විද්වතුන්ගේ ඡන්ද ගුණ්ඩු

 

දින දෙකක් ඇතුළත විද්වතුන් මෙහෙය වූ සම්මන්ත්‍රණ දෙකකට නිරාවරණය වීමි. ඒ සම්මන්ත්‍රණ දෙකේම අපේක්ෂාව වී තිබුනේ ජාතික ප්‍රතිපත්තියක් එලි දැක්වීම ය. ඉන් එකක් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන විට අනෙක ජාතික ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලැබීය. මේ සංවිධාන දෙකම තමන්ගේ සම්මන්ත්‍රණය සඳහා සම්මත දේශපාලනඥයන් වැද්දා ගෙන තිබුනේ නැත. එකක් පැවතියේ මාලඹේ රාහුල මහා විද්‍යාලයේ ය. අනෙක නව රඟහලේ ය. ඒ රැස්වීම් දෙක පැවැත්වූ ශාලාවන් ප්‍රමාණයෙන් තරමක් වෙනස් වුව ද රැස්විම් දෙක සඳහා ම ඒ ඒ ශාලා පිරෙන්නට සෙනඟ රැස් වී සිටිය බව පෙනුනේ ය. එකක් තිබුනේ ජුනි 30 ඉරිදා ය. අනෙක ජූලි 1 සඳුදා ය. එකකට පසු එකක් වශයෙන් ළඟ ළඟ ය.

මේ රැස්වීම් සඳහා පැමිණි සෙනඟ දේශපාලන පක්ෂ තම හෙංචයියන් රැස් කරන ක්‍රමයට එකතු කරන ලද අය නොවීම ද විශේෂයකි. ඔවුන් බොහෝ දෙනෙකු එන්නට ඇත්තේ සම්ප්‍රදායික දේශපාලනඥයින් කෙරෙහි ඇති ව තිබෙන කලකිරිම නිසා විය හැකි ය. ඒ හැම දෙනෙකුම රටට නස්පැත්තියක් වි ඇති බව පිළිගන්නා පිරිසකි. ඒ සඳහා යමක් කළ යුතු බව පිළිගන්නා පිරිසකි.

එහෙත් මේ නස්පැත්තිය සිදු ව ඇත්තේ කුමක් නිසා ද? එයින් ගොඩ ඒම සඳහා කළ යුත්තේ කුමක් ද?  යන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් තුළ ඒකමතිත්වයක් තිබේ ද යන්න සැක සහිත ය. ඒ සඳහා ගන්නා උත්සහයන් තුළ ඔවුන් විසිරෙන්නට ඇති අවදානමක් ඒ නිසා ම තිබේ.

සංවිධායකයන් මේ අවදානමෙන් බේරි ඇත්තේ අතිශයින් අහිංසක ප්‍රතිපත්ති ස්වල්පයක් ප්‍රකාශයට පත් කිරීමෙනි. ආන්දෝලනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් මුණිවත රැකීමෙනි. ඒවා මතු නොකිරීමට ප්‍රවේසම් වීමෙනි.

අපි උදාහරණයක් ගෙන විමසන්නට බලමු. මේ රට කෘෂිකාර්මික ආර්ථිකයක් මත පදනම් ව දියුණු කරන්නට ජාතික ජනතා ව්‍යාපාරය ශපථ කර සිටින්නේ ය. එය ජනතාව ආකර්ෂණය කර ගත හැකි කතාවකි. සටන් පාඨයකි.

එසේ කිරිම කොතරම් අභියෝගාත්මක ද? අපේ ජාතික ආර්ථිකයට මේ වන විට කෘෂිකර්මයේ දායකත්වය සියයට හතකි. එහෙත් ඒ තුළ නියැලි සිටින ශ්‍රම බලකාය වැඩකරන වයසේ ජනගහණයෙන් තුනෙන් එකකට ආසන්න ය. සියයට තිහක් එක් වි සියයට හතක් නිපදවන විට එයින් අදහස් කරන්නේ ඵලදායිකත්වය අතිශයින් දුර්වල ක්ෂේත්‍රය කෘෂිකර්මාන්තය විය හැකි බව ය.

මේ ජාතික ජනතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුරක්ෂිත වෙළඳ පොලක් බිහි කිරීම රටට අතින් කයිට් වෙන තවත් සුභ සිහිනයක් පමණකි. අද අවශ්‍ය වන්නේ විදෙස් වලින් එන කෘෂි ආනයනයන් තහනම් කිරීම හරහා සහ සහතික මිලක් ඇති කිරීම හරහා ඵලදායී නැති කෘෂිකර්මයකට මුක්කු ගැසීම නොවේ. කෘෂිකර්මයට මුක්කු නැතිව තනිව නැගී සිටිය හැකි තත්වයක් උදා කර දීම ය.

කෘෂිකර්මයේ අභියෝග

කෘෂි ආර්ථිකයට ඇති අභියෝග කිහිපයකි. එකක් දැනට කෘෂි ආර්ථිකය ලෙස පවතින්නේ අතිශය දුර්වල යැපුම් කෘෂිකර්මයක් වීම ය. මෙහි නියැලෙන්නන් බොහෝ විට කරන්නේ තමන් සතුව ඇති හෝ ආණ්ඩුවේ කැලෑවක් එලිකර ගෙන ලබා ගත් හෝ කුඩා ඉඩමක තමන්ට අවශ්‍ය ආහාර භෝග වගා කර ගැනිම ය. එයින් කොටසක් පරිභෝජනයට ගෙන ඉතිරිය විකුණා ගෙන ජිවිතය යම්තම් ගෙවා ගැනිම ය. කෘෂි ආර්ථිකය යැපුම් මට්ටමෙන් ඉහළට ගෙන යන්නේ නැතිව එය රටේ ආර්ථික පදනම ලෙස ගොඩ නැගිය නොහැකි ය. ඒ සඳහා ආර්ථික භෝග, විදේශ වෙළඳ පොළ ඉලක්ක කරගත් ආර්ථික භෝග නිපදවිය යුතු ය.

මේ යැපුම් කෘෂිකර්මය තුළ දිවි ගෙවන බොහෝ දෙනෙකු ඇත්තට ම යැපෙන්නේ සහනාධාර හෝ වෙනත් ක්ෂේත්‍රයන් තුළ කරන තාවකාලික රැකියා නිසා ය. නැත්නම් පවුලේ කෙනෙකු මැද පෙරදිග හෝ වෙනත් රටකට ගොස් එවනු ලබන සොච්චම් මුදල නිසා ය.

ඔවුන්ට ඇති අභියෝග කෙළවරක් නැත. එකක් කාලගුණය ය. නිසි කලට වැසි නොලැබීම ය. කෘෂිකර්මය වෙනුවෙන් ම කැලෑ කැපීම නිසා සිදු ව ඇති වන හානිය දරුණු ය. ඒ නිසා ම ජලාශ වල ධාරා ප්‍රදේශයන්ට වැටෙන වැහි වතුර ඉක්මණින් ගලා යෑම නිසා ජලාශ ඉක්මණින් හිඳී යන තත්වයක් ද උද්ගත ව තිබේ. ඒ ගෝලීය උණුසුම නිසා වෙනස් වන දේශගුණය හා කාලගුණය විසින් අමතරව බැට කන අතරේ ය. අනෙක් අභියෝගය වල් සතුන්ගේ ය. කැළෑ අහිමිවීම නිසා සිය ආහාර මාර්ගයන් වසා දමනු ලැබූ වල් සතුන්ගේ ය. අලියාගේ සිට දඩු ලේනා දක්වා සියලු  සතුන් විසින් කරන්නේ වගාවට හතුරුකම් ය.

ඵලදායී නොවන යැපුම් කෘෂිකර්මය සඳහා දැන් යොදා ගෙන ඇති ඉඩම් වලින් කොටසක් නැවත වන වගාව සඳහා මුදා හළ යුතු ය. ඒ සඳහා යැපුම් කෘෂිකර්මයෙන් යාන්තමට දිවි ගැට ගසා ගන්නා මිනිසුන්ට නගරයේ රැකියා විවෘත කර ඔවුන් අවශෝෂණය කර ගත හැකි වන පරිදි නගර දියුණු විය යුතු ය.

ඊළගට කෘෂිකර්මයට තිබෙන අභියෝගය ඉහළ යන ඩොලරය ය. එය බලපාන්නේ ශ්‍රමය හැරුණු කොට කෘෂි ආර්ථිකයට අවශ්‍ය සියලු ආම්පන්න හා ද්‍රව්‍ය ගෙනෙනු ලබන්නේ පිටරටින් නිසා ය. ආණ්ඩුව ලවා පිටරටින් එන කෘෂි නිශ්පාදනයන්ට පනවන බදු නොවන්නට මේ අය නිපදවන සහල් ද ඇතුළු බොහෝ දේ පිටරටින් වඩා ලාබයට ගෙන්විය හැකි ය.

කුඩා ඉඩම් සමග හැප්පීම

ඵලදායී කෘෂිකර්මයකට අවශ්‍ය වටපිටාව රටේ නැත. එය කුඩා ඉඩම් වල වගා කටයුතු කිරීමෙන් තවදුරටත් ඉටු කළ නොහැකි ය. ජනපද ඉඩම් ආයෝජකයන්ට විකිණිය හැකි වන සේ සකස් කරන ලද විප්ලවකාරී ඉඩම් ප්‍රතිසංස්කරණයන් නැතිව මෙය ඉටු කිරීම අමාරු ය. එවැනි විවාදාත්මක කරුණු මග හැරීමට ඒ නිසා වග බලා ගැනීම හොඳ ය. නගරයේ ආර්ථිකයට වඩ වඩාත් ගමේ තරුණ තරුණියන් අවශෝෂණය කර ගැනීමෙන් තොරව, ඒ හරහා ගම්වල ඉඩම් ආයෝජකයන්ට මිල දී ගත හැකි තත්වයක් නිර්මාණය කිරීමෙන් තොරව, ඉඩම් අයිතියේ වෙනසක් සිදු කළ නොහැකි ය.

ඊට වඩා ලස්සණ කවදාවත් වැඩ නොකරන සෝවියට් දේශයට හෝ චීනයට පවා කර ගත නොහැකි වූ සමූපකාර ක්‍රමය හඳුන්වා දීම හරහා බොරු බලාපොරොත්තුවක් දීම ය. ආයෝජකයන්ට ගැමියන්ගේ ඉඩම් බාර දීම ප්‍රතිගාමී වනවිට කිසිදා අප රටේ ගොවිතැන සඳහා අත්හදා බලා නැති සමූපකාරය, සමාජවාදි රජයන් දෙකකට ම කරගන්නට නොහැකි වූ බව වුවමනාවෙන් අමතක කර වමාරන එක ආකර්ෂණීය ය. ප්‍රතිපත්ති ප්‍රකාශණ දෙකේම ඒ ගැන කියවෙන්නේ ඒ නිසා විය යුතු ය. නොකෙරෙන වෙදකම්වලට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් මදි ය. තව ටිකක් ඕනෑ ය.

කෘෂි ආර්ථිකය දියුණු කිරීමට ආර්ථිකයේ සෙසු අංශ තුළ බලවත් පෙරලියක් නොකර බැරි ය. ඒ නිසා ම කෘෂි ආර්ථිකය මත පදනම් වූ ආර්ථිකයක් යනු ආකර්ෂණීය සටන් පාඨයක් මිස කිසිදා සාර්ථක කළ නොහැකි දෙයකි.

වෙනසක් පතන බොහෝ දෙනෙකුට තමන් පතන වෙනස කුමක් දැයි අවබෝධයක් නැත. ඒ නිසා තමන් සිතන ආකාරයේ යම් වෙනසක් වෙනුවෙන් අවංකව පෙනි සිටිතැයි ඔවුන් සිතන කෙනෙකු සමග ගාල් විමට ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් නැත.

ඇතැම් විට වෙනස කුමක් ද යන්න ගැන අවබෝධයක් ඇති අය පවා ඒ පතන වෙනස්කම් මේ මහ පොළොව තුළ සාක්ෂාත් කර ගත හැකි ද යන්න ගැන හරි හමන් වැටහිමක් නැත. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව වැටහීමක් ද නැත. එසේ වැටහීමක් ඇතැයි සිතන අය සමග ගාල්වීමට ද ඒ නිසා මේ අයට ද ප්‍රශ්නයක් නැත.

ඇස් බැන්දුම්

අද වනවිට රටේ නව බලමුළු සකස් වෙමින් තිබෙන්නේ මේ ආකාරයට ය. මේ සියල්ල ඊනියා විද්වතුන්ගේ වැඩ ය. ඇස් බැන්දුම් ය. ඇතැම් විට යහපත් චේතනාවෙන් කරන මැදිහත් වීම් ය. යහපත් චේතනා වලින් පමණක් රටක් ගොඩ නැගිය නොහැකි ය. ඒ සඳහා රට පිළිබඳව පමණක් නොව, තමන්ගේ පෞද්ගලික සිහින ගැන පමණක් නොව, ලොව තුළ සිදු වන විපර්යාසයන් පිළිබඳව ද දැන ගත යුතු ය. වත්මන් සන්දර්භය තුළ කළ හැක්කේ කුමක් ද නොකළ හැක්කේ කුමක් ද පිළිබඳව ඔවුන් දැන සිටිය යුතු ය. සුන්දර යැයි ඔවුන් විසින් සිතුවේ වුව ද අතීතයේ ජීවිතය නැවත ගොඩනැගිය නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු ය.

ජාතික විද්වත් සංවිධානය කෙතරම් ප්‍රවේසම් වුව ද තමන්ගේ සැබෑ වුවමනාවන් සැඟවීමේලා ද අපොහොසත් බව පෙනෙන්නේ ය. ඒ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ වෛද්‍ය අධ්‍යාපනය රජය විසින් පමණක් සිදු කළ යුතුය යන විශේෂයක් කිරීම හරහා ය. බළලා මල්ලෙන් එලියට පනින්නේ ඒ විදිහට ය. ඔවුන් වගබලා ගන්නේ ජාතියේ අවශ්‍යතාවන් ම නොව තමන් සමග සිටින දේශපාලන බලවේග හා කණ්ඩායම් වල අවශ්‍යතා බව ඔවුන්ට ඒ නිසා ම සැඟවීමට නොහැකි වන්නේ ය.

විචාරාත්මක මනසක් ඇති කෙනෙකුට ඒ ප්‍රතිපත්තිය ප්‍රශ්න ගණනාවක් මතු කරන්නේ ය. ප්‍රධාන ම ප්‍රශ්නය වෛද්‍ය අධ්‍යාපනය පමණක් එසේ විය යුත්තේ මන්ද යන්න ය. වෛද්‍යවරු සුවිශේෂි කොටසක් ද? ඒ කුමක් නිසා ද?

අමතර ප්‍රශ්න රාශියක් ද ඒ සමග ඇතිවේ. අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයක් විය යුත්තේ ඇයි? යමක් රජය විසින් ම කරන තෙක් බලා සිටිය යුත්තේ මන්ද? දැනටමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය නොකරන බොහෝ දෑ පෞද්ගලික අංශය විසින් කෙරේ. ඒ ගැන මේ විද්වතුන් දරණ අස්ථානය කුමක් ද?

එවැනි පටු අස්ථානයන් සමග පුළුල් ජාතික ප්‍රතිපත්ති හැදීමට ඔවුන්ට හැකියාවක් නැත. ඒ වෙනුවට අපට ඇති වන ප්‍රශ්නය වන්නේ, අපට මේ නැගෙන ප්‍රශ්න, ඊනියා විද්වතුන්ට නොහැඟෙන්නේ මන්ද යන්න ය. තමන්ගේ දේශපාලන අරමුණු වලින් ඔවුන් අන්ධ වී ඇති නිසා, මේ වගක් ඔවුන්ට නොපෙනෙන බව, ඒ අනුව අපට නිගමනය කරන්නට සිදු වේ.

ඡන්ද පතන සුන්දර වචන

අවශ්‍ය වන්නේ සුන්දර වචන වලින් එතූ කිසිදා ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රතිපත්ති සමුදායක් නොවේ. මහපොළොවේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මාලාවකි. ඒ සඳහා අවශ්‍ය එක වර්ගයේ අදහස් තිබෙන ටික දෙනෙකු එකතුව වැඩිය ආන්දෝලානාත්මක නොවන කාටත් එකග විය හැකි ප්‍රතිපත්ති මාලාවක් දඩි මුඩියේ හැදීම නොවේ. ප්‍රතිපත්ති සම්පාදනය පහසු කරනු සඳහා ආන්දෝලානාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් රට තුළ ප්‍රබල සංවාදයක් ගොඩ නැගිම ය.

