මිලිටරීකරණය පිළිබඳ අවුල නිරවුල් කිරීම

සරසවි අධ්‍යාපනය මිලිටරීකරණ කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ අය පවා කොතලාවල විශ්ව විද්‍යාලය තුළ මිලිටරීකරණයක් ඇතැයි පිලි ගන්නේ නැත. ඒ නිසා අධ්‍යාපනයේ මිලිටරීකරණයෙන් අදහස් වන්නේ කුමක් ද යන්න ගැන හරවත් සංවාදයක් සිදු විය යුතු ය. මේ ඊට ප්‍රවේශයක් පමණ ය.

මිලිටරීකරණය කියන වචනය තේරුම් ගැනීමෙන් තොරව මේ සංවාදය සිදු කළ නොහැකි ය. එයින් අප අදහස් කරන්නේ දැඩි විනයක් යටතේ සිසුන් සරසවිය තුළ රඳවා ඉගැන්වීම ය. නිල ඇඳුමක් කොණ්ඩය හා රැවුල සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඇතුළු බාහිරින් සමගාමී පෙනුමක් පවත්වා ගැනීමේ සිට ආචාර්ය මණ්ඩලයට කීකරුව ඔවුන් කියනා ආකාරයට ම කටයුතු කිරීම ද එයින් අමතරෙන් අදහස් කරන්නේ ය. වෙනත් පනවන සීමාවන් හා ඒ අනුසාරයෙන් බිහිවන මේ භෞතික පරිසරය තුළ ප්‍රශ්න කිරීමට මානසික බාධකයක් ඉදි වන්නේ ය.

සමහරු එය පිළිගැනීමට කැමති නැත. යම් විනයක් යටතේ සිසුන් නඩත්තු කිරීමේ වරදක් ඔවුන් දකින්නේ නැත. බොහෝ දෙනෙකු ද දකින එකක් නැත.

ඒ අස්ථානය ගැන කල්පනා කරන විට මගේ සිහියට නැගෙන්නේ කළමනාකරණ පශ්චාත් අධ්‍යාපන ආයතනයේ සිදු වූ සිදු වීමකි. ඒ ආයතනයේ අධ්‍යක්ෂක හැටියට වැඩ කරමින් සිටි එහි පුරෝගාමීයා නිවාඩුවක් ගෙන විදේශ ගත ව සිටියේ ය. ඒ වසර දෙකක කාලයකට ය. ඒ කාලය තුළ ඔහුගේ වැඩ ආවරණය කරන ලද්දේ වැඩ බලන අධ්‍යක්ෂක වරයෙකි.

එතුමාට ආයතනය විධිමත් කිරීමට අවශ්‍ය විය. ඒ නිසා ලංකාවේ එවකට ආයතන තුළ ක්‍රියාත්මක වූ ඵලදායීතා ප්‍රවර්ධන වැඩ සටහනක් ආයතනය තුළ ක්‍රියාත්මක කිරීමට ඔහු ක්‍රියා කළේ ය. ඒ යටතේ 5 S සංකල්පය ද දියත් කෙරිණි. ඒ වැඩ සටහන තුළ කළ එක් කාර්යයක් වූයේ තරප්පු පෙල දිගේ උඩට පහලට යා යුතු ආකාරය දිලිසෙන කහපාටින් යුත් ඊතල යොදා දැක්වීම ය. ඒ අනුව උඩට යන අය එක් ඊතල පේලියක් අනුගමනය කරමින් තරප්පු පෙලේ එක් පැත්තකින් උඩටත් පහලට යන අය අනෙත් පැත්තේ ඇති ඊතල පේලිය අනුගමනය කරමින් පහලටත් ගමන් කළ යුතු විය.

බැලූ බැල්මට මෙහි ඇති වැරැද්දක් නොවී ය. එකිනෙකාට බාධාවකින් තොරව ඉහළටත් පහළටත් ගමන් කිරීමට ඒ ඊතල පහසුවක් විය හැකි බව ද කාට වුව පෙනිණි. එය කොතලාවල ඇකඩමිය තුළ බොහෝ දෙනා දුටු සාමය හා සමාන ය.

නැවතත් පැරණි අධ්‍යක්ෂ තුමා පැමිණි විට කර ඇති වෙනස්කම් පිළිබඳව ඔහු සතුටට පත් වනු ඇතැයි ද වැඩබැලූ අධ්‍යක්ෂක වරයා සිතුවේ ය. එහෙත් විධිමත් අධ්‍යක්ෂක තුමා තමන්ගේ නිවාඩු කාලය අවසන් කර නැවත ආයතනයේ අධ්‍යක්ෂ පදවිය බාර ගත් විට තරප්පු පේලියේ මේ ඊතල මෝස්තරය වෙනස් කිරීම ඔහු සිය ප්‍රථම රාජකාරිය කර ගත්තේ ය.

ඒ පියවර ගැන ඇතැම් අය හිතුවේ තමන් නැති අතරේ කළ වැඩක් නිසා ඔහු ඒ ගැන උරණ වී එය වෙනස් කරන්නට ඇතැයි කියා ය. ඒ ගැන විමසන අයට ඔහු කීවේ මේ ආයතනය ඒකාකාරී භාණ්ඩ නිශ්පාදනය කරන ෆැක්ටරියක මට්ටමට ගෙන ඒමට තමන් නොකැමති බව ය. ආයතනය මගින් කොපි කරන මිනිසුන් බිහි නොකළ යුතු බව ය. ව්‍යුහයකට යටත් ව කටයුතු කරන මිනිසුන් නිර්මාණය නොකළ යුතු බව ය. එකකට එකක් වෙනස් නිශ්පාදන ලොවට දායාද කරන නවෝත්පාදනය සිය ජීවන දර්ශනය කර ගත් නිර්මාණශීලි මිනිසුන් බිහිකිරීම එහි අරමුණ විය යුතු බව ය. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් නටමින් වුව තරප්පු තරණය කිරීමේ නිදහස තිබිය යුතු බව ය. ඔහු තවදුරටත් කීවේ මෙවැනි සීමා නිසා මිනිසුන්ගේ සිතීමේ ශක්තියට පවා විලංගු වැටිය හැකි බව ය.

