පැහැනද පහන් – සුනන්ද කරුණාරත්න කාව්‍ය නිර්මාණය

මිදුල වතුරින් පිරී ගලා යන සැඩ පහරවල් මතු ව අමුතුම ලෝකයක් කුඩා අප ඉදිරියේ මවන වැස්ස අපට අපූර්ව අත්දැකීමකට මග සලසන්නේ ය. එවන් දිනක කඩදාසි ඔරු හදා පා කර ඒවායේ ගමන් මග දෙස නෙත් අයාගෙන බලමින් අපූරු සිහින ලොවකට පිවිසුනේ නැති කුඩා ළමයෙකු සොයා ගැනීමට අපහසු ය. ඒ සඳහා කුඩා අපව මුලින් පොළඹවන්නේ වැඩිහිටියා තුළ ඉන්නා කුඩා දරුවා ම ය. කුඩා අප ඒ ලෝකය තුළ තනිවන විට වැඩිහිටියෝ ඉක්මණින් තමන්ගේ ජීවිතයට මුහුණ දීම සඳහා පසු බසිති. ඇතැම් විටක ඊළග වැසි සමය වන විට දරුවා නැවතත් ඒ අත්දැකීම උදෙසා ආසාවෙන් යොමු වුව ද වැඩිහිටියාට ඊට ඉස්පාසුවක් නැති වෙයි. තමන්ගේ ප්‍රශ්න තුළ අතරමං වන ඔහුට ඇතැම් විට කඩදාසි ඔරුව හදන්නට කඩදාසි කෙසේ නමන්නේ ද යන්න ද අමතකව තිබෙන්නට පුළුවන.

මේ ලෝක දෙක අතර පරතරය අතිශයින් ස්වභාවික ය. සදාතනික ය. එය ඉක්මවන්නට ඉසඹුවක් ලබන දෙමාපියන් වාසනාවන්ත ය. ඔවුන්ගේ දරුවන් ඊටත් වඩා වාසනාවන්ත ය. “පැහැනද පහන්” කාව්‍ය සංග්‍රහය සුනන්ද ආරම්භ කරන්නේ මේ සුවිශේෂී අත්දැකීම අපූරු කවි බසකින් අපට ඉදිරිපත් කරමින් අපේ ජීවිත දෙස නැවත බලන්නට අපව යොමු කරමින් ය. ඒ කවි පෙළේ නම කඩදාසි ඔරු ය. ඔරු කඩදාසි වුනාට කුඩා දරුවාට එය අතිශයින් වටින්නේ ය. අපේ දෙමාපිය භූමිකාව එක් අතකින් ප්‍රශ්න කරමින් ද අනෙත් අතින් අපේ ළමා කාලයේ සොඳුරු මතකයන් ස්පර්ශ කරමින් ද අපූරු කවි මගක අපව ගෙන යන්නට එසේ මේ කවි පොතේ මුල් ම කවියෙන් කවියා   සමත් ව තිබේ.

එකල මහ වැසි වැටුන දවසක

මිදුල සයුරක් මැවූ උදයක

නෙක කොදෙව් හා මහා දීප ද

දික් විජය කරන මෙන් අණවා

පා කළෙමි මා සිඟිති ඔරු පෙළ

කෙනෙකුට අවශ්‍ය නම් මේ කවීයට දේශපාලන අරුතක් ද එක් කළ හැකි ය. ඒ ප්‍රයෝජ්‍යවාදයට/ පාරිභෝජනවාදයට යටවුණු දෙමාපියන් ළමයින්ගේ මේ අපූර්ව ලෝකය අඳුරු කරනවා වැනි අරුතක් දීම හරහා ය. කවියකට තිබිය හැක්කේ එක තේරුමක් නොවේ. ඔබට ඇතැම් විට මෙයින් ඊටත් වෙනස් අර්ථයක් මැවිය හැකි වනු ඇත.

සුනන්දගේ කවි බොහෝමයක අරුත් ගණනාවක් මැවිය හැකි ඒ ගුණය තිබේ. ඒ සඳහා උදාහරණයක් ලෙස මා ඉදිරිපත් කරන්නට කැමති “පැරණි සේයාරුවක්” යන අපූරු කවි පන්තිය ය. කවිය ආරම්භ කරන්නේ “මහගෙදර” පොත් අල්මාරිය අස් කරන කොට වැටෙන පැරණි සේයාරුවක් ගැන කියා ගෙන ම ය. අවසන් කරන්නේ ඒ සේයාරුව කොතෙක් මතක ගුලි කර ගෙන තිබුණත් “අලුත් ගෙදර”ට නම් රැගෙන යා නොහැකි බව කියමින් ය.

ඒ අතර මැද කවි වලින් කියන්නේ ඒ සේයාරුව පිළිබඳ අතීත මතක සටහන් ය. ඒ සේයාරුවේ ඉන්නේ මහගෙදරින් ප්‍රතික්ෂේප වීම නිසා අත්හැර දමනු ලැබූ පැරණි පෙම්වතිය ය. ඉතින් ඈ පිළිබඳ සේයාරුවක් විවාපත් වූ අලුත් පවුලට හිමි අලුත් ගෙදරට ගෙන යෑමට නොහැකි වීම සාධාරණ ය. කවිය මුළුමණින් කියවන ඔබට වැඩි දුරටත් පසක් වනු ඇත්තේ මේ පුද්ගලයා සමාජයට ඔ්නෑ හැටියට ජීවත් වන කෙනෙකු ලෙස ය. ඒ එවැන්නෙකුගේ ජීවිතය ඛේදවාචකයක් වීම ගැන ඔබ තුළ කම්පාවක් ජනිත කරමින් ය. ඔබ මේ කවිය ඔස්සේ ම ඔබ පිළිබඳව තවදුරටත් විමසීමට කැමති නම් ඔබ ද එවන් ශෝචනීය ජිවිතයක උරුමක්කාරයෙකු බව ද මේ අද ලාංකිකයන් මුහුණ දෙන පොදු ඛේදවාචකයක කතාව බව ද පසක් කරගනු ඇත.

කවියේ ආරම්භය මෙසේ ය.

මහගෙදර මගේ පොත් අල්මාරිය

අස්කරන කොට තට්ටුවෙන් තට්ටුව

ඒංගල්ස්ගේ පවුල අස්සෙන්

ෆෝටෝ එකක් වැටුන බිමට

ඉහත කියන සේයාරුව වැටෙන්නේ ඒංගල්ස්ගේ “පවුල” කියන පොත අතරින් ය. ඒංගල්ස්ගේ පවුල කියන පොත කියවූ කෙනෙකුට මේ කවිය හරහා තවත් ඛේදවාචකයක් මුණ ගැසෙනු ඇත. ඒ දේපල ආධිපත්‍ය පවත්වාගෙන යන මේ පවුල නම් අපූරු ඒකකය කෙතරම් දුරට අපේ නිදහස් ජීවිතයට බලපෑමක් කරන්නේ ද යන්න ය.

