සුන්දර අතීතය හා බියජනක අනාගතය

බොහෝ දෙනෙකු අතීතයට කැමති ය. එය දැන් ගෙවා අවසන් නිසා බොහෝ විට අතීතය අභියෝග ගෙන එන්නේ නැත. කරන්නට තිබෙන්නේ ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් ඒ තුළ ගැලී අපූරු, අහිංසක, විචිත්‍ර සිහින අතර ජීවත් වීම ය.

අනාගතයේ කුමක් වේ දැයි අප දන්නේ නැත. බොහෝ දෙනෙකුට ලොකුම කරදරය ඒ නිසා අනාගතය ය. සිදුවන්නේ කුමක්දැයි හරි හැටි නොදන්නා අවිනිශ්චිත අනාගතය ය. අවදානමක් සහිත අනාගතය ය. ඒ නිසා ඇතැමුන් ඒ අනාගතය ගැන හිතමින් හිත කරදර කර ගනිති. තවත් අය බය නිසා ම ඒ ගැන නොසිතා ජීවත් වෙති.

නොදන්න දෙවියාට වඩා දන්න යකා හොඳ වන අපට නොදන්න අනාගතයට වඩා දන්න අතීතය හොඳ වීම අරුමයක් නොවේ.

ගැටළුවකට ඇත්තේ ඒ අතීතය තුළ මතකයට අප තුරුළු කර ගෙන ඇත්තේ බොහෝ විට අපට ප්‍රිය උපදවන දෙය පමණක්  ය. ඉතිරිවා අපි මකා දමා තිබීම ය. කළු යකා සුදු කර තිබීම ය.

නවක වදයට භාජනය වූ බොහෝ දෙනෙකුට මතක ඒ් පරපීඩක ක්‍රියාව තුළ හදිසියෙන් මතු වූ හාස්‍යය පමණ ය. ඒ ක්‍රියාවලිය තුළ ප්‍රදර්ශනය වූ අජූව අමතක කොට මේ හාස්‍යය මතක් කර ගනිමින් එය සුන්දර යයි ඔවුහු හඟිති. එය සෙස්සන්නට ද හඟිස්සවන්නට කටයුතු කරති. ඔවුන්ට නවක වදය නැවත මුලිච්චි කළ හැකි නම් පමණක් ඔවුන් ඒ පිළිබඳව තම අදහස වෙනස් කරගන්නවා ඇත.

සුන්දර පාසල් සමය ගැන කතා කරන විට අපට මතකයට නගා ගන්නේ යහළුවන් සමග ගත කළ ප්‍රීතිමත් කාලය ය. පාසලේ දී මැර කොල්ලන්ගෙන් ද අසාධාරණ ගුරුවරුන්ගේද ලැබූ දහසකුත් එකක් අඩම්තේට්ටම් අපට මතක් වන්නේ නැත. විභාගය අභාග්‍යයක් වූ හැටි මතක් වන්නේ ද නැත. ශරීරයේ සිදු වූ වෙනස්කම් සමග ගනුදෙනු කරන්නට දන්නේ නැතිව අසරණ වූ හැටි මතක් වන්නේ ද නැත. වැහි දිනක කොතරම් සතුටින් ගෙදර ගත කළේ ද යන්න සිහිපත් වන්නේ නැත.

අමිහිරි මතකයන් අකා මකා දමා සුන්දර මතකයන් පමණක් තුරුළු කර ගැනීම නිසා අපි අතීතයට කැමැත්තෙමු. ඒ් සුන්දර අතීතය නැවත එනවාට කැමැත්තෙමු. එය නැවත නිර්මාණය කරන්නට කැපවන්නට ද අපට ඒ නිසා ම වුවමනා ය.

ට්‍රැක්ටර් නැතුව මී හරක්ගෙන් කුඹුරු හානවා දකින්නට සමහරු කැමති ය. ඒ හානා අය නොවේ ය. බලා ඉන්නා අය ය. හානා අය නම් එවැන්නක් ගැන හිතන්නටවත් කැමති නැත.

බ්ලෙන්ඩර් හා ග්‍රයින්ඩර් විසිකොට මිරිස්ගල, වංගෙඩිය, මෝල්ගහ තුරුළු කර ගැනීමට ඔහු කැමති ය. එයට අකමැති ගැහැණියට, සිය නිවසේ දී නැතත්, සමාජය ඉදිරියට පැමිණ ඔහු දෙස්දෙවොල් තියන්නේ ය.

සුවපහසු ඇඳක නිදාගන්නේ වුව ද පැදුරක් අතගා බලන්නට ඔහු කැමති ය.

දැන් මී හරක් නැත

අවාසනාවට අතීතය නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි තරමට දුරක් අප ගෙවා අවසන් ය. හාන්නට තරම් මීහරක් අපට නැත. මීහරක් ගෙන හාන තාක්ෂණය දන්නා මිනිසුන් ද නැත. ට්‍රැක්ටර් තිබිය දී මීහරකුන්ගෙන් හාන්නට යන “මීහරකුන්“ ද ගොවීන් අතරින් නම් හොයා ගැනීම අමාරු ය. ග්‍රයින්ඩර් බ්ලෙන්ඩර් විසිකර කුස්සියට වී පැරණි ක්‍රමයට ජීවත්වෙන්නට කැමති ගැහැණුන් ද අඩු ය.

ඒත් අතීතයට ආලය කරන මිනිසුන්ට එයින් ගැලවීම උගහට ය. ඔවුන් ඉඩ ලැබුනු හැම වෙලාවකම එහි ඇලෙති. ගැලෙති. ඔවුන්ට මහ ගෙදර විකුණන්නට බැරි ය. එය වෙනස් කරන්නට බැරි ය. පරණ බඩු විසි කරන්නට බැරි ය. හැම දෙයක් ම සමරුවක් වන නිසා ය. ඔවුන්ට පරණ සම්බන්ධකම් කොතරම් අප්‍රසන්න වුව ද ඒවායින් මිදෙන්නට බැරි ය. පරණ පුරුදු කොතරම් යල් පැන ගියේ වුව ද ඒවායින් ගැලවෙන්නට ද බැරි ය.

පරණ ආකල්ප කොතරම් නොගැලපෙන්නේ වුව ද යල් පැන ගියේ වුව ද ඒවායින් නිදහස් වන්නට ද ඔහුට බැරි ය. ඔහුට අතීතයේ මෙන් රජෙකු අවශ්‍ය ය. රජ පෙළපතක් අවශ්‍ය ය. මරණ දඩුවම අවශ්‍ය ය. මරණ දඩුවම දෙනවිට පවා රජ කාලේ මෙන් ගල් ගසා මරන්නට වුවමනා ය.

ගැහැණුන්ට පෙර කාලයේ මෙන් සාරි, ඔසරි හෝ හැකි නම් චීත්ත අන්දන්නට ඔහුට අවශ්‍ය ය. අඩු ගණනේ අවුරුදු කාලයේ වත් චීත්තයෙන් ගැහැණුන් සරසන්නට ඔහුට වුවමනා ය.

ජිම් එකට යන මල්ලිලා කුඹුරට දක්කන්නටත් නංගිලාට මෝල්ගහ ගන්නා ලෙස කීමටත් ඔහුට වුවමනා ය.

වසර ගණනාවකින් පසුව ද අප දකින්නේ පරණ පුරුදු මිනිසා ය. එදා කළ දෙයම ඒ් විදිහටම කරමින් ඉන්නා පරණ මිනිසා ය. හාත්පස සිදුවෙමින් පවතින වෙනසට දෙස් දෙවොල් තබමින් ඉන්නා මිනිසා ය. හැකිනම් නැවත ඒ මියගිය අතීතය ගොඩ ගැනීමට තමන් කළ හැකි යමක් කරන්නට පසුබට නොවන පරණ මිනිසා ය. සියල්ල වෙනස් වුව ද තමන් ඉන්ද්‍ර ඛීලයක් ලෙස නොසැලී ඉන්නා බවට වගාඩම්බර කියන පැරණි මිනිසා ය.

ඒ් වගාඩම්බරය අස්සෙන් හදිසියේ යථාව ද මුණ ගැසෙන්නේ ය. ඒ් යථාව නැවතත් මුසු වන්නේ මායාව සමග ය. අතීත මායාව සමග ය. වත්මනට පිවිසි විට මුණ ගැහෙන යථාර්ථයට ගැලපෙන පරිදි කලිසම අඳින්නේ වුව ද ඔහු චන්දය දෙන්නට සොයන්නේ තවමත් සරම අඳින ගමේ බයියෙක් වන්නේ ඒ අනුව ය. චන්දය දීමට සරම අඳින ගමේ බයියෙකු සොයන අතීත කාමී ගැහැණිය පවා කසාද බැඳීමට කලිසම අඳින නගරයේ ටොයියෙකු සොයන්නේ ද ඒ අර්ථයෙනි.

එහෙත් සමහරුන්ට අතීතය ද එතරම් ප්‍රසන්න නැත. ඒ කුඩු කෑ විත්ති තිබෙන නිසා ය. කොයි වෙලේ හෝ හවුලේ කුඩු කෑ අනෙකා විසින් කුඩු කෑ විත්ති හෙලිදරව් කළ හැකි නිසා ය

“කුඩු කෑ“ විත්තියක්, නිතර අළුත් වන පැරණි තුවාලයක්, පරණ කෝන්තරයක් හැරුණු විට අතීතය එහෙමට අපව බියපත් කරන්නේ නැත. ඒ සියල්ල ද පැරණි අතීතය නිසා අනාගතයේ විය හැකි දේ සම්බන්ධයෙන් වන අවිනිශ්චිතතාවයෙන් උපන් ඒවා ය. ඇත්තටම එහි බර පැන ද දැරිය යුත්තේ අනාගතයේ ය. අවිනිශ්චිතතාවයේ හෙවනැල්ලෙන් අප බිය වද්දන අනාගතයේ ය.

නොදන්නා කම

අතීතය ගැන ඇති අපේ ආදරය වඩාත් දැඩිව ඇත්තේ අපේ නොදන්නා කම නිසා ය. අතීතය ගැන කතා කරන බොහෝ දෙනෙකු සිතන්නේ අතීතයේ දී මිනිසා වඩා හොඳින් ජීවත් වූ බව ය. ඇත්ත ඊට සහමුලින්ම වෙනස් ය.

අතීතකාමීන්ට අනුව අතීතයේ මිනිස්සු අදට වඩා වැඩි කලක් ආයු වැළඳුවෝය. ලෙඩ රෝග වලින් පීඩා නොවින්දෝ ය. ඇත්ත ඊට හාත්පසින් ම වෙනස් ය.

දහනම වන සියවසේ දී මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය වූයේ වසර තිහකි. ඒ් ලොව පුරා පැතිර ගිය වසූරිය මහාමාරිය සෙංගමාලය කොලරාව උණසන්නිපාතය මැලේරියාව පෝලියෝ වැනි ලෙඩ රෝග නිසා බොහෝ දරුවන් පමණක් නොව මිනිසුන් ද ආකාලයේ මිය ගිය නිසා ය. එකල මේ බොහෝ ලෙඩ රෝග වලට පිලියම් තිබුනේ නැත. එපමණක් නොවේ. අද කරන බොහෝ සැත්කම් කිරීමට වෛද්‍ය විද්‍යාව නොදියුණු මට්ටමක තිබීම හේතුවෙන් දරුවන් වැදීමේ මියගිය අම්මලා ගණන ද සුළුපටු නොවී ය. පිස්සු බලු රෝගයෙන් ද සර්ප විසෙන් ද මියගිය ගණන සැළකිය යුතු අගයක් ගත්තේ ය.

ආයුකාලය පිළිබඳව ලෝකයේ 70 වෙනි ස්ථානයේ සිටින ලංකාවේ පිරිමියෙකුගේ සාමාන්‍ය ආයුකාලය 2018 වසරේ සංඛ්‍යාලේඛන වලට අනුව 72 ක් ද කාන්තාවකගේ 78 ක් ද වන්නේ ය.

අතීතකාමින් මොනවා කිව්වත් ලෝකය හැරී ඇත්තේ බොහෝ කරුණු වලින් යහපත් අතට ය. මානසික රෝගීන් පමණක් නොව ලාදුරු වැනි රෝගීන් ද සමාජයෙන් පිටමං කර තැබුනේ ඉස්සර ය. දැන් එසේ නැත. කාන්තාවන් ද දරුවන් ද අතීතයට වඩා අද බොහෝ වරප්‍රසාද විඳිති. අප කුඩා කල ප්‍රචලිතව තිබූ ළමා මෙහෙකාර කම අද දකින්නට පවා නැත.

අතීතකාමීන්ට අනුව ලොව අපරාධ වැඩි වී ඇත. එහෙත් දත්ත හා තොරතුරු කියන්නේ මුළුමණින්ම වෙනස් කතාවකි. බොහෝ රටවල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ අපරාධ වසරක් පාසා අඩුවන බව ය. දහනම විසිවෙනි සියවසේ මැද භාගය වන තෙක්ම යුද්ධය සාමාන්‍ය දෙයක් වී තිබුනේ වුව ද අද යුද්ධය පවා අප දකින්නේ කලාතුරකින් ලොව අහුමුළු කීපයක පමණි.

ජීවන තත්වය සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂා කරන විට අනාවරණය වන්නේ පැරණි රජෙකුට වඩා යහපත් ජිවන තත්වයක් අද ජීවත්වන සාමාන්‍ය මිනිසෙකුට තිබෙන බව ය.

හර පද්ධතිය

මේ වෙනස්කම් නිසාම අපේ හර පද්ධතීන් ද වෙනස් ව තිබේ. අපේ පරම්පරාවේ පැරැන්නන් කියන එක් කතාවක් වන්නේ ඔවුන් තුළ තිබුනු අරපරෙස්සම වත්මන් තරුණයන් තුළ ‌නොමැති බව ය. හාල් ඇට කීපයක් අහුලන්නේ තැතිව අතුගා විසිකිරීමේ වරදට යහමින් ගුටි කෑ කෙනෙකු මට මේ මෑතක දී මට මුණ ගැසුනේ ය. හාල් ඇට කීපයක් අහුලනවාට වඩා වැදගත් වැඩ අද තරුණයන්ට තිබේ. අපේ පරපුරේ පැරැන්නන්ට ආහාර අද කාලයේ මෙන් සුලබව තිබුනේ නැත. ඒ් නිසා ම ඒ කාලයේ හරපද්ධතිය තුළ එවැන්නක් තිබීම සාධාරණ ය. ප්‍රශ්නය එය අද ද අපේක්ෂා කිරීම ය. එසේ නොවන කල කළකිරීම ය. ලොකුවට ආඩපාලි කීම ය.