භෞතික පරිසරය අ‌පේ මනෝභාවයන් වලට දැඩි බලපෑමක් කරන බව මනෝ විද්‍යාවේ එක් වැදගත් ඉගැන්වීමකි. එය සිසුන්ට පමණක් නොව ආචාර්ය මණ්ඩලයට ද බලපාන්නේ ය. වෙන එකක් තබා එවැනි පරිශ්‍රයකට පිවිසෙන බාහිර පුද්ගලයෙකුට පවා බලපාන්නේ ය. හොඳට හෝ නරකට බලපාන්නේ ය. එක විදිහකට නොව බහුවිධ ආකාරයකට බලපාන්නේ ය.

මෙය වඩාත් හොඳින් අවබෝධ කර ගත හැක්කේ මිලිටරි අත්දැකීම් හෝ සමාන අත්දැකීම් ඇති අයට ය. වෙනත් බොහෝ දෙනෙකු බාහිරින් පෙනෙන සාමයෙන් සෑහීමකට පත් වෙති.

නිකම් ම මිලිටරීකරණයට ඇති විරෝධය පල කොට ප්‍රමාණවත් නැත්තේ ඒ නිසා ය. මනෝ විද්‍යාත්මක පසුබිමක් ඇති අය බරපතල ලෙස මේ සංවාදයට මැදිහත් විය යුතු යැයි අප කල්පනා කරන්නේ එහෙයිනි.

පටලවා නොගැනීම සඳහා තවත් එකක් කිව යුතු ය. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම මිලිටරීකරණය කිරීමට සමාන නැත. එහෙත් එය ද මේ සමග එකට ගැනීමෙන් අප අමාරුවේ වැටෙන්නේ ය.

අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම යනු රජය අධ්‍යාපනයෙන් මුළුමණින් ම ඉවත් වීම ය. ඒ අර්ථයෙන් පෞද්ගලීකරණය සැළකුවහොත් එය ද මිලිටරීකරණය තරම් ම බරපතල ය. එවිට ආර්ථික හයියක් නැති බොහෝ අය ඉවත් වන නිසා ය. ඒ තුළ වටිනා සම්පත් ජාතියට අහිමි වී යා හැකි නිසා ය. ඒ නයින් ගත් කළ සටන් පාඨ දෙක ම එක ගොඩට දමා ගත්තාට ගැටළුවක් නැත.

ගැටළුව ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට විවෘත කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සමාන කිරීමෙහි ය. දෙවැන්න බරපතල වුව ද පළමුවැන්නෙහි ඒ බර නැත. ඊට හේතු කීපයකි. රජයට අවස්ථා සපයා දිය නොහැකි නම් පෞද්ගලික අංශයට ඒ සඳහා අවකාශ සැලසීමේ අවුලක් නැති වීම එකකි. දැනට ද එය සිදු වෙමින් පවතින නිසා එය අලුත් දෙයක් වන්නේ නැති වීම ද තව එකකි. අධ්‍යාපනය සඳහා ඇති අවකාශ පළල් වීම හා ඒ තුළ විවිධත්වයක් ඇති වීම තුන්වෙනි හේතුව ය.

අධ්‍යාපනය අර්බුදයක බව සැබෑ ය. ඒ අර්බුදයෙන් ගැලවීමට තැත් කරන බව පෙන්වමින් ඒ සඳහා ආණ්ඩුව ගෙනෙන යෝජනා තරමට ම ඒවා පිළිකෙව් කරන පාර්ශවයන් ගෙනෙන සටන් පාඨ ද ඒ අනුව එක සේ වැරදි ය. කිරි සමග ගොම කලවම් කර ඒවා පානය කරතැයි අපේක්ෂා කිරීම නොකළ යුතු ය.

මිලිටරීකරණ හා පෞද්ගලීකරණයට එරෙහි විරෝධතා දෙක වෙන වෙන ම පවත්වා ගෙන යන තරමට මුල් හා වඩා බරපතල කරුණට එරෙහි කඳවුර ශක්තිමත් වනවා ඇත. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරන්නට යෑමෙන් වන්නේ එක කුරුල්ලෙකු වත් අහිමිව යෑම ය. අන්තිමේ දී ආණ්ඩුවේ මර්දනකාරී උපාය මාර්ගය ජය ලැබීම ය. උසස් අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමේ වැඩ පිළිවෙලට ඉඩ හසර පාදා දීම ය.

කොතලාවල ද රාජ්‍ය විශ්ව විද්‍යාල ද?

කොතලාවල පීඨය හා රාජ්‍ය විශ්ව විද්‍යාල ආකෘති වලින් වඩාත් සාධනීය කුමක් ද යන්න ගැන සංවාදයක් අද රටේ පවතියි. ඒ සංවාදය මට පරණ සංසිද්ධියක් සිහිපත් කළේ ය.

“රෑට කන්න මොනව හරි ගේන්න”.

“සර්, බුරියානි ද ෆ්රයිඩ් රයිස් ද? “

මට තිබුනේ දෙකෙන් එකක් තෝරා ගැනීමට ය. වෙන විකල්පයක් නැත. රෑට මා වඩා කැමති සැහැල්ලු ආහාරයකට ය. එහෙත් ඒ තෝරා ගැනීම අද මා සතු ව නැත. ජීවිතයේ වරක් මුහුණ දුන් මේ අලකලංචිය මට නැවතත් මුණ ගැහුනේ විශ්ව විද්‍යාල මාදිලි අතරින් එකක් තෝරාගැනීමට මුහුණු පොතේ සගයන් මට බල කරන්නට වූ විට ය. මට තිබුණේ මිල්ටරිය යටතේ පාලනය වන කෝතලාවල විද්‍යා පීඨයේ ආකෘතිය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන රජයේ විශ්ව විද්‍යාල ආකෘතිය යන දෙකින් එකක් තෝරා ගැනීමට ය.

