රජය හා ආගම අතර ගනුදෙනුව

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/08/19/7878_19082019_FSS_CMY.jpg

බුද්ධ ශාසන අමාත්‍යංශයකුත් ධීවර අමාත්‍යංශයකුත් එක ම රජයකට තිබිය හැකි ද? බුද්ධාගමෙන් සතුන් මැරීම අකටයුතු බව කියන විට ධීවර අමාත්‍යංශයේ වගකීම වන්නේ එය ප්‍රවර්ධනය කිරීම ය. මේ උභතෝකෝටිකය සමග එකම රජයක් ගනුදෙනු කරන්නේ කෙසේ ද?

බුද්ධ ශාසන අමාත්‍යංශයත් ජාතික ලොතරැයි මණ්ඩලයත් එකම රජයක කොටස් විය හැකි ද? බුද්ධාගමෙන් සූදුව පරිහාන ධර්මයක් ලෙස නම් කරන විට, ලොතරැයි මණ්ඩලය එම පරිහානි ධර්මයම, ජය මාවත ලෙස, ප්‍රවර්ධනය කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

අංගුලිමාලට සමාව දුන් බුදුන් වහන්සේ සරණ යන බව කියමින්, මිනිසුන් මැරීමට එල්ලුම් ගස ගෙනෙන්නට, රටේ බහුතරයක් මිනිසුන් සමග, රජය ද අනුග්‍රහ දැක්වීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

දැනට සිදු වන්නේ එකක් වමතට පවරා අනෙක දකුණෙන් කිරීම ය. රජය විසින් පවත්වාගෙන යන විෂයමාලා සහිත පාසල් වල තත්වයේ ද වෙනසක් නැත.

බුද්ධාගමත් ආර්ථික විද්‍යාවත් එකට උගන්වන පන්තියක ළමයෙකුට, බුද්ධාගම උගන්වන ගුරුවරයා සතුන් මැරීමේ ආදීනව උගන්වන විට, ආර්ථික විද්‍යා ගුරුවරයාගෙන් ඉගෙන ගත යුතු ව තිබෙන්නේ රට වටේ ආර්ථික දියුණුව සඳහා ප්‍රයෝජනයට ගත හැකි මත්ස්‍ය සම්පතක් තිබෙන බව ය. එසේ අසන ළමයා විසින් කළ යුත්තේ කුමක් ද? අනුගමනය කළ යුත්තේ කවර ගුරු උපදේශය ද? එකම පාසලක එකම පන්තියක මෙසේ පරස්පරයන් ඉගැන්වීමේ තේරුම කුමක් ද? පාසලේ උගන්වන දෑ සම්බන්ධයෙන් ලොකුවට නොසළකා මග හැරිය යුතු බව ද? හරි දේ කුමක් දැයි ඉන් බාහිර ව සෙවිය යුතු බව ද?

මෙසේ තමනුත් අතර මං වී දරුවන් ඇතුළු සෙසු ජනතාවත් අතරමං කිරීමට වගකිව යුතු රජයකට හැකි ද?

මෙය බුද්ධාගම සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. සමස්ථ ආගම් හා සම්බන්ධ ප්‍රශ්නයකි. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි යැයි දෙසන ආගම් වලට රැකවරණය සළසන ගමන්, අප විඳින්නේ අප කළ කර්මයන්ගේ විපාක යැයි කියන ආගමකට ද, එක ම රජයකින් ආධාර කරන්නේ, අනුග්‍රහ සපයන්නේ, කෙසේ ද? කෙටියෙන් කියතොත් බුද්ධ ශාසන අමාත්‍යංශ සමග ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ ද එක ම රජයකින් මෙහෙයවන්නේ කෙසේ ද?

මේ සියළු උභතෝකෝටියන්ට හා ඒ නිසා ඇති කරන විහිළු සහගත තත්වයට හේතුව රජය අනාගාමික නොවීම ය. ආගම්වලට නතු නොවී සිටිමට ඊට ඇති නොහැකියාව ය.

එයින් වැඩිමනත් ලෙස ප්‍රකාශයට පත් වන්නේ දේශපාලනඥයන්ගේ කෛරාටික කම හා අවස්ථාවාදීත්වය ය. ආගම පූජකයන්ට පවරා තමන් රාජ්‍ය පාලනයේ යෙදෙනවා වෙනුවට, රාජ්‍ය පාලනය තුළට ආගම රිංගවාගෙන, එයින් දේශපාලන වාසි ලබා ගැනීමේ ඔවුන්ගේ වුවමනාව ය. අවසානයේ සිදු වන්නේ මේ නිසා ආගම ද හෑල්ලු වීම ය.

ආගම හා ඉතිහාසය

ඉතිහාසය පුරා ම රජවරු සිය පාලනයට සුජාත භාවය ලබා ගත්තේ ආගමට අනුග්‍රහ දැක්විම හරහා ය. එක කලෙක, එය ලංකාවේ කොතරම් නම් ප්‍රචලිත වී තිබුනේ ද යත්, දන්ත ධාතූන් වහන්සේගේ භාර කාරිත්වය තිබුනේ කාට ද, ඔහු රජු හැටියට පිළිගන්නා තැනට පත් වී තිබුනේ ය.

මෙය ආගමික නායකයන් විසින් ද ඉවසීම නිසා අවසානයේ සිදු වූයේ ආගම රජුගේ වුවමනාවන් පිරිමහන තත්වයට පිරිහෙලීම ය. ආගම රජවරුන් වෙනුවෙන් කඩේ යැවීම ය. අද ද අප අත්දකින්නේ ඉතිහාසය පුරා රඟ දක්වන ලද ඒ නාඩගම ය.

ඒ නාඩගමට අනුව රජු ආගමටත් ආගම රජුටත් සේවය කළේ ය. එය කොතෙක් බලවත් වී ද යත් රජුගේ ආගම වෙනස් වූ රටක මිනිසුන්ගේ ආගම ද ඒ ඉක්මණින් වෙනස් වුනේ ය.

බුද්ධාගමට හරවා ගැනුනේ ලංකාවේ ජනතාව නොවේ. දේවානම් පියතිස්ස රජතුමා ය. බුද්ධාගම ආසියාව පුරා පැතුරුනේ ආගමික ප්‍රචාරකයන් විසින් ජනතාව හරවා ගැනීමෙන් නොවේ. රජවරුන් හරවා ගැනීමෙනි.

රජවරුන්ගේ යුගය අවසන් වූ පසු සියල්ල කණ පිට හැරුණු බව ඇත්ත ය. ඒ ජනතා කැමැත්ත චන්දයකින් ලබා ගත යුතු වූ නිසා ය. ඒ යුගයේ සිදු වූයේ, ජනතාවගේ ආගම, රටේ නායකයන් බවට පත් විමට අපේක්ෂා කළ අය විසින් වැළඳ ගැනීම ය. සියල්ල අනිත් පැත්ත ගිය ද නව මාදිලියේ “රජු“ හා ආගම අතර සම්බන්ධය එලෙසම, නොවෙනස්ව, පැවතුනේ ය. සිංහල රාජ්‍ය භාෂාව කිරීමටත්, බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමටත් පොරොන්දු වෙමින් සිය දේශපාලන ගමන ආරම්භ කළ, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක එසේ බුද්ධාගම වැළඳ ගත් එක් ක්‍රිස්තු භක්තිකයෙකි. දේශපාලන චරිත විමසන විට අපට තව එවැන්නන් බොහෝ හමුවේ.

මැලේසියාව, ඉන්දුනීසියාව, ඇෆ්ඝනිස්ථානය වැනි කලක බෞද්ධ වූ රටවල් මුස්ලිම් ආගමට හැරුණේ ද, රජවරුන් කළ ආගම් මාරුවලින් මිසක, ජනතාව ආගම් වල හරය දැන ඒවා වැළඳ ගෙන කටයුතු කිරිම ඔස්සේ නොවේ. ලංකාවේ ඇතැමුන් සිතන පරිදි මුස්ලිම් කුමන්ත්‍රණයක් නිසා නොවේ. බුද්ධාගම ආසියාවේ පැතිර ගිය ආකාරයට මඳකින් හෝ වෙනස් ව නොවේ. ලෝකය පුරා ආගම් පැතිරුණේ රජවරුන්ගේ දේශපාලන ව්‍යාපෘති වල කොටසක් ලෙස මිස ආගමික පූජකයන්ගේ ධර්ම දේශනා ව්‍යාපෘති හරහා නොවේ.

පසු කලෙක සාමය ගැන දේශනා කළ ආගම් පැතිර විම සඳහා තුවක්කුව යොදා ගැණුනේ ද ඒ අනුව ය. යුරෝපීය රටවල් විසින් ලෝකය ආක්‍රමණය කරන විට සිය හේවායන් දිරිමත් කළේ සෙසු රටවල ජනයා ආගමට හරවා ගැනීම ද ආක්‍රමණ ව්‍යපෘතීයේ ම වැදගත් අංගයක් බව සඳහන් පණිවුඩය ය. තුවක්කුව සමග හරි හරියට බයිබලය ද ඒ ආක්‍රමණ පිටුපස තිබුනේ ය.

දුටු ගැමුණු විසින් පරදවන ලද එලාර පිළිබඳ ඉතිහාස පුරා වෘත්තීන් කියන්නේ ඔහු ලංකාවේ රජ කළ වඩාත් ම ධර්මිෂ්ඨ රජ වූ බව ය. නීතිය සිය පුතුට ද එකසේ ක්‍රියාත්මක කළ, යහපාලනය අකුරටම ඉටු කළ, රජ කෙනෙකු බව ය. ඒ නිසා ඔහු එලවා දැමීම පහසු කාරණයක් නොවී ය. දුටු ගැමුණුට තිබුනු ප්‍රධාන අභියෝගය වී තිබුනේ ඒ යහපත් ධාර්මික භාවය ය. එලාර සම්බන්ධයෙන් මතුකරන්නට ඉතිරි ව තිබුණු එක ම ප්‍රශ්නය ඔහු අන්‍යාගමිකයෙකු වීම ය. දුටු ගැමුණුට තිබුණු අභියෝගය ජයගැනීමට එම ආගමික සාධකය පමණක් වුව ප්‍රමාණවත් වූයේ ය.

දුටු ගැමුණුගේ රට එකසේසත් කිරීමේ දේශපාලන අභිලාශය හා ව්‍යාපෘතිය බුද්ධාගම සමග එකට ගැට ගසා තිබුනේ යම් සේද යුරෝපීයන්ගේ ලොව ආක්‍රමණය ද ආගමට සම්බන්ධ කර තිබුනේ ය.

ආගමික නිකායන්ගේ උපත

ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලම නිකාය වලට බෙදී තිබේ. ඒ බෙදීම් බොහෝමයක් පිටුපස ඇත්තේ දේශපාලන ව්‍යපෘතීන් ය. ඇන්ග්ලිකන් පල්ලිය බිහිවන්නේ බ්‍රිතාන්‍ය රජුට සිය මෙහෙසිය දික්කසාද කොට වෙනත් මෙහෙසියක් කර කාර බැඳ ගැනීමට දික්කසාදයට අවසර නැති කතෝලික පල්ලිය විසින් අනුමත නොකිරීම අරබයා ඇති වුනු ගැටුමක පසුබිම තුළ ය. ලංකාවේ නිකායන් හැදෙන්නේ ද එක් එක් කුලයට බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස ය.

පෘතුගීසින් ලංකාවට එන්නේ කතෝලික පල්ලියේ නියෝජිතයා හැටියට ය. ලන්දේසීන් එන්නේ රෙපරමාදු නිකායේ නියෝජිතයා හැටියට ය. බ්‍රිතාන්‍යයන් එන්නේ අංග්ලිකන් නිකාය නියෝජනය කරමින් ය. මේ එක් එක් නිකාය විසින් ඉදිකර ඇති වෙනස් පල්ලි ලංකාව පුරා දැකිය හැකි ය.

මේ ඉතිහාසය විමසන විට පෙනෙන කාරණය නම් අජූත රජවරුන්ට පවා බොහෝ තැනක ඊට සමාන ආගමික පූජකයන් විසින් ආශිර්වාද කරනු ලැබූ බව ය. ආගමට රජු ද රජුට ආගමික පූජකයන්ගේ ආශිර්වාදය ද අත්‍යවශ්‍ය ව තිබූ බව ය. එකිනෙකා පිට කසා ගන්නා ක්‍රමයක් ඔවුන් විසින් හදා ගෙන තිබූ බව ය. යම් හෙයකින් විරසකයක් වී නම් ඒ හරහා තවත් අලුත් නිකායක් බිහි වූ බව ය. ඒ නිකාය විසින් රජු රැක ගත් බව ය. රජු‍ගේ ආශිර්වාදය නැතිව ගිය පසු ,මුල් ආගමික නිකාය දිය වි දුර්වලව ගිය බව ය. කුමක් වෙනස් වුව ද රජු හා ආගම අතර සම්බන්ධය නොවෙනස් ව පැවති බව ය. දෙපැත්තම අනෙත් පැත්තෙන් ජීවය ලබා ගත් බව ය. එසේ නැති තැනක අර්බුදයක් ඇති වූ බව ය. බොහෝ අර්බුද බලය තිබූ පාර්ශවයේ, වැඩි තැනක දී නම් රජුගේ පාර්ශවයේ, ජයග්‍රහණයෙන් කෙළවර වූ බව ය. කෙළවර කරන ලද බව ය.

ක්‍රිස්තුත් වහන්සේ විසින් කළ එක් ප්‍රකාශයක් මේ ගැන උන්වහන්සේගේ අදහස පැහැදිලි කරයි. ඒ ආගම හා රජය යන දෙකෙන් එකක් තෝරා ගැනීම සම්බන්ධයෙන් (බදු ගෙවීම ගැන උන්වහන්සේගේ මතය) උන්වහන්සේ විමසූ අවස්ථාවේ ය. “සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන් වහන්සේගේ දේ උන්වහන්සේට දෙන්න“. එයින් අප තේරුම් ගත යුත්තේ දෙකෙහිම පැවත්ම පිළි ගත යුතු බවට වූ උන්වහන්සේගේ අස්ථානය තුළ අර්බුදයක් මතු වීම උන්වහන්සේ හිතා මතා මග හැරිය බව ය. රජයේ අනුග්‍රහය හෝ අවම වශයෙන් ඉවසීම නැතිව ආගමක් පවතින්නේ නැත. රාජ්‍ය බලය, මහ පොළොව මත, දේව බලය ඉක්මවන්නේ ය. එකිනෙකා පැරදවීමෙන් නොව එකිනෙකාට පිහිට වීමෙන් පමණක් රජයට හා ආගමට පැවතිය හැකි ය.

අද වන විට රාජ්‍ය බලය නැතිව ආගමකට පැවතිය නොහැකි බව විශේෂයෙන් ප්‍රදර්ශනය වන්නේ ය. දහම් පාසල් පවත්වා ගෙන යෑමට, ඒවා පැවැත්වෙන කාලයේ ටියුෂන් පන්ති තහනම් කිරීම සඳහා, රාජ්‍ය අනුග්‍රහය ඉල්ලීමට තරම් ආගම් දුර්වල වී තිබීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඒ කාරණය ය. දහම් පාසල් යන සිසුන්ට විශේෂ අනුග්‍රහයන් පිරි නැමීමට රජය මෙහෙයවා ඇත්තේ ඒ නිසා ය. එයිනුත් නොනැවතී උපාසක උපාසිකාවන් පිරිවරා ගොස් ටියුෂන් පන්තිවලට කඩා පැන බලයෙන් පංසල් යවන්නේ ද ඒ නිසා ය.

