දේව කන්නලව්ව

hindu god

දෙවියන් යදින්නට එන අය බොහෝ ය. එහෙත් මේ මිනිහා වෙනස් ය. වෙන අය අත මෙන් ඔහු අත මල් වට්ටි, පළතුරු වට්ටි, පූජා භාණ්ඩ කිසිවක් තිබුනේ නැත. ඊටත් අමතරව ඔහු පැමිණියේ තනිවම ය. පිරිවර නැතිව ය.

ඔහුගේ ඇස් දෙකෙන් ඇතැම් විට පලවුනේ හිස් බැල්මකි. එහෙත් හදිසියේ එය ගිනි පුලිඟු මෙන් දැල්වී නැවත නිවී යන අයුරු දිස් විය.

දේවාලය තුළට ඔහු ගියේ දෙගිඩියාවකිනි. වරෙක ඔහුගේ පියවර හදිසි කලබල ස්වභාවයක් ගත් නමුත් ඊළග මොහොතේ පය පැකුළුනාක් මෙන් පමා වන බව පෙනිණි. අවසානයේ ඔහු දේවාලය ඇතුළට පිවිසියේ ය. මඳක් දේව ප්‍රතිමාව දෙස බලා සිටි ඔහු ඉන් අනතුරුව දණින් වැටුනේ ය.

දේව ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටුනු මිනිසාගේ මුවින් පිටවූයේ බලවත් අදෝනාවකි. පුද්ගලයා අදුනාගත නොහැකි තරම් ඈත සිටින කෙනෙකුට වුව ඔහුගේ හැසිරීමෙන් හා නැගෙන අදෝනාවේ ස්ව‍රයෙන් එහි ඇති බරපතල කම හදුනා ගත හැකි වනවා නොඅනුමාන ය. හිස කෙස් කඩා දමමින් ද පපුවට ගසාගනිමින් ද ඔහු සිය කථාව වරෙක වේගවත්ව ද වරෙක නෑසෙන සිහින් ස්වරයකින් ද කියවා ගෙන ගියේ ය.

“ඇයි දෙයියනේ මාව මේ ලෝකෙට බිහිකළේ? යැයි දැඩි ස්වරයෙන් නැගුණු අභියෝගාත්මක ප්‍රශ්නයෙන් මම මඳක් පසුපසට විසිව ගියෙමි. දෙවියන් පවා ඉන් ගව්වක් දෙකක් ආ පස්සට විසිව ගියේ නැත්නම් ඒ පුදුමයෙකි.

දෙවියන් මිනිසුන් බිහි කරන්නේ නැත. එය අම්මාවරුන්ගේ රාජකාරියකි. නැත්නම් අම්මාවරන්ගේ දේව කාරියකි. එහෙත් අප අදහන දුසිමක් දහම් වලට අනුව මෙහි කෙළවරක වගකීමක් දෙවියන්ට ද තිබේ. ඒ ඇතැම් තැනක දෙවියන් අපේ කටයුතු වලට මැදිහත් වන නිසා ය. අප ඉල්ලා නොහිටින විට පවා මැදිහත් වන නිසා ය.

මද නැවතීමකින් පසු ඔහු නැවතත් යාදින්න පටන් ගත්තේ ය.

කීකරු කමේ ස්මරණය

“මං පුංචි සන්දියෙ ඉඳන්ම දෙමාපියන්ට කීකරු වෙලා හිටිය. තාත්තා කසිප්පු ගොන්නක් බීලා ගෙදර ඇවිත් රණ්ඩු කරද්දිත් ගුටිබැට දෙද්දිත් මම තාත්තට වැන්ද. උන්දෑ කියන දේකට පිටින් ගියේ නෑ දෙයි හාමුදුරුවනේ.

ස්කොලෙදි වෙන එකෙකුගේ වැරැද්දකට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උද්ධච්ඡ ගුරුවරයෙක් මට දවසක් නොසෑහෙන්න තැලුව. ඒත් මම කරබාගෙන ඉවසුව හාමුදුරුවනේ. අපට බොරුකරපු අපට තළලා සන්තෝස වුනු ගුරුකමට නිගා දුන්නු ගුරුවරුන්ටත් මම නමස්කාර කළා හාමුදුරුවනේ.

ගුරු‍න්ගෙන්වත් දෙගුරුන්ගෙන් වත් හරිහැටි මග පෙන්වීමක් ලැබුනෙ නැති නිසා ද එහෙම නැත්නම් මගේම කාළකන්නි කමට ද මන් දන්නෙ නැහැ මට ඉහළට ඉගෙන ගන්න ලැබුනේ නැහැ.“ ඔහු මොහොතකට නැවතුණේ ය.

මා දන්නා බොහෝ දෙනෙකු නම් කියන්නේ තමන් හැදුනේ ගුටි කෑ නිසා බව ය. එහෙත් මේ කතාව වෙනස් ය. ගුටි කා තිබුණ ද ඒවා ඉවසමින් ගුටි බැට දුන් අයට දණ්ඩ නමස්කාර කර තිබුන ද ඒ කිසිවකින් වැඩක් වී නැති බවක් එයින් කියවෙන්නේ ය. නැවතත් ඔහුගේ කට හඩ අවදි විය.

“රස්සාවක් නැතිව ළතවෙද්දි රස්සාවක් දෙනවැයි කිව්ව දේශපාලන ලොක්කො පස්සෙ මාත් ගියා හාමුදුරුවනේ. උන්දැලගේ ඔක්කොම කිළුටු මං ‍හේදුවා. උන්ට ප්‍රශස්ති කිව්වා. උන්ව කරපිටේ තියාගෙන ගියා. අන්තිමේ දි කතිරෙත් ගහල මගේ විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ගේ කතිරෙත් උන් වෙනුවෙන් ගහල ‍උන්ව බලයට පත් කරන්න දර දිය ඇද්දා. මිනිහ දින්න. බලයට පත්වුනාට පස්සෙත් උගේ බැලමෙහෙවරකම් මුරකාරකම් හයිකාරකම් ඔය ඔක්කොටම මාත් සහභාගිවුනා.

අරක්කු බෝතලේට රුපියල් පන්සීයට දාහට මම ඒ උන්දැට මගේ ආත්මය වික්කා. මම හිතුවෙ මට රස්සාවක් ලැබෙනවනම් ජිවත්වෙන්න ආදායමක් ලැබෙනව නම් කමක් නැහැ කියලයි.

දේශපාලකයෝ කොල්ලො කෙල්ලො දඩයම් කරන කොටවත් උන් කරන්නේ වැරැද්දක්ය කියල හිතන්න මට ශක්තියක්වත් ඕනෑකමක්වත් තිබ්බේ නැහැ. මට දැනටමත් ලැබෙන ලාභ ප්‍රයෝජනවලින් විතරක් නෙවෙයි, ඉස්සරහට ලැබෙන්න යන ජොබ් එකෙනුත් මම අන්ධ වෙල හිටියෙ.

හෘද සාක්ෂියේ ඇමතුම

මම කරන්නේ වැරැද්දක්ය කියල හිතුන වාරත් තිබුන. ඒත් තව ගොඩක් අයත් ඒක කරනවය කියල මම හිත හදා ගත්ත. ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, වංචා, දූෂණ යන ඔය ඔක්කොටම ප්‍රසිද්ධවෙල හිටිය මගේ දේශපාලන හාම්පුතාට මිනිස්සු ගිහිල්ල පෝලිමේ චන්දෙ දුන්න. ඉතින් මං විතරක් ඌට විරුද්ධවෙල මක්කරන්න ද? ඒ වෙලාවලට එහෙම හිතල මම හිත හදා ගත්ත.

මට අන්තිමේ රස්සාවක් ලැබුන. ඒත් ඒක ලැබෙන කොට මට ගොඩක් දේ අහිමිවෙලයි තිබුනෙ. වෙන එකක් තියා මට හිතන්න ශක්තියක්වත් ඉතුරුවෙල තිබුනෙ නැහැ. අණ දෙනවනම් පිලිපදින්නත් නැත්නම් නිකම් ඉන්නත් මම පුරුදු වුනා. මගේ හිතේ වරින් වර මතුවන පිළිකුළ මම මැඩගත්තේ බීල. නැත්නම් ගෑණීයෙක් හොයා ගෙන ගිහිල්ල, බලෙන් හරි, සල්ලි වලට හරි, මගේ ඇඟ නිවාගෙන.

ලංකාවෙ මිනිස්සු මේ තරම් බොන්නෙ උන්ගෙ ජීවිත ඇතුළෙන් මතුවන ජුගුප්සාව සමහන් කොරගන්නය කියල පන්සල්වල ඉන්න හාමුදුරුවොවත් පල්ලියෙ ස්වාමියොවත් දන්නෙ නැතුව ඇති. මත්පැන් ප්‍රචාරය තහනම් කර,ල බාර් වහල, අපිව මේ උවදුරෙන් ගලවගන්න ඒ අය කල්පනා කරනවා ඇත්තෙ ඒ හින්දා වෙන්න පුලුවන්. ඒත් මං දන්නව, මගේ තියෙන කාළකන්නි හිස් බාවය මං පුරවගන්නෙ බීලා කියල. බිව්වෙ නැති දාට හිතන්න වෙනව. ඒක භයානකයි, හාමුදුරුවනේ. එතකොට අතීතයෙ බියකරු අවතාර පේන්න ගන්නවා. මට ඒවත් එක්ක හැප්පෙන්න ශක්තියක් නැහැ. මං කරපු වැරදි ඉස්සරහට ඇවිල්ල මට දෙස් දෙවොල් තියන්න ගන්නව.

කියපු නිසා මං කොළා. අනිත් එවුනුත් කරපු නිසා මාත් කොළා. මං ඒ දවස්වල හිතහදාගත්තෙ එහෙමයි.

ඒත් නොබී ඉන්න කොට මගේම ආත්මය මට කරදර කරනව. ඇයි කියපු නිසා කොළේ, උඹටයි කියල මොළයක් තිබුනෙ නැත් ද? ඇයි අනුන් කරපු නිසා කොළේ, උඹ රූකඩයක් ද? ඔය වගේ දාහක් ඕන නැති ප්‍රශ්න ඔලුවට එනව. ඒවා මාව හෙම්බත් කොරෝනව. එතකොට මට සියදිවි නහගන්න හිතෙනව. ලංකාවෙ මිනිසුන් බොන එකෙන් විතරක් නෙවෙයි, සිය දිවි නහ ගන්න එකෙනුත් ලෝක වාර්ථාව තියන්න ඇත්තෙ ඒ නිසා වෙන්නැති.“ ඔහු නැවතත් නැවතුණේ ය.

බොහෝ දෙනෙකුට නොඑන උන් මග හැර යන ප්‍රශ්නයකින් පීඩා විඳින මේ මනුස්ස පරාණය දෙස මම ශෝකයෙන් බලා සිටියෙමි. බොහෝ මිනිසුන්ගේ හෘද සාක්ෂීය තියෙන්නේ වැළලිලා ය. මේ මිනිහාට ඇති ගැටළුව ඒ හෘද සාක්ෂිය පණ ගැහි ගැහී තිබීම ය. එය ඔහුට වද දීම ය. බීලාවත් එයින් මිදෙන්නට බැරි වීම නම් කරුමයක් ම තමා ය. මම නැවතත් ඔහුට සවන් දුන්නෙමි.

අමාරු වැඩ කරන්නට ඇති කම්මැලි කම

“අනිත් එවුන් කරන හැම දෙයක්ම කරන මම ඇයි සියදිවි නහගැනීමට විතරක් පහුබාන්නේ. ඇත්තම කියන්න දෙවියනේ, අද මගෙ ලග මැහි තෙල් කුප්පියක් ගන්න තරමටවත් පිච්චියක් නැහැ. මැරෙන්න වුනත් ඕනවට වඩා දඟලන්න මං ලෑස්ති නැහැ. අමාරු දේ කරලා පුරුද්දක් මට ඇත්තෙත් නැහැ. මේවා අහන ඕන කෙනෙක් කියයි මට පිස්සුයි කියල. මෙහෙම ගියොත් වැඩියෙන්ම පිස්සන් ඉන්න රට හැටියටත් අපේ රට කිරුළු පළදින්න පුළුවන්. මිනී මරා ගන්නා එකෙත් වීරත්වයක් තියෙනව. බොන එකත් සිංහ පදමට එන්න බොන්න පුලුවන් නිසා පුංචි වීරත්වයක් ආරූඩ කර ගන්න පුලුවන්. සියදිවි නසා ගැනීම, ඒකත් තරමක් වීරකමක් හැටියට අමාරුවෙන් තර්ක කරල පෙන්නල දෙන්න පුලුවන්. ඒත් පිස්සු වැටීම, මොනම විදිහකටවත් වීර ජාතියකට ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා ම අපේ මිනිස්සු බය වෙන්න පුලුවන්.“ ඔහු එසේ කියා වට පිට බැලුවේ ය. දෙවියන් වඳින්නට ආ පිරිස බය වී ගොළුව සිටි අයුරු ඔහු දැක්කා දැයි පැහැදිලි නැත.

බය වීම අතින් නම් මේ රටේ මිනිසුන් කප් ගසා ඇත. මූණ සෝදන බේසමේත් කිඹුල්ලා දකින ගාණට ඔවුන් බය ය. රට සතුරන් විසින් යටපත් කරනු ලැබේ යැයි බය ය. තමන් සුළු ජාතියක් වෙතැයි බය ය. පුංචි ඉඩක් දුන්නොත් සෙසු ජාතීන් තමන් යටපත් කර ගනිතැයි බය ය. මුළු ලෝකයම අපට විරුද්ධව කුමන්ත්‍රණ කරතැයි බය ය. ඉතින් මේ කතාවට එකග වෙනවා හැරෙන්නට මට කළ හැකි යමක් නැත.

ඒ පමණක් ද සෙසු මිනිසුන් බය කිරීමෙන් ආතල් ගැනීම අතින් ද අපි කප් ගසා ඇත්තෙමු. කුඩා දරුවන්, අපට වඩා බලයෙන් අඩු මිනිසුන්, කාන්තාවන්, අපේ මතයට විරුද්ධ වන්නන් යටපත් කර බිය වද්දා ගැනීමට අපේ රටේ වැඩි දෙනෙක් කැමති ය. මේ මනුස්සයා තමන්ගේ හෘද සාක්ෂිය සමග ගනුදෙනු කරනවාට අමතරව රටේ මිනිසුන්ගේ සැබෑ ස්වරූපය ද මැනවින් වටහා ගත් අයෙකු බවට සැකයක් නැත. ඔහු ගැන මගේ ඇල්ම තව තවත් වැඩිවෙයි. නැවතත් මම ඔහුට සවන් දෙමි.

මං පුංචි කාලෙත් බයෙන් පීඩිතව සිටි ළමයෙක්. වැඩිහිටියෙක් හැටියට මං බොහෝ දෙනෙක්ව බයෙන් මුසපත් කරගෙන හිටපු මිනිහෙක්. ඉතින් බයවීම වගේම, බය කිරීමත් මගේ ජීවිතයට එක වගේම හුරු යි.

දෙවියනේ මම ඔබතුමාව බියගන්වන්න හදනව නෙවෙයි. ඔබ ඇයි මේ සසල වෙලා. ඔබතුමා හොදටම වෙව්ලනව. ගලක් වගේ කිසිදෙයකට සංවේදී නොවූ ඔබ නිකම්ම මැටි පිළිමයකැයි මා සිතුවා. මගේ ජීවිතයට අධ්‍යත්මික පිටුවහලක් ඕන කරන වෙලාවෙ ඔබතුමා මග හැරිය. ඔබතුමා පිළිමයක් වගේ නිසොල්මනේ හිටිය. ඔබ මහා කම්මැලියෙක් ලෙසයි මා දුටුවේ.

