අසනීපයක් කරදරයක් වූ විට කාසියක් සුදු රෙද්දක ගැට ගසා දෙවියන්ට ඔප්පු කර පිලිසරණක් පැතීමට අපේ ජනතාව පුරුදුව සිටිති.
මෙයින් පෙනී යන එක් කරුණක් නම් කපුවා කෙසේ වෙතත් දෙවියන් නම් පනමකින් දෙකකින් රැවටිය හැකි බව යි. සැළකිය යුතු නෝට්ටුවක් නැතිව කපු මහත්තයා පලතුරු වට්ටියක්වත් බාර ගන්නේ නැති අල්ල පනල්ලේ කාසියක් දෙන බවට දුන් පොරොන්දුවකට දෙවියෝ ඉෂ්ට සිද්ධිය සළස්වා දෙන්නෝ ය. එහෙම බැලුවහම දෙවියන් කියන්නේ අමු මෝඩයෙකි.
මෙයින් පෙනී යන අනිත් කරුණ නම් අපේ බැතිමතුන් බොහෝ දෙනා අමනයන් වුව ද ඊට සමගාමීව කට්ට කෛරාටික වෙට්ට පිත්තලයන් ද වන බව ය. පොඩි දෙයක් දී ලොකු දෙයක් කරන්නට යැයි ඉල්ලන්නේ මසුරු කමට අමතරව කට්ට කම ද නිසා ය.
සිතූ පැතූ සම්පත් පහල වෙන කප්රුකක් ද ඇති දෙව්ලොව වසන දෙවියන්ට සල්ලි දෙන්නේ අහවල් දේකට දැයි අප වැනි මෝඩයන්ගේ මනසේ ඇතිවන ප්රශ්නය පඩුරු ගැට ගසන බැතිමතුන්ගේ මනසට නම් කවදාවකවත් පිවිසෙන්නේ නැත. එසේ වන්නේ ඇයි?
සමහර විට ඊට හේතුවන්නට ඇත්තේ මනුලොව ඉහළ පදවි තානාන්තර දරන අයට පඩුරු පාක්කුඩම් පිරිනමන්නට තමනට සිද්ධ වෙලා තිබීම වෙන්නට පුලුවන. එහෙත් ඒ පඩුරු පාක්කුඩම් නම් විසිකරන කාසිවලින් පිරිමැහෙන්නේ නැත. සමහර විට දෙවියන් ඊට වඩා සාධාරණ යැයි ඔවුන් සිතුවා වන්නට ද පුලුවන.
රෙදි කෑල්ලක බදින්නේ සල්ලි අල්ලන්නට දෙවියන් අකමැති නිසා වන්නට පුලුවන. සමහර ස්වාමීන්වහන්සේලා ද සල්ලි අතේ ගෑවෙනවාට කැමති නැත. දෙවියන් ඒ ස්වාමීන්වහන්සේලා අනුයනවා වෙන්නත් පුලුවන.
සල්ලි අල්ලන්නට අකමැති අනිත් කට්ටිය ඉන්නේ පොලීසියේ ය. ඔවුන්ට සල්ලි දෙන්නට ඕන අතේ නොගෑවෙන පරිදි ය. ඒ අල්ලසක් වන්නට ඉඩ තියෙන නිසා ය. දෙවියන්ට වුනත් දැනෙනවා ඇත්තේ ඒ විදිහට වෙන්නට බැරි ද?
ඒ විදිහට බලාගෙන ගියහම බලය තියෙන බොහෝ දෙනෙකුට බලයෙන් පමණක් ජීවත් වෙන්නට බැරි නිසා සල්ලිත් ඕනැ බව පේනවා ය. ඕනෑ කම තිබුනත් ඒ ගැන පොඩි අපුලක් ද ඒ සමග ඔවුන්ට තියෙන බව පේනවා ය. සල්ලි නොඅල්ලා සල්ලි ගන්නේ ඒ නිසා විය යුතු ය.
තියෙන තැනට හැම දෙයක්ම එකතු වෙනවා යැයි පැරැන්නන් කීවේ කට කහනවාට නොවේ ය. බලය තියෙන තැනට සල්ලි එකතු වෙනවා ඇත්තේත් ඒ අනුව ය.
පඩුරු ඔප්පු කර පලියටම වැඩ සිද්ධ වෙන්නේ නැත. සමහර වෙලාවට බේරාගන්න යැයි කන්නලව් කරන ලෙඩා මැරිලා ය. ඒ ගැන දෙවියන්ට කරන්නට දෙයක් නැත. හේතුව ආයුස ඉවරවෙලා නිසා ය. ආයුස තියෙනවා නම් දෙවියන් කොහොම හරි බේරා දෙනවා ය.
සමහරු අහන්නේ පඩුරු බැඳලා බෙහෙත් කරන්නත් ඕනෑ ද කියා ය. උන් තේරුම් ගන්නේ නැති කාරණය නම් බෙහෙත ශරීරයට අල්ලන්න දෙවියන්ට පුංචි පහේ මැදිහත්වීමක් කරන්නට පුලුවන් බව ය.
මේවා ගැන ලියා කට – සොරි අත – වරද්දා ගන්නට එපා යැයි අපේ ආච්චි අම්මා නම් කියනු ඇත. මෙහෙම ලියන්නට පුලුවන් කම ලැබී ඇත්තේ උන්දෑ එලොව ගොස් ඇති නිසා ය. ඒත් වටපිටාවේ ඉන්න ආච්චි අම්මලා මේ ලියවිල්ල දෙස කෙසේ බලාවි දැයි මම නොදනිමි. ඒ තරමට ආච්චි අම්මලා ප්රමාණයක් (සීයලා නැතුවා නොවේ) මේ වටපිටාවේ සිටිනා බැවිනි.