මා දුටු විද්වත් ප්‍රතිපත්ති ප්‍රකාශනයන් දෙකම සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රකාශණ ඉක්ම වන්නේ නැත. එය ඇත්තටම සම්මත මැතිවරණ ප්‍රකාශන වල ම තවත් කාබන් කොපියක් පමණකි.

උදාහරණයක් ලෙස ජාතික විද්වත් සංවිධානය පොදු ප්‍රවාහන මාධ්‍ය ශක්තිමත් කිරීම යටතේ ප්‍රතිපත්ති 6 ක් ඉදිරිපත් කොට ඇත. එකක් ඉලක්කය ගැන සංඛ්‍යා ලේඛන ය. ඒ ඉදිරි වසර තුළ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවලින් 80% ක් පොදු ප්‍රවාහන සේවා මගින් ඉටු කිරීම ගැන ය. දෙවැන්න පිහිටවන ආයතනයක් ගැන ය. ඒ ප්‍රවාහන සේවා සම්බන්ධීකරණය කිරීමට ය. තෙවැන්න දුම්රිය හා බස් කාලසටහන් සම්බන්ධීකරණය කිරීමට ය. එය දෙවැන්නේම තවත් දිගුවක් මිස අලුත් යමක් නොවේ. සිව්වැන්න වෘත්තීය නිපුනතාවය හා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට ය. ඒවා ක්‍රියාත්මක කරන විදිහක් නැත. සමහරවිට ඒ සඳහාත් ආයතනයක් වුවමනා වන්නට ඉඩ ඇත. පස්වැන්න ප්‍රවාහනයේදී සිදුවන හිංසනයන් සම්බන්ධ පැමිණිලි කිරීමට ආයතනයක් පිහිටුවීමට ය. ඒ කියන්නේ තවත් ආයතනයක් එන බව ය. අවසානයට බස් හා දුම්රිය නැවතුම් පොලවල සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ය. ඒවා නඩත්තු කරන්නේ කෙසේ ද පිරිසිදුව පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්නට කතාවක් නැත. ඒකට ද ඇතැම් විට ආයතනයක් තැනිය හැකි ය.

කියන එකක්වත් ආන්දෝලානාත්මක නැත. පුද්ගලික බස් හිමියනට ද ලංගමයට ද දුම්රිය දෙපාර්තමේන්තුවට ද ඒවායේ කළමනාකාරිත්වයට හෝ සේවකයන්ට ද කිසිදු අභියෝගයක් ඒවා තුළ නැත. පොදු ප්‍රවාහන සේවයේ අඩුපාඩු නිසා කරල පැහී ඇති ත්‍රී වීලර් රියැදුරන් ද ඌබර් හා පික්මී සමාගම් හා සහෘදයන් ද කිසි දෙයක් සිදු නොවනු ඇති බවට උපකල්පනය කර හුස්මක් හෙලා ලය සැහැල්ලු කර ගන්නවා ඇත. ඇතැම් විට උඩ පනිමින් ප්‍රීති ඝෝෂා ද පවත්වනු ඇත.

පොදු ප්‍රවාහනය

මේ වෙනස් කම් වලින් පමණක් පොදු ප්‍රවාහනය සේවය හැදිය හැකි වන්නේ වෙනත් රටකින් මිනිසුන් ආනයනය කිරීමෙන් පමණකි. ආයතනම හතරක් පහක් මෙතැනම තිබේ. මෙවැනි ආයතන තවත් සෑහෙන ගණනක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සොයා ගත හැකි වනු ඇත. එහෙත් ඒවා මෙතෙක් නිර්මාණය කර ඇති ආයතනයන්ගෙන් කෙසේ වෙනස් වන්නේ ද ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්න ප්‍රතිපත්ති ප්‍රකාශණයට විෂය වී නැත. ඒ නිසා ම අපට උපකල්පනය කිරීමට සිදු වන්නේ සියල්ල රජය යොදවන මුදලින් කරන බව ය.

ඇත්ත කතාව නම් බොහෝ මිනිසුන් ප්‍රවාහනය සඳහා දැනටමත් සෑහෙන මුදලක් වැය කරන බව ය. ඒ පොදු ප්‍රවාහනයේ අඩුපාඩුකම් නිසා පෞද්ගලික වාහන නඩත්තු කරමින් ය. නැතහොත් ත්‍රී වීලර් භාවිතා කරමින් ය. ඌබර්, පික් මී, වල යමින් ය. කොට කොට යන්නේ නැති, පහසුකම් ඇති, වාඩි වී යා හැකි, වායූ සමීකරණය කර ඇති, බස්රථ තිබේ නම්, ඔවුන් ඒ සඳහා දැනට බස් ගමනකට ගෙවන ගාස්තුවට වඩා බොහෝ සෙයින් ගෙවන්නට වුවත් සූදානම් ය. ඔවුන්ගේ රථ මහපාරින් ඉවත් කර ගත හැකි නම් සෙසු බස් මගීන්ට ද මහපාරේ රස්තියාදු නොවී යා හැකි ය. පවතින ගාස්තු අය කරමින් එය කිරීමට ආණ්ඩුවට හෝ පුද්ගලික බස් හිමියන්ට නොහැකි ය. ඒ එකදු ප්‍රශ්නයක් ගැන වත් බරපතල විවරණයක් නොකර ලස්සණ වචන වලින් එතූ පොරොන්දු වලින් සංග්‍රහ කිරිම දේශපාලනඥයන්ට කෙසේ වුව ද විද්වතුන්ට තරම් නොවන්නේ ය.

විද්වතුන්ගේ අද කාර්ය භාරය වන්නේ දේශපාලනය තමන්ගේ අතට ගැනීම නොවේ. දේශපාලන බලවේගයන්ට මග පෙන්විය හැකි දර්ශනයක් දැක්වීම ය. චර්යාවක් පෙන්විම ය. උන්ගේ නොපනත්කම් වලට අනුගත නොවී සිටීම ය. ඒවාට එරෙහි වීම ය. ඒවා  පිළිබඳ ජනතාව දැනුවත් කොට දේශපාලනඥයන් වෙත පීඩනයක් එල්ල කිරිම ය. ජනතාවට තමන්ගේ අඩුපාඩු පෙන්නා දීම ය. දේශපාලනඥයන් තරමට ම ජනතාව ද මේ තිබෙන තත්වය සම්බන්ධයෙන් වගකිව යුතු බව කියා සිටීම ය.

එහෙත් පෙනෙන්නේ ඔවුන් ද ශෝචනීය ලෙස දේශපාලනඥයන් අනුයන බව ය. විද්වතුන් ලෙසින් පෙනී සිටින්නේ ද තවත් දේශපාලනඥයන් පිරිසක් බව ය. විද්වතුන් කීප දෙනෙක් අද පවතින දුක්ඛදායක තත්වය දඩමීමා කරගෙන දේශපාලනඥයන් බවට රූපාන්තරණය වෙමින් සිටින බව ය.

අතීතයේ දේශපාලනඥයන් බවට රූපාන්තරණය වූ පැරණි විද්වතුන් අවසානයේ නැවතුනේ දේශපාලන ප්‍රතිරූප රැක ගන්නට දර දිය අදින සුවච කීකරු මුර බල්ලන්ගේ තැනට පත්වීමෙන් ය. ඒ අතීත කෙරුවාව දන්නා අපට කියන්නට සිදු වන්නේ ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාවක් උදා වී තිබුන ද එයින් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජන ගැනීම විද්වතුන්ට තරම් නොවන බව ය. බොර දියේ මාළු බාන ගොඩට තවත් කණ්ඩායමක් එක් වීම මාළුවන්ගේ යහපත පිණිස නම් හේතු නොවන බව ය.

 

අවසානයේ ආයුධයක් බවට පත් වූ ඇඳුම

(ඇඳුමේ ප්‍රශ්නය තාවකාලිකව අවසන් ය. එහෙත් එය මතු කළ  දර්ශනය තවම පණ ගැහෙන්නේ ය. මේ ලිපිය ඒ නිසාවෙනි).

දුටුවන් මන බඳින ඇඳුමකින් සැරසී අවසන් ගමන් ගිය ද අප මෙලොවට බිහිවන්නේ ඇඳුම් නැතුව ය. හෙළුවෙන් ය. එය සියල්ලන්ට ම පොදු ධර්මතාවයකි. ආගම, ජාතිය හෝ පරපුර අනුව වෙනස් නොවන එක ම ඇඳුම, ලෝකයට අප නිරාවරණය වන දා ඇඳි, නිරුවත ය.

කොල්ලන් නිල් පාටින් ද කෙල්ලන් රෝස පාටින් ද සරසමින් පළමු භේදය ඇඳුම හරහා ඇති කරනු ලබන්නේ ය. දරුවෙකු ඉපදෙන විට ම නගන ප්‍රශ්නය නම් සරමක් ද කම්බායක් ද යන්න ය. සෙසු ජීවිත කාලය පුරා ඒ ලිංගිකත්වයට අදාළ ඇඳුම් පැළඳීමට අපට සිදු වන්නේ ය. ගැහැණියක් පිරිමියෙකු මෙන් සැරසීම ද ඊටත් වඩා පිරිමියෙකු ගැහැණියක මෙන් සැරසීම ද ගැරහිල්ලට ලක් වන්නේ ඒ අනුව ය. කරාබු පළඳින කොණ්ඩය වවා බඳින පිරිමින් දෙස උපහාසය එල්ල වන්නේ ඒ බෙදුම ඔවුන් විසින් නිශේධනය කරනු ලබන නිසා ය. ඒ අපේ පැරැන්නන් ද ඒ සියල්ල කළ අය වී තිබිය දී ය.

ඉන්පසු වත්පොහොසත් කම් අනුව ද ජාතිය හා ආගම අනුව ද අප මිනිසුන් බෙදන්නේ මේ ඇඳුම ඉස්සරහට දා ගෙන ය.

අපේ එම අනන්‍යතාවයන් සංකේතවත් කිරීමට ඇඳුම කරන්නේ අනූපම සේවයකි. ඒ නිසා ම අප එකිනෙකාගෙන් වෙන් කිරීමට ද එය ඉවහල් වන්නේ ය.

එසේ වුව ද ඇඳුමේ කාර්ය භාරය එය නොවේ. එය තිබෙන්නේ විලි වසා ගැනීමට ය. ඇත්තටම කිව්වොත් එය ද වැරදි ය. එය සැබෑ ලෙස භාවිතා වන්නේ ජුගුප්සා ජනක දේ සගවමින් මතුකරන්නට අවශ්‍ය දේ වඩාත් ආකර්ෂණිය ලෙස කුතුහලය ද දනවමින් ප්‍රදර්ශනය කිරීමට ය. එය සෞන්දර්යාත්මක හා කලාත්මක ප්‍රකාශණයක් ලෙස ද පවතින්නකි.

ඒ නිසා ඇඳුම නිතරම යොදා ගැණුනේ පැළඳුම් ද සහිතව ය. ඒ පැළඳුම් වලට මාල කරාබු තෝඩු හිස් පළඳනා සහ ඇඳුම සරසන ආයිත්තම් ද අයත් විය. ඒ සෞන්දර්යය මතු කිරීමට ය. ඇතැම් තැනක එයට කඩු කස්ථාන පිත්තල බොත්තම් ද අයත් විය. ඒ ගාම්භීරත්වය පල කරනු පිණිස ය.

ඇඳුම සමාජ තරාතිරම ද කියා පෑවේ ය. විශේෂයෙන් අතීතයේ ඒ වෙනුවෙන් ම පැනවූ නීති තිබුනේ ය. ලංකාවේ නම් උඩුකය වැසිය හැකි වූයේ ඉහල සමාජ ස්ථරවල පුද්ගලයන්ට පමණ ය. ඒ නිසා අඩු කුලයේ පිරිමි ද ගැහැණු ද වෙනසක් නැතිව උඩුකය නිරුවත් ඇඟට සුව දායක සුලං රැල්ලක සුවය විඳීමට භාග්‍යවත් වූවෝ ය.

ලෝකයේ සීත පෙදෙස්වල වාසය කළ ජනයාට ඊට අමතරව ඇඳුම සීතලෙන් ආරක්ෂා වීමේ පලිහක් ද වූයේ ය. ඊට ප්‍රතිපක්ෂව ඝර්ම කලාපීය රටවල හා සෙසු රටවල ග්‍රීස්ම කාලය තුළ ඇඳුම ශරීරයට අපහසුවක් ගෙන දුන්නේ ය. මේ නිසා දේශගුණය හා කාලගුණය අනුවත් ඇඳුම විවිධාකාරයන් ගන්නේ ය.

සාදාචාරය හා ඇඳුම

මේ සියල්ල කීවේ ඇඳුම හරිහැටි තේරුම් ගන්නට ය. මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වූ එක් මාතෘකාවක් වූයේ ද මේ ඇඳුම නිසා ඒ පිළිබඳ මනා වැටහිමක් ලබා ගැනීම අපට වැදගත් ය. ඒ, මේ ව්‍යාකූලත්වය මැද්දේ ඇඳුම සම්බන්ධයෙන් වඩා බුද්ධිමත් අස්ථානයක් ගැනීමට ය. ඒ හරහා ඇඳුම අරබයා යුද්ධයක් ඇති වීම වැළැක්විමට ය.

ඇඳුම එක් අතකින් අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් වන අතරේ තව අතකින් එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් ද වන්නේ ය.

කවදත් සදාචාරය රකින්නට සිදු වුනේ ගැහැණුන්ට ය. ඒ නිසා මෙය පිරිමින්ගේ නොව ගැහැණුන්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් වූයේ ය. එසේ වීම පිටුපස ඇති කාරණය තේරුම් ගැනීමට අප පිරිමින් හා ගැහැණුන්ගේ වෙනස් කම් හා වුවමනාවන් විමසිය යුතු ය. මිනිසා නම් සත්වයා විමසිය යුතු ය.

දරුවන් ලොවට බිහිකරන්නේ ගැහැණිය ය. පිරිමියාගේ ඒ සම්බන්ධ දායකත්වය බිංදුවට ආසන්න ය. එසේ වුව ද ගැබිණි කාලයේ මවට ද පසු කලෙක බිහිකරන දරුවාට ද පිරිමියා පිහිට වන්නේ ය. වෙනත් සතුන්ගේ පැටවුන් මෙන් නොව ළදරුවෙකු ලොකු මහත් වී ජිවිතයට සූදානම් වීම සඳහා වැය කරන කාලය විශාල ය. ඒ නිසා දරුවෙකු නඩත්තු කිරීමේ කාර්යය මවට පමණක් දැරිය නොහැකි තරමට අපහසු ය. ඒ සඳහා පිරිමියෙකුගේ පිහිට ලැබිය යුතු ය. ජීව විද්‍යාවට අනුව ඒ පිහිට පූර්ණ කැපවිමකින් ලැබෙන්නේ දරුවා තමන්ගේම ජාන වල උරුමක්කාරයෙකු බව ඔහුට තහවුරු වූ විට ය.

ගැහැණියගේ සදාචාරය පිරිමියාට වැදගත් එකක් බවට පත්වීමට එය එක් හේතුවක් වන්නේ ය. ඒ නිසා සදාචාර තහංචිවල එල්ලය බවට පත් ව ඇත්තේ ගැහැණිය ය.

අනෙත් අතට පිරිමියාට අවශ්‍ය වන්නේ තමන්ගේ ජාන හැකි තාක් දුරට පතුරන්නට ය. ඒ සඳහා හැකි නම් එක් ගැහැණියකට වඩා සොයා යන්නට ය. පීතෘමූලික සමාජයක් ගැහැණියගේ මිස පිරිමියාගේ කන්‍යාභාවය නොසොයන්නේ ද ඒ නිසා ය.

මෙය සමාජය තුළ කොතරම් දරුණු විදිහට පැතිරී තිබුනේ ද යත් එක් කලෙක කාන්තාවන්ට ලිංගිකව හැසිරීමට නොහැකි ලෙස ඇයගේ ලිංගික අවයව වලට ඉබි යතුරු දමා තිබුණු බවට වාර්ථා වන්නේ ය. ඒ සඳහා ඇතැම් රටවල විශේෂයෙන් සැකසුනු ඇඳුම් තිබුණු බවට ද වාර්ථා වී ඇත.

කාන්තාවන් ලිංගික ආකර්ෂණය තමන් වෙතට යොමු කරන ආකාරයේ ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතු යැයි සමාජ මතයක් නිර්මාණය වී ඇත්තේ ද ඒ නිසා විය හැකි ය. එපමණක් නොවේ. ඒ සඳහා කාන්තාවන් යොමුකිරීම සමාජ වගකිමක් ලෙස හිතන මිනිසුන් ඇති වී ඇත්තේ ද ඒ නිසා විය හැකි ය.

