නැමිල්ල හා වැඳිල්ල

ආචාර කිරීම නිවට කමක් යැයි කිසිවෙක් නොකියනු ඇත. එහෙත් ආචාර කරන ආකාරය අනුව එහි දී පළකරන ඉරියවු අනුව එයින් නිවට කමක් ප්‍රදර්ශනය විය හැකි ය.

ආචාරයේ ඉරියවුවලින් පෙන්වන්නේ කුමක් ද යන්න ගැන විමසීමට පෙර ආචාරය දක්වන්නේ කවරෙකු කාට ද යන්න සෙවිය යුතු ය. ඊට අමතරව ආචාර දක්වන්නේ කුමක් අරබයා ද යන්න ද සැළකිල්ලට ගෙන ආචාරය කවරක් ද යන්න විමසිය යුතු ය.

ආචාර දැක්වීමේ සිද්ධියක් දෙදෙනෙකුට දෙආකාරයෙන් දැකිය හැකි ය. එක් අයෙකු එය නිහතමානය ලෙස දකින අතර තව අයෙකු එයම හීනමානය ලෙස දකින්නට පුලුවන.

මේ සියල්ල ලියන්නට පෙළඹුනේ මෛත්‍රී ආර්යාව රැජින ඉදිරියේ නැමී ආචාර දැක්වීම හීනමානය ලෙස අර්ථ දැක්වීමට ඉදිරිපත් වීම නිසා ඇතිවුනු සංවාදය හේතු කොට ගෙන ය.

ඒ සිද්ධිය කලබැගෑනියක් කිරීමට තරම් ලොකු සිද්ධියක් නොවේ. එහෙත් කරන ලද කලබැගෑනිය නිසාම එය හරහා මෙවැනි සිද්ධියක් නිවැරදිව දැකීමට පුරුදු පුහුණු වීම වැදගත් කොට සළකන ලද්දේ ය.

මුලින්ම කිව යුත්තේ නිහතමානී වීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරය හීනමානය වන්නට ඉඩක් ඇති වුව ද නිහතමානිත්වයම වැදගත් නිසා ඒ ප්‍රතිචාරය අමතක කොට නිහතමානී වීම යහපත් බව ය. අධිමානයෙන් පෙළෙන බොහෝ දෙනෙකු මේ අස්ථානය පිළිගන්නා එකක් නැත. එහෙත් තමන්ගේ ඇතුළත අභිමානයක් ඇති මිනිසුනට නිහතමානී වීම ඒ නිහතමානිත්වයෙන් මිනිසුන් බැස ගන්නා නිගමනයන් කුමක් වුව ද ගැටළුවක් නොවේ.

ඔහොම නැමිලා නොව දණ බිම ඇණ වැඳීමට අපව පුරුදු පුහුණු කර තිබේ. සමහරු එසේ වඳින්නේ දේශපාලන නායකයන්ට ය. ඒ තමන් නිසි සුදුසුකම් සපුරාලීම නිසා නිසි ලෙස රාජ්‍ය සේවය සඳහා ලැබුණු පත්වීම් ලිපියක් ලබා ගැනීම වැනි අතිශය රාජකාරිමය කටයුත්තක දී ය. එවැන්නක් නම් නොකට යුතු ය. එවන් විටක අභිමානවත්ව හැසිරීමට අපට හැකි විය යුතු ය. එවන් අවස්ථාවක දණ නමන්නේම තමන්ගේ ඇති බයාදු යටහත් පහත් බව පෙන්වා සිටීමට ය. එසේ නොකට හොත් උරණ වේය යන බියට ය.

බයට හෝ යමක් පතා හෝ ආචාර නොකළ යුතු ය.

අප වෙනත් රටකට යන්නේ නම් ඒ රටේ අනුගමනය කරන චාරිත්‍රයක් අනුගමනය කර ආචාර දැක්වීම හීනමානය පළ කිරීමක් නොවේ. එය ඒ රටේ සිරිත්විරිත්වලට අපේ ගරුත්වය පළ කරන ක්‍රමයකි.

විශේෂයෙන්ම රටක නාමික නායකයාට හෝ නායිකාවට දක්වන ගෞරවය ඒ රටට දක්වන ගෞරවයකි. එහි සියලු පුරවැසියන්ට දක්වන ගෞරවයකි. වෙනත් ආගම්වලට අයත් අය පවා නුවර ගොස් මහනායක හිමිවරුන් වැඳ පුදා ගන්නේ ඒ අර්ථයෙනි.

