කෑගල්ලේ පැණිය

See the source image

කෑගල්ලේ පැණිය හැදුවේ කෝවිලක කපුවෙකු බවට රූපාන්තරණය වූ මේසන් බාස් උන්නැහේ කෙනෙකි. මේසන් වෘත්තිය අතිශය ඉහළ වෘත්තියක් වුව ද රෝගයක් සුව කිරීමට බෙහෙත් දීමට ඇවැසි කුසලතා ඇති කරන්නක් නොවේ. එහෙත් පැණියට තටු ලැබුණේ ය. කපු මහත්තයෙකු බවට පත් ව තිබුණු මේසන් බාස් උන්නැහේ හෙල වෙදදැරු කෙනෙකු ලෙස භෞතීස්ම වුනේ ය.

මේ පැණිය හඳුන්වා දුන් ධම්මික මහතාට සාධාරණයක් වනු පිණිස කිව යුත්තේ ඔහු නම් මෙය තමා සොයා ගත් දෙයක් බව නොකී බව ය. ඔහු කීවේ කාලි අම්මා ඔහුට සිහිනෙන් කී වට්ටොරුවකට අනුව මෙම බෙහෙත සෑදු බව ය.

බටහිර රටවල දියුණු තාක්ෂණයට පවා සොයා ගන්නට බැරි වූ දේ කාලි අම්මාගේ හෝ අධාරයෙන් කරන්නට හැකි වීම ගැන අපේ ඉතිහාසය ගැන කවදත් ආඩම්බරයෙන් කතා කරන මිනිසුන්ට ආශ්වාද ජනක ප්‍රවෘත්තියක් බවට මෙය පත් වීමට ගියේ කුඩා කාලයකි.

එම මහෞෂධය වතුපිටිවල නිරෝයාධන මධ්‍යස්ථානයක පරීක්ෂා කරනු ලැබ අතිශය සාර්ථක ප්‍රතිඵල ඇති කළ බවට සහතිකයක් බටහිර වෛද්‍යවරුුුුුුුුන්ගෙන් ම ලැබුණු බව ද දෙරණ ප්‍රවෘත්ති වාර්තා කළේ ය. ඒ පර්යේෂණ දත්තයන් ද දක්වමිනි. ඒ සහතිකය ධම්මික මහතා පමණක් නොව ඔහුගේ මේ බෙහෙත දිග් විජය කරනු ඇතැයි පැතූ බොහෝ මිනිසුන්ට ධෛර්යයක් සැපයී ය.

සමාජ මාධ්‍ය ජාලය මේ පැනිය සම්බන්ධයෙන් දෙකට බෙදුනු බවක් පෙන්නුම් කළේ ය. එක් කණ්ඩායමක් මෙහි ඇති විද්‍යාත්මක භාවය ප්‍රශ්න කළ අතර අනෙත් කණ්ඩායම ලෙඩේ හොඳ වෙනවා නම් ඒ කුමකින් වුනහම මොකදැයි අසා සිටියහ.

ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍ය මේ ගැන ප්‍රවෘත්ති පල කළා විනා මෙය ප්‍රශ්න කරන තැනකට නොගියේ ය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවා මේ ගැන තවදුරටත් පරීක්ෂණ කළ යුතු බව කී නමුත් මේ සම්බන්ධයෙන් සැක මතු නොකිරිමට වග බලාගත් බව පෙනුණි.

පැණිය සෞඛ්‍ය ඇමතිනියට පිළිගන්වනු ලැබ එතුමිය රූපවාහිනි නාලිකා කීපයක් ඔස්සේ මුළු රටටම පේන්නට එය බීවා ය. කතානායක තුමා ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් කීප දෙනෙකු ද එය පානය කරන ඡයාරූප ද පල විය. ඒ ගැන ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කළේ ය. “කොවිඩ් 19 වැළ‍දීමෙන් වළකින ඖෂධය සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද (10) පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබිණි. ඒ ආණ්ඩු පක්ෂයේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසිනි. ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අදාළ පැණි බෝතල් රැසක් මන්ත්‍රීවරුන් සඳහා රැගෙන ආ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද පැණිය පානය කළ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි”.

