කීකොරු කම – ජාතියේ මහා දායාද ය!

කීකරු වෙන්නේ හොඳ ළමයින් ය. අකීකරු වන්නේ නරක ළමයින් ය. හොඳ ළමුන් දියුණු වන අතර ඔවුන්ට සියල්ල ලැබේ. නරක ළමයින් පීචං වන අතර ඔවුන්ට ඉතිරි වන්නේ මහ මග නැත්නම් සිපිරි ගෙය ය.

මේ අප ගෙදරදීත් පාසැලේදීත් පන්සලේදීත් අසා පළපුරුදු උවදෙස් මාලාවකි.

ඉතින් අපි ගුරු දෙගුරුන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද කීකරු වෙමු. කීකරු වෙන්නට යැයි අපට කියන්නේ ඔවුන්ට ය.

කීකොරු කම සමහර විට අවසන් වන්නේ බඩ වෙලා ය. මේ පහත කවියෙන් කියන්නේ ඒක ය.

පේමාදර හැගුම්වල නැතිවට          සීමා
කාමාතුර සිතක පව් සිතිවිලි       බෝමා
කෝම කියන්නද නුඹ ගැන පෙර  සේමා
සාමා මවක් කෙරුවෙත් ඒකිගෙ  මාමා

(උපුටා ගත්තේ 2014 ඔක්තෝබර් 23 දින දිවයින පත්තරේ පළව තිබූ අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන්ගේ කවි පෙළකිනි)
එහෙම බැලුවහම කීකොරු වෙන එකත් විචාර බුද්ධියෙන් යුතුව කළොත් හොඳ බව පෙනෙන්නේ ය. නැත්නම් කීකොරු කම ගෙන යන්නේ අපායට ය.
විජය කුමාරයා තාත්තාට කීකරු වූයේ නැත. නැව් නග්ගවා එලවා දැම්මේ එහෙයිනි. එහෙම නොවෙන්න සිංහල ජාතියක් ඇති වන්නේ නැත. දුටු ගැමුණු කුමාරයා තාත්තාට කීකරු වූයේ නැත. එහෙම නොවෙන්න රට එක්සත් වන්නේ නැත. සිංහල ජාතියේ අවසානය එයින් සනිටුහන් වන්නට ද ඉඩ තිබුනේ ය. ජාතිය ඇතිවුනේ ද රැකුනේ ද තාත්තාලට කීකරු නොවූ දරුවන් නිසා ය.ජාතිය සම්බන්ධයෙන් විතරක් නොව බෞද්ධාගම සම්බන්ධයෙන් ද සත්‍ය වන්නේ එයයි. සිදුහත්කුමාරයා තාත්තාට අකීකරු නොවෙන්නට අපට ජාතියක් පමණක් නොව අාගමක් ද නැත.එහෙම බැලුවහම සිංහල බෞද්ධ පදනමම හැදී ඇත්තේම අකීකරු වීම තුළ ය.ඒ වුනාට සිංහල බෞද්ධ සංස්කෘතියේ වඩාත්ම ආකර්ෂණීය සටන් පාඨය තාත්තලාට පමණක් නොව වැඩිහිටියන් හැමට කීකරු වනු යන්න ය.

පුංචි පහේ පරහක් මෙතැන නැත් ද? මගේ ප්‍රශ්නය උවදෙසක් දිය හැකි සිංහල බෞද්ධ වැඩිහිටියන්ට ය.

මම මෙහෙම කිව්වේ මම ඊනියා සිංහල බෞද්ධයෙක් නිසා ය. අනිත් ආගම්වලත් මේ කීකොරු කම අඩුවැඩි වශයෙන් දෙසා තිබෙන්නට පුළුවන. තමන්ගේ ආගම්වල ඉතිහාසය පිරික්සා බලා කීකොරුකම වැරදි ගිය අවස්ථා තිබේ දැයි බැලීමට ඔවුන්ට ද මම ආරාධනා කරමි.

මෙයින් පෙනෙන්නේ වඩා වැදගත් කීකොරුකම නොව විචාර බුද්ධිය බව ය. සමහර විට බාලයෙකුගේ අදහස ඊනියා වැඩිහිටියෙකුගේ අදහසකට වඩා ප්‍රගතිගාමී විය හැකි බව ය. තොරතුරු තාක්ෂණය ප්‍රචලිත අද දවසේ මෙය ඊයේට වඩා අදාළ ය.