එහෙත් කාන්තාවකට සමාජය තුළ යම් ආකර්ෂණයක් ඇතිකර ගැනීමට එක් මෙවලමක් වී ඇත්තේ ද ඇගේ සිරුර ය. ඒ නිසා ම කාන්තාවක් ඒ සඳහා අමතර වෙහෙසක් දැරීම ස්වභාවික යැයි ද සැළකේ. පිරිමියා විසින් එතරම් තැකිමක් නොකරන රන් භාණ්ඩ කාන්තාවගේ කැමැත්ත දිනා ගන්නේ මේ නිසා ය. ඒවා මිලට ගෙන තම බිරිඳ උන්මාදයට පත් කිරීම තම යුතුකම ලෙස බොහෝ පිරිමින් විසින් සළකන්නේ ද ඒ නිසා විය හැකි ය. තම බිරිඳ ලබන සමාජ ආකර්ෂණය ස්වාමිපුරුෂයෙකුට වුව සතුටක් ඇති කරන්නේ තමන් ජය ගෙන ඇත්තේ ලෙහෙසි පහසු කෙනෙකු නොවන බව ලෝකයට පෙන්වන්නටත් එක්ක ය. පාරේ එක්කර ගෙන යා හැකි ගැහැණියෙකු පිරිමියෙකු හොයන්නේ ද මේ නිසා ය.

ලෝක දෙකකට මැදි ව

මේ නිසා පිතෘ මූලික සමාජයක් තුළ කාන්තාවට ලෝක දෙකකට මැදි වන්නට සිදු ව තිබේ. එක් අතකින් සැරසෙන්නට ය. අනිත් අතට ඒ සැරසිල්ල ලිංගික ආකර්ෂණයට හේතු පාදක නොවන සීමාව තුළ රඳවා ගැනීමට ය. මේ කාරණයේ දී තීරණාත්මක වන්නේ ඇඳුම ය.

ගැහැණියගේ ඇඳුම ගැහැණියගේ තීරණයකට එහා යන්නේ ඒ අනුව ය. කොන්ත නෝනාගේ හැට්ටය කොන්ත නෝනාට ඕනෑ හැටියට නොව සමාජයට ඕනෑ හැටියට මැසිය යුතුව ඇතැයි ඇතැමුන් සිතන්නේ ඒ නිසා ය.

මුස්ලිම් ආගමේ ඇතැම් නිකායන් විසින් මේ සඳහා පනවා ඇති සීමාවන් සියළු මානුෂික ඉම් පැන යන්නේ ඔවුන් ගැහැණුන් ප්‍රසිද්ධියේ සිය රුව ප්‍රදර්ශනය කිරීමට, සැරසෙනවාට, අකමැත්ත පල කරන නිසා ය. ඒ නිකායන්ට අනුව ගැහැණිය සැරසිය යුත්තේ තම ස්වාමිපුරුෂයාගේ අවධානය දිනා ගනු පිණිස නිවස තුළ පමණ ය. ඒ නිසා ඔවුන් ඇඳිය යුත්තේ ගෝනියක් මෙන් පේන ඇඳුමක් ය. ඒ තුළ හැඩ තල කිසිවක් ප්‍රදර්ශනය නොවිය යුතු ය. කොණ්ඩය වසා දැමිය යුතු ය. මුහුණ ද වසා දැමිය යුතු ය. ඇස් දෙක විවෘත කළ යුත්තේ එසේ නොකළහොත්ම් අවට නොපෙනෙන නිසා ය. එය ද ඇතැම් නිකායක දැලකින් වසා සැඟවිය යුතු ය. මෙසේ සියල්ල ආවරණය කර ඇති කෙනෙකුට පහසුවෙන් හුස්ම ගැනීමට, කතා කිරිමට, කෑම ගැනීමට ද අපහසු ය. එහෙත් ඒ සියල්ල සදාචාරයේ හා සදාචාරය රකින ආගමේ නාමයෙන් ඉවසිය යුුතු ය.

ප්‍රශ්නය ඇත්තේ කුඩා කල සිට එක්තරා ආකාරයක ඇඳුමකට පුරුදු වූ පසු වෙනත් ආකාරයකට ඇඳීම අපහසු වීමට ඉඩකඩක් බිහි වීම ය. මුස්ලිම් කාන්තාවන්ට විමුක්තිය ලබා දිම සඳහා බලාහාත්කාරයෙන් ඇඳුම් ගලවන්නට හදන අය අමතක කරන්නේ ඒ කාරණය ය. මෑතක දී සරසවි ශිෂ්‍යයෙකු සිය දිවි නසා ගත්තේ ඔහුට දුන් නවක වදය තුළ අනෙක් ශිෂ්‍යාවන් ඉදිරියේ නිරුවත් වීමට බල කරනු ලැබූ නිසා ය.

ඇඳුම ඇගේ ම කොටසක් හෝ එය ආසන්නයේ ම කොටසක් ලෙස පවතින්නකි. පච්ච කෙටීම හරහා එය ඇඟටම යා කර ගත හැකි ය. ඒ නිසා සංකේත සහිත ඇඳුම් භාවිතයේ දී සැළකිලිමත් විය යුතු ය. පච්ච කොටා ගැනීමේ දී පරිස්සම් විය යුතු ය.

මෑතක දී කාන්තාවකට හිරේ යන්නට සිදු වුනේ නැවක සුක්කානමක් ඇඳුමේ සටහන් ව තිබූ නිසා ය. ඊට අමතරව ස්වාමීන් වහන්සේලා ද පොලීසිය ද අධිකරණය ද එය සුක්කානමක් ලෙස අඳුනා ගැනීමට අපොහොසත් ව එය ධර්ම චක්‍රයක් ලෙස අර්ථ නිරූපනය කළ නිසා ය. සෙරෙප්පුවක සුක්කානමක් තිබි සාප්පුවක හිමි නමක් යකා නැටුවේ ද ඒ නිසා ය. ඒ ද වැරදියට හඳුනා ගැනීම නිසා ය. මේ අවස්ථා දෙකේ දිම දඩුවම් ලැබීමට හේතුව වූයේ ආගමික සංකේතයක් ඇඳුමට යොදා ගනිමින් ආගමට අපහාස කළේ යැයි කියන කාරණය ය. ඊටත් කලින් බුද්ධ රූපයක් ඇඟේ පච්ච කොටා ගත් කාන්තාවකට රටින් පිටුවහල් වීමට සිදු වූයේ ද ඒ අනුව ය. ඒ ද ආගමට අපහාස කිරීමේ චෝදනාව යටතේ ය.

ප්‍රශ්නය සුක්කානම ධර්ම චක්‍රය ලෙස වැරදියට හඳුනා ගැනීම ම නොවේ. ආගමික සංකේතයක් ඇඳුමකට පැළදීම හෝ ශරීරයට එකතු කර ගැනීම ආගමකට එරෙහි ප්‍රකෝපකාරිත්වයක් ලෙස වර නැගෙන්නේ ඇයි ද යන්න ය.

ආගමික සංකේත

කුරුසිය ආගමික සංකේතයකි. එය පළඳනාවක් ලෙස ද යොදා ගැනේ. එයින් අදහස් කරන්නේ ක්‍රිස්තියානි ආගමිකයන් එවැන්නක් වැරැද්දක් ලෙස නොගත්ත ද බෞද්ධයන්ට එයින් රිදිය හැකි බව ද?

එය ද විය නොහැකි ය. පොලිස් නිල ඇඳුමේ ධර්ම චක්‍රය තිබේ. පොලීසියට අවසර ලැබීමටත් සෙසු අයට එයට ම අවසරයක් නොලැබීමටත් හේතුව විය හැක්කේ කුමක් ද? අප අනාථ කරවන ප්‍රශ්නය එය ය.

එවැනි අවිනිශ්චිතතාවයක දී අපට සිදුවන්නේ උපකල්පනයන් කිරිමට ය. පළමුව මේ දඩුවම් ලැබූ අවස්ථා දෙකට ම සම්බන්ධ ව සිටියේ කාන්තාවන් ය. ඇතැම් විට කාන්තාව සමහර සමාජයන්හි සැළකෙන්නේ මසකට වරක් කිලි අහුවන ශරීර පරාණයක් ලෙස ය. සිරිමා බෝ මළුව ද දළදා මාලිගාවේ ඇතැම් ස්ථානයන් ද ඇයට අකැප වන්නේ ඒ නිසා බව කියවෙන්නේ ය. එසේ නම් මේ විරෝධය පිටුපස මේ අතිශය අසාධාරණ කාරණය ද සැඟවී ඇද්ද? එහෙත් නැවතත් අප අනාථ කරවනු ලබන්නේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ ඇඳුමේ ද ධර්ම චක්‍රය ඇතුළත් ව තිබේය යන කාරණය ය. එසේ නම් එය ද විය නොහැකි ය.

මේ නම් තමන් බෞද්ධ ආගමේ ආරක්ෂකයින් බව පෙන්වන්නට, ඒ හරහා පුහු වීරයන් වෙන්නට, තතනන මිනිසුන්ගේ අවිචාරවත් ක්‍රියාවක් ද? එසේ ද සැළකිය නොහැක්කේ පොලීසිය ද ඇතැම් අධිකරණ ශාලා ද ඒ ක්‍රියාව අවිචාරවත් ලෙස නොසළකා ඇති නිසා ය.

සමහරු කියන්නේ මේ සියල්ල මෑත කාලයක ගොඩ නගා ගත් පවිත්‍රතාවයන් බව ය. පෙර එවැනි දේ නොතිබුණු බව ය. එහි ද ඇත්තක් තිබේ. දළදා වහන්සේ ලංකාවට වැඩම කළේ හේමමාලි කුමරිය විසින් සිය කෙස් කළඹේ සඟවා ගෙන ය. ඇයට අපහාස නඩුවක් වැටුනේ නැත. දැනට කාන්තාවන්ට අකැප යැයි කියා තහංචි පනවා ඇති අනෙක් සිද්ධස්ථානය වූ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කළේ සංඝමිත්තා තෙරණියගේ දෝතිනි. ඇයට ද අපහාස කිරිමේ චෝදනාවකට මුහුණ දෙන්නට සිදු වූයේ නැත.

ඇඳුම මරණීය කාරණයක් බවට අද වන විට පත්ව ඇත්තේ අප මේ ශිෂ්ඨාචාරය තුළ ආ දිගු ගමන තුළ එකතු කර ගත් එක් එක් ආකාරයේ මතවාදයන් නිසා බව මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ය.

මේ පෙරහැරට මෑත දී එක් ව තිබුනේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයකි. තරයේ පිලිපදින ලෙස අණ කොට නිකුත් තිබූ ඒ චක්‍ර ලේඛයට අනුව කාර්යාල වේලාවන් තුළ කාර්යාල පරිශ්‍රයට පැමිණෙන පිරිමි නිලධාරීන් කමිසය හා කලිසම හෝ ජාතික ඇඳුමෙන් ද කාන්තා නිලධාරීන් සාරිය හා ඔසරියෙන් ද සැරසී පැමිණිය යුතු ය. ව්‍යාතිරේඛයන් සපයා තිබුනේ ගැබිණි කාන්තාවන්ට හා නිශ්චිත නිල ඇඳුමක් සහිත නිලධාරීන්ට ය. ඊට අමතරව ආගමික අනන්‍යතාවය තහවුරු කිරිමට අවශ්‍ය අයට මේ ඇඳුමට උඩින් යමක් භාවිතා කිරීමේ ඉඩකඩ ද සළසා තිබුනේ ය. බැලූ බැල්මට “අහිංසක“ යැයි පෙනෙන මේ චක්‍ර ලේඛය නිකුත් කර තිබුනේ ජාතික ආරක්ෂාවේ නාමයෙනි.

බොරදියේ මාළු බාන පරිපාලනය

හදිසි නීතිය යටතේ රජය විසින් කෙනෙකු හඳුනාගැනීමට හැකි වන සේ මුහුණ නිරාවරණය කළ යුතු බවට නීති පනවා තිබුනේ ය. එසේ තිබිය දී නිකුත් කරන ලද මේ චක්‍ර ලේඛය ඊට එහා ගොස් යම් නිශ්චිත ඇඳුම් කීපයක් පමණක් සමාජ ගත කිරීමට ගත් උත්සහයක් ලෙස පෙනෙන්නේ ය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දඩමීමා කර ගෙන බොර දියේ මාළු බාන සංස්කෘතික “පොලීසිය“ක උත්සහයක් ලෙස පෙනෙන්නේ ය. මෙය සිංහල බෞද්ධ රටක් ලෙස සමාජ ගත කිරීමේ යටි අරමුණක් ඇතුව කරන ලද්දක් ලෙස පෙනෙන්නේ ය.

ගවුමක්, සායක්, හැට්ටයක් හෝ කලිසමක් කාන්තා නිලධාරිනියකට නොගැලපෙන්නේ මන් ද යන්නත් ඒ සියල්ල සාරියකින් හෝ ඔසරියකින් විස්ථාපනය කළ යුත්තේ මන්ද යන්නටත් පැහැදිලි උත්තරයක් මේ වන තෙක් ලැබි නැති තත්වයක් යටතේ අපට එවැනි උපකල්පනයක් කිරිමට සිදු වන්නේ ය.

ඉංජිනේරුවන්, කාර්මික නිලධාරීන්, වැනි ක්ෂේත්‍රයේ හා කාර්මික පරිසරයන්හි වැඩ කිරීමට සිදු ව ඇති කාන්තා නිලධාරීන්ට සාරිය හිරිහැරයකි. අනතුරු වලට අත වනන්නකි. සාරියක් ඇඳ සිටින කෙනෙකුට හදිසියක දී දුවන්නටවත් බැරි ය. ඒ නිසා ද මේ නිර්දේශය ප්‍රශ්නයකි.

වෙනත් ඇඳුමක් නැතිව සාරිය නිල ඇඳුම ලෙස ප්‍රකාශයට පත් කළේ කුමක් නිසා ද යන්නට අමතරව ඒ සම්බන්ධයෙන් පමණක් විකල්ප දෙකක් ලබා දුන්නේ (සාරිය හෝ ඔසරිය) කුමක් නිසා ද යන්න පැහැදිලි නැත. එයින් අනියමින් කියවෙන්නේ පහතරට උඩරට අනන්‍යතාවය පවත්වා ගෙන යෑමට, වෙනත් අනන්‍යතාවයන් බිලි දෙන්නන් වුව, කැමැත්තෙන් ඉන්නා බව ද?

කිසි දා සාරියක් නොඇන්ද කාන්තාවන් ඉන්නා බව වත් මේ චක්‍ර ලේඛය නිකුත් කිරිමේ දී සැළකිල්ලට ගෙන නැත. එවැනි කෙනෙකුට මේ වෙනස් වීම සඳහා කිසියම් කාලයක් ගත වන අමතර මුදලක් වැය වන කටයුත්තක් බව මෙහි දී සළකා බලාවත් නැත. මේ පිළිබඳ අදහස් විමසිමක් කළේ නම් මේ කරුණු මතු වීමට ඉඩ තිබුනේ ය. මේ හදිසිය, ලැබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බව සිතෙන්නේ ඒ නිසා ය.

සැවොම එක් නිල ඇඳුමක් ඇඳීම මෙයින් අපේක්ෂා වූ බව කියතත් කමිසය හා කලිසම හෝ ජාතික ඇඳුම යන විකල්ප දෙකක් පිරිමින්ට ද සැළසීමෙන් අපේක්ෂාව ඊට වෙනස් බව පෙනෙන්නේ ය. කාන්තාවන් සම්බන්ධයෙන් සාරි හා ඔසරි ඇඳීම හරහා ජාතික සංස්කෘතිය පවත්වා ගෙන යන අතරේ පිරිමින් සම්බන්ධයෙන් ජාතික ඇඳුමට අමතරව පහසු විකල්පයක් දීමෙන් පෙන්නුම් කරන්නේ, පහසුව වැදගත් කොට සළකා ඇත්තේ පිරිමින් සම්බන්ධයෙන් පමණක් බව ය. සංස්කෘතික ධජය ගෙන යා යුත්තේ කාන්තාවන් බව ය. කාන්තාවන්ගේ ශරීරය සංස්කෘතිය අරගලයේ යුද බිම ලෙස දිගටම සැළකෙන බව ය. ඒ සඳහා ඔවුන් පරිත්‍යාගයන් කළ යුතු බව ය.

