නොදී ගන්නට බැරි ය!

d03_20082018_FRR

ඇතැම් යන්ත්‍ර පණ ගැන්වූවාට පණ ගැන්වෙන්නේ නැත. සද්ද බද්ද කර මොහොතකින් නවතින්නේ ය. ඒවා පණ ගැන්වීමට නම් ලිහිසි තෙල් යොදා නොකැරකැවෙන තැන් කරකැවිය යුතු ය. ඇතැම් මිනිසුන් ද ඒ වගේ ය. ඔවුන්ට අයත් රාජකාරියක් කරවා ගැනීම සඳහා යන කෙනෙකුට බොහෝ විට ලැබෙන්නේ රැවුම් ගෙරවුම් ය. අව කැපෙන කතා ය. නොකෙරෙන වෙද කමක හෝඩුවාව ය. දැන් ක්‍රියාත්මක විය යුතු ය. ඒ ලිහිසි තෙල් දමා සකස් කරවා ගැනීමට ය. ඒ කියන්නේ අතට යමක් මිටි කළ යුතු බව ය. එය අතට වීම නිසා අත්ලසක් අල්ලසක් වූවාට දැන් අතට ම දීම අවශ්‍ය නැත.

කෙනෙක් වරක් ශිෂ්‍යත්වයක් සඳහා වසර දෙකකට විදෙස් ගත විය. එම ශිෂ්‍යත්ව ප්‍රදානය තුළ සිය පවුල සමග කැටුව යෑමට ඔහුට අවසර ලැබුණා පමණක් නොව ඒ සඳහා ශිෂ්‍යත්වය ප්‍රදානය කළ ඕස්ට්‍රේලියානු රජයෙන් වෙනම වියදම් දීමනාවක් ද ලැබුනේ ය. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔහු සිය පවුල ද කැටුව යෑමට තිරණය කළේ ය. ඔහුගේ පුතු අධ්‍යාපනය ලබමින් සිටියේ ජාතික පාසලක තුන්වෙනි පන්තියේ ය. ඉදින් නැවත පැමිණෙන තෙක් පුතු සඳහා නිවාඩු ලබා ගැනීමේ අවසරයක් ද ඔහු අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගත්තේ ය. සියලු කටයුතු නිමවා වසර දෙක අවසානයේ දිවයින පැමිණ ඔහු ගියේ පුතු නැවත පාසලට ඇතුළු කරනු පිණිස ය. අදාළ පන්ති භාර ගුරුතුමිය හමු වූ විට දැන් වූයේ පුතුගේ නම දිගින් දිගට පැමිණිමේ ලේඛනයට ඇතුළත් කොට තිබූ බවත් විදුහල්පතිට දන්වා පුතු පන්තියට ගෙනත් බාර දෙන ලෙසත් ය. එහෙත් විදුහල්පති හමු වූ විට ඔහු කීවේ පාසලේ ඉඩ නොමැති නිසා දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බව ය. මේ පාත් වුනු හෙනහුරා ගැන වගේ වගක් නැතිව දරුවාගේ පියා විදුහල්පතිට කීවේ තමන් පුතු කැටුව ගියේ අමාත්‍යංශයේ අවසරය ඇතුව බවත් ඒ නිසා ම පැමිණිලි ලේඛනයේ ද පුතුගේ නම සඳහන් වන බවත් ඒ නිසා ඉඩ නැතැයි යන කතාව විදුහල්පති තුමා කියන්නට ඇත්තේ ඒ ගැන නොදැනුවත්ව බවත් ය. විදුහල්පති පැමිණීමේ ලේඛනය ගෙන්වා ගත් අතර පියා සහ පුතු ඉදිරියේ ම නම කපා දමා දැන් එවැන්නක් නැතැයි කිවේ ය. මේ සිද්ධීය දෙස බලන ඕනෑම කෙනෙකුට මේ විදුහල්පතිගේ මේ ක්‍රියාව අල්ලසක් ලබා ගැනීමට මග පාදා ගැනීමක් බව තේරුම් යනු ඇත.

අල්ලසට නිමිත්තක් පාදා ගැනීම

සාමාන්‍යයෙන් මිනිසුන් අල්ලස් ගන්නේ නීතියට පිටින් යමක් කර දීමට ය. උදාහරණයක් ලෙස රෝහලේ මුරකාරයා අල්ලසක් ගන්නේ රෝගීන් බැලීමේ වෙලාවට පිටින් පැමිණෙන කෙනෙකුගෙනි. මේ විදුහල්පතිට මුරකාර පදවිය බාර දුන්නේ නම් ඔහු නියමිත වෙලාව තුළ පැමිණෙන මිනිසුන්ගෙන් ද අල්ලස් ගැනීමට කටයුතු කරනවා ඇත. අල්ලස් ගැනීමේ රස වැටුනු පුද්ගලයාට නීතිය අනුව කළ යුතු රාජකාරියකට පවා අල්ලසක් ගැනීමේ අපුලක් නැත.

මේ සාහසික ක්‍රියාවෙන් කෝපයට පත් වුව ද කෝපය සගවා ගෙන පියා ගියේ අධ්‍යාපන අමාත්‍යංශයට ය. ඒ අමාත්‍යංශයේ ලේකම් තුමා හමුවන්නට ය. ලේකම් ලා කෙළින්ම හමුවන්නට බැරි ය. ඒ සඳහා පළමුව ලේකම්ගේ ලේකම් මුණ ගැසිය යුතු ය. එතුමා කියා සිටියේ විදුහල්පති ඉඩ නැතැයි කියනවා නම් අමාත්‍යංශයට ඊට ඉහළින් යා නොහැකි බව ය. එසේ නම් අමාත්‍යංශය දරුවාට නිවාඩු දුන්නේ අහවල් දේකට දැයි ඇසූ විට ඔහු නිරුත්තර විය. ලේකම් තුමාට යොමු කරන තුරු රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ මේ පියාගෙන් ලෙහෙසියෙන් ගැලවිය නෙහැකි බව තේරුම් ගිය විට ය. ඊළගට ඔහු ලිපියත් රැගෙන ලේකම් තුමා හමුවන්නට ගියේ ය. ස්වල්ප වේලාවකින් කැඳවීමක් ලැබුනේ ය. ලේකම් තුමා කීවේ විදුහල්පති ඉඩ නැතැයි කියනවා නම් කළ හැකි දේ අල්ප බැවින් වෙනත් විකල්ප පාසලක් ලබා දීමට කටයුතු කළ හැකි බව ය.

මේ නොකියා කියන්නේ කුමක් ද? නීතියේ පිටුවහලක් පියාට හෝ දරුවාට නැති බව ය. හැකි නම් විදුහල්පති කැමති කරවා ගන්නා ලෙස ය. නොකියා කියන්නේ අල්ලසක් දෙන ලෙස ය.

මෙයින් පැහදිලි වන පරිදි අල්ලස නැති කළ නොහැක්කේ අල්ලස් ගන්නා නිලධාරීන් නිසා පමණක් නොවේ. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබාන මහ උන් ද නිසා ය.

මේ පැරණි කතාව මතක් වූයේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව විසින් මෑතක දී පවත්වන්නට යෙදුණු විද්වත් කතිකාවට සවන් දීමේ දී ය.

අල්ලස තියෙන්නේ “ජාන“ ගත ව ය

මේ කතිකාවට සහභාගී වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් කීවේ අල්ලස අපේ ජාන වලට ඇතුළු වී ඇති සංස්කෘතිය විසින් පෝෂණය කරන ලද කාරණයක් බව ය.

මෙහි මුල් තිබෙන්නේ අපේ ගෙවල් දොරවල් වල ය. ඇතැම් තැනක දරුවෙකුට බත් කවන්නේ කෑවොත් අහවල් දේ දෙන්නේ ය යන පොරොන්දුව පිට ය. ඒ කියන්නේ බත් කන්නත් අල්ලස් ලබා ගත යුතු ය යන්නට දරුවන් අප විසින් පුරුදු පුහුණු කරන බව ය.

අල්ලසට ඊළග පෝෂණය ලැබෙන්නේ පන්සලෙනි. ඒ දානෙ දුන්නහම මහත් ඵල මහානිසංස ලැබෙන්නේ ය යන්න නිරන්තරයෙන් මතක් කරමිනි. අනිත් සියල්ල අභිබවා එය ම කීමෙනි. ඒ කියන්නේ අල්ලස් දීමෙන් නොනැවතී කිසිදු හිරිකිතයකින් තොරව අල්ලස් ඉල්ලීමට ද රටට හා ජනයාට විශේෂයෙන් දරුවන්ට ආදර්ශක් සැපයීමට සිටින ආගමික පූජකයන් කටයුතු කරන බව ය.

ඊළග දිරිය ලැබෙන්නේ පාසලෙනි. පළමුව විදුහල්පති හරහා ය. ඒ දරුවා පාසලට ඇතුළත් කිරීමට වරදාන ඉල්ලා සිටීමෙනි. දෙවනුව ගුරුවර ගුරුවරියන් හරහා ය. ඒ දරුවන්ගේ අම්මලාගෙන් තෑගි බාර ගනිමින් හා ඒ තෑගිවල අඩු පාඩු සම්බන්ධයෙන් දෙස්දෙවොල් දරුවාගේ පිටින් යැවීම හරහා තෑග්ග අල්ලසක් බවට පත් කිරීම හරහා ය.

මෙසේ දරුවන්ට කුඩා කළ සිට අල්ලස් ගැනීමටත් දීමටත් හුරු පුරුදු කර ලොකු වූ පසු උන් වෙනත් විදිහකට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ ය.

අල්ලස කුමක් ද? එහි ඵල විපාක මොනවා ද? එය ගන්නා තැනැත්තාට එය දෙන තැනැත්තාට සිදුවන පසු විපාක (මේ පින්පව් සම්බන්ධයෙන් නොවේ. ඊට අමතරව ඇති විය හැකි දෑ සම්බන්ධයෙනි.) මොනවා ද? රටට සිදු වන ඵල විපාක මොනවා ද? සෙසු මිනිසුන්ට ආයතනවලට සිදුවන ඵල විපාක මොනවා ද? මේ එකක් පිළිබඳව වත් ප්‍රමාණවත් සංවාදයක් රටේ ඇති නොවේ.

ඒ නිසා ම මැතිවරණ ව්‍යාපාරයකට දෙනු ලබන අනුග්‍රහයක් සම්බන්ධයෙන් අප කෙසේ ක්‍රියාකළ යුතු දැයි යන්න පවා අද වන විට විවාදිත කරුණක් වී තිබේ. මේ ලිපියේ අදහස ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇති කිරිමට මුල පිිරීම ය.

සන්තෝසම අල්ලසක් ද?

සන්තෝසමක් යනු අල්ලසක් නොවේ. සන්තෝසම වැඩක් ඉවර වුනාම ඒ වැඩය හොඳින් ඉවර කිරීම සම්බන්ධයෙන් සතුට පළ කරනු සඳහා දෙන තෑග්ගකි. අල්ලස එසේ නොවේ. වැඩේ කර ගැනීම සඳහා පෙළඹවීමට දෙන යමකි. මේ දෙකේ වෙනසක් තිබේ. එකක් දෙන්නේ ප්‍රතිඵලයට මුලින් ය. අනෙක දෙන්නේ ප්‍රතිඵලය ලද පසුව ය. එහෙත් සන්තෝසම් ලබා පුරුදු පුහුණු වූ කෙනෙකු ඊළගට කරන්නේ එය අයිතියක් ලෙස ඉල්ලා සිටිම ය. ඒ සමහරු නොදෙන නිසා ය. ඒ නිසා ම එය පූර්ව කොන්දේසියක් කර ගැනීම ය. සන්තෝසම කලින් ඉල්ලා සිටීම ය. එය අල්ලසක් ලෙස ලබා ගැනීම ය.

අප වැඩක් අවසානයේ දෙන යමක් සන්තෝසමක් නොවි අල්ලසක් වීමේ ඉඩක් තිබේ. ඒ ඊළග වතාවේ අදාළ පුද්ගලයා සිය සේවාව සපයනු ඇත්තේ කලින් දුන් සන්තෝසමේ ප්‍රමාණය අනුව වීමේ ඉඩ තිබීම ය. නිරන්තරයෙන් සේවාව ලබා ගන්නා කෙනෙකුට පිරිනමන සන්තෝසමක් ඒ නිසා සන්තෝසමක් වී නතර වෙන්නේ නැත. එය අල්ලසක් ම වන්නේ ය.

වෙනත් ලෙසකින් කියනවා නම් සන්තෝසමක් දීමෙන් අප කරන්නේ මිනිසෙකු අල්ලසකට යොමු කිරිම ය. ඒ නිසා අවංක මිනිසෙකුට වුව සන්තෝසමක් ලෙස අරුත් ගන්වා තෑගි දීමෙන් නොදැනුවත්ව වුව ද අප කරන්නේ අපරාධයකි.

ප්‍රශ්නය නම් මෙයින් දැන් ගැලවිය නොහැකි වීම ය. යමක් පුරුදු කළ පසු ගැලවීම අමාරු ය. මා කෙස්වැටිය කපා ගැනීමෙන් පසු බාබර් උන්නැහේට සන්තෝසමක් දෙන්නේ නම් දැන් හදිසියේ එයින් නිදහස් වීමට මට නොහැකි ය. සන්තෝසම දිගට ම ලබමින් සිටි ඔහු මගේ මේ හදිසි වෙනස කෙසේ තේරුම් ගනු ඇති ද? ඔහුගේ ඊළග දින ප්‍රතිචාරය කුමක් විය හැකි ද? මට පුරුදු බාබර් අහිමි වී යා හැකි ද?

අල්ලස ව්‍යාධියකි

අල්ලස සුළුපටු ව්‍යාධියක් නොවේ. බෝවෙන රෝගයකි. වසංගතයක් මෙන් පැතිර යා හැකි එකකි. එපමණක් නොවේ. දිනෙන් දින දරුණු විය හැකි ව්‍යාධියකි. අප රට සම්බන්ධයෙන් නම් එය ඔඩු දුවා ඉවර ය. පැතිර අවසන් ය.

අල්ලස් හා දූෂණ කොමිසමට පමණක් මේ රෝගියා මුදවා ගත නොහැකි තරමට එය පැතිරී අවසන් ය. විද්වත් කතිකාවක් පැවැත්වීමෙන් ම පෙනි යන්නේ එය තමන්ට තනියම නොහැකි බව කොමිසම ද අවබෝධ කර ගෙන ඇති බව ය. එය එසේ වන්නේ මන් ද?

එක් හේතුවක් නම් අල්ලස් ගන්නට පුරුදු වී ඇති කෙනෙකුගෙන් එසේ නොකර වැඩක් කර ගැනීමට නොහැකි වීම ය. වැඩේ කර ගැනීමට ද අවශ්‍ය නම් වෙන මගකුත් නැතිනම් ඕනෑම කෙනෙකු අල්ලසක් හෝ දී වැඩේ කර ගැනීමට ඉදිරිපත් වීම ගැන අපට විරුද්ධ විය නොහැකි ය. එක ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ඉතිරි වන්නේ කෙනෙකුට අල්ලසක් දෙන තාක් වැඩේ කල් දැමිය හැකි වාතාවරණයක් සකස් වූයේ කෙසේ ද යන්න ය. එකක් නම් මෙසේ අල්ලස් ගන්නා බොහෝ අය ඉහළට ඒ අල්ලසෙන් කොටසක් ගෙවා තමන්ට අවශ්‍ය වාතාවරණය පාදා ගන්නා බව ය. එය ඇතැම් විට ආයතනයේ ම ප්‍රධානියෙකුට විය හැකි ය. නැතිනම් දේශපාලනඥයෙකුට විය හැකි ය. ඒත් නැතිනම් වෙනත් බල මූලාශ්‍රයකට විය හැකි ය. අනෙක නම් පහසුවෙන් අල්ලසක් දී කර ගත හැකි වැඩකට අභියෝග කිරීමේ කට්ට කෑමට කිසිවෙකු ඉදිරිපත් නොවීම ය.

දෙවනි හේතුව නම් හැම දෙනෙකුම අල්ලස් ගන්නා තැනක අල්ලස් නොගන්නා කෙනෙකුට පැවතිය නොහැකි වීම ය. පළමුව, ලොක්කාට හිමි කොටස දෙන්නට ඔහුට ඇයට ක්‍රමයක් නොමැති විමෙන් ලොක්කා අමනාපයට පත් වීම ය. ඒ නිසා ම ඔහුගේ අඩම්තේට්ටම් වලට නතු වීමට සිදු වීම ය. ඇතැම් විටක ඒ හේතුව නිසා ම සයිබීරීයාවකට මාරු කර යැවිමට ඉඩ තිබීම ය. දෙවනුව, අල්ලස් ගන්නා අයට ඔහු/ ඇය අභියෝගයක් වීම ය. කරදරයක් වීම ය. ඇණයක් වීම ය. ඔවුන් කල්පනා කරනු ඇත්තේ මේ තැනැත්තා නිසා තමන්ගේ “ව්‍යාපාරය“ කර ගෙන යෑමේ ඉඩ අඩු වෙතැයි කියා ය. එහෙම කීප දෙනෙක් ම සිටින විටක මිනිසුන් එවැනි අය ම සොයා යන නිසා “ව්‍යාපාරයේ“ ලාභ රේට්ටුව අඩු වෙතැයි කියා ය.  තෙවනුව, සෙසු අය විසින් මෝඩයෙකු ලෙස සැළකීම ය. කලක දි ඒ තැනැත්තාටම පවා එසේ යැයි හැගී යාම ය. මගුල් තුලාවකට දෙන තෑග්ගක් පවා අල්ලස් ගන්නා කෙනෙකුගේ මට්ටමින් දීමට නොහැකි වීම තුළ අසරණ වීම ය. ඒ තරමට අඳින්නට පළඳින්නට නොහැකි වීම තුළ අසරණ වීම ය.

ඒ නිසා අල්ලස නොදී සිටිම මෙන්ම නොගෙන සිටිම ද අමාරු ය. රෝගය පැතිර යන්නේ ඒ නිසා ය.

ඊට අමතරව අල්ලසක් දැලට දා ගැනිම ද අමාරු ය. ඒ සඳහා අල්ලස් දීමට බල කෙරුණු තැනැත්තා ඉදිරිපත් විය යුතු ය. අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතු ය. එසේ නොවන තැනක කොමිසමට කළ හැකි දෙයක් නැත. පැමිණිලි කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඉන්පසු කොමිසම විසින් එලනු ලබන දැල එලිමට උදව් පදව් කළ යුතු ය. අල්ලා ගත් චුදිතයාට එරෙහිව උසාවියක සාක්කි දිය යුතු ය. ඒ සඳහා තම කාලය ද මුදල් ද වැය කළ යුතු ය. තරහ කරුවන් හදා ගත යුතු ය. ඔවුන්ගේ තර්ජන ගර්ජන වලට යටත් විය යුතු ය. ඒ චුදිතයාගේ වෘත්තීය සගයින්ගේ එසේත් නැත්නම් පාක්ෂිකයින්ගේ මිතුරන්ගේ අඩම්තේට්ටම් ද ඉවසිය යුතු ය. මෝඩ වැඩකට අත ගැසුවේ යැයි හිතේෂින්ගෙන් බැණුම් අසා ගත යුතු ය.

අල්ලස අභිප්‍රේරණයක් ද?

සමහරු අල්ලස දකින්න කැමැත්තේ අභිප්‍රේරණ උපාංගයක් හැටියට ය. නිදා ගෙන ඉන්නා අලසයින් ඇහැරවා වැඩ ගත හැකි අපූරු යාන්ත්‍රණයක් හැටියට ය. කැරට් අලයක් හැටියට ය.

මෙය කොතෙක් මතවාදයක් ලෙස සමාජ ගත ව ඇත්තේ ද යත් මේ මෑතක දී නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ දූෂණය මුළුමණින් ඉවත් කිරීමට ගියොත් සංවර්ධනය ඇණ හිටිය හැකි බව ය.

එය දේශපාලනඥයන්ගේ මතයක් පමණක් නොවේ. සමාජය තුළ ද ඇති විශ්වාසයකි. මහින්ද රාජපක්ෂ යුගය පිළිබඳ ස්තෝත්‍ර ගයන මහ නාහිමි වරු කීප පොලක් ද විද්වතුන් කීප දෙනෙකු ද ප්‍රකාශ කර සිටියේ සොරකම් කළේ වුව ද වැඩත් කළ බව ය.

ප්‍රශ්නය ඇත්තේ අල්ලසට පුරුදු කරනු ලබන තැනැත්තාට සීමා මායිම් නොපෙනෙන බව ය. මුළින් එය ෆයිව් පසන්ට් (සිියයට පහ) වී පසු ව ටෙන් පසන්ට් (සියයට දහය) වී අනුක්‍රමයෙන් ප්‍රතිශතය වැඩි වන බව ය. එය නිශ්චිත නොවන බව ය. අවසානයේ කම්බා හොරු මිසක කිසිදු වැදගත් ආයෝජකයෙකු ආයෝජනයකට නොඑන බව ය. වැඩකට ඉදිරිපත් නොවන බව ය.