ඒ නිසා වැඩිහිටියන්ට කීකොරු වීම නොව සෑම අදහසකට සවන් දීමටත් ඒවා දෙස විචාර බුද්ධියෙන් බැලීමටත් අප අපේ දරුවන් හුරු කළ යුතු ය.

ප්‍රශ්නය තියෙන්නේ විචාර බුද්ධිය පුරුදු පුහුණු කරවන එකේ ය. ඒක අමාරු ය. කීකොරුකම පුරුදු කිරීම ඊට වඩා දහස් ගුණයකින් පහසු ය. ඕනෑ ම මෝඩයෙකුට ඒක කරන්නට පුළුවන. කරන්නට තිබෙන්නේ අකීකරු වුනොත් වෙන්නේ මේකය කියා හොඳ හැටි බය කිරීම ය. උදේ හවස ඒ ගැන බණ කීම ය. කණ පිරෙනකම් ඒ ගැන දෙසා බෑම ය.

ඉතින් පහසු දේ කර අපහසු දේ මග හැරීම ගැන අපට දොස් කිව හැකි ද? නස්රුදින් නැතිවූ යතුර හෙව්වේ යතුර වැටුන තැන නොවේ. ආලෝකය තිබුනු තැන ය. අප පැවත එන්නේ නස්රුදින් පරපුරෙනි.

නිදහස ඕනෑ නැත. නිත්‍ය තාත්තා කෙනෙක් දෙන්න!

නිදහස බටහිර ලිබරල් චින්තනයේ නිශ්පාදනයකි.

කන්න තියෙනවනම් බොන්න තියෙනවනම් වෙන මොන කෙංගෙඩිය ද ඕන කරන්නේ?මෙතැන කෙංගෙඩියයි කීවේ නිදහසට ය.

කිචේට වගේ කිව්වත් ඒ සින්දුව නිදහසේ ඇත්තටම වැදගත් කමක් නැතැයි අපට මැනවින් කියා දෙයි. ඒත් තවමත් සමහරුන්ට මේ මගුල නැතිව නින්ද යන්නේ නැත.

වල්බූරු නිදහසක් දෙන්නට ඕනෑ නැතැයි කියන්නේ නිදහස වුනත් වැඩි වුනහම හොඳ නැතැයි සිතන අය ය. වැඩි වුනහම නොව එය කොහොමටත් හොඳ නැත.

කෙනෙකුගේ නිදහස අනෙකාගේ නහයේ කෙළවරෙන් ඉවර වෙතැයි කියමනක් ආවේ ද ඒ නිසා වන්නට ඇත. එයිනුත් පෙනෙන්නේ නිදහස කරදරයක් බව ය. පාලනය කළ යුතු මහා සතුරෙකු බව ය.

නිදහස තමන්ට ඕනෑ නැතැයි කියන අය මෙන්ම සෙසු අයට ඕනෑවට වඩා නිදහස දිය යුතු නැතැයි ද කියන අය ද පතන්නේ එකම ලෝකයකි. ඒ ලෝකය බලා කියා ගන්නා ධර්මිෂ්ඨ පාලකයෙකු වෙයි. හොඳ නොහොඳ පමණක් නොව මිනිසුන්ට අවශ්‍ය මොනවා ද දිය යුත්තේ මොනවා ද උන් ලැබිය යුත්තේ මොනවා ද යන්න සියල්ල තීරණය කරන කේන්ද්‍රය ඒ පාලකයා ය. ඇත්තටම කිව්වොත් හැමෝගේම තාත්තා ඔහු ය.

එවැනි තාත්තා කෙනෙකු ඉන්නා කල නිදහසක් අවශ්‍ය වන්නේ මන් ද?

නිදහස දුන්නහම මිනිසුන් වැරදි වැඩ කරති. එසේ කරන්නට ගොස් අමාරුවේ වැටෙති. තාත්තා සියල්ල බලා ගන්නා ලෝකයක එවැනි කරදරවලට මිනිසුන් නිරාවරණය කරන්නේ මන් ද?