ආගම රජයේ එල්ලීම

පෝය දින මත්පැන් විකිණීම තහනම් කිරීම හා චිත්‍රපටි නාට්‍ය පෙන්වීම තහනම් කිරීමට සිදු ව ඇත්තේ, මත් පැන්  පානයෙන් හෝ නච්ච ගීත වාදනයෙන් පෝය දිනයේ මිනිසුන්ව ඉවත් කිරීමට, තවදුරටත් සිල් පදයේ පිහිට ප්‍රමාණවත් නොවන නිසා ය.

ආගමට ගරු කිරීම තවදුරටත් මිනිසුන් ස්වෙච්ඡාවෙන් කරන්නක් නොව රජයේ මැදිහත් වීමෙන් කරවා ගත යුතු තත්වයට පත්ව තිබීම පෙන්වන්නේ ද ඒ කාරණයම ය. ආගමේ ගෞරවය රැක ගනු සඳහා පොලීසියේ සහය අවශ්‍යව ඇත්තේ ද ඒ නිසා ය. ආගම දෙස විචාරාත්මකව බැලීම පවා දඩුවම් ලැබිය යුතු වරදක් බවට රජය හා පොලීසිය ලවා පත් කිරීමට ස්වාමීන් වහන්සේලා කටයුතු කරන්නේ ඒ නිසා ය.

අදටත් ලංකාවේ බහුතරයක් මිනිසුන් සිතන්නේ, ආගමට ඇති බැතිය දුර්වල වීම නිසා, සමාජය බිඳ වැටීමකට තුඩු දිය හැකිය කියා ය. ඒ නිසා රජය හෝ මැදිහත් වී එයට තිරිංග යෙදීම වැදගත් කටයුත්තක් ලෙස සැළකෙන්නේත්, ඒ සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කරන දේශපාලනඥයන් ගැලවුම් කරුවන් ලෙස මිනිසුන්ගේ ගෞරවයට භාජනය වන්නේත්, ඒ නිසා ය.

අංගුලිමාලලාට ධර්මය අවබෝධ කර දෙනු වෙනුවට, ඔවුන් එල්ලුම් ගස් යවන්නට ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වන්නේ, රාජ්‍ය අනුග්‍රහයෙන් මිසක ධර්මයෙන් මිනිසුන් හීලෑ කර ගැනීමට අද වන විට නොහැකි ව ඇතැයි ඔවුන් පවා පිළිගන්නා නිසා ය.

සියල්ලේම නොවෙතත්, දියුණු බොහෝ රටවල්, ආගම රාජ්‍යයෙන් වෙන් කිරීමට කටයුතු කර තිබේ. ඒ රටවල තවදුරටත් ආගම මිනිසුන් යහපත් කිරීම සඳහා අත්‍යවශ්‍ය යාන්ත්‍රණ ලෙස සළකන්නේ නැත. සීසර් ගේ සීසර්ටත් දෙවියන්ගේ දෙවියන්ටත් දීමට ඔවුන් හිත හදා ගෙන තිබේ.

ආගමට පමණක් නොව, රාජ්‍යයකට පවා ඇති අත්තනෝමතික බලය, ඔවුන් තවදුරටත් පිළිගන්නේ නැත. පුද්ගලික නිදහස හා මානව අයිතිවාසිකම්, ඒ යාන්ත්‍රණ දෙකට ම වඩා ඉහළින් සැලකීමට ඔවුන් විසින් වග බලාගෙන තිබේ. ඒ නිසා ම ළමා විවාහයන්ට මෙන් ම කුඩා නොදරුවන් මහණ කිරීමට ද අවසර ලැබෙන්නේ නැත. රජය පමණක් නොව ආගම ද විචාරය කිරීමට විවේචනය කිරීමට ඉඩ හසර ඒ රටවල ජනයා විසින් අත් කර ගෙන තිබේ.

පාසල තුළ ආගම ඉගැන්වීම නවතා දමා තිබේ. ආගම ඉගැන්වීමේ කටයුතු ආගමික සංවිධානයන්ට හා පූජකයන්ට පවරා තිබේ. ඒ නිසා ඒ රටවල දරුවන්ට පාසල තුළ ගුරුවරු දෙදෙනෙකුගේ පරස්පර ඉගැන්වීම් දෙකකට මුහුණ දීමට සිදු වන්නේ නැත.

පුදුමයකට මෙන් ඒ රටවල අපරාධ ද අඩු ය. යුද්ධ කැරලි කෝලාහල අඩු ය. ජාතිය හා ආගම මත පදනම් ව සිදු වන ගැටුම් ද අඩු ය. ඒ රටවල් දෙස බැලූ විට පෙනෙන්නේ දියුණුව හා ආගම් අතර ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති බව ය. රටවල් දියුණු වන විට ආගම බැස යනවා ද ආගම බැස යෑම නිසාවෙන් රටවල් දියුණු වනවා ද යන්න ගැන අපට වාද කළ හැකි ය. එහෙත් තොරතුරු කියන්නේ සම්බන්ධය ප්‍රතිලෝම බවට නම් විවාදයක් නැති බව ය. දියුණුව හා ආගම එකට නම් නොපවතින බව ය.

ආගම හා රජය අතර දීගය

සමහර දීගයන් නොපෑහුනේ වුව ද දික්කසාදයකට කිසිදු පාර්ශවයක් සූදානම් නැත. මේ දීගය ද අද පත්ව ඇත්තේ එවන් තත්වයකට ය. එසේ වුව ද හැම පාර්ශවයක්ම උත්සහ කරන්නේ මෙය තවදුරටත් පවත්වා ගෙන යෑමට ය.

ධීවර අමාත්‍යංශය සමග රජයේ සම්බන්ධය අමතක කොට ආගමට දෙන අනුග්‍රහය තකා ඒ අනියම් ප්‍රේමය ඉවසන්නට ආගම සූදානම් ය. ආගම විසින් දමන්නාවූ තහංචි නිසා හා කරන මැදිහත් විම් නිසා, ආර්ථිකයට වි ඇති පාඩුව ඉවසන්නට රජය සූදානම් ය.

රජයෙන් නොලැබෙන සුරක්ෂිතතාවය, ආගමට එකතුව සම්පූර්ණ කරගන්නට මේ දීගයේ දරුවන් වූ ජනතාව ද සූදානම් ය. ආගමෙන් නොලැබෙන සුරක්ෂිතතාවය, පොලීසියෙන් හා හමුදාවෙන් ලබා ගෙන ආගමට සමාවක් දීමට ද දරුවන් වූ ජනතාව ඒ තරමටම සූදානම් ය. හොඳින් බලන්නේ නම් ඒ කිසිවකින් දරුවන් වූ ජනතාවට ලැබෙන සුරක්ෂිතතාවයක් නැත. එය හොඳින් ම ඔප්පු වූයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ දී ය. කල් ඇතුව දැනුම් දී තිබුන ද දේව ආරක්ෂාව පතා පල්ලියට ගිය මිනිසුන් ගලවා ගන්නට දෙවියන්ටවත් දෙවියන්ගේ ආගම් රකින රාජ්‍ය යන්ත්‍රණයටත් පුළුවන් වූයේ නැත.

ආගමික නායකයන් වගකීම රජයට පවරන අතර, රජය කරවන අය ගැලවීම සඳහා දෙවියන් යදින තැනකට පත් ව ඇත්තේ, ඒ සන්දර්භය යටතේ ය.

වඩාත් විකාර සහගත දේ වී ඇත්තේ ඒ ප්‍රහාරය දියත් කළේ ද ආගමේ නාමයෙන් වීම ය. රජය විසින් බලා කියා ගනු ලබන තවත් ආගමක නාමයෙන් වීම ය.

රජය සිටිය යුත්තේ සියළු ආගම් වලට ඉහළිනි. ඒ සඳහා මේ දීගය අවසන් කළ යුතු ය. රජය විසින් ආගම දික්කසාද කළ යුතු ය. ඒ කරන්නට ධෛර්යයක් ඇති කෙනෙකු වත්මන් දේශපාලනය තුළ දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ඒ සඳහා ජනයා තවමත් සූදානමක් නොපෙන්විම ය. එවන් තත්වයක් යටතේ එවැනි දික්කසාදයක් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන සිය දිවි නසා ගැනීමක් විය හැකි නිසා ය.

ජනයා දැනුවත් කරන සංවාදයක් මේ සම්බන්ධයෙන් සිදු විය යුත්තේ ඒ නිසා ය. තීරණාත්මක ජනතාවක් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එය කිරීමට කැමති කෙනෙකු හොයා ගැනීම ප්‍රශ්නයක් වන එකක් නැත. මේ සටහන, ඒ ජනතාව දිනා ගැනීම සඳහා කරනු ලබන තවත් එක් උත්සහයකි.

මෙයින් අදහස් කරන්නේ ආගමේ මෙහෙය අවසන් වී ඇති බව නොවේ. මිනිසුන්ගේ සිත් සුවපත් කර ලීමට එයට තවදුරටත් හැකි ය. එහෙත් මිනිසුන් පාලනය කිරීමේ ලා එයට කළ හැකි දේ අල්ප ය. ඒ සඳහා රජය සිටීම ප්‍රමාණවත් ය. ඒ භූමිකාව ඉටු කිරීම සඳහා ද ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු රිසි සේ කිරීමට ද රජයට නිදහස දීම ප්‍රඥා ගෝචර ය. ආගම සම්බන්ධ දේ ආගමටත් රජයට සම්බන්ධ දේ රජයටත් කරන්නට ඉඩ දී අනෙත් පාර්ශවය අයින් වීම බුද්ධි ගෝචර ය.

ආගම රැකීමටත් රට රැකී තිබිය යුතු ය. රට දියුණු වී සුඛිත මුදිත වී තිබිය යුතු ය. ඒ නිසා ම රට ආගම් වලට ඉහලින් තැබිය යුතු ය. ඒ නිසා ම අප කලින් ද සඳහන් කළ පරිදි රජය සියළු ආගම් වලට ඉහළින් තමන් ස්ථාන ගත විය යුතු ය. ඒ ආගම් අතර බේරුම් කාර භූමිකාවක් ඉටුකිරීමට ඒවා අතර වෙනස් කම් නිසා අමතර වශයෙන් රජයට සිදු වන ද නිසා ය.

 

මතුපිට ස්පර්ශ කරන බංකොළොත් තර්ක

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/08/05/Untitled-1f.jpg

තර්ක කර ඒ ආශ්‍රයෙන් නිගමන වලට එළඹීම හොඳ ය. එහෙත් ඇතැම් තර්ක ස්පර්ශ කරන්නේ මතුපිට ය. ඒ ගැඹුරට හිතන්නට ඇති කම්මැලි කම නිසා ය. එවිට එන නිගමන වල මෙලෝ රහක් නැත. එහෙමට වටිනාකමක් නැත.

තව කෙනෙකුට දමා ගසන්නට බොහෝ විට භාවිතා කරන මේ තර්ක මත ගොඩ නැගිය හැකි සංවාදය ළදරු ය. ඒවා මොන්ටිසෝරියෙන් එහාට යන්නේ නැත. පරිණත මිනිසුන් මේ සරල තර්කයේ නොගැඹුර දැකිය යුතු ය. ඒවායින් මිදීමට කටයුතු කළ යුතු ය.

මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ එවැනි තර්ක කීපයක් ගෙන හැර ඒ නිසා අපට වී ඇති වියවුල දක්වන්නට ය.

“හැමෝම කරන්නෙ එහෙමයි“.

හැමෝම කරන්නෙ එහෙනම් ඇයි මං විතරක් ඒ වැරදි වැඩෙන් වැළකෙන්න ඕන?

මේ මා පමණක් නොව, ඔබ ද අසා ඇති තර්කයක් බව මට විශ්වාස ය. මේ තර්කය අනුව අවශ්‍ය වැරදි වැඩක් කවුරුන් හෝ ආරම්භ කිරිම පමණ ය. එවිට ඒ දේ කිරීමට මට ද ලයිසන් ලැබෙන්නේ ය. රටක් අගාධයට යන්නට මෙවැනි මිනිසුන් සිටීම ම සෑහෙන්නේ ය. කළ යුත්තේ වැරදිකරුවන්ගේ පෝලිමට එකතු වීම නොවේ. අවසන් මිනිසා ඔබ සමග සිටින තුරු ද වැරදි නොකර සිටිම ය.

කුණු ගොඩක් නිර්මාණය කිරීමට බොහෝ විට අවශ්‍ය වන්නේ පළමු කුණු පොද දැමීම ය. සෙසු අය ඒ කුණු ගොඩට තම කුණු ද එකතු කරනු ඇත. අවසානය වන්නේ කුණු කන්දක් නිර්මාණය වීම ය.

මේ තර්කය වැරදි වැඩ සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම වැඩක් සම්බන්ධයෙන් ද මිනිසුන් ගෙනෙන තර්කයකි. එය අවදානම් මග හැරිම සඳහා ඉවහල් වන්නේ ය. මක්නිසා ද යත් කලින් කර ඇති නිසා කාලයේ පරීක්ෂණයෙන් සමත්ව ඇති නිසා ය. හැමෝම කරන විදිහට කළ විට සිදුවන්නේ නව යමක් නොවීම ය. නව ප්‍රතිඵලයක් අත් නොවීම ය. අතීතය තුළ රැඳීම ය. වරදක් සිදු නොවූවත් එක තැන පල්වීමට ය.

“ඉස්සරත් කෙරුණෙ එහෙමයි“

ඊළග තර්කය, ඉස්සරත් එහෙමයි කෙරුණෙ. මගේ තාත්තාත් එහෙමයි කළේ. සීයත් එහෙමයි කළේ. පරණ රජකාලෙත් කාරණා කටයුතු සිද්ධ වුනෙ ඒ විදිහට. ඒව වෙනස් කරන්න බෑ. ඒව වෙනස් කරන්න ඕන නෑ. ඒ කාලෙ යෝධ ගල් කණු ඉස්සුවෙ මිනිසුන්ට යෝධ බල යෝධ වීර්යය ලැබුනෙ ඒ නිසා. ඒ නිසා ඒ විදිහට තමයි වැඩ කෙරෙන්න ඕන.“

එය ද ඔබ අසා ඇති තර්කයකි. මේ තර්කය අනුව ද අපට සිදු වන්නේ සදාකාලිකව අතීතය තුළ හිරවීමට ය. අතීතය නැවත නැවතත් ඇති කිරීම ය. පවත්වාගෙන යෑම ය. ඒ තුළ ඉදිරියට යෑමක් නැත. අලුත් වීමක් නැත. එය එක තැන පල්වීම සඳහා නොවරදින ඔසුවකි. වර්ධනය, දියුණුව, කල් දා ගැනීමට නොවරදින මගකි.

අවශ්‍ය වන්නේ හැම නව දෙයක් ම ප්‍රතික්ෂේප කිරීම ය. ඒවා හෙලා දැකීම ය. තමන් පමණක් නොව අනුන් ද එසේ කරන බවට වග බලා ගැනීම ය. හොඳින් බැරි නම් නරකින් වග බලා ගැනීම ය. ප්‍රශ්නය වන්නේ අතීතය තවදුරටත් වත්මන් සන්දර්භය තුළ වලංගු නැති වීම ය.

මේ කටයුත්ත සමාන වන්නේ ධර්මය අසා දැන ගන්නට හැකි මූලාශ්‍ර ගණනාවක් තිබෙන රටක, ගුවන් විදුලිය පමණක් නොව, බෞද්ධ චැනල් බර ගණනක් ඇති, රූපවාහිනියක් ද තිබෙන රටක, තවදුරටත් දහම් පාසල වෙනදා විදිහට ම පවත්වා ගෙන යා යුතු යැයි කීමට ය. ඒ සඳහා ළමුන් සහභාගී නොවන්නේ නම්, ළමුන් සහභාගී කරවීමට දෙමාපියන් උනන්දු නොවන්නේ නම්, ඔවුන්ගේ හතර හන්දි කඩා හෝ ගෙන්වා ගැනීමට ය. නොඑන්නේ ටියුෂන් පන්ති නිසා නම් ඒවා ද තහනම් කිරීමට ය.