ආහාර පමණට ම හර පද්ධතීන් ද යල් පැන යන්නේ ය. එවිට ඒවායේ එල්ලී සිටීම මෝඩ කමකි. අන් සියල්ල අත්හැරිය ද මේ වටිනාකම් අත් හැරීමට බොහෝ දෙනෙක් ලෑස්ති නෑත.

අතීතයේ සිවුරට ගරු කරන ලද්දේ හාමුදුරුවරුන් ඇසූ පිරූ අය වීම නිසා ය. උන්වහන්සේලා ධර්ම දේශකයන්ට අමතරව ගුරුවරුන් ද වෙදමහතුන් ද වූ නිසා ය. හැම අතින්ම ගරුකටයුතු වූ නිසා ය. ප්‍රයෝජනවත් වූ නිසා ය. උන්වහන්සේලා විසින් සලසන ලද සේවය මුදලට ගත නොහැකි වූ නිසා ය. ඒ් සඳහා වඩා සුදුසුකම් ලැබූ වෘත්තිකයන් අද සිටින නිසා අද ඒ සියල්ල හාමුදුරුවන් නැතුවාට මුදලට ගත හැකි ය.

අතීතයේ දී වැඩිහිටියන් පුදනු ලැබුයේ දැනුම හා අත්දැකීම්වල ඒකාධිකාරය ඔවුන් සතු වූ නිසා ය. අද දැනුම තිබෙන්නේ මිනිසුන් ලඟ නොවේ. අන්තර් ජාලයේ ය. වෙනදා ලැබූ වටිනාකම වැඩිහිටියන් විසින් ඒ විදිහටම අපේක්ෂා කරනු ලැබීම ඒ නිසා වැරදි ය.

බොහෝ දෙනෙකුට අතීතය තුළ ජීවත්වීමට අවශ්‍යව ඇත්තේ මේ වෙනස්වීම් අප රැගෙන යන්නේ කවර ආකාරයේ අනාගතයකට දැයි නොදන්නා ද නිසා ය. ඒ් පිළිබඳව ඇති සැකය නිසා ය. බිය නිසා ය. ඒ නැතුව අතීතය යහපත් නිසා නොවේ.

එයින් අදහස් කරන්නේ අද දවස සෑම අතින්ම යහපත් බව නොවේ. අපි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇති වන තිබෙන අතුරුඵල වල ගොදුරු වී ඇත්තෙමු. පරිසර දූෂණය නිසා මතුව ඇති ප්‍රශ්න වලින් පීඩා විඳින්නෙමු. ඒ සියල්ල ද අතීතයට නැවත යෑමට මිනිසුන් පොළඹවන සැබෑ හේතු බව ඇත්ත ය.

අතීතයට යෑමට මෝටර්රථයට ආයුබෝවන් කියා කරත්තයකට නැගිය යුතු ය. කැකුණ තෙල් යොදා නිවෙස් ආලෝක කර ගත යුතු ය. ලෝකය හකුළුවා දමා ගමට යා යුතු ය. ලොකුවට කතා කළාට එහෙම කරන කෙනෙක් නැත. ඒවා කාපු බීපු වෙලාවට කියන කතා පමණ ය.

අභියෝගයට මුහුණ දීම

බොහෝ දෙනා තේරුම් නොගන්නා කාරණය වන්නේ වත්මන අප මුහුණ දෙන ප්‍රශ්න අපට අතීතයට යාමට නොව වඩාත් ඉක්මණින් අනාගතයට යෑමට හේතුවක් විය යුතු බව ය. අප කළ යුත්තේ කැකුණ හොයනවා වෙනුවට ඉක්මණින් සූර්ය බල ශක්තියට මාරු වීම ය. එය රාත්‍රි කාලයට ද ප්‍රයෝජන ගත හැකි ලෙස ගබඩා කර ගත හැකි  ලාභදායි විකල්ප සෙවීම ය. මෝටර් රථයට විකල්ප සෙවිම ය. ප්‍රතිරෝධය අඩු මාධ්‍යයක ගමනකට මාරු වීම ය. ගම වසා කැලෑ ඇති කොට නගරයට එක් වීම ය. නගරය තුළ තිරස් සංවර්ධනය වෙනුවට සිරස් සංවර්ධනයට මාරු වීම ය.

එකිනෙකා හා තරඟයට ළමයි හදමින් ගෝරි දා ගැනීමට සූදානම් වීම වෙනුවට, ඒ හරහා දැනටමත් ලොවට බරක් වී ඇති ජනගහණය තවත් වර්ධනය කිරීමට දායක වනු වෙනුවට, ගුණාත්මක දරුවෙක් දෙන්නෙක් හැදීමට හිත හදා ගැනීමට ය. පින්මඳ පුතුන් සියයක් හැදුවත් නිසරු බව දැන ගුණ නැණ ගුණෙන් යුතු පුතෙකු දුවෙකු හදන්නට හිත හදා ගැනීම ය.

ලොවේ ජයග්‍රහණය දැනට ද හිමිව ඇත්තේ එක්කෝ එහෙමට ඉතිහාසයක් නැති ජාතීන්ට ය. නැතිනම් ඒ ඉතිහාසය කර ගසා ගෙන ඉන්නේ නැතිව බිම තියන්නට තරම් හයියක් හා නුවණක් තිබුණු ජාතීන්ට ය.

වංශය කබල් ගගා හිටියාට වැඩක් නැත. වසර දෙදහස් පන්සියයක මහඟු ඉතිහාසය ලියැවී ඇති මහාවංශය වනපොත් කළාට වැඩක් නැත. “මහා” වංශයෙන් කතා කළාට ද වැඩක් නැත. රාවණාට පණ දීමට උත්සහ කළාට ද වැඩක් නැත. ඒ වෙනුවට ලොව ජයගත හැකි විද්‍යාව හැදෑරිය යුතු ය. එය ප්‍රයෝජනයට ගන්නා හැටි කියවෙන කළමනාකරණය හැදෑරිය යුතු ය. ජීවිතය සුවපත් කරනු සඳහා ද ජීවිතය විඳීම සඳහා ද කලාවෙන් සාහිත්‍යයෙන් දර්ශනයෙන් ගත හැක්කේ කුමක් දැයි සෙවිය යුතු ය. අතීතයේ ශේෂයන් ලෙස අදට ද අපට වද දෙන ආගමික අන්තවාදය ජය ගත හැක්කේ කෙසේ දැයි විමසිය යුතු ය. එකිනෙකාට ගරු කරමින් එකිනෙකාගේ වෙනස් කම් ඉවසමින් ජීවත් වන්නේ කෙසේ දැයි පිළිබඳව සෙසු රටවලින් උගත යුතු ය.

අතීතය අවැදගත් යැයි ද එය පිළිකුලෙන් බැහැර කළ යුතු යැයි ද මෙයින් අදහස් කරන්නේ නැත. අතීතය වරින් වර ආවර්ජනය කර එයින් කිසියම් උත්තේජනයක් ලබා ගැනීමේ අවුලක් නැත. එහෙත් ඒ තුළ ගිලී එය අනුභව කරන්නට සූදානම් වීමෙන් වන්නේ අවුලකි. එය රැකගැනීමට අනාගතයට පිටුපාමින් පිට පොට ගැසීමට ඉදිරිපත් වන්නේ නම් සිදුවන්නේ අවුලකි.

ඇතැමුන් එසේ කරන්නේ නොදැන, මෝඩකමට ය. ඇතැමුන් එසේ කරන්නේ දැන, වාසියට ය.

පළමු ඝනයට ඊනියා විද්වතුන් වැටෙන විට දෙවැනි ඝනයට දේශපාලනඥයන් ද දේශප්‍රේමීන් ද වෙනත් රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් ද වැටෙන්නේ ය.

විද්වතුන් පළමු ඝනයට වැටෙන්නේ ඔවුන් දක්ෂ විශ්ලේෂණයට නිසා ය. විශ්ලේෂණය කළ හැක්කේ අතීතය පමණකි. ඒ අතීතය යුග වලට බෙදිය හැකි ය. ඒ එක් එක් යුගය සම්බන්ධයෙන් කරුණු සංඛ්‍යාලේඛන තිබෙන්නේ ය. ඒවා පදනම් කර ගෙන එක් එක් යුගය විශ්ලේෂණය කළ හැකි ය. එහෙත් අනාගතය සම්බන්ධයෙන් ඒ කිසිවක් බැරි ය. අනාගතය දැකිය හැක්කේ සිහිනයක් හැටියට ය. අද සිදු වෙන දේ වල එකතුවක් හැටියට ය. සංශලේෂණයෙන් ය. විද්වතුන්ට සංශ්ලේෂණය අරහන් ය. ඒ නිසා විද්වතුන්ට අනාගතය මවා ගත නොහැකි ය. ඒ නිසා ඔවුන්ගේ නොදැනුම ගැන සමාව දිය හැකි ය. එහෙත් ඔවුන් එයින් ගලවා ගත යුතු ය. ඔවුන් අනාගතය පිළිබඳ නව දැනුමෙන්  ශක්තිමත් කළ යුතු ය.

දේශපාලනඥයන් හා දේශප්‍රේමීන් යන දෙගොල්ලන්ම ගහන්නේ ගේමකි. ඒ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට ය. සංක්‍රමණය වූවන්ට අවශ්‍ය, තමන් නැවත එන විට ද අර පැරණි රට දකින්නට ය. බැරි වෙලාවත් රට දියුණු වී තිබුණොත් තමන් ගිය ගමනෙන් වැඩක් නොවන නිසා ය.

මේ ලිපිය පළමු අයට ය. ඒ දෙවැන්නන්ගෙන් රට ගලවා ගැනීමට, පළමු වර්ගයට ශක්තියක් වීමට ය.

නමක් ගමක් නම් දන්නෙ නැහැ, හැබැයි මනුස්සයෙක්

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/11/25/1020_25112019_FSS_CMY.jpg

නමක් ගමක් නම් දන්නෙ නැහැ. හැබැයි මනුස්සයෙක්. මේ අපූරු වෙළඳ දැන්වීමක තිබූ දෙබසක කොටසකි. ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශනයේ දිගින් දිගට ම ප්‍රචාරය වූ නිසා බොහෝ දෙනෙකුගේ මතකයේ මේ අපූරු දෙබස සටහන් වන්නට ඇත.

පසුබිම මෙසේ ය. වාහනය පණ ගන්වා ගත නොහැකිව කාන්තාවක් හා වයසක පියෙකු අතරමං ව සිටිති. එතැනින් යන මිනිසෙකු මේ දැක නැවතී සිය ශිල්පීය කුසලතා ද භාවිතා කොට රථය පණ ගන්වා දෙයි. පියා දියණියගෙන් අසන්නේ ඔහු කවරෙකු ද යන්න ය. ඉහත කී උත්තරය ලැබෙන්නේ එවිට ය.

මනුස්සයෙකු යනු උසස් මනසක් ඇති පුද්ගලයෙකි. මේ කියන පුද්ගලයාට උසස් මනසක් තිබෙන්නේ පැති කඩ දෙකකිනි. එකක් මග හැර නොයා උදව් දෙන්නට කැප වීමට ඇති හෘදයාංගම මිනිස් කම ය. අනෙක සිදු වී ඇති ප්‍රශ්නය ඉක්මණින් හඳුනා ගැනීමට හැකි ශිල්පීය දක්ෂතාවය හා පැසුණු නුවණ ය. කෙටියෙන් කියන්නේ නම් ඔහු සතුව තිබුනේ ගුණ නැණ දෙක ය.

කරුමයකට මිනිසුන් දෙස මෙසේ බලන්නට අපට බැරි ය. අප ඉගෙන ගෙන තිබෙන්නේ ම මිනිසුන්ට නමක් ගමක් පැටිකිරියක් හා ඉතිහාසයක් දෙන්නට ය. ඒ ලේබල් හරහා ඔහු ඇය දෙස බලන්නට ය. ඔහුගේ ඇයගේ වටිනාකම ඔහු හෝ ඇය සතු ගුණ දහමෙන් හෝ කුසලතාවලින් නොමැණ, ඔහු ඇය අයිති කණ්ඩායම ඇසුරෙන් සොයන්නට ය. ඔහුගේ ජාතකය ඇසුරෙන් සොයන්නට ය. ඇයගේ වගකීමක් නොවන ඇය මත කඩා පාත්ව ඇති උරුමය ඇසුරෙන් සොයන්නට ය. ඇයගේ ඉතිහාසය ඇසුරෙන් සොයන්නට ය.

මා සිංහලයෙකු වූයේ ඉල්ලුම් පතක් දමා ඇප්ලයි කොට නොවේ. මගේ කිසියම් දක්ෂතාවයක් හෝ ගුණ යහපත් කමක් නිසා නොවේ. එය මගේ ජන්මයෙන් මා වෙත ලැබුණු ලේබල් එකකි. ඒ සම්බන්ධයෙන් මට කළ හැකි දෙයක් නැත. ඇත්තටම ඒ ප්‍රශ්නයේ දී මා අසරණ ය.

ඒ කීවේ සිංහලයෙකු වීමේ තීන්දුව සම්බන්ධයෙන් මා අසරණ බව මිසක සිංහලයෙකු වීම කෙනෙකු අසරණ කරන්නේ යැයි කියා නොවේ. ඇත්ත කතාව නම් එය කෙනෙකු ශක්තිමත් කරන බව ය. බහුතරයේ සමාජිකයෙකු වීම කොතරම් නම් ආශ්වාදජනක ද සුරක්ෂිත ද යන්න සොයා දැන ගැනීමට ඔබ සිංහලයෙකු නොවන මිනිසෙකු විඳවන විඳවිල්ල දෙස දෑස් විවර කර බැලිය යුතු ය.