මෙසේ බටහිර වෛද්‍යවරුන් කීපදෙනෙකුගේ ද රජයේ ද මාධ්‍ය වල ද ආධාර උපකාර මධ්‍යයේ මෙය ජනප්‍රිය විය. කොතෙක් ජනප්‍රිය වී ද යත් කෑගල්ලේ මේ වෙදමහතාගේ ගෙදරට පැණි ගන්නට එකතු වූ සෙනඟ එකම ජන ගඟක් සේ දිස් විය.

කර්මාන්ත ඇමති තුමා මේ පැණි සෑදීම සඳහා විශේෂ යන්ත්‍රයක් පවා ලබා දීමට කාරුණික වූ බවට ආරංචි පැතිරුණේ ය. අරුණ පුවත් පත ඒ සම්බන්ධයෙන් වාර්ථා කර තිබුනේ මෙසේ ය. “කෝවිඩ් 19 සඳහා දේශීය පැණිය හඳුන්වාදුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට කර්මාන්ත අමාත්‍යාංශය මගින් මහ පරිමාණ ඇබරුම් යන්ත්‍රයක් ලබා දී තිබේ. කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ මගපෙන්වීම මත කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් මෙම ඇඹරුම් යන්ත්‍රය ලබාදී තිබේ. ඔහු (ධම්මික බණ්ඩාර මහතා) සඳහන් කළේ ඇමැති විමල් වීරවංශ දුරකථන ඇමැතුමක් ලබාදුන් අවස්ථාවේදී තමාට ඇඹරුම් යන්ත්‍රයක් අවශ්‍ය බව පැවැසීමෙන් අනතුරුව ඇමැතිවරයා විසින් මෙම ඇඹරුම් යන්ත්‍රය ලබා දුන් බවයි”.

කෑගල්ලේ ජන ගඟ ගැලීමට පසු නිවේදනයක් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ මෙම පැණිය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොරෝනා මැඩලීමේ ඖෂධයක් ලෙස නිර්දේශ කර නැති බව ය.

මේ පිළිබඳව කොරෝනා රෝගය පාලනය කිරීම පිළිබඳ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය දෙසැ 16 දින මෙසේ කියන්නී ය. “කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා වලට සුදුසු යයි කිසිතැනක තහවුරු වී නැත. එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි ය”.

මේ සමස්ත සංසිද්ධිය ප්‍රශ්න ගණනාවක් මතු කරන්නේ ය.

පළමු ප්‍රශ්නය, වතුපිටි රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානය බාර ව සිට මේ පැණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ය. මේ පැණිය ඔවුන්ට ලැබුණේ කාගෙන් ද? කවුරුන් හෝ කෙනෙක් දුන් පැණියක් මෙසේ රෝගීන්ට ලබා දීමට ඔවුන්ට අවසර තිබේ ද? එය වෛද්‍ය ආචාර ධර්මයන්ට කෙතරම් දුරට එකඟ ද? බැරි වෙලාවත් මෙය භාවිතා කිරීමෙන් රෝගියෙකු කිසියම් අපහසුතාවයකට හෝ මරණයට පත් වූවා නම් වගකියන්නේ කවුද?

දෙවැන්න, සෞඛ්‍ය අමාත්‍යංශයට හා ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට ය. මේ වෛද්‍යවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් එම බලධාරීන් පියවර ගන්නේ ද? එසේ නොගන්නේ නම් ඒ මන්ද? මෙය වැරදි පූර්වාදර්ශයක් නොසපයන්නේ ද? අනෙත් පැත්තට මේ කියන විදිහට පාලක පරීක්ෂණයක් ද ඇතූළුව පරීක්ෂණ ගණනාවකින් මෙය සනාථ වී නම් මෙය නිර්දේශ නොකරන්නට හේතු මොනවා ද? ඒ පරීක්ෂණ ගැන වෛද්‍ය ක්ෂේත්‍රයේ මතය කුමක් ද? කරන ලදැයි කියන පර්යේෂණ සම්බන්ධයෙන් මෙසේ මුණිවත රැකීම ඒ පරීක්ෂන වල සුජාත භාවය සමාජ ගත කිරීමක් නොවන්නේ ද?

