සීත කඳුකරයේ අඳුරු වලා

kamala1_16042018_FRR_CMY

නුවරඑලිය, බොහෝ දෙනා ග්‍රීස්මය ගත කරන්නට, සූර්යයා මුදුන් වන අවුරුදු නිවාඩු කාලය ගත කරන්නට, තෝරාගන්නා තැනකි. ඒ සඳහා නොවුනත් මේ ග්‍රීස්මයේ එහි යෑමට අවස්ථාවක් මට ද ලැබිණි. ඒ එසේ නිවාඩු ගත කරන්නට යන කණ්ඩායමක ආරාධිතයෙකු ලෙස ය.

අපේ ගමනාන්තය වූයේ අඹේවෙල ය. ගමන වඩාත් ප්‍රසන්න දෙයක් කර ගැනීම සඳහා වාහනය ලෙස අප තෝරා ගත්තේ දුම්රිය ය. ඒ සුව පහසුව හිඳගන්නටත් එහා මෙහා යන්නටත් පහසු කම නිසා පමණක් නොවේ. අවට පරිසරයේ සුන්දරත්වය කඳුකර මිහිරියාව වඩාත් හොඳින් විඳ ගත හැක්කේ ඒ මගින් නිසා ය. ගත වන අමතර කාලය ගමනේ සුන්දරත්වයට හිලව් වන නිසා ම තෝරා ගැනීම නරක නැත.

පොඩි මැණිකේ දුම්රියේ ඇති පහසුකම් ප්‍රමාණවත් නැතැයි කිව නොහැකි ය. ආපන ශාලාවක් නැතත් ජංගම ආපන ශාලාවක් මගින් කුඩා බඩගින්නට අවශ්‍ය දේත් උණුසුම් කෝපිත් ලබා ගත හැකි විය. ජංගම යැයි කීවේ මිනිසුන් දෙදෙනෙකු විසින් ඒ සියල්ල කරේ ගෙන ඒම නිසා ය. ඒත් පැද්දෙන පැද්දිල්ලට තේ කෝපි බීම එකම අභියෝගයක් වූ බව නම් සටහන් කළ යුතු ය. වැරැද්ද පාරේද නැතිනම් පෙට්ටියේ ෂොක්ඇබ්සෝබර් වල ද යයි මම නොදනිමි.

ඉල්ලුම වැඩි ය – සැපයුම මඳ ය

එහෙත් මේ වරප්‍රසාද සියල්ල ලබා ගැනීම සඳහා එළඹුම නම් පහසු කටයුත්තක් නොවේ. ඇත්තටම කිව්වොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන සගයෙකු නොහිටින්නට එය අපට කොහෙත්ම පහසු වන්නේ නැත. මක් නිසා ද යත් ගමනට මාසයකට පොරොතුව විවෘත වන මේ ඔන්ලයින් ප්‍රවේශපත්‍ර කවුන්ටරයට එන ඉල්ලුම නිසා සියලු ප්‍රවේශපත්‍ර විනාඩි කීපයක් ඇතුළත විකිණී අවසන් වන නිසා ය. ඒ ප්‍රවේශපත්‍රයක් රුපියල් දහසක් ව තිබියදී ය. ඒ කියන්නේ චාරිකාවේ යෙදෙන ජනතාවගේ ඉල්ලුම මුළුමණින් ඉටුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අසමත් ව ඇති බව ය. මෙය පුද්ගලික අංශයේ ආයතනයක් විනි නම් මේ ඉල්ලුම යොදා ගෙන ලාභය වැඩි කර ගන්නා අතරේ සේවා ලාභීන්ගේ වුවමනාවන් ඉටු කිරීමට ද ඔවුන් උත්සුක වනවා ඇත. එහෙත් ආණ්ඩුවේ ආයතනයකට එහෙම උණක් නැත. එහෙම උණක් තිබිය නොහැකි ය.

එහෙම කල්පනා කරමින් යන අතරේ අපි ලස්සණ මල් වගාවන් සහිත අතිශය අපූරු දුම්රිය ස්ථානයන් ද පසු කළෙමු. එයින් පෙනුනේ රජයේ ආයතන තුළ ද තමන්ට හැකි පමණින් ඒවා නඩත්තු කර පවත්වා ගෙන යන්නට කැප වුනු මිනිසුන් සිටින බව ය. එහෙත් මල් වැවීම වැනි රාජකාරියක් මෙන් නොව අධිකාරී බලය අවශ්‍ය කටයුතු නම් ඔවුන්ගේ අත පොවන මායිමට ඔබ්බෙන් ඇති බව ය. අඩුව තිබෙන්නේ, කැප වීම අඩු කමකට එහා, යමක බව ය.

ඒ කල්පනාව මා රැගෙන ගියේ මීට මාසයකට දෙකකට උඩ දී මා ඇසූ කතාවකට ය. කථිකයා කලක් දුම්රිය සාමාන්‍යධිකාරී ධුරය දැරූ ලසිත ගුණරුවන් මහතා ය.

තටු බිඳ පියාඹන්නට කියන දුම්රියේ කතාව

සාමන්‍යධිකාරී තනතුරේ ඉංග්‍රීසි නාමය ජී ඇම් ආර් ය. ඒ ජෙනරල් මැනේජර් ඔෆ් රේල්වේ කියන වචන වල මුලකුරු ය. ඔහු කතාවේ දී කීවේ මේ තනතුරු නාමය ජී සී ආර් ලෙස වෙනස් කළ යුතු බව ය. ඒ කියන්නේ ග්ලෝරිෆයිඩ් ක්ලාර්ක් ඔෆ් රේල්වේ ලෙස ය.

එයට හේතුව කිසිම පුරප්පාඩුවක් පිරවීමටවත් බලයක් සාමාන්‍යධිකාරිවරයාට නොමැති නිසා ය. ඒ වෙනුවට ඔහුට කළ හැක්කේ පුරප්පාඩු මේ යැයි ලියා දන්වා ලිපියක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යැවීම ය. ඒ අමාත්‍යංශය ඒ ගැන යමක් කළොත් හොඳ ය. නොකළොත් දුක්ගැනවිල්ල දෙවියන්ට කියනවා හැරෙන්නට වෙන කරන්නට කිසිවක් නැත. ලොකුවට පුම්බා දමා ඇති ලිපිකාර තනතුරකට වැඩි මනත් යමක් සාමාන්‍යධිකාරී තනතුරේ නොවී යැයි ඔහු කීවේ මේ නිසා ය.

ඔහු විසින් කරන ලද සෑම නව දෙයක්ම නවෝත්පාදනයක්ම විගණන විමසුමකට පාදක වූ හැටි ඔහු කීවේ ය. එහෙම තත්වයක් යටතේ දුම්රිය සේවය මේ මට්ටමින් වත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවට ණය ගැති විය යුතු ය.

අඹේවෙලට අප පැමිණෙන විට මහා වැසි වැටෙමින් තිබුනේ මුළු පරිසරයම මූසල අඳුරකටත් පට්ට සිතලකටත් යටත් කරවමිනි. හවස් වරුවේ වැඩ සටහන හිතෙන් අතු ගා දමා අපි රිසි සේ විවේක ගත්තෙමු. මේ දිනවල නුවරඑලියට වැටෙමින් තිබුනේ වරු වැසි ය. ඒ කියන්නේ උදයේ පායන ඉර හවස වැස්සට ඉඩ දී සැඟවෙන බව ය.

හොර්ටන් තැන්න

අපේ සැලැස්මේ එක් අංගයක් තිබුනේ හොර්ටන් තැන්න බැලීම ය. ඒ සමගම ලෝකාන්තයට යෑම ය. හවස වැස්සට පෙර ඒ ගමන නිමා කිරිම සඳහා පසුදා අපි පාන්දරින් ම පිටත් විමු.

හොර්ටන් තැන්න සුන්දර ය. එයට යන මාවත පවා තැන්න වෙත යෑමට අප කැන්දන සුළු ය. අවසානයේ ප්‍රවේශපත්‍ර මිල දී ගෙන අපි දොරටුව වෙත ගියෙමු. එහි දී අපේ බෑග් පරීක්ෂාවට ලක් විය. ප්ලාස්ටික් වතුර බොතල් රඳවා ගනු ලැබූ අතර පොලීතින් වලින් ආවරණය කෙරුණු බිස්කට් පැකට් ගලවා ඔවුන් සතුව තිබූ බ්‍රවුන් කඩදාසි බෑග් වලට ඒවා දමා නැවත දෙනු ලැබී ය. ඒ රාජකාරිය නම් අග්‍ර ය. අපේ මෝඩ අයියලා විසින් විසිකරනු ලබන, එවැනි අපද්‍රව්‍ය වලින් ස්වභාව ධර්මය වැනසීමට, එරෙහිව කරන ඒ වෑයම අගය කළ යුතු ය.

එකම දුර්වල කම තිබුනේ ඒ වැඩය හරියට කරතත් තව කළ යුතු බොහෝ වැඩ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අතපසු වී තිබීම ය. ඊට ඔවුන්ට කළ හැකි වැඩ ද එක් වූ කල අප සිහියට නගා ගන්නට උත්සහ කළේ මේ කටයුත්ත ම පුද්ගලික අංශය විසින් කළේ නම් ඔවුන් කවර කවර විදිහට මේ කටයුතු කරන්නට ඉඩ තිබුනේ ද යන්න ය.

ලෝකාන්තය වෙත යෑමට මාර්ග දෙකක් තිබුනේ ය. එකක් කුඩා ලෝකාන්තය හරහා ය. අනික බේකර් ඇල්ල හරහා ය. ඒ මාර්ග දෙකම එකම දුරින් යුක්ත ය. ඒ කියන්නේ වඩාත් නුවණක්කාර වැඩේ එක් පාරකින් ගොස් අනෙත් පාරින් ආපසු ගමන කිරීම බව ය. එවිට සියල්ල බලා ගත හැකි ය.

එහෙත් මේ මාර්ග දෙක එකිනෙකට හාත් පසින් වෙනස් ය. කුඩා ලෝකාන්තය හරහා වැටී ඇති මාර්ගය තරමක් දුෂ්කර ය. එහෙත් එහි බොහෝ තැන්වල වනයේ අසිරිය දැක ගත හැකි ය. බේකර් ඇල්ල පැත්තෙන් යන මාවත සාපේක්ෂව පහසු ය. එය වැටී ඇත්තේ තැන්න හරහා ය. විවෘත තණ බිම් හරහා ය. මේ තොරතුරු ගමන සැලසුම් කිරීමට පෙර දැනගන්නට ක්‍රමයක් තිබුනේ නැත. අප ඒ බව දැනගත්තේ මාර්ග දෙකේම ගිය පසු ය. ඒ එක් පැත්තකින් ගොස් අනෙත් පැත්තෙන් ආ නිසා ය.

හොර්ටන් තැන්නේ අසිරිය

එ දින පරිසරය තරමක සිසිල් ස්වභාවයක් ඉසිලූ අතර ඒ නිසා ම හිරු රැස් හිරිහැරයක් වුයේ නැත. වැහි වලාකුළු විසින් ද ඉර මුවා කර තිබුණු නිසා හිරු රැස් ප්‍රශ්නයක් වූයේ ම නැත.

හිරු රැස් දැඩිව තිබුනේ නම් දෙවැනි මාවත ගමන පහසු වුව ද යම් අපහසුතාවයක් ඇති කරන්නට ඉඩ තිබුනේ ය. විවේකය සඳහා මඳක් රැඳී හිඳින්නට, හිරුගෙන් මුවා වූ ආවරණයක් ඒ මාවතේ පැත්ත පළාතක තිබුනේ නැත. දැඩි වැස්සක් වැටුනොත් වැස්ස තුරල් වන තුරු රැඳෙන්නට කිසිදු හව් හරණක් ද එ මග තිබුනේ නැත. පරිසරය සමග නොගැටෙන ස්වභාවික දසුනක් සේ දිස්වෙන කුටි කීපයක් ඉදිකිරීමෙන් හොර්ටන් තැන්නට අමතර සුන්දරත්වයක් විනා හානියක් සිදු වෙන්නට ඉඩක් නැත. එහෙත් එහෙම කල්පනා කළ බවක් පෙනුනේ නැත.