11041300_10153058996346259_2496324424187593399_n

පාප් වහන්සේ අගතියට පත් අයගේ පා සෝදන්නට ඉදිරිපත් වන්නේ හීන මානය නිසා යැයි කවරෙකුවත් කියන්නේ නැත. ඉහළට යන්නට යන්නට නිහතමානී වීම පරිණත චරිතයක ලක්ෂණයක් ය.

ඒ නිසාම වැඳිල්ල නැමිල්ල දෙස වඩා විචාරාත්මකව බලන්නට අප පුරුදු විය යුතු ය. පිදිය යුත්තන් පිදිය යුතු ය. ආචාරය දැක්විය යුත්තන්ට ආචාර දැක්විය යුතු ය. එහෙත් බලය ඉදිරියේ හැකිලී දීන නොවිය යුතු ය. බලයෙන් තමන් ද ප්‍රයෝජනයක් ගැනීමේ අභිලාෂයෙන් එයට පුද සත්කාර නොකළ යුතු ය.

නිහතමානිත්වය හීනමානය ලෙස අර්ථ නොගැන්විය යුතු ය. දීනත්වය නිහතමානිත්වය ලෙස භෞතිස්ම නොකළ යුතු ය. නැමිල්ල හා වැඳිල්ල දෙස පාට කණ්ණාඩි නොදා විචාරයෙන් බැලිය යුතු ය.

Advertisements

ආගම කුමක් නොවිය යුතු ද? ……

පැසලදිය හැකි ආභරණයක් නොවේ. අවාසනාවකට මේ රටේ බොහෝ දෙනාට එය ආභරණයකි. තම හැසිරීම් නිසා පිටතට පෙනෙන ජුගුප්සාජනක ආත්මය සරසා වෙනත් පින්තූරයක් ලෝකයට දිය හැකි අතිශය සාර්ථක මාර්ගයකි. ඒ නිසා ඔවුහු ලෝකයට පෙනෙන්නට ආගමික වැඩ කරති. එහෙත් තමන්ගේ ජීවිතය තුළින් කිසිදු ආගමික හැසිරිමක් ප්‍රදර්ශනය නොකරති.

සීමා ගසා වෙන්කර ගැනීමට තැනිය හැකි තාප්පයක් හෝ පවුරක් නොවේ. තමන් අන් අයගෙන් වෙනස් බව, ශ්‍රේෂ්ඨබව, වැඩි වියදමක් නොකර වැඩි ආයාසයකින් තොරව පෙන්විය හැකි වන නිසා ද ඒ නිසා වෙනත් අයට නැති වරප්‍රසාද තමන්ට ලැබිය යුතු යයි පෙන්විය හැකි නිසා ද තමන්ව සෙසු අයගෙන් වෙන් කර දැක්වීමට ආගම පහසුවෙන් භාවිතා කළ හැකි තාප්පයකි. පවුරකි. තාප්පයෙන් මෙපිට ඉන්නේ තමන්ගේ අයය. එපිට ඉන්නේ අනුන් ය. උන්ට නැති සමහර වරප්‍රසාද තම්නට ලැබිය හැක්කේ මේ තාප්පය ඉදිකර සීමාව සටහන් කිරීමෙන් පමණකි. චීවරය නිසා බසයක නම් නිකම්ම නිකම් අසුනක් ද ගෙදරක දී නම් සරසන ලද අසුනක් ද ලබා ගැනීමේ වරම් ලැබෙන්නේ එසේ ය. උන්ට ඇති වරප්‍රසාද උදුරාගත හැක්කේ ද වෙන්කර හදුනාගැනීමෙනි. පන්සිල් දන්නේ තමන්ගේ අය බැවින් පන්සිල් නොදන්නා එකා වෙන්කර පහර දිමේ සම්ප්‍රදායික ක්‍රමය වාර්ගික ගැටුම් තුළ ක්‍රියාත්මක වූයේ මේ අනුව ය.