ඒ ඇරත් අල්ලස නීති විරෝධී ය. ගන්නා තැනැත්තා පමණක් නොව දෙන තැනැත්තා ද නීතිය ඉදිරියේ වැරදි කරුවෙකු වන්නේ ය. නොකැමැත්තෙන් වුව අල්ලස් දීමට සිදු වන තැනැත්තාට අන්තිමේ සිදු විය හැක්කේ මුදලත් අහිමිව හිරේ විලංගුවේත් ලගින්නට ය.

මේ අප අල්ලස ව්‍යාධියකි යන කොටස‍ෙ සඳහන් කළ කාරණාවලට අමතරව ය. ඒ නිසා ම මෙය සුදුසු අභිප්‍රේරණයක් ලෙස සැළකිය නොහැකි ය.

නිවනට මග

මේ බුර බුරා නැගෙන ගින්න, පැතිර යන ගින්න, නිවන්නට මගක් තිබේ ද?

පළමුව, මේ ගැන සංවාදයක් ඇරඹිය යුතු ය. අල්ලස පිළිබඳ සමාජ සම්මතයන් ප්‍රශ්න කළ යුතු ය. සන්තෝසම අල්ලසක් විය හැකි ආකාරය විමසිය යුතු ය. අප නොදැනුවත්වම ගෙදර දී ද වෙනත් තැන් වල දී ද දරුවන් අල්ලසට හුරු කරන ක්‍රියා නැවත විමසිය යුතු ය.

දෙවනුව, අල්ලසට නිමිති සපයන තැන් සොයා ඉවත් කළ යුතු ය. අපි උදාහරණයක් ගෙන බලමු. රටේ නීතිය අනුව පහසුවෙන් කොස් ගස් කැපිය නොහැකි ය. ඒ සඳහා අවසර ගත යුතු ය. කාර්යාල දෙකකට යා යුතු ය. කපා ගත්තත් එය ප්‍රයෝජන ගැනීම සඳහා ප්‍රවාහණය කිරීම අමාරු ය. ඒ සඳහා ද කප්පරක් මිනිසුන් හමු විය යුතු ය. අවසර ගණනාවක් ගත යුතු ය. මේ සියල්ල දමා ඇත්තේ කොස් ගස් බේරා ගැනීමේ උත්තරීතර අරමුණ ඇති ව බව හැබෑ ය. එහෙත් ඇත්තට ම ඒ අරමුණ ඉටු වන්නේ නැත. කොස් ගස් කැපෙන්නේ ය. කොස් ලී ප්‍රවාහණය වන්නේ ය. එයින් සිදු ව ඇත්තේ සෑහෙන ගණනකට අල්ලස් ගැනීමේ ඉඩ (නිමිති) ඇති කිරීම පමණ ය. මේ උදාහරණය අනුව යමින් අප කළ යුත්තේ රජය විසින් එලා ඇති තහංචි අවමයකට සීමා කිරීම ය.

තෙවනුව, අල්ලස් සම්බන්ධයෙන් පැමිණිලි කරන අයට “අල්ලසක්“ දීම ය. තෑග්ගක් දීම ය. ඔවුන්ගේ ආරක්ෂාව බලා කියා ගැනීම ය. චුදිතයන්ගෙන් එන තර්ජන සම්බන්ධයෙන් දැඩිව නීති ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ය. එවැනි තර්ජන සම්බන්ධයෙන් දැඩි දඩුවම් නීති ගත කිරීම ය.

සිව්වෙනුව, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් අප කලින් සඳහන් කළ සාකච්ඡාවේ නිර්දේශ කළ පරිදි පාසල ආගම කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයන් තුළ මේ සම්බන්ධයෙන් පිබිදිමක් ඇති කර සමාජය පිළිසකර කිරිම ඒ ක්ෂේත්‍ර හතර තුළ කරන පුනරුදයක් හරහා සිදු කිරීමට වග බලා ගැනිම ය. අල්ලස පිළිලයක් ලෙස සමාජ ගත කර ඊට එරෙහිව ක්‍රියාත්මක වන සංස්කෘතික ව්‍යාපාරයක් ආරම්භ කිරිම ය.

පස්වෙනුව, හැකිතාක් දුරට තාක්ෂණයේ සහය ලබා ගෙන මිනිසුන්ට තීරණ ගැනීම සඳහා මැදිහත් විය හැකි වපසරිය හැකි තාක් අවම කිරීම ය.

සයවෙනුව, වෙනත් රටවල අත්දැකීම් ද රටේ මහ ජනයාගේ අදහස් ද ගෙන මේ පිළිලයට එරෙහිව කළ හැකි සකල විධ ක්‍රියා නිර්ණය කර ක්‍රියාත්මක කිරීම ය.

රට යන ඇත්තෝ

d2_06082018_FRR

“සසර වසන තුරු

නිවන් දකින තුරු

පින් කෙත හෙල රන් දෙරණේ

යලි උපදින්නට හේතු වාසනා වේවා“

යන ගීතය අසා නැති කෙනෙක් මේ ශ්‍රී ලංකාවේ සිංහල ගීත අසන අය අතර නැත. එය ඒ තරමට ජනප්‍රිය ය. එහෙත් යලි උපදින්නට බලාපොරොත්තු එහෙම ම තියා ගෙන ම ඒ ගීය ඇසූ සහ එය උජාරුවෙන් ගැයූ බොහෝ දෙනෙකු මේ වන විට රට හැර ගොස් ය.

එක්තරා විශ්වවිද්‍යාලයකින් පවත්වන ලද සමීක්ෂණයක දී පෙනී ගොස් තිබුනේ වයස 18ත් 25ත් අතර තරුණයන්ගෙන් 60% ක් ම හොඳින් හෝ නරකින් රට යෑමේ අපේක්ෂාවෙන් පෙළෙන බව ය. අප අමතක නොකළ යුත්තේ මේ වයස් කාණ්ඩයේ අය වරින් වර ලංකාවේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ බව ය.

දුෂ්කර අභියෝගයන් ඉදිරියේ ගත හැකි උපාය මාර්ග දෙකක් තිබේ. එකක් සටන් කිරීම ය. අනික පලා යෑම ය. fight හෝ flight ය. තව විකල්ප ඇතත් සරල ප්‍රතික්‍රියා දක්වන මිනිසුන්ගේ තෝරා ගැනීම ඒ දෙකින් එකකි. ඒ අනුව අද පලා යන්නට හදන්නේ එදා සටන් කළ අයම වීම එක් අතකට පුදුමයක් ද නොවේ.

දැනටමත් වයස 25ත් 60ත් අතර (වැඩකරන වයසේ) ජනගහණයෙන් 22% ඉක්මවන ප්‍රමාණයක් රැකියා කරන්නේ ද පිටරට ය. මේ නිසා ම ශ්‍රී ලංකාවේ අංක එකේ විදේශ විනිමය උපයන්නා බවට පත්ව ඇත්තේ විදෙස් ශ්‍රමිකයන් ගෙනෙන අදායම ය.

නගරයේ වෙසෙන බොහෝ පවුල්වල දරුවන් එක් කෙනෙකු හෝ රට ගොස් ඇති අය දැන් බහුල ය. දෙමල ඩයස්පෝරාවට හරි හරියට සිංහල ඩයස්පෝරාවක් ද බිහිකරමින් සංක්‍රමණය සිදු වෙමින් තිබෙන්නේ ය. එසේ ගිය අය ඒ රටවල ඉහල තනතුරු දැරීමෙන් නොනැවතී දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත් වීම දක්වා ම ගොස් තිබේ. හේතුව ඒ තරමට ලාංකීය ජන පදනමක් ඇතැම් රටවල ඇති නිසා ය. දෙමල ජනතාවගේ ජන්ද ලබා ගැනීම සඳහා ඇතැම් රටවල දේශපාලන නායකයින් උතුරේ ප්‍රශ්න ගැන සංවේදී වීම දක්වා මේ සංක්‍රමණය තව පැත්තකින් සිදු ව ඇත්තේ ය.

මේ කටයුතු මෙසේ සිදු වෙද්දී රට යන ඇත්තන් උපහාසයට ලක් කරන ප්‍රවණතාවයක් ද රට තුළ පැවතියේ ය. එයට ජන මාධ්‍ය වලින් ද කලා කෘති වලින් ද නොමඳ සහයක් ලැබුනේ ය. රට ගිය ඇත්තෝ ටෙලි වෘත්තාන්තය ඊට එක් නිදසුනකි. ඒ උපහාසය කළ වුන් ද එයින් නොමඳ ආස්වාදයක් ලබා ගත් උන් ද අවස්ථාව ඇතොත් ඒ සියල්ල අමතක කර රටින් පැනීමට සූදානම් ව සිටිය හ. ඒ අතර බටහිර රටවල්වල ජීවන ශෛලිය විවේචනය කළ අය ද බටහිරට විරුද්ධව ඝෝෂා කළ වුන් ද වූහ. වෙන එකක් තබා දේශප්‍රේමය ගැන වඩාත් උනන්දුවෙන් කතා කරන බොහෝ අයගේ දරුවන් හිටියේ ද අදටත් ඉන්නේ ද විදේශ ගත ව ය. මේ අයගේ වැඩි කැමැත්ත අප ගිල ගන්නට වෙර දරනවා යැයි  ඔවුන්ම කියූ බටහිර රටවලට ය. මෙයින් පෙන්නුම් කළේ එක් පැත්තකින් විවේචනය කරන ගෝලීයකරණයේ අවස්ථා තව පැත්තකින් තුරුළු කර ගැනීමට සිදු ව තිබීමේ ඛේදවාචකය ය. සසර වසන තුරු නිවන් දකින තුරු උපදින්නට පැතූ ඒ භූමිය පැත්තකින් තබා යථාර්ථයට මුහුණ දීමට සිදුව තිබිමේ අවාසනාව ය. කටින් කුමක් කීවත් සංක්‍රමණයට හිත යටින් ඇති කැමැත්ත ය. ඒ වෙනුවෙන් හිත හදා ගැනීමට ඇති සූදානම ය.

නගරයේ සිට විදේශ රටවලට මෙන්ම ගමේ සිට නගරයට ද සංක්‍රමණය සිදු වන්නේ ය. දැනටමත් බොහෝ ග්‍රාමීය පාසල් ද ආරෝග්‍යශාලා ද වැසී යන බවට තිබෙන මැසිවිලි වලින් ප්‍රකට වන්නේ ද මේ සංක්‍රමණයේම අතුරු කතාන්දරයකි.

මේ පිරිස අතර වැඩි දෙනා ගම ගැන වර්ණනා කරමින් ම ගම අත් හැරීමට තීන්දු කළ අය ය. නගරයේ ජීවත් වුව ද ගමට ඇති ලැදියාව ගැන ලස්සණ කතන්දර කියන, එසේ වුව ද ගමට හදිසියේ ගියත් නැවත නගරයට එන්නට ගිය වෙලේ සිට සිතන, අය ය.

මේ සංක්‍රමණයට හේතු දෙකකි. එකක් ආකර්ෂණය ය. ගෝලීය ආර්ථිකය විසින් විවෘත කර ඇති අනේක විද අවස්ථාවන් සම්බන්ධයෙන් ආකර්ෂණය ය. අනෙක විකර්ෂණය ය. ඒ එක තැන පල්වෙන ග්‍රාමිය හා දේශීය ආර්ථිකයේ සිමාවන් විසින්, ඒ නිසා ම ගම තුළ, මේ රට තුළ, කෙනෙකුට යා හැකි දුරේ බිහිව ඇති සීමාවන් විසින් ඇති කරන විකර්ෂණය ය.

ගමින් නගරයට යෑම ද නගරයෙන් විදේශ කරා යෑම ද මේ කේන්ද්‍රයට ඇති ආකර්ෂණය හා පරිධියෙන් වන විකර්ෂණය යන බලවේග දෙකේ සංයුක්ත ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි. ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රයට ඇද ගන්නා තරමට ම, ගැමි පසුගාමී ආර්ථිකයෙන් තල්ලු කරනු ලැබිම ද, එක සේ මේ කෙරේ බලපාන්නේ ය.

මේ නිසා ඇතිව තිබෙන සමාජ ප්‍රශ්න අපමණ ය. පවුල් බිඳ වැටීම් එමට ය. වැඩිහිටියන් අනාථ වීම ද දරුවන් අනාථ වීම ද බහුල ය. ඒ නිසා ම මේ සංක්‍රමණය අනුමත නොකරන, එයට අවමන් කරන, එය නතර කිරීමට විවිධ මැදිහත් වීම් කරන අය ද එමට ය. ඒ අභිමතාර්ථය ඇති ව ලියවුනු නිර්මාණය කෙරුණු කලා කෘතීන් ද එමට ය. එහෙත් ඒවාට මේ සංක්‍රමණයට එරෙහිව කිසිවක් කරන්නට නොහැකි ව තිබේ.

යම් හේතුවකින් මෙය නතර වුවහොත් ඇති විය හැකි ව්‍යාසනය ඊට එහා ය. එයින් මතු විය හැකි එක් ප්‍රධාන අභාග්‍යයක් නම් තවත් කැරැල්ලකි. තරුණ ජීවිත විනාශ කරන, රට නැවතත් අමනුස්ස කරන, දේපල සම්පත් නැති භංගස්ථාන කරන, තව කැරැල්ලකි. මේ අනතුර ගැන, මේ අවදානම ගැන, ලියවෙන ලිපි අඩු ය. කෙරෙන නිර්මණයන් අල්ප ය. ඒ නිසා ම මේ සංක්‍රමණය විධිමත් කර පවත්වා ගෙන යා යුතු යැයි සිතා මැදිහත් වන අය අඩු ය. සිදු ව තිබෙන්නේ එය ඉබේ වීම ය. ඒ නිසා කැරැල්ලක අනතුරකින් වාසනාවට අප තවමත් රැකී තිබීම ය.

මේ සංක්‍රමණය නිසා සිදු වන අතුරු වාසි රැසක් ද තිබේ. එකක් තවදුරටත් කැලෑ කැපීම නතර වීම ය. ගමේ රැඳෙන මිනිසුන්ට ඉතිරි ව තිබුනේ, තමන්ට ජීවත්වීමට අවශ්‍ය අවම ආහාර ටික සරි කර ගැනීම සඳහා, හේනක් කොටා ගනු පිණිස කැලෑවකට ඇතුළු වීමට ය. මේ කැලෑ කැපීම නිසා සතුන්ට වාස භූමි අහිමි වූ අතර, උන් මිනිස් ජනපද වරින් වර ආක්‍රමණය කිරීම, මේ වනවිටත් අර්බුදයක් තරමට වැඩී ඇත්තේ ය. වඳුරෝ භෝග විනාශ කළ අතර, වල් අලි ගම් දොරවල් විනාශ කළ හ. ගමෙන් නගරයට සිදුවන සංක්‍රමණය මෙම තත්වය තවදුරටත් තීව්‍ර වීම අඩාල කරනු ඇත. සතුන්ට ද මිනිසුන්ට ද ඒ හේතුවෙන් එක් අයුරක සාමයක් උදාවනු ඇත.

නැවත කැලෑ ඇති කිරිම දක්වා මේ තත්වය වර්ධනය වුව හොත් වන ජීවින්ට පමණක් නොව මිනිසාට ද වඩා යහපත් පරිසරයක් උදාවනු ඇත. ඒ කැළෑ කැපීම නිසා, වැසි වතුර ඉක්මණින් ගඟට ගලා ගොස් පිටාර ගැලීමත්, එය ඉක්මණින් මුහුදට ගලා ගොස් අතුරුදහන් වීමත්, නිසා වතුර ප්‍රශ්නයක් වීම, එමගින් නතර වනු ඇති නිසා ය. ගංවතුරෙන් හා නියඟයෙන් වන පීඩා ඒ අනුව අවම වනු ඇත.

ඈත ගම් දියුණු කිරීම සඳහා, ඒවාට මහාමාර්ග, පාලම්, විදුලිය වැනි සේවා සැපයීම උදෙසා, රජයට දැරීමට සිදු වන අධික වියදම අහෝසි වී යෑම නිසා ජනතාවට දරන්නට සිදු වන බදු බර ද අඩු වනු ඇත. ඈත විසුරුණු ගම් වලට සේවා සැපයීමට වඩා, ඉතා අඩු මිලකට, ජනතාව සංකේන්ද්‍රණය වුනු නගර වලට සේවා සැපයීමට පුළුවන් විම එයට හේතුව ය.

දැනට යම්තම් දිවි ගැට ගහ ගන්නා, විවිධ පීඩනයන්වලට යටත් ව ජීවත් වන, ගම්මාන වල සිටින, ජනයාට, නගරය හා ලෝකය විවෘත වීම නිසා, විද්‍යාව විසින් ද මිනිස් ශිෂ්ඨාරය විසින් ද නිමවා ඇති බොහෝ දේ විඳ ගැනීමේ ඉඩකඩ ද ඒ හරහා ඇති වනු ඇත.

මේ සියලු කරුණු සළකා බැලූ විට පෙනෙන්නේ සංක්‍රමණය ඇති කර ඇති අයහපතට වඩා යහපත විශාල බව ය. එසේ නොවන්නට අප වඩාත් අගාධයක සිර වන්නට ඉඩකඩ තිබූ බව ය.

එසේ වුව ද අපට සංක්‍රමණය නිසා ඇති කර තිබෙන ප්‍රශ්න මුළුමණින් අමතක කර දැමිය නොහැකි ය. මානව සබඳතා විශේෂයෙන් පවුල් සබඳතා විෂයෙහි එය විසින් ඇති කර තිබෙන අවුල් දෙස ඇස් කණ් පියා සිටිය නොහැකි ය. මේ සම්බන්ධයෙන් වැඩි මනත් ගැටළු ඇත්තේ නුපුහුණු කම්කරුවන් ලෙසින් විදේශ ගත වන ගෘහ සේවිකාවන් හා රියැදුරන් වැනි වෘත්තීන් හි නියැලීම සඳහා විදෙස් ගත වන පිරිසට ය. ඒ ඔවුන්ට සංක්‍රමණය වීමේ දී පවුල් ගෙන යෑමට අවසර නැති නිසා ය.

ඒ සඳහා කළ හැකි එක් දෙයක් නම් ගෘහ සේවිකාවන් වෙනුවට හෙදියන් ලෙස පුහුණු කර විදේශ ගත වන්නට ඔවුන්ට අවස්ථාව සැලසිය හැකි ද යන්න සෙවීම ය. රියැදුරන් වෙනුවට මැෂින් ඔපරේටර් වරුන් හැටියට ඔවුන්ට විදේශ ගත වන්නට අවස්ථාව සැලසිය හැකි ද යන්න විමසිම ය. ඒ සඳහා වැඩ පිළිවෙලක් සංවිධානය කිරීම ය.

ඒ සඳහා කළ හැකි අනිත් දෙය නම් එවැනි වෘත්තීන් වල යෙදිය හැකි අවස්ථා අපේ රට තුළ ජනනය කිරිම ය. ඒ සඳහා විදේශ ආයෝජකයන් සමග අත්වැල් බැඳ ගැනීම ය. විදෙස් රටවල කරන රැකියා රට තුළ ජනනය කර ගැනීමට මග පාදා ගැනීම ය. ඒ කටයුතු පහසු කරනු වස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම ය.

අපේ අවාසනාවට මෙවැනි පියවර ගැනීම උදෙසා ඉදිරිපත් විය යුතු වෘත්තිකයන් සිටින්නේ ඒවාට හරහට ය. මෑතක් වන තුරු ම හෙදියන් පුහුණු කිරීමට ගත් උත්සහයන් ව්‍යාර්ථ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ය. අදටත් වෙළඳ ගිවිසුම් වලට එරෙහි ව අවි මෝරා ගෙන සිටින්නේ ද ඔවුන් ඇතුළු වෘත්තිකයන් ය.

මේ පිරිසට මතවාදී ගැම්ම සපයන්නේ සංක්‍රමණයේ ඍජු ප්‍රතිඵල භුක්ති විඳි අය වීම එක් අතකට පුදුම සහගත ය. ඒ අය එක්කෝ දැනටමත් ඉන්නේ පිටරට ය. නැත්නම් යන්න බලා ගෙන ය. රට බටහිර අධිරාජ්‍ය වාදයෙන් වඩාත් දැඩිව රැක ගන්නට හදන්නේ බටහිර රටවලට තම ශ්‍රමය පුද කරන ලාංකිකයන් ය. ගම නගරයේ තරගයෙන් හා වාණීජත්වයෙන් රැක ගන්නට හදන්නේ ද ගම දමා නගරයට ආ මිනිසුන් ය. මේ අයගේ සහය ද ලැබ වෘත්තිකයන් කරන්නේ රටත් ගමත් එක තැන පල් කිරීමට ය. ඒ තුළ කාලය ගල් කර තැබීමට ය.

අවසානයේ මේ හැම දෙයකින් ම බැට කන්නේ ඒ අවස්ථා අහිමි මිනිසුන් ය. ඒ සඳහා සූදානම් වීමට ඉඩ නැති මිනිසුන් ය. එහෙත් මේ දේශප්‍රේමී කතා වලින් මත්ව වැඩිමනත් අත්පුඩි ගසන්නේ ද ඔවුන් ම ය. ඒ සඳහා දර දිය අදින්නේ ද ඔවුන් ම ය. ඔවුන් කරන්නේ තමන්ගේ වල තමන්ම කපා ගැනීම ය. ඒ ඒ බව නොදැන ය. තමන්ට ප්‍රයෝජන ලැබිය හැකි මැණික් පතලක් කපනවා යැයි සිතා ගෙන ය.