ඇල පාරවලින් එගොඩ වන්නට තනා තිබූ පාලම් ස්වභාව ධර්මයේ ම කොටසක් ලෙස නිමා කරන්නට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වග බලා ගෙන තිබුනේ ය. ඒ උපායම අනුගමනය කරමින් විඩා හරින්නට පැලක් අටවා ගන්නට බාධාවක් ඇතැයි අපට පෙනුනේ නැත. එහෙත් ඔවුන් එසේ කර තිබුනේ නැත.

තීරණාත්මක තැනක දෙකක හැර මාර්ග සළකුණු වැඩි යමක් අපට කීවේ නැත. ඒවා කළ හැකි දේ ය.

අපේ වාසනාවට අප නැවත හැරී එනතුරු වැස්සේ නැත. දිගින් දිගටම කළුවලා අප වෙත තර්ජනය කරමින් සිටියේ ය. වැසි වැටුනේ නම් තෙමෙනවා හැරෙන්නට කළ හැකි දෙයක් නොවිණි. පුද්ගලික අංශය විසින් මේ කටයුතු සංවිධානය කළේ නම් ඔවුන් කුඩයක් කුලියට දීමට ක්‍රමයක් හදනවා ඇත. ඉන් අමතර ආදායමක් ද උපයා ගෙන සේවාලාභීන්ට සෙතකුත් කරනවා ඇත. එහෙත් වනය රකින්නට මිස එය නරඹන්නට එන අය රකින්නට එහෙමට අදහසක් රාජ්‍ය දෙපාර්තමේන්තුවකට දැනෙන්නේ නැතිවා විය හැකි ය. එය ඇතැම් විට ඔවුන්ගේ මෙහෙවර ප්‍රකාශයේ නැතිවා විය හැකි ය.

හවස අප ගිය හක්ගල උද්‍යානයේ වත් එහෙම වැඩ පිළිවෙලක් තිබුනේ නැත. ඒ නිසා අපි නොසෑහෙන්නට වැස්සේ තෙමුනෙමු. කුඩයක් කුලියට දීම කළ යුතු වැඩක් නොවේ. එහෙත් එය කළ හැකි වැඩකි. තැන්පතුවක් තියා ගෙන දුන්නහම පාඩුවක් වන්නට විදිහක් නැත. සුපර් මාකට් වල එහෙම නැතිවත් කුඩය අල්ලා මෝටර් රියට ගොඩ කරන්නට පේවුනු මිනිස්සු සිටිති. එහෙත් හක්ගල උයනවත් හොර්ටන් තැන්නවත් ලාභ අපේක්ෂාවෙන් මිනිසුන් ගෙන්නා ගන්නට දත කන සුපර් මාකර්ට් නොවේ.

ඒත් හක්ගල උද්‍යානය ලස්සණ ය. එවැන්නක් නෙත ගැටීම වුව එහි යන්නට සෑහේ. එතරම් මනරම්ව උද්‍යායනය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් වගකිව යුතු අයට නොමඳ ප්‍රශංසා හිමි විය යුතු ය.

හොර්ටන් තැන්නටත් හක්ගලටත් ඇතුළු වන ප්‍රවේශ පත්‍ර මිල කර ඇත්තේ සාධාරණ ගණනකට ය. ඇතැම් විට පුද්ගලික අංශය මේ සේවය සැලසුවා නම් මීට වඩා අධික මිලක් උන් අය කරනු ඇත්තේ ය. හැම වලාවක ම රිදී රේඛාවක් ද තිබේ.

කන්දේඇල ජලාශය

පසු දින කන්දේඇල අවට අපි ඇවිද්දෙමු. කන්දේඇල ජලාශයේ බෝට්ටු තිබේ. ඒවා කණ්ඩායමකට යන්නට හැකි ලෙස ප්‍රාදේශීයව නිපදවා ගත් අපූරු නිර්මාණයන් ය. ඒ බෝට්ටු පෞද්ගලික අංශයේ ය. එම බෝට්ටු සේවය කන්දේඇල ජලාශය අයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බදුල්ල කාර්යාලයෙන් අවසරය ගෙන පවත්වා ගෙන යන සුළු පරිමාණයේ ව්‍යාපාරයකි. ජලාශය අපිරිසිදු වන නිසා අවසර ඇත්තේ හබලෙන් පැදවිමට පමණ ය. ඒ නිසා ඒවාට මෝටර් එන්ජින් තිබුනේ නැත.

අපි එකකට නැග ගත්තෙමු. සද්ද බද්දයක් නැතිවම හබල් පාරට කීකරු වුනු බෝට්ටුව වතුරේ හෙමින් සීරුවේ ඇදී ගියේ පසුබිමේ තිබූ මනස්කාන්ත දර්ශනයෙන් අප ව වශී කරවමිනි. ඒ හා අප ඒකාත්මික කරවමිනි.

අප ගිය බෝට්ටුව හබල් දෙකකින් පදවන ලද්දේ ය. එහි සේවකයන් අප හා කීවේ සවුදි අරාබියෙන් එන සංචාරකයින් මේ බෝට්ටුවේ පැය 6 ක පමණ වේලා රැ‍ඳෙමින් වැවේ සංචාරයේ යෙදෙමින් කා බී ප්‍රීති වීමට පුරුදුව ඇති බව ය. බාබකියු උපකරණයක් ද එහි සවිකර තිබුනේ එවැනි සංචාරකයින්ගේ ප්‍රයෝජනය සඳහා ය. සවුදි අරාබියෙන් එන සංචාරකයින් ගවුඩා කෝපි වලට ප්‍රිය බැවින් ඔවුන්ට ඒවායින් සංග්‍රහ කිරීමට ද මේ දක්ෂ ව්‍යාපාරිකයෝ සූදානම් විී සිටියහ. ඒ ලාභය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික අංශයේ වැඩ ය. කළ යුතු නොවුනත් ඔවුන්ට කළ හැකි යයි ඔවුන් කල්පනා කළ වැඩ ය.

ඔවුන් හා කළ කතා බහේදී තේරුම් ගියේ අවට පරිසරය කුණුවලින් තොරව පවත්වා ගෙන යෑමට ඔවුන් වෙහෙසෙන බව ය. ඒ මේ ව්‍යාපාරයට සංචාරකයින් ආකර්ෂණය වන්නේ පරිසරයේ සුන්දරත්වය නිසා බැවිනි. එය රැක ගැනීමට ඔවුන් වියදම් ද කරති. ඒ කුණු එකතු කොට තමන්ගේ වියදමින් ඉවත් කිරීම සඳහා ය. ඒ ද පුද්ගලික අංශයේ වැඩ ය. කළ යුතු ම වැඩ නොව වඩා ප්‍රසන්න පරිසරයක් සඳහා කළ හැකිව තිබෙන ඔවුන් විසින් කරන වැඩ ය.

පැය භාගයක ගමනකට ගෙවිය යුතු මිල එක් මගියෙකුට රු 200 කි. හබල් ගාන්නට ගන්නා වෙහෙස දකින විට ද එම භූමිය පිවිතුරුව තියා ගැනීමට ඔවුන් ගන්නා උත්සහය දකින විට ද එය වැඩි යයි කිව නොහැකි ය.

ආපසු ගමන

අපට නැවත පැමිණීමට වේලාව පැමිණියේ ය. ආපසු ගමන බදුල්ලෙන් පෙරවරු 11ට කොළඹ බලා ගමන් අරඹන සීඝ්‍රගාමී දුම්රියෙනි. අප ආපසු ගමන සඳහා වෙන්කරවා ගෙන තිබුනේ නැරඹුම් මැදිරියේ ආසන ය.

නැරඹුම් මැදිරියට නැග නොබෝ වේලාවකින් හුරු පුරුදු ගතියක් දැනිණි. මගේ මතකය දිව ගියේ වසර 25 ක් පැරණි අතීතයට ය. මේ නැරඹුම් මැදිරියේ ම මීට අවුරුදු 25 ට පෙර මා ගමන් ගෙන ඇත. කාලය දිව ගිය ද දුම්රියට එය එතරම් ම දැනී නැත. සුද්දා හැදූ රේල් පාර දික් නොවුනා පමණක් නොව පෙර කාලයේ පැවති කොච්චි පෙට්ටි ද අලුත් නොවී ම දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවයේ යෙදී සිටින්නේ ය.

එහි අසුන් කීපයක් ම වාඩි විය නොහැකි ලෙස කැඩී තිබිණි. කෙනෙකු අසුන් ගත් විට ඒවා පිටුපසට ඇල වී පසු පස මගීන්ට හිරිහැරයක් වෙයි.

කෝච්චිය පැද්දෙන්නේ කොමලියකගේ උකුළ වගේ හරහට ය. පිටි හලන්නට නම් ඒ පැද්දීම මරු ය. ඒ නිසා ම දුම්රියේ යද්දී මුත්‍රා කරන්නට ගියොත් අමාරුවේ ය. එල්ලය බලා පෝච්චියට විදින්නට බැරි ය. පැද්දිම නිසා ජල ධාරාව දස අතේ යයි. ඒ නිසා දුර්ගන්ධය ද නැගෙයි. වැසිකිළියත් මැදිරියත් අතර දොර වසන්නට බැරි ය. ඒ නිසා වැසිකිළිය ඇරෙන වාරයක් පාසා දුගඳ හමන්නේ ය. කවරෙකු හෝ වැසිකිළියේ දොර නොවැසුවහොත් මැදිරිය තුළ ඉන්නට අමාරු ය. මක්නිසා ද යත් මැද දොර වසන්නට බැරි නිසා ය. ඒ නිසා එවැනි අතපසුවක් වුනොත් ළග ඉන්නා අයට ගොස් දොර වසන්නට සිදු වෙයි.

මේ විදෙස් සංචාරකයන් යන මැදිරියකි. සංචාරක කර්මාන්තය බාරව ආයතන පමණක් දුසිමක් තිබේ. එහෙත් මේවා ගැන බලන්නට කෙනෙකු නැත. ඒ නිසා සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දී තිබේ. මැද දොර යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ලොක් එකකුත් එය සවිකළ හැකි වඩුවෙකුත් පමණ ය. පැද්දීම අඩු කරන්නට බැරි නම් අඩු වශයෙන් මැදිරියේ දොරවත් යථා තත්වයට පත් කිරීමට කටයුතු කළ යුතුව තිබිණි.

සංචාරක කර්මාන්තය

කම්මලේ බල්ලාට හෙණ ගැහැව්වත් දැනෙන්නේ නැත. ඒ හා සමානව නිතර මේ අත්දැකීම විඳින ගාඩ් මහත්තුරු මේ තත්වයට මේ වන විට පදම් වි සිටිනවා විය හැකි ය. කවුරුන් හෝ බාහිරින් මේ සියල්ල දෙස බැලිය යුත්තේ ඒ නිසා ය.

මේ දුම්රියේ ජංගම ආපන ශාලාවක් තිබුනේ නැත. එහෙත් වඩේ විකුණන වෙළෙන්දන් හා මයිලෝ පැකට් විකුණන වෙළෙන්දන් විසින් ඒ අඩුව පුරවා තිබිණි. එක අතකට උණු තේ නුදුන් එක හොඳ ය. නැතිනම් පැද්දෙන පැද්දිල්ලට තේ බොන්නට සිදු වන්නේ අපට නොව කෝචිච්යට ය. බටයකින් බොන්නට හැකි මයිලෝ පැකැට්ටුව ඒ අතින් මෙතැනට වඩාත් ගැලපේ.

පොඩි මැණිකේ දුම්රිය බදුල්ලට ගියේ නුවරට ද සේන්දු වෙමිනි. එහෙත් බදුල්ලේ සිට එන සීග්‍රගාමී දුම්රිය නුවර යන්නේ නැතිවම කොළඹ පැමිණියේ ය. නුවරින් බැසීමට පැමිණි සංචාරකයින් ඒ නිසා පේරාදෙණිය දුම්රියෙන් බැස ඊළග දුම්රියෙන් නුවර යා යුතුව තිබුණේ ය. එහෙත් ඔවුන් ඒ බවක් දැන සිටියේ නැත. කිසිවෙකු ඔවුන්ට ඒ බවක් කීවේ ද නැත. අවසානයේ කඩුගන්නාවෙන් බැස වෙන යම් ප්‍රවාහන මාදිලියකින් නුවරට යෑමට හිත හදා ගන්නට ඔවුන්ට සිදු විය. ගාඩ් පැමිණ කරුණු පැහැදිලි කරන විට පේරාදෙනියෙන් දුම්රිය පිටත් ව තිබීම මේ අකරතැබ්බයට හේතුව විය. ඉස්තාලය වහන විට අශ්වයා පැන ගොස් හමාර ය.

