ජීවිතයේ අරුත

 

තෙලිතුඩකින් නිමවන සිත්තමක් තුළ

සොයමි ජීවිතයේ අරුත

කවියක්ව නැගෙන පද වැලක් තුළ

සොයමි ජීවිතයේ අරුත

ගීතයක්ව මතුව නැගෙන ස්වර පෙළක් තුළ

සොයමි ජීවිතයේ අරුත

අත්පා ලෙලවන රඟන රැඟුමක් තුළ

සොයමි ජීවිතයේ අරුත

 

සිත්තමකි ජිවිතය

හැඩ කොට අඳිතොත්

සුන්දර කවියක්ය

වචන ගලපා ලිව්වොත්

මිහිරි ගීතයක් ය

ස්වර හොඳට ගෙතුනොත්

ලලිත නැටුමක් ය

තාලයට පා තැබුවොත්

 

දුකක් තුළ සතුටක් ද

වේදනාවක් තුළ මිහිරක් ද

අත් කර ගත හැකිය

නිසි ලෙස ගත හොත්

……..

ඇවැසි තැන

අත් හැරියොත් ………!

 

යුද්ධය හෝ සාමය – තෝරා ගැනීම අපේ ය



එක්දහස් නමසිය පනස් ගණන් වල ශ්‍රී ලංකාව ආර්ථිකය අතින් ආසියාවේ දෙවැනි ව සිටියේ ජපානයට පමණකි. එකල ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික අදායම ඩොලර් 150 ක්  පමණ වන විට එය කොරියාවේ ඩොලර් 50 ක් පමණ ය. ඒ කොරියාව දැන් අප පසු කර බොහෝ දුර ගිහින් ය. පසුගිය වසර සඳහා සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවේ අද දළ ජාතික අදායම ඩොලර් 4,073 ක් වන විට දකුණු කොරියාවේ එය 26,152 ක් වුනේ ය. අප දැන් කොරියාව අල්ලන්න යන්නේ තනි තනිවම එහි රැකියාවන්ට යෑම හරහා ය. නැතිව රටක් හැටියට කොරියාව ඇල්ලිමක් ගැන අපට හිතන්නට බැරි ය.

සිංගප්පූරුව මලයාසියාව යන බොහෝ රටවල් ද ඒ මගම ගොස් ය. තව රටවල් ගණනාවක් ද ඒ මග ඔස්සේ ඇදෙමින් සිටි. ඒක පුද්ගල දළ ජාතික ආදායම අතින් අද අප ඉන්නේ මැද පෙරදිග ද අයත් ආසියානු රටවල් 44 ක් අතරින් 26 වන ස්ථානනයේ ය.අප එක තැනක වාගේ සිටින අතරේ ඔවුන් එවැනි දුරක් ගියේ කෙසේ ද?

හිටපු සිංගප්පූරු අගමැති කියන්නේ ලංකාවට වැරදුනේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අප අනුගමනය කළ අදූරදර්ශී ක්‍රියා පිළිවෙල නිසා බව ය. ඔහු කීවා හෝ නැතා හෝ අප ද ඒ බව දැන ගත යුතු ව තිබේ. ඒ වසර 30 ක් පුරා දිග්ගැස්සුණු යුද්ධයක ප්‍රතිඵල අප ඔහුට වඩා හොඳින් හා ඔහුට වඩා ළගින් අත්දැක ඇති නිසා ය. ඒ නිසා සිදු වූ දේපල හා වෙනත් හානි වීශාල ය. ඒ හේතුවෙන් ම අපට වැරදුනා නොවේ. අප යුද්ධ කළේ නවින ආයුධ ද ඇතිව ය. ඒ සඳහා අප විසින් ගිනිතබා විනාශ කළ මුදල අපට ඔරෝත්තු නොදුන්නා පමණක් ද නොවේ. ඵලදායී වැඩවලට යොමු විය යුතුව තිබූ තරුණ ශ්‍රමය අප එකිනෙකා ගැනීමට අපතේ යැවුවා පමණක් නොවේ. ඒ ගැටුම් ඇති කළ අස්ථාවර භාවය නිසා ආයෝජකයන් නොපැමිණීම නිසා ආර්ථිකයට එල්ල කළ බලපෑම ද එයට හේතු වුනේ ය. අපට දියුණු කළ හැකි ව තිබූ සංචාරක කර්මාන්තයට මරු පහර වැදුනේ ඒ යුද්ධය නිසා ය. අප සමස්ථයක් ලෙස පසුපසට ගියේ ඒ නිසා ය.

එක ම ප්‍රශ්නය ජාතික ප්‍රශ්නය නොවේ. මිත්‍යා විශ්වාස තුළ කරවටක් ගිලී සිටීම ද අතීත කාමය තුළ ගිලෙමින් එය ම කාල් ගාමින් සෙසු ලෝකය ප්‍රතික්ෂේප කිරීම ද ඇතුළු තවත් දහසක් ප්‍රශ්න ද ඊට සමාන්තරව අපට තිබෙන බව ඇත්ත ය.

එහෙත් අද කොටි නැගිටිනවාට බයේ උතුර නැගෙනහිර යකඩ සපත්තුවට යටත් කර ගෙන සිටීමේ වුවමනාව තුළ ම තිබෙන්නේ අපව අගාධයකට ඇද දැමූ ජාතික ප්‍රශ්නය තවමත් එහෙමකට විසඳී නැති බව ය. එය නැවත මතු නොවීමට අප රටේ බහුතරයක් අනුයන ක්‍රමය නම් එවන් නැගිටීමකට ඇති ඉඩ අහුරා ඒ පළාත් දෙකේ ජනතාවට යටපත් කර ගෙන සිටීම ය. එ සඳහා වැඩ කළ හැකි තරුණ ශ්‍රමය තවමත් යුද්ධ හමුදාව තුළ ගාල් කොට තබා ගැනීමට අපට ඒ නිසා සිදු ව තිබෙන්නේ ය. ඒ හේතුව නිසා අදටත් අප රටේ අයවැයෙන් වැඩිම ප්‍රතිපාදනයක් ලබා දෙන්නේ ජාතික ආරක්ෂාවට ය. සංහිඳියාව ඇති කිරීමට පොරොන්දු වූ යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ඉක්මවී ගිය 2017 වසරේ දී පවා ආරක්ෂක අමාත්‍යංශයේ පිරිවැය මුළු පිරිවැයෙන් 23% කි. අප මේ සියල්ල  කරන්නේ විදේශවලින් එන තර්ජනයකින් ආරක්ෂා වීමට නොවේ. රට ඇතුළේම ජනයාගෙන් ආරක්ෂා වීමට ය.ජාතික ප්‍රශ්නයේ බරපතල කම පෙන්වන්නට ඒ කාරණය වුව හොඳට ම ඇති ය.

මේ තත්වය නිසා අපේ රටේ තරුණ තරුණියන්ට සිදු ව තිබෙන්නේ හොඳින් හෝ නරකින් රටින් පැනීමට ය. එතෙක් ත්‍රී වීලරයකින් දවස ගොඩ දා ගැනීමට ය. දැනටම වැඩ කරන ජනගහණයෙන් (අවුරුදු 18-60 අතර) 23% ක් සිටින්නේ පිටරට විවිධ රැකියාවල නිරත වෙමින් ය. ඒ නිසා ඇති ව තිබෙන සමාජ ප්‍රශ්නයන්ගේ ද නිමක් නැත.

අනෙකා දැකීම

අවාසනාවකට තමන් මුහුණ දී ඇති සමාජ ප්‍රශ්නයන්ට හේතුව ලෙස ඔවුන් දකින්නේ ද තමන් මෙන් ම පීඩා විඳින අනෙකා ය. දෙමළා ය. මුස්ලිමානුවා ය. ක්‍රිස්තියානි කාරයා ය. විදේශිකයා ය.

පළමු තුන්දෙනා සමග ගනුදෙනුව බේරා ගැනීම හරහා නැවතත් කැඳවා සිටින්නේ රටට ආපස්සටම යවන අස්ථාවරත්වයම ය. දෙවැන්න සමග ගනුදෙනුව බේරා ගැනීමට කරන්නේ විදේශ සංචාරකයා මරා ගෙන කෑමට ය. විදේශ ආයෝජකයන්ට රැවීම ය. හැකි නම් උන් එලවා  ගැනීමට පිඹුරු පත් සකස් කිරිම ය. (කුමක් හෝ පරණ නෑකමක් නිසා චීනුන්ට තිබෙන ආලය වෙනම තේරුම් ගත යුතු දෙයකි. උන් විදේශිකයන්ගේ ගොඩට නොවැටෙන හේතුව තවම අභිරහසකි).

මේ සියල්ල පිටුපස තිබෙන්නේ “අපේ කම“ ය. ඊනියා “සිංහල බෞද්ධ“ අපේ කම ය. අපට කෙළවන්නේ අප නොවන, “සිංහල බෞද්ධ“ නොවන අනෙකා ය. ඒ නිසා අදටත් හදන්නේ මේ අනෙකා සමග ගනුදෙනුව බේරා ගැනීමට ය.

බෞද්ධාගම ඉවත දමා “සිංහල බෞද්ධ“ ආගම සරණ යන්නේ ඒ වෙනුවෙනි. සුපේක්ෂශීලී බෞද්ධ භික්ෂුව පොන්නයෙක් කරමින් සිංහල බෞද්ධ මහසෝනලා හා “සිංහල බෞද්ධ“ ආගමට හීලෑ වුනු යකුන් පිරිසක් බිහිවන්නේ ඒ අනුව ය.

මේ ඇරඹෙන්නේ ඉදිරියට යන ගමනක් නොවේ. පසු පසට යන ගමනකි. ඉතිහාසයෙන් පාඩම් නූගන්නා බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැත. ලෝකයේ සිදුවන්නේ කුමක් දැයි නොදැන ජනප්‍රිය සිංහල පත්තර පමණක් බලන එයින් ලෝකය දකින ජනයාට ද ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැත. කාලය හා අවකාෂය දෙකම මෙසේ අමතක කර දකින ලෝකය තුළ ඉන්නේ අපට සදාකාලික සතුරු කම් කරන “අනෙකා“ පමණ ය. ඉතින් ඒ “අනෙකා“ගෙන් අප ගලවා ගන්නට පොරොන්දු දෙන කවරෙකු වුව ද භක්තියෙන් වන්දනා කරමින්, ඒ ගලවා ගැනීම සම්බන්ධයෙන් සුභ සිහින දකිමින්, ජිවත් වීම අති මහත් බහුතරයකගේ අපේක්ෂාව ය. තුන් හතර පැත්තේ ම ජනයා මුලාවට පත්වන්නේ මේ වංචාකාරි දේශපාලනය නිසා ය.

මේ නරාවලෙන් අපට ගොඩ ආ හැක්කේ එකම එක් ආකාරයකට පමණ ය. ඒ අප හිර කරගෙන සිටින අනෙකා අපේ බන්ධනයෙන් නිදහස් කිරීමෙනි. ඒ හරහා අප නිදහස් කර ගැනීමෙනි. මේ අනෙකා සමග පවත්වන නිස්සාර අරගලය නවත්වා ලෝකය සමග ගනුදෙනු කිරීමට හැකි ලෙස, උන් හා එකතුව, අපේ ශක්තීන් වර්ධනය කර ගැනීමෙනි. විදේශ කුමන්ත්‍රණයන්ට ඇති බිය පරදවා විදේශවලින් උගෙනීමෙනි. අප සමග එක්ව වැඩ කරන්නට කැමති කවරෙකු වුව ද උන් සමග එක්ව ලෝකය ජය ගන්නට වෑයම් කිරීමෙනි.

මුස්ලිම් ජාතිකයන්ගෙන් වෙළඳාම ඉගෙන ගැනීමෙනි. දෙමළුන්ගෙන් වතුර ටිකකින් වගා කළ හැකි ගොවිතැන කුමක් දැයි ඉගෙන ගැනීමෙනි. විදේශිකයන්ගෙන් තාක්ෂණය උගෙනීමෙනි. අප සතුව යම් දැනුමක් ඇති නම් උන් හා  බෙදා ගැනීමෙනි. ඒ හරහා නව මිතුරු හා වෙළඳ සබඳතා ඇති කර ගැනීමෙනි. ඒ කවරෙකු හෝ එක් ව අපේ ශක්තිය ද මුහු කරමින් නව දෑ නිශ්පාදනය කරන්නට වෑයම් කිරීමෙනි. අපට කරන්නට බැරි වැඩ වලට අනෙකා සම්බන්ධ කර ගැනීමෙනි. උන්ට කරන්නට බැරි වැඩ කරන්නට උන් සමග එක් වීමෙනි. එකිනෙකාට ප්‍රයෝජනවත් මිනිසුන් ලෙස ගොඩ නැගීමෙනි.