අනන්‍යතාවයේ අර්බුදය

මගේ පියාත් මවත් දෙදෙනාම සිංහල වීම නිසා මට මුහුණ පෑමට සිදු විය හැකි ව තිබූ එක් අනන්‍යතා අර්බුදයකින් මට ගැලවිය හැකි විය. බැරි වෙලාවත් එක් අයෙක් සිංහල ද අනෙකා දෙමළ ද වූයේ නම් මට හිටගන්නට තැනක් මේ දිවයිනේ හිටින එකක් නැත. සිංහල දෙමාපිය පාර්ශවයට හේත්තු වී ඒ නම ගෙන මට අනාගතය සුරක්ෂිත කර ගැනීමේ පුංචි ඉඩක් නැතිවා ම නොවේ. එහෙත් මේ පැටිකිරිය ජීවිතයේ කිසියම් දිනක එලියට පැන මට කරදර කිරීමට ඉඩ තිබේ. ඇතැම් විට මා මගේ සැබෑ පැටිකිරිය සගවා ඇතැයි කියමින් යම් දිනක මා චෝදනා ලබන්නට පවා ඉඩ තිබේ.

මා බෞද්ධයෙකු වූයේ සියලු ආගම් දෙස විචාරශීලීව බලා වඩාත් නිවැරදි ආගම තෝරාගෙන එය වැළඳ ගැනීමෙන් නොවේ. බෞද්ධකම දෙමාපියන්ගෙන් මා ලද උරුමය ය. ඒ සම්බන්ධයෙන් නම්  ජාතිය මෙන් නොව මට කළ හැකි යමක් තිබේ. ඒ තවදුරටත් මා බෞද්ධයෙකු නොවන බව කියා සිටීමට ය. එසේ වුව ද එසේ කීම කියන තරම් පහසු නැත. රැහෙන් මා එලවා දැමීමට එය හේතුවන නිසා ය. දෙමාපියන් ඉදිරියේ මා අකීකරු දරුවෙකු වෙන නිසා ය. ඔවුන් දුන් දෙයට පිටුපෑම නිසා ඔවුන්ට නිගා කළේ යන පාප කර්මයට හසු වෙන නිසා ය. ඒ නිසා මගේ බෞද්ධකම ඉවසීමට මට සිදු ව තිබේ. වෙන ආගම් දෙස නොබලන්නට මම ප්‍රවේසම් වෙමි. බැරිවෙලාවත් එයින් එකක් මගේ කරුමයට මගේ ආගම වූ බෞද්ධාගමට වඩා හොඳ යැයි පෙනී ගියොත් මා වැටෙන්නේ මහ අමාරුවක ය. ඉල්ලන් කන්නට වුවමනා නැත. ඒ නිසා මම විචාරශීලිත්වය පැත්තකට විසි කර දමමි. උරුමය තුරුළු කර ගනිමි. එය වැළඳ ගනිමි. එයින් සැනසෙමි.

අනෙත් අතට බෞද්ධයෙකු වීම මේ රටේ අතිශ්‍ය භාග්‍යවන්ත කටයුත්තකි. ඒ වෙන කිසිවකටත් වඩා අප රටේ බහුතරයක් බෞද්ධ නිසා ය. ඒ නිසා බෞද්ධකමට සමුදෙන්නට අදහසක් මගේ තුන් හිතකවත් නැත.

මගේ පියා හෝ මව එක ආගමකටත් අනෙකා තව ආගමකටත් අයත් වූවා නම් නැවතත් මට සිදු වන්නේ අනන්‍යතා අර්බුදයක අතරමං වන්නට ය. කොයික තෝරාගත්තත් පැටිකිරිය මතු කර නැවත වතාවක් කරදර කිරීමේ ඉඩ තිබෙන නිසා ය.

මා උපන්නේ බෙන්තර ගඟෙන් එහා නිසා මා දකුණේ ය. වමෙන් ගියත් අපි දකුණේ කියා කියන්නට ඒ නිසා මට හැකි ය. දකුණේ මිනිහෙකුගේ ආඩම්බරයට (කුමක් නිසා එසේ ආඩම්බර වන්නේ දැයි නොදැනම) මම ද උරුම කම් කියමි. ඇතැම් විට දුටු ගැමුණු දකුණේ වීම ඒ ආඩම්බරය පහල කළා වෙන්නට පුළුවන.

මා අයත් වන්නේ පහත රටට ය. මා පාතයෙකි. එතැන නම් පොඩි අවුලක් තිබේ. උඩරට උන් මෙන් සියල්ල බන්දේසියක තබා දේශය පිටරටුන් විකුණුවේ නැතැයි කියමින් ඒ අවුල ද ලිහා ගත හැකි ය.

කුලය ද මේ තෝම්බුවට එක් කළ හැකි ය. ඒ කුලයේ වරුණ ගැන ද අටුවා ටීකා ඇතුව කතා කළ හැකි ය. එය ද මගේ ජන්ම උරුමයකි. අනෙක් සියල්ල තරමට ම මගේ  වගකීමක් නැතිව මා මත අහම්බයෙන් කඩා පාත් වුනු එකකි. බැබලිය හැකි නම් මේ ඕනෑම අටමගලයකට අයිතිය කීමේ වරදක් තිබේ ද?

මවත් පියාත් කුල දෙකක වුවහොත් ආයෙත් හබක් ය. දීගයක දී මිනිසුන් මේවා මේ තරමට ම හොයන්නේ දරුවන් අනාථ විය හැකි නිසා විය යුතු ය.

පසු කලෙක මා උගත් පාසල නිසා ද මා ශිල්ප හැදෑරූ සරසවිය නිසා ද මගේ රැකියාව නිසා ද මගේ පැටිකිරිය තවදුරටත් ශක්තිමත් විය.

නමක් ගමක් ඇති මිනිහෙක්

දැන් මා නමක් ගමක් ඇති මිනිසෙකි. මනුස්සයෙකු නොවුනාට කාරි නැත. බැබලෙන්නට අවශ්‍ය තරම් නම් ගම් දැන් මා සතු ය.

මගේ යැයි කිව හැකි කුසලතා ඇත්තේ අල්පයකි. මට තිබෙන්නේ ඕනෑම මිනිසෙකු සතු දුර්වලකම් සමග එකට කැලතුණු ඉතා කුදු ගුණ යහපත් කම් සමූහයකි. නැණ ගුණ එහෙමකට නැති වුනාට බැබලෙන්නට නම් ගම් ප්‍රමාණවත් ලෙස මට තිබීම ම සැනසීමකි. ඒවා කඩේ ඇරියහම මා ගොඩ ය.

මට ඔය සියල්ල ද ඉක්මවන තව වැදගත් දෙයක් ද අමතරව එකතු කර ගත හැකි ව තිබේ. ඒ දේශපාලන කඳවුරක සමාජිකයෙක් වීමෙනි. බහුතරය නියෝජනය කරන එකක, දේශපාලන හා රාජ්‍ය බලය හිමි එකක, සමාජිකයෙක් වුනා නම් ඉතින් ආයෙත් අහන්නට දෙයක් නැත. අවශ්‍ය නිසි වර්ණයකින් ටයි පටියක් පැළඳීම ය. ඊට පසුව තිබෙන්නේ කඩේ යෑමට ය. නිසි තැන් වල පෙනී සිටීම ය. ප්‍රශස්ති ගායනය සඳහා අත්වැල් ගායනයෙන් වත් හවුල් වීම ය. විරුද්ධ පිලේ අපේක්ෂකයාට මැතිවරණ කොමසාරිස් තුමා කිව්වාක් මෙන් බිලෝ ද බෙල්ට් ගහන්නට ය. බොරුව ඇත්ත කොට ඇත්ත බොරුව කොට දැක්වීමට ය. මනුස්සකම කොහේ හෝ මුල්ලකට තල්ලු කර නිරුවතින් පෙනී සිටීමට ය.

ඉහත කිසිවකට එහෙමකට කුසලතා හෝ ගුණයහපත් කම් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය ලජ්ජා නැති කම පමණ ය. නමක් ගමක් පමණක් නොව දැන් ශක්තිමත් කඳවුරක් ද තිබෙන නිසා සියල්ල සම්පූර්ණ ය.

කෙතරම් ශක්තිමත් නායකයෙකු ආවත් අපේ රට ගොඩ ගැනීමට අමාරු මේ නිසා ය. නම් ගම් අවැදගත් වී සුදුස්සාට සුදුසු තැන හිමිවන, මනුස්සයින්ට තැන හිමිවන, දවසක පමණක් රට ගොඩ යනු ඇත.

බුදුන් වහන්සේ තමන්ගේ ශාසනය සම්බන්ධයෙන් අනුගමනය කළේ ඒ ප්‍රතිපත්තිය ය. මහ සයුරට විවිධ ගංගාවලින් ජලය එක් වන වා සේ මගේ සසුනට ද විවිධ පසුබිම් වලින් මිනිස්සු පැමිණෙති. මහසයුරේ ජලය කුමන ගඟකින් ආවා දැයි පවසන අනන්‍යතාවයක් පවත්වා ගන්නේ නැත. ඊට සමානව මගේ සසුනට කොහෙන් ආව ද අන්තිමේ ඒ සියල්ලන් තවදුරටත් වෙනස්කම් නැති සංඝයා වහන්සේ ය. නම් ගම් අදාළ ම නැත. ඒ සියල්ලෝ මනුස්සයෝ ය. මැරෙන මිනිසුන් ය. දුකට පත් වෙන මිනිසුන් ය. ඒ දුකින් මිදීමේ මාර්ගය සොයන පෙන්වා දෙන සංඝයා වහන්සේලා ය. ඒ බුදුන් සිතූ හැටි ය. ශාසනයේ තනතුරු ලද්දේ ගුණ නැණ වලට අනුව මිසක පක්ෂපාතිත්වයන්ට හෝ නම් ගම් වලට අනුව නොවේ.

තනතුරක් වේ නම් ඒ සුදුස්සාටම අයිති විය යුතු

අද අපේ දිවයිනට ද අවශ්‍ය වන්නේ එවැනි තත්වයකි. නම් ගම් පැත්තක තබා ගුණ නැණ බෙලෙන් යුත් මිනිසුන් තනතුරු හොබවන වටපිටාවකි.

කිසිදු අපරාධයක් වංචාවක් දූෂණයක් කළ කෙනෙකුට තම රජයේ තනතුරු පිරිනමන්නේ නැති බව කීවේ අලුතෙන් පත් වූ ජනාධිපති තුමා ය. එය ඒ විදිහට ම වෙන්නේ නම් ඉතා හොඳ ය. අප මේ රවුමේ යමින් කීවේ ද ඒක ය. පුංචි පරහකට ඇත්තේ මේවා ක්‍රියාත්මක කිරීමට යෑමේ දී ය. කියන විදිහට නොකෙරීමේ ය. එසේ කිරීම පහසු නොවීමේ ය. ඒකට එක් හේතුවක් වන්නේ එහෙම මිනිසුන් එහෙමකට නැති වීම ය. සොයා ගැනීම අපහසු වීම ය.

මග්දලේනා නම් වූ, මිිනිසුන් පව් කාරියකැයි හංවඩු ගසා ගල් ගසා මරණයට පත්  කරන්නට හැදූ, ගැහැණියට ගල් ගැසීමට සුදුසුකම් ලබන්නේ, කිසි දා පව් කම් නොකළ එකෙකැයි කියූ විට ගල් ඇතිව සිටි අය පසු බැස, ගල් බිම දමා ඉවත් වූ හැටි, මතක අයට ප්‍රශ්නය කොතෙක් බරපතල දැයි තේරෙනවා ඇත.

රටට අවශ්‍ය වනුයේ නම් ගම් සහිත පින්මඳ පුතුන් දසදහස් ගණනින් වැඩි කර ගැනීම නොවේ. ගණනින් මඳ වුව ද ගුණ නැණ බෙලෙන් යුතු ස්වල්පයක් වත් මිනිසුන් තැනීම ය. පැරණි සාහිත්‍යකරුවාට ඒ ගැන තිබුනේ මෙවැනි අදහසකි.

පින් මඳ පුතුන් සියයක් ලැබුවත් නිසරු

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු

එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු

නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

මේ කව් පෙල එන්නේ අලගියවන්න මුකවැටිය කිවියාගේ සුභාෂිතය නම් මහා කාව්‍යයේ ය. අපේ රට පෙර කල ලොව බැබළුනේ මෙවැනි දැක්මක් අපේ වියතුන්ට තිබුණු නිසා ය.

අප ජය ගත යුත්තේ ඉලක්කම් වැඩි කර ගැනීම හරහා ම නොවේ. ගුණය වැඩි දියුණු කර ගැනීම හරහා ය. නැණ පහන් දැල්වීම හරහා ය.

බහුතරය ශක්තියක් වන්නේ බලයක් වන්නේ ඒ තුළ ගුණ නැණ දෙක තිබුනොත් ය. නැතිනම් බහුතරය රටට හුදු ණයක් පමණ ය. සුහුරු අත් දෙකක් හා දුරදක්නා මොළයක් රහිත නෙරා ගිය බඩවල් වලට ඇති කළ හැක්කේ සමෘද්ධිමත් රටක් නොවේ. ණය බරිත දේශයකි.

නමක් ගමක් නැති මනුස්සයෙක්

අපට අවශ්‍ය නම් ගම් පැටිකිරිය සහිත මිනිසුන් නොවේ. මනුස්සයින් ය. ගුණ නැණ බෙලෙන් යුතු මනුස්සයන් ය. මිනිසුන්ට ප්‍රේම කිරීම තම ජීවිතයේ  ප්‍රථම රාජකාරිය කර ගත් මනුස්සයන් ය. වෛර කිරීමට භය, ප්‍රේම කිරීමට භය නැති, මනුස්සයන් ය. යුද්ධ කිරීමට භය, සාමයට භය නැති මනුස්සයින් ය.

අනෙකාගේ සුගතිය පතන, අනෙකා කෙරෙහි උනුවන හදක් ඇති, මනුස්සයින් ය. ඔවුන්ගේ අහිමිවීම් තමන්ගේ අහිමිවීම් විදිහට ගන්නා මනුස්සයින් ය. ඔවුන්ගේ අයිතීන් තමන්ගේ අයිතීන් විදිහට ගන්නා මනුස්සයන් ය. ඔවුන් ලබන සහනය තමන් ලබන සහනයක් ලෙස ගන්නා මනුස්සයින් ය. ඔවුන්ගේ දුක හා වේදනාව ඉදිරියේ තමන්ගේ හද කම්පාවන මනුස්සයින් ය.