අප ගිය බොහෝ රටවල ඩිජිටල් පුවරු මගින් ද නිවේදනයන් මගින් ද ඊළගට දුම්රිය නවත්වන ස්ථානය ප්‍රකාශයට පත් කරනු අපි දැක ඇත්තෙමු. ඒ නිසා බසින තැන සොයා ගැනීම අපට එවැනි රටක කිසි විටෙක කරදරයක් නොවී ය. එහෙත් ලංකාවේ සංචාරකයින් තවමත් ඒ තරමට වාසනාවන්ත නැත.

අප බැස ගත්තේ මරදාන දුම්රිය ස්ථානයේ ඉදිකරමින් පවතින පදික වේදිකාවකට ය. තව ටිකක් එහා මෙහා වුනා නම් අපට පා තබන්නට වෙන්නේ ඒ ඉදිකිරිම් වලින සෑදුනු වතුර පිරුණු වලකට ය. නැතිනම් මඩ ගොහොරුවකට ය.

උඩරට දුම්රිය මාර්ගය ලංකාවේ ඇති සුන්දර ම මාර්ගය ය. එහි දර්ශනයන්ගෙන් වශී නොවන කෙනෙකු නැත. එහෙත් ඒ සියල්ල මත පැතිරෙන මේ අඳුරු වලාවන් පහ කිරීමට නොහැකි වන තාක් මේ අත්දැකීම සංචාරකයින්ට මුළුමණින් මිහිරි වන එකක් නැත.

ඒ සියල්ල මැද්දේ ද දිවයිනේ ලස්සණ දැක බලා ගෙන සතුටු වීමට අපට හැකි විය. ඒ සඳහා අවස්ථාව දුන් සැමට ස්තුති කළ යුතු ය. එයට පුද්ගලික අංශයේ මෙන්ම රජයේ ද කරදර මැද වැඩ කරන මිනිසුන් ඇතුළත් ය.

ඇලීම හා ගැටීම

ඇලීම හා ගැටීම නොවැ

ජීවිතය

එයින් තොර කොයින් ද ජීවිතයක්

නිකම් ම නිකම් ලී කොටයක් මිස

 

ඇලීමෙන් ගැටීමෙන් ඔද්දල් නොවනු මිස

එයින් ගැලවී යා හැකි ද මුළුමණින්

මුණිවරයෙකුට වුව

 

ඇලීමෙන් ගැටීමෙන් මුළුමණින් තොර බණක්

අසන්නට සොයන්නෙමි

තවම නැත කණ වැටී

 

ඔවා දෙනු පරහට

තමා සම්මතයෙහි පිහිටා සිට

 

 

සංඝායනාවකට මේ කාලය යි.

deepana1_09042018_FRRබුදු දහම ගැන අර්ථ කථනයන් බොහෝ ය. එක් ධර්ම දේශනාවකට සවන් දුන් කෙනෙකු ඊළග ධර්ම දේශනාවට සවන් දීමේ දී අර්බුදයකට ලක් වෙන තරමට එකම සංකල්පය සම්බන්ධයෙන් දෙන අර්ථ කථනයන් වෙනස් ය. ඇතැම් තැනක ඒවා අහසට පොළොව මෙන් පරස්පර ය.

මෙය බුද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ ආගම් සම්බන්ධයෙන් ද සත්‍යය ය. විවිධ අර්ථදැක්වීම් අතරින් නිවැරදි දේ කුමක් දැයි තීරණය කිරීමට සමත් ආගමික ශාස්තෘවරු කිසිවෙකුත් ජිවතුන් අතර නොසිටින නිසා හගිස්සවා ගන්නට කෙනෙකු නැති කම මීට හේතුව විය හැකි ය.

මෙවැනි තත්වයන් අතීතයේ ඇති වූ කල භික්ෂූන් වහන්සේලා කළේ සංඝායනාවක් පවත්වා මේ කරුණු පැහැදිලි කර ගැනීම ය. නිවැරදි අර්ථ කථනය කුමක් දැයි සංවාද කොට නිශ්චය කිරීම ය. එසේ නොවන තාක් මිනිසුන් අවුලට පත් කිරීමට මේ ප්‍රතිවිරෝධී කතා හේතු වනු ඇත.

ඒ ධර්මය අසන්නට පමණක් නොව භාවිතයේ යොදන්නට ද මිනිස්සු කල්පනා කරන්නේ නම් පමණ ය. බණ අසන්නේ අවසානයේ සාදු කියා පින් අනුමෝදන් කිරීමට පමණක් නම් මෙහෙම ගැටළු ඇති වන්නේ නැත. එහෙත් මෑතක ඇති වී ඇති දහම් ප්‍රබෝධය ඊට එහා ගිය එකක් වුනොත් තත්වය බරපතල ය.

අප මේ විමසන්නට යන්නේ එසේ සිදු වෙතැයි යන උපකල්පනය පෙරදැරි කර ගෙන ය.

ඉපදීම දුකක් ද?

ඉපදීම දුකක් බව බුදු දහමේ කියවේ. සමහර භික්ෂූන් වහන්සේලාට අනුව මෙතැන අදහස් කරන්නේ සංස්කාරයන්ගේ උපත ය. සිතෙහි ඇතිවන සිතුවිලි හා සංකල්ප එයින් අදහස් වේ. තෘෂ්ණාව හටගන්නේ ඒ සංස්කාරයන් නිසා ය. එයින් නිරෝධ වීමෙන් නිදහස් වීමෙන් නිවන ඇති වන බව ඒ මතයට අනුව කියවේ.

ඇතැම් භික්ෂූන් වහන්සේට අනුව ඉපදීම දුකක් බව කියන විට එයින් අදහස් කරන්නේ මිනිසුන් ද සතුන් ද ඇතුළු සියළු ප්‍රාණීන්ගේ උත්පත්තිය දුකක් බව ය. දෙවැනි අර්ථ කථනයට අනුව නිවන තියෙන්නේ මේ ඉපදීම නැති කිරීම හරහා ය. එසේ නම් තුරන් කළ යුත්තේ අපේ උත්පත්තියට ඇති ඉඩ කඩ ය. නතර කළ යුත්තේ සංසාර ගමන ය. නිවන් දැකීමෙන් අදහස් කරන්නේ එයට තිතක් තැබීම ය.

ධර්මය තියෙන්නේ ජීවිතයට යොදා ගැනීමට ය. භාවිතයට ය. අසා අවසන් කිරීමට හෝ ඇසීමෙන් පින් ලබා ගැනීමට හෝ නොවේ. ඉතින් දෙවැනි අර්ථ දැක්වීම භාවිතයට ගන්නේ නම් කළ යුත්තේ උත්පත්තිය දුකක් හෙයින් දරුවන් නොහදා සිටීම ය.

දැන් අපට අලුත් ප්‍රශ්නයක් තිබේ. ඒ මේ භාවිතය ප්‍රචලිත වුවහොත් බෞද්ධ ජනගහණයේ ක්ෂණික අඩුවීමක් සිදු විය හැකි වීම ය. එවැන්නක් වෙන එකක් නැතැයි කියා හිත හදා ගන්නට පුළුවන් වන්නේ එකම කාරණයක් නිසා ය. වැඩි දෙනෙක් බණ ඇසුව ද එය ගණන් නොගන්නේය, භාවිතයේ නොයෙදෙන්නේය, ඒ නිසා මේ කිසිවක් ගණන් ගත යුතු නැතැයි කියන කාරණය ය. එහෙත් මෑතක දී ඇති ව තිබෙන දහම් පුනරුදය නිසා බණ අසා නොසිට ක්‍රියාත්මක කරන්නට ගත්තොත් නම් වැඩේ හබක් ය.

මෙය මග හිටියොත් තෝ නසි, ගෙදර ගියොත් අඹු නසී ගනයේ කතාවකි. ඒ කියන්නෙ නිවන් යන්නට හරියට තැත් කළොත් බෞද්ධ ජනගහණය නැත්තටම නැති වී යෑමේ අනතුරට මුහුණ දීමට සිදු වන බව ය. බෞද්ධ ජනගහණය තබා ගැනීමට හෝ වැඩි කිරීමට තැත් කළොත් නිවන් මගට යන්නට හැකි භාවිතාවෙන් අයින් වන්නට සිදු වන බව ය.

මින් ගැලවිය හැක්කේ බුදු දහමේ ඉපදිම දුකක් යන්නෙන් අදහස් කළේ සංස්කාරයන්ගේ  උපත මිස ප්‍රාණීන්ගේ උපත නොවන බව තහවුරු කොට කීමෙනි. ප්‍රශ්නය එතැනින් කෙළවර නොවේ.

ඉපදීම පමණක් නොව ජීවිතයම දුකක් ද?

ඉපදීම පමණක් නොව ජීවිතයම දුකක් බව ඇතැම් ධර්ම දේශනාවල කියවේ. ඒ දුක් සහිත ජීවිතය කෙළවර කිරීමට කෙනෙකුට සිතුවොත් ඒ ගැන ඔහුට වරදක් කීමට නොහැකි වෙයි. මේ දර්ශනය, සිය දිවි නසා ගැනීම එක්තරා දුරකට යුක්ති යුක්ත කරයි. එය වළකා ඇත්තේ සිය දිවි නසා ගැනීම පවක් ලෙස දක්වා ය. එහෙත් ජීවිතය දුකක් ලෙස දෛනිකව හා නිරන්තරයෙන් දැකීම හරහා එන කළකිරීම, එවැනි වාක්‍යයකින්, තනි තහංචියකින්, සමහන් කළ හැකි ද යන්න ගැටළුවකි.

ජීවිතය දුකක් යයි දිගින් දිගටම කියනවා වෙනුවට, ජීවිතය දුකක් කර ගෙන ඇතැයි කීමට ධර්ම දේශකයන් විසින් කටයුතු කරන්නේ නම් ඒ අවුලෙන් ද අපට මිදිය හැකි ය. එසේ දුකක් කර ගෙන ඇත්තේ බොහෝ දේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ඇලීමත් ගැටීමත් නිසා යැයි කියන්නේ නම් මිනිසුන්ට ඒ සඳහා කළ හැකි ප්‍රායෝගික යමක් ද සැපයෙන්නේ ය. ඒ මගින් ජීවිතය ගැන කලකිරුණු අයට යම් ධනාත්මක මග පෙන්වීමක් කිරීමට බුද්ධාගමට හැකි වනු ඇත. එසේ නොකොට ජීවිතය දුකක් යයි නිතර කීම නම් භයානක ය.

බුදු දහමට එරෙහි එක් චෝදනාවක් නම් එය ධනාත්මක දහමක් නොවේය යන්න ය. ඇතැම් අය එයිනුත් නොනැවතී කියන්නේ එය ඍණාත්මක දර්ශනයක් ඉදිරිපත් කරන බව කියන්නේ මේ නිසා ය. එම චෝදනාවෙන් මිදීමට ද මේ වෙනස උදව් වෙනු ඇත.

දියුණු වීමට තැත් කිරීමත් මග හැරිය යුතු තණ්හාවක් ද?

ඊළගට ජාම බේරගන්නට තිබෙන්නේ තෘෂ්ණාව සමග ය. එයින් අදහස් කරන්නේ කිසි දෙකට ආශා නොකළ යුතු බව ද එසේ නැතිනම් කිසි දෙයක් කෙරෙහි නොඇලිය යුතු බව ද යන්න පැහැදිලි නැත. මක් නිසා ද යත් මේ අදහස් දෙකම ඉදිරිපත් වන නිසා ය.