පරණ පෙම්වතිය මේ සම්ප්‍රදායික ආචීර්ණකාල්පික අදහස් සමග ජීවත්වන්නියක් නොවේ. එය අපට සුනන්ද එලිදරව් කරන්නේ මෙසේ ය.

මුලින් ම අපි ඩයෑන්ගෙ තැනට ගිය දවසෙ

අද මෙහෙ අපට ඉන්න පුළුවන්

කියල ඔයා කිව්වම

හෙල්ලුණා මුලු බිල්ඩිමම

මගෙ පපුවෙ ගිඩිගිඩියට

මේ කවි පෙළේ තීරණාත්මක වචන කිහිපය ගැන අපේ අවධානය යොමු කරමු. “මුලින් ම” – එක වතාවක් නොව කීප වතාවක්, “ඔයා කිව්වහම” – පිරිමියා නොව ගැහැණිය කී විට, “මගෙ පපුවෙ ගිඩිගිඩියට” – ඇගේ පපුව නොව මගේ පපුව. ඒ සියල්ලෙන් කියන්නේ ඇය මේ පුරුෂ පරාණයට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් ඉන්නා බව ය. කිසිදු බියක් ඇයට නැති බව ය. ඇය සමාජ ආකල්ප මායිම් නොකරන බව ය.

මේ සියල්ල අපට සුනන්ද ගෙන එන්නේ අප තුළ උත්ප්‍රාසයක් ඇති කරමිනි. ඒ සඳහා කවි බස මනාව උපයෝගී කරගනිමිනි. මුලු බිල්ඩිමම හොල්ලන ගිඩිගිඩියක් ගැන කියන විට මවන රූපය කෙතරම් නම් කම්පනය කරන සුලු ද?

මේ පුරුෂ පරානයේ බිය සාධාරණය කරමින් කවි පන්තිය ගලා ගෙන යන්නේ මෙසේ ය.

ඇස් ඇරෙන කොට අපට

බට කැලේ වගෙ ගිනි අරන්

මුලු ඔෆිස් එකම

ටෙලිෆෝන් වයරුත් ගිනි ගත්ත

ගෙවල්වලට ඇවිලෙන කල්ම

සුනන්ද ඉතා මනරම් කවි ශිල්ප දක්වා දිගු කතාවක් ඉතා ප්‍රබල රූපක ඔස්සේ අප ව කම්පනය කරමින් අතිශය සංක්ෂිප්ත ලෙස ගෙන එන්නේ ශූර ලෙස ය. අනාවරණය ඉදිරියේ සමාජය අවි අමෝරන අයුරු ද ඔහු ප්‍රබලව විස්තර කරයි.

අප්පච්චි හැදුවෙ තුවක්කුව අරන්

ඊළඟ සඳුදා ම කොළඹ එන්න

ගෝලු අරන් අම්මයි නැන්දලයි

වැලහින්නියො වගේ පැන්න ඇඟට

දෙමාපිය ආශිර්වාදය මැද කෙරෙන විවාහයට (ඒ පවුලට) මේ අතීත කතාව කාන්දු වෙන්නට බැරි ය. එය ද සුනන්ද ලස්සණට කියන්නේ ය.

ඉතින් මම දැන් අලුත් ගෙදරක

කේතලෙන් මල්ලකුත් අරගෙන

ගෙනියන්න බෑ මට මේ ෆොටෝ එක

වරුණිකාගෙ තියුණු ඇස් යට

තියෙන අපේ අලුත් ගෙදරට

කථකයාට ගැලවිල්ලක් නැත. පරණ “පව්” කවදා හෝ විඳවන්නට වේ දැයි බියෙන් ඔහුට තවදුරටත් ජීවත් වන්නට සිදුවේ. මේ ගෙවන්නේ කුමන ජීවිතයක් ද? එය ඔබට හිතුනා නම් සුනන්ද සාර්ථක ය.

යුද්ධයක දී දිනන්නේ කවුද පරදින්නේ කවුද යන්න ද යුද්ධයේ රුදුරු ස්වභාවය මෙන් ම ඒ පිටුපස ඇති උන්මත්තකභාවය ද මොනවට ඉදිරිපත් කරමින් ගලන මිනිසා හා අශ්ව හිස කවි පන්තිය ද මා සිත් ගත කවි අතර එකකි. සාලිය අසෝකමාලා පුරාවෘත්තිය ද ඉසුරුමුණියේ පෙම් යුවල ළඟින් තිබෙන මිනිසා හා අශ්ව හිස ප්‍රතිමාව ද නැවත කැඳවමින් ඔහු ඉතිහාස කතාව ඔස්සේ යුද්ධයේ සදාතනික සත්‍යය වෙතට අප ලං කරයි. මෙහි දී ඔහු අතිශය දක්ෂ තාක්ෂණික කටයුත්තක් ද කරයි. ඒ අසෝකමාලා – අසෝක හා මාලා ලෙස වෙන් කරමින් ය. ඒ අසෝක යුද්ධයේ දී සටනට යවනු ලබන්නේ ය. ඔහුට අවශ්‍ය ධෛර්ය ලැබෙන්නේ මාලා ඔහු සමග සිටිනවාය යන මායාව නිසා ය. ඒ මායාවෙන් මෙහෙයවනු ලැබ ඔහු මිනිසුන් කැති ගායි.

දෙතිසක් බලකොටු වෙත එක පැහැර

මෙහෙයවා අසු නිබය ව

කැති ගාන මෙන් සොළී සෙනඟ

ලෙළවන කල අසිපත

මා පසුපසින් අසුමත

නුඹ මා වැළඳ සිටිතැයි

ගැලුණෙමි නිරන්තර මායාවක

යුද්ධය දිනා එන විට ඔහුගේ මාලා සාලිය කුමරු රැගෙන ගොස් ය. රටක් ජය ගත් ඔහුට ජීවිතය අහිමි කරනු ලැබ ඇත්තේ එසේ ය.

එහෙත් පෙරළා එන කල

දිනා රණ විරු බුහුමන්

මල්පට පෙරව අප හුන්

අසෝක වනය සිස් ය!