“බහුතරය නිවැරදි විය යුතු ය. සෙසු අය ඒ මතය පිළිගත යුතු ය“

ඊළග තර්කය වන්නේ “බහුතරයකගේ අදහස ඒකයි. ඒ අදහස හරි විය යුතු ය“ යන මතය ය. “එයට ඉඩ ලැබිය යුතු ය“ යන මතය ය. මේ තර්කය අනුව අලුත් යමක් පිළිගන්නට බැරි ය. එය බහුතරය මතය වීමට, මතය ඉදිරිපත්ව, බොහෝ කලක් යන නිසා ය.

ඒ මතයට අනුව, බහුතරයේ මතය පිළිගැනීමට බැරි අය රටින් තොලොංචි විය යුතු ය. ඒ මතය ඇති වෙනත් දේශයක් සොයා ගත යුතු ය.

එය අද දවසේ පන්සලේ සිදුවන පිරිත් ඝෝසාවට යොදා බැලුවොත් මෙසේ ය. යකඩ කට හරහා පිරිත් කණට එබිය යුතු ය. ඒ බහුතරයක් බුද්ධාගම අදහන නිසා ය. ඒ දහම හරි යැයි දකින නිසා ය. එසේ දකින්නට අපහසු අය රට හැර යා යුතු ය.

එහි අවසාන ප්‍රතිඵලය, බහුතරයට යටත් ව අතීතය තුළ ජීවත් වන්නට සිදු වීම ය. නව අදහස් ගෙන එන්නන් සමග ගැටුමකට යෑම ය. ඔවුන්ට කුණුහරුප වලින් සංග්‍රහ කිරීමට සිදු වීම ය.

බුදු හිමියන් එදා දඹදිව ධර්මය දෙසීමෙන් කරන ලද කාර්යය මේ ආකල්ප දරණ මිනිසුන් ඉන්නා අද වැනි යුගයක කරන්නට බුදුන්ට ද නොහැකි විම ය. ඒ බුදුන්, පවතින බහුතරයට, ප්‍රතිපක්ෂ අදහසක් දැරීම නිසා ය.

“පූජ්‍ය පක්ෂය හැම විටම නිවැරදි ය“

ඊළග තර්කය වන්නේ පූජ්‍ය පක්ෂයේ, භික්ෂූන්ගේ, උපදෙස් අනුගමනය කළ යුතු බව ය. එය කලින් තර්කයේ ම දිගුවකි. රටේ බහුතරයක් බෞද්ධ ය. ඒ බෞද්ධයින්ගේ පූජාවට පත්ව ඇත්තේ භීක්ෂූන් ය. එවැනි භික්ෂූන්ගේ උපදෙස් ඒ නිසා අනුගමනය කළ යුතු ය. තර්ක එන්නේ වැලට ය. එකට එකක් ඇමිණිලා ය. බැලූ බැල්මට එහි ද වැරැද්දක් නැත. එහෙත් ප්‍රතිඵලය දරුණු ය.

ඒ මතය පිළිගන්නට යන තැනැත්තා වැටෙන්නේ ලොකු අමාරුවකට ය. පිළිගත යුත්තේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ බණ ද නැතිනම් සමන්තභද්‍ර රහතන් වහන්සේගේ බණ ද බුදුන් ලංකාවේ ඉපදුනු බව කියන අභය හාමුදුරුවන්ගේ බණ ද අපවත් වී වදාළ වල්පොල රාහුල හිමියන්ගේ බණ ද වශයෙන් බොහෝ බණ තිබෙන නිසා ද ඔවුන් විසින් දෙන අවවාද එකිනෙකට පරස්පර නිසා ද අමාරුවේ වැටෙන්නේ මේ උපදෙස් හරියට ම බාර ගෙන පිලිපදින්නට හදන තැනැත්තා ය. කියන කොට එහෙම වුනාට කරන කොට එහෙම කරන්නට බැරි ය. එකවර වමටත් දකුණටත් කෙනෙකුට යා නොහැකි ය.

පරිනිර්වාණයෙන් පසු කාගේ උපදෙස් අනුගමනය කළ යුතු දැයි බුදුන් වහන්සේගෙන් විමසූ කල ලැබුනු උත්තරය වූයේ ධර්මයේ උපදෙස් පිලිගන්නා ලෙස ය. බොහෝ තනතුරු ලාභීන් ශාසනය තුළ ඒ වන විට ද සිටිය මුත්, ඒ කවරෙකු වත් නම් නොකොට, ධර්මය ම ගුරු තන්හි ලා සළකන්නට කීවේ, ලංකාවට තව අවුරුදු දෙදහස් පන්සියයකින් සිදු වන දෙය දිවැසින් බලා ගෙන දැයි සිතෙන තරමට දේ අද ලංකාවේ සිද්ධ වන්නේ ය.

එයිනුත් බුදුන්ගේ නිදහස් චින්තනය අවසන් වුනේ නැත. කාලාම සූත්‍රය හරහා බුදුන් වහන්සේ උවදෙස් දුන්නේ තමන්ගේ ධර්මය පවා ප්‍රශ්න කරන ලෙස ය. සිහි නුවණින් විමසන ලෙස ය. එහෙව් ධර්මයක් අදහමින් භික්ෂූන්ගේ උවදෙස් අනුගමනය කළ යුතු යැයි කියන්නේ කෙසේ ද? ඇත්ත කතා කරන්නේ නම් අද භික්ෂූන්ගේ උවදෙස් අනුගමනය කරන කෙනෙකුට සිදු වන්නේ බුදුන්ගේ උපදෙස් වලට පිටුපෑමට ය.

“සංස්කෘතිය සම්ප්‍රදාය ප්‍රශ්න නොකර පිළිගත යුතු ය“

ඊළග තර්කය වන්නේ සම්ප්‍රදාය පිළිගත යුතු බව ය. පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරනු ලැබූ උපදෙස් පිළිපැදිය යුතු බව ය. සංස්කෘතිය රැක ගත යුතු බව ය. දිගින් දිගට එන විශ්වාසයන්ට ගරහන්නේ නැතිව ඒවාට ගෞරව කළ යුතු බවය. එයට හේතුව ලෙස දැක්වෙන්නේ එය කාලයක් තිස්සේ පැවතීම ය.

ඒ අනුව අප ජෝතිෂ්‍ය පිළිගත යුතු ය. හඳේ හෙවනැල්ලෙන් අපේ ජිවිතය ද වැහෙන බවට විශ්වාස කළ යුතු ය. සිකුරු මංගල යෝග ගෙනෙන බව පිළිගත යුතු ය.

එහෙම ගත්තොත් සියල්ලට ඉහළින් පිළිගන්කට සිදු වන්නේ වැස්ස වලාහක දෙවියන් වැස්ස වැස්ස වූ බව ය. ඒ එයට දැනට තිබෙන කිසිම විශ්වාසයකට වඩා වැඩි කලක් පැවති නිසා ය.

මෙහි අවසාන ප්‍රතිඵලය ද අතීතය තුළ ගාල් වීම ය. එය අපට සිහිපත් කරන්නේ පන්සලේ සිටි පූසාගේ කතාව ය. හාමුදුරුවන් බණ කියන විට ඌ කරදර කිරීම හේතුවෙන් ලොකු හාමුදුරුවන් බණ ආරම්භයට පෙර ම පූසා කණුවකට ගැට ගැසිමට පුරුදුව සිටියේ ඒ ගැන කිසිවෙකුට කිසිවක් නොකියා ය. ලොකු හාමුදුරුවන් මරණයට පත් වූ පසු ද ගෝලයෝ ඒ පුරුද්ද ඒ විදිහටම කර ගෙන ගියෝ ය. ප්‍රශ්නය ඇති වුනේ නොබෝ දිනකින් පූසා ද මිය යෑම නිසා ය. දැන් කණුවේ බඳින්නට පූසෙක් නැති නිසා බණ ආරම්භ කිරීමට නොහැකි වුනේ ය. ඊට පසුව ගම පුරා අඩ බෙර ගසා පූසෙකු සොයා ගෙන පරණ කණුවේ බැඳීමට පියවර ගන්නා ලද්දේ ය.

බොහෝ පුරුදු ඒ වගේ ය. බොහෝ සම්ප්‍රදායන් ඒ වගේ ය. ඉතින් ඒවා විමසීමකින් තොරව අනුගමනය කරන්නන්ට සිදු වන්නේ බණ එක්කෝ නොකියා සිටිමට ය. නැතිනම් ආදේශක පූසෙකු සොයා ගම පීරීමට ය.

“පංචේන්ද්‍රයන්ට සියල්ල අහුවෙන්නේ නැත“

ඊළග තර්කය වන්නේ, පියවි ඇසට නොපෙනෙන, අපේ පංචේන්ද්‍රියන්ට හසු නොවන, බලවේග තිබිය හැකි නිසා කිසිදු ගුප්ත විද්‍යාවක් ප්‍රතික්ෂේප කළ යුතු නැතැයි කීම ය.

ඒ තර්කය දිගින් දිගට ගෙන ගියහොත් සිදු වන්නේ, ඕනෑම ඔල්මොරොන්දම් කාරයෙකු ඇතැයි කියන, ඕනෑම අටමගලයක් පිළිගැනීමට ය. එය අපට හසු නොවන නිසා නැතැයි කිව නොහැකි බැවිනි.

ඒ අනුව වාලම්පූරිය වාසනාව ගෙන දෙන බව ද හූනා සාස්තර කියන අනාගත වක්තෘවරයෙකු බව ද පිළිගැනීමට අපට සිදු වන්නේ ය. අංජනම් දේවියට හනුමාගෙන් වැඩ ගත හැකි බව ද දෙන්නාගේ ආධාරයෙන් නැති වූ දේ සොයා ගත හැකි බව ද පිළිගත යුතු ය. හොරු අල්ලා ගැනීමට එතරම් පහසු උපක්‍රම තිබිය දී පොලීසිය බොරුවට මහන්සි වන බව ද පිළිගත යුතු ය. වෙඩි නොවදින සුර තිබෙන බවත් අප කළ යුත්තේ ඒවා නිර්මාණය කර ලෝක යුද අවි වෙළඳ පොල වෙත මුදා හැරීම බවත් පිළිගත යුතු ය. මේ බලගතු ක්‍රම අනුගමනය නොකර පාච්චල් කිරීම නිසා අපේ හමුදා සෙබළුන් බොහෝ ගණනකගේ ජීවිත ද ඔවුන්ගේ අත් පා ද අහිමි වූ බව පිළිගත යුතු ය. ගංගා මෑණීයන්ට නිසි ලෙස ආරාධනා කළේ නම් ලෝක කුසලානය පවා අපට දිනා ගත හැකි ව තිබූ බව ද පිළිගත යුතු ය. කතරගම දෙවියන්ට අපේ වාහන ආරක්ෂා කළ හැකි බව ද පිළිගත යුතු ය. ඒ නිසා වාහන වලට ආරක්ෂක විධිවිධාන යෙදීම සඳහා ජපනුන් අනවශ්‍ය ලෙස වද වෙන බව පිළිගත යුතු ය.

අපට දැනෙන හැඟෙන දේ නම් අපට පෙනෙන අපේ ඉන්ද්‍රියන්ට හසුවන බලවේග මෙල්ල කර ගැනීමෙන් මිසක, එසේ හසු නොවන බලවේග මෙල්ල කර ගැනීමේ ක්‍රමයකින් ජය ලැබූ රටවල් නැති බව ය. එවැනි බලවේග ගැන විශ්වාස කළ මිනිසුන්ට සිදු වුනේ මහන්සියෙන් හරි හම්බ කරගත් දේ බොරු කාරයින්ට පූජා කිරීමට ය.

“අහඹු සිදු වීමකින් න්‍යායයක් ගොඩ නැගිය හැකි ය“

ඊළග තර්කය වන්නේ අහම්බයෙන් සිදු වන දෙයක් ඉදිරියට ගෙන එය හාස්කමකින් සිදු වූ බව කීම ය. එය අප කලින් සඳහන් කළ තර්කයට ද සම්බන්ධ ය. හාස්කම නොපෙනෙන බලවේගයන් විසින් ඇසට පංචේන්ද්‍රියන්ට හසු නොවන බලවේගයන් විසින් කරන්නේ යැයි සිතන නිසා ය.

දළදා සමිඳුන් එලියට වඩම්මන වෙලාවට වැසි වැටෙන්නේ යැයි කියන්නන් කරන්නේ ඒක ය. ඇතැම් දිනක එසේ වන්නට ඇත. එහෙත් එයින් න්‍යායක් ගොඩ නගා ගැනීමට පර්යේෂණයක් කිරීමට අවශ්‍ය යැයි දැනෙන්නේ නැත. ඒ අහඹු සිදුවීම ඒ සඳහා ප්‍රමාණවත් ය. මේ ගැන කොටගම වාචිස්සර හිමියන් කියන්නේ ඒ කතාව ඇත්ත නම් බුදුන් සිටි සමයේ දඹදිව දිගටම ගංවතුරෙන් පිරී තියෙන්නට ඇතැයි කියා ය. ඒ බුදුන් වචන වහරණ හැම වෙලාවක ම බුදුන්ගේ දන්ත ධාතූන් නිරාවරණය වන නිසා ය.

අනතුරකින් නූලෙන් බේරුණු කෙනෙකු ඔහුගේ එම බේරීම බාර දෙන්නේ පැළඳි සුරයට ය. නැත්නම් පිරිත් නූලකට ය. ඒ එවැනි අනතුරු වලින් බේරුණු, සුර නොපලන්, පිරිත් නූල් අතේ නැති, අටෝ රාසියක් මිනිසුන් සිටිය දී ය.

සුනාමියට බේරුණු බුදු පිළිම හා සුරුවම් කීපයක් පෙන්නා ඇතැමුන් කියන්නේ ඒවා බේරී ඇත්තේ හාස්කමකින් බව ය. බුදු පිළිම නිකම් බිම වැටුනොත් කැඩෙන බවත් එහි දී මේ හාස්කම් දක්වන බලවේග අහක බලන්නේ මන් ද යැයි පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන්ට නැත. මිනිසුන් බිලි දී සිමෙන්ති වැලි පිළිම බේරාගන්නා බලවේග අමානුෂික යැයි ද ඔවුන් සාධාරණ යැයි සළකන ලෝක පාලක බලවේගයන් ඒ් තරමටම අමානුෂික විය හැකි දැයි යන්න සම්බන්ධයෙන් ද මේ කියන මිනිසුන්ට වගේ වගක් නැත.

“සංඛ්‍යාත්මක සම්බන්ධයක් හැම විටම හේතු ඵල සම්බන්ධයකි“

ඊලග තර්කය වන්නේ එකිනෙකට සම්බන්ධ නැති ක්‍රියාදාමයන් දෙකක් සම්බන්ධ කොට දැක්විම ය. සමගාමීව සිදුවන සිදුවීම් දෙකක් එකක් අනෙකේ හේතුව ලෙස ගැනීම ය.

බ්‍රිතාන්‍යයේ අයිස් ක්‍රීම් වෙළඳාම සරු කාලයට දියේ ගිලී මිය යෑම ද වැඩි ය. මේ දෙක එකතු කොට අපට න්‍යායයක් ගොඩ නැගිය හැකි ය. යම් අදිසි බලවේගයක් නිසා අයිස් ක්‍රීම් දියේ ගිලෙන්නට මිනිසුන් පොළඹවන බව ය. අයිස්ක්‍රීම් අප හිතන තරම් අහිංසක නැති බව ය.