කිසි දෙයකට ආශා නොකරන්නෙකුට ජීවිතය ගැන ඉලක්කයක් නැත. එවිට සිදු වන්නේ ජීවිතය තුළ ඒ තැනැත්තා හසරක් නොදැක අතරමං වීම ය. යමකට නොඇලිය යුතු බව කියන විට එසේ නොවේ. එතැන යමක් ලබා නොගත යුතු යන්න නොකියවේ. ඒ ලබා ගත් දේ පිළිබඳව නොඇලිය යුතු බව පමණක් ඉන් කියවේ.

ප්‍රශ්නය ඇත්තේ යමක් ලබා ගැනීම ගැන නොව ඒ සඳහා කරන කප්පරක් වැරදි තුළ ය. ඒ ලබා ගැනීම සඳහා වෙනත් බොහෝ දේ පරදුවට තබන්නට උනන්දු වීම තුළ ය. ඒ සඳහා අන් අයට රිදවන්නට සිදු වීම තුළ ය. ඊට අමතරව එය නැතිව ගිය විට සිහිය එලවා ගන්නට නොහැකි වීම තුළ ය.

තමන් සතුව කිසි දු දෙයක් නැති කෙනෙකුට මේ ප්‍රශ්න එකක් වත් අදාළ වන්නේ ම නැත. නොඇලිය යුතු යන්න වඩාත් අදාළ වන්නේ තියෙන අයට නිසා ය. නැති කෙනෙකුට ඇලෙන්නට දෙයක් නැත.

තිබෙන දේ ගැන නොඇලිය යුතු යැයි කියනවා වෙනුවට කිසිවක් අයත් කර ගැනීමට උත්සුක නොවිය යුතු යැයි කියන විට ව්‍යාපාරයක් කරන්නට, දියුණු වන්නට, නවෝත්පාදනයක් කරන්නට අවසර නැත. වරම් නැත. මේ තුළ සිදු වන්නේ බෞද්ධයන් මෙවැනි කටයුතු වලින් අධෛර්යය කිරීම ය.

තමන් විසින් ධාර්මිකව කරනු ලබන කිසියම් ව්‍යවාසයකින් ලාභයක් කෙනෙකුට ලැබිය හැකි ය. අලාභයක් ද ලැබිය හැකි ය. ඒ වෙත නොඇලුනු තැනැත්තේ ඒ දෙකින් එකකින් වත් කම්පා නොවන්නේ ය. තමන් කරන යම් කටයුත්තක් ඉතා හොඳින් ඉටු කිරිම නිසා කෙනෙකුට කීර්තිය ලැබිය හැකි ය. ප්‍රශංසා ලැබිය හැකි ය. ඒ හා සමානව එය ඉවසා දරා ගන්නට බැරි අය විසින් කරන නින්දා ද ලැබිය හැකි ය. උන්ගේ අවලාද වලට මුහුණ දීමට සිදු විය හැකි ය. නොඇලුනු තැනැත්තේ ඒ දෙකින් එකකින් වත් කම්පා නොවන්නේ ය. මෙසේ නොඇලුනු තැනැත්තේ අෂ්ඨ ලෝක ධර්මයන්ගෙන් කම්පා නොවන්නේ ය. ලෝක ස්වභාවය එය බව දැන ජීවත් වන්නේ ය.

එහෙත්, කිසි දෙයක් හඹා නොයන, ඉලක්කයක් නැතිව, ඉන්නවාට ඉන්නා, මිනිසුන්ට නම් මෙය කොහොමටත් ප්‍රශ්නයක් නොවන්නේ ය. අදාළ නොවන්නේ ය. අමුතු උත්සහයක් නැතිවම ඔවුන්ට ජීවත් විය හැකි ය. අලාභයක්වත් ලාභයක්වත් උන්ට ඇති නොවන නිසා ය. කීර්තියක් හෝ නින්දාවක් ලබන්නට ප්‍රස්තුතයක්, හේතු කාරණයක්, උන් සම්බන්ධයෙන් ඇති නොවන නිසා ය.

පැදුරෙ ඉන්නා වුන් බිමට වැටෙන්නේ නැත. ඒ කොහොමටත් ඉන්නේ බිම නිසා ය. බුදු දහම තුළ තණ්හාව පිටු දකින්නට දරණ වෑයම තුළ සියළු දේ අත්හරින උදවිය කරන්නේ පැදුරේ ඉන්නට ඉටා ගැනීම ය. ලාභයක් පතන්නේ නැති කොට අලාභයක් ඇති වන්නට විදිහක් නැත.

ඇලීම දුරු කොට ගැටීම අල්ලා ගැනීම

අවසානයේ සිදු වන්නේ සෙසු ආගමිකයන් එවැනි බාධක නැතිව මුළු හිතින් ඉදිරියට යන විට බෞද්ධයින් උන්ට ඉරිසියා කිරීමට පෙළඹීම ය. බත් හට්ටියේ වඳ කළ හැකි යැයි තමන් විශ්වාස කරන පකිස්ථාන් ප්ලාස්ටික් හාල් දැකීම ය. රොට්යේ පිටිගුලි වඳ පෙති බවට පෙරලී රටක් පෙරලන්නට ඩෙගා නැටීම ය. නැවක සුක්කානම සටහන් කෙරුණු සෙරෙප්පු ඇතුළත ධර්ම චක්‍ර පෙනීම ය. ඉන් පරල වීම ය. අඳින ඇඳුම් වල වඳ ජෙල් ඇතැයි දැනීම ය. එයින් භ්‍රාන්ත වීම ය.

ඇලීම නැති වූවාට ගැටීම වැඩි ආයාසයකින් බදා ගැනීම ය. ඇලීම ගැන කප්පරයක් බණ කියන සංඝයා වහන්සේලා පවා මේ ගැටීම ගැන එක්කෝ ඇස් වසා ගෙන සිටීම තුළ පෙන්වන්නේ අප මුහුණ දී තිබෙන මේ අකරතැබ්බය ය. ඇස්වසා ගෙන පමණක් සිටී නම් එකක් ය. ඇතැම් අය ගැටීම ඇවිලවීමට පිදුරු දැමීමට ද ඉදිරිපත් වන්නෝ ය. ඇතැම් අවස්ථාවල තවත් ඉදිරියට ගොස් ගැටීමේ මෙහෙයවන්නන් බවට ද පත් වන්නෝ ය.

මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව, මියන්මාරයේ සිට පැමිණි සොච්චමක් වූ රොහින්ගියා මුස්ලිම් සරණාගතයන්ට ද එරෙහිව හිංසනය භාවිතා කිරීමට පවා ඇතැම් සංඝයා යොමු වීම මේ පිළිබඳ දිය හැකි මෑතක සාක්කි ය. පොලීසිය සමග ද රජය සමග ද වෙනත් විවිධ පාර්ශව සමග ද ගැටුම් ඇති කර ගැනීමේ ඉතිහාසය ඊටත් වඩා දිග ය. සාමය වෙනුවට යුද්ධය ඉල්ලා තිස් වසරක යුද්ධය පුරා ගෙන ගිය ඇතැම් ශාසනික කටයුතු ද මීට අයත් ය. යුද්ධයට රජය පෙළඹවීම පිළිබඳ මැදිහත් වීමේ ගෞරවය ලබා ගැනීම සඳහා එකිනෙකා සමග තරග වැදීම තුළ ද පෙන්නුම් කරන්නේ ගැටීම සම්බන්ධයෙන් හිරිකිතයක් නැති බව ය.

ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගෙන එක් භික්ෂූවක් මිය ගියේ ය. මිය යන්නට සූදානම් නැතත් ගව ඝාතනයට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට සැදී පැහැදී සිටින භික්ෂූන් වහන්සේලා බොහෝ ය. මේ තුළ ප්‍රදර්ශනයේ කරන්නේ කුමක් ද? ගැටීම ය. ගැටීමෙන් වෙන් වෙන්නට නොහැකි කම ය.

බුදුන් වහන්සේ හොඳ නරක කියා දුන්නා මිසක නරක නවත්වන්නට පෙළපාලි ගියේ නැත. සත්ත්ව ඝාතනයෙන් වැළකෙන්නට උපදෙස් දුන්නා මිසක සත්ත්ව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා රජ්ජුරුවන් ගලග්‍රහණයට ගත්තේ නැත. ඒ ඇලීම තරමට ම ගැටීම ද පිටුදැක්ක නිසා ය.

ඉරිදා ටියුෂන් පන්ති වැනි දේ තහනම් කරන්නට කරන බලපෑම් වල ද හලාල් අරබයා කරන ලද මැදිහත් වීම් වල ද දක්නට ඇත්තේ මේ ගැටීම ය. ගැටෙන්නට ඇති නොසංසිඳෙන පිපාසය ය. ආසාව ය. ගැටීමට ඇති ඇලීම ය.

ඇලීම හා ගැටීම එක්තැන් කළ නිකාය බේදය

නිකාය බේදය ද ඇලීම මෙන්ම ගැටීම ද නිරූපනය කරන සාක්කි ය. ඒ ගැටීම වෙනත් ජාතිකයින් සම්බන්ධව නොවේ. වෙනත් ආගමිකයන් සම්බන්ධව නොවේ. තමන්ගේම අය ගැන ය. කුලයෙන් වෙන් කරනු ලැබ ඇති තමන්ගේම අය ගැන ය. පත්තිරිප්පුවේ පැවති උත්සවයකට ආරාධනා ලැබ එහි ගිය සියම් නිකායට අයත් නොවන භික්ෂූන්ට එයට ඇතුළු වන්නට නොහැකි ව පල්ලම් බසින්නට සිදු වුනේ ද ඒ ගැටුමේ ප්‍රතිඵල හැටියට ය. එයින් පෙන්වන්නේ භික්ෂූ ශාසනය තුළ තම සහෝදර භික්ෂූන් පවා වැට කොටු ගසා පිටමං කිරීම තරමට ඔඩු දුවා ඇති ගැටීම පිළිබඳ කතාව ය.

සාමය සහජීවනය දේශනා කළ ධර්මයක පූජකවරුන් ගැටුමක කර්තෘ වරුන් වන්නේ ඇලීම දුරු කිරීම ගැන කතා කළේ වුව ද ගැටීම ගැන නිහඩ වූ නිසා විය හැකි ය. මේ නිසා ඇලීම තරමට ම ගැටීම ද අත් හල යුතු දෙයක් ලෙස සැළකීමට කටයුතු කළ යුතු ය.

අවවාදයට වඩා ආදර්ශය උතුම් ය. බුදුන් වහන්සේ තමා දෙසූ දහම තුළ ජීවත් වූහ. කියන දේ කළ අතර කරන දේ කියා සිටියේ ය. එහෙත් අවාසනාවට ඇලීම ගැටීම අත්හරින්නට උපදෙස් දෙන භික්ෂූන් වහන්සේලා ගිහියන්ටත් වඩා තදින් ඇලෙනු ද ගැටෙනු ද අපි දකිමු. බෞද්ධයන්ට නිසි මග පෙන්විය හැක්කේ නිදා සිටින මිනිසුන්ට කරදරයක් වන ලෙස බණ බලෙන් ඇස්සවීමෙන් නොවේ. තමන් ඒ ධර්මය තුළ ජිවත් වීමෙන් මිනිසුන්ට ආදර්ශයක් වීමෙනි.

විනය පිටකයේ නව සංස්කරණයක් අවශ්‍ය තරමට භික්ෂූ චර්යාව පිරීහී තිබීම ශෝක ජනක ය.

මේ ධර්ම සංඝායනාවට කාලය යි

ධර්මය පිළිබඳ නව අර්ථ කථනයක්, රටක් ලෙස දියුණු වීම සඳහා ද අනවශ්‍ය ආරවුල් වලින් රට නිදහස් වීම සඳහා ද අවශ්‍ය  ය. බුද්ධ ශාසනය තුළ මේ වෙනස්කම් සිදු වීම, රටේ වෙසෙන ජනයාගේ දියුණුව සඳහා ද ඔවුන් අතර සහජීවනය සඳහා ද අවශ්‍ය ය.