යුද්ධයට යන්නට උඩ ගෙඩි දුන් කවුරුවත් ඔහු වෙනුවෙන් වචනයක් වත් වියදම් කළේ නැත.

කුමරුන් හා එන නුඹට

රන් කෙන්ඩියෙන් පැන් වඩා ආසිරි පැතූ

ඉසුරුමුනියෙහි මුනිවරු

රකිත් මා වෙත මුනිවත

මිනිසා හා අශ්ව හිස අපට සුනන්ද මෙසේ මුණ ගස්වන්නේ ය.

යුදයෙන් ලත් නෙක වණ කැළැල් ඇති

දුබලය මා ගත

සා පවසින් පරිපීඩිත

වෙහෙසය මා හට

තවත් කුමට රැඳෙන්නේ ද මෙහි

හිස සලා විමසයි අසු

දුබලව ඇත්තේ වෙහෙසට පත් ව ඇත්තේ අසෝක පමණක් නොවේ. අසු ද මේ ඛේදවාචකයේ ගොදුරකි. අසු විමසන්නේ තවත් කුමට මෙහි රැඳෙන්නේ ද යන්න ය. මට හැඟුනේ යුද මානසිකත්වය තුළ තවදුරටත් අප රැඳිය යුත්තේ ඇයි දැයි කවියා අප ව ද විමසන බවකි.

සුනන්දගේ කවි හැම එකක් ම විමසන්නට ගියොත් පොතක් ලියන්නට වෙන නිසා මේ සටහන මෙතැනින් නිම කරමි. ඔබට පොත කියවන්නට ලැබුණොත් ඔබ තවත් බොහෝ දෑ සොයා ගනු ඇතැයි මට සහතික ය.

(මේ සටහන ලියන්නට මා පෙළඹුනේ නොවැම්බර් 29 දින පුවත්පත් මණ්ඩල පරිශ්‍රයේ මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ පවත්වන ලද සාකච්ඡාව ය. එහි දී පළ කළ අදහස් වලින් ද මේ සටහන පෝෂණය වූ බව කෘතඥ පූර්වකව සඳහන් කරමි)

ආණ්ඩුවේ දේශපාලනය හා විපක්ෂයේ දේශපාලනය

බොහෝ දෙනෙකු කැමති ආණ්ඩුව ගැන කතා කරන්නට ය. ආණ්ඩුවේ දේශපාලනය ගැන කතා කරන්නට ය. ආණ්ඩුව කරන නොකරන වැඩ ගැන කතා කරන්නට ය. විපක්ෂය සම්බන්ධ කතිකාව ගැන එවන් උනන්දුවක් නැත. තිබේ නම් එය ඉතා අල්ප ය.

එය එක අතකින් සාධාරණ ය. අපේ ජීවිත වලට වැඩි බලපෑමක් කරන්නේ ආණ්ඩුව කරන හා නොකරන වැඩ ය. ආණ්ඩුව දක්වන ශිල්ප හා නොදක්වන ශිල්ප ය. එහෙත් එයින් මුලු පින්තූරය අපට මග හැරෙන්නේ ය. ආණ්ඩුවේ හා විපක්ෂ ක්‍රියාකාරිත්වය අතර ඇති ගතිකත්වය (එකක් අනෙකෙන් ප්‍රතිපෝෂණය වන බව) අපට නොපෙනී යන්නේ ය. ඒ නිසා රට තුළ සිදු වන දෑ තේරුම් ගැනීමට අපට හරිහැටි නොහැකි ව යන්නේ ය. යා යුතු ගමන නොයා, නොයා යුතු ගමන් යෑමට අප පෙලඹෙන්නේ ය.

ඇත්තට ම කියනවා නම් ආණ්ඩුවක් කරන වැඩ සම්බන්ධයෙන් ආණ්ඩුව පමණට ම විපක්ෂය ද වග කිව යුතු ය. ජනතාව පාරට බැස්සේ විපක්ෂය ඒ වගකීම ඉටු නොකර ඇඹරෙමින් සිටින විට ය. විපක්ෂය එක්තරා දුරකට ආණ්ඩුවට නටනු පිණිස බෙර පද තාලය අල්ලන තරමට, ආණ්ඩුව හා විපක්ෂය එකිනෙකට සම්බන්ධ ය.

තවත් අතකට අප විවරණය ආණ්ඩුවට සීමා කරන විට විපක්ෂය විකල්ප ආණ්ඩුව බව අපට ඉන් අමතක වන්නේ ය. අපට පමණක් නොව විපක්ෂයට ද එය අමතක වන්නේ ය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඊළඟ නිලවරණය ආ විට ඒ හරහා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නොව තියෙන ආණ්ඩුව පරාජය කිරීමට අපට සිදු වීම ය. ඒ නිසා විපක්ෂය කල්යල් බලන්නේ ම ආණ්ඩුව කුණු වී බිමට වැටී ආණ්ඩු බලය තම ඔඩොක්කුවට වැටෙන කම් ය. ඒ සඳහා කළ යුතු යැයි ඔවුන් විශ්වාස කරන්නේ ආණ්ඩුව විවේචනය කිරීම ය. ආණ්ඩුවේ “ෆයිල්” එකතු කර තියා ගැනීම ය.

ආණ්ඩුවට වගේ ම විපක්ෂයට ද එහෙමට වැඩ පිළිවෙළක් නැත. ඔවුන් කියන එක ම දේ අපට බලය දෙන්න අප කොරන්නම් කියා ය. ආණ්ඩුව කරන වුන් කළු වුනාට අප සුදුයි කියා ය. විපක්ෂය ගැන එහෙම අප පොදුවේ කීවාට විපක්ෂය කියන්නේ සමජාතිය එකකට නොවේ. එය විවිධ හැඩ තල ඇති සංවිධානය ගණනකින් සෑදුණකි. එක් එක් සංවිධානය තමන්ට අනන්‍ය භූමිකාවක් නිර්මාණය කර ගෙන තිබේ. ඒවා එකිනෙකට වෙනස් ය.

සමහර සංවිධාන උත්සහ කරන්නේ විකල්ප ආණ්ඩුවක් පිහිටු වීමට නොවේ. විකල්ප ආණ්ඩුවක කොටස් කාරයෙකු වීමට ය. සහයට ඩැනී කෙනෙකු වන්නට ය. සමහරු කැමති ආණ්ඩුවක රිමෝට් කන්ට්‍රෝල් එක වන්නට ය. සමහරු කැමති විරෝධය දක්වමින් දිගින් දිගට විපක්ෂයට වී සිටීමට ය.