පහුගිය දවස්වල අපි සෙල්ලමට වගේ විසිකළ බෝම්බයකින් පමණක් ඔබ සෙලවිය හැකිවනු ඇතැයි මා සිතුවා.

දැන් සසල වීම තේරුමක් නැහැ. සසල වන්නේ නැති කෙනෙකුට මගේ අඳෝනාව කියන්නයි මට ඕන කළේ. කරුණාකර අතීතයේ කළාක් මෙන් නිශ්ශබ්දව මා කියන්නක් අසන්න.“  ඔහු තරවටු ස්වරූපයකින් අවසන්  වදන් වැල පිට කළේ ය.

කට වරද්දා ගැනීම

දෙවියන්ට තරවටු කරන්නට අපේ රටේ මිනිසුන් බිය ය. කට වරද්දා ගත්තොත් තමන්ට කෙළ වෙනවා ය යන විශ්වාසය ඉදිරිපත් ව, ඔවුන් සිය ප්‍රශ්න තමන්ටම සීමා කරගෙන, දෙවියන් ඉදිරියේ කර බා ගන්නෝ ය. මේ මිනිහාට එහෙම බියක් නැත. ඔහු දෙවියන් ප්‍රශ්න කරන්නේ ය. මේ නම් අසාමාන්‍ය මිනිසෙකි. ඒ ගැන සැකයක් නැත.

“මට අඩන්න ඕනෑ…. ඒත් ඒක කරන්න හැටියක් නැහැ…දෙවියනේ හෙලන්න සුසුම් මට නැහැ…ඒ සියල්ල යුද්ධයෙන් තම දූ පුතුන් මියගිය අම්මලා විසින් රැගෙන ගොහින්…

මගේ කඳුලු මට අහිමිව ගිහින්. යුද්දයෙන් මියගිය සෙබළුන්ගෙ අඹුදරුවන් ඒවා සොරාගෙන..

ඒ මිනිසුන්ට වෙලා තියෙන හදිය දැක්කහම, වෙලාවකට, මට මොනව ද වෙලා තියෙන්නෙ කියලත් හිතෙනව. ඒ වුනත් යුද්ධෙට ගිහිල්ල ඒ මැරුණ ගොඩට මාත් අයිති වුනා නම් කියන ආත්මාර්ථකාමී සිතුවිල්ලත් ඒ සමග ම මට එනව. එහෙම නම් මේ මොකවත් නෑ.

ඉතින් දෙයියනේ මම මොකද කරන්නෙ?

ඔහු හිස් බැල්මෙන් දෙවියන් දෙස බලා සිටියේ ය. උත්තර දෙන්නට දෙවි කෙනෙක් සිටියේ නැත. දෙවියන් පමණක් නොව අවට සිටි මිනිසුන් ද කපු මහත්තයා ද ගල් ගැසී බලා සිටියෝ ය. මෙතැන සජීවී මිනිසෙකුට හිටියේ ඔහු පමණ ය. මා ද සිටියේ සෙසු අය තරමට ම ගල් වෙලා ය. නැවතත් ඔහුගේ කට හඩ අවදි විය.

“මම හැමදාම මේ අසාධාරණ ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වුනේ අනුන්ගෙන්. හිතන්න කම්මැලි අනෙක් හැම එකෙක්ම වගේ. අපිට ස්කොලෙ දි ඉගැන්නුවෙ එහෙමයි. හිතන්න නොවෙයි. කවුරු හරි හිතල කියන දෙයක් පාඩම් කරන්න. ආයි විභාගෙට ගිහිල්ල ඒක ම ඒ වචන වලින් ම කියන්න. අපි හැම තිස්සේම පෑනකුත් පොතකුත් අරන් බලන් හිටියෙ වචනයක් වත් අඩු නොවෙන්න ලියා ගන්න. ඇත්තම කියනව නම් පස්සෙ පස්සෙ මට මේ කම්මැලි වැඩේ එපා වුනා. ඒත් ඉතින් මොනව කරන්න ද?“

ඔහු නැවතත් නිහඩ විය. ඊට පසු දිග හුස්මක් හෙලා දේව ප්‍රතිමාව දෙස බලමින් යාදින්න නැවතත් පටන් ගත්තේ ය. එවර ඔහුගේ ස්වරයේ වඩාත් දැඩි තර්ජනාත්මක ස්වරූපයක් දිස් විය. අවසාන සටනට සැරසෙන සෙබළකුගේ මෙන් සූදානමක් ද දක්නට ලැබුනේ ය.

“මං ළගට ආවේ ඇයි කියල ද ඔය අහන්න හදන්නෙ? ඔබතුමාට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නැති බව මං දන්නව. ඒත් මං වෙන කවුරුන් ලගට යන්නද දෙවියනේ!!!“

මහ හඩින් පිට කළ ඒ අවසන් වදනත් සමගම මිනිසා දේව ප්‍රතිමාව ඉදිරියේ සිහිසුන්ව ඇද වැටුණේ ය. මම තරමක් ලංවී අසරණයා කවුරුන්දැයි හදුනාගන්නට තැත් කළෙමි. දුටු දර්ශනයෙන් මම වික්ෂිප්ත වීමි. අන්දමන්ද වීමි. අසරණ වීමි. මට මා විශ්වාස නැත. සැක හැර දැන ගැනීමට මම වඩාත් නැඹුරුව බැලීමි. ඔබ විශ්වාස කරනු ඇත්දැයි මම නොදනිමි.

ඒ වැටී සිටියේ අපගේ ජාතියේ අධ්‍යාත්මයයි. මෙතෙක් නිහඩව සිටි ජාතියේ අධ්‍යාත්මය යි. තමන්ගේ සිත තුළ කැකෑරෙමින් තිබුණු, එහෙත් පිට මිනිසුන් ඉදිරියේ නිරාවරණය කළොත් එයින් ජාතියට අගෞරවයක් වෙතැයි, තමන්ට දෝෂාරෝපන විඳින්නට සිදු වෙතැයි, සිතා සියල්ල හදවතට සීමා කරගත්, එසේ වුව ද තවදුරටත් ඒ තෙරපීම දරා ගනු නොහැකි ව, සියල්ල මේ පිළිමය ඉදිරියේ දිග හැර දැමූ, අපේ ජාතියේ අධ්‍යාත්මය යි.

සියල්ල මොහොතකට නිශ්ශබ්ද විය. එහෙත් ඒ නිහඩ බව පැවතියේ ස්වල්ප මොහොතකට ය. ගල් වී සිටි මිනිසුන්ට හදිසියේ පණ ලැබුනේ ය. උන් ඉන්පසු මේ මිනිසා මතින් අතොරක් නැතිව ගමන් කළේ එහෙම කෙනෙකු නැතැයි බලා සිටින කෙනෙකුට හැඟී යන පරිද්දෙන් ය. එය ජන ගඟක් ම විය. මට වැටී සිටි තැනැත්තා තවදුරටත් පෙනුනේ නැති තරමට සෙනග එන්න එන්න ම වැඩි විය. ඒ සියලු දෙනා කුමක් හෝ වෙනුවෙන් දෙවියන් යදිනු පිණිස දෙවොලට යන අය ය.

ඒ මහා ජන ගඟ අවසන් වුනු පසු අර මිනිසා වැටී සිටි තැන ඔහු තවමත් ඉන්නවා දැයි මම බැලීමි. නැත. එතැන ඔහුගේ සළකුණකුදු ඉතිරිව තිබුනේ නැත. ජාතියේ අධ්‍යාත්මය නැත්තටම නැතිව ගොසිනි.

පසුබිමෙන් ඇහුණේ විභාගය පාස් වන්නට, අහවල් ලෙඩෙන් ගොඩ එන්නට, මාරක අපලයෙන් බේරෙන්නට, අලුත් වාහනයට හෝ නව නිවසට ආශිර්වාදය ලබා ගන්නට, පමණක් නොව තමන්ගේ සතුරාට වින කටින්නට ද දෙවියන්ගේ උදව් ඉල්ලා කරන ඉල්ලීම් ය. උන්ගේ කෑ ගැහිල්ල ය.

ලොකු කවුද? මුදුනා කවුද?

 

ලොකු කවුද? මම ද එයා ද? එහෙමත් නැත්නම් අපි ද ඒ ගොල්ලො ද? එතැන ප්‍රශ්න දෙකකි. ඒත් ප්‍රශ්නය හටගන්නේ එක මුලකිනි. මේ නගන ප්‍රශ්න ධුරාවලිය, සමාජගත / ආයතනගත කිරිමේ  වෑයමේ කොටසකි. එහි ප්‍රතිඵලයකි.

ලොකු කම පමණක් නොව තව බොහෝ දේ සම්බන්ධ කොට මේ දෙබස ගෙන යා හැකි ය. ප්‍රධාන වෙන්නෙ කවුද? මුල් තැන ලා සළකන්න ඕන කාව ද? ප්‍රමුඛතාවය කාට ද? පළමුව කාටද? උරුමය කාට ද?

ගහ මරා ගන්නේ මේ ගැන සම්මුතියකට ඒමට බැරි වූ විට ය.

මේ ධුරාවලිය සැකසීමට කරන පෙළ ගැස්ම, ජාතීන් සම්බන්ධයෙන් විය හැකි ය, ආගම් සම්බන්ධයෙන් විය හැකි ය. එවිට ප්‍රශ්නය කවර ජාතියකට මුල් උරුමය තිබේ ද, කවර ආගමක් මුල් තැනෙහිලා සැළකිය යුත්තේ ද, යන වශයෙන් විශේෂිත ප්‍රශ්න ඒ තෝරාගන්නා දේ අනුව සකස් වන්නේ ය. ව්‍යවස්ථාවේ බුද්ධාගමට උරුම තැන පිළිබඳ විවාදය තුළ තිබෙන්නේ ද මේ ලොකු තැන ගැන කතාව ය.

මේ මූලික වන දේ, ප්‍රමුඛතාවය ලැබිය යුතු දේ තෝරාගැනීමේ දී භාවිතා වන නිර්ණායක තිබේ. මේ සම්බන්ධයෙන් ගැමියන් අතර භාවිතා වන එක් නිර්ණායකයක් ඔවුන් ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රශ්නයක ආකාරයෙනි. “උඹට ලොකු පිට එකා ද? නැතිනම් ගමේ එකා ද?”

ඊට අමතරව සමාජයේ උපහාසයට කියන කතාවක් ද තිබේ. “උඹට එහෙනම් පස්සෙ ආපු අඟ ලොකු වුනා ඉස්සෙල්ල ආපු කණට වඩා”. මේවායින් කියවෙන්නේ නිර්ණායක විවිධ බව ය. බහුතරය කවුද? වඩාත්ම දිග අතීතයක් ඇත්තේ කාට ද? මේ ආදී වශයෙන් දිග ලයිස්තුවක් ම සළකා බැලීම සඳහා තිබේ.

බොහෝ ගැටළු පිටුපස ධුරාවලිය ද ඇත

ප්‍රශ්නය ඇත්තේ බහුතරය අනාගතයේ දී වෙනස් වේය යන අවිශ්වාසය නිසා ද අතීතය ගැන පැහැදිලි සාධක නැති නිසා ද නැතිනම් විවාදාත්මක සාක්කි ඇති නිසා ද මුදුනා තෝරා ගැනීම සහ මුදුනා ලෙස පැවතිම සම්බන්ධයෙන් ගැටුම් වලට ඉඩ තිබීම ය.

ජනවාර්ගික අර්බුදයන්  පිටුපස ඇත්තේ මේ ගැටළුව ය. වාර්ගික ජනගහණයේ වෙනස් වීම් ගැන බහුතරයට අයත් සිංහල බෞද්ධ සාමාන්‍ය ජනයා සංවේදී වන්නේ ද ඉතිහාසය හාරමින් හැම ජනවර්ගයකට ම අයත් අය සාක්කි සොයන්නේ ද ඉතිහාසය නැවත නිර්මාණය කිරීමට ඔවුන් ඉදිරිපත් වන්නේ ද මේ නිසා ය.

මුල්තැන කුමට ද? සමතැන දිය නොහැකි ද? උත්තරය කුණුහරුප වලින් මෙහා නවතින්නේ නැත. එහෙම කොහොම ද? අපිට තමයි උරුමය තියෙන්නෙ. අපි තමයි මේකේ පොල්මක්කාරයො. අහවල් එක තියෙන්නෙ අපිට. “මුන් ඩොලර් කාක්කො. ඒකයි ඔය උරුමය අමතක කරන්නෙ“. දැන් තියෙන්නෙ ලේබල් ඇලවීමට වාරය ය. එන්ජීඕ කාරයො. පරයො. දේශද්‍රෝහියො. අවජාතකයො. ඔය ඕනෑම ලේබලයකින් කියවෙන්නේ සිංහල ජාතියට හා බුද්ධාගමට මුල් තැන නොදිමේ ප්‍රශ්නයේ ගැඹුර ය. එහි බරපතල කම ය.

මේවා යුද්ධ ඇති කිරීමට කැරලි කෝලාහල ඇති වීමට හා ජීවිත බිලිගැනීමට තරම් බරපතල කාරණා ය.

එය ඇතැම් අවස්ථාවක කුල සම්බන්ධයෙන් විය හැකි ය. එවිට ඇති වන්නේ යම් නිශ්චිත කුලයක් කුමන කුලවලට වඩා ඉහළින් හා කුමන කුලවලට වඩා පහළින් ස්ථාන ගත කළ යුතු ද යන ප්‍රශ්නය ය. එහි දී යොදා ගැනෙන නිර්ණායකයන් ඇතැම් කුලවල අය විසින් ප්‍රශ්න කෙරෙන නමුදු කුලය එලිපහලියට පැමිණ ජාතිය ආගම මෙන් පිනුම් නොගහන නිසා එය විවෘත ගැටුම්කාරි තත්වයක් රට තුළ උද්ගත කරන්නේ නැත. එහෙත් පවුල තුළ ආරවුල් ඇති කිරීමට මේ කුල ප්‍රශ්නය මුල් වේ. වෙන කුලයකින් දීගයක් ගෙන පවුලට සම්බන්ධ වීමත් සමග එම ගැටුම් ප්‍රකාශයට පත් විමට නියමිත ය.

ගැහැණිය ද පිරිමියා ද?

තවත් අවස්ථාවක එය ස්ත්‍රී, පුරුෂ සහ නිශ්චිත අනන්‍යතාවයක් නැති යන කණ්ඩායම් අතර වෙනස සම්බන්ධයෙන් විය හැකි ය. ඒ අතරින් ඉහළින් තැබිය යුත්තේ කවුද? පහළින් ම තැබිය යුත්තේ කවුද? සම තැන නම් අරහං ය. බොහෝමයක් පවුල් ආරවුල්වල පසුබිමේ තියෙන්නේ ප්‍රමුඛයා කවරෙක් ද? ඔහු වෙනුවෙන් ඇය කොතරම් දුරට නැමිය යුතු ද යන කාරණය සමග ය.

ඇතැම් තැනක මෙය මතු වන්නේ භික්ෂූන් වහන්සේ නමකට යම් මිනිසෙකු විසින් නිසි ගෞරවය නොදැක්වූයේ යන කාරණාව පදනම් කර ගෙන ය. ඒ මුදුනාට මුදුනා ලෙස නොසැළකීම මුදුනාගේ පමණක් නොව ඒ තැනැත්තා මුදුනා ලෙස පිළිගන්නා සෙසු අයගේ ද කෝපයට හේතු විය හැකි නිසා ය.