එසේ නොකළහොත් සිදු වන්නේ බෞද්ධයින් ද දුර්වල වීම ය. නැතහොත් මේ දෙසුම් වල හිස් බව දැන උන් සිය ආගමෙන් ද ඈත් වීම ය. ඒ තුළ බෞද්ධ ගහණය කොහොමටත් අඩු වීම ය.

විවිධාකාර ධර්ම දේශකයන් විසින් විවිධ අර්ථ කථනයන් සපයමින් කරන කතිකාවන් නිසා පමණක් නොව භික්ෂූන්ගේ වත්මන් චර්යාවන් නිසා ද මේ කථිකාව අවශ්‍ය ය.

නැත්නම් සිදු වන්නේ බෞද්ධයින් දිගින් දිගට වෙනත් ජාතිකයන්ට ඉරිසියා කරමින් ඔවුන් හා ගැටෙමින් හැම ගේ ජීවිත අඳුරු කිරීම ය.

පවත්වන සංඝායනාවක දී ධර්මය පමණක්, සූත්‍ර පිටකය පමණක්, සාකච්ඡා කිරීමෙන් පලක් නැත. විනය පිටකය ද කතිකාවට ඇතුළු කළ යුතු ය. බුදුන්ගේ කල ඇති නොවූ විසූක දස්සන දැන් තිබෙන නිසා ම විනය සම්බන්ධයෙන් නව පටිපාටියක් පැනවිය යුතු ව තිබේ. නැතිනම් මේ යන විදිහට සිවුර සන්සුන් බවේ සංකේතයක් හැටියට නොවී වෛර භාෂිතයේ සංකේතයක් හැටියට සමාජ ගත වන්නට ඉඩ තිබේ.

බුද්ධ ශාසනය තුළ වරින් වර සංඝායනාවන් සිදු කර තිබේ. ඒ නිසා තවත් සංඝායනාවක් කිරීම නොකළ හැකි දෙයක් නොවේ. එහෙත් නිකාය ගණනාවකට බෙදී ඇති සංඝයා එක් වහලක් යටට එක් කිරීම නම් අභියෝගයක්ම වනු ඇත. එසේ එක් කල ද ඔවුන් අතර සම්මුතියක් ඇති කර ගැනීම ඊටත් වඩා අපහසු වනු ඇත. සම්මුතියක් ඇති නොවුන ද සංවාදයක් හැම විටම දුර්මත ඉවත් කර ගැනීමට දිරියක් සපයනු ඇත්තේ ය.

කොතෙක් අභියෝග ඇතත් මේ කටයුත්තට ඉදිරිපත් ව එහි සාර්ථක අවසානයක් දැකීමට සෑම බෞද්ධයෙකුම අධිෂ්ඨාන කර ගත්තොත් හොඳ ය. ඒ සඳහා දැනුම් තේරුම් ඇති සිල්වත් භික්ෂූන්ගේ ආශීර්වාදය අතවශ්‍ය ය. බුද්ධ ශාසනය වෛරී හා ඍණාත්මක භාෂිතයේ යෙදෙන වැඩිමනත් වූ සංඝයා වහන්සේලාට පමණක් බාර දී සිටියොත් එය අනතුරේ බව සටහන් කරමින් ලිපිය අවසන් කරමි.

යුනිෆෝම් කරන්නට ගෙනා යුනිෆෝම්

school uniform

යුනිෆෝම් කියල නිල ඇඳුමටත් පාසල් ඇඳුමටත් යෙදෙන බව ඇත්ත ය. එහෙත් ඉංග්‍රීසි භාෂාවේ එය යෙදෙන්නේ එක වගේ කියන අර්ථය ද ඇතිව ය. හැම ම එකම ඇඳුමක් ඇඳීමෙන් සියලු පරතරයන් මැකී යනු ඇතැයි ද එයින් අපේක්ෂිත ය.

පාසල තුළ යුනිෆෝම් ඇති කළේත් පවත්වාගෙන යන්නේත් ඒ සඳහා යැයි කියවේ.පාස ල තුළ පරතරය නැති කළත් පාසල් අතර පරතරය පවත්වාගෙන යෑමට යුනිෆෝම් එක සියුම් ව යොදා ගැනේ. ඒ ටයි පටයක් හෝ ලාංඡනයක් එක් කිරීමෙනි. කොඩියක් මැහීමෙනි. අකුරු කීපයක් එකතු කිරීමෙනි.

එකම නිල ඇඳුම තුළ පවා පරතරයන් පවත්වා ගෙන යෑම සඳහා ඇඳුමේ සුළු වෙනස් කම් කිරීමට කටයුතු යොදා තිබේ. පොලීසියේ නම් දිලිසෙන තරු ද නානා මාදිලියේ පදක්කම් ද ඒ අතර යොදා ගෙන තිබේ. ඒ කියන්නේ යුනිෆෝම් යමක් අපේක්ෂා කළ ද එය යුනිෆෝම් විය යුතු නැති බව ය. ඒ තුළ ද සියුම් ලෙස ඕනෑ නම් පරතරය පවත්වා ගෙන යෑ හැකි බව ය.

ඇතැම් යුනිෆෝම් තියෙන්නේ බය කරන්නට ය. පොලීසියේ යුනිෆෝම් එක එවැනි එකකි. ශිෂ්‍ය නායක යුනිෆෝම් එක ද එවැන්නකි. යුනිෆෝම් එක සමානත්වය ඇති කිරීමට යොදා ගත්ත ද එය ම භය කිරීමට ද නැති පරතරයක් ඇති කිරීමට ද යොදා ගත හැකි බව එයින් කියවේ.

තවත් ඒවා තිබෙන්නේ හඳුනා ගන්නට ය. වෙන්කොට හඳුනාගන්නට ය. හෙද හෙදියන්ගේ ද සිරකරුවන්ගේ ද යුනිෆෝම් වලින් ද පාසල් දරු දැරියන්ගේ යුනිෆෝම්වලින් ද අපේක්ෂා කරන අමතර කාරණය එය ය. එය ඇඳ පැළඳ සිටින විට කිසියම් විනයක් ශික්ෂණයක් ඒ තුළින් රැකේ යැයි තවත් අපෙක්ෂාවක් ද එයට ම අමුණා තිබේ.
එහෙම බැලුවහම අරමුණු විවිධ ය. විෂම ය.

සිවුරද යුනිෆෝම් එකකි

ඒක එහෙම වුනාට යුනිෆෝම් අඳින එක කොට්ඨාෂයකින් ඒ අවසානයට කී විනය හා ශික්ෂණය යන අරමුණ ඒ විදිහටම ඉටු නොවන බව පෙනෙන්නට තිබේ.

ඒ බෞද්ධ භික්ෂූන් විෂයෙහි ය. ඔවුන්ගේ නිල ඇඳුම සිවුර ය. මෑතක සිට ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් සිවුරු දරා ගෙන කරන විකාර වැඩ නිසා තවදුරටත් සිවුර විනය හා ශික්ෂණය ඇති කරන ඇඳුමක් ලෙස සැළකෙන්නේ නැත. ඇතැම් පාසල්වල ළමුන් යුනිෆෝම් පිටින් විකාර කිරීම පාසලට අප කීර්තියක් ගෙන එනවා වැනි ය. එහෙම බැලුවහම පාසල් ළමුන් හා පාරේ ජවුසං නටන ස්වාමීන් වහන්සේලා අතර එහෙමට වෙනසක් නැත. දෙගොල්ලන්ම සැළකිය හැක්කේ අඳ බාලයන් ලෙස ය.

බුද්ධ ශාසනයේ නිකාය කිහිපයකි. ඒ එක් එක් නිකායේ අනන්‍යතාවය පවත්වා ගැනීම සඳහා සිවුර අඳින ආකාරයේ වෙනස් කම් ඇති කර ගෙන තිබේ. එහෙම බැලුවහම යුනිෆෝම් ඇන්ඳත් අද දවසේ බුද්ධ ශාසනය පවා යුනිෆෝම් නැත. ඒ කියන්නේ එකම සිවුර තුළ සියුම් ලෙස පරතරය රිංගවා ඇති බව ය. වැඩවසම් කුලය ප්‍රකාශයට පත් වන බව ය.

භික්ෂූන් වහන්සේලාගේ යුනිෆෝම් එක ද පොලීසියේ යුනිෆෝම් එක තරමට ඇතැම් විට ඇතැම් තැනක ඊටත් වඩා රැස්පොට් ඇති එකකි. ඒ කියන්නේ එය ගෞරවය ඉල්ලා කෑ මොර දෙන එකක් බව ය.
ගෞරවය පමණක් නම් මදෑ. තව බොහෝ දේ ඒ යුනිෆෝම් වෙනුවෙන් ලබා දෙන ලෙස කරන බලපෑම් අපට දක්නට ලැබේ. ඒ සඳහා මිනිසුන්ගේ ආගමික භක්තිය මෙහි දී අමු අමුවේ යොදා ගැනේ. ඒ කෑ ගැසීම ඉදිරියේ ඇතැම් විට පොලීසිය ද අධිකරණය ද ඇඹරෙන්නේ ඒ නිසා ය. නීතිය නැමෙන්නේ ඒ නිසා ය.

යුනිෆෝම් එකේ එක් අරමුණක් වන්නේ ශික්ෂණය ඇති කිරීම ය. පාසල් නිල ඇඳුම ඇඳගත් විට චර්යාවේ වෙනසක් ඇති කර ගැනීමට අඳින තැනැත්තාට සිදු වේ. නැතිනම් පාසලට එයින් අගෞරවයක් ලැබෙන නිසා ය. එපමණක් නොවේ. ඒ ඇඳුම ඇඳගෙන යම් යම් දේ කිරීමට සමාජ අවසරයක් නැති නිසා ය. එවන් තැනක සමාජය මැදිහත් වීමට ඉඩ ඇති නිසා ය.

උදාහරණයක් ලෙස පොලීසියේ යුනිෆෝම් එක ඇඳගත් කෙනෙකු යම් වැරැද්දක් කරන විට එය සමාජයට දෙගුණයක් බරපතල වී දැනෙන්නේ ය. එය අදාළ නැත්තේ භික්ෂූන් වහන්සේලාට පමණක් යැයි හිතෙන තරමට පහුගිය දිනවල තත්වය පිරිහී තිබුනේ ය. එසේ හිතුනේ සිවුරට නොගැලපෙන වැඩ කරන භික්ෂූන් වහන්සේලාට සමාජයෙන් ඒ හැටි විරෝධයක් නොනැගුනු නිසා ය. නොනැගෙන නිසා ය.

දේශපාලනඥයින්ගේ යුනිෆෝම්

දේශපාලකයන්ට යුනිෆෝම් නැත. එහෙම බැලුවහම බලය තිබිය දීත් යුනිෆෝම් නැතිවම අසීමිත නිදහසක් භුක්ති විඳින්නේ ඔවුන් යැයි කිව හැකි ය. කවරෙකු විසින් වත් නියෝග කර ඇඳිය යුතු යැයි නම් කළ යුනිෆෝම් නැතත් දේශපාලනඥයින් ද යුනිෆෝම් අඳින නිසා ඒ කතාවේ ඇත්තේ අර්ධ සත්‍යයක් පමණ ය. දේශපාලනඥයින්ගේ යුනිෆෝම් එක වෙන හැම යුනිෆෝම් එකකට ම වඩා වෙනස් ය. ඇඳගෙන ඉන්න එක පහසු ය. සෙසු පහසුකම් අතර ඒ පහසුකම ද අත් විඳීමට ක්‍රමයක් ඔවුන් විසින් සාදා ගෙන ඇත.
දේශපාලනඥයින් යුනිෆෝම් එක ලෙස සරම හා බැනියම ඇන්දත් ඒ සරමත් බැනියමත් සෙසු මිනිසුන් අඳින කවර හෝ ඇඳුමකට වඩා වෙනස් ය. මිනිස්සු ආදරේට ඒ යුනිෆෝම් එකට කියන්නේ කපටි සූට් එක කියා ය. එහි ටියුනික් කොලර් එකක් ද තිබේ. දේශපාලකයන්ගේ ආරක්ෂකයින්ට ද ටියුනික් කොලර් සහිත නිල ඇඳුමක් තිබේ. එහෙත් වෙනසකට ඇත්තේ උඩ සුදු වුනාට ඔවුන්ගේ යට සරමක් වෙනුවට කලිසමක් තිබීමත් එය කළුම කළු පාට වීමත් ය. උඩින් සුදටත් යටින් අඟුරු කළු පාටටත් ඇඳීමෙන් කිසිවක් කියවෙනවා යැයි කියන්නට කවුරුවත් ඉක්මන් විය යුතු නැත.

