කිඹුල් ධර්මේ වැඩේ දෙන්නේ ධර්මයෙන්ම ය.

කිඹුල් ධර්මේ වැඩේ දෙන්නේ ධර්මයෙන්ම යයි කියන විට දැනෙන්නේ පොර සූක්ෂම විදිහට ඇගට නොදැනී ගේම දෙන බව ය. ධර්මය හා අධර්මය අතර වෙනස දැන් බොඳවී ගිහින් ය. ඇත්තටම ඒ දෙක අතර වෙනස එකම එක අකුරකට එනම් ‘අ‘ යන්නට සීමා වී තිබේ.

ධර්ම රාජ්‍යයක් ඇති කිරීමට සපථ කළ සමහරු එහි අනුහසින් බෙන්ස් ගෙන ඒවා විකුණා ධර්ම රාජ්‍යය අමතක කළ හ. දැන් ධර්ම රාජ්‍යයට ඉතිරි වී ඇත්තේ සුවපහසු අසපු කීපයක් පමණකි.

පොලීසිය වෙනස් කළ නොහැකි බව දත් එක් පාලකයෙක් ධර්මචක්‍රයක් පළදවා පරිහානියට පත් පොලීසිය ධර්ම පොලීසියක් බවට පත් කළේ ය. සුරා සූදුව ද ගණිකා නිවාස ද වටලන්නේ පොලීසිය යි. එහෙම බැලුවහම ධර්මයටත් වඩා රට පිරිසිදු කිරීමේ වගකීම දැන් දරන්නේ පොලීසියයි. ඉතින් ඊට ධර්ම චක්‍රය නොපළඳවා වෙන කොහේ ඒක පලඳන්න ද කියා කෙනෙකුට ඇසිය හැකි ය.

ධර්මයේ හැසිරෙන්නා ඒ ධර්මයෙන්ම රැකෙතැයි කීවාට ඇත්තටම රැකෙන්නේ එසේ ධර්ම චක්‍රය පැළඳූ පොලීසිය නිසා ය. තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයා ගන්නට යැයි පාලකයෙකුගෙන් උපදෙස් ලැබුනහම ඒ ආරක්ෂාවත් ඈලියාවට ගොස් ඇති බව පෙනී ගියේ ය. සමහරුන්ට නම් රැකෙන්නට වී ඇත්තේ රකින්න ඉන්නා පොලීසියෙන් වීම ද අභාග්‍යයකි.

ධර්මය රැක ගැනීමට ධර්ම චක්‍රය උරයේ පැළඳූ පොලීසියෙන් විතරක් වැඩක් නැතැයි සැළකූ තව පාලකයෙක් ආගමික පොලීසියක් ඇති කළේ ඒ උරචක්‍රයේ ඇති ධර්මය රකිනු පිණිස ය. එසේ වුයේ භික්ෂූන්ගෙන් පමණක් සමන්විත බල සේනාවකට පමණක් ධර්මය රකින්නට නොහැකි යයි හැගුන විට ය.

තමන්වත් රැක ගන්නට බැරි ධර්මයට අනුන් රකින්නට හැක්කේ කෙසේ දැයි ප්‍රශ්න කරන අය සැබෑ මිථ්‍යා දෘෂ්ඨිකයන් ය. තමන්ට රැකෙන්න විදිහක් නැති බොහෝ අය අනුන් රකින්නට ඉදිරිපත් වී හත්මුතු පරම්පරාවම ගොඩ දාගෙන රැක ගත් බව උන් අමතක කරති. එහෙම බැලුවහම මේ තර්කවල කිසි තේරුමක් නැත.

සමහරු නම් කියන්නේ ධර්මය සරණ ගියේ ඉස්සර බව ය. ඔවුනට අනුව දැන් ඒ වෙනුවට සරණ යන්නේ අබ ය. එහෙම ගත්තහම හාමුදුරුවන් යනු අබ අපමණ ඇති ධර්මය ටිකක් පමණක් ඇති අය වීම අහම්බයක්ම නොවේ. මේ යන විදිහට ගියොත් ධර්මය නැත්තටම නැති වී සාසනයේ අබ විතරක් ඉතිරි වෙන්නටත් පුළුවන.

සරණක් ලැබෙනවා නම් ඒක ධර්මයෙන් වුනාම මොක ද අබ වලින් වුනාම මොක ද? ඔබ සැමට ඉදිරියේදී නම් අබ සරණ ය.

Advertisements

බැරි සිල්, බොරු සිල් හා අබරංගෙ සිල්

අබරංගේ හාමිනේ හැම පෝයටම සිල් ගන්නී ය. අබරංට කීවාට අබරං නම් සිල් ගැනීමට කැමැත්තක් පළ කළේ ම නැත. අනේ හැබෑට ඔහොම ගිහින් අපායට තමයි පාස්පෝට් ගන්න වෙන්නෙ දිවිය ලෝකෙට නම් යන්න බැරි වෙයි ඔහෙට. අබරංට තේරෙන බාසාවෙන් හාමිනේ කීවේ කෙසේ හෝ සිල්ගන්නවන්නට ය.