මිනිසුන් බැලිය යුත්තේ මොන නාට්‍යය ද ඇසිය යුත්තේ කුමන ප්‍රවෘත්ති ද ඇදහිය යුත්තේ කුමන ආගමක් ද යන සිල්ලර කාරණා පිළිබඳව ඒ අනුව මිනිසුන් වෙහෙසිය යුතු නැත. ඒ සියල්ල තාත්තා කියා දෙන්නේ ය. මිනිසුන්ට තියෙන්නේ තාත්තා කියන්නක් කිරීමට ය.

එතකොට මිනිසුන්ට හිතන්නට දෙයක් නැත. ඇත්තටම හිතීමේ කරදරයෙන් නිදහස් වීම ම සැබෑ නිදහස නොවන්නේ ද? මේ ලෝකයේ ඇති අමාරුම වැඩේ හිතන එක ය. සියලු කරදර එන්නේ මොළයට වදයක් වන්නේ මේ හිතන එක ය.

තාත්තා ඒ සියල්ලෙන් අප නිදහස් කරන්නේ නම් ආයෙත් ඉල්ලන්නේ මොන නිදහසක් ද?

ඔය කියන නිදහස ලැබුනහම සිදුවන්නේ හරි දේ කුමක් ද වැරදි දේ කුමක් දැයි වටහා ගැනීමේ වගකීමට කර ගැහීමට ය. නිදහස කියා බඩකඩුත්තුවක් කර ගහ ගන්නට ගොස් අප නිදහස නැති කර ගන්නේ මන් ද?

ඇළකින් නා ගත්තහම සනීප ය. කොස් ගෙඩියක් කඩා ගෙන සම්බලයක් හදා ගෙන කෑවම බඩ පිරෙනවා ය. රෙදි පෙරෙදි අඩු වුනු තරමට හුලං රැල්ලකුත් වදිනවා ය. ඊට පස්සේ තියෙන්නේ නිදා ගන්නා එක ය. මෙහෙම ජීවිතයකට තවත් නිදහස ඉල්ලන්නේ අමු කැවුනාම ය.

අමතරෙන් වුවමනා නම් අවශ්‍ය වන්නේ පොඩි සොමියකට වඩියකුත් කට ගැස්මට මිරිස් කරලකුත් ය. ඒකත් වත්තෙන් ම හදා ගත්තහම ආයෙ මොකවත්ම ඕනෑ නැත. අපව බලාකියා ගන්නට, අපට අණ දෙන්නට, කරන්නේ කුමක් දැයි කියා දෙන්නට, කුමක් නොකළ යුතු දැයි කියන්නට තාත්තෙක් හිටියම ඇති ය.

එකම ප්‍රශ්නය තියෙන්නේ තාත්තල වෙන්ඩ දගලන අය හැට හුටහමාරක් සිටින නිසා  ය. තාත්තා හැටියට අප තෝරගන්නේ කවුද යන්න තීරණය කිරීමේ නිදහස තවමත් ඉතිරි වී තිබීම මෙයට හේතුව ය. “වෙන්ඩ“ තාත්තලාගේ කරදරයෙන් බේරෙන්නට ඇත්තටම අපට තියෙන්නේ එක තාත්තා කෙනෙක් ගැන නිත්‍යයෙට හිත හදා ගන්නට ය. එතකොට ඒ ප්‍රශ්නෙනුත් අප ගොඩ ය.

නිදහස ඕනෑ නැත. අපට වරින්වර මාරුවෙන්නේ නැති සදාකාලයටම ඉන්නා තාත්තා කෙනෙක් දෙන්න!

බොදු බලසේනාවට විවෘත ලිපියක්…..(මුස්ලිම් අන්තවාදීන්ට කොපියක් සමග)

ඔබ කියනා ලෙසට ඔබ පෙනී සිටින්නේ බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ය. සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් ය.

මේ දෙක එකවිට කරන්නේ කෙසේ දැයි මට මුලින්ම එන ප්‍රශ්නය මම නොනගා නවතින්නෙමි. මට අවශ්‍ය ඔබ සමග දාර්ශනික සංවාදයකට පැටලීමට නොවේ. දාර්ශනික සංවාදයකට ඇති සංයමය ඔබ කෙරෙන් කිසිදා මම දැක නැත්තෙමි.