අනුගාමිකයින් තමා වටා රැස් කර ගනු පිණිස එසවිය හැකි ධජයක් නොවේ. අපේ රටේ අඩුවක් නැතිව ලෙල දෙන එක් දෙයක් නම් ෂඩ්වර්ණ ධජ පතාක ය. මේ වටා මිනිසුන් සංවිධානය කර ගැනීම, අනුගාමිකයින් රැස් කර ගැනීම, පහසු ය. මේ නිසා ගුණධර්මවලින් පිරිහුණු භික්ෂූන්ට දේවගැතිවරයින්ට තම පන්සල්වලට පල්ලිවලට අනුගාමිකයින් ඇද ගත හැකි ය. මාසයේ දින 30 පුරාම තක්කඩිකම් කරන නායකයින්ට එක් දිනක කෙටි පූජාවකට සහභාගිවී මේ ධජ සේවනේ සිට හිරි ඔතප් දෙකම නැති මේ ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත හැකි ය. එවැනි ආශිර්වාදයක් ප්‍රශ්න කිරීම මේ ධජය යට සිදු නොවේ. එය යට විමසන්නට මනසක් ඉතිරි නොවේ.

අනෙකාට පහර දිය හැකි ආයුධයක් නොවේ. ආගම යොදාගෙන අන්‍ය ආගමිකයන්ට පහර දෙනු අප රටේ මෑත අතීතය තුළ අපට දැකිය හැකි විය. ආගම යොදා ගෙන තම සැමියාට වචනයෙනුත් බිරිදට අතින් පයිනුත් පහර දෙන බිරියන් හා සැමියන් අපට අපේම ගෙවල්වලින් දැක ගත හැකි ය. ඉදිරිපත් කරන සුලභ තර්කය නම් අනෙකා ආගම දහම නොදන්නා තිරිසන් ගති ඇත්තෙකු බව ය. ආගමෙන් පලිහක් සේ ආරක්ෂාව ලබමින් එම ආගමම අවියක් කොට ගෙන තම දූ දරුවන්ට පහර දෙනු දැකිය හැකි ය. මෙහිදී උවමනාවෙන් ඒත්තු ගන්වනු ලබන්නේ අකීකරු කමේ ආනිසංස ය. මේවා ඉගෙන දැන ගනු පිණිස කෑදර කමෙන් දරුවන් දහම් පාසල් දක්කනු දැක ගත හැකි ය. ආගම යොදාගෙන තම ප්‍රතිමල්ලවයන්ට (ශාරුක් ඛාන්ගේ සංදර්ශන නරඹන්නනට එන අයට යුද්ධයට විරුද්ධවන්නන්ට වැනි නොයෙකුත් දෙනා හට පහර දෙනු දැකිය හැකි ය). බොහෝ ආගම් අපට උගන්වන්නේ ඒවා තමන් නිවැරදි කර ගැනීමට භාවිතා කරන ලෙස ය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ එහි ප්‍රතිවිරුද්ධයයි. අනුන් වැරදි කරුවන් කිරීමට පමණක් එය යොදාගැනීම ය.

පසුබැසිය හැකි ආරක්ෂක ස්ථානයක් නොවේ. ගෙදර කරදරවලින් මිදීම සදහා සති අන්තවලදී බණ මඩුවල ගත කරන පිරිමින් ද ගෙදර අනේක විද දුක්පීඩාවලින් මිදීම සදහා සතර පෝයට සිල්ගන්නා උපාසිකාවන්ගෙන් ද අපට අඩුවක් නැත්තේ මේ නිසා ය. මේ බණ අසන බොහෝ දෙනා තුළ අප දකින්නේ සියළු පව් ඒකරාශි කරගත් ආත්මයන් වීම අහම්බයක් නොවේ. ඔවුන්ට බණ ජීවිතයේ දුක් කරදරවලින් තාවකාලිකව වෙන්වීමට ලැබෙන් ප්‍රශ්න කළ නොහැකි අවස්ථාවක් පමණකි. බණ ඇසීමට විරුද්ධවන්නට මේ රටේ කාටවත් නොහැකිවීම ඔවුන් ලබන කදිම නිදහසකි. ඒ බණ නිසා සිය ජීවිත එලිය කරගත් බවක් ඔවුන්ගේ ජිවිත දිහා බලන විට නම් කෙනෙකුට පෙනෙන්නේ නැත.

ආගම – කුමක් විය යුතු ද?