විශ්වාසය, සැකය හා බිය 

ඒ එකක්වත් කරන්නට විශ්වාසය නැතිව බැරි ය. විශ්වාසය ගොඩ නගා ගත හැක්කේ අනෙකා පාගා දැමීමෙන් නොවේ. උන්ට ද අපට මෙන් තමන්ගේ වැඩ තමන්ට රිසි පරිදි කර ගෙන යෑමට ඉඩ හසර සැලසීමෙනි. ඒ සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය බෙදා දීම අතවශ්‍ය ය. ඒ ඒ පළාතේ කටයුතු ඒ අයට කර ගැනීමට ඉඩ හසර ලබා දීම අවශ්‍ය ය. ඒ පළාත්වල තිබෙන හමුදා කඳවුරු අවම මට්ටමක පමණක් පවත්වා ගැනීම අවශ්‍ය ය. ඒ පළාත්වල සාමය හා නීතිය ඇති කිරීම සඳහා ඒ ජනයා කතා කරන භාෂාවම කතාකරන ඔවුන්ගෙන් ම සමන්විත පළාත් පොලිස් සේවයක් ඇති කිරිමට ඉඩකඩ සළසා දීම අවශ්‍ය ය. මේ පළාත්වල අප සිංහලෙන් කටයුතු කරන විදිහට ම ඒ පළාත්වල ජනයාට ඒ පළාතේ භාෂාවෙන් කටයුතු කිරීමට ඉඩ ලබා දීම අවශ්‍ය ය. එසේ ඔවුන්ට නිදහස හා ඉඩහසර ලබා දෙන අතරතුර ඔවුන් හා එක් ව රටට ම බලපාන ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදීම අවශ්‍ය ය. සැලසුම් සම්පාදනය කිරීම ද අවශ්‍ය ය. පළාතේ වැඩ සටහන හා රටේ වැඩ සටහන එකම ඉලක්කයන් කරා යන බවට වග බලා ගැනීම ද අවශ්‍ය ය.

මේ ලිපිය කියවන ඇතැමුන් මට පරිභව කරන්නට හා හැකි නම් ශාරීරිකව සංග්‍රහ කරන්නට ද පෙළ ගැසෙන්නට පුළුවන. ඒ මේ රටේ ජනතාවගේ ඔලු හදා තියෙන විදිහ ය. පසුගිය යුද සමය තුළ ඒ සඳහා අවශ්‍ය තරම් කරුණු කාරණා ද පෙල ගැසී තිබුනේ ය.

එසේ ප්‍රලය වීම පිටුපස ඇත්තේ කුමක් ද? අනාරක්ෂිත භාවය ය. මා සඳහන් කරන ආකාරයේ නිදහසක් දුන්නොත් ඒ නිදහස අනෙකා විසින් අපට ම එරෙහි ව භාවිතා කරනු ඇතැයි යන සැකය ය. එය බොහෝ අයට සැකයකටත් වඩා එහා ගිය එකකි. ඒ අයට අනුව ඔවුන් එසේ කරනු ඇත. ඒ ගැන සැකයක් තියා ගන්නටවත් ඕනෑ නැත. එය එසේ ය.

අනෙකා විසින් තමන් එසේ යටපත් කරනු ඇතැයි යන බිය නිසා ම අනෙකාට ඉඩ දීමට ඒ අය සූදානම් නැත. ඒ නිසා අවශ්‍ය ව ඇත්තේ හමුදාව යොදා ඔවුන් යටපත් කර ගෙන සිටිම ය. බලය තඹයකුදු නොදි සිටීම ය. අප කියන ලෙසට මිස, වෙන විදිහකට, උන් ජීවත් විය යුතු නැතැයි යන්න ඒ පිටුපස ඇති දර්ශනය ය.

මේ දර්ශනය සමාන වන්නේ බිරින්දෑ පිට යතැයි සැකයෙන් පිඩා විඳින සැමියෙකුගේ සිතිවිල්ලට ය. ඒ තුළ ඇත්තේ ද මීට ම සමාන අනාරක්ෂිත භාවයකි. ඒ සැකයෙන් බියෙන් ජීවත් වන තැනැත්තා කරන්නේ බිරින්දෑට තවදුරටත් තහංචි දැමීම ය. යටපත් කර ගෙන ජීවත් විමට ඉටාගැනීම ය. ඇය සිර කිරීම ය. කිසිවක් ඇයට ඕනැ හැටියට කරන්නට අවසර නොදීම ය. ඒ සියල්ල වෙන් වී යෑමෙන් වළකා ගැනීමට ය.

යුද්ධය හා සාමය

එහෙත් දෙදෙනාගේම අවාසනාවට මේ හිර මැදිරිය ඇති කරන්නේ වෙන් වී යෑමට අවශ්‍ය පූර්ව කොන්දේසි ය. පීඩාව ඉවසා ගන්නට නොහැකිව මේ හිර කඳවුරෙන් මිදී යෑමට ඇයට සැලසුම් සදන්නට සිද්ධ වන්නේ ය. ඒ සඳහා ඇය බාහිර උදව් පතන්නී ය. ඒ සියල්ල සැමියාගේ සැකය හා බිය වැඩි දියුණු කරන්නේ ය. ඊළගට සිදු වන්නේ යුද ප්‍රකාශ කිරිම ය. මුලදි වචනයෙනි. ඊට පසු එය ප්‍රචණ්ඩත්වය කරා ද අවසානයේ යුද වැදීම සඳහා ද මග පෑදෙන්නේ ය. අසල්වාසීන්ට හා නෑදෑයින්ට දැන් මේ සම්බන්ධයෙන් මැදිහත් වන්නට සිදු වන්නේ ය. බොර දියේ මාළු බාන අයට මේ දබරයෙන් වාසි ලැබිය හැකි ය. උන් එවැනි අවස්ථා අහක දමන්නේ නැත. ඒ අතර බිරියගේ යහළු යෙහෙළියන් ද සැමියාගේ හිතේෂින් ද සිටිය හැකි ය. දැන් යුද්ධය ජාත්‍යන්තර කරණය වෙලා ය. සාම ගිවිසුම් මෙන් ම සාම සාධක හමුදා ද ගැවසෙන්න පටන් ගන්නේ ය. වියදම් දරන්න වෙන්නේ ගෙදරට ය. සාමය පවත්වා ගන්නට උදව්වට ආ අය ගැන ද අනෙක් පාර්ශවයට උදව් කරන්නේය යන සැකය එල්ල වන්නේ ය. විශේෂයෙන් ඔවුන් බිරින්දෑගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නේ නම් උන්ට ද සිදු වන්නේ බැණුම් අහන්නට ය. ඇතැම් විටක ගුටි කන්නට ය. අවසානයේ එලවා දමනු ලැබීමට ය.

ආදරය කරුණාව පා ඒ හරහා ගොඩනැගෙන සම්බන්ධය මත විශ්වාසය තබනු වෙනුවට දැඩි පාලනයක් හරහා බිරිඳ රඳවා ගැනීමට කරන උත්සහය අවසානයේ බිරිඳ වෙන කෙනෙකු සමග තාවකාලිකව මිතුරු වීමෙන් හෝ සදහටම පැන යෑමෙන් අවසන් වෙන්නට පුළුවන.

එසේ  නොවන්නේ නම් ඊළගට සිදු වන්නේ එකිනෙකාට සතුරු පාර්ශවයන් දෙකක් ලෙස ඇන කොටා ගනිමින් ලෝකෙට පරකාසෙට කසාදය තියා ගැනීමට ය.

රටක ජාතීන් ගණනාවක් ඉන්නා විට ඔවුන් එකිනෙකා අතර විශ්වාසය හා සහෝදරත්වය ගොඩ නගනු වෙනුවට අවිශ්වාසය හා සැකය පතුරුවන හැම කෙනෙකුම මේ අඹු සැමි ගැටුම් වර්ධනය වන හැටි අධ්‍යයනය කර සිටිනවා නම් හොඳ ය.

එහෙත් ප්‍රශ්නය අප රටේ මිනිසුන් සිතන්නේ ගැහැණිය පිරිමියාට යටත් විය යුතු බව ය. පිරිමියා කියන විදිහට ඔහුට කීකරුව ජිවත් විය යුතු බව ය. ඔහු දෙන නිදහසේ ප්‍රමාණයට පමණක්  හැසිරිය යුතු බව ය. ඔවුන් ඒ තත්වය ජාතීන්ට ද ආදේශ කරන්නේ ය. සුළු ජාතිය සිටිය යුත්තේ මහජාතිය කියන විදිහට ය. හැසිරිය යුත්තේ මහජාතිය විසින් දෙන නිදහසේ ප්‍රමාණයට ය.

මහජාතියෙන් ජීවත් වීම

බිරිඳ යටපත් කරගෙන සිටීම සඳහා බලය පාවිච්චි කිරීමට පිරිමියාට අයිතිය ඇතැයි ද ඇය කෙඳිරිල්ලක්  නොනගා ඊට යටත් විය යුතු යැයි ද විශ්වාස කරන රටක් සුළු ජාතියට එරෙහිව මහ ජාතිය විසින් බලය පාවිච්චි කිරීම සළකන්නේ ස්වභාවික දෙයක් හැටියට ය. ඊට එරෙහිව නැගිටින සුළු ජාතික බලවේගයන් දෙස ඔවුන් ඒ අනුව බලන්නේ ද වපර ඇසිනි. ඒ නිසා ඔවුන් හිතන්නේ යුද හමුදාවේ පැවතීම ගැන මැසිවිලි නගන්නට සුළු ජාතිකයන්ට බැරි බව ය. යුද හමුදාවේ ඇතැම් දෙනා විසින් කර ඇති අපරාධ පිළිබඳව ද එම ජනයා විසින් මුවින් නොබැණ ඉවසිය යුතු බව ය.

සංහිඳියාව අපේ රටේ මහජාතියේ බොහෝ දෙනාට විහිළුවකි. එය බොහෝ දෙනා විසින් සැළකනු ලබන්නේ විදේශ මෙහෙයුමක් හැටියට ය. විදේශ මැදිහත් වීමක් හැටියට ය. ඔවුන්ගේ සංහිඳියාව සුුළු ජාතීන් මහජාතියට යටත් වීමට එහා යන්නේ නැත. ඒ ඉම පැන්නිම ඔවුන්ට අනුව කොටින්ට පුදන දොල පිදේනි ය. ඔවුන්ගේ සංහිඳියාව වන්නේ ඔවුන් කියන වපසරිය තුළ පමණක් සුළු ජාතීන් හැසිරීම ය. මහ ජාතියේ බල පරාක්‍රමය දරා ගෙන උරණ නොවී සිටීම ය.

කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් හිතන්නේ සුළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් කරන්නේ මහජාතියට එරෙහිව, ඒ නිසා ම රටට එරෙහිව, කුමන්ත්‍රණයක් බව ය. ඒ හැම කෙනෙක්ම ඔවුන්ට පෙනෙන්නේ රට ගිල ගැනීමට එන සතුරු බලවේගයන් ලෙස ය. කුමන්ත්‍රණකරුවන් ලෙස ය. අපේ අවාසනාව ද ඇත්තේ එහි ය. සතුරන් මිතුරන් ලෙස පෙනීමේත් මිතුරන් සතුරන් ලෙස පෙනීමේත් ය.

සංහිඳියාව ඇති කිරීමට විදේශ කොන්ත්‍රාත් කරුවන් අවශ්‍ය වන්නේ අප ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගන්නා විට ය. සංහිඳියාව වඩාත් වැදගත් විය යුත්තේ අපට ය. ඒ ආර්ථික දියුණුව ළඟා කර ගැනීම සඳහා හුස්ම ගන්නට ය. නැවතත් අපට සුපුරුදු සාමාන්‍ය ජීවිතයට එන්නට ය. කඩවුණු විශ්වාසයන් නැවත පිළිසකර කර ගැනීමට ය. නව ආරක සම්බන්ධයක් සඳහා පාදමක් දා ගැනීමට ය. යුද්ධය නැවත ඇති නොවන ලෙස, සාමය පවත්වා ගැනීම සඳහා හමුදාවක් අවශ්‍ය නොවන තැනට කටයුතු සිද්ධ කිරීමට ය. ආරක්ෂක කටයුතු සඳහා වියදම් අවම කර අධ්‍යාපනය සෞඛ්‍ය හා යටිතල පහසුකම් සඳහා ඒවා යෙදවීමට ය. හමුදා කඳවුරුවලට ගාල් කර ඇති තරුණ ශ්‍රමය වඩාත් ඵලදායී කටයුතු සඳහා මුදාහැරිමට ය.