ඇතැම් තැනක ප්‍රශ්නය භික්ෂූත්වය හා අධිකරණය හෝ පොලිසිය වැනි ව්‍යස්ථාපිත ආයතන අතුරින් වඩාත් උත්තරීතර වන්නේ කුමක් ද යන්න පිළිබඳව ය. ගලගොඩ අත්තේ ඥානසාර  හිමියන් උසාවියට කඩා පැන ඊට අභියෝග කිරීමත් සමග උසාවිය සහ භික්ෂූන් අතරින් මුදුනා කවුද යන ප්‍රශ්නය තෝරා ගැනීමට පහු ගිය දිනක කරුණු යෙදුනේ ය. එහි දී පෙනි ගියේ උසාවිය හාමුදුරුවන්ට වඩා ඉහළ බව ය. ඒ කොතෙක් කාලයකට දැයි දන්නේ දෙවියන් පමණකි. ඒ හාමුදුරුවන් ජනාධිපති සමාවක් ලැබ එලියට ගියොත් උසාවියේ මුල් තැන කැළෑ වදින නිසා ය. භික්ෂූ සංස්ථාව මේ සම්බන්ධයෙන් මුණිවත රැකීමට සූදානම් නැති බව පෙනෙන්නේ ය. මේ ආරවුල විසඳෙන හැටි බලා සිටිම සමාජ විද්‍යාව හදාරණ අයට වැදගත් වනු ඇත.

සුළු පැමිණිලි වසරකට දශ ලක්ෂයක් පොලීසියට ලැබීම පිටුපස මේ ජාති ආගම් කුල ස්ත්‍රී-පුරුෂ ආරවුල් ද හරි හරියට තිබේ. ඇතැම් විට ජාති ආගම් කුල ස්ත්‍රී පුරුෂ ආරවුල්, දේපල හෝ වැට මායිම සම්බන්ධ වෙනත් ආරවුල් සමග එකට වෙලී ඒවා තවදුරටත් සංකීර්ණ කර තිබේ.

ආයතනයක දී ඇතැම් විට එය එලියට එන්නේ එක්කෝ නිලය අනුව ය. එකම නිලයක් තුළ නම් ජේෂ්ඨත්වය අනුව ය (මෙය විශේෂයෙන් රාජ්‍ය ආයතනවල නම් වරදින්නේ නැති නිර්ණායකයකි).

ලොකුකම ප්‍රදර්ශනය

ධුරාවලියේ ඉහළ වැජඹෙන අයට බලය තිබිලා මදි ය. එය භාවිතා කර මදි ය. එය ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන්ට වුවමනා ය.

එක්තරා රජයේ දෙපාර්තමේන්තුවක පහත මාලයේ මිනිසුන් රැස්වෙන ස්ථානයක් තිබුනේ ය. එහි මිනිසුන්ට වාඩි ගත හැකි පුටු කීපයක් ද තිබුනේ ය. එක් දිනක එහි අධ්‍යක්ෂක ජනරාල් වරයා එතැනින් යන අවස්ථාවේ වාඩි වී සිටි සමහරු හුනස්නෙන් නැගිට්ටේ නැතිව ඒ ලෙස ම වාඩි වි සිටියෝ ය. අධ්‍යක්ෂක ජනරාල් වරයාට තරහ ඉහවහා ගියේ ය. පසුදා පුටු අයින් වුනේ ය. හේතුව නම් ලොක්කා එන විට සොක්කන් විසින් දැක්විය යුතු ව තිබූ ගෞරවය නොදැක්වීම හේතුවෙන් ය. අධ්‍යක්ෂක ජනරාල්වරයා තව අවුරුදු කීපයක් එහි සිටියේ ය. එතෙක් පුටු වල ඉඳ ගැනීමේ වරම එතැන රැඳුන අයට ඉන්පසු ලැබුණේ නැත.

මේ ධුරාවලිය එවැනි සුළු කුණාටු ඇති කර අවසන් වන්නේ නැත. ලොක්කාට ලොකු කම පෙන්විමට නම් ලොකු මේසයක් වුවමනා ය. ලොක්කාට එසේ ලොකු මේසයක් හිමිවන විට ලොක්කාගේ ලොක්කාට ඊට වඩා එකක් වුවමනා ය. ලොක්කාට සාමාන්‍ය මිනිසුන් යන වාහනයක යෑ නොහැකි ය. ඊට වඩා ලොකු එකක් වුවමනා ය. ලොක්කාගේ ලොක්කාට ඊටත් ලොකු එකක් අවශ්‍ය වන්නේ ය. කාමරයේ විශාලත්වය ගත්තත් පරිවාර සෙනඟේ ප්‍රමාණය ගත්තත් ඒ හැම දෙයකම මේ ලොකු කම ප්‍රදර්ශනය විය යුතු ය. ඒ සඳහා වැය කළ යුතු පිරිවැය අති විශාල ය. ඇමතිවරුන්ගේ වාහන උණ පිටුපස තිබෙන්නේ මේ “අහිංසක” වුවමනාව ය. එහෙම නොකළහොත් ඒ උත්තමයා නෝන්ඩි ය.

ලොක්කාට වඩා කුමන ආකාරයකින් වත් දිලිසීමට (ඇතැම් තැනක අඳින ඇඳුමකින් පවා කැපී පෙනෙන්නට) වෙන කෙනෙකුට බැරි ය. ලොක්කාට වඩා හොඳ අදහසක් නම් සොක්කෙකුට කොහොමටත් තියෙන්නට බැරි ය. ඒ නිසා එහෙම එකක් තිබේ නම් ලොක්කාගේ කණට කොඳුරා කියනවා හැරෙන්නට එතුමාට ඉහළින් නොකිව යුතු ය. මෙයින් සිදු වන්නේ බොහෝ නව අදහස් මුළු ගැන්වීම ය. ලොක්කාගේ සිතුවිලි වල සීමාව තුළ රැඳෙන්නට ආයතනයට සිදු වීම ය.

කඳවුරු හා කල්ලි

රජයේ ආයතන බොහෝමයක මුදුනා සම්බන්ධව ඇති ගැටුම විවිධ සේවාවන් අතර ගැටුමක් බවට ද පත් වේ. ඒ ද කවුද මුදුනා කියන කාරණය විසඳා ගැනිම සඳහා ය. කුමන සේවාව ද ඉහළ යන කාරණය තේරුම් බේරුම් කර ගැනීම සඳහා ය. වෙනත් තැන්වලටත් වඩා මෙහි දි නිර්ණායකයන් තෝරා ගැනීම ගැටළුවකි. එක් එක් සේවාව තමාට වඩාත් වාසිදායක නිර්ණායක තෝරා ගෙන ඒ මත තමන් උසස් යැයි කියන්නට ඉදිරිපත් වෙන නිසා ය. සම්ප්‍රදායෙන් එන සම්මතයක් ඒ සම්බන්ධයෙන් නැති නිසා ය. පරිපාලන සේවාව තමන් පරිපාලකයන් නිසා ඒ තැන ඉල්ලා සිටින විට ගණකාධිකරණ සේවය තමන් රටේ වටිනාම සම්පත වන මුදල් කළමනාකරණය නිසා වඩාත් ම උසස් සේවාව බවට තර්ක කරන්නේ ය. වෛද්‍ය හා හෙද සේවය අතරත්, හෙද සේවය හා වෙනත් සෞඛ්‍ය සේවා අතරත්, ගැටුම් වල මුදුනා කවුද කියන කාරණය නොවූව ද මුදුනා කොතෙක් සෙස්සන්ට වඩා ලොකු විය යුතු ද යන කාරණය තිබේ. රටේ පවතින බොහෝ වැඩවර්ජන පිටුපස ඇත්තේ ද ඉහළ කවුදැයි තෝරා ගැනීමේ සහ ඔවුන් කොතරම් ඉහළින් සිටිය යුතු ද යන කාරණා පිළිබඳ පවතින අර්බුදයන් ය. වැටුප් වේශයෙන් පැමිණෙන්නේත් නිරපේක්ෂ වැටුප නොව අනිත් සේවාවන්ට සාපේක්ෂව තමන් ලබන වැටුප ය.

මේ තත්වය ආයතනවල කඳවුරු ඇති කිරීමට ද හේතු වන අතර විධිමත් කණ්ඩායමක් ලෙස ආයතනය ගොඩ නැගීමට බාධා ඇති කරයි. කණ්ඩායම තුළ ඇතැම් විට පිළිගැනෙන්නේ නිවැරදි  මතය නොව යම් කල්ලියක මතය වූ විට තවදුරටත් කණ්ඩායම කණ්ඩායමක් හැටියට වැඩ කිරීම නවතින්නේ ය. එලිපිට යුද්ධ ප්‍රකාශ නොකෙරුණත් යටින් ගින්දර ගෙන යමින් අප්‍රකාෂිත යුද්ධයක් සිදු වේ. එයින් වඩාත් ම අලාභ ලබන්නේ ආයතනයෙන් සේවා ලබන ජනයා ය. බොහෝ ආයතනවල ධුරාවලියේ පහළින් ම ඉන්නේ ඔවුන් ය. සේවා අතර කඹ ඇදිලිවලට හසුව මිරිකෙන්නේ ඔවුන් ය.

මෙම ධුරාවලිය සමාජ පරිණාමයේ එක් අවදියක සමාජ සැකැස්ම සඳහා අවශ්‍යතාවයක් මත ඇති වී තිබුණු තවදුරටත් එහෙමකට වැදගත් කමක් නැති සංකල්පයකි. අප ඉන්නේ දියුණු ශිෂ්ඨාචාරයක් තුළ ය. එවැන්නක වැදගත් වන්නේ මුල් තැන සෙවීම නොව හැමට සම තැන ලැබීම ය. ඉල්ලුම හා සැපයුම අනුව ඉතිරි සියල්ල තීරණය කිරීම ය. නිදහස් සන්නිවේදනයට කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට නව නිපැයුම්වලට ඉඩ හසර සැලසීමට වඩා ඵලදායී ආයතන ඇති කිරීමට ඒ සමතැන අවශ්‍ය ය. තවදුරටත් සමාජ ඉදිරි ගමනට මේ මුල් තැන ගැන කරන පටලැවිලි වලින් වන්නේ අහිතක් ම ය.

සම තැන ගැන නොව තම තැන ගැන

ප්‍රශ්නය ධුරාවලිය අහෝසි කිරීම පහසු නොවීම ය. ඒ දැනටම මුල් තැන ගෙන සිටින අය විසින් ඒ සඳහා කරනු ලබන සෑම උත්සහයක්ම ව්‍යවර්ථ කරමින් සිටින නිසා ය.

රට හැටියට ගතහොත් ඊට අයත් වන්නේ සිංහල, බෞද්ධ, ගොවිගම, මෙන්ම යම් ආකාරයක නිල බලයක් හෝ සමාජ බලයක් දරණ, ජේෂ්ඨ පිරිමින් ය.

ප්‍රශ්නය ඇති වන්නේ සිංහල බෞද්ධ වෙනයම් කුලයක කෙනෙකු හා දෙමළ හින්දු වෙල්ලාල කුලයේ කෙනෙකු අතරින් මුදුනා තෝරා ගැනීමේ ය. නිදහසට පෙර සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද කොට්ඨාෂයක දී එයින් ජය ගත්තේ වෙල්ලාල කුලයේ දෙමළ හින්දු බැතිමතෙකු බව ප්‍රකට කරුණකි. අද සමාජ ගතිකත්වය ඊට වෙනස් ය. ධුරාවලිය වෙනස් ය. ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසින් වුව ද දැකිය හැකි ය. වැදගත් ම නිගමනය නම් ධුරාවලිය වෙනස් වූවා මිසක එය අහෝසි වූයේ නැති බව ය. ධුරාවලියේ පියවර වෙනස් වනවා මිසක එය අහෝසි වන්නේ නම් නැති බව ය.

බලය ඇති අය ධුරාවලිය ආරක්ෂා කරනවා පමණක් නොවේ. එහි වාසි ද දක්වා සිටිති. ධුරාවලියේ තම තැන ගැන මිසක ධුරාවලිය ගැන ප්‍රශ්න කරන අය අඩු ය. “තම තැන” ගැන කතා කරනවා මිසක “සම තැන” ගැන කතා කරන අය අඩු ය.

කීකරු කම හා කැරලි ගැසීම

ධුරාවලිය වෙනුවෙන් පෙනී සිටින අය දක්වන එක් කාරණයක් නම් එය කීකරු කම සහ අවනතභාවය ඇති කර, ගැටුම් අවම කරන බව ය. ඒ නිසා එය සමාජ සංහිඳියාවට හේතුවන බව ය. එහෙත් ඒ කරුණු දැක්වීම තුළ ධුරාවලිය වෙනුවෙන් පෙනී සිටින අය අමතක කරන ප්‍රශ්නය නම් ඔය කියන සංහිඳියාව වෙනුවෙන් ගෙවිය යුතු මිල කුමක් ද යන්න ය. එය කවර තරම් දැයි ලිපියේ මුල දී සාකච්ඡා කළෙමු. දෙවැනි ප්‍රශ්නය ඇත්තටම එය, සංහිඳියාව ඇති කරනවා ද නැත්නම් ගැටුම් ඇති කරනවා ද ඒවා තීව්‍ර කරනවා ද යන්න ය. ඒ ගැන ද අපි දැනටමත් කතා කර ඇත්තෙමු. අධික මිලකුත් ගෙවා ඇති කරන්නේ නිශේධනීය ප්‍රතිඵලයක් නම් අප කුමක් නිසා එය දිගින් දිගට කර තබා ගෙන යා යුතු දැයි යන්න  උත්තර අවශ්‍ය ප්‍රශ්නයකි.

එකක් සම්බන්ධයෙන් ඔවුන් හා එකඟ විය හැකි ය. ගැටුම මුළුමණින් පරාජය කරන්න නොහැකි වුව ද ඇතැම් තැනක ගැටුම තාවකාලිකව කල් දමන්නට එය දායක වන බව ය. ධුරාවලියට අභියෝග කරන්නට නොහැකි දුර්වල මිනිසුන් එය පිළිගෙන තාවකාලික පල්ලම් බැසීමට ඉඩ ඇත. එහෙත් ධුරාවලිය වෙනුවෙන් පෙනී සිටින අය නොදන්නා වූ ද නොපිළිගන්නාවූ ද කාරණය නම් එසේ පල්ලම් බහින මිනිසා තුළ කැකෑරෙන වෛරයක් හා දැඩි ආතතියක් ඇතිවන බව ය. ඒ් පීඩනය දරා ගත නොහැකි තත්වයට පත් වූ විට මතුවන්නේ සුළු පටු විරෝධයක් හැටියට නොව කැරැල්ලක් හැටියට ය. ලංකාවේ තරුණ කැරලි දෙක පිටුපස ද දීර්ඝ යුද්දය පිටුපස ද තිබුණේ එලෙස පුපුරා ගිය පීඩනයේ ප්‍රතිඵලය ය.

ඒ නිසා ම මේ ධුරාවලිය මුළුමණින්ම ඉවත් කිරීමට අප විසින් කටයුතු කළ යුතු ය. ධුරාවලියක් වෙනුවට මිනිසුන්ට සම තැන හිමිවන සමාජයක් බිහි කළ යුතු ය. බලය එක තැනක ඒකරාශී කරනු වෙනුවට බෙදා දෙන සමාජයක් බිහි කළ යුතු ය. කවුද මුදුනා ලොක්කා යන ප්‍රශ්න වෙනුවට කුමක් හරි ද වැරදි ද යන ප්‍රශ්නය මතු කර එයට උත්තර දෙන සමාජයක් බිහි කළ යුතු ය.

මේ ඉල්ලන්නේ අරාජිකත්වය නොවේ. ලොක්කෙක් වෙනුවට නායකයෙක් ඇති සමාජයකි. සෙසු අය පමණක් නොව නායකයා ද නීතියට යටත් සමාජයකි. හිතුමතේට තීරණ ගැනීමෙන් තොරව සමාජ වගකීමක් ඇති ව තීරණ ගන්නා නායකයෙකුගෙන් යුත් සමාජයකි. බලය ප්‍රදර්ශනය කරනවා වෙනුවට බලය සමාජ යහපතට යොදා ගත හැකි නායකයන් සහිත සමාජයකි. බලය ඉදිරියේ නිවට වන්නේ නැතිව එය අවශ්‍ය විටක ප්‍රශ්න කරන සමාජයකි.