තුන්වැන්න, සෞඛ්‍ය ඇමතිනියට ය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන තෙක් නොඉඳ දෙනෝ දාහක් ඉදිරියේ මේ පැණිය බීමෙන් සිදු කළ වගකීම් විරහිත ක්‍රියා කලාපය ගැන පසුතැවිල්ලක්වත් ඇයට තිබේ ද? ඒ සම්බන්ධයෙන් ඇය මුණිවත රකින්නේ මන් ද?

සිව්වැන්න, මාධ්‍ය වලට ය. පරීක්ෂණ ප්‍රතිඵල තහවුරු කිරීමට මත්තෙන් අඩබෙර ගසා මහා ප්‍රවෘත්තියක් සේ ඉදිරිපත් කර ලකුණු දමා ගැනීමට හදන ජඩ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ය. ඔවුන්ට අවම මාධ්‍ය සදාචාරය ගැනවත් හැඟීමක් නැද්ද? මාධ්‍ය සම්බන්ධයෙන් තම කලකිරීම මෙසේ ප්‍රකාශ කළේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ය.  “කෑගල්ලේ පැණි බෙහෙත් ගන්න මිනිස්සු යන හැටි දැක්කම කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කතා කිරීමට යන මහන්සියත් අපරාධයක්. මේ සියල්ල සිදුවන්නේ මාධ්‍ය වලින් කරන ප්‍රචාර නිසා. දැන් රූපවාහිනියෙන් නම දා ගැනීමට තිබෙන ලේසිම ක්‍රමය එක්කෝ මෝඩ වැඩක් කිරීම, එසේත් නැතිනම් සම්මතයට විරුද්ධ දෙයක් කිරීම. මොනවා හරි බෙහෙතක් තියෙනවා ඒකෙන් හොඳ කරන්න පුළුවන් කිව්වම ඒකට ප්‍රචාරය දෙන මාධ්‍ය කලාවකට සම්බන්ධ වීම තේරුමක් නැහැ”.

පස්වෙනුව, මේ රටේ ඉන්නා ඊනියා ජාතික වාදීන්ට ය කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කවුරු හෝ යමක් දේශීයව නිශ්පාදනය කළා යැයි කී පමණින් ඔ්ජේ ඔජායේ කියන්නට සැදී පැහැදී සිටින ජාතික වාදීන් ටය. ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් ජාතියක් මෙසේ ෂෝට් කට් වලින් ගොඩ දාන්නට හැකි ද කියා ය. අන්තිමේ දී මේ සියල්ලෙන් වන්නේ ලෝකය ඉදිරියේ උඩ දමන්නට හදන ජාතිය ම හෑල්ලුවට පත් වීම නොවේ ද කියා ය.

සයවෙනුව, ඔ්නෑම රැල්ලකට ගොඩ වී ඒ හරහා තමන්ට විමුක්තිය ලැබිය හැකි යයි සිතන ජනතාවට ය. කිසිදු විශ්ලේෂණයක් නොකර සම්පූර්ණ චිත්‍රය නොබලා හොඳ වෙනවා නම් මොකකින් වුවත් කමක් නැතැයි යන සරල තර්කයේ එල්ලී අපේ දේ ගොඩ දමන්නට ඔ්නෑ ය යන පටු ආවේගයේ ගැලී වංචාකාරයන්ට උඩ ගෙඩි දෙන ජනතාවට ය. දොළුකන්දෙන් මීවැල්ලෑවෙන් කතරගමින් පනසල් වල බුදුරැස් නැරඹීමෙන් යන කිසිදු අත්දැකීමකින් පාඩම් නූගත් ජනතාවට ය. ඔවුන්ගෙන් අසන්නට තිබෙන්නේ බළලා පිඟන් මැට්වෙන් කළත් මීයන් අල්ලනවා නම් මොකදැයි අසන බක පණ්ඩිතයන්ගෙන් පිඟන් මැට්ටෙන් කළ බළලුන් මීයන් අල්ලනවාදැයි නොඅසා ඒකත් ඇත්ත නොවේදැයි කියා සිතමින් තමන් කල්පනා කරන්නේ කුමන මොළයකින් ද කියා ය.  