මා මිලිටරි පාලනයකට කොහෙත් ම කැමති නැත. නිදහස අහිමි කරනු ලැබ යන්ත්‍ර සේ සිසුන් සළකන ඒ ආකෘතියට මට එකඟ විය නොහැකි ය. ඒ තුළ නිදහස් චින්තනයකට ඉඩක් නැත. විචාරයට ඉඩක් නැත. ප්‍රශ්න කිරීමට ඉඩක් නැත. එසේ ඉහලින් එන අණට යටත් කොට ශාස්ත්‍රඥයන් බිහි කරන්නට නොහැකි ය.

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ පාලනයට යටත් ව නිදහස අහිමි කරනු ලැබ ඇති සිසුන් සහිත රජයේ සරසවිය ද මට ඒ තරමට පිළිකුල් ය. ඒ විකල්ප දේශපාලන කණ්ඩායම් කීපයක නායකත්වයේ ඍජු හා වක්‍ර සහයෝගයෙන් පවත්වා ගෙන යනු ලබන නවක වදය යන තුච්ඡ සංස්කෘතිකරණයකට ලක් කරනු ලැබූ සිසුන් තුළ ද නිදහස් මනසකට ඉඩක් ඇති වන්නේ නැති නිසා ය.

අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නැති බලහාත්කාරය පාලනය සඳහා යොදා ගන්නා කිසිදු තැනක සරසවිය නම් රැඳෙන්නේ නැත.

එසේ සිසුන් යටත් කරනු ලබන්නේ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රයෙන් ද නැතිනම් ජේෂ්ඨ උත්තමයන්ගේ අත්තනෝමතිකත්වයෙන් ද යන්න අවසාන ප්‍රතිඵලයට බල පාන්නේ මද වශයෙනි. දෙකින් ම කරන්නේ එකක් ය. ප්‍රතිඵලය නිර්වින්දනය කරනු ලැබ ඇති මනුෂ්‍ය ප්‍රාණීන් ය. රොබෝ යන්ත්‍ර ය. මැෂින් ය.

ඒ අය පාලනයේ නියෝග වලට යටත් බව ඇත්ත ය. ඒ තුළ යම් ආකාරයක සාමයක් ද පැවතිය හැකි ය. එහෙත් ඒ සාමය මතුපිට පවතින ප්‍රයෝගයක් පමණ ය. ඒ පාලනයෙන් මිදුණු පසු ඉතිරි වන්නේ හරය මිරිකා ඉවත් කළ හපයකි. හපයක මුකුත් නැත. හමුදාවෙන් ඉවත් වූ අයගේ චර්යාවෙන් ද සරසවියෙන් ලෝකයට පා තැබූ අයගේ චර්යාවෙන් ද පෙන්නුම් කරන්නේ අපට මග හැර යා නොහැකි ඒ සත්‍යය ය.

මගේ සිහින සරසවිය මීට ඉඳුරා වෙනස් ය. ඒ ගැන සම්පූර්ණ බ්ලොග් සටහනක් ලියා ඇති නිසා නැවත ලියන්නට යන්නේ නැත. ඔබට අවශ්‍ය නම් පහත යොමුව හරහා ගොස් එය කියවිය හැකි ය.

එකක් කිව යුතු ය. රටක් හැටියට අපට හැදෙන්නට නම් ආණ්ඩු කරවන අය පමණක් වෙනස් කොට මදි ය. කරවන්නට බලාපොරොත්තු වන අයව ද වෙනස් කළ යුතු ය.

අපේ සිහින සරසවිය | වචන සෙල්ලම් (wordpress.com)

ජේ ආර් “මළේ” නැත. අදට ද ඔහු ජීවමාන ය.

See the source image

මිය ගිය, අතීතයට අයත්, අය ගැන කතා කිරීම සමහරු සළකන්නේ කාලය නාස්ති කිරීමක් ලෙස ය. සමරු උත්සවයකට සීමා විය යුතු වැඩක් ලෙස ය. ජීවත් ව සිටින, අතිශයියන් ක්‍රියාකාරී, තීරණාත්මක නායකයින් ඉන්නා සමයක, ඔවුන් ගැන කතා කිරිම පැත්තකින් තබා, මැරුණු, කල්ඉකුත් වී ගිය, කෙනෙකු ගැන කතා කිරීම කාලෝචිත වැඩක් නොවේ යැයි ද කෙනෙකුට තර්ක කළ හැකි ය. එයින් අවධානය අවශ්‍ය කාරණා වලින් ඔබ්බට යන බවට චෝදනාවක් ද කළ හැකි ය. මේ සටහන ලියන්නේ ඒ හැම දෙයක් ම දැන ගෙන ය. ඒවා ගැන අවබෝධයක් ඇතුව ය.

“ජේ ආර් මරමු”. මේ 88-89 යුගයේ තාප්ප වල ලියවුනු ජනප්‍රිය සටන් පාඨයකි. එහෙත් ජේ ආර් මරන්නට කිසිවෙකුට බැරි විය. පසු කලෙක ඔහු ශාරීරිකව මිය ගිය ද අදට ද ඔහු දේශපාලනිකව “මරන්නට” හැකි ජගතෙක් අපේ රටේ නැත. ඔහුගේ අවතාරය තවමත් අපේ දේශපාලනය ලෝකයේ හොල්මන් කරන්නේ ය. ඇතැමුන්ට එ් හොල්මන වැහී ඔවුන් ආතුර වී ඇත්තේ ය.