අන්තිමේ දි  තමන් අතරමං වී ඇති බව දකින විට කැරලි ගැසීම හැර ඔවුන්ට අන් විකල්පයක් නැත. 1971 සිදු වූයේ ද 1989 සිදු වූයේ ද එක්තරා දුරකට උතුරේ සිදු වූයේ ද මේ සන්තෑසිය ය.

එක්තරා දුරකට යැයි කීවේ උතුරේ කතාව තරමක් වෙනස් නිසා ය. උතුරේ ජනයා කල්පනා කළේ (ඒ කල්පනාව එක්තරා දුරකට නිවැරදි ය) තමන්ගේ ප්‍රශ්නවලට හේතුව දකුණේ පාලනය බව ය. එහෙත් එහි කුමන කොටස ද යන්න ගැන ඔවුන්ට නිවැරදි තක්සේරුවක් නොවී ය. දකුණේ පාලනයේ වඩාත් අඩුව තිබුනේ දේශප්‍රේමය තුළ හිර වී ගෝලිය ආර්ථිකයට බද්ධ වීම මග හැරීම තුළ ය. නගරය දියුණු කරනු වෙනුවට ගම ප්‍රසාරණය කරවීම තුළ ය. ඒ නිසා දකුණේ පමණක් නොව උතුරේ ද ව්‍යාපාරික අවස්ථා රැකියා අවස්ථා උගැන්මට අවස්ථා සීමා වීම තුළ ය. වගාවට සුදුසු ඉඩම් නොමැති කම තුළ ය. ඒවා සොයමින් යන ගමනේ කැලෑ අහිමිවීම තුළ ය. කැළැවෙන් පිටමං කළ සත්තුන්ගෙන් බැට කෑමට සිදු වීම තුළ ය. නියගය ගංවතුරට ආරාධනා කිරීම තුළ ය. ආයෝජනයන් අපතේ යෑම තුළ ය. දකුණේ පාලකයන් වෙනුවට උතුරේ වෙනම පාලනයක් ඇති කරනු ලැබූව ද ඒ මාවතින් වෙනස් නොවුනේ නම් සැබෑ ප්‍රශ්නය ඔවුන්ට දැනෙන්නට ඉඩ තිබුනේ ය. දැන් ඒ සියල්ල, දකුණ විසින් පාලනය කරනු ලබන නිසා යැයි සැලකීම තුළ, ඔවුන් හඳුනාගෙන තිබුනේ ගැටළුවෙන් භාගයක් පමණ ය. උතුරේ ම අය විසින් පාලනය කළේ වුව ද කරන්නට යන්නේ දකුණ විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නම් එයින් උතුරට වුව වැඩක් වන්නේ නැත (එය පසු කලෙක උගැන්මට නියමිතව තිබූ පාඩමකි).

එය හරියට කැරලි ගහන දකුණේ තරුණ තරුණියන් නොමග ගිය විදිහම ය. දකුණේ තරුණ තරුණියන් සිතුවේ ප්‍රශ්නය තියෙන්නේ පාලකයන් දේශද්‍රෝහී වීමේ බව ය. ගැටළුව විදේශ ආයෝජකයන් ගෙන්වීමේ බව ය. ඔවුන් දේශප්‍රේමී සටන් පාඨ ගෙන සටනට බැස්සේ ද ඒ නිසා ය. එහෙත් සැබෑ ව තිබුණේ ඕනෑවට වඩා දේශප්‍රේමි විම තුළ ය. අඩුවශයෙන් එසේ පෙන්නිමට යෑම හේතු කොට ගෙන අවශ්‍ය ප්‍රතිස්සංකරණ නිසි පරිදි නොකිරිම තුළ ය. විදේශ ආයෝජකයන්ට ඒ නිසාවෙන් වැට බැඳීම තුළ ය.

කැරැල්ල නිසා උතුරේ ජනතාවට බොහෝ දේ අහිමි වුනු නමුත් එක් වැදගත් අවස්ථාවක් ලැබුනේ ය. ඒ දේශපාලන රැකවරණ පතා බටහිරට සංක්‍රමණය වීමට ය. ඒ තුළ සිදු වුනේ එතෙක් අහිමිව තිබූ රැකියා හා ව්‍යාපාරික අවස්ථා විවෘත වීම ය.

අමතර වශයෙන් මේ කැරලි හැම එකක් තුළ ම දෙදිසාවේ ම තරුණයන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය වුනේ ය. ව්‍යාපාරික අවස්ථා ද ලැබුනේ ය. ඒ අවදානම් සහිත යුද්ධය ඇසුරේ ය. මරණය තුරුළේ ය. යුධ භටයන් හා කැරලි කරුවන් හැටියට ය. ආයුධ හා මිනී පෙට්ටි වෙළඳාම ඇසුරේ ය.

දැන් යුද්ධය අවසන් ය. කැරලි වලට ද නැවතත් තාවකාලික විරාමයක් ලැබී ඇත. එහෙත් මේ ඇති වූ ඉස්පාසුවෙන් වැඩක් නොගන්නේ නම් තවත් කැරලි වලට යුද්ධ වලට සූදානම් විය යුතු ය. මේ ඉස්පාසුවෙන් වැඩක් ගන්නේ කෙසේ ද? ගෝලිය ආර්ථිකය හා බැඳුනු වඩා දියුණු ආර්ථිකයට මග පාදා ගැනීමෙනි. සංක්‍රමණය වඩා ඉහළ මට්ටමකට පත් කිරිමෙනි. ඒ සඳහා වැඩ පිළිවෙලක් දියත් කිරිමෙනි. අවශ්‍ය පුහුණු කිරිම් වල යෙදිමෙනි. රට තුළ ආයෝජන පුළුල් කිරිමට පමණක් නොව ලෝක වෙළඳ පොල හා සම්බන්ධ විය හැකි ලෙස ආයෝජන අවස්ථා පුළුල් කිරීමෙනි.

එහෙත් අදටත් වැඩි දෙනෙකුගේ සිත ඇඳ බැඳ ගන්නේ සහ ලංකාව තුළ මාකට් වන්නේ අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමීත්වය යි. කිසිදු වටිනාකමක් නැති, ඒ වෙනුවෙන් එලිපිට පෙනි සිටින අය පවා සැබෑ යැයි විශ්වාස නොකරන, එහෙත් මාකට් කළ හැකි නිසා ම කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන් විසින් භාවිතයට ගනු ලබන, අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමය යි.

අවාසානාවට එය රැකියා අවස්ථා උත්පාදනය කරන්නේ නැත. ව්‍යාපාරික අවස්ථා උත්පාදනය කරන්නේ ද නැත. ඉගෙනුම් අවස්ථා උත්පාදනය කරන්නේ ද නැත. ඒ වෙනුවට එය කරන්නේ ඒවාට වැට බැඳිම ය. ඒ නිසා ම මේ යන විදිහට නම් රට තව කැරලි කිපයකට මුහුණ දෙන්නට නියමිත ය. ඒවා වලින් ද ඉගෙන ගනිතැයි සිතන්නට අමාරු ය. ඒ මක්නිසා ද යත් ඉගෙන ගන්නවා නම් උගැන්මට අවශ්‍ය ප්‍රමාණයේ අත් දැකීම් අප සතු ව මේවන විටත් තිබෙන නිසා ය. සිදු විය හැක්කේ අප දේශප්‍රේමය කබල් ගාමින් ඉන්නා අතරේ වෙනත් රටවල් අප පසුකර ඉදිරියට යෑම ය. ඊට පසු අපට සිදුවන්නේ උන් පිටුපස ගොස් උන්ගේ රටවලට ඇතුළු වීම සඳහා පන එපා කියා බෝට්ටු පැදීමට මහ මුහුදට පිවිසීමට ය. ඒ ඉතින්, ශ්‍රී ලංකාව හැම අතින් ම කොදෙව්වක් නිසා ය.

කොළ නැති ගහේ – අවසන් ගමන

5000_16072018_FRR_CMY

මත් කුඩු ව්‍යාසනයක් සේ පැතිරී ඇත. ඒවා හසුවන්නේ ග්රෑම් ගණනින් නොවේ. කිලෝ ග්රෑම් ගණනිනි. පාර්සල් හෝ ගෝනි වලින් පමණක් නොවේ. කන්ටේනර් වලිනි. සිල්ලර ගනුදෙනු කෙසේ වෙතත් තොග ගණනින් ගනුදෙනු කරන සැටියක් පෙනෙන්නට තිබේ. ඒ අහුවෙන ඒවා ය. එහෙම අහුවෙන්නේ නැති ඒවා ද තවත් විශාල ලෙස තිබිය හැකි ය. සමහරු නම් කියන්නේ ලංකාව වෙනත් දේ සම්බන්ධයෙන් මධ්‍යස්ථානයක් වෙන්නට වලි කෑව ද අවසානයේ ලොවටම මත්ද්‍රව්‍ය සපයන මත් කුඩු මධ්‍යස්ථානයක් වී ඇති බව ය.

එහෙම බැලුවහම මේ තරහ මරහ සාධාරණ ය. මරලාවත් ඉවත් කළ යුතු යැයි යන හැගීම ද සාධාරණ ය.

තරහ මරහ සාධාරණ වුව ද ඒ ඔස්සේ අනුගමනය කරන්නට යන නිශ්චිත වැඩ පිළිවෙලත් සාධාරණ ද යන්න අප විසින් විමසිය යුතු ය.

මත් කුඩු ව්‍යාසනය සම්බන්ධයෙන් ඇගිල්ල දිගු කළ යුත්තේ මත්ද්‍රව්‍ය බෙදන අයට පමණ ද? ඒ අය එතැනට තල්ලු කළ සමාජය ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නැද්ද?

“අහිංසක“ කීකරු දරුවෙකු විය. ඔහු මිනීමරුවෙකු කළේ ඔහුගේ ගුරුවරයා ය. මිනිසුන් 999 ක් මරා අවසානයේ බුදුන්ගේ මැදිහත් වීමෙන් පැවිදිව රහත් වූයේ ඒ මිනීමරුවා ය. අංගුලිමාල ය. නැත, අහිංසක ය. ඒ යුගයේ මිනිසුන් අංගුලිමාල සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා පෙලපාලි ගියේ නැත. ආගමික නායකයෝ ඔහුගේ ජීවිතය ඉල්ලා කෑ ගැසුවේ නැත.

සමාජයට අත පිසදා ගත හැකි ද?

අපේ සංඝයා වහන්සේලා හා කාදිනල් මැල්කම් රංජිත් ද ඇතුළුව වෙනත් ආගමික නායකයින් අපරාධකරුවන් සම්බන්ධයෙන් රජයෙන් යුක්තිය ඉල්ලා සිටින විට, දණ්ඩනය ඉල්ලා සිටින විට, අමතක කරන කාරණය එය ය. අපරාධයන් හි වගකීම මුළුමණින් ඒ ඒ  පුද්ගලයන් වෙත පවරමින් සමාජයකට අත පිස දා ගත හැකි ද?

ආගමික නායකයන් මේ වක්‍රකාරයෙන් කියන්නේ අපරාධ මැඩලිම සම්බන්ධයෙන් තමන් ෆේල් බව ය. ඇත්තටම මට සිතෙන්නේ සමාජයක ලෙස ම අප ෆේල් බව ය. සැවොම කරන්නට උත්සහ කරන්නේ, සියලු පව්, අල්ලන අපරාධකාරයන් පිටින් යවමින්, තමන්ගේ අත් පිස දා ගැනීම ය.

වරදවා තේරුම් නොගැනීම පිණිස තව දුර යන්නට මත්තෙන් තව යමක් සටහන් කළ යුතු ය. මේ කියන්නේ අපරාධකරුවන්ට දඩුවම් නොදිය යුතු බව නොවේ. උන් නිදහස් කොට සියල්ලේ වගකීම සමාජය වෙත පවරා ගත යුතු බව ද නොවේ. එහෙත් දිය හැකි උපරිම දඩුවම දී උන් තොලොංචි කොට, අප නිදහස් වීමේ, භයානක වෑයම ගැන නැවත සිතිය යුතු බව කියන්නට ය.

මත් කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවට දේශපාලනඥයින් ගණනාවකගේ නම් සඳහන් වන්නේ කාලයක සිට ය. ඇතැම් දේශපාලනඥයින් හඳුන්වන්නේ ම “කුඩු“ යන විශේෂණය පදය නමට මුලින් දමා ය. පසු ගිය පාලන සමයේ එවැනි එක් දේශපාලනඥයෙක්ගේ  නිවසක් පොලීසිය විසින් වටකරනු ලැබ, එම ආරංචියෙන් කම්පනයට පත් ව, රටේ ප්‍රධානියා ම ඔහු මුණ ගැසෙන්නට ගොස් සැනසුව බව, අමතක අය, මතක් කර ගන්නේ නම් හොඳ ය. ඒ අය අදට ද දැහැමින් ජීවත් වෙති. කුඩුවලට සම්බන්ධ යැයි කියන තවත් දේශපාලනඥයෙකු මිනීමැරුමකට අසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී රජය කරවන ඇත්තන්ගේ විශේෂ ආරක්ෂාව මැද වෙන රටකට හෙමින් සැරේ මාරු කළ බව ද මතක් කර ගැනීම හොඳ ය. කුඩු ගෙනා කන්ටේනරයක් පරීක්ෂා නොකර නිදහස් කරන්නට උපදෙස් ලැබෙන්නේ ද එවකට පැවති ආණ්ඩුවේ ඉහළම තැනකින් බව ද මතක් කර ගැනීම යහපත් ය. මේ සියල්ලෙන් කියවෙන්නේ කුමක් ද? මේ රැකැට්ටුවල නායකයන්ට ඉහළම දේශපාලන රැකවරණය ලැබෙන බව ය.

පොලීසියේ මහත්තැන්ට, මේ පාතාලයේ මැරයන්ට, සැලියුට් ගහන්නට සිදු වූ බව ද අප අසා ඇත. එපමණක් නොවේ. පොලීසියේ ම ඇතුළතින්මත් උන්ට සහයෝගය ලැබෙන බව ද කියවේ. නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට යන පොලීසියේ නිලධාරීන්ට මේ නිසා පොලීසිය තුළින් ම බලපෑම් එල්ල වෙන බව ද කියවේ.

දෙවැනි පෙළ අල්ලා ගැනීම

ඒ අනුව පොලීසියට අල්ලා ගත හැක්කේ හෝ පොලීසිය විසින් අල්ලා ගනු ලබන්නේ, දෙවැනි පෙළ ක්‍රියාකාරිකයන් පමණ ය. මෙහෙයවන අය පැත්තක සිටියදී දෙවැනි පෙළ ක්‍රියාකාරිකයන් කොළ නැති ගහේ යවන එක කෙතෙක් දුරට නිවැරදි වන්නේ ද? උන් මුළුමණින්ම අහිංසක යැයි අපි නොකියමු. එහෙත් උන් මුල් පෙල නායකයෝ නොවෙති. මුල එලෙසම තිබිය දී, එයට රැකවරණය සපයන අතරතුර, පොඩි අතු කපා දැමීමෙන් සිදු විය හැක්කේ කුමක් ද?

වඩාත් උත්ප්‍රාසජනක කාරණය වන්නේ මෙසේ බන්ධනාගාර ගත කළ අයවළුන් එහි සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට ඉහළින් ම ඇසෙන කතා ය. ඒ කියන්නේ මෙසේ බන්ධනාගාර ගත කර සිටින දෙවැනි පෙලට ද අවශ්‍ය සැප සම්පත් දැනටමත් ලැබෙන බව ය. ඔවුන් සාපේක්ෂ නිදහසක් ද නිල ආරක්ෂාවක් ද ලබමින් කටයුතු කරමින් ඉන්නා බව ය. ඒ කියන්නේ මේ ජාලය දේශපාලනය පොලීසිය හා බන්ධනාගාරය යන සියල්ල කෙරෙහි ආධිපත්‍ය පතුරුවමින් ක්‍රියාත්මක වන බව ය.

ඒ කිසිදු තැනකට අත නොතබා, පහත් තැනින් වතුර බැස යෑමට සලස්වා, කොළ නැති ගහේ එල්ලීම කොතෙක් දුරට සාධාරණ වන්නේ ද?

ඇතැම් විටක උන් එල්ලුම් ගස් යවා ඉවර කරන එක මුල්පෙල නායකයන්ට අස්වැසිල්ලක් වන්නට ද ඉඩ තිබේ. ඒ තමන්ට විරුද්ධව කොයි වෙලේ හෝ ඉදිරිපත් විය හැකි සාක්කි මුළුමණින්ම ඉවත් කිරීමට ඒ මගින් හැකි වීම නිසා ය. ඉතින් අප නොදැනුවත්වම කරන්නේ ඒ අයගේ වුවමනාව ඉටුකිරීම ද?

සාක්කි ඉවත් කිරීම සඳහා නීති රීති වලට පිටින් යමින්, හිරගෙදර ඝාතන නිල හමුදාව විසින් නොනිල මට්ටමෙන් සිදු කළේ යැයි වාර්ථා වන රටක ජීවත් වන අපට, මේවා පිටුපස තිබෙන කතා තේරුම් ගැනීමට, බොහෝ පැති කඩ ගැන සිතන්නට සිදු වන්නේ ය.

මේ සියල්ල මොහොතකට පැත්තකින් තබා මේ පියවරෙන් කුමක් හෝ ආකාරයකට කුඩු ප්‍රශ්නයට විසඳුම් ලැබේ දැයි බලමු. වැරදි දෙයක් කර හෝ හරි ප්‍රතිඵලයක් ලැබේ නම් ඒ වැරදි දේ හරි යැයි සිතන ජනතාවක් අපට ඇති නිසා ඔවුන්ගේ කෝණයෙන් ද මේ දෙස බැලිය යුතු ය. මොකක් හරි කරල ඉවර කරල දාන්න යැයි කියන මේ ජනතාව ඇත්තටම අපේක්ෂා කරන්නේ ප්‍රතිඵල ය.

ඔවුන්ගේ සිතුවිලි සරල ය. මරණ දණ්ඩනය නිසා, මිනිසුන් ඊට බියෙන්, වැරදි නොකරනු ඇත. සියලු මිනිසුන් නැතත් සෑහෙන මිනිසුන් ගණනක් ඊට හීලෑ වෙනු ඇත. මේ කතාව නිවැරදි දැයි විමසිය හැක්කේ සංඛ්‍යාලේඛන පිරික්සීමෙනි.

සංඛ්‍යා ලේඛන

ලෝකයේ මිනීමැරුම් වැඩිම රටවල් 10 ආශ්‍රිත ව කරුණු විමසන විට පෙනී යන්නේ ඉන් රටවල් 6 ම මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ය. එයින් කියවෙන්නේ කුමක් ද? දණ්ඩනය මිනීමැරුම් වැළැක්වීමේ ලා එහෙමට බලපෑමක් කර නැති බව ය.

ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, නවසීලන්තය, සිංගප්පූරුව, ස්විස්ටර්ලන්තය, කැනඩාව, චෙක් රට හා ස්ලොවේනියාව ලෝකයේ වඩාත් සුරක්ෂිත රටවල් දහය ය. මේ රටවල් අතුරින් මරණ දඩුවම ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුවේ පමණකි. එයින් පෙනී යන්නේ රටක සුරක්ෂිතතාවය ඇති කිරීමට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම කිසිලෙසකින් වත් පූර්ව කොන්දේසියක් නොවන බව ය.

ද ඉකොනොමිස්ට් සඟරාව 2015 පළ කළ ලිපියකින් කියා සිටියේ රටවල් 32 ක මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනයට නීති ඇතත් එය සැබැවින් ක්‍රියාත්මක වන්නේ රටවල් 6 ක පමණක් බව ය. අප මේ එකතු වන්නට හදන්නේ ඒ 6 දෙනාගේ කණ්ඩායමට ය.

සංඛ්‍යාලේඛන කෙසේ කීවත්, අපේ සාමාන්‍ය දැනුම කියන්නේ, දඩුවම වැඩි කළ තරමට ඊට ඇති පෙළඹීම අඩු කළ හැකි බව ය. ඒ නිසා මෙය අත්හදා බැලීමක් ලෙස හෝ ක්‍රියාත්මක කළ යුතු බව ය.

එල්ලා මැරීමට අලුගෝසුවන් තවම නැති නිසා අපට මේ සංවාදය තරමක් දුරට කර ගෙන යා හැකි ව තිබේ. ඒ නිසා ම මේ කියන කාරණය, එනම් දඩුවම වැඩි කළ තරමට පෙළඹීම අඩු වෙතැයි යන්න, ඔබේ විග්‍රහයක දී, ඉදිරි සංවාදයක දී, සැළකිල්ලට ගත හැකි පරිදි විමසන්නට බලමු.

යුද්ධ කාලයේ දී හමුදාවට බැඳුනු බොහෝ දෙනෙකු තමන්ගේ ගන්නේ අවදානමක් බව දැන සිටිය හ. එහෙත් වෙන අය අසු වුව ද, තමන් ඊට හසු නොවෙතැයි යන කුඩා විශ්වාසයක්, ඒ හැම කෙනෙකු තුළම, අවසානය දක්වා ම තිබුණි. මරණය ස්ථිර බවක් වටහා ගෙන මරණය මුණ ගැසිමට ඔවුන් හමුදාවට බැඳුනා නොවේ.