ඒ සඳහා අලුතින් සිතිය යුතු ය. විවෘත මනසකින් සිතිය යුතු ය. බලලෝභී දේශපාලනඥයන්ගේ ඉගෙනුම් බස් මඳකට පැත්තකට දමා මේ රට ඉදිරියට ගෙන යෑම උදෙසා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් ද යන්න ගැන නැවත නැවතත් සිතිය යුතු ය. ඒ සඳහා ඉක්මණින් කැප වෙන තරමට හොඳ ය. නැතිනම් අපට වෙන්නේ ආසියාවේ පතුලට ම කිඳා බැසීමට ය. හතලිස් හතර වෙනියා දක්වා පහළ බැසීමට ය. අප ඉක්මණ් නොවන්නේ නම් ඒ සඳහා වැඩි කලක් බලා ගෙන සිටිමට සිදු නොවනු ඇත.

ආගමට,ජාතියට හා රටට ද්‍රෝහී වීම


ද්‍රෝහි වීම හා පාවා දීම සැළකෙන්නේ අනුමත කළ නොහැකි වැරදි හැසිරීම් ලෙස ය. විශේෂයෙන් සිය රටට, ආගමට හා ජාතියට ද්‍රෝහි වීම සමාව දිය නොහැකි වරදවල් ලෙස සැළකේ. මේ හැසිරීම සම්බන්ධයෙන් ඇතැම් අයට ලේබල් අලවනු ලබන අතර, එසේ ලේබල් ඇලවීමට ලක් වන අයට විවිධ අඩම්තේට්ටම් වලට ලක් වීමට ද සිදු වේ. සුළු අඩම්තේට්ට්ම් නොව අතිශය සාහසික අඩම්තේට්ට්ම් ද ඒ අතර වෙයි. එසේ පාවා දෙන්නන් හා ද්‍රෝහීන්ට මරණය අත් කර දිය යුතු බවට වැඩි මනත් ලෙස කියවේ.

මේ හැසිරීම එතරම් ම දරුණු ප්‍රතිඵල ඇති කරන නිසා සහ ඇති කළ හැකි  නිසා මේ ගැන වැඩිදුරට විමසිය යුතු ය.

යම් නිශ්චිත ක්‍රියාවක් ද්‍රෝහි වීමක් ද නැද්ද යන්න විමසීමේ දී බොහෝ විට වැරදීම් සිදු විය හැකි ය. ඇතැම් විට රටට හිතවත් කමකින් කරන යම් ක්‍රියාවක් ද්‍රෝහී කමක් ලෙස ද රට ගැන අසංවේදීව කරන යම් ක්‍රියාවක් එහි ප්‍රතිපක්ෂය ලෙස ද කෙනෙකුට ගත හැකි ය. එයින් අදහස් කරන්නේ මේ බෙදුම් රේඛාව පැහැදිලි නැති බව ය. ඒ නිසා ම මෙය නිකම් ම නොව ගැඹුරින් විමසිය යුතු ය.

කුමන හෝ හේතුවක් නිසා රට, ආගම හා ජාතිය මිනිසුන්ගේ හැගීම් ඇවිලවීමේ සමත් ය. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් කරන කතිකා බොහෝමයක් ඇවිස්සුණු හැගීම් වලින් ද ගහණ ය. හැගීම් වලින් ප්‍රලය කරනු ලැබූ කෙනෙකුට තාර්කිකව හිතන්නට බැරි ය. ඒ නිසා ද මේ කාරණය සංයමකින් හා ගැඹුරකින් විමසිය යුතු ය.

අපි පළමුව ආගම ගෙන බලමු. ආගම යනු විශ්වාසයන් සමූහයකි. බොහෝ විට දෙමාපියන් විසින් අපට උරුම කර දෙනු ලබන විශ්වාසයන් සමූහයකි. ඒවා අප වැළඳ ගෙන සිටින්නේ අප ඒ පිළිබඳව තාර්කික ව විමසා බලා ඒ ඔස්සේ බැස ගත් නිගමන හරහා නොවේ. කුඩා කල අපගේ ඔලුවට වැටුනු නිසාත්, අප ඒ හා සම්බන්ධ වී කිසියම් ආකාරයක ආයෝජනයක් කර ඇති නිසාත්, ඒ සම්බන්ධයෙන් අපට බැඳීමක් තිබෙන නිසා ය. අප යමක ආයෝජනය කරනුයේ මුදල් පමණක් නොවේ. මෙහි දී නම් අප වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ අපේ කාලයත්, බොහෝ විට අපේ ශ්‍රමයත්, සීමාසහිතව ධනයත් ය.

එසේ පෝෂණය කර හදා ගත් විශ්වාසයක් බැහැර කිරීම අමාරු ය. ඒ නිසා ම අපි ඒ විශ්වාසයන් විමසීමට පවා බිය වෙමු. මක්නිසා ද යත් බැරි වෙලාවත් විශ්වාසය ගැන සැකයක් ඇති වුනොත් කරන ලද ආයෝජනයන් සියල්ල වතුරේ යන නිසා ය. ඒවායින් තවදුරටත් වැඩක් නොවන නිසා ය. ඊට පසු අමාරුවෙන් පාඩම් කර ගත් ගාථා වලට කරන්නේ කුමක් ද? කාලයක් තිස්සේ එකතු කර ගත් දැනුමට කරන්නේ කුමක් ද? පන්සල්, පල්ලි හා කෝවිල්වල පූජකයන් ඇසුරෙන්, ඒවායේ කරන ලද වතාවත් ඇසුරෙන්, උකහා ගත් කුසලතා වලට, සම්බන්ධකම් වලට, කරන්නේ කුමක් ද? ඒවා හිතන තරම් පහසුවෙන් විසි කළ හැකි ද?

ආගමට ද්‍රෝහි වීම

කෙසේ හෝ හිත හදාගෙන කෙනෙකු තමන් අදහන ආගමෙන් ඉවත් වුව හොත් ඔහුගේ කිට්ටුවන්තයන් අර්බුදයකට මුහුණ දෙන්නේ ය. ඔවුන්ට දැනෙන්නේ ඒ පුද්ගලයා තමන් අතහැර ගිය අයෙකු ලෙස ය. තමන්ගේ විශ්වාසයන් අභියෝගයට ලක් කරමින්, තමන් අතරමං කළ අයෙකු ලෙස ය. ඉතින් එවැන්නෙකුට පහසුවෙන් සමාව දිය හැකි ද?

ඔහු ආගමට ද්‍රෝහී වූවෙකු ලෙස සළකා නැදෑ පරපුරෙන් ම පිට මං කරනු ලබන්නේ ඒ නිසා ය.

කෙනෙකුගේ පුද්ගලික කරුණක් විය යුතු ව තිබෙන විශ්වාසයක් මෙසේ කණ්ඩායමකගේ පදනම සකසන අමුතුම ප්‍රපංචයක් වී ඇත්තේ මේ නිසා ය.

මම උත්පත්තියෙන් බෞද්ධයෙක්මි. මොහොතකට නවතින්න. කෙනෙකු උත්පත්තියෙන් මේ කිසිදු විශ්වාසයක් ගෙනෙන්නේ නැත. එය ඒ නිසා වැරදි ප්‍රකාශයකි. මගේ අම්මාත් තාත්තාත් බෞද්ධ ය. මම බෞද්ධ දෙමාපියන් සහිත පවුලක උපත ලැබුවෙමි. ඒ නිසා ම මම කුඩා කල සිට බෞද්ධ විශ්වාස හා වත් පිළිවෙත් ඇදහිලි ගැන දැන ඒවාට සහභාගි වී ඇත්තෙමි. ඒවා කෙසේ කළ යුතු දැයි යන ශාස්ත්‍රය ද ප්‍රගුණ කර ඇත්තෙමි.

සංවාදයේ පහසුව සඳහා මට ක්‍රිස්තියානි ආගම ගැන පසු කලෙක දැනගන්නට කියවන්නට ලැබුණේ යැයි සිතමු. එසේ සොයා දැන ගත් දේ අනුව මට එය වඩා ආකර්ෂණය විනි නම්, වඩාත් පිළිගන්නට පුළුවන් වූයේ නම්, මට “මගේ ආගම“ අත හැර ක්‍රිස්තු භක්තියෙකු විය හැකි ද?

හරි නම් එසේ කළ හැකි විය යුතු ය.

එහෙත් බොහෝ විට සිදුවන්නේ එය බෞද්ධයන් විසින් බුද්ධාගමට කළ ද්‍රෝහී කමක් ලෙස සළකනු ලැබීම ය. එසේ කිරීම හරි ද? අන්‍යාගමිකරණය උණුසුම් මාතෘකාවක් වී තිබෙන්නේ ඒ නිසා ය.

දැන් මෙහි ප්‍රතිපක්ෂය සිදු වූයේ යැයි සිතමු. මා ඉපදුනේ ක්‍රිස්තියානි දෙමාපියන්ට දාව ය. මට බුද්ධාගම ගැන දැන ගන්නට ලැබී එය අධ්‍යයනය කොට එය වඩාත් නිවැරදි යැයි ඒත්තු ගෙන බෞද්ධයෙකු වී නම් බෞද්ධයින් කුමක් කියනු ඇද්ද? සත්‍යය අවබෝධ කරගත් සාදු වන්තයෙකු ලෙස මා සළකනු ඇත. ඔවුන් මා ඔවුනේගේම කෙනෙක් ලෙස බාර ගනු ඇත. මා සුපැහැදිලි ආදර්ශයක් ලෙස ඔවුන්ගේ හිතේෂීන්ට ද හඳුන්වා දෙනු ඇත. ඊට ප්‍රතිපක්ෂව මගේ ක්‍රිස්තියානි දෙමාපියන් ආගමට ද්‍රෝහි වූ දරුවෙකු ලෙස මා පවුලෙන් ද එලවා දමනු ඇත.

බුදු හාමුදුරුවන් භාරතයේ ඒ යුගයේ ඉපදුණ නිසා හොඳ ය. බැරිවෙලාවත් ශ්‍රී ලංකාව වෙනත් ආගමික රටක් වී තිබුනේ නම් ද එකල උන්නාන්සේ ලංකාවට වැඩියේ නම් ද අප උන්නාන්සේට ගන්නේ කොස්ස ය. ඒ අන්‍යගාමිකරණය කරන්නට රටට ආ සතුරෙකු හැටියට සළකා ය. බුදුන් ධර්මය දේශනා කරන ස්ථාන වලට ගල් ගසන්නටත් බුදුන්ගේ ශ්‍රාවකයන්ට හිංසා කරන්නටත් අප පටන් ගනු ඇත. බෞද්ධයෙකුට එවැනි දසුනක් මවා ගත හැකි වනු ඇද්ද? බුදුන්ට කොස්ස ගන්නා රටක් හැටියට තමන්ගේ රට ගැන ඔවුන් අද දවසේ සිට කල්පනා  කරන කල කෙසේ සිතෙනු ඇද්ද? බුදුන් මිත්‍ය දෘෂ්ඨිකයෙකු ලෙස දකින ශ්‍රී ලංකාවක් ගැන ඔවුන් කෙසේ හගිනු ඇද්ද?

මේ සියල්ල ගෙන හැර පෑවේ ආගමට ද්‍රෝහිවීම යනු විකාරයක් බව කියන්නට ය.

පක්ෂයට ද්‍රෝහී වීම

එය එසේ නම් පක්ෂයකට දේශපාලන කඳවුරකට ද්‍රෝහි වීම ගැන මීට වෙනස් දෙයක් කිව හැකි ද? ආගම මෙන් ම දේශපාලන පක්ෂ ද කිසියම් ආර්ථික දේශපාලන දර්ශනයක් සහිත එකකි. එය සැබෑ ලෙස එසේ දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. අඩුවශයෙන් දර්ශනයක සේයාවක් වත් ඒ බොහෝමයකට තිබේ.