ගෝලීය ප්‍රශ්නයන්ට විසඳුම් – අතීතයෙන් නොව අනාගතයෙන්

See the source image

පොලිතීන් හා ප්ලාස්ටික් ලෝකය පුරා ව්‍යාසනයක් මෙන් පැතිර යන්නේ ය. එය මිනිසාට පමණක් නොව සත්ත්වයන්ට ද සමස්ත ජෛව ගෝලයට ද අපමණ හානි සිදු කරමින් පැතිර යන්නේ ය. ගෝලීය උණුසුම විසින් ඇති කරන කාලගුණ විපර්යාසයන් ද ඒ අතරේ අපට ද සතුන්ට ද පරිසරයට ද බැට දෙමින් සිටින්නේ ය. මේ ගෝලීය ප්‍රශ්න සියල්ල සංවර්ධනයේ අතුරු ඵලයන් ය.

මේවාට විසඳුම් සොයන්නට හදන සමහරු නවතින්නේ අතීතයේ ය. වැඩි යමක් නොතිබුණු සරල සුන්දර අතීතයේ ය. යෝජනා එන්නේ ඒ අතීතයට යන්නට ය. සංවර්ධනයට තිත තියන්නට ය.

කනගාටුවට කාරණය නම් එහෙම හැකියාවක් නැති බව ය. තවමත් ජීවන මට්ටමෙන් ඉතා පහළ අඩියක ඉන්නා මිනිසුන්හට නම් එයින් සුගතියක් අත් වන්නේ ම නැත.

මේ ප්‍රශ්නයන්ට පිළිතුරු සඳහා අප ආ ගමන් මග දෙස නැවත හැරී බැලිය හැකි ය. අතීතයේ දී සමාන ප්‍රශ්න අප ජය ගත්තේ කෙසේදැයි විමසිය හැකි ය.

දඩයමෙන් ජීවත්වීම අමාරු වන විට මිනිස්සු බව භෝග වගාව ද සතුන් හීලෑ කර ඇති කිරීම ද තෝරා ගත්තෝ ය. ඒ සඳහා උදව් වුනේ තාක්ෂණය ය. ආයුධ හා මෙවලම් ය. අත්හදා බැලීම් ය.

ජනගහණය වැඩි වන විට කෘෂිකර්මයෙන් ලැබෙන අස්වැන්න ප්‍රමාණවත් නොවී ය. මිනිස්සු වඩා හොඳ අස්වැන්නක් දෙන බීජ නිපදවන්නට පටන් ගත්හ. උදව්වට ආවේ විද්‍යාව හා තාක්ෂණය ය. පර්යේෂණ හා අත්හදා බැලීම් ය.

දිනෙන් දින ඉහළ යන ජීවන අපේක්ෂා වෙනුවෙන් තිබෙන ඛනිජ තෙල් නිධි ප්‍රමාණවත් නැතැයි හැඟී යන විට ද වායුගෝලීය උණුසුම පිළිබඳ සාකච්ඡා උණුසුම් වෙන විට ද මිනිස්සු වැඩි වැඩියෙන් පුනර්ජීවන බලශක්තීන් සොයා ගිය හ. අවසානයේ කෙළින් ම සූර්යාගෙන් ම ශක්තිය ලබා ගැනීමට ඔවුහු පෙළඹුනාහ. පොලීතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් ලෝකය පිරී යන විට මිනිස්සු වැඩි වැඩියෙන් ප්‍රතිචක්‍රීකරණයට යොමු වූහ. මේ සියලු කටයුතු සඳහා අනුග්‍රහය ලැබුණේ විද්‍යාව හා තාක්ෂණයෙන් ය. වැඩි වැඩියෙන් කරනු ලැබූ පර්යේෂණ හා අත්හදා බැලීම් හරහා ය.

එයින් කියන්නේ මේ දැවැන්ත ගෝලීය ප්‍රශ්න විද්‍යාඥයන්ට හා තාක්ෂණයට බාර දී සෙසු මිනිසුන් අත් වැල් බැඳ ගෙන සිටිය යුතු බව ද? නැත. ඒ පර්යේෂණ සඳහා සම්පත් අවශ්‍ය ය. අනුග්‍රහය අවශ්‍ය ය. ඉඩ හසර අවශ්‍ය ය. මේ ප්‍රශ්න ගැන ජනතාව සංවේදී වූ තරමට ඒ ප්‍රශ්න අවසන් කරන ලෙස වගකිවයුත්තන්ට බල කෙරෙන තරමට මේ අත්හදා බැලීම් සඳහා වඩා වඩාත් අනුග්‍රහ ලැබෙනු ඇත.