වචනවලට පේටන්ට් නැත. ඔබට “තරු සරණ“ ය!

Zodiac Circle Horoscope

“බුදු සරණයි“, “තෙරුවන් සරණයි“ යන්න බෞද්ධයන් අතර ප්‍රකට යෙදුම් ය. මෑතකදී බොහෝ බෞද්ධයන්ගේ වත් පිළිවෙත් අතරට, දුරකථන සාකච්ඡාවක් අවසන් කිරීමට පෙර බොහෝ දෙනෙකු කියන බායි වෙනුවට “බුදු සරණයි“ කිම ද එක් ව තිබේ. එසේ කියන විට අදහස් කරන්නේ ද, නැවත හමුවන තුරු සුභ වේවා යන්න අදහස් වන, “ගුඩ් බායි“ යන්න බෞද්ධ වෙස් ගැන්වීමකින් ඉදිරිපත් කිරිම ය.

බොහෝ සේ පැහැදීමකින් හා බැතියෙන් මුමුණන මේ පද වැල පහු ගිය සමයේ අතිශය දරුණු අපයෝජනයකට ලක් විය. ඒ “බුදු සරණ“ වෙනුවට “අබ සරණ“ යෝජනා කිරීම හරහා ය. ඒ අපයෝජනය කරන ලද්දේ බෞද්ධ හිමිනමක් විසින් වීම, එය ඛේදවාචකයකට වැඩි යමක් බවට පත් කළේ ය.

“අබ සරණ“ පැතුවේ සතුරන්ට ය. ඒ සතුරන් ඇතුළුව සියළු සත්ත්වයාට මෛත්‍රිය දේශනා කරන ලද ආගමක සෙවන යටතේ, එහි ධජය යටතේ, හිඳ ගෙන, එහි ප්‍රබලම පරමාදර්ශයකට අභියෝග කරමින් ය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව වදාළ බුදුන්ගේ ශාසනය තුළ රැඳෙමින් ඒ දහම දේශනා කිරීමට තිබිය දී ය.

එහෙත් කිසිදු මහ නාහිමි නමක් හෝ බෞද්ධ සංවිධානයක් මේ අපයෝජනයට ප්‍රසිද්ධියේ එරෙහි නොවී ය. බෞද්ධ කටයුතු අමාත්‍යංශය ද නිද්‍රාවේ පසු වන්නට තීරණය කර තිබුණේ ය. සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට එය තමන්ට අයිති දෙයක් ලෙස හැගුනේ ම නැත. හැම දෙයක් ගැන ම දිග විචාරයන් කරන මාධ්‍යවල පෙනී සිටින ආගමේ, ජාතියේ හා සභ්‍යත්වයේ ආරක්ෂකයින් ද එහෙම දෙයක් ඇසුණු බවවත් ඇගවුයේ නැත. දුටුවේ ය, දුටුවා පමණකි – ඇසුවේ ය, ඇසුවා පමණකි යන බුදු බණ එහි විකෘති අර්ථයකින්, වචනයට වචනයක් ලෙස, පිලිපදිමින් ඔවුහු මුණිවත රැක්කා හ.

ඛේදවාචකය දෙගුණ ව, ත්‍රිගුණ ව, නැගුනේ ඒ සිසිර නිද්‍රාව හේතුවෙන් ය.

මේ සිසිර නිද්‍රාවේ ගැලී උන් අය එකවර නැගිටුවන සමාන පදවැලක් පහු ගිය කාලයේ ඇසුණේ ය. එය “තරුවන් සරණයි“ යනුවෙන් නම් විය. නිදා සිටිය අය නැගිටියා පමණක් නොව ඉන් පරල ද වූවෝ ය. එය බෞද්ධ විරෝධී යෙදුමක් බවට භෞතීස්ම කරණු ලැබි ය. එම පදවැලේ පියවරුන්ට අම්මලා මතක් කරමින් මූණු පොතේ බොහෝ දේ ලියවුනේ ය. ඒ, එම පදවැල බෞද්ධ විරෝධී යෙදුමක් ලෙස භෞතීස්ම කරනු ලැබූ godfather ලා අතිනි.

තරු සංස්කෘතිය

“තරුවන් සරණයි“ යන යෙදුම භාවිතා කොට තිබුනේ ගුවන් විදුලි නාටකයකට ය. ඒ නාටකයෙන් එහි නිර්මාතෘවර මාලක දේවප්‍රිය අදහස් කරන ලද්දේ වසංගතයක් මෙන් සෑම රූපවාහිනී චැනලයකට බෝවී තිබුණු තරු සංස්කෘතිය වන්දනා කිරීම ගැන නැවත සිතා බලන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාවක් දෙන්නට ය. ඔහුගේ අභිප්‍රාය පැහැදිලිව ම බුදුන් සරණ නොයා වෙනත් අටමගලක සරණ යෑම පිටුපස තිබෙන ඛේදවාචකය බෞද්ධයින්හට ම ඇගිල්ලෙන් ඇන පෙන්වීමට ය. ඒ නිසා ම එහි අරමුණ කිසි ලෙසකින් වත් “අබ සරණ“ යන වෛරී ප්‍රකාශය පිටුපස තිබුණ අරමුණ මෙන් නොව ඉතා අහිංසක අරමුණක් වූයේ ය. එසේ තිබිය දී ඊනියා බෞද්ධයන් උරණ වූයේ ඒ අහිංසක ප්‍රයෝගයට ය. පැහැදිලිව ම වඩා උත්කෘෂ්ඨ අරමුණක් වෙනුවෙන් පද වැල යොදා ගැනීම සම්බන්ධයෙන් ය. “අබ සරණ“ සම්බන්ධයෙන් නොවූ විරූ විරෝධයක් ගෙන ඒමට තරම් එය බරපතල වූයේ කෙසේ ද?

එය නිකම් විරෝධයකින් නැවතුණේ නැත. බෞද්ධ අන්තගාමීන්ගේ හඩ ඉක්මණින් ම සංස්කෘතික අමාත්‍යංශයට ද ඇසුණේ ය. සංස්කෘතික ඇමතිවරයා ම මැදිහත් වී මේ නාට්‍යය ද ඇතුළු මාලක දේවප්‍රියගේ “කණට පාරක්“ නම් නාට්‍ය මාලාව ම තහනම් කිරීමට පියවර ගත්තේ ය.

වඩාත් කණගාටුදායක වන්නේ යහපාලන ආණ්ඩුවක සංස්කෘතික ඇමතිවරයෙකු අතින්, පද පෙරලියක් පෙර දැරි කොට ගෙන එල්ල කෙරුණු, අන්තගාමීන්ගෙන් විරෝධය හමුවේ, හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, ඒ කලා කෘතීන් තහනම් වීම ය. අන්තගාමීන්ගේ ඝෝසාව වැඩි නිසා ද ඔවුන්ගේ වදන්වැල කර්ණ කටුක නිසා ද යන කාරණා හේතුවෙන් වැඩිය හිතන්නේ මතන්නේ නැතිව මේ දේ කළා ද නැත්නම් ඔවුන්ටත් ඉහළින් බුද්ධාගමේ ආරක්ෂකයින් වීමට වුවමනා නිසා එය කළා ද යන්න තවම පැහැදිලි නැත. හැමදාම පරිදි ජන මාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ තහනම ගැන සිය අප්‍රසාදය පළ කර තිබුනේ ය. මෙවැනි දේ පිළිබඳ කෑකෝ ගැසීම් ඇති වන්නේත් අන්තිමට ඒ කෑකෝ ගැසීම් ඉදිරියේ, නොකළ යුතු වැඩ බලධාරීන් විසින් කරන්නේත්, බොහෝ දෙනා කසාය බිවු ගොළුවන් මෙන් නිහඩව සිටින නිසා ය.

මෙය කෙසේ ඉදිරියට ඇදී යනු ඇද්දැයි අපි බලා සිටිමු. ජය ගනු ඇත්තේ බොල් මිනිසුන්ගේ හිස් හඩ ද බුද්ධිමත් මිනිසුන්ගේ විචාර බුද්ධිය දැයි දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.

තරු මෙහෙයවන ජීවිතය

මාලක දේවප්‍රිය දුටුවේ මාධ්‍ය වසා ගෙන පැතිරෙන එක් වසංගතය කි. එහෙත් මාධ්‍යයේ ද අනුබලය ලැබ සිදු වන ඇටුවන් බැස ගත් තව වසංගතයක් තිබේ. එය මේ “තරු“ වසංගතයට වඩා ලොකු ය. එසේ වුව ද එය ද සම්බන්ධ තරුවලට ය. මා කැමති ඒ, වඩා ලොකු, ඛේදවාචකය දක්වන්නට මේ සරණයි යන යෙදුම භාවිතා කිරීමට ය.

බුදුන් සරණ නොයා අවකාශයේ තියෙන තරු (ග්‍රහලෝක පොදුවේ සම්ප්‍රදායිකව හැඳින්වූයේ තරු ලෙස ය) සරණ යෑමට 95% ක් පමණ බෞද්ධයෝ පේවී සිටිති. එය බුදු දහමට පටහැනි ය.

ඒ කෙසේ දැයි විමසන අපට පහත පාලි ගාථාවෙන් යම් ආලෝකයක් ලැබිය හැකි ය.

නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා

“කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?” යනු මෙහි සරල අදහස ය.

දීඝ නිකායේ ශීලස්‌ඛන්ධ වග්ග නම් කොටසේ ශ්‍රමාන්‍යඵල සූත්‍රයේ මේ පිළිබඳව සවිස්‌තරව සඳහන් වන්නේය. පැවිදි වූ කෙනෙකු ආරක්‍ෂා කරන සිල් ගැන පියවරෙන් පියවර එහි සඳහන්ය. පංචශීලයේ සිට චූල ශීල, මධ්‍යශීල, මහාශීල වශයෙන් ඒවා විස්‌තර කරන විට නැකත් බැලීම, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ගැන කීම මෙන්ම විවිධ පලාපල හා නිමිති කීම වැනි තිරශ්චීන විද්‍යා වලින් ශ්‍රමණයින් වහන්සේලා වළකින බව මෙම සූත්‍රයේ සඳහන්ය.

බුදු සරණයි යැයි නිකම් කටට ආවාට කියන මේ බෞද්ධයෝ සැබෑ ලෙස සරණ යන්නේ මේ බුදුන් ප්‍රතික්ෂේප කළ “තරු“ ය. ඒ නිසා අප උන්ට සමු දිය යුත්තේ “බුදු සරණයි“ කියා නොව “තරු සරණයි“ යැයි කියා ය.

දැන් අපට “බුදු සරණයි, තෙරුවන් සරණයි“ යන දෙකටම ආදේශක තිබේ. ඒ “තරු සරණයි, තරුවන් සරණයි“ යන දෙක ය. ඒ දෙකම ජන මනස කා දමමින් සිටින නිසාත් ඒ දෙකම ඊනියා බෞද්ධයින් විසින් බුදුන්ට හා තෙරුවන්ටත් වඩා ඉහළින් තබන නිසාත් ඒ යෙදුම් වඩාත් කාලෝචිත ය. ඊට අමතරව ඒ නිසා වඩාත් හොඳින් තමන් ගැන නැවත විමසන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ ය. ඒ අතින් එය වඩාත් ප්‍රබල පණිවුඩයක් ගෙන එන්නේ ය.

වචන වලට පේටන්ට් නැත. ඒවා භාවිතය ගැනීමට ඕනෑ ම කෙනෙකුට පුළුවන.

අප සැමට අදහස් තිබේ. ඒවා එකිනෙකට වෙනස් ය. බුදු බණේ ඒ බව විශේසයෙන් කියා තිබේ. ඒ නිසා තමන් හිතන විදිහට ම සෙසු අය සිතිය යුුතු ය යනුවෙන් නීති පනවන්නට කිසිවෙකුට නොහැකි ය. ඒ අප නිදහස් රටක් නිසා ය. ප්‍රජාතන්තුවාදී රටක් නිසා ය. ව්‍යවස්ථාවෙන් භාෂිතයේ නිදහස තහවුරු කොට ඇති නිසා ය.

හරි වැරදි වන්නේ භාෂණයෙන් ප්‍රකාශිත අදහස ය. එයින් අපේක්ෂිත පණිවුඩය ය. එයින් මනසට කරන ආයාචනය ය.

අවසාන විශ්ලේෂණයේ දී වැදගත් වන්නේ කියවෙන පණිවුඩය සාධනීය ද නිශේධනීය ද යන්න මිසක එය දැනට පිළිගත් සම්ප්‍රදායට, පුරුද්දට, යෙදුමට හෝ භාවිතාවට එකග ද යන්න නොවේ. ඒ බව අප ඉගෙන ගන්නේ කවදා ද එදාට මේ රට මිට වඩා යහපත් එකක් වනු ඇත්තේ ය.

ලේබල් සහ මාකටින්

“තරුවන් සරණයි“ යන්න මේ මෑතක දී ඇති වූ කලබලවලට අදාළ එක් කලා කෘතියක් පමණ ය. ඒ නාට්‍ය මාලාවේ සෙසු නාට්‍ය වල මාතෘකා සම්බන්ධයෙන් ද ප්‍රශ්න තිබුනේ ය. ඒ හැම එකක්ම නාට්‍යයේ අන්තර්ගතය ගැන නොව එහි ලේබලය ගැන ය. එකක් “නිහොන් සැප ලැබේවා“ කියා ය. අනෙක “නිර්වස්ත්‍රං පරමං සුඛං“ කියා ය. බැලූ බැල්මට ඒවා ප්‍රශ්න කාරී බව ඇත්ත ය.“ නිහොන් සැප ලැබේවා“ කියන්නේ “නිවන් සැප ලැබේවා“ යන ආකාරයට ම ය. “නිර්වස්ත්‍රං පරමං සුඛං“ කියන්නේ “නිබ්බානං පරමං සුඛං“ කියන තාලයට ය.

මේවා එක්තරා දුරකට මාකටින් වැඩ ය. මේ වැඩ නරක නම් “සිද්ධාර්ථ තෛලය“ හා “බුද්ධරාජ කල්කය“ ද නරක ය. ඒවා ද මාකටින් ය. එහි දී යොදා ගෙන ඇත්තේ පද විතරක් වුව ද ඒවා මාකටින් නොවේ යැයි කිව නොහැකි ය.

දැන්වීම් කලාවේ වැදගත් අංගයක් වන්නේ උත්ප්‍රාසය ය. එය නිකම් ම හාස්‍යයට වැඩි දෙයකි. හාස්‍යය ලේ පිරිසුදු කරන නමුත් බුද්ධියට අමතන්නේ නැත. උත්ප්‍රාසය, හාස්‍යය ජනිත කරමින් මනස ද අවදි කරවයි. උත්ප්‍රාසය සළකනු ලබන්නේ ඉතා සඵල සන්නිවේදන මාදිලියක් විදිහට ය. පණිවුඩයක් කීමේ වඩාත් ම සාර්ථක ක්‍රමය ලෙස ය. ඒ නිසා මේ නම් දෙකේ දී ජනයාට හුරු පද භාවිතයට අමතරව උත්ප්‍රාසය ද අඩංගු කර තිබිම ගැන අපට එහි නිර්මාර්තෘ වරුන්ට දොස් කිව හැකි ද? ඒ තුළ මා දකින්නේ ඔවුන්ගේ නිර්මාණශිලිත්වය ය.

