ඥානසාර සංසිද්ධිය

ඥානසාර බෞද්ධ භික්ෂුවක් නොවේ. භික්ෂුවකට අවශ්‍ය ප්‍රධානම ශික්ෂාව වෙන උපේක්ෂාව ඔහු ළග නැත. තැන්පත් බව ඔහු ළග නැත. ඔහු සිවුර දරන්නේ එහි බලය දැන ගෙන මිසක එයින් වෙනත් කිසිවක් අගවන්නට නොවේ. මේ සියල්ල වටහා ගැනීමට ඔහුගේ හැසිරීම නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් ය.

ඥානසාර පුද්ගලයෙකු ඉක්මවයි. ඔහුගේ ශරීර කුඩුව ඉක්මවයි. ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වයේ නූතන සංකේතය වී හමාර ය.

ඔහු සමග හැරෙන්නට කොතරම් කිපෙන සුළු වුවත් නලින් ද සිල්වාට බැරි ය. ඔහු සමග හැරෙන්නට කොතරම් විද්වතෙකු වූව ද ගුණදාස අමරසේකරට බැරි ය. කොතරම් ඉතිහාසය හා පුරා විද්‍යාව දැන උගත් වුව ද එල්ලාවල මේධානන්ද හිමියන්ට ද කොතරම් ප්‍රිය උපදවන සුළු ශරීර ස්වභාවයක් තිබුණත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට ද බැරි ය. ඔහු මෙන් තර්ජනාංගුලිය ඔසවා “සිංහනාද“ කරන්නට මේ කාටවත් බැරි ය. ඔහු මෙන් නිර්භීත බවක් පළ කරන්නට මේ කාටවත් බැරි ය. ඒ සියළු දෙන ඔහු ඉදිරියේ අගුටු මිට්ටන් ය.

ඔහු ඔවුන්ගේ සුදු ඇඳුම් ගලවා තිබේ. ඊනියා ජාතිකවාදීන්ගේ ජාගර සිත් වටා බැඳ තිබුණු ශිෂ්ඨත්වයේ පටලයන් සාහසික ලෙස ඉරා දමා තිබේ. ඊනියා සිංහල බෞද්ධයන් තුළ තිබෙන නිහීන තුච්ඡ සිතිවිලිවලට පියාපත් ලබා දී තිබේ. දැන් සියල්ල නිරුවත් ය. සිංහල බෞද්ධත්වයම ඥානසාරගේ ගල ග්‍රහණයේ තිබෙන්නා සේ ය.

සිවුරේ බලය අවසාන කෙළවර දක්වා පාවිච්චි කරන්නට ඔහු ඇප කැප වී සිටියි. ඒ නිසා ශාසනයට වන අකටයුත්ත වටහා ගැනීමේ වුවමනාවක්වත් ඔහුට නැත. එපමණක් නොවේ. මත්පැන් බොන්නට නටන්නට බී රිය පදවන්නට යන කිසිවකින් වැළකී සිටීමටවත් ඔහුට වුවමනා නැත. ශිෂ්ඨ සම්පන්න ගිහියෙකුවත් භාවිතා නොකරන පදවැලක් ඔහු ලග තිබේ. ඒ කිසිවකින් සිවුරට වන හානිය ගැන ඔහුට වගේ වගක් නැත. බැලූ බැල්මට ඔහුව ආම්බන් කළ හැකි කිසිවෙකු නැත.

හරි වැරදි කියන්නට බුදුන් ඉදිරිපත් වූවත් ඔහු නොම්මර එකේ වාග් ප්‍රහාරයකින්ට බුදුන්ට සංග්‍රහ කරනු ඇත. බෞද්ධ යුගය දැන් අවසන් ය. දැන් ඇරඹී ඇත්තේ සිංහල බෞද්ධ යුගයයි. ඒ යුගයේ බුදුන්ට වුව ඉඩක් නැත.

මේ සියල්ලෙන් කියවෙන්නේ ඥානසාර නම් දුශ්ශීල තනි භික්ෂුවකගේ කතාව නොවේ. ඒ වත්මන් සිංහල බෞද්ධ ජාතිකත්වයේ කතාව ය. අතිශයින් පසු ගාමී, අතිශයින් රණ කාමී, අතිශයින් මුග්ධ, මිය යන අතීතයට මිසක ගොඩ නැගෙන අනාගතයට කිසි සම්බන්ධයක් නැති, සිංහල බෞද්ධ ජාතිකත්වයේ වත්මන් කතාව ය. තවදුරටත් ශිෂ්ඨත්වයෙන් ඔතා නැති නග්න ජාතිකත්වයේ කතාව ය.