සිල් ගන්නේ නැති අයට බලෙන් හෝ සිල් ගැන්නවීමට කැමත්ත ඇත්තේ අබරංගේ හාමිනේට පමණක් නොවේ. ආණ්ඩුවට ද දේශපාලනඥයින්ට ද දේශප්‍රේමීන්ට ද ඒකට කැමැත්තක් ඇත්තේ ය.

පෝයට බාර් වහන්නේත් මස් කඩ වහන්නේත් නාට්‍ය චිත්‍රපටි සංගීත සන්දර්ශණ තහනම් කර ඇත්තේත් ඒ නිසා ය.

අබරංට බේරෙන්නට බැරි තැන කීවේ සිල් ගන්නට තමන් දන්නේ නැතැයි කියා ය. ඕකේ ඔය හැටි දැනගන්න දෙයක් නෑ අබරං. පන්සල් ගොහින් හාමුදුරුවො කියන දේම කිව්වනම් හරි.

අබරංගේ හාමිනේ කීවේ සිල් ගන්නට යන අපි කොයි කවුරුත් කරන දේ ගැන ය. ඒ කියන්නේ හාමුදුරුවෝ පාලියෙන් කියන සියල්ල සමහර විට කුණුහරුප වගේ සද්දේ එන දේවල් ද ඇතුළුව ඔක්කොම අකුරක් ඇලපිල්ලක් නෑර කීම ය. එහෙම බැලුවහම අබරංගෙ හාමිනේගේ මොළේ අපේ මොළේට වඩා සවුත්තුයැයි සිතා ආඩම්බර වීමට අපට බැරි ය.

හාමිනේගෙන් බේරෙන්නට බැරි තැන අබරං කෙසේ හෝ හිත හදා ගෙන සිල් ගන්නට ගියේ ය. හරියට අපෙන් බේරෙන්නට හා ඉස්කොළෙන් බේරෙන්නට අපේ ළමයි සිල් ගන්නවා වගේ ය.

අබරං පංසල් ගියත් හාමුදුරුවන් පෙනෙන්නට නොසිටියෙන් උන්නාන්සේ වැඩ ඉන්නා ගඳ කුටිය අභියසට යෑමට අබරං සිතා ගත්තේ ය. එසේ ගොස් උගුර පෑදුවේ ය.

කවුද ඔය හාමුදුරුවෝ පිළිවිසියෝ ය. දිවිය ලෝකෙට පාස් පෝට් ගන්නට ගිය අබරං අකුරක් නෑර පන්සලේ හාමුදුරුවන් කී දෙය කීවේ ය. කවුද ඔය?

මේක සෙල්ලමක් කියල හිතුව ද? හාමුදුරුවන්ට හොදටෝම ජුවල් ගිහින් ය. මූට දෙකක් ඇණ පිය කෝ මේ ඇබිත්ත කොලුවා.

අබරං ඒ සද්දෙටම ඒක ම කීවේ ය. දිවිය ලෝකෙට ලබන ආත්මයේ යන්නට සිටි අබරංට යම ලොව මෙලොව දීම පඩිසන් දුන්නේ ය. ඒ සිල් ගැනීමට දුන් උපදෙස් අනුගමනය කිරීමේ පාපයට ය.

සිල් ගත් ඇත්තන් කරන පව් දිහා බැලුවහම ඒ ගොල්ලොත් දිවිය ලෝකේ යන්න හිතා හිටියත් නවතිනු ඇත්තේ අපායේ දැයි සිතෙන්නේ ය. බැරි සිල් නොගෙන හිටියොත් අඩු වශයෙන් මුසාවාදයවත් නොවදාරා සිටිය හැකි ය.

බැරි සිල් ගෙන බොරු සීලයක් මවන හැමටම සිය සුදු රෙද්ද අස්සේ සැගවී තියෙන කයේ මනසේ ඇති කුණු කන්දල් පේන්නේ නැත. තමන් නිර්මාණය කරන බොරුවම පව්කාර බව පේන්නේ නැත. ලෝකයම රැවටීමෙන් නොනැවතී ඔවුහු තමන්වම රවටා ගන්නෝ ය.

බැරි සිල් නොගනින් අබරෝ යැයි පැරැන්නන් කීවේ අබරං වගේම එහෙම අයත් මතක් වෙලා විය යුතු ය.