එහෙම බැලුවහම දේශපාලනඥයෝ තමන්ගේ ආරක්ෂකයින්ට වඩා සුදු ය. ඇත්තටම ඒ අයගේ ඇඳුම සුදට සුදේ බබලන එකකි. ඇතුළේ ඇත්තේ ගඳ ගහන ජරාව වුනාට එලියට පෙනෙන්නේ බැබලෙන සුද ය. සිල් ගන්නා ඇතැම් උපාසික උපාසිකාවන් වගේ ය. සුද එලියට විතර ය.

සමහරු නම් කියන්නේ ජනතා ඡන්දය වැඩිපුර ලැබෙන්නේ ජාතික ඇඳුම ඇඳගත් දේශපාලනඥයන්ට නිසා බොහෝ දේශපාලනඥයින් මේ ඇඳුම තෝරාගෙන ඇති බව ය. සරම බැනියම නොඅඳින පිරිමි කිසිවෙකු තවම මේ රටේ ජනාධිපති පදවියට පත් ව නැත.

එක කාලයක සරමට තිබුණ සැලකිල්ල බැලුවහම මේ කාරණය හරි හැටි තේරුම් ගැනීම පහසු නැත. ඒ කාලයේ සරම අඳින කොල්ලෙකුට කෙල්ලෙකුවත් කැමති වූයේ නැත. එහෙම අමනාපයක් තිබිය දි සරම අඳින දේශපාලනඥයන්ට ම ජනතා මනාපය හිමිවීමත් ඔවුන්ට මිනිසුන්ගේ පමණක් නොව ගෑණුන්ගේ පවා සුවිශේෂ මනාපය හිමි වීමත් තේරුම් ගැනීම අමාරු ප්‍රහෙලිකාවකි.

මේ සියල්ල සිදු වන්නේ සරම් අඳින මාමාලා ගම්වල පවා දුලබ දර්ශනයක් වෙමින් තියෙන වකවානුවක ය. සරම අඳින දේශපාලනඥයින් මාමාලා ලෙස ගමේ උදවිය පිළිගන්නේ කලිසම් අඳින නගරයේ වෙසෙන්නන් අංකල් වෙන අතරේ ය.

ගමේ බයියලා සරම් අඳින අතීත මාමලාට ඡන්දය දෙන අතරේ නගරයේ කලිසම් අඳින ඇතැම් ගැටව් ද තවමත් ආදරේ ගමේ නැති සරම් අඳින මාමාලාට වීම පුදුම ය. ඒ නගරයේ අද ජීවත්වෙන බහුතරයේ මුල් තියෙන්නේ තාමත් ගමේ නිසා ය.

ඡන්දය දිනන්නට කලිසම ගැලවීම

සරම් අඳින මහින්ද පරදන්නට කලිසම් අඳින රනිල්ට බැරි වන විට සරම් අඳින රජරට පුත්‍රයෙක් විපක්ෂය විසින් ආනයනය කරන්නට යෙදුනේ ඒ නිසා ය.

ගෝඨාභයට 2020 දී ජනපති වරණයට ඉදිරිපත් වන්නට ඇති එක් තහංචියක් නීතිය ය. ඒ ඔහු ඇමරිකානු පුරවැසි භාවය ද ඇති ද්විත්ව පුරවැසියෙකු නිසා ය. එයින් අයින් වුව ද තව කඩ ඉමක් ජය ගන්නට ඔහුට සිදු වේ. ඒ ඔහුගේ කලිසම ය. එය ගලවන්නේ නැතිව රටේ ජනතාව දිනා ගැනීම නම් අභියෝගයක් බව කිව යුතු ය.
මේ විදිහට බලාගෙන යන විට යුනිෆෝම් එකේ අලකලංචි ගොඩකි.

විධිමත් පුද්ගලික අංශයේ ද නීති ගත නොවුනු සම්මුතියකට පැමිණි යුනිෆෝම් එකක් තිබුනේ ය. ඒ යුරෝපයේ අඳින විධිමත් ඇඳුම ය. ටයි පටියක් අත් දිග කමිසයක් සහ දිග කලිසමකින් එය සමන්විත විය. එකම වෙනසකට තිබුනේ කමිසයේ, කලිසමේ හෝ ටයි පටියේ පාට පිළිබඳ එහෙමට නියමයක් බොහෝ තැන්වල නොතිබීම ය. ඇතැම් තැනක ටයි පටිය ආයතනයේ අනන්‍යතාවය ඇති කළ අතර තවත් තැනක කමිසයට එකතු වුනු ලාංඡනයක් ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය.

මෙසේ එකම ඇඳුමකට කොටු කිරීම පසු කලෙක නිර්මාණශීලිත්වයට බාධාවක් ලෙස ගණන් ගැණුනු අතර සිකුරාදා දිනවල නිදහස් ඇඳුමක් ඇඳීමට ඒ අනුව පුද්ගලික අංශය තුළ අවසර ලැබුණේ ය.

පුද්ගලික අංශයේ යුනිෆෝම් එක

ඒ අනුව යුනිෆෝම් එකට මුල්ම අභියෝගය එල්ල කළේ කවදත් නවොත්පාදනයේ නියමුවා වන පුද්ගලික අංශය ය. ඒ වෙඩි මුරය සෙසු ආයතන හා මිනිසුන් සෙලවූයේ මඳ වශයෙනි. අදටත් තව තවත් රජයේ ආයතන මෙතෙක් යුනිෆෝම් නොතිබූ රජයේ ආයතන ද ඇතුළුව යුනිෆෝම් සංකල්පය බදා ගෙන සිටිනු ද බදාගන්නට තතනන අයුරු ද පෙනෙන්නට තිබෙන්නේ ඊට ප්‍රතිපක්ෂව යමිනි.

මේ යුනිෆෝම් සංස්කෘතිය විසින් මනසට ඇතුළු කරන මතවාද කීපයක් තිබේ. පළමුවැන්න, සැවොම සමාන විය යුතු බව ය. එසේ කියන විට අනිත් අතින් කියවෙන්නේ වෙනස්කම් නොඉවසිය යුතු බව ය. වෙනස්කම් වලට ඉඩක් නැති බව ය. දෙවැන්න, පුද්ගලිකත්වය ප්‍රකාශ කිරීම වැදගත් කොට නොසළකන බව ය. තමන් අයත් කණ්ඩායම තුළ තමන් කිඳී ගිලී සිටිය යුතු බව ය. වෙනම මතු නොවිය යුතු බව ය. තුන්වැන්න, ආයතනය තුළ අන් සියල්ලට ඉහලින් විනය විරාජමාන වන බව ය. නිර්මාණශීලිත්වය, දක්ෂතාවය, කැප වීම යන සියල්ල විනයට වඩා පහලින් තැබෙන බව ය.

මාඕ සේතුංගේ චීනය යුනිෆෝම් සංස්කෘතිය සඳහා දිය හැකි හොඳම උදාහරණයකි. සංස්කෘතික විප්ලවයෙන් පසු සැමටම අඳින්නට සිදු වුනේ එකම ඇඳුමකි. ඒ තුළ රජයට, පක්ෂයට හා නායකයාට පක්ෂපාතිත්වය පෙන්වීමට මිනිසුන්ට බල කරන ලද්දේ ය. එය කොතරම් ඒකාකාරී ද යන වග ඒ කාලයේ චීන ඡයාරූප දුටු විට දැක ගත හැකි ය. ඩෙන්සියා ඕ පෙන්ග් යටතේ ප්‍රතිසංස්කරණය වූ චීනය ඒ නිල ඇඳුම පසෙකලා ජනතාවට කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස පිරි නැමුවේ ය. දැන් චීන ජනාධිපති අඳින්නේ ටයි කෝට් ය.

යටත් වීම අපේක්ෂා කරන හැම තැනකම යුනිෆෝම් එකට සුවිශේෂී තැනක් හිමි වන්නේ ය.
ඇතැම් සරසවියක වසරක් පුරා පැවැත්වෙන නවක වද කාල සීමාව තුළ නවකයන්ට ජේෂ්ඨ උත්තමයන් විසින් නියම කරනු ලබන “නිල ඇඳුමක්“ ඇඳීමට සිදු වන්නේ ද ඒ අනුව ය.

මේ ඒකාකාරි යුනිෆෝම් එක තුළ වෙනසකට ඉඩ නැතැයි සිතුව ද ඇත්තටම එය එසේ නොවේ. පාසලක වුව එකම නිල ඇඳුම ඇන්දේ වුව ද බැබලෙන සුදෙන් ද භාවිතාකරන රෙද්දේ වටිනාකමින් ද වෙනස මතු කර ගත හැකි ය. අවශ්‍ය වන්නේ මුදල් ය. අල්පේච්ඡ ජිවිතයක, හික්මුණු භාවිතයක, නිරූපනය වන භික්ෂූන් වහන්සේ අඳින සිවුර ද එවැනි වෙනස්කම් සහිත ය. සමහර සිවුරු බර ගණන් ය. බර කිලෝවලින් නොවේ. රුපියල් සත වලින් ය. එහෙම බැලුවහම යුනිෆෝම් එකෙන් අපේක්ෂා කරනවා යැයි කියන සමානාත්මතා මූලධර්මය හැර ඉතිරි ඒවා පමණක් සාක්ෂාත් වන බව නම් පෙනෙන්නේ ය.

වෙන ඕනෑම තැනක ඇති යුනිෆෝම්වලට වඩා භයානක පාසල තුළ පවතින යුනිෆෝම් එක ය. ඒ එයට ඇඳුම පැළඳුම පමණක් නොව සපත්තුව හා කොණ්ඩය ද අයිති වන බැවින් ම නොවේ. ඒ හරහා ඇති කරන අවසාන ප්‍රතිඵලයේ ශෝචනීයත්වය නිසා ය.

යුනිෆෝම් කිරීම සඳහා යුනිෆෝම් යොදා ගැනීම

කම්හලකින් එලියට දමන්නේ යුනිෆෝම් භාණ්ඩ ය. එකකට එකක් හරියට සමාන භාණ්ඩ ය. පාසලින් එලියට දමන්නේ ද එවැනි සමාන භාණ්ඩ නම් පාසල සැළකිය යුත්තේ ද පැක්ටරියක් හැටියට ය. පාසලට ඊට වඩා වෙනස් නිශ්පාදනයක් කරන්නට අවශ්‍ය නම් මේ යුනිෆෝම් මානසිකත්වයෙන් මිදිය යුතු ය.

ළමයෙකු වැඩිහිටියෙක් බවට පරිවර්තනයේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ තමන් වෙනුවෙන් තීරණ ගැනීමට ඉදිරිපත් වීම ය. තමන්ගේ ඇඳුම පිළිබඳවවත් තීරණයක් ගැනීමට අපොහොසත් පරිසරයක ජිවත්විම ඔවුන්ගේ වැඩීම අඩාල කරන්නේ ය.

එක් එක් අයෙකුට හැඩ ගෙනෙන්නේ එක් එක් ඇඳුම ය. හැමෝටම ගැලපෙන එක ඇඳුමක් නැති තත්වයක එවැන්නක් තුළ සිසුන් කොටු කිරිමෙන් හානි වන්නේ ඔවුන්ගේ ස්වයං ප්‍රතිරූපයට ය. එය තමන් පිළිබඳ අභිමානයක් ඇති කර ගැනීමට බාධාවක් ද වෙයි.