තමන් සතු අතිශය දුර්වලකම නිසා බාහිර ලෝකයම ගැන නිරන්තර සැකයෙන් බියෙන් පෙළෙන ඒ නිසාම අතිශය හීනමානයෙන් පිරුණු සිංහල බෞද්ධ ආත්මයේ කතාව ය. අධිමානය ප්‍රදර්ශනය වන්නේ ඒ හීනමානයෙන් මෙහෙයවනු ලැබීමෙන් බව තේරුම් ගන්නට මනෝ විද්‍යා උපාධියක් අවශ්‍ය නැත.

ඥානසාර ඇතිවීම අහම්බයක් නොවේ. තනි පුද්ගලයෙකුගේ ආශ්චර්යයක් නොවේ. එය මහින්දගේ හෝ ගෝඨාගේ පුද්ගලික අභිමතාර්ථ සාධනයට ගොඩ නැගුනක් පමණක් නොවේ.

ඒ යුද්ධයට පෙර සිට මේ රටේ පැවති එහෙත් යුද්ධය නිසා නව ජවයකින් උපත ලැබු සිංහල බෞද්ධ ජාතිකත්වයේ කතාව ය.

ඥානසාර තුළින් එළියට පනින්නේ ඒ මනස ය. එසේ නැතිව මෙය ඥානසාර නම් පුද්ගලයෙකුගේ වැරැද්දක් හැටියට දුටුවොත් අප අනාථ ය. ඒ තුළ මහින්ද හෝ ගෝඨා පමණක් සෙව්වත් අප අනාථ ය.

එය ඊට වඩා වැඩි යමකි. ඉදිරි කාලයේදී ඥානසාරලා පැටව් ගණනින් බිහිවීමට නියමිත නිසා ඥානසාර නම් ශරීර කූඩුව හිර කළ පමණින් අපට සතුටු විය නොහැකි ය. ඒ පැටව් ගේ වැඩ කිඩ ද ඥානසාර හිරභාරයට ගත් දා අපට දැක ගත හැකි විය. රටම අගාධයට ගෙන යෑමේ අති භයානක විභවයක් මේ ප්‍රවණතාවයට තිබේ.

මහින්ද හෝ ගෝඨා බලයට ගෙන ඒමට ඔවුන්ට වුවමනා බවට සැකයක් නැත. එහෙත් එයට ඇති ඉඩකඩ අඩුනම් තුන්වෙනි කෙනෙක් හෝ එහි නායකත්වයට ගෙන ඒමට පවා ඔවුන් කටයුතු කරනු ඇත. මෛත්‍රී වුව ඒ සඳහා පෙළගස්වා ගත හැකි නම් ඔවුන් මහින්දට කුද ගහගන්නට කියා ඔහු පස්සේ යනු ඇත.

ඒ නිසාම අද යුගයේ කාර්යය භාරය මහින්ද විරෝධයෙන් එහාට ගිය මේ ප්‍රවණතාවයේ භයානක විභවය හෙලි කරන එකක් බවට පත් විය යුතු ය.

මේ ඥානසාරලා ගැන කර අධි තක්සේරුවක් නොවේ. ඥානසාරලා අයිති අතීතයට ය. ඒ නිසා ඥානසාරලා පෙන්නන තරම් ශක්තිමත් නැත. ඒ නිසාම ඥානසාරලාට රට ඉදිරියට යන ගමන නවතාලිය නොහැකි ය.

එහෙත් එසේ වූ පමණින් අපට සතුටු විය නොහැකි ය. ඒ ඔවුනට එම ගමන පමා කළ හැකි නිසා ය. තව දශක ගණනක් ආපස්සට තල්ලු කළ හැකි නිසා ය.

සිංහල බෞද්ධ ජාතිකත්වයේ විකාර රූපි බවෙන් දැනටමත් හෙම්බත් වී ඇති රටකට එය අතීශයින් පීඩා කාරී විය හැකි ය.