සංස්කෘතිය හා සදාචාරය එක ළග හිට ගන්නා සංකල්පයන් ය. එකක් අනෙකෙන් පෝෂණය වන ඒවා ය. ඒ නිසා කාන්තාව සංස්කෘතියේ හා සදාචාරයේ බර ද දරා ගෙන සිටිය යුතු යැයි උපකල්පනය කරන අයට මග හැරෙන එක් කරුණක් වෙයි. ඒ සාරිය සංස්කෘතික වුව ද හොඳින් බලන්නේ නම් සෙසු කාන්තා ඇඳුම් වලට වඩා එය සෙක්සි බව ය. කාමය අවුස්සන සුළු බව ය. එය ගෝනියක් ලෙස ගැහැණුන් ඔතා ගන්නේ නැත. එය කාන්තා සිසුරේ සියළු හැඩ තල උලුප්පා පෙන්විය හැකි අගනා ඇඳුමකි. ඒ නිසා ම මේ සංස්කෘතික පොලිස් කාරයින් දෙවැනි අදියරේ මෙයට පිරිවිතර සපයන්නට ඉදිරිපත් නොවුනොත් පුදුම ය.

ඇඳුම පහසු විය යුතු ය. අනතුරු අඩු කරන්නක් විය යුතු ය. තම අනන්‍යතාවයන් ප්‍රකාශනයට ඉඩක් ඒ තුළ තිබිය යුතු ය. ඒ තුළ විවිධත්වයට ද ආත්ම ප්‍රකාශනයට ද ඉඩක් තිබිය යුතු ය. එය කලාත්මක ප්‍රකාශනයක් විය යුතු ය. එහෙත් එය කිසිදා එය අඳින්නන් පීඩනයට පත් කරන්නක් නම් නොවිය යුතු ය. විශේෂයෙන් කාන්තාවන් විෂයෙහි ආධිපත්‍ය පැතිරවීමට යොදා ගත හැකි අවියක් නොවිය යුතු ය. කොන්ත නෝනාගේ හැට්ටය කොන්ත නෝනාට කැමති පරිදි විය යුතු ය. ඇඳුමත් සමග ජෝගි නටනවාට වඩා වැදගත් තීරණාත්මක ප්‍රශ්නයන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ය.

වන්දනීය ධුරාවලිය

ධුරාවලිය අපේ සමාජය තුළ මුල් බැස ගෙන ඇති සංසිද්ධියකි. එයින් කියවෙන්නේ ඉහළක් හා පහළක් සමාජය තුළ තිබෙන බව ය. පහළ, ඉහළට යටත් විය යුතු බව ය. ගරු කළ යුතු බව ය. වන්දනා කළ යුතු බව ය. ඉහළ කවරෙකු හෝ එන විට හුනස්නෙන් නැගිටිය යුතු බව ය. ඉහළ අවසරයකින් තොරව, ඉහළීන් ලැබෙන ආශිර්වාදයකින් ‌තොරව, පහළ කිසිවක් නොකළ යුතු බව ය. ඉහළට දඩුවම් දීමේ බලය ඇතුළු අතිමහත් බලතල ලැබිය යුතු බව ය. ගෑණියෙක් පිරිමියෙක් කිරීම හැරුණු කොට ඉතිරි සියලු බලතල තිබිය යුතු බව ය. ඉහළ අය විසින් කරන වැරදි පවා පහළ අය විසින් උපේක්ෂාවෙන් දරා සිටිය යුතු බව ය.

එය බොහෝ රටවල අතීතයේ සමාජය සකස් වී තිබුණු ආකාරය ය. ඇතැම් රටවල එම ධුරාවලියට තිබෙන වැදගත් කම මේ වන විට අඩුව තිබේ. එහෙත් එය කිසිම රටක තුරන් වී ඇතැයි කිව නොහැකි ය. එය බොහෝ රටවල අදට  තුනී වී යන පොදු සංසිද්ධියක් වුව ද අපේ රට තුළ එය තවමත් දැඩිව ක්‍රියාත්මක වන්නේ ය. එය යටපත් කරන්නට හදන සෑම උත්සහයක දී ම එය නැවතත් දරණ ගසා නැගිට පුප්පන්නේ ය.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන්නේ රාජපක්ෂ පවුලේ අය විසින් වීම හා එහි දී ඒ සම්බන්ධයෙන් මුල් තැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාට ලැබීම ඒ අනුව පුදුම විය යුතු කරුණක් නොවේ. එය කුමාර වෙල්ගම ඇරුණු කොට පොදු ජන පෙරමුණේ කිසිවෙකු විසින් ප්‍රශ්න කරනු නොලබන්නේ ද ඒ නිසා ය. බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් දරන මතය නම් මහින්ද රාජපක්ෂ විසින් නිසි තීන්දුව ගනිතැයි යන්න පිළිබඳ තමන්ට දැඩි විශ්වාසයක් ඇති බව ය.

විධායක ජනාධිපති කෙනෙකු බොහෝ දෙනෙකු විසින් ඉල්ලා සිටින කාරණය ද ඒ තැනැත්තා මිනිසුන් බිය ගැන්විය හැකි දැඩි විනයධාරියෙකු විය යුතු යන සිතිවිල්ල ද මේ පොදු පිළිගැනීම නිසා විය හැකි ය. පදවිය අහෝසි කිරිම නොකෙරෙන වෙදකමක් වී ඇත්තේ ද එම පිළිගැනීම නිසා විය හැකි ය. සර්ව බලධාරී දෙවි කෙනෙකු පමණක් අපට මදි ය. සර්ව බලධාරී නායකයෙකු ද, ශක්තිමත් නායකයෙකු ද, අපට අවශ්‍ය ය.

කුල ධුරාවලියක් අපට වෙන ම තිබෙන්නේ ය. ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ මංගල්ලයේ දී මල්වතු අස්ගිරි පාර්ශවයේ නායක හාමුදුරුවන්ට වෙන නිකායන්හි මහා නායක හිමිවරුන්ට නැති සුවිශේෂ අසුන් පැනවෙන්නේ ඒ අනුව ය.

ආගම්වලට ද ජාතිවලට ද තව ධුරාවලියක් ඇත්තේ ය. බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් සුවිශේෂ තැනක් උරුම කර දීමට සිදු ව ඇත්තේ ඒ ධුරාවලිය නීති ගත කිරීමට ය. ආරම්භයේ දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව වන්නේ ඒ් අනුව ය. දෙමල බසින් ජාතික ගීය ගායනා කළ විට ඩෝං යන්නේ අනුව ය.

ආයතනික ධුරාවලිය හා සමාජ ධුරාවලිය

තනතුරුවලට ද ධුරාවලියක් ඇත්තේ ය. ඒ අනුව හෙදිය, වෛද්‍ය නිලධාරියාට පහළය. සාත්තු සේවිකාව ඊටත් පහළ ය. මේ ධුරාවලිය අර්බුදයකට යතැයි යම් හෝ හෝඩුවාවක් ඇතිවුන තැන එය තහවුරු කර ගැනීම සඳහා මේ සේවා අතර කප්පරක් ගැටුම් ඇති වුනේ ඒ අනුව ය. මෙය සෞඛ්‍ය සේවය තුළ එලිපිට ප්‍රදර්ශනය වූයේ ඔවුන් සතුව ඇති වර්ජනය කිරීමෙන් රටට රිදවීමේ හැකියාව නිසා ය. සෙසු සේවා අතරත් උඩින් හා යටින් මේ ධුරාවලියේ තැන ගැනීමට නිරන්තර ගැටුම් ඇති වේ. මේ ධුරාවලියට ගරු කරන තාක් කෙනෙකුට පැවතිය හැකි ය. සාමයට පැවතිය හැකි ය. එසේ නොවෙතොත් වැඩේ හබක් ය. වෙන කුමකටවත් කටක් නාරින උදවිය පවා ආයුධ අමෝරා ගෙන රෙදි කරට අරගෙන එන්නේ මේ “සම්මත“ ධුරාවලිය අර්බුදයට ගිය විට ය.

සමාජ ධුරාවලිය තුළ ඉහළින් ඉන්නා බව පෙනෙන්නේ පූජකයන් ය. එහෙත් හැබෑ ලෙස ඉහළින් ඉන්නේ බලය තිබෙන දේශපාලනඥයින් ය. මැති ඇමතිවරු ය. ඇතැම් ස්වාමීන් වහන්සේලා දේශපාලනඥයින්ට නැගිට ආචාර කරන්නේ ඒ අනුව ය. සමාජ ධුරාවලිය තුළ නිලධාරීන් ඉන්නේ මේ දෙගොල්ලන්නට ම පහළින් ය. ඒ වුනාට මේ තුන් ගොල්ලන් මේ පරතරය තියාගෙන ම එකිනෙකා සමග හවුල්ව ඉන්නේ බලය තනියෙන් දරනවාට වඩා පහසුවෙන් මේ තුන් කට්ටුවට එකට එක් වී දැරිය හැකි නිසා ය.

ව්‍යවස්ථාවෙන් භාෂණයේ නිදහස තහවුරු කර තිබියදී ද ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය අළලා ලියන ලද කෙටි කතාවක් හේතුවෙන් ලේඛකයෙකු අත් අඩංගුවට පත්වන්නේ ඒ අනුව ය. ඒ ගැන මේ තුන්කට්ටුව ම නිහඩතාවය රකින්නේ ද ඒ අනුව ය. බල ධුරාවලියේ ඉහළ ඉන්නා අය ගැන ලියන ලේඛකයන් එක්කෝ මෙසේ නිල ලෙස දඩුවම් ලබන්නේ ය. නැතිනම් නොනිල ලෙස දඩුවම් ලබන්නේ ය. ඒ මැරයෙකුගේ පහරකට ලක් වීමෙන්, නැත්නම් එයින් ම මරණයට පත්වීමෙන් හෝ ඒත් නැතිනම් සේයාවක් සොයා ගත නොහැකි ලෙස අතුරුදහන් කරනු ලැබීමෙන් ය. මේ ගැන කප්පරක් උදාහරණ පසු ගිය පාලන සමයෙන් අපට සොයා ගත හැකි ය. ඒවා සම්බන්ධයෙන් කිසිවෙකු අදට ද දඩුවම් නොලබන්නේ මේ තුන් කට්ටුවේ ම නොමඳ අනුග්‍රහය යටතේ ම ය.

මාධ්‍යකාරයින් හා මැරයින්

සමාජ ධුරාවලියේ ඊළග බලය හිමිවන්නේ මාධ්‍ය කාරයින්ට ය. ඒ, මේ කියන තුන් කට්ටුව ඇති කරන්නට ද නැති කරන්නට ද ප්‍රමාණවත් බලයක් ඔවුන්ට හිමි ව ඇති නිසා ය. එහෙම කිව්වාට මාධ්‍ය කාරයින්ට වැඩිපුර කළ හැක්කේ මේ අය ඇති කිරීම ය. නැතිකරන්නට යන එකේ අතුරු ඵල අප ලේඛකයන් සම්බන්ධයෙන් කියූ කතාවට ම සමාන ය. ඊට අමතරව මාධ්‍ය අයිතිකාරයින් ද එවැනි කැරලි කාරයින්ට පිට වන දොර පෙන්වීමට නියමිත ය. ඇත්තටම කියනවා මේ අය අප කලින් කී රජතුන් කට්ටුවට බොහෝ ලංව ක්‍රියාකිරීමට ඒ නිසා වග බලා ගනිති. ප්‍රශ්නයක් ඇහැව්වත් ලිස්සලා යන පාරක් ද ඔවුන්ට පාදා දීමට වග බලා ගනිති. දේශපාලනඥයන්ට තර්ජනයක් නොවන, ඔවුන් ඉදිරියේ හුරතල් වන, මාධ්‍යවේදින් පමණක් බොහෝ තැනක අප දකින්නේ ඒ අනුව ය.

ඊළග බලය මැරයන්ට ය. චණ්ඩින්ට ය. පාතාලයට ය. මේ අය ද එලිපිට නොවෙතත් හොර රහසේ අප කී තුන් කට්ටුව සමගම මාධ්‍යකාරයන් තරමට හෝ ඊට වැඩියෙන් හාදකම්  පවත්වන්නෝ ය. මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ සාද වල පොලීසියේ පමණක් නොව, බන්ධනාගාරයේ නිලධාරීන් ද දේශපාලනඥයන් ද දකින්නට ලැබෙන්නේ ඒ අනුව ය. බොහෝ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ආගමික සිද්ධස්ථානවල ප්‍රධාන දායකයින් වී ඉන්නේ ද ඒ අනුව ය. ඔවුන් තමන්ගේ වැඩ කර ගන්නා අතර මේ රජතුන් කට්ටුවට ද අවශ්‍ය සේවා සපයා දීමෙන්, දිවි රැක ගන්නා බව පෙනේ. චණ්ඩි දේශපාලනඥයන් වන දේශපාලනඥයන් චණ්ඩි වන අවස්ථා අප දකින්නේ පාතාලය හා මැරයන් තව දුරටත් සිවිල් සමාජයෙන් බැහැරව නොපවතින නිසා ය. පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු අපට කියා සිටින්නේ මේ කතාවේ තවත් එක් පැතිකඩක් ගැන ය.

විදුහල්පති වරු ගුරුවරු ඉන්නේ මේ සියල්ලට වඩා පහතිනි. ඒ, ඔවුන් ද නිලධාරීන් වුවත්, ඔවුන්ට තම බල පරාක්‍රමය පෙන්විය හැක්කේ කුඩා ළමුන්ට පමණක් නිසා ය. කලාතුරකින් ඒ හරහා දෙමාපියන්ට ද රිදවන්නට ඔවුන්ට පුළුවන් බව ඇත්ත ය. ඒත් ඒ අවසේස දෙමාපියන්ට ය. මේ ඉම පැන්නුවහම සිද්ධ වෙන්නේ දණ ගහලා වැඳ සමාව ගන්නට ය. ගුටි කන්නට ය. සහරාවට මාරු වෙන්නට ය.

ඇතැම් තැනක ප්‍රධානත්වය නැන්දම්මාට සහ මාමණ්ඩියට ය. කසාදයක් කර ගෙන ආ පුතා එන්නේ ඊළගට ය. ඔහු ස්වාමි පුරුෂයා ය. නමේ ම හැටියට බිරිඳට වඩා ඉහළ ය. ගෙදර ගෘහිණියට අවවාද අනුශාසනා ගැනීමට නැන්දම්මා මාමාට අමතරව ස්වාමිපුරුෂයා ද සිටින්නේ ය. ළමුන් එන්නේ ඊටත් පස්සේ ය. ඔවුන්ට මේ සියල්ලන්ට ම යටත් වීමට සිදු වේ.

මේ සෑම ධුරාවලියකට ම සුජාත භාවය ලැබෙන්නේ ආගමෙනි. ඒ ආගමික අනුශාසනා තුළ ධුරාවලියේ වැදගත් කම ගැන කප්පරක් කතා ඇතුළත් කිරීම හරහා ය. ඒ වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා ද ඉහළට ඔසවා තැබෙන්නේ ය.

ඒ දහමට අනුව තාත්තා නම් ප්‍රතිරූපකය කුමක් කළත් ඒ තාත්තා ලෙස ගත යුතු ය. ස්වාමීන් වහන්සේ නම් ප්‍රතිරූපකය කුමක් කළත් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකු හැටියට සළකා කටයුතු කළ යුතු ය. සිවුර ඇතුළේ කුමන ජරාවක් තිබුනත් සිවුරට වැඳිය යුත්තේ යැයි කියන්නේ ඒ නිසා ය.

මෙසේ ධුරාවලියේ උඩ ඉන්නා අය කරන්නේ එකිනෙකාගේ පිට කසා ගැනීම ය. එකිනෙකා පුම්බා ගැනීම ය.

ධුරාවලිය හා විනය

විනය කියන්නේ මේ ධුරාවලියට යටත් වීමට ය. එය විනය ලෙස අර්ථ ගන්වා තිබේ. විනයට යටත් විය යුත්තේ පහළ ස්ථරයන් ය. ඒ නිසා බණ දෙසුම් ඔවුන්ට ය. නිති රීති ඔවුන්ට ය. අච්චු කිරිමට ලක් වන්නේ ඔවුන් ව ය. උඩ ඉන්නා අයට තියෙන්නේ පහළ අය විනයානුකූලව හැසිරෙනවා ද නැද්ද යන්න ගැන තීන්දු තීරණ ගැනීමට ය. ඔවුන් එසේ නොහැසිරෙන්නේ නම් දඩුවම් කිරීමට ය. නිල හෝ නොනිල ලෙස දඩුවම් කිරිමට ය. මොන ක්‍රමයකින් හෝ ඔවුන් හික්මවා ගැනීමට ය.