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වන්නේ

යන කවි පදය ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ය. උන් වහන්සේ මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමේ අප කළ සටනේ පතාක යෝධයෙක් විය. අධිරාජ්‍යවාදයට පමණක් නොව අප තුළ ම තිබූ නිවට ගති වලට ද එරෙහිව අප විසින් සටන් කළ යුතු ව තිබෙන බව එහිමියන් කීවේ අපේ සැබෑ ශක්තිය සැදෙන්නේ එයින් නිසා ය. එම කවියෙන් ද කියවෙන්නේ ද නම් ගම් ඉදිරියේ විවිධ ආකාරයට ක්‍රියාත්මක වන නොමිනිසුන් නිවටයන් බව ය. උස් මිටි තැන් බලමින් හැසිරෙනවා වෙනුවට සැවොම මනුස්සයින් ලෙස සළකා හැසිරිය යුතු බව ය. ඒ බව සිතමින් මේ රට වැසියන් ලොකු මහත් විය යුතු බව ය.

රට වැසියන් නම් ලොකු මහත් වනු පෙනෙන්නට ඇතත් ඒ ගැන සිතමින් නම් ඔවුන් ලොකු මහත් වන බව පෙනෙන්නට නැත. ඔවුන් වන්දනා කරන්නේ ම නම් ගම් වලට ය. ඔවුන් අමතක කර දමන්නේ ම මනුස්ස කම ය. ඔවුන් පුප්පන්නේ අසරණයන්ට ය. ඔවුන් බලය ඉදිරියේ හැකිලෙන්නේ අංශක අනූවට නැවී ගෙන ය.

අතීතය පීරා යමින් අප කළ යුත්තේ මෙවැනි වැදගත් ගුරුහරුකම් මතු කර ගැනීම ය. ඒ වෙනුවට අප කරමින් ඉන්නේ අතීතය පීරා යමින් අප නොකළ විස්කම් කළ බව දක්වා ලීම ය. ඒවායින් මාන්නය ම ඇති කර ගැනීම ය. මනුස්ස කමින් තව දුරටත් ඈත් වීම ය. මනස උස්ව තබා ගනු වෙනුවට මාන්නය උස්ව තබා ගැනීම ය. අන්න ඒ “මත”ට අප තිත තැබිය යුතු ය. අප කවුරුත් දන්නා “මත”ට තිත තබන තරමට ම මේ “මත”ට තිත තැබීම ද වැදගත් ය.

උරුම කිව යුත්තේ සිංහල හෝ බෞද්ධ ලේබල් වලට නොවේ. නම් ගම් හෝ වාසගම් වලට ද නොවේ. පුහු ආඩම්බර කම් වලට නොවේ. මැණික් කැට මෙන් දිදුලන, මනුස්සකම ඔසවා තබන, අප විසින් ඉහත දැක්වූ ආකාරයේ, මා හැගි ඉගැන්වීම් වලට ය.

කුණු ප්‍රශ්නය කුණු වීමට පෙර

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2020/01/13/fea02.jpg

සිරිපාදේ වන්දනා සමය ඇරඹී ඇත. එය ඇරඹී දින දෙකක් යන විට දොළොස්මහේ පහන ළඟට යාම සඳහා අඩිය තැබිය නොහැකි තරමට කුණු වලින් පිරී තිබුණු බව “වත්පොතේ” සටහනක ලියවී තිබුනේ ය. භාවිතා කර තිබුනේ වචන පමණක් නම් මේ ප්‍රලාපයක් යැයි කියා අමතක කර දමන්නට ඉඩ තිබුනේ ය. එහෙත් සටහන සමග පළව තිබූ ඡයාරූප කියා සිටියේ වචන විශ්වාස කළ යුතු බව ය.

සිරිපාදේ නගින්නට යන අය අතර විනෝදය උදෙසා යන්නන් ද සිටින බව සැබෑ ය. එහෙත් බහුතරය සිරිපා කරුණා කරන්නේ බැතියෙනි. ගෞරවයෙනි. එසේ වූ කල මේ කුණු දැමීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

අවස්ථා ගණනාවක බටහිර රටවලින් පැමිණියා යැයි සිතිය හැකි සංචාරකයින් එක්ව කුණු සුද්ධ කරන සද් ක්‍රියාවන් කරන ලද බව ද අප දැක ගත්තේ ද වත්පොතෙනි. ගාල්ල නගරයේත් හික්කඩුව වෙරළේත් තවත් එවැනි තැන්වලත් ඒ සුද්දන් විසින් මේ කුණු සුද්ධ කිරීමේ කටයුත්තේ නියැලී තිබු බව ඡයාරූප සමගම වාර්ථා විය.

අප බැතියෙන් වන්දනාවේ යෙදෙන තැන්වල කුණු දැමීමට නොපැකිළීමත් සුද්දන් උන් විනෝදවන තැන් වල, අනුන් දැමූ කුණු, සුද්ද කිරීමට ඉදිරිපත් වීමත් අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

අප රටේ බොහෝ දෙනෙකුට අනුව සුද්දන්නට හැදියාවක් නැත. උන් තමන්ගේ නිරුවත පෙන්වමින් බාගෙට අඳිති. ප්‍රශ්නයකට ඇත්තේ කුණු දැමීම මගින් ඒ වෙනුවට අප පෙන්වන්නේ අපේ කුමක් ද යන්න ය. ඒ සමගම පැන නගින සමාන්තර ප්‍රශ්නය වන්නේ අපේ කුණු සුද්ධ කිරීමට ඉදිරිපත් වීමෙන් උන් පෙරලා අපට ප්‍රදර්ශනය කරන්නේ කුමක් ද යන්න ය.

කුණු දැමිම සිරිපාදයට සීමා වූ එකක් නොවේ. එහෙත් තමන් වන්දනා මාන කරන තැනක් වත් පිරිසිදුව තබා ගැනීමට තරම් අප අකාරුණික වූයේ කෙසේ ද යන්න බරපතල ප්‍රශ්නයකි.

සිරිපාදය කරුණා කරන අපේ උපාසක උපාසිකාවෝ සිරිපාද ස්ථානයේ නැවතී තිසරණ සහිත පන්සිල් ගැනීමට තත්පර වෙති. අඩු වශයෙන් නරක වැඩ පහකින් තමන් වැළකෙන බවට බුදුන්ට පොරොන්දු වෙති. ඒ පොරොන්දුව ඉටු කරන නොකරන එක ගැන කෙනෙකුට ප්‍රශ්න කළ හැකි වුව ද පොරොන්දු වීම ම යම් සංයමයක් ඇති කිරීමට සමත් නොවෙතැයි කියන්නට අපට බැරි ය.

කුණු දැමීමෙන් වළකිමි

එහෙත් සිරිපාද ස්ථානයේ අවාසනාවට හා රටේ පොදු අවාසනාවට මේ සිල් පද පහට කුණු දැමීමෙන් වළකිමි යනුවෙන් සිල් පදයක් අඩංගු වී නැත. ඇතැම් විට කුණු දමනු ලබන්නේ ඒ නිසා විය හැකි ය. අඩු වශයෙන් වන්දනා මාන කරන තැන් අපිරිසිදු කිරීමෙන් වළකිමි යැයි වත් කීවා නම් සිරිපාද ස්ථානයවත් බේරෙන්නේ ය. අඩුව ඇත්තේ එතැන ද?

කුණු දැමීමෙන් වළකිමි යනුවෙන් සිල් පදයක් නොතිබ්බාට අනුන්ගේ දේ ගැනීමෙන් වළකිමි යනුවෙන් සිල් පදයක් තිබේ. කුණු දැමීමෙන් අප කරන්නේ ඊළගට එන උදවියට අයත් පරිසරය අපට සිත් සේ භාවිතා කොට උනට අහිමි කිරිම ය. ඒ අර්ථයෙන් එය ද එක්තරා ආකාරයක හොරකමකි.

එසේ වූවාට අපේ මිනිසුන්ට එහෙම හිතන්න තරමට උනන්දුවක් නැතිවා විය හැකි ය. පන්සිල් ගන්නවා මිසක් ඒවා බරපතල ලෙස සළකන්නට අප උගෙන නැතිවා ද විය හැකි ය.

අප දන්නා අඳුනන කෙනෙකු තමන්ගේ අතීතය සිහිපත් කරමින් කීවේ “අපි මැර වැඩ කළාට දහම් පාසලුත් ගියා නෙ” කියා ය. එහෙම කියන අයට අපි සතුන් මැරුවාට පන්සිලුත් ගත්තා යැයි කියන්නට බැරි කමක් නැත. බොහෝ දෙනෙකුගේ සිල් තිබෙන්නේ “ගැනීමට” මිස පිළිපැදීමට නොවේ.

එක අතකට මේ සම්බන්ධයෙන් මිනිසුන්ට දොස් තැබීමේ ද එහෙමට තේරුමක් නැත. බොහෝ ගාථා තියෙන්නේ අප නොදන්නා පාලියෙනි. එහෙම නොදන්න බසකින් කියන විට එහෙමට හැගීමක් ඇතිවන්නට විදිහක් නැත. එය සිංහල බසින් ජාතික ගීය කියන විට දෙමළ කෙනෙකුට ඇති වන හැගීමට දෙවැනි වන්නේ නැත. එක අතකට පාලියෙන් කියා ෂේප් වීමෙන් අපට වගකීමෙන් ලිස්සා යෑමේ ඉඩක් ද හැදී තිබෙන්නේ ය. මග හරින්නට කැමති අයට එය මරු ය.

ඒ නිසා ම දානෙ ගෙදර හෝ පිරිත් ගෙදර පිටුපස්සේ ඇති මඩුවට ගොස් කට කපලා එකක් දමා ගෙන එන්නට තහංචියක් උපාසක මහත්තයලාට නැත. එහෙම යන එන අතරතුර ඇගේ වැසූ මදුරුවෙකු ද මරන්නට පුලුවන. ඇතැම් විටක බොරු ද කියා මිත්‍ර සමාගමය සතුටු කරන්නට හෝ උන් පරයා දිනනන්ට ද පුලුවන. එ්වා සිදුවන්නේ ඇතැම් විට පන්සිල් ගැනීමට පෙර ය. ඇතැම් විට පසුව ය.

උපාසිකාවන් අතර අවසන් සිල්පදය කඩන අය අඩු ය. ඒවාටත් හරියන්නට ඔය යන එන අතරේ වෙනත් සිල්පදයක් දෙකක් කඩන්නට ඔවුන්ට ද එහෙමට බාධාවක් හිරිකිතයක් නැත.

මේ සියල්ලෙන් අවසානයේ සිදු වන්නේ වෙන මොන සිල් පදය නැතත් සිව්වෙනි සිල්පදය හිටු කියමින් කැඩීම ය. සිල් නොගෙන සිටියා නම් එයින් වත් බේරෙන්නට තිබුණු ඉඩ ඒ නිසා අහෝසි වී යෑම ය.

සිල් පදයකින් වැඩක් වේ ද?

මේ සියල්ලෙන් අප තේරුම් ගත යුත්තේ කුණු දැමීමෙන් වැළකෙන බව කියන සිල්පදයක් දැම්මත් එයින් වැඩක් නොවන්නට ඉඩ තිබෙන බව ය.

මේ කුණු කතා කියන්නට වුනේ මේ වන විට කුණු, සිරිපාදයට පමණක් නොව, අපේ රටට ද, ඉනුත් නොනැවතී ලොවට ද, ව්‍යසනයක් වෙමින් තිබෙන නිසා ය. ඒ කුණු අනුභවයෙන් සත්තු ද මිය යමින් සිටින නිසා ය. පරිසරයම එක ම කුණු ගොඩක් වෙමින් ඇති නිසා ය. ඒ හරහා අපේ පැවැත්මට ද තර්ජනයක් වී ඇති නිසා ය. අඩු වශයෙන් ස්වාර්ථය පිණිස හෝ මෙයින් වැළකිය යුතු යැයි සිතන්නට තරම් කටයුතු සිද්ධ වෙමින් ඇති නිසා ය.

කුණු නිර්මාණය වීම එහෙම පිටින් ම වළක්වන්නට බැරි ය. කළ හැක්කේ එය එක්තරා දුරකට පාලනය කිරීම පමණකි. පාලනය සිදු කළ හැක්කේ නිපදවීමේ දී පමණක් නොව මිලදී ගැනීමේ දී ද පාරිභොජනයේ දී ද ගබඩා කිරීමේ දී ද ප්‍රවාහනයේ දී ද වඩා බුද්ධිමත් විධි ක්‍රම අනුගමනය කිරීම හරහා ය.

නිපදවීමේ තාක්ෂණයන් වේගයෙන් දියුණු වෙමින් තිබෙන නිසා ඒ පැත්තෙන් තරමක සක්‍රීය දායකත්වයක් අපට දකින්නට ලැබේ. පරිගණක, දුරකථන, රූපවාහිනි යන්ත්‍ර පෙර මෙන් විශාල නැත. අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඒවා නිපදවිය හැකි ලෙස තාක්ෂණය දියුණු වී ඇත. මෝටර් රථයකට පවා වැයවන අමුද්‍රව්‍ය ප්‍රමාණයේ ද ඉන්ධන ප්‍රමාණයේ ද ඉතිරියක් කර ගත හැකි ලෙස තාක්ෂණය දියුණු වී ඇත. එහෙත් තාක්ෂණයේ දියුණුව විසින් අතුරු ප්‍රශ්න ගණනාවක් ඇති කර තිබේ. එයින් එකක් නම් බොහෝ භාණ්ඩ ඉක්මණින් කල් ඉකුත් වීම ය.

ඒවා කල් ඉකුත් වී ගිය පසු කුණු බවට පත් වන්නේ ය. ඒ කුණු දිරාපත් වන කුණු වලට වඩා අනතුරු දායක බැවින් ප්‍රශ්න ගණනාවක් ඉතිරි ව තිබේ.

පාරිභෝජනයේදී පරිස්සම් වන ක්‍රම ඇතැම් රටවල ක්‍රියාත්මක වේ. ජර්මනියේ අවන් හලකින් කෑම ගෙන නොකා ඉතිරි කළොත් ඔබට දඩයක් ගෙවීමට සිදු වන්නේ ය. ඔබ කැමති දිනක නැතිව ගුවන් යානයක ඉඩ තිබෙන දිනකට ඔබේ ගමන සැලසුම් කළ හැකි නම් ඔබට ගෙවන්නට වන්නේ අඩු මුදලකි. එමගින් ඔබට වාසියක් අත් කර දෙන අතරේදී ගුවන් ගමන් සඳහා භාවිතාවන ඉන්ධන වල ඉතිරියක් ද කර ගත හැකි ය. ඒ නිසා ම වායුගෝලයට අනවශ්‍ය ලෙස එක් වන අපද්‍රව්‍ය අවම කර ගත හැකි ය.