දහමේ වෙසෙන්නා දහමෙන්ම ආරක්ෂා කරන බව කීවේ බුදුන් වහන්සේ ය. එහෙව් දහමකට බලසේනාවක ආරක්ෂාව අවශ්‍ය දැයි යන ප්‍රශ්නය ඔබගේ සැහැසි වාග් ප්‍රහාර වලින් සහ ඔබට සහය දෙන අයගේ උත්තර වලින් බොරු කර ඇතැයි ඔබ සිතන නිසා ඒ ගැන ද කතා කිරීමට මම අදහස් නොකරමි.

සැහැසි වචන හා මැර බලය සරණ ගිය ඔබ සමග කතා කිරීමම වැඩක් ඇති දෙයක් දැයි මට විටෙක සිතේ. එහෙත් තමන්ගේම මතයක් නැති මිනිසුන් ඔබේ හඩ ඉදිරියේ ගාල් වෙනු දකින විට ඒ වැඩක් නැති කතාව කළ යුතු යැයි මට සිතිණි.

ඔබ අනුයන සමහරු ඔබගේ හැසිරීම මුළුමනින් අනුමත නොකරති. එහෙත් ඔබ පෙනී සිටින්නේ යහපත් අරමුණක් වෙනුවෙන් නිසා ඔබෙන් නිතර ගි‍ලිහෙන පරුෂ වචන සහ ඔබගේ මැර හැසිරීමට සමාවක් දීමට ඔවුන් සූදානම් ය. ඔවුන් නොදන්නා සහ අමතක කරන කාරණය නම් බුදුන් අරමුණ පමණක් නොව එය කරා යන මාවත ද යහපත් විය යුතු යැයි විශ්වාස කළ කෙනෙකු බව ය. ඒ බව ඔවුන්ට අමතක කරවන්නට හැකිවීමම එක් අතකට ඔබගේ ජයග්‍රහණයක් බව අපට පිළිගන්නට සිදු වේ.

තමන් ආගම රකින්නට යන්නේ ආගමට විරුද්ධ වීමෙන් බව නොදන්නා තරමට ඔබ අනුයන මිනිසුන්ගේ බුද්ධිය මොට කිරීමට ඔබට හැකිවීම ද ජයග්‍රහණයක් බව ඇත්ත ය.

ඔබ ඒ සදහා භාවිතා කරන්නේ බොරුව හා අර්ධ සත්‍යයන් ය. බොරුවටත් වඩා අර්ධ සත්‍යයන් ය. ඒවා මහා හඩින් කී විට ඒවාට බලයක් ලැබෙතැයි යන ඔබේ උපකල්පනය නිවැරදි ය. මිනිස්සු සද්දයට බය ය. සද්දයට ආසා ය. සද්දයම ශක්තිය වෙන, බලය වෙන, වටපිටාවක බුද්ධියට ඉඩක් නැත. සිතන්නට ඉඩක් නැත. ඒ සද්දයම, බලයම, ඔවුන්ට පිහිට වෙතැයි ඔවුන්ට හැගී යාම ඔබගේ තව ජයග්‍රහණයකි.

ඒ සද්දයම, බලයම, ඔබගේ වැඩ පිළිවෙළට විරුද්ධ මිනිසුන් පවා නිහඩ කරවන්නට ද හේතුවක් වී ඇත.

එකම දේ නැවත නැවතත් කීමෙන් බොරුව පවා ඇත්ත වෙන බව ද ඔබ දනී. මනෝ විද්‍යාවේ මිනිසුන් මුලා කිරීම සම්බන්ධයෙන් ඇති සියළු උපා ඔබගේ වැඩ පිළිවෙළ ඇතුළේ දැකිය හැකි ය.

මිනිස්සු තමන්ව අනෙකා විසින් යටපත් කරනු ලැබේ යැයි නිරන්නතර බියකින් පෙ‍ළෙති. පරිණාමයේ ශේෂයක් හැටියට පවතින ඒ බිය ඔබ විසින් තුච්ඡ ලෙස ප්‍රයෝජනයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කිව යුත්තේ මෙසේ කරන ලද එකම බලවේගය ඔබ නොවන බව ය. ඉතිහාසය පුරා මතුවුනු එවැනි බලවේග අපි රට ඇතුළත ද වෙනත් රටවල ද දැක ඇත්තෙමු.