පුදුමයකට මෙන් එසේ වී ඇත්තේ ඔහු ඇසුරු කළ උදවියට හා ඒ අය අයත් කඳවුරටත් වඩා ප්‍රතිවාදී කඳවුරට වීම එක් අතකින් උත්ප්‍රාස ජනක ය. අනෙත් අතට ඒ නිසා ම මේ අවතාරය පිළිබඳ ව ප්‍රවේසමෙන් සොයා බැලිය යුතු යයි අපට බල කෙරෙන්නේ ය.

ජේ ආර් විසින් දයාද කළ බොහෝ දේ විවේචනය වුව ද ඒවා වෙනස් වෙන, වෙනස් කරන, ලකුණු අහල මායිමක නැත. ඒ වෙනුවට ඇත්තේ ඒවා වඩාත් දැඩි ව ක්‍රියාත්මක කරන ලකුණු ය. ඒ නිසා ද ජේ ආර් නැවත කියවිය යුතු චරිතයකි.

බහුභූත ව්‍යවස්ථාව

ජේආර් කළ අදටත් ආපස්සට කැරකිය නොහැකි එක් වැඩක් නම් විධායක ජනාධිපති පදවිය ඇති කිරීම ය. එය ඉවත් කරන්නට සපථ කළ කිසිවෙක් එය වෙනස් කළේ නැත. ඒ ලයිස්තුවට වසර දහය බැගින් රට පාලනය කළ චන්ද්‍රිකා ජනපතිනිය හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද ඇතුළත් ය. ඔවුන්ට ඒවා වෙනස් කිරීමට බලයක් තිබිය දී පවා ඒ සඳහා ඇති තරම් කාලයක් තිබිය දී පවා එසේ කරන්නට ඔවුන් උනන්දුවක් දැක්වූයේ නැත. මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවට කළේ 18 වෙනි සංශෝධනය හරහා වඩාත් බලතල පවරා ගැනීමත් ජේආර් පැනවූ වාර දෙකේ සීමාව පවා ඉවත් කර ගෙන තවදුරටත් ජනාධිපති තනතුර ශක්තිමත් කිරීමත් ය. ජේආර්ගේ බහුභූත ව්‍යවස්ථාව තවත් බහුභූත කිරීම ය.

ජනාධිපති පදවිය තාවකාලිකව දුර්වල කරන ලද එක ම තැනැත්තා, පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් හිමි ව රට ආණ්ඩු කළ, මෛත්‍රීපාල සිරිසේන වීම ව්‍යාතිරේඛයකි. සමහර විට ඊට එකඟ වන්නට ඔහුට සිදු වූයේ ම ඒ සුළුතරය පමණක් ඔහු සතු වූ නිසා වන්නට ද පුළුවන. ඔහු සිටියේ යහපාලන සන්ධානයේ පමණක් නොව, ඔහු පිට පසුව පටවන ලද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද, හිර කරුවෙකු ලෙස ය.

එහෙත් ඒ තත්වය වැඩි කලක් පැවතුනේ නැත. විධායක ව්‍යවස්ථාව පමණක් මදි වී එය දරා සිටීමට හිට්ලර් වැනි ඒකාධිපතියෙකු අවශ්‍ය යැයි, අවාසනාවකට මෛත්‍රිය ම සිය ජීවන මාර්ගය කරගත්, ස්වාමීන් වහන්සේලා පවා කියන්නට ඉදිරිපත් වන තැනට පසු කලෙක කටයුතු යෙදුනේ ය. ඒ කතාව අනුමත කරමින් අතිවිශාල ජනවර්මක් ලබා දී වත්මන් පාලකයන් බලයට පත් කිරීමට ජනතාව ද කටයුතු කළ අතර අවසාන ප්‍රතිඵලය වූයේ වඩාත් ශක්තිමත් ජනාධිපති පදවියක් නැවතත් බිහි වීම ය. ඒ දෙකින් ම පෙනී යන්නේ ජේආර් පටන් ගත් දේ, කවුරු මොනවා කිව්වත්, පහසුවෙන් අවසන් වෙන්නේ නැති බව ය. මළ ගිය ජේ ආර්ට හැකි නම් ඔහු සිය සොහොන් ගැබේ සිට අපට සිනා සෙනවා ඇත.

නීතියේ ස්වාධිපත්‍ය විනාශ කිරීම

ජේ ආර් නීතියට ගරු නොකළේ ය. ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් කර තමන්ගේ හයෙන් පහේ බලය නීති විරෝධීව තවත් කාලයක් පවත්වා ගත්තේ ය. උසාවියට තමන්ගේ හෙංචයියලා ලවා ගල් ගස්සවා, ජනතාව සිය විරෝධය පල කරන්නට ඇතැයි කියා, උසාවියට අපහාස ද කළේ ය. අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් තමන් ම සම්පාදනය කළ ව්‍යවස්ථාව යොදා ගෙන අධිකරණය ම ආණ්ඩු මට්ටු කරන්නට කටයුතු කළේ ය.

මෛත්‍රීපාල සිරිසේන ඉදිරියට දමා ගෙන ක්‍රියාත්මක වූ යහපාලන ආණ්ඩුව යන ව්‍යාතිරේඛය හැරුනු කොට ඊට පසු බලයට පත් හැම පාලකයෙකු ම කළේ ඒ සම්බන්ධයෙන් ඔහු අනුගමනය කිරීම ය.