නවක වදය නම් අපූරු මෙවලම ක්‍රියාත්මක වන්නේ මේ ධුරාවලිය පිළිබඳ සියළු පැති කඩ නිරාවරණය කරමින් ය. මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 15 දෙනෙකු ඒ වෙනුවෙන් දිවි පුදා තිබේ. අවසන් බිල්ල ශිෂ්‍යාවන් ඉදිරියේ නිරුවත් කරනු ලැබීමට ලක් විම නිසා ලජ්ජාවට පත් ව දිවි පිදූ මොරටු සරසවි ශිෂ්‍යයා ය. ශිෂ්‍යයාගේ දුර්වල පෞර්ෂය කියන මලඉලව්ව පිට දමා එයින් හිත නිදහස් කර ගත හැකි ය. ඒ එක ද බිල්ලක්වත් මේ තත්වය නැවත විමසීමට යොදා ගැනෙන එකක් නැත.

මේ ධුරාවලියට අනුව වැරදි කරන තරමක් කෙරෙන්නේ පහළ ය. අල්ලස් ගන්නේ පුංචි මිනිසුන් ය. ලොකු අල්ලස්  අහු කර ගැනීම අමාරු ය. මිනිමරන්නේ පුංචි මිනිසුන් ය. ලොකු මිනිසුන් විසින් කවරෙකු හෝ මරා දමණු ලැබ විට මරපු කෙනෙක් සොයා ගැනීමට නොහැකි වන තරමට සාක්කි දුර්වල වන්නේ ය. සාක්කි පවා බියෙන් සැඟවෙන්නේ ය.

විනය තිබුනේ යැයි කියවෙන පසු ගිය පාලන සමය තුළ මාධ්‍යවේදීන්ට තැලූ, උන් තුවාල කළ, මැරූ සහ අතුරුදයන් කළ එක ද මිනිහෙකුවත් නීතියේ රැහැනට අසු කර ගැනීමට බැරි වූයේය නම් වූ විහිළුවට අපි දැන් මුහුණ දී සිටින්නෙමු. උත්සහයන් දැරුවේ යැයි කියන්නේ වුව ද එය අදට ද එසේ ම ය. එක්කෝ මේ කියන විනයට එසේ පහර දීම හෝ අතුරුදහන් කිරීම හෝ මරා දැමීම ප්‍රශ්නයක් වන්නේ නැත. ඒ ඇතැම් විට එසේ පහර කෑ මරා දමනු ලැබූ අය මිනිසුන් නොවන නිසා ද විය හැකි ය. ඒ කියන්නේ විනය කඩ කර ඇත්තේ මේ කියන වින්දිතයන් විසින් බව ය. පහර කෑ මරා දමනු ලැබූ මාධ්‍යවේදීන් විසින් බව ය. ඒ පහර දීම් මරා දැමීම් අතුරුදහන් කිරීම් සියල්ල ඊට එරෙහි දඩුවම් බව ය. ඒ සම්බන්ධ චුදිතයන් වී සිටින අය අහිංසකයන් බව ය. ඇතැම් අය රණ විරුවන් ද බව ය.

ධුරාවලිය නැතිව බැරි ද?

ධුරාවලියේ නරක පැතිකඩ තිබෙන බව ඇත්ත ය. එහෙත් එය නැතිව රටක් ගෙනියන්නට පුළුවන් ද? දැනට පිස්සු කෙළින්නේ ලොක්කන් පමණ ය. මේ ධුරාවලිය නැතිවුනොත් හැම පොඩි එකාමත් පිස්සු කෙළින එකක් නැද්ද?

අද තත්වය ගෙන බැලුවොත් පෙනෙන්නේ උද්ඝෝෂණයන් දෛනික සංසිද්ධියක් බවට පත් ව ඇති බව ය. ජනයාට හිරිහැරයක් වන තරමට ඒවා නිසා පාරවල් නිති පතා අවහිර වෙන බව ය. විනය පිරිහී ඇති බව ය. ඒ සියල්ල ධුරාවලිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් බව ය.

ඇත්තටම ධුරාවලිය ලිහිල් ව තිබේ ද? අප ලිපියේ මුලින් ගත් උදාහරණ බොහෝමයක් මේ මෑතක ඒවා ය. එයින් පෙනෙන්නේ ධුරාවලිය අදට ද පවතින බව ය. මැරයන් ගෙන් ගුටි නොකෑව ද මැරුම් නොකෑව ද පොලීසියෙන් වෙඩි නොතිබ්‌බේ වුව ද උද්ඝෝෂකයන් අදට ද පොලීසියෙන් කඳුළු ගෑස් කන බව ය. ගුටි බැට ලැබෙන බව ය. ඇතිවෙන්නට නා ගන්නා බව ය.

යහපාලනය යම් පමණකට ප්‍රජාතන්ත්‍රවාදී අවකාෂයක් ඇති කළේ ය. එය බුද්ධිමත්ව යොදා ගැනීමට තවමත් මිනිසුන්ට නොහැකි ව තිබේ. මේ ඇතැම් උද්ඝෝෂණයන් දේශපාලන වුවමනාවන් නිසා ගොඩ නගා ඇති ඒවා ය. ඒවායේ රැස් ඉක්මණින් බැස යනු ඇත. මේ අවකාෂය බුද්ධිමත්ව භාවිතා කිරීම සම්බන්ධ පාඩම් මිනිසුන් විසින් උගත යුතු ව තිබේ. ඒ් සඳහා මිනිසුන් දැනුමින් සන්නද්ධ කළ යුතුව තිබේ. මිනිසුන්ට රිදවන්නේ නැතිව ආණ්ඩුවට දනවන්නේ කෙසේදැයි සැබෑ දුක්ගැනවිලි ඇති උද්ඝෝෂකයන් විසින් ද ඉගෙන ගත යුතුව තිබේ.

ප්‍රශ්නය ධුරාවලිය ලිහිල් වීම නොවේ. යහපාලනය යටතේ ද මේ ධුරාවලිය තවමත් නාඩගම් නැටීම ය. ඇතැම් තැනක එලිපිටත් තව තැනක සැඟවීත් පහර දීම ය.

විනය අවශ්‍ය ය. රටක දියුණුවට එය නැතිවම බැරි ය. ප්‍රශ්නය ඇත්තේ විනය පිහිටුවීම සම්බන්ධයෙන් නොවේ. එය කෙසේ පිහිටන්නේ ද යන්න සම්බන්ධයෙනි. පළමුව ඒ විනයට සියල්ලන් යටත් නොවීමේ අවුල ය. ලොක්කන් සහ උන්ගේ ආවතේව කරුවන් එයින් ප්‍රසිද්ධියේ හෝ හොර රහසේ ඒ විනයෙන් නිදහස් කිරීමේ අවුල ය. දෙවනුව, එය පිහිටුවීම සඳහා අපට දරන්නට වන පිරිවැය දරුණු වීමේ අවුල ය. ඒ වෙනුවෙන් අපේ නිදහස උගස් කිරීමට සිදු වීමේ අවුල ය. ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමේ වරද ය.

මේ ධුරාවලිය ක්‍රියාත්මක වන ආකාරය අනුව ඊළගට අප ප්‍රශ්න කළ යුත්තේ, ඒ මගින් විනය ඇති කරනවා ද නැත්නම් වෛරය යටිබිම් ගත කරනවා ද යන්න ය. එසේ යටිබිම් ගත කරන වෛරයන් ඒකරාශී වී උතුරා ගිය විට නැවත මතුවන්නේ කැරලි වශයෙන් හෝ යුද්ධ වශයෙන් වූ විට එහි ඇති ප්‍රතිඵලයක් නැත. නිදහසින් පසු ලංකාවේ සිදු වූයේ එය ය. අධික මිලකුත් ගෙවා ඇති කරන්නේ නිශේධනීය ප්‍රතිඵලයක් නම් අප කුමක් නිසාමේ විනය වෙනුවෙන් මෙවැනි ධුරාවලියක් කර තබා ගෙන යා යුතු දැයි යන්න උත්තර අවශ්‍ය ප්‍රශ්නයකි.

උත්තරය

දියුණු රටවල මේ ධුරාවලිය නිරපේක්ෂ නැත. නිත්‍ය නැත. ධුරාවලියේ උඩ ඉන්නා අයට නිරපේක්ෂ බලයක් නැත.  එයින් අදහස් කරන්නේ ධුරාවලියේ උඩ ඉන්නා අය ද අවශ්‍ය විටෙක ප්‍රශ්න කිරීමට යටත් බව ය. උඩම ඉන්නා කෙනෙකු පවා රටේ නිතියට යටත් බව ය. විනය ඇති කිරීමේ නාමයෙන් මිනීමරන්නට ඒ රටවල උඩ ඉන්නා අයටවත් ලයිසන් ලැබෙන්නේ නැති බව ය. විනය ඇති කිරීමේ නාමයෙන් භාෂණයේ නිදහසට වාරණ පනවන්නට නුපුළුවන් බව ය. සාහිත්‍ය නිර්මාණයක් කිරීමේ වරදට කුදලාගෙන ගොස් ලේඛකයන් හිරේ දමන්නට එරට පොලීසි වලට පූජකයන්ගේ බලපෑම් ඇති නොවන බව ය. පොලීසිය එවැනි බලපෑම් වලට හිස නොනමන බව ය.

ඒ රටවල ඇත්තේ එකිනෙකාගේ පිට කසා ගන්නා ලොක්කන්ගෙන් සමන්විත ධුරාවලියක් නොව එකිනෙකා නියාමනය කරන බල කේන්ද්‍රයන්ගෙන් සමන්විත ධුරාවලියකි. අපට ද එවැන්නක සේයාවක් පවතින බව පසු ගිය ලාංකිය ඔක්තෝබර් විප්ලවයෙන් පසු අත්දකින්නට ලැබුනේ ය. අප රටට අද අවශ්‍ය ඒ පද්ධතිය තවදුරටත් තහවුරු කරන වැඩ පිළිවෙලකි. ධුරාවලියේ ඉහළ තැන් ද නිසි පරිද්දෙන් ප්‍රශ්න කෙරෙන නියාමනය කරන වැඩ පිළිවෙලකි. සැබෑ විනය බිහිවන්නේ එවැනි වටපිටාවක ය. ශිෂ්ඨ සමාජයක තමන් ජීවත් වෙතැයි මිනිසුන්ට හැගෙනු ඇත්තේ එවිට ය.

එය ලබා ගැනීම පහසු නැත. ඒ සඳහා කරන අරගලය දිගින් දිගට කිරිමෙන් තොරව එය ලබා ගැනීම ද පවත්වා ගැනීම ද අසීරු ය.

මල්වතු අස්ගිරි දෙපලට සුවිශේෂ ආසන පැනවීම සම්බන්ධයෙන් ද නිර්මාණයක් කළ ලේඛකයෙකු කුදලාගෙන ගොස් හිරේ දෑම සම්බන්ධයෙන් ද ජනතා විරෝධය පළ විය යුත්තේ ඒ නිසා ය. එවැනි විරෝධයන් මුහුණු පොත තුළ නම් එමට ය. එහෙත් එයින් එහාට ද ඒවා ගෙන යා යුතු ය. ධුරාවලියේ ඉහළ ස්ථරයන් දිගින් දිගට ප්‍රශ්න කිරිමෙන් තොරව අපට රට ගොඩ ගත නොහැකි ය. අප කළ යුත්තේ ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය භාවිතයට ගෙන එම කටයුත්තේ නියැලීම ය. එම අවකාශය ඇකිලීමට ගන්නා පියවරයන්ට, එය කුමන පාටක් යටතේ පැමිණිය ද, එරෙහි වීම ය.

මම බයයි, හැබැයි මොකද කියල මං දන්නෙ නෑ

මම බය යි. අහසෙ තියෙන ග්‍රහලෝකවලට.
උන් අපල උපද්‍රව ඇති කරයි කියල. හොඳ ග්‍රහයෝ නීච වෙයි ද කියල. කේන්දර බලන කෙනෙකුට කාලෙකින් අතට සල්ලි ටිකක් දුන්නෙ නැතිනම් හිතට මොකක්ද වගේ. මගෙ අතේ මුද්දක් තියෙනව. නව ග්‍රහයටම හරියන්න. නවරත්න මුද්දක්. බෙල්ලෙ සුරයක් තියෙනව. අපල වලින් ආරක්ෂා වෙන්න. පුංචිකාලෙ පංචායුදයකුත් තිබුන. ඒකත් අල්මාරියෙ මුල්ලක තාම තියෙනව.
අතේ මිරිකන්න අලුත් ක්‍රමයට හදපු රත්තරන් බෝල රාමුවකුත් තියෙනව. සතුරු උපද්‍රවවලින් බේරෙන්න.
මම බයයි ඇස්වහට කටවහට. ඒකට වතුර කලයක් මාසෙකට සැරයක් වත් මතුරනව. දෙහි කපන ඒවායෙත් කෙළවරක් නෑ. කාලෙකින් තොවිලයක් නටන්න ලැබුනෙ නැති එක ගැන නම් හිතේ ලොකු අමාරුවක් තියෙනව.
මම බයයි. මං වැටෙයි කියල. පිරිහෙයි කියල. ඒ නිසාම නොයන දේවාලයක් පල්ලියක් කෝවිලක් නෑ. කන්දෙ විහාරෙ කතරගම සමන් විෂ්ණු ඔය කොයි දේවාලෙටත් යනව. පන්සලකට ගියත් දේවාලෙට නොහොහින් කවදාකවත් ඇවිල්ල නෑ.
මම බයයි. ඒ නිසා නිතර දානෙත් දෙනව. දෙවියන්ට පින්පෙත් දෙනව. පහුගිය දොහක කඨින පිංකමකුත් කළා. ලබන මාසේ කප්රුක් පූජාවකුත් කරන්න ලෑස්ති කරලයි තියෙන්නෙ. කාලෙකින් ආරණ්‍යයකට දානයක් දෙන්න බැරි වුනා කියල පසුතැවිල්ලකුත් තියෙනව.
දවසට පටන්ගන්නෙ පිරිත් දාල. පිරිත් කැසට් බණ කැසට් ගෙදර පිරිල. නොකියෙව්වත් බණ පොතුත් ගෙදර පුරවල තියෙනව. ඒව කියවන්න ලොකුවට හිතේ තියෙනව. හෙට අනිද්ද වල කජ්ජ ගැහැව්වම කොහේ ඉපදෙයි ද කියල බයට බණත් නිතර අහනව.
මම බය යි. හොල්මන්වලට රෑට. ඒ නිසා පිරිත් වතුර බොනවා. පිරිත් නූල් බඳිනව. උදේට පහන හවසට පහන සුවඳ දුම් මල් ඒවාත් එක්ක බුද්ධ පූජාව අඩු නැතිව තියෙනව.
මම බයයි. පව් සිද්ධ වෙයි කියල. බෝ කොළයක් පෑගුනත් ඒක පැත්තකින් තියල වැඳල තමයි මම යන්නෙ.
මම බය යි. ඇත්තටම මොකට ද බය කියල මමවත් හරියට දන්නෙ නෑ. ඒ වුනත් බලියක් ඇරල සෙත් ශාන්තියක් කරගන්න කියල මං හිතුව. සෙත් කවියකුත් ඒ ගමන්ම කියවල දානව.

උඩු ගුවනේ සැරිසරන්නේ රීරි පිසාචයින් ය

How vampires evolved to live on blood alone | New Scientist

අවලස්සණ බොහෝ දේ සිදු වෙමින් තිබෙන වටපිටාවක ඇතැම් තැනක ලස්සණ දේ ද අහන්නට ලැබේ. ජාතිවාදය ගොජ දමමින් වැඩෙමින් තිබිය දී, සංහිඳියාව යන වචනය පවා විසුළුවට ද වෛරයට ද ලක් වෙමින් තිබිය දී, ජාතින් අතර සමගිය ඇති කිරිම සඳහා මිනිසුන් විසින් කරන සත් ක්‍රියා ද අපට වාර්ථා වෙයි. ජාතිවාදය ව්‍යාර්ථ කිරීමට ගන්නා උත්සහයන් ද ඒ අතර තිබේ.

අවලස්සණ සිදු වීම් අතර සිදු වූ ලස්සණ සිදු වීමකින් අද අපේ ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමු. ඒ ආණ්ඩුවේ ඇමති ධුර දැරූ සියළු මුස්ලිම් ජාතිකයන් තම ධුර වලින් ඉවත් වීම ය (මේ ලිපිය අන්තර්ජාලයට මේ අඩවිය හරහා එක් වනවිට ඔවුන් නැවතත් ධුර නැවතත් බාර ගැනීමට සූදානමකින් සිටින නමුත් ඒ ගැන පවා වචනයකින් අහිතක් ප්‍රකාශ කරනු අපට ඇසුනේ නැත).