ඔබ විරුද්ධවන වත්මන් මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් ද ප්‍රයෝජන ගනු ලබන්නේ ඒ බිය යි. ඒ කාරණය ගෙන බැලූ කල පැහැදිලිව හෙලිවන කරුණ නම් ඔබ විරුද්ධ වන එම මුස්ලිම් අන්තවාදී සංවිධාන ද ඔබේම නිවුන් සොහොයුරන් බව ය. ඔවුන් ඔබගෙන් බොහෝ වෙනස් නොවේ. වෙනස් වනවා නම් ඒ ඔවුන් පක්ෂපාතිත්වය දරණ ආගමික ලේබලයෙන් හා ඒ වෙනුවෙන් ඔවුන් පෙන්වන මෘග භාවයෙන් පමණ ය.

ඔවුන්ගේ වැඩ පිළිවෙළ ඔබව ශක්තිමත් කරන අතර ඔබේ වැඩපිළිවෙළ පෙරලා ඔවුන්ව ශක්තිමත් කෙරෙන අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටියෙමු.

ඔබ සියල්ලන් අපව ගෙන යන්නේ යුද්ධයට ය. හිංසනයට ය. එකිනෙකාට එරෙහි ගහ මරා ගන්නා අනාගතයකට ය.
අප ඔබට විරුද්ධ වන තරමටම අනෙත් අන්තවාදී සංවිධානවලට ද විරුද්ධ වන්නෙමු. ඒවාට ඔබ විසින් අනියමින් ලබා දෙනු ලබන ශක්තිය අඩ පණ කිරීමට නම් ඔබව ද හෙලිදරව් කර දුර්වල කළ යුතු ව තිබේ.

වෛරයට පිළිතුරු වෛරය නොවන්නා සේම අන්තවාදයට පිළිතුර තවත් අන්තවාදයක් නොවේ.

සෑම ආගමකම සැබෑ පණිවුඩය සාමය හා සහජීවනයයි. එසේ වුව ද ආගමික අන්තවාදීන් විසින් එය විකෘති කොට එහි ප්‍රතිපක්ෂය ඉදිරියට ගෙන වුත් තිබේ. ඔබ ඊට තවත් එක් උදාහරණයක් පමණ ය.

නාසිවාදය ජර්මනිය සිය අණසකට ගත්තේ ය. මුළු ලෝකයම යුද පිටියක් කළේ ය. එ‍් තරමට එහි ශක්තිය වැඩි ගොස් තිබුණේ ය. එහෙත් අවසා‍නයේ එය පරාජය විය. වෛරය හා මැරබලය මත පදනම් වන සියළු අන්තවාදී සංවිධාන ද හිටි හැටියේ වර්ධනය වීමට සමත් විය හැකි නමුදු වැඩි දිනක් නොයාම අභාවයට පත්වන්නේ ය. ප්‍රශ්නය ඇත්තේ ඒ පවතින කෙටි කල තුළ මහා විනාශයක් කිරීමට ඊට හැකියාව ලැබීම ය. ඒ නිසා හැම ආගමකම සිටින බැතිමතුන්ගේ යුතුකම වන්නේ තමන්ගේ ආගමේ මුවාවෙන් වෛරය බිය හා සැකය පැතිරවීමට අන්තවාදීන්ට අවස්ථාවක් නොදීමට ඉටා ගැනීම ය.

සත්‍යය මිනිසුන් විසින් සොයා ගත යුතු අවබෝධ කරගත යුතු එකක් මිස ඔවුන් මත බලහාත්කාරය ‍යොදා පැටවිය යුතු දෙයක් නොවන බව තේරුම් ගැනීමට තරම් මිනිසා දියුණු වී ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. තවදුරටත් නොදියුණු ළිංමැඩියන්ට මේ දියුණු ලෝකයේ පිනුම් ගැසීමට ඉඩ දීම අපට තරම් නොවේ. ඔවුන් ලෝකයට සිය පණිවුඩ ගෙන එන්නේ මොන ළි‍ඳෙන් ද යන්න නොසළකා ඔවුන්ගේ පටු පණිවුඩ හෙළිදරව් කිරීම අපේ යුතුකම ය.