ගුවන්යානා අනතුරු ගැන සංවේදී කතා අපි අසමු. ගුවන් අනතුරකින් බේරෙන අය ස්වල්ප දෙනෙකු බව ද අපි ඒ කතා අතරතුර දැන ගනිමු. එහෙත් අප ගුවණින් නොයා සිටින්නේ නැත. ඒ ඇයි? වෙන අයට වුනාට අපට එහෙම එකක් වෙන එකක් නැතැයි සිතීමට අප ඉදිරිපත් වන නිසා ය.

මෝටර් සයිකල්වල ගමන් යන අයට වෙන අනතුරු ගැන අපි නිතර අසමු. එය අනතුරුදායක වාහනයකැයි දනිමු. එහෙත් පාරේ මෝටර් සයිකල් පදවන අය ඉන් අඩු වී නැත. දුම්පානයෙන් පෙනහළු පිළිකා වැළඳීමේ අතිවිශාල ඉඩක් ඇතැයි අපි නිරන්තරයෙන් අසමු. දුම් බොන අය මේ අසා මෙයින් ඉවත්ව තිබේ ද? නැත. එසේ පිළිකා නොහැදුන අය ද සිටින නිසා තමන් එවන් එක් කෙනෙකු වෙනු ඇතැයි ඔවුහු සිත හදා ගනිති.

මෙයින් පෙනෙන්නේ කිමෙක් ද? දණ්ඩනය තිබීමෙන් පමණක් සියල්ල විසඳෙන්නේ නැති බව ය. එයට පාත්‍රවිමට ඇති ඉඩකඩ ද අපරාධකරුවන් විසින් විමසන බව ය.

දණ්ඩනයකට පාත්‍රවීමට ඇති ඉඩකඩ

“මා කුඩු බිස්නස් එක කරන්නේ අහවල් අහවල් අයගේ ආශීර්වාදය හා රැකවරණය ඇතුව නම්, අල්ලා ගත්ත ද නඩු නැතිව නිදහස් විමේ ඉඩක් තිබෙන නිසා, මට එහි නිරත වීමට ලොකු අවුලක් නැත. අල්ලාගෙන නඩු දැම්ම ද උසාවියේ ඉහළම නීතිඥ මහතෙකුගේ සේවය මගේ සේවාදායකයා විසින් මට සපයනු ලබන නිසා නඩුවෙන් නිදහස් වීමේ ඉඩක් ද තිබේ. බලය යොදා සාක්කි වෙනස් කිරීමටත් මුදල් ගෙවා මිනිසුන් නිහඩ කිරීමටත් මගේ සේවාදායකයාට එතරම් අපහසුවක් නැත. නඩුවකින් අපේ සේවාදායකයා ලෙහෙසියෙන් පරාද වී නැත. ඒ නැතත් මගේ සේවාදායකයාගේ අනුහසින් ජනාධිපති සමාවක් මට ලබා ගැනීමට ද ඉඩක් තිබේ. ඒ නිසා ම මට හැඟෙන්නේ මරණය නැමැති දණ්ඩනය මට බොහෝ දුර බව ය. ලැබෙන ඵල ප්‍රයෝජන සංසන්දනය කිරීමේ දී මේ අවදානම සුළු දෙයකි. මේ අටමගලය නොවෙන්න ජීවත් වෙන්න වෙන්නේත් මැරිලා වගේ නිසා අන්තිමේ දී මැරෙන්න සිදු වුවහොත් එහි ද ඒ හැටි ගැටළුවක් නැත“. මෙහෙම හිතන කෙනෙකු මරණ දණ්ඩනය පැනවීම නිසා හීලෑ වෙයි ද?

ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල අඩුලුහුඩුකම් බොහෝ ය. නඩු කල් යන්නේ දින මාස අවුරුදු ගණනින් පමණක් නොවේ. ඇතැම් විට දශක ගණනින් ය. ඒ අතර සාක්කිකරුවෝ මිය ගොසින් ද උන්ට අමතකව ගොසින් ද උන්ගේ උනන්දුව හීන වී ගොසින් ද තිබිය හැකි ය. ඒ වනවිට පැමිණිලි පාර්ශවය දහදොළොස් වතාවක් මාරු වී තිබිය හැකි ය. ඒ මාරුවන හැම වතාවක ම සාක්කි ද මූලාශ්‍ර ද උනන්දුව ද හැලී යන්නේ ය. මේ නිසා ම රටේ අපරාධ සම්බන්ධයෙන් චුදිතයෙකු වැරදි කරුවෙකු වීමේ ඉඩ ලෙස වාර්ථා වන්නේ සියයට 7 ට අඩු ප්‍රමාණයකි. ඒ කියන්නේ ගැලවීමේ ශාක්‍යතාවය සියයට 93 ක් බව ය. එහෙම රටක මරණ දඩුවමින් වැඩක් වේ ද?

අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව නඩුවක් අවසාන කිරීමට යන සාමාන්‍ය කාලය සිද්ධිය සිදු වී වසර 17 කි. මරණ දඩුවම ලැබෙන විට චුදිතයා ස්වභාවික ලෙස ජීවිතයෙන් සමු අරගෙන සිටිය හැකි ය. එහෙම දඩුවමක් ගැන තැකීමක් කළ යුත්තේ කවුද?

බොහෝ දෙනෙකු මරණ දඩුවම දෙන්නැයි කියන විට ඒ ප්‍රකාශ කරන්නේ මෙවැනි කරුනු කාරණා ගැන වගේ වගක් නැතුව ය.

මෙතෙක් වේලා මේ ලිපිය කියවන්නට ඔබට සංයමයක් තිබුණේ නම් ඔබ දැන් මා වෙත දමා ගසන්නට ප්‍රශ්නයක් ගොනු කරමින් ඉඳීමේ ඉඩකඩක් තිබේ. “හොඳයි, මේ ගැන කළ යුතු යැයි ඔබ කියන්නේ කුමක් ද?“. දැන් අප වෑයම් කරන්නේ ඒ සාධාරණ ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට ය.

කළ යුත්තේ කුමක් ද?

මත්ද්‍රව්‍ය බහුලව භාවිතා කරන්නේ තරුණ පරපුර ය. ඔවුන්ට අධ්‍යාපන අවස්ථා සීමිත ය. රැකියා අවස්ථා සීමිත ය. ව්‍යාපාරික අවස්ථා සීමිත ය. ඒවාට තිබෙන වැට කඩොලු අසීමිත ය. මේ නිසා ඇති ව තිබෙන අසහනය අති විශාල ය. ඒවා වඩා පළල් කිරීමට රජය ගන්නා උත්සහයන් පවා කඩා දැමීමට පේවී ඇති බලවේග වල ගොදුරු බවට මේ සීමිත කඩ ඉඩ පැන ගත් තරුණ තරුණියන් ම එකතු වී කරන නාඩගම් බලන්නට සෙසු තරුණ තරුණියන්ට සිදු වී තිබීමේ කරුමය ද අති මහත් ය.

උන්ට ආතතිය පීඩනය ඇති කිරීමට තරම් අනවශ්‍ය තරගයකට උන් යොමු කරවා තිබේ. උන්ව බැඳ තැබීමට ක්‍රියාත්මක වන දහසක් බලවේග මේ සමාජය තුළ ක්‍රියාත්මක වේ. පාසල, ආගම, රජය, පොලීසිය, සමාජය යන මේ හැම එකකින්ම පනවන්නේ තහංචි ය. පිරිමි ලමයෙකු ගැහැණු ළමයෙකුගේ අතින් අල්ලාගෙන ඇවිදීමටවත්, කුඩයක් යටට වී දොඩමළු වීමටවත්, බැරි ආකාරයේ තහංචි ය. තමන්ට රිසි ඇඳුමක් ඇඳ සිටීමටවත් නොහැකි ලෙස පනවා ඇති සමාජ තහංචි ය. මේ වැට කඩොලු, බැඳීම්, ආතතිය හා තහංචි සිහියෙන් කඩන්නට බැරි තරමට දරුණු ය. ඒවා කැඩිමට ශක්තිය සපයා ගන්නේ විවිධ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙනි.

සමාජය විසින් මත්ද්‍රව්‍ය වැපිරීමට අපූරු තෝතැන්නක් මේ ලෙස බිහිකර තිබේ. වැඩි අමාරුවක් නැතිව ම මත්ද්‍රව්‍ය විකිණිය හැකි වාතාවරණයක් ඇති කර තිබේ. ඊට සාමාන්තරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉහළින් සහයෝගය ද රැකවරණය ද නොඅඩුව ලැබේ.

අප කළ යුත්තේ මේ තත්වයේ වෙනසක් කිරීම ය. එය ලෙහෙසි පහසු නැත. එයට කල් ගත වෙන්නේ ය. එහෙත් කළ යුතු ව තිබෙන්නේ ද එය ය. මහා ප්‍රශ්නවලට කුඩා විසඳුම් නැත. කාලයක් තිස්සේ ක්‍රමයෙන් විකාශණය වුනු, ඔඩු දුවා ගිය, ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් නැත.

කළ යුතු දේ නොකර මත්ද්‍රව්‍ය විකුණා අසුවන අය පමණක් කොළ නැති ගහේ යැවීමේ ෂෝට්කට් එකේ එල්ලීමෙන් අපට ළඟා කර ගත හැක්කේ කුමක් ද? එක පැත්තකින් යමක් කළේ යැයි හිත හදා ගැනීම ය. අනිත් පැත්තෙන් කළ යුතු, එහෙත් නොකරන දේ, මිනිසුන්ගෙන් සඟවා තැබීම ය. තවත් පැත්තකින් මරණ දඩුවම තවදුරටත් ක්‍රියාත්මක වන රටවල් හයේ ගැන්සියට පැනීමට ය. ඒ ඇරෙන්නට මේ හදිසි තීන්දුවෙන් කළ හැකි යමක් නැත.

අලුගෝසුවෙකු නොමැති වීමේ විරාමයෙන් ඉඩ හසර පාදා ගෙන මේ තීරණය නැවත විමසිය යුතු ය. ආවේගශීලී මිනිසුන්ගේ විසිල් හඩින් නිර්මල තර්කයන් සහ හේතු ඵල සංවාදයන් නොගිලී යා යුතු ය. ඒවා යටපත් නොකර මතු කර ගත යුතු ය. කළ යුතු දේ මතු කර ගෙන, එය කිරීමට, උත්සුක විය යුතු ය.

සදාචාරයේ – එල්ලීම

36228184_2241804695845912_4496006988479594496_n

පහු ගිය දිනක මූණු පොතේ අමුතු කාටූන් එකක් සංසරණය විය. ඒ ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රාකරමින් සිටින කෙනෙකු ඊට නුදුරින් ඉන්නා පෙම් යුවලක් පෙන්නමින් සදාචාරය වනසන බවට චෝදනා නගන සිතුවමකින් යුක්ත වූවකි. සිප ගැනිම සදාචාර විරෝධී වන විට ප්‍රසිද්ධ ස්ථානයක් අපවිත්‍ර කිරීමේ අවුලක් ඇත්තේ ම නැත. මෙය අපේ වත්මන් ලාංකිය සමාජය සදාචාරය දකින ආකාරය සවිස්තරව එලි දක්වන කැඩපතකි.

බස් රථයක කිසිදු අනුමැතියකින් තොරව කාන්තාවන්ට හේත්තු වී ඔවුන් ලිංගික හිංසනයට ලක් කිරීම ගැන වගේ වගක් නැති සේ ඉන්නා මගීන්, ඒ බස් රථය තුළම පෙම් යුවලක් එකිනෙකා සමග හුරතල් විම, දකින්නේ මහා අපරාධයක් ලෙස ය. ඒ අපේ සදාචාරයේ හැටිය.

කොල්ලෙකුට හා කෙල්ලෙකුට එක්ව බුදුන් වැඳිය නොහැකි සේ තහංචි පනවා ඇති පන්සල් තිබෙන රටක, එසේ එක්ව පන්සල් පැමිණීම ගැන මහා ආන්දෝලනයක් කරමින් බණ කියන රටක, පන්සලට දන් පූජා කිරීමට පැමිණි උවැසියක, දානය පිළිගන්නට එන ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ බලාහාත්කාරයට ගොදුරු වීම ගැන මුණිවත රකින්නේ, එ් ගැන විවෘතව කතා කිරීම නිසා, සදාචාරය අවුලට පත් වෙතැයි සිතා ගෙන ය.

ගණිකා වෘත්තිය ගැනත්, එහි නියැලෙන කාන්තාවන් දෙසත්, වපර ඇසින් බලන මේ සමාජයට පන්සල් තුළ පුංචි සාමනේරයන්ට සිදු වන අකරතැබ්බයන් තුළින් ඊට සමාන හෝ ඊටත් වැඩි සන්තෑසියක් සිදු වන බව පෙනෙන්නේ නැත.

කාන්තාවකගේ සාය කොට විම මහා අපරාධයක් ලෙස සළකන බොහෝ අයට සංඝයා වහන්සේලා පාරේ නටන ජවුසම් ගැන එහෙමකට යමක් හිතෙන්නේ නැත. ඒ සිවුරු ද උඩ යන බව පෙනෙන්නේ නැත.

මෙහෙම බලා ගෙන ගියහම පෙනෙන්නේ සදාචාරයට අසුවන්නේ ම ලිංගිකත්වයට අදාළ කාරණා බව ය. එයිනුත් ගිහියන්ගේ ලිංගිකත්වයට අදාළ කාරණා බව ය.

සංස්කෘතික පොලීසිය

ඊයේ පෙරේදා දිනක වැවක කණ්ඩියක් මත ඇවිද යන විට අපූරු දැන්විමක් දක්නට ලැබුනේ ය. මේ ස්ථානයේ විනීත ව හැසිරෙන ලෙස එහි සඳහන් විය. ඊට යටින් සටහන් වී තිබුණේ අණපරිදි ප්‍රාදේශීය ඉංජිනේරු කියා ය.

ප්‍රාදේශීය ඉංජිනේරුවාගේ මෙහෙවරට නව වපසරියක් එක් ව තිබේ. ඒ සදාචාරය ද රැකීම ය. ඒ වැව රකින අතරතුර ය. හාමුදුරුවන්ගේ පොලීසියේ සහ මාධ්‍යයේ කටයුත්තක් ව තිබූ විනීත බව රැකීමේ මහා කර්තව්‍යයට තව පිරිස් ද එකතු වෙමින් තිබීමෙන් පෙනෙන්නේ එය බරපතළ ලෙස සමාජය ද රට ද දකින බව ය.

එක් කලෙක සංස්කෘතික පොලීසියක් ඇති කිරීමේ වුවමනාවක් ගැන ද කතා බහ වනු දක්නට ලැබුනේ ය. ඒ පොලීසිය වෙනත් නාමයන්ගෙන් එලි දැක්වෙන බව මේ සිද්ධිවලින් අපට පෙනෙන්නේ ය. ඒ නිසා අලුතින් එවැන්නක් ඇති කිරීමේ අවශ්‍යතාවය නැති වෙමින් තිබෙන්නේ ය.

විනීත වීම නරක නැත. සදාචාරය ද නරක නැත. එහෙත් එය ලිංගිකත්වයට අදාළ දේට පමණක් සීමා විය යුතු ද? එපමණක් නොවේ. විනීත වීම හෝ සදාචාරයේ නාමයෙන් ලිංගිකත්වය මත අප දමන සදාචාර දම්වැල කොතෙක් දුරට යුක්ති යුක්ත ද? එයින් ඇති කරන නිශේධනීය බලපෑම කුමක් ද? අප සදාචාරාත්මක රටක් ගොඩ නැගීම අරමුණු කරනවා නම් මේ ප්‍රශ්න දෙකට අප විසින් නොපමාවම පිළිතුරු සැපයිය යුතු ය.

සාදාචාරය අවුලකට යන්නේ පිරිමි ළමයෙකු, ගැහැණු ළමුන් අඳින, අරුංගලයක් ඇන්දොත් ය. නැතිනම් එලෙස කොණ්ඩය සකස් කර ගත්තොත් ය. අපේ ආදි මුතුන් මිත්තන් කොණ්ඩය වැවු බවවත්, කොණ්ඩය හැඩ කළ බවවත්, නොවිමසාම සදාචාරය එවිට ඉදිරියට එන්නේ ය. ඇවිත් පරපුරකට ම බණින්නේ ය.

කාන්තාවකගේ ලැම දුටු පමණින්, සීගිරි අප්සරාවන් ද අමතක කොට, සදාචාරය ඉදිරියට එන්නේ ය. ඇවිත් බණින්නේ ය. සුද්දා මේ රටට පිවිසෙන විට ද අපේ කාන්තාවන් උඩු කය නිරුවතින් ජීවත් වූ බව අමතක කර, සදාචාරයෙන් දමා ගසා, ලැම දැකීමෙන් කැළඹුනු මනසකින්, සදාචාරය දොරට වඩම්මන්නේ ය.

මේ හැම තැනකම දක්නට ඇත්තේ ලිංගිකත්වය, එහි කුමන ආකාරයකින් හෝ ප්‍රකාශයට පත් වීම, යටපත් කළ යුතුය යන විධානය ය.

ලිංගිකත්වයෙන් එහා හිස් ය

කලකට පෙර අලුගෝසුවෙකු සඳහා වූ පුරප්පාඩුව පුරවනු ලැබී ය. පසුව ඒ පුද්ගලයා රූපවාහිනියට කැඳවා සම්මුඛ පරික්ෂණයක් කරනු ලැබී ය. ඔහු එහි දි කියා සිටියේ තමන් පැමිණියේ මිනිසුන් මැරීමට බවත් එල්ලුම් ගස ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ පුල පුලා බලා සිටි අවස්ථාව නොලැබෙන හෙයින් තමන් මේ රැකියාවේ තවදුරටත් රැඳී සිටිමෙන් පලක් නොවන බව ත් ය.

මේ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූයේ එම තැනැත්තා ගෝනි බිල්ලෙකු සේ වෙස් ගන්වමිනි. ඔහු කවරෙක් දැයි ජනතාව දැන ගන්නවාට අකමැත්ත තිබුණේ ඔහුගේ ද මාධ්‍ය වලට ද යන්න අපි නොදනිමු. එහෙත් මින් එකක් ප්‍රදර්ශනය විය. ඔහුට පමණක් නොව මාධ්‍යවලට ද සදාචාරයක් නැති බව ය. මිනිසුන් මරා දැමීමේ ආසාවෙන් පෙලීමත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර මිනිසුන්ට අපුල දැනවීමත් එක් ආකාරයකින් සදාචාරය කෙළෙසිමකි. අනිත් අතින් එවන් මානසිකත්වයකින් පෙළෙන කෙනෙකු ලවා, ඒ ආසාව ප්‍රසිද්ධියේ පළ කිරිමට, වේදිකාවක් සාදා දීමෙන් මාධ්‍ය කළේ ද සාදාචාරය කෙළෙසීමකි. ඔහුගේ මුහුණට ගෝනියක් දමන්නට ඇත්තේ මේ කරන කටයුත්ත ගැන ලජ්ජාවක් ඉතිරිව තිබූ තුන්වෙනි කෙනෙකු විය හැකි ය.

සිප ගැනීමේ දර්ශන වලට කොටු දමන මාධ්‍යයට මෙවැනි අපුල ගෙන දෙන ප්‍රකාශයක් හිරිකිතයක් නැතිව එලි දැක්විම ප්‍රශ්නයක් නොවේ. ඒ අපේ සදාචාරය ලිංගිකත්වයට කොටු කර ඇති නිසා ය. අපේ සිනමාව පවා වාරණය කරනු ලබන්නේ ම ලිංගික කරුණු අරබයා පමණ ය. සංස්කෘතික ආරක්ෂකයින්ට ප්‍රශ්නය වැඩිහිටි නොදරුවන් ලිංගික දර්ශනයක් නිසා පරල වීමට ඉඩ තිබීම ගැන ය. ඒ ඇරෙන්නට වෙනත් සදාචාරයක් ගැන ඔවුන් දන්නේ නැත.

එක් මුස්ලිම් ජාතිකයෙකුගේ, එහෙමත් නැතිනම් දමිළ ජාතිකයෙකුගේ, වරදකට, කිසිදු සම්බන්ධයක් නැති මුස්ලිම් ජාතිකයින්ගේ එහෙමත් නැතිනම් දමිළ ජාතිකයින්ගේ ජීවිත, ගේ දොර, ව්‍යාපාරික ස්ථාන පුච්චා අලුකර දමන්නේත්, ඔවුන්ගෙන් ගේම ඉල්ලා සිටින්නේත්, ඒ වෛරී ප්‍රකාශනයන් සම්බන්ධයෙන් රටේ වැඩි දෙනෙකුට ප්‍රශ්නයක් නැත්තේත්, එය සදාචාර විරෝධී කටයුත්තක් ලෙස නොසැළකෙන නිසා ය. (ඇතැම් විට එය සිදුකරන්නේ වරදක් පවා නැතිව වරදක් පටවා දමා ය) සදාචාරය අවුලකට යන්නේ ගවුම කොට වීම, සිප ගැනීම, වැනි සිල්ලර දේ සම්බන්ධයෙන්  පමණ ය.