එහෙත් සපත්තුවක නැතිනම් සෙරෙප්පුවක යොදා ඇති නැවක සුක්කානමක් හඟවන ලාංඡනයක් තුළ ධර්මචක්‍රය සොයන භික්ෂූන්ට හා ඔවුන්ට මැර බලය සපයන ඊනියා බෞද්ධයින්ට මේ උත්ප්‍රාසය තේරුම් ගත නොහැකි ය. ඔවුන්ට ඒ උත්ප්‍රාසය හා ඉන් මතු කරන පණිවුඩය නොපෙනෙන අතර පෙනෙන්නේ තමන් සොයන, මේ නිර්මාණශීලී කලාකරුවන් විසින් කරන්නේ යැයි ඔවුන් සිතන, පරිහාසය පමණ ය.

ඔවුන් කොතරම් තමන් සොයන දේ පමණක් සොයන ඉන් නවතින උදවිය ද බව පෙනෙන්නේ ඕමල්පේ සෝභිත හිමියන් විසින් මේ සම්බන්ධයෙන් එක්තරා පුවත්පතකට කර තිබුණු ප්‍රකාශයක් තුළ ය. “අන්තර්ගතය වැඩක් නෑ. නම තමයි අපේ විවේචනයට අසු වෙන්නෙ“. එයින් කියවෙන්නේ කියන පණිවුඩය අදාළ නැති බව ය. නම තුළ තමන් නැවතී ඇති බව ය. මේ නම් තම ශ්‍රාවකයන්ට විමසන ලෙස බුදුන්ගේ උපදෙස් නම් නොවන්නේ ය.

අජාන් බ්‍රහ්මවංස හිමියන්ට එරෙහි අපේ හාමුදුරුවන්

වරෙක අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් කෙනෙකු මෙසේ අසන්නේ ය. කිසියම් කෙනෙකු ඔබ වහන්සේ ඉදිරියේදි ත්‍රිපිටකය හෝ ධම්මපදය ටොයිලට් වලකට දමා වතුර මුදා හැරියොත් කුමක් කරන්නේ ද? එහිමියන් නොපැකිල ව පිළිතුරු දෙන්නේ වහාම පයිප්ප වැද්දුම් කරුවෙක් කැඳවන බව ය. වඩා බරපතල කාරණය වැසිකිලිය සිර වී කරදරයක වැටිම ය. ත්‍රිපිටකයේ හෝ ධම්මපදයේ පිටපත් නම් නැවත මිල දී ගත හැකි ය.

සිදු කරන ලද අගෞරවය ගැන වගේ වගක් උන්වහන්සේ පෙන්නුවේ නැත. ඒ පහත් වැඩය කළ තැනැත්තාගේ වැඩකි. එයින් කම්පා වී කලබල වීමෙන් වන්නේ අපේ සිත දූෂ්‍ය වීම ය. උන්වහන්සේ කල්පනා කරන්නේ එසේ ය. එයින් ඇති කළ අනර්ථය දරා ගත යුත්තේ එය කළ තැනැත්තා මිස බලා සිටි අප නොවේ.

අට ලෝ දහමින් කම්පා නොවන බෞද්ධ භික්ෂූන් වහන්සේලා එසේ වුව ද අපේ රටේ ඉන්නා බොහෝ සිවුරුධාරීන් නම් එයින් ප්‍රලය වී ජවුසම් නටනු ඇත්තේ ය. එසේ ජවුසම් නටන උන්ට අඩු වශයෙන් අනුබල දෙනු හෝ ඇත්තේ ය.

මේ නාට්‍ය මාලාවට අමතරව තවත් ලේ කැකෑරුනු පුවතක් දැක ගන්නට ලැබුනේ “බුදුන්ගේ රස්තියාදුව“ නම් පොත සම්බන්ධයෙනි. එතැන පවා ප්‍රධාන ප්‍රශ්නය තිබුනේ නම සම්බන්ධයෙන් මිස අන්තර්ගතය සම්බන්ධයෙන් නොවේ. අවසානයේ පොලීසිය පවා මැදිහත් වූ මේ ප්‍රශ්නය කලාකරුවන් විශාල පිරිසක් ඉදිරිපත් විම නිසා සමථයකට පත් වුනු නමුත් මේ පොතට ද එහි කර්තෘට ද එලව එලවා පහරදීම් දිගටම සිද්ධ විය. අදට ද සිදු වෙයි.

අපි පළමුව රස්තියාදුව යන වචනය විමසා බලමු. එය අප නිතර භාවිතා කරන වචනයකි. එක් පැත්තකින් මිනිසුන්ව හෑල්ලු කරන්නට එය භාවිතා වන්නේ ය. ඒ, මිනිහා රස්තියාදු කාරයෙක් යැයි කියමිනි. අනිත් අතට අප කිසියම් වැඩක් කර ගැනීමට ගොස් නිපරාදේ කාලය වැයකොට පැමිණිය හොත් ඒ සංසිද්ධිය විස්තර කිරීමට ද එය භාවිතා වේ. එවිට අපට කියවෙන්නේ “පුදුම රස්තියාදුවක් නෙ වුනෙ“ කියා ය. එතැන අපහසායක් හෑල්ලුවක් නැත. එතැන කියවෙන්නේ අපට සිදු වූ අකරතැබ්බයක් ගැන ය. බුදුන්ගේ රස්තියාදුව යන්න අදාළ මේ දෙවැනි යෙදුමට ය. ඒ බුදුන්ට සිදු ව ඇති “අකරතැබ්බය“ ගැන කීමට ය.

බුදුන් වහන්සේ ලොවට උතුම් දහමක් හඳුන්වා දුන්නේ ය. මිනිසුන්ට ජිවිතයේ ඇති දුකෙන් මිදී නිවන ඇති කරගන්නා සැටි පෙන්වා දුන්නේ ය. එහෙත් වැඩි මනත් මිනිසුන් කළේ බුදුන් වහන්සේගේ පිළිමයක් හදා ගෙන එය වන්දනාමාන කරමින් රස්තියාදු වීම ය. එහෙම බැලුවහම බුදු වදන අපතේ ගොස් ඇත.

පහසුවෙන් රහත් වී තම නිවන සාක්ෂාත් කර ගැනීමට ඉඩ තිබිය දී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරමින් කල් ගත කළේ බුදු බව ලැබීමට ය. එසේ පැතුවේ ද, ඒ මග ගියේ ද, සෙසු සත්ත්වයාට ද ඒ නිවන ළඟාකර දීම පිණිස ය. එහෙත් වත්මන් බෞද්ධයින් විසින් නිවන හැර ඉතිරි සියල්ල බදා ගෙන ඉන්නා බව දකින බුදුන් වහන්සේට අපරාදෙ පුදුම රස්තිියාදුවක් නෙ වුනෙ කියා නොකියවුනොත් තමා අප පුදුම විය යුත්තේ යන්න බුදුන්ගේ රස්තියාදුව යන පාඨයෙන් අනියමින් කියවෙන්නේ ය. එහෙම බැලුවහම නම හරියට ම හරි ය. එය උත්ප්‍රාසය දනවන පණිවුඩයක් ගෙනෙන්නේ ය. බෞද්ධයන්ට තම කල්ක්‍රියාව ගැන සිතන්නට පොළඹවන යමක් ඒ තුළ ඇත්තේ ය. අන්තර්ගතය නොබැලුව ද සෑහීමකට පත් විය හැකි පණිවුඩයක් එයින් පෙරා ගත හැකි ය. එහෙම පෙරා ගත හැක්කේ උඩින් පල්ලෙන් අතගා බලා නොවේ. ගැඹුරු විමසන ඥානයකින් බැලීමෙන් ය. බුදුන් වදාළ ලෙස යමක් දෙස කිමිදී බැලීමෙන් ය. සමාධි සිතකින්, තැන්පත් මනසකින්, බැලීමෙන් ය. එහෙත් අපේ බෞද්ධයන්ට එහෙමකට ඉස්පාසුවක් නැත.

මාරයාට නොදෙවෙනි බිය පැරදවීම

අපේ රටේ බොහෝ බෞද්ධයන් නිරන්තර බියකින් පෙළේ. ඒ වෙනත් ආගමිකයන් ද නිරාගමිකයන් ද තමන්ගේ ආගමට අපහාස කිරිමට, එය ගිල ගැනීමට, ඒ හරහා තමන්ට “කෙළවන්නට“ හැම විටම සැදි පැහැදී ඉන්නේය, කල් යල් බලමින් ඉන්නේය, යන හැගීම නිසා ය. ඒ බියෙන් මෙහෙයවනු ලැබ ඔවුන් සිතා සිටින්නේ මේ සියල්ල ඩොලර් වලින් මෙහෙයවන මහා කුමන්ත්‍රණයක අංගයන් බව ය. කුඩා කෑලි බව ය.

ඒත් ලෝකය හොඳින් විමසන්නේ නම් පෙනෙන්නේ භාෂණයේ නිදහස විසින් ආගම් පැතිරවීමට පමණක් නොව ඒවායේ අඩුපාඩු දක්වා සිටීමට ද ලොව බොහෝ රටවල මිනිසුන්ට නිදහස ලැබී තිබෙන බව ය. මිනිසුන් ඒ නිදහස භාවිතා කරන බව ය. එපමණක් නොවේ. හොඳින් බැලුවොත් පෙනෙන්නේ ඒ නිදහස නිසා වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ එරටවල වඩාත් ප්‍රචලිතව ඇති ක්‍රිස්තියානි දර්ශනය බව ය. බටහිර රටවල දේව ආගම් තරමට බුද්ධාගම උපහාසයට ලක් වන්නේ නැති බවත් එසේ බලන ඔවුන්ට තවදුරටත් පෙනෙනු ඇත. ඒ සමගම බුද්ධාගම්කාරයන් විසින් රුපියල් යොදවා කුමන්ත්‍රණ කරන්නේ යැයි ඒ රටවල මිනිසුන් සිතන්නේ නැති බවත් පන්සල් ඇති කිරීමට පමණක් නොව බුද්ධ ධර්මය ප්‍රචාරයට ද ඉඩක් පමණක් නොව ඇතැම් විට අනුග්‍රහයන් පවා ඇති බවත්  ඔවුන්ට පෙනෙනු ඇත.

ප්‍රශ්නය ඇත්තේ අපේ රටේ බොහෝ දෙනෙකු කරදිය වළල්ලෙන් එහා ලෝකය දැක නැති නිසා ය. ඒ ලෝකය ගැන නොදන්නා නිසා ය. ඒ ගැන අසා නැති නිසා ය. විපරම් කර නැති නිසා ය.

ඒ නිසා ම පහසුවෙන් ආවේගයන්ට නතු වන කීපදෙනෙකුගේ පාරාදීසයක් බවට ඔවුන්ගේ රජදහනක් බවට රට පත් වෙමින් තිබෙන්නේ ය. කලාකෘතිවලට එරෙහි වෛරී ප්‍රකාශනයෙන් ද ඒ තුළින් මස්කප්‍රාප්තියට පත් වාරණයෙන් ද පෙනෙන්නේ ඒ බලවේගයන් යහපාලනය තුළ පවා ජය ගනිමින් තිබෙන බව ය.

වචනවලට පේටන්ට් නැත. ඒ නිසා භාෂිතයේ නිදහස භාවිතා කරමින් තරු වල සරණ යන ඔබට මට කිමට ඇත්තේ නැවත හමුවන තුරු “තරු සරණයි“ කියා ය.

තඩි බාන්නට මුව හමක්

d5_27082018_FRRරටේ ඕනෑ ම ප්‍රශ්නයකට වග කියන්නට හේතුවක් හොයන අයට පහසුවෙන් හමුවන දෙයක් තිබේ. ඒ විවෘත ආර්ථිකය ය. එය තඩි බාන්නට හොඳ මුව හමකි. එය ආරම්භ කර දැනට වසර 40 ක් ඉක්ම ගොස් තිබෙතත් තවමත් බොහෝ දෙනෙකු තලන්නට ගන්නේ ඒ මුව හම ය. මේ මෑතක දී මේ කාර්යය බාර ගත්තේ මේ රටේ කතෝලික පල්ලියේ නායකයා යැයි සැළකෙන අගරදගුරු රංජිත් මැල්කම් ආදිපාදයානන් ය. එවැනි සමාජ බලයක් ඇති අයෙකු පවා තවමත් මේ පැරණි කතාව ඉදිරියට ගන්නා නිසාත් දේශපාලන වේදිකාවේ ද මෙය නැවත නැවතත් ඇසෙන නිසාත් අප මේ ගැන විමසිය යුතු ය. මෙහි ඇත්ත නැත්ත විමසිය යුතු ය. වැරදි දෙයක් සමාජ ගත වීම රට අවුල් කළ හැකි බැවිනි.

ඒ ගැන අපට බැලිය හැකි එක් ක්‍රමයක් නම් ආර්ථිකය විවෘත වෙන්නට කලින් අප අත් දුටු ආර්ථිකය ඇසුරෙන්, එයින් ලද ඵලවිපාක ඇසුරෙන්, වත්මන් තත්ත්වය විමසීම ය. ඒ අප අත්දුටු සංවෘත ආර්ථිකයේ මහිමය කෙසේ වී දැයි සළකා බලමිනි.

ඒ කාලයේ බොහෝ දේ පිටරටින් ගෙන් වූයේ නැත. පිටරටින් ගෙන්වීමට ඉඩ තිබුණු ද්‍රව්‍ය පවා ගෙන්වීමේ බලය තිබුනේ රජයට ය. නැතිනම් එවකට අතිශයින් සීමිත විදේශ විනිමය තිබූ අතලොස්සක් දෙනාට ය. ඒ ද රජයේ අනුමැතියට යටත් ව ය. කප්පරක් වූ ආරක්ෂක බදු ගැසීමෙන් පසු ය. ඒ නිසා වෙළඳ පොළේ තිබුනේ භාණ්ඩ අතලොස්සකි.

ඒ නිසා ම දෝ පිටිවල ගුල්ලෝ ද හරි හරියට වාසය කළෝ ය. පිටි පමණක් නොව ඒවායින් හැදූ පාන් ද ගඳ ය. රෙදි වලින් වහනය වුනේ ද භූමිතෙල් ගඳකි. බොහෝ දේ නිදහස් වෙළඳ පොලේ තිබුනේ ද නැත. බෙදුවේ සළාක ක්‍රමයට ය. ඒ ද සමූපකාරයෙනි. පෝලිමේ වරු ගණන් ඉඳ, සමූපකාරයේ වැඩ කළ සියළු දෙනාගේ ආඩම්බර ද බලමිනි. සමූපකාර මැනේජර් අතිශයින් බලසම්පන්න විය. මනාල වෙළඳ පොලේ පවා ඔහුට ඉහළ ඉල්ලුමක් එවකට තිබීමෙන් ඒ බව වැඩිදුරටත් සනාථ වේ. ගෙදරකට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගෙන රසට කන්න වුවමනා නම් සමූපකාරයක කෙනෙක් පවුලට බැඳි සිටිම අවශ්‍ය ම විය. කරවල උම්බලකඩ ඔහුගේ අනුග්‍රාහකයන්ට සීමා වූ අති සුඛෝප භෝගී ආහාර විය. ඒ කාලයේ පුවත්පතක කාටූන් ශිල්පියෙක් මේ උම්බලකඩ සම්බන්ධයෙන් වූ සාගතය සනිටුහන් කළේ උම්බලකඩ හොද්දට නොදා ඒ වෙනුවට මාළු බාන්නට ගන්නා වැනි පිත්තකින් හොද්දේ බහා තබා ටික වෙලාවකින් නැවත ගැනීමට සිදු වූ බව අඟවන රූපයකිනි (ඒ කාලයේත් සල්ලි ඇත්නම් මේ හැම එකක්ම බ්ලැක් මාර්කට් එකෙන් ගන්නට ද පුළුවන් කම තිබුනේ ය. ඇතැම් විදේශ විනිමය බලපත් තිබූ අය තමන් වෙනුවෙන් ඇතැම් භාණ්ඩ විශේෂයෙන් ආනයනය කරන්නට පෙළඹුනු බව ද වාර්ථා වුනා මතක ය).