බොහෝ දෙනෙකු අනාවැකි ඵල කර තිබුනේ මේ අවස්ථාවේ ඔවුන් අස් වන බවට තර්ජනය කරමින් ආණ්ඩුව ලවා තමන්ගේ නිදහසට කරුණු පාදා ගනු ඇති බව ය. එහෙත් සිදු වූයේ අනෙකකි. ආණ්ඩුවෙන් අස් වුව ද තමන් ආණ්ඩුව අමාරුවේ දාන්නට අදහස් නොකරන බව, ඔවුහු ඒ වෙනුවට කියා සිටිය හ. තමන් අස් වූයේ කරන යම් පරීක්ෂණයක් වෙතොත් එය වඩා ස්වාධීනව සිදු කිරීමට ඉඩ සලසාලමින් බව ද ඔවුහු කියා සිටිය හ.

එය එක් පැත්තකින් බදූර්දීන්ගේ ඉල්ලා අස්වීම හෝ ඔහුගේ ඉවත් කිිරීම ඉල්ලා සිටි අයට ගැසූ කණේ පහරක් වූවා නිසැක ය. එහෙත් ඒ පහර වෛරයෙන් එතූ පහරක් වෙනුවට, දරා ගත නොහැකි වඩාත් කාරුණික සියුම් පහරක් වූයේ ය. ඒ දේශපාලන පරිණතභාවය කලකින් අප රටේ දේශපාලනඥයන්ගෙන් දකින්නට නොලැබුණු තරමේ එකකි.

එය කොතෙක් බලපෑවේ ද යත් උක්ත උපවාසය හෙලා දැකීමටත් මුස්ලිම් අමාත්‍යවරුන්ට සිය පදවි බාර ගන්නා ලෙසත් ඉල්ලා සිටීමට මහ නාහිමිවරුන්ට පවා සිදු විය. රටපුරා සැණකෙලි පවත්වන බවට පුරසාරම් දෙඩූ ඥානසාර හිමියන්ට ද රතන හිමියන් කළේ “කැත“ වැඩක් යයි කියන්නට සිදු විය.

මාරාන්තික උපවාසය මේ අස්වීම් ඉදිරියට තල්ලු කළ කාරණය බවට නැවත කරුණු දක්වන්නට ඕනෑ නැත. අප පළමුව මාරාන්තික උපවාසය යන කාරණය දෙස සංයමකින් බැලිය යුතු ය. එය පිහියක් බෙල්ලට තබා යමක් ඉල්ලන මැරයෙකුගේ ක්‍රියාකලාපයෙන් වෙනස් වන්නේ සුළුවෙනි. මැරයා පිහිය තියන්නේ අනෙකෙකුගේ බෙල්ලට ය. මාරාන්තික උපවාසයක දී පිහිය තියන්නේ තමන්ගේ බෙල්ලට ය. මේ ක්‍රියා දෙක තුළම තියෙන්නේ බලහත්කාරය ය. තම ඉල්ලීම් දුන්නේ නැත්නම් ජීවිතයක් නසන බවට කරන තර්ජනය ය. උපවාසය තුළ ජීවිතය තමන්ගේ වීම බලහත්කාරයට පූජනීයත්වයක් සපයන්නේ නැත. එය සිය දිවි නසා ගැනීම ද, ප්‍රාණඝාතකයකට සමාන පාපයක් ලෙස සළකන දහමක් නියෝජනය කරන, සංඝයා වහන්සේ කෙනෙකු විසින් කිරීමෙන් මතු කරනුයේ පූජනීයත්වයක් වෙනුවට පිළිකුලකි.

යුක්තිය ඉටු කර ගැනීම උදෙසා තිබෙන සියළු ක්‍රියාමාර්ග ගෙන බැරිම තැනක, සියළු සාධාරණ මාර්ග වසා පොලු දමා ඇති තැනක, එවැනි තර්ජනයක් කිරීමට කෙනෙකුට ඇති අයිතිය ගැන අපට ප්‍රශ්න කළ නොහැකි ය. එහෙත් ඒ සඳහා වෙනත් නීතිමය මෙන්ම ශිෂ්ඨ වූ මාර්ග තිබිය දී එවැන්නක් භාවිතා කිරීම ගැන කෙනෙකුට සමාව දිය හැකි ද? විශේෂයෙන් බොහෝ මිනිසුන් පිස්සු බල්ලන් මෙන් පාස්කු ප්‍රහාරයට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් මිනිසුන්ගෙන් පවා ගේම ඉල්ලන වටපිටාවක? පොලීසිය හා හමුදාව පවා ඇතැම් තැනක තමන් තොත්ත බබුන් මෙන් රගමින් මුකුත් කර ගන්නට බැරිව මැරයන්ට ඉඩ දී ඉන්නා වටපිටාවක? ප්‍රශ්නය තිබුනේ සමස්ථයේ ය. ඒ සන්දර්භයේ ය.

උපවාසයේ දේශපාලනය

මෙතැන තිබුනේ දේශපාලනයකි. එය ජාතිවාදය සමග හරි හරියට මිශ්‍ර කර තිබූ පමණින් එම කාරණය අවලංගු වන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියේ බදුර්දීන්ගේ අස් කිරීම ය. ඒ හරහා ආණ්ඩුවම අර්බුදයකට ගෙන යා හැකි යැයි ඔවුන් සිතන්නට ඇත. ඔවුන් අසාද් සාලිගේ හෝ හිස්බුල්ලාගේ ඉවත්වීමක් හෝ අස්කිරීමක් ඉල්ලා සිටියේ නැත. ඒ පත්වීම් දෙකම තමන්ට මෑත කාලයේ දී සහය දැක්වූ මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ වීම නිසා ඔවුන්ට අවශ්‍ය වූයේ බදුර්දීන් තනි කර ඔහුට ගැසීමට බව හැසිරුණු විදියෙන් පෙනෙන්නට තිබුනේ ය.

එහෙත් රතන හිමි ඒ දෙක ද එකතු කළේ ය. ඒ නිසා රතන හිමියන් සමග එක පෙළට සිට ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළේ නැත. ඒ නිසා මාධ්‍ය මගින් කොතෙක් ඇවිස්සුව ද මුල් දිනවල ජනතාව රතන හිමියන් වටා එහෙමකට පෙළ ගැසෙන බවක් දක්නට ලැබුණේ නැත. ඥානසාර හිමියන් පැන්නේ මේ හිඩැස පිරවීම ය. ඔහුට ම උරුම වෛරී කථනයකින් ඔහු කීවේ හෙට දහවල් 12 ට කලින් අස් කළේ නැතිනම් රටම සැණකෙලියක් කරන බව ය. උපවාසය ගැම්ම ගන්නේ ඒ ප්‍රකාශයත් සමග ය.

මුස්ලිම් අමාත්‍යවරුන් සියල්ලම ඉල්ලා අස්වීම නිසා නාට්‍ය පිටපතට අනුව රග දැක්වීමට නළුවන්ට නොහැකි වූයේ ය. ඉටු වූවා නම් ඉටු වූයේ එක අවශ්‍යතාවයකි. ඒ ඊළග චන්දයේ දී රතන මන්ත්‍රී හාමුදුරුවන්ට චන්ද ගොඩක් ලබා ගැනීමට ඉඩක් හැදීම ය.

දැන් සියල්ල සන්සුන් ය. දැන් බදුර්දීන්, අසාද් සාලි සහ හිස්බුල්ලා යන තිදෙනාට ම එරෙහි යම් සාක්ෂියක් පැමිණිල්ලක් තිබේ නම් බාර ගන්නට විශේෂ කවුන්ටරයක් විවෘත කර තිබේ.

තීන්දුව දීලා ඉවර ය. දැන් තියෙන්නේ සාක්කි කැඳවන්නට ය. ඒ දුන් තීන්දුව තහවුරු කර ගන්නට ය. එසේත් නැතිනම් කාලයේ වැලිතලාව තුළ ඒ චෝදනා සියල්ල සඟවා තබන්නට ය.

ජාතිය ඒකාබද්ධ කිරීමේ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා තමාට හැකි පමණින් තම අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නට වෙර දැරූ හැටි ද අපි දුටුවෙමු. එතුමා කීවේ, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ මැති ඇමතිවරුන්ට විරුද්ධව පැමිණිලි හෝ සාක්කි ලැබී ඇද්දැයි විමසූ විට, ඔහුට දැන ගන්නට ලැබුනේ ඒ වන විටත් අත්අඩංගුවට ගැනීමට හෝ පරීක්ෂණ සිදු කිරීමට මගපෙන්වන පැමිණිලි හෝ සාක්කි කිසිවක් ඔවුන්ට ලැබී තිබුනේ නැති බව ය.

කුරුණෑගල සාෆි වෛද්‍යවරයාට අත් ව තිබුනේ ද සමාන ඉරණමකි. පැමිණිලි කිසිවක් නැතිව ම මාධ්‍යවලින් ඔහු වැරදි කරු කර තිබිණි. ඉන්පසු පොලීසිය විසින් මාධ්‍යවලින් දැක්වූ වඳ කිරීමේ කතාවට කිසිදු සම්බන්ධයක් නැති වත්කම් ප්‍රශ්නයක් අරබයා ඔහු අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ, වංචනික වත්කම් රැස්කර ගෙන තිබුනේ නම්, ඒ සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂමව කටයුතු කළ හැකි, විශේෂයෙන් බලාත්මක කරන ලද, අල්ලස් හා දූෂණ කොමිසමක් තිබිය දී ය.

තව හැරවුම් ලක්ෂයක්

මේ සෑම තැනකම ප්‍රදර්ශනය කර තිබුනේ හදිසියකි. පැමිණිලි හෝ සාක්කි නැතිව වුව තීන්දුවක් ගන්නට බල කෙරුණු වටපිටාවකි. තීන්දු ගනු වෙනුවට තීන්දු වලට පනින වතාවාරණයකි. ඒ සියල්ල වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නට බලකරන්නට කැප වූ මිනිසුන් රාශියකි. ඒ සියලු දේට පණ දෙන්නට කෑදර කමින් බලා සිටිනා මාධ්‍ය රැසකි.

උපවාසයේ විසුළු සහගත නිමාවත් සමග ඒ සියල්ල මඳකට නැවතී ඇති සැටියකි. සෝඩා බෝතලයේ කැළඹිල්ල සන්සුන් වී ඇති සැටියකි. වීරයින් පසු බැස ඇති සැටියෙකි.

එහෙත් සියල්ල තවම අවසන් නැත. මුස්ලිම් අයට එල්ල වූ තර්ජනය ජාතිවාදයට විරුද්ධව මත ප්‍රකාශ කරන්නන්ට ද එරෙහි ව එල්ල වන ලකුණු පෙනෙන්නට ඇත. මේ ප්‍රහාරයට වත්මන වඩාත් ලක් ව ඇත්තේ හැමදාමත් තම මතය අභීතව කියන අමාත්‍ය මංගල සමරවීර ය. ඔහු ප්‍රහාරයට ලක් වන්නේ,  මේ රට සිංහල බෞද්ධ රටක් නොව ජීවත්වන සියළු ජාතීන්ට අයත් රටක් ය, යන නිවැරදි මතය වෙනුවෙන් මේ මොහොතේ ප්‍රසිද්ධියේ පෙනී සිටිම වෙනුවෙනි. ඔහුට එරෙහිව බෞද්ධ භික්ෂූන් කීප නමක් පෙළ ගැසී ඇතැයි වාර්ථා වෙන අතර එයින් ඉදිරියෙන් ම ඉන්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ බුදුරුව පාමුල දී දැරියක් දූෂණය කොට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් සිරගත කරන ලද ස්වාමීන් වහන්සේ නමක් බව යුක්තිය වෙබ් අඩවිය තොරතුරු සහිතව අනාවරණය කර තිබුනේ ය.

දැරියක් දූෂණය කිරීම පැත්තකින් තබා, එවන් අයකුට වුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ද ගරු කරමින්, අපට කිව හැක්කේ ඇත්ත කීම සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයාට පමණක් නොව කිසිදු පුද්ගලයෙකුට තහංචි පැනවීම තරම් නොවන බව ය.

මේ පිරිස එතැනින් නැවතුනේ නැත. ඔවුහු මුහුණ සෝදන බේසමේ කිඹුලන් සොයන්නට ද පටන් ගත් හ. රත්නපුරේ ඡායාරූප ශිල්පය ඉගෙන ගන්නා කොලුවෙක් කන්දක් උඩ සිට රත්නපුරේ නගරය ඡයාරූප ගත කළේ යැයි දැන් හිරේ ය. ඒ පුංචි කැමරාවකින් සටහන් කර නොගත්තාට ගූගල් සිතියම් වලින් හැම දෙයක් ම ආසන්නව බලා ගත හැකි ව තිබිය දී ය. පොලීසිය බාරයේ සිටි මේ තරුණයා ටික වේලාවකට තමන්ට බාර දෙන්නැයි පන්සියයක් පිරිවර සමග පැමිණි සංඝයා වහන්සේ කෙනෙකු ඉල්ලා සිටියේ තරුණයාට දන්නා ඉහළින් ම සළකන්න ය. පසුව ඒ හිමි නම ම පසුතැවුනු බවක් ද වාර්ථා විය. නැවක සුක්කානම දැක්වෙන රූ සටහනක් ඇඳි කාන්තාවක් අදටත් හිරේ ය. ඒ සුක්කානමේ හා ධර්ම චක්‍රය අතර වෙනස නොදන්නා, එසේත් නැතිනම් කලබල වීමෙන් එම වෙනස හඳුනාගැනිමට ඉස්පාසුවක් නොවුනු, සංඝයා වහන්සේලා හා බෞද්ධ ගිහි පින්වතුන් නිසා ය.

මේ සියල්ල පටු ජාතිවාදය හරහා තමන් පිම්බීමට ගන්නා උත්සහයන් මිසක වෙන අරමුණක් ඇති ව කෙරෙන වැඩ නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ජාතිවාදයට තටු ලැබී තිබේ. ලවක් දෙවක් නැතිව මේ පියාඹමින් ඉන්නේ එසේ තටු ලැබ අහස් කුස පුරා ගොදුරු සොයමින් කැරකෙන ගිජු ලිහිණියන් ය. රීරී පිසාචයන් ය. උන් එක අතකින් භයානක ය. අනිත් අතට සපයන්නේ ආතල් ය. රටම ලෝකය ඉදිරියේ විහිළුවක් බවට උන් පත් කරන්නේ අමු සොහොනක් බවට පත් කරන්නට බැරි වූ විට ය.

අපේ රට තුළ විවිධ ජනවර්ගවලට අයත් අය මෙන්ම විවිධ ආගම් වලට අයත් අය ද වෙසෙති. ඒ වසර දස දහස් ගණනක් තිස්සේ ගොනු වී අද වන විට මෙහි පැලපදියම්ව ය. ඉන්දීය මහා ද්වීපයෙන් සංක්‍රමණය වූ විවිධ ජාතින්ගෙන් ද වෙළඳාම පිණිස පැමිණි ජාතීන් ගෙන් ද ලංකාවේ ජනතාව සමන්විත ය. ජාතියක් හැටියට ගත්තොත් අද අප සියලු දෙනා අයත් වන්නේ ශ්‍රී ලාංකික ජාතියට ය. මෙය බොරුවක් ද?

බහුතරය සිංහලයන් බව ද ඔවුන්ගෙන් බහුතරය අදහන්නේ බුද්ධාගම බව ද ඇත්ත ය. එසේ කියා රටේ අයිතිය ඔවුන්ට යැයි කිව හැක්කේ කෙසේ ද?

මේ සම්බන්ධයෙන් අපට ආදර්ශයක් දෙන්නේ බුදුන් වහන්සේ ය. උන්වහන්සේ සංඝයා අමතා කිවේ තම ශාසනයට විවිධ කුලවලින් විවිධ තරාතිරම් වලින් අය පැමිණෙන බව ය. ඒ හැම කෙනෙකුම ශාසනයට ආ පසු එකම පිරිසක් බවට පත් වන බව ය. ඔවුන් ආ පසුබිම ඉන්පසු තවදුරටත් අදාළ නොවන බව ය. ඒ සඳහා බුදුන් වහන්සේ උපමාවක් ද ගෙන දැක්වූහ.

විවිධ ගංගාවලින් සමූද්‍රයට ජලය එක්වේ. එහෙත් එක් වූ පසු ඒ ජලය අහවල් ග‍ඟෙන් පැමිණියේ යැයි කියන්නට කිසිවෙකුට බැරි ය. මගේ ශාසනයේ අය සම්බන්ධයෙන් ද අනුගමනය කළ යුතු පිළිවෙත එසේ විය යුතු ය. කවරෙකුටවත් සෙසු අය අභිබවා වරප්‍රසාද හිමි නොවිය යුතු බව උන්වහන්සේ පැවසුවේ එසේ ය.