මත් ද්‍රව්‍යයක් නොවේ. මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ තැනැත්තාට එය පානය කිරීම සදහා නිශ්චිත වෙලාවක් නැත. ආගමට මත්ද්‍රව්‍යයක් ලෙස ඇබ්බැහි වූවෙකු ද එබදු ය. ඇබ්බැහි වූ තැනැත්තාට මේ කාර්යාල වේලාව යයි හැගිමක් නැත. මේ උදෑසන යැයි හැගිමක් නැත. මේ මොහොතේ මා විසින් කළ යුතු රාජකාරි රැසක් තිබේ යැයි අදහසක් නැත. දරුවා අඩන විට ඇකයට ගෙන නැලවීම සිය කාර්යයක් යැයි බීගත් පියෙකුට පෙනෙන්නේ නැතිවාක් මෙනි. ඒ නිසා කාර්යාලයේ දී බණ ඇසිම හෝ බණ දෙසීම නිසි නොවේ යැයි ඔහු දන්නේ නැත. කාර්යාල වේලාවේදී ආගමික කටයුතු කිරීම නිසා තමන්ගේ හාම්පුතුට වංචා කරන බව ඔහුගේ සම්පත් හොරා ගන්නා බව ඔහුට වැටහෙන්නේ නැත. ඇබ්බැහි වීම ඒ තරමට ප්‍රබල බැවිනි. බිරිද දරුවන් සමග දගලන අතරතුර හොද්දක් හැදිගාන්නට බල කෙරී ඇතිවිටක පවා ආගමෙන් මත්වූ සැමියා එවැන්නක් කිරීම තම කාර්යය යැයි පිළිගන්නේ නැත. ඒ නිසාම ඔහු දිගටම භාවනාවේම යෙදෙයි. පිරිත්ම කියමින් වටපිටාව අමතක කරයි. ඒවායින් සසල නොවන සන්සුන් සිතක් ඇති කරගැනීමට ඔහු කැමති ය. ඔහු නොසන්සුන් වනු ඇත්තේ බිරිද බණ අහන්නට ඉඩ නොහැර දරුවාගේ භාරය තමන්ට පැවරූ විට ය.

ආක්‍රමණික යුද්ධය සදහා භාවිතා කළ හැකි සේනාංකයක් නොවේ. බොහෝ ගැටුම් ආගම මුල් කරගෙන ඇතිව තිබීම එක් අතකින් විහිළුවක් වන අතර අනිත් ඛේදවාචකයක් වෙයි. ඉතිහාසයේ හැමදාමත් රජවරු තම දේශපාලන ව්‍යාපෘති සදහා ලෝභ නැතිව භාවිතා කළේ ආගමයි. අද රජවරු පමණක් නොව අවශේෂ බල ව්‍යාපෘතින් සහිත සමාජ කණ්ඩායම් ද මෙය මොනවට භාවිතා කරනු දක්නට පුලුවන. ආගමේ නාමයෙන් සතුරා වැනසීමට පුළුවන්වීම නිසා මුළුමනින්ම යහපත් යයි කිව නොහැකි අවර ගණයේ ක්‍රියාවකට සුජාතභාවයක් එයින් ලබා දිය හැකිය. ඒ නිසා ක්‍රියාවේ ඇති කිලුට සේදෙන බව මේ බල ව්‍යාපෘතින් මෙහෙයවන නායකයෝ හා ඔවුන්ගේ (ආගමික) අනුගාමිකයෝ විශ්වාස කරති.

බඩ වඩා ගැනීමේ මාර්ගයක් නොවේ. මිනිසුන්ගේ අවාසනාව තරම් ඔවුන්ගේ දුක්ඛ දෝමනස්ස තරම් ව්‍යාපාරිකයෙකුට සිය ධනය ආයෝජනය කළ හැකි වෙනත් ලාභ දායී මාර්ගයක් තවත් නැත. ආගම මේ අවාසනාවට මේ ආත්මයේ නොවේ නම් ලබන ආත්මයේ උත්තර ලබා දෙන්නට පොරොන්දු වෙයි. බොහෝ ව්‍යාපාරිකයින්ට සිදුව ඇත්තේ කිසියම් දෙයක් විකුණා මුදල් සෙවීමට ය. හුදු බලාපොරොත්තු පමණක් විකුණා මුදල් සෙවිය හැක්කේ ආගම තම බඩගෝස්තරය කරගත් ව්‍යාපාරිකයින්ට පමණකි. ඔවුන් ප්‍රතිලාභ ලෙස ලබන්නේ මුදල් නොවන්නට ඉඩ තිබේ. එහෙත් එයින් ඔවුන්ගේ ව්‍යාපාරික අභිමතාර්ථයන් සැගවිය නොහැකි ය.