මෙවැනි සම්බන්ධකමක් භාවිතයෙන් ගොඩ නගන න්‍යායයන් තුළ, යම් විද්‍යාත්මක බැඳීමක් ඇතැයි සැක කිරීමට ඉඩ තිබෙන නිසා, මිනිසුන් ඒවා විශ්වාස කිරීමට වැඩි පෙළඹවීමක් ඇත්තේ ය. ඒ මේ සම්බන්ධය සංඛ්‍යා ලේඛන ඇසුරෙන් පෙන්විය හැකි නිසා ය. සංඛ්‍යාලේඛන සත්‍ය වුව ද විමසා බැලීමේ දී පෙනී ගොස් ඇත්තේ අයිස් ක්‍රීම් කෑම හා දියේ ගිලී මිය යෑම අතර සම්බන්ධයක් නැති බව ය. අයිස් ක්‍රීම් කෑමත් දිය නෑමත් යන දෙකම ග්‍රීස්ම කාලයේ එකිනෙකින් ස්වායත්තව සිදු වන බව ය. ඒ දෙකින් ම එකසේ ග්‍රීස්මයට යම් සහනයක් ජනයාට ලබා දෙන බව ය. දිය නෑම වැඩි වන විට, දියේ ගිලී මිය යෑමට ඇති ඉඩ ද, වැඩි වෙන බව ය. තෙවැනි හේතුවක් නිසා ඒ දෙක, අයිස් ක්‍රීම් කෑමත් දියේ ගිලී මිය යෑමත්, වෙන වෙනම ඇති වන බව ය.

“නුහුරු නම් ඉවත ලන්න“.

ඊළග තර්කය, යම් අදහසක් තමන්ට නුහුරු, වෙනස්, ප්‍රභවයකින් උත්පාදනය වූවේ නම් එහි යම් අඩුවක් ඇතැයි කීම ය. වැරදි වෙන්නට ඉඩ ඇතැයි හැඟීම ය. ඒ කියන්නේ අදහස බටහිර නම් දෙවරක් නොබලා ම එය ප්‍රතික්ෂේප කළ හැකි බව ය. එය යුදෙව් ක්‍රිස්තියානි යන ලේබලය අමුණා ඉවත දැමිය හැකි බව ය. කියමන වෙන ආගමක නම් අහක බලා ගෙන විසි කළ හැකි බව ය. තමන් සතු සියල්ල හරි බව ය. ශ්‍රේෂ්ඨ බව ය. අනුන්ගේ හැම දෙයක් ම ඇද බව ය. කුදු බව ය.

මෙයින් සිදු වන්නේ අප ඉගෙනිමට අසමත් වීම ය. නව අදහස් වලට බාධා ඇති විම ය. නැවත වතාවක් පැරැන්න තුළ අප ගාල් විම ය. අතීතයට කොටු වීම ය.

දියුණුවන මිනිසුන්ට නව දැනුම කුමන ප්‍රභවයකින් ජනිත වූයේ ද යන්න ගැටළුවක් නොවේ. ඔවුන් විමසන්නේ එහි හරි වැරැද්ද පමණ ය. එතැන දී විවෘතව බැලීමට ඔවුන් සූදානම් ය. නව දැනුම දෙස විවෘතව බැලීමටත් තමන්ගේ පැරණි දැනුම දෙස විචාරාත්මකව බැලිමටත් ඔවුන්ට හැකි ය. නව දැනුම සරල තර්කයෙන් කපා කොටා විනාශ කිරීමට ඔවුන් කටයුතු කරන්නේ නැත.

එහි අනිත් අන්තය ද බොළඳ ය. ඒ දේශීය දේ බාල බව, කිසිදු වග විභාගයකින් තොරව, තීරණය කිරීම ය. දේශීය හැම දෙයකට ම ඇලජික් වීම ය. දේශීය දේ සරල තර්කයෙන් නිශ්ප්‍රභා කිරීම ය.

මෙවැනි තර්ක වලින් ජීවිතය දිහා බලන තාක් අපට ගැලවිල්ලක් නැත. නිදහසක් නැත. අනාගතයක් නැත. ඒ නිසා ම මේ බොළඳ, ළදරු, සරල ලෝකය තුළ කොටුවන්නේ නැතිව තිරිහන් වෙන්නට සිතා ගත යුතු ය.

විද්වතුන්ට මඟ හැරෙන චන්දයේ වරුණ

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/07/22/1111.jpg

 

ක්‍රිකට් ලෝක කුසලානය උදෙසා අපේ සටන අවසන් වූයේ පූර්ව අවසන් වටයට හෝ තරග කරනු ඇතැයි තිබූ අපේ බලාපොරොත්තු සුන් කරමිනි.

සාෆි වෛද්‍යවරයාට එරෙහි සටනට ද පිට පොට ගසා ගෙන පැමිණි අපේ කණ්ඩායම ඒ වේගයෙන් ම පල්ලම් බැස ගියේ අවසානයේ අවසන් පරීක්ෂණයට කිසිවෙකු ඉදිරිපත් නොවෙමිනි.

හැම සටනකින්ම පරදින්නට අපට බැරි ය. අප ඇඟිලි ගැන ගැන ඉන්නේ ඊළග සටන එනතුරු ය. ඒ ජනාධිපති කුසලානය සම්බන්ධයෙන් වන සටන ය. එහි දී වත් අප අපේ කණ්ඩායම දිනා ගත යුතු ය. ඒ නිසා ම මේ සටනේ ගතිකයන් අප පළමුව තේරුම් ගත යුතු ය. එහි ස්වභාවය අප තේරුම් ගත යුතු ය.

සමහරු සිතාගෙන ඉන්නේ මේ තුළ ප්‍රකාශ මාන වනු ඇත්තේ ප්‍රතිපත්ති අතර ගැටුමක් බව ය. එහෙම හිතන අය බොහෝ මහන්සියෙන් ප්‍රතිපත්ති හදා ගෙන ඒවා ඉදිරිපත් කිරීමට සූදානම් වෙති. ඒ අය අතර ඉදිරියෙන් ඉන්නේ මැතිවරණ ගැන මොන බෝලයක්වත් නොදන්නා විද්වතුන් ය. ඔවුන් නොදන්නවාට, චන්දය අද පමණක් නොව ඉතිහාසයේ කවර දිනකවත් ප්‍රතිපත්ති මත පදනම් වූයේ නැත. ඒ මත කෙරුණු ගැටුමක් වූයේ නැත.

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා සැළකෙන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ය. නිදහස් අධ්‍යාපන පනත, සිය සගයින්ගේ ද නොමද විරුද්ධත්වය මැද්දේ, රාජ්‍ය සභාවට ගෙනාවේ ඔහු ය. ඒ වෙනුවෙන් පැය 6 ක දීර්ඝ කතාවක් කළේ ඔහු ය. පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ඉන් පිටත දීත් විරුද්ධවාදීන් සමග වාද කරමින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමට අතිශය දුක් කන්දරාවක් වින්දේ ඔහු ය. ඒ පනත ඉදිරිපත් කර වසර දෙකකින් පැවති මැතිවරණයෙන් ඔහු පැරදුනේ ය. ඒ අගලවත්ත ආසනයට තරග වදිමිනි. පැරදුනේ විල්මට් පෙරේරාට ය. වැඩි ඡන්ද දෙදහස් ගණනකිනි. කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති හදමින් කාලය ගත කරද්දී විල්මට් පෙරේරා ගමේ ළමුනට යෑමට පාසලක් හැදුවේ ය. ජයගත්තේ ප්‍රතිපත්ති නොව ගමට කළ වැඩ ය.

ගමට වැඩ කළ පමණින් ද දිනන්නට දැන් බැරි ය. පසු ගිය ප්‍රාදේශීය සභා චන්දයේ දී මහරගම ආසනය ජයගත්තේ මහරගමට හදිසියේ ගොඩ වැදුණු පිටගම් කාරයින්ට ටික දෙනෙකු ය. උන් ගමට නොව, කිසිම කෙනෙකුට කළ කිසි දෙයක් නැත. උන් දින්නේ පොහොට්ටුවේ නාම ලේඛණය ප්‍රතික්ෂේප කිරීමෙන් මතු වූ හිඩැස හරහා ය. ඒ වෙනුවට පොල්පිත්තක් තිබුණත් දිනන්නට ඉඩ තිබුණේ ය.

ජනාධිපතිවරණය පමණක් නොව ඕනෑම මැතිවරණයක් යනු මේ වනවිට මාධ්‍ය කැම්පේන් දෙකක් අතර සටනක් බවට පත් ව ඇත්තේ ය. මිනිසුන්ට හොරා ඔවුන්ගේ යටි හිතට රිංගන්නට සමත් වන්නේ කවුද ඔහු / ඇය දිනන්නේ ය.

අහිමි වීමේ බය

අපේ මිනිසුන් බොහෝ දෙනෙකු බය ය. තව කවුරුන් හෝ තමන් ව, තමන්ගේ ජාතිය, ආගම, භාෂාව, ගිලගනු ඇතැයි ඔවුන් බය ය. ඒ ගිනි පෙළෙල්ලකින් බැට කා ඇති නිසා ය. ඒ නිසා ම කලාමැදිරි එලියක් වුව බිය ගෙන දෙන්නේ ය. පළමුව කළ යුත්තේ ඒ බය, සුළු පහේ බයක්, නොව මාර බයක් කිරීම ය. ඉන්පසු ඒ බයෙන් උන් ගලවා ගැනීමට ඉදිරිපත් වීම ය. උන්ගේ එක ම ආරක්ෂකයා වීම ය. ගැලවුම් කරුවා වීම ය.

දෙදහස් දහය වසරේ ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන්නේ කොටින්ගෙන් රට ගලවා ගත් ගැලවුම්කරු හැටියට ය. ඔහුට අලගු තියන්නටවත් කෙනෙකු එජාපයට එදා සිටියේ නැත. කලබලයෙන් රට ගලවා ගත් හමුදාපති සූදානම් කර ගත්තේ ඒ නිසා ය. දෙදහස් පහලොව වන විට අපට සතුරෙකු සිටියේ නැත. රට ගලවා ගත යුතුව තිබුනේ හොරුන්ගෙන් යැයි මතයක් ඒ වනවිට සමාජය තුළ මුල් බැස තිබුනේ ය. යහපාලනය ආවේ ද ඒ අනුව ගැලවුම්කරුවෙකු ලෙස ය.

මිනිසුන් බය විය යුතු දේ ද තිබේ. එහෙත් ඒ දේ පහසුවෙන් යටපත් කර ගත හැකි නම්, මෙල්ල කර ගත හැකි නම්, නිරාවරණය කර ගත හැකි නම්, මිනිසුන් තවදුරටත් බය වන්නේ නැත (හොල්මන් වලට, කළුවර සමග ජීවත්වන ගමේ මිනිසුන් මිසක, ආලෝකය මැද ජීවත්වන නගරයේ මිනිසුන් බය නැත). ඒ නිසා බය මතුකර ගත හැකි එවැනි ගිනි පුළිඟුවක් ලැබුණු විට එය මොනයම් ක්‍රමයකින් හෝ රැක ගෙන අවුළුවා ගත යුතු ය.

බැරිවෙලාවත් පුළිඟුව නිවී ගියොත් අප්සෙට් ය. එහෙම වූ විටක බිය ඇති කිරීම සඳහා නැති බිල්ලන් මැවිය යුතු ය. එකෙක් නොව බිල්ලන් සීරිස් එකක් ම මැවිය හැකි නම් වඩාත් හොඳ ය.

පාස්කු ඉරිදා අමන මිනිසුන් කීප දෙනෙකු විසින් අවුළුවන ලද්දේ ඒ ගිනි පුළිඟුව ය. එය විශාල ගින්නක් ඇති කළ ද ඉක්මණින් නිවී ගියේ ය. තව කලකට අල්ලා සිටියේ විසිරුණු අළු ය.

ඒ නිසා ඇතැම් අය දුකට පත් වූහ. ඔවුන් ගිනි අවුළුවන්නට, කළ හැකි, බොහෝ දේ කළෝ ය. එහෙත් අපේක්ෂිත ප්‍රතිඵල ඒ පමණට ම ලැබුනේ නැත. එසේ වුව ද මාධ්‍ය කැම්පේන් හරහා එය දිගින් දිගට පවත්වා ගෙන යෑම උත්සහය තවම අත් හැර නැත.

මිනිසුන් භීතියට පත් කළ විට ඔවුන් ගැලවුම්කරුවාගේ කැරැට්ටුව විමසන්නේ නැත. ඔහුගේ පෙර වැරදි වලට සමාව ඒ නිසා ම ලැබෙන්නේ ය. පෙර වැරදි සම්බන්ධයෙන් මාධ්‍ය කැම්පේන් මෙහෙයවන අය උත්තර බඳින්නට යන්නේ නැත්තේ ඒ නිසා ය. හොරකම් කරාට මොකද රට බේර ගත්තානෙ යැයි ප්‍රසිද්ධියේ කියවෙන්නේ ද මේ නිසා ය.

මේ ලංකාවට සුවිශේෂී තත්වයක් නොවේ. අතිශය ශක්තිමත් යැයි කියන ඇමරිකාව ද අත් දුටු සත්‍යයකි. වියපත් වැඩිහිටියෙකුගේ සිරුරක් තුළ ජීවත්වන, වසර දොළහක ළදරුවෙකු, වැනි යැයි ඇමරිකාවේ ම බොහෝ මිනිසුන් කියන ට්‍රම්ප් ජනාධිපති වන්නේ ද සංක්‍රමණිකයන් විසින් ඇමරිකාව ගිල ගනු ඇතැයි යන භීතිකාව උපයෝගී කරගෙන ය. ඔහු දුන් පොරොන්දු අතර ලොකුම පොරොන්දුව වූයේ ඇමරිකාවත් මැක්සිකෝවත් අතර දේශ සීමාව ආරක්ෂා කරනු වස් ලොකු තාප්පයක් සිමෙන්තියෙන් ඉදිකරන බව ය.

අපේ කම

මිනිසුන්ගේ බය පහ වන විට මිනිසුන් ඇමතිය හැක්කේ අපේ කමට ය. ගමේ කමට ය. එවන් වකවානුවල මාධ්‍ය කැම්පේන් කාරයින් ඉලක්ක කර ගන්නේ මේ අපේ කම ය. එවිට හැදෙන්නේ ගමට හිතැති, අපට හිතැති, අපේ මිනිහෙකි. ගමට අපේ මිනිහා වන්නේ ජාතික ඇඳුම අඳින කෙනෙකි. සිංහලෙන් “දොඩන“ කෙනෙකි. නගරයට කළු කෝට් ඇඳ ගෙන ඉංග්‍රිසියෙන් කතා කළාට එහෙමට ප්‍රශ්නයක් නැත. දෙදහස් පහේ ජනපතිවරණය ජාතික ඇඳුමත් කෝට් එකත් අතර අරගලයක් වූයේ ය. ජනාධිපතිවරණ ප්‍රතිඵල විමසන කෙනෙකුට මෙහි බලපෑම කුමක් දැයි සොයාගත හැකි ය. ගමේ ජාතික ඇඳුම ජය ගන්නා විට නගරය තුළ කෝට් බෑය ජය ගෙන තිබුනේ ය.