මේ ප්‍රශ්නයේදී අබරං විතරක් අමතා හරියන්නේ නැත. අබරංගේ හාමිනේත් ඇමතිය යුතු ය. බොරු සිල්ගන්නවන්නට අනුන්ට බල නොකළ යුතු යැයි අබරංගේ හාමිනේලාට ද කිව යුතු ය. ඒ ගොඩට මස්කඩ වැස්සවීමෙන් බාර් වැස්සවීමෙන් නැටුම් ගැයුම් වැයුම් නැවැත්වීමෙන් අපට සිල්ගන්වන්නට හදන පිරිමි වෙසක් අරගෙන ඉන්නා ගමහාමිනේලා ද අතුළත් කළොත් ලංකාව බොරුවෙන් නිදහස් වන්නේ ය. එදාට මිනිසුන් බලෙන් නොව බොරුවට නොව හැබෑවටම සිල් ගනු ඇත. අප වගේ අබරංලාට එවිට අපායේ නොවැටී සිටිය හැකි ය.

ගැලවීම හා ගැල විජ්ජාව

ගැලවීමේ මාර්ගයක් පාදා ගැනීමට බොහෝ දෙනා කැමති ය. අහුවුනොත් එකම කරුමයක් බවට පත් වෙන හෙයිනි.

ගැලවෙන්නේ කුමකින් ද? මුළින්ම තමන්ට ඇති වගකීම් වලිනි. ඒවා නිදහස අහුරයි. හිර කර දමයි. එයින් ගැලවුනහම බරකින් ලිහිල් වුනා වැනි සැහැල්ලුවක් දැනෙයි. දෙවනුව යුතුකම් වලිනි. එය නිතර මතකය අවදිකර හෘදසාක්ෂිය රිදවයි.

ඒ නිසාම මිනිසුන් සියළු විද්‍යාවන් අතුරින් වඩාත් ඉගෙනගන්නට කැමති ගැල විජ්ජාව ගැන ය. පුදුමය ගැලවිජ්ජාව උගන්නන පන්තියක් තවම ආවේ නැති එක ය. ඉල්ලුමේ තරමට එය තවම නොපැමිණීම ඇත්තටම පුදුමයකි.

එක අතකට ගැල විජ්ජාවේ ඉගෙනීමට මහ එකක් නැත. උගත යුත්තේ ඇස් කන් නාසා නැතිව සිටීමට ය. එතකොට ඉබේම ගැලවීම ලැබෙන්නේ ය. දුටුවත් නුදුටුවාසේ සිටිය හැකි නම් ද ඇසුණත් නෑසුනාසේ සිටිය හැකි නම් දුගඳ දැනුනත් නොදැනුනාසේ සිටිය හැකි නම් ඇස් කණ් නාසා විවෘතව තිබීමේ පවා එහෙමට ගැටළුවක් නැත.

කෝච්චි හැප්පෙන්නේ ය. වගකිව යුතු කෙනෙක් නම් නැත්තේ ය. දැක්කහම හිතෙන්නේ ඉබේ හැප්පෙන්නට ඇතැයි කියා ය. හැමෝම ගැලවිලා ය.

මත් කුඩු මත් ද්‍රව්‍ය මත් පැන් තොග පිටින් හමුවෙන්නේ ය. ඒ වුනාට ඒවා ගෙනෙන කෙනෙක් නැත. හැමෝම ගැලවිලා ය.

මේ දැන් පවත්වමින් තිබෙන මැතිවරණයේ පැය 72 ක් ඇතුළත මැතිවරණ කාර්යාල …… ගණනක් විනාශ කළ බවට වාර්ථා විය. එහෙත් විනාශ කළ කෙනෙක් නැත. හැමෝම ගැලවිලා ය.

රට අගාධයට යනවා බලා සිටින්නේ නැතිව ඊට එරෙහිව යමක් කිරීමට අපට යුතුකමක් තිබේ. එහෙම කරන්නට ඉදිරිපත් වන කෙනෙක් නැත. හැමෝම ගැලවිලා ය.

ලංකාව ලෝකයේ බොහෝ දර්ශක අතර සිටින්නේ පසු පසිනි. ඒකට වගකියන්නට කෙනෙක් නැත. එය වෙනස් කිරීම තම යුතුකම යයි සළකය අය අඩු ය.

එහෙත් ගැලවිජ්ජාව අතින් දර්ශකයක් තනන්නේ නම් අපට අංක එකට පැමිණිය හැකි බවට සැකයක් නැත. අපි සැවොම අඩුවැඩි නැතිව ඊට සම්මාදම් වන නිසා ඒකට වගකිව යුත්තන් නම් නොසොයාම කිව හැකි ය. ඒ අපම බව ය. ඒත් වැඩි දෙනෙක් නම් කැමති වනු ඇත්තේ එහි වගකීමත් සුද්දාගේ පිටට කොටියාගේ පිටට හෝ එහෙම නැත්නම් කිනම් හෝ තුන්වන පාර්ශවයකට පැවරීමට ය.

තවත් ලිව්වොත් මටත් ගැලවීමක් නැත. මටත් දැන් ඕනෑ ගැලවෙන්නට ය. හැමෝම ගැලවෙද්දී මං විතරක් අහුවෙන්නේ මොකට ද? ඔන්න මාත් ගැලවුනා ය.

ගැලවිජ්ජාවට ටියුෂන් මොකට ද? ඒක නිකම් ම වෙනවා ය.