එය චන්ද්‍රිකා සමයේ සිට ම පෙනෙන්නට තිබුණු කාරණයකි. එසමයේ වික්ටර් අයිවන් ඒ අරබයා කළ සටන ගැන බොහෝ දේ ලියැවී ඇති නිසා අවශ්‍ය කෙනෙකුට ඒ විස්තර සොයා ගෙන කියවිය හැකි ය. ශිරාණි බණ්ඩාරනායකව අස්කිරීමෙන් කූටප්‍රාප්තියටපත් මහින්ද සමයේ අධිකරණයට කරන ලද මැදිහත් වීම් තවමත් පරණ වී නැත. ඒ ගැන විස්තර බොහෝ දෙනෙකුට තවමත් මතක ඇතිවාට සැක නැත. ස්වාධීන කොමිසම් සභා අහෝසි කිරීම හරහා අධිකරණයට ද මැදිහත් වීමට අවශ්‍ය බලය, වත්මන් පාලකයන් ද, එක් රැස් කර ගෙන ඇති පසුබිමක, අපට කිව හැක්කේ ජේආර් ඒ අර්ථයෙන් ද මිය ගොස් නැති බව ය.

පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීම

මන්ත්‍රීවරන්ගෙන් අස්වීමේ ලිපි ලබා ගෙන පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීමට ජේ ආර් කටයුතු කළේ ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට හැකි වනසේ ආණ්ඩුව විසින් අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර ගත් අතර ඒ නිසා තුනෙන් දෙකක් ම හිමි කර ගෙන පාර්ලිමේන්තුව අනියම් අයුරින් රූකඩයක් බවට පත් කර ගැනීමට මහින්දට ද හැකි විය.

නැවත වතාවක් පාර්ලිමේන්තුව බල ගැන්වුනේ මෛත්‍රීපාල සිරිසේන යුගයේ ව්‍යාතිරේඛයක් ලෙස ය. තාවකාලික ව වුව ද එහි බලය, මෛත්‍රීපාල ම පසු කලෙක මැදිහත්ව කළ ආණ්ඩු කුමන්ත්‍රණය ඉදිරියේ අනභිබවනීය ලෙස නැගී සිටියේ ය.

කේන්ද්‍රගත කරන ලද විධායක බලය ඉදිරියේ දැන් පාර්ලිමේන්තුව නැවතත් රූකඩයක් වී තිබේ.

ද්‍රවිඩ ජනයා නොසළකා හැරීම

ද්‍රවිඩ ජනයාගේ බලය විමධ්‍යගත කිරීමේ ඉල්ලීම ජේ ආර් නොසළකා හැරියේ ය. ඔවුන් අවිගත් විට අවියෙන් මර්දනය කරන්නට තැත් කළා විනා ඒ සඳහා දේශපාලන විසඳුමක් දිය යුතු යැයි ඔහු කල්පනා නොකළේ ය. ඒ වෙනුවට ඔහු කළේ යුද්ධය තෝරා ගැනීම ය.

දියාරු කරන ලද දිස්ත්‍රික් සභා දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයෙන් කිසි ලෙසකින් වත් නිරූපනය නොකළේ ය. ඉන්දියාව මැදිහත් නොවන්නට පළාත් සභා වර්ගයේ විසඳුමක් පවා ඇති නොවන්නේ ය. එය පවා නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකි සමගාමී ලයිස්තුව වැනි විවිධ බාධක වලින් වට කර ඇත්තේ ය. ඒ තත්වය සමහන් කරන බවට දුන් පොරොන්දු ‌ජේආර් තරමට ම ඔහුගේ අනුප්‍රාප්තිකයෝ ද කඩ කළෝ ය.

ජේ ආර්ගේ දෙමළ විරෝධය වඩාත් ප්‍රකට ව ප්‍රදර්ශනය වූයේ ජූලි කලබල ඇවිල ගිය විට ය. සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු වෙනුවට රාජ්‍ය නායකයා කියා සිටියේ සිංහල ජනයාගේ ඉවසීම සීමාව ඉක්මවා ගොස් ඇති බව ය. එසේ කියමින් අනියමින් ඔහු දෙමළ ජන සංහාරය යුක්ති යුක්ත කළේ ය.

විජය කුමාරතුංගගේ බිරිඳ වූ චන්ද්‍රිකා පවා අන්තිමේ ජේආර් ගිය මග ම ගියේ ය. ඒ පෝලිම අවසන් වූයේ මහින්ද ගෙන් ය. ඒ දෙමළ අරගලය යුද්ධය හරහා සම්පූර්ණයෙන් පාගා දැමීම හරහා ය. යුද්ධය අවසන් වී ත්‍රස්තවාදයට තිතක් තැබීමෙන් පසුව වත් දේශපාලන විසඳුමක් දීමේ අභිලාශයක් මහින්දට නොවී ය. ඒ වෙනුවට යුද්ධය සිය පාලනය දිගින් දිගට ගෙන යා හැකි මහානුභාසම්පන්න යන්ත්‍රයක් ලෙස පවත්වා ගැනීමට ඔහුට ඔ්නෑ විය.

අදට ද දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන බලවේගයක් වත් දකුණේ නැත. එජාප ය ප්‍රමුඛ යහපාලන කණ්ඩායම මහින්ද රාජපක්ෂ පරාජය කරනු සඳහා දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානයකට පැමිණිය ද දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් මැරුවේ ය.

මෛත්‍රීපාල එජාපය ප්‍රමුඛ යහපාලන හවුල සුළු කලකට නැවත වතාවක් දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සහන සලසන ප්‍රවේශයක් අනුගමනය කරමින් ව්‍යාතිරේඛයක් ලෙස පෙනී සිටිය බව ඇත්ත ය. එහෙත් පසුව මෛත්‍රීපාල ම එයින් පැහැදිලිව ම කර හැරියේ ය. ජනතා විමුක්ති පෙරමුණ පවා දෙමළ ජනතාව දෙස වෛරයෙන් නොබැලුව ද සහකම්පනයෙන් බලන බවක් අදටත් පෙනෙන්නට නැත.

දෙමළ ජනයාට එරෙහි ජාතිවාදය සම්බන්ධයෙන් එකිනෙකා අතර වෙනස් කම් තිබුන ද ජේ ආර්ට විකල්ප මතවාදයක් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමස්ත දකුණට ම නැත.