එක පක්ෂයක දර්ශනයක් වැරදි යැයි ඒත්තු ගියොත් අපට එයින් ඉවත්ව වෙනත් පක්ෂයකට යා නොහැකි ද? එය අපතයෙකුගේ මට්ටමට කෙනෙකු පිරිහෙලන ද්‍රෝහී කමක් ද? එය පරිභව කළ යුතු වරදක් ද?

ආගම මෙන් ම පක්ෂය මාරු කිරීම ද ඇතැමුන් කරන්නේ තමන්ට ලැබෙන පුද්ගලික වාසි තකා නම් එතැන අපතයෙකුගේ ලක්ෂණ තිබෙන බව ඇත්තකි. එහෙත් එසේ කරන්නේ කිසියම් විශ්වාසයක අඩුපාඩුවක් දැක හා තව විශ්වාසයක නිවැරදි බවක් දැක නම් අපට එය දුර්ගුණයක් ලෙස සැලකිය හැකි ද?

පක්ෂ මාරුව ද ද්‍රෝහී කමක් ලෙස පක්ෂයේ මිනිසුන් විසින් සැළකෙතත් ඒ සම්බන්ධයෙන් සමාව දෙන කෙනෙකු පවා ආගමික මාරුවක් සම්බන්ධයෙන් එසේ සමාව දෙන්නේ නැත. ඒ දෙකෙහි ඇත්තේ කුමන වෙනසක් ද?

කෙනෙකුට උත්පත්තියෙන් උරුම වන ආගම නොමැකෙන හණක් ලෙස ගසා ගෙන ජීවත් වීමට බල කෙරෙන්නේ අප කලින් දැක් වූ ආයෝජනයේ හේතු නිසා විය හැකි ය. එහෙත් එය ඒ තරම් ම ප්‍රබල විය හැකි ද? එක් ආගමක් වෙනුවට වෙනත් ආගමක් වැළඳ ගැනීම ඇතැම් රටක මරු වැළඳ ගැනීමට සමාන ය.

වෙනත් ආගමක් වැළඳ නොගත්ත ද තමන් “අයත්“ ආගම විවේචනය කිරීම ද මාරයා ලං කරන වැඩක් ව තිබෙන්නේ ය. එය ඇතැම් රටක වෙනත් ආගමක් වැළඳ ගන්නවාට ද වඩා බරපතල දඩුවම් ලැබිය යුතු වරදක් ලෙස සැළකෙන්නේ ය. නිරාගමිකයන් කොහොමටත් ඉන්නේ අන්‍යාගමිකයන්ට වඩා ඈතිනි. පහතිනි. ඒ සියල්ල පිටුපස තිබෙන්නේ ආගමට ද්‍රෝහි වීමේ ආනිශංස ය.

ලොවට සාමය දේශනා කළ, ආදරය කරුණාව මෛත්‍රිය දේශනා කළ, සහෝදරත්වය දේශනා කළ ආගම් අදහන්නන් මෙසේ ආගමේ නාමයෙන් වෛර කරන්නට පෙළඹෙන්නේ කෙසේ ද?  මිනී මරන්නට තරමට පිරිහෙන්නේ කෙසේ ද? ආගම පෞද්ගලික විශ්වාසයකින් එහා ගිය කණ්ඩායමක අනන්‍යතාවය හගවන සළකුණක් බවට, ජාතියකින් ඇගවෙන්නා වූ යමකට සමාන දෙයක් බවට, පත් ව ඇත්තේ කෙසේ ද?

ඒ අප, මේ ලිපි පෙලින් වරින් වර, ඉදිරිපත් කළ “අපේ කම“ සංකල්පය නිසා ය. “අපේ මිනිහා“ අපට ලෙංගතු විය යුතු ය. හේ පරයින් සමග එක්ව අපට පහර ගහන්නට හදන්නේ නම් ද්‍රෝහියෙකු ලෙස නොසළකා වෙන කෙසේ සළකන්න ද?

ජාතියට ද්‍රෝහි වීම

ජාතිය ආගම මෙන් මාරු කළ නොහැකි ය. එසේ නම් ජාතියට ද්‍රෝහීවීමට කෙනෙකුට නොහැකි විය යුතු ය. අමාරු විය යුතු ය. නැත, එහි ද එහෙමට අමාරුවක් නැත.

ජාතියට පිටින් බැන්දොත් වැඩේ දෙල් වන්නේ ය. ජාතියේ සුපිරිසිදු බව ඊළග පරම්පරාවෙන් අහෝසි වී යන නිසා  ය. දරුවන්ට එහෙමට ජාතියක් නැති වන නිසා ය. මේ තත්වය දිගින් දිගට පැවතුනොත් ලංකාවේ එක්තරා දුරකට කුලයට වී තිබෙන තැන අනාගත ගෝලීයකරණය වූ ලෝකයක ජාතියට ද සිදු විය හැකි ය.

ජාතියට කෙනෙකු ගැට ගැහුණේ වැඩි මනත්ව භාෂාව හරහා ය. භාෂාව සීමිත භූගෝලීය ප්‍රදේශයක් තුළ සිරිත්විරිත් බෙදා ගන්නට ඒ ප්‍රදේශය තුළ සිටින ප්‍රජාවට උදව් උපකාර කළේ ය. ඊට ආගම ද රුකුල් දුන්නේ ය. වෙන එකක් තබා ආගම විවිධ රටවල ඒ ඒ රටට ආවේණික ස්වරූපයක් ගනිමින් රූපාන්තරණය ද වූයේ මේ නිසා ය. ඒ ද ලෝකය බෙදී වෙන් ව සිටි කාලයේ ය. ජාත්‍යන්තර දහමක් වූ බුදුදහම අදහන ගමන්  සිංහල බෞද්ධ යැයි එක කුලකයක් තෝරා වෙන් කර ගෙන බොහෝ දෙනා කතා කරන්නේ ඒ නිසා ය.

එක භාෂාවක් කතා කරන එක සිරිත් විරිත් ඇති ප්‍රජාවක් මෙසේ ජාතියක් හැටියට සැළකුණේ ය. ගෝලීයකරණය මෙන් ම ජාත්‍යන්තර භාෂා පරිහරණය ද අන්තර්ජාල තාක්ෂණය ද අන් රටවලට සංක්‍රමණය ද මේ තත්වයේ පැහැදිලි වෙනසක් ඇති කර තිබේ.

ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, කැනඩාවට සංක්‍රමණය වී ඇති සිංහල දෙමළ මිනිසුන්ගේ ඊළග පරම්පරාවට සිංහල දෙමල ජාතිකත්වය ඒ පමණට ම දැනෙන්නේ නැත. ඒ පරම්පරාවේ බොහෝ අයට සිය මව් බස හසුරුවන්නට ද බැරි ය. ඔවුන් කසාද බැඳීම සඳහා සහකරුවන් ඇතැම් විට තෝරාගන්නේ  ලෝක “වෙළඳ පොලෙන්“ ය.

ලංකාවේ ඉන්නා අන්තර්ජාලය හරහා ලෝකය හඳුනාගන්නා තරුණ තරුණියන් තුළ ද මේ තත්වය දක්නට ලැබෙන්නේ ය. සිංහල බෞද්ධ සිරිත් වලට මායිම් නොකරන මේ පිරිස තවදුරටත් ඒ සීමාවන් තුළ රඳවා ගැනීම අපහසු ය. ඔවුහු තමන්ගේ කුලයෙන් පමණක් නොව ජාතියෙන් ද පිට සහකරුවන් සොයා ගනිති. ඔවුන් ඒ සීමා තුළ දිගින් දිගට තබා ගැනීමට බලවේග රාශියක් ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය මෙසේ ජාතියට පිටුපාන ජාති ද්‍රෝහීන්ට පහර දිම ය. එම බලවේග මතුකර පෙන්වන්නේ මේ “නන්නත්තාර“ වූ පරම්පරාවේ, මේ ජාති ද්‍රෝහීන්ගේ, ජාතියට ඇති අසංවේදිත්වය ය. අදහස, ඉතිරි ව ඇති පිරිස හෝ මෙයින් ගලවා ගැනීම ය.

බෞද්ධයින් පවා ඕල්කට් බෞද්ධයින් හා ධර්මපාල බෞද්ධයින් ලෙස බෙදී ඉන්නේ මේ ජාතියට ද්‍රෝහි වීම හා හිතවත් වීම පිළිබඳ බෙදුම් රේඛාව හරහා ය.

හොඳින් බැලුවොත් පෙනෙන්නේ මේ ජාතිකවාදී ව්‍යායාමයන් අසාර්ථක ව්‍යාපෘති බව ය. ගෝලීයකරණය වන ලෝකයක එන්න එන්නම ඇකිලීමට නියමිත ව්‍යාපෘති බව ය. ජාතියකට පක්ෂ වීම, ආගමකට පක්ෂ වීම තරමට ම විකාරයක් බව ය.

රටට ද්‍රෝහි වීම

දැන් ඉතිරි ව ඇත්තේ රට ය. අප පක්ෂපාත විය යුත්තේ රටට ද?

කොළඹ පමණක් නොව ලංකාවේ වෙනත් පළාත්වල ඇතැම් පවුල්වල සමාජිකයන් ද සිටින්නේ පිටරට ය. ඒ අතර ඒ රටවල පුරවැසිකම පතා සංක්‍රමණය වූවෝ ද සිටිති. මේ අය රටේ වියදමෙන් නිදහස් අධ්‍යාපනය ලද්දෝ ය. දැන්  කඹුරන්නේ පිටරටට ය. උන් සැලකිය යුත්තෝ රටට ද්‍රෝහී වූවන් හැටියට ද?

එසේ සංක්‍රමණය වූ ඇතැම්හු මුළු මහත් මානව සංහතියට ම වටිනා ඖෂධ හා ප්‍රතිකර්ම විදි සොයා ගෙන ඇත්තෝ ය. නවෝත්පාදනයේ යෙදෙමින් මානව සංහතියේ දියුණුවට උර දී ඇත්තෝ ය. අද අප විඳින තාක්ෂණයන් නිපදවෙන්නේ බොහෝ කොට බටහිර ය. නැත්නම් ජපානය, චීනය, වැනි ඈත පෙරදිග රටවල ය. ඒ රටවල ජනයා සමග උරෙන් උර ගැටෙමින් මේ මානව දැනුමට හා සම්පත් වලට දායක වන අපේ රටේ ම මිනිසුන් ද්‍රෝහීන් ලෙස අපට සැළකිය හැකි ද?

රටේම සිටිමින් රටට ද්‍රෝහී වන්නේ යැයි කියන පිරිසක් ද මේ අතර වෙති. උන් විදේශ ආයෝජන මෙහි එනවාට කැමති ය. විදේශ දැනුම මෙහි එනවාට පක්ෂපාතී ය. විදේශ අදහස් හා ගති පැවතුම් මෙහි එනවාට මනාප ය. උන් රට නොගියාට කැමතිව සිටින්නේ මේ රට ද විදේශයක් කර ගැනීමට ය. අඩු තරමින් අන්න ඒ අයවත් ද්‍රෝහීන් නොවන්නේ ද?

විදේශ ආයෝජන නැතිව ලෝක වෙළඳ පොල ජය ගැනුම උගහට ය. විදේශ දැනුම නැතිව අපේ දැනුමෙන් පමණක් අපට ඉදිරියට යා නොහැකි ය. ඉතාම දියුණු යැයි සැළකෙන ඇමරිකාවවත් එසේ කරන්නේ නැත. විදේශ අදහස් හා ගති පැවතුම් අතර සමහර ඒවා අතිශයින් සාධනීය ය. දියුණුවට ලැදි මිනිසුන් විසින් අත් කර ගත යුතු ය. අප එවැනි දෙයින් මග හැරිය යුත්තේ කුමක් නිසා ද? රටට ද්‍රෝහී වනවා යැයි කියන අපවාදයෙන් ගැලවීමට ද?

තවමත් දේශ සීමා මායිම් තිබෙන බව ඇත්ත ය. රටක් ලෙස තවමත් අපේ අඩුපාඩුකම් අපට විඳ ගන්නට සිදු ව ඇති බව ද ඇත්ත ය. ඒ නිසා ම මේ රට තුළ ජීවත් වන තාක් රට ගැන සිතිය යුතු බව ද ඇත්ත ය. එහෙත් ඒ විදේශ ආයෝජන, විදේශ තාක්ෂණය හෝ විදේශ දැනුමට පිටුපෑමෙන් නොවේ. ඒවා භාවිතයට ගැනීමෙනි. ඒවා සමග ගනුදෙනු කිරීමට උගෙනීමෙනි. අපට වඩාත් වාසි ගත හැකි ලෙස ගනුදෙනු කිරීමට උගෙනීමෙනි.