විකල්ප ආණ්ඩුවකට පිහිටු වීමට උත්සහ දරන කණ්ඩායම් දෙකක් අපට මේ අය අතුරින් අඳුනා ගත හැකි ය. එකක් සමගි ජන බලවේගය ය. අනෙක ජාතික ජන බලවේගය ය. එහෙත් මේ බලවේග දෙක ම කරමින් ඉන්නේ ආණ්ඩුවට ඔරිජිනල් විකල්ප නොව ඩුප්ලිකේට් විකල්ප වීමට ය. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනය ආගමික වන විට ඔවුන් ඊටත් වඩා ආගමික වන්නේ ය. සජිත් චෛත්‍ය හැදීමේ වැඩ පිළිවෙළක් යෝජනා කරන්නේ ද ජාජබය පන්සල් වලට ශබ්ද විකාශන යන්ත්‍ර බෙදමින් යන්නේ ද ඒ සඳහා ය. ආණ්ඩුව කරන දේශපාලනය සුබසාධනය වන විට ඔවුන් ද සුබසාධනය කරට ගන්නේ ය. ආණ්ඩුව ටකරන් බෙදන විට ජාජබ ග්‍රාම සංවර්ධන සමිති වලට ප්ලාස්ටික් පුටු බෙදන්නට ද සජබ ය මහණ මැෂින් දෙන්නට ද ඉදිරිපත් වන්නේ ඒ සඳහා ය. ඒත් ඒවා අතිශය දුප්පත් විකල්පයන් ය.

ආණ්ඩුවේ වැඩ පිළිවෙළට ප්‍රතිපක්ෂ විකල්ප නොව ඒවා පසු පස යන පසුගාමී විකල්ප ය. ආණ්ඩුව දේශපාලනය පසුගාමී ආගමික සංස්ථා හා විශ්වාස සමග පටලවන්නට යන විට ඒ උපායමාර්ගයේ නිර්ලජ්ජී භාවය හා භයානක අතුරුඵල පෙන්නා දෙනු වෙනුවට ඊට අනුකූල වෙමින් ඒත් ඊට වඩා දුප්පත් වන නමුත් තවදුරටත් නිර්ලජ්ජී අනුගාමී උපාය මාර්ගයකට තල්ලු වීමෙන් විධිමත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට බැරි ය. එහෙත් ආණ්ඩුවේ ම කුණු වීම නිසා එය කඩා වැටෙන  විට ඒ තැන ගන්නට ඊට ඉඩක් ඒ හරහා ලැබෙන්නට ඉඩ තිබේ. මේ කුරුමානම ඒකට ය. එය එක් කුණු වූ දේශපාලනයක් වෙනුවට තවත් කුණු වූ දේශපාලනයක් ආදේශ කිරීමකට එහා නොයන්නේ ය.

විකල්ප විපක්ෂය අඳුනා නොගන්නා තවත් කරුණක් තිබේ. ඒ සල්ලි බලය හා රාජ්‍ය බලය ඇති ආණ්ඩුවක් සමග ඒ ක්ෂේත්‍රයන්හි හැප්පෙන්නට ඔවුන්ට නොහැකි බව ය. ඒ සඳහා දරණ උත්සහයන් උත්ප්‍රාසය පමණක් ඇති කරන බව ය. ඒ අඩුව ඔවුන් මකන්නට උත්සහ ගන්නේ ආණ්ඩුවට එරෙහි කරන විවේචනයන් උත්සන්න කිරීමෙනි. ඔවුන්ට මග හැරෙන කාරණය නම් පවතින ආණ්ඩුව විවේචනය කිරීමෙන් පමණක් විකල්ප ආණ්ඩුවක් ලෙස පෙනී සිටිය නොහැකි බව ය. ඒ සඳහා අර්බුදයට තමන්ගේ විකල්ප විසඳුම් ද ඉදිරිපත් කළ යුතු බව ය. ඒ සඳහා දරණ ප්‍රයත්නයන්ගේ වුව පැහැදිලි වෙනස් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට හෝ එසේ ඉදිරිපත් කරන වැඩ පිළිවෙළක ඇති විශ්වාසනීයත්වය තහවුරු කිරීමට හෝ විපක්ෂය සමත් ව නැත.

උදාහරණය ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතීම හා පාඩු ලබන රාජ්‍ය ආයතන විදේශ ආයෝජකයන්ට විකිණීම ආණ්ඩුව පැත්තෙන් යෝජනා වන විට ජාජබ ය ඒ සඳහා ඉදිරිපත් කරන්නේ විදේශ වල සිටින තමන්ගේ දේශපාලන සහෘදයන්ගේ සම්ප්‍රේෂණ වලින් එය සාක්ෂාත් කර ගන්නා බව ය.

විකල්ප ආණ්ඩුවක් ලෙස පෙනී සිටීම සඳහා පවතින ආණ්ඩුවට දක්වන හුරු විරෝධය නොසෑහෙන බවත් ඒ සඳහා විකල්ප මෙන් ම “විශ්වාසනීය” වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් ආණ්ඩුවක් පිහිටුවීමට පිට පොට ගසන බලවේග වලට අවබෝධ වී නැත. අවබෝධ වුව ද ඒ සඳහා සෑහීමකට පත් විය හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමේ ලා ඔවුන් සමත් වී නැත.

ආණ්ඩුවට අභියෝගයක් විය හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට නොහැකි වන තාක් ආණ්ඩුව වෙනස් කිරීමට බැරි ය. ආණ්ඩු බලය වෙනස් කිරීමට ද බැරි ය. ආණ්ඩුවේ භාග්‍යය රැඳී ඇත්තේ විපක්ෂයේ මේ අභාග්‍යයේ ය. ආණ්ඩුවේ දේශපාලනය පිළිබඳ විවේචනයෙන් නොසැහී විපක්ෂය විවේචනය කිරීමට දේශපාලන විචාරකයන් කටයුතු කළ යුත්තේ ඒ නිසා ය.

“අවශ්‍ය දේශපාලනය” ඇත්තේ “පක්ෂ දේශපාලන”යෙන් ඔබ්බෙහි ය.  

දේශපාලනය අපේ ජීවිතයට එහි සෑම අංශයකට ම සම්බන්ධ ය. අද අප මුහුණ දෙන අර්බුදය ප්‍රමාණවත් දේශපාලනයක අප නොයෙදීම නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් බොහෝ දෙනෙකු දේශපාලනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ නායකයෙකු හෝ පක්ෂයක් තෝරාගෙන කඩේ යන එකට ය. ඒ නිසා දේශපාලන මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි තෝරා බේරා ගැනීම අවශ්‍ය ය.