කුණු කළමනාකරණය

කුණු පාලනය කිරීම අපහසු වුව ද අපට එය වඩාත් බුද්ධිමත් ලෙස කළමනාකරණය කළ හැකි ය. කුණු බොහෝ විට වෙනත් දේ සඳහා භාවිතා කළ හැකි සම්පතකි. කුණු ලෙස බැහැර කරන දෙයින් බොහෝ අලුත් දෑ නිර්මාණය කළ හැකි ය. ඒවා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ය. ඇතැම් කුණු වලින් පොහොර ද ඉන්ධන ද නිපදවිය හැකි ය. කෙටියෙන් කිවහොත් කුණු මුදල් කළ හැකි ය.

මේ වැඩි හරියක් දේ කර තිබෙන්නේ ව්‍යාපාරික අයාතන වලිනි. අපට ද පෞද්ගලික ව මේ කටයුත්තට දායක විය හැකි ය. කොම්පොස්ට් බඳුනකින් ඔබේ ඉවතලන අහාර ද්‍රව්‍ය සියල්ල පොහොර කර ගත හැකි ය. කඩයට ගොඩ වදින විට ඔබ ළඟ දැනටමත් ඇති පොලිතීන් කවර ලබා දී ඒවා භාවිතා කරන ලෙස කිව හැකි ය. බඩු ගෙන යෑම සඳහා පන් මල්ලක් භාවිතා කළ හැකි ය.

කරුමයකට මෙන් දිව්‍ය ලෝකයට යා හැකි පින් අතරට මේ එක ද උත්තුංග කටයුත්තක් වත් එකතු වී නැත. සංඝයා වහන්සේ නමකට දානයක් දීම තරමට මේ කටයුතු වලින් පින් ලබා ගත හැකි යැයි කිසිවෙකු මිනිසුන්ට කියා නැත. ඒ නිසා උපාසික උපාසිකාවන්ට සංඝයා වහන්සේලාට දන් දෙන තරමට, නැත්නම් බුදු කුටියට මල් පූජා කරන තරමට, මෙවැනි කටයුතු ගැන හිතන්නේ නැත.

වත්මන් ලෝකයේ ප්‍රශ්න විසඳීමේ ලා ආගම ෆේල් වන්නට මේ තත්වය ද බල පා තිබෙන්නේ ය. ඒ නිසා සමහර මිනිසුන් ආගම අමතක කොට විද්‍යාව හා තාක්ෂණය ගැන පමණක් විශ්වාසය තබන්නට පටන් ගෙන ඇත.

කුඩා වපසරියක විහිදෙන පින්පව් වලට එහා සමස්ත පින්තූරයට සංවේදී යහ ගුණ ගැන දැක්මක් ලබා දීමට ආගම අසමත් වෙතොත් ආගම් ඉක්මණින් කල් ඉකුත් වනු ඇත්තේ ය.

උපතින් පසු අප යන ලෝකය පමණක් නොව, ජීවත් වන මේ ලෝකය ද යහපත් කර ගැනීම ගැන අවධානය යොමු කිරීමට මිනිසුන්ට සිදු වෙමින් තිබේ. ඒ සඳහා ආගමට උදව් විය හැකි ද?

අපට පෙනෙන කුණු තියෙන්නේ එලියේ ය. අපට නොපෙනෙන කුණු තිබෙන්නේ අප ඇතුළේ ය. ආගම් වලින් වැඩියෙන් ම අපේක්ෂා කළේ ඒ නොපෙනෙන කුණු ද අනාවරණය කර දැක්වීමට ය.

අප අපේ කුණු අනුන්ට පැවරීමෙන් කරන්නේ අපට බාහිරින් පවතින කුණු අනුන්ට කළමනාකරණය කරනු පිණිස විසි කිරීම පමණක් නොවේ. අපේ ඇතුළත ඇති කුණු ද ප්‍රදර්ශනය කිරීම ය. අපේ කුණු ලෝකයටම අනාවරණය කර දැක්වීම ය.

ශ්‍රී ලංකාවේ ඛේදවාචකය

රට නම් ලස්සණ ය. එහෙත් රටේ මිනිසුන් නම් ඒ ලස්සණ දකින පාටක් නැත. ලස්සණ යමක්, මොළේ ඇති මිනිසුන් නම්, කැත කරන්නේ නැති නිසා ය.  රටේ සුන්දරත්වය ගැන ඔවුන්ට වගේ වගක් නැත. වෙනත් ලෙසකින් මේ කියන්නේ රට ලස්සණ වුව ද මිනිසුන් ලස්සණ නැති බව ය. සුද්දන් අපට කොචොක් කරමින් කුණු අහුලන්නේ ඒ බව අපට වක්‍රව කියමින් ය.

අප රටේ වසර තුනක් ජීවත් වූ මැක්ගෝවන් නම් ලේඛකයෙක් විසින් අප රට ගැන පොතක් ලියා තිබේ. එ් පොත අනූව දශකයේ පළ වූ හොඳම පොත් දහය අතරට නිව්යෝර්ක් ටයිම්ස් සගරාව විසින් තෝරා ගෙන තිබිණි. පොතේ නම “මිනිසා පමණක් තිරස්චීන වූ ශ්‍රී ලංකාවේ ඛේදවාචකය” යන්න ය. ඒ නම අප කියූ සියල්ල හකුලා දැක්වීමකි. සියල්ල හොඳ වුව ද මිනිසා තිරශ්චීන ය. ඒ පොත අපේ කුණු වූ ආත්මය පිළිබඳ ප්‍රකාශනයකි. අප වෙනස් කළ යුත්තේ අන්න ඒ අභ්‍යන්තරය ය. එහෙත් වැඩි දෙනෙකු දකින්නේ අපව විනාශ කරන අභියෝගයන් ඇත්තේ බාහිරින් බව ය. අප තේරුම් ගත යුතු සැබෑව නම් දරුණුම අභියෝග ඇත්තේ අපේ ඇතුළාන්තයේ බව ය. වඳින පුදන තැන කුණු දැමීමෙන් අප ප්‍රදර්ශනය කරන්නේ අපේ කුණු වූ ඒ අභ්‍යන්තරය බව ය.

පාලි භාෂාවෙන් කියන පිරිත් කණ පැලෙන්නට හයියෙන් දැම්මාට වැඩක් නැත. පැටව් ගසා ඇති රූපවාහිනි චැනල් ඔස්සේ උදේ සිට හවස් වන තුරු නිවන ගැන බණ කිව්වාට ද වැඩක් වෙන පාටක් නැත. ගුවන් විදුලි රූපවාහිනී නාලිකා ඔස්සේ උදේ හවස ගාථා කිව්වාට ද වැඩක් වී නැත. ඒ කිසිවක් මිනිසුන් යහපත් කර ලීමට අසමත් ව තිබේ. සිරිපාදයේ කුණු අපට කියන්නේ අඩු වශයෙන් තමන් වදින පුදන තැන සම්බන්ධයෙන් වත් සංවේදී වීමට අසමත් උපාසික උපාසිකාවන් මේ සියල්ල මධ්‍යයේ අප විසින් බිහි කර ඇති බව ය.

හතේ පොතේ ඇති ලිංගික අධ්‍යාපන පාඩම කුණු හරුපයක් ලෙස දකින, ඒ ගැන උද්ඝෝෂණය කරන, ස්වාමීන් වහන්සේලා සිටිය ද සිරිපාදේ කුණු දැමීම වැරැද්දක් ලෙස දක්වා මිනිසුන් එයින් මුදවාලීමට සමත් භික්ෂූන් වහන්සේලා අප අතර අඩු ය. දුර බැලුවේ වුව ද ළඟ බලන පුරුද්දක් අපේ බොහෝ භික්ෂූන් වහන්සේලාට නැති නිසා ය.

ලිංගික කටයුතු කුණුහරුපයක් වන්නේ බ්‍රහ්මචාරී දිවියක් ගත කරන පූජ්‍ය පක්ෂයට මිසක ගිහියන්ට නොවේ. ලිංගික අධ්‍යාපනය සම්බන්ධ කතිකාවත මනෝ විද්‍යාඥයන්ට හා අධ්‍යාපනඥයන්ට පවරා මිනිසා යහ මගට ගැනීමේ මග භික්ෂූන් වහන්සේලා ගමන් ගත්තා නම් වඩාත් යහපත් ය. එහි දී තමන් බුදුන් අනුගමනය කරන බව පෙන්විය යුත්තේ කාර් වල අලවන ස්ටිකර් වලින් හෝ නිවසේ ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරන බෞද්ධ කොඩියෙන් නොව තමන්ගේ චාරයෙන් බවට සමාජ මතයක් ගොඩ නැගීමට භික්ෂූන් වහන්සේලාට දායක විය හැකි ය.

මතුපිටින් බෞද්ධ කම ප්‍රදර්ශනයට වැඩි ඉඩක් සැලසෙන තාක් මිනිස්සු එයින් තෘප්තිමත් වෙති. ඒවාට සමාජය දෙන වටිනාකමට වැඩි වටිනාකමක් මිනිස් චර්යාවට දෙන දාට පමණක් ඔවුන් ඒ ගැන උනන්දු වනු ඇත. මේ සංකල්පමය විප්ලවය කිරීම ආගම විසින් නොපමාව කළ යුතු බව සිරිපාදේ කුණු දමන බැතිමතුන් අපට නොවලහා කියන්නේ ය.

කුණු අපේ දේශපාලනයට ද සම්බන්ධ ය. අප මේ කියන්නට යන්නේ රන්ජන්ගේ හඩ පට වලින් නිරාවරණය වන දේශපාලන කුණු ගැන නොවේ. නිකම් නිකම් කුණු ගැන ය. ඒ දේශපාලන කුණු මට්ටමට සළකන්නට සිදු ව ඇති කුණු ගඳ ගහන කුණු ගැන ය.

කුණු නිසි ලෙස බැහැර කිරීමට සංයමයක් නැති, අප පතන්නේ, එය මනා ලෙස අප වෙනුවෙන් කළ හැකි දේශපාලන නායකත්වයකි. අප බිහිකර ඇත්තේ ජනාධිපති තුමා පැමිණ සැරයක් දමා කුණු ඇහිඳින ලෙස නියෝග දෙන තෙක් බලා සිටින ජනතාවක් නිසා එවැනි අපේක්ෂාවක් ගැන කිසිවෙකුට දොස් තැබිය නොහැකි ය. කුණු වැඩ නොකර කුණු නිසි ලෙස බැහැර කරන්නේ නම් රටේ නායකත්වයට වඩා වටිනා වැඩ ගැන අවධානය යොමු කළ හැකි ය. රටට ආදරය නම් අප කළ යුත්තේ එය ය.

අපි රැලි වලට ආසා ය. තාප්ප චිත්‍ර රැල්ල අපට කීවේ ඒ පණිවුඩය ය. කුණු නැති රටකට රැල්ලක් හදන්නට පුළුවන් නම් එය වඩාත් අගනා කටයුත්තක් වනු ඇත. එය ආරම්භ කළ යුත්තේ සිරිපාදයෙනි. රටේ මිනිසුන් ගැවසෙන වඩාත්ම උස තැනෙනි. සිරිපාදේ කරුණා කරන දස දහසක් බැතිමතුන්ට අපි මේ පණිවුඩය ගෙන යමු. කුණු වලින් නිදහස් රටක් හැදීමේ කටයුත්ත මේ වන්දනා සමයේ සිරීපාදයෙන් පටන් ගනිමු.

නිදහස් විය නොහැකි නිදහසේ වගකීම

deepana-pix_04022019_FUN_CMY

නිදහස ද අප හුස්ම ගන්නා වාතය වැනි ය. වාතයේ අගය මෙන්ම නිදහසේ අගය ද දැනෙන්නේ එය නැති වූ විට ය. එතෙක් අප ඊට දෙන්නේ කුඩම්මාගේ සැළකිල්ලකි.

දේශපාලනයේ යෙදෙන කෙනෙකුට නිදහස කී විට මතක් වන්නේ පෙබරවාරි 4 දා ය. ඒ ලංකාවට සුද්දාගෙන් නිදහස ලැබුණු දිනය ය. එහි අදහස අපේ රටේ කටයුතු අපට ඕනෑ විදිහකට කර ගෙන යෑමේ නිදහස ඉන් පසු ලැබුණු බව ය. සමහරු නම් කියන්නේ ඒ නිදහස නොලැබුණා නම් මීට වඩා හොඳ බව ය. රට අප විසින් බාර ගත් පසු අප සියල්ල අනාගෙන ඇති බව ය. කොලය ඉරා ගෙන ඇඟේ හලා ගෙන ඇති බව ය. ඒත් තවමත් ලොව නන් දෙසින් ඇසෙන්නේ ස්වයං පාලනයන් ඉල්ලා නගන හඩ ය.

තමන්ගේ ම වුව ඒකාධිපති පාලනයක් අවසානයේ රටේ ජනතාව ලබන්නේ ද නිදහසකි. ඒ ලබන්නේ කතා කිරීමේ නිදහස ය. පාලකයින්ගේ අමන ක්‍රියාවලට, අඩු වශයෙන් තමන් විසින් එසේ අමන යැයි විශ්වාස කරන ක්‍රියාවන්ට, එරෙහිව විරුද්ධත්වය පල කිරීමේ නිදහස ය. සමහරු නම් කියන්නේ අප රටට අවශ්‍ය එසේ විරුද්ධත්වය පල කළ නොහැකි ක්‍රමයක් බව ය. ඒ කෙළවරක් නැති විරෝධතාවයන්ගෙන් නිදහස් වන්නට ඇති වුවමනාව ය. ඒත් ඒකාධිපතිත්වය රජයන රටවලින් නම් ඇසෙන්නේ එවන් පාලනයන් අවසන් කිරීමේ ජනතා වුවමනාවන් ය. මෑතක උදාහරණය මියන්මාරය ය. ඔවුන් තවමත් උත්සහ දරමින් ඉන්නේ මිලිටරියේ පාලනයේ ඉතිරි දම්වැල් වලින් ද නිදහස ය.