දෙදහස් පහලොවේ ජාතික ඇඳුම අඳින කෙනෙකු පිටින් ආනයනය කරන්නට එජාපයට සිදු වූයේ ඒ නිසා ය. නගරයේ රනිල් හා ගමේ මහින්ද වෙනුවට, එවර මාගම් පත්තුවේ මහින්ද සමග තරගයට ආවේ ගොවියෙකුගේ පුතෙකු වූ රජරට මෛත්‍රි ය. ඒ “නම්“ දෙකම, මාර ය. එකක්, මෙරටට බුදුදහම ගෙනා මහින්ද හිමියන්ගේ ය. දෙවැන්න, මෛත්‍රී බෝසතුන්ගේ ය. ඉදිරියට බුදු බව ලැබීමට ඉන්නා මෛත්‍රී බෝධිසත්ත්වයන්ගේ ය. මේ “නම්“ විසින් යටි හිත පෙරලන්නේ අප නොදැනුවත්ව ය. ඒ නිසා මෛත්‍රී, ප්‍රතිවිරුද්ධ පිලට “මෛත්‍රී“ වූයේ නැත. ඔවුන්ට ඔහු සිරිසේන විය. ඒ නිකම් ම නිකම් සිරිසේන නොවී අයියෝ සිරිසේන වූයේ තවදුරටත් දෙකේ කොළයට දෑමීම ට ය. මෛත්‍රී නමේ ආකර්ෂණය බිඳින්නට ය. ඒ වුනාට වැදගැම්මක් නැති සිරිසේනට, ප්‍රබල මෛත්‍රී පරාජය කරන්නට හැකි වුනේ නැත.

ගැලවුම්කරුවෙකු, අපේ මිනිහෙකු, වීමට අමතරව ඉදිරිපත් වන පුද්ගලයාගෙන් අපට වැඩක් කර ගත හැකි විය යුතු ය. ඔහු හෝ ඇය, අපට ප්‍රයෝජනවත් කෙනෙකු විය යුතු ය. අපේ අතිමහත් සිල්ලර වැඩ කළ හැකි කෙනෙකු විය යුතු ය. පොඩි දරුවා ජාතික පාසලකට දා ගත හැකි, ලොකු එකාට රස්සාවක් අරන් දිය හැකි, බිරිඳට මාරුවක් හදා දිය හැකි, ගමට බෝක්කුවක් ලබා දිය හැකි, කෙනෙකු වන්නේ දිනන මිනිසා ය. පරදින එකාට මේ මොකවත් බැරි ය.

බලය හා ජය

ඊට අමතරව ඔහුට බලයක් තිබිය යුතු ය. දේශපාලන බලයට අමතරව බාහු බලයක් ද පිරිස් බලයක් ද තිබිය යුතු ය. වාග් ප්‍රහාර එල්ල කළ හැකි බලයක් තිබිය යුතු ය. අනෙකා බිය ගැන්විය හැකි මැර බලයක් ද තිබිය යුතු ය. ඒ අවශ්‍ය තැනක නීතිය නවන්නට ය. හොඳින් නැත්නම් නරකින් හෝ අපේ කාර්යය කර දීමට ය. ගහලා හෝ බලය ගන්නට අවසර ලැබෙන්නේ ඒ මානසිකත්වයේ ඉඳ ගෙන ය. නිකම් ජොකියෙකු නොව පොරක් ඕනෑ ඒකට ය. පොන්නයෙකු වෙනුවට සැබෑ සිංහයෙකු අවශ්‍ය ඒකට ය. මනාප ලැයිස්තුවේ බොහෝ දිස්ත්‍රික්කවල ඉන්නේ හොඳම මැරයා වීම අහම්බයක් නොවන්නේ ඒ නිසා ය. මහසෝනාට රාවණාට ඇති ආකර්ෂණය පිටුපස ඇති රහස ද අපි යක්කු බොලව් යැයි සමහරුන් කියන්නේ ද ඒක ය.

මාකටින් කැම්පේන් එකේ ඊළඟ වැදගත් කම කාර්යය වන්නේ, තමන්ගේ ජොකියා දිනන එකාම බව, තහවුරු කර දැක්වීම ය. කෙනෙකු කොතරම් යහපත් වුව ද, දිනන්නට ඉඩක් ඔහුට / ඇයට නැත්නම්, වැඩක් වන්නේ නැත. ලොකු කට්අවුට්, දැවැන්ත රැස්වීම්, නිරන්තර පෙනී සිටීම්, අතිවිශාල මාධ්‍ය ආවරණයන් මේ සඳහා අවශ්‍ය ය. විශාල මුදල් සම්භාරයක් ඒ සඳහා වියදම් කළ යුතු ය.

රැස්වීමකට නම් වේදිකා ඉදිකළ යුතු ය. වැස්සෙන් අවුවෙන් ආවරණය වන රැස්වීම් ශාලා ඉදිකළ යුතු ය. මිනිසුන්ට රැස්වීමට සහභාගි වීමට දිරි දීමනා ගෙවිය යුතු ය. බත් පැකට් එකක්, “කාලක්“, දිය යුතු ය. ගමන දුර නම් ගමන් වියදම් දිය යුතු ය. රුපියල් පන්සියයක් වත් අතට දිය යුතු ය. රැස්වීම් පවත්වන ගම් හතකටවත් එහා සිට දැන්වීම් ප්‍රදර්ශනය කළ යුතු ය. සෙනඟ ගෙන එන කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රසාද දිය යුතු ය. බලයට පත් වුනාට පසු කොරන්නම් යන ප්‍රතිඥාව යටතේ මෙයින් සමහරක් ලබා ගත හැකි ය. එහෙත් අද, දෙන්නම් කාසිවලට වැඩ කරන්නේ එහෙමත් කෙනෙකු පමණ ය. ළඟම කෙනෙකු පමණ ය. ආණ්ඩු බලය තිබේ නම් ඉතින් තරමකට ගොඩ ය. ප්‍රතිපාදන භාවිතා කිරීමටත්, යාන වාහන ලබා ගැනීමටත්, අමතර අවස්ථාවක් ඇති නිසා ය. සිල් රෙදි, ඔරලෝසු, බයිසිකල් බෙදන්නට ඉඩ ලැබෙන නිසා ය. ආණ්ඩුවේ මාධ්‍ය ලෝස් නැතිව කඩේ ඇරිය හැකි නිසා ය. අන්තිම මොහොතේ පවා විපක්ෂය ද තමන්ගේ ආණ්ඩුවක් ලබා ගන්නට වෙර දැරුවේ, දරන්නේ, ඒ නිසා ය.

අපේ ගැලවුම් කරුවා ලෙස ද අපේ ම මිනිහා ලෙස ද වැඩක් කර ගත හැකි මිනිසා ලෙස ද බලය ඇති මිනිසා ලෙස ද ඊළග වටයේ ජයග්‍රාහකයා ලෙස ද මාධ්‍ය කැම්පේන් හරහා භෞතීස්ම කරනු ලබන මිනිසා, දැන් අපේ මිනිසා වන්නේ ය. දැන් අපට හුරේ දැමීමට පැත්තක් ඇත. මේ කැම්පේන් එක තුළ “ඇත්ත“ අතුරුදහන් වී ගියත්, නැත්තටම නැතිවී ගියත්, ගන්නට “පැත්තක්“ දැන් අපට ඇත.

දැන් තියෙන්නේ අපේ පැත්තට හුරේ දමන්නට ය. අනෙකාගේ වැරදි මතු කර පෙන්වන්නට ය. නැති වැරදි ඇති කරන්නට ය. බොරුව උපද්දන්නට ය. එයට තටු ලබා දෙන්නට ය. අපේ වැරදි හංගන්නට ය. ඒවා බොරු බව කියා ප්‍රතික්ෂේප කරන්නට ය. විරුද්ධ වාදීන් නිහඩ කරන්නට ය. උන්ට අතින් පයින් බැරිනම්, කුණුහරුපයෙන් වත් සංග්‍රහ කරන්නට ය.

චන්දය ආතල් ය

ක්‍රිකට් මැච් එකට වඩා මේ මැච් එක ආතල් ය. ක්‍රිකට් මැච් එකේ අපට තියෙන්නේ හුරේ දමන්නට විතර ය. වැඩ කෑල්ල තියෙන්නේ ක්‍රීඩකයන් අතේ ය. මේ මැච් එකේත් ක්‍රීඩකයන්ට යම් වැඩ කොටසක් ඇතත්, එය අර තරමට ම තීරණාත්මක නැත. අවසානයේ දී ලකුණු රැස් කර දෙන්නේ අප නිසා ය. ඒ චන්දය හරහා ය. හුරේ දමා පැත්තකට වී සිටින්නේ නැතිව, වැඩ පෙන්වීමට මෙහි දී අපට හැකි ය. ඇත්තට ම අප වැඩ පෙන්නුවා වගේ පෙනුනාට, වැඩ කර තිබෙන්නේ මාකටින් කැම්පේන් එක ය. ඒකට අහුවුනු අප හරහා ය. ඒ වුනාට අපට හිතෙන්නේ තීරණය අපේ වගේ කියා ය. ඒ සිතුවිල්ල ම ආතල් ගැනීමට කාරණයකි.

අහුවෙලා බව දන්නේ නැතිව අප අසුවීම තිබීම නිසා, එයින් ආතල් ගැනීමට බාධාවක් වන්නේ නැත. ඉතින් මේ දවස්වල අපට කතා කරන්නට තරම් වෙන ප්‍රශ්නයක් නැත. කතා කරන වෙනත් බොහෝ ප්‍රශ්නයක පවා අවසාන සම්බන්ධය ඇත්තේ මේ ආතල් චන්දයේ ය. අපේ අපේක්ෂකයා හා කණ්ඩායම දිනවීමේ මහඟු කාර්යයේ ය.

මේ රටේ විද්වතුන් කොතරම් නොමේරූ ළදරුවන් ද යත් මේ තත්වය ගැන හාංකාසියක අවබෝධයක් වත් ඔවුන්ට නැත. ඇමරිකාවේ ට්‍රම්ප් හා ඔවුන් අතර වෙනස වන්නේ, ට්‍රම්ප්ගේ ශරීරය තුළ හිතුවක්කාර ළදරුවෙකු ජීවත්වන විට, මේ අයගේ ශරීර තුළ අම්මලා තාත්තාලාගේ භූමිකා රඟ දක්වන්නට, රටේ ඇති වෙනත් භූමිකා රඟ දක්වන්නට, ආසාවෙන් ඉන්නා අහිංසක නොදරුවන් ජීවත්වීම ය. ඔවුන් කැමති සෙල්ලම් ගෙවල් හදන්නට ය. සැබෑ ගෙයක අනුරුවක් මෙන් හදන්නට උත්සහ කළ ද ඒවා ද බොළඳ සෙල්ලම් ගෙවල් පමණ ය. එය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන්නේ සිහිබුද්ධියෙන් යුතුව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණ කියවීම ය. ඒවා තුළ ඇත්තේ පොඩි උන් ගෙතූ සුරංගනා කතා ය. ජාතික ආර්ථිකයෙන් 4% ක් වී ඇති කෘෂිකර්මය මත පදනම් ආර්ථිකය ගොඩ නැංවීමට ඔවුන් කල්පනා කරන්නේ ඒ නිසා ය. ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙල තුළ තව සෙල්ලම් රාශියක් අපට අභිමුඛ වීමට නියමිත ය.

සැබෑ විද්වතුන් කළ යුත්තේ මේ චන්දය පිටුපස තිබෙන මේ ගතිකත්වය ගැන ජනතාව දැනුවත් කර වීම ය. අප මේ හසුව තිබෙන්නේ මාධ්‍ය කැම්පේන් විසින් මෙහෙයවන සෙල්ලමකට බව ඔවුන්ට කියා සිටීම ය. මාධ්‍ය කැම්පේන් විසින් කරනු ලබන්නේ අපගේ දුර්වලකම් භාවිතා කොට, ඔවුන්ගේ සේවාදායකයාගේ අභිලාශයන් ඉටු කර දීම බව ජනතාවට පෙන්වා දීම ය. ජනතාව තුළ ඇති ඒ දුර්වලකම් පෙන්වා දෙමින්, ඔවුන් මේ සෙල්ලමින් ගලවා ගැනීමේ දීර්ඝකාලීන අරගලයක නිරත වීම ය.

එසේ නොකොට ක්ෂණික විසඳුම් සොයන විද්වතුන් චන්දයේ දී හොස්ස බිම ඇන ගනු ඇත.

විසඳුම් ඇත්තේ චන්දයෙන් මෙහා නොව චන්දයෙන් එහා ය. ජනතාවගෙන් චන්දය ඉල්ලන වැඩ පිළිවෙලක නොව, ඔවුන්ගේ ද සක්‍රීය දායකත්වය ඉල්ලන, දිගු කාලීන දේශපාලන වැඩපිළිවෙලක ය.

එහි පදනම වෙනු ඇත්තේ එකිනෙකා අතර සැකය බිය දුරු කිරීමේ ඉලක්කය ය. බෙදී සිතන්නේ නැතිව, එක්ව රට ගොඩ නැගීමට අත්වැල් බැඳගන්නා අරමුණ ය. තම තමන්ගේ සිල්ලර වැඩ කර ගැනීමට එහා යොමුවුනු, සෙසු මිනිසුන්ට ද සංවේදී වන, ජනතාවකගෙන් යුතු ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නැගීමේ පරමාර්ථය ය. එවැනි වැඩපිළිවෙලක් තුළ පමණක් රටට අවශ්‍ය නායකත්වය ගොඩ නැගෙනු ඇත. එතැනින් මෙහා කරන සියල්ලෙන් කළ හැක්කේ බලලෝභීන්ට කඩේ යෑම පමණ ය.

ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකාරයෙකුගෙන් ලිපියක්…

ඉහත මැයෙන් සංසරණය වූ ලිපියක් අප අතට පත් විය. ඒ ලිපිය එක්තරා අතකට අප විසින් දිගින් දිගට මේ දීපන කොළම තුළ පල කරන ලද මතවාදයන්ට කරන අභියෝගයක් නිසා ලිපිය ඒ අයුරින්ම පල කරමින් ඊට උත්තර බැඳිය යුතු යැයි සිතුවෙමි.

පහත පළවන්නේ ලිපිය ය. වරහන් තුළ ඇත්තේ එ ලිපියෙන් පළ කරන අභියෝගයන්ට අපේ උත්තර ය. එක් එක් චෝදනාවට ඒ චෝදනාව නගන තැනදීම පිළිතුරු දිය යුතු නිසා එම ආකෘතිය තෝරා ගෙන තිබේ.