අප පාරම් බෑවාට ලෝකය සමග ඇති අපේ පෙකනි වැල කැපුවොත් අපට නවතින්න වෙන්නේ අපායක ය. එසේ වූ දිනක සාගතය දුර්භික්ෂය යන සියළු උපද්‍රව අපව වෙලාගනු ඇත්තේ ය. තෙල් නැතිවුනොත් අප බඩ ගින්නේ මියෙන්නේ අම්පාරේ හා පොළොන්නරුවේ හාල් තියා ගෙන ය. ඒ බව දැන ජාත්‍යන්තර වාදී වෙන එක ඇඟට ගුණ ය.

ආගම, ජාතිය, දේශය යන සීමාමායිම් තවම යථාර්ථයක් බව ඇත්ත ය. එහෙත් ඒවා ක්‍රමයෙන් දුර්වල වී යන්නේ ය. එසේ ක්ෂය වී යන එක නපුරක් නොව යහපතකි. මේ ක්‍රමයෙන් බොඳව යන සීමා රැක ගැනීම ගැන නොව බිහිවෙමින් පවතින නව ලෝකය සමග අප ගනුදෙනු කළ යුත්තේ කෙසේ ද යන ප්‍රශ්නයට උත්තර සෙවීමට අපේ සිත් යොමු විය යුතු ය. ඒ ගනුදෙනුව සඳහා අවශ්‍ය හැගිම් නොවේ. බුද්ධිය ය.

රට යන නැවකට….අම්මප….. නගිනවා මා නම්

නැත අන් සරණා
ඔබ මිස රටටා

ඒ කාලෙ අපි එහෙම කිව්වා
ඒ කාලෙ අපි එහෙම ඇහුවා

ගිනි ගෙන දැවෙනව
බඩ සාගිනිත් නැගෙනවා
රට තුනට කැඩෙනවා
දනෝ දෙවියන් හොයනවා

සරණ නැත අද – අප අසරණ වෙලා

…………………………………………….

තිස් තුන් කෝටියක් දෙවිවරු
රකින මුණිවත නම් අපූරු

රට රකින සී වරම් දෙවිවරු
නිදන විදිහත් හරි අපූරු

නාථ දෙවියන් ද නැති – අප අද අනාථ ය

පඩුපුලෙන් දුක ඇඳින
දෙව්ලොවින් අප වෙත බසින
දුකේ දී පිහිට වන
අපට සක්‍ දෙවියන්ගේය සරණ

ඉස්සර කාලෙක එහෙමත් ඇදහුවා තමා

පඩුපුල් අසුන කටු ගෙට
රජ කිරුළ වයිමට
පැන්ෂන් යන්න ඉන්න මට
තවත් කරදර ඉතින් කුමකට

සක්විතිත් එහෙම කියනවා ඇහුණා

තිස් තුන් කෝටියත් ගොළු නම්
රැකවලුන් නිදි නම්
සක්විතිත් මග හරී නම්….
රට යන නැවකට …අම්මප…… නගිනවා මා නම්

කලාකරුවන්ගෙන් ගේම ඉල්ලන දේශප්‍රේමීන්ට

කොකා ගැස්සු‍‍වෙ හිතකින් ද?

පුපුරුවා ගීතය
හද බැඳි කවිය
මුව රැඳි සිනහව
සියල්ල එක පැහැර

කොන්ත්‍රාත්තුව කාගෙ ද
අණ දුන්නෙ කවුරුන් ද
දේශ ප්‍රේමය වෙනුවෙන් ද
මාතෘ භූමිය වෙනුවෙන් ද

හැම මිනී මැරුමක්ම
සුජාතකරණය කරන
හද බඳින එඩි වඩන
සටන්පාඨ වෙනුවෙන් ද

කිසිදා එලි නොවන
පසුබිම් කතාවක්
හද මඩින වියෝවක්
පහසුවෙන් අමතක කර දමන ….කථාවක්

ප්‍රේමයේ කිර්තිය
සදා අනුස්මරණීය!

-නිශාන්ත කමලදාස

බලය සමග ගනුදෙනුව

බලය දූෂණයට මග පාදන්නේ ය. අසීමිත බලය සීමා රහිත දූෂණයට මග පාදන්නේ ය. මේ අප අසා ඇති කියමනකි. එහි මුල් කර්තෘ ලෙස සඳහන් වන්නේ ලෝඩ් ඇක්ටන් ය. එහෙත් මේ පාඨය බොහෝ දෙනෙකු විසින් නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙන දෙයකි.

බලය තියෙන ඇතැම් ඇත්තෝ ඒ බලය යොදා ගෙන සොරකම් කරන බව මේ රටේ මිනිසුන්ට කවුරුවත් අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන්ගෙන් සමහරෙක් එයින් නොනැවතී දුරාචාරයේ ද මිනීමැරුම් වල ද හිංසනයේ ද බලහාත්කාරකමේ ද යෙදෙන බව ද අලුතෙන් කිව යුතු නැත. මේවා පිළිබඳ ඕනෑ තරම් උදාහරණ අපට තිබේ. මේ නොපනත් කම් සියල්ල බලය යොදා ගනිමින් කරන අතරතුර ඒවා සැගවීම ද බලය යොදා ගනිමින් ම කෙරෙන්නේ ය. ඒ නිසා බලය දූෂණයට මග පාදන බවට අටුවා ටිකා අවශ්‍ය නැත. 

බලය දූෂණයට පමණක් නොව තව බොහෝ දුර්භාග්‍යන්ට ද බල පාන්නේ ය. එයින් මත් වන කෙනෙකුට හොඳ නරක තව දුරටත් තේරෙන්නේ නැත. වෙන කිසිවෙකුට සවන් දිමට ඇති සංවේදනය ඒ මත් වීමත් සමග අතුරුදහන් වන්නේ ය.

එතෙකුදු බලය නරක දෙයක් නොවේ. පිළිකෙව් කළ යුතු දෙයක් ද නොවේ. මේ ලිපියේ  අරමුණ එහි දිග පළල හා සීමා විමසීමට ය. එහි සාධනීය හා නිශේධනීය පැති කඩ විමසීමට ය. අප බලය යන ප්‍රපංචය සමග කෙසේ ගනුදෙනු කළ යුතු දැයි කියන්නට ය.

නායකයෙකුට බලය අවශ්‍ය ය. ඒ නායකත්වයේ වගකීම ඉටු කරනු පිණිස ය. තමන් නායකත්වය දෙන ආයතනයේ  සංවිධානයේ එහෙමත් නැතිනම් රටේ ප්‍රගමනය ඇති කරනු සඳහා ය.

නායකයා තමන් නායකත්වය දෙන සංවිධානයට දිසාවක් සැපයිය යුතු ය. ගමනාන්තයක් සැපයිය යුතු ය. ඒ ගමන සංවිධානය කර දියත් කිරීම සඳහා වැඩ පිළිවෙලක් යෙදිය යුතු ය. අවශ්‍ය සම්පත් උත්පාදනය කළ යුතු ය. එක් එක් අංශයට තම වගකීම ඉටු කර ගත හැකි ලෙස එම සම්පත් ලබා දිය යුතු ය. බෙදා දිය යුතු ය. එක් එක් අංශ වෙන වෙනම නොව සංගතියක් ඇති වන ලෙස නිශ්චිත දිසාවට නිශ්චිත ගමනාන්තයට ගමන් කරන බවට අධීක්ෂණය කරමින් සහතික කළ යුතු ය. සිය බලය යොදා ගනිමින් නිවැරදි ලෙස ඒ ගමනේ යෙදෙන අයට ප්‍රතිලාභ පිරිනමමින් ඔවුන් දිරිමත් කළ යුතු ය. එසේ නොකරන අයට දඩුවම් දෙමින් ඔවුන් නිසි මගට ගත යුතු ය. ඒ කටයුතු කළ යුත්තේ තනිව නොවේ. අදාළ පිරිවර සමග ය. එහෙත් වගකීම නායකයාට ය. ඒ නිසා ම මේ සියල්ල සඳහා නායකයාට බලය අවශ්‍ය ය.

බලය තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එය භාවිතා ද කළ යුතු ය. එසේ නොකළහොත් පිහියක මෙන් ම එහි මුවහත ද නැතිව යන්නේ ය. ඒ නිසා ම නායකයෙකු සතු වැදගත්ම ගුණාංගය වන්නේ තමන් සතු බලය අවශ්‍ය අවස්ථාවේ දී භාවිතා කිරීම ය. සම්පත් බෙදා හැරීමට භාවිතා කිරීම ය. ප්‍රතිලාභ දීමට දඩුවම් දීමට භාවිතා කිරීම ය. කටයුතු සංවිධානය කිරීමට, සම්බන්ධීකරණය කිරීමට, භාවිතා කිරීම ය.

බොහෝ නායකයින් කරන්නේ බලය භාවිතා කිරීමට වඩා එය ප්‍රදර්ශනය කිරීම ය. බලය ප්‍රදර්ශනය වඩාත් ප්‍රචලිතව පැවතුනේ රජ කාලයේ ය. රජුගේ අසිමීත බලය පෙන්වීමට රත්තරන් මුතු මැණික් විශාල මාලිගා සපිරිවර සියල්ල නොඅඩුව භාවිතා වුනේ ඒ කාලයේ ය. අදටත් බොහෝ නායකයින් කැමති ඒ ශ්‍රී විභුතිය තම වටපිටාවේ තිබෙනු දැකීමට ය. ඔවුන් වැඩි සතුටක් ලබන්නේ බලය භාවිතයෙන් නොවේ. එය ප්‍රදර්ශනයෙන් ලැබෙන ප්‍රහර්ශයෙනි. ගැටළුව ඇත්තේ එතැන ය. ඔවුහු බලය ප්‍රදර්ශනය කරනු ලැබීමේ සතුටේ ගිලෙමින් බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෝ ය. ගෝලයන්ට රිසි සේ කටයුතු කරන්නට ඉඩ දී බලා සිටින්නෝ ය. තමන් වර්ණනා කරන තාක් තමන්ට ලැදියාව පෙන්නන තාක් ගෝලයින් කුමක් කළ ද නායකයෝ වගේ වගක් නැති ව සිටින්නෝ ය.

බලය ප්‍රදර්ශනය කිරීමේ එක් මූලික කොන්දේසියක් වන්නේ සෙසු පිරිස එම ප්‍රදර්ශක බලයට සිය අවනතභාවය ද එලිපිට ප්‍රදර්ශනය කිරීම ය. උදාහරණයක් ලෙස ඔවුන් නායකයාගේ ආගමනයේ දී නැගිට ආචාර දැක්විය යුතු ය. නායකයා යමක් පිරිනමන විට දණ්ඩ නමස්කාරය කොට එය පිළි ගත යුතු ය. නායකයා කියන්නේ කුමක් වුව ද මුවින් නොබැණ ඉවසිය යුතු ය. ඊට අත්පොලසන් දිය යුතු ය. නායකයාගේ උපදෙස් ප්‍රශ්න නොකර අකුරක් නෑර අනුගමනය කළ යුතු ය. නායකයාට ප්‍රශස්ති ගැයීමට ඉදිරිපත් විය යුතු ය. නායකයා වෙනුවෙන් පෞද්ගලිකව ම තම කැපවීම ප්‍රදර්ශනය කළ යුතු ය. නායකයා වඩාත් ම ප්‍රහර්ශයට පත් වන්නේ තමන්ගේ අනුභාව සම්පන්න භෞතික දෙයින් ම නොවේ. සිය අන්තේවාසිකයන් විසින් ප්‍රදර්ශනය කෙරෙන මේ අන්ධ භක්තියෙන් ලැබෙන උත්තේජනයෙනි.

බරපතල ම ප්‍රශ්නය පැන නගින්නේ නායකයාගේ ප්‍රහර්ශයට අදාළ ඒ දෙවැනි කාරණය නිසා ය. මෙසේ බලය ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා නායකයෙකුට බලය පාවිච්චි කළ යුතු අවස්ථාවක වුව ද එසේ කරන්නට බැරි වන්නේ ය. තමන්ට දේවත්වයෙන් සළකන තමන් දණ්ඩ නමස්කාරයෙන් පුදන මිනිසුන්ට එරෙහි වන්නට ඔහුට නොහැකි ය.

