දේවාලයට යතත් අපට දෙවියන් හමු නොවේ. හමුවන්නේ එතුමාගේ නියෝජිතයා ය. ඒ කියන්නේ කපු මහත්තයා ය. සාමාන්‍යයෙන් බොහෝ නියෝජිතයන් නියෝජනය කරන තැනැත්තාට වඩා රැස්පොට් ය. ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු පමණක් නොව වෙනත් නිලතල නියෝජනය කරන්නන් පවා එසේ ය. කන්තෝරුවේ පියන් – දැන්නම් සිකියුරිටි ගාඩ් – නිලධාරියාට වඩා ගණන් ය. කපුවා එසේ නොවිය යුත්තේ ඇයි?
දෙවාලයක කිසියම් දෙයක් නැති වුනොත් කපුවා පොලීසියට යන නමුත් අපේ මොකක් හරි නැති වුනහම දෙයියන්ගේ උදව් බලා ගෙන අප යන්නේ මේ කියන කපු මහත්තයා ලඟට ය.
ඒ අපේ හිතේ කොතැනක හෝ පොලීසියට වඩා දෙවියන් බලවත් යැයි ලියා තිබෙන නිසා ය. එය කවදා කවුරු ලිව්වාදැයි මතක නැතත් එය මකන්නට බැරි ලෙස ලියා තිබෙන නිසා ය.
හොරකමක් වුනහම ඉස්සෙල්ලම දේවාලයට දුවන්නේ හොරකම් කළ එකා ය. ඒ දෙවියන් ඉදිරියේ දනින් වැටී කපු මහත්තයට ද පංගුව දී පොලීසියෙන් බේරා දෙන ලෙස ඉල්ලන්නට ය.
ඊළගට දේවාලයට යන්නේ හොරකමට ලක් වූ පුද්ගලයා ය. නැතිවූ බඩුව කෙසේ හෝ සොයා දෙන ලෙස කරන ඉල්ලීමක් ද ඇතිව ය. හොඳට බැලුවොත් ඒ ඉතින් ඉතිරි ටිකත් නැති කරගන්නට ය.
හොරකම් කළ තැනැත්තාත් ඊට ලක්වූ තැනැත්තාත් යන දෙන්නාම දෙවියන්ගේ ගෝලයෝ ය. උදේ හවස පහන් තියන්නෝ ය. දෙවියනට වඳින්නෝ ය. කපු මහත්තයාත් දේවාලයත් කොටින්ම කිව්වොත් දෙවියනුත් නඩත්තු කරන්නෝ ය. ඉදින් දෙවියන් කළ යුත්තේ කුමක් ද?
දෙවියන්ට දැන් නම් උභතෝකෝටියකටත් එහා ප්‍රශ්නයක් ඉතිරි වන්නේ ය. මේ දෙන්නාගේම දුක් ගැනවිල්ල සාධාරණ ය. එකෙක්ට අහුවීමේ බය ය. අනෙකාට අහිමි වීමේ දුක ය. කොටින්ම දෙකම දුක හිතෙන ඒවා ය.
දෙවියන්ගේ තීන්දුව කුමක් වනු ඇත් ද?
ඒක නම් දන්නේ දෙවියන්ම පමණකි.
මේක දෙවියන්ගෙන් අසා දැනගන්නට පුලුවන් අයෙක් වේ නම් ඒ සැනින් අපටත් පයිණ්ඩයක් එවනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.
හැබැයි අප සහසුද්දෙන් දන්නා එකක් තිබේ. ඒ හොරාගේත් හොරකම් කරනු ලැබු තැනැත්තාගේත් දුක්ගැනිවිලි දෙකම අත යට ගාණක් තිබ්බහම කිසිදු පැකිලීමකින් තොරව කපු මහත්තයා දෙවියන්ට දන්වන බව ය.
ඊට පස්සෙ වෙන දේ ගැන කපු මහත්තයා වගකියන්නේ නැත. කිසි දෙයක් ගැන කිසි කෙනෙක් වග නොකියන රටක කපු මහත්තයා පමණක් ප්‍රතිඵල ගැන වගකිව යුතු යැයි කියන්නට කාටවත් අයිතියක් ද නැත.