ඒ නිසා ඔබ අසන්නට සූදානම් වුවත් නැතත් ඔබේ වෛරී වැඩ පිළිවෙළ අපට හැකි අයුරින් අපි හෙලිදරව් කරන්නෙමු. අප ආදර්ශයට ගෙන මුස්ලිම් භක්තිකයන් ද වෙනත් ආගමිකයන් ද ඔවුන්ගේ ආගමික අන්තවාදීන් හෙලිදරව් කරනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

ඔබේ ඔය පාපකාරී වැඩ පිළිවෙළ අතැර බුදුදහමේ චිරස්ථිතිය පිළිබඳ සැබෑ වැඩපීළිවෙළකට පැමිණෙන්නේ නම් අපේ සහයෝගය ඔබට ලබා දීමට ද කැමැත්තෙමු.

අප කුඩා කල අපේ දෙමාපියන් පාරේ වඩින සංඝයා වහන්සේ නමක් පෙන්වා අපට කියා සිටියේ ඒ නිවුනු චරිතය අනුගමනය කරන ලෙස ය. දැන් දෙමාපියන්ට සිදු වී ඇත්තේ රූපවාහිනියේ දිගහැරෙන චීවර ධාරීන්ගේ අසැබි ආවේගාත්මක මැර හැසිරීම බලා සුසුම් හෙලන්නට ය. ළමයින් ඒ විසූක දස්සණ නොබලන බවට වග බලා ගැනීමට ය. කොටු දැමිය යුත්තේ මත්පැන් හා දුම් වැටිවලට නොව මේ අසභ්‍ය රංගනයන්ට යයි කියන දෙමාපියන් අපට කොතෙකුත් මුණ ගැසී ඇත. ඒ ඔබ විසින් සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් ගොඩ නගා ඇති ප්‍රතිරූපයයි. ඔබගේ හැසිරීමෙන් ආදර්ශයන් ගන්නා ළමයි පමණක් නොව වැඩිහිටියන් ද කල්පනා කරනු ඇත්තේ ප්‍රශ්න විසඳන බෞද්ධ මාර්ගය වැටී ඇත්තේ කුණුහරුප, පරුෂ වචන හා මැරබලය හරහා බව ය. අද දවසේ සමාජය පුරා පැතිරී යන හිංසනය හා මැර ක්‍රියාවලට ඔබගේ නොමද දායකත්වය ද හේතු සාධක වී තිබේ. එසේ කල්පනා කරන කල අප ඉහත කරන ලද ඉල්ලීම විහිළුවක් වන්නට හොඳටම ඉඩ තිබේ. කෙරෙන නොකෙරෙන බව නොසළකා එ‍වන් ඉල්ලීමක් කළේ පුංචි හෝ ඉඩක් ඉතිරිව තිබේ නම් එය පිරික්සන්නට ය. අඩුවශයෙන් ඔබ සමග එක්වී සිටින වඩා මධ්‍යස්ථ හා කල්පනා කළ හැකි පිරිස් අමතන්නට ය.

ඔබේ හැසිරීමෙන් ඇති වූ සාධාරණ කෝපය බොහෝ අය විසින් පිට කර හරිනු ලබන්නේ ඔබේ හැසිරීමේම ප්‍රතිබිම්භය බවට පත්වීම හරහා ය. ඔවුහු එක්කෝ ඔබේ සංවිධානය තහනම් කරන ලෙස යෝජනා කිරීමට නැත්නම් ඔබේ සංවිධානයේ ඉන්නා දුර්වල වැරදි සහගත පුද්ගලයන් කීප දෙනෙකුගේ වංචා දූෂණ අක්‍රමිකතා හෙලිදරව් කිරීම හරහා ඔබට පහර ගැසීමට සූදානමින් සිටින්නෝ ය.

පණිවුඩයට මිස පණිවුඩකාරයාට පහර දීම අපගේ ප්‍රතිපත්තිය නොවන්නේ ය. ඔබට විරුද්ධවීම සදහා ඔබේ මට්ටමට වැටීම ද අපට අපුල ගෙන දෙන කාරණයකි. කෝපය මත පදනම්ව ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම ද අපි ප්‍රතික්ෂේප කරමු. ඒ නිසාම ඔබට විරුද්ධ වීමේ අපේ ක්‍රියාමාර්ගය තුල මේ කිසිවක් නැත.