ආරක්ෂක පලිහක් නොවේ. සොරකම් කර අසූවු මිනිහා කියන්නේ තමන් ආගම හොදින් අදහන නිසා ආගමට ලැදි නිසා ආගමට උදව් පදව් කරන නිසා ඒ සියල්ල හෑල්ලු කිරීම සදහා හොරකම් චෝදනා එල්ල කර ඇති බව ය. තමන් වැනි ආගමික වතාවත් යෙදෙන පුද්ගලයෙක් අතින් එවැන්නක් සිදුවිය හැකි දැයි අසමින් අසන්නන් වල්මත් කිරිමට ඒ නිසා ඔවුන්ට හැකි ය. ඒ නිසාම ඔවුන් කියන්නේ තමන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පරීක්ෂණයක් පවා නොකර බැහැර කළ යුතු බව ය.

නිරුවත වසා ගත හැකි වස්ත්‍රයක් නොවේ. තමන් සතු කුසලතාවයක් නැති විට, තිබෙන ටික පවා පාරම්බෑ හැකි මට්ටමේ නොවන විට, එම සෙළුව වසා ගැනීම සදහා ආගම සළුවක් ලෙස භාවිතා කරනු බොහෝ විට දැක්ක හැකි ය. එයින් හැම විටම පාහේ සිදුවනු ඇත්තේ ආගම කිලුටු වීම ය.

අනුන් පාලනය කරනු සදහා භාවිතා කළ හැකි කෙවිටක් නොවේ. අනෙකා පාලනය කිරීම සදහා භාවිතා කළ හැකි හොදම කෙවිට ආගම ය. ආගමේ නාමයෙන් බොහෝ දෙනා විත්ති කූඩුවට නැංවිය හැකි ය. අන්ධ පිලිපැදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රද්ධාව නැතැයි කියමින් ප්‍රශ්න කරන්නන් කූඩුවට නැංවිය හැකි ය. සිසුන් නොමග යවන ගුරුවරුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් යහපත් සිසුවෙකුට ආගමේ නාමයෙන් අච්චු කළ හැකි ය. ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අඩුපාඩුවක් පෙන්වීමට ඉදිරිපත් වූවෙකු ශාසනය අපකීර්තියට පත් කළේය යන චෝදනාව යටතේ වැරදි කරුවෙකු කළ හැකි ය. බීගත් තිරිසන් සැමියෙකුට විරුද්ධව අත එසවූ වරදට බිරිද පාපතරයෙකු කළ හැකි ය. බීගත් තිරිසන් සැ‍මියෙකුට විරුද්ධව අත එසවූ වරදට බිරිද පාපතරයෙක් කළ හැකි ය. (ඒ සැමියාට ඔහු බේබද්දෙකු වුව ද ගරුකිරීමට ආගම මෙහෙයවමිනි). වනචර පියෙකුගේ හැසිරීම ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පුතෙකුට ද මේ ලෙසම කෙවිට දිගු කළ හැකි ය.

ජීවිතය නොවේ. සමහරු කියන්නේ ආගම තමන්ගේ ජීවිතය බව ය. ආගම යනු ජීවිතය නොවේ. එය ජීවිතය එලිය කර ගත හැකි මිණි පහනක් පමණි. එය ද විචාරයෙන් ‍ආගම ඇදහුවොත් ය. ආගම තම ජීවිතය බව කිව හැක්කේ එය සැබෑ ජීවිතය වසා ගැනීමට කඩතුරාවක් කර ගන්නා අයට පමණි. එලිපිට පෙනෙන්නේ පුද්ගලයා ආගමික ජීවිතයක් ගත කරන බවකි. එහෙත් සමීපව විමසන විට තම ජීවිතය නිසි පරිදි හැඩ ගස්වා ගැනීම සදහා ආගම පිටුවහලක් කරගනු හැරෙන්නට අනිත් සියල්ල සදහා ඔහු ආගම භාවිතා කරන බවකි.