හේතුව ආර්ථිකය පාලනයට යටත් කර තිබූ නිසා ය. එයින් අදහස් කළේ බොහෝ දේ රජයේ ඍජු පාලනයට ද යටත් ව තිබූ බව ය. එයට ඩොලරය ද අයත් විය. අද මෙන් ඩොලර් ද මිල දී ගැනීම පහසු වූයේ නැත. ඒ සඳහා පළමුව විනිමය සහතිකයක් ලබා ගත යුතු විය. ඊට උරුම කීවේ අතලොස්සක් අපනයන කරුවන් පමණ ය. එහෙමත් නැත්නම් දේශපාලන සබඳකම් තිබූ අය ය. ඔවුන් ආනයනය කළ දේ භුක්තිවිඳි අතර සෙස්සො හූල්ලමින් ජීවත් වූහ.

රාජ්‍ය අංශය අතිශය අකාර්යක්ෂම වුව ද භාණ්ඩාගාරයෙන් පොම්ප කරන සල්ලි වලින් දුවනු ලැබූ නිසා පෞද්ගලික අංශයට ඒ හා තරග කළ නොහැකි විය. ඒ නිසා රජය මැදිහත් වූ බොහෝ තැනකින් පෞද්ගලික ව්‍යාපාරිකයෝ ඉවත් වූහ.

හාල් මුං ඇට පරිප්පු හැම එකකම හරි හරියට ගල් තිබුණේ ය. ඒවායේ තිබුනේ ඒකාධිකාරයක් නිසා ගල් නැති හාල් වෙළඳ පොලට නිකුත් කිරීමට දිරි ගැන්වීමක් කළ හැකි තරගයක් තිබුනේ ද නැත.

එක වර්ගයක බඩු තිබුනේ එකම ලේබලයක් යටතේ ය. කිරි නම් කිරි මණ්ඩලයේ කිරි ය. ජෑම් නම් අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජෑම් ය. සිමෙන්ති නම් සංස්ථා සිමෙන්ති ය. ගෑස් නම් ආණ්ඩුවේ ගෑස් ය. බැංකු නම් ආණ්ඩුවේ බැංකු ය (බැංකු නම් ආණ්ඩුවේ ම වුව තුනක් තිබුනේ ය. ඒ ලංකා මහජන හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලෙස ය. ඒත් ඒවා අතර එහෙමට තරගයක් තිබුනේ නැත). රක්ෂණය ද සංස්ථාවේ ය. ඒ කියන්නේ ආණ්ඩුවේ ය. දුරකථන නම් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ය.

කැමති වුවත් නැතත් ගත යුතුව තිබුනේ ඒ එකම ප්‍රභවයෙනි.

මේ කියන ඇතැම් ආණ්ඩුවේ නිශ්පාදන ගුණාත්මක භාවයෙන් යුතුව තිබුණු බව ඇත්ත ය. උදාහරණයක් ලෙස අදටත් හොල්සිම් ආයතනයේ සිමෙන්ති හැඳින්වෙන්නේ සංස්ථා සිමෙන්ති ලෙස ය. අලෙවිකිරීමේ දෙපාර්තමේන්තුවෙන් ජෑම් නිශ්පාදනය බාර ගත් පුද්ගලික අංශයේ ආයතනය අදටත්  ජෑම් විකුණන්නේ MD ලෙස ය. ප්‍රශ්නෙකට තිබුනේ මේවා හිග වීම ය. සිමෙන්ති නැති කාල වකවානු තිබුනේ ය. ඒ කාලවල සිමෙන්ති ගිනි ගණන් ගියේ ය. ගෑස් සිලින්ඩරයක් ගැනීමට අවුරුදු ගණනක් පෝලිමේ සිටීමට සිදු විය. දුරකථන සම්බන්ධයක් ලබා ගැනීම වෙන ම ව්‍යාපෘතියක් විය. ඒ සඳහා වසර දෙක තුනක් බලා සිටීමට එකල සිදු ව තිබුනේ ය.

හැම හිඟයක් සමගම පෝලිම තරමට ම අල්ලස ද පැතිර ගියේ ය. වැඩක් කර ගැනීමේ දී දේශපාලන බලය ද තීරණාත්මක විය. ඒ පෝලිමේ ඉදිරියට යෑමට තල්ලුවක් ලබා ගැනීමට ය.

මේ සියල්ල කළේ එක් අරමුණක් ඇතිව ය. ඒ රටට අවශ්‍ය දේ රටේ ම නිපදවීමට ය. පිටරටින් ගෙනෙන ඒවාට වැට බැඳීමෙන් රටේ නිශ්පාදන රැක ගැනීම ය. එහෙත් එහෙමට නිශ්පාදනයක් සිදු වුනේ නැත. එයින් සිදු වූ හානිය ඊට වඩා විශාල ය.

තරගයක් නොමැති වීම නිසා අකාර්යක්ෂමතාවයට හා නාස්තියට හරි හරියට තිබුනේ ය. ඒ නිසා ම සිදු වුනේ ලෝක වෙළඳ පොලේ තරග කළ හැකි ව්‍යාපාර අපට නොමැති වීම ය. අපේ ව්‍යාපාරිකයන්ට සිදු ව තිබුනේ සීමාසහිත ලාංකීය වෙළඳ පොල මත යැපීමට ය. එයට විනිමය පාලනය ද බල පෑවේ ය. ඩොලරයේ සැබෑ වටිනාකම කුමක් වුව ද එය රුපියල් 15 ට මිල නියම කර තිබුනේ ය. ඒ නිසා ද ලෝක වෙළඳ පොලට බඩු විකිණීමෙන් විනිමය හැරුණ විට රුපියල් වලින් උපයා ගත හැකි වූයේ සොච්චමකි. එය ද අපේ ව්‍යාපාරිකයන් ලෝක වෙළඳ පොල ඉලක්ක කර භාණ්ඩ නිශ්පාදනය කිරීම අධෛර්ය කළේ ය. මේ නිසා ම විශාල පරිමාණයේ නිපදවීමකට ඉඩක් තිබුනේ නැත. ඒ නිසා ම scale of economy (විශාල පරිමාණයෙන් නිපදවීම නිසා ස්ථාවර වියදම වැඩි ප්‍රමාණයක් තුළ විසිර යෑමෙන් ලැබෙන වාසිය) ලබා ගැනීමට ව්‍යවාසකයින්ට නොහැකි විය. මේ හේතු නිසා අපේක්ෂා කළ දියුණුව කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නොලැබ ගියේ ය. තත්වයෙන් බාල මිල අධික භාණ්ඩ කීපයක් නිපදවීමෙන් ඔබ්බට එය දියුණු වූයේ නැත.

රුසියාව සිය විදෙස් ආධිපත්‍ය සඳහා ලබා දුන් ආධාර නිසා ඇතැම් කර්මාන්ත ඇති විය. වානේ ටයර් කම්හල් ඒ ආධාර වල ප්‍රතිඵල ය. පසුකලෙක විකුණා දමන තුරු ඒවා අයිතිව තිබුනේ ද රජයට ය.

විනිමය පාලනය නිසා යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීමේ ඉඩ ලැබුනේ විනිමය ඉපැයූ අපනයන ක්ෂේත්‍රය තුළ සිටි පාරම්පරික ව්‍යාපාරිකයන්ට පමණ ය. එයින් ඔබ්බේ ඒ වාසනාව පෑදුනේ දේශපාලන හිතවත් කම් තිබූ ව්‍යවසායකයන් කීප දෙනෙකුට පමණ ය. ඒ අය නම් වලින් ම මිනිසුන් දැන සිටිය හ. දාස මුදලාලි හා උපාලි විජේවර්ධන ඒ නම් අතර ප්‍රමුඛයෝ වූහ. නව ව්‍යවාසකයන් බිහි වීමේ ඉඩකඩ ඒ නිසා ඇහිරී තිබුනේ ය. ඒ නිසා ම නවෝත්පාදනයට වැඩි තැනක් නොලැබුනේ ය. විවෘත වූයේ ලංකාවේ වෙළඳ පොලට සරිලන එකලස් කිරීමේ කර්මාන්ත පමණ ය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරුම යුගය ඒ සංවෘත ආර්ථික රටාව ඉහළින්ම ක්‍රියාත්මක කළ 1970-76 යුගය ය. එම කාලවකවානුව තුළ වාර්ෂික වර්ධන වේගය 2.8% ක් වූ අතර, එය ඊට කලින් හා පසු වකවානු දෙකට ම සාපේක්ෂව අඩකින්ම පහල අගයක් ගත් බව වාර්තාවේ. දිග්ගැස්සුණු යුද්ධයක් පැවති වකවානු වල පවා සාමාන්‍ය වර්ධන වේගය 5% ක මට්ටමක පැවති බව සළකන විට (2001 වර්ධන වේගය ඍණ අගයක් ගනිද්දී පවා ඒ අර්ධ දශකය තුළ වාර්ෂික සාමාන්‍ය වර්ධන වේගය 5% ඉක්මවන මට්ටමක පවත්වා ගැනීමට හැකි ව තිබුනේ ය) එම කාලයේ පැවති අර්බුදයේ බරපතල කම කෙබඳු දැයි ඉඟියක් ඉන් අපට ගත හැකි ය.

විවෘත ආර්ථිකය මේ සියල්ල උඩුයටිකුරු කළේ ය. විනිමය පාලනය ඉවත් කළ අතර ඩොලරයේ වටිනාකම තීරණය කළේ ඉල්ලුම හා සැපයුම මිස රජයේ මැදිහත් වීමකින් තොරව ය. අපනයනය කිරීමට තිබූ බාධක බොහෝමයක් ඉවත් වූ අතර තවදුරටත් භාණ්ඩවල හිඟයක් ඇති නොවි ය. රජයේ ඇතැම් ආයතන පෞද්ගලීකරණය කළ අතර මෙතෙක් පෞද්ගලික අංශයට විවෘත නොවූ ක්ෂේත්‍ර බොහෝමයක් ඒ සඳහා විවෘත විය. රට විදේශ ආයෝජන සඳහා ද විවෘත වූ අතර නිදහස් වෙළඳ කලාප ඇති විය. තවදුරටත් සියරට දේ සිරි සැප නොදුන් අතර සිරි සැප දුන්නේ අඩුමිලට එහෙත් සාපේක්ෂව ගුණයෙන් වැඩි දේ පමණ ය.

ලංකාවේ ව්‍යාපාරිකයෙකු අහස් යානා ටයර් ලෝකයට සපයන ව්‍යාපාරිකයෙකු වී සිටියේ ය. විදේශ සඳහා මෘදුකාංග නිපදවන ව්‍යාපාරිකයන් ගණනාවක් ද පහළ විය. ඩොලරයේ මිල ඉහළ යන විට අපනයන කටයුතු වලින් වැඩි ලාභ අත් වීම නිසා අපනයනය දිරි ගැන්වුනේ ය.

මේ පරිවර්තනයෙන් වඩාත් බැට කෑවේ ගුණාත්මක වශයෙන් අතිශයින් දුර්වල භාණ්ඩ හා සේවා සපයමින් සිටි ආයතනයන් ය. ඒවා තරඟයට මුහුණ දී ගත නොහැකිව වැසී ගියේ  ය. ඒ අර්බුදයට වැඩි මිලකට වෙළඳ පොලට තම නිශ්පාදන සැපයූ ගොවීන් ද ගොදුරු විය.

මිනිසුන්ට තෝරා ගැනීමට විශාල පරාසයක් තිබූ අතර නැතිව තිබුනේ මුදල් ය. ඒ නිසා මුදල් සොයා ගැනීම උදෙසා බොහෝ දේ කිරීමට මිනිස්සු ඉදිරිපත් වූහ. ප්‍රශ්න ඇති වූයේ එසේ ඉවක් බවක් නැතිව මුදල් ඉපයීමට ඉදිරිපත් වීම තුළ ය. බල්ලො මරල හරි සල්ලි යන ආදර්ශ පාඨය බොහෝ අයට වැළඳ ගැනීමට සිදු වූයේ යැයි චෝදනා ඉදිරිපත් විය. විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන විවේචන ඇති වූයේ ඒ සම්බන්ධයෙනි.

ඊළග විවේචනය තිබුනේ විවෘත ආර්ථිකය පරිභෝජන වාදයක් ගෙනාවේ ය, ඒ නිසා මිනිසුන් තමන්ට අනවශ්‍ය හා හානිකර දේ පවා මිලදී ගන්නට පෙළඹවනු ලැබුවේ ය, යන මතය ආශ්‍රිතව ය.

මේ විවේචන දෙකම විසින් ප්‍රතික්ෂේප කරන එක කරුණක් තිබේ. පිහියක් කුමක් සඳහා භාවිතයට ගන්නේ ද යන්න සම්බන්ධයෙන් වගකීම ඇත්තේ පිහියට නොව පිහිය දරන්නාට බව ය.

යම් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වග කිව යුත්තේ දූෂකයා නොව ස්ත්‍රිය බවට, ඇය රාගය ඇවිස්සෙන ගවුමක් ඇන්දේ ය, නැතිනම් එසේ ඇවිස්සෙන රුවක හිමිකාරියක් ය, යන්න අප රටේ ඇතැමුන්ගේ මතය ය. වගකීමෙන් දූෂකයා නිදහස් කොට එය වින්දිතයාට පැවරීමට ඒ අය දක්ෂ ය. බල්ලො මරලා හරි සල්ලි හොයන මිනිසුන් හා පරිභෝජන වාදයට යට වූ මිනිසුන්, නිදහස් කොට, එහි වගකීම විවෘත ආර්ථිකය මත පටවන විට ද අපේ මනස ක්‍රියාත්මක වන්නේ ඒ මට්ටමේ ය.

විවෘත ආර්ථිකයේ සේයාවක් වත් නොවූ ධනය බලයට ඌණනය ව තිබුනු රජ කාලයේ ඒ බලය වෙනුවෙන් මැරුවේ බල්ලන් නොව බොහෝ විට මිනිසුන් බවත්, ඇතැම් අවස්ථාවක තමන්ගේ ම පියවරුන් හෝ සහෝදරවරුන් බවත්, අපට අමතක ව ගියේ කෙසේ ද? ඒ, තලන්නට මුව හමක් ලැබුණු පසු මිනිසුන් තවදුරටත් ප්‍රශ්න නොඅසන නිසා ය. දිගටම තැලීමෙන් තෘප්තිමත් වන නිසා ය.

විවෘත ආර්ථිකයේ සැබෑ ප්‍රශ්නය තිබුනේ විවෘත වීමට වඩා තවමත් ඇතැම් දේ විවෘත නොවීම තුළ ය. බාර්වලට ලයිසන් අවශ්‍ය විය. ඉන්ධන පිරවුම් හල්වලට ද ලයිසන් අවශ්‍ය විය. ඒවා තවමත් ලැබුනේ දේශපාලන බලය හිමි අතලොස්සක් පිරිසකට ය.

ඊළග ප්‍රශ්නය තිබුනේ රජය තවදුරටත් යම් යම් ක්ෂේත්‍රයන්හි ඒකාධිකාරී බලයක් ඇති ව ක්‍රියාත්මක වීමේ ය. ඒවා පෞද්ගලික අංශයට විවෘත කිරීමට අපොහොසත් වීමේ ය. දුම්රිය, විදුලි බලය, පානීය ජලය ඇතුළු දේ ඊට අයත් විය. තෙල් ඉන්දියන් තෙල් සමාගමට පමණක් විවෘත කිරීම තුළ ද එය ද සියයට දහයක පංගුවකට සීමා කිරීම තුළ ද තවමත් එය තිබුනේ ද රජයේ ම කටයුත්තක් ලෙස ය.