අප ඉන්නේ නායකයෙකු පත් කර ඔහු/ඇය විසින් අපට සෞභාග්‍ය උදා කර දීමේ සිහිනයක ය. ඒ නිසා එකෙක් පරාජිකව ගිය කල අප සොයන්නේ ඔහුගේ/ඇයගේ තැනට ආදේශකයක් ය. ඒ නිසා ම ඒ තෝරාගත් පුද්ගලයාට කඩේ යෑම දේශපාලනය හැටියට සැලකීම අරුමයක් නොවේ.

රටේ පවතින බොහෝ ප්‍රශ්න තනි පුද්ගලයෙකුට විසඳිය හැකි සිල්ලර ඒවා නොවේ. ඒ සඳහා ජන සහභාගිත්වයක් අවශ්‍ය ය. ජන මනසේ පෙරලියක් අවශ්‍ය ය. සෑම මට්ටමක ම වෙනසක් අවශ්‍ය ය.

ලංකා දේශපාලනයේ ඉහළින් ම ඇති ප්‍රශ්නයක් නම් නායකයාට වන්දනා මාන කිරීම ය. ඒ ප්‍රශ්නය නායකයෙකුට විසඳිය හැකි ද? සමහරුන්ගේ උත්තරය විය හැක්කේ විසඳිය හැකි නම් ඒ ඔහුට පමණක් බව ය. එහෙත් ඇත්ත කතාව ඉඳුරා ම වෙනස් ය. වන්දනා මාන නොකිරීම ගැන නායකයා උරණ නොවූව ද අනුගාමිකයන් උරණ විය හැකි ය. ඇත්තට ම නම් වඩාත් උරණ වන්නේ නායකයා නොව අනුගාමිකයන් ය. ඉතින් එය නායකයෙකුට විසඳිය හැකි ප්‍රශ්නයක් ද?

ලාංකීය දේශපාලනයේ ඉහළින් ම තැබිය යුතු දෙයක් වන්නේ විවේචනයට මුහුණ දීමේ දක්වන පරිණත භාවය ය. තම කඳවුරේ වුව ද වැරැද්දක් වැරැද්දක් ලෙස දැකිය හැකි වීමේ ප්‍රාගුණ්‍ය ය. නැත්තේ ම ද ඒක ය. ඊට ම අදාළව පැන නැගිය යුතු ඊළග ප්‍රාගුණ්‍ය වන්නේ විරුද්ධ මතයක් දැරීමට කෙනෙකුට ඇති අයිතිය වෙනුවෙන් ඒ මතයට විරුද්ධ වෙමින් ම ප්‍රමාණවත් ව නැගී සිටිමේ හැකියාව ය. එය නම් කොහොමටවත් ම නැත. මේවා ඔඩු දුවා ඇති තුවාල ය. ඒ තුවාල සනීප කිරීම සඳහා ජන මනසේ වෙනසක් අවශ්‍ය ය. දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීමෙන් මේවා විසඳිය නොහැක්කේ බලයට පත් වීම සඳහා ම සෑම දේශපාලන බලවේගයක් ම මේ නොසණ්ඩාල අදේශපාලනික උපාය මාර්ගයන් අනුගමනය කරන නිසා ය.

දේශපාලනය වැඩ කරන්නේ සංස්කෘතික සන්දර්භයක ය. ලාංකීය දේශපාලනය තුළ නොඅඩුව ම ක්‍රියාත්මක වන සංස්කෘතික වටිනාකම කුමක් දැයි ඇසුවොත් කියන්නට තිබෙන්නේ ඒ “අපේ කම” කියා ය. ඒ තුළ බලයට පත් වෙන දේශපාලන බලවේගයට සිදු වන්නේ පළමුව “අපේ මිනිහා” ගැන වග බලා ගැනීමට ය. පරයන් පැත්තකට තල්ලු කිරීම ය. තනතුරු ප්‍රදානයේ පටන් වරදාන දීම දක්වා සලකනු ලබන ප්‍රධාන නිර්ණායකය එය ය. ඒ අපේක්ෂාව අහිංසක නොවන බව ඒත්තු ගැන්වීමට බලයට පත්වීමෙන් පසු බැරි ය. බලයට පත් වීමට පෙර කතා කිරීමෙන් බලය ලබා ගැනීමට ඇති ඉඩ අහෝසි වන්නේ ය. ඒ නිසා කිසිදු දේශපාලන බලවේගයක් ඒ ගැන කතා කරන්නේ නැත. අප නිරත විය යුතු දේශපාලනය පක්ෂ වපසරියෙන් ඔබ්බට යා යුත්තේ ඒ නිසා ය.

බලයට පත් වීමට පුල පුලා බලා සිටින දේශපාලන කණ්ඩායම් වලට රට තුළ ඇති වන අර්බුද පිළිබඳ පණිවුඩ ගෙනෙන්නේ ප්‍රීති දායක ආරංචි ය. ඔවුන්ට ඒ අර්බුද විසඳන්නට වුවමනාවක් නැත. ඔවුන් ඇත්තට ම කැමති ඒවා ඔඩු දුවන තරමට ය. උග්‍ර වන තරමට ය. අර්බුදයක් නැති තැනක වුව එහෙම එකක් අවුළුවා ගන්නට ඔවුන්ට අවශ්‍ය ය. ඒ නිසා අර්බුදයේ දිග පළල ගැන රසවත් කතන්දර ඇද බානවා මිසක් විසඳුමක් ගෙන එන්නට ඔවුන් කටයුතු කරන්නේ නැත. ඔවුන් දිගට ම කියනු ඇත්තේ බලය අපට දෙන්න, අප විසඳනවා කියා ය. බලයට පත් වූ පසු ඔවුන්ට ඒ පොරොන්දු පිළිබඳ වගේ වගක් නැත. ඔවුන්ට විසඳීමට ඊට වඩා වැදගත් ඔවුන්ගේ ම වූ ප්‍රශ්න තිබෙන බැවිනි. එකක් ලබා ගත් බලය පරිහරණය කිරීම ය. අනෙක බලය ලබා දුන් පාර්ශව කරුවන් සතුටින් තැබීම ය. තෙවැන්න බලය පවත්වා ගෙන යෑම ය. ඇත්තට ම කියනවා නම් ඔවුන්ට වුවමනා වුව ද කරන්නට පුළුවන් කමක් නැත. කරන්න කුමක් දැයි කල්පනා කර නිගමනවලට එන්නට ඔවුන්ට වෙලාවක් තිබුනේ නැත. දැන් කොහොමටවත් නැත. ප්‍රශ්න ඒ තරමට විශාල ය. ප්‍රශ්න වලට බාල ගිරි දෝෂය වැළඳෙන්නේ ඒ නිසා ය. ඒවා අද නොව හෙට විසඳනු ඇත්තේ ය. පක්ෂ වපසරියෙන් එහා දේශපාලනයක් අවශ්‍ය වන අනෙක් හේතුව ඒක ය. අපේ දේශපාලනය හුදු අයිතීන් ඉල්ලීමෙන් ඔබ්බට ගොස් විසඳුම් ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක වන ලෙස බලකිරීම දක්වා පළල් විය යුත්තේ එහෙයිනි. ඒ බලයට පත් වීමට බලා සිටින අය නොකරන වැඩකි. මක් නිසා ද බැරි වෙලාවත් ඒවා ක්‍රියාත්මක කළොත් තමන්ට බලයට ආ හැකි මං ඇහිරෙන බැවිනි.