වංචාව හා දූෂණය

ජේ ආර් සිය අනුගාමිකයන් නඩත්තු කළේ දූෂණයට ඉඩ හසර සැලසීම හරහා ය. රිසි සේ මත්පැන් බලපත් ඉන්ධන පිරවුම් හල් බලපත් පමණක් නොව රජයේ ඉඩම් ද ඔවුන්ගේ පරිහරණයට මුදා හැරුණේ ය.

ඔහු හොරකම් නොකළා විය හැකි ය. ඒත් ඊට ඉඩ හසර ඔහු සලසා දුන්නේ ය. අඩු වශයෙන් ඒවා ඉදිරියේ අහක බලා ගත්තේ ය. ඔහු පාරම්බෑවේ තමන් සල්ලි හම්බ කර ගන්නට මාර්ග විවෘත කර ඇති බව ය. ඒ නිසා කාට කාටත් හම්බු කර ගත හැකි බව ය.

ඔහුගෙන් පසු පැමිණි පාලකයන් ඒ ප්‍රතිපත්තිය ම අනුගමනය කළා පමණක් නොව එය රටේ සාමාන්‍ය දෙයක් බවට ද පත් කළෝ ය.

ඔවුන්ට සහතික දුන් ඇතැම් සංඝයා වහන්සේලා පවා ඒ බව අනියමින් පිළිගත්තෝ ය. ඒ හොරකම් කළාට රට බේරා ගත්තා නොවේදැයි යනුවෙන් සමාවට කාරණා ඉදිරිපත් කිරීම හරහා ය.

මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපය

මර්දනය ද ජේආර් දායාද කළ උරුමයකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 83 ජාති වාදී කළු ජූලියට කිසිම සම්බන්ධයක් නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිව යුතු බව කියමින් අසාධාරණ ලෙස තහනම් කිරීම, විජය කුමාරතුංගයන් නක්සලයිට් කාරයෙකු යැයි කියමින් අත් අඩංගුවට ගැනීම ඇතුළු තවත් බොහෝ දේ ජේ ආර් ගේ මර්දන ලයිස්තුවට ඇතුළත් ය.

ඒ මර්දනය විවේචනය කරමින් පසුව ආ අනුප්‍රාප්තිකයන් සැවොම, නැවත වතාවක් මෛත්‍රීපාල ඉදිරියට දමා ගොඩ නැගූ යහපාලන ආණ්ඩුව නම් ව්‍යාතිරේඛය නැතිව, මර්දනය සම්බන්ධයෙන් ජේ ආර් ගේ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ය. ඒ ගැන අටුවා ටිකා ලියන්නට ගියොත් මේ ලිපිය තව බොහෝ දික් වන්නේ ය.

එහෙත් කිව යුතු එකක් තිබේ. එය නොලියා ම බැරි ය. ඒ මෙම මර්දනයට අඩු නැතිව හසු වූ ජනතා විමුක්ති පෙරමුණ පවා තමන්ගේ පුංචි ආණ්ඩු පාලනය පැවති කලාපය තුළ නිහීන මර්දනයක් දියත් කරමින් තමන් ද අඩුපාඩු නැතිව ම තමන්ගේ විරුද්ධවාදියා අනුගමනය කළ බව ය. ලිපිය දික් වන නිසා ම ඒ ගැන විස්තර ද අප සඳහන් කරන්නට යන්නේ නැත.

විවෘත ආර්ථිකය

ජේ ආර් ගේ උරුමයේ වැදගත් ම කොටස විවෘත ආර්ථිකය ය. සංවෘත ආර්ථිකයෙන් බැට කා සිටි ජනතාවට එය එක් අතකින් ආකර්ෂණය වූ අතර ඒ හදිසි විපර්යාසයම තව අතකින් ඔවුන්ට මහා තිගැස්මක් ඇති කළේ ය. ඒ නිසා ම ඔවුන් අවුලට පත් විය. භාණ්ඩ සුලබ වන වේගයට මිනිසුන් සතුව ඒවා ගැනීමට මුදල් තිබුනේ නැත. ඒ නිසා මිනිසුන් එකවර ප්‍රීතියටත් කෝපයටත් පත් විය.

සියල්ල මුදලට විකණෙන ක්‍රමයකට මග පෑදුනු නිසා මානුෂීය හැගීම් පවා අතුරුදහන් ව ගියේ ය. එය ක්‍රමික ව සිදු නොවී එක රැයින් සිදු කිරීම හේතුවෙන් බොහෝ දෙනා අතරමං වූ බව පෙනුනේ ය. ඒ අතර උතුරේ ජනතාව ප්‍රමුඛ ය. ඔවුන්ගේ කෘෂි නිශ්පාදනය විවෘත ආර්ථිකය නිසා තරගයට මුහුණ දිය නොහැකිව අනතුරේ වැටුනේ ය.

චන්ද්‍රිකා බලයට එන විට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනු විනා විධායක ජනාධිපති පදවිය මෙන් එය නැති කරන්නට සපථ කළේ නැත. මහින්ද හෝ ඔහුගේ මලණුවන් වන ගෝඨාභය පවා එවැන්නක් පිළිබඳ ඉඟියක් වත් පල කළේ නැත.

අදට ද විදේශ විනිමය නැති නිසා හදිසියේ දේශීය ආර්ථිකයක් ගැන කතා කළ ද ප්‍රායෝගිකව සංවෘත ආර්ථිකයකට නැවත යෑමට නොහැකි තරමට අප ගෝලීයකරණය වී තිබේ. ඒ නිසා අද මේ දමන තහංචි ආර්ථිකය නැවත ක්‍රියාත්මක වීමත් සමග ඉවත් කිරීමට නියමිත ඒවා මිසක විවෘත ආර්ථික ක්‍රමය අහෝසි කරන හෝ පාලනය කරන ඒවා නොවේ.