අතීත ලෝකයට යුනිෆෝම් නිශ්පාදන ගැලපුනාට වත්මන් ලෝකයට අවශ්‍ය විවිධත්වය ය. එක් එක් පුද්ගලයාට තමන්ගේ අනන්‍ය ප්‍රකාශනයක් කළ හැකි තත්වයක් ඇති වන්නේ මේ විවිධත්වය පිලිගැනෙන වටපිටාවක ය. පාසලින් සමාජයට දායාද කළ යුත්තේ විවිධ කුසලතා ඇති විවිධ කටයුතු කළ හැකි විවිධ දැනුම ඇති මිනිසුන් ය. එහෙම නිශ්පාදනයක් කිරීමට නම් ඊට සරිලන ලෙස පාසල සකස් විය යුතු ය. ඒ තුළ පුද්ගල ප්‍රකාශනයට ඉඩ තිබිය යුතු ය. විවිධ මත ගැටීමට ඉඩ තිබිය යුතු ය. විවිධ කෝණයන්ගෙන් බැලීමට ඉඩ තිබිය යුතු ය. එහි නිශ්පාදන සමාජයේ විිවිධ තැන් වල විවිධ දේ කිරීමට හැකි විවිධත්වයෙන් යුක්ත ඒවා විය යුතු ය. ඒ සඳහා මනස සකස් කිරීමට කළ හැකි එක් කටයුත්තක් නම් පාසල තුළ යුනිෆෝම් මානසිකත්වය ඉවත් කිරීම ය. අඩු වශයෙන් සතියේ එක් දිනකවත් කැමති ඇඳුමකින් සැරසී පාසලට පැමිණිමට අවස්ථාව ලබා දීම ය.

මෙවැනි අදහසකට විරුද්ධවන්නට ඕනෑ තරම් මිනිස්සු සිටිති. පුංචි හෝ වෙනසකට ඔවුන් බිය ය. එවැන්නකින් සමස්ත සමාජය අස්ථාවර වෙතැයි ඔවුන් බිය ය. කාන්තාවට මත් පැන් මිලට ගන්නට අවසර දුන් විට ඊළග සතියේ වෙරි මතින් පාරේ වැටී සිටින කාන්තාවන් ඔවුන්ට සිහිනයෙන් පෙනෙන තරමට ඔවුන් බිය ය. ඒ නිසා ම පාසල් සිසුන් සම්බන්ධයෙන් දෙන නිදහසෙන් උල්පන්දම් ලැබී පිස්සු කෙළින ළමුන් ද මෙවැන්නක ආරංචියෙන් ම ඔවුන්ට සිහිනයෙන් පෙනෙන්නට පටන් ගනු ඇත. ප්‍රශ්නය ඇත්තේ අවදානම් ගැනීමට ඇති බිය නිසා අපට කළ යුතු ව තිබෙන වෙනස් කම් කිරීමට නොහැකි වීම ය. අවශ්‍ය නම් ආපස්සට හැර විය හැකි තීන්දු පවා ගැනීමට මේ නිසා අප පසුබට වීම ය.

ඇතැම් රටවල පාසල් ලමුන්ට තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ඇතැයි කීව ද මේ බිය මැඩලීමට එය ප්‍රමාණවත් වන්නේ නැත. පරම්පරා ගණනාවක් තිස්සේ කරන්නට පුරුදු වූ යමක් එසේ ලෙහෙසියෙන් ඉවත් කිිරීමට හිත හදා ගැනීමට අපට බැරි ය. එහෙත් මේ ගැන ප්‍රමාණවත් සංවාදයක් ඇති කිරීමට එය බාධාවක් නොවිය යුතු ය. මේ ලිපියේ අදහස එවැන්නක් ඇරඹීම ය.

වැඳීම හා කොඳු නැවීම

mangala-samarawira-1

මංගල සමරවීර අපූරු මිනිසෙකි. ඔහු පහුගිය දිනක ඔහු ඉදිරියේ ශිෂ්‍ය නායිකාවකට වඳින්නට සැලැස්වීම ගැන කම්පාවෙන් කතා කළේ ය. එය උඩු ගං බලා යෑම කි. දේශපානඥයෙක් පැත්තක තිබිය දී ඡන්ද අපේක්ෂා නොකරන නිකම් ම නිකම් මිනිහෙක් පවා නොකරන වැඩකි. ජාතියත් ආගමත් විකුණා ගෙන කෑම ජිවිතය කර ගත් කිසිදු දේශපාලනඥයෙක් නම් කොහෙත්ම නොකරන වැඩකි. ඔහු ඒ වැඩේ කළ හැටි ඔහුගේ ම වචන වලින් අසා සිටිමු. මේ ඒ කතාව ගැන පළ වූ ප්‍රවෘත්තියකින් උපුටා ගත්තකි.

‘‘කෘෂි කාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘතිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030 වෙනකොට ගණකාධිකාරීවරුන්ගේ කටයුතු සම්පූර්ණයෙන් ම තාක්ෂණය විසින් භාර ගන්නවා. 2025 වෙද්දි රියදුරන් නැති වාහන බිහිවෙන ලක්ෂණ පහළ වෙලා තියෙනවා.

2014 අයවැයෙන් මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරල තිබුණෙ රුපියල් බිලියන 196කට ටිකක් අඩුවෙන්. 2018 අයවැයෙන් අපි අධ්‍යාපන වෙනුවෙන් රුපියල් බිලියන 333ක් විතර වෙන් කරල තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අපි කටයුතු කරන්නේ ඒ ආකාරයට.

මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවරුන්ට වඳින්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

වැඳුම් ගැනීමෙන් නොනැවතී දරුවන් ලවා ශ්සෝත්‍ර ද ගායනා කරවා ගත් දේශපාලනඥයින් සිටි රටක, එසේ කරවා ගැනීමට හීන බලමින් තවත් බොහෝ දෙනෙකු පෝලිමේ ඉන්නා රටක, මෙය නොගැලපෙන වැඩකි.

සංස්කෘතියේ ආරක්ෂකයන්

සංස්කෘතියේ ආරක්ෂකයින් ද මේ කතාවට උරණ නොවී ඉන්නා එකක් නැත. ඒ තරමට දණ බිම ඔබා වැඳ වැටීම සංස්කෘතික අංගයක් කර තිබේ. එය එන්න එන්න ම වැඩිවෙනවා විනා අඩුවන පාටක් නැති රටක මේ නම් විශ්මය ජනක මැදිහත් වීමකි. එය වෙනත් කෙනෙකු නොව ඡන්ද අපේක්ෂාවෙන් සිටිනා දේශපාලනඥයෙකු විසින් කරන විට වඩාත් විශ්මය ජනක වන වැඩකි.

හේතුව පැහැදිලි ය. සංස්කෘතික අගයන් කොයි තරම් යල් පන ගිය ද ඒවා වෙනස් කරන්නට, තඹයකුදු වෙනස් කරන්නට, මේ රටේ වරමක් නැත. එසේ තැත් කරන අයට එරෙහිව අලවන ලේබල් ද තර්ජන කිරීම සඳහා භාවිතා කරන පදවැල් ද අඩුවක් නැත.

කාන්තාවන්ට මත් පැන් මිල දී ගැනීමටත් විකිණීමටත් පනවා තිබූ නීති ඉවත දැම්මේ ද මංගල ය.

ඒ අවස්ථාවේ ඊට විරුද්ධව කතා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ පවා ඉදිරිපත් වුනේ ඡන්ද අපේක්ෂාව නිසා ය. කාන්තාව හා මත්පැන් යන මැයෙන් අප ලිවූ මේ කොළමේ ඒ පිළිබඳව සවිස්තරාත්මක විමසුමක් අපි කළෙමු. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයාගේ මතයක් ද උපුටා දක්වමින් ය. මේ අවස්ථාවේ ඒ ගැන නැවත සඳහන් කිරීමට අපට සිදු වන්නේ මේ සියල්ල එකම පණිවුඩයක් අපට කියන නිසා ය. එදා අපි මෙසේ ලීවෙමු.

“සංස්කෘතිය රැක ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයට වත් කාන්තාවන්ට හා පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් ව වෙනස් නීති පැනවිම අනුමත කිරීමට, තමන්ට හා තම පක්ෂයට සිදු වන බව ඔහු සපථ කොට කියන්නේ ය.

“ලංකාවේ සංස්කෘතිය, ආගමික වටපිටාව, ආසියාතික වැඩවසම් සමාජ ක්‍රමය තුළ යුරෝපයේ තියෙන දේවල් ඒ විදියටම කරන්න යාම සමාජය තුළ ගැටලු, අර්බුද මතුවෙන එකක්,” විජිත හේරත් මැතිතුමා තවදුරටත් කියා සිටින්නේ ය.

“සමාජ සාධාරණත්වය සහ මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයක් වැඩවසම් සමාජ ක්‍රමයට අනුබල දෙන්නේ කෙසේ දැයි විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින වැඩවසම් ක්‍රමය “ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වෙනස් වෙමින්” පවතින බැවින් “චීනයේ සංස්කෘතික විප්ලවය සිදු කළ ආකාරයට,” කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවය.“

විප්ලවවාදීන්ට බැරි වූ විප්ලවය

වැඩවසම් වූවත් සංස්කෘතිය, සංස්කෘතිය ම බව එයින් තවදුරටත් කියවෙන්නේ ය. එයට අත තැබීමට රටේ ඉදිරියෙන් සිටිනා “විප්ලවවාදී“ පක්ෂයකට වුව බැරි බව ද එයින් පැවසෙන්නේ ය.

මංගල කාන්තාවන්ට වෙනස් කම් කළ ඒ මත්පැන් නීතිය ඉවත දමන විට ඒ හරහා තමන්ට එල්ල විය හැකි විරෝධය ඉවත දැම්මේ ය. බියර් මිල පහළ දැමීම සම්බන්ධයෙන් ද ඔහු නොබියව සිය අමාත්‍ය පදවිය මෙහෙය වූයේ ජාතිය ආගම සංස්කෘතිය වැනි දේශපාලන වෙළඳ පොළේ අලෙවි වන සිල්ලර සංකල්ප එකක් වත් තුට්ටුවකට මායිම් නොකරමිනි. මේ හැම තැනක දී ම ඔහු නිවැරදි වූවා පමණක් නොව අභීත ද විය.

ලංකාවට නැත්තේ එවැනි නායකයින් ය. අප රටේ සිටි හා සිටින බොහෝ නායකයින් කළේ මිනිස්සුන්ගේ මූණිච්චාවට බොරුව හා වැරැද්ද සමාජ ගත කිරීම ය. ඒවාට එරෙහිව අභීතව නැගී සිටි මිනිසුන්ට හිරිහැර කිරීම ය. ඔවුන්ට ලේබල් ඇලවීම ය. ජාතියේත් ආගමේත් බොරු ආරක්ෂකයින් වීම ය. ඒ හරහා ඡන්ද ගොඩ වැඩි කර ගැනීම ය. අප මංගලගේ මේ අභීත භූමිකාව දෙස සෙනෙහසින් බලන්නේ ඒ නිසා ය.

දැන් මේ වැඳීමේ කාරණය දෙස බලමු. එය කොතරම් බරපතල ලෙස පැතිරී තිබේ දැයි පළමුව බලමු.

වසංගතයක් ලෙස පැතිරී යෑම

අප කුඩා කාලයේ අපේ ගුරුවර ගුරුවරියන්ට වැන්දේ සිංහල අවුරුද්දට හා වසර අවසානයේ සමුගන්නා විට පමණ ය. එහෙත් දැන් දරුවන්ට දකින දකින තැන ගුරුවර ගුරුවරියන්ට වැඳීමට උගන්වා තිබේ. ඔවුන් ලවා දේශපාලනඥයන් හා තවත් බොහෝ අයට වන්දවනු ද ලැබේ.

අප වැඩිහිටි නෑදෑයින්ට වැන්දේ සිංහල අවුරුදු දා ය. ඒ ගෙවුණු වසරේ අප අතින් යම් වැරැද්දක් වූයේ නම් එය සමා කර ගැනීමේ චාරිත්‍රය ඉටු කරනු සඳහා ය. දැන් එය සාමාන්‍ය කරණය වී තිබේ. වැඳිම කාර්යාල වලට ද බෝවී තිබේ. ඒ බොස්ට වැඳීම දක්වා ය.