“අටපාස් ආමිකාරයෙකු ලෙස ලංකාවේ විකල්ප උගතුන්, වියතුන්, සාහිත්‍ය කලාකරුවන් වෙත මා මේ ලිපිය ලියනුයේ උතුරේ යුද්ධය ගැන ඔබලා එකල දැරූ පුදුමාකාර විදග්ධ අදහස් මගේ පුංචි මොළයට වැටහෙන ආකාරය ගැන යමක් කීම සඳහාය. යුද්ධය නිමා වී වසර දහයකට පසු යුද්ධය ගැන ඔබලා එදා කී මේ කතා තවමත් වලංගුදැයි දැනගැනීමට ආසා කරමි.“

(ඔබේ කලකිරීම සාධාරණ ය. සමහරුන් ඔබ රණවිරුවන් ලෙස පුදද්දී ඇතැම්හු ඔබ නිකම් ම නිකම් කුලී හේවායන් ලෙස සළකනු ලබන නිසා ය. ඔබ වෙනුවෙන් කතා කරන සමහරක් මෙන් කුණුහරුප වරුසා වස්සන්නේ නැතිව ඒ ගැන මෙසේ අදහස් පල කිරීම ගෞරවනීය ය. ඒ ගැන ඔබට ආචාර කරමින් ඔබේ ලිපිය මතු කරන ප්‍රශ්න කීපයකට උත්තර සැපයීමට අදහස් කරන්නේ, මා රැඩිකල් උගතකු නොවූව ද, ඔබ ආරම්භ කර මේ ගෙන යන සංවාදය වැදගත් කොට සළකන නිසා ය. එය තවදුරටත් පවත්වා ගෙන යෑම වැදගත් නිසා ය)

“ඔබලාගේ දියුණු දැක්මට අනුව ලංකාවේ හමුදාව යනු ලෝකයේ නරකම පිරිසකි. සෙල්ලමට දෙමළුන් මරන තිරිසනුන් ජාතියකි. කොටි සාමාජිකයන් මෙන් උත්තුංග අරමුණකට කැපවූ වීරයන් නොව පඩියට වැඩ කරන කුලීකාරයන් පිරිසකි. එදා අප ලවා කොටි පැරදවීම ගැන ඔබ අහස උසට සුසුම් හෙලූ හැටි මට මතකය. අද හදිසියේ රට පුරා මරබිය ව්‍යාප්ත වී ඇති මොහොතක හමුදාව ගැන ඔබ එදා කී කතා නැවත අසන්නට කැමැත්තෙමි. එවිට අලුත් පරපුරේ ගංජා බලඇණියට රටේ ආරක්ෂාව බාරදී අපට සැනසිල්ලේ නිදාගැනීමට පුළුවන.“

(යුද්ධය ඇති රටක හමුදාවට බැඳී යුද බිමට යෑමට සැවොම ඉදිරිපත් වන්නේ නැත. ඒ නිසා ම හමුදාවේ සමාජිකයන් පිළිබඳ ගෞරවයක් මට තිබේ. එහෙත් ඕනෑම හමුදාවක හමුදා නීතියෙන් පිට ගොස් අපරාධ කරන අය සිටිති. ඒ අය අල්ලා දඩුවම් කිරීම හමුදාවේ කීර්තිය පිණිසම හේතු වෙයි. 1971 දී ප්‍රේමවතී මනම්පේරි නම් රූප සුන්දරිය නිරුවත් කොට දස වද දී මරා දමනු ලැබුයේ ඔය කියන හමුදාවේ ම අපරාධකරුවන් විසින් බව ඔබට මතක් කර දිය යුතු ය. ඉදිරියේ දී එවන් අපරාධයන් නැති කර ගැනීමට ද එවැනි අපරාධකරුවන්ට දඩුවම් දීම වැදගත් ය. එය සෙසු හමුදා භටයින්ගේ ගෞරවය රැකීමට ද හේතු වෙයි. උතුරේ දෙමළ කොටීන්ට විරුද්ධව මෙන් ම ඔබ රතුපස්වල ජනයාට ද එරෙහි ව අවි එස වූ බව  අපට මතක ය. ඒ ඔබ ඔබේ ඉහළ නිලධාරීන්ගේ නියෝග වලට අනුව කටයුතු කළ යුතු කුලී හේවායන් ද වූ නිසා ය. හෙට මෙහෙයුමක දී ද ඔබ අපේ හදවත් පසාරු කරන්නට හමුදා විනය යටතේ අණ පිලිනොපදිනු ඇතැයි කීමට ඔබට වුව නොහැකි ය. හමුදා භටයෙකුට හමුදාවේ විනයට යටත්ව තමන්ගේ ඉහළ නිලධාරීන්ගේ අණ පිලිපැදීමට සිදුවන නිසා ය. ඒ නිසා අනවශ්‍ය ලෙස හැගීම් බර නොවී යථාර්ථයකට මුහුණ දෙමින් මේ සංවාදය ගෙන යමු.)

“ධනේශ්වර හමුදාවක් ලවා කොටි මර්දනය කිරීම වැරදි බව ඔබලා නිතර කී බව මට මතකය. එහෙව් ඔබ තමන්ගේ ගෙදරට හොරු පැන්නොත් ධනේශ්වර පොලීසියට නොයා සමාජවාදී පොලීසියක් සොයා යන්නේදැයි නොදනිමි. “හොරු කියන්නේ පීඩිත පන්තියේ අපේම මිනිස්සු… හොරකම තමයි පීඩිතයාගේ විමුක්ති අරගලය… හොරකමට හේතුවෙච්ච සමාජ ආර්ථික හේතු නැති කරනවා මිසක් පීඩිතයන්ව ධනේශ්වර මර්දන යන්ත්‍රයට බිලිදෙන එක වැරදියි…” එවැනි අවස්ථාවල ඔබ එසේ කියනු ඇතැයි සිතමි.“

(ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීම නිසා ද බොරුවට සාමය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් යුද්ධයම ඉල්ලා සිටි නිසා ද කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට කටයුතු කිරීම ගැන අපේ ප්‍රණාමය ඔබට ද ඔබේ සෙනෙවියන්ට ද ඔබ මෙහෙයවූ දේශපාලන නායකත්වයට ද හිමි වේ. එහෙත් කොටින්ට ජනයා එවැනි දෙයකට මෙහෙයවිය හැකි වූයේ අපේ ද – දකුණේ දේශපාලන නායකත්වයේ, යුද්ධයේ ජයග්‍රහණය ගැන අප ම පුදන දේශපාලනඥයන් ද ඇතුළුව- වැරදි නිසා බව අප පිළිනොගන්නා තෙක් නැවත නැවතත් යුද්ධ ඇති වීම වැළැක්විය නොහැකි ය. 1983 ජූලි සංහාරය නොවන්නට කොටි ද පහසුවෙන් පරාජය කර දමන්නට ඉඩ තිබුනේ ය. ඒ දෙමල ජනතාවගේ දේශපාලන අභිලාශයන් ද ඉටු කර දීමට සමගාමීව කටයුතු කරන ගමන් ය. අඩු වශයෙන් යුද්ධය අවසන් වී වසර 10 ක් ගත විත් තවමත් ඔවුන්ගේ නොවිසඳුනු ප්‍රශ්න එලෙස ම ය. හමුදාව යුද්ධයට විසඳුම් සපයා ඇති නමුත් දේශපාලන නායකත්වය දේශපාලන ප්‍රශ්නයට උත්තර දී නැත)

“ඔබේ ප්‍රබුද්ධ මතය අනුව ප්‍රභාකරන්ලා බිහිවූයේ දෙමළාට ඇති ප්‍රශ්න නිසාය. හේතුව තිබියදී ඵලය නැසීම නිශ්ඵලය. මගේ අටපාස් මොළයට වැටහෙන ආකාරයට කොටි සංවිධානය පමණක් නොව අයිඑස්අයිඑස් සංවිධානය බිහිවීමටද හේතු තිබේ. ඔවුන්ටද නොයෙක් ප්‍රශ්න ඇත. එපමණක් නොව ලෝකයේ සියලු කුඩුකාරයන්, අපරාධකරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මැරයන්, සොරුන් බිහිවීමට අදාළ හේතු තිබේ. ඒ හේතු සියල්ල නිට්ටාවට නැතිවන තුරු ඔවුන්ට කැමති දෙයක් කිරීමට ඉඩදී අප ඔවුන්ව ඔක්කේ තබා සුරතල් කළ යුතුය. සියල්ලට හේතු ඇතත් මට සිතාගත නොහැක්කේ ඔබලා වැනි අපූරු මිනිසුන් බිහිවීමට බලපෑ හේතුව පමණි.“

(බන්ධනාගාර පිරවීමෙන් පමණක් හොරු හෝ අපරාධකරුවන් නැති කළ නොහැකි ය. නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් බන්ධනාගාර හිස් කළ රටවල් අද ලෝකයේ ඇත. ඒවා ගැන කියවන ලෙස මම ඔබෙන් උදක්ම ඉල්ලමි. එවිට කොටි ගැන ද ඔබේ මතය වෙනස් වනවා ඇත. ප්‍රශ්නය කොටි යුද්ධමය වශයෙන් පරාජය කිරීමේ නොව එයින් නොනැවතී දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරක් දීමට අසමත් වීමේ ය.)

“යුද්ධයේ අනිටු ප්‍රතිඵල ගැන ඔබලා නිතර බණ කියූ හැටි මට මතකය. මට තේරෙන හැටියට නම් යුද්ධය ඇතුළු ලෝකයේ කිසිදු ප්‍රශ්නයකට සර්ව සාධාරණ විසඳුම් නැත. හොරු ඇල්ලීමෙන්, කුඩු නැති කිරීමෙන්, පමණක් නොව ලංකාවේ හොඳ අධ්‍යාපනයක් ඇති කිරීමෙන් වුවද අසාධාරණයට ලක්වන පිරිසක් සිටිති. එසේ නම් යුද්ධය වැනි ප්‍රශ්නයක් සර්ව සාධාරණ ලෙස විසඳන්නේ කෙසේද? ඔබේ සිත රිදුනද එහිදී සාපේක්ෂව වඩා සාධාරණ විසඳුම වූයේ ප්‍රභාකරන් පරාජය කිරීමය. කුඩු මුදලාලිලාගේ දරුපවුල් ගැන හිතා ඔවුන්ව හිරේ නොදමා සිටින්න යැයි කියන උගත්තු ලෝකයේ නැත. එහෙත් යුද්ධයේ අනිටු විපාක ගැන කියමින් ප්‍රභාකරන් ආරක්ෂා කළ උගත්තු විශාල පිරිසක් ලංකාවේ සිටිති.“

(කුඩු මුදලාලිලා හිරේ දැමිය යුතු ය. ඒ ගැන ප්‍රශ්න දෙකක් නැත. අප එසේ අපරාධකාරයන් දිගටම හිරේ දමා ඇත. එහෙත් අපරාධ අඩුවී ද? බන්ධනාගාර හිස් කළ රටවල් ඇතැයි මම කීවෙමි. අපට බැරි වූ ඒ දේ ඔවුන් කළේ කෙසේ දැයි විමසා බැලීම සුදුසු ය. අපට බැරි වූ පමණින් යමක් කළ නොහැකි යැයි නිගමනයට පැමිණීම සාධාරණ නැත. ඔවුන්ට එසේ කිරීමට හැකි වූයේ ඔවුන් අපරාධ වල සැපයුම් පැත්ත පමණක් නොව ඉල්ලුම් පැත්ත ද කළමනාකරණය කළ බැවිනි. අප ඉගෙන ගත යුත්තේ ඒ සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රියා මාර්ග ය. කුඩු මුදලාලිලා හිරේ දමන අතරේ ඔවුන් බිහිකරන හේතු වලට ද විලංගු දැමිය යුතු ය.)

“ඔබලා නිතරම රට ජාතිය තදින් පිළිකෙව් කරති. රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පටු ගෝත්‍රවාදී වැඩක් බව නිතර පවසති. දේශප්‍රේමය තක්කඩිකමක් බව කියති. මට තේරෙන ආකාරයට නම් ජාතිය ගැන කතා කිරීම වැරදි නම් ලාංකිකත්වය ගැන කතා කිරීමද වැරදිය. මහද්වීප ගැනද කතා කිරීමද වැරදිය. මුළු ලෝකය හෝ මානව සංහතිය ගැන කතා කිරීමද වැරදිය. ඒ සෑම තැනකදීම අපි පටු සීමාවක හිරවෙමු. කළ යුත්තේ ඔබලා මෙන් ජාති, ආගම්, දූපත්, මහද්වීප, ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල, ක්ෂීරපථ ආදී සියලු සීමා ඉක්මවා ගිය විශ්වවාදී බුදු පොරවල් වීමය.“

(ජාතිය හා ලාංකිකත්වය එකම ගොඩට දැමීම, ඔබේ දැනුමේ ඇති සීමාවේ ප්‍රතිඵලයකි. ලංකාව රටකි. එයට වෙනම පාලනයක් ඇත. ඒ රට තුළ ක්‍රියාත්මක වන වෙනම නීති පද්ධතියක් ඇත. වෙනම ආර්ථිකයක් ඇත. නිශ්චිත පුරවැසියන් ප්‍රමාණයක් ඇත. රටට අතුළුවන පුරවැසියන් නොවන අය විසින් ඒ සඳහා විශේෂ අවසරයක් ගත යුතු ය. එවැනි අට මගලයන් කිසිවක් ඔබ කියන “ජාතිය“ කට නැත. ඔබ ජාතියක් ලෙස දක්වා ඇත්තේ ජනවර්ගයන්ට ය. අප ජනවර්ගයක් ලෙස සිංහල හෝ දෙමල වන අතරතුර ජාතියක් ලෙස ශ්‍රී ලාංකික වෙයි. ඔබ කියන “ජාතිය“ -ඇත්තටම නම් ජනවර්ගය- යනු භාෂාව නිසා එක් කරනු ලැබූ ජන කොට්ඨාෂයකි. අද භාෂාව අතීතයේ තරම් ම සුවිශේෂී කාරණයක් නොවන නිසා ජනවර්ගයට අතීතයේ තිබූ වටිනාකම දැන් නැත. ඒ නිසා ම ඒ වටා මිනිසුන් එක් රැස් කිරිමට කටයුතු කිරීම ම ගෝත්‍රවාදී ය. අවශ්‍ය ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩ නැගීම ය. ඇත්තටම ශ්‍රී ලාංකික අනන්‍යතාවය වැදගත් වන්නේ අපට ජාතියක් හැටියට එකට නැගී සිටීමට සිදු ව ඇති නිසා ය. ඒ ආර්ථිකය විසින් අපට පවරා ඇති වගකීමකි. අප ජනවර්ගයන් හැටියට බෙදී වෙන් වී සිටීමෙන් වන්නේ රටක් හැටියට ගොඩ නැගීමට අපට නොහැකි වීම ය. සිංගප්පූරුව තුළ බොහෝ ජනවර්ග තිබේ. ඔවුන් ඒ ඒ ජනවර්ගය වටා නොව සිංගප්පූරු වැසියන් යන පොදු පදනම මත පිහිටා සංවිධාන වීම හේතුවෙන් රට ගොඩනැගූ නිසා ලොව ජය ගෙන තිබෙන්නේ ය. එකිනෙකා කුළල් කා ගන්නා තරමට අප ශ්‍රී ලංකාව නම් රට ගොඩනැගීමේ ඒ පොදු ඉලක්කයෙන් වඩ වඩා ඈත් වන්නේ ය.)

(රටකට ද එහා ගිය මානව වාදී හැගීමක් අපට තිබිය යුතු ය. වත්මන් ලෝකය තුළ රටකට පවා ස්වාධීන පැවැත්මක් නැත. රටක් ලෙස සහලින් අප ස්වයං පෝෂිත යැයි කියන්නේ වුව ද වී වගාවට අවශ්‍ය පොහොර හා කෘෂි රසායනික අප ගෙන්වන්නේ පිටරටිනි. හාන්නට අවශ්‍ය ට්‍රැක්ටර් අස්වැන්න නෙලා ගැනීමට අවශ්‍ය සුනාමි හා භූතයන් අප ගෙන්වන්නේ පිටරටිනි. ඒවාට අවශ්‍ය ඉන්ධන ලිහිසි තෙල් ආදිය ගෙනෙන්නේ පිටරටිනි. ඒ නිපදවන සහල් බෙදාහරින ලොරි ගේන්නේ පිටරටිනි. ඒවාට අවශ්‍ය අමතර කොටස් ඉන්ධන ලිහිසි තෙල් ගේන්නේ ද පිටරටිනි. එහෙම බැලුවහම අප ලෝක ආර්ථිකයට බැඳී ඇත්තේ නොගැලවිය හැකි ලෙස ය. එවන් තත්වයක් තුළ රට ගැන පමණක් කල්පනා කොට සෙසු ලෝකයට පිටුපාන්නට අපට බැරි ය.)

(අප අද මුහුණ දෙන අටෝරාශියක් ප්‍රශ්න ද ගෝලීය ප්‍රශ්න ය. අප ඉන්නේ ගෝලීය උණුසුමට සියලු රටවල් එක්ව උත්තර සොයන්නට අවශ්‍ය පසුබිමක ය. අප ඉන්නේ ගෝලීය ත්‍රස්තවාදයට ද එක් ව උත්තර සෙවිය යුතු තත්වයක ය. ඒ සියල්ල එසේ තිබිය දී වෙන්වන්නට කරුණු සෙවීම මෝඩකමක් පමණකි.)