දේශපාලනය පක්ෂ සීමාවෙන් ඔබ්බට ගෙනි යන්නට වැඩි වැඩියෙන් මිනිසුන් එකතු වූ දිනයක මේ රට ගොඩ නැගිය හැකි ය. එතෙක් 74 වසරක සුපුරුදු සෙල්ලම (ඇතැම් විටක අලුත් ක්‍රීඩකයන් සමග වේ වයි) නැවත නැවතත් නැරඹිය හැකි ය.

අල්මේදාගේ හත් දවස

මේ පොතේ කතාව කියන්නේ ද එහි කතානායක අල්මේදා ය. ඒ නිසා මේ පොතින් කතුවරයා (Shehan Karunathilaka) කරන්නේ අපට අල්මේදාගේ කෝණයෙන් ලෝකය දෙස බලන්නට ඇරයුමකි. ඒ සඳහා අප පළමුව අල්මේදාව තෝරා බේරා ගත යුතු ය.

ඔහු ඡයාරූප ශිල්පියෙකි. ඔහු ඡයාරූප ශිල්පියෙකු හැටියට හමුදාවට ද කලක් සේවය කරයි. ජාත්‍යන්තර සංවිධාන වලට ද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වලට ද සිය ඡයාරූප විකුණයි. ඊට අමතරව ඔහු මැදිහත් කරුවෙකුගේ භූමිකාවක් ද රඟපායි. ඒ යුද්ධය පවතින පහසුවෙන් යා නොහැකි තැන්වලට ඇතැම් අය ගෙන යෑම ද හරහා ය. ඒ සඳහා ඔහු ඔහුගේ පැරණි වෘත්තීය සබඳතා භාවිතා කරයි. මාධ්‍යවේදියෙකු සතු අයිතීන් ද නිදහස ද භාවිතා කරයි.

ඔහු සිය ඡයාරූප ඉහළ ගණන් වලට විකුණන අතරේ ඒවායේ මුල් පිටපත් සුරක්ෂිතව ද තබා ගනියි. ඒ මුදල් වලින් සූදුවේ ද යෙදෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය පමණක් නොව ලිංගික ඇසුර ද ලබා ගනියි.

ඔහුට සිය පියා සමග ද මව සමග ද ආරවුල් තිබේ. ඔවුන් විසින් ඔහුව අත හැර දමා ඇති බවක් පෙනේ. එය ඔහුගේ මනසේ දිගින් දිගට ම වද දෙන කරුණක් බව පෙනේ. එහෙත් වෘත්තීය ජීවිතය දිග හැරෙන්නේ පියා විසින් ඔහුට උපන්දිනයට තෑගි දුන් කැමරාව ඔස්සේ ය. පියාව මග හැරී යෑම සම්බන්ධයෙන් ඔහු සිය මවට දොස් නගන බවක් ද පෙනේ. මේ දෙදෙනාම නිතර නිතර ඔහුගේ මනසට ජීවිතයට සම්බන්ධ වෙයි. කතාව තුළ නැවත නැවතත් මතු වෙයි. ඒ දරුවෙකු අත්හරින ලද දෙමාපියන් වශයෙනි. ඒ සම්බන්ධයෙන් තරහින් පෙලෙන දරුවෙකු අපට දක්වමිනි.

ඔහු අසම්මත චරිතයකි. ඒ සම ලිංගික දිශානතිය නිසා ම පමණක් නොවේ. නිදහසේ ඔ්නෑම තැනක තරාතිරම නැතිව ලිංගික ව එක් වන චරිතයක් ලෙස ය. ඒ අතර ඔහුට පෙම්වතෙකු ද සිටියි. ඔහු සමග පෙමින් බැ‌ඳෙතත් ඔහු සෙසු අය සමග ලිංගික ඇසුර ද එම පෙම්වතාට හොරෙන් පවත්වා ගෙන යයි.

ඔහුගේ ජීවිතය ම ඡයාරූප ගොන්නකි. ඒවා අතර සිය වෘත්තීය ජීවිතය විසින් ඉල්ලා සිටිනු ලබන යුද්ධයට හිංසනයට අදාළ ඡයාරූප වලට අමතරව ස්වභාව සෞන්දර්ය හා ආදරය  පිළිබිඹු කරන ඡයාරූප ද ඇත. ඒවාට ඔහුට ඇති තද බැඳීම ඉතාම පැහැදිලිව කතාව පුරා ම පෙනේ.

ඒ ඡයාරූප අතර ඇති බොහෝ ඡයාරූප මිනිසුන් ඔවුන්ගේ වගතුග නම් ගම් සහිතව එලි කරන ඡයාරූප ය. ඔවුන්ගේ හෙලුව ලොවට කියා පාන ඡයාරූප ය. ඒ ඡයාරූප මගින් නිරාවරණය කරනුයේ එක් එක් පුද්ගලයන් පමණක් නොවේ. විවිධ ජන කොටස් ද කණ්ඩායම් ද සංවිධාන ද ඒ සමග හෙලිදරව් වන්නේ ය.  

ඒ නිසා ම ඔහුට එළඹිය හැකි අනතුර ගැන ද ඔහු දනියි. එහෙත් ඒ පිළිබඳව ද ඔහුගේ ජීවිතය පිළිබඳව ද විශාල බියක් ඔහුට තිබෙන බවක් පෙනේනේ නැත. ඔහුගේ අසම්මත බව පවා ලොවින් සඟවන්නට වෙහෙසන බවක් ද පෙනෙන්නේ නැත.