එහෙත් අතීතයට යන අය අල්ලා ගන්නේ ම වැරදි කොනකිනි. හැම නව දෙයක් දිහා මත් ඔවුන් බලන්නේ සැකයෙනි. ජාන තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් මිනිසුන් තුළ අවුළුවන ලද බිය මේ අතීතකාමීන්ගේ මැදිහත් වීම් වල ප්‍රතිඵල ය.

සැක කිරීම එකකි. එය බියකට පරිවර්තනය කිරීම හා ඒ බිය පතුරුවමින් නව හැම දෙයකට ම විරුද්ධව මිනිසුන් පෙළගැස්වීම තවත් එකකි.  

මේ ගැන සටහනක් ලියන්නට සිතුණේ ලොව ප්ලාස්ටික් අර්බුදයකට විසඳුමක් ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් අප්‍රිකාවේ රටවල් කීපයක ආදර්ශ නිවාස සැදීමේ ව්‍යාපෘතියකට නොර්වේජියානු සමාගමක් එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසම සමග එක්ව දියත් කරන්නට යන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් නිසා ය. මගේ ඇතැම් මිතුරෙකු ඒ දෙස බැලුවේ බටහිර රටවල් විසින් සිය අපද්‍රව්‍ය අප්‍රිකාව වැනි අසරණ රටවල්වලට පැටවීමේ කුමන්ත්‍රණයක් ලෙස ය. තව මිතුරෙකු සැක පහළ කළේ ප්ලාස්ටික් නිවාස සෞඛ්‍යයට නුසුදුසු විය හැකිය යන පදනමේ පිහිටා ය.

අපට මග හැරිය‌ නොහැකි සත්‍යයන් කීපයක් තිබේ. ඒ ලෝක ජනගහණය තවදුරටත් වැඩි වෙමින් තිබෙන බව හා එය තව කලකට අඩු වීමේ ඉඩක් නැති බව ය. ‌දැනට පහළ මට්ටමේ ජීවිත ගත කරන මිනිසුන් වැඩි වැඩියෙන් එයින් මිදෙමින් පවතින බව අනෙක ය. ඔවුන් ද සෙසු මිනිසුන් විඳින දේ ඉල්ලා සිටිනු ඇත්තේ ය. ඒ නිසා ම බලශක්තිය ද ප්ලාස්ටික් ද පොලිතීන් ද සම්බන්ධයෙන් ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇති බව ය.

අප කළ යුත්තේ සංවර්ධනය නැවැත්වීමට හෝ අතීතයට යෑමට උත්සහ කිරීම නොවේ. අලුත් අභියෝග ජය ගනිමින් ඉදිරියට යෑමට ය. ඒ සඳහා තාක්ෂණය හා විද්‍යාව යොදවා ගන්නට බලාධිකාරයට බල කර සිටීම ය. පරිසරයට හා මිනිසාට අවම හානියක් ගෙන දෙන බලශක්ති හා අමුද්‍රව්‍ය සොයා යෑම ය. අප සංවාදයට මග පෑදූ ඒ සොයා ගැනීම ද එබන්දකි.

අද දවසේ කෙරෙමින් පවතින්නේ ද අවම හානියක් දෙන බලශක්ති හා අමුද්‍රව්‍ය සොයා යෑම ය. අප කළ යුත්තේ එහි වේගය වැඩි කිරීමට අනුග්‍රහයන් සැපයීම ය. හානිකර ප්‍රයත්නයන්ට බදු පනවමින් ඒවා අඩාල කරන අතරේ ඒ බදු මුදල් වඩා යහපත් දේ සොයා ගැනීම සඳහා යොදවන ලෙස ආණ්ඩුවලට බල කර සිටීම ය. කනගාටුවට කාරණය නම් බොහෝ දෙනෙකු කැමති මේ ප්‍රශ්න එලෙස ම තිබෙනවා දකින්නට ය.  අවුල ඇත්තේ එතැන ය.