(බුදු හාමුදුරුවන් ගත්තේ ඔබේ ගෝත්‍රීය මග නොව අපේ විශ්වීය මග ය. සිය පියාණන් අමතා බුදුන් වහන්සේ කීවේ තමන් ශාක්‍ය වංශයට තවදුරටත් අයිති නොවන බව ය. බුදුන් දෙසුවේ සියල්ලන්ට ම මෛත්‍රිය කරන ලෙස ය. ඔබ අප බුදු පොරවල් හැටියට දකින්නේ ඒ නිසා විය හැකි ය. අපට අපහාස කිරිමට ගොස් ඔබ කර ඇත්තේ බුදු හිමියන්ට අපහාස කිරීම ය.)

“ඔබලා මුළු විශ්වයටම අයත් විශ්ව පුරවැසියන් බව මම දනිමි. එහෙත් කොළඹ නගරයේ බෝම්බ පුපුරන විට ඔබට විශ්වයට පලාගොස් ආරක්ෂා වීමට ක්‍රමයක් නැති බැවින්, එවැනි අවස්ථාවලදී අටපාස් ගෝත්‍රවාදීන්ගේ සහය අවශ්‍ය වේ යැයි සිතමි.“

(මිටියක් අතින් ගත් මිනිහෙක් කල්පනා කරන්නේ ඕනෑම ප්‍රශ්නයක් මිටියෙන් විසඳිය හැකිය කියා ය. අවි ගත් ඔබට ද සිතෙනු ඇත්තේ ඒ දේ ම ය. අවියකින් කළ හැකි දේ ද නොකළ හැකි දේ ද තිබේ. අවියකින් ත්‍රස්තවාදියෙකු මැඩලිය හැකි ය. එහෙත් ත්‍රස්තවාදය ඇති කරන හේතු එයින් ඉවත් කළ නොහැකි ය. ජාතිය කෙසේ වෙතත් රට වෙනුවෙන් යුද කිරීම ගෝත්‍රවාදයක් නොවේ. ත්‍රස්තවාදයට එරෙහිව අවි භාවිතා කිරීම ද ගෝත්‍රවාදයක් නොවේ. එහෙත් සැබෑ දක්ෂතාවය ඇත්තේ යුද්ධ කිරීමේ නොවේ. එය වළක්වා ගැනීමේ ය. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ද සත්‍යය වන්නේ එය ය. ප්‍රශ්නය ත්‍රස්තවාදය විනාශ කර දැමීමේ නොවේ. එය ඇති වීම වළක්වා ගැනීමට අපට නොහැකි වීම ගැන ය. තවදුරටත් ඒ හේතු ඉවත් කිරීමට අප අසමත් වීමේ ය.)

“ලෝකය තනි යායක් යැයි පැවසූ සේකර ගැන ඔබලා නිතර කතා කරති. එහෙත් ඒ සේකරම රත්නදීප ජන්ම භූමි වැනි අම්බ ගෝත්‍රවාදී ගීත ලියූ බව මා අසා ඇත. ලෝකය තනි යායක් යැයි පවසන ඔබලා තමන්ගේ නිවෙස් ආරක්ෂාවට දොරගුලු, වැට මායිම්, තාප්ප ඉදිකරගෙන සිටින්නේ ඇයි දැයි මට නොතේරේ. ලෝකය තනි යායක් යැයි කියන ඔබ තමන්ගේ වත්තට පැන පොල් කැඩීමට වෙන අයට අවසර දෙන්නේද? පුදුමය වන්නේ ගෙදර වැට මායිම වෙනුවෙන් සටන් කරන ඔබ රටේ ආරක්ෂාව විහිළුවට ලක්කිරීමය. ඒ වෙනුවෙන් මහගම සේකරව පවා සමූහ දූෂණයට ලක් කිරීමය.“

(රටේ ආරක්ෂාව විහිළුවක් නොවේ. එහෙත් ඒ ආරක්ෂාවේ නාමයෙන් අපරාධ කිරීම සමාව දිය නොහැකි වරදකි. ආරක්ෂාවේ නාමයෙන් අපේ රටේ ම ජිවත්වන සිංහල හා බෞද්ධ නොවන ජනයා පීඩනයට පත් කිරීම වරදකි. ආරක්ෂාවේ නාමයෙන් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මරණ දණ්ඩනයෙන් හා ශාරීරික හිංසනයෙන් වැට කඩොලු බැඳීම වරදකි. ආරක්ෂාවේ නාමයෙන් පාරවල් වසා ගෙන සිටීම වරදකි. රටේ ආරක්ෂාව ඇති කළ හැක්කේ අවියෙන් පමණක් නොවේ. ඒ සඳහා මිනිසුන් සැමට ගෞරවයෙන් ජීවත් විය හැකි වටපිටාවක් ද ඇති කළ යුතු ය. දොරගුලු වැට මායිම් තාප්ප වලින් හොරකම් අවසන් කළ රටක් ගැන මා නම් දන්නේ නැත. ඇතැම් තැනක හොරකම පහසු වී ඇත්තේ ම උස තාප්ප වලින් වසා ගැනීම හේතුවෙන් බව ද මා අසා තිබේ.)

“අවසානයේදී ලංකාවේ විකල්ප උගත්තු යනු පොල් ගහ පෙන්වා ඊට තුත්තිරි ගහ යැයි පවසන මරිමෝල් මැන්ටලයන් පිරිසක් යැයි හැගෙන්නේ මට පමණක් දෝ යන ගැටලුව තදින්ම මට වද දෙන්නට විය. ඒ නිසාම මම උගතුන් යනු කවුදැයි අලුතින්ම සොයා බැලීමට පටන් ගත්තෙමි. ඔබලා වැනි උගතුන් අතිවිශාල පිරිසක් සිරියාව, ලිබියාව වැනි රටවලද සිටි බව එහිදී මට දැනගන්නට ලැබිණි.“

(කිසිවෙකුට අපහාස කිරීමට හෝ අපහාස නිසා පරල වීමට හෝ මා සූදානම් නැත. එහෙත් ඔබට එකක් නම් කිව යුතු ය. ඒ අලියාගේ කණ අල්ලාගෙන ඌ කුල්ලක් යැයි කීමෙන් වළකින ලෙස ය. ලෝකය ගැන ද තව බොහෝ ගැන ද අවි පරිහරණයට අමතරව ඉගෙන ගන්නා ලෙස ය. අවියෙන් කළ හැකි දේ තිබේ. එහෙත් එයින් නොකළ හැකි දේ ද බොහෝ ය. අට පාස් වූ මිනිසුන් ද පසු කලෙක ජීවිතයෙන් උගෙන තිබේ. ඔබට ද ඒ සඳහා අද අදම උත්සහ කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි.)

ඉසුරු ප්‍රසංග (ලිපිය ලියා තිබුනේ ඒ නමිනි)

(ඊනියා දේශප්‍රේමී බහුතරය මෙන්, අතින් පයින් හා කුණුහරුපයෙන් සංග්‍රහ නොකොට, තමන්ගේ අභියෝගය වචනයට නගා පල කිරීමට සමත් වූ, ඉසුරු ප්‍රසංග ගැන ගෞරවයෙන් යුතුව, ඔහුගේ අදහස් සංවාදයට ලක් කරනු රිසි කෙනෙකුගේ උත්තරයක් ලෙස මේ වරහන් ඇතුළත දිග ඇදුනු පද පේලිය සැළකුව මැනව)

පොළොව රවුම් යැයි කියන්නේ කවුද?

අපේ අත්දැකීම් පවසන්නේ පොළොව පැතලි බව ය. රවුම් පොළොවක නොවැටී සිටින්නට බැරි ය. අහස් යානයකින් යනවිටවත් පොළොව රවුම් යැයි පෙනෙන්නේ නැත. එවන් තත්වයක් යටතේ පොළොව් රවුම් යැයි ඊනියා විද්‍යාඥයින් කීවාට අප විශ්වාස කළ යුත්තේ මන්ද?

පොළොව රවුම් නොව පැතලි යැයි අදටත් විශ්වාස කරන සැළකිය යුතු ජනතාවක් ලොව වෙසෙති. ඒ පිරිසට ඔබ අයත් නොවන්නේ නම් ඔබ එය රවුම් යැයි විශ්වාස කරන්නේ කුමන පදනමක් මත ද?

ඇතැම් විට එය හඳට ගිය පුද්ගලයින් හෝ අභ්‍යාවකාශයට ගිය යානා අභ්‍යවකාෂයේ සිට ගන්නා ලදැයි කියන ඡයාරූප මත විය හැකි ය. නැතිනම් ඔබ කියවූ පොත පතක තිබුනා විය හැකි ය. වැඩි දෙනෙකු එසේ අදහන නිසා විය හැකි ය. පාසලේ ඔබ උගත් ආකාරය නිසා විය හැකි ය. එහෙත් ඒ සියල්ල ආරංචි ය. දෙවැනි පාර්ශවයකින් ඔබ අසන තෙවැනි පාර්ශවයක ආරංචි ය. ඔබ ඔබේ පියවි ඇහින් දැක නැති ඔබ පෞද්ගලිකව අත් විඳ නැති ආරංචි මාත්‍රයන් පමණ ය.

ඔබ ඒවා විශ්වාස කරන්නේ නම් පොත්පත් වල තිබෙනවා යැයි කියන තව බොහෝ දේ ද විශ්වාස කළ යුතු ය. ඒවා අතර මරණින් මතු දිව්‍ය ලෝකයේ යන කතා ද අපායේ යන කතා ද තිබේ. රාවණා රජ්ජුරුවන් දඩු මොනරයකින් අහස සැරි සැරුවේය යන කතා ද තිබේ. දෙවියන් බඹුන් යක්ෂයින් ප්‍රේතයින් ගැන කතා ද තිබේ. ඒවා ද ඔබ දැක නැති එහෙමකට සාක්කි නැති දෙවැනි පාර්ශවයකින් අසන තෙවැනි පාර්ශවයක කතා ය.

ඔබ ඇතැම් විට ඒවා ද විශ්වාස කරනවා ඇත. එහෙත් පළමුවැන්න එනම් පොළොව රවුම් බව විශ්වාස කරන බොහෝ විද්‍යාඥයෝ අප සඳහන් කළ සෙසු කතා ආගම් කර්තෘන් විසින් හෝ ඒ එක් එක් යුගයේ සිටි මිනිසුන් විසින් හෝ ගොතන ලද සුරංගනා කතා ලෙස බැහැර කරන්නෝ ය.

නිගමන දෙකේ ම පදනම එකක් නම්, ආරංචි මාත්‍ර පමණක් නම්, එකක් පිළි අරගෙන අනෙක බැහැර කරන්නේ කෙසේ ද?

තනි දැනුම හා පරීක්ෂා කළ නොහැකි දැනුම

තනි මිනිසෙකුට සියල්ල තමන්ට ම අත් දැක සැක හැර දැන ගත නොහැකි ය. එසේ කිරීම ප්‍රායෝගික වන්නේ නැත. ඒ නිසා ම අපට දෙවැනි පාර්ශවයක් හරහා කියන තෙවැනි පාර්ශවයක් ගෙනෙන යම් යම් දේ විශ්වාස කිරීමට සිදු වේ. ඒ විශ්වාසයන් වෙනත් ලෙසකින් ප්‍රතික්ෂේප වූවහොත් මිසක දරා ගෙන සිටීමට සිදු වේ.

ඒ ඇරෙන්නට දෙවැනි කාණ්ඩයට අයත් කතන්දර මෙන් නොව පළමු කාණ්ඩයට අයත් පොළොව රවුම් ය යන නිගමනයන් පරීක්ෂා කර බැලිය හැකි ය. ඒ සඳහා කළ යුත්තේ නැව් නැග එක දිසාවකට ගමන් කර නැවත එතැනට පැමිණීමට හැකි දැයි බැලීම ය. පෞද්ගලිකව නැතත් රට රටවල් අතර සංචාරය කරන අයට මේ වටය ගැසීම අත්දකින්නට අවස්තාවක් ලැබේ. ඒ අපේ පැතලි පොළොවේ සිතියමේ අගට ඇති ජපානයේ සිට මුලට ඇති ඇමරිකාවට යෑමට ගතවන ගුවන් කාලය බැලීමෙනි. ඊට අමතරව චන්ද්‍රග්‍රහණය වශයෙන් හඳුන්වන පොළොවේ සෙවනැල්ල සඳ මත පතිත වීම නිරීක්ෂණය කිරීමෙනි. ඒ සම්බන්ධයෙන් එන පුරෝකථනයන් නිවැරදි බව අත්දැකීමෙනි.

එහෙත් දෙවැනි කාණ්ඩයට අයිති කතන්දර එසේ පරීක්ෂා කර බැලිය නොහැකි ය. මැරුණු කෙනෙකු සමග නැවත සම්බන්ධවන්නට අපට නොහැකි නිසා ය. ඒ නිසා ඒවා විශ්වාස කිරීමට සිදුවන්නේ නැවත හගිස්සවා ගැනීමකින් තොරව ය.

පළමු කාණ්ඩයට අයිති නිගමනය පරීක්ෂාවට භාජනය කෙරෙන නිසා ඇතැම් විට කලක දී ඉවත් කරනු ලබන අතර දෙවැනි කාණ්ඩයට අයිති කතන්දර එසේ නොකළ හැකි නිසා දිගට ම පවතින්නේ ය. දෙවැනි ඒවායේ වටිනාකම කාලයත් සමග වියැකි යා හැකි ය. උදාහරණයක් ලෙස ලෝකය ඇට්ලස් නම් දෙවියා විසින් ඔසවා ගෙන සිටින්නේය යන කතාව තවදුරටත් පිළිගන්නා මිනිසුන්, පොළොව පැතලි යයි විශ්වාස කරන අය අතර වුව ද, අද වන විට ලොව නැතිවන්නට පුලුවන.

මේ රටේ සිද්ධ වෙන දේවල් අනුව අප රට ආරක්ෂා කරන්නේ යැයි විශ්වාස කළ සීවරම් දෙවිවරු ද තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ද සැබෑවටම ඉන්නවා දැයි මිනිසුන් සැක කරන්නට පටන් ගෙන ඇත. කාලෙකින් සක්‍ර දෙවියන් පොළොවට සම්ප්‍රාප්ත නොවුනු නිසාවෙන් උන්නාන්සේගේ පඩුපුල් අසුනේ කතාව ද මිනිසුන් තවදුරටත් විශ්වාස නොකරතැයි සිතිය හැකි ය.

චිමිනයෙන් බැස හොඳ ළමුන්ට තෑගි දෙන නත්තල් සීයාගේ කතාව පවා ළමුන් යම්තම් උස මහත් වෙන කොට සිනා සී ඉවත දමන ලෝකයක මෙවැනි කතන්දර වලට වැඩිහිටියන් අතර තවමත් පණ තිබෙන්නේ කෙසේ දැයි ප්‍රශ්නාර්ථයකි.

අහිංසක කතා හා භයානක කතා

ඇත්තටම මේ බොහෝ කතා අහිංසක ය. ඒවා නිර්මාණය කළ අයගේ අභිලාශය වන්නට ඇත්තේ මිනිසුන් නිසි මගට යොමු කිරීම ය. ඔවුන්ට සැනසීම සුරක්ෂිතතාවය ලබා දීම ය.

එහෙත් ඇතැම් කතා ඒ තරම්ම අහිංසක නැත. ආගම වෙනුවෙන් මිනිසුන් මරා දැමීම උදෙසා සිය ජීවිතය පිදීමෙන් දිව්‍ය ලෝකයට යෑමත් ඒ පින හේතුවෙන් කන්‍යාවන් 72 කු හිමිවීමත් මිනිසුන් සිය දෙනෙකුගේ පුරුෂ ශක්තිය හිමිවීමත් වයසට නොයා ජීවත් විමට හැකි වීමත් අඩංගු කතාවක් ද තිබේ. ඒ කතාව අහිංසක නැත. ඒ කතාව විශ්වාස කරන මිනිසුන්ට කළ හැකි විනාශය අසිමිත ය. ඒ නිසා මේ කතන්දර දෙස අප විචාරශීලීව බැලිය යුතු යුගයක් එළැඹ තිබේ.