ජේ ආර් වඩාත් දැඩිව විවේචනය කරන ජනතා විමුක්ති පෙරමුණ පවා විවෘත ආර්ථිකයට විකල්පයක් මේ වෙන තෙක් අපට දැන ගන්නට ලැබී ඇති පරිදි යෝජනා කොට නැත.

පුද්ගලීකරණය

අප රටේ ජනසතුවේ ආරම්භය බණ්ඩාරනායක නම් පුද්ගලිකකරණයේ ආරම්භය ජේ ආර් ය. එය විවෘත ආර්ථිකයට පමණක් දෙවැනි වන මැදිහත් වීමකි.

චන්ද්‍රිකා ද එය ඉදිරියට රැගෙන ගියා මිසක ආපස්සට හැරවූයේ නැත. මහින්ද පවා පුද්ගලීකරණය කරන ලද ඒවායින් අතිශය ස්වල්පයක් හැර වෙන කිසිවක් නැවත පවරා ගන්නට ගියේ නැත. එසේ පවරා ගන්නා ලද එකක් නම් ශ්‍රී ලන්කන් ගුවන්‌ සේවය ය. ඒ ද සිදු වූයේ ඔහුගේ ගුවන් ගමනකට සම්බන්ධ පෞද්ගලික අමනාපයක ප්‍රතිඵලයක් නිසා බව කියවේ. රක්ෂණ සංස්ථාව හා ඇපලෝ රෝහල සෙසු ඒවා අතර විය. ඒවා පමණක් නැවත පවරා ගන්නට හේතුව ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්ති තීරණයකට එහා ගිය එකක් බව පෙනෙන්නේ පුද්ගලීකරණය කරන ලද බොහෝ තීරණාත්මක ආයතන තවදුරටත් පුද්ගලික අයිතිය යටතේ පවත්වාගෙන යෑමට ඉඩ සලසා දුන් නිසා ය. ඊට අමතර ව විදේශ ආයෝජකයන්ට කොළඹ වටිනාම ඉඩම් විකිණීම මගින් එම රජය තවදුරටත් කියා සිටියේ පෞද්ගලික අංශයට රජයේ වත්කම් පවරා දීමට තමන්ට පැකිලීමක් නැති බව ය.

වත්මන් පාලනය ද දැනටමත් තමන් පෞද්ගලීකරණය අනුගමනය කරන බව කියා සිටින්නේ ය. ඒ විදුලි බල මධ්‍යස්ථානයක කොටස් ඇමරිකන් සමාගමකට පවරා දීම හරහා ය.

ඊට අමතරව ජේ ආර්ට පසු ඇති වූ කිසිම පාලනයක් රාජ්‍ය ව්‍යවාස අලුතෙන් ඇති කිරීමට පවා තීරණාත්මක යමක් කර නැත. ඒ අය විසින් අතරින් පතර කරන ලද සුළු මැදිහත් වීම් කිසිවක් ආර්ථිකයේ ස්වභාවයේ තීරණාත්මක වෙනසක් කිරීමට තරම් ප්‍රමාණවත් වී නැත.  

ජේ ආර් මැරුනත් තවමත් ඇත්තේ ඔහුගේ පාලනයකි

මේ සියල්ල සළකා බැලූ විට පෙනෙන්නේ කවුරුන් රට පාලනය කළ ද ඒ සියල්ලන් මෙහෙයවන අදෘෂ්‍යමාන නූල වන්නේ ජේආර් බව ය. අඩු වශයෙන් ඔහුගේ අවතාරය බව ය.

ඔහු විසින් දියත් කරන ලද ඉහත සඳහන් කිසිම ප්‍රතිපත්තියකට විකල්පයක් පාලක පක්ෂයේ කිසිදු කණ්ඩායමකට නැති බව ය. පාලක කල්ලියෙන් එලියේ සිටින විකල්ප කණ්ඩායම් තවමත් එහෙමට පාලනයට සම්බන්ධ වී නැති නිසා ඔවුන් ගැන නිශ්චිත අනාවැකියක් කීමට අමාරු ය. එහෙත් ඔවුන්ට පවා යම් බලපෑමක් කළ හැකි තැන්වල හා අවස්ථාවල – විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අතර හා පුංචි ආණ්ඩුව පැවති කාලවකවානුව තුළ – පල කර ඇත්තේ ජේආර්ගේ හැසිරීම ය.

ජේ ආර් ගෙන් ඉගෙනීම

ජේආර් නැවත කියවිය යුතු වන්නේ ඔහුගෙන් ගත යුත්තේ කුමක් දැයි සොයා බැලීමට ය. දුරු කළ යුත්තේ කුමක් දැයි සොයා බැලීමට ය. අප කල්පනා කරන පරිදි ඔහුගේ ආර්ථික මූල ධර්මයන් බොහෝ දුරට නිවැරදි ය. ඔහුගේ දේශපාලන හැසිරීම පලේ පල් ය.

ඔහු අනුදත් ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ එක් හේතුවක් නම් ඔහු ඉතිරි කළ දේශපාලන උරුමයේ මඩ ගොහොරුව ය. දියත් කළ ආර්ථිකය, ඔහු විසින් ම මඩ කළ, ඒ මඩ ගොහොරුවේ එරුනේ ය.

ඉදිරි විකල්ප දේශපාලන බලවේගයකට රට ගොඩ ගත හැකි වන්නේ ජේ ආර් හරියකට කියවා ගත්තොත් ය. ‌ජේආර් ගේ නිවැරදි පියවර අනුගමනය කිරීමට බිය නොවීමටත්, ඔහුගේ වැරදි නොකිරීමට වග බලා ගැනීමටත්, හැකි වන්නේ එවිට ය. ජේආර් ළඟින් නැවතුණු රටේ දේශපාලනයට ඉදිරියට යා හැක්කේ එවැනි කියවීමක් හරහා පමණ ය.