තහංචි වල ඵල-විපාක

දැන් අපි දෙවැනි ප්‍රශ්නය විමසමු. ඒ, ලිංගික කරුණු අරබයා දමන මේ තහංචි විසින් ඇති කරන ඵලවිපාක කවරේ ද යන්න ය.

ලිංගික ආසාව අපේ වර්ගයා බෝ කිරීම සඳහා පරිණාමය විසින් දී ඇති දයාදයකි. ඊට අමතරව දරුවෙකු වැඩි වියට පත් වන තුරු ආරක්ෂාව ලැබිය යුතු නිසා එතෙක් දෙමාපිය සම්බන්ධය දැඩිව පවත්වාගෙන යෑමට ද එය පරිණාමය විසින් අපට උරුම කර දුන් දයාදයකි. ඊට අමතරව ලිංගික එක් වීම මිනිසුන්ගේ ආතතිය පහ කර ගැනීමට ද උදව් වෙන ඖෂධයකි. එය සතුට ජනිත කරන ක්‍රියාවලියකි. සෞඛය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ද අතවශ්‍ය කාරණාවකි. මේ සියල්ල නිසා එය මිනිසාගේ අතිශය ප්‍රාථමික අවශ්‍යතාවයකි.

මේ කරුණු මෙසේ තිබිය දී ලිංගික දේ සම්බන්ධයෙන් අඳුරු කළු රූපයක් මවා තිබෙන්නේ කුමක් නිසා ද?

ඒ බව දන්නේ දෙවියන් සහ දෙවියන්ගේ නියෝජිතයන් පමණකි. එහි මුල් ඇත්තේ ආදම් හා ඒව විසින් තහනම් ගහේ ගෙඩි කෑමේ කතාව තුළ ය. තමන්ගේ නිරුවත් බව අවබෝධ වි ඇඳුම් සොයන්නේ එයින් පසු ය. ලිංගික ප්‍රකාශනය අපරාධයක් කළ මුල තිබෙන්නේ එහි ය. නිරුවත් බව අපරාධයක් කළ මුල් තිබෙන්නේ ද එහි ය. මෙය බටහිර නිර්මාණයක් ය.

කාම සූත්‍රය ප්‍රකාශයට පත් වූ ඉන්දියාවේ කතාව මිට වෙනස් ය. ශිව ලිංගය වන්දනා කරන හින්දුන්ගේ කතාව මිට වෙනස් ය.

බටහිර පට්ට ගසන අපි අපේ උරුමයට පිටුපා බටහිර හර පද්ධතියක් වැළඳ ගන්නා විට උන් හැව හලා අපේ උරුමය උන්ගේ උරුමය කර ගෙන තිබෙන්නේ ය. දැන් ආපහු හැරෙන්නට බැරි තරමට තහනම් ගහේ ගෙඩි කනවා දැයි බලන සේනා පහල වී තිබෙන්නේ ය.

ලිංගික ක්‍රියාව නොපනත් ක්‍රියාවක් වූ විට දරුවෙකු බිහිවන්නේ එයින් බව කියන්නට දෙමාපියනට නුපුළුවන් ය. දැන් තියෙන්නේ සියල්ල හංගන්න ය. කොකෙකු විසින් රෙදි කඩක ඔතා දරුවෙකු ගෙනත් දෙන බවට සුරංගනා කතා තුළ අපේ විලි ලැජ්ජාව සැඟවීමට ය.

හිත සසල කරවන ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නේ කසාද බැඳ දරුවන් නොලැබූ දෙමාපියන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයන් වල දී ය. එයින් ඇතැම් කෙනෙකු දරුවන් ලැබෙන්නේ ලිංගික ක්‍රියාවක ප්‍රතිඵලයකින් යැයි  දැන නොසිටි බව කියන්නේ ඔවුන් ප්‍රතිකාර පතා පැමිණි වෛද්‍යවරුන් ය. ඇතැම් තැනක එයින් එක් පාර්ශවයක් මුහුණ දී ඇති අවුල නම් මේ නොපනත් වැඩය සඳහා හිත හදා ගන්නේ කෙසේ ද යන්න ය.

වගකියන්නට කෙනෙක් නැත

අතිශය ස්වභාවික අගය කළ යුතු යමක්, මෙසේ අමන සංස්කෘතික පොලීසියක් විසින්, ජුගුප්සා ජනක දෙයක් බවට පත් කිරීමට නිසා අවුලට පත් තරුණ ජීවිත ගැන වග කියන්නේ කවු ද?

පාලනය නොකරන ලද ලිංගික ක්‍රියා නිසා සමාජ රෝග ඇතිවිමේ මෙන්ම ඒඩ්ස් වැනි සුව කළ නොහැකි ලෙඩ රෝග ඇති වීමේ අවදානම ද තිබේ. එහෙත් ඒ පිළිබඳ ව ළමුන් දැනුවත් නොකර ලිංගික ආස්වාදය ලැබීමේ සමස්ථ කටයුතු ම ලජ්ජා සහගත වැඩ ලෙස හැඳින්වීමේ ප්‍රතිඵලය කුමක් විය හැකි ද?

ස්වයං වින්දනය නිසා ලිංගික බෙලහිනත්වය ඇති වෙතැයි යන පට්ටපල් බොරු සමාජ ගත ව තිබෙන්නේ මේ අතිශය වැදගත් මිනිස් වපසරිය අඳුරු වලාවක ඔතා සැඟවීම තුළ නොවේ ද? සම ලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික හැසිරීම තුළින් ප්‍රදර්ශනය වන වෙනත් ආකාරයක ලිංගික නැඹුරුතා අස්වාභාවික දේ බවට වර්ග කර එම පුද්ගලයන් අර්බුදයකට යවා තිබෙන්නේ මේ සැඟවිම තුළ නොවේ ද?

ලිංගික අධ්‍යාපනය පවා අශ්ශීල දෙයක් කොට සළකන සමාජයක එසේ අධ්‍යාපනය නොලැබ අතරමං වන දරුවන් ගැන වගකියන්නේ කවු ද? විඳීමට ඇති දෙයක් විඳවන දෙයක් බවට පත් කිරිමේ වග කීම බාර ගන්නේ කවුද?

සාදාචාරය ලිංගික ප්‍රකාශනයට ලඝු කිරීම බොහෝවිට සිදු වෙතත් ඇතැම් තැනක එයට ආගම ද එක් වෙන්නේ ය. තවත් තැනක එයට ජාතිය ද එක්වන්නේ ය.

ආගම හා ජාතිය

ආගම සදාචාරයට එන්නේ බුදු හිමියන්ගේ යැයි අනුමාන කළ හැකි රුවක් පච්ච කොටා ගැනීමට එරෙහි ව වීදී බැහීම හරහා ය. එවැනි කටයුතු සදාචාර විරෝධී ලෙස අර්ථ දැක්වීම හරහා ය. නැතිනම් චීවරධාරියෙකු හිරේ දැමීම සහ ජම්පර් ඇන්දවීම අරබයා ය. එය සදාචාර සම්පන්න නැතැයි කීම හරහා ය. ඒත් නැතිනම් කාන්තාවකට දළදා මාලිගාවේ පත්තිරිප්පුවත් සිරිමා බෝ මළුවත් තහනම් කලාපයක් කිරීම හරහා ය. අවසානයට කී දෙය සදාචාර විරෝධී වන්නේ එසේ ඇති කර ගත් හෝ ඇති කර ගනිමින් තිබෙන සම්ප්‍රදායයන් කඩා දැමීම හරහා ය. ඒ වෙනුවෙන් හඩ නැගීම හරහා ය.

මහනුවර කුඩා දරුවන් පෙනහළු ආබාධ වලින් පෙලෙන්නේ වාහන දුම් ආඝ්‍රානය නිසා ය. එයට හේතුව වාහන තදබදය ය. එයට එක් ප්‍රධාන සාධකයක් වන්නේ දළදා මාලිගාව අභියස ඇති, වසර සිය ගණනක් තිස්සේ වාහන ගමනාගමනය කළ පාරක්, යුද්ධයේ දී මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග, වසා දැමීම නිසා ය. දැන් යුද්ධය අවසන් ය. එහෙත් දළදා මාලිගාවට ගෞරව පිණිස ඒ පාර වසා තැබිය යුතු යැයි මහා සංඝරත්නයේ ඇතැම් පාර්ශවයන් ද ඇතැම් ජනයා ද සිතති. ඒ ගැන කතා කිරීම, ඒ නිසා, සදාචාර විරෝධී ය. එය විවෘත කිරීම සදාචාර විරෝධී වන විට දරුවන් පෙනහළු රෝගයෙන් පෙලීමට ඉඩ දී තිබීම සදාචාර විරෝධී නැත.

ජාතිය, සදාචාරය තුළට එන්නේ බටහිර ඇති සෑම දෙයක් ම සදාචාර විරෝධී ලෙස ප්‍රතික්ෂේප කිරීම හරහා ය. ඒවා මෙරටට ආනයනයට විරුද්ධ වීම හරහා ය. එකක් කොකා කෝලා ය. අනෙක අතරින් පතර ඉරුණු ජීන්ස් ය. ඒ ලයිස්තුව දිග ය. එහෙත් අදහසක් ගන්නට ඒ දෙක ඇති ය. ඒ එක බඩකඩුත්තුවක්වත් ආරක්ෂා කළ යුතු ඒවා නොවේ. ඒවා වෙනුවෙන් පෙනී සිටිය යුතු ද නොවේ. අනිත් පැත්තට ඒ එකක්වත් එහෙමකට විරුද්ධ විය යුතු දේවල් ද නොවේ. කළ යුත්තේ ඒවා නොසළකා හැරීම ය. ගණන් නොගෙන සිටීම ය. එහෙත් කෙරෙන්නේ ඒවා උඩ දමමින් පහර දීම ය. එසේ පහර දීම සදාචාරය ලෙස දැකීම ය. ඒ ප්‍රහාරයන් හරහා ආතල් ගැනීම ය.

අන් කිසිවක් අදාළ නැත

මේ සීමාසහිත ඊනියා සදාචාරය පෙනී සිටින්නේ කප්පරක් තහංචි පැනවීම වෙනුවෙන් ය. එසේ වුව ද මේ සදාචාරයට අනෙකාට ගරු කිරීම අයත් වන්නේ නැත. අනෙකා පරිභවයෙන් යටපත් කර දැමිය හැකි නම් මේ සදාචාරවාදියා එය කරන්නට පැකිලෙන්නේ නැත.

හඩක් නැති මිනිසුන් වෙනුවෙන් හඩක් නැගීම හෝ පෙනී සිටීම, ඊට අයත් නැත. හැකි නම් ඒ මිනිසුන්ගේ කෙඳිරිය ද යටපත් කිරිමට ඔහු කටයුතු කරනු ඇත. ඔහුට සුළු ජාතිකයන් පේන්න බැරි ය. අන්‍ය ආගමිකයන් වහ කදුරු ය.

පාරේ යන විට සෙසු වාහනවලට ද පදිකයන්ට ද ඉඩ දිය යුතුය යන සංවේදිත්වය පවා ඊට අයත් නැත. හැකි නම් අනෙකා කපා ගෙන යෑමට නලාව ද වෙට්ටු ද යොදා ගැනීමට ඔහු කටයුතු කරනු ඇත. තමන්ට ඉඩ දිමට වාහනය අයින් නොකරන කෙනෙකුට කුණුහරුපයෙන් සංග්‍රහ කරන්නේ සෙසු අය තමන්ගේ පාරේ අවසර නැතිව යනවා යැයි හැඟවෙන පරිදි ය.

යහපත් වචන තෙපලීම අයත් නැත. අනෙකා යටපත් කිරීමට අවශ්‍ය වුවහොත් කුණුහරුප පේලියක් ඉදිරිපත් කිරීමට මේ සදාචාරවාදියා සූදානම් ය.

හික්මුණු හැසිරීම ඒ සදාචාරයට අයත් නැත. තර්ජනාංගුලිය ඔහුගේ සංකේතය ය. උස්සා ගත් සරම හෝ සිවුර ඔහුගේ සෙසු මෙවලම් ය. රවා ගත් බැල්ම, ගහන්නට උස්සා ගත් අත, සෙසු උපකරණ ය.

පෝලිමකට ගරු කිරීම සහ තම අවස්ථාව එනතුරු උපේක්ෂාවෙන් පෝලිමක රැඳීම ඔහුගේ සදාචාරයට අයත් නැත. ඔහු හැසිරෙන්නේ පෝලිමක් නැතිවාක් මෙනි. එය ඔහුට අදාළ නැතිවාක් මෙනි.

සහකම්පනය අයත් නැත. ඇහුම් කන් දීම අයත් නැත. අනෙකා තේරුම් ගැනීමක් නැත. අනෙකා සමග පයුරු පාසානයක් නැත. අනෙකා සිටිය යුත්තේ ඔහු කියන විදිහට ය. ඔහු අනුයන විදිහට ය. ඒ ඇරෙන්නට අනෙකා සමග සම්බන්ධයක් නැත.

තමන් මිස අනුන් නැත

තමන් යනෙන තැන පිරිසිදුව තැබීමට වග බලා ගැනීම, මේ සදාචාරයට අයත් නැත. කුණු දැමීමට තැන නොතැනක් ඔහුට නැත. යෝගට් කෝප්ප විසිකරන්නේ ඩෙංගු ඇති වනු පිණිස ය. කුණු පාර්සලය තියන්නේ බල්ලන්ට පහසුවෙන් ඇද පළාතම වැනසීමට හැකි වන ලෙස ය. හිස්වුනු මත් පැන් බෝතල් තිබෙන්නේ ඉවර වුනු තැනක අත හරින්නට ය. අනෙකාගේ ගේ ඉදිරිපස කුණු ගොඩ නොගැසීමට තරම් සංවේදී වීම ඊට අයත් නැත. කුණු ටික තමන්ගේ වපසරියෙන් එහාට තල්ලු කළ හැකි නම් ඒ ඇති ය.

අනෙකාට හිරිහැරයක් නැතිව ජිවත් විම ඒ සදාචාරයට අයත් නැත. පුළුවන් නම් ලවුඩ්ස්පීකර් දමා ගමම දෙවනත් කර රෑ එලි වෙන තෙක් ජනයා අවදි කර තැබීම ඔහුට විනෝදයකි.

තමන්ට තිබෙන අයිතිය අනෙකාට ද තිබිය යුතුය යන එකඟත්වය මේ සදාචාරයට අයත් නැත. තමා අහවල් ජාතියට, ආගමට හෝ කුලයට අයත් නිසා, තමා පිරිමියෙක් නිසා, තමා අහවල් වෘත්තිකයෙකු නිසා, තමාට, තමාගේ දරුවාට, තමාගේ එකාට, වැඩියෙන් උරුමයක් ඇතැයි ඔහු සිතන්නේ ය.

බොරුවෙන් හා වංචාවෙන් වැළකීම ද මේ සදාචාරයට අයත් නැත. අනෙකා සතු දේ කොල්ල කෑමෙන් වැළකීම කොහෙත්ම අයත් නැත. මහජන සම්පත් කොල්ල කෑමෙන් වැළකිම ද අයත් නැත. මහජන දේපල පරිහරණය කරන්නේ තමන්ගේ බූදලය වගේ ය. එය රිසි සේ මංකොල්ල කෑමට ද සිය පිරිවර අතර බෙදා දීමට ද ඔහු දෙවරක් සිතන්නේ නැත.

ඒ සියල්ල තිබිය දී ඔහු සදාචාරය ගැන බණ කියන්නේ ය. සුචරිතය ගැන ලොරි ටෝක් දෙන්නේ ය. තරුණයන්ගේ කනේ කරාබු සොයන්නේ ය. ගවුමේ දිග පළල ගැන මැසිවිලි කියන්නේ ය. සංඝයාට ජම්පර් ඇන්ද වීම ගැන බණ වදින්නේ ය. තරුණියන්ට කලිසම් ඇන්ද වීම සම්බන්ධයෙන් කම්පා වන්නේ ය. තරුණයෙක් හා තරුණියක් අත අල්ලා ගෙන සිටීම ගැනත්, උන් එකිනෙකා හේත්තු වී සිටීම ගැනත්, එකිනෙකා සිප ගැනීම ගැනත්, කම්මුලට අත තබා ගෙන විස්සෝප වන්නේ ය. ඒ අපේ සදාචාරයේ සීමාව ය. ඉම ය. සදාචාරය සම්බන්ධයෙන් අප දන්නා තරම ය. මේ න්‍යායට අනුව සදාචාරය, සදාචාරය සඳහා ය.

සදාචාරය තියෙන්නේ ගවුමේ දිග පළලේ ම නොවේ. ඒ සම්බන්ධයෙන් අප දක්වන ප්‍රතිචාරයේ ය. සදාචාරය තියෙන්නේ සම ලිංගික නොවීමේ නොවේ. අප සමලිංගිකත්වය විෂයෙහි දක්වන ප්‍රතිචාරයේ ය. සදාචාරය ගැන අප නැවත සිතිය යුතු ය. එසේ නොවෙතොත් අප නතර වන්නේ මූලධර්මවාදී ඇෆ්ගනිස්ථානයට නුදුරින් ය. එය ලිබරල් ප්‍රංශයට වඩා නරක ය.

මාතර පත්තුවුනු තුවක්කුව

20180622_130654_02072018_FSS

දකුණේ දෙවැනි කැරැල්ල පැවති 88-89 කාලයේ මිනිසුන් කැරලි කරුවන් හැඳින් වූයේ පුංචි ආණ්ඩුව ලෙස ය. එයට හේතුවක් තිබුනේ ය. ආණ්ඩුව සතු ව තිබුනු දඩුවම් දීමේ ඒකාධිකාරය එයින් ගිලිහී තරඟ කරුවෙකු අතට පත්ව තිබීම නිසා ය. සංවිධිත ආයතන ගත තරඟකරුවෙකු අතට පත් ව තිබීම නිසා ය. සමහර පළාත්වල ආණ්ඩුවේ අධිකාරී බලය ඉක්මවා කැරලි කරුවන්නේ බලය පැතුරුණේ ය. පුංචි ආණ්ඩුව යැයි කැරලි කරුවන්ව හැඳින්වීම ඒ නිසා ද යුක්ති යුක්ත විය. ඒ කාලයේ මිනිසුන් කීවේ පුංචි ආණ්ඩුවේ බලය පැවති එවැනි පැති වල හොරකම් හා අපරාධවල පැහැදිලි අඩුවීමක් තිබුනු බව ය. ඒ සම්බන්ධයෙන් මිනිසුන් තුළ යම් ප්‍රසාදයක් ද පැවති බව කිව යුතු ය. ඒ පුංචි ආණ්ඩුවේ වැඩ කටයුතු නිසා ජිවිත අහිමි නොවූ සහ වෙනත් හානි සිදු නොවූ අය තුළ ය. හානි විමට ලක්වුණු පිරිස සුළුතරය වූ නිසා එය ප්‍රධාන ධාරාවේ මතය බවට පත් වී තිබුනේ ය.

මේ තත්වය තිස් වසරක යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර පළාත්වල ද දක්නට ලැබුනේ ය. දකුණේ මිනිසුන් කැරලි කරුවන් පුංචි ආණ්ඩුව ලෙස හඳුන්වන අතරේ උතුරේ කැරලි කරුවන්, ඒ දෙපළාතේ මිනිසුන් විසින්, හැඳින්වූයේ “කොල්ලන්“ (boys)  යන ආදරණීය ආමන්ත්‍රණයෙනි. ඒ එක්තරා දුරකට හමුදාවේ හා විශේෂයෙන් පොලීසියේ අත්තනෝමතික පාලනයට මේ “කොල්ලන්“ විසින් වැටක් බැඳ තිබුණු නිසා ය. ඒ පලාත් වල ද මේ “කොල්ලන්“ නිසා අපරාධ අඩුව ඇති බව එහි වැසියන් ද, විශේෂෙයෙන් “කොල්ලන්ගේ“ අඩම්තේට්ටම් වලට ඒ වන විට අසු නොවී සිටි මිනිසුන් ද, ප්‍රසාදයෙන් සඳහන් කරනු මට මතක ය.

මේ “සම්ප්‍රදායික“ අපරාධ අඩු වීමට ප්‍රධාන හේතුව වූයේ “යුක්තිය“ ඉක්මණින් පසිඳලීම ය. ඒ ඉක්මන් කම තුළ අහිංසකයන් ගණනාවකට ද නිරපරාදේ දඩුවම් විඳීමට සිදු වන්නට ඇත. එයට තමන් ගොදුරු නොවන තාක් සියල්ල හොඳ ය. ප්‍රසාදයට පත් මිනිසුන් සිතුවේ එහෙම ය.

හරියට ජර්මනියේ නිලමෝර් දෙව්ගැති තුමා හිතුවා වගේ ය. එහෙත් දිගටම එසේ වන්නේ නැත. නිලමොර් දෙව්ගැති තුමා උගත් දෙය අපේ රටේ ඇතැම් මිනිස්සු ද එකල උගත් හ. ඒ ජීවිත අහිමි වන විට ය. නිලමොර් දෙව්ගැති තැනගේ වචන වලින් ම අපි ඒ ලබා ගත් අවබෝධය කුමක් දැයි අසමු.

නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි
ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදීන් සිරගත කළෝ ය
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා ප්‍රජාතන්ත්‍රවාදීයකු නො වන බැවිනි
ඔවුහූ කම්කරු නායකයන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කම්කරු නායකයකු නො වන බැවිනි
ඔවුහූ යුදෙව්වන් සිරගත කළහ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා යුදෙව්වකු නො වන බැවිනි
අවසානයේ ඒ මෘගයෝ මා සොයා පැමිණියහ
එයට එරෙහි වන්නට කිසිවකුත් නො සිටියේ ය
මන්ද ඒ වන විටත් එසේ ඉදිරිපත් වූ බොහෝ දෙනා ම සිරගතවත්
තවත් පිරිස් මරා දමාත් තිබූ බැවිනි
දේවගැති මාර්ටින් නිලමොර්

අපේ නිලමොර්

ලංකාවේ එවකට සිටි මිනිසෙකු මේ පාඨය වෙනස් කර මෙසේ කියන්නට පුළුවන.

ඔවුහු කුඩු කාරයින් යැයි සැක කළ මිනිසුන් මරා දැමූහ

මම කිසිවක් නොකිවෙමි.

මන්ද මා එවැන්නකට සැක කරනු ඇතැයි නොසිතූ බැවිනි

ඔවුහු කසිප්පු පෙරන්නේ යැයි සැක කළ අය මරා දැමූහ

මම කිසිවක් නොකීවෙමි

මන්ද එවැන්නකට මා සැක කරනු ඇතැයි නොසිතූ බැවිනි

ඔවුහු අන්‍ය වාමාංශික අදහස් අත්හැරීම ප්‍රතික්ෂේප කළ මිනිසුන් මරා දැමූහ

මම කිසිවක් නොකීවෙමි.

මා වාමාංශිකයකෙු නොවන බැවිනි

ඔවුහු එක්සත් ජාතික පක්ෂයට අයත් සංවිධායකයන් මරා දැමූහ

මම කිසිවක් නොකීවෙමි

මන්ද මා එවැන්නෙකු නොවූ බැවිනි

ඔවුහු හමුදාවෙන් පොලීසියෙන් අස් නොවන සෙබළුන්ගේ නිලධාරීන්ගේ පවුල් ඝාතනය කරන බව කීහ

මම සසල නොවීමි

මගේ පවුලක කිසිවෙකු හමුදාවේ හෝ පොලීසියේ සේවය කළේ නැති බැවිනි

අවසානයේ ඔවුන් මා කරා පැමිණියේ ය

ඒ පොලීසියට ඔත්තුවක් දුන්නේ යැයි කියා ය

ඒ වන විට විය යුතු සියල්ල අවසන් වෙලා ය

නිදහසට කරුණු කීමටවත් මට නොහැකි විය

  • 88-89 සමයේ දේශද්‍රෝහී ලේබලය වැදී ඒ අනුහසින් මිය ගිය අහිංසක ශ්‍රී ලාංකික පුරවැසියෙක්

 

මේ ලෙස දිගේලී කරන ලද “හරකුන්“ අපට අනින්නේ නැතැයි අපි සිතා සිටින්නෙමු. එහෙත් කුලප්පු වූ කල අපේ බේරිල්ලට කවුරුවත් එන්නේ නැත.

පුංචි ආණ්ඩුව විසින් ද “කොල්ලන්“ විසින් ද ඇතැම් විට දඩුවම් දෙන ලද්දේ ඒ සංවිධානවල තීරණාත්මක පුද්ගලයන්ගේ පුද්ගලික හතුරන්ට බවත්, ඇතැම් දඩුවම් ඉතාම නොවැදගත් සරල කෝන්තරයන් මත දෙන ලද ඒවා බවත්, එකල දිවි ගෙවූවෝ දනිති. ඒ අවබෝධය ලබන විට පුංචි ආණ්ඩුව ද “කොල්ලෝ“ ද බොහෝ දුර ගමනක් ගොස් තිබුනේ ය.

මේ තත්වය ටික කලකින් ම නිල හමුදාවලට ද බෝවී ගියේ “තකට තක“ යන අප බොහෝ දෙනෙකු අනුයන සරල තර්කය අනුගමනය කරමිනි. නඩු විභාග නැතුවම තරුණ කොල්ලන් කෙල්ලන් මරා දමනු ලැබුයේ ඇතැම් විට පෙම් පළහිලව් වල වාඩු ගන්නට බව අපට මතක ය.

කැරැල්ල අවසන් වන විට සමූහ මිනි වලවල් හමුවන්නේ ඒ අනුව ය. සූරිය කන්දෙන් හමුවන සමූහ මිනීවල එවැනි පෙම් හබයක අවසාන විනිශ්චය ය.

උතුරේ තත්වය ද ඊට නොවෙනස් විය. ප්‍රභාකරන්ගේ දෙවැනියා වූ “මහත්තයා“ නඩු නැතිව ම මරා දැමෙන්නේ ද්‍රෝහී වීම නිසා ය. එල්ටීටීයට අමතරව හමුදාව ද දකුණේ මෙන්ම උතුරේ ද මේ නඩු නැති මැරිල්ල නොකරා යැයි සහසුද්දෙන් කිව හැකි කෙනෙක් නැත. නීතිය පසු බසින තැන තුවක්කුව ඉදිරියට එන්නේ ය. තුවක්කුව ඉදිරියට එන තැන නීතිය පසු බහින්නේ ය.

යුද්ධය තුළ යුද අපරාධ චෝදනා එන්නේ ද යුද්ධයෙන් පරිබාහිරව නඩු නොඅසා මරණයට පත් කරන ලද මිනිසුන් සම්බන්ධයෙන් මිසක යුද්ධය තුළ මරණයට පත් කරන ලද මිනිසුන් සම්බන්ධයෙන් නොවේ. ඒවා අපරාධ ලෙස සලකන්නටවත් අප නොකැමැත්තේ ඒ අපරාධ ඇතැම් විට කරන්නට ඇත්තේ එල්ටීටී සැක කරුවන්ට එරෙහිව යැයි අප විශ්වාස කිරීමට කැමති නිසා ය. එහෙත් එලි වෙමින් තිබෙන පරිදි යථාව ඊට වෙනස් ය.

මාතර තුවක්කු හරඹය

මේ ඉතිහාසය මතක් කරන්නට සිදු වූයේ ඊයේ පෙරේදා මාතර නගරයේ රඟ දැක්වුනු ආයුධ පෙන්නන්නට ගොස් එලොව ගිය ආරක්ෂක අංශ බාරයේ හිටි සැකකරු සම්බන්ධයෙන් මතුව ඇති කතිකාව නිසා ය. ඒ සිද්ධියේ මියගොස් සිටියේ පොලිසියේ නිලධාරියෙකු මරා දැම්මේ යැයි චෝදනාව මත පොලිස් භාරයට ගෙන සිටි සැකකරුවෙකි.

ආයුධ පෙන්නන්නට ගොස් පොලීසියට වැලි ගසා පැන යෑමට තැත් කිරීම යටතේ පොලීසිය විසින් අවසන් ගමන් යැවූ මුල් පුද්ගලයා මොහු නොවේ. බොහෝ විට අවසන් පුද්ගලයා ද ඔහු නොවිය හැකි ය. පොලීසිය විසින් හිතාමතා මේ පුද්ගලයා නිවනට යැවූ බව කියන්නට අප එතැන සිටියේ නැත. එතැන සිදු වූ දෙය දන්නේ ද නැත. එය යුක්තිය පසිඳලන ආයතන මගින් විමසා බැලිය යුතු කර්තව්‍යයකි. එහෙත් මේ ලෙස අත්අඩංගුවේ සිටින කෙනෙකු, විශේෂයෙන් නම ගිය අපරාධ කාරයෙකු යැයි පොලීසිය ම හඳුන්වන කෙනෙකු, මෙසේ පොලීසියට විරුද්ධව කැරලි ගහන්නට පොලීසිය විසින් ඉඩ දී තිබීම සාධාරණ නැත. එවැනි කැරැල්ලක්  මරණයෙන් මෙහා බේරා ගැනීමට අවශ්‍ය විධිවිධාන කල් තියා ගන්නට පොලීසිය අසමත් වූයේ ය යන්නට දිය හැකි සාධාරණ පිළිතුරුක් ද නැත.

ඒ සියල්ලටත් වඩා අපට ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් ජනතාව දක්වන ප්‍රතිචාරය ය. බොහෝ දෙනෙකු කියන්නේ එය හිතාමතා කළේ වුව ද හොඳ බව ය. කළ යුත්තේ එය බව ය. ඉතිරි අයවළුන් ද ආයුධ පෙන්නීමට කැටුව යා යුතු බව ය. වහෙන් ඔරෝ කියන්නේ නැතිව කෙළින්ම කියන්නේ නඩු අහන්නට කාලය ගත නොකොට මේ හැම දෙනාම ඉවරයක් කර දැමිය යුතු බව ය. පුංචි ආණ්ඩුව හා “කොල්ලන්“ ඉටු කළ කාර්යය මහ ආණ්ඩුව විසින් ද කැරලි සමයේ කළාක් මෙන් ම යුද සමයේ කළාක් මෙන් ම අනුගමනය කළ යුතු බව ය.

නීතියෙන් පරිබාහිරව සිදු වුනු මිනිමැරුම් පමණක් නොව අඩම්තේට්ටම් කිරීම් ද ඊට අමතරව අතුරුදහන් කිරීම් ද අප පසුගිය පාලන සමයේ දුටුවෙමු.

මරණයට පත් කළේ අපරාධකාරයන් පමණ ද?

ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කීවේ එසේ මරණ ලද්දේ අඩම්තේට්ටම් ලද්දේ අතුරුදහන් කරන ලද්දේ කොටි හිතවාදීන් නම් අපරාධ කරුවන් නම් එසේ කිරීම ප්‍රශ්නයක් නොවන බව ය. මේ සම්බන්ධයෙන් මෑතක ම මතුව ඇති අත්දැකීම ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ය. ගලගොඩ අත්තේ ඥානසාර උසාවියට ගොස් ගොරනාඩු කර සිර ගෙට යන්නේ කොටියෙකු වූ එක්නැලිගොඩ අතුරුදහන් කිරීම යුක්ති යුක්ති යැයි හගින නිසා ය. ඒ වෙනුවෙන් පෙනී සිටින නිසා ය (ඒ සියලුම ආරක්ෂක අංශ විසින් ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් එවැනි සාක්කි නැතැයි උසාවියට දන්වා ඇති පසුබිමක වීම නිසා පෙනෙන්නේ මේ දඩුවම් සම්බන්ධයෙන් නිගමනයන්ට එළැඹීමට එහෙමකට සාක්කි ද අවශ්‍ය නැති බව ය. සාක්කි නැතිවුව ද සියල්ල කෙළවර කිරීමේ වුවමනාවක් පවතින බව ය).

දැන් අනාවරණය වෙමින් තිබෙන සාක්කි දෙස විපරමෙන් බලන්නට කැමති ඕනෑ කෙනෙකුට (ඇතැම් අය ඒවා වුවමනාවෙන් ම මග හරින නිසා එසේ කීමට සිදු විය) පෙනෙන්නේ මරා දැමිම, අඩම්තේට්ටම් කිරිම හා අතුරුදහන් කිරීම මෙසේ නිල නොලත් ක්‍රියාවලියක් ලෙස ආරම්භ වූ විට එය ඔය කියන කණ්ඩායම පමණක් ගොදුරු කරගෙන, ඊට පමණක් සිමා වී, අවසන් නොවන බව ය. එය විහිදී විසිරී යන බව ය. පාලනයෙන් තොරව පැතිරිය හැකි බව ය. එය කප්පම් අය කිරීම දක්වා යන ව්‍යාපාරයක් දක්වා පසු කලෙක වර්ධනය වන බව ය. එසේ වර්ධනය වූ පසු නිල අංශ ද එහි ඉහළ නිලධාරීන් ද ඇතැම් විට අසරණ වන බව ය. කුඩු කෑ මිනිසාගේ තත්වයට වැටෙන බව ය.

ඒ බව කියන්නට සිතුනේ කප්පම් ලබා ගැනීම සඳහා තරුණයන් ගණනාවක් අතුරුදහන් කළ බවට චෝදනා ලැබ පොලීසිය විසින් සොයන නේවි සම්පත් නැමැති නාවික සෙබලාට රැකවරණය සැලසුවේ යැයි චෝදනා ලැබ සිටින්නේ ත්‍රිවිධ හමුදාවේම ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුර හොබවන, හිටපු නාවික හමුදාපති, රවි විජේගුණවර්ධන නිසා ය.

මාතර සිදු වූ මරණය දෙස බැලිය යුත්තේ ඒ පසු බිමේ සිට ය. ඒ සිද්ධිය මා දන්නා තරමින් යහපාලනය යටතේ සිදු වූ ඒ ආකාරයේ පළමු සිද්ධිය ය.

පසු ගිය පාලන සමය පුරාම සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත් ව තිබූ මේ නිල පාතාල කටයුතු යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමග ම තුනී ව ගියේ ය. ඒ සමගම රටේ යම් නිදහස් වාතාවරණයක් උදා විය. මිනිසුන් විවේචනයට උද්ඝෝෂණයට නොබිය ව ඉදිරිපත් විය.

යුක්තිය පසිඳලීම කල් යෑම

එහෙත් ඒ සමගම යහපාලනයට ආණ්ඩුවට චෝදනාවක් ඉදිරිපත් විය. ඒ සියල්ල හෙමින් සිදු වන බව ය. විශේසයෙන් අපරාධ සිදු කළ අයට දඩුවම් දිමේ ක්‍රියාවලිය දිගින් දිගට කල් යන බව ය. තවත් දැඩි ව විවේචනය කරන අය කීවේ අපරාධ වංචා සම්බන්ධයෙන් ආණ්ඩුව මුකුත් නොකරන බව ය. ඇතැම් අය, සමහරු ඩිල් ගසා තිබේ යැයි ද චෝදනා කරන්නට තරම් ඈතට ගියෝ ය.

අස්ගිරියේ අනුනායක හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිට්ලර් කෙනෙකු වී හෝ රට හදන්නට යැයි කියන විට උන්වහන්සේ ප්‍රයෝජනයට ගන්නේ මේ ආණ්ඩුව අනුගමනය කරන නීතියට අනුව සියල්ල කරන ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාවගේ නොසතුට විය හැකි ය.

නීතිය සෙමින් ක්‍රියාත්මක වන බවට ඇති චෝදනාව ඇත්ත ය. යුක්තිය පසිඳලීම පමා කිරීම යුක්තිය ලබා නොදීමකැයි (justice delayed is justice denied) කියමනක් තිබේ. ඒ නිසා ම ඒ ගැන යමක් ඉක්මණින් කළ යුතු ය. නව අණ පනත් ගෙනා යුතු ය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන බලාත්මක කළ යුතු ය. අවශ්‍ය සම්පත් හා පුහුණුව ලබා දිය යුුතු ය. අධිකරණ කටයුතු දිවා රෑ මුර ක්‍රමයකට හෝ ක්‍රියාත්මක කර කඩිනම් කළ හැකි දැයි සොයා බැලිය යුතු ය.

නොකළ යුතු එක ම දෙය නම්, නීතිය රකින ආයතන ගණනාවක්, මහජන මුදලින් විශාල මිනිසුන් සංඛ්‍යාවක් යොදා, නඩත්තු කරන අතරතුර නීතියට පිටින් දඩුවම් දෙන වටපිටාවකට උල්පන්දම් දීම ය.

පසු ගිය රජය සමයේ නීතියට බාහිර ක්‍රියාකාරිත්වයන් හරහා “අපරාධයන්“ට දඩුවම් ලැබුවෝ බොහෝ ය. එහෙත් එසේ දඩුවම් ලැබුවා යැයි කියන හැම කෙනෙකුම අපරාධ කාරයෙකු නොවූවා පමණක් නොව හැම අපරාධකරුවෙකුට ම දඩුවම් ලැබුනේ ද නැත. ඇතැම් අපරාධ කරුවෙකුට සුවිශේෂ ආරක්ෂාවක් ද ලැබුනු බව අපට මතක ය. ඒ අතර ස්ත්‍රී දුෂකයන් ද මිනිමරුවන් ද කුඩු කාරයන් ද සිටි බව නොරහසකි. ඇතැම් මරණ අතුරුදහන් කිරීම් වලට හේතුව සාක්කි කරුවන් අතුරුදහන් කිරීම බවට ද චෝදනා එල්ල වුනු බව අපට මතක ය.

ඒ කියන්නේ මරන්නේ අපරාධ කාරයන් ම නොවන බව ය. “අප මරන්නේ අපේ නොවන අපරාධකරුවන් ය. අපේ අපරාධකරුවන්ට අපට හොඳ ය“. එහෙමත් නැතිනම් මරන්නේ එලිපිට විරුද්ධ වෙන අය ය. උන් අපරාධකරුවෝ ය. අපරාධකරුවන්ගේ ආරක්ෂකයෝ ය. අපි මුර දේවාතාවෝ ය. උන් මුර දේවතාවන්ට විරුද්ධව කැරලි ගසන උන් ය. එක්කෝ කොටි ය. නැතිනම් එන්ජීඕ කාරයෝ ය. අධිරාජ්‍ය වාදී ඒජන්තයෝ ය. උන්ට කඩේ යන උන් ය. ඔබ උන්ගෙන් එකෙකු නොවන තාක් ඔබට ප්‍රශ්නයක් නැත.

මෙසේ කියමින් අපට බල කරන්නේ නිලමෝර් කෙනෙකු ලෙස මිය යන්නට ය. එහෙත් අවාසනාවකට කප්පම් කල්ලිවලට අසුව මිය ගියේ එවැනි අය නොවේ. මේ කිසිවකට සම්බන්ධ නැති පට්ට අහිංසක මිනිසුන් ය.

ඒ නිසා සිහිය එලවා ගෙන මේ දිග හැරෙන ක්‍රියාවලිය දෙස බැලිය යුතු ය. ඒ තුළ අපේ අස්ථානය පැහැදිලි කර ගත යුතු ය.

අපරාධකරුවන්ට නීතියේ රැකවරණය අහිමි කළ යුතු ද?

අපරාධකරුවන්ට හොරුන්ට දූෂකයන්ට දඩුවම් දිය යුතු ය. එහෙත් ඒ නිසි නීති ප්‍රකාරව ය. ඒ සඳහා තිබෙන ආයතනික ව්‍යුහය ප්‍රමාණවත් නොවන බව පෙනෙන නිසා ම එය ඉක්මණින් පිළිසකර කරන ලෙස අප උද්ඝෝෂණය කළ යුතු ය. එහෙත් නීතියෙන් පිට දඩුවම් පමුණුවන ලෙස අප ඉල්ලා නොසිටිය යුතු ය. අපේ මතයට විරුද්ධ අයට පවා නීතියෙන් පිටින් ගොස් දඩුවම් නොපමුණුවන ලෙස අප විසින් ඉල්ලා සිටිය යුතු ය. මක් නිසා ද යත් අප ශිෂ්ඨ මිනිසුන් වන බැවිනි. අහිංසක මිනිසෙකුට දඩුවම් පැමිණවීම අපරාධකරුවෙකු නිදහස් වෙනවාට වඩා නරක යැයි විශ්වාස කරන තරමට අප ශිෂ්ඨ මිනිසුන් වන බැවිනි.

මංගල සමරවීර ඇමැති තුමා මේ සම්බන්ධයෙන් අභිත ප්‍රකාශයක් කර තිබේ.

“අපරාධකරුවන් සමග ගනුදෙනු කිරීමේ දී ද නීතියේ ආධිපත්‍ය තිබිය යුතු ය. මාතර පොලිස් නිලධාරියෙකු ඝාතනයට හිලව්වක් ලෙස එකී චුදිතයා පොලීසිය බාරයේ සිටිය දී ඝාතනය කිරීම යුක්ති යුක්ත නොවන්නේ ය. මෙය යහපාලනය මිස යමපාලනය නොවන්නේ ය.“

එතුමා අපේ ගෞරවයට ලක්වන්නේ බොහෝ දෙනෙකුට නොතේරෙන මේ අස්ථානය වෙනුවෙන් එතුමා ඒ මගින් නොබියව පෙනී සිටින නිසා ය. එතුමා මේ ලේඛකයාගේ අගැයීමට මීට පෙර ද ලක් වූයේ අභීතව හිතන සහ ඒ හිතන දේ එලිපිට කියන කෙනෙක් නිසා ය. දේශපාලන වාසි වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂිය විකුනා නැති බව එවැනි බොහෝ තැනක එතුමා විසින් පල කර ඇති නිසා ය.

එතුමා පෙනී සිටින්නේ අපරාධකරුවාටත් උරුම නීතියේ රැකවරණය වෙනුවෙන් ය. එයින් අදහස් කරන්නේ අපරාධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව නොව නීතිය නීති ප්‍රකාරව, අකුරට, ක්‍රියාත්මක විය යුතු බව ය.