එකම වෙනස ශාසනය තුළ එකම ලබ්දියක් තිබිම ය. එකම දර්ශනයකින් ඔවුන් බැඳී සිටිම ය. රටක එසේ නොවිය හැකි ය. එසේ වුව ද අදහස රටකට ද අදාළ ය. ඕනෑම සංවිධානයකට ද එය අදාළ ය. නැතිනම් රටක් ලෙස, සංවිධානයක් ලෙස, එවැන්නකට තවදුරටත් පැවතිය නොහැකි ය. මේ සත්‍යය අවබෝධ කර ගැනීමට කෙනෙකු නිවන් ලබා ගත යුතු නැත. උපාධියක් හිමිකර ගත යුතු නැත. විභාග සමත් විය යුතු නැත.

රටේ අයිතිය

මේ රට අප සියලු දෙනාගේ ය. අප අයත් වන්නේ එකම ශ්‍රී ලාංකික ජාතියකට බව සෑම ජන වාර්ගිකයෙකු විසින් ම අවබෝධ කර ගත යුතු ය. එසේ හැසිරිය යුතු ය.

කැලෑ කැපිම වරදක් විය හැක්කේ එය බදුර්දීන් කරන විට පමණක් නොවේ. හොරකම් කරන එක වරදක් වන්නේ එය මුස්ලිම් අමාත්‍යවරයෙකු කරන විට පමණක් නොවේ. තරුණියක දූෂණය කිරීම වරදක් විය හැක්කේ එය මුස්ලිම් කොල්ලෙකු විසින් කරන විට පමණක් නොවේ. කඩු තබා ගැනීම වරදක් වන්නේ එය මුස්ලිම් පල්ලියක් තුළ තිබෙන විට පමණක් නොවේ. අයථා ලෙස වත්කම් එකතු කරගැනීම වරදක් වන්නේ එය මුස්ලිම් වෛද්‍යවරයෙකු විසින් කළ විට පමණක් නොවේ.

අතීතයේ මෙසේ චෝදනා සියල්ල එල්ල කෙරුණේ දෙමල ජාතිකයන් ට විරුද්ධව ය. අද එය මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කර ගෙන තිබේ. හෙට එය කතෝලිකයන්ට එරෙහිව යා හැකි ය.

සතුරෙකු සොයා ගන්නා විට වෙන පිලකින් සොයා ගැනීම ඇඟට ගුණ ය. විශේෂයෙන් දුර්වල පිලකින්, සුළු තරය ඉන්නා පිලකින්, තෝරා ගැනීම පහසු ය. වීරයෙකු වීමට, පොරක් වීමට, ඒ මගින් ඇගට වැඩිය අගුණ නැති මගක් විවෘත වන්නේ ය. මේ ගත වන්නේ ඒ ඊනියා වීරයන්ගේ හෝරාව ය. වීරයන් ලෙස බෞතීස්ම කරනු ලබන රීරී පිසාචයන්ගේ හෝරාව ය.

මේ කී සියල්ල එල්ල කරනු ලැබුයේ මේ දිනවල නැගිටිමට වෙර දරණ ඊනියා සිංහල බෞද්ධ මතවාදය සම්බන්ධයෙන් ය. එහි විවිධ ස්වරූපයන්ට ය. එහෙත් එය තනිකරම එක් කණ්ඩායමක් මත පවරා අත් පිසදා ගැනීමට නොහැකි තරමට සංකිර්ණ එකකි. වගකීම ඇත්තේ සැමට ය. වාර්ගික හණ ගසා ගනිමින් වෙන්වෙන්නට හදන සැම මෙහි කොටස් කරුවෝ ය.

එක් පසෙක අන්තවාදය ශක්තිමත් කරන්නේ අනෙක් පස අන්තවාදය විසිනි. මේ ඉහත කී සියල්ලට මග පෑදුවේ පාස්කු ඉරිදා ප්‍රහාරය ය. ඒ ප්‍රදර්ශනය කරන ලද “මුස්ලිම්“ අන්තවාදය විසින් ජවය සැපයුවේ මේ අද දිගහැරෙමින් තිබෙන “සිංහල“ අන්තවාදයට ය.

ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩ නැගිය හැක්කේ වාර්ගික අන්තවාදය හා වර්ගයක් ලෙස වෙන්වීමට දරණ උත්සහයන් පරාජය කිරීම හරහා ය. එහි වැඩිමනත් වගකීම බහුතරය වෙත පැවරෙතත් අප පිළිගත යුත්තේ එක් අතකින් පමණක් අත්පුඩි ගැසීමට නොහැකි බව ය. ඒ නිසා සෙසු ජනවර්ග හා ආගම් වලට අයත් හැම දෙනාමත් තම වත් පිළිවෙත් ගැනත්, සෙසු කටයුතු ගැනත්, අලුතින් සිතිය යුතු ය.

සංකේත තුළින් ආගම සෙවීම

ඒ සඳහා එක් වැදගත් පියවරක් වන්නේ ආගමික සංකේත, වත් පිළිවෙත් හා කටයුතු තම නිවෙස්වලට හා පල්ලි පන්සල් වලට සීමා කර ගැනීමට ඉටා ගැනීම ය. ඒවා හැකිතාක් දුරට පිටට වාන් දැමීමෙන් වළකා ගැනීම ය.

අප තේරුම් ගත යුත්තේ අප එකිනෙකා කුලල් කා ගනිමින් වැනසෙන අතරේ, අප මෙන්ම ගැටි වැනසෙන රටවල් කීපයක් හැර, සෙසු රටවල්, අප ව පසු කර ගෙන ඉදිරියට යන බව ය. තමන්ට එරෙහිව දියත් කෙරෙන අන්තවාදී ප්‍රහාරයන් නිසා ඔවුන් මේ තරමට පරල වී කටයුතු නොකරන බව ය. ඒ නිසා ඔවුන්ට අන්තවාදය පරාජය කොට ජය ගැනීමේ වැඩි ඉඩක් පවතින බව ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතිවාදයට අවශ්‍ය ගින්දර සැපයූ බව ඇත්ත ය. එහෙත් ඉන්ධන අපේ හදවත් තුළ ද ඇතිවෙන්නට තිබුනේ ය. ඇවිල ගියේ ඒ නිසා ය.

පොලීසිය හා ආරක්ෂක අංශ මේ ගින්දර සොයා මෙහෙයුම් දියත් කරනු ඇත. එහෙත් ඉන්ධන තිබෙන තාක් ගිනි ගන්නට ඇති ඉඩ වැළැක්විය නොහැකි ය. ඒ නිසා ආරක්ෂක අංශ හෝ පොලිසියට හෝ තවත් සමහරුන් විශ්වාස කරන විදිහට, ගමේ මැරයිනට පමණක් හෝ මේ ගිනි ඇවිලීම නතර කළ නොහැකි ය.

එයට මෛත්‍රියේ සිසිල් දිය දහරක් අවශ්‍ය ය. ප්‍රේත ආත්මයකින් ගැලවීම පතා මෛත්‍රී භාවනාව අනුයන සංඝ නායකයන් වෙනුවට සැබෑ ලෙස සියලු සතහට මෙත් වැඩීම වෙනුවෙන් පෙනී සිටින, ඒ සඳහා මිනිසුන් පොළඹවන, ආගමික නායකයන් අවශ්‍ය ය. මේ රට සියලු දෙනාට අයිති බව කියන දේශපාලන නායකත්වයක් අවශ්‍ය ය. එපමණකින් නොනැවතී, ඒ බව තහවුරු කරන්නට කැපවුනු දේශපාලන නායකත්වයක් ද අවශ්‍ය ය.

එක් පැත්තකින් එසේ ගිනි නිවන අතරේ සහ ගිනි ඇවිලීමට ඇති ඉඩ අවුරුවන අතරේ, ජනතාව අතර එකිනෙකා සම්බන්ධයෙන් ඇතිවන සැක සංකා හා බිය ඉක්මණින් තුරන් කිරීමට ද එවැනි නායකත්වයක් විසින් පියවර ගත යුතු ය. හොල්මනකට බිය වි දඟලන මිනිසෙකු බිය ගුල්ලෙකු ලෙස හඳුන්වා, විහිළුවට ලක් නොකර, එතැන ඇත්තේ කෙසෙල් කොළයක සෙලවීමක් පමණක් බව, එලියක් දල්වා කරුණාවෙන් පෙන්වා දෙන නායකත්වයක් අවශ්‍ය ය.

මුස්ලිම් අමාත්‍යවරුන් අස්වූයේ අප අවසානයට කි කාරණයට ඉඩකඩ සලසා දෙනු වස් ය. දැන්වත් පරල වන්නේ නැතුව සොයා බලා තින්දුවලට පැමිණෙන්නැයි අප කලබල කරන්නන්ට කිව යුතු ය. ඒ කලබල අවුළුවන මාධ්‍ය වලට කිව යුුතු ය. නැවත ඇති නොවන ලෙස ගින්න නිවා දැමිමට අප ද කැප විය යුතු ය. එසේ නොකරන්නන්ට රටට යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට අයිතියක් නැත.

මානව හිමිකම් වානා

මේ සමය මෙවැනි මාතෘකාවක් කතා කිරීමට සුදුසු දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. බඩගිනි වේලාවක ආහාර ගැන මිසක ආදරය ගැන කතා කරන තරමට ම එය නොගැලපේ යැයි ද කිව හැකි ය. එහෙත් ආදරය වඩාත් අවශ්‍ය බඩගිනි වූ විට ය. ඒ තනියම නොව බෙදා ගෙන කෑ යුතු නිසා ය. මේ වෙලාවේ දී ද මිනිසුන්ගේ මූලික ප්‍රශ්නය තමන්ගේ සුරක්ෂිතතාවය ය. එය අනතුරට ලක් ව ඇති මොහොතක මානව හිමිකම් අහවල් මගුලකට දැයි යන ප්‍රශ්නය බැලූ බැල්මට සාධාරණ ය. එහෙත් බොහෝ දෙනෙකු නොදන්නවාට සුරක්ෂිතතාවය ද මානව හිමිකමකි. අපේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් එය මානව හිමිකමක් ලෙස පිලිගැනෙන්නේ වුව බොහෝ දෙනෙකුට අනෙකාගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් එහෙම සිතෙන්නේ නැත.  අපේ සුරක්ෂිතතාවය පමණක් බලා ගන්නට සිතන අයට දිගුකාලීනව එය ද අහිමි විය හැකි නිසා ය. අනෙකා සුරක්ෂිත නොකරන වැඩ පිළිවෙලක් තුළ අපේ සුරක්ෂිතතාවය ද දුර්වල විය හැකි නිසා ය. ඒ මානව හිමිකම් නැති තැනක ඇති කරන්නා වූ පීඩනය සුරක්ෂිත වටපිටාවකට අනුග්‍රහයක් නොසපයන නිසා ය.

ඒ නිසා ම මට හිතෙන හැටියට මානව හිමිකම් ගැන දැඩිව කතා කළ යුත්තේ මේ අප පසු කරන කාලයේ දී ය. එයට අමතරව අද වඩාත් ම තර්ජනයට ලක් ව ඇත්තේ ද අපේ සුරක්ෂිතතාවය හැරුණු කොට මානව හිමකම් නිසා ය.

මානව හිමිකම් අතර ප්‍රබල තැනක් ගන්නේ නිදහස ය. එය පුද්ගල නිදහස හා ප්‍රජාවකගේ නිදහස යන දෙආකාරයෙන් ම ප්‍රකාශමාන වෙයි.

නිදහස යනු අනුන් අණ කරන දෙයක් කිරීමට, අනුන් අණ කරන විදිහට ජීවත්වීමට, අනුන් අණ කරන මතයක් දැරීමට නොව, තමන්ට නිසි මේ යැයි, නිවැරදි මේ යැයි, තමන් විසින් ම නිගමනය කර, ඒ අනුව කටයුතු කිරීමට පුද්ගලයෙකුට, ප්‍රජාවකට, ඇති ඉඩකඩට ය.

තමන්ට කැමති වෘත්තියක හෝ ව්‍යපාරයක නියැලිමේ නිදහස, ප්‍රසිද්ධ ස්ථානයක දී කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස, කැමති කෑමක් කැමති ආකාරයකට පිළියෙල කර අනුභවයේ නිදහස, කැමති කෙනෙකු සමග ලිංගිකව එක් වීමේ නිදහස, කැමති සහකරුවෙකු හෝ සහකාරියක් සමග විවාහ ගිවිස ගැනීමේ නිදහස, තමන්ගේ රට තුළ තමන්ට කැමති තැනක ජීවත්වීමේ නිදහස යන බොහෝ දේ එහි අඩංගු ය.

භාෂණයේ නිදහස, සමාජයේ සිදු වන දෑ විචාරයට විවේචනයට ලක් කිරීමේ නිදහස සහ නිර්මාණකරණයේ යෙදීමේ නිදහස ද ඊට අයත් ය.

කරදරයකින් තොරව, පැහැර ගැනීම් බිය වැද්දීම් අතුරුදහන් කරවීමෙන් තොරව, හිංසනයෙන් තොරව, ජීවත්වීමේ නිදහස ද ඊට අයත් ය.

සියල්ල අයිති රජුට ය

මෙය පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ යැයි පිළිගන්නා අය ද ජන කොටසකට මේ අයිතිය තිබිය යුතු යැයි පිළිගන්නේ නැත. යම් ජන කොටසක් රටක ජීවත් වෙයි නම් ඒ ජන කොටස බහුතරයේ මතිමතාන්කර වලට යටත් විය යුතු යැයි හැගීමක් එසේ සිතන අය තුළ තිබේ.

මෙය සිංහල බෞද්ධයින්ගේ රටක් යැයි ද සෙසු ජාතීන් ජීවත්විය යුත්තේ ඔවුන්ගේ අවසරය ලැබෙන ප්‍රමාණයට ඔවුන්ගේ අනුකම්පාව මත යැයි ඔවුන් කල්පනා කරන බව පෙනෙන්නට තිබේ. හැමදාමත් ඡන්ද ගොඩ ගැන සිතන්නේ නැතිව නිබයව කතා කරන මංගල සමරවීර ඇමතිතුමා අද කුණු බැණුම් අසන්නේ එය එසේ නොවන බව කියන්නට ගොසින් ය.

මේ ලිපියෙන් අප සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ මේ පුද්ගල මෙන් ම ප්‍රජාවගේ ද නිදහස ගැන ය.

ඒවා මානව හිමිකම් ලෙස වත්මන් ලෝකයේ බොහෝ රටවල පිළිගැනේ. එහෙත් ඇතැම් රටවල් පොදුවේ මානව හිමිකම් සම්බන්ධයෙන්, විශේෂයෙන් පුද්ගල නිදහස හා ප්‍රජාවකගේ නිදහස සම්බන්ධයෙන්, වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ය.  ඒ සියල්ල “රජු“ට නැත්නම් රජයට රිසි පරිද්දෙන් සකස් විය යුතු යැයි විශ්වාස කරන්නේ ය.

එවන් රටක අදහස් ප්‍රකාශ කළ හැක්කේ පොත් ලිවිය හැක්කේ කලා නිර්මාණයක් කළ හැක්කේ රජය අනුයන සම්මතයන් තුළ ය. ව්‍යාපාරයක් ආරම්භ කළ හැක්කේ රජය අනුමත කරන ක්ෂේත්‍රවල ය. යම් යම් දේ කළ හැක්කේ රජය අවසර දෙන දිනවල ය. අවසර දෙන හෝරාවන් තුළ ය.

ඇතැම් සමාජ වල මේ සඳහා රජයක්ම වීම අවශ්‍ය නැත. ආගමික ආයතන විසින් ද මෙවැනි ම තහංචි පනවනු අපට ඇතැම් සමාජයන්හි දැකිය හැකි ය. මාධ්‍ය ඔස්තාර්ලා ද ඒ තහංචි පනවන්නන් අතර සිටිය හැකි ය.

ඕනෑම රටක් තුළ මෙවැනි සීමාවන් ඇතැයි යන්න ඇත්ත ය. එහෙත් එවැනි සීමාවන්වල අර්ථය වන්නේ පුද්ගලික නිදහස පොදු උන්නතියට එරෙහිව නොයා යුතු බව ය. අප මේ කියන රටවල පොදු උන්නතියට එරෙහිව යනවා යැයි සැක හිතෙන ඒවා සම්බන්ධයෙන් පමණක් නොව කිසියම් සම්ප්‍රදායක් පිළිබඳ සැකයක් මතු කරන දෙයක්, විචාරශීලී මැදිහත් වීමක්, සම්බන්ධයෙන් වුව ද සීමාවන් පනවා තිබෙන්නේ ය.