පැනීමට පෙර මුට්ටි ඔබා බැලීමේ ගිනස් වාර්තාව

ආණ්ඩුව මේ වැඩේ දිගින් දිගට ම කරන්නේ ය. පොලු පහරවල් වැදී මුට්ටිය ද බිඳ ගෙන පසු බසින්නට ඊට සිදු වූයේ වරක් දෙවරක් නොවේ.

ආසන්න සිද්ධිය අර්ජුන ඇලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගමට මත් පැන් නිශ්පාදනයට නැවත වතාවක් අවසර දීමත් ඒ සම්බන්ධයෙන් ඇති වූ සමාජ සංවාදය ඉදිරියේ එම තීරණය අකුලා ගැනීමත් ය.

තමන් ගත් තීරණයක් වැරදි යැයි හැඟුන විටක එය අකුලා ගැනීම ඒ හැටි වැරැද්දක් නොවේ. වැරැද්දක් නොවනවා පමණක් නොව ඇතැම් අවස්ථාවල එය බුද්ධි ගෝචර ද වන්නේ ය. එහෙත් මෙතැන ප්‍රශ්නය මුළුමණින් වෙනස් ය.

ඒ බව අපට ‌පෙනෙන්නේ මේ සමාගමේ බලපත්‍රය අහිමි කරනු ලැබුයේ කුමන පදනමක් යටතේ ද එය ඉවත් කර ගත්තේ කුමන පදනමක් යටතේ දැයි විමසීමේ දී ය. මේ අහිමි කිරීමට හේතුව පිටු පස ඊනියා බැංකු “මංකොල්ලය” ද තිබුණේ ය. ඊට අමතරව ආදායම් බදු නොගෙවීම ද දක්වා තිබුනේ ය. ඒ හේතු රට ම දන්නා නමුත් බලපත්‍ර දීමට හේතුව අපට නම් පැහැදිලි නැත. අප දන්නා පරිදි රටට ද පැහැදිලි නැත.

බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් වූයේ අති විශාල ධනස්කන්ධයක් රටට අහිමි කළේ යැයි දැන් ආණ්ඩු කරවන පාර්ශවය විසින් ම චෝදනා කරන ලද පුද්ගලයාට එරෙහිව නඩුව ද තිබිය දී හිඟ බදු මුදල් ද එලෙසම තිබිය දී තහනම් කරන ලද බල පත්‍රය දීමට තරම් ඇති වූ වෙනස කුමක් දැයි පැහැදිලි නොවීම ය. විරුද්ධතාවයන් පල වූයේ ඒ නිසා ය.

එක්කෝ බල පත්‍රය අහිමි කිරීමේ මුල් තීන්දුව වැරදි ය. නැතිනම් එය නැවත ලබා දීමේ තීන්දුව වැරදි ය. ඒ සාධාරණ සිතුවිල්ල ඇති වන්නේ මේ කිසිවක් සිදු වන්නේ සැක දුරු කිරීමට සමත් වන තරමේ පාරදෘෂ්‍ය භාවයකින් තොර ව බැවිනි.

ආණ්ඩුව වෙනුවෙන් උත්තර දෙන්නට ආණ්ඩු කරවන පාක්ෂික හිතවතුන් අසමත් වෙද්දී ඔවුන් ආණ්ඩුවට පීඩනයක් එල්ල කරන්නට ඇත. ඒ නිසා තව වතාවක් ආණ්ඩුව රිවර්ස් ගියරයට ගියේ ය. මුට්ටිය බිඳ ගත් නිසා “ගෙදරට හොරෙන් පැනීමේ” අදහස අත් හැර ගත්තේ ය.

ඒත් ඒ තීරණයේ බරින් ආණ්ඩුව නිදහස් වුනා යැයි කෙනෙකු සිතන්නේ නම් එය මුලාවකි. රෙද්ද ගැලවුනාට පසු ඇඳ ගත්තාට රෙද්ද ගැලවීමෙන් ඇති වූ ලජ්ජාවෙන් ගැලවෙන්නට බැරි ය.

මේ සියලු රිවස් ගැහිලි පිටුපස එක් ප්‍රධාන හේතුවක් වෙයි. ගන්නා තීරණ කිසිවක් දත්ත කරුණු හා නිවැරදි තර්කනයන් මත නොපිහිටීම ය. ආණ්ඩු කරවන අය මන්ද බුද්ධික යැයි නොසිතන මිනිසුන් ඒවා පිටුපස ඩීල් ඇතැයි සැක කරන්නේ ද ඒ නිසා ය.

තව දුරටත් රිවස් ගියරයට යෑමට සිදු වන හදිසි කාරණා තවත් දෙකක් ආණ්ඩුව ඉදිරියේ තිබෙන්නේ ය. එකක් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීන්දුව ය. අනෙක ඇති වන තිබෙන ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයට ඒමට අකමැති වීමේ තීන්දුව ය. ඒවා සම්බන්ධයෙන් ආණ්ඩුව කුමක් කරනු ඇද්දැයි බොහෝ දෙනා බලා සිටිති.

අපට හිතෙන හැටියට නම් මේ තීන්දු ද ඉදිරියේ දී වෙනස් වීමට නියමිත ය. එහෙත් අනෙත් බොහෝ අවස්ථා වල මෙන් ම ඒවා අකුලා ගන්නා විට ද වෙන්න ඔ්න හරිය වෙලා ඉවර වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඒවාත් දැම්ම රිවර්ස් කර ගන්නවා නම් අවම හානියකින් ඒ වැඩ ගොඩ දා ගත හැකි ය. අපට කළ හැකි ව තිබෙන්නේ ඒවා එසේ නොකරන්නේ කුමක් නිසා දැයි අනුමාන කරමින් සිටීමට පමණ ය.