
බුදුන් වහන්සේ ද අප වැනිම මනුෂ්‍යයෙකි. එයින් අදහස් කරන්නේ උන් වහන්සේ අප සමග සම කිරීම නොවේ. මිනිසුන් වෙනස් ය. සමහරුන්ගේ ලෝක දැක්ම සෙසු අයට වඩා ඉදිරිගාමී ය. සමහරුන්ට සෙසු අයට කරන්නට බැරි දේ කරන්නට පුළුවන. එහෙත් එයින් ඒ කියන ලද පුද්ගලයන් අප වැනි ම මනුෂ්‍යයන් යැයි කීමට බාධාවක් නොවේ.
එසේ වුව ද බොහෝ බෞද්ධයන් කැමති බුදුන් වහන්සේ සෙසු මනුෂ්‍යයින්ගෙන් වෙන් කොට සුපිරි බලැති සුවිශේෂී අන් කෙනෙකු කරන්නට ය.
මෙයට හේතුවක් තිබේ. ඒ ඔවුන්ට බුදුන්ගෙන් වැඩ ගන්නට ඕනෑ නිසා ය. බුදුන්ට සංග්‍රහ කොට ඒ පිනෙන් දුකින් එගොඩවන්නට ඕනෑ නිසා ය. සාමාන්‍ය කෙනෙකුට සංග්‍රහ කිරීමෙන් නොලබන දෙයක් බුදුන්ට සංග්‍රහ කිරීමෙන් ලබා ගැනීමට අවශ්‍ය නිසා ය.
මිනිසුන්ට බොහෝ දේ අවශ්‍ය ය. විභාග වලින් ජය ගැනීමට අවශ්‍ය ය. ලෙඩ රෝග වලින් මිදීමට අවශ්‍ය ය. රැකියාවෙන් ජය ලැබීමට අවශ්‍ය ය. ඊළග ආත්මයේ සමුර්දිමත් තැනක ඉපදීමට ටිකට් එකක් අවශ්‍ය ය. මේ එකක් වත් සාමාන්‍ය මිනිසෙකුට යමක් දී හෝ පුද පූජා පවත්වා ලබා ගත හැකි දේ නොවේ.
බුදුන් පෙන් වූ මාර්ගයේ යන්නට බුදුන් සර්වබලධාරී කෙනෙකු හෝ අපට වඩා සුවිශේෂී කෙනෙකු බවට පත් කිරීමට අවශ්‍ය නැත. ඒ සඳහා අවශ්‍ය වනුයේ ඒ මාර්ගය තේරුම් ගෙන එහි ගමන් කිරීම ය. බුදුන් අප වැනි කෙනෙකු ලෙස දකින විට ඒ මගේ යෑම පහසු ය.
බුදුන් විශේෂ කෙනෙකු කළ විට තමන්ට බුදුන්ට මෙන් ඒ මාර්ගයේ ගමන් කිරීම පහසු නැතැයි කියමින් ඒ මගේ යෑමෙන් ගැලවීමට පුළුවන. එය අතිශයින් ඒත්තු යන සුළු සමාවට කාරණයකි. බුදුන් විශේෂ කෙනෙකු කරන අනෙක් හේතුව මේ ගැලවීමට ඇති වුවමනාව ය.
දැන් සැප පහසුවෙන් සිටීමට සියල්ල හරි ය.
එහෙත් ඒ සඳහා අප කිසිවෙකුට අවසර දිය යුතු නැත. ඔවුන් ප්‍රශ්න කළ යුතු ය. බුදුන්ගේ අපේක්ෂාව ඵල දරනු ඇත්තේ එවැනි ප්‍රශ්න කිරීමකින් පමණ ය.
හොඳ ගුරුවරයෙකු කැමති තම සිසුවා තමන් අතික්‍රමණය කරනු දැකීමට ය. අනුගාමිකයන් හදන්නට නම් දක්ෂ ගුරුවරයෙකු විය යුතු නැත. එහෙත් තමන් අතික්‍රමණය කරන ගෝලයෙකු බිහිකිරීමට දක්ෂ ගුරුවරයෙකු අවශ්‍ය ය. ඒ සඳහා ගුරුවරයා කළ යුත්තේ තමන් කියන සියල්ල එලෙසම පිලිපදින ලෙස ගෝලයන්ට අණ කිරීම නොවේ. ඒවා ප්‍රශ්න කිරීම පවක් ලෙස දැක්වීම නොවේ. ප්‍රශ්න කරන ලෙස අනුබල දීම ය. බුදුන් වහන්සේ ඒ සඳහා අපමණ වෙහෙසක් දැරීය. එයට හොඳම උදාහරණය කාලාම සූත්‍රය ය.
කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව (ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව), පරම්පරාකථායෙනුදු නොගණුව (පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව), තෙල මෙසේ වී ලැ යි ද නොගණුව (යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව), අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව (තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව), තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව (හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව), නයග්‍රාහයෙනුදු නොගණුව (හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව), ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව (යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව), අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව (තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව), භව්‍යරූපතායෙනුදු නොගණුව (මෙතෙම පූජ්‍යයෙකැයි, මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව), මේ මහණ අපට ගුරුහයි ද නොගණුව (තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව), කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.
ගුරුවරයා අතික්‍රමණය කිරීමට ගෝලයන්ට නොහැකි වන්නට පුළුවන. එහෙත් ඒ සඳහා අනුබල දීම හොඳ ගුරුවරයෙකුගේ යුතුකම වන විට හොඳ ගෝලයෙකුගේ යුතුකම වන්නේ ගුරුවරයාට ආඩම්බරයක් වන ලෙස තමන් ගුරුවරයාට ද වඩා ඉදිරියට යෑමට ය. ඒ සඳහා එක් කොන්දේසියක් වන්නේ ගුරුවරයා අනභිබවනය කළ නොහැකි යැයි මානසික බාධකයක් හදා නොගැනීම ය. එවැනි බාධක කවරෙකු විසින් හෝ හදන්නේ නම් කුඩු පට්ටම් කර දැමීම ය.
ඒ අර්ථයෙන් ද බුදුන් වහන්සේ අප වැනි ම මනුෂ්‍යයෙකැයි සැළකීම වැදගත් වන්නේ ය.
එයින් අදහස් කරන්නේ බුදුන් වහන්සේ අනභිබවනය කරන ලෙස ම නොවේ. එසේ කරන්නට තැත් කරන ලෙස ය. ඒ හරහා වඩාත් හොඳින් බුදුන් තේරුම් ගැනීමට උත්සහ කරන ලෙස ය. වඩා හොඳ ගෝලයෙකු වන ලෙස ය.
(මා අසා කියවා ඇති අන්දමට බුදුන් දෙසූ ධර්මය ම වඩා සවිස්තරව සරලව පැහැදිලිව විවරණය කොට දක්වා ඇති භික්ෂුන් වහන්සේලා බුදුන් වැඩ සිටි සමයේ ද වැඩ සිට ඇත. එසේ කළේ යැයි කීම බුදුන් දෙකේ කොළයට දැමීමක් යැයි කෙනෙකු කියන්නේ නම් එතැන ඇත්තේ ද බුදුන් සර්වබලධාරී දේවත්වයට නංවා පිදීමේ අවශ්‍යතාවය මිස වෙනකක් නොවේ. බුදුන් පවා එවැනි භික්ෂූණ් වහන්සේලාගේ හැකියාවන් අගයා ඇතැයි මා අසා ඇත).