අනන්‍යතාවය සහතික කරනු සදහා ගැසිය හැකි හංවඩුවක් නොවේ. හරකුන්ට හංවඩු ගහන්නේ උන්ව පහසුවෙන් හදුනාගනු පිණිස ය. එක් හ‍රකෙක් බොහෝවිට අනෙත් හරකාගෙන් වෙන්කර හදුනාගැනීම සමහර විට අපහසු විය හැකි බැවිනි. ආගම ද තමන් නැති අනන්‍යතාවයක් ලබා ගනු පිණිස භාවිතා කරන්නන්ගෙන් අපට අඩුවක් නැත.

වැයික්කිය සටහන් කරනු සදහා හෙලිය හැකි සුළු දිය පහරක් නොවේ. බල්ලන් තම වැයික්කිය ලකුණු කරන්නේ සුළු දිය හෙලීමෙනි. සමහරු ආගම භාවිතා කරන්නේ ද වැයික්කිය ලකුණු කරනු පිණිස ය. ඒ නිසා ඔවුන් කරන්නේ තමන්ගේ වැයික්කියේ ආගමික සංකේතයක් (කුරුසියක් හෝ බුද්ධ ප්‍රතිමාවක්)  තනා වැයික්කිය ලකුණු කරගැනීම ය. තම හදවතට බුදුන් හෝ ක්‍රිස්තුත් වැඩම කර ගැනීමට අසමත් මේ මිනිස්සු ආගමික සංකේත යොදාගනිමින් මෙසේ තම ගම, නිවස හා කාර්යාලය තුළ මෙසේ තම වැයික්කිය ලකුණු කරති.

සිංහ වෙස් ගැනීම සදහා බූරුවන්ට පැළදිය හැකි සිංහ හමක් නොවේ. ආගම කට ගා ගත්තවුන් බොහෝ දෙනෙක් එහි ඌෂ්ණයෙන් රත්ව සිංහ වෙස් ගෙන කටයුතු කරනු දැක ගත හැකි ය. එවන් විටක එතැන ඊට වඩා උත්තමයෙක් හෝ බලපුලුවන්කාරයෙක් නැතැයි අන් අයට ඒත්තු ගැන්වීමට කටයුතු කරනු දැකිය හැකි ය. ඔවුන් කෑගසන විට මතකයට නැගෙන්නේ සිංහ වෙස් ගත් බූරුවාගේ කතාව ය.

මාතෘකාව දෙවියන් – තහනම් වචනය මිනිසා

දෙවියන් ඔබ සමග කතා කරතැයි ඔබ කියන විට ඔබට මානසික ‍රෝගියෙකු යැයි කියන මිනිසුන්ම ඔබ දෙවියන්ට කතා කරන විට ඔබ යාඥා කරතියි කියති. ඒ ගැන පුදුමය පළ කරන්නේ තෝමස් ත්සාස් ය.

මෙයින් කියවන්නේ අප දෙවියන් හමුවේ කියෙවුව ද දෙවියන් අප හා කියවන්නේ නැති බව ය. ඒ ගැන අප පුදුම වන විට දේවගැතියන් අපට කියන්නේ දෙවියන් අප හා කතා කරනු වෙනුවට කරන්නේ ප්‍රතිචාර වශයෙන් යමක් කිරීම යයි කියා ය.

සමහර විට ඔවුන් නිවැරදි වෙන්නට පුලුවන. දෙවියන් ගොලු නම් කෙසේ කතා කරන්න ද?

දෙවියන් ගොලුවුනත් බිහිරි නොවේ නම් හොද ය. නැත්නම් සිදුවන්නේ අපේ යාඥාද නොඇසී යාම ය. බිහිරි නොවී ගොලුවන්නට පුලුවන් ද?

අපට බැරි වුනාට දෙවියන්ට පුලුවන් වන්නට පුලුවන. දෙවියන්ට දෙවියන් යැයි කියන්නේ නිකම් ද?

එක පනුවෙක්වත් තමන් විසින් හදා ගත නොහැකි මෝඩ මිනිසුන් විසින් දෙවියන් නම් අඩුපාඩුවක් නැතිව කෝටි ගණනින් හදන බව කීවේ මයිකල්ද මොන්ටිග්නේ ය.