කණ පිරෙන බණ හා මග හැරෙන නිවන් මග

සෙව්වෙමි අමා මහ නිවන
බණ ද ඇසුවෙමි බණ පොත් ද බැලුවෙමි
සංයුත්ත නිකාය ද පෙරලුවෙමි බැලුවෙමි
සති පට්ඨානය හොඳින් හුරු කළෙමි
අවබෝධ වී යැයි සිතුණ සැණෙකින්
මග හැරී ගිය බව දැනිණ මා පැතූ ඒ නිවන

එක බණක් අසා හැකි යැ
දිගටම අසන්න – කෙළවර ලැබේවි ය නිවන

ඒ ගුරු උවදෙස ද ගෙන
ගියෙමි කිරිබත්ගොඩට
අනුරපුරට හා පොළොන්නරුවට
ඒ අසපුවට අර අරාමයට
මේ පන්සලට අර භාවනා පන්තියට
ඒත් වැටහුණේ නැත නිවන
වැටහුණා යයි දැනුණ විගසම
මග හැරී ගියා එය

ගුවන් විදුලියෙ රූප පෙට්ටයෙ
පාරෙ ලයිට් කණුවෙ ගසා ඇති ස්පීකරයෙ
දිගට හරහට
කණ පිරෙන්න ද ඇසූ මුත්
ලැබුනේ නැතිය මා පැතූ ඒ නිවන

තවත් බණ අසා මිස හඟින්නට බැරි දෝ
බුදුන් දැක මිස ලබන්නට බැරි දෝ
සසර කෙළවර මිස විඳින්නට බැරි දෝ
දෙව් මිනිස් සැප තාම ලැබුණාද මදි දෝ

ආගම, රජය හා පාසල

බුද්ධාගම රැකීමේ කාර්යය අපි රජයට බාර දෙනවා නම් ශාසන විරෝධී කටයුතු කරන භික්ෂූන් පාලනය කිරීමේ ක්‍රමවේදයක් සෑදීමටත් ඊට අයිතිය දිය යුුතු ය. කුඩා දරුවෙකු බලා ගන්නට කියා බාර දී ඔහුට නීති හෝ තහංචි දමා අවහිර කරන්නට එපා යැයි කීම විහිළුවකි. බුද්ධාගම කුඩා දරුවෙකු ලෙස සළකන්නට මා කැමති නැත.

බුද්ධාගමට තමන්ගේ ආරක්ෂාව බලා ගත හැකි ය. සුවිශේෂී තැනක් ඊනියා ව්‍යවස්ථා පඩංගුව තුළ වචනයෙන් නොදුන්නාට හාමුදුරුවන් විනාශ නොකරතොත් තවදුරටත් ජනතා සිත් සතන් තුළ එයට සුවිශේෂී තැනක් ලැබෙනු ඇත. ඒ නිසා මගේ අදහස නම් රජය හා ආගම වෙන්විය යුතු බව ය. ලෝකොත්තර කටයුතු ආගමට කරන්නට ඉඩ දී රජය ලෞකික කටයුතු කිරීමට නිදහස ලබා ගත යුතු බව ය.

ධීවර අමාත්‍යංශයේ උත්සවයක දී පන්සිල් අර ගැනීමට සිදු වීමේ අර්බුදයට එහි සේවකයින් එවිට මුහුණ දෙන්නේ නැත.

ආගමික උත්සව ආගමික ලෙස පැවැත්වීමටත් රාජ්‍ය උත්සව ආගමෙන් තොරව පැවැත්වීමටත් වැනි සිල්ලර දේ වලට අමතරව වඩාත් බරපතල ලෙස ආගම රජයෙන් වෙන් කිරීමේ තීරණාත්මක වැඩ පිළිවෙලක් ද අවශ්‍ය ය. එහි ආරම්භය ගත යුත්තේ පාසලෙනි.

ආගම උගන්වන ගුරුවරයා ඇවිත් සතුන් මැරීම පාපයක් යයි කියන පාසල තුළම ආර්ථික විද්‍යා ගුරුවරයා ඇවිත් අපේ රට මහ සයුරින් වටව ඇති නිසා අපට අති විශාල මත්ස්‍ය සම්පතක් ඇතැයි කී විට අර්බුදයකට යන්නේ ළමා මනස ය. සෞඛ්‍ය පාඩමේ දී සමබල ආහාර වේලක මස් මාළු අඩංගුවන විට අර්බුදයකට යන්නේ ද ඒ ළමා මනසම ය. ඒ උගැන්ම තුළ දෙබිඩි චරිත පහළ වීම ස්වභාවික ය. එකිනෙකට පරස්පර දේ දරා ගෙන සිටීමේ මේ හැකියාව පෞර්ෂ වර්ධනයේ දී අර්බුදයන් ඇති කරන අතර වංචනිකයන් බිහිකිරීමට එය අවශ්‍ය වටපිටාව ද සකසන්නේ ය.