එයින් කියවෙන්නේ බලය ප්‍රදර්ශනයෙන් එය ක්ෂය වන බව ය. තවදුරටත් භාවිතා කිරීමට බලයක් එවිට ඉතිරි නොවන බව ය. ඒ බලය ප්‍රදර්ශනය සඳහා දැනට ම යොදා ගෙන ඇති නිසා ඒ තුළ බලය හිර ව ඇති නිසා ය.

මෙතැන ගනුදෙනුවක් තිබේ. එකක් නායකයාට කොන්දේසි විරහිතව පෞද්ගලික පක්ෂපාතිත්වය අනුගාමිකයන් විසින් දීම ය. දෙවැන්න ඊට හිලවුවට තමන්ට රිසි සේ  කටයුතු කර ගෙන යෑමට අවසර නායකයාගෙන් ලැබීම ය.

තමනුත් කටේ “පස්“ දාගෙන අනුගාමිකයන්ගේ කටේත් “පස්“ දාන්නට එයින් මග පෑදෙන්නේ ය. පස් කියා දා ගන්නේ “සීනි“ බව අන්දරේගේ කතාව දන්නා අයට අලුතින් කියන්නට අවශ්‍ය නැතැයි සිතමි. අසීමාන්තික බලය අසීමාන්තික දූෂණයට  මග  හෙලි කරන්නේ එසේ  ය. නායකයාට පමණක් සීමා නොවී ළග ඉන්නා අන්තේවාසිකයන් සියල්ල ද කොල්ල කරුවන් මං පහරන්නන් හා හොරුන්  වන්නේ ඒ අනුව ය.

බලය සම්බන්ධ කතිකාවට අලුතින් එක් වන තව මානයක් තිබේ. ඒ නම් මේ අසීමාන්තික බලය හොබවන අයගේ මොළයට අනතුරු සිදු වන බව ය. එය පිළිකාවක් මෙන් පැතිරී මොළයේ ඇතැම් කොටස් දුර්වල කර දමන බව ය. මේ ගැන කියන්නේ බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩැචර් කෙල්ට්නර් මහතා ය. ඒ වසර ගණනාවක පර්යේෂණාගාර හා ක්ෂේත්‍ර පර්යේෂණයන් වලින් අනතුරුව ය.

අසීමාන්තික බලයට නිරාවරණය වූ අයට මොළයේ යම් අබාධයක් වූ කෙනෙකුට මෙන් ඉක්මණින් හැගීම් වලින් ප්‍රලය වන්නටත්, තමන් ගන්නා අවදානම ගැන වගේ වගක් නැතිවීමටත්, සෙසු මිනිසුන්ගේ කෝණයෙන් යමක් දෙස බැලීමට නොහැකි වීමත් යන ලක්ෂණ පහල විය හැකි බව ඔහු විසින් දශක 2 ට ආසන්න කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

ඔන්ටාරියෝහි මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥ සූක්වින්ඩර් ඕබි ද මීට සමාන සොයා ගැනීමක් කර තිබේ. මිනිසුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් පර්යේෂණ කළ කෙල්ට්නර්ට වෙනස් ව මොළය පිළිබඳව පරීක්ෂණයන්හි යෙදුණු ඕබි මොළයේ ක්‍රියාකාරිත්වය ගැන කිව හැකි අදාළ චුම්භක ක්ෂේත්‍ර පදනම් කර ගත් පර්යේෂණ යොදා ගනිමින් බලය හොබවන හා බලය නැති අයගේ මොළයන් හි ක්‍රියාකාරිත්වය සන්සන්දනය කරමින් කියා සිටියේ බලය හොබවන අයගේ මොළයේ “දර්පණය“ කිරීමේ හැකියාව ලැබෙන නිශ්චිත ක්‍රියාවලිය දුර්වල බව ය. දර්පණය කිරීමේ හැකියාව සහකම්පනය හා බැඳුනකි. අපට කෙනෙකු සමග සහකම්පනය ඇති කර ගත හැක්කේ ඔහුගේ හැසිරීම කටහඩ සහ ඉරියවු වලට සමාන ලෙස අපේ ඒවා සකස්කර ගත හැකි නම් ය. බලය හොබවන අයට ඒ හැකියාව අහිමිව ඇතැයි ඔහුගේ පර්යේෂණ වලින් හෙලිදරව් වී තිබේ. ඒ මගින් කෙල්ට්නර්ගේ පර්යේෂණ වල ප්‍රතිඵල සනාථ කරන භෞතික සාක්ෂි ලැබී තිබේ.

නායකයෙකු පමණට වඩා මිනිසුන්ට සංවේදීවීම යහපත් නැත. එයින් සිදු විය හැකි එක් නපුරක් නම් සෙසු සාධක ගිලිහී යෑම  ය. එසේ බැලූ විට මේ දුර්ගුණය නායකත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් මේ තත්වය පමණ ඉක්මවා යෑමෙන් සිදු වන්නේ නපුරකි. ඒ මිනිසුන්ගෙන් ඈත් වෙමින් පවතින නායකයෙකුගේ බිහි වීම ය. බලය මත පමණක් විශ්වාසය තබන සෙසු මිනිසුන් සිතන්නේ මතන්නේ කුමක් දැයි යන්න පිළිබඳ අබමල් රේණුවක් නොසිතන නායකයෙකුගේ බිහි වීම ය.

දෙවැනි ලෝක මහා යුද්ධය අවසාන වකවානුවේ හිට්ලර්ගේ පරාජය පිළිබඳ ආරංචියෙන් පසු වින්සන්ට් චර්චිල්ගේ හැසිරීම හදිසියේ වෙනස් වූ බව ඔහු ළගින් හුන් මිනිසුන්ට – සගයින් ට, නිලධාරීන් ට හා බිරිඳ ට දැනුණු බව වාර්ථා වී ඇත. ඔහු තමන් වටා සිටින අය මායිම් නොකරන අමුතු හැසිරීමක් පෙන්වා තිබේ. මේ සම්බන්ධයෙන් වින්සන්ට් චර්චිල්ට මුලින් ම අනතුරු අඟවා ඇත්තේ ඔහුගේ බිරිඳ ය. “මගේ ආදරණීය වින්සන්ට්, ඔබගේ හැසිරීම පිරිහී ඇතැයි මට පෙනී ගොස් තිබෙන බව කියන්නට මට අවසර දෙන්න. කිසිදු අදහසක්, නරක මෙන් ම හොඳ ද අදහසක්,  ඔය හැසිරීම නිසා මතු නොවනු ඇත. ඔබට තවදුරටත් හොඳ ම ප්‍රතිඵල අයත් කරගන්නට නොහැකි වනු ඇත. මා මෙසේ  ලියන්නේ මට දැනුණාට අමතරව ඔබ රැස්වීම් වල දී හැසිරෙන විදිහ වෙනස් වී ඇතැයි ඔබේ ම සගයින්ගෙන් මට අසන්නට ද ලැබුණු නිසා ය.“ ඇය ඔහුට ලියා යැව්වා ය.

බලය හොබවන නායකයින් මේ අනතුරුදායක රෝගයෙන් ගලවා ගැනීමට එසේ නොබිය ව ඔහුගේ /ඇයගේ  මුහුණට ඒ බව කියන්නට හැකි මිනිසුන් අවශ්‍ය ය. හැම බිරිඳකට ම ඒ හයිය නැත.

රජවාසල කවටයෙකු සිටියේ ඒ සඳහා යැයි සිතිය හැකි ය. කවටයාට රජු පවා විහිළුවට ලක් කිරීමට අවසර තිබුනේ ය. ඒ සඳහා හොඳම දේශීය උදාහරණ අපට දෙන්නේ අන්දරේ ය. හීන් නූලෙන් රජුගේ කටයුතු ඔහු විහිළුවට ලක් කළේ ය. ඒ සමග ම අන්තේවාසිකයන්ගේ කටයුතු ද එයින් උද්දාමයට පත් රජුගේ ප්‍රහර්ශය ද ඔහු විහිළුවට ලක් කළේ ය. එයින් එක කතාවක් ගෙන අපි විමසමු.

ඇවිද ගෙන යන කල දුටු වම්බටු පාත්තියක් ළග නැවතුණු රජු අන්දරේගෙන් මෙසේ ඇසුවේ ය. අන්දරේ, වම්බටු ගුණයි නේද? එසේය, දේවයන් වහන්ස වම්බටු අතිශයින් ගුණදායක ආහාරයකි. සිරුරට ඖෂධයකි. අන්දරේ ද නොපැකිලව උත්තර දුන්නේය. නැවත ආපසු එන ගමනේ දී ද වම්බටු පාත්තිය ළඟ නැවතුණු රජතුමා නැවතත් අන්දරේ ඇමතුවේ ය. අන්දරේ වම්බටු ඇඟට අගුණයි කියනව නේ ද? එසේ ය, රජතුමනි වම්බටු කෑම මේසයක අහලටවත් ගත යුතු නැතැයි කියා සිටියේ ය. මොනව අන්දරේ උඹ දැන් ටිකකට ඉස්සෙල්ල  කිව්ව නේ ද වම්බටු ගුණයි කියල. ඒ කටින් ම දැන් කොහොම ද කෑම මෙසේටවත් ගන්න හොඳ නෑ කියන්නේ. අන්දරේ ද මොහොතක් හෝ පමා නොවී මෙසේ සැහැල්ලුවෙන් උත්තර දුන්නේ ය. රජතුමනි, මං සේවය කරන්නෙ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙවෙයි.

මෙවැනි ඇසුරක් නායකයන් සීරුවෙන් තබන්නට අවශ්‍ය ය. බොරුවට පුම්බාගත් පෞර්ෂය පිටුපස ඉන්නේ සාමාන්‍ය මිනිසෙකු පමණක් බව පෙන්වා දෙන්නට මේ ඇසුර අවශ්‍ය  ය. ප්‍රශස්ති ගයන මිනිසුන් විතරක් වට කර ගෙන සෙසු මිනිසුන් එලවා දමන නායකයෙකුට නැතිවන්නේ ඒ ඇසුර ය. ඒ නිසා ම එවැනි නායකයින්ගේ මොළයට ඉහත කී ආකාරයේ අනතුරු සිදු වන්නට ඉඩ තිබේ.

ඊට අමතරව තමන් නැග සිටින, නැතිනම් නග්ගවා සිටින, අට්ටාල වලින් බැස සෙසු මිනිසුන් සමග – සිය අන්තේවාසිකයන් සමග නොව – තමන් හා සමයින්  ලෙස හැසිරෙන්නට සූදානම් මිනිසුන් සමග කටයුතු කිරීම නායකයෙකුට වැදගත් ය. ඒ හරහා ද ඉහත සඳහන් ලෙස මොළය ආබාධයට ලක් වීමෙන් නායකයාට ගැලවිය හැකි ය. අවාසනාවකට මේ අට්ටාල භෞතික ඒවා පමණක් නොවේ. ඒ අතර මානසික අට්ටාල ද තිබෙන්නේ ය. බැස ගැනීමට අමාරු ඒ මානසික අට්ටාල වලිනි. ඒවායින් ස්වයං ව බැස යෑම අමාරු ය. අවසානයේ සිදු වන්නේ ජනයාට හෝ කිට්ටු සගයන්ට එකතුව නායකයා බැස්ස වීමට ය. 

කෙල්ට්නර්ට අනුව නායකයෙකුට පමණක් නොව ජයග්‍රහණ වලින්  ප්‍රමුදිත ඕනෑ ම කෙනෙකුට මේ දේ විය හැකි  ය. ඒ නිසා ම ඕනෑම කෙනෙකු වරින් වර පරාජය වීම ඒ තැනැත්තාගේ මානසික සෞඛ්‍යයට හොඳ විය හැකි ය. ඒ නිසා ම බලයෙන් පහ කරනු ලැබීම පවා ප්‍රකෘති තත්වයට පත් වීමට නායකයෙකුට නැවත අවස්ථාවක් සපයන බව පෙනේ. ඒ එම පරාජය තීරණාත්මක එකක් වුවහොත් ය.