ඊට අකමැති අය පතන්නේ පුංචි ආණ්ඩුවේ යුක්තිය ය. උතුරේ “කොල්ලන්“ ගේ යුක්තිය ය. හිට්ලර්ගේ යුක්තිය ය. පසුගිය පාලන සමයේ පැවති භීෂණයේ යුක්තිය ය. ඒ ඔවුන්ට එරෙහිව එය ක්‍රියාත්මක වන තෙක් ය. ඇතැම් විට නීතියට පිටින් ක්‍රියාත්මක වීමට අනුබල ලැබ, ඒ හේතුවෙන් පසු කලෙක කප්පම් කාරයෙකු බවට පත් වූ එකෙකුගේ, කප්පමක් වෙනුවෙන් තම දරුවා බිලි දෙන්නට සිදු වන තෙක් ය. එදාට ඔවුන්ට සිදු වන්නේ නිලමොර් මතක් කරගන්නට ය.

හිපොක්‍රටිස්ගේ හයිපොක්‍රසිය

517051420

මේ කතා කරන්නේ වෛද්‍යවරයෙකුගේ හෘද සාක්ෂිය ය. අපි පළමුව ඊට සවන් දී බලමු.

“අප අයත් වන්නේ උත්තරීතර වෘත්තීයකට ය. ඒ වෘත්තීය තිබෙන්නේ දුකට පත් අය සුවපත් කිරීමට ය. ඔවුනට නිවන සැලසීමට ය.  සහනයක් වීමට ය. ඒ නිසාම වෙනත් වෘත්තිකයෙකු නොකරන දිවුරුම් දීමක් අපි කරන්නෙමු. එවැනි දිවුරුම් දීමක දී අපි මෙසේ ද කියමු.

රෝගියෙකුගේ සහනය උදෙසා අවශ්‍ය වන සියලු පියවර ගැනීමට මම මා උගත් විද්‍යාව යොදා ගනිමි. ඒ හිපොක්‍රටිස් දිවුරුමට අනුව ය.

එහෙත් රෝගීන්ගේ අවාසනාවට අප උගෙන තිබෙන්නේ වෛද්‍ය විද්‍යාව පමණක් නොවේ. අප අතර ඇතැමෙක් පොල් කැඩීමේ හා දඩයම් කිරිමේ කලාවත් අමතරව උගෙන තිබේ. ඒ නිසා රෝගීන් සුවපත් කිරීමේ මුවාවෙන් පොල් කැඩීමත් දඩයමේ යෑමත් අපි හරි හරියට කරන්නෙමු. ඒ කියන්නේ සල්ලි ඇති රෝගියාටත් සල්ලි නැති රෝගියාටත් හැඳි දෙකක් හිපොක්‍රටීස්ට හොරා අප අතර ඉන්නා අය විසින් භාවිතා කරන බව ය.

අප අතර ඉන්නා හිපොක්‍රටිස්ගේ දිවුරුම බැරැරුම්ව ගත් සමහර අය හැරුණු කොට සෙසු අය වඩාත් පුහුණු වී ඇත්තේ පොල් කැඩීමේ නොහොත් දඩයමේ යෑමේ කලාව ය. ඒ රෝගීන්ගේ සුවය කෙසේ වුව ද වෛද්‍යවරයාගේ සුවය තිබෙන්නේ ම එතැන නිසා ය. ඒ නිසා වැඩ වර්ජන කරන නොකරන කාලයේ කියා වෙනසක් නැත. වෙලාව ආපුවහම චැනල් එකට ඉගිලෙන්නේ නිකම් බෙහෙත් ගන්නට එන මිනිසුන් ගැන වගේ වගක් නැතුව ය.

එහෙම කෙනෙකුට රෝගීන් වෙනුවෙන් යැයි කියා රෝගියෙකු බිල්ලට ගැනීම සිම්පල් ය.

ඇත්තට ම මෙහි දී සිදුවන්නේ අපූරු වැඩකි. බිල්ලට දෙන්නේ සල්ලි නැති නිසා රජයේ රෝහලට එන අහිංසක රෝගියාව ය. පොල් කඩන්න ගන්නේ මුදල් විසි කරන්නට හයිය ඇති පෞද්ගලික රෝහලට එන රෝගියාව ය.

තමා වෙතට එන ඕනෑම රෝගියෙකු සුව කරන්නට දිවුරුම් දී තිබුනත් මෙසේ දෙවිදියකට සළකන්නට වෙන්නේ රෝගියාගේ කරුමයට ය. දුප්පත් කම පෙර කරුමය නිසා සිදු වන දෙයකි. ඒකට දිවුරුම් දුන් අප වගකියන්නට ඕනෑ නැත.

අපේ වගකීම තියෙන්නේ මුදල් ගෙවන එක්කෙනා ගැන ය. එහෙම නොකළොත් ඔහු හෙට අපට පොල් කඩන්න ඉඩ තියන්නේ නැත. අපේ සුවය තියෙන්නේ කැඩූ පොල් ප්‍රමාණයේ ය. ඒ අප අතර සැළකිය යුතු පිරිසක් හිතන විදිහ ය.

වෛද්‍ය වර්ජනයක දී රජයේ රෝහල්වල මැස්සො වහන්නේත් චැනල් කරන තැන් වල මීමැස්සන් මෙන් සෙනග රොක්වන්නේත් ඒ නිසා ය. වෛද්‍ය වර්ජනයක්  නිසා චැනල් සේවය අඩාල වූවා යැයි තවම වාර්ථා වී නැත්තේ ඒ නිසා ය.

ඒ වුනාට අප ඉන්නේ ජනතාවගේ පැත්තේ ය. මුදල් ඇති එකාට අන් අය ඉක්මවා වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමේ අසාධාරණය අපට දැනෙන්නේ එය අපේ නහර බඩවැල් කා ගෙන හදවත ඉරා ගෙන යන්නේ අප ජනතාවගේ පැත්තේ නිසා ය.

මුදල් ඇති එකාට සෞඛ්‍ය පහසුකම් අන් අය ඉක්මවා ලබා දීමේ අකටයුත්ත ගැන අපට එහෙම ම දැනෙන්නේ නැත. එතකොට අප ඉන්නේ සල්ලි තියෙන එකා පැත්තේ ය.

අධ්‍යාපනය එකකි. සෞඛ්‍ය තවත් එකකි. අධ්‍යාපනය සම්පූර්ණයෙන් නිදහස් විය යුතු ය. සෞඛ්‍ය ටිකක් මිශ්‍රව තිබුනාට කමක් නැත. එහෙම නොවුනොත් අප පොල්කඩා ඉවර ය. දඩයමේ ගිහින් ඉවර ය. ඒ නිසා ම එහෙම දැනෙන්නේ නැති එක හොඳ ය.

හිපොක්‍රටිස්ගේ දිවුරුම අවසානයේ අවසන්වන්නේ මේ හයිපොක්‍රසියෙනි.

වෛද්‍යවරුන්ට ද වෙන වෘත්තිකයින්ට මෙන්ම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට පුලුවන. විරෝධයන් පාන්නට පුලුවන. එහෙත් රෝගීන් බිල්ලට ගන්නට අවසරයක් හිපොක්‍රටිස් විසින් දී නැත. හිපොක්‍රටිස්ගේ හොම්බට අනින්නට හිතෙන්නේ ඒ වෙලාවට ය.

සෞඛ්‍ය සේවය මුදලට විවෘත කරන ගමන් උසස් අධ්‍යාපනය මුදලට වහන්නට ඉඩක් යුක්තියේ මූලධර්මයන් විසින් ලබා දී නැත. ඒ වුනාට යුක්තිය අත දිග හැර කන්නට දෙන්නේ නැත.

හිපොක්‍රටිස් හා යුක්තිය පරණ කතන්දර ය. දැන් තියෙන්නේ ජාතික පාසලට ළමයා දා ගැනීමටත් ඩියුටි ෆ්‍රී කාර් ගැනීමටත් හාම්පුතුන්ට බිලි පූජා තියන්නටත් රෝගීන් බිල්ලට ගැනීමේ අලුත් ම කතන්දරයක් ය. ඉතින් පින්වතුනි අපට සාදු කියන්න. අප සමග සටනට එක්වන්න. මේ ඔබේ දරුවාගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ දරුවා බිල්ලට දි අප කරන සටන ය. සෞඛ්‍ය මිශ්‍ර කරන අතරේ අධ්‍යාපනය අමිශ්‍රව තබා ගැනීමේ සටන ය. ඉතිරි සටන් ද ඒ වගේ ම ය.

අද ඔබේ දරුවා මිය යා හැකි ය. එසේ වුව ද ඔබ සිතිය යුත්තේ ඔබේ දරුවාගේ හෙට ගැන ය.

අවශ්‍ය නම් හිපොක්‍රටිස්ගෙන් උනත් අහලා බැලිය හැකි ය. එහෙම බය නැතුව අප කියන්නේ අසන්නට දැන් එහෙම කෙනෙක් නැති නිසා ය.

වෛද්‍ය වෘත්තිකයෙකුට මේ හෘද සාක්ෂියේ කතාව අසාධාරණ සේ පෙනී යන්නට පුළුවන. එයට හේතුවක් තිබේ. මේ ආත්මාර්ථ සාධනයේ යෙදෙන්නේ වෛද්‍ය වෘත්තිකයන් පමණක් නොවන බැවිනි. එසේ තිබිය දී මේ මැදිහත් වීම කරනුයේ හේතු දෙකක් ඇති ව ය. වෛද්‍යවරුන් වෙනත් වෘත්තිකයන්ට වඩා ගෞරවයට පාත්‍රවන නිසා ම ඔවුන්ට අන් අයට වඩා තමන්ගේ වෘත්තීය වගකීම් ගැන වැඩි අවධානයක් තිබිය යුතු නිසා ය. දෙවැන්න ඔවුන් විසින් ඔවුන්ගේ අරගලයේ ගලග්‍රහණයට ගන්නේ රටේ අසරණම ජන කොටසක් වඩාත් අසරණව පිළිසරණ පතා එන මොහොතක නිසා ය. තෙවනුව දැනටමත් රාජ්‍ය සේවයේ සිටින වෙනත් වෘත්තිකයන්ට වඩා වරප්‍රසාද ලැබෙන නිසා ය. සිව් වෙනුව ඉහත සඳහන් ඇතැම් කාරණා නිසා ඔවුන් සතුව අපමණ සමාජ බලයක් තිබීම නිසා ම අසාධාරණ ඉල්ලීම් පවා ඉදිරිපත් කොට ගැලවී යෑමට තවමත් ඔවුන්ට හැකියාව ඇති නිසා ය. පස්වෙනුව ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති ආදර්ශය අනුව යමින් අසිපත් ලෙලවන්නට සූදානම් තවත් වෘත්තිකයන් පිරිසක් වේදිකාවට බසිමින් සිටින නිසා ය.

බලය ලැබෙන්නට ලැබෙන්නට කෙනෙක් නිහතමානී විය යුතු ය. බලය වැඩි තැනැත්තන් විශේෂයෙන් තමන් කටයුතු කිරීමේ දී ඒ බලය නිසි ලෙස භාවිතා කරන බවට වග බලා ගත යුතු ය. බලය භාවිතා කිරීමට පෙර දෙවරක් සිතිය යුතු ය. වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සංගමය නම් ඒ බවක් පල කර නැත.

ඉන්දියානු ගිලන් රථ සේවය අතිශයින් පහත හෙලා කතා කිරීමෙන් නොනැවතී ඒ තුළ රෝ ඔත්තුකරුවන් දැකීමෙන් නොනැවතී එයින් රෝහල්වලට ගෙන එන රෝගීන් බාර නොගන්නා බවට ද තර්ජනය කිරීමට තරම් වෘත්තීය සංගමයකට පහළ වැටිය හැකි වූයේ ඒ හේතුවෙන් ය.

එසේ වුව ද ඔවුන්ට ඒ තර්ජනය ක්‍රියාත්මක කළ නොහැකි විය. අද රෝගීන් අපමණ ගණනකට සේවය සලසමින් ඉන්දියානු ගිලන් රථ සේවය ක්‍රියාත්මක වන්නේ ය. තමන්ගේ තර්ජනාංගුලිය ගිල ගැනීමට අවසානයේ වෛද්‍ය වෘත්තීය සංගමයකට සිදු වීම කෙතරම් ඛේදජනක ද? කොතරම් උත්ප්‍රාසජනක ද?

අවම වශයෙන් තමන්ගෙන් සිදු වූ ඒ වැරැද්ද ගැන සමාවක් ගැනීමට වත් ඔවුන් නිහතමානී නොවූයේ ඇයි? ඒ ගැන කිසි ම මාධ්‍ය කරුවෙකු ඔවුන්ගෙන් ප්‍රශ්නයක් වත් නොනගන නිසා ඔවුන්ට හෙට ද එවැනිම තර්ජනවලින් රට පුරවාලීමේ ඉඩකඩ තිබේ.

සිංගප්පූරුව සමග ඇති කර ගත් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය මැදිහත් වීම ද ඒ සංගමය අනුව යමින් වෘත්තිකයන්ගේ සංගම් ගණනාවක් ද එයට එකතු වීම ද අපට මේ වෘත්තිකයන්ගේ ක්‍රියාකාරිත්වය නැවත විමසීමට අවස්ථාවක් සපයන්නේ ය. අප එසේ කියන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව රට අඳුරේ තබමින් යම් රහස්‍ය භාවයක් පවත්වා ගැනීමට දැරූ ප්‍රයත්නය ද විවේචනය කරමින් ය. ඇත්තට ම විරෝධතාවයන්ට තටු ලැබෙන්නේ මෙවැනි නොකටයුතු ක්‍රියා නිසා බව ද නැවතත් අවධාරණය කියමින් ය.

රැවටෙන්නට පේවීම

deepana_07052018_FRR

ලන්දේසීන්ට රැවටී අපි පෘතුගීසින් පන්නා දැමුවෙමු. බ්‍රිතාන්‍යයට රැවටී අපි ලන්දේසීන් පන්නා දැමුවෙමු. විවිධ දේශපාලන ප්‍රවාහයන්ට මාරුවෙන් මාරුවට රැවටෙමින් අපි තවමත් රැවටීමේ ඉසව්වේ ම රැඳි සිටින්නෙමු. හෙටත් එසේ ම රැවටෙන බවට සළකුණු පෙනෙන්නට තිබේ. එහෙම බැලුවහම අප රැවටෙන්නට උපන් ජාතියක් දැයි සැක හිතෙන තරම් ය.

පොල් ගෙඩියක් තල් අත්තට වැටුනු විට ලෝකය පෙරලෙන්නේ යැයි සිතූ සිංහයා මෙන්ම අපි ද රැවටෙමින් සිටිමු. ඒ රැවටීම නිසා ම හති වැටෙන තුරු දුවමින් සිටිමු.

අප පැවත එන්නේ සිංහයෙකුගෙන් යැයි ජීව විද්‍යාත්මකව විය නොහැකි කතාවක් ගෙතූ මහාවංශයට අපි රැවටෙමු. හඳේ හාවෙකුගේ රුවක් ඇතැයි සඳහන් ජාතක පොත සාහිත්‍ය කෘතියක් ලෙස නොව සත්‍යය ලෙස ගෙන අපි ඊට රැවටෙමු. ඉපදුනු ගමන් ඇවිදින කතා කරන බිළිඳෙකු ගැන ද මැරී නැවත ඉපදුනු මිනිසෙකු ගැන ද කියන කතා ඇත්ත ලෙස ගෙන අපි රැවටෙමු. ඒවා කතා ලෙස නොව සැබෑ ලෙස සිදු වූ දේ ලෙස විශ්වාස කරමු.

චන්ද්‍රයාට පමණක් නොව චන්ද්‍රයාගේ හෙවනැල්ල වන රාහුට ද අපේ ජීවිතයට තීරණාත්මක බලපෑමක් කළ හැකි යයි සිතා, අපි කේන්දර කාරයන්ට රැවටෙමු. හතර කේන්දරේ පාලු නිසා ළමයින් මහණ කරමු. කේන්දරේ අහවල් ග්‍රහයා බැල්ම හෙලන නිසා එයින් ගැලවෙන්නට කප්පරක් පූජා කරමු. ළමයා ඇතැම් විටෙක පවුලෙන් වෙන් කර තබන්නට ග්‍රහයෙකුගේ එක් පිහිටීමක් අපට ප්‍රමාණවත් ය. ඒ දරුවා නිසා දෙමාපියන්ට අපල යැයි පැවසෙන කල ය. බොහෝ ගැහැණු දරුවන් ගෙදරට නාකිවන්නේ ග්‍රහයා හරියට නොබැලූ නිසා ය.

මුහුදේ සතෙකුගේ රැකවරණය සඳහා ඇති කටුවක්, එනම් වාලම්පූරියක්, ළඟ තබා ගත් විට අපට සැප සම්පත් ගලා එන බව අදහමින්, අපි රැවටෙමු. ඒවා මහන්සියෙන් උපයා ගත් මුදල් වියදම් කර ගෙදර ගෙනත් සුවඳ දුම් අල්ලමින් කාලය ද කා දමමු. මැටියෙන් තනන ලද ෂෙන් ෂූ රුවකට සතුට හා සම්පත් ගෙනා හැකි යයි අපි අදහන්නෙමු. ඊට ද නොයෙක් පූජා කරමින් මුදලුත් කාලයත් වැය කරමු.

හූනෙක් ඇඩුවොත් බාධාවක් යැයි සිතා කරන්නට තියෙන වැඩ කල් දමමු. අපේ ගෙදර ඉන්නා ඕනෑම හූනෙකුට අපේ ඇඟේ විවිධ තැන්වලට පැන අපේ ඉරණමට බලපෑම් කළ හැකි යයි සිතා අපි දිවි ගෙවන්නෙමු.

උලමෙකුට නිකමට හඩ නගන්නට බැරි ය. බස්සෙකුට නිකමට හූ මිටි තියන්නට බැරි ය. කපුටෙකුට නිකමට කට හොල්ලන්නට බැරි ය. කළු පූසෙකුට වැරදිලාවත් අප යන මගට නිකමට එන්නට බැරි ය. කළු බල්ලෙකු ගොම්මන් අඳුරේ මුණ ගැහුනොත් නූලක් බැඳීමෙන් දෙහි කැපීමෙන් තොරව නැවත ගොඩ ගැනීම බොරු ය. ඒ සියල්ල අපට ම යමක් කරන්නට හිතාමතා කරන ඒවා ලෙස අපි සළකන්නෙමු. ඒවා අපට බලපානවා යැයි සිතා අපි කරදරයට පත් වෙමු. රැවටෙමු.

අපේ ගෙදර තිබෙන දොරවල් ජනෙල් ගණන ඔත්තේ ද ඉරත්තේ ද වීම වැනි දේ පවා අපේ ඉරණම තීරණය කරන්නේ යැයි අපි විශ්වාස කරමු. ඒ නිසා වාස්තු ග්‍රප්ත විද්‍යා කාරයා ඉටු දෙවියෙකු ලෙස සළකා ඔහු කියන හැම දෙයක් ඒ ලෙස ම ඉටු කිරීමට අපි වග බලා ගන්නෙමු.

ගමනක් යන්නට මගට බහින විට සංඝයා වහන්සේ කෙනෙක් හෝ හිඟන්නෙක් දැක්කොත් ගමන හබක් ය. වහා ගේ ඇතුළට දුව ගොස් එ දෙදෙනාම මග හැර ගිය පසු මගට බහින්නට අපි වග බලා ගමු. ඒ ඔවුන්ට අපේ කටයුතු වෙනස් කරන්නට, පුදුමයකට මෙන් එක සමාන, බලයක් තිබෙන නිසා ය.

මියගිය මිනිසුන්ට අපේ ජීවිතයට බලපෑම් කළ හැකි යයි ද අපි අදහමු. හොල්මන් අවතාර පමණක් නොව ඔවුන් ආවේශ වී කරන කියන දේ සම්බන්ධයෙන් ලස්සණ කතාන්දර අපි විශ්වාස කරමු. ඒවාට රැවටෙමු. හඳපානේ පරඩැලක් හෙල්ලුනත් සිහි නැතිවෙන්නට ඇති ය. තියෙන තුට්ටු දෙක වියදම් කර රෑ එලිවෙන තෙක් දහ අට සන්නියම නටා තොවිල් පවිල් ද කරන්නේ එසේ මිය ගිය මිනිසුන්ගේ “නොපවතින යමක්“ ගැන බියෙන් බේරෙන්නට ය.

පෝරුව බහින විට බිඳෙන පොල් ගෙඩියකට විවාහයේ ඉරණම බාර දීමට අපට පැකිලීමක් නැත. එය උඩුකුරුව නොසිට පෙරලී ගියොත් මනස කඩා වැටෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ත්‍රස්ත ප්‍රහාරයෙන් කඩා වැටුනා සේ ය.

නැකතට වැඩේ කර ගන්නට බැරි වුනොත් ඉන්නේ උන්නට වඩා මළා වගේ ය. ඔරලෝසුවේ කට්ටකට ඒසා විශාල බලයක් තිබෙන බව කට්ට දන්නේ නැති එක හොඳ ය. නැත්නම් අපට සිද්ධ වෙන්නේ කේන්දර කාරයන්ට වාස්තු විද්‍යා කාරයන්ට වගේ ම ඔය කට්ටටත් යටත් වෙන්නට ය.