ඒ කතන්දරය ඇත්තේ මුස්ලිම් ආගමේ එක්තරා ප්‍රභේදයක ය. සෙසු මුස්ලිම් ආගම අදහන්නන්ට ද බුද්ධාගම හා වෙනත් ආගම් අදහන්නන්ට ද අපේ ආගමේ නම් එවැනි නපුරු කතන්දර නැතැයි සැනසිය හැකි ද?

අවාසනාවට බැරි ය. මහාවංශය ද කතා පොතකි. සැවොම නැතත් සිංහල බෞද්ධයින් අතර එය අදහන මිනිසුන් රාශියකි. ඒ පොතේ එක කතන්දරයකට අනුව දුටුගැමුණු රජතුමා යුද්ධයෙන් මිනිසුන් විශාල ගණනක් මිය යෑම සම්බන්ධයෙන් පසුතැවිලි වෙමින් සිටියේ ලු. ඔහු සනසන්නට භික්ෂූන් වහන්සේලා විසින් කියා ඇත්තේ ඔහු අතින් මිය ගොස් ඇත්තේ මිනිසුන් එක හමාරක් පමණක් බව ය. ඒ තිසරණ සහිත පන්සිල් ගත් එක් අයෙකු හා තව භාගයකි. භාගය කුමක් නිසා වූයේ දැයි මට මතක නැත. එහෙත් එයින් අනියමින් කියවෙන කාරණය නම් සෙසු මිනිසුන් මිනිසුන් නොවන බව ය. ඒ කතන්දරය ද මතු පිටින් පෙනෙන තරමට අහිංසක නැත.

ආගම්වල තිබෙන කතන්දර අප ගත යුත්තේ ආරළු බුරළු ඇරලා ය. ඒ ගැන විචාරශීලීව බලමින් ය. එහෙත් එවැන්නකට මග පෙන්වීමක් බොහෝ පූජකයන් අතින් නොකෙරෙන්නේ ය. ඔවුන් කැමති තව ආරළු බුරළු එක් කිරීමට ය.

ඕනෑ ම ආගමක දර්ශනයක් තිබේ. ඒ දර්ශනයන්, සම්පූර්ණයෙන් නොවෙතත්, බොහෝ විට මිනිසුන්ට සැනසීම ගෙනෙන මග පෙන්වන එ්වා ය.

උදාහරණයක් ලෙස අෂ්ඨ ලෝක ධර්මයෙන් කම්පා නොවී ජීවත් වීමෙනුත් ඇලීම් ගැටීම් නැතිව ජීවත් වීමෙනුත් ඇති වන සැනසුම මහත් ය. වෛරයෙන් වෛර නොසන්සිඳෙන බව කීමෙනුත් අසල් වාසියාට ප්‍රේම කරන්නට යැයි කීමෙනුත් ඇතිව සාමය ඉමහත් ය.

ආයතනික ආගම්

එහෙත් ආගම පවත්වා ගෙන යෑම සඳහා ආයතන අවශ්‍ය වූ විට මේ දර්ශනය වටකොට කතන්දර එලනු ලැබී ය. ඒ ආයතන පවත්වා ගෙන යෑම සඳහා බැතිමතුන්ගේ අනුග්‍රහය අවශ්‍ය වූ නිසා ය. ඒ ආකර්ෂණීය කතා හරහා ආයතනයේ පාරිභෝගිකයන් – මෙහි දී නම් බැතිමතුන් – ආයතනයට බැඳ තැබුනේ ය.

මේ කතා බොහෝමයක අභිලාෂය වූයේ තම ආගම ලොව ශ්‍රේෂ්ඨම ආගම බවට බැතිමතුන්ට හගිස්සවන්නට ය. ඒ නිසා ආගමික ශාස්තෘන් වරුන්ට දිව්‍යමය බලයක් ඇතැයි ප්‍රකට කරන කතා ද ආගමික සාහිත්‍යයට එකතු විය. සිදුහත් කුමරු ඉපදුනු ගමන් පාද තබා ඇවිදින්නේ ඒ අනුව ය. ඒ තබන හැම පාදයක් ම පිළිගැනීමට මඩින් නොව ගොඩින් නෙළුම් මල් මතුවන්නේ ඒ අනුව ය. ක්‍රිස්තුත් වහන්සේ මැරී උපදින්නේ ඒ අනුව ය. බුදුන් වහන්සේ ද ක්‍රිස්තුත් වහන්සේ ද ශ්‍රේෂ්ඨ මිනිසුන් ය. ඔය කතා නැතුවත් ඔවුන්ගේ ගුණ කන්දේ මහත ම අපට ඒ ශාස්තෘන් වහන්සේලා ගැන ගෞරවයක් ඇති කිරීමට ප්‍රමාණවත් ය. එහෙත් ආයතන ගත ආගම් ඒවායින් සෑහීමකට පත් වන්නේ නැත. හැම ආගමකම එවැනි විය නොහැකි කතා එකතුවක් තිබෙන්නේ ය. එවැනි කතාවක් විශ්වාස කළ කෙනෙකුට විශ්වාස නොකළැකි දෙයක් නැත. ‍

මේ ආගමික ආයතන වල අද ස්වරූපය වෙළඳ ව්‍යාපාරයකට අබබල් රේණුවකින් වත් වෙනස් නැත. ඔවුන්ට පාරිභෝගිකයන් අවශ්‍ය ය. ඒ සඳහා පාරිභෝගිකයන්ට ඉල්ලුමක් ඇති භාණ්ඩ හා සේවා ලබා දීම අවශ්‍ය ය. ඔවුන් කරමින් සිටින්නේ එය ය. පාංශකූලය ඇතුළු සියළු චාරිත්‍රවල මුඛ්‍ය අදහස උවැසි උවැසියන්ගේ ඒ සේවා අවශ්‍යතා සම්පූර්ණ කිරීම ය. ඒවාට ඉල්ලුම ඇති කරනු සඳහා ද එම ඉල්ලුම නොකඩවා පවත්වා ගැනීම සඳහා ද වෙළඳ ව්‍යාපාරයකට මෙන් ම ආයතන ආගමකට ද මාකටින් එකක් අවශ්‍ය ය. පෙරහැර පවත්වනුයේ ද එම වෙළඳ ප්‍රචාරණයේ අධියරක් ලෙස ය. ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් බලහත්කාරයෙන් මිනිසුන්ගේ කන් වලට ගොඩ වදින්නේ ද ඒ මාකටින් ය. ඒ සියල්ල පාරිභෝගිකයන් දිනා ගැනීමටත් ඔවුන් වෙනත් තරගකාරී ආයතන වෙතට ඇදෙන්නේ නැතිව තමන් වෙත තබා ගැනීමටත් ය.

වෙනත් ආගම් බැහැර කළ යුතු බවට නියෝග නිකුත් කිරීම ද ආගම ආයතන ගත වීමත් සමග අවශ්‍ය විය. ඒ ආගමේ බැතිමතුන් වෙනත් ආගම් වලට නොයා රඳවා ගැනීමට ය. මිත්‍යා දෘෂ්ඨිකයන් අපායේ ගියේ ඒ වෙනුවෙන් ය.

එපමණක් නොව ආගමේ ව්‍යාප්තිය ද ඊට බලයක් එක් කළ නිසා එය ව්‍යාප්ත කිරීමට ද හොඳින් නැත්නම් නරකින් ව්‍යාප්ත කිරිමට ද කටයුතු යෙදුනේ ය.

දර්ශනය මරා උපන් ආගම

මෙසේ ආයතන ගත ආගම ගොඩ නැගුනේ ආගමේ දර්ශනය මරා ගෙන ය. ආයතන අවශ්‍ය බව කියන්නේ දර්ශනය දිගින් දිගට පවත්වා ගැනීම ය. එහෙත් ආයතන වඩාත් උත්සුක වූයේ දර්ශනයට පිටුපා ආයතන ශක්තිමත් කිරිමට ය. ආයතන ගත ආගම ශක්තිමත් කිරීමට ය.

පාස්කු ඉරිදා ඛේදවාචකය ආගමේ නාමයෙන් සිදු කෙරෙන්නේ මේ බව අපට මුහුණටම ඇගිල්ලෙන් ඇන පෙන්වන්නට ය.

අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ ආයතන ගත ආගම ශක්තිමත් කිරිම උදෙසා නිර්මාණය කළ කතන්දර බැහැර කිරීම ය. ආගමික දර්ශනයන් තුළ ඇති සාරය උකහා ගැනිමට ඒවාට නිසි විවරණයන් ලබා ගැනීම ය. ඒවා විචාරය කිරීම ය. ශාස්තෘන් වහන්සේලා විසින් තමන්ගේ ධර්ම දේශනාවලින් අපේක්ෂා කළ ශාන්ත සුවය ලබා ගැනීමට සාමය ලඟා කර ගැනීමට ජනතාවට අවකාශයක් ලබා දීම ය. ඒ සඳහා ආයතන ගත ආගම් වලින් අනුග්‍රහයක් ලැබේ යැයි සිතිය නොහැකි ය.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් “බව තරණය“ ලියමින් උත්සහ කළේ ඒ සඳහා මැදිහත් වීමක් කරන්නට ය.

ආයතන ආගමික වටපිටාව තුළ වුව ද ධර්මය පරිහරණය කර, විච්චූර්ණ කතන්දර වලින් නිදහස් කොට ධර්මය මතු කර ගැනීමට කටයුතු කරන පූජකයන් ද අපට කලාතුරකින් මුණ ගැසී ඇත. වල්පොල රාහුල හිමියන් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අරනස්ට් පෝරුතොට පියනම මෙන්ම වත්මන් පාප් වහන්සේ ද ඒ අතර කැපී පෙනෙන චරිතයන් ය.

එහෙත් සම්ප්‍රදායික ආයතනගත ආගමෙන් ඔවුන්ට එල්ල වෙන අභියෝග සුළු පටු නොවේ. වත්මන් පාප් වහන්සේ ඉවත් කිරීමේ වෑයමක් මේ වන විට ක්‍රියාත්මක වන අතර අගරදගුරුවරුන්ගේ සහය ඒ සඳහා පතන ලිපියක් මේ වන විට පල්ලිය තුළ සංසරණය වන බවට ආරංචි ලැබෙමින් පවතින්නේ ය. එක් පැත්තකින් ඔවුන්ගේ මැදිහත් විම් වඩා ප්‍රතිඵල දායක වන අතර ඒවා මෙසේ වඩා අභියෝගාත්මක බවට ද පත් වෙමින් තිබේ. අප කළ යුත්තේ එවැනි යතිවරයන් තනි නොකර ඔවුන්ට ශක්තිය සැපයීම ය.

කලාව කලාව සඳහා නොව ජනතාව සඳහා විය යුතු ය. කලාව, සංස්කෘතිය මෙන් ම, ආගම ද ආගම සඳහා නොව ජනතාව සඳහා විය යුතු ය. ජනතාවගේ විමුක්තිය සඳහා විය යුතු ය. එය සාක්ෂාත් කර ගත හැක්කේ ආගම දේව වාක්‍යයක් ලෙස නොව විමසීමෙන් තෝරා බේරා ගෙන භාවිතා කළ යුතු දෙයක් බවට පත් කර ගැනීම තුළ ය. ඒ සඳහා මිනිසුන් යොමු කිරීම තුළ ය. ඒ වෙනුවෙන් ප්‍රමාණවත් සංවාදයක් ඇති කිරීම තුළ ය.

බුද්ධාගම තුළ එය කළ යුත්තේ බෞද්ධයන් ය. සෙසු ආගම් වල ද ඒ එක් එක් ආගමේ බැතිමතුන් ය.

මේ සංවාදය පමා කිරීම තුළ සිදුවන්නේ තව තවත් කළු පාස්කු ඉරිදාවල්, අවිනිශ්චිත වෙසක් දිනයන් උදා වීම ය. පූජ්‍ය ස්ථානයකටවත් ගොඩ වැදිය නොහැකි ලෙස මිනිසුන් අසරණ වීම ය.

අපේ වගකීම

ත්‍රස්තවාදින් අල්ලා දඩුවම් පැමිණවීම බාර ආණ්ඩුවට ය. ඒ සඳහා අපට කළ හැක්කේ හා කළ යුත්තේ තොරතුරු සැපයීමෙන් දායක වීම ය. ඊට අමතරව ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන හා නොකරන ක්‍රියාමාර්ග දෙස බලා සිට අවශ්‍ය අවස්ථාවල ආණ්ඩුව නිසි මගට ගැනීමට මැදිහත් වීම ය. නිසි තැන ප්‍රශ්න කිරිම ය.

එහෙත් ත්‍රස්තවාදයේ මතවාදයන් පරාජය කිරීම ආණ්ඩුවකට පමණක් කළ නොහැකි ය. එය ආගම් අදහන අපේ ද වගකිමකි. බොහෝ දෙනෙකු ආගම සළකනුයේ ප්‍රශ්න කිරීමට නොහැකි හිස් මුදුණින් පිළිගත යුතු පරම සත්‍යය ලෙස ය. එය පිළිනොගැනීම ඇතැම් ආගමික නිකායන් වල මරණයට පත් කිරීමෙන් ද තවත් ආගම් වල මරණයෙන් පසු අපා දුක් විඳීමට සැලැස්වීමෙන් ද දඩුවම් ලැබිය හැකි පාපයකි.

මුලින් ම කළ යුත්තේ මෙන්න මේ දම්වැලෙන් නිදහස් වීම ය. ආගම් ඇති වුනේ වසර දෙදහස් ගණනකට උඩ දී ය. එදා මෙදා තුර මේ ආගමික ඉගැන්වීම් වලට බොහෝ දේ එකතු වන්නට ඇත. ආගමික ශාස්තෘන් වහන්සේලා කී දෙය වචනයක් පාසා පිළිගනු ලැබූව ද අද පවතින්නේ එය ම යැයි හගිස්සවා ගන්නට ක්‍රමයක් නැත. එසේ තිබිය දී අන්ධ ලෙස ඒ සියල්ල පිළිගැනීමට කිසිම ආගමක බැතිමතෙකුට අයිතියක් නැත.

ආගම් බොහෝමයක් බිහිවෙද්දී පැවති වටපිටාව අද වන විට නැත. ඒ නිසා ද ඇතැම් ආගම්වල සඳහන් දේ මේ වනවිට යල් පැන ගොස් තිබේ. ඒ නිසා ම ආගම් විමසීම හා ඒවායේ හරය ගෙන පිටපොත්ත විසි කර දැමීම අද දවසේ සිදු කළ යුුතු කාර්යයක් වන්නේ ය. ඒ සඳහා කෙනෙකුට අවශ්‍ය නම් ආගමෙන් ම උත්තරයක් සොයා ගත හැකි ය. ඒ සඳහා බුදුන්ගේ පහත සඳහන් වදන් ද භාවිතා කළ හැකි ය.

කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව (ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව), පරම්පරාකථායෙනුදු නොගණුව (පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව), තෙල මෙසේ වී ලැ යි ද නොගණුව (යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව), අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව (තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව), තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව (හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව), නයග්‍රාහයෙනුදු නොගණුව (හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව), ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව (යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව), අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව (තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව), භව්‍යරූපතායෙනුදු නොගණුව (මෙතෙම පූජ්‍යයෙකැයි, මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව), මේ මහණ අපට ගුරුහයි ද නොගණුව (තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව), කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.