 

කන්නලව්ව

Image result for worshippiing hindu god

දේව ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටුනු මිනිසාගේ මුවින් පිටවූයේ බලවත් අදෝනාවකි. පුද්ගලයා අදුනාගත නොහැකි තරම් ඈත සිටින කෙනෙකුට වුව ඔහුගේ හැසිරීමෙන් හා නැගෙන අදෝනාවේ ස්ව‍රයෙන් එහි ඇති බරපතල කම හදුනා ගත හැකි වනවා නොඅනුමාන ය. හිස කෙස් කඩා දමමින් ද පපුවට ගසාගනිමින් ද ඔහු සිය කථාව වරෙක වේගවත්ව ද වරෙක නෑසෙන සිහින් ස්වරයකින් ද කියවා ගෙන ගියේ ය.

ඇයි දෙයියනේ මාව මේ ලෝකෙට බිහිකළේ? යැයි දැඩි ස්වරයෙන් නැගුණු අභියෝගාත්මක ප්‍රශ්නයෙන් මම මදක් පසුපසට විසිව ගියෙමි. දෙවියන් පවා ඉන් ගව්වක් දෙකක් ආ පස්සට විසිව ගියේ නැත්නම් ඒ පුදුමයෙකි. මද නැවතීමකින් පසු ඔහු නැවතත් යාදින්න පටන් ගත්තේ ය.

මං පුංචි සන්දියෙ ඉදන්ම දෙමාපියන්ට කීකරු වෙලා හිටිය. තාත්තා කසිප්පු ගොන්නක් බීලා ගෙදර ඇවිත් රණ්ඩු කරද්දිත් ගුටිබැට දෙද්දිත් මම තාත්තට වැන්ද. උන්දෑ කියන දේකට පිටින් ගියේ නෑ දෙයි හාමුදුරුවනේ.

ස්කොලෙදි වෙන එකෙකුගේ වැරැද්දකට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උද්ධච්ඡ ගුරුවරයෙක් මට දවසක් නොසෑහෙන්න තැලුව. ඒත් මම කරබාගෙන ඉවසුව හාමුදුරුවනේ. අපට බොරුකරපු අපට තළලා සන්තෝස වුනු ගුරුකමට නිගා දුන්නු ගුරුවරුන්ටත් මම නමස්කාර කළා හාමුදුරුවනේ.

ගුරු‍න්ගෙන්වත් දෙගුරුන්ගෙන් වත් හරිහැටි මග පෙන්වීමක් ලැබුනෙ නැති නිසා ද එහෙම නැත්නම් මගේම කාළකන්නි කමට ද මන් දන්නෙ නැහැ මට ඉහළට ඉගෙන ගන්න ලැබුනේ නැහැ.

රස්සාවක් නැතිව ළතවෙද්දි රස්සාවක් දෙනවැයි කිව්ව දේශපාලන ලොක්කො පස්සෙ මාත් ගියා හාමුදුරුවනේ. උන්දැලගේ ඔක්කොම කිළුටු මං ‍හේදුවා. උන්ට ප්‍රශස්ති කිව්වා. උන්ව කරපිටේ තියාගෙන ගියා. අන්තිමේ දි කතිරෙත් ගහල මගේ විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ගේ කතිරෙත් උන් වෙනුවෙන් ගහල ‍උන්ව බලයට පත් කරන්න දර දිය ඇද්දා. මිනිහ දින්න. බලයට පත්වුනාට පස්සෙත් උගේ බැලමෙහෙවරකම් මුරකාරකම් හයිකාරකම් ඔය ඔක්කොටම මාත් සහභාගිවුනා.

අරක්කු බෝතලේට රුපියල් පනහට සීයට මම ඒ උන්දැට මගේ ආත්මය වික්කා. මම හිතුවෙ මට රස්සාවක් ලැබෙනවනම් ජිවත්වෙන්න ආදායමක් ලැබෙනව නම් කමක් නැහැ කියලයි.

දේශපාලකයෝ කොල්ලො කෙල්ලො දඩයම් කරන කොටවත් උන් කරන්නේ වැරැද්දක්ය කියල හිතන්න මට ශක්තියක්වත් ඕනෑකමක්වත් තිබ්බේ නැහැ. මට දැනටමත් ලැබෙන ලාභ ප්‍රයෝජනවලින් විතරක් නෙවෙයි ඉස්සරහට ලැබෙන්න යන ජොබ් එකෙනුත් මම අන්ධ වෙල හිටියෙ.

