නොව ගිහියන් ද අනුගමනය කළ යුතු බවට දෙසන, ඒ සංඝරත්නයෙන් පෙන්නුම් කරන්නේ ඔබේ නැවත ආගමනය ඔබ අවිචී නිරයෙන් නික්මෙන්නටත් පෙර සිදු ව ඇති බව ය.

අප අසා ඇති හැම කතාවකම බුදුන් හා අවසානය වෙනතෙක් ෆයිට් එකක් දීමට ඔබට වූ හැකියාව නිසි ලෙස අගැයීමට ලක් නොවීම ද පුදුම ය. සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බුදු වරයෙකුට එරෙහිව එවැනි සටනක් දීමට පව් වල ප්‍රතිමුර්තිය වූ ඔබට හැකි වීම ම අති විශාල ජයක් ලෙස මම නම් සළකමි. මා ඔබට මේ ලියුම ලියන්නට දෙවැනි හේතුව මේ හයිය ඔබ ලබා ගත්තේ කුමන් බලවේගයෙන් ද යන්න දැන ගැනීමට ය. අප හිතුවාට එය කර්ම ශක්තිය නම් නොවිය හැකි නිසා ය.

මේ ලිපිය අවිචියට ගෙන යෑමට සමත් භික්ෂුන් ගණනාවක් ම ශ්‍රී ලංකාව තුළ සිටීම මා ලැබූ වාසනාවකි. එයින් කෙනෙකු අතේ මේ ලියුම ඔබට ලැබිය හැකි ලෙස අන්තර්ජාලයට මම මුදාහරින්නෙමි. අපායේ ඉන්ටර්වල් ලැබුනු වෙලාවක ඔබ මට උත්තරයක් එවනු ඇතැයි අපේක්ෂා කරමි.

(ප.ලි. – හැම වීරයෙකුම උපත ලබන්නේ දුෂ්ඨයෙකුගේ ආධාරය ඇතුව ය. එහෙම බැලුවහම ඔබ බෝධිසත්ත්වයන් ට දී ඇත්තේ අතිශයින් වටනා බකප් එකකි. සමහර විට ඊනියා කර්ම බලවේගය ඒ ගැන අගැයීමක් කරමින් ඔබව නැවත නැවතත් බෝධිසත්ත්වයන් සමගම උත්පත්තිය ලබන්නට ඉඩ හසර ලබා දුන්නා විය හැකි ය. ඒ මගේ අනුමානය ය. ඔබේ උත්තරය මට ඒ අනුමානය තහවුරු කර ගැනීමට හෝ ඉවත ලෑමට අවස්ථාව සලසන බැවින් අතිශයින් වැදගත් ය. ඒ නිසා හැරෙන තැපෑලෙන් උත්තර එව්වොත් ඔබට පින් සිද්ධ වෙනවා ය. දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනට ඒ පින් හේතු වේවා වාසනා වේවා යයි මම අවසාන වශයෙන් පතමි.)