බොහෝ දෙනෙකු අනුයන නායකත්ව මොඩලය තුළ  තිබෙන්නේ එක් වීරයෙක් හා ඔහු / ඇය අනුයන හෙංචයියයන් රාශියකි. එම ඒකනායක මොඩලය අපගේ කතිකාව අනුව යහපත් නොවේ. බලය එක් පුද්ගලයෙක් තුළ ඒකරාශි වීමට වඩා එය බෙදා හැර තිබීම හොඳ ය. අපට අවශ්‍ය එක් තනි වීරයෙකු නොව වීරයන් දස දහස් ගණනින් තිබෙන රටවල් ය. වීරයන්  සිය ගණනින් සිටින ආයතනයන් ය. දුසිම් ගණනින් ඉන්නා සංවිධානයන් ය.

බලය බෙදා හැරීම හොඳ වන්නේ ඒ බලය සාධාරණ හේතුවක් නැතිව නැවත තමන් වෙතට ගැනීමට නායකයා කටයුතු නොකරන තාක් පමණකි. ඒ සඳහා හිතුමතය භාවිතා කිරීමට නායකයාට ඉඩ නැති තාක් පමණකි. ඒ නිසා ම සීමාරහිත බලයකින් නායකයා පුදනු නොලැබිය යුතු ය.

තමන් මාර්ගයෙන් පිලී පනින විට ඒ ගැන පෙන්වා දෙන්නට පුළුවන් සමාන්තර බල මූලාශ්‍රයක් තිබෙන එක ද නායකයාට හොඳ ය. ඒ, එය ආයතනයට, සංවිධානයට හා රටට ද යහපත් වන අතරතුර ය.

මේ සියලු කරුණු පෙන්වන්නේ බලය පිළිබඳ අපේ ආකල්පයන් මේ අලුත් දැනුම ඉදිරියේ විමසුමට ලක් කළ යුතු බව ය. බලය නායකයෙකුට නැතිවත් බැරි ඇතිවත් බැරි දෙයක් බව ය. එය නායකයාට පිරිනමන අනුගාමිකයන් ද ජනයා ද තරමට ම එය ලබන නායකයා ද එහි ඇති සාධනීය හා නිශේධනීය අංග දෙස පරීක්ෂාවෙන් බැලීමට වග බලා ගත යුතු බව ය.

මඟක් තිබෙද්දී – ඇයි බැදිවල යන්නේ

“මචං, අද ඉඳල රෑ නිදි නැතිව දිගටම පාඩම් කරත් විභාගෙ ගොඩ දාගන්න බෑ. ඒකෙ ආයි දෙකක් නෑ. දවස් හතෙන් මෙහෙම විභාගයක් පාස් වෙන්න කාට ද පුළුවන්. මං කියන දේ අහපං. දැන් අපිට කරන්න තියෙන්නෙ පේපර් එක උස්සන්න පුළුවන් ද කියල බලන එක“.

“ඒක කරන්න පුළුවන්ද බං?“

“ට්‍රයි එකක් දීල බලමු. හිත ඇත්නම්  පත කුඩා ද කියල කිව්වලු. උඹ රෙඩි ද කියල විතරක් කියපං. මට තනියම වියදම් කරන්න බෑ“.

“ම්..ම්..“ තරමක නිහඩතාවයකි.

“මේ බලහං කෙක්කෙන් බැරි නම් කොක්කොන් කියල කතාවක් අහල තියෙනව ද? විභාගෙ පාස් වුනාම කවුරුවත් ඕක කොහොම ද පාස් කළේ කියල හොයන්නෙ නෑ බං. උඹ අහල නැද්ද අවසානය හොඳ නම් එතැනට ළගා වෙන මාර්ගය අදාළ නෑ කියල බහුශ්‍රැත කියමනක් තියෙනව“.

“මට බෑ. ඕව කරන්න ගිහිල්ල අහුවුනොත්?“

“මචං, පේපර් එක උස්සන්නෙ උඹවත් මමවත් නෙවෙයි. ඇතුළෙ ඉන්න එකෙක් දාල. අහු නොවී කරන එක උගේ වැඩක්. ඒකට නෙ ගාන දෙන්නෙ“.

“බෑ බං, මගේ හිත කියනව ඒක වැරදි වැඩක් කියල. මට බෑ. විභාගෙ ෆේල් උනත් මම ඕක කරන්නෙ නෑ“.

මේ සංවාදය මට ඇසුනේ ඊයේ පෙරේදා දවසක වුව ද මෙය අපේ ශිෂ්ඨචාරය ආරම්භයේ සිට මේ දක්වා බොහෝ අයවළුන් වෙනස් ප්‍රස්තූතයන් අරබයා මේ සංවාදයේ ම යෙදෙන්නට ඇතැයි මම සිතමි.

අවසානය තමන්ට හා තමන්ගේ අයට හොඳ නම් යන මාර්ගය අදාළ ද? ගන්නා උපාය මාර්ගය අදාළ ද? සංවාදය ඒ අරබයා ය.

නිදහස් අරගලය

මේ සංවාදය මෑත ඉතිහාසයේ අපේ කලාපයේ දී ඇති වුනේ නිදහස් අරගලය සම්බන්ධ කර ගෙන ය. ඒ ලංකාවේ නොව ඉන්දියාවේ ය. ගාන්ධි නිදහස් සටනේ නියැලුනේ අවිහිංසාවාදය ද අවියක් ලෙස ගෙන ය. ගාන්ධී විවේචනය කළ නිදහස් සටනේ නියැලුනු  බොහෝ බලවේග ප්‍රකාශ කළේ අපේක්ෂාව අපේ නිදහස නම් ඒ සඳහා යන මග සම්බන්ධයෙන් අවිහිංසාව කොන්දේසියක් කර ගත යුතු නැතැයි යන්න ය. ඒ කියන්නේ හිංසනය වුව භාවිතා කිරීම වරදක් නොවන බව ය. ගාන්ධි ඊට එකඟ නොවීය.

මේ සංවාදය ලංකාව තුළ සමාජගත වුනේ ගාන්ධිගේ ප්‍රතිපක්ෂය යැයි කිව හැකි, හිංසනය අවියක් කොට ගෙන, එය ම එක ම උපායමාර්ගය කරගෙන, ලංකාව තුළ මතු වූ එල්ටිටීය හරහා ය. ඒ ඔවුන්ගේ “නිදහස්“ සටනේ දී ය. ගාන්ධි අවිහිංසාවාදය අත් නොහැරීමට ගෙන තිබූ අධිෂ්ඨානයට සමාන අධිෂ්ඨානයකින් ප්‍රභාකරන් හිංසනය අත් නොහැරීමට බැඳී සිටියේ ය. ඒ මත දැඩිව විශ්වාසය තැබුවේ ය.

අවසානයට කෙසේ හෝ ළගා විය යුතු යැයි කියන මතය ප්‍රතික්ෂේප කොට යන මාර්ගය සුපිරිසිදු විය යුතු යැයි ගාන්ධි කියන විට ප්‍රභාකරන් කීවේ අවසානයට යා යුතු මාර්ගය කොතරම් අපිරිසිදු වුව ද ඒ හරහා අවසානය ළගා කර ගත හැකි නම් එහි කිසිදු අවුලක් නැති බව ය

මේ සිද්ධි දෙක පමණක් ගෙන විමසුවහොත් ඉතිහාසයේ තීන්දුව ගාන්ධිට පක්ෂවත් ප්‍රභාකරන්ට එරෙහිවත් ලියැ වී තිබෙන්නේ ය. එහෙත් එය එසේ ම සෑම තැනකම සිදු වූයේ නැත. ඇතැම් තැනක අපිරිසිදු මාර්ගයේ ගිය අය ද ජය ලබා තිබේ. ඕස්ට්‍රේලියාවට ගිය සුදු ජනයා එහි සිටි භූමි පුත්‍රයන් පලවා හැර රට සියතට ගෙන අද ද එහි ඉහළින් වැජඹෙන්නෝ ය. ඒ නිසා ම සාර්ථකත්වය යන තනි සාධකය ගෙන මේ සංවාදයේ හරි පැත්ත ගැන තීන්දුවක් ගත හැකි ද? ඒ නිසා ම මෙය විමසිය යුතු ය.

ඕස්ට්‍රේලියාවේ සුද්දන් ලද ජයග්‍රහණය පැරණි එකකි. එය ඉන්දියාවේ නිදහස් සටනට ද වඩා වසර 250 ක් පැරණි ය. එයින් කියවෙන්නේ ඒ පැරණි උපාය මාර්ගය වර්ථමානයට නොගැලපෙන බව ද? තවදුරටත් නග්න බලය භාවිතයෙන් එක් රටක් තව රටක් යටත් කර ගන්නා බවක් නොපෙනීම නිසා ම මෙය යුග දෙකක දෙවිදිහක ප්‍රතිඵල ඇති කරන කාරණයක්  බව ඇඟ වෙන්නේ ද?

අතීතයේ උපාය මාර්ගයේ පිරිසිදු කම තීරණාත්මක ප්‍රශ්නයක් නොවූයේ මුත් එය තවදුරටත් එසේ දැයි මේ නිසා ගැඹුරින් විමසිය යුතු ව තිබේ.

ලෝකය තනි යායකි

එක් කලෙක ලෝකය අද මෙන් තනි යායක් නොවී ය. ලෝකය තනි එකක් හැටියට හැඳින්විය නොහැකි තරමට එය කුඩා ජනපද වලට බෙදී තිබුනේ ය. එක ගමක පදිංචිව සිටි කෙනෙක් ඇතැම් විට දැන සිටියේ අහල ගම් හතක වපසරියක සිදු වන දේ පමණක් වෙන්නට බොහෝ ඉඩ තිබුනේ ය. දැන් එසේ නොවේ.

අද  ලෝකය එකිනෙකා මත යැපෙන ලෝකයකි. තනි මිනිසෙකුට පමණක් නොව තනි රටකට ද පැවතිය නොහැකි ලෝකයකි. ලංකාව ගෙන අපි මෙය විමසන්නට බලමු.

පහත අප මූණු පොතෙන් උපුටා දක්වන සටහන අපේ මේ රඳා පැවැත්ම හකුලා දක්වන්නේ ය. අපේ වෙඩිම එකම කවලමකි – ප්‍රී ෂූට් මැලේසියාවෙ, කොල්ලගෙ ඇඳුම යුරෝපියන්, කෙල්ලගෙ ඇඳුම ඉන්දියන්, වේල් එක පෘතුගීසි, ගොයින් එවේ එක ගුජරාටි, කේක් ක්‍රිස්තියානි, ජයමංගල ගාථා සිංහල, අෂ්ඨක සංස්කෘත, පෝරුව හින්දි, බෑන්ඩ් එක බටහිර, කෑම චයිනීස්, බීම ඉතාලි, ලියාපදිංචිය රෝම ලන්දේසි, ස්තුති කතාව ඉංග්‍රීසි, මධුසමය සිංගප්පූරුව, බීල කියවන එකා විතරක් පට්ට සුද්ද සිංහල ය. ඒ සේවාවක රඟ ය. භාණ්ඩයක සැකසුම ඊටත් එහා ය.

අප කන හාල් නිපදවන ගොයමට දමන පොහොර එන්නේ එක රටකිනි. කෘමින් විනාශ කරන්නට ඉහින මැහි තෙල් එන්නේ තවත් රටකිනි. කුඹුරු මඩින යන්ත්‍ර ද ගොයම් කපන යන්ත්‍ර ද එන්නේ තව රටකිනි. ඒවා වෙළඳපොලට ගෙන එන වාහන එන්නේ එහැම පිටින් ම වෙනත් රටකිනි. ඒ යන්ත්‍ර සූත්‍ර හා වාහන වලට ගහන තෙල් එන්නේ තවත් රටකිනි. තවමත් අප රටෙන් හාල් නිපදවීම සඳහා යෙදෙන එක ම දෙය ශ්‍රමය පමණක් ම විය හැකි ය. දැන් කන්නේ අපේ රටේ, අප වවන වියෙන් එන, හාල් යැයි කීවා ම ඒක තුළ ඇත්තේ බොරු පුරාජේරුවක් පමණ ය. අප ඒ පමණට ම ෆොරින් ය.

මේ අන්තර් පැවැත්ම නිසා අපි අපේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වැරදි කරන්නේ නම් අපට ඉතා විශාල සංඛ්‍යාවක් වන අනෙකා සමග ගැටුමකට යෑමට සිදු වේ.