එපමණක් නොවේ. එවැනි රටවල ඒ අණ හැම ක්ෂේත්‍රයක් පුරාම, හැම අස්සක් මුල්ලක් පුරාම, පැතිර ගොස් තිබේ. ඒවා අන්තවාදී ආගමික මති මතාන්තර වලින් ද පටු අදහස් වලින් ද මෙහෙයවනු ලැබ තිබේ. ප්‍රධාන ධාරාවේ අදහස් හැරුණු කොට වෙනත් මත තිබීම බරපතල වැරැද්දක් ලෙස සළකනු ලැබේ. බහුතරය අනුයන හැසිරීම් මිසක වෙන හැසිරීම් ද ඒ ලෙස ම බැහැර කරනු ලැබේ. විවිධත්වය පිළිගැනීමට සූදානම් නොමැති බව බොහෝ විට ප්‍රදර්ශනය කර තිබේ.

සම-ලිංගිකත්වය, සංක්‍රාන්ති ලිංගිකයෙකු වීම, එක් කලෙක වමත් කාරයෙකු වීම තරමට ම නපුරු යැයි හංවඩු ගසා තිබීම මේ සම්බන්ධයෙන් දිය හැකි එක් උදාහරණයකි. තර්ජනයට ලක් වී නොමැති යම් නිශ්චිත සතුන්ගේ පවා මස් කෑම තහනම් කිරීම තව උදාහරණයකි. ඇතැම් දිනවල නෘත්‍ය ගීත වාදන වලට තහනම් පැනවීම තව උදාහරණයන් ය. මස් විකිණිමට මත් පැන් විකිණීමට තහනම් පැනවෙන්නේ ඒ නිසා ය. මේ තහනම් කරන්නා වූ එක ද කාරණයක් වත් පුරවැසියන්ගේ පොදු යහපතට හරහට හිටින්නේ නැති බව විශේෂයෙන් සැළකිය යුතු ය.

වෙන ජාතිකයෙකුට තම රට තුළ ජීවත් විය හැක්කේ ඒ රටේ ප්‍රධාන ජනවර්ගය ජීවත්වන ආකාරයට යැයි විශ්වාස කෙරේ. ඉතිරි චර්යාවන්ට බාධා එල්ල කෙරේ. ඒවා අකුලා ගැනීමට අණ කෙරේ.

ඊට අමතරව මේ කියන රටවල පනවා ඇති සීමා අතික්‍රමණය කරන අයට, වැරැද්දට නොසරිලන, දැඩි දඩුවම් ලැබෙනු ඇත්තේ ය. ඒවායේ සීමා පිළිබඳ සම්මතයන් පවා සකසා ඇත්තේ ව්‍යාකූල ලෙස ය. ඒ නිසා කෙනෙකුට සිදුවන්නේ ස්වයං වාරණයක් දමා ගැනීමට ය. නිදහස තමා විසින් ම සීමා කර ගැනීමට ය.

පොදු උන්නතිය උදෙසා

එවැනි රටවල දර්ශනය මෙබඳු ය. පොදු උන්නතිය උදෙසා පුද්ගල නිදහස සහ කිසියම් නිශ්චිත ජන කොටසකගේ නිදහස අකුළා දැමිය යුතුය යන්න ය. පුද්ගල නිදහස ඒ හැටි ඔලුව උඩ තබා ගත යුතු යමක් නොවන බව ය. මානව හිමිකම් සුද්දන්ට තියා ගන්නට කියා අප අපේ රටේ මිනිසුන්ට විලංගු ලා අපේ සංස්කෘතික රාමුව තුළ තැබිය යුතු බව ය. අවශ්‍ය තැනක ගහලා හෝ හදා ගත යුතු බව ය.

කෙනෙකු සිය නිදහස වගකීමෙන් යුතු ව භාවිතා කළ යුතු බව ඇත්ත ය. එසේ නොකිරීමෙන් සෙසු මිනිසුන් අගතියට පත් විය හැකි ය. මේ ගැන තිබෙන අගනා කියමනකින් කියවෙන්නේ කෙනෙකුගේ හැරමිටිය වැනීමේ නිදහස ඉදිරියෙන් ඉන්නා පුද්ගලයාගේ නාසය ළගින් නිමා වෙන බව ය.

එහෙත් අප සඳහන් කළ නිදහස අහිමි බොහෝමයක් රටවල සිදු ව ඇත්තේ එක්තරා කොටසකට විලංගු ලෑමත් අනෙත් කොටසට සීමාවක් නැති නිදහසක් භුක්ති විඳීමට හැකි වීමත් ය. නිදහස වාරණය කිරීම පොදු උන්නතිය සමග එහෙමට සම්බන්ධයක් නැති බව ය.

ලංකාව අයිති වන්නේ ද මේ නිදහස අහිමි කරනු ලැබූ රටවල් ගොඩට ය. එය පසුගිය සමයේ එක්තරා ආකාරයක ලිහිල් බවක් ප්‍රදර්ශනය කළ ද සෙමින් සීරුවේ නැවතත් එය ගමන් කරමින් සිටින්නේ පුද්ගල නිදහස අහිමි කරන තත්වයක් කරා ය. ඒ රටේ වරප්‍රසාද ලත් කොටසකට නැවත වතාවක් අසීමාන්තික නිදහසක් ලබා දීම ඔස්සේ ය.

මේ වරප්‍රසාද ලත් පිරිසට අයත් වන්නේ ප්‍රධාන ධාරාවේ මිනිසුන් ය. අප රටේ නම් සිංහල බෞද්ධයන් ය. ප්‍රභූවරුන් ය. සංඝයා වහන්සේලා ය. දේශපාලන නායකයන් ය. මැති ඇමති වරු ය. අසීමිත නිදහසක් දැරීමේ අයිතිය ඇත්තේ ඔවුන්ට ය. සෙසු අයට සිදු ව ඇත්තේ තම නිදහස මේ කියන අයගේ නිදහස ප්‍රසාරණය වන ප්‍රමාණයට අකුලා ගන්නට ය.

ශබ්ද විකාශණ යන්ත්‍ර යොදා ගනිමින් මිනිසුන්ගේ කණ් වලට බලහාත්කාරයෙන් ගොඩ වැදීමට ඔවුන්ට පොතේ නීතියෙන් අවසර නැතත් ක්‍රියාත්මක නීතියෙන් අවසර ලැබෙන්නේ ඒ නිසා ය. ඒ අල්ල පනල්ලේ සාහිත්‍ය කෘති තහනමට ලක් වීමට කර්තෘ වරු හිරේ විලංගුවේ ලෑමට යෝජනා එන්නේ ද ඒ අනුව ය.

වැරදි කරන “භික්ෂූන්“ සම්බන්ධයෙන්, “රණවිරුවන්“ සම්බන්ධයෙන්, සෙසු වැරදි කරන අයට වඩා වෙනස් සැළකිල්ලක් දැක්විය යුතු යැයි කියවෙන්නේ ද ඒ නිසා ය. දහම් පාසල් අනිවාර්යය කිරීමට නීති පනවන්නට යන්නේ ඒ නිසා ය. ඊට පහසුකම් සැලසීමක් වශයෙන් ඉරිදා ටියුෂන් පන්ති තහනම් කරන්නට යන්නේ ද ඒ නිසා ය.

මේ නිදහස අහිමි කරනු ලැබූ රටවල නායකයන් මෙන්ම ජනතාව ද විශ්වාස කරන එක් දෙයක් තිබේ. ඒ තම රටවල වැඩි පුර ඉන්නේ යමක් තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කළ හැකි වැඩිහිටියන් නොව අඳ බාල පොඩි දරුවන් බව ය. ඔවුන් හැදිය හැක්කේ කප්පරක් අවවාද අනුශාසනා දෙමින්, දිගට හරහට තහංචි පනවමින්, තලමින්, ගුටිබැට දෙමින් හා දැඩි දඩුවම් ලබා දෙමින් බව ය.

ඒ නිසා ම නායකයින් හැටියට මිනිසුන් දකින්නේ ද එවැනි අප්පච්චිලා ය. නායකයන් ද පේවී සිටින්නේ අප්පච්චිලා වීමට ය. ගැලපෙන නායකයෙකු වීම සඳහා දරුවන් හුරතල් කිරීම සුවිශේෂ සුදුසුකමක් වන්නේ මේ මානසිකත්වයෙන් අප මෙහෙයවනු ලබන නිසා විය හැකි ය.

ප්‍රජාවන් ඇතුළත තත්වය ද වෙනස් නැත

සිංහල බෞද්ධයන් දෙමළ මුස්ලිම් මිනිසුන්ට වඩා නිදහසක් භුක්ති විඳින්නේ වුව ඔවුන් තුළ ද වෙනස් කම් තිබෙන්නේ ය. සෙසු කුලවල අය ගොවිගම කුලයට වඩා තමන්ගේ කුලය පහළ බව පිළිගෙන ජීවත් විය යුතු ය. ඒ නිසා වෙනත් කුල වල අයට සියම් නිකායේ උපසම්පදාව ලබා ගත නොහැකි ය.

දේශපාලකයන් පාර පුරා තමන්ගේ රථවාහන මෙහෙයවන විට සිංහල බෞද්ධයන්ට ද අකුළා ගෙන පැත්තකට වන්නට සිද්ද වෙන්නේ ය. නැතිනම් ගුටි කන්නට සිද්ධ වෙන්නේ ය. කුණු හරුප වලින් සංග්‍රහ විඳින්නට සිදු වන්නේ ය.

සිංහල බෞද්ධයන්ට ද තමන්ගේ නිවස අසල ශබ්ද විකාෂණ යන්ත්‍රයකින් කණ පිරෙන්නට බණ අස්සන්නට සැලැස්වූ විට වුව මුවින් නොබැණ සිටින්නට සිදු වන්නේ ය. නැතිනම් වෙන රටකට යන ලෙසට උපදෙස් ලබා ගන්නට සිදු වන්නේ ය.

සිංහල බෞද්ධයන්ට ද තමන්ගේ දරුවෙකු වුව කප්පම් සඳහා පැහැර ගෙන ගියේ “රණ විරුවෙකු“ නම් පාංශකූලය දී වෙන අතක් බලා ගැනීමට සිදු වන්නේ ය. දුෂණය කරනු ලැබුවේ පන්සලේ නායක හාමුදුරුවන් හෝ පළාතේ දේශපාලනඥයා අතින් නම්, “දුටුවේ ය – දුටුවා පමණකි, ඇසුවේය – ඇසුවා පමණකි“ යන බුදුබණ සිහි කර බකන් නිලා ගෙන ඉන්නට සිදු වන්නේ ය.

එයින් කියවෙන්නේ සිංහල බෞද්ධයන් වරප්‍රසාද ලබන්නේ දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට සාපේක්ෂව පමණක් බව ය. එයින් පිටත උන් බොහෝ දෙනෙක් ද පීචං බව ය. දෙමළ, මුස්ලිම් මිනිසුන් අතර වුව උන්ගේම ලොක්කෙකුගෙන් උන් තැලීමට ලක් විය හැකි බව ය. උන්ට ආණ්ඩු මට්ටු කළ හැක්කේ බයිට් එකට ගත හැක්කේ  කුඩා දෙමළ හා මුස්ලිම් මිනිසුන් පමණක් බව ය.

ප්‍රජා හිමිකම් ගැන කතා කළේ වුව ද මෙතෙක් අපේ සාකච්ඡාව වැඩිමනත් ලෙස ගොනු වුනේ පුද්ගල නිදහස වටා ය. යම් ජන කොටසකට ද සමූහයක් හැටියට භාෂණයේ නිදහස තිබිය යුතු ය. සමූහයක් හැටියට එක් රැස්වීමේ, සංවිධානය විමේ, තමන්ගේ ප්‍රජාවගේ කටයුතු තමන්ට රිසි වූ පරිද්දෙන් සංවිධානය කර ගැනීමේ නිදහස තිබිය යුතු ය.

ඔවුන් එක ජනවර්ගයකට අයත් අය විය හැකි ය. යම් ආගමක් අදහන අය විය හැකි ය. එක් ප්‍රදේශයක් තුළ වාසය කරන්නන් විය හැකි ය. එක පොදු දේපලක් වැවක් ගමක් බෙදා ගෙන ඉන්නා පිරිසක් විය හැකි ය. එකම වෘත්තියේ නියැලෙන වෘත්තිකයන් පිරිසක් විය හැකි ය. යම් පොදු අරමුණක් ඇති කණ්ඩායමක් විය හැකි ය. ඒ සියල්ලන්ට මේ නිදහස සමූහයක් ලෙස ලැබිය යුතු ය.

ආගමික මානව විරෝධය

කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබිය යුතු ය. කැමති ආගමක් ප්‍රචාරණය කිරීමේ නිදහස තිබිය යුතු ය. එසේ විය යුත්තේ ඒ සියල්ල අනෙකාට ද තිබිය යුතුය යන පදනම යටතේ ය. අනෙකාට අවහිර කරන්නේ කවර කණ්ඩායමක් වුව ද ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. ඒ නිසා පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට ඔවුන්ට අනුබල දුන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. එපමණක් මදි ය. මුස්ලිම් ආගම ද ඇතුළුව සියළුම ආගම්වල ඇති මානව විරෝධී ප්‍රකාශයන් විචාරයට ලක් විය යුතු ය. ඒ නැවත මෙවැනි ව්‍යාසනයන් ආරම්භ කිරීමට ඇති ඉඩ අහුරාලීමට ය. එසේ විචාරය කිරිමට නිදහස තිබීම ද මානව හිමිකමක් වන්නේ ය.

මානව හිමිකම් උදුරා ගන්නා තැනක ආගමේ ඇති පූජනීයත්වය නොබියව ප්‍රශ්න කිරීමට ජනයාට බලය ලබා දිය යුතු ය. ආගමේ නාමයෙන් මිනිසුන් බෙදා වෙන් කරන ක්‍රියාවන්වලට වැට බැඳිය යුතු ය. ආගමේ නාමයෙන් වෛරය පැතිරවිමට ඉඩ නොදිය යුතු ය.

එක් එක් කණ්ඩායම් තුළ ද ආගමික හෝ මූලධාර්මික තහංචි පනවමින් තමන්ගේ ම සාමාජිකයන්ගේ මානව හිමිකම් ඔවුන් විසින් ම උදුරාගන්නා අවස්ථාවන් ද වැළැක්වීමට කටයුතු කළ යුතු ය. කැමති ආගමක් ඇදහීමට (හෝ නොඇදහීමට) ඇති නිදහස මෙන්ම ආගමික අන්තවාදයෙන් නිදහස ද මානව හිමිකම් වලට ඇතුළත් ය. ඒ කියන්නේ ආගමික පරිශ්‍රයකින් පරිබාහිර තැනක තමන් කැමති විදිහට ඇඳුම් පැළඳුම් කිරීමට පුද්ගලයෙකුට ඇති අයිතියට ආගමකට සීමා පැනවිමට ඉඩ නොතැබිය යුතු බව ය. ආගම ස්වේච්ඡාවෙන් පිලි පැදිය යුත්තක් මිසක කිසිවෙකු මත බලාහත්කාරයෙන් පැටවිය යුත්තක් නොවන බව ය.

මානව හිමිකම් වලට දරුවන්ගේ හිමිකම් ද කාන්තාවන්ගේ හිමිකම් ද අයත් ය. ඒ නිසා ම පාසල තුළ දරුවන්ට ද ගෘහයන් තුළ කාන්තාවන්ට ද එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතු ය.

දරුවන් හා කාන්තාවන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී බොහෝ ආගම් වල කැරැට්ටුව අන්තිම පහත් ය. ශාස්තෘන් වහන්සේලාගේ දේශනා තුළට වඩා ආයතනගත ආගම් තුළ මේ තත්වය පැහැදිලිව පෙනෙන්නේ ය. ඒවා සමාජය ඉදිරියේ දිග හැර විවේචනය කළ යුතු ය.

හය හතරක් නොතේරෙන කුඩා දරුවන් මහණ කිරීමටත් විවාහ කර දීමටත් එරෙහි විය යුතු ය. එම කටයුතු නිසි තීරණ ගත හැකි වයසට පත් වීමෙන් පසු ඒ ඒ පුද්ගලයන්ගේ රුචිඅරුචිකම් අනුව සිදු විය යුතු කටයුතු ලෙස සැළකිය යුතු ය.

වඩා නිදහස් මිනිසුන් විසින් සමාජ වගකීම ද පෙරටුකොට ගෙන ස්වේච්ඡාවෙන් තනනු ලබන ඕනෑම සමාජයක් පරාදීසියක් ම වනු ඇත්තේ ය. ඒ තුළ විවිධත්වය ද රසය ද විනෝදය ද සතුට ද තිබෙනු ඇත්තේ ය. සැවොම සතුටින් ජිවත් වනු ඇත්තේ ය.