ඇතැම් රටවල තමන්ට කැමති ආගමක් අදහන්නට නිදහස නැත. වෙනත් ආගමක සංකේතයක් හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් හෝ පරිශීලනය කිරීමේ පමණක් නොව ලඟ තබා ගැනීමේ හෝ නිදහසක් නැත. සම්මත ආගමේ කිසි දෙයක් ප්‍රශ්න කිරීමේ නිදහසක් ද නැත. වෙනත් ආගමක් ප්‍රචාරය කිරීමේ නිදහස නම් කොහෙත්ම නැත. අපේ රටේ ද එවන් දේ සඳහා ඇති ඉඩකඩ අවුරාලන්න යැයි කියන උද්ඝෝෂණ විටින් විට මතුවේ. එහෙත් ආගමික නිදහසක් නැති රටවල ජනයා ඉන්නේ ආගමික පූජකයන්ගේ යකඩ සපත්තුවලට යටවෙලා ය. ඒ රටවල වැඩි දෙනෙක් ඉල්ලා සිටින්නේ දැඩි ආගමික පාලනයන්ගෙන් නිදහස ය. මෑතක උදාහරණය සවුදි අරාබියාව ය.

ඇතැම් රටවල තමන් කැමති කෙනෙක් විවාහ කර ගැනීමේ නිදහස නැත. මෑතක් වෙනතෙක් ලංකාවේ ද ඒ තත්වය තිබුණේ ය. ඒ නීතියෙන් නොව සමාජ තහංචි හරහා ය. එසේ විවාහ කර ගත් දරුවන් පවුලෙන් පන්නා දමනු ලැබුවේ “උඹ මගේ මරණයට වත් නාවට කමක් නෑ“ කියමිනි. එයින් කියවෙන්නේ නිදහස නැතිවීම නීතිය සම්බන්ධ ප්‍රශ්නයකට එහා ගිය සමාජ ප්‍රශ්නයක් බව ය. නීතියට ද උඩින් ක්‍රියාත්මක වෙමින් ඇතැම් රටවල හා සමාජ කණ්ඩායම් වල සමාජ තහංචි හරහා ද නිදහස සීමා කෙරෙන බව ය.

දරුවන්ගේ නිදහස

තමන් කැමති රැකියාවක් කිරීමට තමන් කැමති විනෝදාංශයක යෙදීමට ද දරුවන්ට නිදහස අයත් කර ගැනීමට සිදු ව ඇත්තේ ඇතැම් විට දෙමාපියන් හා වැඩිහිටියන් සමග විරසක වෙමිනි. ඒ කියන්නේ එවැනි අතිශය පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් ද නිදහස දීමට එරෙහිව ඇතැම් සමාජ කණ්ඩායම් තුළ තවමත් කටයුතු සිදු වන බව ය.

හොඳම දේ දරුවන්ට වුව ද නිදහස නම් දරුවන්ට අකැප යැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ නිදහස ඒ තරම්ම හොඳ නැති යැයි අප යටි හිතෙන් අදහන නිසා විය හැකි ය. උන් හය හතර නොදන්නා නොදරුවෝ ය. දෙන නිදහසෙන් ප්‍රයෝජන ගෙන උන් තමන්ට හානියක් කරගනු ඇතැයි අප බිය ය. ඒ බිය ඇත්තේ කුඩා දරුවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. කර දණ්ඩ උස්වී ලොකු මහත් වූ ද දරුවන් සම්බන්ධයෙන් ද අප කල්පනා කරන්නේ එසේ ය. උන්ට නිදහස දීමෙන් අප කරන්නේ උන්ට හතුරු කමක් යැයි අපි හගිමු.

කුඩා ම දරුවන්ට නම් නිදහසක් අවශ්‍යම නැතැයි බොහෝ දෙමාපියන්ගේ හැගීම ය. පාන්දර පාසල් රථයට යන්නට උදෑසනින් අවදි කරවූ තැන සිට මුළු දවසම දරුවා යටත් වන්නේ පාලනයට ය. පාසැලෙන් ටියුෂන් පන්තියටත් එතැනින් හෝම්වර්ක් කිරිමටත් දක්කන ලමුන්ට ඇත්තේ කෙබඳු නිදහසක් ද? දරුවාගේ අද නිදහස බිලිගන්නේ හෙට ලැබීමට නියමිත වඩා ප්‍රබල නිදහසක් වෙනුවෙන් යැයි නිදහසට කාරණා කීමට දෙමාපියන්ට පුළුවන. එහෙත් මේ හිරකර හදන ළමයෙකු තුළ නිර්මාණශීලිත්වයක් හෝ විචාරශීලිත්වයක් ඇති වේ ද? ගහක වර්ධනයට මෙන් ම ළමයෙකුගේ වර්ධනයට ද නිදහස අවශ්‍ය ය. ඉඩ හසර අවශ්‍ය ය. කොටුකර හැදිය යුත්තේ මසට ගන්නා බ්‍රොයිලර් කුකුළන් පමණ ය. ඒ තුළ සිදු විය හැක්කේ එක් අංශයක වර්ධනයක් පමණ ය.

නිදහස සම්බන්ධයෙන් අප බිය වන්නේ ඇයි? ඒ නිදහස අනෙකා කෙසේ භාවිතා කරන්නේ දැයි යන කුකුස අප තුළ ඇති නිසා ය. ඒ නිසා අප ලබන නිදහස, අප ඉල්ලා සිටින නිදහස, අප සටන් වදින නිදහස අනෙකා ඉල්ලා සිටින විට, උන් ඒ වෙනුවෙන් සටන් වදින විට, අප බිය ය. ඒ ගැන තේරුම් ගන්නට වැඩි ඈතකට යන්නට ඕනෑ නැත. අප තරුණ කාලයේ ඒ නිදහස වෙනුවෙන් අපේ ම දෙමාපියන් සමග ගැටුනේ වුව ද අපේ ම දරුවන්ට ඒ නිදහස දෙන්නට බොහෝ දෙනෙකු අදටත් මැලි ය. සුද්දාගෙන් අප නිදහස ලබා ගැනීමට අප සටන් කළේ වුව ද දෙමළ ජනතාවට ස්වයං පාලනයක් දෙනවාට අප කැමති නැත. මිහිඳු හිමියන්ට දහම් දෙසන්නට නිදහස දුන් අපි අද වෙනත් ධර්ම ප්‍රචාරකයෙකු ඇවිත් අල්ලපු ගෙදර වෙනත් දහමක් දෙසනවාට කැමති නැත. කෙනෙකුට එහෙම නිදහසක් දෙන්නට අප බිය ය. ඒ අප තුළ තිබෙන අනාරක්ෂිත භාවය නිසා ය. අප දුර්වල නිසා ය. අපට යම් කුඩා හෝ සසල වීමක් විඳ දරා ගැනීමට බැරි නිසා ය.

නිදහසේ ඉම

මට මගේ බස්තම වැනීමට ඇති නිදහස අනෙකාගේ නහය කෙළවරින් අවසන් වන්නේ යැයි කියමනක් තිබේ. එහි අර්ථය අපේ නිදහස අන් අයගේ නිදහසට හරස් නොවිය යුතු බව ය. එය පිළි නොගන්නා අය ඉල්ලන්නේ වල් බූරු නිදහසකි. නිදහස පිළිබඳ කතිකාවේ මෙය වැදගත් ඡේදයකි.

මට ආගම අදහන්නට නිදහස තිබේ. එහෙත් එසේ නිදහස තිබූ පලියට මට අනෙකාගේ කණ ලඟ දෙදරන්නට ලවුඩ්ස්පීකරයක් දමා බණ ඇසීමට අයිතියක් නැත. එහෙත් අනෙකාගේ නිදහසට වැට බැඳීමට ඉක්මන් වන බොහෝ දෙනෙකු තමන්ට ඉල්ලන්නේ මේ කියන වල් බූරු නිදහස ය. තමන්ගේ ආගම අනෙකාට රිදෙන සේ හයියෙන් ඇදහීමේ නිදහස ය.

මට මද්‍යපානයට නිදහස තිබේ. එහෙත් වෙරිවී මහමග පිස්සු නටන්නට මට අයිතියක් නැත. එසේ බී ගෙන වාහන එලවමින් අන් අය අනතුරේ හෙලන්නට මට අයිතියක් නැත.

මට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තිබේ. එහෙත් ඒ නිදහස භාවිතා කරමින් මිනිසුන්ට බොරු අවලාද නගන්නට මට අයිතියක් නැත. වෛරය පතුරුවන්නට මට අයිතියක් නැත. එහෙත් බොහෝ මිනිසුන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කරන්නේ මේ දෙවැනි වර්ගයේ වැඩ සඳහා ය.

ආයතන ප්‍රධානියෙකුට තමන්ගේ ආයතනයේ මිනිසුන්ට ප්‍රතිලාභ පිරිනැමීමටත් දඩුවම් කිරීමටත් හැකියාව හා නිදහස තිබේ. එහෙත් ඔහු එම නිදහස භාවිතා කළ යුත්තේ ආයතනයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව ය. එහි අභිවෘද්ධියට හේතුවන පරිදි ය. ආයතනය අනුගමනය කරන ආචාර ධර්ම හා නිතී රීතින් වල සීමාව තුළ රැඳෙමින් ය.

පොලිස් නිලධාරියෙකුට අපරාධ කරුවෙකු නීතියේ රැහැනට අසු කර දඩුවම් කිරීමේ නිදහස ලබා දී තිබේ. එහෙත් ඔහු විසින් එය කළ යුත්තේ රටේ සම්මත නීතියට අනුකූලව ය. තමන් නීතිය යැයි හිතා ගෙන නොවේ. තමන්ගේ නීතියකට අනුව නොවේ.

එහෙත් අප රට දෙස බලන විට පෙනී යන්නේ මේ බොහෝ දෙනෙකු කිසි දු හිරිකිතයක් නැතිව තමන්ගේ නිදහසේ සීමාව ඉක්මවන බව ය. ඒ නිසා ම සෙසු අයගේ නිදහස වෙනුවෙන් මෙසේ වල්බූරු නිදහස භාවිතා කරන්නන් ආණ්ඩු මට්ටු කළ යුතු බව ය. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ය. සක්‍රීය ජනතා විරෝධය පල විය යුතු බව ය.

අප විරෝධය පළ කළ යුත්තේ අපට එරෙහිව මේ වල්බූරු නිදහස කිසිවෙකු භාවිතා කරන විට පමණක් නොවේ. ඕනෑම කෙනෙකුට එරෙහිව මිනිසුන් වල් බූරු නිදහස භාවිතා කරන හැම විට දී ය. දියුණු රටවල ජනයා කටයුතු කරන්නේ ඒ ලෙස ය. දියුණු රටවල මෙවැනි මිනිසුන් අඩුව ඇත්තේ ඒ රටවල ජනයා කවරෙකුට එරෙහිව මේ වල් බූරු නිදහස කවරෙකු භාවිතා කළේ වුව ද විරුද්ධ වන නිසා ය.

අප රටේ එසේ නොවන නිසා මේ හැම එකකට ම නීති පැනවීමටත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල පිහිට පැතීමටත් අපට සිදු ව තිබේ. වැඩි වැඩියෙන් නීති කියන්නේ ම නිදහස නැති කර ගැනීමකි. ඒ නිසා ම අප වැඩි බර තැබිය යුත්තේ නීති මත නොවේ. අන් අයට ගරු කරන සැමගේ අයිතීන් වෙනුවෙන් නොබියව පෙනී සිටින ජනතා ක්‍රියාකාරිත්වය මත ය.

නිදහසේ ස්වරූප

නිදහස තනි සංකල්පයක් නොවේ. එය සංකීර්ණ සංකල්පයකි. අප මෙතෙක් කතා කළ එහි ස්වරූපයන් අතර දේශපාලන නිදහස ආගමික නිදහස වැනි පැති කඩ කීපයක් විය. වඩාත් වැදගත් පැති කඩක් වන්නේ ආර්ථික නිදහස ය.

අප ආර්ථික අතින් ස්වාධීන නැත්නම් ටික කලකින් අපට සිදු වන්නේ ඉතිරි නිදහසේ සංරචකයන් ද අහෝසි කරගන්නට ය. අවසානයේ සියල්ල බඩ විසින් තීරණය කරන තත්වයට පත් වූ විට නිදහසින් ප්‍රයෝජනයක් නැති බැවිනි. නිදහස කන්නට බැරි බැවිනි.

ණය ගන්නා පුද්ගලයෙකු හෝ රටක් ඒ ණය නිසි ලෙස භාවිතා නොකරන්නේ නම් මුලින් ම නැති කර ගන්නේ ආර්ථික නිදහස ය. ඒ තවදුරටත් ණය ගැනීමට බැරි ලෙස වඩ වඩා ඉහළ පොලියට මිසක ණය ගැනීමට බැරි ලෙස හිර වීම තුළ ය. ඊට පසු සිදු වන්නේ අකමැත්තෙන් වුව ද වත්කම් විකුණා දැමීමට ය. නැතිනම් උගස් කිරීමට ය. ඒ තුළ නැති කරගන්නේ ඒවායින් ඵලදායී ආදායම් මාර්ගයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ය. ණය ගෙවා දැමීමට තිබූ ක්‍රමවේදයන් ය. ඒ කියන්නේ අප විෂම චක්‍රයකට පිවිස ඇති බව ය. මේ මාර්ගය අවසන් වන්නේ ආර්ථික වහල්භාවයෙන් ය. චීනයෙන් ගත් ණය අපව රැගෙන ගියේ මේ පාරේ ය. දැන් ඉතින් ගොඩ ඒම දුෂ්කර ය. දුෂ්කර යැයි කියන්නේ කළ නොහැකි බව නොවේ. ඒ සඳහා අති විශාල වෑයමක් කළ යුතු බව ය. කැප කිරීම් කළ යුතු බව ය. ඒ සියල්ලෙන් කියන්නේ අප විසින් සුද්දාගෙන් ලබා ගත් නිදහස හරි හැටි භාවිතා කර නොමැති බව ය. ඒ නිදහස ලබා ගෙන වසර 70 ක් ගෙවා අවසන් වන විට සුද්දාගෙන් නිදහස් කර ගත් රට චීනාට සින්න කරන්නට සිදු ව ඇති නිසා ය.

නායකයන් වන්දනා කරනවා වෙනුවට නායකයන්ට හරි වැරැද්ද කියා දෙන තැනකට පත් වෙන ජනතාවකට මිස මේ රට යන අගාධයෙන් ගොඩ ගත නොහැකි ය.