එදා ගමේ දී මෙන් මමත් මගේ මැර පිරිවරත් සමග ගොස් කළ වික්‍රමයන් අද කරන්නට මට බැරි ය. ඊට මැදිහත් වන්නට එදා හිටියේ පන්සලේ හාමුදුරුවන් පමණක් වන්නට ඇත. උන්නාන්සේ ට ද කළ හැකි ව තිබුනේ මගේ වැඩ අනුමත නොකර සිටීම ය. අද එසේ නොවේ.

අද එවන්නක් කළේ නම් මට එරෙහිව ගමෙන් පිට ස්ථානගතව ඇති පොලීසිය ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. එසේ නොවුනහොත් ගුටි කෑ මිනිසුන්ට අල්ලපු ගමේ ඉන්නා නැතිනම් කොළඹ ඉන්නා දේශපාලනඥයාට කරුණු ඉදිරිපත් කළ හැකි ය. නගරයේ අධිකරණයට යා හැකි ය. නිල මාධ්‍ය පමණක් නොව සමාජ ජලා ද භාවිතා කරමින් තමනට වූ අකටයුත්ත ලෝකයට වුව කිව හැකි ය. ඒ තොරතුර අහුලා ගන්නා සිවිල් සංවිධානයක් වින්දිතයාගේ පිහිට ට එනු ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු ඇතොත් එය ලංකාව පිළිබඳ ලෝක දර්ශකයන්ට බලපෑමක් කළ හැකි නිසා රටේ පාලකයන්ට ද ඊට පිටුපස හරවා සිටිය හැක්කේ ඒවායේ විපාක ද විඳ ගැනීමට ලෑස්ති වෙමින් ය. ඔවුන් ද යමක් කරන ලෙස පොලීසියට බලපෑම් කරනු ඇත. එදාට වඩා මා හිරවීමට ඇති ඉඩ මේ නිසා වැඩි ය.

සවුදියේ කිෂොගී

තුර්කියේ සවුදි තානාපති කාර්යාලයේ දී උත්පත්තියෙන් සවුදි ජාතිකයෙකු වූ කිෂෝගි නම් මාධ්‍යකරුවා ඝාතනය කරනු ලැබිණ. මුලින් සවුදි රාජ්‍ය කළේ එවැනි ඝාතනයක් සිදු ව නැතැයි කියා ඇඟ බේරා ගැනීම ය. එහෙත් කිෂෝගී ඇතුළට ගිය ඡයාරූප සීසීටීවී කැමරා වල සටහන් ව තිබුනේ වුව ද එලියට ආ බවක් සටහන් ව නොතිබුණු නිසා අවසානයේ එවැන්නක් සිදු වූ බව පිළිගන්නට සවුදි රාජ්‍යයට සිදු විය. එය කොතරම් ජාත්‍යන්තර මාතෘකාවක් වූයේ ද යත් සිය ආයුධ ව්‍යාපාරයට විශාල වශයෙන් ලාභ ගෙනෙන ගනුදෙනු කරුවෙකු වූ සවුදි රාජ්‍යයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීමට ඇමරිකාවට පවා සිදු වුනේ ය. ඝාතකයන් නීතිය හමුවට පමුණුවන ලෙස කරන බලපෑම් වැඩි වීම නිසා අවසානයේ සවුදි කුමාරයාට අතිශයින් සමීප සගයින් ගණනාවකට මරණ දඩුවම පමුණුවන්නට යන බව සැළ ය. එහෙත් පීඩනය තවම අවසන් නැත. මේ සම්බන්ධයෙන් සවුදි කුමාරයා වගකිව යුතු බව හෙලිවන හඩ පටයක් නිකුත් ව තිබේ. මේ හඩපටයට සවන් දීමටවත් ඇමරිකන් ජනාධිපති කැමති නැත. එහෙත් ඇමරිකාවේ ජනාධිපතිට අවසානයේ එහි ආයතනික ව්‍යුහයයේ අධිකාරයට යටත් වන්නට සිදු වනු ඇතැයි බොහෝ විචාරකයින්ගේ අදහස ය. මෙයින් කියන්නේ අති ප්‍රබල කුමාරයන් පවා මේ තනි යායක් වන ලෝකය තුළ එක්තරා දුරකට අසරණ විය හැකි  බව ය.

මේ සියල්ලෙන්  කියන්නේ අවසානය ළඟා කර ගත හැකි නම් එක් කලෙක ඒ සඳහා ගන්නා උපාය මාර්ගය අදාළ නොවූව ද තවදුරටත් එසේ නොවිය හැකි බව ය. ඒ අපේක්ෂිත අවසානය වෙනුවට වෙනස් අවසානයක් කරා එම උපාය මාර්ගය අපව ගෙන යා හැකි බව ය.

අප ආරම්භක කතාවේ කී විභාග අපේක්ෂකයා ද අවසානයේ කූඩුවේ ලගින්නට ඉඩ ඇති බව ය. එසේ වීමට ඇති ඉඩකඩ වඩ වඩාත් වැඩි වෙමින් තිබෙන බව ය.

සාර්ථකත්වය ප්‍රශ්නකාරී ය

එසේ කූඩුවේ ලගින්නට ද සිදු නොවී හීන් සීරුවේ ඔහු විභාග කඩඉම පසු කර ගත්තා යැයි අපි මොහොතකට සිතමු. එතැන ඇත්තේ සාර්ථකත්වයක් නොවේ ද?

ප්‍රශ්නය එතැනින් ජිවිතය කෙළවර නොවීම ය. මේ පළමු පියවරේ ලද සාර්ථකත්වය ඔහුව මෙහෙයවන්නේ ජිවිතයේ ඉතිරි කඩඉම් ද මේ විදිහට ම ජය ගැනීමට ය. ඔහු තවත් ඒවා ද මෙසේ ම ජය ගනු ඇත. එහෙත් කොට්ටෝරුවා හැම ගසකට ම කොට කෙට යන නමුත් කෙසෙල් ගසට කෙටූ දවසට හොට අමුණා ගන්නේ යම් සේ ද මේ උපාය මාර්ගීය සාර්ථකත්වය ඔහු අවසානයේ ගෙන යනු ඇත්තේ අගාධයට ය. ඒ නිසා ම වැරදි උපාය මාර්ගයකින් ලබන සාර්ථකත්වය අවසාන විශ්ලේෂණයේ දී  කෙනෙකු ගෙන යනු ඇත්තේ අසාර්ථකත්වයට ය.

ප්‍රභාකරන්ට වුනේ ද විජේවිරට වුනේ ද හිට්ලර් වුනු මේ දේ ම ය.

ඊට අමතරව තව දෙයක් තිබේ. සාර ධර්ම පිළිගන්නා මිනිස්සු මේ උපාය මාර්ගය පිළිකෙව් කරන්නෝ ය. එයින් ලබන සාර්ථකත්වයට අත්පුඩි ගැසීමෙන් වැළකීමට වග බලා ගන්නෝ ය. මේ සාර්ථකත්වය පිළිකුල්  කරන්නෝ ය. ඊට අනුබල දීම සහ සහය දිම ප්‍රතික්ෂේප කරන්නෝ ය. මේ කරන ව්‍යායාමයෙන් සෙසු මිනිසුන්ට සිදු වන අකටයුත්ත ගැන කම්පා වන්නෝ ය. ඒ වෙනුවෙන් එකතු වීමට තීරණය කරන්නෝ ය.

ප්‍රභාකරන්ට මුලින් ම නැතිවුනේ සිය තිරශ්චීන උපාය මාර්ගය පිළිකෙව් කළ තමන්ගේ ම මිනිසුන් ය. ඔහු ඒ මිනිසුන්ට ද ත්‍රස්තවාදයෙන් සංග්‍රහ කළේ ය. ඊළගට ඔහුට නැති වුනේ තමන්ට සහය දුන් ඉන්දියාව ය. ඉන්දියාවට ඔහු උත්තර දුන්නේ ද ඒ තමන් දත් එකම උපාය මාර්ගය වූ ත්‍රස්තවාදය භාවිතා කිරීමෙනි. ඉන්දියාවේ නායකයෙකු වූ රජීව් ගාන්ධිට ද එකම උපායමාර්ගයෙන් සංග්‍රහ කරමිනි. ඊළගට තමන් දෙස එතෙක් සානුකම්පිතව බැලූ බටහිර ලෝකය ය. ඔවුන්ට ඔහු දුන් පිළිතුර වූයේ කවුරු ඔලුවෙන් හිට ගෙන කීව ද තමන් ත්‍රස්තවාදය උපාය මාර්ගයක් ලෙස අත් නොහරින බව ය. ඉන්දියාව එල්ටීටීයට එරෙහිව තම හමුදාව යෙදවූයේ ඒ නිසා  ය. බටහිර රටවල් එල්ටීටීය තහනම්  කරන්නට යොමු වුනේ ඒ නිසා ය. අවසානයේ සිදු වුනේ ප්‍රභාකරන්ට එරෙහිව පවුරු වළලලක් නිර්මාණය වීම ය. ආයුධ ගෙනෙන මාර්ග නැවැත්වීමට ශ්‍රී ලංකා රජයට හැකි වුනේ ඒ පවුර නිසා  ය. මේ සියල්ලෝ එක් කලෙක ප්‍රභාකරන්ගේ සටන සිය ජාතිය වෙනුවෙන් නිදහස ලබා ගැනීමට කළ අරගලයක් ලෙස දුටු මිනිස්සු ය. ඒ සියල්ල අහිමි වූ කල ද ඔහු සිතුවේ තමන්ගේ ම මිනිසුන් පවුරක් ලෙස තබමින් ප්‍රහාරයෙන් වැළකීමට ය. තමන් ත්‍රස්තවාදය අනුගමනය කළ ද ආණ්ඩුව හා හමුදාවට එසේ නොකරනු ඇතැයි, එසේ කිරීමට ඔවුන්ට බැරි වනු ඇතැයි, ඔහු කල්පනා කළේ ය. විජේවීරට සිදු වූ වැරදීම එතැන දී ප්‍රභාකරන්ට ද සිදු විය. ඒ සියල්ල දැන් ඉතිහාසය ය.

ඉතිහාසයේ පාඩම

දුටු ගැමුණු රජතුමා එලාර හා යුද්ධය ජය ගත්ත ද එයින් වූ මිනිස් ජීවිත විනාශය සම්බන්ධයෙන් පසුතැවිලි වූයේ ය. තමන්ගේ හෘද සාක්ෂිය අවසානයේ ඔහුට වද දුන්නේ ය. එයින් ඔහු ගලවා ගැනීමට සංඝරත්නයට බොරු කියන්නට පවා සිදු විය. ඒ මියගියේ තෙරුවන් සරණ ගිය අය නොවන බැවින් ඒ හැටි පවක් නොවන බව කියමින් ය. එයින් ඔහුව සැනසීමට හැකි වූවා දැයි අපි නොදනිමු. එහෙත් එලාරට සොහොනක් තනවා එයට ගරු කරන ලෙස එතැනින් යන විට අසුපිටින් බැස යන ලෙස ශබ්ද නවත්වන ලෙස නීති පැනවූයේ තව දුරටත් ඉතිරි වූ හෘද සාක්ෂිය ඔහුට වද දුන් නිසා ය. ඒ නිසා දරුණු උපායමාර්ගයෙන් ලබන ජය සම්බන්ධයෙන් තමන් වෙත ඉතිරිවන පසු තැවිල්ල ද කෙනෙකුගේ සැළකිල්ලට ලක් විය යුතු ය.

ඇතැම් අයට එවැනි හෘද සාක්ෂියක් නැති බව ඇත්ත ය. තමන් පසු තැවිලි නොවුන ද ජනතා විරෝධයෙන් ගැලවීමට ඔවුන්ට බැරි ය. බලය තිබෙන විටෙක යටපත් ව තිබුන ද බලය නැතිවුනු කල එය ඉස්මත්තට ඒම වැළැක්විය නොහැකි ය.

ඒ නිසා ද කෙසේ හෝ ළගා කරනා සාර්ථකත්වය නොව නිසි ලෙස ලබාගන්නාවූ  සාර්ථකත්වය ගැන පමණක්  අප විශ්වාසය තැබිය යුතු ය. අවසාන ප්‍රතිඵලය පමණක් නොව ඒ කරා ළගාවීමට අනුගමනය උපාය මාර්ගය ද යහපත් කර ගැනීමට අප ඉටා ගත යුතු ය. එසේ නොකරන අය අතීතයේ දී සාර්ථක වුව ද වත්මන දී  තාවකාලිකව සාර්ථක වුව ද වැඩි දුර නොගොසින් අසාර්ථක වීමට නියමිත ය.