මම කරන්නේ වැරැද්දක්ය කියල හිතුන වාරත් තිබුන. ඒත් තව ගොඩක් අයත් ඒක කරනවය කියල මම හිත හදා ගත්ත. ස්ත්‍රී දූෂණ මිනීමැරුම් වංචා දූෂණ යන ඔය ඔක්කොටම ප්‍රසිද්ධවෙල හිටිය මගේ දේශපාලන හාම්පුතාට මිනිස්සු ගිහිල්ල පෝලිමේ චන්දෙ දුන්න. ඉතින් මං විතරක් ඌට විරුද්ධවෙල මක්කරන්න ද? ඒ වෙලාවලට එහෙම හිතල මම හිත හදා ගත්ත.

මට අන්තිමේ රස්සාවක් ලැබුන. ඒත් ඒක ලැබෙන කොට මට ගොඩක් දේ අහිමිවෙලයි තිබුනෙ. වෙන එකක් තියා මට හිතන්න ශක්තියක්වත් ඉතුරුවෙල තිබුනෙ නැහැ. අණ දෙනවනම් පිලිපදින්නත් නැත්නම් නිකම් ඉන්නත් මම පුරුදු වුනා. මගේ හිතේ වරින් වර මතුවන පිළිකුළ මම මැඩගත්තේ බීල. නැත්නම් ගෑණීයෙක් හොයා ගෙන ගිහිල්ල බලෙන් හරි සල්ලි වලට හරි මගේ ඇග නිවාගෙන.

ලංකාවෙ මිනිස්සු මේ තරම් බොන්නෙ උන්ගෙ ජීවිත ඇතුළෙන් මතුවන ජුගුප්සාව සමහන් කොරගන්නය කියල පන්සල්වල ඉන්න හාමුදුරුවොවත් පල්ලියෙ ස්වාමියොවත් දන්නෙ නැතුව ඇති. මත්පැන් ප්‍රචාරය තහනම් කරල බාර් වහල අපිව මේ උවදුරෙන් ගලවගන්න ඒ අය කල්පනා කරනවා ඇත්තෙ ඒ හින්දා වෙන්න පුලුවන්. ඒත්මං දන්නව මගේ තියෙන කාළකන්නි හිස් බාවය මං පුරවගන්නෙ බීලා කියල. බිව්වෙ නැති දාට හිතන්න වෙනව. එක භයානකයි හාමුදුරුවනේ. එතකොට අතීතයෙ බියකරු අවතාර පේන්න ගන්නවා. මට ඒවත් එක්ක හැප්පෙන්න ශක්තියක් නැහැ.

කියපු නිසා මං කොළා. අනිත් එවුනුත් කරපු නිසා මාත් කොළා. මං ඒ දවස්වල හිතහදාගත්තෙ එහෙමයි.

ඒත් නොබී ඉන්න කොට මගේම ආත්මය මට කරදර කරනව. ඇයි කියපු නිසා කොළේ උඹටයි කියල මොළයක් තිබුනෙ නැත් ද ඇයි අනුන් කරපු නිසා කොළේ. උඹ රූකඩයක් ද? ඔය වගේ දාහක් ඕන නැති ප්‍රශ්න ඔලුවට එනව. ඒවා මාව හෙම්බත් කොරෝනව. එතකොට මට සියදිවි නහගන්න හිතෙනව. ලංකාවෙ මිනිසුන් බොන එකෙන් විතරක් නෙවෙයි සිය දිවි නහ ගන්න එකෙනුත් ලෝක වාර්ථාව තියන්න ඇත්තෙ ඒ නිසා වෙන්නැති.