අපේ ගොනුන් නොමරා පිටරට මරන ලද හරකුන්ගේ මස් අපට කවන්නට යන්නේ ද මෙසේ වැරදියට පුරුදු පුහුණු කරනු ලැබූ වංචනික ආත්මය නිසා ය.

බොහෝ ආගමික මතිමතාන්තර පාසලේ දී අප උගන්නා විද්‍යාවට එරෙහිව යයි. නැබ අතගා දරුවන් පිළිසිඳ ගැනීමේ සිට පුරුෂයෙකුගේ මැදිහත් වීමකින් තොරව දරුවන් ඉපදීම දක්වා ද ඉපදුනු ගමන් දරුවන් ඇවිදීමේ සිට මිනිසෙකු දිය මත ඇවිදීම දක්වා ද ආශ්චර්යයන් වලට සවන් දීමට එහි දී දරුවන්ට සිදු වේ.

බොහෝ විද්‍යාව උගන්වන ආචාර්ය මහාචාර්යවරු ඉංජිනේරුවන්ට අමතරව ගෙවල් හදන්නට වාස්තු විද්‍යාවේ පිහිට පතන්නේ ද වෛද්‍යවරුන්ට අමතරව දේවියන්ගේ ආශිර්වාදය ඉල්ලන්නේ ද මේ නිසා ය.

මැතූරූ හක් ගෙඩි විකුණා පොහොසත් වන්නට වංචනිකයන්ට අවස්ථාව පෑදී ඇත්තේත් අසරණ වී ඇති මිනිසුන්ට පිහිට වෙන මුවාවෙන් ඔවුන්ගේ යටි මඩියට අත පොවන්නට තුට්ටු දෙකේ මිනිසුන්ට හැකිව ඇත්තේත් මේ නිසා ය.

තමන්ගේ දේවාලේ කොත හොරකම් කරගත්විට පොලීසියට දුවන කපුවාගෙන් නැති වූ දෙය සොයා ගැනීමට මිනිසුන් පෙළඹෙන්නේත් මේ නිසා ය.

රාහු කාලය කියා වැඩ අතපසු කරන්නේත් හතර කේන්දරේ පාලුවෙලා කියා යසට ඉන්නා දරු දැරියන්ගේ අනාගතය අඳුරු කරන්නේත් මේ නිසා ය.

කිසිදු ආගමක් නරක නැත. ඒ නිසා ඒවා තහනම් කළ යුතු නැත. එහෙත් විචාර ශීලිව ඒවා දෙස බලන්නට දරුවන්ව යොමු කළ යුතු ය. බොහෝ ආගම්වල ශාස්තෘන් අදහස් කළ දේ අභිබවමින් පසු කලෙක එකතු වූ කුණු කන්දල් ද බොහෝ තිබිය හැකි ය. සමහරක් දේ සිය ශාස්තෘන් කෙරෙහි දැඩි ඇල්මක් ඇති කිරීම සඳහා නිර්මාණාත්මකව එකතු කළ සාහිත්‍යයට අයත් ය. ඒවා පිළිබඳ සංවාදයක් ආගමික ආයතන තුළම ඇති කළ හැකි ය. ඒ නිසාම ඒ සියල්ල ලෞකික ජීවිතයෙන් වෙන් කර තැබීම යහපත් ය.

සමහරෙකුට මෙවැනි යෝජනාවක් පවා නිවුනු සිතකින් විමසන්නට බැරි ය. හේතුව ඔවුන් ආගම වැරදි කොණකින් අල්ලා ගෙන සිටින නිසා ය. ඒ නිසාම මේ කාර්යය අමාරු ය.

ආගමත් රැකගෙන රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එසේ කිරීමට රජයට ධෛර්යයක් ඇත්තේ නම් හා එසේ කිරීමට ජනතාව තුළ සිටින තීරණාත්මක පිරිසකගේ ආශිර්වාදය ලැබේ නම් ය .