අල්මේදාගේ මව දෙමල හා බර්ගර් මිශ්‍ර ය. පියා සිංහල ය. අල්මේදා ගැන මේ තොරතුරු අසන කිසිවෙක් (ඒ කවුදැයි මේ ලියන්නාට මතක නැත) එසේ නම් ඔහු කවරෙක් වන්නේ දැයි ඔහුගෙන් අසයි. එවැනි satires කතාවේ හැම තැන ම ඇත. කතාව කියවා ගෙන යන්නට එයින් ලැබෙන අනුබලය මහත් ය.

සූදු කෙලින අල්මේදා statistical probabilities මත තීන්දු තීරණ ගන්නා කෙනෙකි. එයින් විපුල ප්‍රයෝජන ලබාගත් කෙනෙකි.

මේ සියල්ල කතාව දිග හැරෙන කල අපට වරින් වර දැනෙන්නට ලැබෙන්නේ ය. දැන් අපි අල්මේදා ගැන යම් පමණකට දනිමු.

මේ අල්මේදා මැරෙන්නේ ය. මැරී හොල්මනක් වන්නේ ය. ඒ හොල්මනට පාවී යා හැකි ය. සිදු වන හැම දෙයක් ම දැකිය හැකි ය. ඇසිය හැකි ය. ඒ දින හතක් යන තෙක් ය. එතැනින් ඒ ගන්දබ්බ අවදිය අවසන් වන්නේ ය. කතාවේ විස්තර වන්නේ ඒ දින හත ගැන ය. ඒ අල්මේදාගේ කටින් ය. ඒ කතාව කියන ඔහුට තමන් මළේ කෙසේ දැයි අමතක ය. ඔහු සොයා යන්නේ ඒ තොරතුර ය. අවසන් දින වන තෙක් එය ඔහුට ද අපට ද දැන ගන්නට ලැබෙන්නේ නැත. කතාවේ plot එක ඇත්තේ එතැන ය.

සිද්ධිය දිග හැරෙන විට අපට ඒ මරණය සිදු කළේ යැයි සැක කළ හැකි කීප දෙනෙක් ම කණ්ඩායම් කීපයක් ම හමුවේ. ඒ හැමට ම ඔහුගෙන් විශේෂයෙන් ඔහුගේ ඡයාරූප වලින් ගැලවීමට අවශ්‍ය වන හේතු ඒ ඡයාරූප තුළ තිබුනේ ය. ඒ කණ්ඩායම් අතර හමුදාව, ආණ්ඩුවේ දේශපාලන හස්තය, ජනතා විමුක්ති පෙරමුණ, එල්ටීටී සංවිධානය ද තිබිය හැකි බවට තොරතුරු අපට ලැබේ. ඊට අමතරව ඔහු සතු මුදල් අයිති කර ගැනීම උදෙසා හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් නොගෙවා පැහැර හැරීමට අවසර ලබා ගැනීම උදෙසා ඔහු මරන්නට ඇතැයි සැක හිතෙන කාරණා ද යෙදේ. එහෙත් වඩාත් සැකයට භාජනය වන්නේ ආණ්ඩුවේ ආශිර්වාද ලබන 88-89 කාලය තුළ ක්‍රියාත්මක වූයේ යැයි ද සැක කරන මැර කණ්ඩායම් ය.

අල්මේදාගේ පෙම්වතා වන ඩීඩී ද ඩීඩීගේ ඥාති සොහොයුරිය වන ජැකී ද අල්මේදා අතුරුදහන් වීමෙන් සංවේගයට පත්ව ඔහුට සිදු වූයේ කුමක් දැයි සොයන්නට වෙහෙසෙයි. ඒ අල්මේදාගේ මව ද සමග ය (ඇය එක මොහොතක දී සිය පුතු සොයා දෙන ලෙස ඉල්ලා පොලීසියට අල්ලසක් ද දෙයි).

දැන් ඔබට ඩිඩීගේ පියා හඳුන්වා දිය යුතු ය. ඔහු දමිළ දේශපාලනඥයෙකි. ආණ්ඩුවේ ඇමතිවරයෙකි. දෙමල නිජ බිම් ගැන විශ්වාස කරතත් දේශපාලනයේ දී උපාය මාර්ගික විය යුතු යැයි සිතා ආණ්ඩුව සමග වැඩ කරන (ඩග්ලස් දේවානන්ද, කරුණා, පිල්ලෙයාන් වැනි) දේශපාලනඥයෙකි. ඔහු අල්මේදා සමග ඩීඩීගේ ඇති සම්බන්ධයට කැමති නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඩීඩී ඉදිරියේ එදිරිවාදුකම් පාන්නට ද ඔහු අසමත් ය. ඩීඩීගේ මව ඔහු කුඩා කල මිය ගියා ය. සමහර විට ඩීඩීට දැඩි වාරණයක් පනවන්නට ඔහු අසමත් වන්නේ ඒ නිසා විය හැකි ය.

අල්මේදාගේ අතුරුදහන් වීමෙන් කලබලයට පත් වුනු තව කණ්ඩායමක් සිටී. ඔවුන් දමිල හිතවාදීන් ය. ඔවුන් කම්පනය වී ඇත්තේ අල්මේදාගේ අතුරුදහන් වීම ගැන නොවේ. ඔවුන්ට ලැබිය යුතු ඡයාරූප නොලැබී යනු ඇතැයි කියා ය. ඔවුන් කියන්නේ ඔවුන් දැනටමත් ඒවාට මුදල් ගෙවා ඇති බවකි.

අවසානයේ ඡයාරූප එකතුවට පොලීසිය ද අප කලින් කී දමිල හිතවාදී සංවිධානය ද ජැකී ද රණ්ඩු වෙති. ඩිඩීගේ පියා පොලිසිය බාර ඇමතිවරයාට මීට මැදිහත් වන ලෙස කියයි. ඔහු පැමිණ ඒ ජ්‍යාරූප සියල්ල ඔහුගේ බාරයට ගනියි. මේ සියල්ල අපට කියන්නේ මේ තැන් වල රස්තියාදු ගසමින් ඉන්නා අල්මේදාගේ අවතාරය බව ඔබට නැවතත් මතක් කරමි.