මෑතක දී ගුරුවරියක ලවා වන්දවා ගත්තේ ප්‍රධාන අමාත්‍යවරයෙකි. ඒ බලහාත්කාරයෙනි. ඒ තමන්ගේ අණ පිළිනොපැදීමට සමාව ගැනීමක් ලෙස සංකේතවත් කරන්නට ය. එයින් පෙනෙන්නේ බලය වැඳීම තුළ අතිශය ප්‍රබල සාධකයක් ලෙස පවතින බව ය.

දැනට වසර කීපයකට පෙර ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ දරුවන් කීප දෙනෙකු අධ්‍යාපන ඇමතිවරයා විසින් සිය කාර්යාලයට කැඳවනු ලැබුවේ ඔවුන්ගේ ඉහළ සාමාර්ථය අගැයීමට තෑගි ප්‍රදානය කිරීමට ය. සෙසු සියලු දරුවන් ඇමති ඉදිරියේ දණ ගසා වැඳ තාග්‍ය ලබා ගත් නමුත් එක දරුවෙකු එසේ කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ ගැන මහත් ආන්දෝලනයක් ඇතිවුනා මතක ය. එහි උණුසුම යන්නට මත්තෙන් විභාග කොමසාරිස් හැටියට පත් වීම් ලැබූ එක් මහතෙක් ඒ පත්වීම ලබා ගැනීමේ පැවති උත්සවයේ දී අප කලින් සඳහන් කළ ඇමති තුමා ඉදිරියේ ම දණගසා වැඳ පත්වීම ලබා ගත් බව වාර්ථා විය. දෙවැනි වැඳීමට හේතුව ඇමතිතුමා ඔහුගේ ගුරුවරයෙකු ලෙස ක්‍රියාකර තිබූ නිසා බව පසුව ආරංචි විය.

ආදර්ශ දෙකක්

විභාගය සමත් වී ඒ වෙනුවෙන් තෑගි ලද දරුවෙකු වැඳීම ප්‍රතික්ෂේප කරද්දී ඒ විභාගය ඇතුළු තවත් බොහෝ විභාග බාර ගන්නට ඉදිරිපත් වූ නිලධාරියෙකු තම පත්වීම් ලිපිය පිළිගනිද්දී වැඳ වැටීම දෛවයේ සරදමක් ම විය.

වැඳුම් ලැබිය යුතු කෙනෙකුට වැඳීමේ අයහපතක් නැත. ඒ තුළ අප වඩාත් නිහතමානී වන නිසා ය. වැඳිය යුත්තේ උතුම් ගුණයකට ය. තනතුරකට නොවේ. අපට තෑග්ගක් හෝ සහතිකයක් දෙන නිසා නොවේ. පත්වීමේ ලිපියක් දෙන නිසා නොවේ. වැඳුම එවැනි හැම කෙනෙකුටම පුදා එහි ප්‍රබලත්වය බිඳ හෙලීම ම අපරාධයකි.

මේ හැම එකකින් ම පෙනී යන්නේ වැඳීම අප හිතන තරම් අහිංසක ම නැති බව ය. ඒ ගැන විවිධ අර්ථ කථනයන් කළ හැකි බව ය. මේ විෂයෙහිලා අප පරිස්සම් විය යුතු බව ය. සුදුසු නම් මිස එය ආවාට ගියාට කළ යුතු නැති බව ය. එය තැන නොතැන නොබලා කළ යුතු නැති බව ය. එය නොකර සිටිමෙන් කරන අවැඩට වඩා අවැඩක් එය නුසුදුසු ලෙස කිරීමෙන් ඇති විය හැකි බව ය.

ආචාර කිරීම එකකි. වැඳිම තව එකකි. දෑත් එක්කොට ආයුබෝවන් යැයි අප කියන විට එසේ ආමන්ත්‍රණය කරනු ලබන්නා ද දෑත් එක්කොට අපට ප්‍රතිචාර දක්වන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් දක්වමින් ය. වැඳීම එසේ නොවේ. නැමෙන්නේ එක් කෙනෙකි. අනෙකා ප්‍රතිචාර දක්වන්නේ එය පිළිගත්තා කියා ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය.

මේ තුළ පරතරයක් නිර්මාණය වීම ය.

නිර්මාණය වන පරතරය

වැඳ වැටුනු පසු එසේ වන්දනා කළ පුද්ගලයාට එරෙහිව යන්නට බැරිව යයි. වැඳුම් ලැබූ තැනැත්තා වැන්ද තැනැත්තා වෙතින් යටහත් පහත් භාවය අපේක්ෂා කරයි. එවැනි සම්බන්ධයක දී විවෘත සංවාදයකට ඉඩ නැතිව යයි.

වැඳීම මෙසේ ප්‍රචලිත වෙන අතර තවත් දෙයක් ඒ හා සමාන්තරව ප්‍රචලිත වීය. ඒ අයියා අක්කා නංගී මල්ලී පුතා දුව ලෙස කරන ආමන්ත්‍රණයන් ය. එහි දී සිදුවන්නේ ද මීට සමාන දෙයකි.

සරසවියේ අප උගන්නා කාලයේ අපට වඩා වසර කීපයක් ජේෂ්ඨ අයටත් අපට වඩා වසර කීපයක් කනිෂ්ඨ අයටත් මචං කියා අමතන පුරුද්දක් අපට තිබුණි. පාසල තුළ පවා තත්වය බොහෝ දුරට එසේ විය.

එහෙත් දැන් මේ ආයතන දෙකේම ජේෂ්ඨයන් අමතනු ලබන්නේ අයියා හෝ අක්කා යන ගෞරව නාමයෙනි. එතකොට ඉතිරිවන අය ඉබේම මල්ලිලා හා නංගිලා වෙයි.

මේ ආමන්ත්‍රණ රටාව දැන් බොහෝ ආයතනවල ද දැක ගත හැකි ය.

මතුපිටට යටින් දිවෙන යථාව

බැලූ බැල්මට මේ අලුත් විදිහ යහපත් ය. යම් බැදීමක් වගකීමක් ඒ හරහා ඇතිවන නිසා ය. පවුලක තිබෙන සම්බන්ධය එයින් ඇගවෙන නිසා ය. එහෙත් ව්‍යවහාරයේදී මේ බැදීමට යටින් පුංචි පරතරයක් පවත්වා ගෙන යාමේ වුවමනාවක් ද යටහත් පහත් භාවයක අපේක්ෂාවක් ද දැකිය හැකි ය.

අයියාත් අක්කාත් මල්ලීට හා නංගීට වඩා බලවත් ය. වයසින් වැඩි ය. ගරු කටයුතු ය.

අයියලාත් අක්කාලාත් කියන පරිදි ඔවුන්ගේ ඔවදන්වලට අවනත වෙමින් වැඩ කිරීම මල්ලිලාගෙනුත් නංගිලාගෙනුත් අපේක්ෂිත ය. වැඩේ දෙල්වෙන්නේ මේ හැගීම ඔලුවට වැටුන විට ය.

නංගිලා මල්ලිලාගේ අඩුපාඩු තමන් විසින් හැදිය යුත්තේය යන වගකීමත් ඔලුවට ගත් විට සියල්ල ජේෂ්ඨත්වයේ පාලනයට යටත් ය.

අක්කාටත් අයියාටත් තැන ලබා දී ඔවුන් කියන්නක් කර ගෙන ඉන්නට පුරුදුවීම හැර වෙනයමක් නංගිලාටත් මල්ලිලාටත් ඉතිරි නොවේ.

මෙය හැමගේ දායකත්වයට එක සමාන ඉඩ හසරක් සහිත ආයතනික වටපිටාවක් ඇති කිරීමට ද, වඩා දක්ෂතා පෙන්වන අයට වඩා ඉදිරියට යන්නට හැකි වටපිටාවක් ඇති කිරීමට ද, එරෙහිව යයි.

ඒ සබඳතාවය ඒ නිසාම ආයතනය තවත් පැරණි නින්ද ගමක තත්වයට පිරිහෙලයි.

එරෙහි විය යුත්තේ ඇයි?

වැඳීම හා මේ සම්ප්‍රදායික ආමන්ත්‍රණවලට අප එරෙහි විය යුත්තේ ඒවා පැරණි නිසා නොවේ. ඒවා ඇතැම්හු විසින් මැණිකක් රකින නා රජවරු මෙන් රකින නිසා ම එයට එරෙහි වීම සඳහා ද නොවේ. උඩුගං බලා පිහිනා පොරවල් වීමට ද නොවේ. ඒවා විසින් ඇති කරන සමස්ත ප්‍රතිඵලය නරක නිසා ය.

මංගල සමරවීර ඇමතිතුමා නගන ප්‍රශ්නය මේ වඳින්නේ මා කවුරුදැයි හරියට දැන ගෙන ද කියා ය. එතුමා එයින් අනියමින් කියන්නේ ආවාට ගියාට හැම කෙනෙකුටම වැඳීමෙන් වැඳීමේ ගෞරවය පිරිනොහලන ලෙස ය. එය පිදිය යුත්තන්නට පමණක් පුදන දෙයක් ලෙස සුරකින ලෙස ය.

එතුමා පිදිය යුත්තන් නම් කරන්නට ද පසුබට නොවෙයි. “තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවරුන්ට වඳින්න. ඒ ඇති.“ මා නම් කැමති ඇමතිවරයාට වඩා තව පියවරක් ඉදිරියට තැබීමට ය. පූජ්‍ය පක්ෂයට වඳින්න. ඒ ඔවුන් සිවුරු දරන නිසා නම් නොවෙයි. ඔවුන් ද යහ මග යමින් අපව ද යහ මගට යවන්නට වෙහෙසෙන්නේ නම් පමණ ය. අපේ වැඳුම ජාතිවාදය වපුරන වෛරය පතුරුවන පූජක පක්ෂයට නම් නොවිය යුතු ය. මවට පියාට වඳින්න. ඒත් ඒ ඔවුන් ඒ මවුපිය භූමිකාව තමන්ට හැකි අයුරින් රඟපා තිබේ නම් පමණ ය. අපේ වැඳුම බී වෙරි වී හතර ගාතෙන් ගෙදර එන කුණුහරුප කියන බඩු පොඩි කරන තාත්තාට නම් නොවිය යුතු ය. වැඳුම් ලැබිය යුත්තේ තනතුරට නොවේ. එම තනතුර බබලවන උදවියට ය.

අප දන්නා සංස්කෘතියේ තිබෙන්නේ පුතෙකු විසින් පියෙකුට වැඳිය යුතු බව ය. එසේ වුව ද බුදු සිරිතේ වාර තුනක දී සුදෝවුන් රජතුමා සිදුහත් කුමරුට වඳින්නේ ය. අපේ සංස්කෘතිය තුළ එහෙම වැඳුමකට ඉඩක් නැත. ඒ වැඳුම තුළ පවත්නේ පුදපූජාව නොව බලය ඉදිරියේ දණ නැමීම වන බැවිනි. දේශපාලනඥයන්ටත් කාර්යාලවල බොස්ලාටත් වඳින අය කරන්නේ බලය ඉදිරියේ නැමීම ය. ඒ අනුන්ට නැති වරප්‍රසාද ගැනීමට ය.

වැඳිල්ලට තිත තබමු

වඳින එකේ ඊළග ප්‍රශ්නය මෙය බෝවීම ය. කැස්ස මෙන් බෝවීම ය. එකෙකු වැන්දොත් පෝලිමේ ඉන්නා සෙසු අයට ද වඳින්නට සිදු වීම ය. අවසානය වන්නේ එය දිගින් දිගට සිදු වීම ය. එය කැඩිය නොහැකි පුරුද්දක් බවට පෙරලීම ය. දැන් අපට සිදු ව ඇත්තේ එය ය.

මංගල සමරවීර ඇමතිතුමා කඩන්නට හදන්නේ ඒ කැත පුරුද්ද ය. අප ඔහු සමග මේ අවස්ථාවේ සිට ගත යුතු වන්නේ ඒ නිසා ය.

ඇමති තුමාගේ කතාව ප්‍රබල ය. එය අවසන් කරන්නේ ශක්තිමත් ඉල්ලීමකිනි. ගරු කටයුතු ඉල්ලීමකිනි. “ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ.“

අප මංගල සමරවීර ඇමතිතුමා සමග සිට ගත යුත්තේ ඒ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් ගොඩ නැගීමට ය.