නිදහස නිකම් ලැබෙන්නේ නැත. නිදහස නිකම් ම පවත්වා ගෙන යා නොහැකි ය. ඒ සඳහා අපේ පැත්තෙන් කැපවීමක් අවශ්‍ය ය. ඒ කැප වීම සක්‍රීය ජන සහභාගිත්වයක් සඳහා යොමු විය යුතු ය. නිදහස තහවුරු කර ගැනීමට හා රැක ගැනීමට යොමු විය යුුතු ය.

ඒ ගමනේ දී අත් කර ගත යුතු තව වැදගත් නිදහසක් අපට තිබේ. ඒ අතීතයෙන් නිදහස ය. අතීත බැඳීම් වලින් නිදහස ය. අතීත බරින් නිදහස ය. අපට ඒ වැදගැම්මකට නැති අතීත බර මලු ඔසවා ගෙන මේ ගමන යෑ නොහැකි ය. තවදුරටත් ප්‍රයෝජනවත් නොවන ඒ මලු විසිකර දැමිය යුතු ය. ඒ අතර අප අතර පවතින කප්පරක් මිත්‍යා විශ්වාස ද තවදුරටත් වැදගැම්මක් නැති අතීත පුරාජේරු ද වෙයි.

අපට යම් වැඩක් ආරම්භ කිරීමට ඇති නිදහස පැහැර ගන්නට බිත්තියේ ඉන්නා හූනෙකුට හෝ හඳේ හෙවනැල්ල නොහොත් රාහුට හෝ ඉඩදිය යුතු නොවේ.

වගකීමෙන් නිදහස

බොහෝ අය කැමති තමන් හැම දෙයින් ම නිදහස් වීමට ය. ඒ අතරිනුත් ඔවුන් වඩාත් ම කැමති වගකීමෙන් නිදහස් වීමට ය.

බඩදරු අම්මා කෙනෙකුට නිදහස කියන්නේ කුසයේ ඉන්නා දරුවාගේ බරෙන් නිදහස ය. තරුණ වියේ දියණියන් ඉන්නා දෙමාපියන් නිදහස් වන්නේ උන් දීග ගිය දිනයක ය. ඒ අවස්ථා දෙකේම අපේ අදහස වගකීමෙන් නිදහස් වීම ය. මේ අවස්ථා දෙක සම්බන්ධයෙන් එය නරක නැත. එහෙත් බොහෝ දෙනෙකු නිදහස ලෙස දකින්නේ තමන් විසින් දැරිය යුතුව ඇති වගකීමෙන් නිදහස් විම ය.

වගකීමෙන් නිදහස් වන එක් ක්‍රමයක් වන්නේ වගකීම එල්ලීමට කෙනෙකු සොයා ගැනීම ය. අප කලින් ලිපියක සඳහන් කළ පසු අපේ රටේ මිනිසුන් රජෙකු හොයන්නේ මෙසේ වගකීම එල්ලීමට ය. ඉන්පසු ඔහු විසින් අපව බලා ගනු ඇත යන්න එහි අදහස ය. ලඟට කැන්දා දුක් සැප සොයන නිරිඳුන් හිටියේ ඉස්සර ය. ඉස්සර කිව්වාට ඒ ද මහ පොළොවේ නොවේ. කවි පොත්වල ය. එහෙම අය නැති නිසා අප හුරු විය යුත්තේ වගකීම දැරීමට ය. එයින් නිදහස් වීමට නොවේ.

තනතුරු වලට මිනිසුන් පත් කරන්නේ වගකීම් දැරීමට ය. එහෙත් එහෙම පත් කරන අය කැමති තනතුරේ වරප්‍රසාද විතරක් භුක්ති විඳ වගකීම මග හැරීමට ය. වගකීමෙන් නිදහස් වීමට ය.

අපට වගකීමෙන් නිදහස් වීමට නොහැකි ව තිබෙන්නේ මේ තනතුරු දරන්නන් තම වගකීමෙන් නිදහස්ව ඇති නිසා ය. නිදහස අවශ්‍ය නම් අප ඒ නිදහස පවත්වාගෙන යෑමේ වගකීම දැරිය යුතු ය. වෙන කුමකින් නිදහස් වූවත් එයින් නිදහස් වීමට අපට බැරි ය.

එසේ නොවුනහොත් අපේ ආර්ථික නිදහස පමණක් නොව සෙස්ස ද මේ තනතුරු ලාභීන් විසින් උගස් කරනු ඇත. පැහැර ගනු ඇත. නැතිනම් අන් අය විසින් පැහැර ගෙන යනු බලා උන් නිකම්ම සිටිනු ඇත. ඒ සියල්ලෙන් අපට අහිමි වනු ඇත්තේ අපේ නිදහස ය. අපේ නිදහස වෙන කෙනෙකුට පවරා අපට නිදහස් විය නොහැකි තරම් වටිනා එකකි. ඒ නිසා ම ඒ නිදහස රැක ගැනීමේ වගකීමෙන් අපට නිදහස් විය නොහැකි ය.

පොලීසිය හා පොලෝසිය

පොලීසිය සුද්දාගේ ය. පොලෝසිය අපේ ය. පොලීසිය නීතිය ක්‍රියාත්මක කළ අතර පොලෝසිය බැලුවේ නීතිය නමන්නට ය. පොලීසිය අපරාධ කරුවන් පිළිබඳ පරීක්ෂන සිදු කොට සියලු සාක්කි ඇතිව ඔවුන් උසාවියට ඉදිරිපත් කර දඩුවම් ලබා දුන්නේ ය. පොලෝසිය කළේ ඔවුන් ආයුධ පෙන්වන්නට එක්ක ගොස් පලා යෑමට සලස්වා මරා දැමීම ය.

මේ දිනවල පොලීසි ගැන නිතර කියවෙන අතර එය වඩාත් දැඩිව කතා කරන මාතෘකාවක් බවට පත් වූයේ ඉන්දියාවේ පශු වෛද්‍යවරියක් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමත් සමග ය. කෙළවරක් නැති ස්ත්‍රී දූෂණ වලක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසියට මහජන චෝදනා එල්ල වූ අතර ඔවුන් සිය ගැලවීමට පාදා ගත්තේ සමූහ දූෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැක කරුවන් හතර දෙනා ම මරා දමමිනි. ඒ මගින් ඉන්දීය පොලීසිය කියා සිටියේ ඔවුන් ද ලංකාවේ පොලෝසිය වගේ එකක් බව ය.

මේ ගැන බහුතර ශ්‍රී ලාංකික ප්‍රතිචාරය වූයේ ඉන්දීය පොලීසියේ ඒ කටයුත්ත පිළිබඳව ගෞරවාදරය පළ කිරීම ය. ඒ කියන්නේ ඔවුන් ද ඉන්දීය පොලීසිය ලංකාවේ පොලෝසිය වගේ වීම ගැන ඉමහත් ලෙස සතුටට පත් වී ඇති බව ය. වෙනත් විදිහකට ඔවුන් කියන්නේ ලංකාවේ පොලීසියට ද පොලෝසියක් වන ලෙස ය.

සමූහ දූෂණයෙන් පසු පශු වෛද්‍යවරියක නොව ඕනෑම කාන්තාවක් මරා දැමීම වැනි අපරාධයක් ගැන අපරාධකරුවන්ට සමාව දිය නොහැකි ය. නීති ප්‍රකාරව ඔවුන්ට දඩුවම් පැමිණවීමට හැකි සෑම දෙයක්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන වලින් සිදු කළ යුතු ය. එසේ සිදු කරන අවස්ථාවක ඒ ගැන ඔවුන්ට ජනතාවගේ කෘත වේදීත්වය ද පළ කළ යුතු ය. එහෙත් අපට ප්‍රශ්නයක් ඉතිරි කෙරේ.

මේ සැකකරුවන් අපරාධකරුවන් ම ද?

අප මෙසේ අසන්නේ අපේම පොලෝසියේ අතීත කටයුතු නිසා ය.

සේයා සදෙව්මි ඝාතනයට පොලිසිය අවස්ථා තුනකදි මිනිසුන් තුන්දෙනෙක්ව සැක පිට අත්අඩංගුවට ගත් බව වාර්ථා විය. මෙම සැකකරුවන් පෞද්ගලික නිවසක රඳවා ගැනිමින් වද දුන් බවටත් කතා පැතිර ගියේ ය.

එම සැකකරුවන් අතරින් කොණ්ඩයා කියන පුද්ගලයා ටක්කෙටම වැරදිකරු බව මාධ්‍ය විසින් ද ප්‍රචාරය කෙරුනේ ය. මුළු ලංකාවම කොණ්ඩයා වැරදිකරු බව විශ්වාස කළ බවක් පෙනී ගියේ ය. ඔහුව පොලිසියට හසු නොවි මිනිස්සුන්ට හසු වුනා නම් අනිවාර්යයෙන්ම ගහලා මරණ තත්වයක් පවා ඇතිවන්නට ඉඩ තිබුනේ ය. නමුත් DNA පරික්ෂණය නිසා ඔවුන් තුන්දෙනාම නිවැරදිකරුවන් බවට ඔප්පු විය.

මෙසේ සැක පිට කවුරුන් හෝ අල්ලා ගන්නට පොලීසිය පෙළඹෙන්නේ ජනතාව එසේ නොකිරීමෙන් නොසන්සුන්තාවයට පත් වන නිසා බව පොලීසිය වෙනුවෙන් කතා කරන අය කියති. එය එසේ නම් තත්වය තවත් භයානක ය. එයින් කියන්නේ පොලීසිය තමන්ගේ රාජකාරිය නීති ප්‍රකාරව නොකර ජන ආකර්ෂණය දිනා  ගැනීමේ දේශපාලනයක නිරත වෙන බව ය.

අසරණ මිනිසෙකු සැක පිට අත්අඩංගුවට ගැනෙන අතර ඔහුට ඉන් ගැලවීමක් නැති වන්නට ඒ නිසා ම සිදු වීම භයානක ය. ඔහුව ජීවතක්ෂයට පත් කිරීම හරහා සැබෑ අපරාධකරුවාට ගැලවීමට ද ඉඩක් ඇති වීම එහි ඇති භයානකත්වය තවත් තීව්‍ර කරන්නේ ය.

මේ එකම සිද්ධිය නොවේ. කොටකෙතන නිවසක කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට පත් වූ බව ඔබට ඇතැම් විට මේ වනවිට අමතකව තියෙන්නට ද පුළුවන. එම සැකකරු පිළිබඳ විස්තර පොලිසිය විසින් මාධ්‍යට ලබාදෙන අතර ඒ අනුව පැවසෙන්නේ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත් ය. මේ සිද්ධිය මාධ්‍යවල අකුරෙන් අකුර රසකර කර ලියවෙන අතර මුළු රටම ඒ ගැන කම්පාවට පත් වෙන්නේ ය. එපමණක් නොවේ, ඒ කතාව අසන ජනයා අපරාධකරුවාට හෙන ඉල්ලන අතර, ඔහු අවුරුද්දකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නේ ය. ඒ අතර ඔහුගේ කිසියම් වාසනාවකට සැබෑ වැරදිකරු ද අසුවෙන්නේ ය. ඒ හේතුව නිසා ඔහු නිදහස ලබන මුත් ඔහුට විඳින්නට සිදු වූ අපකීර්තියට හා අවමානයට විසඳුමක් නැත. වඩාත් වැදගත් වන්නේ පොලෝසියේ ක්‍රමයට එය විසඳිනි නම් අද ඔහුට යුක්තිය ඉටු කිරීමට ඔහු ජීවතුන් අතර පවා නොමැති වීමට ඉඩ තිබීම ය. එපමණක් නොවේ. සැබෑ වැරදිකරුද සඟවා අපකීර්තියෙන් මිදීමට පොලෝසියට ම සිදු වීම ය.

තව සමාන තෙවැනි සිද්ධියකුත් අපේ රටින් මෑතක දී වාර්ථා වී ඇත. ඒ උතුරේ පොලිස් නිලධාරින් දෙන්නෙක් මුරපොළකදි ඝාතනය වීම සම්බන්ධව ය. ඒ සම්බන්ධයෙන් සැක පිට පොලීසිය පුනරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සමාජිකයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරන්නේ ය. වැරදිකරුවෙකු යැයි කියන්නට කෙනෙක් අසු වූ නිසා පරික්ෂණ මන්දගාමි වෙන අතර, කාලයකට පසු, පාස්කු ඉරිදා එල්ල වන ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ පාපොච්චාරණයෙන් සැබෑ අපරාධකරු හෙලිවන්නේ ය. ඒ වන විටත් අර දෙමළ මිනිසා එම ඝාතනයට සම්බන්ධව සැකකරුවෙක් හැටියට හිටියේ  බන්ධනාගාරයේ ය. ඔහුත් පොලෝසියේ ක්ෂණික යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයට අසු වූයේ නම් අද ජීවතුන් අතර නැත.

මේ සිද්ධි තුනම අපට කියන්නේ පොලෝසියේ අනිසි “කාර්යක්ෂමතාවය” අනතුරු දායක බව ය. නීතිය නමනවා වෙනුවට කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම බව ය. එහිදී සිදුවන යම් පමාවක් ඉවසීමට ශිෂ්ඨ සම්පන්න මිනිසා සූදානම් විය යුතු බව ය. කැලේ නීතිය පොලෝසියකට මිස පොලීසියකට උචිත නැති බව ය. මේ සියල්ලෙන් අවසාන විශ්ලේෂණයේ බැට කන්නේ ද කිසිවක් කර කියා ගන්නට බැරි අසරණ මිනිසුන් පමණක් බව ය.

ප්‍රශ්නය ඇත්තේ පොලීසියේ ම නොවේ. පොලීසිය පොලෝසියක් කරන්නට වුවමනා මහ ජනයාගේ ය. ඔවුන් පොලීසිය පොලෝසියක් වන විට හුරේ දාන නමුත්, සැකකරුවන් ක්ෂණිකව මරා දැමීම සම්බන්ධයෙන් පොලීසියට පදක්කම් පළඳන නමුත්, සල්ලිකාර අපරාධ කරුවෙකු ජනාධිපති සමාවක් ලැබ හිරෙන් එලියට එන විට මීක් කියන්නේ නැත. ඒ කියන්නේ උණුසුම ඉවර නම් ඔවුන්ට එහෙමට ගායක් නැති බව ය. ඔවුන්ගේ කතන්දර ගණන් ගෙන පොලීසිය සිය වෘත්තීය ගරුත්වය ඉවත නොහෙලිය යුතු බව ය. ඔවුන්ගේ කඩිකුලප්පුව ඉදිරියේ වෘත්තීය සංයමය පොලීසිය විසින් රැකිය යුතු බව ය.