තෙවනුව, ප්‍රශ්නය තිබුනේ රජය පුද්ගලික අංශය නියාමනය සම්බන්ධයෙන් දැක් වූ අකාර්යක්ෂමතාවය තුළ ය. පක්ෂපාතිත්වය තුළ ය. නැතිනම් අනවශ්‍ය නියාමනය තුළ ය. නියාමනය කෙසේ කළ යුතු දැයි හැගීමක් අත්දැකීමක් රජයට නොවීම තුළ ය. ලාභ ලැබීම වෙනුවෙන් ජනතාව පරදුවට තබන ව්‍යාපාරිකයන් පිරිසකගේ පැවැත්ම ඇත්තේ මේ නියාමනය සම්බන්ධයෙන් රජය දක්වන මන්දෝත්සාහය තුළ ය. එය තවදුරටත් ජය ගැනීමට තිබෙන අභියෝගයකි.

සිව්වෙනුව, ප්‍රමාණවත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වන සේ කළ යුතු ව තිබුණු බොහෝ දේ නොකර සිටීම තුළ ය. ඒ නිසා ම අපනයන ක්ෂේත්‍රයේ සැළකිය යුතු වර්ධනයක් අයත් කර ගැනීමට රටට තවමත් නොහැකි විම තුළ ය. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ විදේශ හැම දෙයක් දෙස ම නොපිටට බලන, අපව බිලි ගැනීමට විදේශ කුමන්ත්‍රණයන් ක්‍රියාත්මක වෙනවා යැයි කියා සමාජ ගත කර ඇති, මතවාදයන් ඒ මැදිහත් වීම් වලට එරෙහිව අවි අමෝරා ගැනීම ය. අනෙක් හේතුව මේ ආයෝජකයන්ගෙන් කප්පම් ගැනීමට මෙරට ඇතැම් බලාධිකාරීන් පේවී සිටීම ය.

අවසාන වශයෙන් එකක් කිව යුතු ය. ඒ, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙන්නට කතා කරනවා විනා මොන කඳවුරවක වත් දේශපාලනඥයෙකු, බොහෝ දෙනා විසින් තලන්නට ගන්නා මේ සුකුරුත්තම, වෙනස් කරන්නට ඉදිරිපත් වූයේ නැති බව ය. අඩුවශයෙන් එසේ කළ යුතු යැයි කියන්නටවත් ඉදිරිපත් වූයේ ද නැති බව ය.

එපමණක් නොවේ. අද වන විට සංවෘත ආර්ථිකය ඉතිරිව ඇත්තේ කියුබාව උතුරු කොරියාව වැනි රටක දෙකක පමණකි. ඒවායින් ද ඇසෙන්නේ වඩාත් විවෘත වීමට ඇති වුවමනා ය. සමාජවාදයේ පුරෝගාමියා වූ රුසියාව පමණක් නොව දැනටත් කොමියුනිස්ට් පක්ෂ බලයේ සිටින චීනය වියට්නාමය වැනි රටවල් පවා ආර්ථිකය විවෘත කර දැන් බොහෝ කල් ය. චීනය සෙසු රටවලට අභියෝග කරමින් ඉදිරියට යන්නේ ද එහි බලය ද උපයෝගී කරගනිමිනි. ඒ සියල්ල එසේ තිබිය දී අපේ රටේ මේ මැරුණු හොල්මන් වලට පණ එන්නේ කෙසේ දැයි ඇතැම් විටක සිතා ගැනීමට අමාරු ය.

(ට්‍රම්ප්ගේ දේශපාලන ආගමනය තුළ සංවෘත ආර්ථිකයකට යන ලෝක ගමනක් ගැන ඉඟි පල වෙතත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළතින් ම මේ වන විට විරෝධයන් ඇවිලෙමින් තිබේ. ඒ නිසා ම ට්‍රම්ප්ගේ වහසි බස් හා ඇතැම් ක්‍රියා සැළකිය යුත්තේ තාවකාලික ආතල් ගැනීමේ කටයුත්තක් ලෙස ය. ඇමරිකන් ජනතාව තාවකාලිකව මුලා කිරීමට ද චීනයට තරවටු කිරීමට ද ගන්නා උපාය මාර්ගයක් ලෙස මිසක ඊට දිගු ගමනක් තිබිය නොහැකි ය).

ආගම, මිනිසුන් ශික්ෂණයේ ලා අසමත් වී තිබේ. මිනිසුන් මානුෂික කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගත් කලාව ද විශේෂයෙන් එහි උරුමක්කාර පොල්මක්කාරයින් ද අසාර්ථක වී ඇත්තා හ. ඒ නිසා මේ සියල්ලේ වගකීම පැවරිය හැකි කෙනෙකු එවැනි පිරිස් වලට අවශ්‍ය ය. හොරෙකු තමන් හඹා එන මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මිනිසුන් ද සමග එක් ව ඔන්න හොරෙක් යැයි කෑගසමින් දුවන්නාක් මෙන් මේ ආගමික නායකයෝත් කලාකරුවෝත් මිනිසුන්ගේ අවධානය මග හරින්නට, ඔවුන්ට හඹායනු පිණිස ඉදිරිපත් කරන්නට, වෙන යමක් සොයති. තමන් වෙනුවෙන් උත්තර දිය නොහැකි විවෘත ආර්ථිකය ඒ සඳහා ඇති පහසු තෝරාගැනීමකි. ඊට අමතරව ඒ විරෝධය විශේෂයෙන් විවෘත ආර්ථිකය හා අනුගත වෙන්නට බැරි වූ ඒ සඳහා මනස සකස් කර ගන්නට බැරි වූ මිනිසුන්ට පහසුවෙන් ගිල්ලවිය හැකි ලණුවකි. ඔවුන්ගේ තරහ යනතුරු රිසි සේ තඩි බාන්නට ගත හැකි මුව හමකි.

ඔබ වහන්සේ වෙත නැවතත්

99_13082018_FRR_CMY

ඔබ වහන්සේ තව වතාවක් අධිකරණයක් මගින් වැරදි කරුවෙකු බවට පත් කොට සිර දඩුවම් පමුණුවනු ලැබූ බව ඇසූ නිසා දෙවැනි වරටත් ඔබට ලියන්නට අපට සිත් විය.

අප විසින් ප්‍රසිද්ධ පුවත් පතක් හරහා ඔබට යොමු කළ පළමු ලිපිය ලීවේ ඔබ මුල්වරට සිර ගත කළ දා ය. එදා ලියන්නට අතපසු වූ දෑ ද සමග මෙය ලියන්නේ එදාට ද වඩා අද ඔබේ ඉරණම සිර ගෙදර සමග බැඳෙතැයි දැනෙන නිසා ය.

අධිකරණ තීන්දුව දෙන කාලය වන විට ඔබ වහන්සේ රෝගීව රෝහල් ගත ව සිටි බව ද අපි ඇසීමු. සමහරු ඒ සම්බන්ධයෙන් කියන්නේ සිර දඩුවම ගැන ඇති වූ සිත් තැවුල හේතුවෙන් නැතිනම් බිය වීම හේතුවෙන් හෝ එසේත් නැතිනම් එයින් යම් නිදහසක් ලබනු වෙනුවෙන් ඔබ ලෙඩ වී ඇති බව ය. අප නම් ඒ බව පිළිගන්නේ නැත.

ඔබ වහන්සේ අභීත ය. තමන් විශ්වාස කරන දෙය වෙනුවෙන් වහෙං ඔරෝ නැතිව පෙනී සිටිමේ ඔබ වහන්සේ සතු ඍජු ගුණය අපේ ගෞරවයට හේතු වෙයි. බොහෝ දෙනෙකුට එවැනි කොන්දක් නැත. එහෙම අය ඔබ වහන්සේගේ වැඩ හොර රහසේ අනුමත කරමින් ඔබ වහන්සේ ව අනියමින් දිරි ගන්වමින් කටයුතු කළ බව අපි පසුගිය කාලයේ බොහෝ තැනක දුටුවෙමු. දැන් ඔවුන් සුවසේ සිය සුවපහසු ආරාමයන් තුළ ද තමන්ගේ මාලිගා හෝ නිවෙස් තුළ ද සුව සැප විඳිද්දී ඔබ වහන්සේට පමණක් මේ බරපතල වැඩ ඇති සිර දඩුවම නියම වීම ගැන අපේ කම්පාවක් ඇත. ඇත්තටම නම් ඔවුන් ද ඔබ වහන්සේගේ ඉරණමට අනියමින් වග කිව යුතු ය. ඔබ වහන්සේ කළ වැරදි සම්බන්ධයෙන් ද අනියමින් වග කිව යුතු ය.

කල්ලියක් එකතුව හොර කමේ ගියේ වුව ද තනියම පව් ගෙවන්නට සිදු වීම අවාසනාවක් බව ඇත්ත ය. ලංකාවේ හැටි එහෙම ය. බොහෝ විට හිරේ ලගින්නට සිදු වන්නේ අන්තේවාසිකයන්ට ය. ඒ තමන් අන්තේවාසිකම් කළ හාම්පුතුන් සුපුරුදු සුවයෙන් කල් ගෙවද්දී ය. සමාජයේ ගෞරව ලබමින් යහතින් වැජඹෙද්දි ය.

ඔබ වහන්සේට රඟන්නට තිබුනේ බල්ලෙකුගේ භූමිකාවකි. ඒ උසි ගන්වන විට ඉස්සරහට යෑමේ කාර්යය ය. ඔබ වහන්සේ අවබෝධ කර ගත යුත්තේ එවන් විටක ගල් මුල් වදින්නේ එසේ ඉස්සරහට යන බල්ලන්ට බව ය.

ඔබ වහන්සේ වෙනුවෙන් කීප දෙනෙකු තවදුරටත් කතා කරනු ඇත. ඒ අතලොස්සක් බව ඔබ වහන්සේ තව නොබෝ දිනකින් අවබෝධ කර ගන්නවා ඇත. මිනිසුන් ගැන තේරුම් ගැනීමට එය ඔබට හොඳ අවස්ථාවක් වනු ඇතැයි අපි සිතමු.

මිනිසුන් ජිවිතයෙන් වඩාත් හොඳ පාඩම් ඉගෙන ගන්නේ ඔවුන් අමාරුවේ වැටුනු විට ය. ඔබ වහන්සේට ද දැන් ඒ අවස්ථාව උදා වී තිබේ. හිර ගෙදර දී වෙනත් යුතුකම් කරන්නට නැති නිසා තමන්ගේ කල් ක්‍රියාව නැවත විමසන්නට ඉඩ හා ඉස්පාසුව ඔබට ලැබෙන්නේ ය. ඔබ වහන්සේ මේ අවස්ථාව ඉතා හොඳින් භාවිතා කළ යුතු ය.

ලිට්මස් පරීක්ෂාව

අපට අනුව ඔබ වහන්සේ කළේ ලිට්මස් පරීක්ෂාවකි. ඒ අපේ අධිකරණය, නීතියේ ආධිපත්‍ය ගැන, කොතෙක් දුරට සංවේදී ද යන්නට අදාළව ය. වෙනත් විදිහකට කියන්නේ නම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට මෙරට අධිකරණ කොතෙක් දුරට නම්‍යශීලි වන්නේ දැයි පරීක්ෂා කිරීමට ය. අධිකරණය ඒ පරීක්ෂණයෙන් සමත් වී තිබේ. සිවුරකට අධිකරණය සෙලවිය නොහැකි යැයි, ඔබ වහන්සේ සම්බන්ධයෙන් දෙන ලද තීන්දුවෙන්, අධිකරණය විසින් පැහැදිලිව කියා තිබේ.

එය ඔබේ ගෞරවයට කෙසේ වතුදු අධිකරණයේත්, රටේත්, ගෞරවයට නම් හේතුවන බව සටහන් කළ යුතු ය.

ඒ නිසා ම ඔබ වහන්සේට කෙසේ වෙතත්, මේ රටේ නීති ගරුක පුරවැසියන්ට නම් එය සැනසීමට කාරණයක් වූවාට සැකයක් නැත. ඒ සැනසීම ලබා දෙන්නට ඔබ වහන්සේට සිර දඩුවමකින් වන්දි ගෙවිමට සිදු විය. එහෙම බැලුවහම ඔබ කර ඇත්තේ කිසියම් ආකාරයක කැප කිරීමකි. ඒ ගැන ඔබ වහන්සේට සතුටු විය හැකි ය.

හිර ගෙදර දුකක් විය හැකි වුව ද ඔබට සතුටු විය හැකි තව හේතු මේ දඩුවම තුළ තිබේ.

ඔබ වහන්සේ අධිකරණය පරීක්ෂා කොට නැවතුණේ නැත. ඔබ වහන්සේ සංඝ සමාජය ද ලිට්මස් පරීක්ෂාවට ලක් කරන්නේ ය. පරීක්ෂණය දැඩිව එල්ල වන්නේ මහා නායක ස්වාමීන් වහන්සේලා ට ය. මුණිවත රකිමින් ද ඇතැම් විට වචනයෙන් අනුග්‍රහ දක්වමින් ද ඔවුන් ඔබට අනුබල දුන් බව අපි පසුගිය කාලය පුරා වරින් වර දුටුවෙමු. එසේ කොට දැන් සියල්ල ඔබට කර ගහගන්නට ඉඩ දී ඔවුන් වෙනතක් බලන්නේ දැයි අපට දැන ගත හැකි ය. ඔවුන් සම්බන්ධයෙන් ද සැක සංකා දුරු කර ඔවුන් කවුරුන් දැයි දැනගන්නට ඉඩ හැරීම සම්බන්ධයෙන් ද අප ඔබට ණය ගැති ය. ඒ අවස්ථාව ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් ද ඔබට සතුටු විය හැකි ය.

ඔබ වහන්සේ පරීක්ෂා කරන්නේ ඒ ආයතන දෙක පමණක් නොවේ. කප්පරක් දේශපාලනඥයින් ද ඔබේ පරීක්ෂාවට ලක් වන්නේ ය. ඒ ඔවුන් ඉඳ ගන්නේ වැටෙන් කුමන පැත්තේ ද යන්න දැන් රටට විවෘත කිමට ඔබ අවස්ථාවක් දී ඇති බැවිනි.

ඔබ විසින් ඔවුන් දමා ඇත්තේ අති විශාල අමාරුවක ය. ආණ්ඩුවේ දේශපාලනඥයන්ට දැන් “දේශප්‍රෙමි“ විය හැක්කේ ඔබට ජනාධිපති සමාවක් දෙන ලෙස ජනාධිපති තුමා ගෙන් ඉල්ලා සිටීමෙනි. විපක්ෂයේ ඔබව ඉත්තෙක් කරගත් දේශපාලනඥයින්ට “දේශප්‍රේමී“ ලකුණු ලබා ගත හැක්කේ ඔවුන් බලයට පත් වූ පසු ඔබට ජනාධිපති සමාවක් ලබා දෙන බව කීමෙන් ය. එහෙත් මේ දෙගොල්ලන්නට ම එසේ එලිපිට කියන්නට බැරි ප්‍රශ්නයක් තිබේ. ඒ ජනාධිපතිවරණය ජය ගැනීමට වෙනත් ජාතිකයන්ගේ ඡන්ද ද අවශ්‍ය නිසා ය. සිංහල බෞද්ධ ජනපදනමක් සහිත ආසන වල ඡන්දයෙන් මන්ත්‍රීකමක් පමණක් ලබා ගෙන ඉන්නට හිත හදා ගෙන සිටින ටික දෙනෙකු නම් ඔබ වෙනුවෙන් යමක් කියන්නට ඉඩ තිබේ. එහෙත් වැඩි දෙනෙකුගේ හිත තියෙන්නේ රජ වීමට ය. ඒ නිසා විශේෂයෙන් රාජ යෝග තිබෙන අය නම් එසේ කියාවි යැයි ඔබ වහන්සේ නොසිතිය යුතු ය. ඔවුන්ට සිදු ව තිබෙන්නේ මග හිටියොත් තෝ නසින, ගෙදර ගියොත් අඹු නසින, තත්වයක ය. දෙක ම එකසේ භයානක ය. ඔවුන් මේ තත්වය යටතේ කෙසේ කටයුතු කරනු ඇත්දැයි බැලිය හැක්කේ ඔබ සැබෑ ලෙස සිර ගෙයි ජීවිතය ආරම්භ කිරිමෙන් පසුව ය. දැනට රෝහලේ සිටින තාක් ඔවුන්ට නවගුණ වැලේ ඇට ගණන් කර කර කල් ගත හැකි ය. එහෙත් දිගටම එසේ සිටීමට බැරි ය. ඔවුන් කවුදැයි හරිහැටි රටේ ජනතාවට දැක ගත හැකි වන සේ නිරාවරණය කිරීම සම්බන්ධයෙන් ඒ නිසා ජනතාව ද ඔබට ණය ගැති වනු ඇත. ඒ සම්බන්ධයෙන් ද ඔබට සතුටු විය හැකි ය.

