
මූණ සෝදන බේසමේ කිඹුලන් ඇතැයි සැක හිතා ඒ දෙස දෙවරක් නොව තුන් හතර වතාවක් බලන තරමට අප බය ය. දෙන්නෙක් එකතු වී පහත් හඩින් කතා කළොත් උන් එකතුව අපට වැඩක් දෙන්නට හදනවා වෙන්නට ඇතැයි සිතන තරමට මිනිසුන්ට පොදුවේ අප බය ය.
මුස්ලිම් කඩේකින් ආහාර ගන්නට බය ය. වෙන එකක් තබා යට ඇඳුමක් ගන්නටත් බය ය. ඒ වඳ බෙහෙත් දමා ඇතැයි සැක කරන නිසා ය. දරුවන් කීප දෙනෙකු ඉන්න මුස්ලිම් පවුලක් දැක්කොත් බය ය. ඒ උන් දරුවන් බෝ කර අපේ බහුතරය විනාශ කරනු ඇතැයි සිතා ය. තමන්ගේ කඳවුරට පිටින් ඉන්නා මුස්ලිම් දේශපාලනඥයන්ට පමණක් නොව ඇතුළත ඉන්නා අයට ද අප බය ය. ඒ උන් අයිසිස් සංවිධානයේ වුවමනා නියෝජනය කරනවා යැයි සිතා ය.
ස්වාධීන මතයක් දරණ දෙමළ දේශපාලනඥයන්ට අප බය ය. ඒ උන් කොටි නියෝජිතයන් යැයි සිතා ය. උන්ගේ සෙවනේ කොටි නැවත නැගිටිනු ඇතැයි සිතා ය. අප බලය බෙදනවාට බය ය. ඒ බලය භාවිතා කොට උන් අපට කෙළවතැයි සිතා ය.
ජිවත්වන මිනිසුනට පමණක් නම් මදෑ. මැරුණ මිනිසුන්ට ද අප බය ය. හොල්මන් අවතාර නිසා ගෙවල් අතැර ගිය මිනිසුන් අප දකින්නේ ඒ නිසා ය. මැරුණ අපේම ඥාතීන්ට ද අප බය ය. පාංශුකූලය දෙමින් හත් දවස තුන් දවස වසර සිහි කරමින් දාන මාන දෙමින් උන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පින් දෙන්නම් කරදර නොකර ගිය තැනක ඉන්නා ලෙස ය.
අප විවිධ රටවල්වලට ද බය ය. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට ද ඇමරිකාවට ද බටහිරට පොදුවේ ද අප බය ය. ඒ අප ගිලගන්නට පමණක් නොව අප කෙරේ ඉරිසියාවෙන් අප වට්ටන්නට ද උන් ඇඟිලි ගනිමින් ඉන්නවා යැයි සිතන නිසා ය. ඉන්දියාවට අප බය ය. ඒ ඉන්දියානු ව්‍යාප්ත වාදය නිසා ය. කල්ලතෝනීන් හරහා ද ඉන්දියානු රෝ ඔත්තු සේවය හරහා ද උන් ලංකාවට පැමිණෙතැයි අප බය ය. ජනතා විමුක්ති පෙරමුණ මුල් අවදියේ පැවැත්වූ පන්ති පහෙන් එකක් ඉන්දියානු ව්‍යාප්තවාදය වූයේ නිකම් ම නොවේ. සුවසැරිය ගිලන්රථ සේවය හරහා උන් එතැයි සිතා අප නැටූ තොවිලය මතක් කර ගත්තා නම් ඒ බයේ මෑතක හැඩ තල ගැන සිහි එලවා ගත හැකි ය. විදේශ කුමන්ත්‍රණවලින් බේරීම සඳහා ජාතියේ පංචායුදයේ පිහිට අප පතන්නේ ඒ නිසා ය.