පැරණි පොලීසියේ තිබුණේ සෑහෙන ගවේෂණයකින් පසු හැකිතාක් සාක්කි සොයා ගැනීමකින් පසු සැක කරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සම්ප්‍රදායකි. ඒ අතීතය ගැන ජාතික පුවත්පතකට ලිපියක් සපයන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ගුණවර්ධනය මහතා කියන්නේ අද බොහෝ විට ගවේෂණ ආරම්භ කරන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුය කියා ය.

එපමණක් නොවේ. අත්අඩංගුවට පත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරමින් සපයන බී වාර්ථාවේ හැකිතාක් අඩුවෙන් තොරතුරු සපයන්නට එදා පොලීසිය ප්‍රවේසම් වූ බව එතුමා කියන්නේ ය. ඒ පරීක්ෂණයට එවැනි තොරතුරු ජනමාධ්‍ය හරහා ජනගත කිරීමෙන් බාධා ඇති විය හැකි නිසා ය.

ඒ සියල්ලෙන් කියවෙන්නේ සැකකරුවෙකු අපරාධකරුවෙක් ලෙස හංවඩු ගසා එලොව යැවීම තරමටම ඔහු හෝ ඇයව අපරාධකරුවෙකු ලෙස සමාජගත කිරිමට පෙර ද ප්‍රවේසම් වීම පොලීසියේ යුතුකම බව ය.

පොලීසිය “පොලෝසියක් වීම” ගැන එතුමා කම්පා වෙතත් රටේ බහුතරයක් මිනිසුන් නම් ඉන් ආශ්වාදයක් ලබන බව පෙනෙන්නට තිබේ. ඒ බව ප්‍රකට වුනේ ඉන්දීය පොලීසියට ලංකාවෙන් පලවන ගෞරවාචාර නිසා පමණක් නොවේ. අතීතයේ ලංකාවේ පොලීසියට ද සමාන සිද්ධි සම්බන්ධයෙන් ගෞරවය පුද කරන්නට ලංකාවේ ජනයා කටයුතු කර ඇති නිසා ය.

පොලීසිය තුළ වෘත්තීමය සංවරය හා සදාචාරය පවත්වා ගැනීම විශාල අභියෝගයක් බව ඇත්ත ය. ඒ විශාල බලයක් ඔවුන් සතුව තිබීම නිසා ය. තමන්ගේ නිලධාරීන් කරන ඇතැම් වැරදි සම්බන්ධයෙන් දඩුවම් නොකර ඔවුන් රැක ගැනීමට ඉහළ නිලධාරීන් තුළ පෙළඹවීමක් ඇති වීම මේ තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවක් වී තිබේ.

එය ලංකාවේ ඉන්දියාවේ පමණක් නොව ඇමරිකාවේ පවා පොලීසියට විරුද්ධව එල්ල වන පැමිණිල්ලකි. ඇමරිකාවේ කල්ලන් සම්බන්ධයෙන් එහි පොලීසිය හැසිරෙන ආකාරය ගැන කළු ජාතිකයන් තුළ ඇත්තේ කළකිරීමකි. අප්‍රසාදයකි. කළු ජීවිත ද වටින්නේ ය (black life matters) යන ව්‍යාපාරය පැන නැගීමට ද පොලීසියේ ක්‍රියාකාරිත්වය හේතුවක් වී තිබේ.

ඕනෑම කෙනෙකු තුළ බලයක් ඒකරාශි වූ විට එය අපහරණය කිරීමේ ඉඩකඩක් ද ඒ සමග විවෘත වන්නේ ය. එය පොලීසිය සම්බන්ධයෙන් පමණක් වෙනස් වන්නට ඉඩක් නැත.

ලංකාවේ පොලෝසියට එරෙහිව ද පසු ගිය කාලයේ මතු වූ එක් පැමිණිල්ලක් වූයේ සුළු ජාතිකයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ අලස කමක් ඔවුන් දක්වන බව ය. වාර්ගික ගැටුම් ඇති වූ ඇතම් තැනක ඒවාට භාජනය වූයේ සුළු ජාතිකයන් නම් ඒවාට ඉඩ දී පොලෝසිය අහක බැලූ බව ය. ඒ නිසා ම ඇතැම් තැනක නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා පොලෝසිය වෙනුවට හමුදාවේ හෝ පොලීසියේ ම විශේෂ කාර්යය බලකායේ සහය ගැන විශ්වාසය තබන්නට සිදු ව ඇති බව ය.

පොලීසියේ ඇතැම් නිලධාරීන් සිය බලය දේශපාලන ස්වාමීන් වෙනුවෙන් අපහරණ කරන ලද බවට චෝදනා අද වන විට එල්ල වන්නේ බලයට පත් නව ආණ්ඩුවෙනි. එය අතීතයේ ද එල්ල කරන ලද චෝදනාවක් වුව ද බලයට පත් නව ආණ්ඩුව චෝදනාවක් කිරිමෙන් නොනැවතී ඒ පිළිබඳව පරීක්ෂණයකට ද සැරසෙන බවට කරන කියන වැඩ කටයුතු වලින් පෙනෙන්නට තිබේ. මේ වන විට අපරාධ මර්ධන කොට්ඨාෂයේ හත්සිය හතරකට රටින් පිටුවීමට තහනම් පනවා තිබෙන්නේ ඔවුන්ගේ කටයුතු විභාග කිරීමට විය යුතු ය.

චෝදනාව එල්ල වන්නේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා සාක්කි සකස් කිරීම අරමුණු කොට ගෙන මිනිසුන්ට බලපෑම් කළ බවට ය. එසේ කළේ නම් එය බරපතල වැරැද්දකි. ඒ සම්බන්ධයෙන් අපක්ෂපාත පරීක්ෂණ පවත්වා එසේ කළ අයට දඩුවම් කළ යුතු ය.

එසේ වුව ද ඒ පරීක්ෂණ ද අපක්ෂපාත නොවන්නේ නම් හා නිවැරදිව රාජකාරී කළ නිලධාරින්ට ඉන් දඩුවම් ලැබෙන්නේ නම් ඇති වන තත්වය යහපත් වන එකක් නැත. ඒ  හරහා පොලීසියේ නිලධාරීන්ට දෙන පණිවුඩය අපරාධකරුවන් දේශපාලන වශයෙන් බලවත් නම් ඔවුන් හඹා ගොස් සිය දිවි නසා ගන්නට එපා යන්න නම්, පොලීසියෙන් මහජන අපේක්ෂා ඉටුවන එකක් නැත. ඒ නිසා ම මේ චෝදනා විභාග කර බලන්නට වෘත්තීමය වශයෙන් අපක්ෂපාතව කටයුතු කරන මණ්ඩලයක් පත් කළ යුතු ව තිබේ. නැතිනම් වන්නේ මෙයින් ද පොලීසිය පොලෝසියක් වී නතර වීම ය.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ගුණවර්ධන මහතා දි අයිලන්ඩ් පුවත් පතේ පළ වූ තම ලිපිය මගින් එවැනි අපක්ෂපාත පරීක්ෂණයක වැදගත් කම අවධාරණය කරන්නේ අතීතයේ එවැනි චෝදනා ඉදිරිපත් වූ අවස්ථා ද ඒ අවස්ථා වල කටයුතු සිදු වූ ආකාරය ද සිහියට නගමිනි.

ඒ එක් සිද්ධියක් වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයේ දී ය. ඒ වකවානුවේ විදේශ විනිමය වංචා සම්බන්ධයෙන් ගවේෂණය කර එම වංචා කළ උනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත බාර ව තිබුනේ ටිරල් ගුණතිලක නම් නිලධාරියාට ය. ඔහු එසේ වංචා කළ බොහෝ දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නමක් දිනා ගෙන තිබුනේ ය. එහෙත් එයින් උරණ වූ පසු කලෙක බලයට පත් වූ ආණ්ඩුව ටිරල් ගුණතිලක ඇතුළු එම පරීක්ෂණ වලට සම්බන්ධ නිලධාරීන් මාරු කර යැවූ අතර ජනාධිපති පදවියට පත් ජේ ආර් ජයවර්ධන මහතා සීඅයිඩීය පොළොවට සමතලා කරන බවට තර්ජනය කළ බව ද ඒ ලිපියේ සඳහන් ය. එහෙත් මැතිව් පීරිස් නඩුව ඇතුළු වැදගත් නඩු රාශියක් සම්බන්ධයෙන් සාර්ථකත්වය ලබා ගත් ටිරල් ගුණතිලකට පසු කලෙක ජනාධිපති ජේආර් ජයවර්ධන මහතා විසින්ම වැදගත් ගවේෂණ ගණනාවක් පැවරූ බව ද එහි සඳහන් ය. ඒ ජනාධිපති විශේෂ කොමිසමකින් පොලිසියේ කටයුතු විභාග කොට ඔවුන් වරදක් නොකළ බව ඔප්පු වූ පසුව ය.

ගාමිණී ගුණවර්ධන මහතා තම ලිපියෙන් පෙන්වා දෙන්නේ පොලීසිය තමන් සතු බලය භාවිතා කළ යුත්තේ පරිස්සමින් බවත්, පොලීසිය විසින් යම් අකටයුතු යමක් කළේ නම් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයන් සිදු කළ යුතු බවත්, එසේ කිරිමෙන් තොරව පොලීසියේ නිලධාරීන්ට දඩුවම් කිරිමෙන් ඔවුන් අධෛර්යය වීම නීති ගරුක මෙන්ම විනය ගරුක පාලනයක් ඇති කිරීමට බාධා ඇති කළ හැකි බවත් ය.

බන්ධනාගාරයේ තාප්පයේ ලියා තිබෙන වැකියකින් කියවෙන්නේ සිරකරුවනුත් මනුස්සයින් බව ය. ඒ අර්ථයෙන් ම පොලීසියේ සිටින්නේත් මනුස්සයෝ ය. ඔවුන්ට සමාජයේ සෙසු මිනිසුන්ට නැති ගුණධර්ම තිබෙන්නට විදිහක් නැත. එහෙත් විශාල බලයක් ඔවුන් සතු නිසා ම ඔවුන්ගේ හැසිරීම වෘත්තීමය ගරුත්වයක් ඇති ව සිදු කළ යුතු ය.

පොලීසියට සේවය කරන්නට සිදු ව ඇත්තේ විවිධ බාධක මැද්දේ ය. එක පැත්තකින් අසාධාරණ ඉල්ලීම් කරන ඇතැම් දේශපාලනඥයන් ය. අනෙත් පැත්තෙන් සිවුරට මුවා වී ජඩ වැඩ කරන ඇතැම් සංඝයා වහන්සේ ය. තව පැත්තකින් තමන් නීතියට උඩින් ඉන්නා බව හඟින වෙනත් ආගම්වලට අයත් ඇතැම් පූජකයන් ය. තව පැත්තකින් විශ්ව කර්ම උත්තර අපේක්ෂා කරන, වෙඩි වගේ උත්තර ඉල්ලන, බහුතරයක් මහජනයා ය. මහජනයාට ඒ සඳහා උඩගෙඩි දෙමින් ආවේග ශීලි ලෙස හැසිරෙන මාධ්‍ය ය. අනෙත් පැත්තෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන පොලීසියේම ලොකු මහත්තුරු ය. ඒ සියල්ලට මැදිවන පොලිස් නිලධාරියාට සිදු වන්නේ අවසානයේ  පොලීසිය පොලොසියක් කර තමන්ගේ වැඩක් බලා ගැනීම ය. ඒ නිසා ම පොලිස් නිලධාරියාට වෘත්තීමය සේවයක් කළ හැකි වාතාවරණයක් සාදා දීම රට කරවන අයගේ පමණක් නොව මහජනතාවගේ ද මාධ්‍ය වල ද යුතුකමකි.

පසු ගිය දිනක ජනපති ආර්යාව ගමන් කළ රථයේ රියැදුරා කළ නීතිය කඩ කිරීමක් නිසා, පොලීසිය විසින් ඔහුගේ බලපත්‍රය ලබා ගත් අවස්ථාවේ, කිසිදු මැදිහත් වීමක් නොකර නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට ඉඩ හසර ලබා දුන් බවට පුවතක් සමාජ ජාලා හරහා සංසරණය විය. එහි ඇත්ත නැත්ත කුමක් වුව ද අපට අවශ්‍ය වන්නේ නම් පැහැදිලිවම එවැනි වාතාවරණයකි. අප ජීවත් වන්නේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් දඩ කොලයක් නිකුත් කිරිමේ වරදට ගුටි කෑ, තම රථයට ද, නිවසට ද, අලාභහානි කරගන්නට සිදු වූ, අවසානයේ වැඩ තහනමකට ද ලක් වූ පොලිස් නිලධාරියෙකු සිටි රටක නිසා ම මෙවැනි වාතාවරණයක් ඇති කර ගත හැකි නම් එය අතිශයින් ගරු කටයුතු ය. එවැන්නක් සිදු නොවි තිබිය දි මෙය ප්‍රචාරය කරන ලද්දේ නම් එයින් ද පල වන්නේ විනය ගරුක මිනිසුන්ගේ අපේක්ෂාව ය. පොලෝසියක් වෙනුවට පොලීසියක් දකින්නට කැමති මිනිසුන්ගේ අපේක්ෂාව ය.

විනය ගරුක රටක් හැදීමට අපේක්ෂා කරන ආණ්ඩුවක් විසින් කළ යුතු අංක එකේ කාර්යය වන්නේ පොලෝසියක් වී ඇති පොලීසිය නැවතත් පොලීසියක් බවට පත් කිරීම ය. ආණ්ඩුව ඒ සඳහා පෙළඹවීමත්, පොලෝසිය පොලීසියක් කිරීම සඳහා ආණ්ඩුව දියත් කරන යම් ව්‍යායාමයක් තිබේ නම් ඒවාට සහය දීමත්, මහජනයාගේත් මාධ්‍යවලත් සෙසු සමාජ බලයක් ඇති කණ්ඩායම් වලත් අත් නොහැරිය හැකි වගකීම ය.