නමය නපුරු ය. දහතුන සතුරු ය. ඒවාට ද මහා ලොකු දේවල් කළ හැකි යයි අපි සිතමු. වසනාවන්ත අංක යෝජනා කරන ගුප්ත විද්‍යාවක් ද තිබේ. ඒකට කියන්නේ නියුමරලොජි කියා ය. නම බරපතළ ය. රැවටීම එක ය. අන් හැමදෙයකට ම වගේ ම අංකවලටත් අපි බය ය. කීකරු ය.

එපමණ ද? නැත. සමහර දිනවලට ද අප බය ය. අඟහාරුවාදා සිකුරාදා දවස් විශේෂ ය. මළ සිරුරක් ගෙදරට ඒ දිනවල වද්ද ගන්නේ නැත. කෙම්මුර දවස්වලට අප හීලෑ ය. ඒ දිනවල කරන නොකරන දේ අපි පරිස්සමින් වෙන් කර ගෙන සිටිමු.

අතේ රේඛාවලින් අපේ ඉරණම කියන්නට පුළුවන් යැයි අපි විශ්වාස කරමු. අපේ ඉරණම සම්බන්ධයෙන් අප විශ්වාස නොකරන එක ම දෙය එය හස්ත රේඛා තුළ නොව අප අතේ පවතින එකක් බව ය. එයට අපට, අපට අවශ්‍ය ආකාරයට, නිර්මාණය කර ගත හැකි එකක් බව ය. රැවටෙන්නට තීරණය කරගත්තාට පසු ඒ බවක් සිතන්නට අපට ඉඩක් නැත.

වස් කවියකට අප ව දවා හළු කරන්නට පුළුවන. සෙත් කවියකට අපට වාසනාව සාමය සතුට පමණක් නොව දුක් කරදර වලින් නිදහස ද ගෙන ආ හැකි ය. කළ යුත්තේ හරියට ගණ පිහිටුවා ලියන එක ය.

පිරිතකට යක්ෂයන් ප්‍රේතයන් පළවා හැරිය හැකි ය. ලෙඩ රෝග සුව කළ හැකි ය. ඒ සඳහා පිරිත් ඇසීමට ම අවශ්‍ය නැත. පිරිත් පැන් බීමෙන් ද ලෙඩ රෝග සුව කළ හැකි ය. පිරිත් නූලකට ආරක්ෂාව සළසා දිය හැකි ය. සුරයකට ද (තඹ කැබැල්ලකට ද)  ඒ වැඩේ ම කළ හැකි  ය. රැවටෙන්නට ලොකු දේවල් ම අවශ්‍ය නැති බව මේ හැම කාරණයකින් ම අපට කියා සිටින්නේ ය.

ජීවම් කරන ලද යන්ත්‍රයකට වෙඩි නොවදින ලෙස අපව ආරක්ෂා කර ගත හැකි  ය. ඇමරිකාවේ පෙන්ටගනය මේ අයගේ සේවය මිලට නොගන්නේ ඇයි ද යන ගැටළුව පැත්තක තිබේ වා. ඊලාම් යුද්ධයේ දී මේ යන්ත්‍ර හැංගිලා හිටියේ කොහේදැයි අසන කෙනෙක්වත් නැත. ඇදහිල්ල ඒ තරමට අන්ධ ය.

අඳුන් තවරන ලද පීරීසියකට සියල්ල පෙන්නුම් කළ හැකි ය. ඇවිද්දවන ටීපෝ එකකට ද කැරකෙන කුල්ලකට ද හොරෙකු අල්ලා දිය හැකි ය. මේ තරම් දේශීය ශිල්ප ශාස්ත්‍ර ළඟ තබා ගෙන පොලීසිය හොරුන් අපරාධ කරුවන් මිනීමරුවන් අල්ලා ගැනීම සඳහා මේ උපක්‍රම භාවිතා නොකරන්නේ ඇයි ද යන්න පොලිස්පති තුමා ගෙන් අසන කෙනෙකු නැත.

මෝටර් රථයක දෙහි ගෙඩියක් හා අමුමිරිස් කරල් කීපයක් එල්ලීමෙන් රථයේ ආරක්ෂාව සහතික වේ යැයි අපි සිතමු. ඒ කෝකටත් කියා, අප මුදල් ගෙවා ලබා ගෙන තිබෙන, රක්ෂණ සහතිකයට අමතර ව ය. මෝටර් රථ කර්මාන්ත ශාලාවල අධික වියදමක් දරා සුරක්ෂිතතාවය සඳහා කරන පරීක්ෂණ අපරාදේ ය. ඔවුන් එතරම් වියදම් කරන්නේ රුපියල් දෙක තුනකින් කර ගත හැකි වැඩක් සඳහා වීම දරා ගැනීමට අමාරු සිතුවිල්ලකි. මේ තාක්ෂණය අපට ලෝකයට විකිණිය හැකි එකකි. අපනයනය කරන්නට බොහෝ දේ නිපදවන්නට දක්ෂ නැති අපට මෙහෙම එකකින් වත් ගොඩ එන්නට මිනිසුන් කල්පනා නොකරන්නේ මන්දැයි මට නිතර කල්පනා වන්නේ ය.

නව මෝටර් රථය කතරගම දෙවියන්ට පෙන්නා උන්නාන්සේගේ ආශිර්වාදය ලබා ගත්තොත් සුරක්ෂිත වෙන බව ද අපි අදහමු. දෙහි ගෙඩියෙන් බැරි වුනොත් පූජා වට්ටියකින් හෝ වැඩය කරගන්නට දන්නා මිනිසුන්ගෙන් ලංකාවට ඒ නිසා අඩුවක් නැත. ඒ කෙක්කෙන් බැරි වුනොත් කොක්කෙන් ඒ දේ කර ගැනීමට අප දක්ෂ නිසා ය.

දෙවියන්ට බාර හාර වෙන්නට ද ඒවා ඔප්පු කරන්නට ද අප දක්ෂ ය. ඇතැම් විට අප රැවටෙන්නේ දෙවියන්ව ද රවට්ටමින් ය. පඩුරු ලෙස ගැට ගහන්නේ සිල්ලර කාසි ය. එසේ කාසිවලට වැඩක් කරන මිනිස්සු නම් දැන් නැත. එහෙත් එවැනි දෙවියන් සිටිනවා යැයි අපි විශ්වසා කරමු.

ලොකු ලොකු දේ කියා බාර හාර වෙන මිනිසුන් නැතිවා නොවේ. රූපෙට රූපයක් දෙන බවට පොරොන්දු වන්නෝ ඔවුහු ය. ජීවිතයකට ජීවිතයක් පොරොන්දු වන්නේ ඔවුන් ය. එසේ දෙන පොරොන්දු ඉටු කරන්නට මිනිස්සු බොහෝ මහන්සි වෙති. වියදම් දරති. ඒ වුනත් කොතෙක් පොරොන්දු වුව ද ඇතැම් විට ප්‍රාර්ථනා ඉටු වන්නේ නැත. එවිට මිනිසුන් සිතන්නේ තමන් අතින් යම් වැරැද්දක් වූ බව ය. කට වැරදුනු බව ය. නිවැරදි ලෙස පේ නොවුනු බව ය. තමන් හරි හැටියට දෙවියන්ට ඒත්තු නොගැන්වූ බව ය. ඇතැම් විට කිල්ලක් අහුවුනා වෙන්නට පුළුවන. තවත් විටෙක වැරදිලා හෝ මසක් මාංශයක් හෝ පුළුටක් කැවුනා වන්නට පුළුවන. ඒ නිසා දෙවියන් තමන් මග හැරියා වන්නට පුළුවන. පෙර කරුමයක් නම් දෙවියන්ට වුව කළ හැකි දේ අවම ය. එහෙම බැලුවහම වැරැද්දක් තිබුනොත් අපේ ය. දෙවියන් කවදාවත් වැරදි නැත. අපට රැවටෙන්නට දෙවියන් සම්බන්ධයෙන් ඒ උපකල්පනය දැඩි සේ අවශ්‍ය ය.

දෙවියන්ට කෙලින්ම අල්ලස් දෙනවා හැරෙන්නට දේව සිත් දිනා ගැනීමට තව ක්‍රමයක් තිබේ. ඒ පින්කම් කිරීමෙන් ය. කප් රුක් පූජා, බෝධි පූජා, පළතුරු පූජා, පහන් දස දහසේ පූජා වැනි දෑ ඊට ඇතුළත් ය. ඒ පූජා කර පින් ලබා එයින් කොටසක් දෙවියන්ගේ ගිණුමට ඊට පසු බැර කළ යුතු ය. අප රැවටිලා මදි ය. දෙවියන්ව ද රැවැට්ටිය යුතු ය. වැඩ ගත හැක්කේ ම රවටලා ය.

දෙවියන් කරන වැඩේ කරන්නට පැත්තකට වී සිටින බුදුන් වහන්සේව ද මිනිස්සු පෙළඹවූහ. ඒ දෙවියන්ට මෙන් පළතුරු පූජා, බුද්ධ පූජා, සුවඳ දුම් පූජා පැවැත්වීමෙන් ය. ඔවුහු ඒ ලෙස බුදුන් දෙවි කෙනෙක් කළ හ. ඒ රැවටෙන්නට පුළුවන් ලෙස බුදුන්ව ද වෙනස් කිරීමට උන්ට ඕනෑ වූ නිසා ය.

බුදුන් පමණක් නම් මදෑ. බුදුන් පිට දුන් බෝරැක ද ඒ වැඩේට ම යොදා ගැනීමට ඔවුහු වග බලා ගත්තෝ ය. විභාගය පාස් කර දෙන මෙන් ද රැකියාවක් ලබා දෙන මෙන් ද රෝගයක් සුව කර දෙන මෙන් ද ඉල්ලන පණිවුඩ බෝගහේ එල්ලන්නේ ඒ අනුව ය. බෝගහට ද දෙවියන්ට මෙන් යමක් කළ හැකි යයි ඔවුහු දැන් විශ්වාස කරති. ඇත්තටම කියනවා නම් අපේ රටේ මිනිසුන් එකකට රැවටීමෙන් සෑහීමකට පත් වන්නේ නැත. බහු විධ දේවලට රැවටීමට ඔවුන්ට වුවමනා ය.

සමහර විට ඒ කෙක්කෙන් නැත්නම් කොක්කෙන් හෝ කඩා ගත යුතු ය යන ආකල්පය නිසා ම විය හැකි ය. ඒ නිසා එක ම කන්නලව්ව බුදුන්ටත් බෝධියටත් දෙවියන්ටත් කිරිමට ඔවුහු වග බලා ගනිති. ආරක්ෂාව පතා (පිරිත් නූල් බැඳගැනීමට නවරත්න මුදු පැළඳවීමට ෂෙන් සූ බුදු පිළිමයක් ළග තබාගැනීමට සෙත්කවි කිමට දේව කන්නලව්වක්  කිරීමට වැනි) එකක් නොව දුසිමක් දේ කිරීමට ද වග බලා ගනිති. බුද්ධාගමේ සාත්තු සප්පායම් අවසන් වූ විට ඔවුහු හින්දු දේවාලය පැත්තට හැරෙති. ලංකාවේ දේවල් අවසන් වුන විට ඔවුහු ඉන්දියාවට යති. තිරුපති කෝවිලට ද යති. දේවාල වැඳ අවසන් වූ විට වඳින්නට සායි බාබලා වැනි බබාලා ද තෝරා ගනිති.

අයි. රණසිංහ පෙරේරා මහතා ‘සමාජ සජීවකරණය’ නමැති සිය පොතේ සිංහලයන්ගේ ඇදහිලි හා විශ්වාස ගැන මෙසේ සඳහන් කරන්නේ ය.

‘ඓතිහාසික මූලාශ‍්‍රවලින් හෙළිවන පරිදි සිිංහලයන්ගේ විශ්වාස හා ඇදහිලි දෛනික ජීවිතයේ සමාජ, ආර්ථික කටයුතු සඳහා සම්බන්ධ වී ඇත්තේ හැමවිටම නිශේධනීය ලෙස මිස සාධනීය ලෙස නොවේ. ඔවුහු කිවිසීම, කැස්ස ආදි සාමාන්‍ය ශරීර වුවමනාවන් පවා අසුබ ලකුණු ලෙස සැලකූ බැවින් යම් කටයුත්තක් ආරම්භ කිරීමේදී කිවිසුමක්, කැස්සක් පැමිණියේ නම් ආරම්භ කිරීමට නියමිත කාර්යය පසුවට කිරීමට කල් දැමූහ. පරිසරයේ නිතර දක්නට ලැබෙන හූනන්, කපුටන් ආදින්ගේ ශබ්ද අසුබ යැයි සලකා සමාජ ආර්ථික කටයුතු කල් දැමූහ. මනුෂ්‍යයන්ගේ කටහඬ නොමැති අවස්ථාවක් එනතුරු සිටිමින් ආහාර පිසගැනීම සඳහා වළඳට සහල් දැමීමද කල් දැමූහ. ගමන් බිමන්වලදී ඕනෑම කෙනෙකුට මුණගැසිය හැකිව තිබෙන බොහෝ දේ අසුබ යැයි සලකා ගමන් බිමන් පසුව යාමට කල් තැබූහ.’

ඔහු ඒ ගැන වැඩිදුරටත් මෙසේ කියා තිබේ.

‘සිංහලයන්ට සුබ ලකුණු අඩුය. අසුබ ලකුණු වැඩිය. මේ නිසා කටයුතු සිදුකිරීමට තිබෙන ඉඩකඩට වඩා කල් දැමීමට තිබෙන ඉඩකඩ වැඩිය.’

රැවටීම එකකි. රැවටීම නිසා සිදු වන අලාභය තව එකකි. අලාභයක් නැත්නම් රැවටීම හරහා ආතල් ගත්තාට කමක් නැත. එහෙම නම් ඒ ආතල් කැඩීමට මෙසේ ඉදිරිපත් වීම ද වැරදි ය. ඒත් ප්‍රශ්නය අලාභය විශාල වීම ය.

මේ සියල්ල තුළ තිබෙන වඩාත් උත්ප්‍රාසවත් කාරණය නම් මේ සියල්ල කරන්නේ අපේ ඉරණම අප කරන ලද කර්මයන්ට අනුව සිද්ධ වේ යැයි ද අප විසින් ම විශ්වාස කරන අතරතුරේ වීම ය.

ඊළගට සිදු වන්නේ එසේ යැයි අවංකව විශ්වාස කරන අය ද රැවටීමට, වෙනත් ආකාරයක රැවටීමකට, බඳුන් වීම ය.

අපේ රටේ ඇතැම් උදවිය දිව්‍ය සැප සම්පත් පතා යන්නේ බටහිර රටවලට ය. ඒ දිවි පරදුවට තබා ගෙන ය. ඒ වුනාට මරණින් මතු දිව්‍ය ලෝකයට යන්නට ඒතරම් කරදර විය යුතු නැත. එක්තරා ධර්ම දේශනාවක දී සඳහන් කළ ආකාරයට, ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගෞරවයෙන් යුතු ව ආසනයක් පැන වීම ඒ සඳහා ප්‍රමාණවත් ය. එසේ ආසනයක් පැන වූ එක් උපාසිකාවක්  තම මරණයෙන් පසු තව්තිසා දෙව්ලොව ඉප දී මැණික් ආසනයකට උරුම කම් කීවේලු. එහෙම ඉඩකඩක් තිබිය දී මේ තරම් මහන්සි වී එරොප්පේට යන්නට දත කන්නේ මන්දැයි හුදී ජනයාගෙන් අප ප්‍රශ්න කළ යුතු ය.

එහෙම ප්‍රශ්න කළ පමණින් ඔවුන් සැලෙන්නේ නැත. ඊළග ආත්මයේ වඩා හොඳ තැනක් සඳහා ඔවුහු ආයෝජන කරන්නෝ ය. ඒ වැඩි වැඩියෙන් පන්සලට හාමුදුරුවන්ට දීමෙනි. ආනිශංස වැඩි එවැනි දාන මාන නිසා බැවිනි. ඒ නිසා පන්සල පොහොසත් වන්නේ ය. එය වැඩි දියුණු වී බබලන්නේ ය.

වයසට යන්න යන්නට මිනිසුන්ට ඊළග ලෝකය වැඩ වැඩියෙන් පෙනෙන්නේ ය. ඒ නිසා ම පිංකම් පොලවල ඉදිරියෙන් ම ඉන්නේ වයසක අය ය. ඊළග ආත්මයේ තමන්ට වඩා සුදුසු තැනක් පතා ඔවුහු පිංකම් කරන්නේ හිටු කියලා ය.

එයින් අදහස් කරන්නේ කර්මය (හොඳ හෝ නරක) ගැන මිනිසුන්ගේ විග්‍රහය තුළ ද රැවටීම හරි හරියට තිබෙන බව ය. කඨින පිංකම් කප්රුක් පූජා මේ හොඳ ලයිස්තුවේ උඩින් ම තියෙන්නේ ඒ නිසා ය. කඨින පිංකම හාමුදුරුවන්ට සිවුරු ඇන්දීම සඳහා වනවිට කප්රුක් පූජාව චෛත්‍යයට සිවුරු ඇන්දීම සඳහා වන්නේ ය. මේවා වඩාත් ම යහපත් ක්‍රියාවන්නේ කෙසේ දැයි දන්නේ හාමුදුරුවන් ම පමණ ය.

ඒ කියන්නේ කර්ම සංකල්පය තුළ ද රැවටීම අධිනිෂ්චය වී ඇති බව ය. එය මතු ව විකාරයක් ලෙස පෙනී සිටින බව ය. ඒ කියන්නේ රවටනු ලැබීම, යහපත් යැයි අප විසින් සළකා ගෞරව කරනු ලබන පාර්ශවයන්ගෙන් ද සිදු විය හැකි බව ය. ඔවුන් වුමනාවෙන් අප රවටනවා යැයි එයින් අදහස් නොවන්නේ ය. ඇතැම්හු එහෙමත් කරනවා ඇත. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ අති බහුතරය තමන් රැවටී ඇති නිසා තමන් කරන්නේ යහපත් දෙයකැයි සිතා අනුන් රැවටීම නොදැනුවත් ව කරන බව ය.

අප බුදුන් දෙසූ කාලාම සූත්‍රය නැවත උගත යුත්තේ ඒ නිසා ය. උන්වහන්සේ කාලාම සූත්‍රයෙන් අපට මෙසේ කියති.

කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැන ම තොපට විචිකිත්සාව උපන. කලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නො ගණුව (ආරංචි මාත්‍රයෙන්, අසන්නට ලැබුණු පමණින් පිළිනොගතයුතු බව), පරම්පරාකථායෙනුදු නොගණුව (පාරම්පරිකව පැවතෙන විශ්වාස ඇදහිලි අරුත්ගැන්වීම්වලට අනුකූල පමණින්ම පිළිනොගත යුතු බව), තෙල මෙසේ වී ලැ යි ද නොගණුව (යමක් “මේ අයුරින් සිදුවුණිලු” යන අදහසින් පමණක් පිළිනොගතයුතු බව), අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව (තම තමන්ගේ පිළිගත් පිටක සම්ප්‍රදාය අනුව, පොත පත සමග ගැලපුණු පමණින් නොපිළිගතයුතු බව), තර්‍කාග්‍රාහයෙනුදු නොගණුව (හුදු තර්කානුකූල වූ පමණින් පිළිනොගතයුතු බව), නයග්‍රාහයෙනුදු නොගණුව (හුදු න්‍යායන්ට අනුකූල පමණින් පිළිනොගතයුතු බව), ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව (යහපත් ආකාරයෙන් පෙනෙන්නට තිබූ පමණින් නොපිළිගතයුතු බව), අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ යි ද නොගණුව (තම තමන් සිතාබලා සුදුසු යයි සතුටින් පිළිගත් යම් විශ්වාස, ඇදහිලි, දෘෂ්ටීන් සමග ගැලපුණු පමණින් නොපිලිගතයුතු බව), භව්‍යරූපතායෙනුදු නොගණුව (මෙතෙම පූජ්‍යයෙකැයි, මොහු ගරුකටයුතුය, සුදුස්සෙක, යයි සැලකීමෙන් පමණක් පිළිනොගතයුතු බව), මේ මහණ අපට ගුරුහයි ද නොගණුව (තම ආචාර්‍යයන්, ගුරුන් විසින් කී පමණින්ම නොපිළිගතයුතු බව), කාලාමයෙනි, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

රැවටීමෙන් තොරව ජීවත්විය හැක්කේ මේ බුදු බණ පිලිපැදීමෙන් පමණකි.

ආදරය දරුණු අපරාධයකි

Police surveliance on couples

දූෂණය භීෂණය කොල්ලය
ඔය ඕන මගුලක්
ඔව්, මහ දවල් වුනත්
කරන්න අවසර තියෙනවා
පොඩ්ඩක් හෝව්
තොපිට නෙවෙයි
උන්ට
ආදරය එහෙම නෙවෙයි
ඒක හරි භයානකයි
පොඩ්ඩක් හෝව්
උන්ට නෙවෙයි
තොපිට
මං වැරදිද කියල
මහා සංඝරත්නයෙන් අහපං
මාධ්‍ය පොරකගෙන් අහපං
ඉවසලා හිටපං රෑ වෙනකම්
හැංගිලා කරපං
කරන මගුලක්
ආදරය භයානකයි
දවල් නම් ඉඩ දෙන්න බෑ – බෑ මයි

  • (ලෙනන් ලංකාවට ගෙනාවා)