එපමණක් නම් මදෑ! අප ග්‍රහ ලෝකවලට ද ඒවායේ හෙවණැලි වලට ද බය ය. සෙනසුරාට අප බය ය. බලු කපුටු දාන පමණක් නොව නෙක පුද පූජෝපහාර පවත්වමින් ගේම නම් ඉල්ලන්නට එපා යැයි යාප්පු වන්නට ඒ නිසා අපට සිදු ව තිබේ. හඳ මත පතිත වන පොළොවේ හෙවනැල්ලට ද අප බය ය. ඒ හෙවණැල්ල වෙනුවෙන් රාහුකාලය නම් වෙන ම කාලයක් වෙන් කරමින් ඒ කාලයේ කිසිවක් නොකර බය පක්ෂපාතිත්වය දැක්වීමට අපි කටයුතු කරන්නෙමු. ඒ ඒ ග්‍රහයාට නියමිත දින අනුව අපට මළගමක් ගන්නට මිනියක් ගෙදරට ගෙනෙන්නට අවසර ඇති නැති බව තීරණය වන්නේ ය. ග්‍රහ අපල දුරු කරන්නට බෝධී පූජා පවත්වන්නට සෙත් කවි කියන්නට මුදු පලඳින්නට සිදු වන්නේ ය.
ඒත් කමක් නැතැයි කියමු. කුඩා සතුන්ට පවා අප බය ය. කළු පූසන් ට බය ය. උලමාට බය ය. වෙන එකක් තබා හූනෙකුගේ හැඩිල්ලට ද බය ය.
අප වචනවලට ද බය ය. යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් වලට බය ය. වස්කවියට බය ය. කටවහ වදිනවාට බය ය. කට වරද්ද ගන්නවාට බය ය. ඉංගිරිසියට බය ය. එය කඩුවක් සේ අප දකින්නේ ද ඒ නිසා ය.
මිරිස් අඹරනවා පොල් ගහනවා වැනි අහිංසක ක්‍රියාවලට ද අප බය ය.
මේ බයේ එක් ප්‍රතිඵලයක් නම් අපව විනාශ කරන්නට කුමන්ත්‍රණ කරන පාර්ශවයන්ගේ ඉවරයක් අප නොදැකීම ය. කිසි කෙනෙකු විශ්වාසයකට ගත නොහැකි තරමට පිරිහුණු අධ්‍යාත්මයකට අප උරුම කම් කියන්නේ ඒ නිසා ය.
නයා පෙනය පුප්පන්නේ ද පූසා ඉස්සෙමින් වලිගය පුම්බා ප්‍රදර්ශනය කරන්නේ ද ඒ බය නිසා ය. අප සෙසු මිනිසුන්ට පුප්පන්නේ ද මේ බය නිසා ය. අපි යක්කු බොලව් කියා අපට ම කියා ගන්නේ ඇතුළතින් අපව තිගස්සන මේ බය විසින් මෙහෙයවීමෙන් ය. මහසෝන් බලකාය රාවණා බලය බොදු බලසේනා ද ඒ බිය විසින් උත්පාදනය කරන ලද ඒවා විය හැකි ය.
අප වෙනුවෙන් සටනට යන රණ විරුවන් නිර්මාණය කරගෙන, අපේ ආරක්ෂාව සලසන අප්පොච්චි කෙනෙකු නිර්මාණය කර ගෙන, බියෙන් ගැලවෙන්නට හැකි යැයි අපි සිතමු. ඒවා තව තවත් මුළු ගැන්වීමට මිස ඉදිරියට යන්නට අපට උදව් කරන්නේ නැත. අප ව විනාශ කර දමන්නේ මේ කියූ එක ද බලවේගයක් විසින් හෝ නොවේ. අපේ ම බය විසිනි. ලෝකය ජය ගන්නට නම් මේ හුඹස් බය නැති කර ගත යුතු ය. කොඩියට රිංගා ගෙන ලෙලදෙනවා වෙනුවට මහ පොළොව මත විශ්වාසයෙන් අඩි තබන නො සැලෙන සිංහයෙකු අපට ඔනෑ කර තිබේ. බාහිර හව් හරණක් නැතිව දෙපයින් නැගිටීමට හැකි චරිතයක් අපට අවශ්‍ය ව තිබේ.