සියලු දේ දන්නා සියලු දෙයින් සම්පූර්ණ දෙවියන් අසම්පූර්ණ මිනිසෙකු මවා එහි වරද ද මිනිසා පිටම පැටවූයේ ඇයි දැයි තමාට තවමත් නො‍තේරෙන බව කීවේ ජීන් රොඩන් බෙරි ය.

නිට්ෂේට ප්‍රශ්නයක් වුනේ මිනිසා දෙවියන්ගේ මෝඩකම ඔප්පු කරන්නක් ද නැතිනම් දෙවියන් මිනිසාගේ මෝඩකම ඔප්පු කරන්නක් ද යන්න ය.

තමන්ගේ දේවාලයේ කොත නැතිවුනහම ඒක සොයා ගන්නට බැරිව කපුරාල පොලීසියට එවන දෙවිවරු අනුන්ගේ නැතිවුනු ඕනෑම මගුලක් හොයා දෙන්නේ කෙසේ දැයි තමන්‍ට නොතේරෙන බව කිව්වේ පොලීසියේ පැමිණිලි ලියා ගන්නා රාළහාමි ය.

දෙවියන් කියන්නේ අපෙන් පින් බලාපොරොත්තුවෙන් ඉන්නා හිගන්නන් රැලකැයි කීවේ පන්සලේ හාමුදුරුවන් ය. ඒත් ඒ හිගන්නන්ට මිනිසුන් පන්සල් භූමියේදීම දන ගසා වදිනවා දැක උන්වහන්සේ මුකුත් නොකියන්නේ ඇයි දැයි ඇහුවේ මගේ පුංචි පුතා ය.

දෙවියන් ගැන කියවෙන කතන්දර නම් බොහෝ ය. මිනිසුන් ගැන කතා කරලා ඇතිවුන නිසා දෙවියන් ගැන පොඩ්ඩක් කතා කළ යුතු යැයි සිතුවෙමි. එහෙත් ප්‍රශ්නය නම් මිනිසුන් ගැන කතා නොකර දෙවියන් ගැන කතා කළ නොහැකි වීම ය. මිනිසුන්ගෙන් පරිබාහිරව ස්වාධීනව දෙවියන් නොපවතින නිසා ය.

ඒ නිසාම තහනම් වචනය කතා නොකර මාතෘකාව ගැන කතා කිරීමේ තරගයෙන් මම පැරදුනෙමි.

ඒ මොනවා වුනත් ඔබටත් මටත් තිස්තුන් දෙවි දෙවතාවුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබෙන්නේ අප බුදුන්ගේ දේශයේ උපන් නිසා ය. ඒ මහා වංශයට අනුව ය. මොකකට අනුව හරි එහෙම එකක් ලැබෙනවා නම් බාර නොගෙන ඉදීමේ තේරුමක් නැත. ඒත් එකම ප්‍රශ්නය මේ දිවයිනට සුනාමිය ආදා මිනිසුන් වෙනුවට දෙවියන් බේරා ගත්තේ කොන්ක්‍රීට් හා සිමෙන්තිවලින් හදන ලද බුදු පිළිම පමණක් වීම ය.

තාගෝර්ට අනුව දෙවියන් හා එක්විය හැක්කේ පොළොව කොටන පාර හදන මිනිසුන්ට ය. ඒ ඔවුන් ඉන්නා අපායේ දී ය.

එක අතකට දෙවියන් ඇත්තේත් නැත. නැත්තේත් නැත. හරියට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වගේ ය. එහෙමත් නැතිනම් රටේ අධිකරණ ක්‍රියාවලියේ සුජාතභාවය වගේ ය. එසේත් නැතිනම් දේශප්‍රේමීන්ගේ අධිරාජ්‍ය විරෝධය වගේ ය. ඇත්තේත් නැත. නැත්තේත් නැත.

මාතෘකාවෙන් පිට පනින්නට හදන බවක් පෙනෙන නිසා සමුගැනීම හොද ය. ඒ සමහර දේවල් නම් දෙයියන්ට කිව්වත් වැඩක් වෙන්නේ නැති නිසා ය.

උන්ගේ බවුද්දකම හා අපේ බෞද්ධකම

බවුද්දයා බෞද්ධ කොඩියක් ගේ ඉදිරිපස අදින විට බෞද්ධයා තමන්ගේ ජිවිතයෙන් තම බෞද්ධකම විදහා දක්වයි.