අනිත් එවුන් කරන හැම දෙයක්ම කරන මම ඇයි සියදිවිනහගැනීමට විතරක් පහුබාන්නේ. ඇත්තම කියන්න දෙවියනේ අද මගෙ ලග මැහි තෙල් කුප්පියක් ගන්න තරමටවත් පිච්චියක් නැහැ. මැරෙන්න වුනත් ඕනවට වඩා දගලන්න මං ලෑස්ති නැහැ. අමාරු දේ කරලා පුරුද්දක් මට ඇත්තෙත් නැහැ. මේවා අහන ඕන කෙනෙක් කියයි මට පිස්සුයි කියල. මෙහෙම ගියොත් වැඩියෙන්ම පිස්සන් ඉන්න රට හැටියටත් අපේ රට කිරුළු පළදින්න පුළුවන්. මිනීමරාගන්නා එකෙත් වීරත්වයක් තියෙනව. බොන එකත් සිංහ පදමට එන්න බොන්න පුලුවන් නිසා පුංචි වීරත්වයක් ආරූඩ කර ගන්න පුලුවන්. සියදිවිනසා ගැනීම, ඒකත් තරමක් වීරකමක් හැටියට අමාරුවෙන් තර්ක කරල පෙන්නල දෙන්න පුලුවන්. ඒත් පිස්සු වැටීම මොනම විදිහකටවත් වීර ජාතියකට ගැලපෙන්නෙ නැහැ. ඒ නිසාම අපේ මිනිස්සු බය වෙන්න පුලුවන්.

මං පුංචි කාලෙත් බයෙන් පීඩිතව සිටි ළමයෙක්. වැඩිහිටියෙක් හැටියට මං බොහෝ දෙනෙක්ව බයෙන් මුසපත් කරගෙන හිටපු මිනිහෙක්. ඉතින් බයවීම වගේම බය කිරීමත් මගේ ජීවිතයට එක වගේම හුරු යි.

දෙවියනේ මම ඔබතුමාව බියගන්වන්න හදනව නෙවෙයි. ඔබ ඇයි මේ සසල වෙලා. ඔබතුමා හොදටම වෙව්ලනව. ගලක් වගේ කිසිදෙයකට සංවේදී නොවූ ඔබ නිකම්ම මැටි පිළිමයකැයි මා සිතුවා. මගේ ජීවිතයට අධ්‍යත්මික පිටුවහලක් ඕන කරන වෙලාවෙ ඔබතුමා මග හැරිය. ඔබතුමා පිළිමයක් වගේ නිසොල්මනේ හිටිය. ඔබ මහා කම්මැලියෙක් ලෙසයි මා දුටුවේ.

පහුගිය දවස්වල අපි සෙල්ලමට වගේ විසිකළ බෝම්බයකින් පමණක් ඔබ සෙලවිය හැකිවනු ඇතැයි මා සිතුවා.

දැන් සසල වීම තේරුමක් නැහැ. සසල වන්නේ නැති කෙනෙකුට මගේ අදෝනාව කියන්නැයි මට ඕන කළේ. කරුණාකර අතීතයේ කළාක් මෙන් නිශ්ශබ්දව මා කියන්නක් අසන්න.

මට අඩන්න ඕනෑ…. ඒත් ඒක කරන්න හැටියක් නැහැ…දෙවියනේ හෙලන්න සුසුම් මට නැහැ…ඒ සියල්ල යුද්ධයෙන් තම දූ පුතුන් මියගිය අම්මලා විසින් රැගෙන ගොහින්…

මගේ කදුලු මට අහිමිව ගිහින්. යුද්දයෙන් මියගිය සෙබළුන්ගෙ අඹුදරුවන් ඒවා සොරාගෙන..

ඉතින් දෙයියනේ මම මොකද කරන්නෙ? මම හැමදාම මේ අසාධාරණ ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වුනේ අනුන්ගෙන්. හිතන්න කම්මැලි අනෙක් හැම එකෙක්ම වගේ..

මං ළගට ආවේ ඇයි කියල ද ඔය අහන්න හදන්නෙ? ඔබතුමාට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නැති බව මං දන්නව. ඒත් මං වෙන කවුරුන් ලගට යන්නද දෙවියනේ!!!

ඒ අවසන් වදනත් සමගම මිනිසා දේව ප්‍රතිමාව ඉදිරියේ සිහිසුන්ව ඇද වැටුණි. මම තරමක් ලංවී අසරණයා කවුරුන්දැයි හදුනාගන්නට තැත් කළෙමි. දුටු දර්ශනයෙන් මම වික්ෂිප්ත වීමි. අන්දමන්ද වීමි. අසරණ වීමි. මට මා විශ්වාස නැත. සැක හැර දැන ගැනීමට මම වඩාත් නැඹුරුව බැලීමි. ඔබ විශ්වාස කරනු ඇත්දැයි මම නොදනිමි.

ඒ වැටී සිටියේ අපගේ ජාතියේ අධ්‍යාත්මයයි.