“දේශප්‍රේමී“ පරීක්ෂාව

ඊළග පරීක්ෂාවට ලක් වන්නේ මේ රටේ ඉන්නවා යැයි කියන කප්පරක් වූ “දේශප්‍රේමී“ ජනතාව ය. ඒ අයගේ නම් පරීක්ෂා කිරීමට එහෙමට දෙයක් තවත් ඉතිරිව ඇත්දැයි ප්‍රශ්නයකි. තමන් වෙනුවෙන් යුද්ධයක් දිනා දුන්නා යැයි කියන සෙනෙවියා බිම දිගේ ඇදගෙන ගොස් හිර ගෙයි ලූ කල ද එතරම් ගෝරනාඩුවක් නොකළ ඔවුන් ඔබ වහන්සේ වෙනුවෙන් කට අරිතැයි සිතීම ම මිරිඟුවකි. ඒ තත්වය යටතේ ඔවුන් සම්බන්ධයෙන් සතුටු විය හැකි කිසිවක් ඔබ වහන්සේට ඉතිරි වේදැයි අපට සැක ය.

සිර ගෙදර යෑමට ඔබ වහන්සේ බිය විය යුතු නැත. එහි ද රෝහලක් තිබෙන බව ඔබ වහන්සේ අසා ඇතුවාට සැක නැත. හිර ගෙදර නිලධාරීන් ඔබ වහන්සේ වෙනුවෙන් යම් යුක්තියක් ඉටු කරනු ඇතැයි ඔබ වහන්සේට අපේක්ෂා කළ හැකි ය.

ඔබ වහන්සේ බිය විය යුත්තේ ඔබ වහන්සේගේ හෘද සාක්ෂියට ය. ඒ භික්ෂුවක ලෙස ඔබ වහන්සේ ශාසනයට කර ඇති හානිය සම්බන්ධයෙන් ය. පොදුවේ බුද්ධාගමට කර ඇති හානිය සම්බන්ධයෙන් ය. විශේෂයෙන් සෙසු ලෝකය තුළ ඔබේ ක්‍රියාකාරිත්වය නිසා බුදු දහමට සිදු වූ නව නිග්‍රහයන් සම්බන්ධයෙන් ය. ඒ නිසා ම බුදු දහමට යොමු විය හැකි ව සිටි බොහෝ දෙනා ඒ දෙස වපරැසින් බැලීමෙන් ඔවුන්ට කර ඇති අගතිය සම්බන්ධයෙන් ය. බුදුන් වහන්සේට ඔබ විසින් කර ඇති නින්දාව සම්බන්ධයෙන් ය.

භික්ෂුවක්වත් හික්මවීමට අසමත් ආගමක් ගිහියන් හික්මවන්නේ කෙසේ දැයි මිනිසුන් අසන්නේ ඔබේ ක්‍රියාකාරිත්වය දෙස බලමින් ය.

සියලු සත්ත්වයන්ට මෛත්‍රී කළ ආගමක් තම සතුරන්ට අබ සරණ පතන තැනට ගෙනාවේ ඔබ ය.

සන්සුන් ගමන් ඇති භික්ෂුවකගේ ප්‍රතිරූපය වෛරයෙන් හඩ තලන යකෙකුගේ ප්‍රතිරූපයකින් ආදේශ කළේ ඔබ ය.

මිනිසුන්ගේ මනස් ශාන්ත සුවයෙන් සනහන රුවක් වෙනුවට උන්ගේ ජඩ පහත් ගති අවුස්සන හැඟීම් ප්‍රලය කරන රකුසෙකුගේ පෙනුම සිවුරට ආරූඩ කළේ ඔබ ය.

 

මකස ජාතකය

ඒ සියල්ල ඔබ කළේ ඔබ විශ්වාස කළ බුදු දහම ද එහි ආරක්ෂකයන් බවට තමන්ම පත් කර ගෙන සිටි සිංහලයන් ද ආරක්ෂා කිරීමට බව සැබෑ ය. ඔබ දන්නවා යැයි අප විශ්වාස කරන බුදු බණෙන් ම කතාවක් ගෙන ඔබේ ක්‍රියාවේ සැබෑ අර්ථය පෙන්වා දීමට අපට අවසර දෙනු මැනව.

ඒ පියා මදුරුවකුගෙන් බේරා ගනු වස් පොරොව භාවිතා කළ පුතකු සිටි මකස ජාතකයෙන් ය. ජාතක පොතේ සඳහන් වචන වලින් ම අපි ඒ කතාව අසා ඉඳිමු.

“යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහා බෝසතානෝ වෙළඳාමෙන් ජීවත් වෙති. එසමයෙහි කසීරට එක් පසල් ගමෙක බොහෝ වඩුවෝ වෙ‍ෙසති. ඒ ගම එක් ඉසකේ වැගිරී ගිය වඩුවෙක් දණ්ඩක් සස්නේය. එකල එක මදුරුවෙක් ඔහුගේ තඹ තැටි පිටක් වැනි වූ ඉසෙහි ද අඩයටියෙන් පහරණාක් මෙන් ඉස මුව තුඩින් විදිනේය. එතෙම තමා සමීපයෙහි සිටි පුතුට කියන්නේ ‘පුත මා හිස එක් මදුරුවෙක් තෙබකින් අනින්නාක් මෙන් විදිනේය. ඔහු නවතාපියවයි‘ කීය. එබස් ඇසූ පුත්‍රයා කියන්නේ ‘පියණනන් වහන්ස, ඉවසුව මැනවයි එක පහරින් ඒ මදුරුවා මරාපියම්යි‘ කීය. එසමයෙහි බෝධිසත්වයෝත් තමන්ට බඩු සොයමින් එගමට පැමිණි ඒ වඩුවන්ගේ දඬුගල සිටියාහ. ඒ වඩ්ඪකී පුත්‍රයා මදුරුවා දුරු කෙරෙමියි සියුම් මුවහත් ඇති මහ පොරවක් ගෙණ පියාගේ පිටිපස්සේ සිට මදුරුවාට ගසමියි කියමින් පියාගේ හිස දෙකක් කොට පැළුයේය. වඩුවා එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියේය“.

ඔබ වහන්සේ ධර්මය ආරක්ෂා කළේ මකස ජාතකයේ කොළුවා සිය පියා ආරක්ෂා කළ ආකාරයට ය.

බුදුන් ඒ ජාතකයෙන් කියන පණිවුඩය ගැන සිර ගෙදර සිට සිතන්නට ඔබ කටයුතු කළ යුතු ය. ජාතක පොතේ වචන වලින් ම ඒ පණිවුඩය අසනු මැනව.

“බෝධිසත්වයෝ ඔහුගේ ක්‍රියාව දැක සතුරා උවත් නුවණැති තැනැත්තේ උත්තමය. ඒ නුවණැත්තා වූ සතුරා අනුන් තමා මරතත් දණ්ඩ ගනිතත් ඒ දණ්ඩනාදියෙහි භයින් මනුෂ්‍යයන් නොමරන්නේ යයි සිතා මෙසේ කිවු ය. නුවණින් යුක්ත වූ සතුරා උතුම්, නුවණ නැත්තාවූ මිත්‍රයා උතුම් නොවෙයි. කුමක් හෙයින් ද යත්, මේ කෙළ තොළු වූ නුවණ නැති පුත්‍රයා මදුරුවා මරම් යයි තමාගේ පියාගේ ඔළුව පලාපි ය. එසේ හෙයින් අඥාන වූ මිත්‍රයාහට වඩා ප්‍රඥා වූ අමිත්‍රයා ම උතුමැයි“.

අවශ්‍ය යක්කු නොවේ

ඔබ වහන්සේගෙන් අප ඉල්ලා සිටින්නේ බුදුන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් නිසි නුවණ පිහිටුවා ගන්නා ලෙස ය. බුදු දහම ආරක්ෂා කිරීමට පොරොව භාවිතා කොට එය දෙපළු කොට නොදමන ලෙස ය.

අද බුදු දහම රැකීමට අවශ්‍ය යක්කු නොවේ. රාවණාලා නොවේ. බල සේනා නොවේ. අවශ්‍ය සාන්තුවරයන් ය. ශාස්තෘවරුන් ය.

බුදු දහම රැකෙන්නේ පොරොවෙන් නොවේ. අබ වලින් නොවේ. දහමෙන් ය. දහමට මග පෙන්වීමට හැකි භික්ෂූන් වහන්සේලා ගෙන් ය.

ධර්මය රකින්නා ධර්මයෙන් ම රැකෙනවා යැයි බුදුන් වහන්සේ කීවේ කට කහනවාට නොවේ. අපට ඒ අනුව කටයුතු කරන්නට ය.

අද අවශ්‍යව ඇත්තේ සිවුරේ බලය යොදා ගෙන මැර කම් කිරීමට සූදානම් අය නොවේ. සිවුරේ ගරුත්වය රකින්නට කැප වී සිටින ධර්ම ගවේෂී භික්ෂූන් වහන්සේලා ය.

අපි ඇති වෙන්නට ගැටුම් දැක ඇත්තෙමු. ඒ නිසා වුනු ව්‍යාසනයන් ද දැක ඇත්තෙමු. අපේ හොඳම තරුණ තරුණියන් මැස්සන් මදුරුවන් මෙන් මිය යනවා දැක ඇත්තෙමු.

රටට සාමය අවශ්‍ය ය. දියුණු වීමට ගැටුම් වලින් තොර ඉස්පාසුවක් අවශ්‍ය ය. අප අපේ රට තුළ එකිනෙකාගෙන් ගේම ඉල්ලමින් සිටින අතරතුර සෙසු රටවල් අප පසු කර යන්නේ ය. අපේ කොල්ලන්ට සිදු ව ඇත්තේ එසේ ඉදිරියට යන ඉදිරිගාමී රටවල පිහිට පැතීමට ය. ඒ රටවලට පැන ගැනීමට දිවි එපා යැයි කියමින් මහ මුහුදට අවතීරණය වීමට ය.

මැරෙන දාට අප කිසිවක් ගෙනි යන්නේ නැත. ඊට රට ද ඇතුළත් ය. ඒ නිසා රට එක එකාගේ භුක්තියට සවි කර තැබීමට අවශ්‍ය නැත. එහෙත් එතෙක් ජීවත් වීමට අපට රටක් තිබිය යුතු ය. එකිනෙකා මරා ගන්නා රටක් නොව සැමට ම ජීවත් විය හැකි රටක් ඒ සඳහා අවශ්‍ය ය. දියුණුවට ඉස්පාසුවක් ඇති රටක් අවශ්‍ය ය. තරුණ තරුණියන්ට ඇති තරම් රැකියා අවස්ථා, ව්‍යාපාර අවස්ථා, අධ්‍යාපන අවස්ථා බිහි කළ හැකි රටක් අවශ්‍ය ය. උන් ආසාවෙන් රැඳෙන රටක් අවශ්‍ය ය.

අනෙකා හිරකරන දම්වැලේ අනෙක් කොන

ඔබ කැප විය යුත්තේ මේ රට, කිසියම් එක ජාතියක භුක්තියට සවි කොට, සෙසු මිනිසුන් සතුරන් මෙන් සලකන රටක් බිහි කිරීමට නොවේ. ඒ තුළ සතුරා දෙස බලමින්, ඔහු ම ජීවිතය කොට දිවි ගෙවමින්, සෙසු වැඩ කටයුතු අතපසු කරමින්, එක තැනක රඳන රටක් ඇති කිරීම නොවේ. අපට නිදහස ලැබිය හැක්කේ අනෙකා හිර කර තැබීමෙන් නොවේ. එවිට අපට ද සිදු වන්නේ හිර වීමට ය. අනෙකා හිර කර අපට නිදහස විඳිය නොහැකි නිසා ය. ඔහු හිර කර රඳන බවට සහතික වීමට අපට ද දෑස් දල්වා බලා සිටීමට සිදු වන නිසා ය.

සහෝදරත්වයෙන් පිරුණු රටක එවැනි හිරකිරීම් නැත. බන්ධන නැත. ඔබ කැප විය යුතුව තිබුනේ එවන් රටක් සඳහා ය. බුදුන් වැඩි මග ඔස්සේ යා හැක්කේ, මහ රහතුන් වැඩි මග ඔස්සේ යා හැක්කේ, එසේ නිදහස් කරනු ලැබූ රටක මිනිසුන්ට පමණ ය. බුද්ධාගම රැක ගැනීම සඳහා ආයුධ දරන්නට සිදු වේ නම්, එවන් රටකට දහමෙන් ලද හැකි දෙයක් නැත.

මේ ගැන නැවත නැවතත් ආවර්ජනය කරන්නට ඔබට දැන් ඉඩ තිබේ. ආවේගයෙන් තොරව සන්සුන් මනසකින් මේ සියල්ල දෙස නැවත බලන්නට හිර ගෙදර තුළ අවකාශ තිබේ.

සමස්ථ ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වූ නෙල්සන් මැන්ඩෙලා ද වසර 26 ක් සිරබත් කෑවේ ය. ඒ කල්ලන්ගේ රට බලහාත්කාරයෙන් අල්ලා ගෙන සිටි සුදු පාලකයන්ට එරෙහිව සටන් කිරීම නිසා ය. එහෙත් හිරෙන් නිදහස් වී එලියට යන මොහොතේ ඔහු දැඩි අදිටනින් තීරණයකට එළඹියේ ය. ඒ තමන් සිර ගත කළ සුදු පාලකයන්ට එරෙහිව දළු ලමින් තිබුණු වෛරය සිර ගෙදර තාප්පයට මෙහායින් අත හැර යන බව ය. එසේ නොකළොත් තමන්ට දිගටම ඒ වෛරය තුළ සිර වී ජීවත් වීමට සිදු විය හැකි නිසා ය.

අප මේ බව අපගේ මුල් ලිපියේ ද සඳහන් කළා මතක ය. එහෙත් එය දෙවරක් නොව කීපවරක් වුව සඳහන් කිරීමෙන් ඔබට වාසියක් මිස පාඩුවක් නොවේ.

ඒ නිසා ම ඔබ වහන්සේගෙන් කිරීමට අපට ද ඉල්ලීමක් ඇත. ඒ ඔබ වහන්සේ එලියට එන විට බුදු දහම හොඳින් කියවා ජීවිතය දෙස අලුතින් බලන්නට ඉගෙන ගෙන පැමිණෙන ලෙස ය. ඔබ වහන්සේ ළඟ තිබූ පුපුරන අබ හිර ගෙදර තුළ විනාශ කර සියළු ජාතීන් වෙත ත්‍රිවිධ රත්නයේ සරණ ගෙන වඩින ලෙස ය. එසේ නොවෙතෙත් ඔබට සිදු වන්නේ එලියට පැමිණිය ද නැවතත් හිර වීමට ය. ඒ හිර ගෙය ඔබ ඔය යන හිරගෙයට වඩා නරක ය. ඔබටත් රටටත් දෙකටම නරක ය.