බවුද්දයා බෝ ගසට කිරි වක් කරන විට බෞද්ධයා ගස් ගල් වැඳිමෙන් වැළකෙයි. ඒ වෙනුවට ජිවිතය සකස් කර ගැනීමට දහමෙන් ලැබිය හැකි පිළිසරණ සොයයි.

බවුද්දයා සිකුරු කොහේද අගහරු කොහේදැයි හොයන විට බෞද්ධයා කරුණාව පැතිරවිය යුත්තේ කාටද මෛති‍්‍රය පැතිරවිය යුත්තේ කාට දැයි සොයයි.

බවුද්දයා අන්‍ය ආගමිකයින්ට විරුද්ධව පෙළපාලි යනවිට බෞද්ධයා බුදුන් දෙසූ දහමින් ලෝකයටම සෙතක් සළසන්නේ කෙසේ දැයි කල්පනා කරයි.

බවුද්දයා තමන්ගේ කරුමයට හේතු සඳහා බාහිර හේතු හොයන විට බෞද්ධයා තම කරුමයට හේතු සෙවීමට තමන්ගේ අභ්‍යන්තරයට පිවිසෙයි.

බවුද්දයා පොරවන්නට සිල් රෙදි සොයන විට බෞද්ධයා වටපිටාවේ සිටින හැම කෙනෙකුටම නිවීම ගෙන එන ලෙස හැසිරෙයි.

බවුද්දයා මේ බුදුන්ගේ දේශයයි කියා වාහනේ  පිටුපස අලවා ගෙන මාර්ග නීති කඩමින් වටේ යන අයට වෙට්ටු දමමින් අනතුරේ හෙලමින් යන විට බෞද්ධයා අනෙත් අයට සංවේදී වෙමින් ඉඩ දෙමින් පාරේ සිය වාහනය සීරුවෙන් එලවයි.

බවුද්දයා ජාතිවාදය කරපින්නා ගෙන බහු රූ නාඩගම් නටන විට බෞද්ධයා මානව සංහතියේම වුවමනාවන් වෙනුවෙන් පටු බේද අතහැර කටයුතු කරයි.

බවුද්දයා නැති බැරි අය හොයා ඔවුන්ට හිගමන් දී ඔවුන් තවදුරටත් නැති බැරි කමේ රඳවන විට බෞද්ධයා ව්‍යාපාර ආරම්භ කොට රැකියා මාර්ග පාදා මිනිසුන් හිගන බවෙන් මුදවයි.

බවුද්දයා ධන්ත දාතූන් වඳින්නට පෝලිම්වල ලගින විට බෞද්ධයා බුදුන් දෙසු දහම ලෝක සාමයට සංහිඳියාවට හා පුද්ගල විමුක්තියට යොදාගත හැකි මං සොයයි.

බවුද්දයා කුල බේදය කරපින්නා ගෙන පීඩිත කුලවල ජනයා තලන විට ඔවුන්ට තමන්ගේ නිකායවල දොර වසන විට බෞද්ධයා ජන්මයෙන් කෙනෙක් වසලයෙකු නොවේය යන බුදුබණ අනුව යමින් සැමට අවස්ථාව සළයසි සමානව සළකයි.

බවුද්දයා දෙමලූන් පාගන්නට උඩගෙඩි දෙන විට බෞද්ධයා සැම මිනිසෙකුගේ ම ආත්ම ගෞරවය වෙනුවෙන් පෙනී සිටියි. හැමකෙනෙකුගේම ජීවත්වීමේ අයිතිය ඇතුළු සාධාරණ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි.

බවුද්දයා බුදුන්ට ගරහහන්නන්ගේ කටේ මුඛ පිළිකා හැදේවායි සිතන පතන විට බෞද්ධයා හතුරෙකුටවත් අනතුරක් නොවේවායි පතයි.

උන්ගේ බවුද්දකමත් අපේ බෞද්ධකමත් අතර මායිම් රේඛාව ඇඳෙන්නේ එසේ ය

උන්ගේ බවුද්දකමින් ප‍්‍රදර්ශනය කරන්නේ පෙරහැරේ යන සාදු කාර ලබන ඇතා ය. අපේ බෞද්ධකමින් ප‍්‍රදර්ශනය වන්නේ දහ බැනුම් අසමින් කොට අදින ඇතා ය.

බොහෝ අය කැමති පෙරහැරේ යන්න ය.