මෙය වඩාත් පැහැදිලි කළ යුතු කාරණයකි. පණිවුඩයට පහර නොදී පණිවුඩකාරයාට පහර දෙන බොහෝ දෙනෙක් එසේ කරන්නේ පණිවුඩයට පහර දීමට ඔවුන්ට නොහැකි නිසා වෙනි. අපට එවැනි බැරිකමක් නැත.

පණිවුඩයට පහර නොදී පණිවුඩය ගෙනෙන්නාට පහර දීමෙන් වන්නේ ඔහුගෙන් ගිලිහෙන පණිවුඩය තව කෙනෙකු විසින් අහුලා ගැනීම ය. ඒ නිසා එහි ඇත්තේ කෙටි කාලීන අගයක් පමණකි. අපට අවශ්‍ය ඔබේ සංවිධානය පරාජය කිරීමට නොව එය ගෙනෙන නිහීන මතවාදය පරාජය කිරීමට ය. අපට අවශ්‍ය තාවකාලික ජයග්‍රහණයන් නොව කල්පවතින ජයග්‍රහණයන් ය.

ඒ නිසා කිසිවෙකු ඔබේ සංවිධානය තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් අපි ඊට එරෙහි වෙමු.

අවසාන වශයෙන් ඔබේ මෑතක ක්‍රියාපටිපාටිය ගැන සදහනක් කිරීමට කැමැත්තෙමු. ඒ රටේ නම වෙනස් කිරීමට ඔබ විසින් යෝජනා කරනු ලැබ තිබීම ය. ජාතික කොඩිය වෙනස් කිරීමට යෝජනා කරනු ලැබ තිබීම ය.
ඒ දෙකින්ම ඔබට වුවමනා කර තිබෙන්නේ වෙනත් ජාතීන් බැහැර කර තැබීමට ය. ඔවුන් සිංහලයින්ට යටත් දෙවැනි පුරවැසියන් කොටසක් බවට පත් කිරීමට ය. ඔවුන් කෙරෙහි ආධිපත්‍ය පතුරන්නට ය. රටම සිංහලයන් වෙනුවෙන් අල්ලා ගැනීමට ය.

අපට නම් රට අල්ලා ගත යුතු භූමියක් නොවේ. ආධිපත්‍ය පැතිරිය යුතු භූමි භාගයක් ද නොවේ.

අපට නම් එය කුවේණිගේ පරපුරෙන් එන අයටත් විජයගේ පරපුරෙන් එන අයටත් වැද්දන්ගේ පරපුරෙන් එන අයටත් මෙහි දැන් පදිංචිකරුවන්ව සිටින වෙන රටක උරුමයක් නැති සියළු දෙනාටමත් සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත්වන්නට හැකි පොළොවේ තිබෙන තවත් එක් භූමියකි.

ඒ හැම එක්වී ගොඩ නගන අනාගතයක් වෙනුවෙන් රටක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

එසේ කියන අපට දමා ගසන එක් සුවිසල් ආයුධයක් තිබේ. ඒ අප නිවට බව ය. බිය බව ය. ඔබ භාවිතා කරන පිළිකුල් භාෂාවෙන් කියන්නේ නම් අප පොන්නයන් බව ය.

ශක්තිමත් මිනිසුන් නිබය මිනිසුන් පාරම්බාන්නේ නැත. පුප්පන්නේ නැත. ඔවුන්ට තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් තිබේ. බල්ලන් උදාහරණයකට ගන්නේ නම් වැඩියෙන් බුරන්නේ උන් අතරින් හොදටෝම බය උන් ය. බුරන බල්ලෝ හපා කන්නේ නැත. ඒ නිසා ඒ ආයුධය භාවිතා කිරීමෙන් වැඩක් නැත.

අපට වැදගත් වන්නේ රටේ නම නොවේ. රටේ නමට ලැබෙන ප්‍රතිරූපයයි. විරූපි කතකට සුරූපි යයි නමක් දැම්මාට වැඩක් නැත. ඒ අර්ථයෙන්ම වැඩවලින් ද වචනයෙන් ද හැසිරීමෙන් ද රට බුදුන්ගේ දේශයක් ලෙස නොපෙනේ නම් මේ බුදුන්ගේ දේශය යයි එය නම් ක‍ළාට වැඩක් නැත. එසේ කළ විට අවමානය බුදුන්ට ය.