අල්මේදාගේ ජීවිතය වැදගත් වී තිබුණේ ජැකීට හා ඩිඩී ඇතුළු අල්මේදාගේ යාළුවන්ට පමණකි. තුනීයට මවට ද ඒ හැගීම තිබෙන්නට ඇත. ඒ යාළුවන් අතර අල්මේදාගේ ඡයාරූප වලින් ලෝකයට නිරවාරණය කළ යුතු පණිවුඩය ගැන සංවේදී මිතුරන් කීප දෙනෙකු ද සිටියෝ ය. ඔවුන් හත් වෙනි දිනයේ ඡයාරූප ප්‍රදර්ශනයක් පවත්වමින් ඒ පණිඩුඩය මුදා හැරියේ තමන්ගේ ජීවිත ද පරදුවට තබමිනි. ඒත් ලෝකයට ඒ පණිවුඩය ඇසුනේ නැත. ඡයාරූප ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේ අතලොස්සක් පමණ ය. ඒ අය අතර පොලීසිය බාර ඇමති ද සිටියේ ය. ඔහු තමන්ගේ ඡයාරූප සියල්ල එකතු කර ගෙන ගියේ ය. ඒ ගැන විරුද්ධ වන්නට වත් ප්‍රදර්ශනය භූමිය තුළ කිසිවෙකු නොසිටියේ ය.

පියවි ලෝකයේ මේ සියල්ල සිදු වෙමින් තිබෙන අතරතුර හොල්මන් ලෝකයේ ද වෙනම ගතිකයන් ක්‍රියාත්මක වුනේ ය. පියවි ලෝකයේ ඒ හැටියට දක්නට නොලැබුණු හොඳ හා නරක අතර සටනක් හොල්මන් ලෝකය තුළ ක්‍රියාත්මක වුනේ ය. නරක පවා ඉදිරියත් වූයේ හොද සමග ය. දැන් ඒ ගැන කියන්නට අවසර. හොඳ ආචාර්ය රාජිනි (තිරණාගම යැයි සැක කළ හැකි) ගෙන් නියෝජනය වු අතර මුළුමනින් හොඳ නොවූ සෙසු පක්ෂය සේන (ජවිපෙ, එල්ටීටී සහ සියදිවි නසාගත් සෙසු අවතාර වලින් සමන්විත) මෙහෙය වූයේ ය. රාජීනි අහිංසක කිසිවෙකු මරණයට පත් කිරීම කොතරම් හොඳ අරමුනක් අරබයා වුව ප්‍රතික්ෂේප කළ අතර සේන අරමුණ හොඳ නම් අහිංසකයන් කීප දෙනෙකු බිලි දෙන්නට සිදු වුව ද කමක් නැතැයි ඇදහුවේ ය. ඒ සේන තම ගෝල බාලයන් සමග එක්ව මිනිසුන් අතුරුදහන් කරන ප්‍රධානීන් කීප දෙනෙකු එලොව යන්නට මග පාදා ගත්තේ ය. ඒ තවත් අහිසංකයන් ගණනාවකට ද ඒ ඉරණම අත් කර දෙමින් ය. ඒ හොල්මන් අතර විශේෂ බලයක් තිබූ අතලොස්සක් දෙනා ගේ අනුග්‍රහය ලැබ ගෙන ය.

හොල්මන් ලෝකය හා පියවි ලෝකය අතර ගනුදෙනු සිදු වෙමින් කතාව ගලා ගියේ ය. සත් වෙනි දින අල්මේදා තමන් මරා දැමුයේ ඡයාරූප නිසා නොව ඩිඩී නිසා බව දැන ගන්නේ ය. ඔහුව මරා දමනු ලබන්නේ තමන්ගේ පෙම්වතා වූ ඩිඩීගේ පියා විසින් බව පසක් කර ගන්නේ ය. ඔහු පමණක් නොව අප ව ද වෙනස් ම යතාවක් ඉදිරියේ එසේ අතරමං කරමින් කතාව අවසන් විය යුතු ව තිබුණේ ය. ජාතිවාදය තරමට ම පන්තිභේදය තරමට ම නැත්නම් ඊටත් වඩා දුක්ඛදායක LGBT+ ප්‍රජාවගේ පීඩාව නීතිය අභිබවා ක්‍රියාත්මක වන හැටි පෙන්වමින් අවසන් විය යුතු ව තිබුණේ ය. නැගී සිටිය යුත්තේ සියලු ආකාරයේ පීඩයන්ට එරෙහි ව බව කියමින් අවසන් විය යුතු ව තිබුණේ ය. ඒ පණිවුඩය දක්ෂ ලෙස ගෙන ආවේ වුව ද එයින් පසු ද කතාව ඇදගෙන යෑමෙන් කතුවරයා තමන්ගේ කතාවට අසාධාරණයක් කර ඇතැයි මට සිතුනේ ය.

කතාව නිම කළ යුතු ව තිබුනේ අල්මේදා ම තම මරණය සිදු වූ දා ඩිඩීට කියන්නට හිතා ගෙන සිටි පණිවුඩය අනාවරණය කරමිනි. ඒ අනුන්ට ඔ්නෑ හැටියට නොව අපට ඔ්නෑ හැටියට ජීවත් වෙන්න පුළුවන් රටකට ගිහින් අපි අලුත් ජීවිතයක් අරඹමු යන්න ය.

පොතේ මා කැමති විශේෂත්වය ඒ තුළ political and other satire නොඅඩුව පැවතීම ය. ඒ හරහා අපේ මනස තුළ පෙරලියක් ඇති කිරීමට එය උත්සහ කිරීම ය. ඇතැම් තැනක ඒ satire වල ඉලක්කය බවට ජාත්‍යන්තර සංවිධානය ද බටහිර රටවල් ද හසු වෙයි. එහෙත් වැඩි මනත් ලෙස එය ඉලක්ක කර ගන්නේ අප ව ම ය. අපේ පරම්පරාවේ ඉතිහාසය අල්මේදාගේ ඡයාරූප හරහා මුදා හරිමින් අපට මග හැරී ගිය තැන් වලට අප ව යොමු කර ඒවා දෙස විමසුම් ඇසින් බලන්නට පොත දිරි දෙයි. මා දිගින් දිගට පොත තුළ රඳවා තිබීමට කතුවරයා සමත් වූයේ ඒ නිසා ම පමණක් නොවේ. ඊළග මොහොතේ කුමක් සිදු වේ දැයි යන කුතුහලය ජනිත කිරීමට පොත දිගින් දිගට ම සමත් වීම නිසා ය. ඊට අමතරව අල්මේදා වරෙක අප බොහෝ දෙනෙකුට ලං වන වරෙක අප අතර සමහරෙක් බැහැර කිරීමට ද කැමති වන චරිතයක් නිසා ම ඔහුගේ චරිතය පිළිබඳ කියවීම ද කුතුහලයක් වීම නිසා ය. මේ පොත දේශපාලනයෙන් පිරී තිබුන ද ඉහත කී කාරණා නිසා ම සාහිත්‍ය කෘතියක් ලෙස ද වෙන ම අගය කළ හැකි ය.