ආඩම්බරයෙන් මේ අපේ රට යැයි කිව හැක්කේ එහි විසූක දස්සන නැත්නම් පමණකි.

රටක ප්‍රතිරූපය තිරණය වන්නේ රට සහ එහි වැසියන් පෙනී සිටින ආචාර ධර්ම වලිනි. එහි මිනිසුන්ගේ ආචාරශීලිත්වයෙනි. ඒ මිනිසුන්ගේ වචනයෙන් ද ක්‍රියාවෙන් ද ලොවට පෙන්වන ඔවුන්ගේ චරිතයෙනි. ඒවා විපරීත වී නමින් රටේ නම සුපිරි වීමෙන් පළක් නැත.

රටේ නම නොව ඔබ සංවිධානයේ නම වෙනස් කිරීම ගැන ඔබේ අවධානය යොමුවනු ඇතැයි අපි සිතමු. මක්නිසා ද යත් රටේ වත්මන් නම වූ ශ්‍රී ලංකාව නිසා සිදුවන විනාශයක් නැතත් අති විශාල විනාශයක් රටටත් ආගමටත් ඔබේ සංවිධානයේ නම – බොදු බල සේනා – නිසා සිදුවන නිසා ය.

බටහිර ලෝකයේ වඩාත් වැඩියෙන් පැතිරෙන ආගමක් වෙයි නම් ඒ බුද්ධාගම ය. ඔබේ ක්‍රියාකාරිත්වයෙන් විය හැකි එකම දෙය එය අඩාල වීම ය. ඔබේ නම ඒ සඳහා අතිරේක තිරිංගයක් වී ඇති බව ඔබ සංවිධානය සම්බන්ධයෙන් වෙනත් රටවල පළවන මාධ්‍ය වාර්ථාවලින් මොනවට පෙනේ. ඔබ ඉටුකරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් දැයි යන සැකය ඒ නිසාම බොහෝ දෙනා තුළ පහළ වී තිබේ.

ඔබ සම්බන්ධයෙන් ලියන්නට ඇති දේ ලිපියකින් ගොනු කිරීම අමාරු ය. ඒ සඳහා පොතක් ලිවිය යුතු ය. තේරුම් ගන්නා කෙනෙකුට පොත් ලියන්නට වුවමනා නැත. තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකුට පුස්තකාලයක් පිරෙන්නට ලිව්වත් වැඩක් වන්නේත් නැත. ඒ නිසා ලිපිය මෙතැනින් සමාප්ත කරමි.

අද ඔබගේ විය හැකි ය. එහෙත් හෙට දවස සැබැවින්ම අපේ ය. රැවටීමට හා මුලාවට සීමාවක් ඇති බැවිනි. ඔබට ඔබ අනුයන අබ සරණත් රටට හා ජනතාවට තෙරුවන් සරණත් අපි අවසාන වශයෙන් පතමු.

Albert Camus
(මේ ලිපිය මට ලැබුනේ Albert Camus විසින් ලියන ලද Resistance, Rebellion and Death යන පොතේ පිටු අතර ය. සාහිත්‍යයට හිමි නොබෙල් තාග්‍යෙයන් 1957 පිදුම් ලද, 1960 මිය ගිය මෙම ප්‍රංශ ඇල්ජීරියානු ලේඛකයා එක් දහස් නමසිය හතලිස් ගණන් වල ලියන ලදැයි සැළකෙන පොතක මේ ලිපිය තිබුනේ කෙසේ දැයි ඔබ පුදුම වන මම දනිමි. ඇත්තටම මට ඇති පුදුමයත් එයම ය. )

මා සිතා සිටියේ වචන තියෙන්නේ සෙල්ලම් කිරීමට කියා ය. එහෙත් මේ ලිපිය ලිවීමෙන් ඇල්බට් කැමූස් පෙන්වා දෙන්නේ වචනවලින් ඊට වඩා වැදගත් කාර්යයක් කළ හැකිය කියා ය. සෙල්ලමකටත් වඩා වැදගත් දෙයක් තිබේ යැයි විශ්වාස නොකරන මට මෙය අලුත් අත්දැකීමක් විය. මෙය මෙසේ ඔබ සමග බෙදාගන්නට හිතුවේ ඔබේ අදහස දැන ගැනීමටත් එක්ක ය.